රාජකාරි ඉවර වෙලා ගෙදර එන්න සපයලා තිබෙන කැබ් රියේ රියදුරුත් එක්ක සුහද පිළිසඳරක් දාගෙන එන එක මගේ පුරුද්දක්. කැබ් එක එන්න පරක්කු වෙලා කැබ් මධ්‍යස්ථානයේ අයත් එක්ක බහින් බස් නොවුන හැම දවසකම එහෙම තමා. මෙහෙම වෙලාවට රියදුරාට කථා කරන්න ඇරලා මම අහගෙන ඉන්න එක තමයි කරන්නේ. ගිය සිකුරාදා ආව කෙනාම තමයි අදත් ආවේ. මිනිහට මතක තිබ්බ ගිය සිකුරාදා මම කැබ් සේවාවට හොඳටම බැන්න බව. අද ආපු ගමන්ම ඇහුවේ
"අදත් පරක්කු වුනාද සර්" කියල
"නෑ අද එහෙම පරක්කුවක් නෑ" කියා මම නිශ්ශබ්දව යන්න උත්සාහ ගත්තත් මිනිහා මාව කතාවට ඇදාල ගත්තා.
"සර් අද ඉඳල අර පොයින්ට් ක්‍රමය පටන් ගන්නවානේ, පොලිස් කාරයන්ට ගානක් හොයා ගන්න පුළුවන් නේද?"
| පින්තුරය ගත්තේ : vectorstock.com |
එහෙම කිව්වහම මටත් හිතුනේ මේ ලකුණු ක්‍රමය නිසා රාළහාමිලාට අමතර ආදායම් මාර්ගයක් රජය විසින් සපයලා දීලා කියලයි. මේ ක්‍රම හඳුන්වා දීම ඉතා වැදගත්. මොකද අද පාර බදු අරගෙන එලවන අර අශෝක් ලේලන්ඩ් බස් වලඩ්‍රයිවර් මහත්වරුන්ටයි, බටර් කපන්න වගේ එකතැන කපන ත්‍රී වීල් මල්ලිලාටයි, දකින දකින හැම අස්ස්කම රිංගවන්න හදන මෝටර් සයිකල් පදින තරුණ පරම්පරාවටයි යම්කිසි විනයක් ඇති කරවන්න අවශ්‍ය නිසා(මෙහෙම කිව්වහම අපේ මාරයාට තද වෙයිද දන්නෑ).
දැන් නිකමට කල්පනා කරලා බලන්න මේ ලකුණු ක්‍රමය නිසා වාහන තදබදය අඩු වෙන්න පුළුවන්. ඒ කොහොමද ? කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ එක්තරා ඩ්‍රයිවර් මහත්මයෙක් ටලකුණු විස්සක් ගහනවා ලැබෙනවා මාස දෙකක් ඇතුලත. එතකොට හරියට අර පාපන්දු ක්‍රීඩාවේදී කහ කාඩ් පත ලැබුණා වගේ. ඔන්න ඔය වගේ වෙලාවකට තවත් වරදක් කරලා ට්‍රැෆික් රාලහාමි කෙනෙකුට අහු වෙනවා
රාලහාමි : මහත්තයා ලකුණු විස්සක්, එතකොට මේකෙන් තව 10ක් ආවහම මහත්තයාගේ ලයිසන් කැන්සල්. මාස දහයක් බස් එකේ තමයි යන්න වෙන්නේ. මොකද කරන්නේ. උසාවි දාන්නද ?
මෙහෙම කියනකොටම අපේ රියැදුරු මහත්මයා බැගෑපත් වෙලා කොහොම හරි ගානක් කතා කර ගන්නවා. එහෙම වුනොත් හොඳයි. අපි හිතමු මේකේ අනික් පැත්ත වුණා කියලා එතකොට අර මහත්තයාගේ ලයිසන් කැන්සල් වෙනවා ඊළඟ අව්රුද්ද වෙනකං. එතකොට එක්කෙනෙක් අවුට්. මේ වගේ අපේ ඩ්‍රයිවින් ඉතා හොඳ නිසා වාහන එලවන අයගෙන් භාගයක්ම අවුට් වුනොත් පාරේ යන වාහන ගණන දෙකෙන් පංගුවක් වෙනවා. මෙහෙම වුනාම ට්‍රැෆික් නිකම්ම අඩු වෙනවා. එක බස් එකක යන සෙනග දෙගුණ වෙනවා. දුම්රිය වලට සෙනග වැඩි වෙනවා. එක්කෝ රාළහාමිලා පොහොසත් වෙනවා.
