Wednesday, March 27, 2013

වැරදි නැකතක ගොඩ කරන්නට පටන් ගත් බෙන්තොට වගුරු බිම.

පාසල් සිසුන් වශයෙන් ශ්‍රී ලංකාවේ වගුරු බිම් මොනවාද ? යන ප්‍රශ්නය ඇසූ විට අපේ දිව අගම තිබෙන පිළිතුර  මුතුරාජවෙලයි. මේ පිලිබඳ මගේ මතකය අවධි වුවේ රතු රජරට ලියා තිබෙන "නිම්හිම් නැති පරිසරයෙන් ගම්බිම් අතැර යන 'තෙත්බිම්' " කියන සටහන කියෙව්වාමයි.  එහෙත් බෙන්තොට ප්‍රදේශවාසී අපට අපේම වටපිටාවේ වගුරුබිමක් තිබුණා(තවමත් තියෙනවා). ඒ බෙන්තොට සංචාරක කලාපයට යාබදව, එක් පැත්තකින් ගාලු පාරටද, අනෙක් පසින් පිටාරඹ නමැති ග්‍රාමය තුලට වන්නට තිබෙන කුඩා ප්‍රමාණයේ වගුරක්. මා දන්නා තරමින් කිසිවෙකු මේ හරහා ගමන් කර නෑ. ඒ නිසා මෙය මිනිසාගේ පය නොගැටුණ ලෝකයේ තවත් එක් දුර්ලභ බිම් කඩක්. 

මේ තියෙන්නේ google map වලින් කපල හදා ගත්ත සිතියම.

ඉතිං රතු රජරට විස්තර කරන ආකාරාටම මේ වගුරත් දැනට අවුරුදු 10කට විස්සකට කලින් තිබුනට වඩා ගොඩ කරලා. මෙහි ඉවුරු වලට යාබදව ජීවත් වෙන අය මෙහි යම් ඉඩ ප්‍රමාණයක් ගොඩ කර ගැනීම නෙවෙයි මා අදහස් කලේ. මහා පරිමාණයෙන් සිදු වන ගොඩ කිරීම්. ඉහල පින්තුරේ මේ වගුර හරියටම දැක්වෙන්නේ නෑ. මම ඒක නිවැරදි ලෙස සලකුණු කළා. මේ ලංකාව හැඩයට නිල් පාටට තියෙන්නේ 

මේ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය හැදුවේ වගුරෙන් කොටසක් ගොඩ කරලා.
බෙන්තර ගඟත් මේ වගුරත් යා කරන ඇල විශාල කරලා ලංකාවේ හැඩයට  සාදා ගත් පොකුණක්. මේ පොකුණ ගැන මම මීට කලින් පොලීසියේ හොරකමක් සටහනෙන් විස්තර කළා.  පහුගිය දවසක ගමේ ගිය වෙලාවක මම දැක්කා මේ පිටාරඹ පාර කියන හරියේ තැන කිහිපයක් ගොඩ කරලා ගෙවල් හදාගෙන තියෙනවා. ඒ වගේ දේවල් දැක්කම හිතට පොඩි කනගාටුවක් ඇති වෙනවා. කවදත් සොභාදහම ප්‍රිය කල පුද්ගලයෙක් වශයෙන් කනගාටුවක් ඇති වුනත් මේවාට විරුද්ද වෙන්න තරම් කාලයක් මට නෑ. අනිත් අතට මම දැන් අපේ ගමට පිටස්තරයෙක්. මේ වගුර මේ පිටාරඹ පාරෙනුත් ඔබ්බට තවත් ටික දුරකට විහිදෙනවා. මගේ මතකයට ආව තව සිද්දියක් තමයි ඔය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනය තිබෙන හරියෙන් ඇතුලේ අපි මාළු හොයන්න වෙල් ඉහින මෙහෙයුමකට කොලු කාලේ සහභාගී වුණා. අන්තිමට ඒක ගෙදරින් හොඳ තරවටුවකට ලක් වෙන්නත් හේතු වුනා. 

