Wednesday, May 1, 2013

මගේ ප්‍රථම රැකියාව ....

අද ලෝක කම්කරු දිනයයි. මෙහි ඉතිහාසය පිලිබඳ හැම කෙනෙක්ම දන්නවා ඇතැයි විශ්වාස කරමි. රටක සාර්ථකත්වයට හේතු වන්නේ ශ්‍රම බලකායයි. හැම කෙනෙක්ම කරන රැකියාව රටක, ආයතනයක ඉදිරි ගමනට බලපානවා. ඊයේ සවස මා රසවත් මාළුපාන් ගෙඩියක් මිලදී ගන්න Colombo City Hotel නමැති ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපස ඇති හෝටලයේ කෙටි කෑම කවුළුව වෙත් ගොස් සිටි වෙලාවේත් මගේ හිතට මේ අදහස ආව. ලොකු කුණු කුඩය පුරවා තිබෙන කා අවසන් පිලුණුද, වෙනත් අහක දමන දෑද පිරි එම කුණු  කන්දරාව පසෙකට ගෙන එය නැවතත් තවත් කුණු බෑගයක දමා, කුණු බඳුනට තවත් කුණු බෑගයක් දමා අර කුණු මල්ල කරේ තබාගෙන  පිටව ගිය පවිත්‍රතා සේවකයා පිටව ගියා. මේ මොහොතේ මගේ හිතට ආ කාරණය තමයි "හැම දෙනාගේ රැකියා එක ලෙස වැදගත් බව" ඒ එක්කම මගේ හිතට ආ තව කතාවක් මෙහි සඳහන් කරන්නම්.

මා වරක් "සේවා අනර්ඝතාව" නමැති අප ආයතනයේ සේවකයන්ට පැවැත්වූ පුහුණු සැසියකට සහභාගී වුණා. ඒ දේශකයා අපූරු කතාවක් කිව්වා. මෙහි කාලය දීපය දේශය ගැන කිසිම සඳහනක් නෑ. 

එක්තරා උසාවියක නඩු කාර උන්නාන්සේ පැමිණෙන විට මල් පෝච්චි වලට වතුර දමන සේවකයා දැක "Good Morning your Honor"  යනුවෙන් එතුමාට සෙස්සන් ආමන්ත්‍රණය කරන ආකාරයෙන් එම සේවකයාට සුබ උදෑසනක් පැතුවාලු. ඒ වගේම ඔහු දකින සෑම අවස්ථාවක එසේ ගෞරව කරන්නට එතුමා අමතක කරන්නේ නැතිලු. 
එසේ කිරීමෙන් අර නඩුකාර උන්නාන්සේ කරන්නේ සැමදෙනාගේ රැකියා වල වැදගත් භාවය පසක් කරන්නලු.  බොහෝ දෙනා රැකියාවේ තරාතිරම අනුව මිනිසුන් වෙන් කරන මේ කාලයේ අප හැමෝටම මෙහි හොඳ ආදර්ශයක් තිබෙනවා.  කුණු ගෙනයන නගරසභා සේවකයි සතියක් වැඩ නොකලොත් ? මුළු රටම කුණු ගඳින් පිරී ඉතිරී යනු ඇත. එලෙසම සෑම නිවසකම කුණු කන්දක් එකතු වනු ඇත. 

මෙය සරල පුංචි උදාහරණයක් පමණයි. අපේ රටේ තරාතිරම අනුව මිනිසුන්ට සලකන නිසා තමයි හැම දේකින්ම මිනිසුන් ලොකුකම පෙන්වීමට උත්සාහ කරන්නේ. ඇඳුම, ජංගම දුරකථනය සහ වෙනත් ආම්පන්න, මෝටර් රථය යන ආදී සියලුම දෙයින් තමන් ඉන්නවාට වඩා තත්වයක් පෙන්වන්න උත්සාහ කරන්නේ සමාජයේ විශේෂ සැලකිලි ලබා ගැනීමටයි. මේ රටේ පවතින ක්‍රමය තුල එසේ කිරීමේ වරදක්ද නැත. 

පහුගිය සටහනෙන් මා රජදහනි නමැති සුඛෝපභෝගී දුම්රිය මැදිරිය ගැන විස්තර කලා. එය ඔබට මතක ඇතැයි විශ්වාස කරමි. දෙහිවලින් දුම්රියට ගොඩ වත්දීත් මා පසු වුයේ තරමක චකිතයකිනි. එයට හේතුව බෙන්තොට දුම්රිය ස්ථානයෙන් මගේ දියණිය එක් කර ගැනීමට තිබීමය. කොතැනක් හෝ වරදක් සිදු වී ඇයට වෙලාවට දුම්රිය ස්ථානයට එන්නට නොහැකි වුවා නම් මා දුම්රියෙන් බැස ඇයත් සමග ආපසු යන්නට  තීරණය කර සිටියෙමි. එසේ දුම්රියට ගොඩ වූ මට කොහේදී හෝ දැක ඇති එක්තරා විශ්‍රාමික වයසේ පුද්ගලයෙක් පිටුපසම පේලියේ සිටිනා බව වැටහුණා. එහෙත් දියණිය ගොඩ වනතුරු මේ කිසිම දෙයක් ගැන මගේ සිතට නිනව්වක් ඇති වුණේ නෑ.

