Thursday, March 30, 2017

සම්මාන නොහොත් ගම්මාලු ......

තුන්වෙනි වරටත් නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල ඉතා ඉහළ මට්ටමින් පැවැත්විණි. පළමුවෙන්ම අඛණ්ඩව මෙය පවත්වාගෙන යාම වෙනුවෙනුත්, පසුගිය අඩුපාඩු මකාගෙන තත්වය උසස් කිරීම වෙනුවෙනුත්, එහි සංවිධායක මණ්ඩලයට, විශේෂයෙන්ම අජිත් ධර්මකීර්ති, කල්‍යාන ඇතුළු ඒ සඳහා දායකත්වය දැක්වූ සියල්ලන්ට මගේ ප්‍රණාමය සහ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. ඒ හුදෙක් මමද එහි සම්මාන ලාභියෙක් වීම නිසා නොව, තමන්ගේ වියදමින් සිංහලෙන් කියවන දනන්ගේ දැනුම සුපෝෂණයට කැපවුණු අමුතු තාලයේ මිනිසුන් කොටසක් අතරින් කිහිප දෙනෙකු තෝරා ඇගයීමට ලක් කිරීම වෙනුවෙනි.  

මෙයට පෙර අතුව සම්මාන උළෙලවල් දෙකක් සිදු කෙරුණු අතර, දෙවෙනිවර මටත් දෙවෙනි ස්ථානයක් හිමි විය. ඒ ගෘහස්ථ කටයුතු කාණ්ඩයෙන්ය. තවත් එකකට මගේ නම නිර්දේශ වූ අතර, එයින් නම ඉවත් කරගැනීමට නිහතමානීවා කටයුතු කිරීමට මට සිදු වුයේ, මා කල පරිවර්තනයක් සඳහා විද්‍යා හා තාක්ෂණ අංශයෙන් නිර්දේශ වීම නිසාය.  ඒ පිලිබඳ සංවිධායක මණ්ඩලයේ කිසිදු විරෝධයක් නොවිණි. වෙනත් කෙනෙකුට ලැබිය යුතු ගෞරවයක්, සුදුසුකම් නොලබා මට ලැබේනම් එය දැනුවත් කිරීම මගේ යුතුකම බව මම සලකමි.  වරක් සිංහල අවුරුදු උත්සවයක වොලිබෝල් තරගාවලියකදී, මා චියර් කලේ මගේ ක්‍රීඩා සමාජයේ වැඩි මිතුරන් පිරිසක් ක්‍රීඩා කළ කණ්ඩායමටය. මා ජීවත් වූ ප්‍රදේශය අනුව මා ක්‍රීඩා කලයුතු වූයේ,  මගේ විරුද්ධවාදීන් බොහොමයක් ඇති කන්ඩායමකටය. එම තරගාවලිය අන්තර් ග්‍රාමසේවක වසම් තරගයකි. මා පුරුදු පරිදි චියර් කිරීමේ නිරත විය. අවසානයේ මගේ මිතුරන්ට ජයග්‍රහණයද, පසමිතුරන්ට අනු ශූරතාවයත් හිමි විය.  පසුදිනක මගේ නිවසට පසමිතුරු කණ්ඩායමේ ක්‍රීඩා කල ලෙසට සහතිකයක් ලැබී තිබුණි. මා චියර් කර තිබුණේ, මට විරුද්ධවය. එනිසා ඒ සහතිකයට මා මගේ සහතික ගොන්නට එකතු කර ගත්තේ නැත. මන්ද හදවතට එකඟව එයට මා හිමිකම් නොකියන නිසාය. පසුගිය වසරේ එකී සම්මානයද එලෙසය. 

