Saturday, July 14, 2018

අපේ ගමේ ගයිඩ්ලා(නොහොත් මග පෙන්වන්නෝ) සහ බ්ලොග් ගයිඩ්ලා ......

මේ පොස්ට් එක ලියන්න මට අනුප්‍රාණය(අපගේ අනුප්‍රාණේ කියළා ජාතික ගීයේ තිබුණට තේරුම දන්න එකක්යැ) ලැබුණේ ඩෙනියන්ගෙන්. දැන් බලයි ඩෙනියන් කියන්නේ කවුද කියළා. අර බලුකූඩුව බිලය ලියන්නේ. ඉයන් ....... ඉයන්...... මේ තේරුම් දෙකම ගත්තේ මධුර ඔන්ලයින්  පරිවර්තන වලින්. පරිවර්තනය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි කියළා තේරුණේ, එහෙම කරන්න ගියාට පස්සේ. බලන්න inspiration කියන එකට අනුප්‍රාණේ කියළා දැම්මට වැඩක් තියෙනවද ? තල්ලුව කිව්වොත් කොහොමද ? ඒ වගේම බිලය, කියනවට වඩා එතැනම තියෙන ගුහාව හොඳයි. නමුත් ඩෙන් කියන්නේ බලු කූඩුව කියලයි ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න මගේ දියණිය කියන්නේ. මේ වගේ පරිවර්තන දෝෂ ගැන පැරණි බ්ලොග් කාරිණියක් හොඳටම දෙහි කපලා තිබුණා. බ්ලොග් එකකට නම් තමන්ගේ කැමැත්ත පරිදි සිදු කරන්න පුළුවන් වුණත්, පොතක් වගේ සාහිත්‍යට එකතු වෙන දෙයකට ටිකක් සැලකිලිමත්ව වැඩේ කරන්න පෙළඹෙන්න සිදු වෙනවා. නමුත් මට පරිවර්තනය ගැන නියම ගුරුහුරුකම් ලැබුණේ, ටෙඩ් වීඩියෝ වලට සිංහල උපසිරස දාන්න සුදානම් වුණු මොහොතේ. එතැන තිබුණ ගයිඩ් නොහොත් මග පෙන්වීම කියෙව්වට පස්සේ. ඉතිං පරිවර්තනයත් මග පෙන්වීමත්, මේවා වැදගත් ඒ වගේම බොහොම සීරුවෙන් කරන්න ඕනේ දේවල්. දැන් බලන්න අතීතයේ Government Analyst කියන වචනයට ඒ කාළයේ හැටියට රස පරීක්ෂක කියන වචනය දැම්මා, පොඩි කාලේ මට ඔය චරිතය පෙන්නන්න බැරි වෙලා හිටියේ, එයා මිනී කපලා කාලා බලනවද කියළා මම තාත්තාගෙනුත් අහලා තියෙනවා. පස්සේ කාලෙක System Analyst කියන වචනය ආවා. එතකොට මේක විශ්ලේෂක කියන ගෞරව සම්ප්‍රයුක්ත නාමය මේකට පට බැඳුණා. බලන්න කොයි තරම් ලස්සනද කියළා. මේ කියපු ඡේදය පස්සේ ලියන්න යෙදෙන අපේ ගමේ ගයිඩ්ලා ගැන කියවද්දී තේරුම් යයි මේවා අතර තියෙන සහසම්බන්දේ මොකක්ද කියළා. බ්ලොග් අවකාශේ පල් හෑලි වලට ප්‍රසිද්ධ නැති වුණත්, මම මාව හඳුන්වා ගන්නෙත් ඒ කැටගරියට නැතිනම් ප්‍රභේදයට අයිති කෙනෙක් විදියට. 