මේ ළඟදී අපේ හිරූ ලියපු පොස්ට් එකකින් දාල තිබුණා, චායාරුපත් එක්කම පාරේ විවිධ වැරදි කරන ආකාරය. ඒ වගේම ඩුබායි වල රියදුරු බලපත්‍රය ලබා දෙන විදිය ගැන අපේ කෝරලේ මහත්තයා පොස්ට් එකක් දාලා තිබුණා. මේ දෙක දෙකක් වුණත්, මේ දෙක සමපාත වෙන තැනක් තියෙනවා. ඒ තමයි විදේශීය රටවල් වල මේවා වෙන විදිමත් විදිය සහ අපේ තිබෙන ප්‍රාථමික බව. ඒ අතින් දකුණු ආසියාවේ ලංකාවේ, ඉන්දියාවේ, බංගලිදේශයේ වගේ රටවල ඉන්න දුෂිත පොලිස් නිලධාරීන් එක්ක මේ වගේ නීතියක් තවත් පොතකට සීමා වෙච්ච් අර කියපු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පරිදි හසුරුවමින් ජරාව ගොඩ ගහගන්න තිබෙන තවත් මාවතක්ද කියල හිතන්න වෙනවා.
මේ වගේ නීතියක් දාලා අපේ පොලිස් නිලධාරී මහත්වරු හරියට ක්‍රියා කරයි කියල හිතාගෙන රජය ඉන්නවා. ඒත් නීති කඩන්න රියදුරන් පෙළෙඹෙන එක් හේතුවක් තමයි මේ වගේ දුෂිත නිලධාරීන් ඉන්න එක. හැබැයි අපි දැක්ක දඩ මුදල් වැඩි කරලා කරපු සීට් බෙල්ට් අනිවාර්ය කිරීම සහ බීමතින් රිය පැදවීම වගේ දේවල් යම් සාර්ථක මට්ටමකට ඇවිත් තිබෙනවා. හේතුව පොලිස් නිලධාරී මහත්වරු නීතිය හරියට ක්‍රියාත්මක කිරීමම නෙවෙයි. ඔවුන්ට හසු වී දඩ මුදලින් භාගයක් අතට දෙන්න තරම් වත්කමක් නැති නිසා. ඒ නිසා මේ අයට සිදු වෙනවා නීතිගරුක වෙලා තමන්ගේ එදා වෙලා කන්න තියෙන මුදල් ඉතිරි කර ගන්න. හැබැයි සමහර නීතිගරුක පොලිස් නිලධාරී මහත්වරු හරියට නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙත් වැඩියෙන් වෙන්නේ දුෂණය. මේවා ප්‍රසිද්ධ රහස්. ඕනෑම කෙනෙක් දන්නවා. මෙහෙම මුදල් අතට දීලා මාරු වෙන්නෙත් අපේ ක්‍රමයේ තියෙන අඩු පාඩු නිසා. රස්තියාදුව අවම කර ගන්න.
මම මේ ලඟදි දවසක් තඹුත්තේගම ප්‍රදේශයේ තියෙන දම්සෝපුර කියන ඉතාම දුෂ්කර ගම්මානයක තියෙන සේවා මධ්‍යස්ථානයට ගියා. එසේ ගොස් එන ගමනේදී වාහනයේ එලාම් එකක් නොකඩවා වදින්න පටන් ගත්තා. මේ වනවිට අපගේ රථයේ ශාඛාවේ අය දෙදෙනෙකුත් උන්නා. මම හිටියේ ඉදිරි අසුනේ. පිටුපස හිටිය මගේ මිත්‍ර විපුල රියදුරාගෙන් මේ ගැන විමසා සිටියා. ඔහුගේ සීට් බෙල්ට් එක නොපැළඳ ඉන්න නිසා තමයි මේ එලාම් එක නාද වුනේ. මා පුරුද්දක් වශයෙන් වාහනයකට ගොඩ වූ විට ආසන පටි පළඳිනවා. මේ පැත්තේ කොහෙන්ද පොලීසිය යන්න තමයි උත්තරය වුනේ. ඇත්තටම මේ වගේ කැලෑබද ප්‍රදේශයක පොලීසිය තියා ග්‍රාමසේවක වරයෙක් වත් ඉන්න පුලුවන්ද ? කියලා අපිට හිතුනා. විපුල පුන පුනා ඉල්ලා සිටියා ආසන පටිය පළඳින්න. එහෙත් එය මායිම් නොකළ අපේ තරුණ ඩ්‍රයිවර් මහත්මා දිගටම ධාවනයේ යෙදුනා. විනාඩි පහක් යන්නට පෙර විශාල ගසක් යට සෙවනේ හුන්, අව් කන්නාඩි පැළඳ, ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් සිහි ගන්වන පාංශු දේහදාරී පොලිස් එස් අයි මහත්මයෙක් ඉතාම සෘජුව ඉඳ වාහනය නැවත්වූවා. වාහනයට එබුනා සීට් බෙල්ට් දාල නෑ නේද ? ලියන්න කියා ඔහු අණ කළා.
