Tuesday, January 1, 2013

2013 දී 24 තීරණාත්මක ඉලක්කමක් වෙයිද ?

රාජකාරි ඉවර වෙලා ගෙදර එන්න සපයලා තිබෙන කැබ් රියේ රියදුරුත් එක්ක සුහද පිළිසඳරක් දාගෙන එන එක මගේ පුරුද්දක්. කැබ් එක එන්න පරක්කු වෙලා කැබ් මධ්‍යස්ථානයේ අයත් එක්ක බහින් බස් නොවුන හැම දවසකම එහෙම තමා. මෙහෙම වෙලාවට රියදුරාට කථා කරන්න ඇරලා මම අහගෙන ඉන්න එක තමයි කරන්නේ. ගිය සිකුරාදා ආව කෙනාම තමයි අදත් ආවේ. මිනිහට මතක තිබ්බ ගිය සිකුරාදා මම කැබ් සේවාවට හොඳටම බැන්න බව. අද ආපු ගමන්ම ඇහුවේ

"අදත් පරක්කු වුනාද සර්" කියල

"නෑ අද එහෙම පරක්කුවක් නෑ" කියා මම නිශ්ශබ්දව යන්න උත්සාහ ගත්තත් මිනිහා මාව කතාවට ඇදාල ගත්තා. 

"සර් අද ඉඳල අර පොයින්ට් ක්‍රමය පටන් ගන්නවානේ, පොලිස් කාරයන්ට ගානක් හොයා ගන්න පුළුවන් නේද?"
පින්තුරය ගත්තේ : vectorstock.com
එහෙම කිව්වහම මටත් හිතුනේ මේ ලකුණු ක්‍රමය නිසා රාළහාමිලාට අමතර ආදායම් මාර්ගයක් රජය විසින් සපයලා දීලා කියලයි. මේ ක්‍රම හඳුන්වා දීම ඉතා වැදගත්. මොකද අද පාර බදු අරගෙන එලවන අර අශෝක් ලේලන්ඩ් බස් වලඩ්‍රයිවර් මහත්වරුන්ටයි, බටර් කපන්න වගේ එකතැන කපන ත්‍රී වීල් මල්ලිලාටයි, දකින දකින හැම අස්ස්කම රිංගවන්න හදන මෝටර් සයිකල් පදින තරුණ පරම්පරාවටයි යම්කිසි විනයක් ඇති කරවන්න අවශ්‍ය නිසා(මෙහෙම කිව්වහම අපේ මාරයාට තද වෙයිද දන්නෑ). 

දැන් නිකමට කල්පනා කරලා බලන්න මේ ලකුණු ක්‍රමය නිසා වාහන තදබදය අඩු වෙන්න පුළුවන්. ඒ කොහොමද ? කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ එක්තරා ඩ්‍රයිවර් මහත්මයෙක් ටලකුණු විස්සක් ගහනවා ලැබෙනවා මාස දෙකක් ඇතුලත. එතකොට හරියට අර පාපන්දු ක්‍රීඩාවේදී කහ කාඩ් පත ලැබුණා වගේ. ඔන්න ඔය වගේ වෙලාවකට තවත් වරදක් කරලා ට්‍රැෆික් රාලහාමි කෙනෙකුට අහු වෙනවා

රාලහාමි : මහත්තයා ලකුණු විස්සක්, එතකොට මේකෙන් තව 10ක් ආවහම මහත්තයාගේ ලයිසන් කැන්සල්. මාස දහයක් බස් එකේ තමයි යන්න වෙන්නේ. මොකද කරන්නේ. උසාවි දාන්නද ?

