Saturday, January 19, 2013

ක්‍රිකට් එක්ක ඉගෙන ගන්න බැරිද ?

පින්තුරය ගත්තේ : http://www.boredcricketcrazyindians.com / සංශෝධනය : සුදීක.
මේක මට පොඩි කාලේ ඉඳලා තිබුණු ප්‍රශ්නයක්. මම කුඩා කාලේ ක්‍රිකට් ගහන්න හදන කොට මගේ දෙමව්පියෝ දාපු බාල්දි මම කලින් ලියපු තර්ඩ්මෑන් කළාපයෙන් ක්‍රීඩාංගණයෙන් එලියට ගිය අත් දිග සුදු කමිසය පොස්ට් එක කවුරුත් බලන්න ඇතියි කියල හිතනවා. මොකද මගේ දෙමව්පියන්ට ඕන වුනේ මට උගන්වන්න මිසක් ක්‍රිකට් ගස්සන්න නොවේ. ඒ කාලයේ හැටියට එහෙම නොවුනානම් තමයි පුදුමේ. මට ඒ කාලේ අපේ අම්මලා කරපු ලොකුම අභියෝගය තමයි "පුළුවන් නම් ක්‍රිකට් ගහල විශ්ව විද්‍යාලයට ගිය කෙනෙක් පෙන්වනවා" කියන එක. මට තිබුන එකම උත්තරය මගේ ක්‍රිකට් ගුරුවරයා වෙච්ච ජයතිලක අයියා. එයත් හතරවෙනි අවුරුද්දේ ප්‍රතිපල වලින් වෛද්‍ය විද්‍යාලයට ගිහිං අන්තිම මොහොතේ මාට්ටු වුණා. ඒ ගමේ කෙනෙක්ම යවපු පෙත්සමක් හින්දා. නැත්නම් මිනිහා දොස්තරම තමයි. ඒ වෙනකොටත් සෑහෙන දැනුමක් තිබ්බා. මේ කෙරුවාවෙන් මටයි බැට් එක පැත්තකින් තියන්න වුණේ. ඒ කතාව කියන්න නෙමේ අද මම සුදානම් වුනේ. මම ඔය දෙකම බාගෙට කර ගත්ත බව දැන් හැම දෙනාටම පැහැදිලියිනෙ පහුගිය පොස්ට් කියවපුවාම. ඒත් මට තියෙන ක්‍රිකට් උන්මාදය නැති වෙන්නේ නම් නෑ. අධ්‍යාපනය නිසා  ක්‍රිකට් අත ඇරපු කී දෙනක් ඇත්ද? ඒ වගේම ක්‍රිකට් නිසා අධ්‍යාපනය අඩාල කර ගත් කී දෙනෙක් ඇත්ද ?

ක්‍රිකට් සහ අධ්‍යාපනය යා දෙක නොරත රත වගේ එකට යන්න බැරි රේල් පාරේ පීලි දෙක වගේ කියල තමයි 100ක ගෙන් ඇහුවොත් 99ක්ම දෙන උත්තරේ. ඒ ක්‍රිකට් වලට පාසල් වෙලාව යෙදෙව්වහම අධ්‍යාපනය අඩාල වෙනවා කියන පූර්ව නිගමනයේ හිටියොත්. ඇත්තටම ඉස්කෝලෙක ගත්තොත් සාමාන්‍යපෙළ තුන්වෙනි පාර සමත් වෙලා කළා අංශයෙන් උසස්පෙළ කරන අය තමයි බොහෝවිට ක්‍රිකට් කණ්ඩායමේ දකින්න ලැබෙන්නේ. මේ සැකය නිසාම අපි බොහොමයක් දෙනෙක් ක්‍රිකට් ගැසීම පැත්තක තියලා අධ්‍යාපනයටම හිත යොමු කළා. ඒත් මේ දෙකම එක වගේ කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු අය අද ඕනෑතරම් ඉන්නවා. අවාසනාවකට ලංකාවේ ඉන්නේ බොහොම අතලොස්සයි. අත් දෙකේ ඇඟිලි ගානටත් අඩුයි. 

හැබැයි මම බලල තියෙන දෙයක් තමයි, ක්‍රීඩාවෙන් සමු ගත්තට පස්සේ ක්‍රිකට් සම්බන්ධ ඉහල තනතුරු වලට (ලංකාවේ නොවේ) යන්නේ අර කියපු අතලොස්ස. මේකට අපි අවම සුදුසුකම වශයෙන් විශ්ව විද්‍යාල උපාධියක් හා ජාතික කණ්ඩායම නියෝජනය කල අය වශයෙන් ගත්තොත්, ලංකාවේ නිතැතින් මතකයට එන නම තමයි කුමාර් සංගක්කාර. ඔහු කොළඹ නීති පීටයට තේරුණා. මම දන්නා තරමට දැන් ඔහු නීතිඥයෙක් ලෙස සුදුසුකම් ලබා තිබෙනවා. ඔහු දිහා බැලුවාම මේ වෙනස පැහැදිලි වෙනවා. බොහොම විනීත, චතුර, ප්‍රසන්න පුද්ගලයෙක් ලෙස තමයි ඔහු ලෝක ක්‍රිකට් සමාජය තුල වර්ණනා කෙරෙන්නේ. අපි නොදන්නවාට ජෙහාන් මුබාරක් ක්‍රීඩකයාත් කොළඹ සරසවියේ රසායන විද්‍යා උපාධිදාරියෙක්. ඉන් පස්සේ අපේ මතකයට එන්නේ සමන් ජයන්ත. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම සීමිත තරග සංඛ්‍යාවක් නියෝජනය කරපු ඔහු මා දන්නා තරමින් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තක තියලා රුහුණු සරසවියේ අධ්‍යාපනය කරගෙන ගියා. ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම කඩුළු රකින්නා යයි බොහෝ දෙනා පිලිගන්නා මහේෂ් ගුණතිලක තමයි ටෙස්ට් තත්වය ලැබුනට පස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරපු එකම සරසවි ලාභියා. ඊට කලින් ගජන් පත්මනාදන් කියා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉඳලා තියෙනවා ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරපු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක්. නමුත් ඒ ටෙස්ට් තත්වය ලැබෙන්න පෙර.

