Sunday, April 28, 2013

රජදහනියෙන් කොග්ගලට ....

රජදහනි එක්ස්ප්‍රස් යනු තවදුරටත් ශ්‍රී ලංකාවේ හෝ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක සේවාවක් නොවේ. එය තවමත් එහි මුලික අවධිය පසු කරමින් ගියත්, දැන් බොහෝ දෙන මේ සේවාව භාවිතා කරනවා. රාජධහනි යනු ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් අත් හැර දමා තිබණු දුම්රිය මැදිරි කිහිපයක් නවීකරණය කර සුඛෝපභෝගී තත්වයට ගෙනැවිත් යම්කිසි මිලක් ගෙවා සේවාවක් ලබා ගත හැකි අයට සපයන සේවාවක්. ඇත්තටම මෙය සමාගම දෙකක් මගින් ක්‍රියාත්මක වනවා. අනෙක් සේවාව එක්ස්පෝරේල් එයත් රාජධාහනියට දෙවැනි නොවන සේවාවක්. මෙය කොළඹ බදුල්ල මාර්ගය, කොළඹ ත්‍රිකුණාමයාල මාර්ගය, කොළඹ වව්නුයාව මාරගයන්හී ක්‍රියාත්මක වනවා.

මෙම සේවාවන් දෙක පිලිබඳ දිගු විස්තරයක් කිරීමට අවශ්‍ය නොවන්නේ, ඔවුන්ගේ වෙබ් අඩවි වල "අ" යන්නේ සිට මේ පිලිබඳ තොරතුරු අඩංගු වන බැවිනි. මේවාගේ සමාන සේවාවන් සැලකිල්ලට ගතහොත් මෙම සේවාවන් දෙකෙහිම දුම්රිය මැදිරි වායුසමනය කර ඇත. වයි-ෆයි අන්තර්ජලා පහසුකම් ඇත. එහෙත් ඔබගේම ඩොන්ගලය හෝ ජංගම උපකරණයේ ඇති අන්තර් ජාල පහසුකම භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. මා එසේ පවසන්නේ මගේ මුල්ම රජධාහනි අත්දැකීමත් සමගය. බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රියට අපි ඇල්ලෙන් ගොඩ වීමු. රාජධාහනි සඳහා අන්තර්ජාල හවුල් කරු වන්නේ මොබිටෙල් ආයතනයයි. නමුත් කඳුකර ප්‍රදේශ වලදී එක ලෙස ශක්තිමත්ව සිග්නල් නැත. එනිසා වරින් වර බාදා සිදු වේ. නමුත් මා පසුගිය සිංහල අවුරුදු සමයේ ගමේ යාම සඳහාද මෙම සේවාව භාවිත කලෙමි. මුහුදුබඩ මාර්ගයේ සිග්නල් පිලිබඳ ගැටළුවක් නැත.

මා තවමත් එක්ස්පෝරේල් සේවාව භාවිතා කර නැත. නමුත් එයද භාවිතා කිරීමට ඉතා කැමැත්තෙන් පසු වෙමි. ඔවුන් ඩයලොග් ආයතනය සමග එක්ව අන්තර්ජාල පහසුකම් සපයයි. මෙම දුම්රිය මැදිරියේ තිබෙන තවත් එක් අනර්ඝ සේවාවක් වන්නේ සාම ආසන දෙකක් සඳහාම විදුලි සැපයුමක් සපයා තිබීමයි. ඔබගේ ලැප්ටොප් පරිඝනකය, ජංගම දුරකථනය චාජ් කර ගැනීම සඳහා මෙය කදිම අවස්ථාවකි. ඉතාම දැකුම්කලු ඇතුලත අලංකරණයකින් මෙම මැදිරි සමන්විත වේ. රාජධාහනිහී ආසන ලෙදර් වලින් නිමවා ඇත. එය ඔබට අවශ්‍ය පරිදි සකසාගෙන, විවේකීව ගමන් කල හැක. එය ඉතාම සුවපහසු ආසන බව සඳහන් කල යුතුමය. වායු සමනයට අමතරව අවශ්‍ය නම් සිවිලින් පංකාද භාවිතා කල හැක.

මෙම සේවාවන්හී රුපවාහිනි සවි කොට ඇති අතර ඒවායේ නිරතුරුව කුමක් හෝ චිත්‍රපටයක් විකාශණය කරයි. අවශ්‍ය නම් ඔබට කැමති චිත්‍රපටයක් ඉල්ලා සිටිය හැක. නමුත් අනෙකුත් මගීන්ගේ කැමැත්ත මේ සඳහා අවශ්‍ය වේ. එහෙත් ඔබට මග දෙපස නරඹන්නට දේ අනන්තය. කඳුකර මාර්ගය මේ සඳහා විශේෂය. මුහුදුබඩ මාර්ඝයේද ඉතා දැකුම්කළු ස්ථාන වේ. එක්ස්පෝ රේල්හී මා දකින විශේෂත්වය නම් ඔවුන් ඔබට කෑම වේලක් සහ පුවත්පත් ලබා දීමයි. රජදහනිහී ආහාර පාන ඔබ මිලදී ගත යුතුයි. ඒවායේ මිලගණන් සාධාරණ ඒවා වේ. 

මේවාහී ආසන වෙන් කර ගැනීමේදී කුඩා ගැටළුවක් ඇත. ඒ ඔබ අන්තර්ජාලයෙන් ලබා ගන්නා වෙන් කිරීමේ මුද්‍රිතය මොබිටෙල් ආයතනය වෙත ගොස් නැවතත් මුද්‍රණය කර ගත යුතු වීමයි. ඇත්ත වශයෙන්ම එය මගියාට සිදු වන අපහසුතාවකි. ඒ වාගේම මේ සේවා සපයන්නාට ඇණවුම් අඩු වීමට හේතු වන්නකි. මා තවමත් එක්ස්පෝ රේල් ආසන වෙන් කරගෙන නොමැති හෙයින් ඒ පිළිබඳව වැඩි යමක් කීමට නොදනිමි. අවශ්‍ය නම් මේ සේවා දෙකම ජංගම දුරකථනය මගින් වෙන් කරවා ගත හැක. ඒ රජදහනි මොබිටෙල් සමග සහ එක්ස්පෝ රේල් ඩයලොග් දුරකතනයකින්. 

ගාස්තු වෙන් කිරීම අතින් එක්ස්පෝ රේල් සේවාව ඉදිරියෙන් පසු වේ. ඔවුන් ළමුන් සඳහා වෙනම ගාස්තු දක්වා ඇතත් රජදහනි එවන් පහසුකමක් සපයන්නේ නැත. අනෙක් කාරණය එක්ස්පෝ රේල් විවිධ දුම්රිය ස්ථාන වලට වෙනස් ගාස්තු දක්වා තිබීමෙන් ඔබගේ අවශ්‍යතාව මත ගමන සැලසුම් කිරීමට පහසු වීමයි. රජදහනි තරමක් දුරට මේ අවස්ථා වෙන් කිරීම කර ඇත. 

මේ සටහන තැබීමට හේතු වුයේ, රජදහනි සේව්වාව මීට පෙරද භාවිතා කොට තිබුණත්, අද අප දෙපාර්තමේන්තුවේ වාර්ෂික චාරිකාව පැවැත්වෙන දිනය වූ නිසාය. මගේ දියණිය සුපුරුදු පරිදි නිවාඩුව ගත කරන්නේ බෙන්තොටය. මේ සඳහා ගමන් ගත් බස් රථ සියල්ල දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් යාම නිසා ඇය කැඳවා ගැනීමට වෙනත් විකල්පයක් උවමනා විය. කොග්ගලට යන චාරිකාවට ඇය එක් කර ගැනීමට මට ඉතා ඕනෑකමක් තිබුනත් එක් විටක එම අදහස අත් හැර ගන්නට සිතුයේ ඇයගේ වම් ඇසෙ නගනයක් තිබෙන බව දන ගැනීමෙනි. නමුත් බෙහෙත් සමග ඇය කැඳවාගෙන යාමට හැකි බව සොහොයුරිය දැනුම් දුන්නේ ඊයේ හවසය. ඒ වනවිට සවස 6:30 පමණ වන්නට ඇත. මා මුලින්ම අන්තර්ජාලය පීරා සේවුයේ ඒ වනවිට විවෘතව පවතින මොබිටෙල් කාර්යාලයක් තිබේද යන්නයි. එවිට් හිල්ටන් හෝටලයේ තිබෙන කාර්යාලය මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව තිබෙන බැවින් දෙවරක් නොසිතාම ආසන වෙන් කර ගතිමි. ඊළඟට එම කාර්යාලයට ගොස් මුද්‍රිතය ලබා ගතිමි.

මා දෙහිවලින් දුම්රියට ගොඩ වූ අතර, දියණිය බෙන්තොටින් එක් කර ගතිමි. ඉතිං මා ලැබූ මේ අත්දැකීම ලබන්නට ඔබටද අවස්ථාව ඇත. ඔබ කාර්යබහුල මොහොතක විවේකයෙන් ඔබගේ ගමරට බලා යන්නට. විදේශයක සිට පැමිණි ඔබට තදබදයකින් තොරව එහා මෙහා යන්නටත්. දුරබැහැර විවාහ මංගල උත්සවයකට යාමටත්. අසනීප තත්වයෙන් පසුවෙන කෙනෙකු ගමනක් කැඳවාගෙන යන්නටත් මෙය කදිම අවස්ථාවකි. නමුත් එදිනෙදා භාවිතයට නම් මෙය මිල අධික විසඳුමකි. හදිසි අවස්ථාවකදී මිලට වඩා පහසුව වටිනවා නොවෙද ?





Wednesday, April 24, 2013

ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇනීම....

"සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්ම" කියන තේමා පාටය යටතේ ලොවපුරා විසිරී සිටින දුටු-නොදුටු සයිබර් මිතුරන් එක් තැන් කරවන තවත් සයිබර් සිහින් බක් මහ උළෙලක් පහුගිය 22දෙවෙනි ඉරිදා මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. එතනදී බොහොමයක් දෙනෙක් එක්ක දොඩමළු වෙන්න අවස්තාවක් ලැබුණා. ඒත් තවත් කිහිප දෙනෙක් මග හැරුණා. පහුගිය වසරේදී නම් මගේ බ්ලොග් එක කියවපු අය හිටියේ අතලොස්සක්. ඒ අයට අමතරව තවත් කිහිප දෙනෙක් එක්ක දොඩමළු වෙන්න ලැබුණා. ඒ වනවිට ජනප්‍රියම කමෙන්ට් කරුවකු වූ ඔබා මාමා යන සුරතල් නාමයෙන් හැඳින්වූ සනත් විජේවර්ධන මහතා එක්ක කථා කරන්න බැරි වීම ඉතාම කනගාටුවට කරුණක්.  එතනදී මගෙත් එක්ක කුළුපග වෙච්ච් ඒ වගේම, මුල්ම කාලෙදී මගේ බ්ලොග් එක කියවපු කිරිපුතා එක්ක බොහෝ වෙලා සුහද පිළිසඳරේ ඉන්න පුළුවන් වුනත්. "කවදා මුණ ගැහෙන්න බැරිද ?" කියන මගේ වැරදි තක්සේරුව නිසා ඔහුත් සමග දුරකථන අංකයක් වත් හුවමාරු කර ගන්න බැරි වුණා. 

නමුත් අද මගේ මාතෘකාව මේ සිහින බක් මහ උළෙල ගැන නෙවෙයි. ඒ මේ පහුගිය දවස් වල මම අත් දැකපු සිද්දි කිහිපයක් මුල් කරගෙන තේරුම් ගත්ත මනුෂ්‍ය ස්වභාවය ගැන පොඩ්ඩක් ලියන්න. මම දන්නවා අනිවාර්යයන්ම ඔබටත් මේ අත්දැකීම් ඇති බව. මම උදාහරණ කිහිපයකින්ම පැහැදිලි කරන්නම

ඔන්න අපේ දෙපාර්තමේන්තුවේ සේවකයෝ දෙදෙනෙක් යනවා මානව සම්පත් අංශයේ ප්‍රධානියෙක් හමු වෙන්න.

