Monday, January 13, 2014

ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීම ..... Reach your nose other way

අද උදේ පහට විතර දොර ඇරගෙන කුස්සිය පැත්තට ගියේ, මටයි පොඩි එකීටයි උදෑසන තේ වෙලා සාදා ගන්නට වතුර ලිපේ තැබීමටය. අද උදෑසන හීතල වෙනදාට වඩා වැඩි යයි මට සිතුනා. මේ දින වල අධික සීතල නිසා නිදන කාමරයේ සියළු ජනෙල් වසා දමන්නේ පින්න නිසා කෙලි පොද්ද ලෙඩ වෙන්න පුළුවන් නිසා. එවැනි සීතලක් මට මින් පෙර කොළඹදී දැනී නැහැ. දුරුතු මාසයේ සීතලට මා කුඩා කල සිටම ප්‍රියයි.   නමුත් ඒ සීතල නිසා හිත යට සැඟවිලා තිබුණ තවත් අපූරු අත්දැකීමක් මතකයට පැමිණියා. අපේ සේවිකාව ඊයේ උදෑසනම තම ගම් බිම් බලා පිටත් වුයේ තයිපොංගල් උත්සවය සමරන බලාපොරොත්තුවෙන්. මේ ගෘහ සේවිකා රැකියාවේ යෙදී සිටින බොහොමයක් දෙනා හිංදු ආගමේ තියෙන හැම උත්සවයක්ම සමරන්න වග බලා ගන්නවා. ආයතන වල රැකියා කරන අපි තමයි එවැනි දින වලත් බොහෝවිට සේවයට වාර්තා කරනවා. ඒ ඔවුන්ට එවැනි උත්සව සමරන්න අවශ්‍ය බරපැන සපයන්නම පමණක් නොවෙයි. නිවාස ණය ඇතුළු තවත් බොහෝ ණය නිසා මාසික පඩිපත කෘෂ වීම නිසා අතිකාල මත යැපෙන්න මා වැනියවුන් බොහෝ දෙනෙකුට සිදු වී ඇති නිසා. ඔවුන් මෙසේ ලැබෙන සෑම අවස්තාවකම ප්‍රයෝජනයට ගැනීම ඉවසන්න බැරි විටෙක මා ඇයගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා 

"ඕගොල්ලන්ට අවුරුදු කීයක් තියෙනවද ? අවුරුද්දකට ?" කියලා.

මා මුලින් හිතුවේ මෙය අප වැනි ගෘහ සේවිකාවන් සිටින අයට ආවේනික ගැටළුවක් ලෙසය. නමුත් එය තවත් බොහෝ දෙනාට බලපාන ගැටළුවක් බව පසක් වුණේ, මේ දිනවල මා මුද්‍රණ කටයුත්තක වෙනුවෙන් නිතරම මුද්‍රණාලයක් වෙත පියමනින නිසා. එහි අධිපතිවරයාත් මීට සමානම අදහසක් දැරුවා. ඒ මේ සතියේ මැදට එන නිවාඩු දෙකම එතුමාගේ මුද්‍රණ සේවකයන් ලබා ගන්නා බව. සමහරවිට ඇඟ වෙහෙසලා වැඩ කරන අය නිසා වෙන්නත් පුළුවන්. මා ගෘහ  සේවිකාව සමග වැඩි වාද විවාද වලට නොයන්නේ, එවැනි දක්ෂ සේවිකාව සොයා ගැනීමේ අපහසුව දන්නා නිසයි. ඉදිරියේදී ඇය ගැන වෙනම සටහනක් තබන්නම්.

