Showing posts sorted by relevance for query අයිවන්. Sort by date Show all posts
Showing posts sorted by relevance for query අයිවන්. Sort by date Show all posts

Thursday, January 5, 2012

උදාර ගුණදම් සිත දැරුවෝ ...... Those with great minds


a sri lankan girl in school uniform holding blue water lily
මගේ දහම් පාසල් ගමන ඉතා කෙටි එකක්. එයට බලපෑ බොහෝ හේතු තිබුනත්, ප්‍රධානම හේතුව වූයේ ගාථා කට පාඩම් කිරීමට මා තුල තිබු දැඩි අකමැත්ත්යි. මුලින්ම පලමු ශ්‍රේණියට මා ඇතුලත් කරන ලද අතර, පාසල් මිතුරන් සමග තව-තවත් දොඩමලු වීමට , ගඩාගෙඩි කෑමට, බෙම්තොට උඩකොටුව විහාරස්ථාන මිදුලෙහි තිබු රූස්ස අඹ ගස් දෙක හ සියඹළා ගසත් අකමැත්තෙන් හෝ දහම් පාසල් යැවීමට රුකුල් දුන් හේතු කාරණායි. මගේ අතිජාත මිත්‍රයා යන්නේ වෙනත් දහම් පාසලකට වීම මගේ දහම් පාසල් ගමන අඩාල කරන්නට තවත් හේතුවක් වුනා.

සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් 
සැනහෙන අප සිරිලක් දරුවෝ
දහම් පාසලේ සෙවනෙහි වැඩෙමින්
උදර ගුණ දම් සිත දැරුවෝ
අප වෙමු සිරි ලක බොදු දරුවෝ......


ඔය කියන ටික මට තාමත් කට පාඩම්. ඒක සිංදුවක්නේ. ඒකයි. ඒ දවස් වල යාන්ත්‍රිකව වගේ මමත් ඔය  සිංදුව  ඔහේ කියාගෙන ගියා. තවත් එකක් තිබුනා එකෙන් පදයක්-දෙකක් විතර මතකයි


හිමිදිරි උදයේ සීතල නල වැල්
මගෙ ගත පුබුදයි - මට සුව සලසයි

පුංචි කුරුල්ලෙක් නින්දෙන් අවදිව 
තැන තැන පියඹයි
ගී හඬ පතුරයි 


ඔන්න ඔහොහොම කලවමේ ටික ටික තමයි මගේ මතකය ඒ දවස් වලත් තිබුනේ. මට මේ ගීත දෙක නම් හොඳට පාඩම්. ගාථා එකක් වත් පාඩම් නැහැ. සතියෙන් - සතියට කල් දාලා ලොකු arrears එකක් ආවාම මම අම්මත් එක්ක කෙලින්ම මේ ගැන කථා කලා. 

"අනේ අම්මෙ මට නම් අයිත් දහම් පාසල් යන්න කියන්න එපා"

"ඈ ! ඒ මොකද පුතේ ?"

"මට නම් ගාථා පාඩම් කරලා එපා වෙලා"

"එහෙම කියල හරි යන්නෑ" ඒ ටික අම්ම කිව්වේ ටිකක් සැරෙන්.


කොහොම හරි මුලු දවස පුරාම ජනේලය උඩ වාඩි වෙල කකුල් දෙක කස-කස අඬලා-අඬල මම සටන දිනා ගත්තා. පුංචි කාලේ මගේ ඉල්ලීම් දිනා ගන්න මම පාවිච්චි කල හොඳම ක්‍රමය මේක තමයි. 


ඊට පස්සෙ මගේ ඉරිදා දිනය වෙන් වුනේ ලොකු අයියලා එක්ක ක්‍රිකට් ගහන්න. කිසිම කරදරයක් නෑ. අපේ අල්ලපු වත්තෙ කුමාර විද්‍යාල පිට්ටනිය තිබුනේ. ඒකට මහ ඉස්කෝලේ කියලත් කියනවා. ඒකත් මට ඒ කාලේ ලොකු ගැටලුවක්.  මෙ පුංචි ඉස්කෝලෙට මොකද "මහා" කියන්නෙ, මේකේ තියෙන්නේ ඉස්කෝල(ගොඩනැගිලි ) 2යි. අපේ ඉස්කෝලේ තියෙනව 10ක් විතර. බ්‍රිතාන්‍ය පාළන කාළයේ එහි විශාල ගොඩනැගිලි තිබු බැවින් එය මහ ඉස්කෝලය වූ බව මම පසුව තාත්තාගෙන් දැන ගත්තා.


ඔන්න ඔහොමා මගේ දහම් පාසල් ගමන ලත් තැනම ලොප් උනා. ඒත් පුංචි කාලේ දහම් පාසල් ගිය අයට වඩා මගේ හැසිරීම හොඳ බව මටම තේරුනේ, දහම් පාසල් කියන තරඟයේ දෙවෙනි ඉනිම ගහන්න ගියාම. මම කලින් කිව්ව අතිජාත මිත්‍රය ශිෂ්‍යත්වය පාස් වෙලා ධර්මශෝකයට ගියා. මුලදි ඒක අපි දෙන්නටම දරා ගන්න බැරි උනත් පසුව අපි සති අන්තයේ හමු වන මිතුරන් ලෙස යාලු මිත්‍ර කම පවත්වගෙන ගියා. හත් වෙනි පන්තියේදි විතර මගේ යාලුවා මට අමුතුම යෝජනවක් ගෙනාවා. මගේ යාලුවාගේ නම අයිවන් (ඒක එයගේ දෙවෙනි නම පලවෙනි නම කිව්වොත් මිනිහගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වෙන නිස ඒ නම ගත්තෙ නැත්තෙ ). 