සේවකයා 1 : සර් අපිට මේ ප්‍රමෝෂන් එක අවුරුදු 21 වෙලත් නෑ, දැන් ඇවිත් අවුරුදු 7ක් වෙච්ච අයටත් ලැබිලා. අපිට ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ.
මා.ස.ප්‍රධානියා : බලන්න මටත් මේකේ හොඳටම අසාධාරණ වෙලා තියෙනවා, මම කළමනාකාර සහකාර ශ්‍රේණියේ අවුරුදු 7ක් ඉඳල තමයි, කළමනාකාර ශ්‍රේණියට ආවේ. සමහරුන්ට අවුරුදු තුනෙනුත් හබ වුණා.
සේවකයා 2: වෙන්න ඇති සර්. ඒ වුනාට අපිට තියෙන්නේ සමාජයට මුහුණ දෙන්න බැරි ප්‍රශ්නයක්. කසාද බඳින කොට නෑ, ළමය ඉස්කෝලෙට දානකොට නෑ. අපි බැංකුවට එනකොට ඉස්කෝලේ ගිය ඇය දැන් ලොකු ජොබ් කරනවා. පුදුම ලැජ්ජාවක්.
මා.ස. ප්‍රධානියා : එහෙම වුනා කියලා අධෛරියට පත් වෙන්න නරකයි. කවදා හරි මේවා නිවැරදි වෙයි. මමත් මේ ඒ.ජී.එම් කෙනෙක් වෙලා තියෙන්නේ.

මේ අය තවත් ලොක්කෙක් මුණ ගැහෙනවා

අංශ උප ප්‍රධානි : ආ. අන්න ඔයාගේ වැඩේ ගැන මම කතා කරලා තියෙන්නේ.  බලනවා මමත් මේ ප්‍රමෝෂන් නැතිව අවුරුදු හතරක් බලාගෙන ඉන්නවා. (හැබැයි සේවා කාලය අවුරුදු 19යි, ප්‍රමෝෂන් 4යි)
සේවකයා : අපිට නම් දැන් සංසාරේ එපා වෙලා ඉන්නේ. අවුරුදු විස්ස වෙනකම් මේ බලාගෙන ඉන්නේ අර්ලි රිටයර්මන්ට් එක ගන්න.
අංශ උප ප්‍රධානි : (තම මේස ලාච්චුව අරිමින්) මමත් මේ ෆෝම් සෙට් එකක් තියාගෙන් ඉන්නේ. විස්ස වුන ගමන් යනවා.

ඔන්න තවත් අපේ සේවකයෙක් වැටිලා එයාගේ කකුල පෙරලිච්ච් කතාවක් කියනවා. ඒක අහගෙන ඉන්න කෙනා එයාගේ කකුල කැඩිච්ච එකක් කියනවා. 

මේ වගේ කතා අනන්තවත් ඔබත් අහලා ඇති. කෙනෙක් තමන්ගේ දුක කියනකොට තමාගේ පරණ විඳලත් ඉවරත් වෙච්ච දුකක් පිළිතුරක් විදියට දීම කොතරම් සාධාරණද ? හරිනම් අනේ කොහොමද වුනේ ? දැන් රිදෙනවද ? අපෙන් මොනවද වෙන්න ඕනේ වගේ පිළිතුරක් නැත්නම් අස්වසීමක් කරන්න අවශ්‍ය වෙලාවක් ඒ වගේ දුක -පිට-දුක පැටවීම කෙතරම් සාධාරණද ?

ඔබ හොඳ ඇහුම්කන් දෙන්නෙක් වුනොත්, බොහෝ දෙනා ඔබ හොඳ නායකයෙක් ලෙස පිළිගනීවි. අර විදියට උත්තර දුන්නොත් අර දුක කියන්න ආපු මනුස්සයාගේ දුක දෙගුණ තෙගුණ වෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. අපේ ඔෆිස් එකේ කෙනෙක් ඉන්නවා පලවෙනි එක්කෙනා කතාව ඉවර කරන්න කලින්ම මැද්දට පැනලා එයාගේ අත්දැකීම කියාගෙන කියාගෙන යනවා. පොඩිවත් ඉවසීමක නෑ.  වෙලාවකට හිතෙනවා එයාට ඒක මතක තියාගෙන ඉඳලා ඉවර වුණාම කියන්න බැරි ඇයි කියලා. 

තවත් සමහරු ෆිට් එකටත් ඒ වගේ තමන්ගේ අත්දැකීම් බෙදා ගන්නවා. ඒ කියන්නේ ඔබගේ පොකට් එකට ගැහුවා කිව්වම. අනේ මචං මටත් ගහලා තියෙනවා ගණන් ගන්න එපා කියලා හිත හදන්න උත්සාහ ගන්නවා. මම දන්නෑ කොයි දේ හරිද කියලා. මගේ ක්‍රමය නම් අර කෙනා ඉවර වෙනකම් ඉන්න එක. පස්සේ කිවුයුතු දෙයක් තියෙනවා නම් කියනවා. 

ඔයාලා මේ වගේ අවස්ථා වල හැසිරෙන්නේ කොහොමද ?


Sunday, April 21, 2013

බ්ලොග් කරුවන්ට RedBull සත්කාරයක්.....

සයිබරයේ සිහින බක් මහ උළෙල පටන් ගන්න තව ඇත්තේ පැයකුත් මිනිත්තු කිහිපයක්. රෙඩ්බුල් කියන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. ඔයාලා දන්නවා ඇති මම පහුගිය ටිකේ රෙඩ්බුල් කැම්පස් ලෝක ක්‍රිකට් තරගාවලියට සහභාගී වුන බව. එතනදී මම රෙඩ්බුල් ප්‍රවර්ධනයට සම්බන්ධ නදීර උඩවත්ත කියන මගේ මිතුරාට කිව්වා අපේ අවුරුදු උත්සවය මේ මාසේ 21 තියෙනවා කියලා. එතනදී එන හැමෝටම රෙඩ්බුල් එකක් දුන්නොත් කොහොමද කියලා නදීර මගෙන් ඇහුවා. මමත් අපේ රාජ් මල්ලිට කථා කරලා, පස්සේ ප්‍රදීප්ටත් කතා කරලා විනාඩි ගණනකින් මේක සුදානම් කර ගත්තා. 

සිංහලෙන් බ්ලොග් ලියන අපිට මේ වගේ සත්කාරයක් කරන්න එයාල ඉදිරිපත් වෙච්ච් එක ගැන මට වගේම ඔබටත් ආඩම්බරයක් ඇති. එයාලා මේ වෙනුවෙන් අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවන නිසා. මට අර තරගාවලියේදී තේරුණා දෙයක් තමයි ඔවුන් බ්ලොග් කරුවන්ට දක්වන කැමැත්ත. ඒ තරගාවලියේදී ඕනෑම ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් හෝ හිටපු ක්‍රීඩකයෙක් ආවා නම් එයාලත් සමග  මුලින්ම පිළිසඳරට අවස්ථාව දුන්නේ සුදීකට. ඒ කියන්නේ සිංහල බ්ලොග් කරුවට. මට ඒකෙන් තේරුනා එයාලා බ්ලොග් කරුවන් එක්ක සමීපව කටයුතු කරන්න කැමතියි කියලා. අනෙක් රටවලත් බ්ලොග් කරුවන් එයාලා එක්ක එකතු වෙන බව දැන ගන්න ලැබුණා.

ඉතිං අපිට දීපු මේ පිළිගැනීමට නදීර උඩවත්ත මගේ මිතුරාටත්, රෙඩ්බුල් ආයතනයේ ශොභානා කැගූ මහත්මියටත් මා ස්තුති වන්ත වෙනවා. 

එහෙනං තව සුළු මොහොතකින් ඔබ - අප එක් කරන සයිබරයේ සිහින බක් මහ උළෙලේදී හමු වෙමු. 
ඇත්තටම ඒ අවස්ථාවට එකතු වෙච්ච රෙඩ්බුල් ටීම් එක එහි පැමිණි සියලු දෙනා අත රෙඩ්බුල් කෑන් එකක් තැබුවා.

එයාලා අඩුම වශයෙන් එතැන රෙඩ්බුල් කෑන් 200 ක් වත් බෙදා දුන්නා. එකක් රුපියල් 295ක් වෙනවා ඉතිං එයාලා අපි වෙනුවෙන් රුපියල් 59000 ක් වියදම් කරලා. කාට හරි හිතෙන්න පුළුවන් එයාලට යන්නේ කෝස්ට් එක විතරයි කියලා. ඒත් ලාභය රුපියල් 100ක් කියලා හිතුවත් රුපියල් විසිදාහක් අපි වෙනුවෙන් වැය කරලා. 

Thursday, April 18, 2013

ඉරට අකීකරු .....

මගේ පහුගිය සටහන් තුනෙන්ම අවරුදු උත්සව මතකයන් අවධි කළා. අවුරුදු උත්සව වලට දැන් කියන අලුත්ම නම තමයි සූර්‍ය මංගල්‍යය. මේක හඳුන්වලා දුන්නේ හසන්ත මහත්තයා කියන්නේ. මොනවා වුනත් අවුරුදු උත්සව කිව්වම අමතක කරන්නම බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමා ඉර. කථාවට මේ දවස් වල ඉරට හැතම්මයි කියලා කියන්නේ. ඇත්තටම ලංකාවට මේ දවස් වල ඉර මුදුන් වෙන කාලේ. මේ පහලින් තියෙන පින්තුරෙන් පැහැදිලි වෙනවා ඒක. 
[පින්තුරය ගත්තේ : http://ganymede.nmsu.edu ]
මේ පින්තූරෙන් පෙන්වන ආකාරයට පෘතුවිය සුර්යයාට ඉතාම ලඟින් ගමන් කරන කාලයක්. දෙසැම්බර් මාසෙට සාපේක්ෂව ගත්තොත් ගණිතමය වශයෙන් නොවුනත් හරි ලඟින් ගමන් කරන්නේ. ඉතින් මේ දවස් වල ලංකාවේ අපිට හිරු රශ්මිය වැඩියෙන් ලැබෙනවා. ගිනි අව්වේ අවුරුදු උත්සව පවත්වන කාලයක් නිසා එක පැත්තකින් දාහය වැඩියි, අනිත් පැත්තෙන් අව්වට හම පිච්චෙනවා වැඩියි. අවුරුදු උත්සව මතක සටහන් 1 ට ප්‍රතිචාර දක්වපු නදිනි අබේනායක කියලා තිබුණා "ඉස්සර පිච්චේනවට බයේ අවුරුදු උත්සව බලන්න ගියේ නෑ" කියලා. ඉතිං ප්‍රතිචාරයක් විදියට මම කිව්වම "දැන් සන්බ්ලොක් තියෙනවා නේද ?" කියලා. එතකොට නදිනි කියනවා "ක්‍රීම් ගෑවාම මාව ඇලෙනවා ඇලෙනවා වගේ" කියලා. ඉතිං මම එතනදී සන්බ්ලොක් ගැන සටහනක් ලියනවා කියලා පොරොන්දු වුණා. මේ ඉටු කරන්නේ ඒ පොරොන්දුව.

මගේ තියෙන එක නරක පුරුද්දක් තමයි විවිද බෙහෙත් වර්ග ආලේපන වර්ග වගේ දේවල් ගත්තම ඒවායේ එන පුංචි පත්‍රිකා, එක්කෝ ඒවාගේ මුද්‍රණය කරලා තියෙන හැම දෙයක්ම කියවලා බලන එක. සමහර ඒවායේ නම් හොඳ විස්තරයක් ඒ භාණ්ඩය එක්කම ලබා දීලා තියෙනවා. එහෙම නැති වෙලාවට මම අන්තර්ජාලයෙන් හොයාගෙන කියවලා බලනවා. 

මාව අව්වේ හිටියම හොඳටම පිච්චෙනවා. මුල් දවසේ රතු වෙනවා. පස්සේ දුඹුරු වෙලා මේක අඩු වෙන්න මාසයක් විතර ගත වෙනවා. අනිත් එක අව්වට පිච්චුනා පාරවල් ඇඟේ එහෙමම වදිනවා. ඉස්සර එහෙම පිච්චුනාම හමත් ගැලවෙනවා. ඉතිං ක්‍රීඩකයෙක් වෙච්ච මට අවුරුද්දට අඩුම ගණනයේ දවස් දහයක් වත් අව්වේ ඉන්න වෙනවා. ඉස්සර මමත් දන්නේ නැතිව සන්ක්‍රීම් එකක් අරගෙන ගාලා බය නැතිව සෙල්ලම් කළා. ප්‍රතිඵලය වුනේ හිටියත් වැඩිය හොඳටම කළු වෙන එක. පස්සේ මම ඒක්‍රීම් එක ගාන එක නතර කළා. 