තවත් සඳහන් නොකරම බැරි නම් දෙකක් තියෙනවා ලංකාවේ ක්‍රිකට් එක්ක ගහට පොත්ත වගේ ඇලිලා යන ඒ ප්‍රේමසර ඈපාසිංහ සහ පර්සි අබේසේකර. මේ දෙදෙනාත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු අය.

හොඳයි අපි අසල්වැසි ඉන්දියාව දෙසට හැරෙමු. වර්තමාන ඉන්දියාව නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් ගෞතම් ගාම්භීර් දිල්ලි විශ්ව විද්‍යාලයට අනුබද්ද හින්දු කොලේජ්හි උපාදිය ලබා තිබෙනවා. වී වී එස් ලක්ෂ්මන් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවත් එය අමතක කර දිගටම ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුනා. අධ්‍යාපනය පසෙක ලා ක්‍රිකට් තෝරා ගත් අනෙක් ක්‍රීඩකයා තමයි ඉන්දියාවේ මද වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන්. ඔහු ඉංජිනේරු පීටයට සුදුසුකම් ලබා අධ්‍යාපනය ආරම්භ කලත් පසුව එය ඇත හැර පූර්ණ කාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණා. ඔහුගේ සහෝදරයන් දෙදෙනාම ඉංජිනේරුවන්. මෑතකදී ඉන්දීය කණ්ඩායමෙන් ඉවත් වූ අනිල් කුම්බ්ලේ සහ ජවගාල් ශ්‍රීනාත් යන දෙදෙනාම ඉංජිනේරුවන්. ඔබ දන්නවා අනිල් කුම්බ්ලේ ඉලෙට්‍රොනික් ඉංජිනේරුවෙක් බව. මීට අමතරව අපේ මතකයට එන්නේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කල ක්‍රිෂ්නමචාරී ශ්‍රීකාන්ත්. ඔහුත් ඉංජිනේරුවෙක්. 

අපේ ලඟම අසල්වැසියා නොවුනත් පකිස්තානයත් අපිට සමීප රටක්. එහි තත්වය ගත්තොත්. වර්තමාන ක්‍රීඩකයන්ගෙන් මිස්බා උල් හක් ව්‍යාපාර කළමණාකාර පස්චාත් උපාධිදාරියෙක්. ෆවාඩ් අලාම් වැඩිය හුරු පුරුදු නමක් නොවුනත් ඔහුත් වාණිජ උපාධිදාරියෙක්. මීට අමතරව සහීඩ් අන්වර් ඉංජිනේරුවෙක් බව බොහෝ දෙනා දන්නවා. ඒ වාගේම ලෝකයේ බිහිවූ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් සැලකෙන පකිස්තානයට ලෝක කුසලානය දිනා දුන නායකයා වන ඉම්රාන් ඛාන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශපාලන විද්‍යාව පිලිබඳ උපාධිදාරියෙක්. ජනප්‍රිය විස්තර විචාරක පාකිස්තානය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කල රමීස් රාජාත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිදාරියෙක්. 

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අනෙක් ආසියාතික කණ්ඩායම වන බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් මෑතකදී ඉතිහාසය පිලිබඳ පශ්චාත් උපාධිය හිමි කර ගත්තා. 

ක්‍රිකට් ලොවට හඳුන්වාදුන්, ඒ වගේම එදා සිට  අධ්‍යාපනය ලොවට බෙදන එංගලන්තයේ තත්වය කොහොමදැයි බලමු. ක්‍රිකට් හඳුන්වාදුන් යුගයේ එය මහත්වරුන්ගේ ක්‍රීඩාව වශයෙන් නම් කෙරුනේ, එය ක්‍රීඩා කරන බොහොමයක් ඉහල සමාජයේ අය වීම. ඒ වගේම උගතුන් වීම.  ඉතිහාසය පුරාම එංගලන්ත කණ්ඩායම නියෝජනය කල  බොහෝ ක්‍රීඩකයින් උසස් අධ්‍යාපන ලැබූ අය. අපේ මතකයට නිතැතින් එන මයිකල් ඇතර්ටන් ඉතිහාසය පිලිබඳ උපාධිදරයෙක්. දැන් ඔහු පූර්ණකාලීන ක්‍රිකට් විස්තර විචාරකයෙක්. එංගලන්ත කණ්ඩායමේ වර්තමාන නායකයා ඇන්ඩ්රු ස්ට්‍රෝස්. ඔහු එංගලන්තයට නායකත්වය දුන් අය අතර සුවිශේෂී පුද්ගලයෙක්. එංගලන්තය ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත් කිරීමේ නියමුවා ලෙස හඳුන්වන්න පුළුවන්. ඔහු ආර්ථික විද්‍යා උපාදියෙහි නිබන්ධනය ලියමින් ඉන්නවා කියා තමයි ආරංචිය. මයික් බ්රෙයර්ලි ඔබට මතක ඇතැයි මා සිතනවා. ශ්‍රී ලංකාව ටෙස්ට් තත්වය ලඟා කරගන්නට මත්තෙන් කල එංගලන්ත සංචාරයේදී එංගලන්තයට නායකත්වය දුන්නේ ඔහුයි. පසුව MCC ආයතනයේ සභාපති ධුරය පවා ඉසිලූ ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් පිටවූ උපාධිදරයෙක්.