මගේ මතකය නිවැරදි නම ඒ 2002 අගෝස්තු මාසයයි.  ඔය කියන වකවානුවේ මා සති දෙකක කාලයක් සඳහා මස්කෙළිය ශාඛාවේ රාජකාරියේ යෙදී සිටියා. එකල මා කල රාජකාරිය පිලිබඳ යමක් සටහන් කරන්නේ මෙහි පැමිණෙන නවක පාඨකයන් වෙනුවෙනි. එවක මගේ රාජකාරිය වුයේ ලංකාව පුරා විසුරුණු ශාඛා ජාලයෙන් පරිගණකගත වන ශාඛා වල නව පද්දතිය ස්ථාපනය සහ සේවක පුහුණුවයි. ජීවිතයේ මා ලැබූ සොඳුරු මෙන්ම කටුක අත්දැකීම් බොහොමයකට පසුබිම් වුයේ මේ රාජකාරියය. ඒ නිසාම තමයි ඇවිද්ද පය ...... බ්ලොග් එකට "රාජකාරි ගවේෂකයාගේ මතක සටහන්" යනුවෙන් තේමා පාඨය එක් කලේ.  අද කියන්න යන සතිය මේ සතියට බොහෝ සමාන ලක්ෂණ තිබුණා.  හේතුව සතිය මැද පසළොස්වක පෝය යෙදී තිබීම. හිතන්න, දුර ඈත නගරෙක  ඉන්න වෙලාවක සතිය මැද නිවාඩුවක් එනවා කියන්නේ මොන වගේද කියලා. එක අතකින් බැලුවොත් ඒක බෝනස් එකක්, තවත් අතකින් කරුමයක්. බෝනස් එකක් වෙන්නේ ඒ පළාතේ බලාකියාගන්න හොඳ තැනක් තිබීම. කරුමේ වෙන්නේ එහෙම දවසක නිකං ඉන්න වුණොත්. මට මේ දෙකටම නැති දෙයක් තමයි කරන්න වුණේ. ඒ කියන්නේ සරල රේඛාවකින් ඇන්දොත් කිලෝ මීටර් පනහකටත් වඩා අඩු දුරකින් ඉඳපු මගේ පෙම්වතිය බලන්න යන එක.
පින්තූරය ගත්තේ :http://globalbhasin.blogspot.com/
ඉතිං මම අර කියපු හීතල නොඅඩුව තියෙන පළාතක් තමයි මස්කෙළිය. කවුරු හරි මගෙන් ඇහුවොත් ලංකාවේ සීතලම කොහේද කියලා මගේ උත්තරය මස්කෙළිය. සමහරවිට ඊට වඩා සීතල තැන් ඇති මම නොගිය. එක පැත්තකිනි චුරු-චුරු වැස්ස, අනිත් අතින් දත් පැළෙන සීතල. දවල් රෑ කියලා වෙනසක් නෑ. රෑට නම් ඉතින් හොඳට පොරවාගෙන ගුලි වෙලා නිදියන්න පුළුවන්. ඒත් දවල්ට ශාඛාවේ කවුන්ටරයක ඉන්න කෙනෙක් ගාව හිටගෙන මේ සීතල දරා ගන්න ගියාම තියෙන සනීපෙ කියලා වැඩක් නෑ. බ්‍රාන්ච් එකේ අයත් එක්ක කතා වෙලා එයාලගේ චමරියේ උයන කෑම කන්න අවස්ථාව හදා ගත්තේ දවල්ට වුණත් එළියේ ඇවිදින්න තියෙන අමාරුව නිසා. මගේ මතකයේ හැටියට ඒ කර්තව්‍ය කරේ ඥානසිරි කියලා මහත්තයෙක්. අපිත් දවල්ට දානෙට වඩිනවා වගේ චමරියට ගිහිං පිළිවෙලකට තියලා තියෙන ඇඳන් වල වාඩි වෙලා උණු - උණුවේ බෙදා දෙන බත් කට පිච්චි-පිච්චි බඩට දා ගන්නවා. බ්‍රාන්ච් එකේ ඉන්න ගෑනු ළමයිත් ජාති බේදයකින් තොරව ඇවිත් මේ ඇඳන් වල වාඩි වෙලා කනවා. මුස්ලිම් තරුණියක් වෙච්ච නිම්නාස් වගේම දමිළ තරුණියක් වූ ලලිතා කියන දෙන්නත් අපිත් එක්කම ඇවිත් මේ ව්‍යාපාරෙට හවුල් වුණා. එක අතකින් ඒ අය අපේ ඇසුරට කැමති වුණා. අපිත් ඒ වගේමයි. අපේ බ්‍රාන්ච් එකට එන කුරියර්(බොහෝ දෙනෙක් කියන්නේ කූරියා කියලා) සේවාවේ තරුණයා කියන්නේ