මෙහෙම කියනකොටම අපේ රියැදුරු මහත්මයා බැගෑපත් වෙලා කොහොම හරි ගානක් කතා කර ගන්නවා. එහෙම වුනොත් හොඳයි. අපි හිතමු මේකේ අනික් පැත්ත වුණා කියලා එතකොට අර මහත්තයාගේ ලයිසන් කැන්සල් වෙනවා ඊළඟ අව්රුද්ද වෙනකං. එතකොට එක්කෙනෙක් අවුට්. මේ වගේ අපේ ඩ්‍රයිවින් ඉතා හොඳ නිසා වාහන එලවන අයගෙන් භාගයක්ම අවුට් වුනොත් පාරේ යන වාහන ගණන දෙකෙන් පංගුවක් වෙනවා. මෙහෙම වුනාම ට්‍රැෆික් නිකම්ම අඩු වෙනවා. එක බස් එකක යන සෙනග දෙගුණ වෙනවා. දුම්රිය වලට සෙනග වැඩි වෙනවා. එක්කෝ රාළහාමිලා පොහොසත් වෙනවා. 

මේ ළඟදී අපේ හිරූ ලියපු පොස්ට් එකකින් දාල තිබුණා, චායාරුපත් එක්කම පාරේ විවිධ වැරදි කරන ආකාරය. ඒ වගේම ඩුබායි වල රියදුරු බලපත්‍රය ලබා දෙන විදිය ගැන අපේ කෝරලේ මහත්තයා පොස්ට් එකක් දාලා තිබුණා. මේ දෙක දෙකක් වුණත්, මේ දෙක සමපාත වෙන තැනක් තියෙනවා. ඒ තමයි විදේශීය රටවල් වල මේවා වෙන විදිමත් විදිය සහ අපේ තිබෙන ප්‍රාථමික බව. ඒ අතින් දකුණු ආසියාවේ ලංකාවේ, ඉන්දියාවේ, බංගලිදේශයේ වගේ රටවල ඉන්න දුෂිත පොලිස් නිලධාරීන් එක්ක මේ වගේ නීතියක් තවත් පොතකට සීමා වෙච්ච් අර කියපු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පරිදි හසුරුවමින් ජරාව ගොඩ ගහගන්න තිබෙන තවත් මාවතක්ද කියල හිතන්න වෙනවා. 

මේ වගේ නීතියක් දාලා අපේ පොලිස් නිලධාරී මහත්වරු හරියට ක්‍රියා කරයි කියල හිතාගෙන රජය ඉන්නවා. ඒත් නීති කඩන්න රියදුරන් පෙළෙඹෙන එක් හේතුවක් තමයි මේ වගේ දුෂිත නිලධාරීන් ඉන්න එක. හැබැයි අපි දැක්ක දඩ මුදල් වැඩි කරලා කරපු සීට් බෙල්ට් අනිවාර්ය කිරීම සහ බීමතින් රිය පැදවීම වගේ දේවල් යම් සාර්ථක මට්ටමකට ඇවිත් තිබෙනවා. හේතුව පොලිස් නිලධාරී මහත්වරු නීතිය හරියට ක්‍රියාත්මක කිරීමම නෙවෙයි. ඔවුන්ට හසු වී දඩ මුදලින් භාගයක් අතට දෙන්න තරම් වත්කමක් නැති නිසා. ඒ නිසා මේ අයට සිදු වෙනවා නීතිගරුක වෙලා තමන්ගේ එදා වෙලා කන්න තියෙන මුදල් ඉතිරි කර ගන්න. හැබැයි සමහර නීතිගරුක පොලිස් නිලධාරී මහත්වරු හරියට නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙත් වැඩියෙන් වෙන්නේ දුෂණය. මේවා ප්‍රසිද්ධ රහස්. ඕනෑම කෙනෙක් දන්නවා. මෙහෙම මුදල් අතට දීලා මාරු වෙන්නෙත් අපේ ක්‍රමයේ තියෙන අඩු පාඩු නිසා. රස්තියාදුව අවම කර ගන්න.