මගේ බලාපොරොත්තුව මේ අනවසර ගොඩකිරීම් ගැන තවත් විස්තරයක් එකතු කරන්න නෙවෙයි. නමුත් මේ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය හදන්න සහභාගී වූ මුල් පිරිසෙන් කෙනෙකු ලෙස ඇති වන කලකිරීමත් සමග. ඒ කාලේ පරිසර විනාශයේ ආදීනව හිතන්න තරම් මුහුකුරා නොගිය වයසක සිටි අපි, ක්‍රීඩා සමාජය තීරණය කරන ඕනෑම ව්‍යාපෘතියකට සහභාගී වුණා. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩකයෙක් වෙච්ච මම වගේ තිස් පහක් හතළිහක තරුණ කණ්ඩායමක් අපේ ක්‍රීඩා සමාජය වටා එකතු වෙලා හිටි ඒ යුගයේ, අපේ පුහුණුවීම සහ තරග සියල්ල බෙන්තොට ගාමිණී විදුහල් ක්‍රීඩාංගණයේ පවත්වන්න සිදු වුණා. ඒකට පාසලෙන් වගේම අසල්වැසියන්ගෙනුත් බොහෝ විරෝධයන් තිබුණා. අපිටම කියලා ක්‍රීඩාංගනයක් හදා ගන්න තැනක් ගැන කල්පනා කරමින් හිටිය යුගයකතමයි මේ ස්ථානය එලි පෙහෙළි කරගන්න අපිට අවසර ලැබුණේ. අපි මේ ක්‍රීඩාංගණය හදනවට කැමැත්තෙන් හිටිය තව කොටසක් තමයි අවට තිබෙන සංචාරක හෝටල් සමුහය. මොකද ඔවුන්ගේ ක්‍රීඩා සහ උත්සව කටයුතු වලටත් මෙය පහසුවෙන් ලඟා වෙන්න පුළුවන් ස්ථානයක් පිහිටලා තිබුණා. 

මගේ මතකය නිවැරදි නම් ඒ 1986 හෝ 1987 වසර. මේ ක්‍රීඩාංගණය හැදෙනවා කිව්වම මටත් පුදුම සතුටක් ඇති වුණේ. මේ වෙනකොට ක්‍රීඩා සමාජයේ උප ලේකම් වරයෙක් වෙච්ච මට මෙහි බොහෝ වගකීම් පැවරී තිබුණා. ඒත් මේ වගේ ශ්‍රමදාන කටයුතු වලදීත් ශ්‍රමයෙන් දායක වෙන්නත් මට උනන්දුවක් තිබ්බා. මේ කියන දවසේ උදේ සුභ නැකතින් කිරිබත් කාලා අපි ශ්‍රමදානය පටන් ගත්තා. අපේ ක්ලබ් එකේ සියලුම සාමාජිකයන් මේ අවස්ථාවට ඉතාමත් උද්යෝගයෙන් සහභාගී වුණා. ඒ වෙත්දී මට තේරුමක් තිබුනේ නෑ අපි මේ අත ගහලා තියෙන්න විශාල පරිසර හානියක මුලාරම්භයකට කියලා. එහෙම හිතුනා නම් ඒ අවස්තාව කෙසේ හෝ මග අරිනවා. 