මේ අස්සේ මට තවත් සිද්දියක් සිහියට  නැගේ. ඒ මා කළුතර ඥානෝදය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාළයේ සිදු වූ සිදුවීමකි. මාත් ඉන්දකත් විහාගය අවසන් වී පාසල ඇති පටුතුමග දිගේ නගරය දෙසට ඇදී එන්නට වීමු. එච්.පී.ටී. නමැති නිවාස දේපොළ වෙළඳ සමාගමේ කාර්යාලයක් මේ පටුමගේ පිහුටුවා තිබුණි. ඒ අසලා මාර්ගයේ කාන්තා පර්ස් එකක් තිබෙනු දැක, එය අහුලාගත් මා එය ඉහලට ඔසවා, මෙය කාගේද අසන්නට ප්‍රථමයෙන්, ඉන්දකයා "අපි දෙන්නා මේක බෙදා ගමු" වචනය පේලිය කියා නිම කරන්නට පෙර, එය අයිති කාන්තාව අප අසල සිටි නිසා, සියල්ල යහපත් අතට සිදු විණි. එදා සිට මට අයිති නැති දේ නොගැනීම මගේ සිරිත විය. මේ සඳහා තවත් බොහෝ උදාහරණ සැපයිය හැක. මේ ඒ සඳහා වෙලාව නොවේ. මේ බ්ලොග් සටහනද මේ වනවිට යල්පීනු තත්වයට පත් වන්න ආසන්නය. කුමක් කරන්නද, මගේ රාජකාරියේ ස්වභාවය සහ ගෘහසේවිකාව හදිසියේ සේවයෙන් ඉවත් වීම තුල මාගේ විවේකය සීමා වී ඇත. එහෙත් මා මෙය ලිය අවසන් කල යුතුමය. ඒ මෙය කියවූ ඔබ වෙනුවෙනි. මා වෙනුවෙන් සම්මාන ගන්නට පාර කැපුවෝ ඔබ වෙති.

හොඳයි අප දැන් මෙහි මාතෘකාව දෙසට හැරෙමු. එය "සාම්මාන නොහොත් ගම්මාලු" යනුවෙ මා නම් කළේ මන්දැයි මෙය කියවා අවසන් කරන මොහොත වනවිට ඔබට තේරුම් යනවා ඇත. ගම්මාලු නමැති වෘක්ෂය දැකිය හැක්කේ කඳුකර ප්‍රදේශ වළය. හරියටම කීවොත් ඌව කඳුකරයේය. ශ්‍රී ලාංකකියන් මෙම වෘක්ෂයේ කොටස්   ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් සඳහා භාවිතා කරති. "ගසක් කැපුවා" යයි කීවොත්, එය ළී සඳහා හෝ දර සඳහා යන අපගේ පුරුදු භාවිතාව ඕනෑම කෙනෙකුගේ සිහියට එයි. සත්‍ය වශයෙන්ම මෙහි වැඩි භාවිතාව සිදු වන්නේ ළී දඬු නැතිනම් දැව නිෂ්පාදනයටය. වැඩිමනත් භාවිතා කරන්නේ යටලී, පඩිපෙළ අත්වැල් හෝ ජනෙල් දොරවල් සඳහාය. මෙය තද රතු පති ලීයකි. වාර්නිෂ් ආලේප කලවිට කදිම ගාම්භීර නිමාවක් දැකිය හැක. වරක් හපුතලේ ප්‍රදේශයේ කල රාජකාරි ගමනකදී, එහි තිබෙන රෙස්ට් හවුස් එකක පඩිපෙළ අත්වැල සහ යටලී මෙම දැවයෙන් කර ඇති බව අසා දැන ගතිමි. ඒ එහි සිත්ගන්නා නිමාව නිසාය.

නමුත් ගම්මාලු වල වැදගත් යෙදවුම වන්නේ, ඖෂධයක් ලෙසය. එය දිව්‍ය ඖෂධයකි. සමහරවිට මේ සඳහා වෙනත් ගම්මාලු වර්ගයක් යොදා ගන්නවාද යන්න මා සහතිකවම නොදනිමි. එනමුදු ගම්මාලු මැරෙන්නට යන, ජීවිතය ගැන බලාපොරොත්තු අත්හල රෝගීන් සඳහා භාවිතා කරන බව අසා ඇත්තෙමි. නිදා සිටින එවැනි රෝගියෙකුගේ දෙතොළ මත ගම්මාලු ඉස්ම රැඳවු විට දුන්නක් සේ නැගිටින බව අසා ඇත්තෙමි. මේ අස්සේ තවත් පඳුරු කතාවක් සිහියට එයි. දැනට විශ්‍රාම ගත් මා සේවය කරන ආයතනයේ, එක් පැරණි සේවක මහතෙකු වරක් කාගේ හෝ බසකට අනුව එය අධික මාත්‍රාවෙන් පරිභෝජනා කර රෝහල් ගත කිරීමට පවා සිදු වී ඇත. ඒ එහි වාජීකරණ ගුණයක් ඇතැයි, කෙනෙකු පැවසු ගමන තමන්ගේ එරියස් එකක් කවර් කරන්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි. අදද එය මාගේ මුහුණට සිනාවක් ගෙන එන කදිම අනුස්මරණයකි. ඒ එම පුද්ගලයාගේ රාජකාරි කල අවසන් කාළයේ ලිංගිකත්වය වෙත තිබූ නැඹුරුව සිහිපත් වීම නිසාය.