"මචං උඹත් වරෙන්කෝ අපෙ දහම් පාසළට"

"අනේ මට නම් බෑ. උඹ ඕන කෙනෙක් එක්කන් පලයං"

"මොකක්ද බං. අනිත් හැමෝම යනවා. උඹට විතරයි බැරි"

"හරි මං ආවෙත් උඹ මට මොනවද දෙන්නේ"

"උඹට මම දෙනවා,... උඹට මම දෙ..න..වා ..."

"ඔය ඔය උඹට දෙන්න දෙයක් නෑනෙ. මට බෑ. කොහොමටත් මට ඔය ගාථා එක්ක සෙල්ලම නම් හරි යන්නෑ"


"උඹ බය වෙන්න එප අපේ පංතියට උගන්නනේ අයිරින් මිස්ගේ පුතා, උඹලගෙ අම්මගෙ යාලුවා නේද අයිරින් මිස්."

"හරි දැන් කියපං, උඹ මට මොනවද දෙන්නේ?"

"උඹට දෙන්නම් මෙන්න මෙ ජාතියේ පෑනක්".

"කෝ දීපං බලන්න"

"ආ හරි මම මේක තිය ගන්නම්. උඹ ගාව ඕන තරම් ඇතිනේ"

"ඕක දීපං බං මම ඕකෙන් ගොඩක් ලියල තියෙන්නේ. උඹට දෙන්නම් අලුත් එකක්"

"හරි දැන් කියපං මාව දහම් පාසල් ගෙනියන්න උඹට තියෙන අමාරුව මොකක්ද ?"

"ඒක රහසක්, උඹ වැඩේ හරියට කරොත් මම උඹට තව බඩුවක් දෙනවා"

"හරි දැන් උඹ මට මොකක්ද කරන්න කියන්නෙ ?"


"අපේ පංතියට පල්ලෙහා පන්තියෙ ඉන්නව කෙල්ලෙක්, මාර ලස්සනයි මචං. නම චන්දි. මම ඒකිගෙන් අහලයි තියෙන්නේ. ඒකි බෑ කියනවා. ඒකිට අර අපෙ ගෙවල් ලඟ ඉන්න සුභාෂයත් ට්‍රයි. ඌ ඒකිට කියලා. ධර්මාශෝකයට අපිත් එක්ක යන, උඹලගෙ ගෙවල් ගාව ඉන්න ලාලනිත් එක්ක මම යාලුයි කියලා. මම උඹ ගාවට ඒකිව එක්කන් එනවා. උඹට තියෙන්නෙ එහෙම එකක් නෑ කියන්න විතරයි."

"අනේ මෙ උඹ හදන්නෙ මට ගුටි කන වැඩක් අටවන්න තමයි. මට බෑ"

"මොකක්ද බං සුභාෂ්. උඹ මගේ හොඳම යාලුවානේ. වරෙංකෝ"

"හරි මම අම්මගෙන් අහල කියන්නම්"

"අම්ම බෑ කියන්නෑ. උඹ වරෙන්. මම යන්නම් මචං"

මම එදා ගෙදර ගිහින් අම්මට කිව්ව 

"මට අයිවන් කථා කලා ගණේ පංසළේ තියෙන දහම් පසලට  එන්න කියල"

"අන්න හොඳ ලමයි. තමන්ගේ යාලුවන්වත් හරි මගට ගන්න හදන හොඳ ලමයයෙක්. කවදා හරි ලොකු තැනකට යයි"


කොහොම කොහොම හරි මමත් ගිය දහම් පාසලට. අපේ ගෙදර ඉඳලා හැතැප්මක් විතර ඈතින් තමයි ගණේ පන්සල තියෙන්නේ.  උදේ කෑම අයිවන් අරන් ඇවිත් තිබුනා. මට මාර සැලකිලි. ඒත් මට හොඳටම බයයි. ගුටි කන්න වෙන වැඩක් තමයි. දැන් නලින්ද අයිය උගන්වනව මට මොනවත් ඇහෙන්නැති ගානයි. අතරින් පතර තමයි මගේ අවධානය පන්තියට එන්නෙ. කොහොමින් කොහොමින් හරි interval එකත් ආවා. දැන් නම් මගේ පපුව යකාගේ කම්මල වගෙ. ඔය අස්සෙ අපේ පන්තියෙ ඉස්සර හිටිය විජිතය මගේ උරිස්සට දඩොරියං කියල පාරක් ගහල අහනවා 

"යකෝ කවද ඉඳලද මූ උපාසකය වෙලා තියෙන්නේ කියලා"


"අනේ මං දන්නෑ බං මෙ අයිව..." කියනකොටම අයිවන් මගේ කට වැහුව අතින්. එහෙම කරලා මගෙ අතින් ඇදගෙන ගියා. චන්දිගෙ පන්තියට යමු කියල. මට නං දැං හොඳටම බයයි. මේ ඉන්න හැමෝම මාව දන්නව.


