Sunday, May 5, 2013

ආර්.ආර්. සමග කැසිනෝවකට .......

ඒ 1994 දෙසැම්බර් මස 31 වෙනිදා නොහොත් එම වසරේ අවසන් දිනයි. සාමාන්‍යයෙන් ගමේ සිටි කාලයේ දෙසැම්බර් 31 දින රාත්‍රිය ගත කරන්නට අපි යොදා ගන්නේ බෙන්තොට(තර) වෙරළයි. අපේ කණ්ඩායමට 6-10 අතර පිරිසක් එකතු වේ. රාත්‍රී 9 වනවිට බෙන්තර වෙරළට ගොස් පසුදා උදෑසන 2-3 අතර කාලයේදී නිවසට ලඟා වීම සාමාන්‍ය පුරුද්දයි. එහෙත් 1994 දෙසැම්බර් 31 වනදින සවස පහ වනවිට මා සිටියේ අපේ ගමට ආසන්නම නගරය වන අලුත්ගමයි.
පින්තුරය ගත්තේ : www.casinoonlinesites.com

එසේ අලුත්ගමට වී සිටින්නට හේතු කිහිපයක්ම විය. ඒ රිවරිනාවේ වැඩකළ මගේ අතිජාත මිතුරා වන සේනාරත්න මුණ ගැසීමටයි(මා රිවරිනාවේ රැකියාවෙන් ඉවත් වුයේ එම වසරේ අප්‍රේල් මස මුල් කාලයේදීයි. මේ වනවිට මා රැකියා විරහිතව සිටියෙමි). ඔහු නොමැති දිනක නම් චන්දන හෝ වික්‍රම මුණ ගැසේ. මා අදත් මේ අය නියම මිතුරන් සේ සලකමි. මන්ද කෙනෙකුට දුකේදී සිටින මිතුරන් ප්‍රමාණය අල්ප වීමය. එසේත් නොමැති නම් මගේ තවත් හොඳ මිතුරකු වන ලාල් (ලාල් ටේලර්ස් අධිපති) සහ විජිත් අයියා(ජීවතුන් අතර නැත) සමග ලාල්ගේ කඩයට වී සල්ලාපයක යෙදී සිටීමි. මේ කිසිත් නැතිනම් අලුත්ගම විද්‍යාල ක්‍රීඩාංගනයට ගොස් එහි සිටින ගාමිණී ප්‍රියන්ත, සමරේ අයියා, චබ්බා ඇතුළු පිරිස සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනෙමි.

එහෙත් මේ කියන 31 වෙනිදා සවස මා සිටියේ මගේ මස්සිනාට අයිති ව්‍යාපාර ස්ථානයේය. ඒ වනවිට එහි අනුර නැමති මගේ මස්සිනාගේ මිතුරාද විය. ඔහු එම වෙළඳ සැලේ කළමනාකරු ලෙස සේවය කරයි. කුමක් හෝ කාරණයකට මෙතනට  ආර්.ආර්. යනුවෙන් කව්රුත් දන්නා සූදු අන්තුවා ගොඩ විය. අලුත්ගම නගරයේ අය ඔහුත් සමග එතරම් සුහද ගනුදෙනුවක් කලේ නැත. සුදු සරමකින් සහ දුහුල් සුදු කමිසයකින් නිතරම සැරසී සිටින ඔහුගේ කරේ බොහෝ විට රත්‍රං චෙන් එකක්ද වේ. ඇඳ සිටින කමිසයෙන් විනිවිද ඔහුගේ බැනියම පවා පෙනේ. එය එතරම් දුහුල් කමිසයකි. අත්දිග කමිසයේ අත් දෙපොටක් පමණ නමා ඇත. ඔහුගේ උඩු තොල සහ නහය අතර කර ඇති ශල්‍ය කර්මයක ප්‍රතිපලයක් නිසා ඔහුගේ කතාව මුක්කම් ස්වභාවයක් ගෙන තිබේ. ඒ කතාව අසා හිනා නොවී සිටීමට හැක්කේ පුරුදු කාරයෙකුට පමණි. මුලදී ඔහු කියන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට පවා අපහසුය. ඔහුගේ එක කකුලක් අහිමි වී ඇත්තේ මන්දැයි කියන්නට කලාතුරකින් ඔහු මුණ ගැසෙන්නෙකු වූ මම නොදනිමි. ඒ වෙනුවට ප්ලාස්ටික් කකුලක් යොදා ඇත. එසේ තිබියදීද කඩිසර ගමනින් යන්නේ ඔහුගේ මුක්කං කටින් දොරේ ගලන්නා සේ වචන ගලා ඒමට සමගාමීවය.