හරි දැන් හැරෙමු අපේ ගම දිහාවට. ලංකාවේ මුල්ම සංචාරක ආකර්ෂණය ලැබුණු ගම්මාන වළින් එකක් තමයි බෙන්තොට හෝ බෙන්තර කියන්නේ. බෙන්තර කියන්නේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියනව නම් බෙන්තොට. නෑ..... නෑ...... නෑ...... බෙන්ටොට. හරි හයි-ෆයි නේ. ඔව්...... ඔව්...... එහෙම තමා. අපේ තාත්තා ඇරුණම බෙන්තොටට ආදරය කරපු කෙනෙක් තව මම දන්නවා නම් මෑතකදී අප අතරින් වියෝ වුණු ආතර් පියසිරි මහතා. ඔහු ගැන පොස්ට් එකක් ලියන්නම ඕනේ. අනේ කවුරු හරි මට මතක් කරන්න. ඒක මගේ යුතුකමක්. ඔහු මගේ ජීවිතයට මග පෙන්වන්නෙක් වුණු කෙනෙක්. හොඳයි. බෙන්තොට මේතර සංචාරක ආකර්ෂණයක් දිනා ගත්තේ ඇයි? ඉතාම සරළව සුන්දර වෙරල තීරය නිසා. එය එක්සත් ජනපදයේ මයාමි වෙරළ තීරයට දෙවෙනි නොවෙන එකක් බව සංචාරකයන් පවසන බවයි මගේ පියාගේ කට වහරින් මා තුලට සම්ප්‍රේෂණය වෙන්නේ. ඉතිං ඒ නිසා තමයි බෙන්තොට වෙරල තීරයට යාබදව සංචාරක හෝටල් හතරක්ම බිහි වෙන්නේ. ඒ බෙන්තොට බීච් හෝටලය, සෙරන්ඩිබ් හෝටලය, ලිහිණියා සර්ෆ් හෝටලය සහ සී සෑන්ඩ්ස් හෝටලය. අපේ දැනුම, ගමේ සංස්කෘතිය ජන ජීවිතයට මේ හෝටල් හතර කරපු සේවය වගේමහානියත් සුළු පටු නොවේ. පහුකාලීනව මේ හෝටල් හතර කෙලවර වෙන ලිහිණියා සර්ෆ් අන්තයේ අවසානේ තිබුණ කබොක් කන්ද කපා ඉදි වෙනවා ටාජ් හෝටලයක්. දැන් මේ හෝටල් හතරම හැඳින්වෙන්නේ වෙනත් නම් වළින්. මේ හෝටල් හතරේ ගේට්ටු හෝ ද්වාර හරියට ගුවන් තොටුපළක පැමිණීමේ පර්යන්ත වගෙයි. ඒවායෙන් ඉවත එන්නේ ලෝකයෝ විශේෂයෙන්ම යුරෝපාකරයෙන් මෙහි පැමිණ තමන්ගේ සීත සෘතුව නිදහසේ ගත කරන්න ආ සංචාරකයන්. සිංහලෙන් කියනවා නම් සුද්දෝ. බලන්න පරිවර්තනය සංචාරකයා, දේශාඨකයා කියනවට වඩා සුද්දෝ කියන එක කොයි තරම් ලස්සනද, තේරුම් යනවද කියළා. නමුත් පහුකාලීනව මේ වචනයේත් රස පරීක්ෂක වගේ පොඩි පරහක් හිටියා. මොකද අපි සුද්දෝ කියන්නේ සුදු එවුන් කියන මානසිකෙයෙන්නේ. නමුත් පස්සේ කාලෙක කල්ලෝ, ජපන්නු, චීන්නු වගේම ඉන්දියානුවොත් එන්න පටන් ගත්තා. උන්ට සුද්දෝ කිව්වොත් වැඩේ දෙල්. මතක තියාගන්න සංචාරක කර්මාන්තයට අමතරව බෙන්තොට ප්‍රසිද්ධියක් උසුලපු අනෙත් දේවල් තමයි දෙල් සහ කාවටි. දෙල් ගැන අලුතෙන් ලියන්න ඕනේ නෑනේ. ඉස්සර අපි බෙහෙත් ගත්ත අලුත්ගම ගුණවර්ධන දොස්තර අංකල් අපේ ගෙදර අය එනකොට කියන්නේ. ආ...... මේ එන්නේ කන්නන්ගර මහත්තයාගේ දෙල්රුක් ...... මේ එන්නේ කන්නන්ගර මහත්තයාගේ දෙල්රුක්ෂි කියළා. අපේ ගෙදර හැම කෙනාටම අමතර වාසගමක් දෙන්න අපේ තාත්තා හිතුවා. දවසක් මගෙන් කොන්ෆිෆි සමූහ ව්‍යාපාරේ මානව සම්පත් කළමනාකාරිය මේ ගැන ඇහුවා. සච් අ ඩිෆරන්ට් සර්නේම් ? අයි හෑව් නෙවෙර් හර්ඩ් ඔෆ් ඩිල්රුක් ඈස් අ සර්නෙම් !!! ඒ කිවුවේ මේ වගේ වෙනස් වාසගමක් මමනං ජීවිතේට අහළා නෑ කියන එක. දෙල් කතාව එහෙම වුණත්, කාවටි කියන රසවත් ආහාරය ගැන නොකියා බෑ.
මමත් වාසනාවන්ත වුණා, තමන් අත්විඳි රසවත් දේ තම දරුවන් සමග බෙදා ගන්නා පියෙකු ලබන්නට. ඒ වගේම ඕනෑම දෙයකක් ගැන දෙවරක් හිතා, සැකයෙන් පටන් ගෙන අනිත් පැත්තට හිතන මවක් ලබන්නට. ඒ වගේ ගමක ඉඳන් හැදෙන්න මේ වගේ දෙන්නේකුගෙන් ලැබුණු පිටුවහල කියා නිම කරන්න බෑ. මට මේ දෙන්නගේ මේ ලක්ෂණ දෙකම ලැබිලා තියෙනවා. මගේ දරුවා හදන්නේ ඔය කියපු මූලධර්ම දෙකෙහි පිහිටලා. පින්තූරයක් වචන දාහකට වඩා දෙයක් කියන බව ප්‍රසිද්ධ කියමනක්. ඉතිං බලන්න මේ තියෙන්නේ කාවටි වගේ දෙයක පින්තූරයක්.
පින්තූරය ගත්තේ www.foodsafetynews.com වෙතින්.
හැබැයි මේ පින්තූරයේත් හරිටම කාවාටි පෙන්වන්නේ නෑ. නමුත් මේ වගේ. අපේ ගමේ ගඟ මැද්දේ(කිවුවට රෙදි ගලවා ගන්නේ නැතිව ගොඩ වෙන්න පුළුවන් දුරින්. අඩි විසිපහක් විතර වතුරට ගියාම) තියෙනව මහගල කියළා පර්වතයක්, ඒක හරියට අලියෙක් වතුරේ බැහැලා ඉන්නවා වගේ. හැබයි අලි තුන්දෙනෙක්ගෙ විතර ඉඩකඩ තියෙනවා. ඒ ගලට අඩි 10 විතර දුරින් තවත් ගලක් තියෙනවා. එතැනට යන්න නම් පීනන්න පුළුවන් වෙන්න ඕනේ. මම දවසක් ඔතැනට ගියා ට්‍රැක්ටර් ටියුබ් එකක් වාඩි වෙලා. කාවටි කියන්නේ එක පියල්ලේ බෙල්ලන් විශේෂයක්. සුද්දෝ මේවට කියන්නේ මස්ල් කියළා. වාසනාවකට පේශි කියළා මේවා පරිවර්තනය වුණේ නෑ. මේක මොන වගේද කියනවා නම් මිහිරි පානයක්. කලුගලට බැඳිලා ඉන්නන් වගේ හැදෙන මේ බෙල්ලන් (ගංගාශ්‍රිත) ගලකින් සීරුවෙන් පහර දීලා ගලවා ගන්න ඕනේ. හැබැයි තදින් පහර දුන්නොත් ඒ ශ්‍රාවය ඉවත යනවා. ඉතිං මේ මිහිරි පානය සුරැකිව ඔබේ දෝතට ගන්න ඕනෙනම් හෙමින් හරවගන්න ඕනේ. එහෙම කර ශ්රූප් ගාලා උරන්න ඕනේ. ඒ වගේ ක්‍රීමි රසයක් මම මීට කලින් හෝ පසුව රස විඳලා නෑ. කාලයාගේ ඇවෑමෙන් මේවා තුරන් වුණා. අපේ තාත්තා කියන්නේ ගංගාශ්‍රිත ඉදි වුණු කොහු මෝල් නිසා මේවා විනාශ වුණා කියළා. බෙන්තොට කාවටි වලට ප්‍රසිද්ධ බව මම දැන ගත්තේ සුදු කළු සහ අළු කියන චිත්‍රපටයේ දෙබසකින්. අපරාදේ නාවල අන්නාසි, කෝට්ටේ දොඩම් රස කියන සින්දුවට මේ වචන දෙකත් දැම්මනම් අපිත් ගොඩ. මගේ පරපුරෙන් පස්සේ මේ වචන ඉතිහාසයට වත් එකතු වෙන්නේ නෑ. එනිසා තමයි මේ පුංචි සටහන ගම වෙනුවෙන් තබන්නේ.