බොහෝ දෙනා කැති, පොරෝ, උදළු කඹ අරගෙන ඇවිත් තිබුණා. මේ කොටසේ ලඳු කැලාවට අමතරව පාර අයිනට වන්න ඒ කාලයේ ජීවත් වූ ඇල්බට්(බොහෝ දෙන හැඳින්නුවේ කළු ඇල්බට ලෙසින්. ඒ හමේ පාට නිසා නොව ඔහු පවත්වාගෙන ගිය කඩයේ මිල ගණන් නිසා) නමැති පුද්ගලයා වැවු පොල්ගස් විස්සක් තිහක් තිබුණා. තවත් එක වටිනා ගසක් අයිනකට වන්නට තිබුණා. ඒ පැරණි ඒ වගේම පුෂ්ඨිමත් තල් ගසක්. මේ අවස්ථාවට සහභාගී වූ ප්‍රාදේශීය ලේකම් වරයා මේ ගස සෙරන්ඩිබ් හෝටලයට මේ වෙනකොටත් ගලවා ගන්න අවසර දී තිබුනා. මේ ලේකම් වරයාව බොහෝ දෙනා හැඳින්නුවේ දැව කපුටා ලෙස. අපි ඉවක් බවක් නැතිව ගස් කපමින් කුරුම්බා බොමින්, පොල් බඩ කමින් උදේ වරුව ගත කලේ ඉතා ප්‍රීති ප්‍රමෝදයෙන්. එදා වැහිබර දවසක් නිසා කිසිවෙකුට ඒ හැටි විඩාවක් දැනුණේ නෑ. කොයි තරම් මහන්සි වී වැඩ කලත් පොල් ගස් ටිකවත් පෙරලා අවසන් කරන්න අපට බැරි වුණා. 

තවත් විනාඩි කිහිපයකදී මර හඬ දී කෑ ගැසූ ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා ලෙස කවුරුත් සලකන ආතර් අංකල්  පවසා සිටියේ පොල් ගස් කැපිල්ල වහා නවත්වන ලෙස. එසේ කපන පොල් ගස තවත් පොල් ගසකට පෙරලා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනක් මරා ගන්නා ක්‍රීඩාවක නිරත වී හුන් අප තිගැස්සී ඔහු දෙස බැලුවේ සිදු වී ඇත්තේ කුමක්ද යන්න දැන ගන්න. සමහරවිට කවුරුන් හෝ තහනම් නියෝගයක් ගෙන තිබෙන්නට පුළුවන් බව කෙනෙක් පැවසුවා. අපිත් කට ඇරගෙන ඔහුගේ හඬට අවනතව ඔහු සිටින දිසාවට ගමන් ගත්තා. 

"ඇයි බං උඹලට අමුතුවෙන් කියන්න ඕනෙද, පොල් ගස් කැපුවට පස්සේ මුල උගුල්ලන්න අලි ගෙන්න ඕනේ කියලා. වටේ මුල බුරුල් කරලා ගස් පෙල්ලපල්ලා. මේවා කපපු එවුන්ම මුල් ටිකත් උගුල්ලලා දාපල්ලා"

අපි වැඩි දුර නොහිතා කල දේ ප්‍රතිවිපාකය පහසු නොවන එකක් බව තේරෙන විට තවත් පොල් ගස් දහයකට වඩා ඉතිරි වී තිබුනේ නෑ. මේ සමගම අපේ දිවා අහාරය සුදානම් බව දැන ගන්නට ලැබුන නිසා කවුරුත් ආහාරය බෙදන දෙසට වේගයෙන් ඇදුනා. අපේ බත් පාර්සලය රැගෙන මමත් ඒ කාලයේ මගේ හොඳම මිතුරා වූ ධම්මිකත් ටුටූ අයියලාගේ ගෙදරට ගියා. පැරණි ගෙයක් වූ පීරිස් සහෝදරවරුන්ගේ නිවාස වලව්වක සිරි ගත්තා. කුඩා කාලයේ සිට එහි ගොස් තිබෙන අපිට එය ආගන්තුක තැනක් වුණේ නෑ. අපේ බත් පාර්සල් දෙක බිත්ති කණ්ඩිය මත තබා නිවසේ පසෙක තිබෙන ලිඳ වෙත ගොස් ඇඟ අත පය සෝදා ගත්තේ, මේ වනවිට කහබිලියා හා අනෙකුත් කැලෑ කොළ සහ කිරි වර්ග නිසා සියොළඟ කහන තත්වයකට පත් වී සිටි නිසා.නමුත් කහඹිලියා නිසා ඇති වන කැසීමට අපි ඒ වනවිට බෙහෙතක් සොයාගෙන තිබුණා. ඒ කහබිලියා ගහේම මුල. මුලේ පොත්ත කහඹිලියා ගෑ වුණ තැන ගෑ විට කැසීම ඉතා ඉක්මනින් නැති වෙනවා. 