"උඹ ඔහොම පොඩ්ඩක් හිටපං" කියල අයිවන් ගියා කෙල්ලෙක් ලඟට. අපෝ මේකිද මෙ මහ ලස්සන කෙල්ල මම හිතිං මුමුන ගත්තා. ඔය එන්නෙ අයිවනයා.

"මචං හරි වැඩේනෙ, අද චන්දි ඇවිල්ලා නෑනේ"

"මේ මමනං ආයි එන්නෑ"

"අනේ බන් ඒකි ලබන සතියෙ එයි. මම පනිවිඩයකුත් යැව්ව"


ඊලඟ සතියෙත් අයිවන්ගේ බලවත් ඉල්ලීමට මම ගියා. උදේම අයිවනයගෙ මූන මල් වට්ටිය වගේ බබලනව. මට තේරුණා. අද ඇවිල්ල ඇති. 


පන්සිල් අරන් ඉවර වෙච්ච ගමන්ම නලින්ද අයිය ඉස්සි ඉස්සි බලනව. මම අයිවනයගෙ කනට කොඳුරල ඇහුව. "

මචං වැඩේ මාට්ටු වෙලාවත්ද දන්නෑ කියල"


"උඹට පිස්සු ඒ බලන්නෙ අක්කලගේ පන්තියේ ඉන්න අක්ක කෙනෙක් දිහා. නලින්ද අයිය එයාට ට්‍රයි"

"යකෝ මේක දහම් පාසලක්ද" අයිවනය අතින් මගෙ කට වැහුවා.

"සුභාෂ් ගාථාව පාඩම්ද ?" මම ඔලුව වැනුවා. 

"එහෙනම් කියන්න බලන්න"

මනො පුබ්බම් .... ගම....ධම්ම
මනො... මනො (සෙට්ටා අයිවනය කෙඳුරුවා) සෙට්ට ...

"සෙට්ට" යනව එලියට 


"අයියො දෙයියනේ මට වෙච්ච දෙයක්. මේ අයිවනයා දැම්මොත් දාන්නෙ ලෙඩක්ම තමයි. දැන් අව් රස්නෙට මගේ ඔලුවේ ගෑව පොල්තෙල් කන දෙපැත්තෙන් බේරෙනව. ඉඳපන් අද මම චන්දිට කියනව උඹ ලාලනිත් එක්ක යාලුයි කියලා"

ටාං....ටාං .... ටාං


interval වෙලාවත් ආවා අයිවනයා කෙලින්ම දුවගෙන ඇවිත් මගේ කරට අතදා ගත්තා. වරෙන් යන්න අපි ඉක්මනට අර වැඩේ ඉවරයක් කරමු. අපි දෙන්න චන්දිගේ පන්තියට එහා තියෙන මල් ආසනය ගාවට රවුමෙන් ගියා. මමත් මරන්න ගෙනියන හරකෙක් වගේ ගියා. අයිවනය චන්දිට(වෙන්න ඔනෑ) මාව පෙන්නලා කිව්ව 


"මෙයා ඇවිත් ඉන්නෙ මම අර කිව්ව සාක්කිය දෙන්න. දැන් හරිනේ. එහෙනම් අපි යන්නම්"


කොහොම හරි මගේ දහම් පාසල් දෙවෙනි ඉනිමත් ඔහොම අවසන් උනා. අම්ම මගෙන් මොනවත් ඇහුවේ නෑ. 



Sunday, March 30, 2014

මගේ මැතිවරණ මතක - 1977 ...... My Political Election Memories - 1977

චන්දය යන වචනය මගේ කණ වැකුණේ කවරදාකදයි නිසි මතකයක් නැතත්, එය 1970 සහ 1977 අතර කාලයේ විය යුතු බව හැඟෙයි. මන්ද මේ කාලසීමාව අතරතුර එවක පැවති චන්ද ක්‍රමයට අනුව අතුරුමතිවරණ කිහිපයක් පවත්වන්නට යෙදුන බැවිණි. එසේ වතුදු සාමාන්‍ය නිවසක සිටින බාලකයෙකුට එම වදන කන නොවැකිය හැක. එහෙත් තදින් දේශපාලනයට ඇලී ගැලී සිටි මගේ පියා නිසා එසේ විය යුතුයි යන්න මගේ විශ්වාසයයි. මගේ පියාගේ දේශපාලනය ගැන යමක් මෙහි සඳහන් නොකළහොත් මෙය කියවන ඔබට මා කරන බලවත් අසාධාරණයකි. එසේ නොකලද  මෙම සටහන කියවාගෙන යත්දී ඔබට එය වැටහෙනු ඇත. මගේ පියාගේ දේශපාලනයේ තිඹිරිගෙය එක්සත් ජාතික පක්ෂයයි. හෙතෙම ඩඩ්ලි සේනානායක නමැති මහත්මා දේශාපාලනයට ප්‍රමුඛ නාමය ඇති ශ්‍රී ලංකා දේශපාලනයේ නොමැකෙන සටහනක් තබා ගිය කෘතහස්ත නායකයාගේ චන්ද වේදිකාවේ කථාවක් කිරීමට භාග්‍යය ලැබූවෙකි. එක්දහස් නවසිය පනස් ගණන් වල බන්ඩාරණායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කලවිට එහි ආරම්භක සමාජියෙකු වන්නට ලැබුණු බව ඔහු පවසන්නේ මහත් ආඩම්බරයකිනි. එදා පටන් අද දක්වා ඔහු අදහන්නේ එම දේශපාලනයයි. නමුත් ඔහුගේ දෙටු පුත්‍රයා වූ මා කලින් කලට මගේ තීරණය වෙනස් කර ඇත.