එහෙත් ඉන්නා අතරතුර මා ඔහු කවුදැයි සිතින් නිගමනයකට එන්නට උත්සාහ කලා. මොහු අනිවාර්යෙන්ම මහජන බැංකුවේ විශ්‍රාමික නිලධාරියෙකි. ඔහුත් සමග නිතරම දොඩමලු වන අනෙක් පස අසුනේ සිටින පුද්ගලයාද එම වයසේම කෙනෙකි. මොවුන් කුමක් හෝ කරුණක් සඳහා මාතර බලා යනවා ඇත. ඔවුන් දෙදෙනා එහි සේවය කරන තරුණයන් දෙදෙනාගෙන නොයෙක් ප්‍රශ්න අසති. රත්මලානෙන් දුම්රියට ගොඩ වූ අනෙක් පුද්ගලයා ආ වෙලවාවේ සිට තමාගේ ටැබ්ලට් පරිඝනකයෙන් කුමක් හෝ කියවයි. ඔහුගේ බාහිර පෙනුමෙන් සරසවි ඇදුරු කෙනෙකු බව පසක් විය. ඊට් අමතරව මෙම මැදිරියේ සිටියේ අලුත විවාහ වූ දමිළ යුවලකි. 

අර පුද්ගලයා අඩුම වශයෙන් ජේෂ්ඨ කලමනාකරුවකුව සිට විශ්‍රාම ගත්තෙකු බව මට සිතුනේ, මෙවැනි මුදලක් ගෙවා ගමන් කරන්න නම් සාමාන්‍ය විශ්‍රාමිකයන් ඉදිරිපත් නොවන බැවිනි. විටෙක මට ඔහු අප නිවස පිහටි මාර්ගයේ ඉහල පෙදෙසේ සිටින කෝටිපති දමිළ ව්‍යාපාරිකයාදැයි සැක ඇති වේ. ඔහු මට මුණ ගැහෙන්නේ උදෑසන ඇවිදින්නට ගිය විටය. ඔහු කිසි දා මුහුණ බලා සිනාසේන්නෙකු නොවේ. මාද ඔහුගේ මුහුණ දෙස බැලුවද සිනා වන්නේ නැත. මේ ඔහුද ? මැදිරියේ ඇති වැසිකිලියට ගොස් එන අතරතුර ඔහු මා හා සිනාසුනි. මා කතා කලෙමි. විශ්‍රාමිකයන්ට විශේෂයෙන් සැලකීම මගේ සිරිතයි. 

මම : මම කොහේදී හරි දැකල තියෙනවා

ඔහු : ඔබතුමා කොහෙද වැඩ කරන්නේ ?

මම : මම මහජන බැංකුවේ. ඔබතුමා ?

ඔහු : මමත් මහජන බැංකුවේ.

මම : අනේ සොරි. මට එක පාරටම මතක් වුනේ නෑ. කොහෙද ? බ්‍රාන්ච් එක ?

ඔහු : හෙඩ් ඔෆිස් එකේ.

මම : මොකක්ද ෆ්ලෝර් එක ?

ඔහු : මම තුන්වෙනි තට්ටුවේ. 

මම කල්පනාවට වැටුනෙමි. තුවෙනි තට්ටුවේ තිබෙන්නේ කැන්ටිම සහ ජාතික සේවක සංගම් කාර්යාලයයි. ඊට අමතරව තවත් දෙපාර්තමේන්තුවක කොටසක් ඇත. අනිවාර්යෙන්ම මේ එම කොටසේ අයෙකි.

මම : තුන් වෙනි තට්ටුවේ ......

ඔහු : ආපන ශාලාවේ.

එක පාරටම මගේ මතකය අවධි විය. "මේ අර අප පානය කර තබන තේ කෝප්ප එකතු කර මේස අස්-පස් කරන අන්කල් නේ" යන්න මගේ හිතට ගලා ආවා. නමුත් ඔහුගේ පෙනුම හොඳ රැකියාවක් කර විශ්‍රාම ගත් අයෙකුගේ වගේය. මා වෙනසක් නොකර ඔහුත් සමග සංවාදය පවත්වාගෙන යන්න වග බලා ගත්තා.

මම : ඉතිං මේ කොහෙද යන්නේ ?