ආර්.ආර්. යනු ඔහුගේ නමේ මුලකුරුය. ආර්.ආර්. යන්නේ තේරුම කියන්නට ඔහුවත් දන්නවාදැයි සැකසහිතය. මන්ද ආර්.ආර්. යනු අකුරු දෙකක් නොව වචනයක් බවට පෙරලී ඇති නිසාය. නිතරම විහිලු සහ අවකැපෙන වචන කියන්නෙකු නිසා ඔහු සිටිනා විට කවුරුත් ඔහුට කථා කරන්නට ඉඩ හැර බලා සිටී. ඔහුගේ මුළු ජීවිතයම කැසිනෝ සහ රේස් ඔට්ටු සඳහා ගතකල බව බොහෝ දෙනා පවසයි. නිතරම රේස් ඔට්ටු ජය ගැනීමේ කලාව ඔහු දවසක් විස්තර කළා

"මං මචං එචඥ කොම්පියුචර් ගාඥ මල්ලී අල්ඥ් ඉන්ඥ්. ඌච පොජි සිග්ඥාල් එකක් දුන්නම ඌ ජානවා මං කියඥ ඥොකියෝ"
ඔහු මේ කියන්නේ එතන සිටින පරිඝනක ප්‍රවෙශකයා අල්ලාගෙන ටිකක් ප්‍රමාද වී තමන්ගේ අශ්වයන් අල්ලන බවය. එය කරන්නේ අර ප්‍රවේශයාගේ පරිඝනකයේ වෙලාව වෙනස් කිරීමෙනි. ඔහු කවදත් මෙවැනි දේට දක්ෂය. එක් වරක් ඔහු ලක්ෂ තිස් ගණනක් කැසිනෝ වලින් දිනාගෙන ඇත. කවුරුන් හෝ දුර බලා දුන් අවවාදයක් නිසා ඔහුගේ දරුවාගේ නමින් ඉඩමක් සහ නිවසක් මිලදීගෙන ඇත. නැතිනම් ඔහුට එම මුදල විනාශ කරන්න ගත වන්නේ සතියක් නැත්නම් දෙකක් පමණි. එම ඉඩම විකුණන්නට බැරි වුනත් එම නිවසේ තිබෙන සියලුම කොටස් ගලවා විකුණා සූදු කෙල ඇත. එහෙත් කව්රුන් දුරදිග බලා දුන් උපදෙස නිසා ඔහුට ඉඩම විකිණීමට නොහැක.

මේ කියන දවසේ හවස පහ විතර වනවිට කොහෙන්දෝ පැමිණ ඔහු පාත් වනවිට එදිනට එම ව්‍යාපාරික ස්ථානය වසන්නට සුදානම්ය. හනි-හනිකේ පැමිණි ආර්.ආර්. දුරකථන ඇමතුමක් ගන්නා ලද අතර අප අමතා
"අජ නිඥම ගමඥක් යමුජ චපිල අයිඥේ. අජ කැෂිඥෝ යෙකේ කෑඥාම බීම ඥියමයි"
අන්තිමට අපි දෙදෙනාත්, අනුර අයියාත් ආර්.ආර්. සමග ගමනට එකතු වීමු. දැන් වාහනය කොළඹ දෙසට ගමන් කරයි. මා එදින දමාගෙන සිටියේ රබර් සෙරෙප්පු දෙකක්. මෙය දුටු ආර්.ආර්. වහාම දෙහිවල හන්දියේ වාහනය නවත්වා රුපියල් හත්සිය ගණනකට මට ලෙදර් සෙරෙප්පු කුට්ටම අරන් දුනි. මට පුදුමාකාර සතුටක් ඇති වුවත් එය නොපෙන්වන්න වග බලා ගතිමි. රාත්‍රී හත වනවිට ගෝල්ෆේස් අසල ඇති රිට්ස් නමැති කැසිනෝවට ගොඩ වන්නට අපිට හැකි විය. කළුතර හරියේදී මටත් අනුර අයියාටත් සාක්කුවට දමා ගන්නට රුපියල් 25,000 බැගින් දුන්නේ ඇයිදැයි වැටහුනේ එයට ඇතුලත්වී විනාඩි 10 ක් පමණ ගිය විටය. ඇතුල්වන දොරටුව අසලදී ආර්.ආර්.