1977 චන්දයයේ ප්‍රතිඵල නිකුත් වනතුරු එය මට චමත්කාරජනක අත්දැකීම වුවේය. කිසිදින දැකනැති සැරසිලි, පෙළපාලි සහ කැන්වසින් ව්‍යාපාර  මගේ  ප්‍රීති ප්‍රමෝදයට හේතු විය. ළඟටම ගෙනැවිත් දෙන විවිධ වර්ණ වලින් මුද්‍රිත පත්‍රිකා, පෝස්ටර් එකතු කිරීම මගේ විනෝදාංශය විය. කොළ පැහැති ඒවා තනිකරම කොළ පැහැතිය. නිල් නම් නිල් පැහැති ඒවාය. රතු ඒවාද කිහිපයක් විය. එකල වර්ණ මුද්‍රණය සිදු වූයේ නැති බැව් ඉන් පැහැදිලි වේ. පෝස්ටර්ද එක් වර්ණයක් යොදාගෙන සුදු කඩදාසියේ මුද්‍රණය කර තිබුණි. අදාළ අපේක්ෂකායේ නම යටින් සඳහන් වී නොතිබුණි නම් ඒ කාගේ ඒවාද යන්න පැහැදලි නැත. නමුත් එකල ආසන මට්ටමෙන් චන්ද විමසීම සිදු වූ නිසා, එක් එක් පාටින් නියෝජනය වන්නේ කුමන අපේක්ෂකාද යන්න සියළු දෙනා පැහැදිලිව දනී. එකල නිල් පාටින් ඇති පොස්ටරයෙහි අත සලකුණ ඉතා විශාලව ඇඳ ඇත. එය ඇල්බට් කාරියවසම් මහතාගේ එකකි. එය බලා අප ප්‍රදේශයේ එජාප අධාරකරුවන් පවසන්නේ,
"කාලා-කාලා බෙල්ලත් පෙන්නේ නැති හැටි"
යනුවෙනි. කොළපාට පෝස්ටරයේ අලියා ලකුණින් තරග කලේ රූපා කරුණාතිලක මහතායි. එතුමාද කාරියවසම් උන්නැහේගේ ප්‍රමාණයට සරිලන දේහ ලක්ෂණ පෙන්නුම් කළේය. නමුත් ඒ ගැන කතා කරන්නට ළමා වයසේ පසු වූ මගේ සොයුරිය සහ මා හැරෙන්නට කිසිවෙක් නොවීය. රතු පාටින් බෙන්තර - ඇල්පිටිය ආසනයට තරග කළේ පීටර් ජයසේකර මහතායි. රතු තරුවක් ඔහුගේ කාරයේ සවි කරගෙන ගිය ආකාරය මට අද මෙන් සිහි වේ. අපගේ නිවාස අසල වාහනය නතර කොට මගේ පියා හා වචනයක් දෙකක් කථා කරන්න ඔහු අමතක කලේ නැත. 

එකල දේශපාලනය අද හා සසඳන විට ඉතා ළදරු තත්වයේ තිබුණේ යයි අද දේශපාලනය කරන කෙනෙකුගෙන් ඇසුවහොත් පවසනු ඇත. මන්ද මා කලින් විස්තර කල කුඩා අත් පත්‍රිකා, නිවෙසින් නිවසට ගොස් බෙදීම, ආසනයක එකක් පමණ වන්නට වූ රැස්වීමක්ද, ඉඳ හිට පැවැත්වෙන පෙළපාලියක් හැරුණු කොට, ඔබ අද දකින දාහකුත් එකක් වූ දේ එදා නොවීය. මේ හැම වර්ණයකම පෝස්ටර් සහ පත්‍රිකා එකතු කිරීම එකල අපගේ විනෝදාංශය විනි. එකල  මගේ හොඳම මිත්‍රයා වූ සම්පත්ද, පාසලේ හොඳම මිත්‍රයා වූ අයිවන්ද සතුව මෙවැනිම එකතුවක් විය. අප ළඟ වැඩිපුර තිබෙන පත්‍රිකා හා පෝස්ටර් හුවමාරුවද ඒ කාලයේ කදිමට සිදු විය. සමහරු ඉඳහිට මේවා හොරකම් කල අවස්ථාද ඇත. මා වැඩිපුර මනාපයක් දැක්වූයේ මේ චන්ද ලකුණු හැකිතරම් එකතු කර ගැනීමටය. අත, අලියා, තරුව, ඇස වැනි ලකුණු මා සතුව තිබූ බව තවමත් සිහිපත් වේ. 

