Monday, February 23, 2015

රංජන් පරණවිතාන නම් වූ ඔහු ......

කළුතර මහා විද්‍යාලයේ උසපෙළ හදාරමින් උන් අපගෙන් සමහරෙක් පාසල් පැමිණියේ උසස්පෙළ විභාගයට ඉඳ ගැනීම සඳහා අවශ්‍ය 80%ක පැමිණීම සහතික කර ගැනීමට පමණි. මා වැනි කිහිප දෙනෙකු වෙනත් හේතූන් සහ අධ්‍යාපනය සඳහා පාසල් එන්නන් අතර වූහ. දෙවෙනි වසරේදී අප කිසිවෙකු පාසලේ අධ්‍යාපන කටයුතු වල නිරත නොවූ බව මගේ මතකයයි. නමුත් මා පමණක් රසායන විද්‍යා සහ භෞතික විද්‍යා ගුරුවරුන්ගේ අවසර මත පාසලේ පහසුකම් ඇති පරීක්ෂණ කිහිපයක් කල බව අදටද සිහිපත් වේ. මා නිතිපතා පාසල් ඒමට තවත් එක් හේතුවක් වුයේ රුවන් ගුණසේකර(අද දොඩන්ගොඩ පොලිස් ස්ථානාධිපති), සුසිල්(කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරයි) සහ විපුල මුණසිංහ(නාවික හමුදාවේ ඉහල නිලයක් දරන බව ආරංචි ලැබිණි) යන තිදෙනාට ශුද්ධ සහ ව්‍යවහාරික ගණිත පන්ති වලින් ලැබෙන නිබන්ධන වල ඇති ගණන් සෑදීමට උදව් වීමටයි. 

මා හැරෙන්නට බොහෝ දෙනෙකු රාජා අල්විස් මහතාගේ පන්ති වලට සහබාගී වූ අතර මෙවැනි අය ගෙනෙන ගණිත ගැටළු විසඳීමෙන්  මගේ දැනුම වර්ධනය කර ගතිමි. මෙසේ රාජා අල්විස් මහතාගේ පන්ති වලට පිටත් වන අය සඳුදා දිනවල දහවල් 11.00 පමණ විට පාසලෙන් පිටත් වූයේ ගුරුබවතුන්ගේද ආශිර්වාදය ඇතිවය. අපද කොළඹ යන කණ්ඩායමත් සමග පාසලෙන් පිටත් වීම එකල පුරුද්ද විය. මේ කාලය වනවිට පාසලේ ඉදිරිපස දොරටුවෙන්ම පිට වනු දැකගත හැකි විය. තවත් එවැනි දිනක පාසලේ ගේට්ටුවෙන් පිටතට පැමිණි අප, එළියේ ඇති අරලිය ගස් සෙවනේ තවත් මොහොතක් රැඳුනේ ඒ වනවිට එම ස්ථානයේ නවතා තිබුණු නුපුරුදු විශේෂ කාර්ය බලකායට අයත් වාහන කිහිපයක් සහ ඉන් බට කැලෑ ඇඳුමින් සැරසී එස්.ටී.එෆ්. බටයන්ගේ දර්ශනයෙන් කුල්මත් වීද ? නැතිනම් භ්‍රාන්ත වීද යන්න අදටත් නොදනිමි. නමුත් ඇත්ත වශයෙන්ම් මා තුල නම් ඇති කලේ භීතියකි. එළියේ අරලිය ගසක කොළ පැහැති ඩයරි කවරය අස්සේ රඳවාගෙන එන පොත් දෙක රඳවා මා දනිස් වලට බර වී සපත්තුවක ලේස් ගැට ගසමින් සිටින විට, මගේ පොත් දෙක දුහුවිලි සහිත බිමට පතිත වුයේ "තපාක්" වැනි හඬක් නිකුත් කරමිනි. 

එවිටම හමුදා නිලධාරියා සමග කථා කරමින් උන් සිවිල් ඇඳුමින් සැරසුන පුද්ගලයෙකු, ඔවුන් දන්නා හඳුනන අපේ පංතියේ පූජිතගෙන් විමසා සිටියේ
"අපේ ඉස්කෝලේ කෙනෙක්ද ?" යන්නයි. මා පොත් දෙක පිසදමනා ගමන්ම මේ මිනිසා දෙස බැලීමි. ඒ වනවිටත් ඔහුගේ මුවින්
"හාල්" යන වදන පිටවී හමාරය.
ඔහු ඉතිරි කොටස නොකීවත්, එය "පාරුවෙක්" යන්න විය යුතු බව එහි සිටි සියළු දෙනාට වැටහිණි. යන්තම් තාරුණ්‍යය ඉක්මවමින් සිටි, අව් රශ්මිය නිසා අවපැහැ ගැන්වුණු මේ මිනිසාගේ මුහුණින් ඉතා කලකිරුණු ස්වභාවයක් දිස් විය. මගේ සිත දැඩි ලැජ්ජාවකින් පිරී ගියේ, එතැන සිටි සියළු දෙනාම සිනහ වන්නට වීම නිසාය. හිස සලමින් මා කළුතර විද්‍යාලයේ කෙනෙකු බව පූජිතද අනුමත කළේය. ඔහු කවුරුන් නමුත් මේ පාසලට සම්බන්ධ කෙනෙකු බව මට වැටහිණි. පසුව කොළඹ පැත්තට යන බස් නැවතුමට ගමන් ගන්නා විට මා පූජිතගෙන් දැන ගත්තේ ඔහු රංජන් (පරණවිතාන) අයියා බවයි. මීට පෙර මා ඔවුන් ගැන අසා තිබුණේ මා මිතුරු ප්‍රසාද් ගෙනි.  රංජන් අයියා  යනු දක්ෂ කාටූන් ශිලිප්යෙකු බවත් ඔහු ළමා පත්තර වලට කාටූන් චිත්‍රකතා අඳින බවත් ප්‍රසාද් මා හා පවසා තිබුණි. එය සිහි වූ විට මට තවත් ලැජ්ජාව වැඩි විය. මගේ හිතේ වැඩකළ කාරණය වුයේ ඔහු විදුහල්පති තුමාට මේ බව දන්වාවිද ? යන්නයි. 

ඉන්පසුව යලිත් රංජන් අයියා මට මුණගැසෙන්නේ පානදුර-නුගේගොඩ 183 බස් මාර්ගයේ බස් රථයකදීය. දුටු ගමන්ම මා ඔහු අසලින් හිඳගෙන ඔහු හා දොඩමලු විය. පාසලේ ආදී ශිෂ්‍ය සංගමයක කොළඹ කණ්ඩායමක් නැතිද යන්න මගේ පැනයට ඔහු දුන් පිළිතුර මා මෙහි සඳහන් නොකරමි. මාධ්‍ය වේදියෙකු තුල තිබිය යුතු සෘජු බව ඉන් මනාව වැටහිණි. අදද රංජන් පරණවිතාන යනු කියන්න තිබෙන දේ කෙලින්ම පැවසීමට තඹ දොයිතුවක හෝ බියක් නැති පුද්ගලයෙකි. සමහරවිට එනිසා ඔහුට අහිමි වූ තනතුරු වරදාන බොහොමයක් තිබෙන්නට පුළුවන.