මා එක් වර ආ විනිශ්චය වුයේ මේ නිලධාරියා නම්, නීතිගරුක අයෙක් බව. එම තීන්දුව හරියටම හරි යන්න තේරුම් ගන්න අප සියලු දෙනාට වැඩි වෙලාවක් ගත වුනේ නෑ. ඒ සඳහා සමතයකට යන්න මා මිත්‍ර විපුල සුදානම් වත්දී ප්‍රදේශයේ බැංකු නිලධාරියා තමා මේ ලියන රාළහාමිලා අඳුරනවා එහෙත් එස් අයි මහතා නොහඳුන බව පවසා එලියට බැස්ස. එහෙත් අර පොඩි නිලධාරීන් දෙදෙනා මුහුණ ඔබාගෙනම දඩ පත්‍රය අපේ රියදුරාට බාර දුන්නා. අපිට පිටත් වීම හැර කල හැකි කිසිවක් තිබුණේ නෑ. යන අතර වාරයේ මමත් විපුලත් රියදුරු තරුණයාට හොඳටම දෙහි කැපුවේ පුරුද්දක් ලෙස ආසන පටි පැලඳුවනම් එසේ නොවන බව. ඇත්තටම මෙහිදී වැදගත් වන්නේ ප්‍රදේශය නොව එහි අවශ්‍යතාවයයි. අපේ අය පොලීසිය අල්ලන නිසා ආසන පටි පැළඳ ගත්තත්, අවශ්‍ය කාරණය අනතුරින් වැළකීම.
දැන් අපේ අර රියදුරාට සිදු වනවා උසාවියට ඊළඟ සතියේ ඉදිරිපත් වී දඩය ගෙවන්න. දැන් අර නිලධාරියාව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ පිස්සකු ලෙස. සමස්තය එක් ආකාරයකට ක්‍රියා කරද්දී ඔහු පමණක් උඩුගම් බලා පිහිනනවානම් එහෙම පෙනෙන එකේ වැරද්දක් නෑ. දැන් අපේ රියදුරාට ගෙවන්න වෙන දඩ මුදල, නිවාඩු ලාබාගෙන් වෙනමම උසාවි පැමිණීමට සිදු වීම, නීතිඥයකුගේ සහය ලබා ගන්න. කොටින්ම මෙය සැබෑ දඬුවමක්. ඔහුට ඊළඟ සතියේ දවසක් විත් රියදුරු බලපත්‍රය රැගෙන යන්න කීවත් එයත් දඬුවමක්.
නමුත් අපේ මේ දඩ මුදල් අය කිරීම සහ උසාවි ක්‍රමය ගැන පැහැදෙන්නට බෑ. ඔහු වරදක් කල බව සැබෑය. එහෙත් ඒ සඳහා සිරිපා කරුණා කරන්න වැනි ගමනක් යා යුතුද? විකල්ප ක්‍රමයක් ලෙස තමන්ට පහසු පොලිස් ස්ථානය සහ උසාවිය විමසා ඒ වෙත දඩුවම හෝ දඩ මුදල් ගෙවීමට යොමු කිරීම කාලෝචිත නැද්ද? මෙසේ අදාළ ප්‍රදේශය වෙත යාමට සිදු වීමද දඬුවමේ කොටසක්ද ?