සිරිමාවෝ මැතිනිය පැමිණෙන බෙන්තොට කහඹිලියාකන්ද හන්දියේ පැවැත්වූ අවසන් මැතිවරණ ප්‍රචාරක රැලියට මගේ පියා බොහෝ කැපවීමෙන් වැඩ කළේය. මේ කාලයේ නිතරම ඔහුගේ උගුර බැරැන්ඩි වී තිබුණේ අද මෙන් පහසුකම් නොවූ එදා කුඩා රැස්වීම් ඇමතීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එකල ඔහුගේ දිවග නිතර රැඳී වචන මාලාවක් වූයේ "බෙන්තර - ඉඳුරුව, පහලගම් හය" යන්නය. මට එකල මේවා ප්‍රහෙලිකාවන්ය. මගේ මවගේ නිවසට යායුතුව තිබුණේ ඉඳුරුව පසු කරමිනි. එනිසා ඉඳුරුවු වූ කලී ගමක නමක් බව මා තේරුම් ගත්තද, පහල ගම් හය යනුවෙන් සඳහන් කරන්නේ පොලොව මට්ටමට පහලින් ඇති ගම් කිහිපයක් බව මගේ වැටහීම විය. අක්කාටද එයට වඩා වැඩි දැනුමක් ඒ ගැන නොතිබුණි. ඉහත කී රැලිය සඳහා වේදිකාව තනන්ට භාවිතා කලේ අපගේ නිවසේ වහල ගසන්නට එක්රැස් කරගෙන තිබූ පොල් පරාල සහ යට ලී කිහිපකි. සිරිමාවෝ මැතිනියට මල් බොකේ එකක් දීම සඳහා එකල වයස දහයක් වූ මගේ සොයුරිය තෝරාගෙන ඇති බව දැන ගත්තේ දෙමව්පියන් කරන කථා වලට රහසින් කන් දීමෙනි. එකල වැඩිහිටියන් කථා කරන අසලක ගැවසීමට හෝ ඒවාට ප්‍රතිචාර දැක්වීම සපුරා තහනම් කටයුතුය. 

නිල් පාට මල් බොකේ එක තනන්නේ  අපේ නිවසට ආ ගිය මගේ පියාගේ හිතවෙකුගේ බිරිඳ බවත්, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව හෙට ඔහු පැමිණි විට ලබා දෙන බවත් පියා පවසනු ඇසිනි. ගුරුවරුන්ටද දේශපාලන සංවාදයක් කරන්නට අවශ්‍ය වූ විට ඔවුන් අපට පවසන්නේ කැමති චිත්‍රයක් අඳින ලෙසය. අප එවිට කරන්නේ දේශපාලන වේදිකාවක් චිත්‍රයට නැගීමයි. අප අඳින වේදිකාවට අනුව ගුරුබවතුන්ට අපගේ ගෙදර දේශපාලනය කියවීමට හැකිය. ඒ අප අඳින්නේ අපගේ දෙමාපියන්ගේ දේශපාලාන දෘෂ්ඨියට අදාල ලකුණ සහ පාටට සරිලන වේදිකා බැවිනි. අපගේ නිවසට ආසන්නව අලුත්ගම නගර පිහිටා තිබුණි. එනිසා එහි පැවැත්වූ රැස්වීමක්ද බලන්නට අපත් කැටුව, අම්මා, තාත්තා පුංචි අම්මලා කිහිප දෙනෙකුද ගමන් ගති. පයින් යන ගමන මා ඉතා ඇලුම් කල දෙයක් වූයේ ගඟ හරහා පාළම පසුකර ගමන් කරන්නට සිදු වූ නිසාය. මෙවැනි ගමනකදී අප සෙවන සෙවන සහ ආරක්‍ෂිත තැනක නවතා අපේ පියා රැස්වීමෙන් ඉදිරිපසට ගමන් කරන්නේ තමන් දන්නා කියන මිතුරන් සමග එක්වී රස්වේම නැරඹීමටය. බේරුවල ආසනය බහු-ආසනයක් වූ බැවින් එයින් ආසන දෙකක් හිමි වන බව පියා පවසා සිටි විට මා අසා සිටියේ "ආසන කියන්නේ පුටු නේද ? එතකොට ඔච්චර මහන්සි වෙලත් ඕගොල්ලොන්ට පුටු දෙකද හම්බ වෙන්නේ?" යන්නයි. එවිට මවගේ මුහුණ බලා සිනාසෙනු හැර පියා යමක් පවසන්නේ නැත. 

මල් බොකේ එකට අවශ්‍ය ලැයිස්තුව පියාගේ මිතුරා ලබා දුන් විට එය දිග හැර කියවා මද සිනහවක් මුවේ රඳවා ගත මගේ පියා මිතුරාගෙන් විමසා සිටියේ