මේ නම් ලැයිස්තුව සම්පූර්ණ කරන්න ගියොත් මට තව මාසයක් විතර ගත වෙනවා. ඒ තරමට එංගලන්ත ක්‍රීඩකයින් උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා. මේ සමග අමතක කරන්නම බැරි දෙදෙනෙක් ඉන්නවා ඒ ග්‍රැහැම් ගූච් සහ මයිකල් වෝන්. මේ දෙදෙනාට සම්මාන ආචාර්ය පදවි පිරිනමලා තිබෙනවා ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කල සේවය සලකලා. ඒ කාරණය අපේ මාතෘකාවට අදාල නොවුනත් සඳහන් කරන්න වටින නිසා තමයි මතක් කලේ.

ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාවේ රජුන් බිහිකරන රාජ්‍යයය. ඔවුන් සාමාන්‍ය පෙළින් පසු කඩයිමක් ලෙස ක්‍රීඩාවට දක්ෂ අයට අවස්ථාවක් ලබා දෙනවා ඉදිරියේදී ක්‍රීඩාව දිගටම කරගෙන යනවාද නැත්නම් අධ්‍යාපනය සම්පූර්ණ කරනවාද කියලා. එක් පැත්තකින් අවදානම් වුනත් එය කදිම තීරණයක්. මෑතකදී කියවනු ලැබූ ඉන්දීය ග්‍රන්ථ රචක චේතන් බාගත් ගේ 3 Mistakes in my Life කියන කෘතියේ සඳහන් වෙනවා "අපේ රටවල් වල ඔනෑම කෙනෙක් විමසා සිටින්නේ ඔබේ රැකියාව කුමක්ද ? කියා එහෙත් ඕස්ට්‍රේලියානුවන් විමසන්නේ ඔබේ ක්‍රීඩාව කුමක්ද ? කියා" මම හිතනවා මේ කතාව ඇත්තක් කියා. මොකද ඕස්ට්‍රේලියාව ක්‍රීඩාව වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරන රටක්. ඕස්ට්‍රේලියානුවන් ඉතාම දක්ෂ පන්දු රකින්නන් ඒ වගේම හොඳ කාය ශක්තියක් තියෙන කඩිසර ක්‍රීඩකයින්. නමුත් මා කුඩා කාලයේදී ගුවන්විදුලියෙන් ඇසූ කම්මැලි ඕස්ට්‍රේලියානුවා ජෙෆ් ලෝසන්. ඔහු අක්ෂිවෛද්‍යවරයෙක්. මෑතක් වනතුරුම ක්‍රීඩා කල වේග පන්දු යවන මයිකල් කැස්ප්රෝවිෂ් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් අධ්‍යක්ෂක වරයෙක්. ඔහුගේ පශ්චාත් උපාධිය ක්වීන්ස්ලන්ත සරසවියේ මේ වනවිට කරගෙන යනවා.

ඕස්ට්‍රේලියාවේ තවත් වැදගත් දෙයක් සිදු වනවා. ඔවුන්ගේ විශේෂ ශිෂ්‍යත්ව ක්‍රමය මගින් ක්‍රීඩාවට දස්කම් දක්වන අය සඳහා උපකාර කරනවා. මෙය සිදු කරන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ආයතනය (Australian Institute of Sports). ක්‍රිකට් ක්‍රීඩාවටත් ඔවුන් එසේ ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඔවුන් ඉන් පිටවන්නේ   ක්‍රීඩාව පිලිබඳ උපාධිදාරීන් ලෙස. එසේ පිටවුවන් අතර ස්ටුවර්ට් ලෝ, මයිකල් බෙවන්, බ්‍රෙන්ඩන් ජුලියන්, මයිකල් ස්ලේටර්, ග්‍රෙග් බ්ලුවට්, ජස්ටින් ලැන්ගර්, ඩේමියන් මාර්ටින්, ෂේන් වෝන්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, මයිකල් කැස්ප්‍රෝවිෂ්, ස්ටුවර්ට් මැක්ජිල්, ග්ලෙන් මැක්ග්‍රාත්, රිකි පොන්ටිං, ජේසන් ගිලෙස්පි, බ්‍රෙට් ලී කිහිප දෙනෙක් පමණයි.

මෙසේ වට්ටෝරුවක් ලෙස සියලුම රටවල් ක්‍රීඩකයින්ගේ විස්තර මා සටහන් කරන්න යන්නේ නෑ. මෙහිදී පෙන්වා දීමට උත්සාහ කලේ ආසියාව හා ලෝකය අතර අප සිටින තැන. මේ ගැන අදහස පහල වුවේ මේ දිනවල පැවැත්වෙන රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය ගැන විස්තර දැන ගැනීමට ලැබුණු පසු. මෙම තරගාවලිය තුල ශ්‍රී ලංකාව හෝ වයස 19න් පහල ශ්‍රී ලංකාව නියෝජනය කරන/කල අය මා දන්නා තරමින් නෑ. එයින් පැහැදිලි වන්නේ ක්‍රිකට් සහ අධ්‍යාපනය සමබරව තාබාගන්නා අය නැතිතරම් කියා  නොවේද ?

