එක සටහනකින් හමාර කරන්න බලාපොරොත්තුවෙන් ලියාගෙන ආ
පලවෙනි කොටස එක් තැනකදී නවත්වන්න වුණේ, හේතු දෙකක් නිසා. එකක් කොතරම් රසවත් සටහනක් වුනත් ඉතා දිග වුණාම කියවන ඔබ අපහසුතාවට පත් වෙන නිසා. අනිත් කාරනාව තමයි මෙහි ප්‍රධාන චරිත කිහිපයකින් කෙනෙක් වන රිච්මන්ඩ් විජේසේකර මහතාගේ තොරතුරු තරමක් දිග වීම. හොඳයි අපි ඊළඟට කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමරබන්ධු අල්විස් මහතා ගැන.
අමරබන්දු අයියා කියනවද ? අංකල් කියනවද කියලා මට හිතා ගන්න බැරි එතුමා මට වඩා අවුරුදු බර ගානක් වැඩි නිසා. කොහොම වුනත් කමක් නෑ අමරබන්දු අයියා කියමුකෝ. එයාගේ එනවුන්ස් කිරිල්ලත් මම පාසල දරුවෙක් විදියට පාරට දුවගෙන ගිහින් සයිකල් රේස් බලන කාලේ ඇහුන එකක්. ඒත් පසුකාලීනව ඔහුත් සමග එකම වාහනයක සයිකල් තරගයක නිවේදන කටයුතු කරන්න ලැබුනා. ඒ එක්තරා කාලයක් අතුරුදන්(ඒ කියන්නේ අපේ ගමේ නොයිඳ, වෙනත් ප්‍රදේශයක හිටපු එක) වෙලා ඉඳලා මතු වුන කාලෙක. මේ කාලෙදී සුචරිතරත්නත් මමත් තමයි එනවුන්ස් කලේ. අමරබන්දු අයියාට තියෙන්නේ ප්‍රතාපවත් කටහඬක් කියලා මම භය නැතිව කියනවා. ඒ හඬත් එක්ක ගත්තම අද කාලේ එෆ්.එම්. වල ඉන්න ගිරා පොතකයන්ට තියෙන්නේ මොන වගේ හඬවල්ද කියලා හිතෙනවා.
මේ කාලයේදී මම කවදත් දෙවෙනියා නිසා මේ දෙන්නටම මගෙන් තරගයක් තිබ්බේ නෑ. නමුත් ප්‍රධානියෝ දෙන්නෙක් ඉන්න බැරි නිසා එක්කෙනක් හලන්න මේ දෙන්නා හොඳ සටනක් දුන්නා. සුචා එක අතකින් අපත් සමග වඩා කුළුපග පුද්ගලයා, ඔහුත් මමත් එකතු වී තමයි අර සංගීත ප්‍රසංග වේදිකාවේ පහලින් ගහන අඩි 50 x 4 දිග බැනර් එක අඳින්නේ. මේක අපි දෙන්නා අඳිනවා කිව්වට මෙහෙමයි කෙරෙන්නේ. ඔය සංචාරක නිවාඩු නිකේතනයේ තියෙනවා දිග කොරිඩෝවක්. ක්‍රීම් පාට ඉටි රෙද්දක් ගෙනල්ලා ඒක ඔය කොරිඩෝවේ දිග අරිනවා.
පහුවදා උදේ වෙන්න කලින් ඇඳලා ඉවර කරන්න ඕනේ. මේක වෙන්නේ සයිකල් තරගය දවසේ රෑ. කොහෙන් හෝ හොයා ගන්න යාරේ කෝදුවකින් අකුරු ඇඳෙන්න ඕනේ රුල් දෙක ඇඳ ගන්නවා. මේකේ අකුරු වල ස්කෙච් එක ඇඳෙන්නේ මගේ අතින්. ඊට පස්සේ තමයි පාට කරන වැඩේ තියෙන්නේ. අපි අතරින් සුචාටයි, මටයි විතරයි අත ගැහෙන්නේ නැතිව, ඒ වගේම අයින දිගේ ලස්සනට පින්සල ගෙනියන්න පුළුවන්. ඉතිං අපි දෙන්නා කරන්නේ මේ අකුරු වල පිටත කොටස පාට කරලා දෙන එක. අනිත් අය නම් වශයෙන් කිව්වොත් සුබසිංහ(ජීවතුන් අතර නැත), සරත්(ජීවතුන් අතර නැත), අජිත්, රෝහණ ලා දෙන්නා ඇතුළු තවත් පිරිසක්. මේ අතරේ මෙතනට එකතු වෙලා කතා කර කර ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ අය තමයි නිදිමත නැති කරන්නේ අමිත අයියා, සිරි අයියා, රත්නසිරි, නලින් අයියා, සමන් ධර්මරත්න(ජීවතුන් අතර නැත). මේ කාලයේදී මුළු නහයම ටර්පන්ටයි ගඳින් පිරිලා. මම මුලින්ම කොත්තු රොටි කෑවෙත් මේ කාලේ තමයි.