මේ ඉන්ඥනේ මගේ කච්චියක්. කෝ ගඥ්ඥ මල්ලි ශ්‍යල්ලි.
මට තිබූ ගැටලුව මගේ මස්සිනාගේ සාක්කුවට ඔහු මුදල් නොදමුයේ ඇයිද යන්නයි. ඇතුල් වූ ගමන්ම අප අත බෙන්සන් පැකට් එක බැගින් තබන ලද අතර  මා වටපිට බලනවිට විවෘත කර එක සිගරට්ටුවක් මදක් ඇද තිබූ සිගරට් පැකට්ටුව තුලට යලිත් එම සිගරට්ටුව ඔබා සාක්කුවේ දමා ගන්නා අනුර අයියා දැක මමද ඉතා අපහසුවෙන් එම ක්‍රියාව අනුගමනය කලෙමි. මෙවිට මැද්දට පැන්න ආර්.ආර්.
යපි කාඥා යිමු ඥේද ?
කීය. අපද දෙවරක් නොහිතාම ඔහු පසුපස ගමන් ගතිමු. එහි රෙස්ටුරන්ට් එක තරු පන්තියේ හෝටලයක ඇති රෙස්ටුරන්ට් එකකට සමානය. සියළුම වර්ග වල මත්පැන්ද, බියර් වර්ග සහ වයින් වර්ගදඑයට ඇතුලත්ය. අනුර අයියා මෙවැනි තැන් වලදී පසුබට නොවන්නෙකි. මුලින් බ්ලැක් ලේබල් විස්කිද, පසුව පිදුරුතලාගල වන් බත් පිඟානක්ද පුරවාගෙන වාඩි විය. 

කෑමෙන් අනතුරුව අප ක්‍රීඩා කරන පෙදෙසට ලඟා වීමු. අපේ සාක්කු වලින් මොහොතකට පෙර ඇදගත් මුදල් වලට ලබාගත් ටෝකන් වර්ගය දාදු කැටයක් ආදාරයෙන් ක්‍රීඩා කෙරෙන මේසයකට ගොස් එහි ඔත්තේ වලට රුපියල් 20000 ක ටෝකන් තැබුවා නම්, ඉරට්ටේ අංකයක් වෙනුවෙන්ද තවත් 15000 තබන්නට ඔහු අමතක නොකළේය. මේ අමුතුම පාහේ ක්‍රීඩාව දුටු එහි සිටි අනෙකුත් විදේශිකයන් වහා එම මේසයෙන් ඉවත් වියා. ආර්.ආර්. යනුවෙන් ඔහු අමතා "ප්ලේ ස්ලෝලි" යනුවෙන් පැවසුවද, ඔහු ගෙනා සියලුම මුදල් එකම මේසයේ, එක් රවුමකට තබා අවසානය. 

ඔහු දෙපහ්ත්තටම ඔට්ටු ඇල්ලු බැවින් සුළු මුදලක් ජය ගත්තද, සමස්තයක් වශයෙන් ඔහු ගෙනා මුදලින් භාගයකට වැඩි කොටසක් පරාජය විය. මීළඟට ඔහු ලඟා වුනේ අර කෝවක් වැනි කැරකෙන යන්ත්‍රය තිබෙන තැනටය. ඔහු අත ඉතිරි වූ සියළුම ටෝකන් එහි අංකයක් වෙනුවෙන් ඔට්ටු ඇල්ලීය. මෙවර ඔහු අන්ත පරාජයක් ලැබීය. මේ අතර වාරයේදී තවත් සිගරට් පැකට් එකක් ගෙනවිත් අප අත තැබීය. මා එවරද එය අකුලා සාක්කුවේ දම ගතිමි. රුපියල් පනස්දාහක් විනාඩි කිහිපයක පරාජය වුවද, සත පහක ගානක් ඔහුට නොවීය. මේ අතර මගේ මස්සිනා එහි වූ වෙනස් මේසයක පුංචි ඔට්ටු තබමින් යම් ටෝකන් ප්‍රමාණයක් දිනා තිබුණි. 

මෙය දුටු ආර්.ආර්. ඔහුගෙන් රුපියල් පන්දාහකට සරිලන ටෝකන් ණයට ඉල්ලා ගෙන නැවතත් පෙර මෙසයටම ලඟා විය. පෙර පරිදිම එහි සිටි සියළුම විදේශිකයන් පැත්තකට විය. ආර්.ආර්. ට මේ කැසිනෝ වලට ආධුනිකයෙකු නොවන බව මා දැන සිටියත් ඔහු කියන කතා පම්පෝරි යයි කලින් සිතා සිටියද, මද වෙලාවක් යන විට ඔහු කවුද යන්න වටහා ගත හැකි විය. මෙහි සිටි බොහෝ දෙස්-විදෙස් සූදුකරුවන් ඉතා හොඳින් සැරසී සිටි අතර, අප සිතනා තරම් පහත් මට්ටමේ පුද්ගලයන් යයි සිතිය නොහැක. කොටින්ම එය රස්තියාදුකරුවන්ගේ තිප්පොළක් යයි සිතා සිටි මගේ අදහස සම්පූර්ණයෙන් වෙනස් විය. වැදගත් සිතිය හැකි, සහ සැමියා සහ බිරිඳ පවා එකට ආ අය විය. ඇඳ සිටි ඇඳුමෙන් බැලුවා නම් එතනට නොගැලපෙන පුද්ගලයා මා විය. එහි පැමිණ සිටි බොහෝ දෙස් විදෙස් සූදුකරුවන් සන්ද්‍යා උත්සව ඇඳුමෙන් සැරසී උන්හ.