එක්කෝ වහින්න ඕනේ. නැත්තං පායන්න ඕනේ. එක තැනකට වැහැලා තව තැනකට පායනකොට තමයි එපා වෙන්නේ. වහින හරියේදී වැස්සේ නාගෙන ගිහිං පායන හරියකදී හුලං වදිද්දී තියෙන්නේ පුදුම අමාරුවක්. ඒ වගේම තමයි සමහර ගස් වල මල් පාරට වැටිලා වැස්සත් එක්ක එකතු වෙලා සෙවල වගේ හැදිලා තියෙන තැනක බෙන්ඩ් එකක් ගන්න ගියාම. එක දවසක් මම එහෙම බෙන්ඩ් එකක් ගන්න ගිහිං ලිස්සපු පාරට තේ වත්තකට විසි වෙලා ගියා. මට එතන සිහිය නැතිව සෑහෙන වෙලාවක් ඉඳලා මගේ වාසනාවකට ඒ හරියේ දළු කඩන්න ආපු අක්කා කෙනෙක් දැකලා තිබුණේ. 
ඉතිං ඒ ටික අතුරු කතාවක් වුනත් මෙතනට එකතු කලේ මේ පැතිවල ජීවිත වල දුෂ්කරතාව තේරුම් කරන්න. අද ඒ වගේම හීතලක් දැනුණා, අනිත් අතින් හෙට - අනිද්දා දෙක සතිය මැද නිවාඩු. බොහෝ දෙනෙක් වගේ මේ නිවාඩුවට මමත් කැමති වුණා ඒ කාලේ හැටියට. මොකද මට ඒ කාලේ පෙම්වතිය බලන්න යන්න රැයක් දවාලක් නෑ. සමහර දවසකට රෑ දෙකට විතර ඇහැරුනොත් ඒ වෙලාවේ පිටත් වෙනවා. කොළඹ ඉඳලා බලන්ගොඩ කිට්ටුව තිබුන මේ පලාතට කිලෝ මීටර් සීයක් වුණත්, මස්කෙළිය සහ බලන්ගොඩ අතර තියෙන්නේ බොහොම කෙටි දුරක්. හැබැයි තවමත් මේ පළාත් එක අතර කේබල් කාර් නෑ. අනාගතයේ එහෙම එකක් ආවොත් හොඳයි. බොහෝ දෙනාගේ කාලේ ඉතිරි වෙනවා. ඔය කියන පෝය දවසට කලින් දවසේ හවස් වෙද්දී බ්‍රාන්ච් එක පාලුවටම ගියා. ඉතිරි වුණේ මමයි මගේ සගයා වෙච්ච අකිලයි බ්‍රාන්ච් එකේ කළමනාකාර තුමා(එතුමත් පිට ගං කාරයෙක්) මස්සිනා කියන ලේසි වචනයෙන් හඳුන්වපු අපේ මිත්‍රයා(නම මතක නෑ) කියන හතර පස් දෙනෙක් විතරයි. මම නින්දට ගියේ උදෑසන හතරට එලාම් එක තියලා.  ඒ පාන්දර හතරයි තිහට තියෙන බස් එක අල්ලා ගන්න.