එක දවසක් තවත් කුඩා කටවුට් එකක් ඇඳ ඇඳ ඉන්නකොට අමරබන්ධු අයියා මතු වුණා. ඒ ආතර් පියසිරි මහතාගේ ගෙදර. ඒ වෙලාවේ එතුමාගේ පුතා වන රංජිත්(රංජි බා) හිටියා. දැන් රංජි බා එක්ක මිනිහා දෙනවා නැව් ටෝක් එකක්. ඒ තමන් ගාමිණි දිසානායක මහතා ඉන්න වේදිකාවක සංගීත ප්‍රසංගයක් එනවුන්ස් කරපු හැටි.
අමරබන්දු අයියා : රංජි මල්ලි කියලා වැඩක් නෑ, මම මහවැලි ස්ටේජ් එකක එනවුන්ස් කළා. අර මියුසිකල් ෂෝ වල තියෙන තඩි සවුන්ඩ්ස් දන්නවනේ. අන්න ඒවා දාලා තිබුනේ.
රංජි බා (කවදත් ජොලියට බර අනිත් අයට හොඳට බයිට් දෙන්න දක්ෂ පුද්ගලයෙක්) : හරි අමරබන්දු අයියා පොඩ්ඩක් එනවුන්ස් කරලා පෙන්නන්න කරපු විදිය.
අමරබන්දු අයියා (මයික් එකක් ලෙස අත ගුටි කර මුව ලඟට ගෙන) : බෙන්තොට...ට...ට...ට.. ක්‍රීඩා ....ඩා...ඩා...ඩා... සමාජය ...ය...ය...ය.. අභිමානවත් ...ත්...ත්... ලෙසින්...සින්...සින්...සින්..
අපි දෙන්නට හොඳටම හිනා.
රංජි බා : එතකොට මොකක්ද ඔය සින්..සින්.. සින්... ගෑවේ
අමරබන්දු අයියා : ඒ තමයි මල්ලි එකෝ එක. ඔය මයික් වලින් කතා කරනකොට ඔහොම තමයි ඇහෙන්නේ.
අපි දෙන්නට තවත් හොඳටම හිනා.
මෙයා ඇවිත් තියෙන්නේ සයිකල් රේස් එක තියෙන දවස දැන ගන්න. අපි දිනයත් කියලා වලව්ව ගාව මිනිහට ඉන්න කියලා පොරොන්දු කර ගත්තා. මේක අහපු වෙලාවේ ඉඳලා සුචා වැඩ වර්ජනය කරන්න හදනවා. එතකොට රංජි බා ම ප්ලෑන් එකක් දුන්නා.