ඉතිං බෙන්තොට කියන මේ සුන්දර ගම් පියසට බැස්සම සංචාරකයන්ට කරන්න දේවල් බොහොමයක් තිබුණා. ඒ අතරින් වඩාත් සිත්ගත් දේ තමයි හබල් ඔරු වලින් ගං කලපුව දිගේ ඉහලට ගමන් කරන එක. මේවා ගැන සුද්දෝ දන්නා එකක්යැ. අන්න ඒ අඩුව පුරවන්න තමයි අපේ ගමේ සංචාරක ව්‍යාපාරයට බද්ද වුණු ගයිඩ් වරු බිහි වෙන්නේ. පසු කාලෙක බීච්බෝයි කියළා කොටසක් ඇති වුණා. මේ කියන්නේ ඒ ගැන නොවෙයි. බොහොම අහිංසක මිනිසුන් කොට්ඨාශයක් ගැන. අහිංසක කිවුවට අහිංසක නෑ. රැවටිලි කාරයෝ. මොකද සමහර වෙලාවට දුන් පොරොන්දු ඉෂ්ඨ කර ගන්න බැරි වුණාම එක එක බොරු කියනව. ද වගේ අන්තර්ජාලය වගේ මාධ්‍ය නැති හැත්තෑගණන් වල ඔවුන් කියපු බොරු වලට සුද්දෝ අහු වුණා. මේ ගයිඩ් වරු මොන වගේද? මෙයාලා සරම අඳින, මේ ගම හෝ අහල ප්‍රදේශ වළින් මේ කියපු මුවදොරට වෙන්න ජීවත් වෙච්චි අය. මේ අය වැඩිදුර අධ්‍යාපනයක් ලබපු අය නොවෙයි. නමුත් සාමාන්‍ය අධ්‍යාපනයක් ලබපු අයත් හිටියා. ජයවර්ධන අයියා සහ වාඩියේ සුනිල් අයියා කියන්නේ ඒවගේ දෙන්නෙක්. මට හොඳටම මතකයි එයාලා ඉංග්‍රීසි ඉගෙන ගන්න වුණු මහන්සිය. හවසට මගෙයි අක්කගෙයි ඉංග්‍රීසි ඉගෙන ගත්ත පොත් ඉල්ලගෙන අපෙන් ඒ ගැන අහගෙන ඉගෙන ගත්තා. මේ වගේ විස්සක තිහක විතර කණ්ඩායමක් මේ හෝටල් වල දොරවල් අසළ ගැවසෙමින් හිටියා. මෙයාලා අතර මේ සුද්දන් බෙදා ගන්න බැරිව ගැටුම් ඇති වීම වලක්වා ගන්නට එයාලටම ආවේනික සම්ප්‍රදායක් තිබුණා, ඒ මුලින්ම ඒ සුද්දෝ ජෝඩුව, කණ්ඩායම හෝ තනි සුද්දා - සුද්දී සමග වචන හුවමාරු කරගත් හෝ දුටු කෙනා කියනවා ඒ මගේ පාටිය කියළා. එහෙම කිව්වොත් එදා ඉඳන් සුද්දෝ පිටත්ව යන දවස දක්වා පමණක් නොවෙයි ඊළඟ වාරේ ආවත් ඒ පාටිය එයාලගේ. ඉතිං කාගේවත් පාටියකට වෙනත් කෙනෙක් කිට්ටු වෙන්නේ නෑ. එහෙම නොකරපු අවස්ථාත් නැත්තේම නෑ. ඒ වගේ අවස්ථාවන් ඔවුන්ගේ පාරිභාෂික ශබ්ද මාලාවේ හැඳින්වෙන්නේ පාටි කපනවා කියළා. අපිට ඉංග්‍රීසි ලියන්න පුළුවන් වේගෙන එනකොටම, ලොකු ඩිමාන්ඩ් එකක් ආවා. ඒ කිව්වේ අක්කටයි මටයි. ඒ මේ වගේ විරසක වෙච්ච පාටි වලට හිත හැදෙන්න ඔවුන්ගේ දුක් ගැනවිලි ලියන්න. අපිත් බොහොම අමාරුවෙන් ගැටහිච්ච කැඩිච්ච ඉංග්‍රීසියෙන් හැබැයි පැහැදිලි අකුරෙන් මේවා ලියලා දුන්නා. සුද්දෝ සමහරවිට බඩ අල්ලාගෙන හිනා වෙන්නත් ඇති. අපි දෙන්නා වැඩියෙන්ම පාවිච්චි කළ වචනය තමයි Honest නොහොත් අවංක කියන වචනය. විශ්වාසය බිඳෙන්නේ වංක වූ තැන නිසා. අපිත් නිර්ලෝභීව ඕනෑම වංචාකාරයෙක් හඳුන්වන්න මේ වචන භාවිතා කළා. විශේෂයෙන්ම අපේ ඉස්සරහ ගෙදර මහින්ද සහ මහේෂ් අපේ මිතුරන් දෙදෙනා තමයි මේ අවස්ථා අපිට උදා කරලා දුන්නේ.

