දැන් කීප දෙනෙක් මමත් එක්ක ඔරොප්පුවෙන් ඉන්නේ එක දිගට ක්‍රිකට් ගැන ලියනවා කියලා. ඇත්තටම ඉතින් මගේ අත්දැකීම් වල මම වැඩියෙන්ම කැමති කොටස ක්‍රිකට් සම්බන්ධ ඒවා. ඒ වගේම මගේ ක්‍රිකට් ගැන කැමැත්ත කොයි වගේද කියලා කවුරුත් දන්නවනේ. ඒක දන්නා නිසා තමයි ගම්පහ ගෙට් එකේදී අමුතු ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවන්න මට අවස්ථාව දෙන්න ඇත්තේ. ඒ මොනවා වුනත් අටමා බුදුන් වඳින දෑතින් වැඳලා කියලා තියෙනවා නේ දැන් ක්‍රිකට් ගැන ලිව්වා ඇති කියලා. ඒ නිසා මම ලියපු වර්ග වලින් වැඩිම ජනප්‍රියත්වයක් තියෙන ලොල් කතා සීරීස් එකේ තවත් එකක් ලියන්න ඕනේ කියල හිතුවා. අනිත් එක ගෙට්ටුවෙදී අලුතෙන් අඳුනා ගත් අයත් බ්ලොග් එකට එකතු වෙලා ඉන්න වෙලාවේ හැමෝටම බලන්න ආස හිතෙන එකක් ලියන්න වටිනවා කියලා මටත් හිතුනා.
මම මේ බ්ලොග් එක පටන් ගත්ත වෙලාවේදී කිව්වෙත්, මේ බ්ලොග් එකේ තේමා පාඨයෙන් කියවෙන්නෙත් මගේ රාජකාරී දිවියේ අත්දැකීම් බෙදා ගන්නවා කියලා. ඒ වුනාට මොකද මම තාම රැකියාස්තානගේ සිදුවීම් ලියලා තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ කතාව වුනත් අහපු කතාවක් මිසක් මට සෘජුව සම්බන්ධ එකක් නෙවෙයි.
මේ කතාව පටන් ගන්න කලින් කියන්න තවත් කාරනාවක් තියෙනවා. මම ලියපු තෙල් බෙහෙත් වෙළෙන්දා දුටු පේටන්ට් සංකල්පය කෙටි කරලා ඕනෑම කතාවක් වචන සීයයි බ්ලොග් එකට ලියපු තෙල් බෙහෙත් වෙළෙන්දාගේ පාපොච්චාරණය පහුගිය සෙනසුරාදා පිට වෙච්ච තරුණයා පත්තරේ පල කරලා. එයාලා එතැන මගේ බ්ලොග් එකේ නමත් සඳහන් කරලා තියෙන නිසා සතුටුයි. මට මේක පෙන්නුවේ අපේ බ්ලොග් හිතවත්තු දෙන්නෙක් වන සමියා සහ දේශ්. ඉතිං ඒ දෙදෙනාට ස්තුති කරන්නත් මම මේක අවස්තාවක් කර ගන්නවා. එයාල නොපෙන්නුවා නම් මම ඒක දකින්නේ නෑ.
ඉහලින් තියෙන කාරණා තුන නොලියා ගහෙන් ගෙඩි එන්න වගේ මේ කතාව ලියන එක හරි නැති නිසයි ඒ ටික සඳහන් කලේ. දැන් අපේ නියම කතාවට යමු. මේක බැංකුවේ කතාවක්.
රණේ කියන්නේ අපේ කතා නායකයාගේ නියම නම නොවුනත් ඔහුගේ වාසගම තියෙන කෙනෙකුට අපේ සමාජයේ අය අමතන්න යොදා ගන්න හුරතල් නාමේ. එතකොට ඔය වාසගමට රණවීර, රණසිංහ,රණතුංග මේ කැමති එකක් හිතා ගත්තට වරදක් නෑ. රණේට බැංකුවේ පත්වීම ලැබුනේ 1978 නැත්තම් 79 දී. මේක කියවන සමහරු ඉපදිලා නැතිවත් ඇති. එයාගේ පෙම්වතිය වෙච්ච පසුව විවාහ වෙච්ච සීතා මහත්මියත් මේ එකම බැච් එකේ දෙන්නා. එකම බ්‍රාන්ච් එකට වැටුනේ. මේ බ්‍රාන්ච් එක කොළඹ කොම්පඤ්ඤවීඩිය කිට්ටුව බ්‍රාන්ච් එකක්. එහෙම කිව්වේ හරියටම බ්‍රාන්ච් එක කිව්වොත් කෙනෙක්ට මම කියන කෙනාව අඳුනා ගන්න පුළුවන් වෙන නිසා. මගේ බ්ලොග් පොස්ට් වල නම් සඳහන් වෙච්ච අපේ සමහර මාත්වරු ඉන්නේ ඒ ගැන වැඩි හිත සතුටකින් නෙවෙයි කියලා ආරංචි වුන නිසා ශරීර සෞඛයටත් හොඳ නිසා ටිකක් සඟවලා ලියන්න හිතුවා.
