Wednesday, December 26, 2018

ඉන්දීය කාන්තාව මුහුණ දෙන අමිහිරි අත්දැකීම නොහොත් ටොයිලට් එකේ ප්‍රේම කතාව ......

නත්තල වෙනුවෙන් විවිධ රූපවාහිනී නාළිකා චිත්‍රපට ප්‍රදර්ශණය කරනවා. බොහෝවිට හින්දි, දමිළ හෝ ඉංග්‍රීසි චිත්‍රපට. ඉඳහිට සිංහල  චිත්‍රපට පෙන්වන අවස්ථාත් නැත්තේම නෑ.දෙරණ නාලිකාව මෙවර නත්තලව වෙනුවෙන්  අපූරු චිත්‍රපටයක් තෝරාගෙන තිබුණා. ඒ  "ටොයිලට් ඒක් ප්‍රේම් කතා". හින්දි භාෂාව පිලිබඳ හසල අත්දැකීමක් නොමැති වුවත්, මෙහි සරල තේරුම ටොයිලට් එකේ ප්‍රේම කතාව කියා හිතා ගන්න පුළුවන්. මට හිතුනේත් ඔබට හිතෙන දෙයමයි. ඒ ටොයිලට් එකක් තුළ සිදු වන ප්‍රේම කතාවක් පිලිබඳ චිත්‍රපටයක් කියා. මා බොහෝ විට බලාපොරොත්තු වුයේ මෙය හාස්‍ය දනවන චිත්‍රපටයක් වනු ඇතැයි කියා වුවද, අවසානයේ එය අනුවේදනීය ප්‍රේම කතාවක් බව පසක් වුණා. නමුත් මෙහි මුල් මිනිත්තු කිහිපය මට අතපසු වුණා. නමුත් පියෝ ටී.වී. හෝ ඩයලොග් වීව් ඇප් එක හරහා තවමත් සිංහල උප සිරස සහිත චිත්‍රපටය නරඹන්න ඔබ ප්‍රමාද නෑ. ඒ මෙය විකාශණය වුණේ ඊයේ(දෙසැම්බර් 25) දින රාත්‍රියේ නිසා. 

පහතින් තියෙන්නේ එහි නිල ට්‍රේලර් කොටස

පණ්ඩිත් කෙනෙකු නැතිනම් නක්ෂත්‍ර කටයුතු ඉටු කර දෙන ගුරෙකුගේ පුතෙකු වන කේශව(ආක්ෂේ කුමාර්) සහ ඔහුගේ පෙම්වතිය වන ජයා(භූමි පෙද්නේකාර්) ප්‍රධාන චරිත වලට පණ පොවන මෙම චිත්‍රයපටය පදනම් වන්නේ සමස්ත භාරතයම තවමත් විසඳුම් සොයන වැසිකිලි ප්‍රශ්නය මතය. 

ජයා ඉපදී හැදී වැඩෙන නිවසට යාබදව වැසිකිලියක් තිබූ නිසා, සාමාන්‍ය ඉන්දීය කාන්තාව එම කර්තව්‍ය ඉටු කරගන්නා ආකාරය ඇයට හුරු කටයුත්තක් වුයේ නෑ. නමුත් මංගල දින රාත්‍රියේදී අසල්වැසි කාන්තාවන් ඇය කැඳවාගෙන යන්නට පැමිණෙන්නේ භාරතයට සූර්යාලෝකය වැටෙන්නට  පැය කිහිපයකට කළින්. ඒ මොහොතේ පටන් ඇය අරගල කරන්නේ ටොයිලට් එකක් නැතිනම් මෙම නිවසේ වාසය නොකරන බවයි. ඇගේ අහිංසක සැමියා නැතිනම් පෙම්වතා ඒ සඳහා විවිධ උත්සායන් කරනවා. 

ඔහු මුලින්ම කරන්නේ දිය සෙම්බුවක් සමගින් ඇයව  පාන්දරින්ම වෙල් යායක් වෙත කැඳවාගෙන යාමයි. නමුත් එයට කණ කොකා හඬන්නේ ඔහුගේම පියා එක් දිනක් මෝටර් සයිකලයකින් ඒ අසළින් ගමන් ගන්නා විට, එහි එලිය නිසා ලේලිය අපහසුතාවයට පත් වීම නිසයි. එම ගම්මානයට පැමිණෙන චිත්‍රපට කන්ඩායමකට අයත් ජංගම වැසිකිලියක් සොරකම් කරන ඔහුව පොලීසියට හසු කර දෙන්නේ ඔහුගේම පියා. ඔවුන් සම්ප්‍රදාය කඩන්න කිසිසේත් කැමැත්ත ඵල කරන්නේ නෑ. ඔහුට ඊළඟ අදහස සපයන්නේ ඔහුගේ මිතුරෙක්. ඒ ඔවුන්ගේ ගම්මානයේ මිනිත්තු හතක කාලයක් නවත්වා තබන දුම්රියේ ටොයිලට් එක භාවිතා කිරීම. ඇය ඉතා කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වුවත්, එක් දිනක් මේ ටොයිලට් දොර වැසෙන්න බඩු ප්‍රවාහනය කරන වෙළෙන්දන් දෙදෙනක් තම බඩු තොගය අසුරනවා. ඇය ඉන් ගැලවී කෙළින්ම යන්නේ තම නිවසටම. ඉන් පසු ටොයිලට් එකක් නැතිනම් යලිත් පැමිණීම ඕ ප්‍රතික්ෂේප කරනවා. මින් අසරණ වන කේශව ඔහුගේ නිවසේ ඉහළ තත්වයේ නාන කාමරයක් සහිත ටොයිලට් එකක් ඉදි කළත්, පියාගේ සහචරයන් විසින් එය සමතලා කරනවා. ඉන්පසු ඔහු නීති මාර්ගයෙන් විසඳුම් සොයනවා. ගම් සභාවේ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වනවා. නමුත් නාගරික කොමසාරි වරයෙකු ඔහු සමග අත්වැල් බැඳ ගන්නවා ඒ උත්සාහය සාර්ථක කර ගැනීමට. අවසානයේ ඔවුන් දික්කසාදය ඉල්ලා උසාවි යනවා. එදින ලැබෙන තීන්දුවෙන් මෙම චිත්‍රපටය අවසන් වනවා. එය ඔබ නරඹනු ඇතැයි මා විශ්වාස කරනවා. යුටියුබ් හී සම්පූර්ණ දර්ශනය තිබෙනවා.  

Wednesday, September 19, 2018

අලුත්ම චැලේන්ජ් එකක් ...... A Brand new Challenge ......

සාහිත්‍ය මාසය පදනම කරගෙන පොත් අභියෝගයක්, එහම නැතිනම් චැලේන්ජ් එකක් මේ දවස් වල මුහුණුපොත පදනම් කරගෙන ක්‍රියාත්මක වෙනවා. මේක සිද්ධ වෙන්නේ අපේ සහෘද්ධ බ්ලොග් කරුවන් අතරේ. ඇත්ත වශේයෙන්ම ඒ අනුසාරයෙන් හෝ නිද්‍රාගතව සිටින බ්ලොග් කරුවන්, සක්‍රීය කර ගැනීමට හැකිනම් එය අපූරු උත්සාහයක් බවට පත් වේවි. මන්ද මේවන්  උත්සාහයකට (තමන්ගේ රසඥතාව ගැන විමසු විට) ඕනෑම අයෙකු දොඩමළු වන්න පැකිලෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් හෝ සිදුවෙන මේ ක්‍රියාවාලිය හරහා බ්ලොග්  ලෝකය යලිත් සජීවී තත්වයකට පත් වේ නම්, එය කියවන ලියන බොහෝ දෙනාගේ අමන්දානන්දයට හේතු වනු ඇත. 

අද බ්ලොග්කරණයේ හෝ මුහුණුපොත් සටහන්කරණයේ යෙදෙන  යෙදෙන  බොහෝ  දෙනෙකු තම ළමා කාළයේ කියවීමේ පිපාසයෙන් පෙළුණු අය බව නොකිවමනාය. මන්ද අන්තර්ජාල ව්‍යාප්තිය ලොව පුරා, විශේෂයෙන්ම  ශ්‍රී ලංකාවේ සිදු වන්නේ 1995 න් පසුව වීම එයට ප්‍රධාන සාධකයකි. අනෙක ඊ කියවීම් උපාංග බිහි වන්නේදේ, පසුගිය දශකය හෝ ඉන් මෑතකදී සිට බව  නොරහසකි.  ඉදින්  අප  කුඩා කාළයේ පිපාසය නිවා සනහා ගන්නට තිබූ මාර්ග බොහෝ ස්වල්ප මෙන්ම,  සියල්ලන්ටම පොදු ආකාරයේ ඒවා වීමය. අපේ යුගයේ ප්‍රධාන කියවීම් මාධ්‍යයන් ලෙස සැලකිල්ලට ගත හැක්කේ, පොත්, පුවත්පත්,  සඟරා,  සංගම් වාර ප්‍රකාශන යන දේය. ඒ  වනවිටත්  පුස්කොලපොත්  පරිහණය සංගයා වහන්සේලාට සහ පාරම්පරික  වෙද පවුල් වලට සීමා වී තිබීම නිසා, අපගේ පරම්පරාව නියෝජනය කරන කෙනෙකුට එම අවස්ථාව උදා වුවා නම්, ඒ ඉතා විරල ගණයේ එකකි. 

එනිසා අපේ පරම්පරාවේ කෙනෙකුට අතට අහුවෙන ඕනෑම ලියවිල්ලක් කියවීම නිරායාසයෙන් සිදු වූ දෙයක්. විශේෂයෙන්ම චිත්‍රකතා, අපේ කාළයේ තරුණ පරම්පරාව අතර බොහෝ ජනප්‍රිය මාධ්‍යයක් වී තිබුණා. ඒ ගැන සඳහන් කරනවිට මින්පෙර සටහන් වල මා සඳහන් කර ඇතිද යන්න නිසැක මතකයක් නැතත් මේ  අවස්ථාසම්බන්ධය මෙහි සටහන්  නොකළහොත්, මෙය මුළින්ම  කියවන කෙනෙකුට සිදු කරන අසාධාරණයකි. මගේ  ගමේ  ඉදිරිපිට එකළ පැරණි ආකාරයේ නිවසක් සහ ඉන් පිටුපස තවත් එවැනිම නිවසකින් සමන්විත, පැරණි, සිංහල උළු හෙවිලි කළ නිවසක් විය. ගුණසේකර වලව්වට අයත් මේ නිවසේ, අප දන්නා කාලයේ පටන් ජීවත් වුයේ කුලී නිවැසියන්ය. මා මේ කියන කාළයේ ජීවත් වූයේ බෙන්තොට සමූපකාරයේ කලමනාකාරිනියක් වූ හැරියට් ඇන්ටී යනුවෙන් අප ඇමතු කාන්තාව සහ ඇයගේ පවුලේ සෙසු කිහිප දෙනාය. නමුත් ඇයගේ මහළු මව්පිය ජෝඩුව ළඟ, ලග මාස දෙකක, මියපරලොව පත් වූයේ, ළමා කාළයේ විසූ, අපටනම් ඉබ්බා දියේ දැම්මා වැනි අවස්තාවක් උදා කරමිණි. එකළ අපේ ගමේ මලගමක් සිදු වූවානම්, එය සම්ප්‍රදායික ගම්වැසියන්ගේ නිවසක සිදු වුවාද, නැතිනම් පිටස්තර කුළී නිවැසියන්ගේ නිවසක සිදු වූවාදැයි, නොසොයා රෑ දිවා වෙහෙසෙන, වැඩිහිටි පරම්පරාවක් අපේ ගමේ කවදත් ජීවත් විය.  අද තත්වයද වැඩි වෙනසක් නැති බව මගේ විශ්වාසයයි. 

මළගමෙහි කටයුතු අවසන්වී දෙදිනකින් පමණ, හත්දවසේ බණ  කියන දින උදා වන්නේ, එකළ මෘත ශරීරයක් නිවසක තබා ගන්නා කාළය ගැන ඉඟියක් ලබා දෙමිනි. එවැනි අවස්ථාවක මළගම, ඇති නිවසේ බතක් ඉදෙන්නේ නැති වුවද, අසල්වැසි නිවෙස් තුන්වෙල් වෙන් කරගනිමින්, පැමිණෙන සියල්ලට ආහාර පාන මෙන්ම තේ වේල් කිහිපයක්ද ලබා දෙන්නේ කිසිදු අහිතක් නැතිවය. සමහරවිටෙක මේවා බෙදා ගන්නට තරගයක, යෙදෙන අවස්ථාද විරළ නොවේ. මෙකී බණ පැවති දිනයේ, පැට්‍රෝමැක්ස් ලාම්පුවකින් එලිය කළ එම නිවසේ බණ දේශනාව සිදු කරන ලද්දේ, බෙන්තොට උඩකොටුව රජ මහ විහාරාධිපති බෙන්තර සෝමසිරි හිමියන් විසිණි. ඒ කාළයේ අප උන් වහන්සේට පෙනෙන්නට පන්සල් භූමිය පැත්තේ සැරිසරන්නට කුඩා මෙන්ම වැඩිහිටි කවුරුත් භියක් දැක්වීය. උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙකුට ආවේනික කරුණාවන්ත භාවයෙන් මදක් ඔබ්බට ගොස්, ආවේණික දුෂ්ඨ ස්වභාවයක් ඉසිලීය. ඒ එකල අප උන් වහන්සේ දුටු ආකාරයය. උන් වහන්සේගේ ඒ හැසිරීමට හේතුව, දැඩි නීති රීති සහිතව පන්සල පරිපාලනය කිරීම බව අද මගේ විශ්වාසයයි. එකළ අපට තිබූ ප්‍රධාන ගැටළුව වුයේ පන්සල වත්තේ ඇති පලතුරු ගස්වල තිබෙන ගෙඩි-කරල් තබා, බිම වැටී තිබෙන එකක් වත් අහුලා ගැනීමට උන් වහන්සේගේ දෑසට හොරෙන් කළ නොහැකි වීමය. නැතිනම් අපට පන්සලේ තිබූ විශේෂයක් නැත. යන්නම් වාලේ එහි බඩගාන අපට ගෙදර එන්නට පෙර සෝමසිරි ලොකු හාමුදුරුවන්ගේ, වේවැල් පහරක් හෝ අවුවේ දණගසා සිටින දඬුවමක් නොලැබ පැමිණෙන්නට නම් උගහට කරුණකි. 

නමුත් අප පන්සලේ දෙවනියා වූඕපාත විමලසිරි ස්වාමීන් වහන්සේ සහ ඉන් පහළ දෙනම(දෙදෙනාම අද ගිහියන් වී ඇත).සාමනේර වයසේ  පසුවූ හිමිගේ නම  මට නිශ්චිතවම අද  මතකයක්  නැතත්,  එකළ  අප දෙදෙනාගේ  ඉතා සමීප මිත්‍රත්වයක් විය. උන් වහන්සේ සතිපතා මිලදී ගන්නා සිත්තර පත්තරේ, පන්සලේ වැට මායිමට ගොස් ඉල්ලාගෙන, මිටින් මුදාහල කුරුල්ලෙකු සේ, පන්සල කන්දේ සිට, එය  ආසන්නයේ සිටි අපගේ නිවසට දිව එන්නේ, කියවීම පිළිබඳ අපතුල තිබූ පිපාසාව මොනවට පැහැදිලි කරමිණි. මගේ පැමිණීම අපේක්ෂාවෙන් පසුවෙන අපේ අක්කා සහ ලොකු අම්මාගේ දුව වූ චූටි අක්කා බලා සිටින්නෝය. මොහොතකින් එහි කෑලි කඩාගෙන අපේ රුචිකත්වය අනුව කියවන්නට පටන් ගනිමු. ආ මුලින්ම ටෝගා, යුනිකෝ, කියවන අතර ඉන්පසු කියවන්නේ කැමිලස්ගේ ගජමෑන් කියවීමෙන් අනතුරුව එහි තිබෙන, ඉතිං ඊට පස්සේ සිට සියලු කථා කියවන්නෙමු. ඉන් පස්සේ සතියක් බලා සිටිමු. තාත්තා ගෙනෙන පත්තර සියල්ලද අප කියවා දමමු. අහුවෙන සියල්ල කියවා ඔහේ බලා සිටිමු. රූපවාහිනියක් නිවසක නැති එකළ, සවස පහට තම දෙවෙනි විකාශන කාළය ආරම්භ කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සහ සිංහල දෙවෙනි සේවය වටා අප එකතු වන්නේ සවන් දිය හැකි සියල්ලට සවන් දෙන්නය. ඒ සියල්ල අවසන් කළද අපේ පිපාසාව සංසිදෙන්නේ නැත.

ඒ අඩුව පුරවා ගන්නට අප කළ දෙවෙනි කාර්යය පොත් හුවමාරු කරගෙන කියවීමය. තාත්තගේ පාසලෙන් ගෙනෙන පොත් සහ ගමේ පුස්තකාලයෙන් ගෙනන පොත් කියවීමය. මාගේ තවත් පුරුද්දක් වුයේ, ගාලු පාරේ අපේ නිවසට හැරෙන හන්දියේ තිබෙන සුහද කැෆේ නම් පත්තර කඩයට පාසල් කාලයෙන් පසු ගොස් තිබෙන පත්තර ඉල්ලගෙන කියවීමය. එකළ අපට ඉංග්‍රීසි කියවීමේ හැකියාවක් නැති නිසා, සියළු සිංහල පත්තර, හානියක් නොවන ලෙස ප්‍රවේසමෙන් කියවා ආපසු භාර දී ගෙදර එමු. ඉන්පසු ප්ට්ටනියේ කාළය ගත කළෙමු. බොහෝ දෙනෙකුට නැති, මා තවමත් කරන, තවත් එක්තරා පුරුද්දක් ගැන සටහන් කිරීමට මා තීරණය කළේ, මේ චේන් චැලේන්ජ් මාලාවට තවත් එකක් එකතු කිරීමේ අදහසිනි. මට අමතරව මෙය කියවන ඔබටද එවැනි පුරුදු තිබෙන්නට හැක.

මා එදා සිට අද දක්වා කරන, මේ පුරුද්ද විවිද දේ නිවසට ගෙන එන කඩදාසි කවර ප්‍රවේසමෙන් දිග හැර කියවීමයි. මේ පුරුද්ද කුඩා කළ සිට අද දක්වා කරගෙන එන්නකි. ඒ මගින් රටේ තිබෙන විවිධ දේ පිලිබඳ අවුබෝධයක් ලබා ගත හැකිය. විශේෂයෙන්ම මා පරිගණක පාඨමාලාවන් හදාරන යුගයේ මුද්‍රිත සැලසුම් කිරීමට මෙසේ එකතු කරගත් විවිධ ආයතන වල ඉන්වොයිස්, වාර්තා සහ බිල්පත් උපයෝගී කර ගතිමි. අදද මා මේ තුලින් පෝෂණය ලබා ගනිමි. මේවා නැවත කරළියට එන්නේ ෂොපින් බෑග් තහනමත් සමගය. මට ඊයේ එවැනි ඉතා වැදගත් ලියවිල්ලක් හමු විය. එහි පින්තූර මෙසේ එකතු කරමි. ඔබට මා දෙන චැලේන්ජ් එක අද සිට මේ මාසය තුළ ඔබට ලැබෙන කඩදාසි කවර වල පින්තූරයක් වත් ඔබගේ බ්ලොග් අඩවියේ පළ කරන ලෙසය. සාහිත්‍ය මාසයේ කියවන්නාට අලුත් යමක් දීම මින් සිදු කළ හැක.