නැවතත් තම අත වූ රුපියල් පන්දාහකට සරිලනට ටෝකන් ප්‍රමාණයම එකවිට ඔට්ටු ඇල්ලූ ආර්.ආර්. එවර ජය ගති. මා හැරී බැලුවේ අනුර අයියා කොහෙද කියායි. ඔහුගේ අත බලන හැම මොහොතකම විස්කි වීදුරුවක් විය. සමහර මොහොතක ඔහු සිටිනා අන්තය බැලු කල ඔහු නොවීය. සැනෙකින් මා බැලූවේ මස්සිනා සිටිනවාද කියාය. ඔහු සුපුරුදු ස්ථානයේ කුඩා ටෝකන් ප්‍රමාණයක් සමගය. තවත් වරක් අත ඇති සියළුම මුදල් ඔට්ටු ඇල්ලු ඔහුට, ණයට ගත් රුපියල් පන්දාහද, ඔහු ගෙන ආ රුපියල් පනස්දාහද බේරා ගැනීමට හැකි විය. මේ වනවිට අනෙකුත් මේස වල සිටි අයද ඔහුගේ වික්‍රමය බැලීමට මේ මේසය වෙත ලඟා වී තිබිණි. තවත් සුළු මොහොතකින් නව වසර උදා වන නිසා එහි රැස්ව උන් සියලුම දෙනා ඉන් එලියට ආහ. ඒ මල්වෙඩි සංදර්ශනය බැලීමටය.

එහි අයිතිකරුගේ පුත්‍රයා පසුගිය සතියේ මරා දමා ඇති බවද, එසේ නොවන්නට කදිම මල් වෙඩි සංදර්ශනයක් සහ ආහාර පාන මෙහි දැකගත හැකි යයිද ආර්.ආර්. හෙළි කළේය. මට තවමත් ගැටළුව වී ඇත්තේ රුපියල් පන්දාහකින් රුපියල් පනස්පන්දාහක් වට තුනකට අඩු ගණනකින් ඔහු දිනා ගත්තේ කෙසේද යන්නයි. අදටද මෙය මට මහා ප්‍රහේලිකාවකි. ඔවුන් ගෙවන ආකාරය ගැන නොදැන ඒ ගැන සිතීම නිෂ්ඵලය. තවත් සුළු මොහොතකින් සියලුම දෙනාට කෙටි ආහාර සමග තේ පැන් සංග්‍රහයක් ලබා දුනි.

රයිච් යපේ ගාඥ හරි, අපි ජමු.
කී ආර්.ආර්.ගේ විදානයට අවනත වූ අප සියලුම දෙනා ඊළඟට නැවතුනේ මුදල් ගෙවන කවුන්ටරය වෙතය. ගෙනා මුදල් ප්‍රමාණය නැවතත් රහස් සාක්කුවක සඟවා ගත් ඔහු, කපිල අයියා දිනා ඇති ප්‍රමාණය විමසීය. ඔහු රුපියල් තුන්දාහක් යොදවා රුපියල් දොළොස්දහස දක්වා එය වර්ධනය කරගෙන තිබුණි. ඔහු දිනූ මුදලින් රුපියල් දාහක් මගේ අත තැබීය. අනුර අයියාටද දාහේ කොළ කිහිපයක් ලබා දුන් අතර මේ ගමනෙන් වඩාත්ම ඵල නෙලා ගත් පුද්ගලයා ඔහු විය. ඔහුගේ වචන වලින්ම කියනවා නම්