ඉතිං මේ ගයිඩ් වරු කරන්නේ ගාලු පාර දිගේ,නොයෙකුත් ආලවට්ටම් යොදා මේ සංචාරකයන් ඔරුව වෙත කැඳවාගෙන එන එක. මේ ඔරු අපේ නැන්දලාගේ ඉඩමත්, ගුණසේකර වලව්වත් අතරින් තිබුණ පැරණි ගාලු පාර කියන, ගල් ඇතිරූ මාවත කෙළවරට වෙන්න තිබුණ පුංචි තොටුපලට කැඳවාගෙන එනවා. ඒක හරියට පෙම්වතෙක් තම පෙම්වතියත් එක්ක මුලින්ම පාරක් දිගේ ඇවිදන් යනවා වගේ වැඩක්. ඔවුන් මේ සංචාරකයන්ට පවසනවා ගඟේ ඉහලට ගියොත් කිඹුලන් බලා ගන්න පුළුවන් බව. ඔවුන් මේ යාත්‍රාව හඳුන්වන්නේ කැටමරාන් යනුවෙන්. නමුත් මේ කරිජ්ජ තියෙන කලපුවේ කිඹුලන් සොයා ගන්න නෑ. ඔවුන් පෙන්වන්නේ කිලෝමීටර තුනක් විතර ඈතින් ඇති කඩොලාන දුපත අසල ඇති කබරුන්. දුරතිය පෙන්වා බිය වැද්දු පසු ඔවුන් දියඹ වෙත නික්මෙනවා. ඉතිං සුද්දෝ රැවටෙනවා. මොකද ඔවුන්ගේ රටවල කිඹුල්ලු නැති නිසා. අද තරම් අන්තර්ජාලය හෝ මුද්‍රිත මාධ්‍ය දියුණු නැති මේ කාලේ පහසුවෙන්ම ඔවුන්ට මේ කාර්ය කරගෙන යන්න පුළුවන් වුණා. මේ කණ්ඩායමේ හිටියා එක් විශේෂිත පුද්ගලයෙක් ඔහු ජයසේන නමැති කාලවර්ණ පුද්ගලයෙක්. නමුත් සිංහල අකුරු හොඳින් ලිවීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහු කළේ මගේ යාබද ඉඩමේ තිබෙන මහ ඉස්කෝලේ නොහොත් කුමාර විද්‍යාලයට ඔවුන් රැගෙන විත්, වාඩි කර ඔවුන්ට සිංහල පිලිබඳ මූලික දේශනයක් සැපයීම. සුද්දන්ගේ නම් අසා කළු ලෑල්ලේ ඒවා තඩි අකුරෙන් ලියා පෙන්වීම.