මම හතරට එලාම් එක වදින්න මොහොතකට කලින් ඇහැරිලා එලාම් එක වැඩි වෙලාවක් වදින්න නොදී අක්‍රීය කලේ මගේ මිත්‍රයාගේ නින්දට   බාදා කරන්න තියෙන අකමැත්තට. තවත් විනාඩි ගණනකින් ඉතා ස්වල්ප ප්‍රමාණයකින් ඇඟ හෝදාගෙන කලින් සුදානම් කරගෙන තිබුණ ඇඳුම ඇඳ ගත්තා. මම උදේ යනවා කියලා අකිලට කියලා තිබ්බ නිසා, පාන්දර ඇහැරවලා කරදර කිරීම අනවශ්‍ය නිසාත් හෙමින් දොර වහගෙන යන්න පිටත් වුණා. හැමදාමත් ගෙදරින් එලියට යනකොට තියෙන පුරුද්දට සාක්කු පහටම තට්ටුවක් දාල බලලා හෝටලයේ පඩිපෙළ බැහැගෙන එලියට ගියා. හොද වෙලාවට මේ හෝටලයේ මුරකරුවෙක් හිටියේ. සමහර පැති වල තියෙන හෝටල් සහ තානායම් වල සේවකයෝ එන්නේ උදේ හතට විතර එතකං අපි ඉන්නේ නිවාස අඩස්සියේ වගේ. හතරයි තිහට තව විනාඩි දහයක් විතර තියෙන නිසාත්, දැඩි සීතල ඉවසන්න අපහසු නිසාත් ඒ වෙනකොට නගරයේ විවෘත්තව තිබුණ හෝටල් දෙකෙන් එකකට ගොඩ වෙලා කිරි කෝපි එකක් බී වහා බිල ගෙවා පිට වූවා. ඉන් පස්සේ කලින් දැනගත්ත පාර දිගේ පාන්දර වුණත් යුහුසුළුව ගමන් කරන කිහිප දෙනාට එකතු වුණා. මගේ මතකයට ආවේ රුසියානු පොත් වල තියෙන පරිසරය. ඇත්තටම කතාවක් ලියද්දී ඒ ප්‍රදේශයේ කාලගුණය ගැන අදහසක් දුන්නේ නැතිනම් ඒක ලොකු අඩුපාඩුවක්. සමහර පළාත් වල උදේ පාන්දර හතරටත් දාඩිය දානවා. අපි ලියද්දී ඒ ගැනත් සටහන් කරන්න වටිනවා.

කලින් අසා දැනගත් පරිදි බස් නැවතුම සොයා ගන්න අපහසු වුයේ නැත. අප ගෙනත් ඇරලවූ වාහනය හෝටලයේ නවතා තිබුණත්, එහි රියදුරා වූ රොෂාන් පෙරදින පාන්දර කොළඹ බලා පිටත් වුයේ මෙහි ආ ගමන එන්න පිටත් වෙත්දී හෝමාගම පොලීසිය විසින් රඳවා ගත්ත ඔහුගේ(අකිලගේ) රියදුරු බලපත්‍රය  රැගෙන ඒමටය. ඒ වනවිට ඔහු සතුව තිබුණේ පොතුහැර පොලීසිය මගින් ලබා දී තිබූ දඩ කොළයකි. එය රඳවා ගැනීම ප්‍රතික්ෂේප කල නීතිගරුක පොලිස් නිලධාරියා වෙනත් රියදුරු බලපත්‍රයක් ඇතිනම් රඳවා ගත හැකි බව දන්වා සිටි විට, අකිලගේ රියදුරු බලපත්‍රය ලබා දුනිමු. එම නීතිගරුක නිලධාරියා මෙසේ දඩ ලියවිල්ලක් ලබා දීමට ප්‍රථම අප ඔහුට සුපුරුදු ඉල්ලීම් මාලාව ඉදිරිපත් කලද ඔහු අප කියන සියල්ල සාවධානව සවන් දී, ඉතා නිරවුල්ව සිනහ මුසු මුහුණින් පිළිතුරු ලබා දුන්නේ අප නිරුත්තර කරමිනි. අප බැංකුවේ හදිසි ගමනක් යන බව පැවසූ විට ඔහුගේ උත්තරය වුයේ, හදිසි වෙලාවට අධික වේගයෙන් ගමන් ගැනීමට අවසරයක් බැංකුව ඔබ වෙත ලබා දී තිබේද යන්නයි. එනිසා ඔහු සමග එවැනි ගොඩින් බේරා ගැනීමක් පහසු නැති බව වැටහී ගිය විට, අපට නිහඬව ඔහුගේ කටයුතු නිහඬව කරගෙන යාමට ඉඩ දීම හැරුණු කොට කල හැකි කිසිවක් නොවිණි. සියල්ල අහවර වූ පසු මා ඔහුට කිට්ටු කර "මෙහි ගමන් කල හැකි උපරිම වේගය කුමක්ද ?" යන ප්‍රශ්නය ඉදිරිපත් කල විට, "හැත්තෑවකට අඩුවෙන් යන වාහන අපි අල්ලන්නේ නෑ" යන පිළිතුර ලබා දුනි. 

