පින්තුරය : techpp.com |
මම ඉන්දියාවේ මුම්බායි බලා යන්න තීරණය කලේ මගේ මිත්‍රයා වෙච්ච් සුභාෂ් එක්ක කරපු සාකච්චාවක ප්‍රතිපලයක් විදියට. ඒ 2010 සැප්තැම්බර් මාසයේදී. ඒ කාලේ තමයි 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ කාල සටහන එලියට ආවේ. ඒ වෙලාවේදී මගේ යාළුවාට මම කිව්වා
"ආයේ ලංකාවේ ලෝක කුසලානයක් තියෙන්නේ අඩුම ගන්නේ අවුරුදු 12කින් විතර. එතකොට අපි වයසක මිනිස්සු. ඒ නිසා අපි කොහොම හරි මේ වර්ල්ඩ් කප් එකේ ෆයිනල් බලමු" කියල. මගේ යාලුවත් තනි පයින් කැමති වුනා. මේ එක්කම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හොට් සීට් දැන්වීම දැකල ඉතාම පහසු මිලකට, ඒ කියන්නේ රුපියල් විසි දාහකට වගේ ටිකට් දෙකක් මම වෙන් කළා. ඊට පස්සේ තිබුනේ හෝටලයක් වෙන් කර ගන්න එක. මොකද අවසන් කාලේ වෙත්දී හුන්ඩුවක් තරම් එකක් වත් හොයා ගන්න බැරි වෙනවා. අන්තර්ජාලයේ ඕනෑම හෝටලයක් ගැන විස්තර ඒ වගේම කලින්ම කාමර වෙන් කිරීමේ හැකියාව තියෙන නිසා ඒ හැටි ගැටළුවක් වුනේ නෑ. මුලින්ම මගේ හිත ගියේ බැම්බූ කියන හෝටලයට. ඒත් මගේ මිත්‍රයට ඒ ගැන දැනුම් දීලා දවසක් දෙකක් යත්දී ඒ හෝටලයේ සියලුම කාමර සම්පූර්ණයෙන් වෙන් කරව තිබුණා. ඊළඟට මගේ හිත ගියේ නැවි මුම්බායි හී පිහිටා තිබෙන එපෙක්ස් හෝටලයට. අන්තර්ජාලයේ ඔවුන්ගේ වෙබ් අඩවියෙන් එහි තිබෙන පහසුකම් මෙන්ම විවිධ පින්තුර නරඹා එය වෙන් කරවා ගත්තා.
මගේ මිත්‍රයා බාර ගත්තා තරගය නරඹන ටිකට් පත් වෙන් කරන එක. මේ අතරේදී අපි කථා වුනා ටාජ් මහල් බලන්න යන්න. එත් ඉන්දියාවේ තියෙන විශාලත්වය ගැන පැහැදිලි තේරුමක් ආවේ මේ කාරියේදී. මොකද මුම්බායි නගරයත්, අග්‍රා නගරයත් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පිහිටලා තිබුණත්, ඒ දෙක අතර ගමනට වේගවත්ම දුම්රියෙන් ගියත් දවස් තුනක් ගත වෙනවා. යන්න දවසයි, ඉන්න දවසයි, එන්න දවසයි. අපි සැලසුම් කලේ මාර්තු 28 ඉන්දියාවට ගිහින් අප්‍රේල් තුන් වෙනිදා ආපහු ලංකාවට එන්න. ඒ අතරේ මුම්බායි හා ගොවා අතර දවස් දෙකක් යන ස්ටාර් කෲස් වර්ගයේ නැව් ගමනක් ගැනත් අදහසක් ආව. ඒත් ඒවාට ගියොත් අපේ මුලික අරමුණ අතපහු වෙන නිසා අපි ඒ ගමන් අත ඇරලා දැම්ම.
අන්තිමේදී යන දවස කට ලඟට ආවත් මගේ මිත්‍රයා වීස ගන්න එකට උනන්දු වුනේ නෑ. මම දෙතුන් වතාවක් කිව්වත්, හරි මචං, හරි මචං කියා කිය හිටියා. අවසානයේදී මගේ මිත්‍රයා එයාට තියෙන ගැටලුව මට ඉදිරිපත් කළා.