Wednesday, September 12, 2018

මුහුද යට දිවයින ...... Island Beneath the Sea

"මුහුද යට දිවයින" ඇසූ පමණින් ඕනෑම කෙනෙකුගේ සිතට එන්නේ, මෙය මුහුදින් යට වූ දුපතක් පිලිබඳ කතාවක් කියාය. මේ පොත පසුගිය වර  පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත් මොහොතේ මගේ සිතට ඇති වුයේද, එම අදහසයි. නමුත් එම පොත කියවීමට පෙර එහි කවරය දෙස බොහෝ වේලාවක් බලා සිටි මට ඒ ගැන කිසිදු අදහසක් ලබා ගත නොහැකි වුයේ "පොතක කවරයකින් - ඒ ගැන අදහසක් ගත නොහැකිය" යන කියමන තවත් වරක් පසක් කරමිණි.  පොත් පිලිබඳ කෑදර කමක් දක්වන්නෙකුට නම් එය තම අතට පත් වූ මොහොතේ පටන්, එය කියවන්නේ කොයි මොහොතේ දැයි යන ඉස්පාසුව නැති හැඟීම ඇති වීම මිස, කවරය දෙස බලා බවුන් වඩන්නට පටන් ගන්නේ කුමන ආකාරයේ පිස්සුවක් නිසාදැයි යන කුකුස ඔබට ඇති වන්නට ඇත. කුඩාකල පටන් මගේ තිබූ එක් හොඳ හෝ නරක පුරුද්දක් වුයේ, පොතක් කියවනවා නම එය සැදී-පැහැදී කියවීමයි. කාර්යාලයේදී මේ පොත අතට ගත් මොහොතක, තවත් දෙදෙනකුගේ කතාව කියවීමට නොහැකි තත්වයකට පත් කරයි නම්, එය හකුලා තබා, වෙනත් කාර්යයක් කළ වාර ගණන මෙතැකැයි ගැණිය නොහැකිය. ඒ මගේ ක්‍රමයයි. ඔබට යමක් රස විඳින්නට අවශ්‍ය නම්, ඊට අවශ්‍ය වටපිටාවදඅවශ්‍ය ලෙස සකසා ගත යුතුයි. කාර්යාලය වැනිපාළනය කළ නොහැකි ස්ථානයක වෙනත් විකල්පයක් නොමැත. 

මේ පොත මිලදී ගන්නට මට විශේෂ හේතුවක් තිබිණි. ඒ සහෝදර බ්ලොග් කරුවෙකු වූ නිලුක කදුරුගමුව මහතා විසින් එය පරිවර්තනය කර තිබීමයි. සහෝදර බ්ලොග් කරුවකු යනුවෙන් මා ඔහු ඇමතීම ඔහුට කරන නිගාවක් ලෙස නොසිතන්න. ඒ මා ඔහු හඳුනා ගත් මාර්ගයයි. ඉන්පසුව මුහුණු පොතෙන් ඔහු හා මිතුදමක් ගොඩ නගා ගන්නට හැකිවීය. මා ඔහු සමග මිතුරු වන්නට විශේෂ හේතුවක්ද විය. ඒ මා පරිවර්තන සහ පරිවර්තනයට දක්වන උනන්දුවයි. ඔහු වැනි පුද්ගලයෙකුගෙන් මා වැනි නවකයෙකුට ගුරු-හරුකම් ලබාගත හැකිය යන විශ්වාසය මා තුළ තිබිණි. ඉදින් මා පොතෙහි කවර දෙස බලා සිටියේ, එය කියවීමට සුදුසු කාළය එය නොවූ නිසාය.  බොහෝවිට ප්‍රදර්ශනයේ සිට පැමිණි ගමන් විඩාව සමගය. මේ පොත මා ප්‍රදර්ශනයට ගිය මුල් දිනයේම මිලදී ගැනීමට නොහැකි විය. ඒ ඒවනවිටත් එහි සියලු පිටපත් විකිණී හමාර වී තිබු නිසාය. මා ඉන් පසුබට වුයේ නැත, ප්‍රදර්ශනය නිම වීමට තවත් දින දෙකක් තිබේ. පසුදින උදෑසනින්ම එහි ගිය මට එය මිලදී ගැනීමට හැකි විය. විදර්ශන ප්‍රකාශණයක් නිසා මා හට කිසි විටෙකත් බියක් ඇති නොවීය. ඒ මා එවකට විසු කළුබෝවිල නිවසට විදර්ශනා පොත් ගෙදර ඇවිදින දුරකින් පිහිටා තිබීමය. එනිසාම ජනක ඉනිමංකඩ මහතා සමග හඳුනුම්කමක් ඇති කර ගැනීමට හැකි වී තිබ්නුනු නිසාය. කවරය දෙසා බලා විඩාපත් වූ මා එහි පසු පිට කියවා බැලීමි. එහි මෙසේ සඳහන්ව තිබේ. 
වහලියක ලෙස විකුණා දමන්නට අප්‍රිකාවේ සිට ගෙන එනු ලැබූ තරුණියකගේ කුසෙන්, නැව් ගමනේදී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයෙකුට දාව සැන් දොමෑං දිවයිනේදී උපන් තෙතේ හෙවත් සරිතේ බිලිඳි වියේ පටන්ම වහල් බවේ බැම්මෙන් බැඳී සිටින්නීය.
 ප්‍රංශ යටත් විජිතයක් වූ සැන් දොමෑංහී සිය පියා විසින් පවත්වාගෙන යනු ලැබූ උක් වතුයායෙහි පාළනය භාරගන්නට පැරීසියේ සිට යොවුන් වියේදීම එහි යන තුලුස් වලමොරෑං, තම පරමාදර්ශී සහ ප්‍රගතිශීලී අදහස් පසෙක ලා යතාර්ථය අත් විඳින්නට පටන් ගනියි.
දහඅටවැනි ශතවර්ෂයේ අගභාගය වන විට  සැන් දොමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ නිහීනත්වය සහ ඊට එරෙහි අරගලය පසුබිම් කොටගෙන ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛවෝපගත ලෙස එකිනෙක හා සම්බන්ධ වන්නේ ආදරය, කරුණාව මෙන්ව වයිරය, රාගය හා තිරිසන්බව ආදිය එකට කැටි වූ මනස්කාන්ත කතාන්තරයක් පාඨකයා හමුවේ දිග හරිමිනි.
 එය කියවා ඒ හෝ  එම පොත වැඩි තේරුමක් ගත නොහැකි විය.  මා මෙය කළයුතුව තිබුණේ, ප්‍රදර්ශන කුටියේ පසෙකට වී නොවේදැයි ඔබට සිතෙනු ඇත. වෙනත් දිනයක නම් මා කරන්නේද එයමය. නමුත්, පරිවර්තකයාගේ වෙනත් පරිවර්තන ඔහුගේ බ්ලොග් අඩවියෙන් ඒ වනවිටත් කියවා තිබු නිසා ඔහු තෝරාගෙන ඇති මෙම කෘතිය පිලිබඳ මට සැකයක් නොවිණි. ඉසබෙල් අයියන්දේ ද එවැනිම විශ්වාසයක් තැබිය හැකි රචිකාවියකි. ඇයගේ කතාව වෙනමම මෙහි සටහනක් පසුව තැබිය යුතුයැයි මට හැඟේ. එය ඒ තරම්ම විශ්මිත ජීවන සවාරියකි. මේ පොත කියවා අවසන් කළ පසු, එය සංක්ෂිප්ත කළහැකි හොඳම වදන් පෙළ ඊට එක් කොට ඇතිබව සහතිකය. පිටු 644 ක කතාවක්, පිටුවක අඩක් තුළින් ප්‍රකාශ කිරීම ප්‍රායෝගික නොවේ. ඇත්ත වශයෙන්ම එය පොත නොකියවූ කෙනෙකුට, පොත ගැන සම්පූර්ණ අදහසක් ගත හැකි රෙකමදාරුවක්ද නොවේ. නමුත් එහි ඇති ප්‍රංශ-අප්‍රිකානු වහල් ඝට්ටණය එහි රසවත් බව කරන ඉඟියන් වේ. 

අප්‍රිකානු වහලුන් පිලිබඳ මා මුලින්ම දැන ගත්තේ අප ගම් ප්‍රදේශයට සංචාරකයෙකු ලෙස පැමිණි බ්‍රිතාන්‍ය ජාතික බ්‍රයන් මතාගෙනි. එකළ මට ඉංග්‍රීසි ගීත පිස්සුවක් පැවතිණි. විශේෂයෙන්ම රෙගේ සංගීතයටත්, එහි පියා වූ බොබ් මාලේ ගයන බෆලෝ සොල්ජා (Buffalo Soldier) ගීතයටත් මා විශේෂ ඇල්මක් දැක්වීය. එනිසාම මා ඔහු ලවා එහි වචන කාණ්ඩය ලියවා ගතිමි.  පසුව එය දිව මතුරක් මෙන් මගේ දිවග පැවතිණි. ඔහු ඒ ගීතය ලියා දුන්නා පමණක් නොව, බටහිර ඉන්දීය දුපත් වල සංචාරය කළ ඔහුගේ අත්දැකීම් සහ වහල් භාවය පිලිබඳ කෙටි විස්තරයක් කළේය. බොබ් මාලේගේ අකල් මරණය ඔහු අදහන පිරිසට අදටත් අභිරහසකි. නමුත් ඔහු පවසන්නේ, බොබ් මතට ලොල් කරවූයේ ඇමරිකන් හමුදාව බවය. ඒ ඔහු තුවක්කුවෙන් නොවෙන ආකාරයකට විනාශ කිරීමේ අභිලාශයකිනි. එසේ නොවිණි නම් ඔහු තවත් චේ කෙනෙකු හෝ කැස්ත්‍රෝ කෙනෙකු වනු ඇති බව ඔවුන් කළ පූර්ව විනිශ්චය නිසා වන්නට හැක. 

මේ පොත කියවාගෙන යත්දී එහි තිබූ සමහර ආගන්තුක වචන පිලිබඳ මා කෙළින්ම පරිවර්තකයා සමග සංවාදයේ යෙදිණි. ඇත්ත වශයෙන්ම පාඨකයෙකු ලබන දුර්වල අවස්ථාවකි. එම පොතෙහි එන එක් තැනක "තෙතේ තත්පර වුවාය" කියන වදන  මා තුළ කුකුසක් ඇති කළේය. මා සිතුවේ ඔහුට යම් වැරදීමක් සිදු වී ඇති බවය. ඉතිං මා ඔහුට එය ඉක්මනින්ම දැනුම් දියයුතුය. මා මුහුණුපොත හරහා ඔහුට පණිවුඩයක් යැවීය. පිළිතුරු නොපමාව ලැබිණි.


මෙම බ්ලොග් අඩවිය හරහා කුඩා ලිපි සහ කෙටි කතා පරිවර්තනය කළ මා වැන්නෙකුට ඔහු යෝධයෙකි අනෙක් අතින් ගුරුවරයෙකි. ඉතා නිහතමානී පුද්ගලයෙකු වන ඔහුගෙන් ගුරුහරුකමක් ලබා ගැනීමට කිසිදු මාර්ග බාධකයක් නැත. මා ඔහු හඳුනා ගත්තේ ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් කියවීමෙන් අනතුරුවය. ඒ මගේ බ්ලොග් අඩවිය කියවන මර්සිගේ ඉංග්‍රීසි බ්ලොග් අඩවිය කියවූ අවස්ථාවකය. එයට ඔහු අදහස් ඉදිපත් පර තිබුණි. මේ පොත කියවූ පසු ඔහු කෙතරම් පරිපූර්ණ පරිවර්තකයෙකුදැයි ඔබට පැහැදිලි වනු ඇත. මේ පොතෙහි එන කොටස් මෙහි උපුටා දක්වා ඔබේ රසඥතාවට හානි කිරීම හෝ ඔහුගේ කෘතියට හානි කිරීම මාගේ අරමුණ නොවේ. මේ පොත ගැන බ්ලොග් සටහනක් තැබීමට මා ඔහුට පොරොන්දු වුයේ එය කියවන අතරතුරය. නමුත් මෙවර සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම පරිවර්තනය සඳහා  සම්මානයටපාත්‍ර වී ඇති බව ජනක ඉනිමංකඩ මහතා ඔහුගේ මුහුණුපොතේ සටහන් කරනතුරුම අමතක වීම බලවත් වැරැද්දකි. නමුත් මා කැමතිම ඉංග්‍රීසි කියමනක් වන Better Late than Never (අතපසු කිරීමට වඩා ප්‍රමාදය හොඳයි) අනුව යමින් මේ සටහන තබමි. එය මගේ යුතුකමයි. එය ඔහු වෙනුවෙන් නොව, පොත් කියවන ඔබ වෙනුවෙනි. මේ පොත වෙනුවෙන් ඔබ වැය කරන හැම සතයක්ම අපතේ නොයන බවට මට සහතික විය හැකිය. මෙය හයිටිය පිලිබඳ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස සටහන් කිරීම වඩා උචිත බව මගේ හැඟීමයි. එහිදී ඉසබෙල් අයියන්දේගේ පරිකල්පනය ගැන ඇති වන විශ්මය මෙහිලා සටහන් කළ යුතුමය. කතාවක් තුළින් ප්‍රකාශ කිරීමට ඉතිහාස කරුණු සම්බාරයක් ඇය එකතු කරගෙන ඇත. නැතහොත් ඇයගේ පරිකප්ලනය තුළ ප්‍රබන්ධ කර ඇත. නමුත් වඩා පහසු ඉතිහාස කරුණු සම්පිණ්ඩනය කිරීම බව මගේ පුද්ගලික අදහසයි. 

මේ පොත තුළින් ලොව පුරා රටවල් ආක්‍රමණය කළ ප්‍රංශ, ස්පාඥ්ඥ, පෘතුගාල්, ඕලන්ද, ඉංග්‍රීසි ජාතීන් ගෙන ගිය කෘර පාලනයන්, ඔවුන් හා සම්මිශ්‍ර වන ස්වදේශිකයින්, වහල් අරගලය, ඇමෙරිකානුවන්ගේ ආර්ථික වර්ධනයට කළු වහලුන්ගෙන් ලැබන පිටුවහල ආදී බොහෝ කරුණු ඔබට කියවිය හැකිය. මෙයට අමතරව ආගමික, සංස්කෘතික සහ සමාජීය සම්මිශ්‍රනය් සහ අරගල ගැන ඔබට දැන ගත හැකිය. කොටින්ම නිවහල් ජීවිතයක වටිනාකම ඔබට අවුබෝධ කර ගත හැකිය.
ඔහු රාජතාන්ත්‍රික නිලධාරියෙකි. පරිවර්තනය පිලිබඳ කැලණිය සරවියේ ආරාධිත ආචාර්ය වරයෙකි. ලක්බිම පත්‍රයේ හිටපු සහකාර පුවත් සංස්කාරක වරයෙකි. මා දන්නා තරමින් ඔහුට භාෂා කිහිපයක් පිළිබඳව මනා අවුබෝධයක් ඇත්තෙකි. වරක් හින්දි ගීත කිහිපයක් සිංහලට පරිවර්තනය කර තිබෙනු දකින්නට ලැබිණි. ඔහු ඉතාම සුහදශීලී පුද්ගලයෙකි බව ඔහු ඇසුරු කළ බොහෝ දෙනා පවසයි. මේ සියල්ලටම වඩා ඔහු බ්ලොග් කරුවෙකි. 

ඔහුට මෙම සම්මානය ලැබිය යුතු බව පොත කියවන මොහොතේම මගේ සිතට ආ සිතුවිල්ල වුවද, කෙසේ සාධාරණය ඉටු වේදැයි මා තුළ සැකයක් පැවතිණි. සුදුස්සාට සුදුසු තැන ලැබී ඇති නිසා, ඒ ගැන වැඩි යමක් සටහන් නොකර, ඔහුට සුබ පතන්නට මෙය අවස්තාවක් කර ගනිමි. පුංචි හෝ දෙයක් ඔහුගෙන් මා උගෙන ඇත. එනිසා මට ඔහු ගුරුවරයෙකි.

නිලුක කදුරුගමුව මහතාට උණුසුම් සුබ පැතුම් !!!!

Saturday, July 14, 2018

අපේ ගමේ ගයිඩ්ලා(නොහොත් මග පෙන්වන්නෝ) සහ බ්ලොග් ගයිඩ්ලා ......

මේ පොස්ට් එක ලියන්න මට අනුප්‍රාණය(අපගේ අනුප්‍රාණේ කියළා ජාතික ගීයේ තිබුණට තේරුම දන්න එකක්යැ) ලැබුණේ ඩෙනියන්ගෙන්. දැන් බලයි ඩෙනියන් කියන්නේ කවුද කියළා. අර බලුකූඩුව බිලය ලියන්නේ. ඉයන් ....... ඉයන්...... මේ තේරුම් දෙකම ගත්තේ මධුර ඔන්ලයින්  පරිවර්තන වලින්. පරිවර්තනය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි කියළා තේරුණේ, එහෙම කරන්න ගියාට පස්සේ. බලන්න inspiration කියන එකට අනුප්‍රාණේ කියළා දැම්මට වැඩක් තියෙනවද ? තල්ලුව කිව්වොත් කොහොමද ? ඒ වගේම බිලය, කියනවට වඩා එතැනම තියෙන ගුහාව හොඳයි. නමුත් ඩෙන් කියන්නේ බලු කූඩුව කියලයි ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න මගේ දියණිය කියන්නේ. මේ වගේ පරිවර්තන දෝෂ ගැන පැරණි බ්ලොග් කාරිණියක් හොඳටම දෙහි කපලා තිබුණා. බ්ලොග් එකකට නම් තමන්ගේ කැමැත්ත පරිදි සිදු කරන්න පුළුවන් වුණත්, පොතක් වගේ සාහිත්‍යට එකතු වෙන දෙයකට ටිකක් සැලකිලිමත්ව වැඩේ කරන්න පෙළඹෙන්න සිදු වෙනවා. නමුත් මට පරිවර්තනය ගැන නියම ගුරුහුරුකම් ලැබුණේ, ටෙඩ් වීඩියෝ වලට සිංහල උපසිරස දාන්න සුදානම් වුණු මොහොතේ. එතැන තිබුණ ගයිඩ් නොහොත් මග පෙන්වීම කියෙව්වට පස්සේ. ඉතිං පරිවර්තනයත් මග පෙන්වීමත්, මේවා වැදගත් ඒ වගේම බොහොම සීරුවෙන් කරන්න ඕනේ දේවල්. දැන් බලන්න අතීතයේ Government Analyst කියන වචනයට ඒ කාළයේ හැටියට රස පරීක්ෂක කියන වචනය දැම්මා, පොඩි කාලේ මට ඔය චරිතය පෙන්නන්න බැරි වෙලා හිටියේ, එයා මිනී කපලා කාලා බලනවද කියළා මම තාත්තාගෙනුත් අහලා තියෙනවා. පස්සේ කාලෙක System Analyst කියන වචනය ආවා. එතකොට මේක විශ්ලේෂක කියන ගෞරව සම්ප්‍රයුක්ත නාමය මේකට පට බැඳුණා. බලන්න කොයි තරම් ලස්සනද කියළා. මේ කියපු ඡේදය පස්සේ ලියන්න යෙදෙන අපේ ගමේ ගයිඩ්ලා ගැන කියවද්දී තේරුම් යයි මේවා අතර තියෙන සහසම්බන්දේ මොකක්ද කියළා. බ්ලොග් අවකාශේ පල් හෑලි වලට ප්‍රසිද්ධ නැති වුණත්, මම මාව හඳුන්වා ගන්නෙත් ඒ කැටගරියට නැතිනම් ප්‍රභේදයට අයිති කෙනෙක් විදියට. 