මම මේ ලඟදි දවසක් තඹුත්තේගම ප්‍රදේශයේ තියෙන දම්සෝපුර කියන ඉතාම දුෂ්කර ගම්මානයක තියෙන සේවා මධ්‍යස්ථානයට ගියා. එසේ ගොස් එන ගමනේදී වාහනයේ එලාම් එකක් නොකඩවා වදින්න පටන් ගත්තා. මේ වනවිට අපගේ රථයේ ශාඛාවේ අය දෙදෙනෙකුත් උන්නා. මම හිටියේ ඉදිරි අසුනේ. පිටුපස හිටිය මගේ මිත්‍ර විපුල රියදුරාගෙන් මේ ගැන විමසා සිටියා. ඔහුගේ සීට් බෙල්ට් එක නොපැළඳ ඉන්න නිසා තමයි මේ එලාම් එක නාද වුනේ. මා පුරුද්දක් වශයෙන් වාහනයකට ගොඩ වූ විට ආසන පටි පළඳිනවා. මේ පැත්තේ කොහෙන්ද පොලීසිය යන්න තමයි උත්තරය වුනේ. ඇත්තටම මේ වගේ කැලෑබද ප්‍රදේශයක පොලීසිය තියා ග්‍රාමසේවක වරයෙක් වත් ඉන්න පුලුවන්ද ? කියලා අපිට හිතුනා. විපුල පුන පුනා ඉල්ලා සිටියා ආසන පටිය පළඳින්න. එහෙත් එය මායිම් නොකළ අපේ තරුණ ඩ්‍රයිවර් මහත්මා දිගටම ධාවනයේ යෙදුනා. විනාඩි පහක් යන්නට පෙර විශාල ගසක් යට සෙවනේ හුන්, අව් කන්නාඩි පැළඳ, ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් සිහි ගන්වන පාංශු දේහදාරී පොලිස් එස් අයි මහත්මයෙක් ඉතාම සෘජුව ඉඳ වාහනය නැවත්වූවා. වාහනයට එබුනා සීට් බෙල්ට් දාල නෑ නේද ? ලියන්න කියා ඔහු අණ කළා. 

මා එක් වර ආ විනිශ්චය වුයේ මේ නිලධාරියා නම්, නීතිගරුක අයෙක් බව. එම තීන්දුව හරියටම හරි යන්න තේරුම් ගන්න අප සියලු දෙනාට වැඩි වෙලාවක් ගත වුනේ නෑ. ඒ සඳහා සමතයකට යන්න මා මිත්‍ර විපුල සුදානම් වත්දී ප්‍රදේශයේ බැංකු නිලධාරියා තමා මේ ලියන රාළහාමිලා අඳුරනවා එහෙත් එස් අයි මහතා නොහඳුන බව පවසා එලියට බැස්ස. එහෙත් අර පොඩි නිලධාරීන් දෙදෙනා මුහුණ ඔබාගෙනම දඩ පත්‍රය අපේ රියදුරාට බාර දුන්නා. අපිට පිටත් වීම හැර කල හැකි කිසිවක් තිබුණේ නෑ. යන අතර වාරයේ මමත් විපුලත් රියදුරු තරුණයාට හොඳටම දෙහි කැපුවේ පුරුද්දක් ලෙස ආසන පටි පැලඳුවනම් එසේ නොවන බව. ඇත්තටම මෙහිදී වැදගත් වන්නේ ප්‍රදේශය නොව එහි අවශ්‍යතාවයයි. අපේ අය පොලීසිය අල්ලන නිසා ආසන පටි පැළඳ ගත්තත්, අවශ්‍ය කාරණය අනතුරින් වැළකීම. 

දැන් අපේ අර රියදුරාට සිදු වනවා උසාවියට ඊළඟ සතියේ ඉදිරිපත් වී දඩය ගෙවන්න. දැන්  අර නිලධාරියාව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ පිස්සකු ලෙස. සමස්තය එක් ආකාරයකට ක්‍රියා කරද්දී ඔහු පමණක් උඩුගම් බලා පිහිනනවානම් එහෙම පෙනෙන එකේ වැරද්දක් නෑ. දැන් අපේ රියදුරාට ගෙවන්න වෙන දඩ මුදල, නිවාඩු ලාබාගෙන් වෙනමම උසාවි පැමිණීමට සිදු වීම, නීතිඥයකුගේ සහය ලබා ගන්න. කොටින්ම මෙය සැබෑ දඬුවමක්. ඔහුට ඊළඟ සතියේ දවසක් විත් රියදුරු බලපත්‍රය රැගෙන යන්න කීවත් එයත් දඬුවමක්. 