ඉන්පසුව රංජන් අයියා සහ මගේ මිතුදම තරවන්නේ ෆේස්බුක් සමාජ ජාලය හරහාය. ෆේස්බුක් ආරම්භ කල කාලයේම ගිණුමක් ආරම්භ කල මා, ආනන්ද, රෝයල් වැනි කොළඹ පාසල් වලට මෙන්ම අපේ පාසලටද ෆේස්බුක් පිටුවක් තිබුනානම් යන සිතුවිල්ල ඔස්සේ ගොස් ෆේස්බුක් පිටුවක් සාදා ගතිමි. පසුව රංජන් අයියාද ෆේස්බුක් තුලින් දකින්නට ලැබුණු නිසා, මා මේ ගැන ඔහුත් සමග අදහස් හුවමාරුවේදී පැවසීමි. ඉන් පසුව නිතිපතා මා ඔහු සමග "චැට්" කළේ, ඔහු අකුරු කරන හැම වදනකම මා වැනි පුද්ගලයෙකුට ගත හැකි දේ බොහෝ තිබුණු නිසාය. සෑම දිනකම උදෑසන, ෆේස්බුක් පිටුව ගැන මෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳවද ඔහුගෙන් කදිම ගුරුහරුකම් තොගයක් ලැබිණි. මෙවැනි කාර්යබහුල පුද්ගලයෙකු මා වැනි පාසල් කාලයේවත් නොහඳුනන, කෙනෙකුට උපදෙස් දීම ගැන මා සිටියේ සැබවින්ම මවිතයෙනි. 

අප පාසැලේ 71 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු පා ගමනට පාසලේ ආදී ශිෂ්‍ය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල මාලිංග බණ්ඩාරද එක් වී තිබුණි. නමුත් ඒ කාලයේ ඔහු මුණගැසී වචනයක් දොඩන්න තරම් මා ධෛර්යමත් පුද්ගලයෙකු නොවුණු යුගයක් විය. මට ඔහුගේ ඡායාරුපයක් ගැනීමටද අපහසු විය. මේ බව මා රංජන් අයියාට පැවසු විට, ජනමාධ්‍ය ඡායාරූප ශිල්පය කෙසේ විය යුතුද යන්න ගැන දිගු විශ්ලේෂණයක් ෆේස්බුක් චැට් ඔස්සේ ලැබිණි. ෆේස්බුක් වැනි සමාජ ජාලා අහිතකර බව සැවොම පවසන විට මා පවසන්නේ අවශ්‍ය නම් එය යහපත උදෙසාද භාවිතා කළහැකි බවයි. ඒ බව  පසක් කරගන්නට මේ නිර්ලෝභී මාධ්‍යවේදියාගේ නිහතමානී බව ඉවහල් විය.  මන්ද ඔහු යමක් කියා දෙන්නේ තමන්ගේ බාල සොයුරෙකුට උපදෙස් දෙන වැඩිමහල් සොයුරෙකු පරිද්දෙනි. 

නිශ්මන් රණසිංහ සුපිරි ක්‍රීඩා බ්ලොග් හිතවතාද පැය කිහිපයකට පෙර ෆේස්බුක් ස්ටේටස් එකක් මගින් පවසා සිටියේ ඔහු පුද්ගලික දැන හැඳුනුම් කමට වඩා හැකියාව ගැන සිතේ තබා ගන්නවා යන්නයි. ඇත්ත වශයෙන්ම ඒ පිලිබඳ සහතික කිරීමට මමද තවත් සාක්ෂියකි. එය මේ ලිපියේ අවසන් කොටස කියවන ඔබට පැහැදිලි වනු ඇත.

යලිත් මට ඔහු මුණගැසෙන්නේ එස්.එල්.පී.එල් සමාරම්භක උළෙලේදීය. මගේ මිත්‍ර සුභාෂ් සහ මම එයට සහභාගී වූයේ අපටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා උනන්දුවක් දක්වන මහජන බැංකු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල බන්ධුසිරි නමැති අපේ මිතුරාගේ ආරාධනයෙනි. එහිදී රංජන් අයියා සහ මම එකම පෙළ අසුන් වල හිඳ ගන්නා විට, සමහර නිලියන් පවා ක්‍රීඩකයින් අසලම අසුන් ගන්නා බව පෙනිණි. එය මා ඉතා අපහසුතාවට පත් වූ කාරණයකි. ශ්‍රී ලංකාවේ සිංහලෙන් ක්‍රිකට් ගැන සටහන් තබන ප්‍රමුඛ පුද්ගලයෙකු පමණක් නොව ඕනෑම ක්‍රිකට් ක්රීදකයෙකුට උපදෙස් දෙන්නට තරම් හසල දැනුමැත්තෙක් වන රංජන් අයියා ගැන බොහෝ දෙනා නොදන්නා කාරණා කිහිපයක්ම වේ. 

"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන කියමන සියයට සීයක් සත්‍ය නොවන බව පැහැදිලි වන එක් සරල උදාහරණයක් දෙන්නැයි කෙනෙකු මගෙන් විමසුවහොත්, මා දෙන කෙටි පිළිතුරු රංජන් පරණවිතාන යන්නයි. සමහරවිට ලිපිය කියවන ඔබ ඔහු ක්‍රිකට්/ක්‍රීඩා මාධ්‍යවේදියෙකු බව මේ වනවිට දන්නා කරුණක් විය හැක. නමුත් ඔහුගේ කාලයේ ඔහු කළුතර විද්‍යාල කණ්ඩායම, කළුතර පී.සී.සී. කණ්ඩායම නියෝජනය කල ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එමෙන්ම මලල ක්‍රීඩාව සඳහාද පාසල නියෝජනය කර ඇත්තෙකි. පාසල්, විශ්ව විද්‍යාල, ක්‍රීඩා සමාජ කණ්ඩායම් කිහිපයකම ක්‍රිකට් පුහුණු කරුවෙකි. ඒවා වචන වලට සීමා වන දේ නොවේ. එම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය පුද්ගලයෙකි. එමෙන්ම ඔහු ක්‍රිකට් විශ්ලේෂකයෙකි. ඔහු සහ අනෙකුත් ක්‍රිකට් මාධ්‍ය කරුවන්ගේ වෙනස මෙයයි. 