ඔහු : අතන ඉන්නේ ........(මහත්මයාගේ නම පවසයි). ඒ මහත්තයාගේ උදව්වට තමයි යන්නේ. රට ඉඳලා ආවේ. එහෙම ආවාම මාව තමයි එක්කන් යන්නේ. සර් කොහේද යන්නේ ?

මම : අපි යනවා කොග්ගල. අන්කල් දන්නවද අයි.ටී. ඩිපාට්මන්ට් එක. අර පලවෙනි තට්ටුවෙයි එකොලොස් වෙනි තට්ටුවෙයි තියෙන්නේ. ඒකෙන් ට්‍රිප් එකක් යනවා කොග්ගල. අනිත් අය බස් එකේ යනවා. මෙන්න මෙයාව ගන්න ඕනේ නිසා මම කෝච්චියෙන් ආවේ. 

ඔහු : අපරාදේ සර් යන්න තිබුනේ යාලට.

මම : අපි කලින් වතාවක් ගියා. ඒත් පොඩි අය වැඩි හින්දා වෙන්න ඇති කොග්ගල යන්නේ.

ඔහු තවත් බොහෝ දේ මා සමග කතා කළා. ඒවා මා කියාගෙන ආ කතාවට වැදගත් නැති නිසා මෙහි සඳහන් නොකරමි. නමුත් බාහිර පෙනුමින් මිනිසුන් මැනීමට යාම සහ යොදා ගන්නා දේ වලින් මිනිසුන් මනින අප වැනි රටක අයට අපූරු පාඩමක් කැන්ටිමේ අන්කල් උගන්වා ඇත. අප රටේ තිබෙන එවැනි මානසික තත්ත්ව නිසා කුඩා රැකියා කිරීමට බොහෝ දෙනා මැලි වේ. ඒ සමාජයෙන් සිදු වන දෙකේ පන්තියේ සැලකිලි නිසාය. නැතිනම් කවුරුත් උපයන්නේ මුදල්ය. බාහිර සමාජයේදී සියලු දෙනා පාරිභෝගිකයෝය. 

මා අසා ඇති පරිදි ඔස්ට්‍රේලියාව වැනි රටවල රාත්‍රී සමාජ ශාලා (Club) වැනි ස්ථාන වලදී රැකියා මට්ටමක් නැතිව කව්රුත් සුහදව බියර් වීදුරුවක් තොල ගාති. එහිදී ජෝන්ගේ ඩොලර් පීසා හලේ පීසා බෙදා උපයා ගත් ඒවාද ? පීටර්ගේ මුදල් බැංකුවක කළමනාකරු ලෙස උපයාගත් ඒවාද යන්න කිසිවකුට අදාල කරුණක් නොවේ. 

මේ ලිපිය ලියන්නට මට අදහස ආවේ සිංහල රාජ්ගේ වසබීම සහ වසදීම නමැති සටහන කියවන විටය. සාමාන්‍යපෙළ අවසන් වී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින කාලයේ මාද නගර සභාවේ සුළු රැකියාවක් කලෙමි. එය නිවාස ත්කසේරු කරන්නට යන රජයේ තක්සේරු කරුවන් සමග ගොස් නිවෙස් මැනීමට ටේප් එක කියවීමය. අප ගමන් කරන්නේ පාපැදි වලිනි. මා යන පාපැදිය සහ මා වැනිම ටේප් එකේ අනිත් කෙලවර අල්ලන අනෙක් සේවකයාගේ පාපැදි වල එම නිලධාරීන්ද නැගී අදාල මාර්ගයට ගොස් සියලුම නිවෙස් මැනගෙන එන්නෙමු. එකල මට එය රැකියාවකට වඩා සතුටට කාරනාවක් වුයේ එසේ යනවිට ලැබුන අත්දැකීම් නිසාය. කෙනෙකු මෙම නිලදාරීන් දැක සැඟවේ, තවත් සමහරු අඩු තක්සේරු අගයක් දමා දෙන ලෙස බැගෑපත් වේ. බොහෝ අය සංග්‍රහ කරයි. සංචාරක හෝටල් වලට ගිය විට දිවා අහාරය පවා ලබා දෙයි. 

එකල මා ලැබූ ආදායමෙන් උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය පොත් පත්ද, ඇඳුම් සහ සපත්තු සහ මගේ මාසික වියදම පියව ගතිමි. මගේ මාසික වියදම ගැනද යමක් සඳහන් කල යුතුය. දයානන්ද අයියාගේ කඩෙන් ණයට විවිධ ආහාර සහ සිසිල් බීම මට සහ මගේ මිතුරන්ට ලබාගෙන මාසේ අවසානේ එය පියවීම ඒ කාලේ මගේ පුරුද්ද විය. දයානන්ද අයියා යනුවෙන් අප ඔහු ඇමතුවත් ඔහු නෑකමින් මට බාප්පා විය යුතු කෙනෙකි. ඔහු මගේ පියාද ඇසුරු කර ඇත්තෙකි. ඔහු බොහෝ වෙලාවට පවසන්නේ "මම තමුසෙලාගේ තාත්තාටත් මචං කියලා තියෙනවා දැන් තමුසෙට මචං කියනවා" යන්නයි.