"මචං මම ඉඩමක් ගන්න බලලයි තියෙන්නේ. මේ ගමන ගියොත් යන විදියදම නිසා ඒක ගන්න සල්ලි මදි වෙනවා" මට මුලින්ම හිතා ගන්නවත් බැරි වුනා. මේ වෙනකොට යාලුවාගේ නමින් ගුවන් ටිකට් පත වෙන් කරලා ඉවරයි. නවාතනත් දෙදෙනාටම තමා වෙන් කලේ. ඒකනම් කමක් නැහැ. මම කුඩා කාලයේ ඉඳලා අනිත් අයට දොස් නොකියන පුරුද්ද නිසා මගේ මිතුරාට වචනයකින්වත් දොසක් නොකියන්න වග බලා ගත්තා. ඒත් මම යන්න හිටපු ගමන යනවාමයි කියල හිතාගෙන දිගටම ක්‍රීඩාංගණය ටිකට් පත් සෙව්වා.
මුම්බායි වල තිබෙන වන්කඩේ ක්‍රීඩාංගණය අනෙක් ක්‍රීඩාංගන සමග ගත්තාම ඉතා කුඩා එකක්. ඒ කියන්නේ ඒ තුල අසුන් ගත හැකි නරඹන්නන් ගණන සීමිතයි. මගේ මතකය අනුව 33,000ක් තමයි. එයිනුත් වැඩිම ප්‍රමාණයක් වන්කඩේ සාමාජිකයින්ට. අයි.සී.සියට සහ එහි ආශ්‍රිත සාමාජිකත්වය දරන වෙනත් රටවල් වලට නොමිලයේ ලබා දෙන ටිකට් පත් අයින් කලහම තිබුනේ ටිකට් 4,000 යි. එයිනුත් අන්තර්ජාලයට වෙන් කලේ ටිකට් 1000යි. මේකට තමයි මුළු ලෝකයම පොර කෑවේ. මෙම ටිකට් අලෙවිය බාර දීල තිබුනේ ඉන්දියාවේ චිත්‍රපට ටිකට් අන්තර්ජාලයේ විකුණන "ක්යාසුන්ගා" කියන වෙබ් අඩවියට. මුලින්ම එය අන්තර්ජාලයට මුදා හැර විනාඩි 10කින් පමණ ලොව නන් දෙසින් ආ තදබදය(Traffic) නිසා එම වෙබ් අඩවිය හිර වුනා. එදා අපි දෙන්නත් මේ ටිකට් වෙන් කර ගන්න උත්සාහ ගත්තා. ඒක හරියට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඑල බලනවා වගේ වැඩක්. මටත් නොයා ඉන්න කියල මගේ මිතුරා ඉල්ලා සිටියත් කොහොමටවත් නවතින්න මමං සුදානම් වුනේ නෑ,
මේ තියන්නේ ඇලෙක්සා traffic Details කොහොමද 2011.02.21 ලැබිල තියෙන hits ටික. |
අපේ තව මිතුරන් කිහිප දෙනෙකුටත් මේ ටිකට් පලහිලව්ව ගැන කියලා තිබුණා. ඒ එක් අයෙක් ටිකට් පතක් ලබා දෙන්නම පොරොන්දු වුනා. මේ වෙත්දී ඉන්දියාව අවසාන පුරවා තරගයට තේරිලා තිබුනා. ඔවුන් එය ජයගනී කියන විශ්වාසය බොහෝ දෙනෙකුට තිබුනා. ඒක තමයි කොස්සකට හිටියේ. මොකද අයි.සී.සිය. ලභා දෙන ටිකට්පත් ප්‍රමාණයේ වෙනසක් ඒ අනුව සිදු වෙලා. මම ලංකාවෙන් පිටත් වෙච්චි 28 වෙනිදා තමයි නවසීලන්තය සමග අර්ධ අවසාන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කලේ.