හරි දැන් හැරෙමු අපේ ගම දිහාවට. ලංකාවේ මුල්ම සංචාරක ආකර්ෂණය ලැබුණු ගම්මාන වළින් එකක් තමයි බෙන්තොට හෝ බෙන්තර කියන්නේ. බෙන්තර කියන්නේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියනව නම් බෙන්තොට. නෑ..... නෑ...... නෑ...... බෙන්ටොට. හරි හයි-ෆයි නේ. ඔව්...... ඔව්...... එහෙම තමා. අපේ තාත්තා ඇරුණම බෙන්තොටට ආදරය කරපු කෙනෙක් තව මම දන්නවා නම් මෑතකදී අප අතරින් වියෝ වුණු ආතර් පියසිරි මහතා. ඔහු ගැන පොස්ට් එකක් ලියන්නම ඕනේ. අනේ කවුරු හරි මට මතක් කරන්න. ඒක මගේ යුතුකමක්. ඔහු මගේ ජීවිතයට මග පෙන්වන්නෙක් වුණු කෙනෙක්. හොඳයි. බෙන්තොට මේතර සංචාරක ආකර්ෂණයක් දිනා ගත්තේ ඇයි? ඉතාම සරළව සුන්දර වෙරල තීරය නිසා. එය එක්සත් ජනපදයේ මයාමි වෙරළ තීරයට දෙවෙනි නොවෙන එකක් බව සංචාරකයන් පවසන බවයි මගේ පියාගේ කට වහරින් මා තුලට සම්ප්‍රේෂණය වෙන්නේ. ඉතිං ඒ නිසා තමයි බෙන්තොට වෙරල තීරයට යාබදව සංචාරක හෝටල් හතරක්ම බිහි වෙන්නේ. ඒ බෙන්තොට බීච් හෝටලය, සෙරන්ඩිබ් හෝටලය, ලිහිණියා සර්ෆ් හෝටලය සහ සී සෑන්ඩ්ස් හෝටලය. අපේ දැනුම, ගමේ සංස්කෘතිය ජන ජීවිතයට මේ හෝටල් හතර කරපු සේවය වගේමහානියත් සුළු පටු නොවේ. පහුකාලීනව මේ හෝටල් හතර කෙලවර වෙන ලිහිණියා සර්ෆ් අන්තයේ අවසානේ තිබුණ කබොක් කන්ද කපා ඉදි වෙනවා ටාජ් හෝටලයක්. දැන් මේ හෝටල් හතරම හැඳින්වෙන්නේ වෙනත් නම් වළින්. මේ හෝටල් හතරේ ගේට්ටු හෝ ද්වාර හරියට ගුවන් තොටුපළක පැමිණීමේ පර්යන්ත වගෙයි. ඒවායෙන් ඉවත එන්නේ ලෝකයෝ විශේෂයෙන්ම යුරෝපාකරයෙන් මෙහි පැමිණ තමන්ගේ සීත සෘතුව නිදහසේ ගත කරන්න ආ සංචාරකයන්. සිංහලෙන් කියනවා නම් සුද්දෝ. බලන්න පරිවර්තනය සංචාරකයා, දේශාඨකයා කියනවට වඩා සුද්දෝ කියන එක කොයි තරම් ලස්සනද, තේරුම් යනවද කියළා. නමුත් පහුකාලීනව මේ වචනයේත් රස පරීක්ෂක වගේ පොඩි පරහක් හිටියා. මොකද අපි සුද්දෝ කියන්නේ සුදු එවුන් කියන මානසිකෙයෙන්නේ. නමුත් පස්සේ කාලෙක කල්ලෝ, ජපන්නු, චීන්නු වගේම ඉන්දියානුවොත් එන්න පටන් ගත්තා. උන්ට සුද්දෝ කිව්වොත් වැඩේ දෙල්. මතක තියාගන්න සංචාරක කර්මාන්තයට අමතරව බෙන්තොට ප්‍රසිද්ධියක් උසුලපු අනෙත් දේවල් තමයි දෙල් සහ කාවටි. දෙල් ගැන අලුතෙන් ලියන්න ඕනේ නෑනේ. ඉස්සර අපි බෙහෙත් ගත්ත අලුත්ගම ගුණවර්ධන දොස්තර අංකල් අපේ ගෙදර අය එනකොට කියන්නේ. ආ...... මේ එන්නේ කන්නන්ගර මහත්තයාගේ දෙල්රුක් ...... මේ එන්නේ කන්නන්ගර මහත්තයාගේ දෙල්රුක්ෂි කියළා. අපේ ගෙදර හැම කෙනාටම අමතර වාසගමක් දෙන්න අපේ තාත්තා හිතුවා. දවසක් මගෙන් කොන්ෆිෆි සමූහ ව්‍යාපාරේ මානව සම්පත් කළමනාකාරිය මේ ගැන ඇහුවා. සච් අ ඩිෆරන්ට් සර්නේම් ? අයි හෑව් නෙවෙර් හර්ඩ් ඔෆ් ඩිල්රුක් ඈස් අ සර්නෙම් !!! ඒ කිවුවේ මේ වගේ වෙනස් වාසගමක් මමනං ජීවිතේට අහළා නෑ කියන එක. දෙල් කතාව එහෙම වුණත්, කාවටි කියන රසවත් ආහාරය ගැන නොකියා බෑ.
මමත් වාසනාවන්ත වුණා, තමන් අත්විඳි රසවත් දේ තම දරුවන් සමග බෙදා ගන්නා පියෙකු ලබන්නට. ඒ වගේම ඕනෑම දෙයකක් ගැන දෙවරක් හිතා, සැකයෙන් පටන් ගෙන අනිත් පැත්තට හිතන මවක් ලබන්නට. ඒ වගේ ගමක ඉඳන් හැදෙන්න මේ වගේ දෙන්නේකුගෙන් ලැබුණු පිටුවහල කියා නිම කරන්න බෑ. මට මේ දෙන්නගේ මේ ලක්ෂණ දෙකම ලැබිලා තියෙනවා. මගේ දරුවා හදන්නේ ඔය කියපු මූලධර්ම දෙකෙහි පිහිටලා. පින්තූරයක් වචන දාහකට වඩා දෙයක් කියන බව ප්‍රසිද්ධ කියමනක්. ඉතිං බලන්න මේ තියෙන්නේ කාවටි වගේ දෙයක පින්තූරයක්.
පින්තූරය ගත්තේ www.foodsafetynews.com වෙතින්.
හැබැයි මේ පින්තූරයේත් හරිටම කාවාටි පෙන්වන්නේ නෑ. නමුත් මේ වගේ. අපේ ගමේ ගඟ මැද්දේ(කිවුවට රෙදි ගලවා ගන්නේ නැතිව ගොඩ වෙන්න පුළුවන් දුරින්. අඩි විසිපහක් විතර වතුරට ගියාම) තියෙනව මහගල කියළා පර්වතයක්, ඒක හරියට අලියෙක් වතුරේ බැහැලා ඉන්නවා වගේ. හැබයි අලි තුන්දෙනෙක්ගෙ විතර ඉඩකඩ තියෙනවා. ඒ ගලට අඩි 10 විතර දුරින් තවත් ගලක් තියෙනවා. එතැනට යන්න නම් පීනන්න පුළුවන් වෙන්න ඕනේ. මම දවසක් ඔතැනට ගියා ට්‍රැක්ටර් ටියුබ් එකක් වාඩි වෙලා. කාවටි කියන්නේ එක පියල්ලේ බෙල්ලන් විශේෂයක්. සුද්දෝ මේවට කියන්නේ මස්ල් කියළා. වාසනාවකට පේශි කියළා මේවා පරිවර්තනය වුණේ නෑ. මේක මොන වගේද කියනවා නම් මිහිරි පානයක්. කලුගලට බැඳිලා ඉන්නන් වගේ හැදෙන මේ බෙල්ලන් (ගංගාශ්‍රිත) ගලකින් සීරුවෙන් පහර දීලා ගලවා ගන්න ඕනේ. හැබැයි තදින් පහර දුන්නොත් ඒ ශ්‍රාවය ඉවත යනවා. ඉතිං මේ මිහිරි පානය සුරැකිව ඔබේ දෝතට ගන්න ඕනෙනම් හෙමින් හරවගන්න ඕනේ. එහෙම කර ශ්රූප් ගාලා උරන්න ඕනේ. ඒ වගේ ක්‍රීමි රසයක් මම මීට කලින් හෝ පසුව රස විඳලා නෑ. කාලයාගේ ඇවෑමෙන් මේවා තුරන් වුණා. අපේ තාත්තා කියන්නේ ගංගාශ්‍රිත ඉදි වුණු කොහු මෝල් නිසා මේවා විනාශ වුණා කියළා. බෙන්තොට කාවටි වලට ප්‍රසිද්ධ බව මම දැන ගත්තේ සුදු කළු සහ අළු කියන චිත්‍රපටයේ දෙබසකින්. අපරාදේ නාවල අන්නාසි, කෝට්ටේ දොඩම් රස කියන සින්දුවට මේ වචන දෙකත් දැම්මනම් අපිත් ගොඩ. මගේ පරපුරෙන් පස්සේ මේ වචන ඉතිහාසයට වත් එකතු වෙන්නේ නෑ. එනිසා තමයි මේ පුංචි සටහන ගම වෙනුවෙන් තබන්නේ.

ඉතිං බෙන්තොට කියන මේ සුන්දර ගම් පියසට බැස්සම සංචාරකයන්ට කරන්න දේවල් බොහොමයක් තිබුණා. ඒ අතරින් වඩාත් සිත්ගත් දේ තමයි හබල් ඔරු වලින් ගං කලපුව දිගේ ඉහලට ගමන් කරන එක. මේවා ගැන සුද්දෝ දන්නා එකක්යැ. අන්න ඒ අඩුව පුරවන්න තමයි අපේ ගමේ සංචාරක ව්‍යාපාරයට බද්ද වුණු ගයිඩ් වරු බිහි වෙන්නේ. පසු කාලෙක බීච්බෝයි කියළා කොටසක් ඇති වුණා. මේ කියන්නේ ඒ ගැන නොවෙයි. බොහොම අහිංසක මිනිසුන් කොට්ඨාශයක් ගැන. අහිංසක කිවුවට අහිංසක නෑ. රැවටිලි කාරයෝ. මොකද සමහර වෙලාවට දුන් පොරොන්දු ඉෂ්ඨ කර ගන්න බැරි වුණාම එක එක බොරු කියනව. ද වගේ අන්තර්ජාලය වගේ මාධ්‍ය නැති හැත්තෑගණන් වල ඔවුන් කියපු බොරු වලට සුද්දෝ අහු වුණා. මේ ගයිඩ් වරු මොන වගේද? මෙයාලා සරම අඳින, මේ ගම හෝ අහල ප්‍රදේශ වළින් මේ කියපු මුවදොරට වෙන්න ජීවත් වෙච්චි අය. මේ අය වැඩිදුර අධ්‍යාපනයක් ලබපු අය නොවෙයි. නමුත් සාමාන්‍ය අධ්‍යාපනයක් ලබපු අයත් හිටියා. ජයවර්ධන අයියා සහ වාඩියේ සුනිල් අයියා කියන්නේ ඒවගේ දෙන්නෙක්. මට හොඳටම මතකයි එයාලා ඉංග්‍රීසි ඉගෙන ගන්න වුණු මහන්සිය. හවසට මගෙයි අක්කගෙයි ඉංග්‍රීසි ඉගෙන ගත්ත පොත් ඉල්ලගෙන අපෙන් ඒ ගැන අහගෙන ඉගෙන ගත්තා. මේ වගේ විස්සක තිහක විතර කණ්ඩායමක් මේ හෝටල් වල දොරවල් අසළ ගැවසෙමින් හිටියා. මෙයාලා අතර මේ සුද්දන් බෙදා ගන්න බැරිව ගැටුම් ඇති වීම වලක්වා ගන්නට එයාලටම ආවේනික සම්ප්‍රදායක් තිබුණා, ඒ මුලින්ම ඒ සුද්දෝ ජෝඩුව, කණ්ඩායම හෝ තනි සුද්දා - සුද්දී සමග වචන හුවමාරු කරගත් හෝ දුටු කෙනා කියනවා ඒ මගේ පාටිය කියළා. එහෙම කිව්වොත් එදා ඉඳන් සුද්දෝ පිටත්ව යන දවස දක්වා පමණක් නොවෙයි ඊළඟ වාරේ ආවත් ඒ පාටිය එයාලගේ. ඉතිං කාගේවත් පාටියකට වෙනත් කෙනෙක් කිට්ටු වෙන්නේ නෑ. එහෙම නොකරපු අවස්ථාත් නැත්තේම නෑ. ඒ වගේ අවස්ථාවන් ඔවුන්ගේ පාරිභාෂික ශබ්ද මාලාවේ හැඳින්වෙන්නේ පාටි කපනවා කියළා. අපිට ඉංග්‍රීසි ලියන්න පුළුවන් වේගෙන එනකොටම, ලොකු ඩිමාන්ඩ් එකක් ආවා. ඒ කිව්වේ අක්කටයි මටයි. ඒ මේ වගේ විරසක වෙච්ච පාටි වලට හිත හැදෙන්න ඔවුන්ගේ දුක් ගැනවිලි ලියන්න. අපිත් බොහොම අමාරුවෙන් ගැටහිච්ච කැඩිච්ච ඉංග්‍රීසියෙන් හැබැයි පැහැදිලි අකුරෙන් මේවා ලියලා දුන්නා. සුද්දෝ සමහරවිට බඩ අල්ලාගෙන හිනා වෙන්නත් ඇති. අපි දෙන්නා වැඩියෙන්ම පාවිච්චි කළ වචනය තමයි Honest නොහොත් අවංක කියන වචනය. විශ්වාසය බිඳෙන්නේ වංක වූ තැන නිසා. අපිත් නිර්ලෝභීව ඕනෑම වංචාකාරයෙක් හඳුන්වන්න මේ වචන භාවිතා කළා. විශේෂයෙන්ම අපේ ඉස්සරහ ගෙදර මහින්ද සහ මහේෂ් අපේ මිතුරන් දෙදෙනා තමයි මේ අවස්ථා අපිට උදා කරලා දුන්නේ.

ඉතිං මේ ගයිඩ් වරු කරන්නේ ගාලු පාර දිගේ,නොයෙකුත් ආලවට්ටම් යොදා මේ සංචාරකයන් ඔරුව වෙත කැඳවාගෙන එන එක. මේ ඔරු අපේ නැන්දලාගේ ඉඩමත්, ගුණසේකර වලව්වත් අතරින් තිබුණ පැරණි ගාලු පාර කියන, ගල් ඇතිරූ මාවත කෙළවරට වෙන්න තිබුණ පුංචි තොටුපලට කැඳවාගෙන එනවා. ඒක හරියට පෙම්වතෙක් තම පෙම්වතියත් එක්ක මුලින්ම පාරක් දිගේ ඇවිදන් යනවා වගේ වැඩක්. ඔවුන් මේ සංචාරකයන්ට පවසනවා ගඟේ ඉහලට ගියොත් කිඹුලන් බලා ගන්න පුළුවන් බව. ඔවුන් මේ යාත්‍රාව හඳුන්වන්නේ කැටමරාන් යනුවෙන්. නමුත් මේ කරිජ්ජ තියෙන කලපුවේ කිඹුලන් සොයා ගන්න නෑ. ඔවුන් පෙන්වන්නේ කිලෝමීටර තුනක් විතර ඈතින් ඇති කඩොලාන දුපත අසල ඇති කබරුන්. දුරතිය පෙන්වා බිය වැද්දු පසු ඔවුන් දියඹ වෙත නික්මෙනවා. ඉතිං සුද්දෝ රැවටෙනවා. මොකද ඔවුන්ගේ රටවල කිඹුල්ලු නැති නිසා. අද තරම් අන්තර්ජාලය හෝ මුද්‍රිත මාධ්‍ය දියුණු නැති මේ කාලේ පහසුවෙන්ම ඔවුන්ට මේ කාර්ය කරගෙන යන්න පුළුවන් වුණා. මේ කණ්ඩායමේ හිටියා එක් විශේෂිත පුද්ගලයෙක් ඔහු ජයසේන නමැති කාලවර්ණ පුද්ගලයෙක්. නමුත් සිංහල අකුරු හොඳින් ලිවීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහු කළේ මගේ යාබද ඉඩමේ තිබෙන මහ ඉස්කෝලේ නොහොත් කුමාර විද්‍යාලයට ඔවුන් රැගෙන විත්, වාඩි කර ඔවුන්ට සිංහල පිලිබඳ මූලික දේශනයක් සැපයීම. සුද්දන්ගේ නම් අසා කළු ලෑල්ලේ ඒවා තඩි අකුරෙන් ලියා පෙන්වීම.