දැනට අවුරුදු හයකට විතර කලින් මට සුපර්මාර්කට් එකේ දැක්කා සන්බ්ලොක් කියලා ජාතියක්. මමත් ගාන බලන්නේ නැතිව අර ගත්තා එකක්. මුලින්ම කිවයුතු දෙයක් තියෙනවා මේ සන්බ්ලොක් කියන එක පාරිභෝගිකයා මුලාවේ දාන වචනයක්. මොකද මේ වගේ විනිවිද පේන ආලේපනයකින් 100% ක් හිරු රශ්මිය නතර කරන්න බෑ. ඉතිං වෙළෙන්දෝ සුක්ෂම විදියට අපිටත් හොරොන් මනෝවිද්‍යාත්මකව අපේ හිතට මේ වගේ වචන දීලා එයාලගේ වෙළඳ භාණ්ඩය පිලිබඳ තිබෙන විශ්වාසය වැඩි කරනවා(මේ වන විට සෞඛ්‍ය සංවිධාන සහ සමහර රජයයන් මේ වචනය භාවිතා කිරීමෙන් වැළකෙන ලෙස නිෂ්පාදකයාට බල කර තිබෙනවා). මේ සඳහා වඩා නිවරදී වචනය වෙන්නේ සන්ස්ක්‍රීන් කියන එක. මොනවා වුණත් වෙළඳපොලේ භාණ්ඩ තියෙන නම අපිට භාවිතා කරන්න වෙනවා.

සන්බ්ලොක්/සන්ස්ක්‍රීන් කිව්වම ඒකත් එක්කම එන වචනයක් තමයි SPF කියන්නේ. මොකක්ද මේ SPF  අගය කියන්නේ. SPF කියන කෙටි යෙදුමෙන් කියන්නේ Sun Protection Factor කියන එක. මේ SPF අගය මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ 1962 තරම් ඈත කාලයකදී(ඒ ගැන ඒ තරම් පුදුම වෙන්න දේකුත් නෑ මොකද අද භාවිතා කරන පරිඝනක මවුස් එක පිලිබඳ අදහස මුලින්ම දීල තියෙන්නේ 1968දී). 

එය පිලිබඳ හඳුන්වා දෙන්නේ 
"SPF සහිත ආලේපනයක් නොමැතිව සුර්යාලෝකයට නිරාවරණය වී ඔබේ සම රත්පැහ ගැන්වෙන්න යන කාලයට මේ ආලේපන යෙදු අයෙක්ගේ සම රත් පැහැ ගැන්වෙන්න යන කාලය අතර අනුපාතය"
සරල උදාහරණයකින් පැහැදිලි  කලොත් ඔබව අව් රශ්මිය නිසා රත්පැහැ ගැන්වෙන්න යන කාලය විනාඩි 10ක් යයි සිතමු. ඔබ භාවිතා කරන සන්බ්ලොක් එක SPF 30ක් නම එමගින් ඔබට මිනිත්තු 300ක් සුර්යාලෝකයට නිරාවරණ වී ඉන්න පුළුවන්. ඒ කියන්නේ පැය පහක්. සමීකරණයක් විදියට කිව්වොත්
පින්තුරය ගත්තේ : http://health.howstuffworks.com

සන්බ්ලොක් භාවිතා නොකර සම රත්පැහැ ගැන්වීමට යන කාලය x SPF අගය = සුර්යාලෝකයට නිරාවරණ වී සිටිය හැකි කාලය

ඒ නිසා මේ SPF අගය වැඩි වූ තරමට ඉන් ඔබේ සමට හිරු එලිය පතිත වීමේ ප්‍රතිශතය අඩු වන්නේ නෑ. නමුත් එහි අගය වැඩි වන තරමට සුර්යාලෝකයට නිරාවරණය වී ගත කල හැකි කාලය වැඩියි. ඊයේ වනතුරු මමද මේ මිත්‍යාවේ ගැටී සිටියා. මේ පිලිබඳ නිසි අධ්‍යනයක යෙදුනේ ඊයේ. මා භාවිතා කරන්නේ SPF 70 ක සන්බ්ලොක් එකක් ඉතින් එමගින් සාමාන්‍යයෙන් දවසක ආවරණයක් සැලසෙනවා. නදිනි අබේනායක හිතන විදියට මේවා දිය වී යන්නෙත් නෑ. ඒ ගැන මගේ අත්දැකීම් අනුව කියනවා නම් දහඩියට හෝ සාමාන්‍ය ජලයෙන් සේදීමට මේවා ඉවත් වන්නේ නෑ. අනිත් කාරණය තමයි මතුපිට වියලි බව. පහලින් දැක්වෙන වගුවෙන් පැහැදිලි වෙනවා ඒ ඒ හිරු ආරක්ෂණ SPF අගයයන් වලට අදාලව UV කිරණ අවශෝෂණය කර ගැනීමේ ප්‍රතිශතය. උදාහරණයකට SPF 2 කින් 50% ක අවශෝෂණයක්  ලැබුනත් එය 4 ක් වනවිට අවශෝෂණය දෙගුණ වන්නේ නෑ. එය 15 කින් පසු වැඩි වන ප්‍රතිශතය ඉතාම අවමයි. 

මෙම වගුව උපුටා ගත්තේ : http://health.howstuffworks.com/skin-care/beauty/sun-care/spf1.htm

මට පහුගිය කාලයකදී තිබුන එක් ගැටළුවක් තමයි මේවා භාවිතා කල දියනයකත් යම් ප්‍රමාණයක සම රත්පැහ ගැන්වී තිබුණේ ඇයි කියන එක. මා මීට කලින් SPF 30,45 යන අගයයන් වල හිරු ආරක්ෂණ ආලේපන භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒවාගේ ආවරණය වන පැය ගණන් සාපේක්ෂව අඩුයි. ඒ නිසා මා හිරු එලියට නිරාවරණ වුණු කාලයම එමගින් ආවරණය වුයේ නෑ. නාමුත් ඒ රත්පහ ගැන්වීම දින කිහිපයකින් වියැකී යනවා. මෑතකදී මට බණ්ඩාරවෙල නගරයේ ක්‍රීඩාංගනයක ඉන්න වුනා දවස් දෙකක්. පළමු දවසේ මා හිරුආරක්ෂණ ආලේපනය භාවිතා කළා. නමුත් දෙවෙනි දවස ඉතාම වැහිබර දිනයක් ඉතිං එදා මම ආලේපනය භාවිතා කලේ නෑ. එදින පැය භාගයක් වගේ වෙලාවක් තමයි හිරු රශ්මිය තිබුනේ නමුත් එනිසා සිදු වූ සමපිච්චීම තවමත් තිබෙනවා.  

අපගේ මේ ගැන තිබෙන තවත් මිත්‍යාවක් තමයි තාපය නිසා සම පිච්චෙනවා යන්න. නමුත් ඔබේ සම රත්පහැ ගැන්වීම සහ සම පිච්චීම කියන්නේ කරුණු දෙකක්. මේ රත්පැහැ ගැන්වීම සිදු වන්නේ UV කිරණ මගින්, ඒවායෙනුත් UV-B මගින් තමයි සම රත් පැහැ ගැන්වෙන්නේ. UV-A මගින් සිදු වන්නේ දිගු කාලීනව සමට වන හානි. උදාහරණයකට වයස්ගත ස්වභාවය(Aging). සම පිච්චීමට තාපය මගින් සිදුවනවා. ඔබ ලිප ළඟ වැඩ කරන එකත් අවු රශ්මිය නිසා ඇති වන තාපයත් එක වගේ මේ සඳහා බලපානවා. එසේ පිච්චීමට ඔබේ සමේ තිබෙන තෙල් ප්‍රමාණය බලපානවා. ඉතින් තෙල් සහිත සමක් තියෙන අයට මෙමගින් සිදු වන හානිය දෙගුණ වනවා. 

බොහෝ හිරුආරක්ෂණ ආලේපන මගින් UVB ආවරණය කලාට UVA ආවරණය කරන්නේ නෑ. ඒ නිසා මේවා මිලදී ගැනීමේදී BroadSpectrum යනුවෙන් සඳහන් ආලේපනයක් මිලදී ගැනීම වැදගත්. තවත් දෙයක් තමයි මේවා ඉතා කුඩා ප්‍රමාණයක් ආලේප කිරීම ප්‍රමාණවත් මේ කිරණ පරාවර්තනය සිදු කිරීම සිදු වන්නේ ඉතා ක්ෂුද්‍ර මට්ටමක නිසා ක්‍රීම් තලි උලා ගන්න අවශ්‍ය නෑ. 

මගේ ජනප්‍රිය මාතෘකාව වන ක්‍රිකට් වලින් තමයි අපි මුලින්ම දැක්කේ මුහුණේ සහ තොල් වල මේවා උලා ගත් අය. මෙතන පොඩි වෙනස් කමක් තියෙනවා. අපි භාවිතා කරන හිරුආරක්ෂණ ආලේපන විනවිද පෙනෙන ඒවා. ඕස්ට්‍රේලියානුවන් භාවිතා කරන්නේ වෙනත් ආලේපනයක්. ඒවාගෙන් 100% නැතුවත් හිරු එලිය සහ වියලි සුළඟ නිසා ඇතිවන සම පැලීමෙන් බේරා ගන්න තමයි ඔවුන් ඒවා යොදා ගන්නේ. අනිත් කාරණය ඕසෝන් ස්ථරය පලුදු වූ රටක් නිසා ඔවුන් ඒ ගැන සැලකිලිමත් වනවා වැඩියි. ඉතිං මෙය අනුගමනය කරමින් අපේ බොහෝ(ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අයත් ඇතුළුව) මා දැක තිබෙනවා මේ ආලේපන ඒ ආකාරයට අතුල්ලගෙන සිටිනවා. නමුත් අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. 

මේවයේ භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් දෙකක් තිබෙනවා එකක් සින්ක් ඔක්සයිඩ්, අනිත් එක ටයිටේනියම් ඩයොක්සයිඩ්. මේවා මගින් එක්කෝ UV කිරණ හරවා යවනවා, නැතිනම් හමට හානිදායක නොවන මට්ටමකට ඒවගේ සංඛ්‍යාතයන් වෙනස් කරනවා. නැනෝ තාක්ෂනය යොදා ගත් පසු මේවා ඉතා සියුම් මට්ටමකින් සිදු කරන්න හැකි වෙලා තියෙනවා. මේ භාණ්ඩ මිලදී ගන්නා විට ඒවායේ මුද්‍රණය කර ඇති දේවල් කියවීම වැදගත්. සමහර සොයාගැනීම් ඒ ඒ සමගාම් සිදු කරන නිසා සහ ඒවාට පේටන්ට් ගන්න නිසා එක් එක් අය මේවාට භාවිතා කරන නම් වෙනස් වන්නත් පුළුවන්. 

මේවා ආලේප කිරීම ගැනත් වචනයක් සඳහන් කරන්න වටිනවා. ඒ පිලිබඳ විස්තර ඕනෑම හිරුආරක්ෂණ ආලේපනයක සඳහන් කර තිබෙනවා. මේවා සිරුරේ පිටත පමණක් (External use only) ආලේප කරන ඒවා බව ඒවාගේ සඳහන් වෙලා තිබෙනවා. ඉතිං තුවාල තිබෙනවානම් මේවා ආලේපනය සුදුසු නෑ. ඔබ රැවුල බෑමෙන් පසු කෙලින්ම මේවා ආලේප නොකර After Shave වර්ගයක් ආලේප කර ටික වෙලාවකින් ආලේප කරන්න. ඇසේ ගෑවීමෙන් වලකින්න. 

කාන්තාවන් නම් මේ පිලිබඳ යම් නිපුණතාවක් දක්වනවා. පිරිමි අපි ආලේපන ගැන වැඩි උනන්දුවක් නැති අය. එහෙත් මේ වගේ දේවල් නම් භාවිතා කරන්න වෙනව. එය සංයමයකින් කල යුතු දෙයක්. හිසේ ජෙල්/ක්‍රීම් ගැන ආකාරයට දෑතේ අතුල්ලා මෙය මුහුණේ ගෑවොත් ඇහිපිල්ලම් වල ගෑවීම වලක්වන්න බෑ. එවිට ටික වෙලාවකින් මේවා ඇසට යනවා. තද දැවිල්ලක්ද ඇති වනවා.  වැදගත්ම කාරණය හිරුඑළියට නිරාවරණය වන්නට විනාඩි 15-30 ත් අතර කාලයකදී මේවා ආලේප කල යුතුයි.  ඇඟිලි තුඩු මගින් ආලේප කලොත් හැරියට කර ගන්න පුළුවන්. බෙල්ල සහ ඔබේ ඇඳුමෙන් ආවරණ නොවන පපු ප්‍රදේශයත් වැදගත්. ඒ වාගෙමයි අත් දෙක. 