එදා රාත්‍රී අටට විතර තමයි මගේ ගුවන් ගමන යෙදිලා තිබුනේ. මමත් සුදානම වුණා. මගේ මිත්‍රයා නවසීලන්ත තරගය බලන්න ක්‍රීඩාංගණයට ගිහින් හිටියේ. මේ වෙනකොටත් අර ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලැබෙන ටිකට් පතක් ලබා ගැනීමේ අරමුණ වෙනස් කරලා තිබුනේ නෑ. යම්කිසි විදියකින් ටිකට් පතක් ලැබුනොත් එය DHL මාර්ගයෙන් මට එවන්න මගේ මිතුරා පොරොන්දු වෙලා හිටියා. මොනවා වුනත් මෙහි තරග කිහිපයක් විවිධ ආකාරයෙන් මේ වන විට නරඹලා තිබුනේ. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය සිනමන් ග්‍රෑන්ඩ්හෝටලයේ ඉඳන් නරඹන්න අවස්තාව ලැබුණා. එංගලන්තයත් සමග අවසාන පූර්ව තරගය ක්‍රීඩාංගණයේදීම නරඹන්න පුළුවන් වුනා.
මම බොහොම දුකෙන් තමයි මගේ ගමන් මල්ල සූදානම් කලේ. එක් අතකින් මගේ දියණියගෙන් වෙන් වෙලා දවස් පහක් ඉන්න යන ගමනක්. අනික නොදන්නා රටක තනියෙන් යෑම. මොනවා වුනත් පටන් ගත්ත වැඩක් අත් හරින්න මම කැමැත්තක් නෑ. ඉන්දියන් වීසා ලබා ගන්න තිබෙන පහසුකමත් ඉතා වටිනා එකක්. මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැය ගණන් අව්වේ ඉන්නවා වෙනුවට එය පුද්ගලික ආයතනයක් වන VSF Global වෙත පවරා තිබීම ප්‍රශංසනීයයි. හරියටම දින තුනකින ඔබට වීසා ලබා ගන්න ඔවුන් කටයුතු සැලසුම් කර තිබෙනවා. මේ දවස් වල මට නිතරම කොළඹින් පිට රාජකාරි වල නිරත වෙන්න සිදු වුනා.
මාව ගුවන්තොටට ඇරලවන්න සුදානමින් සිටියේ කුෂාන්. නිතරම මට රාජකාරි දින වලදී මුණ ගැහෙන ඉතාම ප්‍රසන්න 688 කැබ් සේවාව වෙත තම වාහනය යොදවා සේවයේ යෙදෙන්නෙක්. ඇත්තටම මේ වෙනකොට ඔහු මගේ මිතුරෙක් බවට පත් වී අවසන්. ඔහුත් මේ තරගය නරඹන්න පැමිණෙන බවට පොරොන්දු වුනා. ඔහුට තිබෙන සම්බඳතා අනුව එය ඉටු කර ගත හැකි බව මටද විශ්වාසයක් තිබුණා. මා මේ යන්නේ නිෂ්පල ගමනක්ද යන්න නිතරම මගේ හිතේ රැව් පිළිරැව් දුන්නා. හවස පහට පමණ කුෂාන් ඇමතුවත් ඔහු අවසාන පූර්ව තරගය ක්‍රීඩාංගණයේ නරඹමිනි සිටින බව දැන ගන්නට ලැබුණා. කෙසේ හෝ මා ඇරලන්නට පැමිණෙන බවට ඔහු සහතික වුනා. මටත් කිසිම අවුලක් නෑ. මේ වගේ ගමනකට සුදුසුම පුද්ගලයෙක් කුෂාන් කියන්නේ. ඒත් රාත්‍රී හත වනවිට ඔහුට පැමිණෙන්නට නොහැකි බව දන්වා සිටියා. මා තරමක් වික්ශීප්ත භාවයෙන් වුවත් 688 සේවාව අමතා හිතවත් කම් මාර්ගයෙන් වෙනත් කැබ් රථයක් ගෙන්වා ගත්තා.