පසුකාලීනව ඔවුන් කළ මේ එදාවේල ව්‍යාපාරය පොලීසියේ කන් වලටත් ගියා. අවසානයේ බෙන්තොට වෙරල ස්වදේශික අපිට තහනම් ප්‍රදේශයක් වුණා. ඒ ගැන වැඩියෙන්ම සතුටට පත් වුණේ ගුරුවරියක් වූ මගේ මව. ඒ කිසි ලෙසකින් අප මුහුදු වෙරළ වෙත ප්‍රවේශ වීම වැලකීමට. එහි ඇති ප්‍රශ්නය එදා අපිට වැටහුණේ නැති වුවත්, අද කදිමට එය පැහැදිලි වෙනවා. අපේ ගම ආශ්‍රිතව බිහි වූ බීච්බෝයි වරුන් ප්‍රමාණය එයට සාක්ෂි සපයනවා. මේ ව්‍යාපාරය ආශ්‍රිතව බිහි වූ වාග් මාලාවක්ද තිබෙනවා. ඒ ඇල්බීසියා වලට වැටට හිටෝනියා, බෙලි කොළ වලට(වල් බෙලි) හැලප ඔතේනියා වැනි වචන. මේවාට අමතරව කලාවන් ප්‍රංශ, ජර්මන් ඉතාලි භාෂාමය වචන අදත් අප ප්‍රදේශ වල ජන වහරේ පවතිනවා. අමීගෝ, අල්ටේ, කයින ආනු, නූත්‍රාල්, බොන්ෂු, මගේ මතකයට එන කිහිපයක් පමණයි. පොලීසිය විසින් නිතරම රැගෙන යන මේ පිරිස මේ ප්‍රශ්නයට විකල්පයක් සොයාදෙන ලෙස එවකට ප්‍රදේශයේ දැනුවත් පුද්ගලයන් වූ මගේ පියා, විලී සර්, රිචම්න් සර් වැනි අයගෙන් ඉල්ලා සිටිය. පසුව රිච්මන්ඩ් සර් සහ මගේ පියාගේ ප්‍රධානත්වයෙන් ගයිඩ් සංගමය යනුවෙන් සංවිධානයක් බිහි කර ගත්තා. පොලීසියේද සහභාගීත්වය ඇතිව ඔවුන්ට ආචාර ධර්ම පද්දතියක් කියා දුන්නා. නමුත් පැරණි රැවටිලි ඔවුන්ගෙන් ඉවත් කරන්න මේ දෙදෙනාට හැකි වුණේ නෑ. පොලීසිය ඔවුන් පසුපස එලවාගෙන එනවිට ඔවුන් අපේ නිවසේ ඉදිරිපසින් ඇතුල් වී පසුපසින් දිවගොස් පිට්ටනියට ගොස් සැඟව ගියා. ඔවුන් වෙනුවෙන් මගේ පියා කළ සේවය අගයනු වස් ඔවුන් අපට පෑන්, පැන්සල් වැනි දේ ගෙනැවිත් දුන්නා. ඒවා ප්‍රංශයේ ජර්මනියේ නිෂ්පාදිත ඉතා ඉහළ මට්ටමේ ඒවා. ටක්-ටික් පෑන් අපේ අතට පැමිණියේ ඒ ආකාරයට. නමුත් ඔවුන්ගේ මේ අපේ වත්තේ සැරිසැරීම මගේ මවට කොහෙත්ම දිරවන්නේ නැති දෙයක් වුණා. ඇය මේ පිළිබඳව පියාට නිතරම මැසිවිලි නැගුවා.

ඉතිං මේ මග පෙන්වන්නන් ගැන මගේ මතකයට ආවේ අපේ බ්ලොග් කරුවන් තුලත් මෙයට සමාන ලක්ෂණ බොහොමයක් තිබෙන නිසා. ඉයන්ලා සක්‍රීයව බ්ලොග් වලට එකතු වීමට පෙරත්, මෙහි සිටියා පාටි හිමිකරුවන් වූ මග පෙන්වන්නන් සහ පාටි කපන වර්ගයේ පිරිසක්. ඒ විදෙස්ගත බ්ලොග් කියවන පුද්ගලයන් මෙහි පැමිණෙන විට ඔවුන්ගේ මග පෙන්වන්නන් වන පිරිසක්. නම් වශයෙන් සටහන් කිරීම සදාචාරාත්මක වන්නේ නෑ. ඒ වගේම අලුතෙන් බිහි වී තිබෙන ගයිඩ් වරු තමයි හොඳ - හොඳ බ්ලොග් වලට අපිට පාර පෙන්වන අය. ඒ අතරින් අජිත් කුමාර කළෙක ඉඳන් මේ දේ කරගෙන යනවා. සමස්තයක් විදියට ඔහු ඕනෑම වර්ගයක බ්ලොග් එකක් පිලිබඳ සටහනක් තබන කෙනෙක්. ඉන් පස්සේ මාතලන්, අටමා, කල්‍යාන, නෙලුම් අජිත් සහ ඉයන් මේ වැඩේට අත ගහලා තියෙනවා. හැබැයි මේ දෙවෙනි පිරිසගෙන් කාටවත් හානියක් නැති බවත් සඳහන් කරන්න ඕනේ. ඔවුන් මග පෙන්වන්නේ අලුත් බ්ලොග් වලට මිස, අමාරුවෙන් කීයක් හරි උපයාගෙන නොරට සිට මෙහි එන පිරිසගේ ඩොලර් වලට විදීමේ පටු අරමුණෙන් නොවන බව සටහන් කළ යුතු වෙනවා.
 

47 comments:

  1. මලා. හෙහ් හෙහ් .

    ReplyDelete
    Replies
    1. බොරුද මම කියන්නේ. ලියන්න පුළුවන් මිනිස්සු, මේ වැඩේට බැස්සම මේක කරගෙන යන්නේ කවුද ? අඩු ගානේ පාරේ දැක්ක දෙයක් ගැන හරි ලියන්න පුළුවන් නේ.

      Delete
  2. ඩොලර් වලට විදින බ්ලොග් ගයිඩ්ල කාලෙකට කලින්නං හිටිය. දැන්නං එහෙම අය ගොඩක් අඩුයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. නයන්නා උඹ නම් කමක් නෑ. මෙන්ඩියාත් කමක් නෑ. මොකද උඹලා දෙන්න මේ හැම අස්සකම කරක් ගහනවා. ඒ වගේම ලියන්නෝ නෙවෙයි. මේ හොඳට ලියන්න පුළුවන් එවුං, වෙන ඒවාට පාර කියන එක, මේ කරුමාන්තේ අනාගතයට හොඳ නෑ.

      Delete
    2. අතීතේ උන්නු හැටි දෙන්නා
      අනේ සිහි වේවිනේ හද දෙදරා...