50 comments :

  1. සුදීක ඇත්තටම කාලින ලිපියක්. මේ දෙකම එකවර ගොඩ දාගන්න එක ලේසි පාසු කටයුත්තක් නම් නොවෙයි. ඒකට සහජ හැකියාවක් තිබිය යුතුයි කියා මට හිතෙන්නේ.මොකද දෙපැත්තෙන්ම ගොඩ ගිය පිරිස අතලොස්සක් නිසා.සුපිරි හැකියාවෙන් යුක්ත වන්න්න් ඉන්නවානේ අප අතර සීමිතව වුවත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන්. මේ දවස් වල මගේ නංගිගේ පුතාව අපි සාමාන්‍ය පෙළ නිසා තරමක් ක්‍රිකට් වලින් ඈත් කරලා තියෙනවා. ඉන් පස්සේ පුළුවන් ක්‍රිකට් ක්‍රීඩා කරවන්න. පාසැල් වලට පුළුවන් මේ කාලය මග අරින්න මේ ක්‍රමයට. දක්ෂ ඇයට ආපහු එන්න අවස්තාව දෙන්න ඕනේ විභාග ඉවර උනහම.

      Delete
  2. ඇත්තම ඇත්ත කතාවක් මම ආසම ක්‍රීඩකයා රොෂාන් මහානාම..ඔහුත් මඩුගල්ලේ ගේ පාරේ යන්නේ විශිෂ්ටයි..ලසිත් මාලිංග පහු දවසක කිව්වා එයා ක්‍රිකට් ගහන එක නතර කරොත් එයා ගැන බලන්න කවුරුත් නැහැ කියලා ඇත්ත තමා දැන් බලන්න මහෙල් සංගා වැනි ක්‍රීඩකයින් අද ක්‍රිකට් ගහන එක නවත්තුවත් එයාලට මැරෙනකම් ක්‍රීඩා සම්බන්ද වැඩ කටයුතු වලට සම්බන්ද වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. හැම කෙනාම එක වගේ දක්ෂ නෑ කියමු. මට හිතෙන්නේ මාලිංගට නළුවෙක් වෙන්න වගේ දෙයක් ගැන හිතන්න පුළුවන්.

      Delete
  3. //..ඔහු කොළඹ නීති පීටයට තේරුණා. මම දන්නා තරමට දැන් ඔහු නීතිඥයෙක් ලෙස සුදුසුකම් ලබා තිබෙනවා...//

    මම දන්න තරමින් සංගක්කාර තවම නීතී පීඨයෙන් කටයුතු අවසන් කරලා නැහැ. තාවකාලිකව නවත්තලා තියෙන්නේ.

    ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේම තමා නළු නිළියොත් ඒ ක්ෂේත්‍රයට ආපුවාම අධ්‍යාපනය අමතක කරනවා. ඒත් හොඳ අධ්‍යාපනයක් ලබපු අය ඉන්නවා. මට මතක් වුණා ප්‍රීති සින්ටාව ඇය භෞතික විද්‍යා උපාධිධාරිනියක් කියලා මතකයි.

    ඒ ගැනත් යමක් ලියන්න කියලා ආරාධනා කරනවා අයියාට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත දැනුවත් කිරීමට. ඔයා කියනවා නම් ඒ ගැනත් මම ලිපියක් ලියන්නම්.

      Delete
  4. අවශ්‍යතාව තියෙනවා නම් අධ්‍යාපනයත් එක්ක ක්‍රීඩාව යන දෙකම සමබරව කිරීමේ හැකියාවක් තියෙනවා. ලංකාවේ අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නෙ තමයි ගුරුවරුන්ගේ කඹ ඇදිල්ල. මා පුද්ගලිකව දන්නා විදිහට විශය බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වීම නිසා අධ්‍යාපනය කඩාකප්පල් වෙ බව කියන ගුරුවරුන් බොහොම දෙනෙක් ඉන්නවා. ඔවුන් තමයි දෙමව්පියන්ට ගතු කියන්නේ. මම මේ තත්වය බාලදක්ෂ හා ශීෂ්‍යබට කණ්ඩ පුහුණු කරන කාලයේදී බහුලව අත් විද තියෙනවා.
    // ඇත්තටම ඉස්කෝලෙක ගත්තොත් සාමාන්‍යපෙළ තුන්වෙනි පාර සමත් වෙලා කළා අංශයෙන් උසස්පෙළ කරන අය තමයි බොහෝවිට ක්‍රිකට් කණ්ඩායමේ දකින්න ලැබෙන්නේ.// මේ තත්වයට මූලිකම හේතුව ගුරුවරුන්. ඉගනීමට දක්ෂතා පෙන්වන ළමුන් ක්‍රීඩා සදහා යොමු උනාම සමහර ගුරුවරුන් කැමති නෑ. ඉතින් දෙමව් පිය රුස්වීමකදී ඒ ළමයගේ අම්මව හම්බ උන ගමන්ම කියන්නේ
    “කලින් නම් හොදට වැඩ කරගෙන ආවා ඒත් ක්‍රිකට් ගහන්න ගත්තට පස්සේ නම් වැඩ ටිකක් දුර්වලයි“ ක්‍රිකට් ගැහිල්ල එතනින් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව බණ්ඩා. නමුත් සහජ හැකියාව තියෙන ඇය අධ්‍යාපනය අඩාල කර ගන්නේ නෑ.