ඔබ නොන්දන්නා තවත් කරුණක් නම් ඔහු දක්ෂ චිත්‍ර ශිලිපියෙකු බවයි. එයද පත්තර වලට කාටූන් අඳින චිත්‍ර ශිලිපියෙකු බව ලඝු කොට වටහා ගත යුතු නැත. ශ්‍රී ලංකා පොලීසියේ අද පවතින ලාංඡනය ඔහුගේ නිර්මාණයකි. ක්‍රිකට් ගැන ඕනෑම සභාවක අතැඹුලක් මෙන් තම දැනුමෙන් කථා කළහැකි ස්වල්ප ශ්‍රීලාංකික මාධ්‍ය වේදීන්ගෙන් කෙනෙකි. ඉංග්‍රීසි සිංහල යන මාධ්‍ය දෙකෙන්ම විටෙක නිදහස් මාධ්‍ය වේදියෙකු ලෙස කටයුතු කරන ඔහු විවිධ ක්‍රීඩා ඉසව් ආවරණය කිරීමට ලෝකය පුරා සැරිසරා ලබා ඇති අත්දැකීම් සම්භාරය අතිමහත්ය. අද ඔහු ලක්බිම ප්‍රධාන ක්‍රීඩා කතුවරයාය. වරක් මා ඔහුගෙන් සංචාරය කර ඇති රටවල් ගණන කීයක්දැයි විමසා සිටියෙමි. එහෙත් එයට නිශ්චිත පිළිතුරක් දීමට ඔහුට නොහැකි විය. මා ඉල්ලා සිටියේ මේ අත්දැකීම බ්ලොග් අවකාශයට එක් කරන ලෙසයි. මා වරක් බ්ලොග් අඩවියක්ද ඔහු වෙනුවෙන් සකසා ඉල්ලා සිටියේ, මේ අත්දැකීම අප සමග බෙදා ගන්නා ලෙසයි. මගේ ඉල්ලීම පසෙක නොදා "හරි අපි බලමු" යයි පවසා සිටියේය. නමුත් අපගේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන්නැයි මා කල ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කරන්නට ගත්තේ තත්පර කිහිපයකි. ඒ දරන්නට බැරි වගකීම් භාර ගන්නට ඔහුගේ ඇති අකමැත්තයි.

යලිත් වරක් ඔහු සහ මා මුණගැහෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියේදීයි. ඒ මා විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලිය ආවරණය සඳහා මාධ්‍ය හැඳුනුම්පතක් කරේ එල්ලාගෙන කටයුතු කල මොහොතකයි. ඔහු සිටින තැන මේ මාධ්‍ය හැඳුනුම්පත මගේ කරට මහා බරක් දැනිණි. එහි පැමිණි ඔහුව දන්නා අය වූයේ මාත් නදීශානුත් පමණක් වීම පුදුමයට කරුණකි. එයට හේතුව එහි සිටි බොහොමයක් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල අප වැනි ආධුනිකයන් වීමය. අනෙක ඔවුන් සියල්ලම පාහේ අප මෙන් ඩිජිටල් මාධ්‍ය කරුවන්ය. ඔවුන් හා වැඩි ඇසුරක් ලබන්නට රංජන් අයියාට වෙලාවක් තිබෙන්නට නැත. අප දෙදෙනා සමග සුහද පිළිසඳරක යෙදෙන ගමන් මා කරන රාජකාරිය කුමක්දැයි විමසා සිටින්නටද ඔහු කාරුණික විය. මා ඔහුට පිළිතරු දුන්නේ ඉතා බියෙනි. ඒ ඔහු වැනි යෝධයෙකු ඉදිරියේ මා ලුලිපුට්ටේකු බැවිණි. නමුත් සැහැල්ලුවෙන් සහ සිනහවෙන් අප හා කථා කල ඔහු ඒ වනවිටත් කෙරෙමින් පැවති ක්‍රිකට් ක්‍රීඩකයින් පාපන්දු ක්‍රීඩා කිරීම දැඩි සේ විවේචනයට ලක් කළේය. 

පසුගිය වසරේ කළුතර මැන්ගුස්ටින් හටන නැරඹීමට මා ගියේ පාසලේ වර්ණය වූ කොළ පැහැති ටී ෂර්ට් එකකින් සහ පාසලේ පා ගමන දා මිලදී ගත් කැප් එකද පැළඳගෙනය. මා යනවිටත් වත්මන් ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති වූ ඔහු ලකුණු පුවරුව අසලට වී කරන්නේ කුමක්දැයි බලන්නට මා දිව ගියෙමි. මෙතරම් පිරිසක් සිටිනා තැනක ලකුණු පුවරුවේ පෙරදින ලකුණු ප්‍රමාණය ඔහු සටහන් කරමින් සිටී. ඔහු දුන් උපදෙසකට අනුව යමින් මොහොතක් හෝ ප්‍රමාද නොවී මා එය මගේ ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නගා ගතිමි. 

https://www.facebook.com/photo.php?fbid=10152124114514825&set=a.83204639824.71467.535429824&type=1&theater

එදින ලක්රේඩියොවෙන් සජීවීව ගෙනා විස්තර විචාරය මෙහෙයවූ විරාජ් මාපා වෙත මා කැඳවාගෙන ගිය ඔහු
"මෙන්න මෙයාවත් ඕකට සම්බන්ධ කර ගන්න" යනුවෙන් පැවසුවේ මා මවිතයට පත් කරමිනි.

ඒ සඳහා සුදුස්සන් ඕනෑතරම් සිටියත් මා තෝරා ගැනීමට ඔහු තීරණය කලේ කෙසේද ? නිෂ්මන්ගේ සටහනේ එයට පිළිතුර ගැබ්වී තිබුණි. ඒ ඔහු නිහඬව පුද්ගලයින් අධ්‍යනය කරන බවයි. මා එතනට කැඳවාගෙන යන්නට ඇත්තේ ඒ නිසාවෙනි. එදා මා තුල ඇති වූ මවිතය නැති වුයේ අද දිනයේදීය.