නමුත් අපේ මේ දඩ මුදල් අය කිරීම සහ උසාවි ක්‍රමය ගැන පැහැදෙන්නට බෑ. ඔහු වරදක් කල බව සැබෑය. එහෙත් ඒ සඳහා සිරිපා කරුණා කරන්න වැනි ගමනක් යා යුතුද? විකල්ප ක්‍රමයක් ලෙස තමන්ට පහසු පොලිස් ස්ථානය සහ උසාවිය විමසා ඒ වෙත දඩුවම හෝ දඩ මුදල් ගෙවීමට යොමු කිරීම කාලෝචිත නැද්ද? මෙසේ අදාළ ප්‍රදේශය වෙත යාමට සිදු වීමද දඬුවමේ කොටසක්ද ? 

මුලින් සාකච්චා කල ලකුණු ක්‍රමය සහ සමස්ථ දඩ ක්‍රියාවලිය යම්කිසි අධීක්ෂණයක් යටතේ සිදු විය යුතු බව මාගේ විශ්වාසයයි. පොලිස් නිලධාරියා වරදකරුවන් හසු කර ගැනීමේ සිට උසාවිය දක්වා යොමු කරන ක්‍රියාවලිය ගැන සොයා බැලීමට වෙනත් බලතල සහිත උසස් නිලධාරීන්ගෙන් සැදී පරීක්ෂණ කණ්ඩායමයක අවශ්‍යතාවය පැහැදිලි වෙයි. එසේ වූවානම්, දඩ මුදල් වෙනුවට අල්ලස් ගැනීම වැනි ක්‍රියා සහ අත්තනෝමතික දඩ ගැසීම්ද පාලනය වනු ඇත. එසේ නොමැතිව මෙවැනි නීති දාහක් ගෙන ආවත් එය එම නිලධාරීන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා භාවිතා කිරීම හැර වෙනත් සෙතක් නොවනු ඇත. 

නීති වලින් පැන යාමට උපන් හපන්කම් දක්වන අපේ ජනතාව ගැනද වචනයක් කිව යුතුය. ඔවුන් හෙල්මට් පළඳින්නේ හිස ආරක්ෂා කර ගැනීමට නොව පොලීසියෙන් බේරීමටය. සමහරවිට හෙල්මට් මෝටර්සයිකල් ධාවනය සඳහා සුදුසු නොවන වැඩබිම් හෙල්මට්, ක්‍රිකට් හෙල්මට් වැනි දෑ දමාගෙන යන්නේ අනතුර වලක්වා ගැනීමට නොව නීතියෙන් ගැලවීමටය. දැන් සීට් බෙල්ට වලටද විකල්ප සොයමින් සිටී. බීමතින් එලවන්නේ නම් වාහනයේ ඒ.සී. නොදමා වීදුරු පහත කරගෙන යයි, මවුත් වොෂ් වලින් කට සෝදයි, පේපර් මින්ට් වැනි දෑ වික විකා යයි. වෙනත් උපක්‍රම ලෙස තම බිරිඳ හා අත දරුවා ඉදිරිපස ආසනයේ ගෙන යයි. එහෙත් බීමතින් රිය පැදවීමෙන් සිදු විය හැකි අනතුර හෝ ආසන පටි නොපැළඳ ගමන් කිරීමෙන් වෙන හානිය, හෙල්මට් නැතිව යාමෙන් සිදු වන අනතරු වලට වඩා දඩයෙන් බේරීම ඉදිරියට විත් තිබේ. මෙවැනි රටක නීතිය ක්‍රියාත්මක කරනුයේ කෙසේද? නීති යොදන්නේ රජයට මුදල් අය කර ගැනීම සඳහා පමණක්මද ? නැතිනම් දෙමව්පියන් හෙල්මට් දමා දරුවන් ඔහේ ගෙන යන්නේ මන්ද  යන්නට කිසිවකුට පිළිතුරු තිබේද? ජංගම දුරකථනය භාවිතයෙන් සිදු විය හැකි අනතුරු. අනෙක් පස සිටින කෙනා සැම විටම ඔබට ගෙන එන්නේ සුදහ පණිවුඩයක්ද ? මරණයක් ගැන හෝ වෙනත් ආපදාවක් දන්වා සිටියහොත් ඔබට තත්වය පාලනය කර ගත හැකිද ?