"මල් බොකේ එක හදන්න බිත්තර හයක්ම ඕනේ වෙනවද ?"
"හා... හා.. ඕක මෙහාට දෙන්න මහත්තයා මට වැරදිලා දීලා තියෙන්නේ අපේ නෝනා කේක් එකක් හදන්න ගේන්න කියපු ලිස්ට් වෙන්න ඇති. ... ආ... මේ තියෙන්නේ හරි එක"
සවස  දෙකට පැවැත්වූ එම රැස්වීම පිලිබඳ සිහිනයක් මෙන් මතකයක් ,මගේ සිතේ ඇත. එය පවත්වා මිනිත්තු ගණනකින් ධාරනිපාත වර්ෂාවක් අද හැලුනේය. එම චන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝදාපාළු වී ගියේ එම වැස්සට කාණු පිරී ඉතිරි ගලා ගිය ජාල ධාරවාන්ට අසු වූ පරඬැලා පතක් මෙනි. මගේ සොයුරිය මැතිනියට මල් බොකේ එක ලබා දෙන ඡායාරූපයක් බොහෝ කලක් අප නිවසේ තිබුණද, කාලයත් සමග ඒවා විනාෂා වී ගොසිනි. චන්ද ප්‍රතිඵල එන්නට පෙර එම අවස්ථාව ඉතා දුර්ලභ එකක් බවත්, එය සොයුරියගේ වාසනාවක් බවත් බොහෝ දෙනා පවසා සිටියෝය. නමුත් මැතිනිය දෙවන වරට අගමැති වූ පසු ඇයගේ අතින් සහතිකයක් ගන්නට ලැබුණු දුර්ලභ අවස්ථාවක් මට මග හැරී ගියේය. මහජන බැංකුවට එක් වූ විගස ක්‍රිකට් තරගාවලියක අවසාන තරගයට ක්‍රීඩා කිරීමට මට අවස්ථාව උදා විනි. එහි වැඩිම ලකුණු ලාභියා වීමට වාසනාවන්ත වුවත්, අවසාන තරගයට අප හා ක්‍රීඩා කල ජාතික රූපවාහිනී කණ්ඩායමේ අවසාන විකට්ටුවට ක්‍රීඩා කල උපාලි අරඹවෙල සහ සගයා, අපගේ අතටම පන්දුව ලබා දී ලකුණු තුනක් උදුරා ගැනීම නිසා අපට ශූරතාව අහිමි විය. අතට ලැබුණු පන්දුව කැලෑවට විසි කල අයට මා අදත් සිතින් දොස් තබන්නේ, එම පන්දුව රැගෙන කඩුල්ලට ආවා නම්, මා මුලින්ම ලබන්නේ ශූරතාව දිනාගත් සහතිකයක් බැවිණි. මැතිනිය අතින් එය ලබාගන්නා ඡායාරූපයක් මගේ පියාට පෙන්වූවා නම් ඔහු නගන සතුටු කඳුළු ප්‍රමාණය මට සිතා ගත හැකිය. නමුත් ඒ වනවිට මා ශාඛා පරිගණකගත කිරීම සඳහා ඇඹිලිපිටියට ගොස් සිටි නිසා, එම වර්ණ රාත්‍රියට සහභාගී වීමට නොහැකි විය. එම සහතිකය තවමත් එවකට අප ක්‍රීඩා සමාජයේ එවකට ලේකම් වරයා වූ ගයා පෙරේරා මහතා ළඟ ඇති බව දනිමි. එය අතුරු කතාවකි.

එම රැස්වීමට පැමිණි ආරියවංශ පතිරාජ කවියා අලියා විසුළුවට ලක් කර හිටිවන කවි ගායනා කලබව මට හොඳින්ම මතක තිබේ. මීට අමතරව අනගාරික ජී.අයි.ඩී. ධර්මසිරි මහතා ඇතුළු කණ්ඩායම අප නිවසට කැඳවා පාටියක් පැවැත්වීය. 

එකල අප පදිංචි වී සිටියේ අපගේ නිවසේ පිටුපසට වන්නට තිබෙන කාමර දෙකක් පමණක් සදා ගෙනය. පාරේ සිට අඩි හතළිහක් පමණ ඈතින් තිබූ එම කොටසේ ඉදිරිපස බිත්තියේ ඇල්බට් කාරියවසම් මහතාගේ පෝස්ටරයක් සහ අත ලකුණ සහිත පෝස්ටරයක් අලවා තිබුණි. මෝටර් සයිකලයෙන් පැමිණි පොලිස් නිලදරුවෙක් එය ඉවත් කරන ලෙස දන්වා සිටියත්, මගේ පියා පවසා සිටියේ පෝස්ටර් ඇලවිය නොහැක්කේ ප්‍රසිද්ධ ස්ථාන වල පමණක් බවය. නමුත් ඉන්පසු ඉතා තදින් කථා කල නිලධාරියා එය වහාම ඉවත් කරන ලෙස දන්වා සිටි විට, මගේ මව එය ගලවා දැමීය. ආණ්ඩුව විසුරුවලා නිසා එහෙම තර්ජනය කල බවද, තව ටික දිනකින් ඕවා නැතිවන බවද පැවසීය. ඉදිරියට පැමිණෙන්නේ අපට ඉතා අපල කාලයක් බව ඔහු නොදැන සිටියාද, නැතිනම් එසේ සිතන්නට අකමැති වූවාද යන්න ගැටලුවකි.

චන්දෙ ප්‍රතිඵල අහන්නේ නැන්දලාගේ ගෙදර බව මව පැවසු විට, මට එය මහත් ප්‍රහේලිකාවක් විය.