"මම එතන ඉන්න ගමන් බෙන්සන් පැකට් 12ක් වාහනයට ගෙනත් දැම්මා, විස්කි ෂොට් අටක් දා ගත්තා"
සත පහක වත් වියදමක් නැතිව ඉහත දේ ලබා ගන්නට ඔහු වාසනාවන්ත වී ඇත. මටද එය බෝනස් දවසක් විය. හොඳ ආහාර වේලක් සමග රුපියල් දාහක් මගේ අතද විය. ඊට අමතරව ලෙදර් සේරෙපු යුගලක්ද ලැබිණි. සමස්තයක් වශයෙන් අපි කවුරුත් පරාජය වී නැත. ආර්.ආර්. ගේ ගේම් ඒ වාගේය. නමුත් හිටපු ගමන් මග තොටකදී ආර්.ආර්. මුණ ගැසුණු විට, බස් එකේ යන්නට රුපියල් පනහක් ඉල්ලා ගන්නා ඔහු කිසි දිනක ඒවා ආපසු ලබා නොදෙන අතර, ඔහුත් මමත් බස් රථයක එකම වෙලාවක ආවා නම් ටිකට් ගත්තේ ඔහුය. බම්බලපිටියේදී ඔහු මුණගැහුණු විටක කඩයකට කැඳවාගෙන ගොස් ඇති පදම් කන්නට බොන්නට අරන් දීම ඔහුගේ පුරුද්දය. ආර්.ආර්. සූදු අන්තුවෙකු වුවද ඔහු තුල හොඳ පරිත්‍යාගශීලී මිනිසෙකු විය.

 එවැනි ස්ථානයකට ජීවිතයට යන්නට කිසිදා බලාපොරොත්තු නොවූ මා, එහි ගිය එකම සහ අවසන් වතාව එය වුවද, එම අවස්තාව ගැන අදටත් කිසිදු පසුතැවිල්ලක් නැත. අද මෙසේ ඔබ සමග බෙදා ගන්නට එම අත්දැකීම ලැබීම සතුටට කරුණකි. නමුත් ඉන් පසුව කිසිම දිනක මා කැසිනෝවකට පය තබා නැත. ඔබද යා යුතු නැත. මන්ද එය මිනිසුන් එක් රැයකින් හිඟන්නන් කරවන අරුමු පුදුම යන්ත්‍රයක් බැවිනි. එම ස්ථාන වල සේවය කරන සේවකයන්ට එම ක්‍රීඩාව වගේම ටෝකන් හැසිරවීම ගැන ඇත්තේ මනා නිපුනාතාවකි. පසුව එවැනි තැනක සේවය කල මගේ මිතුරකුගෙන් දන ගත්තේ එක රැයකට රුපියල් තිස් හතලිස් දාහක් වැනි මුදලක් සන්තෝසම් වශයෙන්ම සොයා ගත අවස්ථා ඇති බවය. නමුත් දිගින් දිගටම පරාජය වුවහොත් රැකියාව අහිමි වීමේ අවදානම ඇති බවද ඔහු පැවසීය. මේ ස්ථාන පාඩු ලබනවා නම් ඔයතරම් මහේශාඛ්‍ය ලීලාවෙන් ඕවා ක්‍රියාත්මක වන්නේ නැත.

ආර්.ආර්.ගේ වචන උච්චාරණය ඒ අකාරයෙන්ම මෙහි සඳහන් කලේ ඔහුට පරිභව කරන්නට නොව, මෙය කියවන ඔබට ඔහු ගැන නිවැරදි චිත්රයක් මවා ගන්නටය. 

Wednesday, May 1, 2013

මගේ ප්‍රථම රැකියාව ....

අද ලෝක කම්කරු දිනයයි. මෙහි ඉතිහාසය පිලිබඳ හැම කෙනෙක්ම දන්නවා ඇතැයි විශ්වාස කරමි. රටක සාර්ථකත්වයට හේතු වන්නේ ශ්‍රම බලකායයි. හැම කෙනෙක්ම කරන රැකියාව රටක, ආයතනයක ඉදිරි ගමනට බලපානවා. ඊයේ සවස මා රසවත් මාළුපාන් ගෙඩියක් මිලදී ගන්න Colombo City Hotel නමැති ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපස ඇති හෝටලයේ කෙටි කෑම කවුළුව වෙත් ගොස් සිටි වෙලාවේත් මගේ හිතට මේ අදහස ආව. ලොකු කුණු කුඩය පුරවා තිබෙන කා අවසන් පිලුණුද, වෙනත් අහක දමන දෑද පිරි එම කුණු  කන්දරාව පසෙකට ගෙන එය නැවතත් තවත් කුණු බෑගයක දමා, කුණු බඳුනට තවත් කුණු බෑගයක් දමා අර කුණු මල්ල කරේ තබාගෙන  පිටව ගිය පවිත්‍රතා සේවකයා පිටව ගියා. මේ මොහොතේ මගේ හිතට ආ කාරණය තමයි "හැම දෙනාගේ රැකියා එක ලෙස වැදගත් බව" ඒ එක්කම මගේ හිතට ආ තව කතාවක් මෙහි සඳහන් කරන්නම්.