ඉතිං මේ සම්මාන උළෙලට ගම්මාලු වල ඇති සම්බන්ධය කුමක්ද ? අර ලයිෆ්බෝයි වෙළඳ දැන්වීමේ මෙන් "මොකක්ද සම්බන්ධෙ" යනුවෙන් කෙනෙකුට අසනු හැකිය. හොඳයි මා විස්තර කරන්නම්. මෙම සම්මාන උළෙලේ මට දැනෙන අරමුණ, තමන්ගේ කාලය, ධනය සහ ඩේටා වැයකරමින්, සෙසු ලෝකය දැනුවත් කරන්නට උත්සාහ කරන ස්වෙච්චා රචකයන් ගොන්නක් අතුරින්, වඩාත් සිත්ගන්නා ලියවීම් කළ අයගේ උද්‍යෝගය අගයනු සඳහාය. එමගින් මන්දෝත්සාහී තවත් පිරිසකට නව ජීවයක් සැපයීමද සිදු වේ. නමුත් කලක් තිස්සේ බ්ලොග්කරණයේ යෙදි, බ්ලොග් අඩවිය වසා දමන්නට ඔන්න මෙන්න තත්වයේ කෙනෙකුගේ ඉඳහිට කෙරෙන ලියවිල්ලකට මෙවැනි සම්මානයක්, මරණාසන්න පුද්ගලයෙකුට ගම්මාලු සැපයීම මෙන් ක්‍රියාවකි. එමගින් ඔවුන්ගේ පණ ගිලිහී යා නොදී රැක ගත හැක. සමහරවිට දිගු කලක් අල්ලා සිටින්නටද හැකිය. හෙම්බෙන් හෝ ඇවිද්ද පයට සම්මානයක් හිමිකරදීම එවැනි ක්‍රියාවකි. මා බ්ලොග්කරණයේ රැදී සිටින්නට එය නව ජීවනයකි. එනමුදු ගම්මාලු නැතත් අපට මේවා වසා දමන්නට නොදී සිටින එක් පුද්ගලයෙකු වේ. ක්‍රිකට් වලට පර්සි මෙන් බ්ලොග් වලට නම් මෙන්ඩා එවැනි පුද්ගලයෙකී. ඇත්තටම ඔහු සිංහල බ්ලොග් ලෝකයට බලපෑමක් කළහැකි පුද්ගලයෙකි. ඒ දිරිගැන්වීම මගිනි. ඒ ගැන බොහෝ තැන්වල දැනටමත් කථා වී තිබේ. එනමුදු ඇවිද්ද පය ලියන සුදීකට ඔහු සුවිශේෂී පුද්ගලයෙකි. මා නිද්‍රාවට පත් සෑම මොහොතකම කමෙන්ට් නමැති වතුර බාල්දියෙන් ගැසුවේ මෙන්ඩාය. මා ඔහු ගැන විශේෂයෙන් සඳහන් කළේ මේ  බ්ලොග් අඩවියට මෙන්ඩා දක්වන ආදරය නිසාය. එයට හේතුව කුමක්දැයි මා කිසිදින මේ කෙසඟ, කාල වර්ණ පුද්ගලයාගෙන් විමසීමක් කර නැත. මන්ද ඒ ඔහුගේ කැමැත්ත නිසාය.