පසුකාලීනව ඔවුන් කළ මේ එදාවේල ව්‍යාපාරය පොලීසියේ කන් වලටත් ගියා. අවසානයේ බෙන්තොට වෙරල ස්වදේශික අපිට තහනම් ප්‍රදේශයක් වුණා. ඒ ගැන වැඩියෙන්ම සතුටට පත් වුණේ ගුරුවරියක් වූ මගේ මව. ඒ කිසි ලෙසකින් අප මුහුදු වෙරළ වෙත ප්‍රවේශ වීම වැලකීමට. එහි ඇති ප්‍රශ්නය එදා අපිට වැටහුණේ නැති වුවත්, අද කදිමට එය පැහැදිලි වෙනවා. අපේ ගම ආශ්‍රිතව බිහි වූ බීච්බෝයි වරුන් ප්‍රමාණය එයට සාක්ෂි සපයනවා. මේ ව්‍යාපාරය ආශ්‍රිතව බිහි වූ වාග් මාලාවක්ද තිබෙනවා. ඒ ඇල්බීසියා වලට වැටට හිටෝනියා, බෙලි කොළ වලට(වල් බෙලි) හැලප ඔතේනියා වැනි වචන. මේවාට අමතරව කලාවන් ප්‍රංශ, ජර්මන් ඉතාලි භාෂාමය වචන අදත් අප ප්‍රදේශ වල ජන වහරේ පවතිනවා. අමීගෝ, අල්ටේ, කයින ආනු, නූත්‍රාල්, බොන්ෂු, මගේ මතකයට එන කිහිපයක් පමණයි. පොලීසිය විසින් නිතරම රැගෙන යන මේ පිරිස මේ ප්‍රශ්නයට විකල්පයක් සොයාදෙන ලෙස එවකට ප්‍රදේශයේ දැනුවත් පුද්ගලයන් වූ මගේ පියා, විලී සර්, රිචම්න් සර් වැනි අයගෙන් ඉල්ලා සිටිය. පසුව රිච්මන්ඩ් සර් සහ මගේ පියාගේ ප්‍රධානත්වයෙන් ගයිඩ් සංගමය යනුවෙන් සංවිධානයක් බිහි කර ගත්තා. පොලීසියේද සහභාගීත්වය ඇතිව ඔවුන්ට ආචාර ධර්ම පද්දතියක් කියා දුන්නා. නමුත් පැරණි රැවටිලි ඔවුන්ගෙන් ඉවත් කරන්න මේ දෙදෙනාට හැකි වුණේ නෑ. පොලීසිය ඔවුන් පසුපස එලවාගෙන එනවිට ඔවුන් අපේ නිවසේ ඉදිරිපසින් ඇතුල් වී පසුපසින් දිවගොස් පිට්ටනියට ගොස් සැඟව ගියා. ඔවුන් වෙනුවෙන් මගේ පියා කළ සේවය අගයනු වස් ඔවුන් අපට පෑන්, පැන්සල් වැනි දේ ගෙනැවිත් දුන්නා. ඒවා ප්‍රංශයේ ජර්මනියේ නිෂ්පාදිත ඉතා ඉහළ මට්ටමේ ඒවා. ටක්-ටික් පෑන් අපේ අතට පැමිණියේ ඒ ආකාරයට. නමුත් ඔවුන්ගේ මේ අපේ වත්තේ සැරිසැරීම මගේ මවට කොහෙත්ම දිරවන්නේ නැති දෙයක් වුණා. ඇය මේ පිළිබඳව පියාට නිතරම මැසිවිලි නැගුවා.

ඉතිං මේ මග පෙන්වන්නන් ගැන මගේ මතකයට ආවේ අපේ බ්ලොග් කරුවන් තුලත් මෙයට සමාන ලක්ෂණ බොහොමයක් තිබෙන නිසා. ඉයන්ලා සක්‍රීයව බ්ලොග් වලට එකතු වීමට පෙරත්, මෙහි සිටියා පාටි හිමිකරුවන් වූ මග පෙන්වන්නන් සහ පාටි කපන වර්ගයේ පිරිසක්. ඒ විදෙස්ගත බ්ලොග් කියවන පුද්ගලයන් මෙහි පැමිණෙන විට ඔවුන්ගේ මග පෙන්වන්නන් වන පිරිසක්. නම් වශයෙන් සටහන් කිරීම සදාචාරාත්මක වන්නේ නෑ. ඒ වගේම අලුතෙන් බිහි වී තිබෙන ගයිඩ් වරු තමයි හොඳ - හොඳ බ්ලොග් වලට අපිට පාර පෙන්වන අය. ඒ අතරින් අජිත් කුමාර කළෙක ඉඳන් මේ දේ කරගෙන යනවා. සමස්තයක් විදියට ඔහු ඕනෑම වර්ගයක බ්ලොග් එකක් පිලිබඳ සටහනක් තබන කෙනෙක්. ඉන් පස්සේ මාතලන්, අටමා, කල්‍යාන, නෙලුම් අජිත් සහ ඉයන් මේ වැඩේට අත ගහලා තියෙනවා. හැබැයි මේ දෙවෙනි පිරිසගෙන් කාටවත් හානියක් නැති බවත් සඳහන් කරන්න ඕනේ. ඔවුන් මග පෙන්වන්නේ අලුත් බ්ලොග් වලට මිස, අමාරුවෙන් කීයක් හරි උපයාගෙන නොරට සිට මෙහි එන පිරිසගේ ඩොලර් වලට විදීමේ පටු අරමුණෙන් නොවන බව සටහන් කළ යුතු වෙනවා.
 

Tuesday, July 10, 2018

කැඩෙන්න කැඩෙන්න මුවහත් වූ යුගෝස්ලෝවියානු පාපන්දුව ......

යුගොස්ලෝවියාව ..... ? මේ රට ගැන ඔබ සමහරවිට අසා නැතුවත් ඇති. නමුත් 1976 දී කුඩා දරුවන්ව සිටි අප හට යුගොස්ලෝවියාව අමතක නොවන මතකයක් ඉතිරි කර ඇත. ඒ ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදුනු පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව නිසාය. සිරිමාවෝ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති එකී සමුළුව අළලා බොහෝ පුවත් මෙන්ම කට කතාද නිෂ්පාදනය වූයේ හතු පිපෙන ගානටය. ඒ වනවිට වැන්දඹුවකව සිටි ඇයට යුගෝස්ලෝවියා අගමැති මාෂල් ටිටෝ සහ සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූගේ නම් පටබැඳ නිර්මාණය වූ කතා එවකට එක්සත් ජාතික පාක්ෂිකයන් පවසා සිටියේ ඇසින් දුටු ගානටය. සියළු පුවත් රේඩියෝ සහ ප්‍රවෘත්ති පත්‍ර වලට සීමා වූ යුගයක, සංවෘත්ත ආර්ථිකයක් පැවති යුගයක, ලෝකය ගැන අල්ප දැනුමක් සාමාන්‍ය ජනතාව තුළ පැවති යුගයක මෙවැනි කටකතා වලට අත්තටු ලැබුණු එක පුදුම වන්නට කාරණයක් නොවීය. මේවායේ සත්‍ය - සත්‍ය අප දන්නේ නැත. නමුත් මේවා පිලිබඳ පුවත්, පත්‍ර මාර්ගයෙන් අප කියවුයේ විශ්මයකිනි. එකළ මගේ සිතේ වඩාත් පැලපදියම් වුයේ මේ එක්-එක් රටවල කොඩි පිලිබඳ මතකයන්ය. කුඩා දරුවාන් වූ අපගේ සාකච්ඡාවට බඳුන් වුයේ, ඒ සඳහා පැමිණි කාර් රථ, ඒ රටවල කොඩි, අගනගර, අගමැතිවරුන්ගේ නම් ආදියය. නමුත් අපේ ගම් වල වැඩිහිටියෝ මේ සමුළුව හැඳින්වුයේ කාපිරි මගුල කියාය. ඒ කළු සම සහිත රටවල නාකයන්ගේ පින්තූර දැකීමෙන්ම ඇති වූ අප්‍රසාදය නිසාද යන්න සැක සහිතය. කෙසේ වෙතත් යුගොස්ලෝවියාව යනු තවත් ඉතිහාසයට පමණක් ඉතිරි වූ රටකි. මා කළින් සඳහන් කළ කාළයේ නම් එය සෞභාග්‍යයෙන් පිරි රටක් වන්නට ඇත. නමුත් ලෝකයේ කිසිම දෙයක් සදාකාලික නොවේ යනම් කියමන තවත් වරක් සනාථ කරමින් ශක්තිමත් කොමියුනිස්ට් රාජ්‍යය කෑලි-කෑලි වලට කැඩී යන්නේ අප යෞවනය පසු කරමින් සිටි අනූව දශකයේ මුල් භාගයේය.

යුගොස්ලෝවියාවේ දේශපාලන තතු කෙසේ වෙතත්, පාපන්දු ක්‍රීඩාවට ඉහළ දක්ෂතාවක් දැක්වූ, 1930 දී පැවැත්වූ ආරම්භක ලෝක කුසලානයට ක්‍රීඩා කළ රටවල් අතරට එක් වුවා පමණක් නොව, පාපන්දු ලොව කිරුළු පලන් රජ වරු වූ බ්‍රසීලය පරදා පළමු තරගය ජය ගන්නටද සමත් විය. ඒ ලකුණු 2-1 වශයෙනි. එපමණක් නොව එකළ ලෝකය යුගොස්ලෝවියාව හඳුන්වනු ලැබූයේ යුරෝපයේ බ්‍රසීලය ලෙසය. එම වැකියෙන්ම පමණක් ඔවුන් කෙතරම් දක්ෂ පාපන්දු කණ්ඩායමක්ද යන්න පැහැදිලි වෙයි. 1930 කාලයේදී මේ තරග සඳහා ගමන් බිමන් සිදු වූයේ නැව් මාර්ගයෙන් බවද සිහිපත් කළ යුතුය. එකළ මෙකී කණ්ඩායමකට සහභාගී වන්නන් අතීතයේ ශ්‍රී පාද වන්දනා කරන්නට යන සුපින්වතුන් මෙන් තම දේපළ උරුමක්කාරයින්ට ලියා යන්නට ඇතැයිද කාට හෝ සිතුනහොත් එය පුදුමයක් නොවේ. එවන් පරිසරයක මෙවැනි තරගාවලීන් ආරම්භ කළ පුරෝගාමීන්ට පාපන්දු ලෝලී අපගේ ප්‍රණාමය හිමි විය යුතුය. විකිපීඩියා ආශ්‍රයෙන් එම මුල් පාපන්දු කණ්ඩායමේ ඡායාරුපයක් ලබා ගන්නට හැකි වීම සතුටට කරුණකි. 
පින්තූරය ගත්තේwww.wikipedia.org වෙතිනි.
මෙම කණ්ඩායම ලෝක 1930 ලෝක කුසලානය අවසන් කරන්නේ සිවුවන ස්ථානය හිමි කර ගනිමිනි. මෙයට අමතරව 1948 සහ 1952 ඔලිම්පික් තරගාවලීන්හීදී රිදීපදක්කම්වලටද යුගොස්ලෝවියාව හිමිකම් ලැබීම ඔවුන්ගේ දක්ෂතා මනාව ප්‍රකට කරන සාධක වෙයි.අවසන් වරට ඔවුන් යුගෝස්ලෝවියා නාමයෙන් පාපන්දු ලෝක කුසලානයකට පිවිසෙන්නේ 1998 වර්ෂයේදීය. යුගෝස්ලෝවියා නාමය රැගෙන යන රට ලෙස ඇද පිළිගන්නේ සර්බියාවයි.
මේතරම් විස්තරයක් යුගොස්ලෝවියාව  ගැන සටහන් කළේ මන්දැයි මෙය කියවන ඔබට සිතෙනු ඇත. මේ මාතෘකාව තෝරා ගැනීමේදී පවා, ඉන් කැඩී ආ කණ්ඩායම් අද දක්වන දක්ෂතාවන් අනුව, අතීතයේදී ඔවුන්ගේ මුතුන් මිත්තන් කෙතරම් දක්ෂතා දක්වන්නට ඇතිද යන්න යන කුකුස ඒ සඳහා පාදක වන්නේය. තවද මෙය කියවන බොහෝ දෙනෙකු  මේ  රට ගැන අසා නැතිවාට සැක නැත.

මා කලින් පැවසු පරිදි අතීතයේ සෞභාග්‍යමත්කොමියුනිස්ට් රාජ්‍යයක්(බෙදී වෙන් වන්නට කළින් ඒක පුද්ගල ආදායම ලෝකයේ 59 වැනි තැනට හිමිකම් කීවේය. එය ඩොලර් 5040ක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය සඳහන් කරයි). එය එකළ හඳුන්වා තිබු ණේ යුගෝස්ලෝවියානු සමාජවාදී ෆෙඩරල් ජනරජය ලෙසය. මෙහි ෆෙඩරල් යන වචනය සඳහන්ව තිබීමම එය පසුව බෙදුණු පොකුරු රාජ්‍යයන් සමුහයක් වීමට හේතු වුවාදැයි සැක මතුවේ. මේ දේශපාලනයට වඩාත් උචිත වැකි කිහිපය සටහන් කිරීමේ හේතුව ක්‍රීඩාවන් වඩා හොඳින් සිදු වීමට රටක දේශපාලන ස්ථාවරය මෙන්ම සවිමත් ආර්ථිකයද පිටුවහල් වන බව අද ලෝකයේ දියුණු ක්‍රීඩා කරන රටවල් දෙස බැලීමේදී පැහැදිලි වන නිසාය.

පහතින් දැක්වෙන රුපයේ එය බෙදී යාම ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි. අද එය වෙන් විය හැකි කුඩාම ඒකක දක්වා වෙන් වී හමාරය. එයින් බෙදුණු රාජ්‍යයන් එකක් වත් ලැබූ දියුණුවක් වේදැයි යන්න විමසා බැලීමෙන් පැහැදිලි වෙයි. නමුත් ආශ්චර්යයක් මෙන් මෙසේ බිඳුණු යුගෝස්ලෝවියා රටවල සියල්ලම පාහේ සවිමත් පාපන්දු කණ්ඩායම් කිහිපයකට හිමිකම් කියයි. එය මා ඉහතින් සටහන් කළ වැකිය බොරු කරවන්නෙකැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් එය ක්‍රීඩාව පිලිබඳ ඇති නොනිත් ආශාව නිසා ආ ගමනක් බව පැහැදිලිය. මේ කැඩුණු රාජ්‍යයන් යුරෝපීය රටවල් වීම වාසනාවක් වන්නට ඇත.

මෙහි වර්ණ ගන්වා ඇත්තේ කැඩුණු යුගොස්ලෝවියාවේ රටවල් කිහිපයය. නිල් පාටින් ස්ලෝවේනියාව, කහ පාටින් ක්‍රොයේෂියාව, කොළ පාටින් බොස්නියා සහ හර්සගොවිනාව, රෝස පහන් සර්බියාව සහ දම් පාටින් මැසිඩෝනියාවද පෙන්නුම් කරයි. නමුත් මේ රටවල් බිඳී යාම සබන් බුබුළු පිපෙන්නා සේ දිස් වන කදිම පින්තූරයක් පහතින් දැක්වේ.
පින්තූරය ගත්තේ www.wikipedia.org වෙතිනි.
මේ පින්තූරය දෙස සෑහෙන වෙලාවක් බලාසිටියත් එය කෙතරම් කොටස් ගණනකට කැඩෙනවාදැයි නිනව්වක් ඇති නොවේ. එය අපේ රටේ සංගීත කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂ බිඳෙන ආකාරයක් සිහි ගන්වයි. නමුත් මගේ මාතෘකාව දෙස යලිත් බලන්න ඔවුන්ගේ පාපන්දු කුසලතාව බිඳින්නට කිසිවකුට හැකි වී නැත. රටක් ලෝස නොබීඳීී යුගොස්ලෝවියාව අදත් පැවතියේ නම්, ඔවුන් යුරෝපා හෝ ලෝක කුසලානය දිනා ගනු ඇත. එය බිඳී ගිය රටවල් වල අද ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පැහැදිලි වනු ඇත. ක්‍රොයේෂියාව 2018 මේ වනවිටත් අඩුම තරමින් එහි සිවුවන ස්ථානයට උරුමකම් කියයි.
 
 
රට
ශ්‍රේණිගත කිරීම
ක්‍රොඒෂියාව
20
සර්බියාව  
34
බොස්නියා සහ හර්සගොවිනා
40
මොන්ටනීග්‍රෝ
43
ස්ලෝවේනිය
51
මැසිඩෝනියාව
71
කොසොවෝ
141

මෙහි සර්බියාව, මොන්ටනීග්‍රෝ, කොසොවෝ ලෙස රටවල් තුනක් ලෙස පාපන්දු ක්‍රීඩා කරතත් ඔවුන් අයත් වන්නේ සර්බියවටයි. බෙදී යත්දී මේ බොහෝ රටලවල් ශ්‍රේණිගත වන්නේ 150 රේඛාවේය. එය එකළ ශ්‍රී ලංකාව පැවති ස්ථානයයි. නමුත් ඔවුන්ට නියමිත තැනට වේගයෙන් ඔවුන් ගමන් කොට ඇත. ක්‍රොයේෂියාව 1998 දී සිවුවැනි තැනට පත් වන්නේ ලෝක කුසලානයේ සිවුවන ස්ථානයද හිමි කර ගනිමිනි. මෙවරද යලිත් ඔවුන් හැකියා පරිපූර්ණ කණ්ඩායමක් බව පෙන්වා ඇත. මේ අහිංසක ජාතිය ලෝක කුසලානය මෙවර දිනා ගන්නවා නම් මා පුද්ගලිකව ඉතා කැමතිය. මන්ද ඔවුන්ගේ කණ්ඩායම ඇහින්දාස් කණ්ඩායමක් නොවන නිසාය.

අප අමතක නොකළ යුතු කාරණය, ඔවුන් දස්කම් දක්වන්නේ පාපන්දු ක්‍රීඩාවට පමණක් නොවන බවය. ඔවුන් මළල ක්‍රීඩා වලටද ඉදිරිපත් වන රටවල්ය. නොවැක් ජොකොවික් ලෝක පූජිත් ටෙනිස් ක්‍රීඩකයා සර්බියානු ජාතිකයෙක් බවද මෙහිලා සිහිපත් කලයුතුය. මෙම රටවල් සියල්ල එක ගොන්නකට දමා කණ්ඩායම් බිහිකර ලෝකයේ රටවල් සමග ක්‍රීඩා කිරීමට යෙදෙව්වා නම් ඔවුන් කෙතරම් ඉහලකට ගමන් කරනු ඇතිද ? ඔවුන්ගේ වෙන් වීම අවාසනාවන්තම වී ඇත්තේ පාපන්දු ක්‍රීඩාවට බව මගේ විස්වාසයයි.

Saturday, June 16, 2018

පාපන්දු ගැන කථා නොකරම බෑ ......

2018 පාපන්දු ලෝක කුසලානය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.1982 ඉඳන් මේ දක්වා මේ ලෝක කුසලාන තරගාවලි වල තරග වලින් වැඩි හරියක්මා නරඹා තිබෙනවා. මගේ කාළ සටහනත් එක්ක මෙවර තරගාවලියට මගේ තියෙන්නේ අඩු උනන්දුවක් කියළා මටම හිතෙනවා. වෙනද එය ඇරඹෙන්න කළින් විවිධ පුවත්පත් වල අය තීරු ලිපි සියල්ල කියවන්නේ පුදුම කෑදර කමකින්. පසුගිය ලෝක කුසලානය වෙලාවේ මම ඉන් පෙර පැවති තරගාවලි වලදී භාවිතා කරපු පාපන්දුව, සුරතලා, සහ තාක්ෂණය වගේ දේවල් ගැන ලිපි මාලාවක් ලියන්න යෙදුනා. නමුත් මෙවර ඒ සඳහා අවශ්‍ය කාළය හෝ විවේක මානසික තත්වයක් මට නැහැ. නමුත් මේක අත අරින්නත් බෑ. 