ඉතින් අපේ රනේ බොහොම කඩවසම් තරුණයා ඒ කාලේ. හිතාගන්නකෝ අර චිත්‍රපටි වල විජේ කුමාරතුංග මහත්මයා ඇඳගෙන ඉන්න අර රවුම් ලොකු කොලර් ෂර්ට් අඳිනා කාලේ. කනෙන් භාගයක් වැහෙන්න වලස් තොප්පිය වගේ හෙයාර් කට් එක ගහන කාලේ. උසට ගැලපෙන මහතා ඒත් ටිකක් විතර කුලෑටි අපේ රණේට ඒ ශාකාවේම අල්ලපු කවුන්ටරේ වැඩ කරන සීතා කෙල්ල ගැන පිලිබඳ සිතක් පහල වුණා. සීතා කෙල්ලත් හිරිමල් ගැටිස්සි. ඉස්කෝලෙන් අවුට් වෙච්ච් ගමන්මයි බැංකුවට එකතු වුනේ. අපේ රනේ තරම් උස මහතා නැති වුනත් හුරුබුහුටියි. රණේ තරම් සුදු නැති වුනත් තලෙලුයි. රණේට ඇයව කොයි තරම් හිතට වැදුනද කිව්වොත් බලන බලන හැම අතකම ඇයව පේන්න ගත්තා. තනියම ඉන්න වෙලාවට ඇයගේ අත අරගෙන විහාර මහා දේවි පාර්ක් එකට යන, බ්‍රාන්ච් එක කිට්ටුවම තියෙන එම්පයර් එකට ෆිල්ම් බලන්න යන දර්ශන හින්දි චිත්‍රපටියක් වගේ මැවිලා පෙනුනා. දෑසින් කරන ඉඟි බිඟිත්, මිතුරන්ගේ ඇනුම් පදත් නිස මේ දෙදෙනා ටික කලක් යනකොට නිකංම පෙම්වතුන් බවට පත් වුණා.
දැන් මේක පටන් ගත්ත දවසේ ඉඳන් රණේට මිතුරන්ගෙන් ගැලවීමක් නැති වුනා.
"අයියෝ තාම ෆිල්ම් එකක් වත් බැලුවේ නැද්ද, ඔය ලයිබ්‍රියටයි, විහාර මහාදේවී පාක් එකටයි ගිහිං කොහොමද ලව් කරන්නේ. (කනට කර රහසින්) තාම කිස් එකක් වත් දුන්නේ නැත්ද?"
ඒත් අපේ රණේට මේ වගේ එකක් සීතාගෙන් අහන්න ගටක් නෑ. තවත් අතකින් මේක සෙට් වුන දවසේ ඉඳලා සීතා නහයෙන් අඬන්න පටන් ගත්තේ
"කවදද අපේ ගෙඅර එන්නේ ?" කියලා. දන්නැද්ද ඉතිං ඒ කාලේ ගෑණු ළමයි බොහොම ලැජ්ජා බයට හැදුන නිසා දෙමව් පියන්ගේ අවසරයක් නැතිව වතුර ටිකක්වත් බොන්නේ නෑ. හැබැයි හැමදාම ගෙදරින් එනකොට මොකක් හරි බොරුවක් කියලා රණේටත් එක්ක බත් මුලක් ගැට ගහගෙන එන්න සීතා කෙල්ලත් පසුබට වුනේ නෑ.
මේ වැඩේ හරි යන්නෙම නැති තැන රණේගේ හොඳම මිතුරා ඇයගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා
"අයියෝ සීතෝ අපි නම් සෙට් වෙලා මාසයක් යනකොට ෆිල්ම් එකක් බැලුවා. උඹලා තාම ළදරුවෝ වගේනේ. මේ දවස් වල ලස්සන හින්දි චිත්‍රපටියක් යන්නේ. ආයි බලන්න හම්බ වෙන්නේ නෑ. මම රණයට කියන්නම් එක්කං යන්න කියල. උඹ කැමතියි නේද ?"