හදිසියේ මේ සටහන තබන්නට නිමිත්ත වුයේ, පසුගිය සතියේ හෘද්ධයාබාදයකට ලක් වී, බයිපාස් සැත්කමකට භාජනය වී, ඉක්මන් සුව ලබන බව ඔහුගේ ෆේස්බුක් වෝල් එකේ සටහන්ව තිබුණ නිසාය. එයද මා මවිතයට පත්කළ කාරණයකි. ඔහුට ඉක්මන් සුවය පතා සිටි පුද්ගලයින් ප්‍රමාණය කෙතරම්ද යන්න ඔහුගේ වෝලයට පිවිසි විට පැහැදිලි වේ. ඔහු ක්‍රීඩාවට කෙතරම් ඇල්මක් දැක්වීද යන්න තෝරා ගැනීමට ඔහුගේ ෆේස්බුක් ස්ටේටස් එකකින් උපුටාගත් පහල වැකි කිහිපය සමත්ය.
 A /L පන්තිත් ගිහින් ක්‍රිකටුත් ගහල ෆුට්බෝලුත් ගහල ටේබල් ටෙනිසුත් ගහල බැඩ්මින්ටනුත් ගහල මීටර් 400ත් දුවල,මීටර් 110 කඩුලුත් පැනල , මැරතනුත් දුවල,මීටර් 100,400, රිලේත් දුවල,ගෙදර ගිහින් P T S එකේදි කරුවල වැටෙනකල් බාස්කට් බෝලුත් ගහල,ඊට පස්සේ ජිම් එකට ගිහින් බොක්සිනුත් ගහල , කරාටෙත් ,ජුඩෝත් කරලා, ගත කරපු ඒ පාසල් කාලේ ආයේ එන්නේ නැහැ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් පැවැත්වෙන සමයක නරඹන්නකු පමණක් වීමට සිදු වීම තරම් වේදනාවක් ඔහුට නැති බව මට හැඟේ. මේ මොහොතේ විවේක සුවයෙන් පසු වී ඉක්මන් සුවය ලබන්නට ප්‍රාර්ථනා කරමි. මේ දිගු සටහන තබන්නේ ඔහුගේ නිහතමානී ප්‍රවීණත්වයට උපාහාර පිණිසයි. 

ක්‍රිකට් ලෝකයේ වර්ණ ගැලපිල්ල ...... Rainbow colours in World cup Cricket Teams

ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වී දින නවයක් ගෙවී ඇති මේ මොහොතේ, ඒ පිලිබඳ සටහනක් තබන්නේ එක වරම හිතට ආ කාරණයක් පිලිබඳ ඔබේ අදහස දැන ගැනීමටය. නීති-රීති සහ ක්‍රීඩාවේ සංකීර්ණ බව අතින් ක්‍රිකට් තිබෙන්නේ ඉහලම ස්ථානයකය. එය මහත්වරුන්ගේ ක්‍රීඩාව යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ, අතීතයේදී සමාජයේ ඉහල පැලන්ති වල අය මේ ක්‍රීඩාව කල නිසාය. ඒ නැතත් එයට සහභාගී වුවන් ක්‍රීඩාවේදී දක්වන මහත්මා ගුණයන්ද, එහි තිබු චාරිත්‍ර වාරිත්‍රද මේ නම් පටබැඳීමට හේතු වන්නට ඇත. ඒවා ඉතා ඈත අතීතයට දිව යන කාරණාය.

නමුත් මෑත අපිට පෙනෙන කාරණයක් වන්නේ, මේ වනවිට සියලුම එක්දින තරග පැවැත්වෙන්නේ පිජාමා ක්‍රිකට් යනුවෙන් හඳුන්වන, වර්ණවත් ඇඳුමින් සැරසී, සුදු පැහැති පන්දුවෙන් බොහෝවිට දිවා-රාත්‍රී තරග ආකාරයෙන් බවය. මෙය කරලියට ආ මුල් කාලයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනේ කණ්ඩායම් හතක් පමණි. කණ්ඩායම් වලට ඇඳුම් සපයා ගන්නා විටදී ඒ සඳහා වර්ණ තෝරා ගත් ආකාරය පිලිබඳ පැහැදිලි ක්‍රමවේදයක් තිබී නැත. එය අද තිබෙන තත්වයට පත්වන බව එකල ඔවුන් සිතන්නටද නොමැත. 

අද ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් වර්ණ තෝරා ගන්නා අකාරය කෙටියෙන් පැවසුවොත් මා කලින් සටහනක් ලියු තෙල් බෙහෙත් වෙළෙන්දාගේ පාපොච්චාරණ වැනි මට්ටමකට පත් වී ඇත. නිල්පාට ඇඳුමින් සැරසෙන කණ්ඩායම් ගණන බලන්න. ශ්‍රී ලංකාව, ඉන්දියාව, එංගලන්තය, ස්කොට්ලන්තය, ඇෆ්ගනිස්තානය, නිල් පැහැති ඇඳුමින් සැරසේ. මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා නොකලද නැමිබියාවද නිල් වර්ණයෙන් සැරසේ. මේ අතර නවසීලන්තයද ඔවුන්ගේ ඇඳුමට නිල් වර්ණය යොදාගෙන තිබේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ වර්ණය වන්නේ කළු සහ සුදුය. විටෙක ඔවුන් මස්ටඩ් කහ පැහැයද යොදා ගන්නා ලදී. 

පහල පින්තූර වලින් පෙන්වන්නේ මෙවර ලෝක කුසලානයේ නිල් වර්ණය හෝ ආසන්න වර්ණ හැඳ ක්‍රීඩා කරන කණ්ඩායම වල ටී ෂර්ට්ය.

ඇෆ්ගනිස්තානය
 එංගලන්තය
 ස්කොට්ලන්තය
http://www.newcricketjerseys.com/
 නවසීලන්තය
 ඉන්දියාව
 ශ්‍රී ලංකාව

පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, අයර්ලන්තය, කෙන්යාව සහ සමහරවිට ඔස්ට්‍රේලියාව කොළ පැහැති ඇඳුමෙන් සැරසේ. බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ රතු පැහැයට නෑකම් කියන වර්ණ වලින් සැරසේ. මෙහිදී බටහිර ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ ජාතික කොඩියේ වර්ණය වන මෙරූන් නැතිනම් කුණු ලේ පැහැය යොදාගෙන තිබේ. එම කණ්ඩායම් දෙක අතර ඒ අතින් තෝරා ගත හැකි වෙනසක් දක්නට ඇත. 

පහල පින්තූර වලින් පෙන්වා ඇත්තේ මෙවර කොළ හෝ ආසන්න වර්ණ වලින් සැරසෙන කණ්ඩායම්ය.

අයර්ලන්තය

 පාකිස්තානය
 දකුණු අප්‍රිකාව

පින්තූරය ගත්තේ : http://tariqzone.com/

ඔස්ට්‍රේලියාව මෙවර සහ ලෝක කුසලාන වලදී කහ වර්ණයෙන් යුත් ඇඳුමක් යොදා ගත්තද, විටෙක ඔවුන් තද කොළ පැහැයෙන් යුත් ඇඳුම වලින් සැරසේ.