      Delete
    3. ඩොලර් කීයක්කත් නැද්ද :D

      Delete
    4. සුදීක, ලියන්න පුළුවන් උන් අනිත් බ්ලොග් වලට පාර කිව්වම කොහොමද කරුමාන්තෙ කඩා වැටෙන්නේ? අලුත් අලුත් අයව ප්‍රෝමොට් කරලා ගත්තු තරමටනේ කර්මාන්තේ ‍රැකෙන්නේ...

      Delete
    5. මම කියන්නේ සියලු වැඩ අත්හැර ඕක කරන්න ගත්තම වැඩේ කෙළ වෙනවා. ටිකක් දුර අලුත් උන් එක්ක දුවලා අත අරින එක වෙනම දෙයක්.

      Delete
  3. "අ‍පේ‍ ක‍ටේ‍ ඩොලර් කුට්ටි වැ‍ටෙ‍න‍ව‍නාං

    ක‍න්න දෙනව නං අපිට
    බොන්න දෙනව නං අපිට
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං
    කන්න දෙනව නං...

    සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
    සදාචාරෙ මකබෑවී ගියාදේන්
    සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන්
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං
    කන්න දෙනව නං...

    නා‍ට්‍ය‍ය‍ - රජ ගහේ නාඩගම

    ReplyDelete
    Replies
    1. නියම සිංදුව මචං. ඔය මම කියපු ගයිඩ් කොට්ඨාශය කළේ එදා වේලා හොයා ගන්න එක. කවදාවත් මේ සුද්දෝ එක්ක මිතුදමක් හදා ගත්තේ නෑ. නමුත් සමහර අය හිටියා ගෙදරට කැඳවාගෙන ගිහිං හොඳට සංග්‍රහ කරළා, ඊළඟ වතාවේ එනකොට ලොකු - ලොකු දේවල් ගෙන්වා ගත්ත අය. සමහරුන්ට ගෙවල් දොරවල් පවා හදලා දුන්නා. නමුත් මේ දේ හොඳින්ම කළේ මොරගල්ල සංචාරක හෝටල් ආශ්‍රිතව හිටි අය. ඒ නිසා වාහන, කුඩා සංචාරක හෝටල්, රෙස්ටෝරන්ට්, ඒ ඇයගේ වියදමෙන් හදා දුන්න, නැතිනම් අරන් දුන්නා. පස්සේ ඒ සුද්දෝ ආපහු ලංකාවට ආවම ඉන්නේ, ගමන් යන්නේ අර කියපු අයගේ හෝටල් වල, වාහන වල. ඒ අතින් බැලුවම ඒ වැඩේ නිසා ආර්ථිකයට යමක් එකතු වුණා. එදා වේලෙන් කිසිම දෙයක් නෑ.

      Delete
  4. මං එන්නෙ ඩුබායි රටේ ඉඳල
    සල්ලි හොඳට හම්බ කරල..
    ඩොලර් තියනවා යූරෝ තියනවා.. කෝකෙන්ද ඕනැ :D

    පෝලිං පයින් නෑ ඔන්න .. හා ද..

    ReplyDelete
    Replies
    1. ඩුබායි වල ට්‍රාන්සිට් වෙන්නෑ? ලීරා නැද්ද ?

      Delete
  5. ලිපියේ තියෙන දෙකොඨ්ඨාශයටම අයත් නිසා මේක නම් මට මල් මසුරන් ලිපියක්...
    උඹේ එකක් එක හුස්මට කියෝපූ මුල්ම වතාව...

    ReplyDelete
    Replies
    1. https://gadyanohothkavi.blogspot.com/2018/07/blog-post_14.html

      Delete
    2. උඹට මේක හොඳට තේරෙන නිසා වෙන්න ඕනේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනා නිසා මේ දේ හොඳින් වැටහෙනවා ඇති.

      Delete
  6. දැන් ඔය කවාටිබෙල්ලන් ඇත්තෙම නැද්ද? අතරින් පතරවත්.. ?

    මිස්ටර් බීන් එක එපිසෝඩ් එකක, තව එකෙක් එක්ක තරගෙට ඇදලා අරින්නේ ඔය බෙල්ලො ද?

    ReplyDelete
    Replies
    1. බෙල්ලෝ නම් අපේ මුහුදු තීරයේ තවම තියෙනව. කාවාටි කියන එක අමුතුම ජාතියක්. දැන් නෑ. නෑ කියන්නේ මීට අවුරුදු 25 වෙත්දීත් නෑ. මොකක්දෝ හේතුවකට ඒක වඳ වුණා. කොහු කර්මාන්තය නිසා විය හැකියි. මොකද කොහු සුදු පාට කරළා කහට අරින්න කෙමිකල් එකක් භාවිතා කළ බව කියනවා. සමහරවිට ඒ අපද්‍රව්‍ය ගඟටම බැහැර කළා වෙන්න පුළුවන්. ගඟ දිගේ තමයි ඉතිරි කොහුබත් ගොඩ ගහලා තිබුණේ. පසු කාලෙක මේක ග්‍රවුන්ඩ් එකක් තරම් ලොකු වුණා. ගඟ ගොඩ වුණා. අපි එතැන සෙල්ලම් කරළා තියෙනවා. මේක අයිති වුණේ මගේ හොඳම යාලුවෙකුගේ පියාට.

      Delete
    2. ඔව් මිස්ටර් බීන් කන්නේ අමුවෙන්, ඒ මදිවට නරක් වෙලා. බෙල්ලන් සහ කාවාටි කියන දේ අතර පැහැදිලි වෙනසක් තියෙනව. බෙල්ලෝ අමුවෙන් කටුව අරින්නත් බෑ. තම්බුවාම තමයි කටුව ඇරෙන්නේ. නමුත් කාවාටි කියන දියරය එවෙලේම බොන්න පුළුවන්.