මා වරක් "සේවා අනර්ඝතාව" නමැති අප ආයතනයේ සේවකයන්ට පැවැත්වූ පුහුණු සැසියකට සහභාගී වුණා. ඒ දේශකයා අපූරු කතාවක් කිව්වා. මෙහි කාලය දීපය දේශය ගැන කිසිම සඳහනක් නෑ. 

එක්තරා උසාවියක නඩු කාර උන්නාන්සේ පැමිණෙන විට මල් පෝච්චි වලට වතුර දමන සේවකයා දැක "Good Morning your Honor"  යනුවෙන් එතුමාට සෙස්සන් ආමන්ත්‍රණය කරන ආකාරයෙන් එම සේවකයාට සුබ උදෑසනක් පැතුවාලු. ඒ වගේම ඔහු දකින සෑම අවස්ථාවක එසේ ගෞරව කරන්නට එතුමා අමතක කරන්නේ නැතිලු. 
එසේ කිරීමෙන් අර නඩුකාර උන්නාන්සේ කරන්නේ සැමදෙනාගේ රැකියා වල වැදගත් භාවය පසක් කරන්නලු.  බොහෝ දෙනා රැකියාවේ තරාතිරම අනුව මිනිසුන් වෙන් කරන මේ කාලයේ අප හැමෝටම මෙහි හොඳ ආදර්ශයක් තිබෙනවා.  කුණු ගෙනයන නගරසභා සේවකයි සතියක් වැඩ නොකලොත් ? මුළු රටම කුණු ගඳින් පිරී ඉතිරී යනු ඇත. එලෙසම සෑම නිවසකම කුණු කන්දක් එකතු වනු ඇත. 

මෙය සරල පුංචි උදාහරණයක් පමණයි. අපේ රටේ තරාතිරම අනුව මිනිසුන්ට සලකන නිසා තමයි හැම දේකින්ම මිනිසුන් ලොකුකම පෙන්වීමට උත්සාහ කරන්නේ. ඇඳුම, ජංගම දුරකථනය සහ වෙනත් ආම්පන්න, මෝටර් රථය යන ආදී සියලුම දෙයින් තමන් ඉන්නවාට වඩා තත්වයක් පෙන්වන්න උත්සාහ කරන්නේ සමාජයේ විශේෂ සැලකිලි ලබා ගැනීමටයි. මේ රටේ පවතින ක්‍රමය තුල එසේ කිරීමේ වරදක්ද නැත. 

පහුගිය සටහනෙන් මා රජදහනි නමැති සුඛෝපභෝගී දුම්රිය මැදිරිය ගැන විස්තර කලා. එය ඔබට මතක ඇතැයි විශ්වාස කරමි. දෙහිවලින් දුම්රියට ගොඩ වත්දීත් මා පසු වුයේ තරමක චකිතයකිනි. එයට හේතුව බෙන්තොට දුම්රිය ස්ථානයෙන් මගේ දියණිය එක් කර ගැනීමට තිබීමය. කොතැනක් හෝ වරදක් සිදු වී ඇයට වෙලාවට දුම්රිය ස්ථානයට එන්නට නොහැකි වුවා නම් මා දුම්රියෙන් බැස ඇයත් සමග ආපසු යන්නට  තීරණය කර සිටියෙමි. එසේ දුම්රියට ගොඩ වූ මට කොහේදී හෝ දැක ඇති එක්තරා විශ්‍රාමික වයසේ පුද්ගලයෙක් පිටුපසම පේලියේ සිටිනා බව වැටහුණා. එහෙත් දියණිය ගොඩ වනතුරු මේ කිසිම දෙයක් ගැන මගේ සිතට නිනව්වක් ඇති වුණේ නෑ.

එහෙත් ඉන්නා අතරතුර මා ඔහු කවුදැයි සිතින් නිගමනයකට එන්නට උත්සාහ කලා. මොහු අනිවාර්යෙන්ම මහජන බැංකුවේ විශ්‍රාමික නිලධාරියෙකි. ඔහුත් සමග නිතරම දොඩමලු වන අනෙක් පස අසුනේ සිටින පුද්ගලයාද එම වයසේම කෙනෙකි. මොවුන් කුමක් හෝ කරුණක් සඳහා මාතර බලා යනවා ඇත. ඔවුන් දෙදෙනා එහි සේවය කරන තරුණයන් දෙදෙනාගෙන නොයෙක් ප්‍රශ්න අසති. රත්මලානෙන් දුම්රියට ගොඩ වූ අනෙක් පුද්ගලයා ආ වෙලවාවේ සිට තමාගේ ටැබ්ලට් පරිඝනකයෙන් කුමක් හෝ කියවයි. ඔහුගේ බාහිර පෙනුමෙන් සරසවි ඇදුරු කෙනෙකු බව පසක් විය. ඊට් අමතරව මෙම මැදිරියේ සිටියේ අලුත විවාහ වූ දමිළ යුවලකි. 