මුලින්ම පාපන්දුව ගැන මම තියපු මෙන්න මේ සටහන වෙත ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. මේ ටික නැවතත් මෙතන ලියන්න ඕනේ නැහැනේ, අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ ලිපි දෙක කියවලා දැනුමක් ගන්න. ඉන් පස්සේ අලුතෙන් මෙතැනට එකතු වෙන්නේ මෙවර රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වුණු පාපන්දුව ගැන පුංචි සටහනක්. 

1970 සිට මේ දක්වා ලෝක කුසලාන තරගාවලි සඳහා පන්දුව නිර්මාණය සහ නිල සැපයුම්කරු වෙන්නේ සුප්‍රසිද්ධ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදකයෙකු වන ඇඩිඩාස් සමාගම. ඔවුන් ෆිෆා හී සහකාරක සමාගමක් වශයෙන්ද හඳුන්වා දෙන්න පුළුවන්. ඒ මේ දෙගොල්ලන්ගේ සම්බන්ධතාව 1970 සිට මේ දක්වා පවතින නිසා. ඒ නැතත් පවුන් සත්කාරක සමාගමක් ලෙස ෆිෆා නම් කර තිබෙනවා. ඔවුන් නිෂ්පාදනය කරන මේ විශේෂිත පාපන්දුවට විශේෂිත නමක් එකතු කරන්නත් ඇඩිඩාස් ආයතනය අමතක කරන්නේ නෑ. ඒ සඳහා විශාල පසුබිම් කතාවක් බොහෝවිට තිබෙනවා. නමුත් මෙවර පාපන්දුවත් ඔවුන් නම් කරන්නේ ඔවුන් මුළින් නිර්මාණය කළ ටෙල්ස්ටා නාමයෙන්ම වීම විශේෂයක්. මෙවර නිල පාපන්දුව ඔවුන් නම් කරන්නේ ටෙල්ස්ටා 2018 යනුවෙන්. 

මෙම පාපන්දු නිර්මානයේදී ඔවුන් විවිධ පර්යේෂණ වල නිරත වෙනවා.පසුගිය අවස්ථාවල විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරමින් පන්දුව තෙතමනය නිසා බර වැඩි වීම, වේගයෙන්ගුවනේ පා වීම, ඉපිල්ලීම වැනි කාරණා වෙනුවෙන් විවිධ පර්යේෂණ වල යෙදෙමින්, එය ක්‍රීඩාවට වඩාත් යෝග්‍ය වන ලෙසට නිර්මාණය කරන්න ඔවුන් සමත් වුණා. මෙවර තරගාවලියේදී ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වූ කාරණය වුණේ, ගුවනේ ගමන් ගනිත්දී එය පහත් වීම්. ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කළ ඇඩිඩාස් පර්යේෂකයෝ මෙවර එම කදිම ජය ගන්න සමත් වුණා. නමුත් මේ පන්දුව ග්‍රහණයට අපහසු, එමෙන්ම දිගුදුර පහරවල් වලින් ගෝල් අත්පත් කරගන්නා පන්දුවක් බවට, ලෝක පූජිත ගෝල් රකින්නන් කිහිප දෙනෙකුම අනාවැකි ඵල කර තිබෙනවා. එහෙත් මේ වනවිට ලෝක කුසලානය ආරම්භ වී ඇති බැවින්, ඒ සඳහා කළහැකි දෙයක් නැති බව ඔවුන්ම පවසා තිබෙනවා.  

විශේෂයෙන්ම ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විසින් එල්ල කරන "නකල් බෝල්" හෝ ගුවනේ ගමන්මග අනුමාණ නොකලහැකි ආකාරයෙන් ගමන් ගැනීම වලකන්න, ඇඩිඩාස් පර්යේෂකයන් ඩොලර් මිලියන ගණනාවක් වැය කරමින් පර්යේෂණ සිදු කොට තිබෙනවා. මේ "නකල්" සංකල්පය පාපන්දුවට ලැබෙන්නේ බේස් බෝල් ක්‍රීඩාවෙන්. එහිදී පන්දුව දඟ කැවීමෙන් හෝ එසේ නොකිරීමෙන් එහි ගමන්මග අනුමාණ නොකලහැකි ලෙස යැවීම බේස්බෝල් පන්දු විසි කරන්නන් කාළයක පාටක් සිදු කරන දෙයක්. පසුව මෙය පාපන්දුවට පහර දෙන අවස්ථාවේ යොදා ගැනීමෙන් එහි ගමන් මග වක්‍ර කිරීමට හෝ එසේ නොකිරීමෙන් පතුරමක ගමන්මග ආකාරයෙන් යැවීමට පාපන්දු දක්ෂයින් සමත් වුණා. වසර කිහිපයකට පෙර තිරගත් වූ "බෙන්ඩ් ඉට් ලයික් බෙකම්" චිත්‍රපටය පසුබිම් වන්නේත් මෙවැනි හැකියාවක් ඇති ඉන්දියානු යුවතියකගේ ජීවිත කතාව වටා. 

හොඳයි පාපන්දුව ගැන එපමණයි, තරගාවලිය, අනාවැකි, සුරතලුන් සහ කණ්ඩායම් ගැන කාළය තිබෙන ආකාරයෙන් සටහන් කිහිපයක් තබන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. දිගු කාලයක් පැවති බ්ලොග් විරාමය අවසන් කර මේ පුංචි සටහන තබන්න මා දිරිමත් කළේ පාපන්දු ලෝක කුසලානය බව මතක් කරන්න ඕනේ.

Monday, March 26, 2018

අවුකනට එහා පිළිමේ ......

අවුකන ප්‍රතිමාව ඉතාමත් සොඳුරු නිර්මාණයක් විදියට තමයි ඒ පිලිබඳ විසේසඥයින් සහ බෞද්ධ ජනතාව සලකන්නේ. එතැනට ගිය කෙනෙක් විශ්මයෙන් ඒ දෙස බලා සිටිනු හැර වෙන කුමක් කරන්නද ? මේ අත්දැකීම මමත් වින්දා. මගේ මුහුණු පොතේ ඒ පින්තූර බෙදා ගත්තා වගේ මතකයි. ඒත් ආපසු ගොස් ඒ පින්තූර හොයාගෙන එනවාට වඩා හොඳයි ගූගල් දේවියන්ගෙන් පින්තූර දෙකක් ඉල්ලා ගන්න එක. මොකද ෆේස්බුක් කියන්නේ සූදුවක්. මම මගේ මුහුණු පොතේ ඒකට ස්ලෝගන් එකකුත් තැබුවා "පහළට යන ගමන්" කියළා. ගියොත් කරන්නේ ඕන දේ නෙවෙයි. ඒ වගේමයි ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය, කාට හරි කෝල් එකක් ගන්න ෆෝන් එක ගත්තොත් වට්ස් ඇප්, වයිබ්ර්, ෆේස්බුක්, ඉමෝ ටික බලලා ඉවර වුණාම ගිය දේ මතක නැති වෙනවා. තව ඩින්ගෙන් ලියන්න ආව දේත් මට අමතක වෙනවා. 

ඉතිං මගේ කතාව අවුකන ගැන නෙවෙයි. අවුකන ගැන බොහේ දෙනෙක් බොහෝ දේ කථා කරලා තියෙනවා.මම කියන්න යන්නේ එයාගේ සහෝදරයා හදපු දෙවෙනි පිළිමේ ගැන. ඒ ගැනත් මම දන්නේ බොහොම පුංචි විස්තරයක්.  නොදන්නා අයට දැන ගන්න ඒ කතාව කෙටියෙන් කියන්නම්. අයියා මලෝ දෙන්නෙක් තමයි මේ විදියට හූවක දුරින් පිළිම හදන්න පටන් අරන් තියෙන්නේ. කුමක් හෝ තරගයක් තිබුණාම කෙනෙක් ජය ගන්නවා, කෙනෙක් පරදිනවා. ඉතිං මේ තරගයේ මුලික කොන්දේසියක් තමයි, කලින් ඉවර වුණ කෙනා හුවක් තියලා තමන්ගේ ජයග්‍රහණය සමරනවා කියන එක. එතකොට අනිකා දන්නවා තමන් පරාදයි කියළා. නමුත් ඒ කොන්දේසි වල නෑ දෙවෙනියා මගින් වැඩේ අල්ලලා දානවා කියළා. එහෙනං කොහොමද වැඩේ මග හිටියේ? දැන් කාලේ ප්‍රොජෙක්ට් වලට වගේ සල්ලි ඉවර වෙලා වැඩේ මග අැණ හිටියද ? නෑ. දෙවෙනියා තමන්ට ඇති වෙච්ච ශෝකෙට පපුව පැලිලා මැරුණා. ඔය පපුව පැලුනා කිව්වට මම හිතන්නේ හාර්ට් කේස් එකක් තමයි හැදිලා ඇත්තේ. ඒ කාලේ චෙකප් දාන්නේ නැති නිසා පලවෙනි ස්ට්‍රෝක් එකෙන්ම කම්බස්. නැතිනම් ඒසා පින් කන්දරාවක් කරපු කෙනෙකුට ඒ වගේ ඉරණමක් අත් වෙයිද ?
පින්තූරය ගත්තේ : www.amazinglanka.com
මේක රැස්වෙහෙර කියළා මතක් වුණේ ගූගල් සර්ච් කළාම ආපු පින්තූරේකතාව කියෙව්වම

මට මේ නිධාන කතාව යලිත් මතකයට ආවේ අද හිතට  වද දීපු සිංදුවක් අහන්න ගිහිං ඔබේ නලයේ නොහොත් යූටියුබ් එකෙන් ඒකෙ වචන ටික දැක්කම. අපි බොහෝ ගීත වල මුල් කොටස පමණක් දන්න නිසා, ඒ කොටසේ ලස්සන විතරක් රස විඳින්න පුරුදු වෙලා ඉන්නවා. මේ වගේ සම්පූර්ණ ගීතය ලිරික්ස් එක්ක අහපු වෙලාවට තමයි, තේරුම හෝ නිධාන කතාව හොයාගෙන යන්න හිතෙන්නේ. වැඩේ තියෙන්නේ මේ ගීතේ මැද කොටස් කොහොම කිවුවද කියලත් හිතෙනවා. නමුත් මේ ගීතයේ පළමු කොටස(මම මේවට කියන ටෙක්නිකල් නේම්ස් දන්නේ නෑ, අර අන්තරා කොටසද මොකක්ද ), ඉතාම භාව පූර්ණව ගායනා කරන්න මටත් පුළුවන් ඒ වුණාට මැද කොටස් දෙක කියන්න නම් සක්කරයාගේ පුතා වයිමටත් බෑ කියලයි මට හිතෙන්නේ. මට සිංදුවක් නැගලා ගියොත් ඒක කට පාඩම් වෙනකං අහන සිරිතක් මගේ තියෙනවා. අන්න ඒ අමාරුව නිසා තමයි මේ අමාරුවේ වැටුණේ. ඒ නිසා තමයි මේ පොස්ට් එක වැටෙන්නෙත්. සමහරවිට මේකේ රචකයා මගෙත් එක්ක අමනාප වෙන්නත් පුළුවන්. නමුත් ඔහු ලියපු නිසදැසක් වෙන්න ඇති කියළා තමයි මට හිතෙන්නේ. මේකෙන් කියවෙන්නේ ඉතාම සරල ආදරයක් ගැන වෙන්න ඕනේ. නමුත් කියන ගායකයාව මේ වගේ අමාරුවේ දාන්න සින්දු ලියන එකනම් ...

මෙන්න ගීතය යූ ටියුබ් සබැඳියාව

තවත් ඇද - ඇද ඉන්නේ නැතිව සිංදුව මොකක්ද කියළා කියන්නම්. මාසේ අන්තිම දවස් නිසා වීඩියෝව දන්නේ නැතිව ඉන්නම්.
කවියක් වගේ විඳිනවා
පවනක් වගේ දැනෙනවා
මුහුදක් වගේ කැළඹිලා
සුළඟක් වගේ ආදරේ ......//
සුමුදුයි වදන්
අරුතක් නැතත්
බොළඳයි ඔවුන්
සොඳුරුයි හැඟුම්......//
කවියක් වගේ ......
 කඳුලුත් පිරෙයි
හසරැල් ගලයි
ඉවසුම් නොදෙයි
සොඳුරුයි හැඟුම් ......//
මම සංගීත විචාරකයෙක් නම් නෙවෙයි. ඒ වුණත් මම හොඳ රසිකයෙක්(මේ වාක්‍යයේ බ්ලොග් කාරයෝ දෙන්නෙක් ගැන කියවුණා. කෙනෙක් නම් අප අතරින් සමු ගත්තා. අනිකා ගැන කිසිම හා-හූවක් නෑ). ඒ නිසාද මන්දා මම පුරුදු වෙලා තියෙන්නේ එක ගීතෙක එක රිදම් එකක් තියෙන ඒවා අහන්න. මෙහෙම නැති ඒවාත් තියෙනවා. මල් පිපෙයි - දෙනෙත් ඇරෙයි කියන අඹ යහළුවෝ ගීතය ඒ වගේ එකක්. නමුත් එක බටහිර ආරේ තනුවක් බවයි මගේ විශ්වාසෙ. බටහිර ගීත නම් අනිවාර්යයෙන් රිදම් දෙකක් හෝ වැඩි ගණනක යනවා. මට හිතුණා මේක රී-මේක් එකක් කළොත් හරි යයි කියළා. ලිරික්ස් එහෙම හදනවට කියන්නේ රී මේක්  නෙවෙන වග  මම දන්නවා. නමුත් ඒ කර්තව්‍යයට කියන්නේ මොකක්ද කියළා මම දන්නේ නෑ.මොකද මේක මගේ ඉන්ඩස්ට්‍රි එක නෙවෙන හින්දා. නමුත් මම ගීත දෙකක් ලිවුවා. ඒවා තවතමත් මගේ ගාව තියෙනවා. එකක් ගායකයා හොඳටම කැමති වුණ එකක්. නමුත් දැන් ලංකාවේ ගීත කෙරෙන්නේ මාෆියා ක්‍රමයකට නිසා ඒවා ලත් තැනම ලොප් වුණා. මේ ගැන මට දයානන්ද රත්නායක අපේ සහෝදර බ්ලොග් කරුගෙන් හරි ඉයන් ලින්තොටගෙන් වත් උපදෙසක් ගන්න බැරි වුණා. මොකද මම එක ගීතයක් ලිවුවේ අපේ රටේ හොදටම ප්‍රසිද්ධ වුණු එක්තරා ගායකයෙකුගේ රිදම් එකට හරි යන්න. කොටින්ම මම ගීතය ලියද්දී හම් කළේ එයාගේ රිදම් එකට. ඒ නමුත් මම මේ ගීතය තවත් දෙදෙනෙකුගේ මිතුරන්ට යොමු කළා. දෙවෙනි මිතුරා තමයි මට හරි කතාව කිව්වේ. 
අයියේ, දැන් ලංකාවේ සිංදු හදන්නේ ඉස්සර ක්‍රමයට නෙවෙයි. කෙනෙක්  ලියපු සිංදුවක්, සංගීතය කරන කෙනා සංගීතය දාලා, ගායකයා කිව්වේ ඉස්සර. දැන් මේවා සල්ලි වලට ගන්න කොම්පැණි ඉන්නවා. එයාලා ගායකයාට අතට ලක්ෂ දෙකක් විතර දෙනවා. ඉන් පස්සේ ලියපු කෙනාට සිංදුවේ අයිතියක් නැති ගානයි. ඔය නිසා දැන් ගායකයොත් සින්දු කරන්නේ කොම්පැණි ක්‍රමේට. මොකද පාඩුවක් නෑනේ.
 ඔන්න කතන්දරේ. මම ගායකයාගේ නම කියන්නේ නැත්තේ එයා බොහොම කාරුණික පුද්ගලයෙක්. ඒ වගේම නොපැකිලිව මගේ ගීතය බලලා, ඒකෙ එක කොටසක් වෙනස් කරන්නත් මගෙන් ඉල්ලුවා. මම ඒ ටිකත් කළා. එයා එක වැඩසටහනක කිවුවා, දැන් කියන්න තරම් හොඳ ගීත ලියවෙන්නේ නෑ කියලා. මෙයා කිවුවේ සුභාවිත ගීත ලියවෙන්නේ නෑ කියළා. ඉතිං මම මේ චැලේන්ජ් එක අරගෙන එදාම එයාට මේ ගීතය වයිබර් කළා. අන්තිමට වැඩේ නොකෙරෙන තැනට ආවම, මමත් නිහඬ වුණා. මොකද මේක මගේ ඉන්ඩස්ට්‍රි එක නොවෙන නිසා. හැබැයි මම මේක කවුරු හරි ලවුවා කියවනවා. මොකද මට මේකට සල්ලි වියදම් කරන්නත් උවමනා නෑ. ඒ වුණාට මේක ගීතයක් කරන්න තියෙන ආශාව අත හරින්නෙත් නෑ.  

දැන් අපි අවුකන කතාවට ආපහු එමු. මට මේකට මේ  අවුකන  කතාව මාතෘකාව විදියට දාන්න හිතුන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මට මේ ගීතේ පේන්නේ  අර  පපුව පැලිලා මැරුණු කෙනා හදපු බුද්ධ ප්‍රතිමාව වගේ. මේක ලියපු කෙනාට අවමන් කරන්න හිතාගෙන ලියපු කතාවක් නෙවෙයි. මේක ලිව්වේ කවුද කියලවත් මම දන්නේ නෑ. හැබැයි මට හොඳටම විශ්වාසයි මේක නිසඳැසක් කියළා. මේ ශයිලිය ඒ ආරේ තියෙන්නේ. එහෙම නෙවෙයි නම් ගැත්තාට අනුකම්පා කරන සේක්වා. වැඩේ තියෙන්නේ මට මේක පෙනෙන්නේ එහමම තමයි. මේක මැද්දට තව වචනේ ගානේ එබුවොත් වැඩේ හරි යනවා. අපි නිකමට හිතමු පළමු (අන්තරා ද මන්දා) කොටසට "අනේ" කියන වචනේ එබුවා කියළා. ඔන්න එතකොට ඒ කොටස ලියවෙනවා මෙහෙම.
සුමුදුයි අනේ වදන්
අරුතක් අනේ නැතත්
බොළඳයි අනේ ඔවුන්
සොඳුරුයි අනේ හැඟුම්......//
මේ විදියට දැම්මම පළවෙනි කොටසේ රචනා ශයිලියටත් ගැලපෙනවා. තේරුමත් වෙනස් වෙන්නේ නෑ. වෙනස් වචන හතරක් දැම්මොත් තේරුම වෙනස් වෙන්න පුළුවන්. වැඩේ දෙල් වෙන්නේ දෙවෙනි කොටසට හරි යන තනි වචනයක් හොයන්න ගියාම. මේ කෑල්ටත් "අනේ" ම දාලා බලමුද ?