නමුත් මේ සම්මානය මා අතට පත් කරන්න වෙහෙස මහන්සි වූ බොහෝ දෙනෙක් සිටී. ඒ මගේ දෙවම්පියන්, සියළුම ගුරු බවතුන්, ලිවීමට මා දිරිමත් කළ හිතවතුන්(චන්දිමා, ප්‍රසාද්, සුරේෂ්), මගේ බ්ලොග් අඩවිය නිරතුරු කියවා කමෙන්ට් කරන ඔබසැම, විශේෂයෙන් මේ අප්‍රිකානු කථාවට පෙම් බැඳී අරුණ පෙරේරා, සෙන්නා, අජිත් සහ කල්‍යාන සහ මනෝජ්  සිහිපත් කලහැකිය. මෙහි නම් සඳහන් නොකළ එනමුදු කමෙන්ට් කළ තවත් බොහෝ දෙනෙකු වේ. ඒ සියළුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය හිමි වේ. දැන් ගම්මාලු බී යළිත් නැගීසිටි මා  කුමක් හෝ මෙහි ලියා තැබිය යුතුය. එය මගේ යුතුකමය. එසේ නම් බලාපොරොත්තුවෙන් හිඳින්න. මාගේ බ්ලොග් චාරිකාවේ දෙවෙනි ඉණිම නොබෝ දිනකින් අරඹමි. එතෙක් ඔබ සැමට පුංචි විරාමයක්.

සම්මාන ලැබුණු "ගොවිපලේදී" බ්ලොග් ලිපි මාලාව සඳහා මෙතැනින් පිවිසෙන්න
 

Tuesday, March 7, 2017

ලාවළු කරිය : 72 -77 කාළයේ පරිප්පු සඳහා ආදේශකය ......

නාමේ නොදිරනා දෙවෙනි කොටස ඔබ බලාපොරොත්තුව සිටින මොහොතක, ලාවළු උයන ආකාරය ගැන සටහනක් තබන්නට හේතු වන කරුණු කිහිපයක්ම වෙයි. ඒ පසුගිය බදාදා අහම්බෙන් ෆුඩ් සිටියට ගොඩ වූ විට, ලාවළු ගෙඩියක් වත මගේ ඇස ගැසීම සහ රත්නසිරි නොහොත් විල්සන් කරූගේ ඡායාරුපය ලබාදීමට පොරොන්දු වූ මගේ කාර්යාලීය සගයාට එය අමතක වීමය. අප ඔහුට කාළය ලබා දිය යුතුය. මන්ද ඔහු අපට ලබා දෙන්නට යන්නේ විරල ගණයේ ඡායාරුපයක් වීම නිසාය. ආසන්න වශයෙන් එය 2002/03 කාළයේ එකක් විය යුතුය. එකල ඩිජිටල් කැමරාවක් සතු වූයේ එහෙමත් කෙනෙකුට වීම නිසාය. 

ලාවළු(ඉංග්‍රීසියෙන් Canistel, Eggfruit යනුවෙන් හඳුන්වන) යනු ඉතා රසවත් පලතුරකි. දූරියන් මෙන්ම රසය සහ ගුණය වැඩි නිසා එහි සුවඳ සහ රසය සමහරුන්ට දරා ගැනීමට නොහැකි මට්ටමක පවතී. ඇත්ත වශයෙන්ම කිවහොත් බොහෝ දෙනාට දිරවන්නේ නැති කෑමකි. නමුත් අප කුඩා කාලයේ අතට අහුවන ඕනෑම දෙයක් කටට ඔබාගත්, මෙහි මාතෘකාවේ සඳහන් කාලයේ මේවා අපට දිව බොජුන් වුවා අදටත් මතකය. පරිප්පු පිලිබඳ අපට එතරම් පැහැදිලි මතකයක් නොවූ ඒ කාලයේ රජයට පක්ෂ විපක්ෂ කවුරුත් පරිප්පු හිඟය පිලිබඳ මහත් ශෝකයෙන් කථා කරනු අප අසා සිටියේ අයාගත් දෑසිනි. පරිප්පු කියන්නේ මොනවාදැයි එකළ කුඩා දරුවන් වූ අප නොදතිමු. නමුත් වැඩිහිටියන් පවසන මේ ආහාරය කුමක්ද ? පටන් ගත් දවසේ සිටම අගහිඟයට පුරුදු ළමා අපට මේ කියනා "හිඟය" කුමක්දැයි වටහා ගැනීමට තවත් බොහෝ කාලයක් ගත විය.ලාවළු ඉතාමත් ගුණවත් ආහාරයකි. ඒ බව මෙන්න මේ ලිපියෙන් ඔබට දැනගත හැකිය. මෙය කියවූ පසු අපේ උදවිය ලාවළු හොය-හොයා කනු ඇති බව මගේ විශ්වාසයයි. 

