මේ කතාව කොහොම ලියලා ඉවර කර ගන්නද කියලා මං කල්පනා කරපු වාර අනන්තයි. මේ කතාවේ අවසානය සිද්ධ වෙන්නේ මේ මාතෘකාවේ තියෙන වාක්‍යය ගාව. ඒක මතක් වුණ වෙලාවකට මට හොඳටම හිනා යනවා. ඒත් මේක සිද්ධ වෙච්ච කාලේ මම පපුවේ බිත්තර තම්බපු ආකාරෙ සිහි වෙලා ඇඟේ හිරි ගඩු පිපෙනවා. කොහොම නමුත් මේ සියලු අත්දැකීම් ලියා හමාරා කරන්න ඕනේ කියන බලාපොත්තුව හිතේ තියෙන නිසා, අද ලියන්න පටන් ගත්තා. නැත්නම් වෙන්නේ සෑහෙන කාලෙකට මේ මාතෘකාව ආයේ හිතන්ට එන්නේ නැති එක.
දයානන්ද අයියා කියන්නේ ඥාති කමට මට බාප්පා වෙන කෙනෙක්. ඒ වුණාට මම මිනිහට බාප්පා කියලා අමතපු දවසක් මතක නැති තරම්. ඒකට එක හේතුවක් තමයි දයානන්ද අයියා විවාහ වෙන්න ප්‍රමාද වෙච්ච එක. ඉතිං මිනිහා කොල්ලෝ සෙට් එකත් එක්ක තමයි ආශ්‍රේ. මේකට පාර කැපුනේ අපේ ගෙදරට මීටර් 50 විතර දුරින් පාරෙන් අනිත් පැත්තේ, පන්සලට හැරෙන තැනම තිබුණ මිනිහගේ කඩේ. ඒ වෙනකොට එයාගේ බිස්නස් දෙක තුනක්ම තිබුණා. මේ කඩේ ප්‍රධාන ව්‍යාපාරය නොවුනත්, රෑ මද්දවන එක තමයි ප්‍රධානම එක. උදේට රෑ ටික එකතු කර ගන්න යන්නේත් එයමයි. ඒවා ස්කාගාරේ පීප්ප වලට පුරවලා ඉතිරි හරිය ගමේ ඉන්න බඹරුන්ට පොවන එක මිනිහගේ රාජකාරිය. පොවනවා කිව්වට නොමිලේ නෙවෙයි. සල්ලි වලට.
උදේම රා ටික පීප්ප ගත කරලා මදින්නා උදේට කන්න ගිය වෙලාවට කඩේට එනවා. එතැන පැයක්-එකහාමාරක් වෙළඳාම කරලා, ආයෙත් රෑ එකතු කරන්න යනවා. මේ එකතු වෙන රා ටික බොහෝ වෙලාට යොදාගන්නේ සිල්ලර වෙළඳාමට. ඒක නීතියෙන් තහනම්. කිහිප වතවාක්ම අහු වුණත්, එයාලගේ ගේ පිටිපස්සේ ජයටම වැඩේ යනවා. මිනිහා වෙළඳාම වේගවත් කරන්න නොයෙකුත් ප්‍රයෝග කරනවා. දවසක් එහෙම කරපු එකක් අපෙත් එක්ක කිව්වා.
"එදා වැස්ස දවසක්. වැහි දවසට රා ටිකක් දියාරු හින්දා මිනිස්සු බොන්න එනවා අඩුයි. ඒ වුණාට මේ ටික ඉවර කර ගන්නත් එපැයි. ඒ වෙලාවේ රා බීපු මිනිහා දෙවෙනි වීදුරුව මගක් හරියට යනකොට මම කිව්වා 'අද නම් බඩු ටික ඉක්මනටම ගියා' කියලා. අර මිනිහා බොන ගමන්ම අතින් තව එකක් ඕඩර් කළා. ඒ වෙනකොට විකුණා ගන්න බැරි බෝතල් දහයක් පහළොවක්ම තිබුණා. මිනිහා එක හුස්මට වීදුරු තුනක් ඇදලා දැමමා. තුන්වෙනි එක ඉවර කළා විතරයි. දැම්මේ නැද්ද කබරයා. ඊට පස්සේ තව වීදුරු දෙකක් අරන් බිව්වා. මම ගොඩ"
වෙළෙන්දෙක් වුණාම, ඉතිං ඒ වගේ ප්‍රයෝග කරන එක සාමාන්‍ය දෙයක් වුණත් අපිට ඒ කාලේ මිනිහා ගැන පිළිකුලක් ඇති කරන්න ඒ සිද්ධිය සමත් වුණා. ඒත් අපි එක්ක තිබුණ යාළුකම හින්දා මේවා අමතක වෙලා යන්න වැඩි දවසක් ගියේ නෑ. හවස එක වෙනකොට රා ටික ඉවර වෙලා මිනිහා ඇවිත් කඩේ අරිනවා. කඩේ අගුව යට ලැල්ලක් ලී කොට දෙකක් උඩ සවිකරලා හදලා තිබුණ ලෑල්ලේ ප්‍රධාන සාමාජිකයෙක් වෙන්න මට ඒ කාලේ පුළුවන් වුණා. එහෙම රස්තියාදු ගහන්න එපා කියලා මට රසායන විද්‍යා පන්ති කරපු ඩන්කන් සර් මට කිහිප විටක්ම අවවාද කළා. තරුණ වියට බ්රේක් නෑ කියන්නැහේ මමත් අත ඇරියේ නෑ. මගේ උපාධියේ මුල් කොටස සම්පූර්ණ වුණේ ඒ බැංකු ලෑල්ල උඩ. අධ්‍යන විෂය වුණේ සමාජ විද්‍යාව. මෙතන රස්තියාදු ගහපු පූර්ණ කාලීන සාමාජිකයන් කවූරුවත් හිටියේ නෑ. ඒ ආසන්නයට ආවේ මම තමයි. අනෙක් අය කඩේට ගොඩ වෙන්නේ සිගරට් එකක්, බුලත් විටක්, පාන් ගෙඩියක් ගන්න. මම මිනිහට කඩේ වැඩ වලට සහයෝගය දුන්න අවස්ථාත් තිබුණා.