මේවාට අපේ අය දෙන කදිම උත්තර සෙට් එක නම්, ලොක්කෝ හොරකම් කරත්දී අපි කරන පොඩි ඒවා තමා පෙන්නේ, මේ රටේ ඉහල සිට පහලට සියලු තැන් වල දුෂණය, අපි විතරක් හරි වෙලා වැඩක් නෑ. මේ රට හදන්න බෑ වාගේ කියමන්ය. මේ නීති ගෙන එන්නේ ඇයිදැයි ඔබත් සිතා බලන්න. 

ප.ලි. අද සිට ක්‍රියාත්මක වන නීතිය මාරක අනතරු සහ බීමතින් රිය පැදවීම සඳහා පමණක් අදාළ වන බව එකී රියදුරු මහතාම කියා සිටින ලදී. නැතිනම් ලබන අවුරුද්දේ දෙසැම්බර් වනවිට පාරේ තිබෙන්නේ මැති ඇමති වරුන්ගේ වාහන පමණක් බව සහතික කොට කිව හැක. 

ඇවිද්ද පය ...... පලවෙනි සංවත්සරය

පින්තුරය ගත්තේ : anettshome.blogspot.com

බ්ලොග් ලියන්න අරගෙන අවුරුද්දක් ගත වුණා කියල හිතා ගන්නවත් බෑ. නිකං අද ඊයේ වගේ තමයි හිතට දැනෙන්නේ. මම රාජකාරි දිවියේදී අත් විඳින්නට ලැබුණු අත්දැකීම් බෙදා හදා ගන්න. ඒත් අන්තිමේදී ආපසු හැරිලා බලපුවහම රාජකාරී අත්දැකීම් වලින් 10% ක් වත් ලියවිලා නෑ. මොනවා කරන්නද හිතට දැනෙන දේවල්, මතකයට එන දේවල් ලියාගෙන යත්දී රැකියා පටන් ගන්නටත් කලින් මුහුණ දීපු අත්දැකීම් තමයි වැඩියෙන්ම බෙදා හදාගෙන තියෙන්නේ. අනික් අතින් රාජකාරි දිවියට සම්බන්ධ දේවල් ලියද්දී ගොඩාක් ප්‍රවේසමෙන් තමයි ඒ දේ කරන්න වෙන්නේ. මොකද අපි පත්වීම ලබපු දිනයේදී වගේම වසරක් පාසා ජනවාරි පළවෙනිදා කරන ප්‍රතිඥාවෙන් පොරොන්දු වෙනවා ආයතනික රහස් ආරක්ෂා කරන්න. ඉතිං ඒ නිසා පරිස්සමෙන් දේවල් ලියන්න යනවට වඩා පහසුවෙන් රාජකාරියට පරිභාහිරව තියෙන දේ ගලපන්න පුළුවන්.


පලවෙනි සංවත්සරය ජනවාරි පළවෙනිදට යෙදෙන එකේ එක්තරා වාසියක් තියෙනවා ඒ වගේම අවාසිත් තියෙනවා. මේ සටහන ලියන්න ගිහිං මට අවාසිය මොකක්ද කියල පැහැදිලි වුනේ. තියෙන වාසිය තමයි කවදාවත් අමතක නොවීම. මට විතරක් නෙවෙයි මේක කියවන ඔයාලටත් ඒක මතකයේ රැඳේවී කියල මට විශ්වාසයි. අවාසිය තමයි බ්ලොග් ලියන බොහොමයක් දෙනා නව වසරට සුභ පතන්න පොස්ට් එකක් දැමීම. ඒක අවාසියක් වෙන්නේ ගොඩ වැඩි වුනහම කියවන්න තෝරා ගන්න ප්‍රමාණය අඩු නිසා මගේ පොස්ට් එකත් නොකියවන ගොඩට වැටෙයි කියල. ඒත් කමක් නෑ කියලා ලියන්න පටන් ගත්තා.