එම කැබ් රථය පදවන රියදුරා කොළඹට තවමත් දින දෙකකට වඩා නොපැරණි පුද්ගලයෙක්. ඔහු ක්‍රියාන්විතයේ යෙදී සිට ආභාධිත වුවෙක්. ඔහුට කොළඹ මාර්ඝ ගැන කිසි දැනීමක් නෑ. අවසානයේ මට සිදු වනා ඔහුටත් මාර්ඝෝපදේශකයා වන්න. තරමක් වෙලා තිබූ නිසා සීදුව ප්‍රදේශයේ කඩයකින් තේකකින් සප්පායම් වුනේ තවත් පැය කිහිපයකට ගුවන් යානවෙදී සංග්‍රහ ලබන තුරු කිසිදු අහරක් ගැනීමේ අවස්ථාවක් නැති නිසා. ඔහුගේ ගාස්තුව ගෙවා මාගේ ගමන් මල්ලත් අතේ ගෙන යන බෑගයත් රැගෙන කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් ඇතුල් වුනේ, අද දින ජය ශ්‍රී ලංකාවට ලැබේවා යන ප්‍රාර්ථනයද සමගින්.
කිහිප වතාවක් විදේශගතවී තිබූ පල පුරුද්ද නිසා ගුවන්තොටුපලෙහි කෙරෙන කාර්යයන් පිලිබඳ මනා අවුබෝධයක් මට තිබූ නිසා මුලික කටයුතු කිසදු අපහසුවකින් තොරව කර ගන්නට හැකි වුවා. එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ඇතුල් වන්නට 150කට අධික ප්‍රමාණයක් මට ඉදිරියෙන් මේ වනවිටත් පෝලිම්ගත වී සිටියා. ඒ සිටින විටත් නිරතුරුවම තීරණාත්මක දෙවන අර්ධ අවසාන තරගයේ ප්‍රතිපලය බලාපොරොත්තුවෙන් ක්‍රීඩාංගණයේ සිටින මගේ මිතුරා ඇමතුවා. අවසන් මොහොතේ ශ්‍රී ලංකාව ජය ගත්තේ නුලෙන්.
මෙම ගමන යාමට අවසර මගේ දූ සිඟිත්තිගෙන් ලබා ගත්තේ ඇය නිතිපතා සිහින මවන ටෝකින් ඩෝල් නොහොත් කතාකරන බෝනික්කකු ගෙන ඒමේ පොරොන්දුව ලබා දීමෙන්. "අනේ කොහේ හෝ මේ බෝනික්කා තිබියන්" යන්න ඒ දිනවල මගේ එකම ප්‍රාර්ථනය වුවා. ඒ මා ඇයගේ හිත බිඳින්න තිබෙන අකමැත්ත නිසා. "ආයුබෝවන්" එය අප රටේ නිල පිළිගැනීමේ ක්‍රමය වුවත්, එය භාවිතා වන්නේ ඉතාම අඩුවෙන්. නමුත් මෑතක සිට අප ඇතුළු රජයේ ආයතන බොහොමයක් ආයුබෝවන් ආමන්ත්‍රණය භාවිතා කලත් එහි ගැබ් වී තිබෙන කෘතීම බව නිසා එය මගේ සිත් ගත්තේ නෑ. කොටින්ම මා එය භාවිතාවෙන් වැළකුණේ හිතට එකඟ නැති දේ නොකිරීමේ මගේ පුරුද්ද නිසා. එහෙත් දෑස් මෙන්ම දසන් වලින් දක්වන සිනහවත් සමග ඒ කල පිළිගැනීම මා සිත් ගත්තා. වැඩි අපහසුවකින් තොරවම මගේ ආසනය සොයා එහි හිඳ ගෙන අසල ඇති කුඩා කවුළුවෙන් යලිත් මාගේ මාතෘභූමිය දෙස බල දිගු සුසුමක් හෙලුවා. තවත් විනාඩි කිහිපයකින් මේ සුන්දර ලක් පොළොවෙන් ගුවන් ගතව කිලෝමීටර් දහස් ගණනක් ඈතින් වූ අපේ අසල්වැසියාගේ භූමියෙහි පය ගැසීමට අපට සිදු වනවා.