 දැකලා නැති කට්ටිය බලා ගන්න. මේ තියෙන්නේ ලාවළු ගෙඩිය. මේක ඔය කියපු කාළයේ කරපු සේවාව විස්තර කරන්න වචන නෑ. මොකද පරිප්පු වලට දොලදුක හැදුන මිනිස්සුන්ගේ ඒ කුසගිනි දාහය නිව්වේ වගේම ගුණය සැපයුවේ මේ ආහාරය. හැබැයි ආපහු පරිප්පු ආපු ගමන් ලාවළු ගෙඩි ගස් යට කුණු වෙන්න ගත්තා. සමහරු මල-කරදරේ කියලා ගස් කපලා දාන්නත් ඇති. නමුත් මේවායේ තියෙන ගුණය දැන ගත්තානම් මේසේ ඒවා විසි නොකරන බව මගේ විශ්වාසයයි. අර කලින් දක්වලා තියෙන ලිපියෙන් ඒ ගැන දැන ගන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, යකඩ, විටමින් සී සහ ඒ අධික වශයෙන් මේවායේ අඩංගු වෙනවා.
 මම සාමාන්‍යයෙන් මග අරින කාගීල්ස් ෆුඩ් සිටියෙන් තමයි මට මේ ගෙඩිය ගන්න පුළුවන් වුණේ. එතරම් මිල අධික සුපිරි පන්නයේකෑමක් නොවෙයි. සල්ලි වලට ගත්තා කිව්වොත් බොහෝ දෙනෙක් හිනා වෙයි. ඒත් මේ ගෙන්දගම් පොලවේ හැම දෙකටම මිළක් තීන්දු කරලා තියෙන එකේ මේවා විතරක් නිකං දෙන්න කාටද පුළුවන්. එක වෙළඳ පොළට එන එක ගැන මම නම් ඉතාම සන්තෝෂ වෙනවා. මොකක් හරි කාරියක් හදන්න ගන්නකොට අවශ්‍ය දෑ සඳන් කරන එක සාමාන්‍ය පිළිවෙත නිසා ඔන්න මමත් විස්තරයක් කරනවා. 