අර පුද්ගලයා අඩුම වශයෙන් ජේෂ්ඨ කලමනාකරුවකුව සිට විශ්‍රාම ගත්තෙකු බව මට සිතුනේ, මෙවැනි මුදලක් ගෙවා ගමන් කරන්න නම් සාමාන්‍ය විශ්‍රාමිකයන් ඉදිරිපත් නොවන බැවිනි. විටෙක මට ඔහු අප නිවස පිහටි මාර්ගයේ ඉහල පෙදෙසේ සිටින කෝටිපති දමිළ ව්‍යාපාරිකයාදැයි සැක ඇති වේ. ඔහු මට මුණ ගැහෙන්නේ උදෑසන ඇවිදින්නට ගිය විටය. ඔහු කිසි දා මුහුණ බලා සිනාසේන්නෙකු නොවේ. මාද ඔහුගේ මුහුණ දෙස බැලුවද සිනා වන්නේ නැත. මේ ඔහුද ? මැදිරියේ ඇති වැසිකිලියට ගොස් එන අතරතුර ඔහු මා හා සිනාසුනි. මා කතා කලෙමි. විශ්‍රාමිකයන්ට විශේෂයෙන් සැලකීම මගේ සිරිතයි. 

මම : මම කොහේදී හරි දැකල තියෙනවා

ඔහු : ඔබතුමා කොහෙද වැඩ කරන්නේ ?

මම : මම මහජන බැංකුවේ. ඔබතුමා ?

ඔහු : මමත් මහජන බැංකුවේ.

මම : අනේ සොරි. මට එක පාරටම මතක් වුනේ නෑ. කොහෙද ? බ්‍රාන්ච් එක ?

ඔහු : හෙඩ් ඔෆිස් එකේ.

මම : මොකක්ද ෆ්ලෝර් එක ?

ඔහු : මම තුන්වෙනි තට්ටුවේ. 

මම කල්පනාවට වැටුනෙමි. තුවෙනි තට්ටුවේ තිබෙන්නේ කැන්ටිම සහ ජාතික සේවක සංගම් කාර්යාලයයි. ඊට අමතරව තවත් දෙපාර්තමේන්තුවක කොටසක් ඇත. අනිවාර්යෙන්ම මේ එම කොටසේ අයෙකි.

මම : තුන් වෙනි තට්ටුවේ ......

ඔහු : ආපන ශාලාවේ.

එක පාරටම මගේ මතකය අවධි විය. "මේ අර අප පානය කර තබන තේ කෝප්ප එකතු කර මේස අස්-පස් කරන අන්කල් නේ" යන්න මගේ හිතට ගලා ආවා. නමුත් ඔහුගේ පෙනුම හොඳ රැකියාවක් කර විශ්‍රාම ගත් අයෙකුගේ වගේය. මා වෙනසක් නොකර ඔහුත් සමග සංවාදය පවත්වාගෙන යන්න වග බලා ගත්තා.

මම : ඉතිං මේ කොහෙද යන්නේ ?

ඔහු : අතන ඉන්නේ ........(මහත්මයාගේ නම පවසයි). ඒ මහත්තයාගේ උදව්වට තමයි යන්නේ. රට ඉඳලා ආවේ. එහෙම ආවාම මාව තමයි එක්කන් යන්නේ. සර් කොහේද යන්නේ ?

මම : අපි යනවා කොග්ගල. අන්කල් දන්නවද අයි.ටී. ඩිපාට්මන්ට් එක. අර පලවෙනි තට්ටුවෙයි එකොලොස් වෙනි තට්ටුවෙයි තියෙන්නේ. ඒකෙන් ට්‍රිප් එකක් යනවා කොග්ගල. අනිත් අය බස් එකේ යනවා. මෙන්න මෙයාව ගන්න ඕනේ නිසා මම කෝච්චියෙන් ආවේ. 

ඔහු : අපරාදේ සර් යන්න තිබුනේ යාලට.

මම : අපි කලින් වතාවක් ගියා. ඒත් පොඩි අය වැඩි හින්දා වෙන්න ඇති කොග්ගල යන්නේ.