      Delete
  7. Replies
    1. යකෝ ලිංක් එක හරියට දාහං. හැක්..

      Delete
  8. මං මේ දුහගන ආවේ ඇනෝ වහලද බලන්ඩ

    ReplyDelete
  9. මං අරක මතක් කරඤ්ඤං

    ReplyDelete
  10. මේ පොස්ට් එකට ප.ලි. කොටසක් එකතු කරන්න හිතුණා. ඒක පොස්ට් එකට එකතු කළොත් මුළින් බලපු අයට මේක මග හැරෙනවා. මම මගේ විශේෂ දෙයක් දැකලා තියෙනවා. මට වැඩ හිර වෙච්ච දවසට කොයි තරම් වැඩ තිබුණත්, එක දිගට ඔක්කොම කරළා දානවා. මේ දවසත් ඒ වගේ, උදේ ඔෆිස් එන්න ආවේ හෙන රෂ් එකේ. එදා හොඳින් ඇඩ්රිනලින් ගාලා ආපු නිසාද කොහෙද එක හුස්මට ඔෆිස් එකේ වැඩත්, ඉවර කරළා, මේ පොස්ට් එකත් ලිවුවා. නමුත් මට මෙහි අමතක වූ කොටස් ටිකක් තියෙනවා එකතු කරන්න. එහෙනං ප.ලි. මෙන්න.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ඔය ජයසේන කියළා කියන කෙනා කාළ වර්ණ, දේහ දාරී පුද්ගලයෙක්. කිවුවා වගේ සරම කමිසය ඇඳන් තමයි මේ ජොබ් එක කළේ. මිනිහා එයාවම හඳුන්වන්න නමක් යොදාගෙන හිටියා. ඒ "ස්කූල් මාස්ටර්" කියන නම. මිනිහා මේක කළේ ගොබෙල්ස් න්‍යායෙන්. හරියට කියනවනම් වර්ණපාල ක්‍රමයෙන්. මුළින්, මුළින් මිනිහාම කියාගත්ත එක, පස්සේ ලස්සනට සමාජගත වුණා. අන්තිමට ගමේ පොඩි එවුන් විශ්වාස කරන තත්වයට ආවා, ඒකා ඇත්තටම ස්කූල් මාස්ටර් කෙනෙක් බව. අපිත් මිනිහව මුරුංගා අත්තේ තියන්න, සුද්දෝ එක්ක යන වෙලාවට ස්කූල් මාස්ටර් කියළා කතා කරනවා. ඒ වෙලාවට මිනිහගේ මූණේ ඇති වෙන සතුට කියළා නිම කරන්න බෑ.

    මගේ යාලුවෙක් හිටියා කුමාර කියළා. ඉස්කෝලේ යන කාලෙම ඔරුවේ අනික් පැත්තේ හබල් ගහන්න මිනිහා යනවා. එයාලගේ ගෙදරින් ඒවාට ප්‍රශ්න දන්නේ නෑ. දවසක් හති දාගෙන මේකා දුවගෙන ආවා අමු ආනමාලු කෙසෙල් ගෙඩි දෙකකුත් අරගෙන. හොඳටම බය වෙච්ච පාටයි. අපිට විස්තරේ කියාගන්න ඒකාට විනාඩි ගානක් ගත වුණා. මචං හරි වැඩේ, අදත් මම හබල අල්ලන්න ගියා. අර ඩික්මන්(ගයිඩ්) එක්ක ආවා සුද්දා ජපනෙක්. රවුම ගහලා ඇවිත් රටහුණු කෑල්ලෙන් ලෑල්ලේ ලියලා පෙන්නුවා ගාන 490 කියළා. ඒක දැක්කම ඌට හොඳටම තද වුණා. ජපන් වළින් මොනවද කියළා, ක්‍යා-හුවා ගාලා බ්‍රුස්ලී ඇක්ෂන් එකක් දාළා, උඩ පැනලා කෙසෙල් ගෙඩි දෙක පොළවේ ගැහුවා. ඉන් පස්සේ ඩික්මයියා දිවුවා. ඒ පාස්සෙන් ජපනා දිවුවා. මට හුලං. මම කෙසෙල් ගෙඩි දෙක අහුලන් ආවා.

    මේ ලැයිස්තුවේ හිටි කිහිප දෙනෙකුගේ නම් මතකයි. ගාමිණි, නිලමේ, සාලිය, ජෝතා(නිහාල්), ෆොරින්,කිහිප දෙනෙක් පමණයි.

    ReplyDelete
  11. Lion's den, wolf's den.
    husband's den, children's den.

    https://en.wikipedia.org/wiki/Den

    ReplyDelete
    Replies
    1. ඉතිං ian's Den කිව්වම මක්කා වෙනවද ? නේද ?

      Delete
  12. Muscle = පේශිය,
    Mussel = මට්ටියා/කාවාටියා
    Muzzle = හොම්බ, හොම්බ ආවරණය, තුවක්කු බැරල් එකේ විවෘත අග

    ReplyDelete
    Replies
    1. අපිට නම් මසල් නම් මසල් ආයේ මෂල් වගේ ඒවා නෑ.