මේ සියලු කතාවලින් මා පවසන්න උත්සාහ කරන්නේ. "මිනිසාට රැකියාව අනුව සලකන්නේ නැතිව මිනිසෙකු ලෙස සලකන ලෙසය" එවැනි යුගයකට අප ගියහොත් ඉදිරියේදී අපට රැකියා සොයා පිටරට නොයා කුමක් හෝ රැකියාවක් කර ජීවත් වීමට හැක. නමුත් ජීවන වියදම අඩු විය යුතුය. අඩු වැටුප් ලබන කම්කරුවටද ජීවත් විය හැකි සමාජයක් ඇති විය යුතුය. 

38 comments :

  1. අනිවාර්යෙන්ම එකඟයි අයියා. ගිමන් නිවන්නාගේ අලු පෝස්ට් එකෙත් තිබුණේ මේ වගේ කතාවක්. මම එතනදී කිව්වෙත් සමාජයට මොකක් හරි සේවයක් කරන රස්සාවක් කරන මනුස්සයෙක්ගේ රස්සාවේ වටිනාම වැඩියි. ඒක අගය කරන්න මිනිස්සුන්ගේ මොළ හදන්න ඕනේ කියලා.

    හොරොව්පොතානේ පළවෙනි ඩී.ආර්.ඕ පොතේ මේ ගැන නියම කතාවක් තියෙනවා. කාර්යාලයේ වැසිකිළිය සුළු සේවකයා අතින් පිරිසිදු වෙන්නේ නැහැ. ඇහුවාම මිනිහා කියනවා මම කොහොමද සර් ඒක කරන්නේ අපේ තාත්තේ හිටපු වෙල් විදානේ මට පුලුවන්ද කක්කුස්සි හෝදන්න කියලා. ඊට පස්සේ ඩී.ආර්.ඕ කලිසම නමාගෙන වැසිකිළිය හෝදන්න යද්දී හැමෝම වළක්වනවා. පස්සේ එයා වැසිකිළිය සුද්ද කරලා ඇවිත් කියනවා දැන් ඔයාට කොයි වෙලාවක හරි මේ වැසිකිළි හෝදන්න ලැජ්ජ හිතෙනවා නම් හිතගන්න ඩී.ආර්.ඕ මහත්තයත් මේක හේදුවා කියලා යන්න යනවා. පස්සේ සේවකයා ගිහින් සමාව ගන්නවා.

    තව කතාවක් මතක් වුණා ලොබ්සෑං රැම්පාගේ දිබ්බ චක්ඛු පොතේ තියෙනවා ටිබෙටයේ ආරාමවල සේවාවන් මාරුවෙන් මාරුවට හැමෝම සිද්ධ කළා කියලා. ඒක කියුබාවේ වුණු කාර්යය වගේ. චේ ගුවේරාගේ ඇමති විදිහට ඉන්න කාලෙත් සීනි කම්හලක වැඩ කළා කියලා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ ඉදිරි ගමනට මේ හැමදෙනාගේම දායකත්ව වැදගත්.

      Delete
  2. අපිම හදාගත්තු පටු විශ්වාස සහ මතවලින් වෘත්තීය තත්වය අනුව මිනිසුන් බෙදාදැමීමත් එක්තරා ආකාරයක ආර්ථික පැවැත්මක් උදෙසා නිර්මාණය කරගත් අශ්ශීල ක්‍රමවේදයක්. ඔබ සඳහන් කල ආකාරයටම මේ හැමෝම මිනිස්සු.තමන්ගේ වෘත්තීය තමන්ට වටිනවා වගේම උසස්. ඉහලම තනතුරක් ලබා ගන්නා පඩියටවත් යමක් නොකරන්නා ගෙන් වැඩක් නෑ. එසේම තනතුර බොහොම සුළු වුනත් කරන කාර්යභාරය ලබන වැටුපටත් වඩා වැඩිනම් ඔහුගෙන් ඉටුවන දේ මිල කරන්නත් බෑ.