"අපි මෙහෙම කරමු. උඹ මෙතනට ඇවිත් නැගපන්. කළුතර ගිහිං ගාල්ලේ යනකොට දැක්කේ නෑ වගේ යමු"
ඒකට නම් සුචා හොඳටම කැමති වුණා. අදාළ දිනයේ මේ කටයුතු සඳහා භාවිතා කරන මයිනර් කටුව අරගෙන ආවේ සංචාරක මණ්ඩලේ සේවය කරන දක්ෂ කාර්මිකයෙක් වෙච්ච පත්මසිරි. මිනිහට ඕන වාහනයක් කැඩුනත් හදාගෙන යන්න පුළුවන්. අපි එයාට මේ කතාව කිව්වා. ඔන්න දැන් කළුතර ගිය වාහනය ගාල්ල පැත්තට කඩාගෙන යනවා. වාහනයේ ඉදියේ ඉන්නේ සුචා, මමයි සවුන්ඩ්ස් ගෙනියන කවි නන්දෙයි පිටිපස්සේ. කියපු තැනට වෙලා සුදු කමිසයකුත් ඇඳගෙන අමරබන්දු අයියා ඉන්නවා. අමරබන්දු අයියාට සමාන රුපයක් හිතට ගත්තොත් අපේ ජනාධිපති තුමා. ඒ වගේ උඩු රැවුලක් තියෙන, ඒ උසම ඇති , තරමක උදරයක් තියෙන, කෙනෙක්. මිනිහා ගාවදී හෙමින් ගිය වාහනය මිනිහා පහු කරලා මීටර් 15 ක් විතර ඈතින් නැවැත්තුවා. ඔන්න මිනිහා දුවගෙන එනවා. දැන් සයිකල් ධාවන තරග කරුවෝ අපිව පහු කරගෙන යනවා. සුචා දිගටම එනවුන්ස් කරනවා. ආයෙත් වාහනය ඉදිරියට ගියා. අමරබන්දු අයියා පස්සෙන් දුවගෙන එනවා. අතුරුවැල්ලේ තියෙන රේල් ගේට්ටුව ගාවට විතර ආවට පස්සේ වාහනය නොනවත්වාම ගියා. ආපහු හැරිලා බලපු මට පේනවා අමරබන්ධු අයියා අත් දෙකෙ ඉහලට ඔසවාගෙන බනනිනවා. මට පොඩි දුකකුත් ඇති වුණා.
වෙනත් වතාවකදී මේ වාහනය එක්තරා තැනකදී කැඩුනා. ඒත් විනාඩි පහක් යන්න කලින් හදාගෙන අපි පසුකර ගිය ධාවකයන් ඉන්න තැනට යන්න පත්මසිරි සමත් වුණා. සයිකල් තරග වලදී ධාවකයන් කරන එක දෙයක් තමයි ප්ලේස් කිරීම. ඒ කියන්නේ ධාවනය වන වාහනයක පිටුපසින් ගමන් කිරීම. මෙහෙම යනකොට ක්‍රීඩකයාව නිකංම ඇදිලා යනවා. පදින්න මහන්සි වෙන්න ඕනේ නෑ. ඉතින් මේ ප්‍රචාරක රථයටත් ඔහොම ප්ලේස් කරන්න හදනවා. එතකොට අපි කරන්නේ වාහනයේ වේගය බාල කරන එක. වේගය වැඩි කරලා නම් මොන විදියකටවත් හලා ගන්න බෑ.
මේ වගේ තරගයක් එනවුන්ස් කරනකොට ආවේස වෙච්ච් කපුවා වගේ තමයි, සුචා, අමරබන්දු අයියා දෙන්නම වැඩ කරේ. සමහර වෙලාවට නැගිටින්න ගිහින් වාහනයේ ඔලුවත් වදිනවා. ඒ තරමට ධ්‍යානයකට සම වැදිලා වගේ කෑ ගහන්නේ. මේ කෑ ගැහිල්ල වැඩි වෙච්ච් තරමට තමයි සෙනග පාරට එන්නේ. මේ දෙන්නම කරන වැඩක් තමයි සෙනග වැඩි තැන වලදී එනවුන්ස් කරලා, සෙනග අඩු තැන් වලදී මගේ අතට මයික් එක දෙන එක. ඉතිං වෙන කරන්න දෙයක් නැති කමට මමත් ඔහේ එනවුන්ස් කරගෙන යනවා. සමහරවිට මට ආවරණය කරන්න වෙන ප්‍රමාණය වැඩියි. තරග අවසානය කිට්ටු වෙනකොට නම් මේ දෙන්නා මයික් එක උදුරා ගන්නවා. මමත් කැමැත්තෙන්ම මයික් එක දීලා දනිස් දෙකෙන් සීට් එකට නැගලා තරගය බලනවා. සමහරු නම් ජනේලය උඩ වාඩි වෙනවා. මම ඒක කරන්න ගියේ නැත්තේ ගෙදරින් ලැබුණු අවවාද නිසා.