ඒ වනවිට කිසිදිනක මා ඉන්දියාව නැතිනම බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් වන ආකාරයට දඹදිව හෝ භාරතය වෙත පය ගසා තිබුනේ නෑ. මා කුමන රටක ගමන් ගත්තත් අන්තර්ජාලය සහ විවිද මාධ්‍ය මගින් ඒ පිලිබඳ නිසි අධ්‍යනයක නිරත වීම මගේ පුරුද්දක්. ආහාරපාන, භුමි ලක්ෂණ, සිරිත් විරිත් ආදිය මෙහිදී වැදගත්. ඉතිං මමත් මේ ගෙදර වැඩ(Homework) කොටස මැනවින් සිදු කර සිටියා. තවත් විනාඩි ගණනාක අවෑමෙන්, ගුවන් සේවිකාවන්ගේ සහ ගුවන් නියමුවාගේ නිවේදනයට අනුව අසුන් හා බැඳී පටි තද කර ගත්තා. සැබවින්ම ගුවන් නියමුවන් වුවත් ඔවුන්ට බිම මත වාහන හැසිරවීම පිලිබඳ මනා නිපුනත්වයක් තිබිය යුතුයි. මන්ද ඒ වනවිට බිම් පර්යන්ත සහ ගාල් කරන ස්ථාන වල තිබෙන අනෙකුත් ගුවන් යානා සහ වෙනත් වාහන බේරාගෙන ගුවන් පථයට පිවිසීම ගුවනේ යානය හසුරවනවාට වඩා අපහසු කාර්යක් නිසා. හෙමින් හෙමින් ගමන් ගත් යානය ප්‍රධාන ගුවන් පථයට පිවිසෙන්න විනාඩි කිහිපයක්ම ගත වුනා.
මගේ දියණිය මේ වනවිට කුමක් කරනවා ඇත්ද? මගේ දෑස් තෙත් වුවේ නිරායාසයෙන්. ඇයට සිටින එකම හිතවතා, ඥාතියා, වැඩිහිටියා වන මමද මෙසේ විනෝදාස්වාදය පදනම් කර ගත් ගමන් ගැනීම් කෙතරම් වේදනාකාරී වන්නට ඇත්ද? මීට ප්‍රථම මා දෙවතාවක් ඇගෙන් වෙන්ව මෙවැනි ගමන් ගොස් තිබුණා. එහෙත් එවැනි අවස්තාවක විනෝදාස්වාදය පැත්තක තබා මා ඇය ගැන නිරතුරු සිහි කරමින් ගත කළා. සමහරවිට මේ වනවිට ඇය නිදි සුව විඳිනවා වන්නට පුළුවන්. ඇයට තිබෙන්නේ දැඩි හිතක්. එය උවමනාවටත් වඩා දුක දරා ගන්න සමත්. එහෙත් මගේ ඇසුරේ සිටින විට ඈ වඩාත් ලද බොළඳ ලෙස හැසිරෙයි. එයට සාධාරණ හේතු ඇත.
මුලින් ඉබි ගමනේ ගිය Airbus වර්ගයට අයත් යානය ඉතා කෙටි දුරක් තුල පැයට කිලෝමීටර් පන්සීයක පමණ වේගයක් ලඟා කරගෙන ක්‍රමයෙන් ඉදිරි කොටසත් තවත් සුළු වේලාවකදී පසුපස කොටසත් වා තලයට එක් කර වේගයෙන් උතුරු දෙසට ධාවනය වන්නට පටන් ගත්තා. ලක් පොළොවෙන් නික්ම ඉහල ආකාසය සිප් ගනිද්දී රාත්‍රිය එළඹ තිබෙන කටුනායක ආශ්‍රිත කලාපය තොරණක සිහි ගන්වමින් දැල්වෙන් විදුලි බුබුළු වලින් එකාලෝව වී තිබුනා. තවත් සුළු මොහොතකින් කටහඬ අවදි කල කපිතාන් වරයා දැන් බඳ පටි ඉවත් කල හැකි බවත්, අප සිටින උසත් ගමනාන්තය ගැනත් යම් දැනුවත් කිරීමක් කළා. මා යානයේ සිටින අනෙකුත් මගීන් ගැන සැලකිලිමත් වුනා. විවිධ ජාතීන් 20කට ආසන්න වර්ගීගරනයකින් යානයේ මගීන් සමන්විත වුනා. යුරෝපීය, ඉන්දීය, ශ්‍රී ලාංකික, නැඟෙනහිර ආසියාතික, අප්‍රිකානු ආදී විවිධ ජාතීන්ගෙන් යානයේ සියලුම ආසන පිරී තිබුනා. යුහුසුළුව සියලු දෙනාට කෑම බීම බෙදාදෙන යුවතියන් සහ තරුණයන් තමා වෙත ලඟා වන තුරු කවුරුත් නොයිවසිල්ලෙන් බලා සිටියා. මා දිගු හුස්මක් ගෙන මගේ පාස්පෝර්ට් එක ගෙන, ගමනාන්තයෙදී බාර දිය යුතු එම්බාර්කේෂන් කාඩ් පත පුරුවන්නට පටන් ගත්තා. මා අනුව යමින් මා අසල සිටි යුවළද එම කාඩ් පත් අතට ගත්තා.