රතු සහ ආසන්න වර්ණ වලින් සැරසෙන බටහිර ඉන්දීය සහ සිම්බාබ්වේ ඇඳුම්



කහ සහ කොළ මිශ්‍ර ඕස්ට්‍රේලියානු ඇඳුම


ලෝක කුසලාන වලදී ක්‍රීඩකයන් අඳින ඇඳුම් එකම ආකාරයක මෝස්තරයක් තිබුණා නම් හොදදැයි, එය මුලින්ම හඳුන්වා දුන් 1992 ලෝක කුසලානයේ ඇඳුම් වලින් පැහැදිලි වේ. අදටත් මා එම ටී ෂර්ට් වලට ආසාවක් දක්වන අතර 1996 දී ද එකම මෝස්තරයකට ටී ෂර්ට් මුද්‍රණය විය. නමුත් ඉන්පසු කණ්ඩායම් තමන්ට ආවේනික මුද්‍රණ හෝ මෝස්තර යොදා ගනිමින් මෙම ඇඳුම් නිර්මාණය කර ගනිති. මෙයට සාපේෂ හේතුව නම් ඒ සඳහා අනුග්‍රය දක්වන සමාගම ඒවා ඔවුන්ට සකසා දීමය. 

http://playingteam.com/
එකම වර්ණයෙන් යුත් කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරත්දී යම් නුහුරු බවක් අපට දැනේ. සාමාන්‍ය ක්‍රිකට් නරඹන්නන් මේ පුද්ගලයන් හොඳින් හඳුනයි. ඒ නිසා ඒ හැටි ගැටළුවක් නැතත්, කණ්ඩායම් දෙක වෙනස් වර්ණ පැළඳ සිටිනවානම් අගනේය. දැනටත් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ද්විතීක වර්ණයකින් යුත් ඇඳුම් භාවිතා කරයි. අවශ්‍ය නම් ඔස්ට්‍රේලියාවටද කොළ සහ රත්‍රන් වර්ණ ඇඳුම් යොදා ගත හැක. එවැනි එකම වර්ණයන්ගෙන් යුත් කණ්ඩායම ඇති තරග වලදී එවැනි දෙවෙනි ටී ෂර්ට් යොදා ගැනීම හොඳ යන්න මගේ විශ්වාසයයි. 



පාපන්දු හෝ රග්බි වැනි ක්‍රීඩාවක ඇති වේගවත් බව ක්‍රිකට් වල නොමැති බව සැබෑවකි. එනිසා විනිසුරුවන්ට ක්‍රීඩකයන් පැටලෙන්නේ නැත. අදද ටෙස්ට් ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම් සුදු ඇඳුමින් සැරසේ. එනිසා විනිසුරුවන්ට හෝ ක්‍රිකට් විස්තර විචාරකයන්ට මේ කොයි ආකාරය වුවත් ගැටළුවක් නැත. නමුත් ලෝක කුසලාන වලදී එකම මෝස්තරයක් විවිධ වර්ණ වලින් තිබුණානම් කදිමයි යන්න මගේ විශ්වාසයයි.

ප.ලි : කල්‍යාන මිත්‍රයෝ ඉන්න නිසා හොඳයි. බංග්ලාදේශයේ ටී ෂර්ට් එකේ පින්තූරය දැම්මේ කල්‍යාන මිත්‍රයා පෙන්වා දුන්නට පස්සේ.

Sunday, February 8, 2015

රටවල් විසිදෙකක අය තේ සාදාගන්නා අකාරය......

1. ජපානය 
මැට්චා යනු ඉතා සියුම්ව කුඩු කරන ලද ජපානයේ වැවෙන ඉතා ඉහල තත්වයේ ග්‍රීන්ටී වර්ගයකි. එය ජපානයේ සාම්ප්‍රදායික තේ උත්සව වලදී භාවිතා කරයි.  

ජපානයේ තේ සාදාගන්නා ආකාරය
Flickr: 7369638@N02 / Creative Commons
2. ඉන්දියාව
ඉන්දියාවට විවිධත්වයෙන් පොහොසත් තේ පිලිබඳ ඉතිහාසයක් ඇත. තේ කර්මාන්තය බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ඇරඹීමට  වසර දහස් ගණනකට පෙර සිටම දකුණු ආසියාවේ කුළුබඩු මිශ්‍ර චායි තේ පිරිනමා ඇත. පින්තූරයේ සටහන්ව ඇත්තේ ඉන්දියාවේ වැවෙන, සුදු දළු වලින් සාදන ඩාර්ජීලින් තේය.



Instagram: @curioustealtd
3. බ්‍රිතාන්‍යය
කහට තේ ලෙස හෝ කිරිතේ ලෙස දිනකට කිහිප වතාවක් බ්‍රිතාන්‍යයන් පරිභෝජනයට ගන්නා අතර අවශ්‍ය නම් එයට සීනි එක් කර ගනිති. කිරි වක්කර ගන්නා විට රත්රන් පැහැ ගැනීමෙන් ඉලක්ක කර ගන්නේ දෙවියන් වෙත දක්වන භක්තියයි. ඒ සඳහා ප්‍රථමයෙන් තේ(කහට) සාදා ගනී.


එංගලන්තයේ තේ බොන හැටි

4. තුර්කිය
උණුසුම් පානයක් ලෙස තුර්කිය වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ කෝපි සඳහා වුවත්,  එහි වැඩි ජනප්‍රියත්වයක් අත් කරගෙන ඇත්තේ සෑම කෑම වේලක් සමගම පිළිගන්වන, බොහෝවිට කෑම වේල් අතරද බොන,  චයි(Cay) තේ එහි ජනප්‍රියම පානය වේ. කහට තේ සමග කිරි එකතු කර නොගන්නා අතර තට්ටු දෙකක තේ පෝච්චියක් මගින් පෙරා එය සාදා ගනු ලබයි(මෙය අපේ රටේ තේ සාදා බොයිලේරුව උඩ තබා ගන්නා අකාරයේ ක්‍රියාවකි. මෙමගින් සිදු වන්නේ සෑදෙන තේ නැවතත් තැම්බීමයි. නමුත් අපේ වැඩිහිටියන් කකාරා තේ බීම හොඳ නැති බව පවසයි).

Flickr: 10527553@N03 / Creative Commons

5. ටිබෙටය
ටිබෙට් වරුන්ගේ පෝ කා(Po Cha) නැතිනම් බටර් තේ යනු තේ, ලුණු සහ යැක් (ගවයන්ගේ) බටර් වල එකතුවෙන් සාදා ගන්නා පානයකි. තිත්ත රස ඇතිකර ගැනීම සඳහා පැය ගණනාවක්ම තේ කකාරවන අතර ඉන්පසුව බටර් සහ ලුණු එහි කලතනු ලැබේ.

ටිබෙට් ජාතික තේ බොන ආකාරය ලුණු සහ බටර්
6. මොරොක්කෝව
ස්පියර්මින්ට් (මිංචි කොළ වර්ගයක්) ග්‍රීන්ටී හී තැම්බෙන්නට හැර මෙම පානය සාදා ගනී. මෙය මොරොක්කෝවේ මෙන්ම උතුරු අප්‍රිකානු කලාපයේ ජනප්‍රියයි.  