|
මේ ඉන්නේ සුචා. |
අපි මෙහෙම එනවුන්ස් කරගෙන යන්නේ පොලිස් බලතලත් අතට අරගෙන. ඒ කියන්නේ ඉදිරියේ එන වාහන ධාවන කරන්න ඕනෙද/නැත්ද කියලා අපි නිවේදනය කරනවා. බොහෝ අය සහයෝගයක් වශයෙන් වාහන නවත්වනවා. ඒත් සමහරු දිගටම එනවා. මෙහෙම ආපු එක් වාහනයක් දැකල සුචාට හොඳටම තද වුණා.
"ඉදිරිපසින් එන ලොරි රථය ඉදිරියෙන් වේගයට ගන්න"
සුචා මර හඬ දීලා කිව්වා. මේ වතාවේදී අපි නිවේදන කටයුතු කලේ පොඩි ලොරියක ඉඳගෙන. මේකේ අපේ මිතුරන් බොහෝ දෙනෙක් හිටියා. ඉතිං මේක මතක තියාගෙන අවුරුදු ගාණක් යනකං සුචාව නැති කරා. ඇත්තටම කියන්න ඕනේ වුනේ "වේගයෙන් ඉදිරියට ගන්න" කියලා.
සුචාට නිතරම සෙම තියෙනවා. මේක නිසා කතා කරනකොට නහය බර ගතිය නිසා අමුතුම වචන පිට වෙනවා.
"පෙන්තොට ක්‍රීඩා සමාජය, අපිමානවත් ලෙසින් ඉදිරිපත් කරන මහා පක් මහා උළෙල"
වගේ කියනවා තමයි එළියේ ඉන්න කෙනෙකුට ඇහෙන්නේ. ඒ නිසා සුචා මයික් එක අතට ගන්නවා කියන්නේ සිනා සාගරයක්.
ආතර් අංකල්ගේ ගෙදර ඉන්නවා ඒ ගෙදර සේවය කරපු කාන්තාවගේ දරුවන් දෙදෙනෙක්. මේ දෙන්නාගේ නඩත්තුවත් ඒ ගෙදරින්මයි. බොහෝ විට එහේ ඉන්න නිසා මේ දෙන්නත් අනිත් අයට එතුමාගේ පාට් දාන පුරුදු වෙලා හිටියා. මෙයාලේ විශේෂත්වය තමයි ඔවුන්ට ආවේනික වෙච්ච් වචන. දෙන්නාගෙන් පොඩි එකා කුරු මොඩ්ල් එකේ එකෙක්. නවය වසරේදීත් අඩි 3 1/2 විතර තමයි උස. මේ පවුලේම අයට කවුරුත් ආමන්ත්‍රණය කලේ "බරසතයා" කියන සුරතල්(ද?) නමින්. මේ බරසතයෝ දෙදෙනාත් පුවත් මවන්නන් වෙලා හිටියා ඒ කාලේ. රංජි බා කියන වචනයත් මෙයාලගේ නිර්මාණයක්. ඒ රංජි බබා කියන එක වෙනුවට.
මේ කුරු මොඩල් බරසතයා එක වරක් අපේ නිවේදන කටයුතු කරන වාහනයට බලෙන්ම වගේ නැග්ගා. ආතර් අංකල් කිව්වා කියලා තමයි නැග්ගේ. එදා ඉදිරිපස අසුනේ හිටියේ මම. මේ වෙනකොට තරගකරුවන් එක්රැස් කර ගන්න නිවේදන නිකුත් කරමින් උන්නේ. මේ වෙලාවේ අසු හාර දාහට නැග්ග පත්මසිරි
"බැහැපිය වේ*** පුතා. තො*** අම්ම....."
කියල එකදිගට කුණුහර්ප වැලක් කියාගෙන ගියා. මගේ අතේ තිබ්බ මයික් එක මම ජනේලෙන් එලියට දානකොටත් මුළු ගමටම අර පණිවුඩේ ගිහින් ඉවරයි.