අවශ්‍ය දෑ
  • අමු ලාවළු ග්‍රෑම් 100
  • අතට අහුවෙන ප්‍රමාණයේලොකු ළූණු ගෙඩි එකයි
  • රම්පෙ(ගස් රම්පෙ තමයි හොඳ. මෙතැන මම යොදා ගත්තේ පෝච්චියක වවලා තියෙන කුරු මොඩල් කොළ කෑලි වගයක්), 
  • කරපිංචා ඉත්තක්, 
  • මිරිස් තේ හැඳි එකයි, 
  • තුනපහ තේ හැඳි කාලක්, 
  • අබ ස්වල්පයක්, 
  • අමු මිරිස් කරළක්, 
  • සුදු ළූණු බික් දෙකක්.
  • ලුණු කුඩුතේ හැඳි එකක්. 
 මුලින්ම ලාවළු ගෙඩිය හොඳින් සෝදා ගන්න. තමන්ම ගහෙන් කඩාගත්තත් හෝදා ගන්න  එක  නුවණට හුරුයි. 
 බොම්බයි ළූණු නැතත් අපට ලංකා ලොකු ළූණු තියෙනවනේ. ඒකෙ වියලි උඩ සිවිය වගේම ඊළඟ පොත්තත් අයින් කරන්න. ඕක මට කියලා දුන්නේ අටමා. ඉන් පස්සේ හේදුවේ නැති වුණත් කමක් නෑ. අනික එතකොට සැර ගතිය අඩු වෙන්නේ නෑලු.  ගෙඩිය මේ වගේ දෙකට කපලා, අර මුල් කෑල්ල මේ පින්තූරේ පේන විදියට ඇලයට කපලා ඉවත් කරන්න. මුලින් කැපුවොත් ගෙඩියෙන් හොඳ ප්‍රමාණයක් අහක. එහම කරන්න කැමතිනම් එහෙම කලත් කමක් නෑ. මේක මගේ ක්‍රමය. ඉන් පස්සේ හීනියට ලියා ගන්න.
 සුදු ළූණු කපනවට වඩා හොඳයි මෙහෙම තලන එක. පිහිය යටින් තියලා තැලුවම ඒකෙ රස ගුණ හොද්දට එකතු වීම පහසුයි. කැපුවම අඩු ඇති කියලා මට හිතෙනවා. මෙහෙම තැලුවම පොත්ත පහසුවෙන් ඉවත් කරන්නත් පුළුවන්. මතක ඇතුව දෙකෙළවර කපන්න. (චෙෆ් පීටර් කුරුවිටත් භාවිතා කරන්නේ මේ ක්‍රමය)
 මේ තියෙන්නේ අවශ්‍ය දෑ. සිංහලෙන්ම කිව්වොත් ඉන්ග්‍රීඩියන්ට්ස්. මේ වැඩේට මගේ පොඩි එකී කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඒ කියන්නේ ඡායාරුප ශිල්පියාගේ ඩියුටියට. දැන් පොඩි එවුන් අපි වගේ එතන රස්තියාදු වෙලා අපි කරන දේ දිහා ඇහැ ගහගෙන ඉන්නේ නෑ. මම යලට-මහට ෆොටෝ අල්ලන්න කියනකොට ගන්න එතන රස්තියාදු වෙන්න ඒකි කැමති වුණේ නෑ. ඕන වෙලාවට කථා කරන්න කියලා කාමරේට ගියා.
 මෙහෙම කැපුන එකත් එක අතකට හොඳට හිටියා. අනික් අතට කැපුනානම්, ඇට දෙකත් හොද්දට එකතු වෙන එක වලක්වා ගන්න බෑ. මේ දෙක පිහිය ආධාරයෙන් උගුල්ලලා දාන්න.
 මට මුලින්ම හිතුණා, මෙහෙම ග්‍රේට්  කරලා ගත්තොත්  හොඳයි  කියලා. ඒ එක්කම මතකයට ආවා, ලාවළු දිය වුණොත් කියලා. පස්සේ ඒ ටික හොද්ද රස වෙන්න තියා ගන්න හිතාගෙන අර මැල්ලුමට කොස් කපන ආකාරයට කපා ගන්න හිතා ගත්තා.
 ග්‍රේට් කළාම එන්නේ මේ වගේ හීන් තීරු.
 ඇටඉගුල්ලුවට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. මේ වැඩේ පරිස්සමෙන් කරන්න ඕනේ.
 මෙන්න මේ වගේ කොටු හිටින්න ගහගෙන - ගහගෙන යන්න. අහයි පරිස්සමෙන්.
 ඉන් පස්සේ මේ වගේ කපා ගන්න පරිස්සමෙන්.
 අපි මේ කරියට ගෙඩියෙන් භාගයයි ගන්නේ. අනිත් කොටස පස්සේ උයා ගන්න බැරියැයි.
 මේ තියෙන්නේ ඒ වගේ කපා ගත්ත කෑලි. නූල් දෙකේ තරමට කපා ගත්තොත් හොඳයි. පරිප්පු වගේ තියෙන්නත් එපැයි.