දයානන්ද අයියා නිතරම කියපු දෙයක් තමයි
"මම තමුසෙලාගේ තාත්තටත් මචං කියලා තියෙනවා - තමුසෙටත් මචං කියනවා"
කියලා. ඒක ඇත්තටම දෛවෝපගත සිදුවීමක්. මට නෙවෙයි ඔහුට. මොකද ඔහුගේ අත්දැකීම්වල තියෙන්න පුළුවන් මගෙන් සඟවන්න අවශ්‍ය දේවල්. මට ඒ වගේ දේවල දැන ගන්න අවශ්‍ය වුණෙත් නෑ. මේ කඩේට නිතරම ගොඩ වෙන අනික් සාමාජිකයින් තමයි. පැටී නොහොත් ජානක, ජයතිස්ස අයියා(දැන් ජීවතුන් අතර නෑ. බෙන්තොට ලිහිණියා සර්ෆ් හෝටලයේ කෝකියෙකු විදියට සේවය කරලා ඉවත් වෙලා හිටියේ), මහේෂ් සහ
මහින්ද සහෝදර වරු. නමුත් ඉඳ හිට ගොඩවන බොහෝ දෙනෙක් හිටියා. අපේ ගමේ ජීවත් වෙච්ච මහා පුදුමාකාර චරිතයක් වෙච්ච
පොලා නොහොත් ෆොරින් බොහෝ විට මෙතැනට ගොඩ වෙනවා සිගරට් පැකට් එකක් ගන්න. ඒ වගේම පුදුමාකාර නොමසුරු පුද්ගලයෙක්. එතැන ඉන්න බාල මහළු හැම කෙනෙකුගේම අතේ මොනවා හරි තියලා යන්න පොලා අමතක කරන්නේ නෑ. හොඳකට හෝ නරකකාට මේ කඩේ පොතට බඩු ගන්න පුළුවන් කම තිබුණා. ඒ නිසා තමයි මගේ මුල්ම රැකියාව කරන කාලේ මමත් පොතට බඩු(කෑම-බීම තමයි) ගත්තේ. ලොකු බිලක් තිබුණේ නෑ. මාසෙකට උපරිම රුපියල් එකසිය පහක් දහයක් වගේ ගාණක්.
මෙතනට එකතු වෙන අය බොහෝ මාතෘකා ඔස්සේ කතා කරනවා. දේශපාලනය කතා වෙන්නෙම නෑ. එහෙම වුණානම් විවිධ වාද-විවාද හේතුවෙන් කඩේ වැහෙන්න ඉඩ තියෙනවා. වැඩියෙන්ම කතා වෙන්නේ විහිළු කතා. කවුරු හරි කෙනෙක්ව දවසකට බයිට් එකට අල්ලා ගන්න එක එතන සිරිතක්. දයානන්ද අයියා කොහොමත් හිනා වුන ගමන් හිටිය කෙනෙක්. ඒ නිසා හිනාව පුරවන් දවස ගෙවුවේ. මිනිහා සෑහෙන වයසක් යනකම් විවාහ වුණේ නෑ. ඒකට නිශ්චිත හේතුවක් තිබුණෙත් නෑ. මේ කඩය කරනවා, රා මදිනවා. ඉතිං හොඳටම බිසී. ගමේ වගේම අහල පහල ගම් වලත් මගුලක්, මරණයක්, දානයක් තිබුණොත් නොවැරදීම යන එක මිනිහගේ හොඳ ගුණයක්. ඒ වගේමයි අලුත්ගම ලිබර්ටි සහ ලිච්ඡවී සිනමා ශාලා දෙකට එන චිත්‍රපට අත අරින්නේ නැතිව බලන එකත් මිනිහගේ පුරුද්දක්. සාමාන්‍යයෙන් කොල්ලෝ සෙට් එකක් එකතු වුණ තැනක ඉතින් සෙක්ස් ගැනත් කථා වෙනවානේ. මෙතනත් ඒ වගේ කථා ඕනෑතරම්. මොකද සංචාරක පුරවරයක ඒ වගේ අත්දැකීම් එතැනට ආ බොහෝ දෙනෙක් බෙදා ගත්තා. ඒ වගේ දෙයකට දායක වෙන්න බැරි ය හිටියානම් මමත් දයානන්ද අයියාත් පමණයි.