      Delete
  5. දොස්තර හර්ෂ සමරජීව ගැන අහලා තියෙනවාද?

    http://www.island.lk/2008/06/15/features14.html

    ReplyDelete
    Replies
    1. එතුමා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කලාද ? මම ලිපිය බැලුවා ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කල විස්තරයක් පමණයි තිබෙන්නේ.

      Delete
    2. ජාතික කන්ඩායමට ක්‍රීඩා කලේ නැහැ. නමුත් අනුර තෙන්නකෝන් වගේ අය එක්ක ප්‍රතිවාදී පිලට ක්‍රීඩා කලා පාසැල් කාලයේදී. ඔහුටත් අන්තිමට තීරණය කරන්නට උනා කුමක් තෝරා ගත යුතුද කියා.

      Delete
    3. එහෙමද එහෙනම් එතුමාත් සුමිත්‍ර වර්ණකුලසුරිය වගේ අවාසනාවන්තයෙක්. බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට.

      Delete
  6. ඔතන කියන්නේ ක්‍රිකට් ගැනනේ.. අපේ ඉස්කෝලේ ක්‍රිකට් තිබ්බේ නෑ.. එත් මං කරපු බැඩ්මින්ට්න් ගැහිල්ලත් 10දි නැවැත්තුවා අම්මා.. ක්ලාස් ගියේ නැති නිසා මට තව අවුරුද්දක් දෙකක් සෙල්ලම් කරන්න තිබ්බා.. දැං නං අපරාදේ කියලා හිතෙනවා...

    ළමයෙක් ක්‍රීඩාවකට විතරක් නෙවෙයි වෙනත් අංශයක් ගැන උනන්දු නම්, එයා ඉගනිමට යම් තරමක දුර්වලකමක් දක්වනවා නම්, අපේ රටේ කරන්නේ ටියුෂන් ක්ලාස් 10කට විතර යවලා අර බැරි අමාරුවෙන් කරන්න දඟලන එක කරන්න හදනවා මිසක්, අර ළමයා දක්ෂ දේට යොමු කරවන එක නෙවෙයි... මම අපේ මල්ලි ඒ ලෙවල් කරන්න හදන කොට කිව්වා මිනිහා දක්ෂ ඉලෙක්ට්‍රොනික් පැත්තට, එයාව ඒ ලෙවල් කරවලා නම් වැඩි වැඩක් වෙන්නෙ නෑ කියලා.. මොකද මිනිහගේ ඕලෙවල් රිසල්ට්ස් අඩුයි.. අම්මලා ඒකව කො‌හොම හරි තල්ලු කළාට මිනිහා යන්තම් ගොඩ දාගත්තා විතරයි... එකෙන් උනේ එයාව වෘත්තීය පුහුණු එකේ කෝස් එකට යවන්න බැරි වෙච්ච එක විතරයි.. මොකද විබාගේ ඉවර වෙලා රිසල්ට්ස් එනකොට එයාට 18 ඉවරයි..

    අනිත් එක අර බණ්ඩා කිව්වා වගේ ටීචර්ලා... එයාලා මහ වැඩක් කරන්නෙත් නෑ.. ඒත් ඔය කතාව නම් කියනවා අනිවාර්‌යයෙන්ම ගුරු දෙගුරු රැස්වීම් වලදී.. මාත් අහලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔයා Bend it Like Beckham බලන්න. මේ කතාව හොඳට විස්තර වෙනවා. ඔයාගේම කතාව කියල හිතෙයි.

      Delete
    2. හැක්... කටපාඩම් ෆිල්ම්... හි හි... මගේ යාලුවෙක් හිටියා.. සබරගමුව කැම්පස් එකේ.. ගෙදර ආපු දවසට අපේ ගෙදර ඇවිත් ඔය සීඩී එක අරන් යනවා හැම පාරම... යන දවසට ගෙනත් දීලා යනවා.. මං අන්තිමට එයාටම ඒ සීඩී එක දුන්නා.. එයා ඒකට ඒ තරම් ආස නිසා...

      Delete
    3. මගේ සීඩී එකතුවේ තිබ්බ ඔරිජිනල් එකක්. ඒත් අපේ බිරිඳ හිටපු කාලේ ලොබ නැතිව මේවා දොර දන් දුන්නෑ.

      Delete
  7. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වෙ ඉස්සරනේ..........

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ ඒ දේ වෙනස් කරපු අය තමයි.

      Delete
  8. ඉස්කෝලෙ යනකාලෙ ක්‍රිකට් කලේ නැති එකට අදටත් දුක් වෙනව මං :(

    ReplyDelete
    Replies
    1. දැන් වුනත් ප්‍රමාද නෑ කියන එකයි මගේ විශ්වාසෙ(Better Late than Never).