"මොනවද අහන්න තියෙන්නේ"

"ප්‍රතිඵල"

"කාගෙන්ද අහන්නේ"

"අහන්නේ රේඩියෝ එකෙන්"

"ඉතිං මේ තියෙන්නේ රේඩියෝ එකක්"

"ඒ වුණාට පුතේ, ප්‍රතිඵල යන්නේ රෑටනේ, අපිට මෙහෙ ඉන්න  බයයි"

"ඒ මොකද බය ? අනිත් දවස් වලත් ඉන්නේ"

"ඔයාට මේවා තේරෙන්නේ නෑ. ප්‍රතිඵල හොඳ නැති වුනොත් අපිට ගෙදර ඉන්න හොඳ නෑ. ජයසේන බාප්පා තමයි කිව්වේ එහෙ ඉන්න කියලා"

ඒ කාලේ මගේ වීරයා වෙලා හිටිය ජයසේන බාප්පා කියන ඕනෑම දෙයක් හරි බව මා විස්වාස කළ නිසා, එතැනින් එහාට කිසිවක් අසන්නට මා උත්සාහ කලේ නැත. ඇඳිරි වැටෙන්නට හැර  අපගේ නිවසින් මීටර් සීයක් පමණ ඈතින් ඇති නැන්දලාගේ නිවසට පයින්ම ගියේ අපගේ නිවසේ ඉදිරිපසින් නොව පිටුපස ඇති මහ ඉස්කෝල පිට්ටනිය හරහා ගොසිනි. එය ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීමක් විය. එකල මේ හැම දෙයක්ම ප්‍රශ්න කරන්නට ගොස් මා බැණුම් ඇසූ වාර අනන්තය. නැන්ද යනු මගේ පියාගේ එකම සොහොයුරියයි. ඇයට පුතුන් හතරදෙනෙක් වූහ. ඔවුන් සියළු දෙනා හැඩි දැඩි තරුණයන් විය. එනිසා අප ප්‍රදේශයේ කිසිවකු ඔවුන් සමග කලහයට නොආවේය. අප එහි යන්නට හේතු වූයේ එයම බව පසුව තේරුම් ගතිමි.

නැන්දලාගේ ගෙදර නිවසකට වඩා පොදු විනෝදාස්වාදය සඳහා වෙන්වූ තැනක් මෙන් විය. පල්ලියේ ගෙදර යනුවෙන් කවුරුත් හැඳින්වූ එම නිවසේ දහවල් කාලයේ බොහෝ දෙනාගෙන් පිරී ඉතිරි පවතී. එම නිවාස සහ ඉඩම අතීතයේදී ඕලන්ද සභාවට අයිති ස්ථානයක් විය. අප දන්නා කාලයේ සිට එහි ඕලන්ද ආකෘතියේ පල්ලියක් විය. පසුව එය ගරා වැටීමත් සමග, එහි වූ කොස් බංකු දෙකක් අපේ නිවසටද ලැබිණි. ඒවා උස්සන්නට අලි මාළු කෑ යුතු බව එකල බොහෝ දෙනාගේ මතය විය. නැන්දා විවාහ වී සිටියේ ජේමිස් නමැති ගැටහැත්තේ උපන් අතිදක්ෂ සූපවෙදියෙකු සමගය. ඔහු මුලින්ම බෙන්තොට තානායමේ සේවය කර ඇත. පසුව බෙන්තොට ජෑම් මෝල නමැති, ජෑම් නිෂ්පාදනාගාරයේ ප්‍රධාන කෝකියා(බාස්) වශයෙන් සේවය කර ඇත. එකල එංගලන්තයට ගිය වෛද්‍යවරයෙකුට මාස ගණනක් කල් තබා ගන්නට හැකිවන පරිදි ඔහු සාදා දුන් සීනි සම්බලය ගැන ඉංග්‍රීසි පත්තර වල වාර්තා තිබූ බව, මස්සිනා ගැන ඉතා ආඩම්බරයෙන් කථා කරන මගේ පියා පවසයි. ජේමිස් මාමා පෝලියෝ රෝගයට ගොදුරුව එක් පාදයක් අද්දමින් ගමන් ගන්නා අකාරය මට තවමත් සිහි වේ. ඔහුගේ ආරයට යමින් ඔහුගේ වැඩිමහල් පුතා වූ ජයතිස්ස අයියා, පියසිරි අයියා සහ විජේසේන අයියා සූප ශාස්ත්‍රයට යොමුව සංචාරක හෝටල් වල සේවය කළහ. මින් පියසිරි අයියා පිළිබඳව මෑතකදී මාධ්‍ය කථා කරන්නට පටන් ගෙන තිබුණි. ඔහු කලක් ආකාස කඩේ කෝකියකු ලෙස සේවය කර, පසුව ලලිත් කොතලාවල මහතාගේ පුද්ගලික කෝකියා ලෙසද, මාලදිවයිනේ ගෝල්ඩන් රොක් කැෆේ හීද, දැන් රජ බොජුන් හී ප්‍රධාන සූප වේදියා ලෙසද කටයුතු කරයි. දිනක් මා ඔහු මුණගැසෙන්නට එහි ගිය විට, එහි තීරයකට මුවා වී බලා පසුව මා මුණ ගැසීමට පැමිණියේය. එසේ කලේ ඇයිදැයි මා ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ

"අරටුව පත්තරෙන් එනවා රෙසිපි ඉල්ලාගෙන, ඔහොම දෙන්න රෙසිපි තියෙන්නේ කා ලඟද බං" යනුවෙනි.