අපේ රංජි බා එක පාරක් සුචාගේ සාක්කුවට අත දාල උදේට කන්න කියලා තියාගෙන හිටිය රුපියල් 50 අරගෙන. ඒකට වාඩුව වශයෙන් සුචා කලේ එදා දවසේ නිවේදන කටයුතු වලින් වැලකුන එක. ඒ වගේ වෙලාවල් වලට මගේ කරපිට තමයි මේ වගකීම පැටවෙන්නේ.
එක් වසරක සයිකල් තරගයේදී අහුංගල්ලෙන් ආපු තරුණ ක්‍රීඩකයෝ දෙන්නෙක් තරමක් ඉදිරියට ගිහින්. මේක කරලා තියෙන්නේ පොලිස් මෝටර් සයිකලය පිටිපස්සෙන් ගිහින්. අනිත් සයිකල් කරුවන් අම්බලන්ගොඩදී බයිසිලක් පාර හරහා දාලා බිම නිදාගෙන. තරගය වර්ජනය කරලා. විසි ගණනක් වගේ තමයි එදා හිටියේ. අපේ විනිශ්චයට ගිය අය එයාලව පොරොන්දු කරගෙන අර දෙදෙනා හා එකම සීමාවක තියලා යලිත් තරගය ආරම්භ කරනවා කියලා. මෝටර් සයිකලයකින් හඹාගෙන ඇවිත් අපිවත්, අර තරග කරුවන් දෙදෙනාවත් නැවැත්තුවා. බොහෝ වෙලා කල පැහැදිලි කිරීමකින් පස්සේ අර තරග කරුවන් දෙදෙනා කැමති වුණා එකම සීමාවකින් තරගය ආරම්භ කරන්න. අකුරලදී පැයක විතර ප්‍රමාදයෙන් තරගය ආරම්භ කරන්න තීරණය කළා. එතකොට මහා වැස්සේ අපි සියළු දෙනාම තෙත් බරිත වෙලා. තරග කරුවන් 17-18 එකට ඉඳලා නැවතත් තරගය ආරම්භ කරන්න දැන් සුදානම. මෙතනට වේගයෙන් ආවා සාජන් මහේන්ද්‍රන් මහතා සහ තවත් කෙනෙක් සමග පොලිස් මෝටර් සයිකලය. බැහැපු ගමන් අර පේලියට ඉන්න තරග කරුවන්ට ගුගුරා මෙන්න මේ වගේ කතාවක් සාජන් වරයා කිව්වා
"කොයි එකාද යකෝ පාර හරස් කරේ පදින්න බෑ කියලා. රේස් එක පදින්න බැරි එවුන් ඉන්නවා නම් දැන්ම අයින් වෙයල්ලා"
අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක් වුනේ. එක පාරටම මේකට නායකත්වය සපයපු සීඩිං ඇතුළු 10ක් පමණ බයිසිකල් හරවාගෙන ආපසු යන්න ගියා. අන්තිමට තරග කරුවන් 7 දෙනෙකුගෙන් තරගය ආරම්භ කළා. අර දෙදෙනා තමයි ජය ගත්තේ.
ඊට පස්සේ අවුරුද්දක නිවේදන කටයුතු වලින් බැහැර වෙලා තරගය අවසන් කරන තැන ජයග්‍රාහකයන්ගේ අංක ලියාගන්න බාරදූර කටයුත්තට එකතු වෙන්න මට සිදු වුනා. අවසාන රේඛාව ලග තැබූ මේසයක්, ඒ මත තැබූ බංකුවක්, ඒ මත තැබූ පුටුව උඩ තමයි මම හිටියේ. මට පහල බංකුවේ තරගය වීඩියෝ කරන්න ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ සංචාරක මහතෙක්, ඊටත් පහලින් වසන්ත අයියා. බිමත් තව කට්ටිය හිටියා. වතුර ගැසීම් නිසා මේ අංක එක එක පැති වලට නැවිලා බොහොම අමාරුවෙන් තමයි, පිටේ හරි වම අතේ හරි තියෙන අංකය බලා ගන්නේ. මට පැවරිලා තිබුනේ 2,3,4,5 අයව ලියා ගන්න. ඒ වුනත් මම පුළුවන් තරම් ලියා ගන්නවා එක පොකුරට ආව වෙලාවට අනිත් අයට අතපහු වුනොත් කියලා.