    ReplyDelete
  3. අයියා අර නිවාස තක්සේරුවට ගිය වෙලාවේ අඩු තක්සේරු අගයක් නෙමෙයි වැඩි තක්සේරු අගයක් නේද ලබාදෙන්න කියලා බැගෑපත් වෙනවා ඇත්තේ?
    මේක කියවද්දි කතාවක් මතක් වුනා.. මම ලංකාවේ වැඩ කරපු ආයතනයේ පිරිසිදු කරන්නියක් නැතුව දවස් 3, 4 ක් තිබුනා. පිරිමි ටොයිලට් එක පැත්තෙ යන්න බැරි තරම් ගදයි. බ්‍රාන්ච් එකේ හොදටම කුණු එකතු වෙලා, දවසක් කරන්නම දෙයක් නැති කමට මම බ්‍රාන්ච් එකේ අනිත් ගෑණු ලමයි 3 දෙනාගෙන් ඇහුවා අපි එකතු වෙලා බ්‍රාන්ච් එක සුද්ද කරල දාමුද කියලා, තට්ටු 3 ක ටොයිලට්ස් 6 කුයි, මුලු බ්‍රාන්ච් එකමයි සුද්ද කලා, ටොයිලට්ස් හෝදද්දි අපිට හිතුනේ අර පිරිසිදු කරන ගෑණු මනුස්සය කොයි තරම් සේවයක් කරනවද කියලා අපි ඒ කරපු වැඩේට ලොකු ඇගයීමක් ලැබුවා, ඒ වෙලාවෙ මට හිතුනා අපි ඒ මනුස්සයව නිසි පරිදි අගය කරන්නෙ නෑ නේද කියලා..

    ReplyDelete
    Replies
    1. පහුගිය මාසේ මගේ ගෘහ සේවිකාව ගමේ ගියා. ඒ කාල සීමාවේදී ගොඩක් වැඩ මටම කර ගන්න වුණා. ඉතිං ඔයාට වගේම මටත් ඒ සේවිකාව කරන සේවයේ අගය තේරුණා.

      Delete
    2. අඩුවෙන් අඩි ගණන දැම්මාම තමයි කාර්තුවකට[මාස 3ට] වරිපනම් ගාස්තුව අඩුවෙන් ගෙවන්න සිදු වන්නෙ නදිනි.

      Delete
  4. මං හිතන්නෙ ලංකාවෙ විතරයි ඔය ගන්න පඩියෙන් රස්සාවෙ වැදගත්කම මනින්නෙ. ඇත්තටම සුදීක කියල තියෙනව වගේ ඉහළ වැටුපක් ගන්න රස්සා කරන අය වැඩවර්ජනය කරනවට වැඩිය නගරසභා සේවකයො වැඩවර්ජනය කෙරුවොත් මිනිස්සුන්ට ඒක හොඳට දැනෙන්න ගන්නව. මොකද ඉහළ වැටුපක් ගන්න අයගෙ කුණුත් අර මිනිස්සුන්ගෙ ඇඟේ ගහන හින්ද.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.

      Delete
  5. මම කරපු පළවෙනි රස්සාව පොඩි එවුන් දෙන්නෙකුට ඉංග්‍රීසි ටියුෂන් දීපු එක. නමුත් ජීවිතේ ගැටගහගන්න උදව්වෙන්න මුහුදෙ හිරිගල් ගොඩදාලා තියෙනවා මතක ඇති කාලෙ ඉදන්. පර නොකැඩුවට ගොඩට ගහගෙන එන හැම කොරල් කෑල්ලක්ම එකතුකරලා විකුනනවා. උදෙන්ම ගියෙ නැත්නම් වෙන අය එකතුකරගන්නවා.නිවාඩු දවස්වලට උදේ ඉදලා රෑ වෙනකම් මුහුදෙ බැහැගෙන ගල් අහුලනවා. අද මේ තැන ඉන්නෙ ඒ දුක විඳපු නිසා.
    ඒක නිසා අද දහඩිය හෙලන මිනිහගෙ දහඩිය අද හදුනගන්න පුළුවන්වෙලා තියනවා. අපි කරන රස්සාවෙ කම්කරු අයිතීන් නෑ. නමුත් ලිමිට් එක හදුනගන්න මට හොඳට පුළුවන්වෙලා තියෙනවා.
    කෑම උයන, කෑම බෙදන කොල්ලන්ගෙ රස්සාවෙ වැදගත්කම දැනෙන්න අඩි 50,60 රළ ගහන මුහුදෙ දවසක් දෙකක් ඉන්න ඕන. සියදෙනෙක්ට කන්න උයන්න හදන බත් හට්ටි දෙපැත්තෙන් අල්ලගෙන වැටෙන්න නොදි ඉදවන ඒ කොල්ලන්ට කම්කරු අයිතීන් නෑ. පොඩ්ඩ බැරිවෙනකොට ස්ට්‍රයික් කරන පොරවල් ලැජ්ජවෙන්න ඕන ඒ රස්සාවල කරන කැපකිරීම් දැක්කාම.