      Delete
  13. වටිනා සටහනක් සුදීක...
    මම කාවටි වල රූපයක්වත් දැකල නැද්ද කොහෙද...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු පුතා. ඇත්තටම මේ කාවටි වල රුපයක් නෙවෙයි. ගූගල් සර්ච් කරන්න තිබුණා, කාවටි වලට කියන ඉංග්‍රීසි වචනය දැනන් හිටියනං. :)

      Delete
  14. දෙල්ගහ, (මාත් දෙල්රුක් පරිවර්තන නෙමේ වෙන විදියකින් කිව්වා) මට්ටි ගැනත් ගයිඩ් ගැනත් ගයිඩ් පරිවර්තන කාල රාමු ගැනත්, බ්ලොග් පරිවර්තන කාල ගැනත් බොහොම රසවත්ව එක හුස්මකින් දෙකකින් කියවගන්න ලියපු එක ගැන ස්තුතිවේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉන්දියන් කාරයෝ කියන්නේ නැවතුන හදවත කියළා. :)

      Delete
  15. මමත් රාවනා ඇල්ලෙ ඉඳං උඩහට පයින් ගාටන සුද්දො එක දෙකා පටවං ඇවිත් ටවුමෙන් දාල ගිහිං තියෙනව පිනට. අනේ උං නං අපේ අතේ තියෙන බඩඉරිඟු බාගෙත් කන නිහතමානී එකාලා කියල මං හිතුවෙ. පස්සෙ දවසක් එකෙක් කිව්වා උං ඒ කාලෙට තමුන්නෙ රටේ ජීවන වියදම වැඩි හංදා මෙහෙ ඇහිල්ලා වේල පිරිමහගන්න එවුන්ලු.

    ReplyDelete
    Replies
    1. දැන් එන්නේ අමු හිඟන්නෝ. උන්ටත් දැන් ජීවන වියදම අහස උසට. ඉස්සර ආව එවුන් අත දිග ඇරලා වියදම් කරනවා. අහල නැද්ද කතාවක් තියෙනවා "හරියට සුද්දෝ වගේ" කියළා. දැන් එන්නේ හිපියෝ කියන අපි ඉස්සර ගණන් නොගත් මට්ටමේ බස් එකේ යන, කඩෙන් කන එවුන්.

      Delete
  16. අපේ තාත්තාගෙන් අපේ ගම ගැන විමසු මේ ලිපියෙන් අපේ ගම ගැන හොඳ විස්තරයක් දැන ගන්න පුළුවන්.

    ReplyDelete
  17. කාවාටි මංදා අපි කොලඹ හාබර් එකේ
    පරණ oil pipe line එක ගොඩ දාපු වෙලාවේ බාජ් එකේ හිටපු සිංගප්පූරු උන් ඔයි වගේ තනි පෙත්තෙ උන් පිහි තුඩින් ගලවා ගලවා ඉරුවා. මට නං අප්පිරියයි :))) ලියන්නේත් නැති නිසා ආයිම blog guide වැඩේවත් පටං ගන්න ඕනි :))

    ReplyDelete
    Replies
    1. මොකක් හරි කරන්න. මම දැන් නිර්මාංශිකයි. නමුත් එක පුදුම රහක්.

      Delete
  18. අනේ මන්දා....උබලා ලියන පොස්ට් එකක් අපි කියවන්නේ මොනතරම් ආසාවකින්ද..ඒත් උබලා වෙනදා වගේ ලියන්නේ නැති එක දුකයි....ලියපන් ලියපන් කිව්වට ඒක මොනතරම් ආමාරුද කියලා දන්නවා...

    ReplyDelete
    Replies
    1. ඔන්න ලිවුවා ගිහිං බලපන්.

      Delete
  19. මොකද කියන්නෙ ඩොලර් ටිකක් දෙන්නං මේක ලියනවද?

    ReplyDelete
    Replies
    1. දීපං රට යනකොට වටිනවා.

      Delete
  20. සෑහෙන කාලයකින් පස්සෙ ආයෙත් ඇවිදින්න ගොඩ වැදුන. බෙන්තොට කියන්නෙ බොහොම වැදගත් ගමක් බෙන්තර ගඟ නිසා ... ගඟෙන් මෙගොඩ නම් අවුලක් නැහැ එගොඩ නම් අවුල් :-D

    ඔය කියන හෝටල් වලින් සී සෑන්ඩ්ස් හෝටලය වෙත කිහිප වතාවක් ඇවිල්ල තියනව. ලංකාවෙ මසල්ස් තියනවා සහ ඒවට කාවටි කියල කියන බව දන්නේ මුල් වතාවට. කිහිප වතාවක් විවිධ ලෙස රහ බලල තිබ්බත් ලංකාවේදී හම්බ වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. අඩෝව් සුන්දර බෙන්තරට අපහස කරන්නෑ හරිය.

      මසල්ස් කියන්නේ කාවටිද කියන එක ප්‍රශ්ණයක්. මසල්ස් කියන එක ලොකු සයිස් ඒකෙන් තියෙනවා. කාව්ටි බොහොම පුංචි ප්‍රමාණයක බෙල්ලන් වර්ගයක්. මේක හැදෙන්නේ ගං මෝයට කිට්ටුව තියෙන ගල් වල.පැතලි කොස් ඇටයකින් භාගයකටත් වඩා කුඩා කටුවක්, සහ ඒ ඇතුලේ තියෙන කුරුම්බා ලොඳ වගේ පාණීය ආහාරයක්.

      Delete
  21. මම දැනුත් ඉන්නෙ Aida එකේ,ගග ලග,ඔය පොටෝ එකෙ තියෙන්නෙ කාවටි තමයි.මම පොටෝ දෙකක් දැන් ගත්තා කාවටි ගලේ බැදී තියෙන සහ කාවටි ගලවපු ගලකුයි.fb එකේ දාන්නම්.රන්ජන්-අළුත්ගම.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...