මොරොක්කෝ වැසියන් තේ සාදාගන්නා හැටි මිංචි කොළ


7. හොංකොං
සීත කල කිරි තේ ලෙස හොංකොං හී ප්‍රසිද්ධ මෙම පානය "පෑන්ටිහවුස්"(Pantyhouse) තේ සහ "සිල්ක් ස්ටෝකින්"(Silk Stocking) තේ යනුවෙන්ද හඳුන්වනු ලබයි. එසේ හඳුන්වන්නේ එහි වර්ණය බොහෝසෙයින් නිරුවත් ස්ටෝකින්ස් වලට සමාන වීමයි. එය විහිළුවක් නොවේ. මෙම පානය සාදා ගනු ලබන්නේ සීත කල තද තේ කහට වලට හිඳවන ලද කිරි  හෝ උකු කිරි  මිශ්‍ර කර අයිස් කැට සමග පිරිනමනවා.



හොංකොං අය තේ හදන හැටි

8. තායිවානය
මුතු කිරි තේ(Pearl milk tea) නැතිනම් බුබුළු තේ(aka bubble tea) ලොව  පුරා කථා වන මාතෘකා වී ඇති නමුත් එහි මූලයන් ඇත්තේ තායිවානයේයි. එය උණුසුම්ව හෝ සිසිල්ව පිළිගන්වනු ලබන අතර, සීනි සිරප් සමග පිසගත් ටැපියෝකා මුතු(මඤ්ෙඤාකකා වලින් සාදා ගන්නා කුඩා බුබුළු වර්ගයක්) මතට එක් කර සාදා ගනී. මෙනිසා ඔබට ෆ්රැපචිනෝ(ස්ටාර් බක්හී ඇති ජනප්‍රිය පානයක්) අවශ්‍ය නොවේ. 
තායිවානයේ තේ බොන හැටි මුතු කිරි සීනි සිරප්


9. ඇමරිකා එක්සත් ජනපදය

පැණිරස අයිස් තේ ඇමරිකානු දකුණු ප්‍රදේශයේ ජීවනාලිය බවට පත් වී ඇත. ඔවුන් බොහෝවිට තේ සාදාගන්නේ ලිප්ටන් තේ කකාරවා, සීනි මුසු කර පෙරා ගැනීමෙනි. ඔබට මෙයට ලෙමන් නැතිනම් බේකින් පවුඩර් ස්වල්පයක් එකතු කිරීමෙන් එහි මෘදු බවක් ඇති කර ගත හැක. 
ඇමරිකානුවන් තේ බොන විදිය අයිස් american

10. රුසියාව 

රුසියානුවන් කහට කෝප්පයක් සාදා ගැනීම සඳහා විවිධ වර්ග වල කළු පැහැති තේ කොළ වෙන වෙනම තැම්බෙන්නට හැර පෙරා ගන්නා අතර පසුව එය කොප්පයෙදී මිශ්‍ර කරයි. රුසියානුවන්ද සාම්ප්‍රදායිකව සැමොවාර් නමැති තට්ටු දෙකේ තේ පෝච්චියක් භාවිතා කරනු ලබන එහි එක් කුටීරයක් ජලය සඳහාද අනෙක් කුටීරය තේ සඳහාද භාවිතා කරයි. 


රුසියන් rusiyan තේ බීම

11. පාකිස්තානය
 චායි තේ ඉන්දියාවටම පමණක් විශේෂිත වුවක් නොවේ. පාකිස්තානු සන්ධ්‍යා යාමයේ ප්‍රසිද්දම තේ කෝප්පය වනුයේ සැර ත් ක්‍රීම් ස්වභාවයත් සහිත මසාල තේකය. 
පකිස්තාන් තේ බීම පුරුද්දක් කහට puruddak


12. තායිලන්තය
චායි යෙන් යනු තායිලන්තයේ තරඟයට එළැඹී ඇති අයිස් යෙදු කිරි තේ වර්ගය වන අතර එය සාදා ගන්නේ උකු කිරි සහ තම්බා ගන්නා ලද තායි තේ මිශ්‍රනයෙනි.

13. චීනය
චීන වැසියන් බෙහෙවින් තේ ප්‍රිය කරන අතර  විවිධ රසයන්ගෙන්යුත් තේ වර්ග විශාල ප්‍රමාණයක් පානය කරයි. පින්තූරයේ තිබෙන්නේ කහ පැහැති තේ කොළ වලින් නිෂ්පාදිත "පූ-එර්හ්" නමින් හඳුන්වනු ලබන තේ වර්ගය වන අතර පැකට් කරනු ලබන්නේ කැට හෝ බෝල වශයෙනි. තේ කෝප්පයට එක් කර උණු වතුර එක් කර සාදා ගත හැක. 
චීන තේ chainees කැට



14. ඊජිප්තුව
ඊජිප්තුව විශාල වශයෙන් තේ ආනයනය කරන අතර එහි සුලබව පානය කරන පැණිරස නොමැති කහට තේ මුළු දවස පුරා භාවිතා කරයි. හිබිස්කස් තේ ඊජිප්තු මංගල උත්සව වලට විශේෂත්වයක් එක් කරයි. 
ඊජිප්තුවේ කහට තේ තද  රතු


15. මොන්ගෝලියාව
සූටෙයි-ට්සායි  නමැති තේ මිශ්‍රණය සාදා ගන්නේ පැතලි පෑන් එකකට කිරි සහ ලුණු සමග තේ එකතු කිරීමෙන් සාදා ගන්නා පානයකි. මෙම රසවත් පානය බීමට භාවිතා කරන්නේ නොගැඹුරු ලෝහ කෝප්පයක සියළුම ආහාර ගන්නා අවස්ථා වලදී පානය කරයි. 
මොන්ගෝලියානු තේ පරිචය mongoliyawe

16. කෙන්යාව
තේ අපනයනයට මෙන්ම පානයටද කෙන්යානුවන් කැමැත්තක් දක්වයි. රට නිෂ්පාදනය කරන්නේ කළු තේ වුවද පානයට රුචියක් දක්වන්නේ කිරි තේ වලටයි. 
කෙන්යාවේ තේ kenyan Tea





17. ආර්ජෙන්ටිනාව
යෙර්බා මෙට් යනු දකුණු ඇමෙරිකානු රටවල වැවෙන සහ පරිභෝජනයට ගන්නා විටමින් වලින් අනුන ග්‍රීන් ටී වර්ගයකි. එමෙන්ම එය පෘතුගාලය, ලෙබනනය සහ සිරියාවේද ඇත. උණුසුම්ව සහ සිසිල්ව පිළිගන්වන්නට හැකි මෙම පානයේ විශේෂත්වය වන්නේ එහි ඇති දුම්ගැසූවාක් මෙන් සුවඳය.