ඔහු තවත් බොහෝ දේ මා සමග කතා කළා. ඒවා මා කියාගෙන ආ කතාවට වැදගත් නැති නිසා මෙහි සඳහන් නොකරමි. නමුත් බාහිර පෙනුමින් මිනිසුන් මැනීමට යාම සහ යොදා ගන්නා දේ වලින් මිනිසුන් මනින අප වැනි රටක අයට අපූරු පාඩමක් කැන්ටිමේ අන්කල් උගන්වා ඇත. අප රටේ තිබෙන එවැනි මානසික තත්ත්ව නිසා කුඩා රැකියා කිරීමට බොහෝ දෙනා මැලි වේ. ඒ සමාජයෙන් සිදු වන දෙකේ පන්තියේ සැලකිලි නිසාය. නැතිනම් කවුරුත් උපයන්නේ මුදල්ය. බාහිර සමාජයේදී සියලු දෙනා පාරිභෝගිකයෝය. 

මා අසා ඇති පරිදි ඔස්ට්‍රේලියාව වැනි රටවල රාත්‍රී සමාජ ශාලා (Club) වැනි ස්ථාන වලදී රැකියා මට්ටමක් නැතිව කව්රුත් සුහදව බියර් වීදුරුවක් තොල ගාති. එහිදී ජෝන්ගේ ඩොලර් පීසා හලේ පීසා බෙදා උපයා ගත් ඒවාද ? පීටර්ගේ මුදල් බැංකුවක කළමනාකරු ලෙස උපයාගත් ඒවාද යන්න කිසිවකුට අදාල කරුණක් නොවේ. 

මේ ලිපිය ලියන්නට මට අදහස ආවේ සිංහල රාජ්ගේ වසබීම සහ වසදීම නමැති සටහන කියවන විටය. සාමාන්‍යපෙළ අවසන් වී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින කාලයේ මාද නගර සභාවේ සුළු රැකියාවක් කලෙමි. එය නිවාස ත්කසේරු කරන්නට යන රජයේ තක්සේරු කරුවන් සමග ගොස් නිවෙස් මැනීමට ටේප් එක කියවීමය. අප ගමන් කරන්නේ පාපැදි වලිනි. මා යන පාපැදිය සහ මා වැනිම ටේප් එකේ අනිත් කෙලවර අල්ලන අනෙක් සේවකයාගේ පාපැදි වල එම නිලධාරීන්ද නැගී අදාල මාර්ගයට ගොස් සියලුම නිවෙස් මැනගෙන එන්නෙමු. එකල මට එය රැකියාවකට වඩා සතුටට කාරනාවක් වුයේ එසේ යනවිට ලැබුන අත්දැකීම් නිසාය. කෙනෙකු මෙම නිලදාරීන් දැක සැඟවේ, තවත් සමහරු අඩු තක්සේරු අගයක් දමා දෙන ලෙස බැගෑපත් වේ. බොහෝ අය සංග්‍රහ කරයි. සංචාරක හෝටල් වලට ගිය විට දිවා අහාරය පවා ලබා දෙයි. 

එකල මා ලැබූ ආදායමෙන් උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය පොත් පත්ද, ඇඳුම් සහ සපත්තු සහ මගේ මාසික වියදම පියව ගතිමි. මගේ මාසික වියදම ගැනද යමක් සඳහන් කල යුතුය. දයානන්ද අයියාගේ කඩෙන් ණයට විවිධ ආහාර සහ සිසිල් බීම මට සහ මගේ මිතුරන්ට ලබාගෙන මාසේ අවසානේ එය පියවීම ඒ කාලේ මගේ පුරුද්ද විය. දයානන්ද අයියා යනුවෙන් අප ඔහු ඇමතුවත් ඔහු නෑකමින් මට බාප්පා විය යුතු කෙනෙකි. ඔහු මගේ පියාද ඇසුරු කර ඇත්තෙකි. ඔහු බොහෝ වෙලාවට පවසන්නේ "මම තමුසෙලාගේ තාත්තාටත් මචං කියලා තියෙනවා දැන් තමුසෙට මචං කියනවා" යන්නයි.

මේ සියලු කතාවලින් මා පවසන්න උත්සාහ කරන්නේ. "මිනිසාට රැකියාව අනුව සලකන්නේ නැතිව මිනිසෙකු ලෙස සලකන ලෙසය" එවැනි යුගයකට අප ගියහොත් ඉදිරියේදී අපට රැකියා සොයා පිටරට නොයා කුමක් හෝ රැකියාවක් කර ජීවත් වීමට හැක. නමුත් ජීවන වියදම අඩු විය යුතුය. අඩු වැටුප් ලබන කම්කරුවටද ජීවත් විය හැකි සමාජයක් ඇති විය යුතුය. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...