මුලින් සාකච්චා කල ලකුණු ක්‍රමය සහ සමස්ථ දඩ ක්‍රියාවලිය යම්කිසි අධීක්ෂණයක් යටතේ සිදු විය යුතු බව මාගේ විශ්වාසයයි. පොලිස් නිලධාරියා වරදකරුවන් හසු කර ගැනීමේ සිට උසාවිය දක්වා යොමු කරන ක්‍රියාවලිය ගැන සොයා බැලීමට වෙනත් බලතල සහිත උසස් නිලධාරීන්ගෙන් සැදී පරීක්ෂණ කණ්ඩායමයක අවශ්‍යතාවය පැහැදිලි වෙයි. එසේ වූවානම්, දඩ මුදල් වෙනුවට අල්ලස් ගැනීම වැනි ක්‍රියා සහ අත්තනෝමතික දඩ ගැසීම්ද පාලනය වනු ඇත. එසේ නොමැතිව මෙවැනි නීති දාහක් ගෙන ආවත් එය එම නිලධාරීන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා භාවිතා කිරීම හැර වෙනත් සෙතක් නොවනු ඇත.
නීති වලින් පැන යාමට උපන් හපන්කම් දක්වන අපේ ජනතාව ගැනද වචනයක් කිව යුතුය. ඔවුන් හෙල්මට් පළඳින්නේ හිස ආරක්ෂා කර ගැනීමට නොව පොලීසියෙන් බේරීමටය. සමහරවිට හෙල්මට් මෝටර්සයිකල් ධාවනය සඳහා සුදුසු නොවන වැඩබිම් හෙල්මට්, ක්‍රිකට් හෙල්මට් වැනි දෑ දමාගෙන යන්නේ අනතුර වලක්වා ගැනීමට නොව නීතියෙන් ගැලවීමටය. දැන් සීට් බෙල්ට වලටද විකල්ප සොයමින් සිටී. බීමතින් එලවන්නේ නම් වාහනයේ ඒ.සී. නොදමා වීදුරු පහත කරගෙන යයි, මවුත් වොෂ් වලින් කට සෝදයි, පේපර් මින්ට් වැනි දෑ වික විකා යයි. වෙනත් උපක්‍රම ලෙස තම බිරිඳ හා අත දරුවා ඉදිරිපස ආසනයේ ගෙන යයි. එහෙත් බීමතින් රිය පැදවීමෙන් සිදු විය හැකි අනතුර හෝ ආසන පටි නොපැළඳ ගමන් කිරීමෙන් වෙන හානිය, හෙල්මට් නැතිව යාමෙන් සිදු වන අනතරු වලට වඩා දඩයෙන් බේරීම ඉදිරියට විත් තිබේ. මෙවැනි රටක නීතිය ක්‍රියාත්මක කරනුයේ කෙසේද? නීති යොදන්නේ රජයට මුදල් අය කර ගැනීම සඳහා පමණක්මද ? නැතිනම් දෙමව්පියන් හෙල්මට් දමා දරුවන් ඔහේ ගෙන යන්නේ මන්ද යන්නට කිසිවකුට පිළිතුරු තිබේද? ජංගම දුරකථනය භාවිතයෙන් සිදු විය හැකි අනතුරු. අනෙක් පස සිටින කෙනා සැම විටම ඔබට ගෙන එන්නේ සුදහ පණිවුඩයක්ද ? මරණයක් ගැන හෝ වෙනත් ආපදාවක් දන්වා සිටියහොත් ඔබට තත්වය පාලනය කර ගත හැකිද ?
මේවාට අපේ අය දෙන කදිම උත්තර සෙට් එක නම්, ලොක්කෝ හොරකම් කරත්දී අපි කරන පොඩි ඒවා තමා පෙන්නේ, මේ රටේ ඉහල සිට පහලට සියලු තැන් වල දුෂණය, අපි විතරක් හරි වෙලා වැඩක් නෑ. මේ රට හදන්න බෑ වාගේ කියමන්ය. මේ නීති ගෙන එන්නේ ඇයිදැයි ඔබත් සිතා බලන්න.
ප.ලි. අද සිට ක්‍රියාත්මක වන නීතිය මාරක අනතරු සහ බීමතින් රිය පැදවීම සඳහා පමණක් අදාළ වන බව එකී රියදුරු මහතාම කියා සිටින ලදී. නැතිනම් ලබන අවුරුද්දේ දෙසැම්බර් වනවිට පාරේ තිබෙන්නේ මැති ඇමති වරුන්ගේ වාහන පමණක් බව සහතික කොට කිව හැක.