සියළු දෙනාට ටුටූ අයියාලාගේ නිවසේ ඉඩකඩ නොතිබුණ නිසා අවට ගෙවල් සියල්ලටම වාගේ අපේ කණ්ඩායම බෙදී ගොස් තිබුණා. ඉතා රසවත් බත් මුල ගිජු ලෙස බුදිමින් හුන් අපට එකවරම මහා කෑ ගසිල්ලක් ඇසී පාරට දිවගෙන එන විට, වලව්ව අසල අපේ අය හා සෙනග පිරී සිටිනවා දැක කෑම පසෙක දමා හැල්මේ දිවගෙන ගියා. අපේ කණ්ඩායමේත් බොහෝ කලහකාරී අය සිටි නිසා මෙය කුමක් හෝ වලියක් බව ඉවෙන් මෙන් අපට දැනුනා. මා සමග සිටි ධම්මිකත් බට්ට වගේ හිටියට වලි දෙයියා නිසා මටත් වඩා වේගයෙන් ඒ දෙසට දිවගෙන ගියා. මෙය කුමක් හෝ රිය අනතුරක් බව පැහැදිලි වුණේ ගාල්ල දෙසට යන සියලුම වාහන එකක් පිටුපස එකක් නවත්වා පොඩි තදබදයක් ඇති වී තිබූ නිසා. ලඟට යත්දී අපි දැක්කා අපේ කණ්ඩායමේ අජිත් රෝසා වර්ගයේ බස් රථයක රියදුරු කවුළුවේ එල්ලී රියදුරාගේ කමිසයෙන් අල්ලාගෙන සිටිනවා. නමුත් තවත් පිරිසක් කේ.කේ. ලාගේ නිසව අසල ඇති කන්ඩියෙන් පහල බලන් සිටින වගත් යන්තමට පෙනුනා. නමුත් අප දෙදෙනාත් ඉබේම බස් රථය දෙසට ඇදුනා.

"අජීත් මෙහෙ වරන් බං, මේක ඇක්සිඩන්ට් එකක් නෙවේ" 

ඒ රෝහණ අයියාගේ කටහඬ.  බස් එක පැත්තට දුවමින් හුන් අපි ආපසු හැරී කේ.කේ. ලාගේ බැම්ම දෙසට දුවගෙන ගියා. ඒ බැම්ම අයිනේ ඇති අඟලේ කළු ගල් ගොඩ උඩ වැටී සිටි අවුරුදු පනහක් පමණ වන මිනිසා දෙස සියළු දෙනා විමතියෙන් බලා සිටියා. තවත් මොහොතකින් වට වූ අය එකතු වී ඔහු පාරේ සිටින අය වෙත ඔසවා දුන්නා. පාර අයිනේ තණ බිස්සේ ඔහු දිගා කර, මුහුණට වතුර ඉහමින් ඔහුගේ සිහිය ගන්නට උත්සාහ ගත්තා. එහෙත් ගල්ගොඩ උඩ වාටී සිටි ඔහුගේ හිසින් රුධිර ධාරාවක් ගලා ගොස් තිබුණා. ඔහුගේ බයිසිකලයේ පිටුපස ගැට ගසා තිබුණේ කොස් මදුළු ගෝනියක්. ඔහුට කුමක් සිදු වීද ? මේ ඒවා සිතන්නට කාලයක් නොවේ. මහලු මිනිසා කාල වර්ණයෙන් යුක්ත පුද්ගලයෙක් , අඩුම තරමේ ඔහුගේ වයස පනහ ඉක්මවා ගොස් තිබිය යුතුය. අඩක් සුදු වූ හිසකෙස් තෙල් ගා පීරු ලෙසටම තිබේ. මුහුණේ දහඩිය දමා ඇත. සුදු කමිසයක් හා සරමකින් සැරසී සිටි ඔහු මේ යන්නට ඇත්තේ තම ජීවිත සටනේ තවත් එක් දිනක් ගැට ගසා ගන්නටය. වෙළඳාම හමාර කොට හවසට ගෙදර එනතුරු ඔහුගේ බිරිඳ සහ දරුවන් බලා සිටිනවා ඇත. 