මීළඟ කොටසින් : සුදීකට ටිකට් ලැබෙයිද ? හැමෝම මාව ඇන්දුවාද ? මුම්බායි අත්දැකීම්ද සමග දෙවන කොටස. ඔන්න මාරයාට සෙනසුරාද කියවන්න පොස්ට් එකක් දැම්මා.
මුලින් ඉබි ගමනේ ගිය Airbus වර්ගයට අයත් යානය ඉතා කෙටි දුරක් තුල පැයට කිලෝමීටර් පන්සීයක පමණ වේගයක් ලඟා කරගෙන ක්‍රමයෙන් ඉදිරි කොටසත් තවත් සුළු වේලාවකදී පසුපස කොටසත් වා තලයට එක් කර වේගයෙන් උතුරු දෙසට ධාවනය වන්නට පටන් ගත්තා. ලක් පොළොවෙන් නික්ම ඉහල ආකාසය සිප් ගනිද්දී රාත්‍රිය එළඹ තිබෙන කටුනායක ආශ්‍රිත කලාපය තොරණක සිහි ගන්වමින් දැල්වෙන් විදුලි බුබුළු වලින් එකාලෝව වී තිබුනා. තවත් සුළු මොහොතකින් කටහඬ අවදි කල කපිතාන් වරයා දැන් බඳ පටි ඉවත් කල හැකි බවත්, අප සිටින උසත් ගමනාන්තය ගැනත් යම් දැනුවත් කිරීමක් කළා. මා යානයේ සිටින අනෙකුත් මගීන් ගැන සැලකිලිමත් වුනා. විවිධ ජාතීන් 20කට ආසන්න වර්ගීගරනයකින් යානයේ මගීන් සමන්විත වුනා. යුරෝපීය, ඉන්දීය, ශ්‍රී ලාංකික, නැඟෙනහිර ආසියාතික, අප්‍රිකානු ආදී විවිධ ජාතීන්ගෙන් යානයේ සියලුම ආසන පිරී තිබුනා. යුහුසුළුව සියලු දෙනාට කෑම බීම බෙදාදෙන යුවතියන් සහ තරුණයන් තමා වෙත ලඟා වන තුරු කවුරුත් නොයිවසිල්ලෙන් බලා සිටියා. මා දිගු හුස්මක් ගෙන මගේ පාස්පෝර්ට් එක ගෙන, ගමනාන්තයෙදී බාර දිය යුතු එම්බාර්කේෂන් කාඩ් පත පුරුවන්නට පටන් ගත්තා. මා අනුව යමින් මා අසල සිටි යුවළද එම කාඩ් පත් අතට ගත්තා.
මීළඟ කොටසින් : සුදීකට ටිකට් ලැබෙයිද ? හැමෝම මාව ඇන්දුවාද ? මුම්බායි අත්දැකීම්ද සමග දෙවන කොටස. ඔන්න මාරයාට සෙනසුරාද කියවන්න පොස්ට් එකක් දැම්මා.