බ්ලොග් කියන දේ ගැන මගේ මුල්ම මතකය තමයි මගේ මිත්‍ර සුභාෂ් මගෙන් බ්ලොග් කියන එකේ තේරුම ඇහුවාම ගූගල් කරලා හොයාගෙන කියවපු සටහන. බ්ලොග් කියන්නේ වෙබ් ලොග් කියන වචනයෙන් බිඳිලා හැදුන යෙදුමක් කියල දැන ගත්තා පමණයි(පස්සේ මේ ගැන මගේ අදහස දැම්ම "බ්ලොග් යන්නට සිංහල තේරුමක් තිබිය නොහැකිද?" කියලා) . ඒත් බ්ලොග් ගැන ඊට එහාට හොයන්න බැරි වුනා. 2011හේ අග හරිය වෙනකම්ම සිංහල බ්ලොග් කියල ජාතියක් තියෙනව බව මම දැනගෙන හිටියේ නෑ. ඒත් වන සීරෝ සීරෝ වර්ඩ්ස් කියන බ්ලොග් එකට නම් කිහිප වතාවක්ම ගොඩ වැදිලා තිබුණා. මීට අමතරව මගේ මිත්‍රයෙක් වන දර්ශණ වීරකෝන් මට නිතරම "මගේ මරණය" සහ "බූන්දි.lk" කියන බ්ලොග් දෙක බලන්න යොමු කලත් මම වැඩි උනන්දුවක් දැක්වුවේ නෑ. 

මෙන්න මෙහෙම තමයි කණාගේ පයේ මැණික් ගල වැදුනත් ගානක් නෑ වගේ මේ සුන්දර අවකාශය මට මග ඇරුනේ. එහෙම නොවුනානම් අඩුම වශයෙන් මේ වෙනකොට දෙවෙනි හෝ තුන්වෙනි සංවත්සරය සමරන්න තිබ්බා. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ මම බ්ලොග් ලෝකෙට කඩා වැටුනා කියලා. නමුත් වැඩිය තේරුමක් නැතිව ඉංග්‍රීසි බ්ලොග් එකක් නම් මම නොවරදවාම කියවන්න පෙළඹිලා හිටියා. ඒ තමයි Cricket through the eyes of an Irishman කියන බ්ලොග් එක. එහෙම ඉඳලා මමත් ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගත්තා. ඒත් වැඩි අවධානය මේ පැත්තට යොමු වුන නිසා ඉංග්‍රීසි බ්ලොග් එකට වැඩි පොස්ට් ගණනක් එකතු කරන්න බැරි වුණා.

කොහොම කොහොම හරි බ්ලොග් අවකාශයට කඩා පාත් වෙලා මුලින්ම පොඩි පොඩි පොස්ට් තමයි දැම්මේ. ඒත් සින්ඩිකේටර් වලින් අනිත් ඇයගේ දිග පොස්ට් දැක්කම මට හිතුනා මම මේවා කුඩාවට ලියන එකේ තේරුමක් නෑ කියල. එහෙම කුඩා කරන්න ගියහම පොස්ට් එකේ නියම රසය නැසෙනවා කියල. අන්තිමේදී දිග පොස්ට් දාන්න පටන් ගත්තා. ඒත් ඒ ගැන පොඩි පොඩි විවේචනත් ආවා. හැබැයි මම අතරින් පතර කෙටිම කෙටි ලොල් කතා කියන හාස්‍යජනක කතා මාලාවක් කෙටියෙන් දැම්ම. ඒකට නම් ඉතා ඉහල ප්‍රතිචාර ලැබුණා. මඩිස්සලේ නිශාන් තනිකරම ඇවිත් තිබුනේ මේ කතා බලන්න. 