මේවා පිලිබඳ වෙළඳ නාම බොහොමයක් තිබෙනවා. මතක තබා ගත යුතු තවත් කරුණක් තමයි විටමින් E  හෝ තෙල් වර්ග නොමැති සන්බ්ලොක් එකක් තෝරා ගැනීම. විටමින් E හෝ තෙල් සහිත ඒවාට හැම පිච්චෙනවා. අමතක කරන්න එපා රත්පැහැ ගැන්වීම සහ පිච්චීම කියන්නේ දෙකක්. තවත් PABA නමැති රසායනික සංයෝගය නැති ඒවා ගැනීම වැදගත්. PABA සම මත පිළිකා ඇති කිරීමට රුකුල් දෙන නිසා දැන් ඒවා භාවිතා කරන්නේ නෑ. නමුත් UVB පාලනයට එය ඉතා හොඳ රසායනිකයක්. 

අවසාන වශයෙන් බොහෝ රසායනිකය ද්‍රව්‍ය දිගුකාලීන භාවිතා කිරීම නිසා ශරීරයට වෙනත් අතුරු ආබාද ඇති වනවා. 

සයිබරයේ සිහින බක් මහා උළෙලට එන අයට මේක වැදගත් වෙයි. මම නම් දැන් පුරුද්දක් වශයෙන් මේවා භාවිතා කරනවා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. හමේ වර්ණය මත හිරුආරක්ෂණ පාවිච්චියේ වෙනසක් නෑ. කළු අයටත් UV කිරණ වලින් වෙන හානිය එක විදියට බලපානවා. අනිත් එක විටමින් D නිෂ්පාදනයට හෝ අවශෝෂණයට මෙය බාදාවක් වන්නේ නෑ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ප.ලි.: මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධම නිෂ්පාදකයෙක් වන Neutrogenea දැන් උදම් අනනවා ඔවුන් SPF 100 සහිත සන්බ්ලොක් එකක් නිෂ්පාදනය කරා කියලා. ඒත් 100% නවත්වන්න බෑ. :)

Monday, April 15, 2013

අවුරුදු උත්සව රස කතා ... 2

එක සටහනකින් හමාර කරන්න බලාපොරොත්තුවෙන් ලියාගෙන ආ පලවෙනි කොටස එක් තැනකදී නවත්වන්න වුණේ, හේතු දෙකක් නිසා. එකක් කොතරම් රසවත් සටහනක් වුනත් ඉතා දිග වුණාම කියවන ඔබ අපහසුතාවට පත් වෙන නිසා. අනිත් කාරනාව තමයි මෙහි ප්‍රධාන චරිත කිහිපයකින් කෙනෙක් වන රිච්මන්ඩ් විජේසේකර මහතාගේ තොරතුරු තරමක් දිග වීම. හොඳයි අපි ඊළඟට කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමරබන්ධු අල්විස් මහතා ගැන. 

අමරබන්දු අයියා කියනවද ? අංකල් කියනවද කියලා මට හිතා ගන්න බැරි එතුමා මට වඩා අවුරුදු බර ගානක් වැඩි නිසා. කොහොම වුනත් කමක් නෑ අමරබන්දු අයියා කියමුකෝ. එයාගේ එනවුන්ස් කිරිල්ලත් මම පාසල දරුවෙක් විදියට පාරට දුවගෙන ගිහින් සයිකල් රේස් බලන කාලේ ඇහුන එකක්. ඒත් පසුකාලීනව ඔහුත් සමග එකම වාහනයක සයිකල් තරගයක නිවේදන කටයුතු කරන්න ලැබුනා. ඒ එක්තරා කාලයක් අතුරුදන්(ඒ කියන්නේ අපේ ගමේ නොයිඳ, වෙනත් ප්‍රදේශයක හිටපු එක) වෙලා ඉඳලා මතු වුන කාලෙක. මේ කාලෙදී සුචරිතරත්නත් මමත් තමයි එනවුන්ස් කලේ. අමරබන්දු අයියාට තියෙන්නේ ප්‍රතාපවත් කටහඬක් කියලා මම භය නැතිව කියනවා. ඒ හඬත් එක්ක ගත්තම අද කාලේ එෆ්.එම්. වල ඉන්න ගිරා පොතකයන්ට තියෙන්නේ මොන වගේ හඬවල්ද කියලා හිතෙනවා. 

මේ කාලයේදී මම කවදත් දෙවෙනියා නිසා මේ දෙන්නටම මගෙන් තරගයක් තිබ්බේ නෑ. නමුත් ප්‍රධානියෝ දෙන්නෙක් ඉන්න බැරි නිසා එක්කෙනක් හලන්න මේ දෙන්නා හොඳ සටනක් දුන්නා. සුචා එක අතකින් අපත් සමග වඩා කුළුපග පුද්ගලයා, ඔහුත් මමත් එකතු වී තමයි අර සංගීත ප්‍රසංග වේදිකාවේ පහලින් ගහන අඩි 50 x 4 දිග බැනර් එක අඳින්නේ. මේක අපි දෙන්නා අඳිනවා කිව්වට මෙහෙමයි කෙරෙන්නේ. ඔය සංචාරක නිවාඩු නිකේතනයේ තියෙනවා දිග කොරිඩෝවක්. ක්‍රීම් පාට ඉටි රෙද්දක් ගෙනල්ලා ඒක ඔය කොරිඩෝවේ දිග අරිනවා. 

පහුවදා උදේ වෙන්න කලින් ඇඳලා ඉවර කරන්න ඕනේ. මේක වෙන්නේ සයිකල් තරගය දවසේ රෑ. කොහෙන් හෝ හොයා ගන්න යාරේ කෝදුවකින් අකුරු ඇඳෙන්න ඕනේ රුල් දෙක ඇඳ ගන්නවා. මේකේ අකුරු වල ස්කෙච් එක ඇඳෙන්නේ මගේ අතින්. ඊට පස්සේ තමයි පාට කරන වැඩේ තියෙන්නේ. අපි අතරින් සුචාටයි, මටයි විතරයි අත ගැහෙන්නේ නැතිව, ඒ වගේම අයින දිගේ ලස්සනට පින්සල ගෙනියන්න පුළුවන්. ඉතිං අපි දෙන්නා කරන්නේ මේ අකුරු වල පිටත කොටස පාට කරලා දෙන එක. අනිත් අය නම් වශයෙන් කිව්වොත් සුබසිංහ(ජීවතුන් අතර නැත), සරත්(ජීවතුන් අතර නැත), අජිත්, රෝහණ ලා දෙන්නා ඇතුළු තවත් පිරිසක්. මේ අතරේ මෙතනට එකතු වෙලා කතා කර කර ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ අය තමයි නිදිමත නැති කරන්නේ අමිත අයියා, සිරි අයියා, රත්නසිරි, නලින් අයියා, සමන් ධර්මරත්න(ජීවතුන් අතර නැත). මේ කාලයේදී මුළු නහයම ටර්පන්ටයි ගඳින් පිරිලා. මම මුලින්ම කොත්තු රොටි කෑවෙත් මේ කාලේ තමයි.

එක දවසක් තවත් කුඩා කටවුට් එකක් ඇඳ ඇඳ ඉන්නකොට අමරබන්ධු අයියා මතු වුණා. ඒ ආතර් පියසිරි මහතාගේ ගෙදර. ඒ වෙලාවේ එතුමාගේ පුතා වන රංජිත්(රංජි බා) හිටියා. දැන් රංජි බා එක්ක මිනිහා දෙනවා නැව් ටෝක් එකක්. ඒ තමන් ගාමිණි දිසානායක මහතා ඉන්න වේදිකාවක සංගීත ප්‍රසංගයක් එනවුන්ස් කරපු හැටි. 


අමරබන්දු අයියා : රංජි මල්ලි කියලා වැඩක් නෑ, මම මහවැලි ස්ටේජ් එකක එනවුන්ස් කළා. අර මියුසිකල් ෂෝ වල තියෙන තඩි සවුන්ඩ්ස් දන්නවනේ. අන්න ඒවා දාලා තිබුනේ. 

රංජි බා (කවදත් ජොලියට බර අනිත් අයට හොඳට බයිට් දෙන්න දක්ෂ පුද්ගලයෙක්) : හරි අමරබන්දු අයියා පොඩ්ඩක් එනවුන්ස් කරලා පෙන්නන්න කරපු විදිය. 

අමරබන්දු අයියා (මයික් එකක් ලෙස අත ගුටි කර මුව ලඟට ගෙන) : බෙන්තොට...ට...ට...ට.. ක්‍රීඩා ....ඩා...ඩා...ඩා... සමාජය ...ය...ය...ය.. අභිමානවත් ...ත්...ත්... ලෙසින්...සින්...සින්...සින්.. 

අපි දෙන්නට හොඳටම හිනා. 

රංජි බා : එතකොට මොකක්ද ඔය සින්..සින්.. සින්... ගෑවේ 

අමරබන්දු අයියා : ඒ තමයි මල්ලි එකෝ එක. ඔය මයික් වලින් කතා කරනකොට ඔහොම තමයි ඇහෙන්නේ. 

අපි දෙන්නට තවත් හොඳටම හිනා. 

මෙයා ඇවිත් තියෙන්නේ සයිකල් රේස් එක තියෙන දවස දැන ගන්න. අපි දිනයත් කියලා වලව්ව ගාව මිනිහට ඉන්න කියලා පොරොන්දු කර ගත්තා. මේක අහපු වෙලාවේ ඉඳලා සුචා වැඩ වර්ජනය කරන්න හදනවා. එතකොට රංජි බා ම ප්ලෑන් එකක් දුන්නා. 

"අපි මෙහෙම කරමු. උඹ මෙතනට ඇවිත් නැගපන්. කළුතර ගිහිං ගාල්ලේ යනකොට දැක්කේ නෑ වගේ යමු"

ඒකට නම් සුචා හොඳටම කැමති වුණා. අදාළ දිනයේ මේ කටයුතු සඳහා භාවිතා කරන මයිනර් කටුව අරගෙන ආවේ සංචාරක මණ්ඩලේ සේවය කරන දක්ෂ කාර්මිකයෙක් වෙච්ච පත්මසිරි. මිනිහට ඕන වාහනයක් කැඩුනත් හදාගෙන යන්න පුළුවන්. අපි එයාට මේ කතාව කිව්වා. ඔන්න දැන් කළුතර ගිය වාහනය ගාල්ල පැත්තට කඩාගෙන යනවා. වාහනයේ ඉදියේ ඉන්නේ සුචා, මමයි සවුන්ඩ්ස් ගෙනියන කවි නන්දෙයි පිටිපස්සේ. කියපු තැනට වෙලා සුදු කමිසයකුත් ඇඳගෙන අමරබන්දු අයියා ඉන්නවා. අමරබන්දු අයියාට සමාන රුපයක් හිතට ගත්තොත් අපේ ජනාධිපති තුමා. ඒ වගේ උඩු රැවුලක් තියෙන, ඒ උසම ඇති , තරමක උදරයක් තියෙන, කෙනෙක්. මිනිහා ගාවදී හෙමින් ගිය වාහනය මිනිහා පහු කරලා මීටර් 15 ක් විතර ඈතින් නැවැත්තුවා. ඔන්න මිනිහා දුවගෙන එනවා. දැන් සයිකල් ධාවන තරග කරුවෝ අපිව පහු කරගෙන යනවා. සුචා දිගටම එනවුන්ස් කරනවා. ආයෙත් වාහනය ඉදිරියට ගියා. අමරබන්දු අයියා පස්සෙන් දුවගෙන එනවා. අතුරුවැල්ලේ තියෙන රේල් ගේට්ටුව ගාවට විතර ආවට පස්සේ වාහනය නොනවත්වාම ගියා. ආපහු හැරිලා බලපු මට පේනවා අමරබන්ධු අයියා අත් දෙකෙ ඉහලට ඔසවාගෙන බනනිනවා. මට පොඩි දුකකුත් ඇති වුණා.

වෙනත් වතාවකදී මේ වාහනය එක්තරා තැනකදී කැඩුනා. ඒත් විනාඩි පහක් යන්න කලින් හදාගෙන අපි පසුකර ගිය ධාවකයන් ඉන්න තැනට යන්න පත්මසිරි සමත් වුණා. සයිකල් තරග වලදී ධාවකයන් කරන එක දෙයක් තමයි ප්ලේස් කිරීම. ඒ කියන්නේ ධාවනය වන වාහනයක පිටුපසින් ගමන් කිරීම. මෙහෙම යනකොට ක්‍රීඩකයාව නිකංම ඇදිලා යනවා. පදින්න මහන්සි වෙන්න ඕනේ නෑ. ඉතින් මේ ප්‍රචාරක රථයටත් ඔහොම ප්ලේස් කරන්න හදනවා. එතකොට අපි කරන්නේ වාහනයේ වේගය බාල කරන එක. වේගය වැඩි කරලා නම් මොන විදියකටවත් හලා ගන්න බෑ. 