ඒ වගේම එතැන එක්තරා විදියක පුස්තකාලයක් වගේ තැනක්. ඒ මේ කඩේ පිටිපස්ස කොටසේ පදිංචි වෙලා හිටිය මදින්නා නොහොත් මදින මාමාගේ කාමර කෑල්ල. එතනට විවිධ පත්තර සහ පිටරටින් එන සෙක්ස් මැගසින් එකතු වෙලා තිබුණා. මෙතනට ඒ වගේ ඒවා ගෙනත් දාන්න බොහෝ දෙනා කාරුණික වුණේ, මෙතනට එකතු වෙන අයගේ ජන-විඥ්ඥානය දියුණු කරන්නම නෙවෙයි. ඔවුන්ගේ නිවෙස් වල වැඩිහිටියන්ගෙන් සහ දරුවන්ගෙන් මේ වගේ දේවල් ඈත් කර තබන්න ඔවුන්ට උවමනා නිසා. මේකෙන් වැඩි ප්‍රයෝජනය ගත්තේ එතනට හිස් අතින් ආව ගිය අපි වගේ අය. මේ මදින්නාගේ නම සැක්සන්. ඔහු කළුපටි කාරටේ ක්‍රීඩකයෙක්. පහු කාලෙක මමත් මහේෂුත් ඔහුගෙන් කරාටේ ඉගෙන ගත්තා.
දයානන්ද අයියා කොල්ලන්ට ගිනි-ගෙඩි දෙන්නත් උපන් හපන් කමක් දැක්වූ කෙනෙක්. දවසක් එතැනින් මෝටර් සයිකලයක ගිය ජයවීර පවුලේ කෙනෙකුගේ කලිසමේ පිටිපස්සේ පර්ස් එක අඟල් භාගයක් විතර උඩට ඇවිත් තියෙනවා දැකලා එතැන හිටපු මහේෂ්ට කිව්වා.
"වැඩි දුරක් යන්න කලින් අර පර්ස් එක වැටෙනවා. පස්සෙන් ගියොත් වරදින එකක් නෑ"
කියලා. මේක අහපු ගමන් දෙවරක් නොසිතා මහේෂ් බයිසිකලයට ගොඩ වෙලා පස්සෙන් ගියා. පය භාගයකට පස්සේ ආවේ හිස් අතින්. හිතපු විදියට වැඩේ සිද්ධ නොවී. මේකා පිටත් වෙනකොටම දයානන්ද අයියා ඔයදේ, ඔය විදියට සිද්ධ වෙන බව එහි සිටි අයට කීවේ සින්සෙමින්.
මේ කඩේත් ඉස්සර බොහෝ කඩවල වගේම, මේසය ඉතා උස එකක් වුණා. එහි පහල කොටස ලෑලි ගසා ආවරණය කර තිබුණා. ඒ ලෑලි ගහපු කොටසේ තමයි වෙළඳ දැන්වීම අලවලා තිබුණේ. මගේ ජීවිතේට මුහුණ දීපු ලොකුම අපහසුතා වලින් එකක් සිද්ධ වුණේ මෙන්න මේ දැන්වීමක් නිසා කිව්වොත් ඔබ පිළිගන්නවද ? මගේ ජීවිතේ තියෙන කං මට ඒ අත්දැකීම අමතක වෙන එකක් නෑ.