      Delete
  9. ලොකු ඉස්කෝලෙක ක්‍රිකට් ටීම් එකේ ඉහලින්ම ඉන්නවනම් ඉගෙන ගන්නේ පිස්සුවටද? ඒ කොල්ලා ඊළඟට ක්‍රීඩා සමාජයකට නිකම්ම තල්ලු වෙනවා. පෞද්ගලික අංශයේ රැකියාවක් ස්ථිරව ලැබෙනවා. (මෙන්න මෙතනට එනතුරු ටිකක් සල්ලි විසිකරන්න ඕනේ)ඊට පස්සේ කොල්ලා පූල් එකට වැටෙනවා. දැන් ඉතින් හැඩපාරේ ගහහෙන යනවා වගේ තමයි. සල්ලි (ඩොලර්) හැඩපාරේ යන එකයි තියෙන්නේ. කොන්ද කැඩෙන තරම් බර දෑවැද්දක් එක්ක කොටි ගණන් දේපොළ හිමි කෙලි පටික්කියෙක් සහේට ගත්තම ඉතුරු ටිකත් ගොඩ. නැත්නම් 'ජයසුරිය න්‍යාය' වුනත් නරක නැහැ. අවුරුදු කීපයකට වරක් නෑඹුල්? (අම්මපා නෑඹුල් ද?) වින්දනයකුත් ලැබෙනවනේ.
    සල්ලි වලට මිසක් අධ්‍යාපනයට හෝ මිනිස්කමට නොසලකන සමාජයක ක්‍රිකට් සමග කුමන අධ්‍යාපනයක්ද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේ නිසා තමයි වරක් තෙන්ඩුල්කාර් කිව්වේ "ක්‍රිකට් යනු තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාව නොවේ"

      Delete
  10. සුදීක මේ ලිපිය අපේ අම්මාල තාත්තලට කියවන්න ලැබෙනවා නම් ගොඩාක් වටිනවා. මමත් ඔය වගේම අධ්‍යාපනය නිසා ක්‍රීඩාව නවත්තපු කෙනෙක්. අද එක ගැන ගොඩක් පසුතැවෙනවා. මගේ දුවට එහෙම වෙන්න දෙන්නේ නෑ කියල තම හිතාගෙන ඉන්නේ. එත් ඉගෙනීම හා ක්‍රීඩාව සමබර කරගන්න දෙමව්පියෝ දරුවන්ට උදව් කරන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි දෙන්නම එක නිකායේ.

      Delete
  11. ඕක ඉතින් වයසේ හැටියට සහ ලමයාගේ හැටියටත් වෙනස් වෙන්ට පුලුවන්. ක්‍රීඩාවෙන් මනස සන්සුන් කරගත්තු හැකි. වෙනත් දේවලට ඇදෙන හිත පාලනය කරගත්තු හැකි. ඒකට ඉතින් හොඳ අවවාද වගේම හොඳ මිතුරු, මිතුරියනුත් බලපානවා. මෙහේ නම් හැමෝම වගේ මොනා හරි ක්‍රීඩාවක් කරනවමයි. ඒත් වැඩි දුර ඉගෙන ගන්නකොට ඒවා අත් ඇරිලා යනවා සීරියස් සෙල්ලම් නොකරනවානම්.

    ක්‍රීඩාව සහ ඉගෙනීම එකට යන දෙකක් කියලා මට නම් හිතෙන්නේ...:)

    ReplyDelete
    Replies
    1. අර මිනිස්සු අහන ප්‍රශ්නේ හරිද ? මොකක්ද ඔබේ ක්‍රීඩාව? කියලා.

      Delete
  12. මේ මාතෘකාව මම ඇදගන්න අකමැතිම මාතෘකාවක් වුනත් දැන් මූණෙම හැපෙන නිසා විකල්පයක් නෑ.
    මෙතන තියෙන්නෙ සුදීක කියන ක්‍රිකට් සහ අධ්‍යාපනය බැලන්ස් නොකිරිල්ලට අමතරව තවත් කතාකරලා දිනන්න බැරි හේතුවක්.

    ඒක තමයි ලංකාව සහ ඔය කියපු සියලුම රටවල් වල උසස් අධ්‍යාපනයට ලැබෙන අවස්ථාවේ වෙනස.

    අපේ තියෙන නිදහස් අධ්‍යාපන ක්‍රමය, විශේෂයෙන්ම නිදහස් විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය ඔය කිව්ව එක රටක වත් නෑ.

    නිදහස් අධ්‍යාපනයෙන් ලැබිලා තියෙන දේ වගේම අහිමි වෙන දේත් තියෙන බව අපි හිතාමතාම අමතක කරනවා.

    එයින් ප්‍රධානම එකක් තමයි උසස් අධ්‍යාපනය ලැබීමට කැමති නමුත් ඉහලම ලකුණු නොගත් විශාල පිරිසකගේ උසස් අධ්‍යාපන අවස්ථා කප්පාදු වී යාම.

    මීට හේතුව අධ්‍යාපනය නිදහස් නිසාත්, විශ්ව විද්‍යාල ගනන සීමා සහිත වීම නිසාත් ඇතිවන තදබදයට විසඳුම ලෙස ඉහලම ලකුණු ගන්නා අතලොස්සකට පමනක් උසස් අධ්‍යාපන අවස්ථාව ලබාදීමට ඉඩ දීම හැර වෙන විකල්පයක් නොතිබීම.

    ඔය කියපු අනිත් රටවල් එකකවත් ඔය තත්වය මේ තරම් දරුණුවට දකින්න නෑ. විශ්ව විද්‍යාල අධයාපනයට මුදල් ගෙවිය යුතුයි. පෞද්ගලික විශ්ව විද්‍යාල ඉතිරි අඩුව සම්පූර්ණ කරනවා. අනුබද්ධිත විශ්ව විදයාල /affiliated universities/colleges) ඊ ලඟට එනවා. ඊටත් අමතරව ඔන් ලයින් ඩිග්‍රීස් ගන්න පුලුවන්.