මේ වගේ තරගයක් එනවුන්ස් කරනකොට ආවේස වෙච්ච් කපුවා වගේ තමයි, සුචා, අමරබන්දු අයියා දෙන්නම වැඩ කරේ. සමහර වෙලාවට නැගිටින්න ගිහින් වාහනයේ ඔලුවත් වදිනවා. ඒ තරමට ධ්‍යානයකට සම වැදිලා වගේ කෑ ගහන්නේ. මේ කෑ ගැහිල්ල වැඩි වෙච්ච් තරමට තමයි සෙනග පාරට එන්නේ. මේ දෙන්නම කරන වැඩක් තමයි සෙනග වැඩි තැන වලදී එනවුන්ස් කරලා, සෙනග අඩු තැන් වලදී මගේ අතට මයික් එක දෙන එක. ඉතිං වෙන කරන්න දෙයක් නැති කමට මමත් ඔහේ එනවුන්ස් කරගෙන යනවා. සමහරවිට මට ආවරණය කරන්න වෙන ප්‍රමාණය වැඩියි. තරග අවසානය කිට්ටු වෙනකොට නම් මේ දෙන්නා මයික් එක උදුරා ගන්නවා. මමත් කැමැත්තෙන්ම මයික් එක දීලා දනිස් දෙකෙන් සීට් එකට නැගලා තරගය බලනවා. සමහරු නම් ජනේලය උඩ වාඩි වෙනවා. මම ඒක කරන්න ගියේ නැත්තේ ගෙදරින් ලැබුණු අවවාද නිසා. 
මේ ඉන්නේ සුචා. 

අපි මෙහෙම එනවුන්ස් කරගෙන යන්නේ පොලිස් බලතලත් අතට අරගෙන. ඒ කියන්නේ ඉදිරියේ එන වාහන ධාවන කරන්න ඕනෙද/නැත්ද කියලා අපි නිවේදනය කරනවා. බොහෝ අය සහයෝගයක් වශයෙන් වාහන නවත්වනවා. ඒත් සමහරු දිගටම එනවා. මෙහෙම ආපු එක් වාහනයක් දැකල සුචාට හොඳටම තද වුණා.

"ඉදිරිපසින් එන ලොරි රථය ඉදිරියෙන් වේගයට ගන්න"

සුචා මර හඬ දීලා කිව්වා. මේ වතාවේදී අපි නිවේදන කටයුතු කලේ පොඩි ලොරියක ඉඳගෙන. මේකේ අපේ මිතුරන් බොහෝ දෙනෙක් හිටියා. ඉතිං මේක මතක තියාගෙන අවුරුදු ගාණක් යනකං සුචාව නැති කරා. ඇත්තටම කියන්න ඕනේ වුනේ "වේගයෙන් ඉදිරියට ගන්න" කියලා.  

සුචාට නිතරම සෙම තියෙනවා. මේක නිසා කතා කරනකොට නහය බර ගතිය නිසා අමුතුම වචන පිට වෙනවා. 

"පෙන්තොට ක්‍රීඩා සමාජය, අපිමානවත් ලෙසින් ඉදිරිපත් කරන මහා ක් මහා උළෙල" 

වගේ කියනවා තමයි එළියේ ඉන්න කෙනෙකුට ඇහෙන්නේ. ඒ නිසා සුචා මයික් එක අතට ගන්නවා කියන්නේ සිනා සාගරයක්. 

ආතර් අංකල්ගේ ගෙදර ඉන්නවා ඒ ගෙදර සේවය කරපු කාන්තාවගේ දරුවන් දෙදෙනෙක්. මේ දෙන්නාගේ නඩත්තුවත් ඒ ගෙදරින්මයි. බොහෝ විට එහේ ඉන්න නිසා මේ දෙන්නත් අනිත් අයට එතුමාගේ පාට් දාන පුරුදු වෙලා හිටියා. මෙයාලේ විශේෂත්වය තමයි ඔවුන්ට ආවේනික වෙච්ච් වචන. දෙන්නාගෙන් පොඩි එකා කුරු මොඩ්ල් එකේ එකෙක්. නවය වසරේදීත් අඩි 3 1/2 විතර තමයි උස. මේ පවුලේම අයට කවුරුත් ආමන්ත්‍රණය කලේ "බරසතයා" කියන සුරතල්(ද?) නමින්. මේ බරසතයෝ දෙදෙනාත් පුවත් මවන්නන් වෙලා හිටියා ඒ කාලේ. රංජි බා කියන වචනයත් මෙයාලගේ නිර්මාණයක්. ඒ රංජි බබා කියන එක වෙනුවට. 

මේ කුරු මොඩල් බරසතයා එක වරක් අපේ නිවේදන කටයුතු කරන වාහනයට බලෙන්ම වගේ නැග්ගා. ආතර් අංකල් කිව්වා කියලා තමයි නැග්ගේ. එදා ඉදිරිපස අසුනේ හිටියේ මම. මේ වෙනකොට තරගකරුවන් එක්රැස් කර ගන්න නිවේදන නිකුත් කරමින් උන්නේ. මේ වෙලාවේ අසු හාර දාහට නැග්ග පත්මසිරි
"බැහැපිය වේ*** පුතා. තො*** අම්ම....."
 කියල එකදිගට කුණුහර්ප වැලක් කියාගෙන ගියා. මගේ අතේ තිබ්බ මයික් එක මම ජනේලෙන් එලියට දානකොටත් මුළු ගමටම අර පණිවුඩේ ගිහින් ඉවරයි. 

අපේ රංජි බා එක පාරක් සුචාගේ සාක්කුවට අත දාල උදේට කන්න කියලා තියාගෙන හිටිය රුපියල් 50 අරගෙන. ඒකට වාඩුව වශයෙන් සුචා කලේ එදා දවසේ නිවේදන කටයුතු වලින් වැලකුන එක. ඒ වගේ වෙලාවල් වලට මගේ කරපිට තමයි මේ වගකීම පැටවෙන්නේ. 

එක් වසරක සයිකල් තරගයේදී අහුංගල්ලෙන් ආපු තරුණ ක්‍රීඩකයෝ දෙන්නෙක් තරමක් ඉදිරියට ගිහින්. මේක කරලා තියෙන්නේ පොලිස් මෝටර් සයිකලය පිටිපස්සෙන් ගිහින්. අනිත් සයිකල් කරුවන් අම්බලන්ගොඩදී බයිසිලක් පාර හරහා දාලා බිම නිදාගෙන. තරගය වර්ජනය කරලා. විසි ගණනක් වගේ තමයි එදා හිටියේ. අපේ විනිශ්චයට ගිය අය එයාලව පොරොන්දු කරගෙන අර දෙදෙනා හා එකම සීමාවක තියලා යලිත් තරගය ආරම්භ කරනවා කියලා. මෝටර් සයිකලයකින් හඹාගෙන ඇවිත් අපිවත්, අර තරග කරුවන් දෙදෙනාවත් නැවැත්තුවා. බොහෝ වෙලා කල පැහැදිලි කිරීමකින් පස්සේ අර තරග කරුවන් දෙදෙනා කැමති වුණා එකම සීමාවකින් තරගය ආරම්භ කරන්න. අකුරලදී පැයක විතර ප්‍රමාදයෙන් තරගය ආරම්භ කරන්න තීරණය කළා. එතකොට මහා වැස්සේ අපි සියළු දෙනාම තෙත් බරිත වෙලා. තරග කරුවන් 17-18 එකට ඉඳලා නැවතත් තරගය ආරම්භ කරන්න දැන් සුදානම. මෙතනට වේගයෙන් ආවා සාජන් මහේන්ද්‍රන් මහතා සහ තවත් කෙනෙක් සමග පොලිස් මෝටර් සයිකලය. බැහැපු ගමන් අර පේලියට ඉන්න තරග කරුවන්ට ගුගුරා මෙන්න මේ වගේ කතාවක් සාජන් වරයා කිව්වා

"කොයි එකාද යකෝ පාර හරස් කරේ පදින්න බෑ කියලා. රේස් එක පදින්න බැරි එවුන් ඉන්නවා නම් දැන්ම අයින් වෙයල්ලා"

අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක් වුනේ. එක පාරටම මේකට නායකත්වය සපයපු සීඩිං ඇතුළු 10ක් පමණ බයිසිකල් හරවාගෙන ආපසු යන්න ගියා. අන්තිමට තරග කරුවන් 7 දෙනෙකුගෙන් තරගය ආරම්භ කළා. අර දෙදෙනා තමයි ජය ගත්තේ.

ඊට පස්සේ අවුරුද්දක නිවේදන කටයුතු වලින් බැහැර වෙලා තරගය අවසන් කරන තැන ජයග්‍රාහකයන්ගේ අංක ලියාගන්න බාරදූර කටයුත්තට එකතු වෙන්න මට සිදු වුනා. අවසාන රේඛාව ලග තැබූ මේසයක්, ඒ මත තැබූ බංකුවක්, ඒ මත තැබූ පුටුව උඩ තමයි මම හිටියේ. මට පහල බංකුවේ තරගය වීඩියෝ කරන්න ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ සංචාරක මහතෙක්, ඊටත් පහලින් වසන්ත අයියා. බිමත් තව කට්ටිය හිටියා. වතුර ගැසීම් නිසා මේ අංක එක එක පැති වලට නැවිලා බොහොම අමාරුවෙන් තමයි, පිටේ හරි වම අතේ හරි තියෙන අංකය බලා ගන්නේ. මට පැවරිලා තිබුනේ 2,3,4,5 අයව ලියා ගන්න. ඒ වුනත් මම පුළුවන් තරම් ලියා ගන්නවා එක පොකුරට ආව වෙලාවට අනිත් අයට අතපහු වුනොත් කියලා. 

ඔන්න දැන් නිවේදකයාගේ හඬ (සුචා) ළඟ ළඟම ඇහෙනවා. දැන් කවුරුත් සීරුවෙන්. මග දෙපස ජනතාවගෙන් පිරිලා. අඩි 10-12 ක් අතරේ තමයි තරගය එන්නේ. මේ තරග අවසානය තිබෙන තැන පාරේ ලොකු වංගුවක් සහ කන්ද ඊළඟට පාළම. මට දැන් පේනවා 10ක විතර කණ්ඩායමක් එනවා. මම ලියා ගන්න පුළුවන් හරිය ලියා ගත්තා. මේ එක්කම මම දැක්කා වාඩි වෙලා හිටිය වසන්ත අයියා නැගිටිනවා. බතා නොහොත් වසන්ත 4 වෙනි තැන බව මම අංකය නොලියාම දැන ගත්තේ, කුඩා කල සිට හඳුනන කෙනෙක් නිසා. දැන් වාරය වීඩියෝ පටයා ආශ්‍රයෙන් නිවැරදි තීරණය දෙන්න. දැන් සංචාරක මහතා සමග අවසාන තීරණය දෙන කණ්ඩායම(පියල් වීරසේකර, ආතර් අන්කල් ඇතුළු) ගියා බෙන්තොට බීච් හෝටලයට. අපි කවුරුත් වාඩි වෙලා වීඩියෝව බලනවා. තරග කරුවන් රැස ආදී එනවා එක පොකුරට. ඊළඟට කාගේදෝ ඔලුවකින් මුළු වීඩියෝවම තත්පර 30ක් විතර වැහිලා. ඒ වසන්ත අයියාගේ බව මට එක පාරටම කියවුනා. එක පාරටම නැගිට්ටානේ. දැන් තීරණය ගන්න වුනේ මම සහ වසන්ත අයියා ලියපු එකෙන්. 

තමා දෙවෙනියා බව මේ වෙනකොටත් වසන්ත නොහොත් බතා එතන සිටි පිරිසට කියා තිබුනා. ප්‍රතිඵල නිකුත් කල විට ගියවර තරගය ජය ගත් අහුංගල්ලේ ක්‍රීඩකයා තමාට වීඩියෝ පටය නැරඹීමට අවශ්‍ය යයි පවසා සිටියා. මේ වෙලාවේ මට ගණදෙවි නුවනක් පහල වුණා. තරගයට පෙර සියලු නීති රීති සහිත අයදුම් පතක් ඔවුන් අත්සන් කරනවා. තරගයේදී සිදුවන ජීවිත අනතුරු වලට ක්‍රීඩා සමාජය වග නොකියන බවද, බයිසිකලයේ ෆ්‍රී වීලය දැති 12-14 සහ කොග් වීලය 48 විය යුතු බවද එහි සඳහන්. තරග අවසානයේ සියලුම බයිසිකල් වල මෙම දැති ගණන් කරනවා. මම ඔහුට පැවසු උත්තරයෙන් ඔහු තුෂ්නිම්භූත වුවා.

