අද මම කාලෙකින් CSN නාලිකාව බලන්න පටන් ගත්තා. ඒකට හේතුව මගේ ඉන්දියන් සැටලයිට් කනෙක්ෂන් එක කපලා. ගෙදර කවුරුවත් නෑ. මගේ දියණියත් ගමේ ගිහිං. තනියම ඉන්න පාලු නිසා ඇන්ටනාවට සම්බන්ධ කේබල් එක ගහලා රුපවාහිනිය බලන්න පටන් ගත්තා. නමුත් පේන එකම නාලිකාව වෙච්ච CSN එකේ යන්නේ වේග රිද්ම සජීවී සංගීත ප්‍රසංගයක්. එහි වම් කෙලවර වෙලාව සටහන් වෙන්නේ 23:18:00 ලෙස මේ ටික ටයිප් කරලා ඉවර වෙත්දී දැන් පෙන්වන්නේ 23:22:16. මම හරියටම තප්පරේට වෙලාව දැම්මේ ඇයි ? හේතු දෙකක් තියෙනවා.
| පින්තුරය ගත්තේ : www.sarasaviya.lk |
මේ වෙලාව වේදිකාව සැරසුවේ පොඩි ළමයා නොහොත් දීපාල් සිල්වා. අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍යද ? හොඳයි මම කියන්නම්. අර ඉස්සර හිටිය සාජන් නල්ලතම්බිගේ අඩි පාරේ යන දැන් ඉන්න වේදිකා නළුවා නොහොත් ගායකයා. දීපාල් සිල්වා මෙතනට වැදගත් නැති වුනත් මගේ සිහියට සාජන් නල්ලතම්බි නොහොත් නිහාල් සිල්වා ආවහම මගේ මතකය එක පාරට අවුරුදු 20-21 ඈතට ඇදිලා ගියා. මේ කාලයේ සිදු වුනු එක අවාසනාවන්ත එහෙත් වැදගත් සිදුවීමක් මතකට නැගිලා මොර දෙන්න පටන් ගත්ත හින්දා. ආහ් ! තව පොඩ්ඩෙන් අමතක වෙනවා තප්පරේට වෙලාව දාපු හේතුව ඒ කාලේ තප්පරයක් ජීවත් වෙන එකත් හීනයක් වගේ නිසා.
අද ගෙදර කවුරුවත් නැති දවසේ මම කෑම එකක් ගන්න කොහුවල ගිහාන්ස් එකේ ඉන්නකොට සජිත් ප්‍රේමදාස මහත්මයා වේදිකාවේ සුපුරුදු විදියට කෑ ගහනවා දැක්කා. ඒකත් මේ වෙලාවේ සිහියට ආවේ මොකද ? මගේ ෆේස්බුක් මිතුරකු විසින් පැය කිහිපයකට පෙර තම ෆේස්බුක් වෝල් එක මත ෂෙයාර් කර තිබූ "ලාංකීය සමාජය දේහය විසින් උකහා ගත යුතු රෝහණ විජේවීර දර්ශනය" නමැති ඡායාරුපයත් මගේ මතක ගබඩාවේ එහාම කෙළවරක තිබූ එක් මතකයක් කාලයේ වැලිතලා වලින වැසී යන්නට නොදී එලියට ගත්තා. මීට අවුරුදු විස්සකට පමණ පෙර මාත් සමග දොඩමලු වූ ගුවන් හමුදාවේ ස්වෙච්චා සේවා ලෙෆ්ටිනන් වරයා මා සමග එළිකර සිදුවීම.
මේ සිද්දි හතර මම ගලපන්නම්. ඒත් ඒක පුදුමාකාර අහම්බයක් ලෙස තමයි මගේ මතකයේ අහුමුළු අතර විදිලි කෙටුවාක් මෙන් මොහොතක් තුල එලිය ආවේ. හොඳයි මම මෙහි හතරවන තැනින් පටන් ගන්නම්. ඔහුගේ නම කුමක්දැයි මට අද හරියාකාරව මතක නෑ. එහෙම අහන්න තරම් ආත්ම ශක්තියක් ඒ කාලේ අපට තිබ්බත් නෑ වගේ කියන දෙයක් ඔහේ අහගෙන හිටියේ කොහෙන් පත්තු වෙලා බෙල්ල ගහලා යයිද කියන බිය නිසා. මේ කතාව මම ඇහුවේ 1993 යම් දවසක වගේ කියලා මට හිතෙනවා. ගුවන් හමුදා ස්වෙච්චා සේවා ලෙෆ්ටිනන් වරයා ඒ වනවිට එයින් ඉවත් වෙලා. ඔහු සිවිල් රැකියාවක් කලේ. ඒ ගැනවත් මම විමසීමක් නොකළේ ඒ කතාව අහලා මගේ හිතේ ඇති වෙච්ච ත්‍රාසය නිසා. ඔහුගේ වචන වලින් මම අහපු කතාව මෙහෙම
මල්ලී මම එතකොට එයාර්ෆොස් හිටියේ. ඔය දවසේ මම ඩියුටි හිටියේ දෙහිවල හන්දියේ තියෙන චෙක් පොයින්ට් එකේ. මගේ අතේ තිබ්බ සෙට් එකට හදිසි පණිවිඩයක් ආවා මෙන්න මෙහෙම. "තව විනාඩි පහකින් ගාල්ල පැත්තට වේගෙන් කළු පාට කාර් එකක් එයි. අනිත් පොයින්ට් වලින් නවත්වන්න කිව්වට නැවැත්තුවේ නෑ. ඒකට කෙලින්ම ෆයර් කරන්න. මම .......". මේක ඇහුවම මට එච්චර ගානක් ආවේ නෑ. අපිට ඉතින් ටී 56න් වතුර විදින තුවක්කුව වගේ. මගේ ගාව හිටිය සොල්ජර්ලා දෙන්නව මම හොඳට පාර ක්ලියර් තැනකට අරන් ආවා. උන් දෙන්නටත් මේ කතාව කිව්වා. සමහරවිට සෙට් එකෙන් ආපු මැසේජ් එක ඇහෙන්නත් ඇති. උන් දෙන්නා වෙපන් ලෝඩ් කරගෙන රෙඩි පිට හිටියා. හරියටම විනාඩි පහක් ගියේ නෑ. කඩාගෙන එනවා කියපු විස්තර තියෙන කාර් එක. හන්දියට එනකොටම මම "ෆයර්" කිව්වා. කොල්ලෝ දෙන්නා තිබ්බ හරියටම. වීදුරු කුඩු වෙලා ගිහින් වාහනය ටිකක් දුර ගිහින් නැවතුනා. අපි දුවලා ගිහින් බැලුවා. කළු තට්ටයෙක්ට තමයි වෙඩි වැදිලා තිබුනේ. ඇත්තම කියන්න මල්ලී මම දැනගෙන හිටියේ නෑ ඒ කාර් එකේ හිටියේ සාජන් නල්ලතම්බි බව."