නිසල එහෙත් සීතල මස්කෙළිය නගරයට මදක් පහලින් ඇති එක බස් නැවතුමක වටවී සිටින ස්වල්ප දෙනා වත් හඬක් නොනගන මේ මොහොතේ එහි ඇත්තේ දැඩි පාලු ස්වභාවයකි. ඉතා ඈතින් බොඳ වූ එළි දෙකක් සමගින් මතු ගොඩ-ගොඩ හඬ සමගින් ඉබි ගමනේ ආ බස් රථය අප සිටින ස්ථානයේ තිරිංග යොදනවාත් සමග තැනින් තැන සිටි පිරිස බස් රථයේ දොරටුව අසල රොක් විය. අප ගොඩ වී හමාර වුවත් මේ බස් රථ වල කෙරෙන අනෙකුත් රාජකාරිය වූ තැපැල් මල්ල බාරගෙන අහවර වන තුරු බස් රථය පිටත් නොවිණි. ටිකට් පත ලබා ගත විගස මම දෑස් පියා ගත්තේ මද හෝ නින්දක් ලැබීමටය.  මා නින්දෙන් අවදි වනවිට් බස් රථය ඉතා අලංකාර පෙදෙසක් පසු කරමින් සිටියි, ඒ ගිනිගත්හේන නගරය පසු කොට මද දුරක් ගමන් කල විට හමු වන පෙදෙසයි. හිරු එලිය නැතත් අරුණෝදය නිසා හාත්පස පැහැදිලිය. පහලින් පුලින් යායක් වැනි වලාකුල් රැසක් ඇත. අතරින් පතර පෙනෙන තුරු ලතා මේ මනස්කාන්ත දර්ශනය වඩ-වඩාත් අලංකාර කරයි. මේ වනවිට සියළු ආසන පීරී ඇත. හිටගෙන සිටින අය අතර පාසල සිසුවෙක්ද වේ. අද වැනි පොහෝ දිනක පාසල් පැවැත්වේද ? නමුත් ඒ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුවෙකි. උදෑසන  එම බස් රථය අවිස්සාවේල්ල නගරයට පිවිසිණි. 

අවිස්සවෙල්ලෙන් බස් රථයෙන් බසින විට මට දැඩි උණුසුමක් දැනිණි. ඒ මස්කෙළිය විසින් ගිලගෙන තිබූ මගේ ශාරීරික උෂ්ණත්වය යලි ලැබීම නිසාය. අවිස්සාවේල්ලේ සමූපකාර අවන්හලට ගොඩ වූ මා ඉඳිආප්ප වලින් සප්පායක් වී නැවතත් බලන්ගොඩ දෙසට යන බස් රථයක බලාපොරොත්තුවෙන් බස් නැවතුම්පල ඉදිරිපස ඇති කුඩා බොස් හෝල්ට් එකට වී සිටියෙමි. තවත් මොහොතකින් බලන්ගොඩ බස් රථයක්ම එහි විත් නතර විය. දෙවරක් නොසිතාම මම බස් රථයට ගොඩ වී හිඳ ගතිමි.  බස් රථයපැල්මඩුල්ලට ලඟා වෙත්ම මගේ මතකයට ආවේ මා ඇගේ නිවසට යාමට කිසිත් මිලදී නොගත් බවය. නැවතත් පැල්මඩුල්ලෙන් බැස ගත් මා එහි ලඟා වනවිට උදෑසන නවයත් පසු වී තිබිණි. 

ඉතා රසවත්ම කොටස වන ආපසු එන ගමන දෙවන කොටසින් බලාපොරොත්තු වන්න. 

52 comments :

  1. රේඩියො ඒකෙන් කඩුවක් ගිලින හැටි කියලා දුන්නා වාගේ නොවැ කතාව.උනේ මොකක්ද කියලා බලාගන්ඩ දැන් ඉතිං ඊ ලඟ කොටස වෙනකම් බලා හිටහන්කො!!!