 කඳුලුත් අනේ පිරෙයි
හසරැල් අනේ ගලයි
ඉවසුම් අනේ නොදෙයි
සොඳුරුයි අනේ හැඟුම් ......//
මේක ඉතිං බොළඳ ආදරයක් ගැන කියවෙන(මම හිතන විදියට) ගීතයක් නිසා. "අනේ" වෙනුවට "ඔහේ" යෙදුවත් කමක් නෑ. හැබැයි මාතර පැත්තට වෙනම වර්ෂන් එකක් ගහන්න වෙනවා. නැතිනම් වැරදි විදියට තේරුම් ගන්නවා. ආ තවත් බ්ලොග් කාරයෙක්ගේ නමක් මෙතන තියෙනවා. මාතර හසරැල්. මළ කෙලියයි මහරජ කියන්නේ ඕවට තමයි. හසරැල් ඔහේ .... කිව්වම, ඒකා මාව හොයාගෙන එන්නත් බැරි නෑ. උන්නැහේ කොහම හැටි වෙතත් අක්ක නම් මට බොරැල්ලේදී ළඟදී මුණ ගැහුණා. 

මේ මාතෘකාව ගන්න තවත් හේතුවක් තමයි. මාව ලියන්න උනන්දු කරපු ගොඩගම චන්දිමා මගෙන් දවසක් අහපු කතාව. එයාට අනුව "මේ තරම් සියුමැලිද කළුගල්" කියන සුනිල් එදිරිසිංහයන් කියන සමුද්‍ර වෙත්තසිංහ (මතකය නිවැරදි නම්) ලියපු ගීතයත් ඔය වගේ. මගෙන් ඒකට හේතුව එය ඇහුවා. මම කිවුවා එදා ලියපු අය සහ අද ලියන අය අතර ලොකු ගැප් එකක් තියෙනවා කියළා. හැබැයි වැඩේ තියෙන්නේ ඒ ගීතයෙත් තියෙන්නේ මේ රිදම් කේස් එකදෝ කියළා මට දැන් හිතෙනවා. හැබැයි මම චන්දිමාට දුන්නේ වෙනස් පිළිතුරක්. ඒ පලවෙනි කොටසේ තියෙන සුභාවිත ගතිය මැද කොටස් වලදී සරළ ඒ වගේම වාර්තාමය ගතිය නිසා අඩු වෙලා කියළා.

Sunday, March 18, 2018

නිදහස් කුසලානය සහ ලාංකික ප්‍රේක්ෂකයෝ ......

මේ සටහන මුළින්ම තියන්න මම තීරණය කළේ මගේ බ්ලොග් එකේ. නමුත් ධනුෂ්ක ගුණතිලකගේ මුහුණුපොතේ කෙනෙකු මෙම වෙබ් අඩවියේ ලියවුණු සටහනක් වෙත සබැඳියාවක් ලබා දී තිබුණා. ඉතිං මටත් හිතුණා වඩාත් වැඩි දෙනෙක් ලඟා වන තැනක මේ සටහන තබන්න. ඒ නිසා තමයි අද ඔබ මේ සටහන දකින්නේ. නැතිනම් මගේ බ්ලොග් එක වන ඇවිද්ද පය ...... කියවන සුළු දෙනා පමණක් මෙය කියවන්නට ඉඩ තිබුණා.

මෙම තරගාවලියේ තරග කිහිපයක් සඳහා මටත් ආරධානා ලැබුණා. ඒ වායු සමනය කළ වීදුරු කාමරයක් තුළ සිට තරගය නරඹන්න. නමුත් මගේ මාධ්‍ය මිතුරෙකු මා ක්‍රීඩා ලෝලීන් අතරට කැඳවාගෙන ගියේ, වැඩි සතුටක් ඒ ඝෝෂාව තුළ විඳිය හැකි බව පවසමින්. නමුත් මා පුද්ගලිකව කිසිදු ඝෝෂාවක් ප්‍රිය කරන්නේ නැහැ. ඉතිං යුහුසුළුව ඔහු පසුපසින් මමත් වැටුණා. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙහි ඇති පාරවල් ඔහු අතැඹුලක් මෙන් දනියි. එනිසා ඔහු පසුපස මා ගමන් කළේ එන්ජිමට සවි කළ දුම්රිය මැදිරියක් ලෙසයි.

මේ වනවිටත් තරගයේ ඕවර කිහිපයක් යවා තිබුණා. එම ලකුණු පුවරුව සහ ඒ වනවිට යවමින් තිබුණ පන්දුවාරය දෙස බැලු විට මට පසක් වුයේ මෙය පන්දු යවන්නන් ගේ තනතීරුවක් බවයි. වඩාත්ම දඟ පන්දු යවන්නන්ට උචිත එකක් වේදෝ යන සැකය වඩාත් තහවුරු වුයේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ නම් දුටු විටයි. ඒ පෙර තරගයේ ක්‍රීඩා කළ සුරංග ලක්මාල් වෙනුවට අමිල අපොන්සු යොදවා තිබූ නිසයි. එය වඩාත් තහවුරු වුයේ, මේ තරගාවලියේ තමන්ගේ පළමු තරගය ක්‍රීඩා කරන, බංග්ලාදේශයේ වඩාත් අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වූ ෂකීබ් අල් හසන් ධනුෂ්ක දවා ගත් මොහොතේදීයි.

අප ඉතා අසරණ අඩියකට මුලින් ඇද දමන්නට නැගී එන බංග්ලාදේශ ක්‍රීඩකයින් සමත් වුවද, සනත් ජයසුරියගේ ක්ලෝන පිටපත ලෙස කවුරුත් සලකන කුසල් ජනිත් සහ තිසර ඔවුන්ගේ ඒ සිහිනය බිඳ දමමින්, තරගකාරී ලකුණු 160ක ඉලක්කයක් බෙන්ගාලි කොටි පැටවුන්ට ලබා දුන්නා. තරගයේ අවසන් මොහොතේ අප උන්නේ රුපවාහිනි තිරයක් ක්‍රියාත්මක වන වෙනත් ස්ථානයක. මෙම තරගය පුරා ඔබ-මොබ ඇවිදිමින් එක්තරා අයුරක නිරීක්ෂණය චාරිකාවක නිරත වූ මාත් මගේ මිතුරන් දෙදෙනාත්, ක්‍රිකට් තරගයක් තුළ තිරය පිටුපස සිදු වන දේ දැක ගත්තා. මට ඒ පිලිබඳ පෙර අත්දැකීම් තිබුනද, මගේ මිතුරු ඉන්දිකට මාධ්‍ය කුටියෙහි අත්දැකීම් තිබුණේ නෑ. මා ඒ වනවිට 2013 "රෙඩ්බුල් කැම්පස් වර්ල්ඩ් කප් " තරගාවලිය පුරා ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියෙහි අත්දැකීම් ලබා තිබුණා.

අපගේ ඉලක්කය හඹා ගිය බංගලි පිතිකරුවන් බොහෝ දෙනා අසරණ කරමිනි අවසන් තරගය නියෝජනයේ සිහිනය වෙත කෙමෙන් කෙමෙන් -කෙමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලඟා වන ලකුණු පහළ වුණා. නමුත් මා නිතරම පැරණි ලකුණු පුවරුව වෙත නෙත් යොමා සිටියා. ඒ ඩක්වර්ත් - ලුවිස් ඉලක්කය සටහන් කරන ස්ථානය දෙස. ඕනෑම ක්‍රිකට් තරගයක ජය කාට හිමිවිය හැකිදැයි මා දැන ගන්නේ, මේ ඉලක්කය දෙස බලා සිටීමෙන්. මා එදෙස බලා සිටින්නට විශේෂ හේතුවක් තිබුණා. ඒ එදින සවස රජයේ වාරණයෙන් නිදහස් වූ ෆේස්බුක් අඩවියේ එදින සවස කාලගුණය ගැන දක්වා තිබූ අනාවැකිය සහ අප ක්‍රීඩාංගනය වෙත ලඟා වත්දී එයට ඉහළින් ඇති අහස ගණ වලාකුළින් වැසී තිබූ නිසා. එය පන්දුව දෝලනය සඳහා වාසියක් විය හැකි බව ක්‍රිකට් විශාරදයන්ගේ මතයයි. නමුත් පෙර දිනයේ විකට්ටුව දෙස බැලු අපගේ විශාරදයින් එය සුපුරුදු මන්දගාමී තනතීරුවක් ලෙස සිතන්නට ඇති. එය පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තනතීරුවක් බවත්, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25-30 අඩුවෙන් ලබාගත් බවත්, තරගය අවසානයේ මාධ්‍ය ඇමතු තිසර පෙරේරා පැවසුවා. එය යම් ආකාරයක සත්‍යයක්. අපගේ පළමු කඩුලු පහම ලකුණු 41කට පූජා කර තිබු අවස්ථාවක ප්‍රේක්ෂකයෙකු වූ මා සිතා ගත්තේ, මෙය වඩාත් පන්දු යවන්නන්ට යෝග්‍ය තනතීරුවක් බවයි. ඒ මොහොතේ අප ලකුණු සීයක් ලබා ගතහොත් ඇති යයි මා මිතුරා සමග පැවසුවා.

මගේ මතකය නිවැරදි නම් බංගලිදේශ ඉනිමේ දොළොස් වන ඕවරය ක්‍රියාත්මක වන මොහොතේ, සුදු ටීෂර්ට් කරුවන් පිරිසක් ක්‍රීඩාගාරය දෙසට දිවගෙන එනු දුටුවා. ඒ ක්‍රීඩාංගනයේ සේවකයින් බව පසුව වැටහුණා. ඔවුන් දිව ආවේ හදිසි වැසි පතිත වීමකදී තණතිල්ල ආවරණය කිරීමේ අරමුණින්. මාලිගාවත්ත අන්තයේ ඇති විදුලි ආලෝක පුවරුව දෙසින් ඒ වනවිටත් මල් තුහිනයක ලකුණු පැහැදිලිව පෙනුණා. මා නැවතත් ලකුණු පුවරුව දෙස බැලුවා, ලබා ගත යුතු ලකුණු ගණන 82 ක් එහි සටහන් වී තිබුණා. ඒ කඩුලු දෙකක් දැවී ඇති මොහොතක. නමුත් ඒ වනවිට බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු දෙකක් ඉදිරියෙන් සිටියා. ඒ මොහොතේ තරගය අත් හිටවුවා නම් අවසන් තරගය සඳහා යන්නේද බන්ගලින්. ඔවුන් ඒ පිලිබඳ අවධානයකින් සිටිනා බව පසක් වුවත්, තුන් වන කඩුල්ල ඒ මොහොතේ දැවී ගියේ මගේ සිතට අස්වැසිල්ලක් එක් කරමින්. මන්ද දැවී යන හැම කඩුල්ලක් සඳහාම මේ ඉලක්කය ඉහළ අගයන් වෙත පියඹා යන නිසා. එයින් පසු එකින් එක කඩුලු වැටෙන විට අදනම් වාසිය අපට යයි අප කථා වූ වාර ගණන මතක නැත. ඒ තරමටම එහි වූ අයගෙන් බහුතරයකට ඕනෑ වී තිබුණේ ඒ ප්‍රතිඵලය දකින්නයි.

අප මේ තරගය නැරඹුවේ බී කොටසේ ඉහළ මාලයේ සිටයි. එයට තරග කදිමට දිස් වන තැනක්.  එය පිහිටා තිබුණේ බංගලිදේශ ක්‍රීඩාගාරයට මදක් ඔබ්බෙන්. තරගයේ අවසන් භාගය තීරණාත්මක මෙන්ම, මතභේදාත්මක එකක් බවට පරිවර්තනය වී තිබුණා. ඒ වනවිට තරගයක් අතරමැද නවතිනවා හෝ තාවකාලිකව නවතිනවා මා දැක තිබුණේ 1996 ලෝක කුසලානය සහ ඔස්ට්‍රේලියාවේදී මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා කළ දිනයේදීයි. තවත් ආසන්න අවස්ථා කිහිපයක් නොතිබුණා නොවේ. නමුදු වඩාත් මතකයේ රැඳුනු තරග දෙක ඒවාය. ඒ ජාතියක් ලෙස අප විදේශයන් හී අසරණ වූ මොහොතක, පුංචි දිවයිනක සිට පුංචි රුපවාහිනී තිරයක් ඉදිරිපස සිටින පුංචි මිනිසෙකු ලෙසින් වූ නිසාය. නමුත් මා අද සියැසින් මේ දේවල් දකින්නට එක් අතකින් වාසානාවන්ත වන ගමන් තවත් අතකින් අවාසනාවන්ත වුයේ දෛවයේ සරදමක් නිසා විය යුතුය. නමුත් විදෙස් බිමක අපේ ජාත්‍ය අසරණ වන්න-වන්නම ශක්තිමත්ව නැගිටිමින් ලෝක කුසලානය තම රටට ගෙන එන්නට ධෛර්යය අපට හිමි විය. මේ මොහොතේ සිදු වෙමින් පවතින්නේ ඉතිහාසය නැවත නැවතත් ලියවෙනවා යනුවෙන් කෙරෙන ප්‍රසිද්ධ කියමන සත්‍ය වීමක්දෝයි අද මට සිතෙයි.

1996දී ඉන්දියාව සමග පැවති අවසන් පූර්ව තරගයේදී අපේ ක්‍රීඩකයින්ට බෝතල් සහ ගල්මුල් වලින් දමා ගසා ක්‍රීඩාංගනය ගිනිබත් කළ ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉතිහාසයේ නොමැකිය හැකි කළු පැල්ලමක් සටහන් කළ වග නොදන්නෙක් නැත. ඒ තරගයට එවකට නාකත්වය සැපයු වමතින් පන්දුවට පහරදෙන දඩබ්බරයා යලිත් ගෙදර ආවේ කුසලානය රැගෙනය. මෙහි මා සඳහන් කළ දෙවෙනි තරගයේදී හුරුබුහුටි දකුණත් පිතිකරුවෙකු තම සගයාට සිදු වූ කෙනෙහිල්ලට ශතකයකින් එංගලන්තයට සංග්‍රහ කර ජයග්‍රහණය තම කණ්ඩායමට නතු කර දෙන්නට සමත් විය. ඒ අපේ මහේලය. මෙදා දකුණතින් බැට දෙන්නා සහ අපේ මහේල අතර ඇත්තේ පිතිකරණයේ සමානත්වයක් පමණකැයි මට සිතේ. මන්ද මහේල යනු නිහතමානීත්වයේ ප්‍රතිමූර්තියක් නිසාය. ඒ පිලිබඳ මට පුද්ගලික අත්දැකීම් පවා තිබේ.  මේ හුරුබුහිට දකුණත් පිතිකරුවා වෙනුවෙන්ද මෑතක් වනතුරු මගේ සිතේ තිබුණේ සමාන ලෙන්ගතු කමකි. නමුත් පහුගිය දින කිහිපය තුළ ඔහු මගේ ඒ සිතුවිල්ල ගඟට කපන ලද ඉණි සේ පා කර හැර දැමීය.

මේ වනවිට තරගය නරඹමින් සිටි මා තවත් දෙයක් නිරීක්ෂණය කර, මා මිත්‍ර ඉන්දිකගේ කණට කර කීවේ නිතර තරග නරඹන ඔහුද මවිතයට පත් කරමිණි. ඒ "අද මුස්ලිම් අය මැච් එක බලන්න ඇවිත් නෑ නේද මචංගෙන්" යන වගන්තියෙනි. ඔහුද වටපිට බලා එය අනුමත කළේ, මා අනුව යමිනි. ටිකට් ඇතත්-නැතත් මුස්ලිම් පුරවරයක් මද තිබෙන ඛෙත්තාරාමයට කඩා වදින නොහික්මුණු කොලු කුරුට්ටන්ගේ අඩුවක් අද ඇතැයි බැලු-බැල්මට පෙනෙන නිසාය. වෙනදා නොයෙකුත් දේ ඉල්ලා සිටිමින්, නිතර ඔබ -මොබ යමින් දෙස් - විදෙස් ප්‍රේක්ෂයින්ට සැබෑ වදයක් වන් මුස්ලිම් බහුතරයක් සහිත කොලු රෑන හිතා-මතාම මෙහි නොපැමිනියාද, නැතිනම් පල්ලියෙන් නිකුත් කළ නිවේදනයක් නිසා වැඩි ආරක්ෂාවට ඔවුන් මෙහි නැතිද යන ප්‍රහේලිකාව අපේ සිත් වල ඉතිරි කරමිණි.

පසුගිය දින කිහිපයේ කන්ද උඩරට ඇති වූ, සිද්දියත් සමග රට පුරා ඇවිලෙන්නට ගිය, මුස්ලිම්-සිංහල කෝලාහලය අළු-යට ගිණි තත්වයකින් සමයන වත්දී, එයට වෙනත් අතකින් සමාන සිදුවීමක් ක්‍රීඩාංගනය තුළින් මතු වුවහොත් එය අවසානාවන්ත තත්වයකි. දශක තුනක් තිස්සේ ත්‍රස්තවාදයේ අත්දැකීම් සමුදායට සමු දී වසර දහයක් වන්නට මත්තෙන්, තවත් අතකින් මේ සුන්දර දිවයිනේ සිටින ගුණදම් සපිරි සුන්දර මිනිසුන්ට, ලෝකයා විසින් ඇඟිල්ල දිගු කරමින් සිටින මොහොතක, පනින රිලවුන්ට ඉනිමං බඳින සිදු වීමක් මිත්‍රත්වයේ ප්‍රතිමූර්තිය ලොවට පෙන්වන ක්‍රිකට් පිටියෙන් මතු වුවහොත් ? එය මාගේ සිතේ ඒ මොහොතේ රැව්-පිළිරැව් දුන් සිතුවිල්ලයි. එම යුද්ධය පවතින කාළයේ පවා අප ක්‍රිකට් තරග නරඹන්නට ක්‍රීඩාංගනයට ගොස් තරග නරඹා ඇත. නමුත් ඒ මෙතරම් පහසුවෙන් නොවේ. ලී පෙට්ටි ආවරණයකට දමා සියොළඟ අත ගෑමෙන් පසුව සියළු දෙනා ඇතුලත් කරගත් ඒ අතීතය මොහොතකට මගේ සිතේ මැවිණි. අප රට ක්‍රිකට් තරගයක් පවත්වන්නට සුදුසුකම් නැති රටක් යනුවෙන් අවලාද නගමින් කැන්ගරුවන් සහ බටහිර ඉන්දීයයන් පවසත්දී අපේ අසල්වැසි ලොකු අයියාලා දෙදෙනා අත්වැල් බැඳ ගනිමින් මෙතැනටම ඇවිත් අපට අත්වැල් සැපයු තරගය, ඛෙත්තාරාම අන්තයේ ලෝන්ග් ඕන් කළාපයේ සිමෙන්ති පඩියක සිට නරඹන්න මා හා එකතු වුයේ කල්මුනේ උපත ලබා මා හා බැංකු සේවයට එක්වූ මගේ හිතවත් සගයා වූ රියාජ්ය. රටෙහි ඇවිලෙන ගිණි කෙසේ වෙතත් අපේ බැඳීම් නම් එලෙසමය. අපටනම් මිනිසුන් කවුරුත් එකය. ඔබ පිළිකා රෝහලට එක් දිනක් ගියානම් පසක් කර ගන්නේ මේ සත්‍යය. එය වෙනම කතාවකි.