අවුරුදු හතළිහකට ආසන්න තනිකඩ දිවියට තිත තියලා, දයානන්ද මුදලාලි විවාහ වුණා. අපිත් ඒ වෙඩින් එකට බැහැලාම වැඩ කළා. අපේ ගෙවල් වලින් ඒ ගැන බාධාවක් තිබුණේ නෑ. ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ දෙයක් වුනු බ්රේක්-ඩාන්ස් තරගයක් කට්ටියගේ නර්තනය අවසානයේ තිබුණා. ඒ කාලේ බ්රේක් ඩාන්ස් කරපු අයට ජොයින්ට් නැති තැන් වලිනුත් අත් නවන්න පුළුවන් වගේ තමයි වැඩ කිඩ. වැඩි කාලයක් හනිමූන් ගත නොකර මිනිහා පුරුදු ව්‍යාපාරයට එකතු වුණා. වෙනසකට තියෙන්නේ කඩේ වැඩට බිරින්දෑ කැන්දන් ආපු එක. එයා ආවාට අර මෙසේ පිටිපස්සට වෙලා බයාදු විදියට බලාගෙන හිටියාට, දයානන්ද අයියා වගේ කඩේට එන අයත් එක්ක කතා-බහට ගියේ නෑ. මේ කඩේ දවල්ට ලයිට් දන්නේ නැති නිසා මද අඳුරු ගතියක් තිබුණා. ඇත්තටම ඇය කඩේ ඉන්නා බවක් වත් අපට දැනුනේ නෑ.
දවසක් පාසැල් ගොස් ආපසු තියෙන දෙයක් බඩට දමාගෙන, මම දයයන්ද අයියාගේ කඩේට දුවලා ගියා. ඒ යනකොට අර කියපු මෙසේ ලෑල්ලේ අලුත් පෝස්ටරයක් අලවලා. ඒක ඒ කාලේ නැතිවම බැරි දෙයක් වෙච්ච පවුඩර් වල දැන්වීමක්. අදටත් මට මේ වෙළඳ දැන්වීම් පෝස්ටරය මැවී - මැවී පේනවා. එහි මුද්‍රණය කරලා තිබුනේ
"පිපුණු මලක සුවඳ තුරුළු කර ගන්න ...."
|
පින්තූරය ගත්තේ : http://addspakistan.blogspot.com |
කියලා. ඒ වැකිය මේ සටහනට මාතෘකාව වෙන්නෙත් ඒ නිසා. ඒ කාලේ ඒ වගේ එකක් දැක්කම කට තියාගෙන ඉන්න බැරි කමක් අපිට තිබුණා. මේ වාක්‍යය එක පාරට කියාගෙන ගිය මම මෙහෙම කිව්වා
"පිපුණු මලක සුවඳ තුරුළු කර ගන්න - බැරිද මෙන්න මේකත් කටෙන් තියා ගන්න"
එහෙම කියලා මම දයානන්ද අයියාගේ ප්‍රතිචාරය බැලුවා. වෙනදා එහෙම එකක් කිව්වම කොක්-හඬලා හිනාවෙන මිනිහා ඉන්නවා තක්බීර් වෙලා. මෙහෙම කඩේ ඇතුලට පොඩ්ඩක් ගිය මම
"මොකද අද නිකං බය වෙලා වගේ. අපි අරක බලමුද ?'
කියලා. ඉහල රාක්කයක් උඩ තියලා තිබුණ නිල්-සඟරාව ගන්න හදනකොට
"මොන අරකක්ද ? - එතන මොනවත් නෑ. මොනවද ගන්න ආවේ"
කිව්වේ තරමක බැරෑරුම් මුහුණ ආරූඩ කරගෙන. මට එක පාරටම වම පැත්තේ කෙලරව මොකක්දෝ ඡායාවක් වගේ දෙයක් පෙනුණේ, මෙන්න මේ මොහොතේ. මගේ ඔලුවත් එක්ක හිරිවැටිලා ගියා. "යකෝ මේ මනුස්සයා මෙතන ඉන්නවා කියලා කවුද දන්නේ." කියලා හිතින් කියනා ගමන් මම පස්ස නොබලා දිව්වා ගෙදර. ගෙදර ගිහිං කාමරයට වැදිච්ච මම එලියට ආවේ රෑට කෑම කන්න. අවුරුදු ගාණක් පුරුදු තැනකට අලුතෙන් කෙනෙකු එකතු වුණාම, එහෙම නොවුනා වගේ දැනෙන එක සාමාන්‍යයි.
මේ සිද්ධිය ගොඩින් බෙර ගන්න දයානන්ද අයියා සමත් වෙලා තිබුණා. මගේ අතේ බීලා විසි කරපු සුරුට්ටු කොටයක් තිබුණා එයා දැක්කා කියලා. නමුත් එයාගේ වයිෆ් මේක අපේ අක්කා හරහා අපේ අමම්ටත් දැනුවත් කරලා තිබුණා. ඉන් පස්සේ වුණ හරිය ඉතිං විස්තර කරන්න අවශ්‍ය නෑනේ. තව පොඩ්ඩෙන් මිනිහගේත් කොලේ ඉරෙනවා.
Moral of the Story : යමක් පවසන්න පෙර දෙතුන් වතාවක් වටපිට බලන්න. මන්ද කටින් පිටවූ වචන ආපස්සට ගත නොහැකි බැවිනි.