එයද අතුරු කතාවකි. අපේ නැන්දාගේ මෙම පුතුන් නොවන්නට 1977 දී අප මරු තුරුලට යන්නට ඉඩ තිබුණි. ප්‍රතිඵල අසන්නට තිහකට ආසන්න පිරිසක් එහි විය. රේඩියෝව වටා වටවුණු පිරිසට ආලෝකය  දුන්නේ පැට්‍රොමැක්ස් ලාම්පුව්කි. එයට හුලං ගැසීමට එදින බොහෝ දෙනෙකි. ඒවාගේ එලිය තරම් එළියක් බල්බ් වලින් නොලැබෙන බව මගේ විශ්වාසයයි. රජයේ ගැසට් පත්‍රයක් සොයාගෙන තිබුණේ, සියලුම ආසන සඳහා වූ නම් ලැයිස්තුව එහි වූ නිසාය. එහි මුලින්ම ප්‍රතිඵල සටහන් කරන්නට ඉදිරිපත් වූයේ මගේ පියාය. මුල්ම ප්‍රතිඵලය මගේ මතකය නිවැරදි නම් පදිරිප්පු නමැති මඩකලපු දිස්ත්‍රික්කයේ කුඩා ආසනයේය. එක හැල්මේ එක්සත් ජාතික පක්ෂය දිනන විට මගේ පියා පැත්තකට විණි. ඉන් පසු ප්‍රතිඵල සටහන් කලේ රණසිංහ අයියායි. කිසිම ආසනයක් තාත්තාගේ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාත්‍රියේදී නොලැබිණි.

"මිනිස්සු පරිප්පු කන්න චන්දෙ දුන්නා එහෙනං"

යනුවෙන් මගේ පියා පැවසීය. මැතිනියගේ ආණ්ඩුවේ පැවති සංවෘත ආර්ථික රටාව නිසා රටේ ඇති වූ හාල්, පිටි, සීනි හිඟය නිසා ජනතාව බොහෝ අපහසුතාවන්ට පත් වූ පසු මෙවැනි ප්‍රතිඵල ලැබීම සාමාන්‍ය කරුණක් ලෙස පසුව මා දැන ගත්තේ පුවත් පත් වලිනි. හාත්පස වෙඩි පුපුරන්නා සේ ඇසෙන රතිඤ්ඤො හඬ කන් පිපිරෙන තරමට විය. උදෑසන වනවිට  දැඩි එජාප පාක්ෂිකයෙකු වූ අප නිවසට ඉදිරිපස නිවසේ වූ ඊබට් අංකල් බීමතින් කමිසයක් නොහැඳ, රේඩියෝව කරේ තබාගෙන පාරදිගේ එහා මෙහා ගමන් කරන අයුරු අප බලා සිටියේ විමතියෙනි. කුඩා කාලයේ උගුරේ තෙල් ටිකක් ගාගෙන අපව ගිලිනවා යනුවෙන් මේ කාල වර්ණ පුද්ගලයා අප බියවැද්දීය. ඔහු මගේ පියා සමග ජම්මාන්ත වයිරක්කාරයෙක් සේ හැසිරිණි. මගේ පියාට එලියට එන්නයි නැන්දාගේ නිවාස ඉදිරිපස හන්දියේ සිට අභියෝග කළේය. මගේ පියා ආයාසයෙන් කෝපය මැඩගෙන සිටින අයුරු අප බලා සිටියේ ශෝකයෙනි.

5/6 ක බලයක් ලබාගත් ජේ.ආර්.ජයවර්ධන මහතාගේ රජය සතියක් පොලීසියට නිවාඩු ලබා දෙන බව පැවසීමෙන්, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයට උඩ-ගෙඩි දීමක් කළේය. අපට දවස් දහයකට පසු අපගේ නිවසට යාමට හැකි විය. එහෙත් අප පසුවූයේ භීතියෙන් බව පැවසිය යුතුය. එය එල්.ටී.ටිය සිටින ආසන්නයේ සිංහල ගමක වසනව වැනිය. සෑමදිනකම බීමතින් පැමිණෙන ඊබට් අංකල් පවසන ලද කුණුහර්ප මාලාව අපට ඒ විෂය පිලිබඳ විශ්ව විද්‍යාලයක් බඳු විය. අපගේ නිවසේ පිටුපසට ඇසෙන්නට තරම් ප්‍රමාණයකින් ඔවුන්ගේ රේඩියෝව ක්‍රියාත්මක විය. අපේ නිවස අසලින් පෙළපාලි යනවිට ජයසේන බාප්පා  බයිසිකලයෙන් පැමිණ, අපගේ ගේට්ටුව හරස් කරගෙන නවතින්නේය. නැතිනම ඔලුවට බාල්දි දමාගත්, කොළ අතු ඇඳගත් වනචාරීන් ලෙස හැසුරුණු පිරිස, බොහෝ අමාරුවෙන් කළ දවස ගෙවූ මේ රජයේ සේවකයාගේ නිවාස පොළොවට සමතලා කරනවා නියතය.

1977 Sri Lanka General Election Results
පින්තූරය ගත්තේ : www.wikipedia.org
ප්‍රතිඵලය මේ පින්තූරයෙන් පෙනෙන අකාරයේ විය. නිල්පාටින් දක්වා ඇත්තේ මැදවච්චිය, ආනමඩුව, ගම්පහ, අත්තනගල්ල, කොත්මලේ, නුවර එලිය-මස්කෙළිය(බහු ආසනය), මැද කොළඹ(බහු ආසනය), හාරිස්පත්තුව(කුඩය ලකුණින්) යන ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජයගත් ආසනය.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...