"අනේ මං දැන්නෑ ඇනයියේ, අම්මලා දැන ගත්තොතින් මොනවැයින් මොනවා වෙයිද දන්නෑ. අපේ තාත්තා හරි වසයි"
"අනේ මෝඩියේ කවුද ඕවා අම්මලට කියන්නේ. උඹලා බැඳලා ළමයිත් හම්බ වුනහමද ෆිල්ම් එකක් බලන්නේ ? ඔන්න හෙට ෂෝට් ලීව් එකක් දාලා පලයන් දෙන්නත් එක්ක. පයින්ම යන්නත් පුළුවන් එකේ. රණයට මම කියන්නම් කලින් ගිහින් ටිකට් ගන්න කියලා. අපි කවුන්ටරේ වැඩ බලා ගන්නම්. "
පහුවදා රණේ මනමාලයා වගේ ඇඳලා වැඩට ආවේ. අනිත් කොල්ලේ නැති තැන මේ ගැන කතා වුනත් රණේට මූනට මොනවත් කියන්න ගියේ නෑ. මොකද රණයට තද වුනාම අතට අහු වෙන එකෙන් ගහන ජාතියේ මුලං කාරයා නිසා. කොහොමින් කොහොමින් හරි හවස් තුනත් වුණා. රණයට වෙලාව යන්නේ හෙමින් වගේ තමයි එදා දැනුණේ. බොහොම අමාරුවෙන් පචයක් ගහලා තමයි මැනේජර් මහත්තයා ශේප් කරගෙන සීතා එලියට බැස්සේ. රණේ වරුවක් නිවාඩු දාලා තමයි පිට වෙලා තිබුණේ. හොර පූසෙක් වගේ ටවුමේ කරක් ගහලා බැල්කනි ටිකට් දෙකක් අරගෙන එලියට ඇවිත් සීතාගේ කුඩය යටටම් රිංගාලා ඇසුරු සැණින් දෙන්නා ෆිල්ම් හෝල් එකට රිංගලා බැල්කනියට ගොඩ වුනේ ඉහින් කනින් දාඩිය දාගෙන. ඒ තරමට දෙන්නා බය වෙලා හිටියේ.
තවත් විනාඩි 10-15 කට පස්සේ ශාලාව අඳුරු වෙලා චිත්‍රපටිය ඇරඹුනා. දැන් රනේගේ හිතේ තියෙන්නේ සීතාට කොහොම හරි කිස් එකක් දී ගන්න. සීතා චිත්‍රපටිය දිහා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට ඇය අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි චිත්රපටි නරඹලා තිබුණේ. ඉතා වේගයෙන් කාලය ගෙවීගෙන යනවා. සීතා සමවැදිලා චිත්රපටිය නරඹනවා. රනේ දෙතුන් වතාවක්ම සීතාගේ මුහුණට මුණ කිට්ටු කලත් කරුමෙට එක්කෝ එලිය ටිකක් වැඩි වෙනවා, නැත්නම් කව්රු හරි බලාගෙන ඉන්නවා කියන විචිකිච්චාව රණේගේ හිතේ වැඩ කරනවා. රණේගේ පපුව යකාගේ කම්මල වගේ වැඩ කරනවා. අන්තීමට හිතට දහිරිය ගත්ත රනේ එක පාරටම සීතාගේ බෙල්ල සිප ගත්තා. සීතාගේ කටින් මර ලතෝනියක් පිට වුණා. චිට්‍රපටිය නවතලා ශාලාවේ ලයිට් දැල්වුණා. හැම දෙනෙක්ම දැන් මේ යුවල දිහා බලාගෙන ඉන්නවා. සීතාට සිහිය නෑ. අන්තිමට වතුර ගහලා තමයි සිහිය ගත්තේ. ඒ එක්කම රණේ සීතාවත් එක්කං එලියට යනවා. හේතුව මොකක්ද ?
පින්තුරය ගත්තේ : http://vancouverisawesome.com |
දිගටම පෙන්නගෙන ආපු හින්දි චිත්‍රපටිය ඉවර වෙලා එදා උදේ තමයි වැම්පයර් චිත්‍රපටියක් පෙන්නන්න අරගෙන තියෙන්නේ. රණේට තිබුන කලබයල නිසා ෆිල්ම් එක මොකක්ද කියලා බලන්න අමතක වෙලා. පස්සේ පෙම්වතියගෙන දැනගෙන තියෙන්නේ හරියටම වැම්පයර් චිත්‍රපටියේ ඉන්න කාන්තාවකගේ බෙල්ල හපලා ලේ බොන දර්ශණය යනකොටම තමයි අපේ රණේ ඇගේ බෙල්ල සිපගෙන තියෙන්නේ. :)
ප:ලි: බ්ලොග් ගෙට්ටුවෙදී මා සොයා පැමිණි මට ටී ෂර්ට් එකක් පරිත්‍යාග කලසුනිල් සංජීව මෙන්ඩිස් මහතාට මගේ කෘතඥතාව.
ප:ලි: බ්ලොග් ගෙට්ටුවෙදී මා සොයා පැමිණි මට ටී ෂර්ට් එකක් පරිත්‍යාග කල