තවත් සුළු මොතාකදී තරමක් හිස දෙපසට වැනු ඔහු නිහඬ විය. ඒ ඔහු මෙලොව සිටි අවසන් තත්පර කිහිපයය. මගේ ජීවිත කාලයටම කෙනෙකු මිය යනවා දුටු පළමු මොහොතයි. සිද්දිය බලා සිටි කෙනෙක් සිදු වූ දේ විස්තර කළා. 

"මිනිහා ආවේ කහඹිලියා කන්ද පැත්තේ (ගාල්ල/ඇල්පිටිය) ඉඳන්. මිනිහා හිටගෙන කන්ද පැදගෙන ආවේ. එක පාරටම වාඩි වෙනවත් එක්කම ඉස්සරහ රෝදේ උඩ ගියා. මිනිහට තනි රෝදෙන් යන්න බැරුව කැරකිලා ගිහින් තමයි ඔතනින් පහලට වැටුණේ."

අපේ අජිත් ඉවක් බවක් නැතිව රියදුරු මහතාට පහර දීම පිළිබඳව කිහිප දෙනෙක්ම ඔහුට නොසෑහෙන්නට බැන වැදුණු අතර තවත් කිහිප දෙනෙක් එම මොහොතේ සිදු වූ දේ විස්තර කරමින් රස විඳිමින් සාමාන්‍ය තත්වයට පත් වුවත්, මාසිටියේ දැඩි කම්පනයකින්. ධම්මික මට නැවතත් කන්නට කතා කලත්, මට කෑමට කිසි ප්‍රියක් ඇති වුනේ නෑ. එතැනින්ම ශ්‍රමදානයේ කටයුතු හමාර විය. 

"කවුද මේ නැකත හදපු කෙනා. අපි මේ වැඩේට බැහැලා තියෙන්නේ වැරදි නැකතකින්"

ඇත්තටම ඒ නැකත නරක එකක්ද, නැතිනම් සොබාදහමට එරෙහිව ගිය නිසා පෙන්වූ නරක ලකුණක්ද? කෙසේ හෝ මා ගම හැරපියා කොළඹට එනතුරුත් එතන ක්‍රීඩාංගණයක් ඉදි වුණේ නෑ. එහෙත් එය නගරසභාවේ කුණුගොඩ බවට පත් විය. මෑතකදී එතන ගොඩ කර ක්‍රීඩාංගණයක් කෙසේ වෙතත්, එහි තිබූ සුන්දර පරිසරය යටපත් කර රථ ගාලක සිරි ගෙන ඇත.  නමුත් එහි අප තනන්නට උන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය ඉදි කරගන්නට නොහැකි වී ඇත. 
 


40 comments :

  1. :) ඔබේ සංවේදී පැත්ත දිටිමි.

    මිනිසෙකු හොඳින්ම මගේ දෑස ඉදිරියේ ගමන් කරමින් සිට එක්වරම දුම්රිය මගට වැටී පසුපසට ගමන්ගන්නා දුම්රියට යටවී මියගියා මට අදටත් මතකය. මට ඇත්තේ අදටද ඔහුව බේරා ගැනීමට නොහැකිවීමේ දුකයි.

    ReplyDelete
    Replies
    1. අප කණ්ඩායමක් ක්‍රීඩා කර ගිමන් නිවන මොහොතක, සරත් නැමති අපේ මිතුරකුගේ හිසට වැටෙන ඔහුගේම පාපැදිය ක්ෂණයකින් අල්ලා ගන්නට මට හැකි විය. එය දුටු අනිත් අය පැවසුවේ මා ඔහුගේ ජීවිතය බේරු බවයි. එත් ඔහු ඊට අවුරුදු කිහිපයකට පසුව ඔහු රිය අනතුරකින් මිය ගියා.