    ReplyDelete
    Replies
    1. ඔයා කරලා තියෙන දේවල් වල හැටියට අපි කරපුවා මොනවද ? කියල හිතෙනවා

      Delete
  6. මට තාම වැඩකරන මිනිසුන් එක්ක ගැටෙන්න හම්බුණේ ඉතාම සුළු කාලයයි. ඒකත් තාක්ෂණික පුහුණුවට කියලා දාලා හිටිය මාස 6 තුළ. මම නියෝජනය කරන සිවිල් ක්ෂේත්‍රය කියන්නේ කම්කරුවා කියන පුද්ගලයා හොදටම ඉස්මතුවන තැනක්. අපි කොච්චර නම් කියලා සැලසුම් කලත් ඒ හැම එකක්ම සාර්ථක කරන තීරණාත්මක සාධකය උනේ ඒ අය. මම ඒ මාස 6 ට ඉගෙන ගත්ත ලොකුම පාඩමක් ඒක.

    ReplyDelete
    Replies
    1. ඕනෑම කෙනෙකුට කම්කරුවන් ගැටෙනවා. ඒත් බොහෝ අය හිතන් ඉන්නේ හමු නොවෙනවා කියලා.

      Delete
  7. සහතික ඇත්ත මොකද අද ලංකාවේ සමාජ මට්ටම මනිනනේ පාවිච්චියට ගන්න දුරකථනය . වාහනය අදින ඇදුම මේ වගේ දේවල් වලින්. හැම පුද්ගලයෙක්ම සමාජයට වැදගත් වෘත්තිය මත එහෙම මින්ස්සු පහත් කරන එක කොතරම් දුරට හරිද කියල තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට දැන් බෑ. මම ඕනෙ තරම් දැකල තියෙනවා කුණු එකතු කරන අයට බනින මිනිස්සු ඒත් ඒ අය මොනවත් නොකිය ඊලග පාරත් කුණු ගෙනියන්න එනවා අන්න ඒකටයි මනුස්ස කම කියන්නේ කියලයි මකල් හිතන්නේ.

    පලි :-
    මේ වෙලාවට මතක් වෙන්නේ අපි ඔක්කොම රජ වරු සිංදුව
    ඔබට ජය සහෝ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ මිනිස්සු ගාව මනුස්ස කම නම් තියෙනවා.

      Delete
  8. සුදීක වගේ කෙනෙක් හැම රැකියාවම එක සමානයි කියන දේ පිලිගත්ත එක ගැන සතුටුයි. මම හැමදාම හිටියේ ඒ මතයේ. රට රටවල ගියායින් පස්සෙ ඒක වඩත් තහවුරු උනා. විශේෂයෙන් ඊශ්‍රායලයේ. එහේ මම රැකියාවන් කීපයක්ම කළා. එහේ දොස්තරටත් නම කියල කතා කරන්නේ. ඩොක්ටර් කියනවට ඔවුන් කැමති නෑ. කරුණාකරලා නම කියලා කතා කරන්න කියනවා. ඔවුන් කියන්නේ ඔවුන්ට වඩා සේවයක්, ගෙවල් දොරවල් දාලා ඇවිත් ඉන්න අපි කරනවා කියලා. ඔය පලස්තීන් කාරයොත් එක්ක පොලිටිකල් ගේමක් තිබුනට, බොහොම සුන්දර, සරළ මිනිසුන්. එහේ ටයි එකක් දාන්නේ බස් ඩ්‍රයිවර්ලා විතරයි. ඩොක්ටර්ස්ලා නෙමෙයි ප්‍රොෆෙසර්ස්ලත් ඩෙනිම ටී ෂර්ට් එක ගහලා එන්නේ. ඒ වගේම තමයි අවුරුදු 13 ඉඳන් හම්බ කරනවා පාට් ටයිම් ජොබ් කරලා. 13 පස්සෙ වැඩිහිටි කෙනෙක් විදියට සලකන්නේ. ඉතින් මෙහේ වගේ ප්‍රශ්න නෑ. ඔවුන් කුඩා කාළයේම ජීවිතය අවභෝධ කරගන්නවා. ඒ වගේම හොඳට ඉගෙන ගන්නවා. මොකෝඅ අර වගේ රැකියාවල් කරන කොට ඉගෙනීමේ අගය වටහා ගන්න නිසා. ඉතින් ළොකු උනාම ඇඟ වෙහෙසන වැඩ කරන්නේ නෑ. පලස්තීනේ අය තමයි ඒවා කරන්නේ. මගේ මිතුරන් කීප දෙනෙක්ම ලංකාවට ආවා. ඒ අතරේ මහා උගතුනුත් ඉන්නවා. ඒ අය කියන්නේ අපේ රට දියුණු කරන්න මුහුඩම ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මුහුදයි වතුරයි හොඳටම ඇති.