නාගීනා නැටුමක් අරභයා කෙරෙන අළු යට ගින්දරක්, මේ කණ්ඩායම් දෙක අතර සති කිහිපයක සිට බෙන්ගාල බොක්කේ ඇති අඩු පීඩන තත්වයක් මේ දිවයිනට ගාලා එන්නා සේ ගලාගෙන ඇවිත් තිබේ. බංගලි දේශයේ පැවති තරගයක් අවසාන මේ නැටුම පෙන්වූ අපේ ධනුෂ්කට යම් දඩයක් ගෙවන්නට සිදු විය. මෙහි ආ පසුත් මේ නැටුම් කෙරුවාව අවසන් නොවිණි. යූ ටියුබ්/ෆේස්බුක් හරහා මුෂ්ෆිකර්ලාගේ මුහුණු එබූ වීඩියෝ හුවමාරු විය. මා අසල සිටි බීමත් ප්‍රේක්ෂකයින් මුෂ්ෆිකර් පිටියට පිවිසෙන විට නයා, කොටා, වැනි වචන පමණක් නොව තිත්ත කුණුහර්පයනේ පවා ඔහුට බැණ වැදිණි. ඒවා ඔහුට ඇහුණේ නැත. එමගින් එම ප්‍රේක්ෂකයින් පෙන්වා දුන්නේ ඔවුන්ගේ නොහික්මුණු කම නොවේද? තමා වටේ සිට මේ තරගය නරඹන මේ රටේ යුවතියන් කී දෙනකු ඉදිරියේ මේ වාග් මාලාව මුදා හරියාදැයි ඔවුන් සිතුවාද? මටනම් ඔහු තවත් දක්ෂ පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු පමණක් ලෙසම පෙනිණි. ඔහු පෙර කළ කී දෑ වළින් මතක තිබෙන්නේ, 215ක් පන්දු 120ක් තුළ එලවූ ඔහුගේ අපූර්ව පිති හරඹය පමණි.

"වෛයිරයෙන් වයිරය නොසන්සිඳේ" යන බුදු වදන, ජපනාට පවසා ලෝකප්‍රකට වුයේ අපේ රටේම හිටි ජනපතිවරයෙකි. ශ්‍රී දළදා මාලිගාවට, ජය ශ්‍රී මහ බෝධියට ප්‍රහාර එල්ල කර ප්‍රකෝප කරවන්නට බැරි, හික්මුණු ජාතියක්, පොඩි නයි පාරකින් කළඹන තත්වයකට ආවේ කෙසේද ? මේ අප්‍රසන්න ජවනිකාව අවසන් කර ක්‍රීඩාගාරයට එන බංගලි ක්‍රීඩකයින් වෙත ක්‍රීඩාගාරයේ සිටි අපේ වීරයන් මගේ ජීවිතයට මා අසා නැති නොසරුප් වචන ගංගාවකින් සංග්‍රහ කළා පමණක් නොව, වතුර පිරවූ බෝතල් වළින්ද දමා ගසන ලදී. එම පහරකින ඔවුන්ගේ ළේ බිඳක් හෙලවිණි නම්, එහි වාසිය ලබා ගන්නේද ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් සිටින පුල්ලි නැති කොටින්ම බව නොකිවමනාය.

අද ඔවුන් කළ දේ ගැන ෆේස්බුක් පුරා පොස්ට් දමන මගේ හිතවතුන් එහි සිටියානම් මා පත්වූ ලැජ්ජාවට ඔවුන්ද පත්වනු නියතය. මෙවැනි ක්‍රියා වලට මින් පෙර ප්‍රසිද්ධියක් ඉසිලුයේ අසල්වැසි ඉන්දියාවය. එග් ෂැම්පු බිත්තර වළින් වෙන්කර හඳුනා ගත නොහැකි තත්වයේ සාක්ෂර තාවයක් ඇති රටක එසේ වුවත්, 90%කට වැඩි සාක්ෂරතාවයක් හිමි බව ලොවට පාරම් බාන අපේ රටේ අයගෙන් එවැනි හැසිරීමක් බලාපොරොත්තු විය හැකිද? ලොවටම බුදු දහම බෙදන අපේ රටේ එවැනි අය සිටින බව ලෝකය හමුවේ තැබිය හැකිද ? එය එතැකින් නිම වූවානම් කම් නැත. ක්‍රීඩාංගනයෙන් එලියට බට, අපේම පිරිස් දෙකක් ගුටිබැට හුවමාරුවක් ඇල්ලූයේ එයට රුපවාහිනී කැමරා යොමු නොවූ නිසාද? මේවාට ෆෝන් කැමරාවක් වත් අල්ලාගන්නට තරම් මානසික තත්වයක් එතැනින් ගමන්ගත් සෙසු අය තුළ නොතිබූ නිසාද?

මිතුරනි අපට පිත්තෙන් පහර දුන් එකාට පිළිතුරු දිය යුත්තේ, පන්දුවෙනි. ඒ පිත්තෙවත් ඒකාගේ ශරීරයෙවත් වත් නොගටෙන්නට පන්දුව කඩුල්ල පිටුපසට යැවීමෙනි. ක්‍රිකට් යනු මහත්තුරුන්ගේ ක්‍රීඩාව බව අතීතයේ කියමනයි. වර්තමානයට එය කිසිසේත් ගැලපෙන්නේ නැති බව කවුරුත් පිළිගනී. ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හැසිරිය යුතු ආකාරය අපිට ඉගෙන ගන්නට සුද්දන් දෙසම බැලීමට සිදු වී තිබේ. ඒ එංගලන්තයේ සිටින සුද්දන්ගෙනි. ඒ අනෙක් රටවල සිටින සුද්දෝ සුදුම නැති බැවිණි.  නටන්න බැරි එකාට පොළව ඇද බව අප අසා ඇත. අපේ ප්‍රේක්ෂකයින් ඉන්දියානුවන් තරම් වත් බුද්ධිමත් නැති බව පැහැදිලි වන්නේ, තරගය පරාද වූ විට දිනපු උන් හා ගේම ඉල්ලන්ට යාම නිසාය. ඉන්දියාවේ එවුන් නම් උන්ගේ එවුන්ගේ ගෙවල් අසල හනුමා වන්න්නම රඟ දක්වයි. ඒ අතින් අපේ ප්‍රේක්ෂකයින් බුද්ධිමත් යයි බොහෝ දෙනා පවසයි. නමුත් කිව හැක්කේ ඉන්දියානුවා අප පසු කර බොහෝ දුරක් ගොස් ඇති බවයි. ඒ ක්‍රිකට් වලින්ම පමණක් නොවේ.

කළෙක අපේ ප්‍රේක්ෂකයාට විරාත් කොහොලිව පෙන්නන්ට බැරිව සිටියේය. නමුත් ඒ තත්වය සමනය වුයේ ඒකා, දිගට හරහට මුළු ලෝකයටම පහර දුන් නිසාය. ඔහු කදිම පිතිකරුවෙක් බව එකා-දෙන්නාගේ කටින් ඇහෙන්නට පටන් ගෙන ඇත. ඒ රික්තය පිරවීමට දැන් මුෂ්ෆිකර් පැමිණ ඇත. මේ ඔවුන් නොකියා කියන්නේ කුමක්ද ? විරාත්ගේ තැනට මුෂ්ෆිකර්ට පැමිණිය හැකි බවය. ක්‍රිකට් තරගයක ජය ගත හැක්කේ එක් කණ්ඩායමකට බව නොතේරෙන පිරිසක් ක්‍රිකට් වටා ගොණු වී තිබීම එම ක්‍රීඩාවේ අවාසනාවය. මා මුලින්ම ජාත්‍යන්තර තරගයක් නරම්බුයේ සරවනමුත්තු ක්‍රීඩාංගනයේදීය. ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කණ්ඩායම් අතරය. ඒ කාළයේ ප්‍රේක්ෂකයින්ගෙන් වැඩි පිරිස මුහුකුරා ගිය පිරිසකි. කමිසය යට කර, හත-අටට නැමූ පත්තරයක් අතැතිව සිටි පිරිසකි. කෑකෝ ගැසිලි නැත. හොඳ පහරක් ගැසූ පසු අත්පොලසන් දෙති. එය කාගේ පිත්තෙන්දැයි ඔවුන් සිතන්නේ නැත. පන්දු යැවුවද, පන්දුව රැක්කද එසේමය. කුකුල් කේන්ති කාරයෝ සිටියේ නැති තරම්ය.

ඇද ප්‍රේක්ෂකාගාරය එයත් සංගා සැසඳීමේදී කානිවල් පිටියක තත්වයකි. බොහෝ දෙනා එන්නේ ෆන් ගන්නය. අරක්කු, බියර් වල සිට ගංජා සිගරට් තොග වශයෙන් ගෙන එති. ඒවායේ ශක්තිය කාගේ හෝ පිටින් යැවීමට සුදානම් වෙති. මෙසේ ගියහොත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමා ජපානයට දුන් සිත්ගත් කියමන වෙනුවට, "ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ' කියමන නොබෝ දිනකින අසන්නට ලැබෙනු ඇත. 

ඒ වෙබ් අඩවියේ මෙය ඵල නොවුවොත් මා කියවන ඔබට වෙන අසාධාරණයකි.

Wednesday, February 28, 2018

මොකක්ද සර් ෆ්ලයිට් මෝඩ් කියන්නේ?...... What is Flight Mode sir ?

සති දෙකකට විතර උඩදී මගේ වාහනය ගරාජ් එ්කට දාන්න වුණා. තමන්ගේ වාහනය නැති වුණාම ඉතිං අත-පය කැපුවා වගේ කියළා තමයි ඕන කෙනෙක් කියන්නේ. මටත් එහෙමම දැනුණා. මේ වාහන පොඩ්ඩ නැති කාලේ මාගේ පිහිටට හිටියේ තුන්සක් රිය. ඒක නැති වුණාමත් වැඩි වෙනසක් නෑ. තුන්සක් රියේ පිහිටම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ, වෙනදා කෝල් කරළා ගෙන්න ගත්ත ඒවා දැන් ඇප් එකෙන් ගෙන්නා ගන්න එක. ඇත්තටම මේ පික් මී (PickMe) ඇප් එක තමයි ස්මාර්ට් ෆෝන් එකකින් එදිනෙදා ජීවිතයට වැඩිම ප්‍රයෝජනයක් දෙන යෙදුම විදියට මම දකින්නේ. ඒක විතර ජන ජීවිතය පහසු කරන වෙනත් මෙවලමක් නැති තරම්. ඇත්තටම සම්මාන දෙන්න වටින වැඩක්. මේකත් අයිති වෙන්නේ විශ්වාස කළහැකි තුන්වෙනි පාර්ශවයක් (Trusted Third Party) කියන කැටගරියට. ඉතිං මම පහුගිය කාළයේ ඕසේට පාවිච්චි කළා මේ ඇප් එක සහ සේවාව.  මේ සමාගම අතරමැදියෙක් විදියට කරන සේවය අතිමහත්. මොකද අපි නන්නාඳුනන තුන්සක් රියදුරෙකු  එක්ක ගමනක් යන්න බයයි. ඒ වගේම එම රියදුරන්ටත් අවසානේ මුදල් ලැබෙයි කියන විශ්වාසය තියාගෙන ගමනක් යන්න බයයි. මොකද විවිධ තරාතිරමේ මිනිසුන් මේවාට ගොඩ වෙනවා. ඉතිං මේ අතරමැදියා මේ දෙපාර්ෂාවේ තොරතුරු ගබඩා කර ගැනීමෙන් ඒ අය එකිනෙකාට වංචා කරන්න තියෙන ප්‍රවණතාව අඩු කරනවා.පික් මී ගැන වෙනම සටහනක් පසුව තබන්නම්.

ඉතිං නොයෙක් මාදිලියේ රියැදුරන් අපිට මුණ ගැහෙනවා. මට හමු වුණු අමතුම මාදිලියේ එකෙක් තමයි ධනුෂ්ක. මේ නම තියෙන එවුන් කොහොමත් ටිකක් අමතුයි තමයි. පික් මී ඒකෙන් එවාපු රිසිට් ඒකෙන් මම කොල්ලාගේ පැටිකිරිය කපා ගත්තා. කොල්ලා ගාල්ලේ.කෙටිම වචනයෙන් කියනවානම් උනන්දුවෙක්. 

මේ උනන්දුවා මගෙන් ක්ෂේස්ත්‍ර හතරක් ගැන ප්‍රශ්න වැලක් ඇහුවා. ඒ හතරටම සාර්ථකව පිළිතුරු දෙන්න මට පුළුවන් වුණා. දෙකක් හොඳටම මතකයි. එකක් දේශපාලනය. චන්දෙ ප්‍රතිපල ගැන ඇහුවාම මම කිවුවේ. මේ ප්‍රධාන පක්ෂ හැමෝම එකක හරි පළවෙනියා වෙනවා, තව එකක දෙවෙනියා වෙනවා, තව එකක තුන් වෙනියා වෙනවා, තවත් එකක හතර වෙනියා වෙනවා කියළා. ඉතිං මගේ පුරෝකථනය වැරදුණේ නෑ, මට හිතෙන විදියට. දෙවෙනි ප්‍රශ්නේ ඇහුවේ "මොකක්ද සර් මේ ෆෝන් එකේ තියෙන ෆ්ලයිට් මෝඩ් එක?" මම කොල්ලට දුන්න පළවෙනි උත්තරේ තමයි. "ඔයා මේ ප්‍රශ්නේ ඇහුවේ හරිම කෙනාගෙන් කියළා". 
එහෙම කිවුවේ මේකට උත්තර දෙන්න මේ රටේ ඉන්න හොඳම කෙනා මම කියන අදහසින් නෙවෙයි. නමුත් මට අද වගේ මතකයි ස්ලිට් එකේ එම්.එස්.සී කරන්න මම තෝරා ගන්න එක් ප්‍රධාන හේතුවක් තමයි, ඒ සිලබස් එකට ඇතුලත් වෙලා තිබුණ Mobile Communication කියන සබ්ජෙක්ට් එක. මගේ වාසානාවට ඒක පළවෙනි සෙමෙස්ටර් එකේම කළා. නැතිනම් මට එක එපා වෙන්නත් තිබුණා. දැන් මේක කියවන කී දෙනෙකුට මේ ගැන අවුබෝධයක් තියෙනවද ? ඔබ දන්නවා කියලා හිතා හිටියනං මම මේ පහළින් කියන කරුණු වලින් කීයක් ඔබ දැනගෙන හිටියද කියළා හිතලා බලන්න. අර විෂය ඉගෙන ගත්ත එක මට මේ උත්තරය දෙන්න ලොකු පිටිවහලක් වුණා. මම කොල්ලට තේරෙන භාෂාවෙන් සරල උත්තරයක් දුන්නා. උත්තරේ පටන් ගත්තේ නාරාහේන්පිට ආර්.එම්.වී. එක ඉදිරිපිටදී. අවසන් වුණේ කොහේදීද කියලා මතක නෑ.
"දැන් ඔයා මේ ත්‍රී වීල් එක එලවන්න මැප් එක දිහා බලාගෙන යනවා නේද? එහෙම කරන්නේ ඔයා පාර හරියට දන්නේ නැති වෙලාවට නේද? දන්නවා නම් ඉතිං ඕක දිහා බලාගෙන යන එකේ තේරුමක් නැහැ නේද? මම වුණත් දන්නැති පාරක යනවා නම් කරන්නේ මැප් එක දාගෙන යන එක. ඉතිං ඔය ෆ්ලයිට් වල යන අය යන්නේ පොළොවට අඩි දහදාහ, විසිදාහ, තිස්දාහ වගේ උඩින්. සමහරවිට හැටදාහ යන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ වෙලාවට පොලොව පෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා. ඇයි රෑ දවල් කියළා දෙකක් නෑනේ. පයිලට්ලා මේ ගමන යන්නේ තනිකරම බිම ඉන්න ඔෆිස් වලින් දෙන උපදෙස් වලට. උදාහරනෙකට අඩි තිස්දාහක් උඩින් කිලෝමීටර් සීයක් යන්න කිව්වොත්, එයා බොහොම කීකරුව ඒ විදියට වැඩ කරනවා. ඉතිං මේ උපදෙස් දෙන්න එයාලා බිම ඉන්න ඔෆිසර්ලා එක්ක දිගටම කථා කරනවා. එහෙම කථා කරන්න නම් බිම එක්ක කමියුනිකේෂන් එක දිගටම තියා ගන්න ඕනේ. වැඩියෙන්ම මේ උපදෙස ඕන වෙන්නේ ෆ්ලයිට් එකක් නග්ගන-බස්සන වෙලාවල් වලට. බිම ඉන්න එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් කියළා මහත්තුරු වගයක් තමයි මේ අයට උපදෙස් දෙන්නේ. එයාලා ගනුදෙනු කරන්නේ ලංuගම තියෙන ගුවන්තොටුපලත් එක්ක. එහෙම කෙරෙන උපදෙස් දීමවල් වලට ඒ ගුවන්තොටුපලට ආදායමක් එනවා. ඒ නිසා තමයි ෆ්ලයිට් ආවේ නැති වුණත්, මත්තල එයාර්පෝර්ට් එක හදපු එක හොඳ. දැන් මේ විදියට කමියුනිකේෂන් එක තියා ගන්නකොට කථාව තියෙන්න ඕනේ ඒ දෙන්නා අතරේ විතරයි. දෙන්නෙක් කථා කරනකොට තව කෙනෙක් මැද්දට පැනලා උත්තර දෙන්න හරි, ප්‍රශ්න අහන්න හරි ගියොත්, අර දෙන්නගේ කතාවට ඩිස්ටර්බ් වෙනවා. ඉතිං එයාලා අර කතාව කරනකොට අපි මොබයිල් ෆෝන් පාවිච්චි කළොත් එයාලාගේ කතාවට බාධා වෙනවා. ඉතිං හරි වෙලාවට හරි උපදෙස ආවේ නැත්තනම් බදු බිම. නැත්නම් කැළේ යන්න පුළුවන්. ඉස්සර නම් අපි ප්ලේන් එකකට නැග්ගම කියනවා ඉහලට ගන්නකං ෆෝන් එක ඕෆ් කරන්න කියළා. දැන් කියන්නේ ෆ්ලයිට් මෝඩ් වලට මාරු වෙන්න කියළා. ඉස්සර තිබුණේ මොබයිල් ෆෝන් විතරයි. නමුත් දැන් තියෙන ලැප්ටොප්, ටැබ්ලට්, ස්මාර්ට් ෆෝන්, සමහර ඔරල්ලෝසු පවා, අපේ ටෙලිෆෝන් වගේ වයි-ෆයි වලින් වැඩ. සමහර රිමෝට් පවා වයි-ෆයි වලින් වැඩ කරනවා. අපි ඉතිං ප්ලේන් එකේ යනකොට රිමෝට් නම් ගෙනියන්නේ නෑනේ. ඉතිං ඕෆ් කරන එකයි, ෆ්ලයිට් මෝඩ් දාන එකයි දෙකම එක නේද ? කියළා තමයි ඉස්සර නම් මමත් හිතාගෙන හිටියේ. ෆෝන් එකක් කෙනෙක් ඕෆ් කරළා තිබුණොත් හරි ඉබේම බැට්රි බැහැලා ඕෆ් වුණොත් හරි ඒවායේ සිග්නල් වැඩ කිරිල්ල නතර වෙන්නේ නෑ. ෆෝන් එකක් හැම වෙලාවේම නොවැරදීම කරන වැඩ කීපයක් තියෙනවා. ඒ වැඩ වලට අවශ්‍ය බැට්රි ප්‍රමාණය කවදාවත් ෆෝන් එක අපිට දෙන්නේ නෑ. ෆෝන් එක බැට්රි ලෝ කියළා ඕෆ් වෙන්නේ ඒ වැඩ වලට අවශ්‍ය බැට්රි ප්‍රමාණය තියාගෙන. ඉස්සර තිබුණ සමහර ෆෝන් දෙතුන් පාර ට්‍රයි කරළා ඔන් කරන්න පුළුවන්. මතකද ? ඒ වෙලාවට පාවිච්චි කරන්නේ අන්න අර තියා ගත්ත බැටරි පවර් එක. ඕෆ් වෙලා හරි ඔන් වෙලා හරි තියෙනකොට ෆෝන් එක නිතරම කරනා වැඩක් තමයි, එයාට හොඳටම සිග්නල් එන ටවර් දහයක විස්තර ෆෝන් කම්පනියේ තියෙන සෙන්ටර් එකට දන්වන එක. ඉතිං සෙන්ටර් එක එයාට උපදෙස් දෙනවා ඒ දහයෙන් මෙන්න මේක එක්ක ඔයා ගනුදෙනු කරන්න කියළා. එහෙම තෝර ගන්නේ හොඳටම සිග්නල් තියෙන ටවර් එක විතරක්ම නෙවෙයි. වැඩිය සෙනග නැති එක බළලා එහෙම තෝර ගන්න කියන අවස්ථාත් තියෙනවා. දැන් හිතන්න ඔයා පැයට කිලෝමීටර් සීයක වේගෙන් යනවා. එතකොට ඔයාට සිග්නල් ලැබෙන ටවර් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනකොට ඔයා කෝල් එකක හිටියත් නැතත් ටවර් මාරු කිරිල්ල සිද්ධ වෙනවා(මේකට කියන්නේ හෑන්ඩ්ඕවර් කියළා. කොල්ලට ඕවා කියන්න ගියේ නෑ). එහෙම මාරු කළා කියළා ෆෝන් එකේ ඉන්න කෙනාට ඒක දැනෙන්න තියෙන්නේ නෑ. (සමහර ටවර් වල ආවරණ කලාපය බොහොම සීමිතයි. මෙහෙම කරන්න හේතු ගොඩක් තියෙනවා. සෙලියුලර් තාක්ෂණය අනුව එහෙම සෙල් එක කුඩා කරන එක බොහොම ලේසියි. අනිත් එක එහෙම කරන එක හොඳයි. මේ සෙල් පුංචි කරන්න ඒකෙ තාක්ෂණය නිසා පුළුවන් වෙලා තියෙනවා. පොඩිම එකට කියන්නේ පිකෝ සෙල් කියලා. ඔයාලගේ ඔෆිස් වල ඇතුලට, නැතිනම් පුද්ගලික රෝහල් වගේ තැන් වල තියෙනේ ඒ වගේ පොඩි සෙල්. මෙන්න මේ පින්තූරේ බලන්න.
පින්තූරය ගත්තේ : researchgate.net