      Delete
  2. ඔතන තිබුන විදියට තිබුනානම් හරි හොද ග්‍රවුන්ඩ් එකක් හැදුවනම් හරි එකක්, දැන් ඔය දෙකටම නෑ, වගුරත් ගොඩවෙලා, බලපොරෝත්තුවුන පිට්ටනියත් නෑ,
    හැබැයි ඔතන බේරිලා තියෙන එක පුදුමයි..

    ReplyDelete
    Replies
    1. මෙතන පිට්ටනියක් හැදෙයි අමිල තව කාලයකින්. අපිට ක්‍රීඩාංගණයට දෙන්න කලින් එවකට හිටි ඇමතිතුමා මෙය මිනිසුන්ට බෙදා දෙන සුදානමක් තිබුණා.

      Delete
  3. මේ පැත්තෙත් ඔහොම තමා සුදීක, ගොඩ කරන්ඩ තියන හැම තැනම ගොඩ කරලා, කොටින්ම මම දැන් ඉන්නෙත් ගොඩ කරපු ඉඩමක (මම ගොඩකරපු එකක නෙමෙයි ඈ)

    ReplyDelete
    Replies
    1. මෙවැනි ස්ථාන ගොඩ කිරීම නිසා තමයි බොහෝ ගම්බිම් මහා වැසි වලදී ජලයට යට වෙන්නේ.

      Delete
    2. කිසිම ගොඩකිරීමක් නොකර තිබියදීත් හැත්තැ ගණංවල අග භාගයේ ඇළපිටිවල හරියෙ පාර වැස්සට දණක් යටවුණා,වතුර බැහැලගියෙ පාරෙ තාර ටිකත් ගලවගෙන.පාර දෙපැත්තෙ වගුරුබිම් සම්පූර්ණයෙන්ම ගොඩ කරල තියෙන අද දවසෙ තත්වය දැනගන්නට කැමතියි අටම්.

      Delete
  4. ස්වභාධර්මයට එරෙහිව ගිහින් කාටවත් ජයගන්ට බෑ සුදීක.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ ඒක තමයි වුනේ. අර මනුස්සයට වෙච්ච් දේ ගැන තමයි දුක.

      Delete
  5. car park, kunu godak novi Ground ekak hadunam tikak hari hita hada gana tibuna neda sudika ayya?
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ඔව් ග්‍රවුන්ඩ් එකකින් වෙන පරිසර හානිය අවමයි.

      Delete
  6. පරිසරයට ඇති ඇල්ම යෞවනත්වය මනශ්‍යත්වය මේ සියල්ල පිළිබඳව කදිම අදහසක් ගත හැකි ලස්සන ලිපියක් සුදික.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්.

      Delete
  7. සොබා දහමේ නිර්මාණ හැදිල තියෙන්නෙ පරිසරයට සිදුවන හානිය අවම කරන්න පුලුවං වෙන විදියට. අපිට ඕන හැටියට ඒව වෙනස් කරන්න ගියාම බරපතල ප්‍රශ්න ඇතිවෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. සුනාමිය තමයි හොඳම උදාහරණෙ.

      Delete
    2. සියයට දාහක් එකඟයි

      Delete
    3. සුනාමිය සිද්ද වුනේ මිනිස් ක්‍රියාකාරකම් නිසා කියලා කියන්න බෑ මචංලා. ඒක වෙනම සිද්ධියක්.

      Delete
    4. භෞතිකව එහෙම පෙනෙන බව ඇත්ත.

      Delete
  8. ඇත්තටම අයියේ එන්න එන්න මිනිස්සු පිරිහෙනවා. සල්ලි වලට බල්ලොත් මරණ කාලයක් මේක සොභාදහම ගැන කවර කතාද?

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. හප්පේ මේ අපි ඉන්න බොල්ගොඩ පැත්ත නම් ගොඩ කරන්නෙ හෙමීහිට

    ReplyDelete
    Replies
    1. හෙමිහිට කරන එක තමයි භයානක. පෙන්නේ නෑනේ.