      Delete
  9. 1. හමුදාවේ තියනවා සියළු නිලයන්ගේ භෝජන සංග්‍රහය කියලා දෙයක්. එහිදී ඒ සංග්‍රහයට සහභාගිවන්නේ යුදහමුදාපති නම් ඔහුත් සමග එක මේසයේ වාඩි වෙන්නේ ඒ කඳවුරේ ඉන්න කණිෂ්ඨතම සොල්දාදුවා. (හැබැයි ඉතිං ඒකා වෙවුලන එක නවත්තගන්න ඊට කලින් ඌට උපදෙස් ගොඩක් දෙන්න වෙනවා. පවු අහිංසකයෝ) නමුත් එයින් පෙන්වනවා හමුදාපති වුනත් සොල්දාදුවකු බව.

    2. මම අදටත් මගේ යට ඇඳුම් (මේස් සහ බැනියම් හැර) බිරිඳටවත් හෝදන්න දෙන්නේ නැත.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සංචාරක හෝටල් වලත් ඔය වගේ දිවා ආහාර වේලක් දෙනවා. පහලම සේවකයෝ මේස වල වාදී වෙලා ඉන්නවා. ඉහලම නිලධාරීන් ඔවුන්ට සේවාව සපයනවා. එදාට පිගන් පවා හෝදන්නේ අර ඉහල නිල වල ඉන්න නිලධාරීන්.

      Delete
  10. ඇත්තටම අපි අපේ වැඩ කරගන්න ලැජ්ජාවෙන්න ඕන නැහැ.බඩල්කුඹුරේ වැඩකළ කාලයේ අපිට පිරිසිදු කරන්න සේවකයෙක් හිටියේ නෑ.ඒ නිසා උදේට ඔෆිස් එක අතුගාලා සුද්දකරන්නේ මං.අදටත් මම මගේ මේසේ උදේට පිහිදාළ නැත්නම් මන්ම පිරිසිදු කරගන්නවා.හැබැයි ඉතින් එතකොට පවිත්‍ර කටයුතුවලට ඉන්න සේවකයා දුවගෙන ඇවිත් වැඩේ බාරගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වා නිසා මට මතක් වුණේ. අපි මුලින්ම අරලගංවිල ශාඛාව පරිඝනකගත කරන්න ගියාම එහේ පවිත්‍රතාව වෙනුවෙන් සේවකයෙක් නෑ. කොස්සක් අරන් ශාකාව පිහින්නේ කැම්පස් තේරුණා ළමයා. අද ඇය කොහේ හෝ රෝහලක වෛද්‍යවරියක් විය යුතුයි. ඇගේ නම උත්පලා. ඇගේ නිහතමානීත්වය මා බොහෝ තැන් වල පවසා තිබෙනවා.

      Delete
  11. අපි දැනටත් වැඩ කරන්නේ එහෙම තරාතිරමට නොසලකන සමාජයක. මෙහේ ප්‍රින්සිපල් පයින් එන්නේ. සුපවයිසර් කාර් එකේ එනවා. අතුගාන පොරවල් මෝට බයික් වලින් එනවා.

    එක් වතාවක් අපි නිතර බඩු ගන්න කඩේ කැෂියර් කාරයමයි කිව්වේ එයා උදේට නැත්තේ එයා අධ්‍යාපන අධයක්ෂ කෙනෙක් නිසා කියලා. පස්සෙ බැලින්නම් ඇත්ත කතාව. පොර හවසට පාට් ටයිම් කැෂියර්.

    මේ වගේ කතාවක් ගිමන් දාලා තිබ්බා.

    ReplyDelete
  12. නියම ලිපිය සුදීක අයියා.ඔයාගේ අදහසට මම එකඟයි මමත් කැමති නැහැ කාගේවත් රස්සාවක් නිසා කාවවත් පහතට දාලා කතා කරන්න!.

    ReplyDelete
    Replies
    1. ඒක මුළු සමාජයටම දෙන්න ඕනේ පණිවුඩයක් මල්ලී.

      Delete
  13. අපි තාම රැකියා උසස් කියන වර්ගීකරණයෙන් මිදෙන්න සුදානං නෑ...ඕන තරං සාධක තියෙනවා මේකට...

    ReplyDelete
    Replies
    1. හේතුවක් නැතිවම තමයි සිද්ධ වෙන්නේ. ධර්මද්වීපය කිව්වට මාර වලව් මානසිකත්වයක් තියෙන මිනිසුන් ඉන්නේ. සමහර යට ඉඳලා උඩට ගිය අයම ඉන්නවා පහල මිනිසුන්ට ගරහන.