අර්ජෙන්ටිනා ග්‍රීන් ටී Green Tea විටමින් බහුල

18. දකුණු අප්‍රිකාව

රූයිබොස් ශාඛය තද රතු පැහැයක් සහිත තේ ලබා දෙන අතර එය දකුණු අප්‍රිකාවටම පමණක් ආවේනික තේ වර්ගයකි. සාමාන්‍යයෙන් සීනි හෝ කිරි යොදා භාවිතයට නොගන්නා අතර, එම තේ වර්ගය ස්වභාවයෙන්ම මෘදු සහ පැණි රසයකින් යුක්තය. එය රාත්‍රී නින්දට පෙර පානයට කදිමය.
දකුණු අප්‍රිකාවේ තේ රුයිබෝස් aprika



19. කටාරය

කරක් චායි ලෙස හඳුන්වන වැඩි කහට කිරි තේ කෝප්පය කටාරය පුරාම ජනප්‍රියය. තේ කොළ වතුරත් සමග උතුරවා, 
කටාර් රාජ්‍යය තේ katar rate


20. මොර්තේනියාව

මොර්තේනියානු(උතුරු අප්‍රිකාවේ රටකි) මින්ට්/ග්‍රීන් තේ කෝප්පය විශේෂිත වන්නේ එය පිරිනැමීමේ සිරිත නිසාය. තේ බොන්නන් වරකට තේ කෝප්ප තුනක් පානය කරයි, ආරම්භයේදී තිත්ත රසක් ඇති මුත් අවසන් කෝප්පය වනවිට ක්‍රමයෙන් පැණිරස වැඩි වේ. ශ්‍රී ලංකාවේදී මෙන් "යාරය " දමා තේ කෝප්පයේ පේන ඇති කිරීමද සිදු කරයි. 

මොර්තෙනියාවේ තේ කෝප්පය mortheniyawa

21. මැලේසියාව
මැලේසියාව තේ අවශ්‍යතාවන් පරිපූර්ණත්වයට පත් වී ඇත්තේ එය අතුරුපස සහ සුලු කෑමක් සමග එක් කර ගැනීමෙනි. පෙන දමන තේ කහට සීනි සහ කිරි මුසු කොට සීතාව පිළිගන්වයි. ක්‍රීම් සංග්‍රහය දෙනු ලබන්නේ කෑම වේලක් අවසානයේ හෝ දහවලේදීය. 
මැලේසියාව තේ බොන the tharik



22. කුවේටය

සිත්ගන්නාසුළු සුපුරුදු සන්ධ්‍යභාග තෝරාගැනීමක් වන තේ කෝප්පය ඔවුන් සාදා ගනු ලබන්නේ තේ කහට සමග කරදමුංගු සහ සැෆ්රන් එකතු කර එයට කුළුබඩු රසයක් එක් කර ගැනීමෙනි. 

කුවේට් තේ  පානය kuwet kuwait


මෙය www.buzzfeed.com වෙබ් අඩවියට චෙල්සි පිපින්(Chelsey Pippin) විසින් සම්පාදනය කරන ලද  This Is What A Cup Of Tea Looks Like In 22 Different Countries ලිපියේ පරිවර්තනයකි.

Tuesday, February 3, 2015

ප්‍රෝක්‍රැස්ටිනේෂන්(Procrastination) නොහොත් අන්තිම මොහොතේ වැඩ කිරීම ......

ඔබ කැමතිම ක්‍රීඩාව කුමක්ද ? කියන මාතෘකාව යටතේ මම ලියපු පහුගිය සටහනේදී හෙළි වුණා, අපි අතරේ ඉන්න වැඩි දෙනෙක් අන්තිම මොහොතේ වැඩ කරන අය. ඒ කියන්නේ තදියමේ වැඩ කිරීම ? මට වගේම බොහෝ දෙනෙකුට මෙහෙම අන්තිම මොහොත දක්වා හිර වුණාම වැඩේ කරන්න පහසු වෙනවා. මේ වගේ අය දැක්කම අපේ වැඩිහිටියෝ කියපු කියමන තමයි "මොකද මේ කඩදාසිය ලිපේ දාලා වගේ ?" කියලා. ඒ සටහනේ කමෙන්ට් වලදී මම කිව්වා මතකද සමහර ලෝක පූජිත පුද්ගලයොත් මේ අපි වගේ වැඩ කරන අය කියලා. නමුත් වෙනවස්ක් තියෙනවා. 
Now Later on Blackboard written in chalk. Later box chechked
පින්තූරය ගත්තේ : www. mint.com

මම කිව්ව මේ ලෝක පූජිත අය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ වගේම ඉතාම ධනවතුන් වෙලා තියෙන්නේ එයාලාගේ ක්ෂේත්‍රයේදී එයාලා දක්වන ප්‍රමාදය. මෙන්න මේකට තමයි මාතෘකාවේ විස්තර වෙන ප්‍රෝක්‍රැස්ටිනේෂන් (Procrastination) කියන අන්තිම මොහොතේ වැඩ කිරීම ගැන විද්‍යාඥයෝ පර්යේෂණ කරලා තියෙන්නේ. උදාහරණයකට ලෝකයේ දැන් ඉන්න අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා රොජර් ෆෙඩරර් මේ ප්‍රෝක්‍රැස්ටිනේෂන් (Procrastination) ඉහළින්ම යොදා ගන්නවා කියන එක පර්යේෂණ වලදී සොයාගෙන තියෙනවා. අපිත් අන්තිම මොහොතේ වැඩ කරන්නේ, ඔවුනුත් එහෙමයි එතකොට අපි ටෙනිස් නොගහපු එකද වරද ? මේක අහලා කට්ටිය අද ඉඳලා ටෙනිස් ගහන්න පටන් ගන්න එපා. අපි දෙගොල්ලෝ අතර විශාල වෙනසක් තියෙනවා. 

එතකොට මොකක්ද මේ වෙනස ? නැෂනල් ජෝග්‍රැෆික්(National Georaphic) නාලිකාවේ මේ ගැන කරපු පර්යේෂණය ගැන වැඩ සටහනක් විකාශනය වුණා ටික කාලෙකට ඉහතදී. මම ඒ මොහොතේම තමයි හිතා ගත්තේ මේ ගැන බ්ලොග් සටහනක් ලියනවා කියලා. වැඩේ තියෙන්නේ අර අන්තිම මොහොත දක්වා වැඩේ ඇදගෙන යන පුරුද්ද නිසා මේ දක්වා ඒක ප්‍රමාද වුණා. මේකේ තියෙන නරක පැත්තත් ඒකම තමයි. මොකද මෙහෙම කල්-දාගෙන, කල්-දාගෙන ගිහිං අන්තිමේදී අමතක වෙලා ගිය වැඩ කොයි තරම් නම් තියෙනවද ? මට නම් අනන්තවත් තියෙනවා. ඔන්න ඔය හේතුව නිසා තමයි අපි සහ ෆෙඩරර්ලා වෙනස් වෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේත් මේ ක්‍රියාව සිදු කෙරෙනවා දඟ පන්දු යවන්නන්ට එරෙහිව පිතිකරණයේ යෙදෙන විටදී. එහෙම අය සාර්ථක වෙලාත් තියෙනවා. ඒ තමන්ගේ පහර තරමක් ප්‍රමාද කිරීම මගින්. 