    ReplyDelete
    Replies
    1. පටන් ගන්නකොට හිතෙනවා එක කොටසින් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට අතුරු කතා එන්නේ ටයිප් කරගෙන යනකොට. සමහරවිට කතාවට වඩා අතුරු කතා රසවත් නිසා ඒවාත් ලියනවා. දෙවෙනි කොටස ඉක්මනින් ඉවර කරන්නම්.

      Delete
  2. රේඩියො ඒකෙන් කඩුවක් ගිලින හැටි කියලා දුන්නා වාගේ නොවැ කතාව.උනේ මොකක්ද කියලා බලාගන්ඩ දැන් ඉතිං ඊ ලඟ කොටස වෙනකම් බලා හිටහන්කො!!!

    ReplyDelete
  3. ඇත්තටම සුදීක මහත්තයෝ.....

    කතාව කොටස් දෙකකට කඩනව කියන්නෙ .... ආසයි....

    ReplyDelete
    Replies
    1. වෙනත් විකල්පයක් නෑ.

      Delete
  4. අද කොටසත් රසවත් සුදීක.:)

    ආපහු එන ගමනට වඩා පෙම්වතිය හමුවෙන කොටස ඊලඟට දාන්ට හොඳේ. වඩා රසවත් ඒ කොටස කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. හපොයි. ඊළඟ කොටස ඔබට රසවත් නොවෙන්න පුළුවන්.

      Delete
  5. සාස්තරකාරි කියාපු දේ හරි වගේ එහෙනං..
    :D

    ReplyDelete
    Replies
    1. මොනවද කිව්වේ ? මට මතක නෑනේ.

      Delete
  6. දෙවෙනි එකත් කියවලම කමෙන්ට් එකක් දාන්නම් :D

    ReplyDelete
    Replies
    1. මේකත් ඉතිං කමෙන්ට් එකක්නේ මලයෝ. ආ බව හඟවන්න.

      Delete
  7. මම හිතන්නේ කියන යන දේ ගැන පොඩි අදහසක් ආවා ගුගල් මැප් වලින් "ඩිරෙක්ෂන්" ගත්තාට පස්සේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මස්කෙළිය හා බලංගොඩ අතර තියෙන්නේ කෙටි දුරක්. මම මේ ශාඛාවට යත්දී ගියේ දෙතනගල, බොගවන්තලාව හරහා යන පාරෙන්. හරිම සුන්දර මනස්කාන්ත දර්ශනයක් තියෙන්නේ ගමනේදී.

      Delete
  8. එක හුස්මට කියවගෙන යන්න පුලුවං විදියට ලියල තියෙනව. මගින් නවත්තපු ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න.

    ඔය හීතල පැතිවල තියෙන ඉරු ඉළියෙ රස්නෙ අපිට දැනෙන්නෙ නැති උනත් අපේ ශරීරයට ඒක දැනෙනව. ඒකයි හීතල අස්සෙ උනත් දාඩිය දාන්නෙ.

    බලංගොඩට යනකොට තව කී තැනක බහීද දන්නෑ. :D

    ReplyDelete
    Replies
    1. අදම කොටලා ඉවර කරනවා.

      Delete
  9. සුන්දර අතීතයක් මතකෙට ගොඩ වැදිලා වගේ පේන්නේ. පෝස්ට් එක දික් වෙන්නෙත් ඒ නිසාම වෙන්ටෑ..

    ReplyDelete
    Replies
    1. සුන්දර වෙන්නේ අතුරු කතා වලින් නේද ?

      Delete
  10. හොදම කොටසෙදි මතු සම්බන්දයි. ??

    අර වගේ නීති ගරුක පොලිස් නිළධාරීන් ගැන අහන්න ලැබීමත් සතුටක් අයියෙ.

    ReplyDelete
    Replies
    1. මගේ මතකයේ හැටියට එතුමාගේ නම ගුණවර්ධන.

      Delete
  11. කොහේද ඉතිං තව එකකට ඉතිරි කරලනේ.ඊලග කෑල්ල තවත් රසවත් කියලා බලං ඉදිල්ලක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ රසවත්.