ටික කාලයක් ලියාගෙන යත්දී මගේ රාජකාරී දැනුම් සම්බන්ධ කරලා ලියපු ATM යන්ත්‍ර සමග ගනු දෙනු කිරීමේදී කියන පොස්ට් එක නිසා බොහෝ දෙනාගේ අවධානය මේ පැත්තට යොමු වුනා. එහෙම ඇවිත් තමන්ගේ ගැටළු වලට කලයුතු දේ පිලිබඳ විමසීම් පවා කරන තත්වයකට ආව. මේ අතරින් ඊමේල් කවිකාරි සහ හෙන්රි අමතක කරන්න බෑ. මේ දෙදෙනා දැනුත් ගැටලුව්වක් ඇති වුනොත් මගෙන් උපදෙස් ගන්නවා. ඉන් පස්සේ ඒ ආකාරයේම තවත් ලිපි කිහිපයක් ක්‍රෙඩිට් කාඩ් පත් සම්බන්ධව ලිව්වා. ඒවටත් ඉතාම ඉහල ප්‍රතිචාර ලැබුණා. මේ කාලයේදී තමයි විවිධ ක්ෂේත්‍ර වල අය මේ පැත්තට එන්න පටන් ගත්තේ. මගේ ඉහළම දැනුමක් තියෙන විෂයය වන ක්‍රිකට් ගැනත් මේ කාලයේදීම ලියන්න වුනා. 

මෙහෙම යත්දී මට දැනුන දෙයක් තමයි සමහරු බලාපොරොත්තු වෙන්නේ එකම ආකාරයක ලිපි. ඒත් මම ලිපි ලියද්දී විවිධ ක්ෂේත්‍ර ප්‍රමාණයක් ආවරණය කරන නිසා සමහරුන් එන්නේ තමන්ගේ රසයට අදාළ පොස්ට් එකක් වැටුන වෙලාවට විතරයි.  ඒත් මගේ සමබරතාවය පවත්වා ගත යුතු නිසාත්, බොහෝ විට කාලීන වශයෙන් වැදගත් ලිපි කිහිපයක් ලියන්න වෙන නිසාත්, යම් කෙනෙක් බලාපොරොත්තු වෙන මාතෘකා ඔස්සේ මා ලියපු ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. කමෙන්ට් ප්‍රමාණය අඩු වුනත් ප්‍රතිචාර ගැනම නොසිතා මගේ හිත මට කියන එක ලියන්න මම පුරුද්දක් කරගෙන ආවා. සමහර වෙලාවට පේලි දහයක් ලියා ගන්න බැරි වෙයි කියල හිතාගෙන පටන් ගත්ත සමහර පොස්ට් ලියාගෙන යත්දී මතකය අවධි වෙලා ඉතා දිගු පොස්ට් බවට පරිවර්තනය වුනේ පුදුම විදියට. එහෙම ඒවා කතා සීරීස් එකක් විදියට ලියන්න වුණා. 

ඒත් මම හුඟාක් ප්‍රිය කරන පර්යේෂණ(Research) අංශයෙන් ලියන්න හම්බ වුනේ එක් පොස්ට් එකක් පමණක් වීම කනගාටුවට කාරණයක්. මොකද ලියන මට මෙන්ම කියවන ඔබටත් ඉතා වැදගත් අංශයක් නිසා. ඒත් මම මුල් කාලයේ මා කල එක් පර්යේෂණයක් ලියා තැබුවා. ඒත් මට හිතෙන්නේ මේ අංශයෙන් මා ලිව්වා මදි කියලා. එක් අතකින් පර්යේෂණ ලියද්දී නිකංම හිතට එන දේ ලියන්න බෑ. එය සැබෑ දත්ත මත පදනම් වූ දේ විය යුතුයි. එනිසා මා බලාපොරොත්තු වනවා 2013 වසරේදී වැඩි වශයෙන් පර්යේෂණ ලිපි ලියන්න. ඒත් ඒ සඳහා විශාල කාලයක් සහ ශ්‍රමයක් අවශ්‍යයි. 