ඔන්න දැන් නිවේදකයාගේ හඬ (සුචා) ළඟ ළඟම ඇහෙනවා. දැන් කවුරුත් සීරුවෙන්. මග දෙපස ජනතාවගෙන් පිරිලා. අඩි 10-12 ක් අතරේ තමයි තරගය එන්නේ. මේ තරග අවසානය තිබෙන තැන පාරේ ලොකු වංගුවක් සහ කන්ද ඊළඟට පාළම. මට දැන් පේනවා 10ක විතර කණ්ඩායමක් එනවා. මම ලියා ගන්න පුළුවන් හරිය ලියා ගත්තා. මේ එක්කම මම දැක්කා වාඩි වෙලා හිටිය වසන්ත අයියා නැගිටිනවා. බතා නොහොත් වසන්ත 4 වෙනි තැන බව මම අංකය නොලියාම දැන ගත්තේ, කුඩා කල සිට හඳුනන කෙනෙක් නිසා. දැන් වාරය වීඩියෝ පටයා ආශ්‍රයෙන් නිවැරදි තීරණය දෙන්න. දැන් සංචාරක මහතා සමග අවසාන තීරණය දෙන කණ්ඩායම(පියල් වීරසේකර, ආතර් අන්කල් ඇතුළු) ගියා බෙන්තොට බීච් හෝටලයට. අපි කවුරුත් වාඩි වෙලා වීඩියෝව බලනවා. තරග කරුවන් රැස ආදී එනවා එක පොකුරට. ඊළඟට කාගේදෝ ඔලුවකින් මුළු වීඩියෝවම තත්පර 30ක් විතර වැහිලා. ඒ වසන්ත අයියාගේ බව මට එක පාරටම කියවුනා. එක පාරටම නැගිට්ටානේ. දැන් තීරණය ගන්න වුනේ මම සහ වසන්ත අයියා ලියපු එකෙන්.
තමා දෙවෙනියා බව මේ වෙනකොටත් වසන්ත නොහොත් බතා එතන සිටි පිරිසට කියා තිබුනා. ප්‍රතිඵල නිකුත් කල විට ගියවර තරගය ජය ගත් අහුංගල්ලේ ක්‍රීඩකයා තමාට වීඩියෝ පටය නැරඹීමට අවශ්‍ය යයි පවසා සිටියා. මේ වෙලාවේ මට ගණදෙවි නුවනක් පහල වුණා. තරගයට පෙර සියලු නීති රීති සහිත අයදුම් පතක් ඔවුන් අත්සන් කරනවා. තරගයේදී සිදුවන ජීවිත අනතුරු වලට ක්‍රීඩා සමාජය වග නොකියන බවද, බයිසිකලයේ ෆ්‍රී වීලය දැති 12-14 සහ කොග් වීලය 48 විය යුතු බවද එහි සඳහන්. තරග අවසානයේ සියලුම බයිසිකල් වල මෙම දැති ගණන් කරනවා. මම ඔහුට පැවසු උත්තරයෙන් ඔහු තුෂ්නිම්භූත වුවා.
"ඔයාලා අත්සන් කරපු ඇප්ලිකේෂන් එකේ කොහෙවත් අපි කියලා නෑ තරග කරුවන්ට වීඩියෝ පෙන්වනවා කියලා"
නෑසෙන ගානට මොනවාදෝ මුමුනමින් ඔහු යන්න ගියා. තරගයේ ත්‍යාග ලබා දෙන මොහොතේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති තුමා අතින් ත්‍යාගය ලබාගත් බතා නොහොත් වසන්ත එතනම ත්‍යාග ය පොලවේ ගැසුවා. ඔහු පසුපස හඹා ගිය ක්‍රීඩා සමාජයේ සමහරුන් සහ බතාගේ හිතවතුන් අතර ලොකු රණ්ඩුවක් ඇති වුණා. එය අවසන් වුයේ අමිත අයියාගේ පිටට කවුරුන් හෝ එල්ල කල පිහි පාරකින්.
මිතුරනි තවත් මෙවැනි රස සහ ත්‍රාසජනක අත්දැකීම බොහොමයක් තිබුනත් අද සටහන මෙතකින් නිමා කරනවා.