      Delete
  11. සොබාදහමට එරෙහි උනොත් සොබාදහම අපට එරෙහි වෙනවා සිකුරුයි!

    ReplyDelete
    Replies
    1. නාඩියා කියනවානම් පිලි ගන්න වෙනවා.

      Delete
  12. අපේ පැත්තේ තිබුන ඒවත් ඔක්කෝම ගොඩ කළා.. කවදා හරි මේ ඔක්කෝම නැතිවෙනවා. ඒත් ඔක්කෝම එක පාර ගොඩ කළාම වෙන දේ හිතා ගන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහේද ඔය පැත්ත ?

      Delete
  13. ලංකාවේ ගංවතුර තර්ජන වැඩිවෙන එක ඉතින් ආයි අහන්නත් දෙයක්ද?

    ReplyDelete
  14. ගොඩ නොකර වෙන මොනව කරන්නද? ජනගහනය වැඩිවෙනව ඉඩකඩ මදි වෙනව. වගුරු ගොඩ කරනව වනාන්තර අල්ලනව. ඊ‍ට පස්සෙ අලි වැටවල් ගහල නෑ කියල කෑගහනව අලි ආවම, කාණු නෑ කියල කෑගහනව වැස්ස ආවම. ඕව ඔහොම තමයි. කිසි දෙයක් ස්ථිර නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ ජනගහන වර්ධන වේගය අඩුයි නේද රාජ් ? අනිත් රටවලට සාපේක්ෂව. ඉන්දියාවෙයි, චීනයෙයි තණකොළ ගහක් වත් තියෙන්න බෑ නේද එහෙම හිතුවොත්.

      Delete
  15. ස්වභාවධර්මයට ඇලුම් කිරීම ගැන පළමුව අගය කරනවා සුදීක අයියව,ඇත්ත ස්වභාධර්මයට අනුගත නොවි අපිට අවශ්යය පරිදි එය වෙනස් කරන්න තව පාරක් හිතන්න උවමනා දේයක්.අනවශ්යය කාරණා වලට ස්වභාවධර්මය වෙනස් කිරීම නිසා අවශ්යර දේකටවත් එය ප්රවයෝජනයට ගන්න බැරි තත්වයක් අද උදා වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොම ස්තුතියි ගයනි. මම දන්නවා ඔයා අමාරුවෙන් මේ කමෙන්ට් එක දාන්න ඇත්තේ කියලා.

      Delete
  16. දුරදිග නොබලා කරන සංවර්දනයේ ප්‍රතිපල.කොහොම උනත් මේ විදියට මුලින් නොදැනුවත්ව හෝ කරන වරදක් පසුව හෝ තේරුම් ගැනීම බොහොම හොද දෙයක්.මොකෝ දැන් තමගේ වැරදි පිලිගන්න අය හරිම අඩු නිසායි එහෙම කිවේ.

    ReplyDelete
    Replies
    1. එහෙමයි ... එහෙමයි...

      Delete
  17. මැරුණු මනුස්සය ගැන නම් කණගාටු හිතුනා. ඒ වගේ දෙයක් දැක්කම එන කම්පනය සංවේදී කෙනෙකුට තදින් දැනෙනවා නේ..
    සංවර්ධනයෙදී පරිසර හානිය අවම වෙන විදිහට කරනවා නම් තමයි හොඳ.

    ReplyDelete
  18. අප්‍ර නිල්වලා ගඟට වුනු විනාසේ ගැන මාත් පොස්ටුවක් ඉස්සර කිව්ව අය්යේ,වැඩියෙන්ම ඒක කියවුනේ මෑත කාලයේ වැඩිවුණු කිබුල් උවදුර ඇතිවීමට හේතුව කියන්නයි

    මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා

    ReplyDelete
    Replies
    1. මම ළඟදී මාතර ගිය වෙලාවේ නවතිච්ච තැනත් ගොඩ කරලා හදපු තැනක් වෙන්න ඕනේ, මොකද දෙපැත්තකින්ම ගඟ.

      Delete
  19. අහුවෙයල්ලකෝ ඔවුන් ටික මට ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...