ඔහුගේ ස්වරයේත් තැති ගත් විලාසයක් තිබ්බා. ඔහු නැවතත් හඬ අවධි කළා
මගේ ඇඟ සීතල වෙලා හිටියේ. ඒත් වැඩේ හරියට කරාට මට තෑන්ක් කළා. මම හොඳටම බය වුණේ නල්ලතම්බි එක පැත්තකට අහිංසක මිනිහා නිසා. ප්‍රසිඩන්ට් එක්ක හිතවත් හින්දා මට වතුරවත් ගිලෙන්නේ නැතිව හිටියේ. ඒත් පස්සේ ආරංචියක් ගියා කාර් එකේ කුඩු තිබිලා කියලා. පස්සේ තමයි මේකේ හරි සුල මුල එලියට ආවේ. මේ වෙද්දී අත්තනායක කියන කෝටිපතියා විදියට වෙස් වලාගෙන හිටිය විජේවීරව අල්ලලා මරලා තිබ්බ කාලේ. විජේවීර අල්ලපු ගමන්ම මරලා තියෙනවා. ඒත් විජේවීර වගේ කතාව කරලා තියෙන්නේ නිහාල් සිල්වා. ඒක වෙන්න ඕනේ මේ කේස් එකට හේතුව. ඒත් අපි වෙඩි තියලා දවස් දෙකකින් අපේ ගේ STF එකෙන් වට කරලා මාව හොයලා තියෙනවා. මේ කාලෙම තමයි හමුදා වල අයගේ ගෙවල් වල ය මරණවා කියන කතාව ගියේ. අපේ අම්මලා එදා හරියට බය වෙලා තියෙනවා
මේ කතාව මම ඒ කාලේ ඒ හැටි විශ්වාස කලෙත් නෑ. අනිත් එක මේ මිනිහා මේ විදියට මගෙත් එක්ක මේ කතාව කිව්වේ මාව අල්ලන්න පොටක් හොයා ගන්නද කියලා මට හිතුණා. ඒ කාලේ අපි බොහොම ප්‍රවේසමින් තමයි වචන පිට කලේ. ඊට ගොඩ කාලෙකට පස්සේ කවුරුන් හෝ මේ තොරතුරු එලි කලාම මේවා ඇත්ත නේද ? කියලා හිතුණා. මේ කතාවේ ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නෑ. ඒත් පුදුම විදියට මතකයට ආපු නිසා අකුරු කළා.
දැන් පැහැදිලියි නේද, සජිත් ප්‍රේමදාස, රෝහණ විජේවීර, දීපාල් සිල්වා, සහ නාඳුනන ලෙෆ්ටිනන් වරයා යන හතර දෙනාගේ අවස්ථා සම්බන්දේ මොකක්ද කියලා.
| පින්තුරය ගත්තේ : www.divaina.com |
මගේ මතකයේ තාම තියෙනවා නල්ලතම්බි නාටකයේ ඔහු ගයපු සිංදුවක කොටසක්
දශ්කොන් වාගේ බෙල්ල කැපේවීදෝ
ෂී. මං බය නෑ - ෂී මං බය නෑ.ලොකු මාත්තිය මගේ තට්ටේ පලාවීදෝමගේ මිතුරා හොඳ මුනියා - මගේ මිතුරා හොඳ මුනියා
______________________________________
මට තියෙන ප්‍රශ්නෙ මේ අභිරහස් මරණය ගැන නෙවෙයි
- නල්ලතම්බි එදා කල භූමිකාව අද පොඩි ළමයා කරනවාද ?
- රණසිංහ ප්‍රේමදාස දේශපාලකයාගේ භූමිකාවට ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා පන දෙනවාද ?
ඒවා එසේ සිදු විය යුතු යයි මා යෝජනා කරන්නේ නැත. මේ ප්‍රශ්ණ මගේ හිතට නැගුනු ඒවායි. මා අසන්නේ නොදන්නා කම නිසයි. පිළිතුරු දීම ඔබට බාරයි. පිළිතුරු අත්‍යවශ්‍ය නැත. මා වැනි දේශපාලනය නොදත් අයට බලා සිටිය හැක.
- රෝහණ විජේවීර නම් වාමවාදීයා ගිය මග අද ජවිපෙ සිටිනවද ?