 පස්සේ හිතුණා, මේ වගේ තීරු කපලා, ඒවා කොටු කපන එක වඩාත් කාර්යක්‍ෂමයි කියලා. මේ ක්‍රමය යොදා ගන්න. පොඩි කිරි ගතියක් තියෙනවා. ඒක නැති කර ගන්නත් එක්ක මම මේ කියුබ් ටික ලුණු වතුරෙන් හේදුවා.
 ඉන් පස්සේ මේ වගේ පෙරා ගත්තා. මෙතැන තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. තුන් දෙනෙකුට සෑහෙනවා.
 ඉන් පස්සේ කපාගත්තා ලොකු ළූණු වලින් භාගයක් එකතු කරන්න. රම්පෙ හීනියට කාපාගෙන එකතු කරන්න. කරපිංචා අතින් පොඩි කරලා දාන්න. අමු මිරිස් හරහට කපලා එකතු කර ගන්න. මිරිස් තේ හැන්දයි, තුනපහ තේ හැඳි කාලයි මේ වගේ එකතු කරන්න. අවශ්‍යනම් උළු හාල් ඇට දෙක තුනක් එකතු කරන්න. සුදු ළූණු බික් දෙකෙන් එකක් දාන්න.
 ඉන් පස්සේ හොඳට ගින්දර දාලා රත් කරන්න. බුබුළු නැගලා හොද්ද පිටට උතුරලා යන එක වලක්වන්න මේ වගේ ළී හඬක්  හැන්දක් හරහට තිබ්බම පුළුවන් කියළා මම කොහේ හරි දැක්කා. වැඩේ ඇත්ත.  වතුර හිදෙන්න කිට්ටු කරලා පොල් කිරි (මිටි කිරි සහ දියකිරි සමානව) කෝප්පයක් එකතු කරන්න. ඒකටම ලුණු කුඩු තේ හැන්දත් කලවම් කර ගන්න. මම යොදා ගත්තේ රේණුකා උකු කිරි ටින් එකකින් 1/3 විතර. වෙළඳ පොලේ තියෙන පොල්කිරි පැකට් වර්ග වලින් රේණුක එක තමයි හොඳම.  ටිකක් රත් වේගෙන ආවම ගින්දර අඩු කරළා. තවත් සුළු වෙලාවකින් ලිප නිවන්න. මොකද මැටි ඇතිළිය, එයා ලබා ගත්ත රස්නෙන් තවත් මිනිත්තු තුනක්-හතරක් බුබුළු දම - දමා උතුරන්න වග බලා ගන්න නිසා.
 ඉතිරි ළූණු ටිකයි. සුදු ළූණු බිකක් සහ කරපිංචා තෙල් මේස හැඳි තුනක් හතරක් දාලා රන්වන් පාට වෙන්න බැද ගන්න. මේකට අබ ස්වල්පයක් එකතු කරන්න. මේවා කරත්දී පොඩ්ඩක් ඇස් පරිස්සම් කර ගන්න. අබඇටපිපිරුණාම, මේ ටික උණු-උණුවෙම  හොද්දට  එකතු කරන්න. මේ වගේ  කරියක්  හදද්දී මිරිස් සහ පැණිරස බැලන්ස් කරන එක ලොකු වගකීමක්. මුලින් එකතු කරපු මිරිස් ප්‍රමාණය මදි කියලා මට හිතුණා. පස්සේ හැඳි1/3 වගේ එකතු කළා. මේවා අත්දැකීමෙන් ඉගෙන ගන්න ඕනේ දේවල්. ඔය ලොකු චෙෆ්ලා වුණත් එක පාරටම හරියට මිරිස් දාන්න දන්නේ නෑ. පස්සේ රස බලලා බැලන්ස් කරනවා. මතක
 මේ තියෙන්නේ හදා ගත්ත කරිය. එකට මම කොත්තමල්ලි කොළ සහ තක්කාලි පුංචි ගෙඩියක් කපලා මේ වගේ එකතු කර ගත්තා ලස්සන, රසය වගේම සුවඳත් එකතු කර ගන්න.  
අපි රෑට කෑවේ පාන්. බත් එක්කත් හොඳයි. මම පහුවදා ඉතිරි කොටස ඔෆිස් අරන් ගිහිං කට්ටියට දුන්නා රස බලන්න. ට්‍රයි කළාට පාඩුවක් නෑ. ලාවළු කනවා කියළා හිතන්නේ නැතිව කෑවොත් කන්න පුළුවන්. මේකේ පුංචි පැණිරස ගතියක් තියෙනවා. මැලේසියන්, තායි වගේ යට අහු වුණොත් බේර ගන්න බැරි වෙයි.

මේක මම ලියපු 400 වැනි සටහන. පන්සීයකින් පස්සේ අලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඉන්නේ.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...