මෙයට අමතරව මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අමතක වීම. එක පාරටම මතකයට ආ විට ලියන්න අවශ්‍යයි කියල හිතෙන දේ තවත් දින ගණනක් ගියපසු අමතක වීම හෝ ඒ තැනට වෙනත් මාතෘකා ගොන්නක් එකතු වීම. මෙයට නම් කඩිනම් පිළියම අවශ්‍යයි කියල මට හිතෙනවා.  මේ මතකය ගිලිහී යාමට ප්‍රධාන හේතුව අවිවේකය කියල මම අහල තියෙනවා. නිදි මැරීම අනිත් කාරනයලු. මගේ නින්ද පැය පහකට වඩා නෑ.  උත්සාහ කරලා බලන්න ඕනේ ටිකක් වැඩියෙන් නිදා ගන්න. ඒත් මම බ්ලොග්පොස්ට් ලියන වෙලාව තමයි රාත්‍රී 9.00 ත් 12.00ත් අතර. 

ඔන්න මම දැන් තමයි වැදගත්ම දේ ලියන්න යන්නේ. ඒ කියන්නේ මා ලියූ දේ කියවන්න මෙහි ආ ඔබ සම ගැන. අද වෙනකොට හිට්ස් 80,000ක් පහු කරලා ගිහින් තියෙන එකෙන් මම හිතා ගන්නේ මා ලියන දෙය ඔබ උනන්දුවෙන් කියවනවා කියලයි. ඒත් මේ බ්ලොග් අවකාශේ තියෙන ජනප්‍රියම එක නොවන වග මම දන්නවා. සමහර ඒවා මාස ගණනකදී ඉතා ජනප්‍රිය මට්ටමට ඇවිත් තියෙනවා. අවුරුද්දක් වන විට ලක්ෂයත් දෙකත් අතර හිට්ස් ප්‍රමාණයක් තියෙන බ්ලොග් පවා මා දැක තිබෙනවා. ඒ වගේමයි සාමාජිකත්වය, අව්රුද්දක් ලියලත් මගේ බ්ලොග් එකේ 142ක් වගේ සාමාජිකයින් සඛ්‍යාවක් තමයි ඉන්නේ. එය ඉතාම පහල මට්ටමක් තමයි සමකාලීන හෝ ඉන්පසුව ඇරඹු බ්ලොග් එක්ක සසඳලා බැලුවොතින් පෙන්නේ. මොනවා වුනත් මට ලැබිලා තියෙන හිට්ස් ප්‍රමාණයත්, සාමාජික සංඛ්‍යාවත් නියම(Genuine)  ඒවා කියල මට හිතෙනවා. එලෙස නොකඩවා මගේ බ්ලොග් එක වෙත පිවිස මගේ අදහස් කියව කමෙන්ට් එකතු කර ගිය සියලූම දෙනාටත් මෙහි සමාජිකයි 142 දෙනාටත් මගේ හර්දයාංගම ස්තුතිය පුද කරන්නේ ඉතා සතුටින්. 

මෙහි සැමවිට කමෙන්ට් නොකලත්, නිතිපතා මෙහි පිවිස තිබෙන දෙයක් කියවා යන ඔබ සැමටත්, මෙහි සාමාජිකත්වය ලබාගෙන මාහට ධෛර්යයක් වූ ඔබ සැමටත්, මා වෙනුවෙන් ඔබගේ බ්ලොග් අඩවියේ සටහක් දැමූ ඔබ සැමටත්, මෙම බ්ලොග් අඩවියට කියවන ඔබ යොමු කල සියලුම් සින්ඩිකේටර් වලටත් මාගේ උණුසුම් භක්ති ප්‍රණාමය පුද කර සිටිනවා.

ප.ලි. සාම්ප්‍රදායික විදියට කේක් ගෙඩියක හෝ වයින් බෝතලයක පින්තුරයක් දමා ඔබ අවුස්සන්නට මගේ කැමැත්තක් නැත.  විශේෂ ස්තුතියි මගේ දියණියට. 


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...