"ඔයාලා අත්සන් කරපු ඇප්ලිකේෂන් එකේ කොහෙවත් අපි කියලා නෑ තරග කරුවන්ට වීඩියෝ පෙන්වනවා කියලා"

නෑසෙන ගානට මොනවාදෝ මුමුනමින් ඔහු යන්න ගියා. තරගයේ ත්‍යාග ලබා දෙන මොහොතේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති තුමා අතින් ත්‍යාගය ලබාගත් බතා නොහොත් වසන්ත එතනම ත්‍යාග ය පොලවේ ගැසුවා. ඔහු පසුපස හඹා ගිය ක්‍රීඩා සමාජයේ සමහරුන් සහ බතාගේ හිතවතුන් අතර ලොකු රණ්ඩුවක් ඇති වුණා. එය අවසන් වුයේ අමිත අයියාගේ පිටට කවුරුන් හෝ එල්ල කල පිහි පාරකින්. 

මිතුරනි තවත් මෙවැනි රස සහ ත්‍රාසජනක අත්දැකීම බොහොමයක් තිබුනත් අද සටහන මෙතකින් නිමා කරනවා.  



Sunday, April 14, 2013

අවරුදු උත්සව රසකතා ...

මේ ගැන මම ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටියා බොහොම කාලයක ඉඳන්. ගිය පාර අවුරුදු කාලේ මගේ ලැප් එක වැඩ නැති නිසා, අවුරුදු නිවාඩුවේ හරිහමන් සටහනක් ලියන්න ලැබුණේ නෑ. නමුත් මේ අවුරුද්දේ අවුරුදු දවසෙත් මට වැඩ සෙට් වුණ නිසා ගමේ ඉඳන් මෙහෙ එන්නයි හිතාගෙන ඉන්නේ. ඒ කතා කොයි හැටි වුනත්, ඔබ වඩාත් කාර්‍යබහුල මොහොතක ඔබේ කාලය කා දමන්නේ නැතිව කියන්න ආපු දේ කියන්නම්. අව්රුද්ද ලබන්න තව ගොඩක් වෙලා තියෙන නිසා, අවරුදු උත්සව වල ගොඩගැහිච්ච මගේ මතකයන් ටික දිග අරින්නම්.

මම සාමාන්‍ය පෙළ කරන්නත් කලින් ඉඳන්ම බෙන්තොට ක්‍රීඩා සමාජයේ කමිටු සාමාජිකයෙක් වෙන්න මට වරම් ලැබුනේ, ඒ ප්‍රදේශයේ පොත පතේ දැනුම තිබුණ අය අඩු හින්දා කියලා මම හිතනවා. නමුත් හේතුව ඒකම නොවෙයි. මේ වගේ තනතුරු දරපු අය විවාහයත් එක්ක ඔවුන්ගේ බිරියන් ඉන්න ගම්බිම් වල පදිංචියට ගිය හින්දා, සමහරු විදේශගත වුන හින්දා, තවත් සමහරු රාජකාරි හෝ වෙනත් කෝන්තර නිසා ක්‍රීඩා සමාජයෙන් ඈත් වුන නිසා. මේ නිසා අඩු වයසකින්ම මේ දේවල් වල පරිණත පුද්ගලයෙක් වෙන්න මට හැකි වුණා.

මගේ තිබ්බ යම් යම් හැකියාවල් මේ තත්වය ලඟා කර ගන්න හේතු වුණා. බැනර් ඇඳීම, නිවේදන කටයුතු,  පැහැදිලි අත් අකුරු තමයි ඒවාට හේතු කියලා මම හිතනවා. ඉතිං මම දැන් කරන රැකියාවට ඇවිල්ලත් අවුරුදු දෙකක් විතර යනකම් සිංහල අවුරුදු නැකත් වෙලාවල් වලට ගෙදර ඉඳලා නෑ. ඒ වෙලාවල් වලදී එක්කෝ යෝධ බැනර් එකක් අඳිනවා, නැත්නම් අවූරුදු උත්සවයට අදාල නිවේදන කටයුතු කරමින් අවට ගම් වල සැරිසරනවා. මේ වගේ ඒවාට හොඳ වාහන ලැබෙන්නේ නෑ. කාගේ හෝ කැඩිලා හදන්න දාපු වාහනයක් ගැරේජ් එකෙන් ඉල්ලගෙන, නැත්නම් ඒ වගේ වාහනයක් තියෙන කෙනෙකුගෙන් පෙට්‍රල් ගහන පොරොන්දුවට ඉල්ලා ගෙන තමයි මේ ගමන් යන්නේ.

බෙන්තොට ක්‍රීඩා සමාජය කියන්නේ කීර්තිමත් ඉතිහාසයක් තියෙන එකක්. 1972 සිට අද වනතුරුත් නොවරදවා අවුරුදු උත්සවය පවත්වන්න මේ ක්‍රීඩා සමාජයට හැකි වෙලා තියෙනවා. මේ අවුරුදු උත්සවය 88-89 අඳුරු යුගයේදීත් පවත්වන්න අපිට හැකි වුණා. ඒ පිටිපස සිටින අයෝමය හස්තය තමයි ආතර් අන්කල් නොහොත් ආතර් පියසිරි මහතා. එතුමාගේ සංවිධාන කටයුතු කටේ ශක්තියෙන් තමයි සිදු වුණේ. එතුමා ගැන කියන්න වෙනමම පොස්ට් එකක් අවශ්‍යයි. ඒක පසුව කරමු. මේ අවුරුදු උත්සවය ප්‍රසිද්ධ වෙන්න හේතු වුන තවත් කාරණයක් තමයි ලොකු ත්‍යාග මුදල් ලබා දෙන විවෘත තරග දෙකක් වශයෙන් සයිකල් තරගය සහ අවරුදු කුමාරි තරගය පැවැත්වීම. ගීතා කුමාරසිංහ මහත්මියට නිලි වරම් උදා වුනේ මේ අවුරුදු උත්සවයේ රු රැජින වශයෙන් තේරීම නිසා කියලා තමයි මම දන්නේ.  ඒ වගේම මේ සයිකල් තරගය සඳහා බොනිපස් පෙරේරා, කමල් පාලිත, බලයා(චන්ද්‍රසිරි ප්‍රනාන්දු) සහ තවත් බොහෝ නමගිය තරගකරුවන් සහභාගී වෙලා තියෙනවා.

හැමෝටම මෝටර් සයිකල් හෝ වාහන නොතිබුන යුගයක, මේ සයිකල් තරගය සඳහා කුමක් හෝ වාහනයක එල්ලී ගමන් කරන්න බලාපොරොත්තුවෙන් තමයි අපි බොහෝ දෙනෙක් ඒ කාලේ මේ පූර්ව වැඩකටයුතු වලට සහභාගී වුණේ. දැන් වගේ යකඩ පයිප්ප වලින් සාදන ස්ටේජ් නැති ඒ කාලේ පොල්කොට සහ ලෑලි උපයෝගී කරගෙන දවස් ගණන් ගත කරලා තමයි ස්ටේජ් එක හදා ගන්නේ. ඒකට ඉහලින් තමයි ටෙන්ට් එක ගහන්නේ. මේක පවත්වන්නේ බෙන්තොට සංචාරක නිවාඩු නිකේතන එළිමහන් රංග භුමිය කියන කොටසේ. එතන එක්තරා විදියකින් තියෙන්නේ පොල් වත්තක්. සංචාරකයන්ට යක් නැටුම් පෙන්වන්න තමයි මේ ඉඩ වෙන් වෙලා තියෙන්නේ. මම කලින් සටහනක් ලියපු ලංකාවේ හැඩය තියෙන පොකුණ සහ රේල් පාර අතර ඉතා මනරම් බිම් තීරුවක් තමයි ඒක.

ඉතිං මේකට එක්කාසු වෙන මහා ජනකාය නවත්වන්න අඩි 8ක් විතර උසට කම්බි වැටක් ගහනවා, අඩියක විතර පරතරය තියලා. ඒ වගේම හිටවන පොල් කොට වල කළුතෙල් ගානවා. නැතිනම් මෙහි අනුග්‍රාහක බවතුන්ට සහ ආරාධිතයින්ට මේ ප්‍රසංගය නරඹන්න සලස්වන්න බෑ. ඉතා තද ලෙස ඇතුල් වීමේ දොරටුවේදී පරීක්ෂාවට ලක් වෙනවා. මෙම ප්‍රසංගය නිම වනතුරුත් අනවශ්‍ය අයට ඇතුල් වෙන්න දෙන්නේ නෑ. ඒ අතින් මේ ක්‍රීඩා සමාජයට හොඳ විනයක් තිබුණා. සංවිධායකයින් කිසිවෙක් බීමතින් ඉඳලා නෑ. ඒකට ආදර්ශය සැපයුවේ එහි ප්‍රධාන තනතුරු දරපු කලින් සඳහන් කල ආතර් අංකල් සහ සභාපති තුමා වශයෙන් වැඩි කලක් සේවය සපයපු පොන්නම්පෙරුම මහතා.

ඉතිං මේ ක්‍රීඩා සමාජයේත් යුග දෙකක අය හිටියා. බොහෝ විට ජේෂ්ඨ / කනිෂ්ඨ වශයෙන් තමයි මේ දෙක වෙන් වුණේ. නමුත් මම වයසින් කනිෂ්ඨ වුවත් මෙහි ජේෂ්ඨ කොටසේ අයෙක් බවට පත් වුනේ අර කිව්වා තනතුරු. ටික කාලයකදී මට බර වැඩ නැතිව පින්තාරු කටයුතු වගේ ඒවා තමයි ලැබුනේ. මේ හැම දේම බොහෝ දෙනෙක් කලේ අර කලින් කිව්වා සයිකල් තරගයේ වාහනයක යන්නයි, සංගීත ප්‍රසංගය වෙලාවේ ඇතුලේ ඉන්නයි තියෙන ආශාවට. මේවායේදී අහම්බෙන් කැපී ගිය අයත් නැත්තේම නෑ.  සමහර ඇය නොදැනුවත්ව මේවට එකතු වෙලා ශ්‍රමය සැපයුවත්, ඒ වගේ අවස්ථාවල් ක්‍රීඩා සමාජයේ සාමාජිකයින්ට පමණක් ලබා දෙන්න සිදු වුන නිසා නොහොඳ නෝක්කාඩුත් බොහොමයක් ඇති වුණා. ඒවාට සමගාමීව හතුරන් පවා බිහි වුණා.

ඉතිං මේ අවුරුදු උළෙලේ සියලු දෙනාගේ වඩාත්ම සිත් ගත්ත අංගය තමයි සැතපුම් 100යේ මහා බයිසිකල් ධාවන තරගය. ඒක බෙන්තොට බෝධිය අසලින් ආරම්භ වෙලා මුලින්ම කළුතර බලා ගමන් කරනවා කළුතර බෝධිය අසලින් ආපසු හැරී නැවතත් ගාල්ලට ගොස් ගාල්ලේ සිට බෙන්තොට බෝධිය අසලින් තරගය නිමා වෙනවා. මෙතන හරියටම බැලුවොත් තියෙන්නේ සැතපුම් අනු ගණනක්. මේකත් අර දහඅට වන්ගුවේ වංගු 17 වගේ දෙයක්. මිනිස්සු කතාබහට පහසුවට මේ වගේ වෙනස් කිරීම් කරනවා. ඉතිං මේ සිත්ගත් අංගයේ වඩා සිත්ගත් කොටස තමයි මෙහි නිවේදන කටයුතු එහෙමත් නැත්තං එනවුන්ස් කිරීම. සමහරු මේකට කියන්නේ එලවුන්ස් කියලා. :)

මේ සයිකල් තරගය එනවුන්ස් කරපු යුග කිහිපයක අය හිටියා. අපි කුඩා දරුවන් වශයෙන් මේ තරගය බලන්න පාරට දුවගෙන එන කාලේ මේක එනවුන්ස් කරේ බෙන්තොට දිනමිණ, ඩේලිනිවුස් වාර්තාකරු ඒ වගෙමේ විදුහල්පති රිච්මන්ඩ් විජේසේකර මහතා. මගේ තාත්තාගේ වයසේ කෙනෙක්. ඊළඟ පරම්පරාව අමරබන්දු අල්විස් මහතා. ඉන් පස්සේ තිලක් සුචරිතරත්න මහතා. ඊට පස්සේ මම මහතා. මගෙන් පස්සේ කවුරැ කරාද කියන එක දැන ගන්න බැරි වුණේ, අවුරුදු කාලවල් වලදී ගමේ යන්න බැරි විභාග වගයක් දීලා එක දිගට අවුරුදු හතරක් විතර කොළඹ ඉන්න වුන නිසා. දැන් මම එකින් එක මේ අයගේ කාල වලදී වෙච්ච රසමුසු සිදුවීම් විස්තර කරන්නම්. දැන් රිච්මන්ඩ් සර්ගේ කාලේ සහයට අමරබන්දු අයියාත්, අමරබන්දු අයියාගේ කාලේ සුචා නොහොත් සුචරිතරත්නත්, සුචාගේ කාලේ මම ආදී වශයෙන් මෙහි අත්දැකීම් ඊළඟ පරම්පරාවට ගෙන ගියා. මට මෙහෙම අනුප්‍රප්තිකයෙක් නැතිව තනියමත් එක් වරක් මේ වැඩේ කරන්න සිදු වුණා.