      Delete
  12. අපෝ මේකේ දිග දැක්කම රසේ යනවා කැලේ.. ගමන් බිමන් අඩු කරල කතාවත් කොට කරනවං හොදා මං හිතන්නේ.. (ආයි මොකටද පිට කහන්නේ. ඕං කියල දැම්මා)

    ReplyDelete
    Replies
    1. දේශකයාගේ බ්ලොග් එකේ මේකේ සමරියක් දැම්මොත් මගේ අමනාපයක් නෑ. D

      Delete
    2. හැහ් හැහ්.. සුදීක කට වරද්ද ගත්තද මංදා ! අන්න දාලා සමරිය...

      Delete
    3. කොහෙද ඉතින්, උන්දැගෙ බ්ලොග් එකේ තමා... :D

      Delete
  13. මධ්‍යම කඳුකරයේ සෑම ප්‍රධාන නගරයකම පාහේ මා සේවය කර තිබෙනවා. පිදුරුතලාගල මුදුනේ වාරි වර සෑහෙන කලක් සේවය කර තිබෙනවා. (වැඩිම එක දිගට දවස් 37 ක් ඉඳලා තියනවා) එහි සීතල ගැන කියන්න වචන නැහැ. (හැබැයි ජීවිතයේ මා විඳි අධිකතම සීතල වින්දේ හමුදා පුහුණුව සඳහා ඉන්දියාවට ගොස් සිටිය දී) නුවරඑළියට වඩා නානුඔය සහ හපුතලේ සීතලයි. එයට හේතුව නගර දෙකම සුළං කපොලු දෙකක පිහිටා තිබීමයි. මස්කෙලියේ සීතල මටනම් ඊට වඩා අඩුයි.

    ගූගල් සිතියමේ බලන්න මස්කෙලියේ සිට බලංගොඩට කොපමණ කෙටි දුරකින් යා හැකිද කියා. ඔබ කියන කාලයේ ඒ මාර්ගයේ බස්රථ ධාවනය නොවන්නට ඇති. අද බොහෝවිට ඇති.

    ReplyDelete
    Replies
    1. තවමත් බොගවන්තලාව, දෙතනගල හරහා බලංගොඩට එන පාරේ බස්රථ ගමන් කරන්නේ නෑ මම දන්නා තරමින්.

      Delete
  14. එහෙ මෙහෙ ඇවිදින්න වෙන ජොබ් ගැන හිතද්දී වෙලාවකට එපා වෙනවා..ඒත් එවැනි ගමන් තුළින් ලබන අද්දැකීම් ගැන හිතද්දී කියන්න තියෙන්නේ සල්ලි දීලවත් ගන්න බැරි අද්දැකීම් නේද මේ කියලා... තව දෙයක් ගිනිගත්හේනට නේද ;ලංකාවේ වැඩිම වර්ෂාපතනය තියෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. ගිනිගත්හේනට පොඩ්ඩක් එපිටින් තියෙන වටවල තමයි වැඩිම වර්ෂාපතනය වාර්තා වෙන්නේ. වැස්ස මනින්නේ නැති තැන් වල ඕනා තරම් වැඩිය ඇති.

      Delete
  15. මාත් ගොඩාක් ආසයි එහෙ මෙහෙ ඇවිදින්න තියන රැකියාවක් කරන්ඩ..එත් කොහෙද ඉතිං හමදාම ඉඳගෙන ඉන්න පුටුවෙ මුලුත් අදීද දන්නෙ නෑ මගේ..

    ReplyDelete
    Replies
    1. නිවාඩු දවස් දෙක තුනක් අල්ලාගෙන යන්නකෝ ට්‍රිප් එකක්.

      Delete
    2. මෙදා පාර ලන්කාවට ආවම කට්ටියම සෙට් කර ගෙන වනගත වෙන්න ඕනෙ..මේ වැලි ගොඩේ ඉඳල ඇති වෙලා

      Delete
  16. මාතෘකාවට අදාල කතාවට එන විදිහ ගැන මට තාම හෝඩුවාවක්වත් ලැබුන්නෑ....