    ඔව් අනිවා, මුදල් අවශ්‍ය වෙනවා. නොමිලේ අධ්‍යාපනයක් නැති නිසා. නමුත් ඉගෙන ගන්න කැමති කෙනාට ඒ අවස්ථාව අහිමි කරලා නෑ. අපේ වගේ වැට කඩොලු බැඳලා නෑ.

    ඉතින් සල්ලි තියෙනවානම්, (ක්‍රිකට් ගහනකොට ඉතින් සල්ලි ගැන වද වෙන්න ඕනෙ නෑනෙ.) ඉගෙන ගන්න කැමතිනම් අවස්ථාව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි. ඔය වගේ ක්‍රමයක් තිබ්බා නම් අපිටත් මදි වූ ලකුණු නිසා ලතැවෙන්න වෙන්නේ නෑ.

      Delete
    2. නිදහස් අද්‍යාපනය නිසා සෝචනීය ලෙස බහුතරයකගේ මානව හිමිකම් කඩවෙන බව කියන මතයක තමයි මාත් ඉන්නේ. සුළුතරයකගේ පිං අද්‍යාපන අයිතිය වෙනුවෙන් රටක්ම වන්දි ගෙවනවා. :(

      Delete
    3. මමත් මේ ගැන තමයි කමෙන්ට් කරන්න හිතුවේ.. නිදහස් අධ්‍යාපනය හොඳයි. නමුත් එයින් ඉගනීමට කැමති හැකියාව ඇති බොහෝ දෙනෙක්ගේ මානව හිමිකම් කඩවෙනවා. ලංකාවේ පෞත්ගලික විශ්වවිද්‍යාල තිබුනනම් මේ දත්ත බොහෝ වෙනස් වෙන්න තිබුනා!

      Delete
  13. මේකයි අයියේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත් මේකට හේතුවක් වෙන්න ඇති. ලංකාවේ ළමයි දැන් ඉගන ගන්නේ නිකන් රේස් එකකට වැටිලා වගෙයි. ගොඩක් විෂය පරිභාහිර දේවල් එයාලට මග හැරෙනවා මේ හේතුවෙන්.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන ක්‍රමයටම වඩා ගුරුවරු ඉගෙන ගන්න දක්ෂ ළමයි විෂය පරිභාහිර දේවල් වලට යොමු වෙනවට කැමති නෑ. ඉහල ඒ අත්දැකීම තිබෙන දෙදෙනෙක්ම ඉන්නවා.

      Delete
  14. ජෙහාන් මුබාරක්නං පට්ට වැඩ්ඩෙක්.
    ක්‍රිකට් වලිං නෙමේ කෙමෙස්ට්‍රි වලිං...

    ඔස්ට්‍රේලියාවනං ඉතිං හැම ක්‍රීඩාවටම එක වගේ සලකනවනේ...
    මරු පෝස්ට් එක...

    ReplyDelete
    Replies
    1. එක නේ එක්කෝ cricket නැත්තන් books.

      Delete
    2. මිනිහා ක්‍රිකට් ගැහුවේ හරි රිලක්ස් එකේනේ.

      ඔව් ඔස්ට්‍රේලියාව තමයි ලෝකයේ දෙවෙනි රට හැම ඔලිම්පික් ක්රීදාවකටම ක්‍රීඩකයින් ඉදිරිපත් කරන.

      බොහොම ස්තුතියි.

      Delete
  15. කව්රු මොනවා කීවත් දෙකම කරලා කෙල පැමිණෙන්න බැහැ. ලංකාවට මෙන්ම ලෝකෙටම මට හිතන විදිහේ හොඳම උදාහරණය තමයි කුමාර සංගක්කාර. ක්‍රිකට් වල කෙල පැමිණි ඔහු අද නීති අද්‍යාපනය මා දන්නා තරමින් අදාල කරගෙන. ඔහු එය ක්‍රිකට් සෙල්ලම් කරලා හමාර උනාට පස්සේ කරනවා විය හැකි නමුත් දෙකම එකට කරගෙන යන්ඩ බැහැ. අනික ක්‍රිකට් ගහන කීයෙන් කීදෙනාද ශ්‍රී ලංකා team එකට ගිහිල්ලා ඉන්න professionals (in education)ඉන්නේ? ලෝකෙටම කුමාර සංගක්කරලා වගේ ඉතාම ඉතාම අඩු ගානක් . නැති තරම්.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් එහෙම කෙනෙක් පහල වෙන එකයි පුදුමේ. අනිත් රටවල ඇයට අර හෙන්රි කිව්වා වගේ ඩිග්රියක් ගන්න පුළුවන්. අපේ කෙනෙක්ට වුනත් දැන් ඒ ක්‍රමයට අධ්‍යාපනය කරන්න පුළුවන්.

      Delete
  16. වැදගත් මතෘකාවක්. මේ දෙක ගොඩ දෙනෙකුට කරන්නනම් බැහැ තමා. ඉගනීමට සහ ක්‍රීඩාවට සහජ දක්ෂයෝ ඉන්නේ අප සමාජේ හැටිම ටික දෙනයි.එත් වෙනත් විශාල රටවල ඇති ජනගහනයක් සහ අධ්‍යාපනයට ඇති පහසුකම් බලපානවා කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, ක්‍රිකට් ගහන අයට දැන් මුදල් තියෙනවා. මුලික සුදුසුකම් සපයලා තියෙනවනම් අවශ්‍ය උවමනාව පමණයි. දුප්පත් කෙනෙකුට නම ස්කොල් එකක් ඉල්ලා ගන්නත් පුළුවන්.