අපි හැමෝම දන්නා කාරණයක් තමයි මේ මයික් වලට පුරුදු වුණ අය මයික් පෙරේතයෝ වෙන බව. මම දන්නා තරමින් එහෙම නොවුන එකම කෙනාත් මම බව බොහොම නිහතමානීව කියන්න ඕනේ. එතකොට දැන් පැහැදිලියි නේ මෙතන හිටිය අනෙක් ඇය අඩු-වැඩි වශයෙන් මයික් ටයිසන් ලා කියලා. ඔන්න රිච්මන්ඩ් සර්ගේ කතා ටික.

රිච්මන්ඩ් සර් මම හිතන්නේ මයික් ටයිසන් වැඩේ අවුරුදු 10ක් විතරම කරගෙන ගියා. මිනිහා කතාවල් පවත්වන්නත් හරි උනන්දුයි. ඉතිං උත්සව අවස්ථාවක කථාවක් නොලැබුනොත් ස්වේච්චාවෙන් හරි වචන කිහිපයක් කියන්න එතුමා ඉදිරිපත් වෙනවා. මේ එනවුන්සින් වැඩේ රස කතා ගොඩක් තියෙන්නෙත් එයා සම්බන්ධ ඒවා. එතුමාට මෙහෙම මයික් එක කට ගාවට ගත්තාම උන් හිටි තැන් අමතක වෙනවා, කෑමක් බීමක් අමතක වෙනවා. එක දිගටම කියවගෙන යනවා.

දවසක් ඉදිරියේදී පැවැත්වෙන තරග ගැන මෙහෙම විස්තරයක් කරලා.

"ආයුබෝවන්, මේ ඔබ අමතන්නේ බෙන්තොට ක්‍රීඩා සමාජය. මේ දැන් අවසාන වුණා ගම හරහා දිවීමේ තරගය මීළඟ පැවැත්වෙන්නේ බෙන්තොට ගඟේ ඇවිදීමේ තරගය සහ  ඔරු පැදීමේ තරගය මේ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අය බෙන්තොට බෝධිරාජය අසල ඇති අපගේ කාර්යාලයට නම් ලබා දෙන්න" 

කියලා. මේක අහගෙන හිටිය කොල්ලෝ කුරුට්ටෝ මේක විහිලුවකට අරන් රිච්මන්ඩ් සර්ගෙන ගිහිං අහනවා බෙන්තර ගඟේ ඇවිදීමේ තරගය තියෙන්නේ කීයටද ? කියලා. මෙතන තරග තුනක් ගැන කියන්න ගිහිං අර උද්‍යෝගය වැඩි කමට තමයි එහෙම කියවිලා තියෙන්නේ. දෙකක් පැටලිලා. ඇවිදීම, පිහිනුම් තරගය සහ ඔරු පැදීමේ තරගය තමයි කියන්න අවශ්‍ය වුණේ.

තවත් වෙලාවක සයිකල් තරගයේ ලබා දෙන ත්‍යාග ගැන විස්තර කරා මෙන්න මෙහෙම

"අද ව්වෘත අංශයේ සයිකල් ධාවන ශුරයාට ඉලාස්ටෝ ආයතනයේ අනුග්‍රහයෙන් වර්ණ පාපැදියක් හිමි වෙනවා"

මෙතනත් වුනේ පැටලවීම. ව්වෘත අංශයේ ජයග්‍රාහකගේ ත්‍යාගය වර්ණ රුපවාහිනියක්, බෙන්තොට ප්‍රදේශවාසීන් අතර තරගයේ ජයග්‍රාහකයාට ලැබෙන ත්‍යාගය පාපැදියක්.

තවත් කාලයක මේ සයිකල් තරගය වැලිගම-බෙන්තොට අතර කෙලින්ම ගමන් කරන්න යොදා ගත්තා, අත්හදාබැලීමක් වශයෙන්. ඉතිං මෙහෙම කෑ ගහගෙන යනකොට හොඳටම අමාරුයි. රිච්මන්ඩ් සර් දැකලා තියෙනවා ඒ කාලයේදීම වෙළඳපොළට හඳුන්වා දීපු ස්ප්‍රයිට් එකක් කට තියාගෙන බොනවා තරගයේ විනිශ්චයට යන අපේ නියෝජිතයෙක් මෝටර් සයිකලයේ පිටිපස්සේ යන ගමන්. අපේ ක්ලබ් එකේ හිටියා මම වගේම සෙමි සීනියර් කණ්ඩායමක්. හය දෙනෙකුගෙන් යුත් මේ කණ්ඩායම විවිධ සමාජමය කටයුතු කරලා ප්‍රසිද්ධියක් වගේම කාගේත් හොඳ හිතත් දිනාගෙන හිටිය අය. හැබැයි ඒ වගේම හොඳ මගෝඩි කාරයෝ. ඉතිං මෙයින් එක්කෙනක්ගෙන් තමයි රිච්මන්ඩ් සර් ස්ප්‍රයිට් ඉල්ලලා තියෙන්නේ. ඒ අයත් රැකියා විරහිත අය. ඉතිං අතේ වැඩිය සල්ලිය බාගෙත් නෑ. ඒ වුනත් රිච්මන්ඩ් සර්ගේ අතට බයික් එකේ යන ගමන්ම ස්ප්‍රයිට් බෝතලයක් දීලා. රිච්මන්ඩ් සර් ගත්ත ගමන්ම කටේ තියා ගත්තා. එක පාරටම යන ඇයට ඇහෙනවලු

"මුන්ගේ අම්මලාට *(^&&*, මුන් මට දීලා තියෙන්නේ ලුණු වතුර"

පස්සේ මම සිද්ධිය දැන ගත්තේ.  කොග්ගල හරියේ මුහුද තියෙන නිසා, එක පාරටම ආපු අදහසකට අනුව තමයි ලුණු වතුර පුරවල දීල තියෙන්නේ.

මේක කොටස් දෙකකට කඩන්න වෙයි කියලා නොහිතයි ලියන්න පටන් ගත්තේ. නමුත් දෙවෙනි කොටසකුත් දාන්න වෙනවා.

ලැබුවා වූ නව වසරේ ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා !!! 





Wednesday, April 10, 2013

නාමේ නොදිරනා.....

මේ අප කුඩා කාලයේ ඇසූ ගීතයක පළමු වදන් කිහිපයයි. ඉන් කියවෙන්නේ, "කෙනෙක් මල පසු ඔහුගේ ශරීරය දිරා පත් වුවත්, ඔහු සිටි කාලයේ කලදෙවල් මත ඔහුගේ නම චිරාත් කාලයක් කථාබහට ලක් වනවා ඇත" යන්නයි. එම කතාවේ කිසි වරදක් අදටද අපට නොපෙනේ. එහෙත් මට ඇති ගැටලුව  සිංහල බෞද්ධ අප, අපේ දරුවාට නම් තැබුයේ මේ කියමන වැරදියට වටහාගෙනදැයි යන සැකයයි. 
පින්තුරය ගත්තේ : www.123rf.com

මේ දේ මගේ සිතට ඇති වී බොහෝ කලක් වෙතත්, මෙය යලිත් මගේ සිතේ ඉහල තැනකට ගෙන එන්නට ආසන්නම හේතුව පසුගිය ඉරිදා පොලිස් ක්‍රීඩාංගණයේ පැවති මහජන බැංකුවේ අලුත් අවුරුදු උළෙලයි. එහිදී මට පැවරුන රාජකාරිය, ජයග්‍රාහක/ජයග්‍රාහිකාවන්ගේ නම් මුද්‍රණය කර අපගේ ලේකම් තුමා වෙත ලබා දීමයි. මෙය බැලූ බැල්මට ඉතා පහසු රාජකාරියක් නොවේද යන සිතිවිල්ල, මෙය කියවන ඔබට පමණක් නොව, එදින අව්වේ කර වෙමින් විනිශ්ච කටයුතු වල යෙදුන මගේ මිතුරන්ටද, එදින එයට සහභාගී වී මාදෙස බලා ඔරවාගෙන ගිය බොහෝ අයටද ඇති වෙන්නට ඇත. 

මේ රාජකාරිය මට කල හැකිදැයි මගෙන් ක්‍රීඩා සමාජයේ ලේකම් අජිත් රත්නායක මහතා විමසා සිටි විට මා පවසා සිටියේ "බෙන්තොට ක්‍රීඩා සමාජයේ අවුරුදු ගණනාවක් මට ඔය රාජකාරිය ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා" කියාය. පරිඝනකයක් ඇහැකට දකින්න නොතිබූ ඒ කාලයේ සියලු තරග සඳහා ඇතුලත් වීමේ නමාලේඛන සහ ජයග්‍රාහී නාමලේඛණ මගේ අතින් සැකසිනි. ඒවායේ කිසිදු වරදක් නොවන්නට මා වග බලා ගන්නට හැකි වුවේ, එහි එන බොහෝ නම් මගේ දෙසවනට හුරු වූ නිසාවෙනි. ඇත්තටම එහි පොල්අතු විවීම, පොල්ගෑම සහ සූප්පුවෙන් කිරිබීම තරග සඳහා සෑම වසරකම ලියවෙන නම් තුනක් ඇත. මා ඒ ලැයිස්තු වල ඒ නම් තුන කලින්ම ලියාගෙන සිටීමට පුරුදු වී සිටියා. ඒ නම් තුන අදටත් මට මතකය ඒ. කේ. පුංචිනෝනා, ලිලී ඒකනායක, පී. ජොසලින් ඒ තිදෙනාය. බොහෝවිට මේ නම් තුන ලබා දෙන්නේ තිදෙනාගෙන බාලයා වූ ලිලී ඒකනායකය. ඒ වනවිටත් මා ඒ නම් තුන ලියා අවසන්ය. 

එම නම් ගැන මා විශේෂයෙන් සඳහා කිරීමට හේතුවක් ඇත. ඒ නම් මා අසා ඇත්තේ පස්-හය වතාවක් . ඒ වගේම  අවුරුද්දට එක වතාවක්. නමුත් මේ නම් මගේ හිතේ සටහන් වන්නට හේතු මා සිතා බැලුවෙමි. ඒ ඒවා සරල වීම, රටේ පොදු නම් වීම යන කාරණයා. නමුත් අද අපට කුඩා දරුවන් දහ දෙනෙකුගේ නම් මතක තබා ගත හැකිද? ඒ තරමට එකිනෙකට වෙනස් නම් දහස් ගණනක් ඇත. ඒ වාගේම කුඩා දරුවකුට තමන්ගේ නම හරියට උච්චාරණය කිරීම සහ නිවැරදිව ලිවීමට අඩුම තරමේ අවරුදු දහයක් වත් පසු විය යුතුය. නමුත් ලිවීම සම්බන්ධයෙන් නම් පැරණි නම් වලද ගැටළු ඇත. ඒ ඥානවතී, ඥානපාල වැනි නම් වලය. 