ක්‍රිකට් වලදී නම් වෙන්නේ පන්දු රකින්නන් සාමාන්‍යයෙන් පන්දුව ගලා යා හැකි ස්ථාන වල ස්ථානගත කරලා තියෙන මොහොතක නම්, මේ ප්‍රමාදය නිසා පන්දුව ගමන් ගන්නා කෝණය වෙනස් වෙනවා. එහෙම වුණාම අර සාම්ප්‍රදායික ස්ථාන වල ඉන්නා පන්දු රකින්නන්ට තරමක් ඈතින් තමයි පන්දුව ගමන් කරන්නේ. එහෙනම් ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩකයා මොකක්ද කලේ ? හරි ඊට කලින් මම කියන්නම් මගේ සේවා ස්ථානයේ ඉන්න දක්ෂම අත්පන්දු ක්‍රීඩකයා කරන වැඩක්. 

සාමාන්‍ය ජීවිතයේදී ඉතාම කලබලකාරී, ඒ වගේම කලහකාරී, ඉක්මනින් කේන්ති ගන්නා මේ පුද්ගලයා අත්පන්දු ක්‍රීඩාවෙදී ඉතාම සංයමයකින් තමයි ක්‍රීඩා කරන්නේ. ඔහු දක්ෂ ඩෑෂ් පහර එල්ල කරන්නෙක්, නමුත් සාමාන්‍ය ශරීරයකට හිමිකම් කියන මේ පුද්ගලයාගේ දක්ෂතාව තමයි නෙට් එකේ ඉහල කෙලවර දක්වා පමණ ඉහළට උඩ පනින්න තිබෙන හැකියාව. එහෙම උඩ පනින ඔහු ඉතාම විකට ආකාරයට වටපිට බලනවා. ඔහුගේ තීක්ෂණ දෑසට පෙනෙනවා ක්‍රීඩකයින් අඩු ස්ථාන. මේක කරන්න ඔහු කෙතරම් වේගවත් වෙන්න ඕනෙද කියලා ඔබට වැටහෙනවා ඇති. ඉන් පස්සේ ඔහු කරන්නේ ක්ෂණයකින් පන්දුව අර ප්‍රදේශයට තල්ලු කරන එක. එමගින් ඔහු ලකුණු ලබා ගන්නවාට අමතරව ඔහුගේ ශක්තිය ඉතිරි කර ගන්නවා. බොහෝ ක්‍රීඩාවල පරිනත පුද්ගලයන් කරන්නේ මේ දේ තමයි කියලා පොඩ්ඩක් පරීක්ශාකරී වූනොත් පැහැදිලි වෙයි.

ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩකයා සමග ක්‍රීඩා කරන අනෙක් ක්‍රීඩකයාත් ඒ වගේම  දක්ෂ කෙනෙක්, බොහෝ විට රෆායල් නඩාල්, නොවැක් ජෝකෝවික්, ඇල්ෆ්‍රඩ් ට්සොන්ගා වගේ අය. එයාලා එල්ල කරන පහරක් පැයට කිලෝමීටර 150 ත් 200ත් අතර හෝ ඊට වැඩි වේගයකින් එන්නේ. මේ වගේ අවස්ථාවක දැලෙන් අනිත් පැත්තට පන්දුව යවා ගන්න එකත් දක්ෂතාවක්. නමුත් රොජර් ෆෙඩරර් මේ පහර එල්ල කිරීම තවත් මොහොතක් ඒ කියන්නේ තප්පරයෙන් පන්සීයෙන් පංගුවක් විතර ප්‍රමාද කරනවා. ඒ මොහොත ඇති මේ වගේ ක්‍රීඩකයෙකුට අනෙක් පස ඉන්නා ක්‍රීඩකයා නොමග යවමින් පහර දෙන්න. මෙන්න මේ හැකියාව නිසා තමයි ඔහුට අංක එක ස්ථානයේ බොහෝ කාලයක් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට තමයි ඔහු ගෙවීම ලබන්නේ. 

දැන් තේරෙනවා නේද වෙනස. අපි මොකද කරන්නේ. අපි දැන් කරන්න පුළුවන් වැඩෙත් ඒක කරන්න තියෙන අන්තිම මොහොත දක්වා කල් දානවා. අව්රුද්දක් ඇතුලට කරන්න පුළුවන් වැඩේ අවුරුද්ද්දේ අන්තිම දවසට කල් යනවා, මාසේ ඇතුලට කරන්න පුළුවන් වැඩෙත් මාසේ අන්තිමට, සතියේ කරන්න තියෙන වැඩේ සතියේ අන්තිම දවසට, දවසේ, පැයේ, දේවලුත් මේ විදියට කල් දානවා. අපි කරන එක එකට හේතුව බැලුවොත් කම්මැලි කම තමයි මුල් වෙන්නේ. නමුත් අදක්ෂයෝ නෙවෙයි. මේ වගේ අය මත වැඩ වැඩි කලොත් උපරිම ප්‍රතිලාභ ලබන්න හැකි බව මම දන්නේ මගේම අත්දැකීම් වලින්. මම වැඩ තොගයක් තියෙන දවසට අමතක වෙන්නේ නැතිව ඒ හැම එකම කරනවා. වැඩ අඩු දවසට කරන්න තියෙන ඒවායෙන් එකක් දෙකක් වුණත්, අතපහු කරපු අවස්ථාත් නැත්තේම නෑ. 

ඔන්න ඔය කාරණය නිසා තමයි අපේ ප්‍රෝක්‍රැස්ටිනේෂන් (Procrastination) එකයි රොජර්ගේ ප්‍රෝක්‍රැස්ටිනේෂන් (Procrastination) එකයි වෙනස් වෙන්නේ. මේක අඩුපාඩුවක් විදියට පිලිගන්නත් සමහරු කැමති නෑලු. එහෙම කැමති අය ඉන්නවා නම් ඉන් මිදෙන විදිත් තියෙනවා. මම පසු සටහනකින් ඒ ගැන විස්තර කරන්නම්. හැබැයි ඔබ තවමත් පිලිගන්නවා නම් පමණයි මේ දේ කරන්න පුළුවන්. කවුද පිළිගන්නේ අපි තවමත් ප්‍රමාදයි කියාලා ?

මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රස්ථා පිරුළු 
  • ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ
  • Better late than never
  • පනින්න පෙර සිතා බලනු
  • අද මුදලට හෙට ණයට 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...