    ReplyDelete
    Replies
    1. ගූගල් මැප් එකෙන් ඩිරෙක්ෂන් අරං බලන්න.

      Delete
  17. සුදීක අයියෙ අකුරක් නෑරම කියෙව්වෙ අසාවෙන්..ගලාගෙන යන විදියට අපිටත් ඒ දේවල් මැවිල පේනව වගේ..

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කොටසත් බලන්නකෝ.

      Delete
  18. සෙන්නගෙ කථාවට මමත් එකගයි...කථාව ලියලා ඉවර උනාට පස්සෙ ඒ බැව් ඔබටම දැනුන නිසා විය යුතුයි මෙවැනි මාතෘකාවක් යෙදුවෙ....දෙවැනි කොටසින් වෙනසක් වේ යැයි සිතමි....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කතාව ලියලා ඉවර වෙලා තමයි මාතෘකාව දැම්මේ. ඒත් මේ පොස්ට් එකට අදාළ අතුරු කතා නොදැම්මා නම් ගතියක් නෑ.

      Delete
  19. මම නොගවසුන පෙදෙසක කතාවක්. මවුබිමවත් හරියට නොදැක්කාට දුක හිතෙනවා. එක හුස්මට කියවූවා ගොඩාක් රසවත් .

    ReplyDelete
    Replies
    1. මගේ රැකියාවට මම ණයගැතියි ඒ පැත්තෙන්.

      Delete
  20. සුදික ලියන රසවත් මතක තවත් රසවත් වෙන්නේ ආවේණික භාෂා ශෛලියෙනුයි. ඒක හරිම සංයමයක් ඇති දෙයක්. ඒ නිසාමදෝ මන්දා අපිටත් මාර සංයමයක් ඇති වෙනවා.

    දෙවන කොටස එනතුරු බලං ඉන්නව ඕං... ඉක්මණට දාන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේ වනවිටත් දාලා තියෙන්නේ. රසික ඉල්ලීම් නේ.

      Delete
  21. ම්ම්ම්ම් එල එල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  22. හොදම හරියට ආවම කතාව නවත්තන එකනේ ඉතින් අවුල.. හරි බලමුකෝ ඊලග එක..

    ReplyDelete
    Replies
    1. මමත් අකමැතිම වැඩේ ඕක තමයි. ඔයාලා හොඳම හරිය කියලා එතැන හිතුවට මටනම් වෙනත් හරියක් තමයි හොඳම.

      Delete
  23. හොද කතාවක් දිග හරින්න වගේ යන්නේ...
    මම නම් වැඩිම සීතලක් විදලා තියෙන්නේ හෝටන් තැන්නේ.
    ලෝකාන්තයට යන්න පෙර තිබුන "ෆාර් ඉන්" කියල රෙස්ට් එකක්.
    දින 5 ක් නැවතිලා ඉද්දි පුදුම සීතලක් තිබුනේ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒ හරියත් ඒ වගේම හීතලයි තමයි. අපිත් වනජීවී රෙස්ට් එකේ හිටියා. මෙට්ටය අයිස් වගේ. එක පැත්තකට පෙරලුනොත් දෙවියෝ සිහි වෙනවා.

      Delete
  24. සීතලේ හූ කියන තරං මිරිස් දාල තියෙන මොනා හරි කාල උණු උණු කෝපි එකක් ගහන කොට තියෙන සනීපෙ...........
    නැද්ද මං අහන්නෙ....
    ඔයා කීව වගේ පොලිස් අංකල් කෙනෙක් නං මට තාම හම්බුවෙලා නෑ... මාත් පොලීසිය ගැන ලියල තියේ ඒත් මට නං හොද කියන්න ට්‍රැපික් කෙනෙක් හම්බෙලා නෑ... ඒත් මාත් පාරවල් හොයාගන්න බැරිව නස්පුට් වෙලා ඉන්න කොට නං තුං හතර පාරක් මට උදව් කරල තියේ...
    නරකය් කීවට ඒ වෙලාවට හිතෙනව හොද අයත් ඉන්නව කියල. ඒත් ආයෙ අපිට සද්දෙ දාං එනව නේද මළ කියන්නෙ නහුතෙට මළ.....

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...