 ඉතිං මේ වගේ ෂඩශ්‍ර ඇතුලේ තව පුංචි ෂඩශ්‍ර අඳින්න පුළුවන් වගේම පුංචි සෙල් නිර්මාණය කරන්න පුළුවන්. මේකේ විශේෂය වෙන්නේ එකම සිග්නල් ෆ්රීකුවන්සි එක භාවිතා කරන ෆෝන් දෙකක් තියෙන දෙන්නෙකුට පැටලෙන්නේ නැතිව ළඟ ඉඳන් කථා කරන්න පුළුවන් වීම. මේවායේ සංඛ්‍යාත පරාසය, අර ජීඑස්එම් 800/900/1800 වගේ ෆෝන් ස්පෙසිකේෂන් වල තියෙන්නේ. මෙන්න මේ පරාස අතරේ වැඩ කරන විදියට තමයි මේ ෆෝන් හදන්නේ. ඒ කියන්නේ එකම සංඛ්‍යාතයකින් වැඩ කරන ෆෝන් එමට තියෙන්න පුළුවන්. ප්‍රශ්ණයක් නෑ. සිග්නල් එන ටවර් වෙනස් කිරීමෙන් දෙන්නටම කරදරයක් නැතිව ගනුදෙනුව කරන් යන්න පුළුවන්. ඒ වගේම වෙනත් ජාලා වලට සම්බන්ධ වුණාම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. ඩිජිටල් නිසා පැටලෙන්නේ නෑ. ඒක මෙතන විස්තර කරන්න යන්නේ නෑ) ඉතිං මේ ටවර් එක්ක  ගනුදෙනුවට හරියට බැට්රි පිච්චෙනවා. ඒ නිසා තමයි සිග්නල් අඩු පැති වලදී බැට්රි ඉක්මනට බහින්නේ. මොකද ටවර් හොයනවනේ එකසිය ගානට. එහෙම වෙලාවට බැට්රි ඉතුරු කර ගන්න ෆෝන් එක ඕෆ් කළා කියලා වැඩක් නෑ. හොඳම දේ ෆ්ලයිට් මෝඩ් නැතිනම් එයාප්ලේන්මෝඩ් එකට මාරු වෙන එක. මොකද  එතකොට ෆෝන් ඒකෙන් කරන සියලුම කමියුනිකේෂන් නවත්වනවා. ෆෝන් සිග්නල් හොහයන එක, වයි - වයි නෙට්වර්ක් හොයන එක, බ්ලු ටූත් සිග්නලන් හොයන එක, කෝල්, එස්.එම්.එස්., ඉන්ටර්නෙට්, (බ්‍රෝඩ්කාස්ට් මැසේජ් ), ජී.පී.එස්. මේ සේරම නවත්වනවා. එතකොට බැට්රි ඉතුරු වෙනවා. අපි එක පාරක් විල්පත්තු ට්‍රිප් එකක් ගියා දවස් තුනක් කැළේ. මම දවස් තුනම ෆෝන් එකේ බැට්රි බැස්ස ගන්නේ නැතිව තියා ගත්තේ සිග්නල් නැති හරියේදී ෆ්ලයිට් මෝඩ් දාලා. ෆොටෝ වීඩියෝ ඇති තරම් ගත්තා. ෆෝන් එකක් ඉක්මනට චාජ් කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ ෆ්ලයිට් මෝඩ් වලට මාරු කරළා චාජ් කරන එක. දැන් තියෙන ස්මාර්ට් ෆෝන් වල තියෙන ඇප්ස් නිතරම ඩේටා පාවිච්චි කරගෙන වැඩ. ඒ නිසා තමයි ඒවා ඇරලා තියෙන වෙලාවට බැට්රි බහින්නේ. අනිත් එක කෝල් එකකටම කලින් ටවර් එකත් එක්ක මොබයිල් ෆෝන් එක මැසේජ් 14ක් දෙපැත්තට යවා ගන්නවා. ඒ නිසා තමයි පැරණි පරිගණක මොනිටර් වල සහ  ටී වී වල කෝල් එකක් යන්න කලින් ඉරි යන්නේ.
කොල්ලා අහපු අනිත් ප්‍රශ්නේ තමයි "මොකක්ද අපේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ සර්?"
මම දුන්නේ කෙටි  උත්තරයක්. මේ  ඉන්න ටීම් එක හොඳයි. එයාල කවදා හරි මැච් දිනනකම් අපි ඉවසලා ඉන්න ඕනේ. අපිට ඕනේ හැටියට වැඩ පෙන්නන්න එයාලට බෑ. හතුරුසිංහ / තිලාන් දෙන්නා මොනවා හරි කරයි. අපේ අයට ඉංග්‍රීසියෙන් කියන ඒවා තේරුම් ගන්න අපහසු නිසා සිංහල කොච්ලා ඉන්න එක හොඳයි. යොවුන් ආසියානු කුසලානයේදී මට නික් පෝතාස් එක්ක කථා කරන්න ලැබුණා. මිනිහා කියන්නේ අන්ඩර් නයින්ටීන් ටීම් එකේ කාටවත් ඉංග්‍රීසි බෑ කියලා. ඉතිං මිනිහා සිංහල ඉගෙන ගන්නවලු. වැඩේ තියෙන්නේ කියන දේ තේරෙන්නේ නැතිව කොහොමද ඉගෙන ගන්නේ. මේකත් එක ප්‍රශ්ණයක් තමයි.
රතු පාටින් තිනෙන්නේ කොල්ලට නොකියපු ඔබට වැදගත් තොරතුරු. අනිත් ප්‍රශ්නේ මට මතක නෑ.ඔය මෙලෝ විචාරයක් නැතිව කල්පනාවේ ඉන්න කෙනෙකුටත් ෆ්ලයිට් මෝඩ් කියලා කියන්න පුළුවන්.

Saturday, January 6, 2018

කිසිවකුට විස්තර කළ නොහැකි පෞරාණික සොයාගැනීම් දහයක් ......

 ලෝක ඉතිහාසය පුදුම එලවන අභිරහස් වලින් පිරුණු එකකි. අපෙන් කිසිවකුට මෙම අභිරහස් සියල්ල විසඳන තුරු ජීවත් විය නොහැක. එනමුත් පොළව මතුපිටට යටින් ඇති සත්‍ය වශයෙන්ම අරුම පුදුම දේ ගැන සොයා බැලීම හැමවිටම රසවත් අත්දැකීමකි.

1. මොආ පක්ෂීන්

ක්‍රි.ව. 1500 දී පමණ වැනසී ගොස් ඇතැයි විස්වාස කරන, මොආ පක්ෂීන් නවසීලන්තය තම වාසස්ථානය කොට ගත් පියඹන්නට නොහැකි පක්ෂීන් විශේෂයකි. නවසීලන්ත ආදීවාසීන් වන මෞරින් විසින් එක්තරා න්‍යායකට අනුව ඔවුන් මරණු ලැබ අත. විසිවන සියවසේ කළ ගවේෂනයකදී විද්‍යාඥයින් පිරිසකට, සියවස් ගණනනාවක් අරුම පුදුම ලෙස  සුරැකිව තිබූ විශාල පක්ෂියෙකුගේ අඬුවක් අහම්බයෙන් හමු වී අත.
පින්තුරය ගත්තේ https://brightside.me

2. පේරු හී ඇති "සක්සේවාමන්" පන්සල් සංකීර්ණය

පින්තුරය ගත්තේ https://brightside.me

පේරුහී ඓතිහාසික පන්සල් සංකීර්ණයක් පිහිටා ඇති මෙම විශ්මය දනවනසුළු කළුගල් බැමි නිර්මාණය කිරීමෙහිලා එකදු ගල්කටු ප්‍රහාරයක් හෝ භාවිතා කර නැත.  මෙහි ඇති කළු බ්ලොක් ගල් සියල්ලෙහිම රවුම් මුළු සහ සිනිදු මතුපිටක් ඇත. එය කෙසේ ගොඩනගා ඇතිද? කිසිවෙකු නොදනී.

3. බොලිවියාවේ සුර්ය මුවදොර

   
පින්තුරය ගත්තේ https://brightside.me

 බොලිවියාවේ පිහිටා ඇති පැරණි මෙන්ම අභිරහස් නගරයක් වල ටිවානකු හීදී මෙම සුර්ය මුවදොර දකිනු හැකිය. සමහර පුරා විද්‍යාඥයින් පිළිගනු ලබන්නේ එය ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ මුල් සහශ්‍රකයට අයත්  විශාල අධිරාජ්‍යයක මධ්‍ය ලක්ෂය බවයි. මෙම මුවදොරෙහි ඇති ගල්කැටයම් වලින් අදහස් වන්නේ කුමක්ද යන්න පිලිබඳ කිසිවකුට අදහසක් නැත. බොහෝවිට ඒවාට ජෝතිෂ්‍ය හෝ තාරකා විද්‍යාත්මක වටිනාකමක් තිබිය හැකිය. 

4. චීනයේ ලොන්ග්යු ලෙන්

පින්තුරය ගත්තේ https://brightside.me
මෙම ගුහා වැලිගල් විශේෂයක් තුළ බොකුටු නියං වලින් මිනිස් ශ්‍රමයෙන් හාරා නිර්මාණය කර අත. එවැනි දුෂ්කර කාර්යයක් සඳහා මිනිසුන් දහස් ගණනකගේ පරිශ්‍රමය අවශ්‍ය වේ. එතිහාසික සටහන් වල, මේවා ගැන හෝ ගොඩනගා ඇති ආකාරය පිළිබඳව කිසිදු සටහනක් නැත. 

5. ඊජිප්තුවේ අවසන් නොකළ ශිලා ස්ථම්භය

පින්තුරය ගත්තේ https://brightside.me
මෙම ශිලා ස්ථම්භය මුලදී ගල මතුපිටින් කෙළින්ම නෙලාගෙන ගොස් ඇති අතර පසුව එහි පිපිරීමක් ඇති වී තිබේ. එනිසා එය එම තත්වයෙන්ම වැඩ අවසන් නොකොට අතැර දමා ඇත.  සරලවම එය දැවැන්ත ප්‍රමාණයේ එකකි. 

6. ජපානයේ දිය යට නගරය 

මෙම දියයට නගර සංකීර්ණය අහම්බෙන් මෙන් සොයා ගනු ලැබ ඇත්තේ කිමිදුම් උපදේශකයෙකි.  මෙම දියයට නගරය සියලුම විද්‍යාත්මක න්‍යායයන් ව්‍යාකූල කරවනු ලැබීය. වසර 10,000 කට ප්‍රථම මෙම නගරය නෙලා ඇත්තේ අඩක් දියෙහි ගිලුණු විශාල කළුගල් තලාවක්  උපයෝගී කරගනිමිනි - ඊජිප්තු පිරමීඩ ගොඩනැංවීමට බොහෝ පෙරය. සමහර විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට, මෙම ආධිකල්පිත යුගයේදී, මිනිසුන් පිරිසක් ගුහාවලට කොටුවී ජීවත් වී ඇති අතර ඔව්න් දඩයම වෙනුවට ආහාරයට ගතහැකි අල වර්ග වලින් පමණක් ජීවත් වන්නට ඇත; එවැන්නන්ට ශෛලමය නගරයන් ඉදිකළ නොහැකිය. 
පින්තුරය ගත්තේ https://brightside.me

7. පාකිස්තානයයේ මොහැන්ජ-දාරෝ (මරණයේ ගල්වැටිය)

මෙම නගරයේ විනාශයේ රහස  විශේසඥයින් දශක ගණනාවක් වික්ෂිප්ත කළ කරුණකි. 1922 දී ඉන්දියානු පුරාවිද්‍යාඥ ආර්.ඩී. බැනර්ජි විසින් ඉන්දු නදියේ ඇති දුපතකින් පෞරාණික නටඹුන් සොයාගන්නා ලදී. උද්ගත වූ ප්‍රශ්නය වුයේ : මෙම විශිස්ඨ නගරය විනාශ වුයේ කෙසේද ? යන්නයි. මෙහි විසුවන්ට කුමක් සිදු වන්නට ඇතිද ? විවිධාකාර කැණීම් ගණනාවක් කලද පැණයට කිසිදු විසඳුමක් ලැබුණේ නැත.   
පින්තුරය ගත්තේ https://brightside.me

8. කැනඩාවේ ල්'අන්සේ ඕ දෙනිය

කැනඩාවේ ඇති මෙම පුරාවිද්‍යා ස්ථානය වසර දහසකට පෙර වයිකින්ග්වරුන් එක්තරා අවස්ථාවක පිහිටවන ලද ජනාවාසයකි. එය පැවතීමෙන් අනාවරණය වන කරුණ වන්නේ ස්කන්ඩිනේවියන් නාවිකයින් උතුරු ඇමරිකාවට ලඟා වී ඇත්තේ ක්‍රිස්ටෝපොර් කොලොම්බස් උපත ලබන්නටත් බොහෝ කලකට පෙර බවයි.
පින්තුරය ගත්තේ https://brightside.me

9. ගල් යුගයේ උමං මාර්ග

 ගල් යුගයේ ජීවත් වූ මිනිසා දඩයක්කරුවන් හෝ රැස් කරන්නන් පමණක්ම නොවන බවට හෙළි වන්නේ,  ස්කොට්ලන්තයේ සිට තුර්කිය දක්වා, මුළු යුරෝපය පුරාම ඇදී යන පුළුල් උමං මාර්ග සංකීර්ණයක් සොයා ගැනීමත් සමගය. නමුත් එහි සැබෑ අවශ්‍යතාවය කුමක්දැයි මේ දක්වා අභිරහසක්ව පවතී. සමහර විධ්යාඥයින් විස්වාස කරන්නේ විල්පිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඔවුන් මේ උමං තනන්නනට ඇති බවයි, තවත් කොටසක් විශ්වාස කරන්නේ එය දැඩි දේශගුණික තත්වයන් සහ විවිධ ගැටුම් වලින් ආරක්ෂා වී, කරදරයකින් තොරව ගමනාගමනය සඳහා යොදා ගන්නට ඇති බවයි.
පින්තුරය ගත්තේ https://brightside.me

10. කොස්ටාරිකාවේ යෝධ ගල් බෝල

මෙම අභිරහස් යෝධකළුගල් බෝල වල චමත්කාරජනක බව ඒවායේ ස්වභාවය මත පමණක්ම නොව, ඒවායේ හරියටම ගෝලාකාර වුයේ කෙසේද යන්න සහ කෙසේ සෑදුනාද, කුමක් සඳහාද යන්නද තවත් නොදත් කාරණාය. 1930 ගණන් වලදී මේවා සොයාගෙන ඇත්තේ කෙසෙල් වගාවක් සඳහා වනය එළිපෙහෙළි කිරීමේදීය. ස්වදේශික ජනප්‍රවාද වලට අනුව මෙම අභිරහස් කළුගල් බෝල තුළ සැඟවුණු රත්‍රන් තිබනද, ඒවා දැන් හිස් වී අත. 
පින්තුරය ගත්තේ https://brightside.me
මෙම සටහන
https://brightside.me/ හී ඵල වූ Ten discoveries that no one can explain ලිපියෙහි පරිවර්තනයකි.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...