      Delete
  14. සම්පුර්ණයෙන්ම එකගයි....රටක් විදියට අපිට තාමත් දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නත් මේකත් එක හේතුවක් තමා.
    කොහොම උනත් මිනිස්සු කරන රැකියාව අනුව වර්ග කරලා සළකන එකට මාත් විරුද්දයි..........

    ReplyDelete
    Replies
    1. දේශකයාට දාපු පිළිතුර තමයි මෙතනටත් ගැලපෙන්නේ.

      Delete
  15. Mama Garment trade ekta awe thread trim krana (nual kapana). Garment kello, Juki kallea,...kiyana aya tawamat inawa.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මම මීට කලිනුත් මේක කියල තියෙනවා. ගම්බද දුප්පත් රැකියාවක් නැති කෙල්ලෙක් බඳින්න කැමති වෙන කෙනෙක්, ඒ පසුබිමම තියෙන ගාමන්ට් රැකියාවක් කරන කෙල්ලෙක් බඳින්න කැමති නෑ. මගේ අර පාන් කාරයා මාළු කාරයා පොස්ට් ඒකෙනුත් මේ ගැන කිව්වා.

      Delete
    2. eka hari wardi Sudeeka Ayya, mage Factory's wala godak Gahanu lamai "external degree" karana, complete karapu aya.
      Jayawewa.

      Delete
    3. "Blog post" comment ekak widhata kiwa eyala ATM card, Credit card use carnawa. samhara lamai mara stranded.
      Jayawewa

      Delete
  16. දියුණු රටවල, නගරාධිපති තුමන් ලා කුණු අදින සේවකයන් එක්ක එකට උදේ තේ බොනවා.....වැඩිම පඩියක් ගන්නෙ පවිත්‍රතා සේවකයො.......කිසිම උස්පහත් භේදයක් නෑ. තමන්ගෙ ස්වාමියාට නම කියලා කතා කරන්නෙ. හැමෝමට සම සැලකිලි...... අපේ රටේ මේ තත්වය නම් කවදාවත් හැදෙන එකක් නෑ...... හැදුවොත් දියුණුව කරා යන ගමනේ ලොකු සංධිස්ථානයක් වෙයි

    ReplyDelete
  17. මේ රටේ නම් ඔය වගේ බෙදීම් නෑ. ඒ ගැන සතුටු වෙන්ට ඕනි. අගමැතිනියගේ ඉඳන් කම්කරුවා දක්වා හැමෝටම ලැබෙන්නේ එකම තැනක්. සමාජයේ බෙදීම් නෑ. ඒත් මෙහේ පදිංචි වෙලා ඉන්න සමහර අය නම් (මම කීවේ අපේ රටේ උදවිය ) ඒ වෙනස නැති කරන්ට, එයාලගේ පන්සල්, එයාලගේ කල්ලි හදාගෙන, ලොකුවට දඟලනවා පේනවා.:D:D

    ReplyDelete
  18. ඒ පංති බේදය ඒ කාලේ ඉඳලම තිබුන දෙයක්.අයේ අළුතින් වෙනස් කරන එකනම් ලේසි නැහැ.

    දවසක් අපි මගුල් ගෙදරක ඉද්දි හොඳට ඇඳගත්ත තරුණයෙක් වෙනම මේසෙක හිටියේ. ඔහුට නොගලේපෙන් වගේ වයසක දෙන්නෙකුත් එක්ක. ඉතින් අපි ඔහුට අපේ තැනට කතා කරලා එකට විහිළු කරගෙන හිටියේ. ඔහු හරි නිශ්ශබ්ද වැදගත් විදියට හැසිරුනා. පස්සේ යන්න කිට්ටි කරලා වෙනත් ගමේ වෙනත් අපේ මිතුරෙකුගෙන් අර වැදගත් තරුණයා ගැන ඇහුවා. ඒ දුන්න උත්තරේ අපි හිතුවෙවත් නැති එකක්. "ඒ ගමේ කසිප්පු පෙරන කොල්ලා."

    ReplyDelete
  19. මට හිතෙන විදියට හැම කෙනෙකුගේම රැකියාවෙන් තවත් පිරිසකට සේවයක් සැපයෙනවාත ඒක හරියටම දම්වැල් පුරුක් වාගේ බැඳිමක් ඔය එක තැනකින් හරි කෙනෙකුගේ සේවය බිඳුනොත් අනෙක් සේවා ක්‍රියාවලීන් බිදවැටෙනවා. ඒත් අපේ රටේ සුද්දො ළගත් නැති මාන්නයක් තරාතිරම අනුව තියෙනවා.

    ReplyDelete
  20. Sudheeka, Could you please check the spam folder for my comment, as usual?

    ReplyDelete
  21. කාගේත් රැකියා එක වගේ වැදගත්.. ඒත් තවම රැකියාව අනුව උස් පහත් විදිහට සලකනවා දකින්න පුළුවන්.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...