      Delete
  17. මෙතන මුල්ම වැරද්ද කරන්නේ සමාජය.... සමාජය හදන රැල්ලට අම්මලා තාත්හලා උත්සහ කරන්නේ හැමෝම වයිට් කොලර් ජොබ් වලට රින්ගවන්න.... ලංකාවේ දෙමාපියෝ ක්‍රිකට් විතරක් නෙමේ වෙන අමතර කිසිම දෙයකට යොමු කරනට ගොඩාක් අකමැති වෙලා තියෙන්නේ ඒ දේ නැති වෙයි කියලා... ඒ එකක් තියා සමහර අය
    ශිෂ්‍ය නායක පට්ටම් පවා උසස් පෙලදී එපා කියලා අත හරිනවා ඉගන ගන්න බැ කියලා.... ඉතින් කොහොමද ක්‍රිකට් ගැන කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කථාව ඇත්ත. මම පාසල් කාලෙදී උත්සාහ කළා බාලදක්ෂයෙක් වෙන්න, එත් ප්‍රින්සිපල්ම මාව නැවැත්තුවා.

      Delete
  18. ඉගෙන ගන්න එක එච්චර වැඩක් නෙමෙයි හරියට එදා දෙන දේ එදා කරනවනම්.එතකොට ක්‍රිකට් නෙමෙයි ලෝකෙ තියන ඕනම දෙයක් කරත් කමක් නෑ.බොහොම වටින ලිපියක්

    ReplyDelete
    Replies
    1. උවමනාව තමයි කෙනෙක්ව බොහෝ දුර ගෙනියන්නේ.

      Delete
  19. පන්තියෙ හතලිස් දෙනා එකතුවෙලා අල්ලපු පන්තියෙ උන් එක්ක මැච් එකක් ගහන්න හදාගත්ත ටීම් එකට සිලෙක්ට් වෙන්නවත් හැකියාවක් නොතිබුන මට කවදාවත් ඔහොම විකල්ප තෝරා ගැනීමක් ගැන වද වෙන්න වුනෙම නෑ..

    සමහර ඩයල් ඉන්නවා ඔය ඔක්කොම බැලන්ස් කරන් කරන.. උන්ට අර ඉස්කෝලෙදි ගුරුවරයා ඒවෙලාවට කියලා දෙන දේ විතරක් ඇති.. පස්සෙ පොඩි ටච් එකක් විතරයි ඕනා.. උන්ට ඉතින් ක්‍රිකටුත් ගහලා කැම්පසුත් යන්න පුලුවන්.. ඒත් බහුතරයකට විකල්ප තෝරා ගැනීමක් කරන්න වෙනවා..

    ක්‍රීඩා උපාධියක් ඇති කලොත් කොහොමද අර ඕස්ට්‍රේලියාවෙ වගේ..? 9 වසරෙදි විතර ආ ක්‍රීඩා කරන අය මේ පැත්තෙන් එන්ඩ කියලා උන්ව ඒකෙ පර තෙරටම යැව්වනම් නරක් වෙයිද ?

    ReplyDelete
    Replies
    1. ඕනෑම සබ්ජෙක්ට් එකක පරතෙරට යාම උපාධියක් තමයි. ඉතින් කිරිකට් හෝ ක්‍රීඩා උපාධියක් ලබාදීම වැරදි නෑ. ඒකනේ එංගලන්තේ ක්‍රීඩකයින්ට සම්මාන ආචාර්ය පදවි ලබා දුන්නේ.

      Delete
  20. නරකද ක්‍රිකට් වලට උපාධියක් පිරිනැමුවොත්.

    ReplyDelete
    Replies
    1. හොඳයි. මම තමයි එකෙන්ම කැමති වෙන්නේ. ඒත් ඉතිං මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ.

      Delete
  21. උපාධිය ගත්ත සමහරුන්ට උරුම වුනේ රජයෙන් දෙන 10000/- වැටුපට වැඩ කරන්න. ඊට වඩා කොපමණ ආදායමක් වර්තමාන ක්‍රීඩකයන් උපයාගෙන තියෙනවද, ඒ අර්ථයෙන් බැලුවාම ඉදිරියට එන ක්‍රීඩකයන් වුවත් පූර්ණකාලීනවම ක්‍රිකට් වලට කැපවෙයි කියන එක තමයි මගේ විශ්වාසය...

    ReplyDelete
    Replies
    1. කෙටිකාලීනව බැලුවොත් අධ්‍යාපනය පැත්තක තියල ක්‍රිකට් ගැහුවොත් යහමින් මුදල් එකතු කර ගන්න පුළුවන්. බලන්න අපේ ක්‍රිකට් ගහපු බොහෝ දෙනෙක් අද කරන්නේ පුහුණුකරු, විනිසුරු රැකියා. දිගටම පිට්ටනියට වෙලා අව්වේ කර වෙනවා. තවත් ස්වල්ප දෙනෙක් විස්තර විචාරකයන්. නමුත් හොඳ අධ්‍යාපනයක් මේ එක්කම ලඟා කර ගත්තා නම් ඔවුන්ට ක්‍රිකට් වලම හෝ වෙනත් උසස් රැකියාවක් ලබා ගන්න පුළුවන්.

      Delete
  22. ක්‍රිකට් ... ඒත් අද ඇත්තටම එය වෙළඳාමක් ... ඔව් උපාධියක් දෙන්න ඕන ... මොකද හොඳට වෙළඳාම් කරනවට.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...