මහජන බැංකු සේවක පිරිස් දස දහසකට කට ආසන්නය. මින් තුන්දහසකට වඩා වැඩි පිරිසක මෙයට සහභාගී වුවා යන්න මගේ විශ්වාසයයි. අප එක තරගයකට ඇතුලත් කර ගත උපරිම සංඛ්‍යාව සියයකි. ඒ නම් සියල්ල අප ඇතුලත් වීමේ ලැයිස්තු වශයෙන් ඇතුලත් කර නොගත යුතුයි යන්න මා කමිටු රැස්වීමක කල ඉල්ලීමකි. අප කලේ ඔවුන්ට කුඩා තුන්ඩුවක් ඒ වෙනුවට ලබා දී, ජයග්‍රාහ කයන්ගේ නම් පමණක් සටහන් කර ගැනීමය. එහෙත් එසේ ලියාගෙන එන ජයග්‍රාහකයන්ගේ නම් ඇතුලත් කර ගන්න ගොස් මා විඳි දුක දන්නේ මා අසල සිටි අකිල පමණකි. බොහෝ විට මේ නම කුමක්දැයි අකිලගෙන් විමසුවේ සක හැර දැන ගැනීමටයි. කෙනෙකුට තමන්ගේ නම වරදවා ආමන්ත්‍රණය කරනවා තරම් වේදනාකාරී දෙයක් නොවන බව මා දනිමි. 

ලෝකයක් දේවල් කියා මා ඔබ ඇදගෙන ආවේ මෙන්න මෙතනටය. මෑතකාලීනව අප දරුවන්ට නම් තැබීමේදී වඩා උනන්දු වුවේ, කාටවත් නැති අනන්‍ය නමක් තබන්නටය, ඉතා ඉහල තේරුමක් ඇති නමක් තබන්නටය. නමුත් මේ නම තැබූ ඔබට වැඩිහිටි වූ පසු ඔවුන් සාප කරාවී යයි ඔබ සිතුවාද ? මේ නම පහසුවෙන් ඔවුන්ට උච්චාරණය කල හැකිදැයි ඔබ සිතුවාද ? පහසුවෙන් ලියන්න හැකිදැයි ඔබ සිතුවාද ? 

මහජන බැංකුව පරිඝනකගත කිරීමේ කාර්යට සක්‍රීයව දායක වූ මට, ශ්‍රී ලංකාවේ බොහෝ පළාත් වල තිබෙන නම්, ගම්, වාසගම් පිලිබඳ හොඳ අවුබෝධයක් ඇත. එහෙත් අද කුඩා දරුවන්ගේ නම් කියවන්නට ගොස් වැටෙන අමාරුව මා අමුතුවෙන් විස්තර කල යුතු නැත. අනාගතයේ සියලුම අයට කෙටි(නික් නේම්) නමකින් ආමන්ත්‍රණය කරන්නට සිදු වනවා සිකුරුය. 

මට හමු වූ නම් කිහිපයක් මෙසේ ඔබ හමුවේ තබන්නේ ඒවායේ තිබෙන හාස්‍යෝත්පාදක ගතිය හාඅසීරු බව ඔබට පසක් කිරීමටය. තනුලි, මන්දිනි ,කලේන්ද්‍ර, රිද්මින්, සත්නිධු, මෙහඳු, මේතුප, බිම්පත්,  කවීජ, යෙහන්සා ,බිනන්දී, හෙහන්සා. මේ නම් සියල්ල වයස අවුරුදු 10ට අඩු දරුවන්ගේය. සියළු නම් ලේඛනගත කළා නම අද මෙම සටහන අංග සම්පූර්ණ කරන්න හේතු වනවා ඇත. ඒත් මා කියාගෙන යන දේ කුමක්දැයි මේ වනවිටත් ඔබට වැටහී ඇත. 

මේ මාතෘකාවට අදාළ නැති වුවත් මට රාජකාරි දිවියේදී හමු වූ, උප්පැන්න ලේඛණගත කිරීමේ ගැටළු ඇති වූ කාන්තා නම් දෙකක් ගැන නොකියාම බැරිය. එක් මහත්මියගේ නම රෝහණ බව පැවසු විට මා කිහිප වතාවක් ඇසූවත් එය ඇයගේ නමම විය. තවත් ශාඛාවක හමු වූ සමනා නමැති මහත්මිය මුස්ලිම් හෝ දෙමළදැයි මා වෙනත් සේවකයකුගෙන් ඇසූ විට පවසා සිටියේ එය ප්‍රින්ටින් මිස්ටේක් එකක් බවය. මෙවැනි දේද සමාජයේ සුලභය. 


නමුත් උප්පැන්නයේ තිබෙන නම් කුමක් වුවත් කටට එන නමෙන් කෙනෙකු ආමන්ත්‍රණය කරන අවස්ථාද මා දැක ඇත. එවැනි විටක අර දෙවෙනි නම ඔවුන්ගේ නියම නම ලෙස ලියාපදිංචි වනවා ඇත. මගේ දෙපාර්තමේන්තුවේ සේවය කරන ධම්මික එවැනි අයෙකි. නමුත් ඔහුගේ නියම නම දම්මිත් ය. එය දන්නේ බොහොම කලාතුරකින් කෙනෙකි. 

දිනක් දරුවාට නමක් තැබීමට ප්‍රසිද්ධ ලේඛිකා යමුනා මාලනී පෙරේරා මහත්මිය හමුවට පැමිණි කෙනෙක් තමාගේ දරුවාට "ෂ" යන්න තිබෙන නමක අවශ්‍ය බව පවසා ඇත. එවිට ඇය ලබා දී තිබෙන උත්තරය වී ඇත්තේ "වොෂින් මැෂින්" කියා නම් තබන ලෙසය. 


මේ සටහන අවසන් කරන්නට මා කදිම කතාවක් තෝරා ගත්තා. සමහර දෙමව්පියන් තමන්ගේ දරුවන්ට තමන්ගේ ආශාවන් අනුව නම් තැබීමට උනන්දු වනවා. මගේ මිතුරෙක් වන වසන්ත මහතා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිතාර් භාණ්ඩය වාදනය ප්‍රගුණ කල අයෙක්. ඔහු තම දියණියට නම් තැබුයේ සිතාරා කියාය. එහි කිසි වරදක් මම නොදකිමි. ඇත්තටම එය ලස්සන නමකි. නමුත් සුහද හමු වලදී ඇය දකින මගේ මිත්‍ර චුලන්තට සිහියට එන කතාවක් ඇත. ඔහු ඒ සෑම විටකකම ඇයට ඒ කතාව කියයි. ඒ 

"කොහොමද තාත්තට ඒ කාලේ සිතාර් ගහන්න හිතෙන්නේ නැතිව ගැටබෙරේ ගහන්න හිතුණා නම්"

මට හිතුනේ ඒක නොවේ, දවුල, තම්මැට්ටම වගේ තවත් සංගීත භාණ්ඩ බොහොමයක් ඇත. ඉන් එකක් වසන්තගේ ඇස නොගැටීම සිතාරාගේ වාසනාවක් කියාය. 

මෙහි නම් ගම සඳහන් කිරීමෙන්, මෙහි නම් සඳහන් වන කිසිවකුට අගතියක් කිරීමට බලාපොරොත්තු නොවූ අතර, තවමත් දරුවන් නොලැබූ, ඉදිරියේදී දරුවාට නම් තැබීමට අවස්ථාව ඇති ඔබට කරන කාරුණික ආයාචනය නම ඔබේ දරුවාට පහසුවෙන් කියවන්න, ලියන්න හැකි නමක් තබන ලෙසය.  

Sunday, April 7, 2013

ඉතියෝපියානු සිංහ සීවලීය ....

පැහැරගෙන ගොස් තලා පෙලා විවාහයට බලකරන ලද දොළොස් හැවිරිදි දැරියක් සිංහයන් තිදෙනෙකු විසින් ආරක්ෂා කරන ලද අරුම පුදුම පුවතක් ඉතියෝපියාවෙන් වාර්තා වේ. ඇය පැහැරගත් පිරිස මෙම සිංහයන් විසින් පලවා හැර ඇති බව පොලිස් නිලධාරියෙක් පවසයි.
පින්තුරය ගත්තේ : http://booredatwork.com

සතියක පමණ කාලයක් ආගිය අතක් ගැන හෝඩුවාවක් නොවූ මේ දැරිය, පිරිමින් හතකගෙන් යුත් කණ්ඩායමක් ගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු හා විවාහ වන ලෙස බල කරමින් පහර දී ඇති බව සාජන් වොන්ඩිමු වෙඩාජෝ ඉතියෝපියාවේ අඩිස් අබා නගරයට හැතැප්ම 350 පමණ වයඹ දෙසින් පිහිටා ඇති ප්‍රාදේශීය නගරයක් වන බීටා ගැනට් සිට දුරකතනයෙන් පැවසීය.

පොලීසිය සහ ඥාතීන් ඇය බීටා ගැනට් අවටින්  සොයා ගන්නා විට කිහිප වතාවක්ම මේ පිරිස ඇයට පහර දී තිබූ අතර, වරුවක් පමණ සිංහයන් තිදෙනා ඇය ආරක්ෂා කර තිබූ බව පොලිස් නිලධාරියා පැවසීය.

"අපට ඇය හමු වන තුරු ඔවුන් ඇය ආරක්ෂා කළා, ඉන් පසුවයි ඔවුන් ඇය හැර වනයට පියමං කළේ."
ඇයගේ ගැලවීමට සිංහයන් නොපැමිණියේ නම්, ඇයට දරුණු ඉරණමක් අත් වන්නට ඉඩ තිබුණි. බොහෝවිට සිදුවන්නේ මෙවැනි දැරියන් දුෂණය කර දරුණු ලෙස වද හිංසා පැමිණවීමයි.

පළාත් පාලන ආයතනයක නිලධාරියෙක් වන ටිලහන් කස්සා තහවුරු මෙය කළා වොන්ඩුමුගේ විස්තර කරන ආකාරයේ සිදුවීමක් බව. එම පිරිමින් කාණ්ඩයට වුමනා වුයේ ඉන් එක් අයෙක්ට මෙම දැරිය විවාහ කර දීමට.

"සියල්ලෝම සිතන්නේ මෙය යම් ආකාරයක ආශ්චර්යයක් කියලා. ඒ සිංහයන් සාමාන්‍යයෙන් මිනිසාට පහර දෙන නිසා" වොන්ඩුමු පැවසුවා.

ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ වනජීවී විසේසඥයකු වන ස්ටුවට් විලියම් මහතා පැවසුවේ
"ඇය බේරෙන්නට ඇත්තේ පහරදීම නිසා ඇතිවූ කම්පනයෙන් හඬමින් සිටි නිසා" බවයි. 
 "දැරියගේ ඉකි බිඳීම සිංහයන් එය සිංහ පැටවකුගේ හැඬුමක් යයි වරදවා තේරුම් ගැනීම නිසා ඇය ගොදුරු කර නොගන්න ඇති"
විලියම් තව දුරටත් පැවසුවා. 
ඉතියෝපියානු සිංහයන් ඔවුන්ගේ මලගියා පියවරුන් ලෙසේ ඔවුන් විශ්වාස කරනවා. ඒ වාගේම ඔවුන්ගේ   ජාතික සංඛේතය වන්නේද මෙම සිංහයන්. මෙම සිංහයන්ගේ පිළිම ඉතියෝපියාවේ ඉදි කර ඇති අතර මුදල් නෝට්ටු වලටද සිංහ රුපය එකතු කර තිබෙනවා. ඉහත මට්ටු වීම නොසලකා ඉතියෝපියානු දඩයක්කරුවන් සිංහ දඩයමට පෙළඹෙනවා.  ඒ එක් හමක් සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් පමණ ලැබෙන නිසා. විලියම්ගේ ඇස්තමේන්තුව අනුව දැන් ඉතියෝපියාවේ සිටින්නේ සිංහයන් 1000ක් පමණයි.

හතරදෙනෙකුගෙන් යුත් පවුලක බාල දැරිය මෙම රඳවාගෙන කල පහරදීම නිසා ඇති වූ කම්පනය සහ තැතිගැන්මෙන් පසු වුවා. පහරදීම නිසා ඇති වූ කැපුම් සහ තැලුම් වලට ප්‍රතිකාර ලබා දීමට සිදු වූ බව වොන්ඩිමු පැවසුවා.


 පැහැරගැනීමේ කණ්ඩායමෙන් හතරදෙනෙක් පොලීසියට කොටු වී ඇති අතර තිදෙනෙක් තවම සොයා ගැනීමට තිබෙන බවද ඔහු පැවසුවා.

දැරියන් පැහැරගැනීම අතීතයේ සිට ඉතියෝපියාවේ විවාහ චාරිත්‍ර වලම කොටසක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඉතියෝපියානු විවාහ වලින් 70% ම මේ ආකාරයේ පැහැරගැනීම් කර සිදු කර ඇති බවයි. මිලියන 71ක් වන රටේ ජනගහනයෙන් වැඩි කොටස ජීවත් වන ගම්බදව වැඩියෙන්ම මේවා සිදුවනවා.

ඇසුරෙන් පරිවර්තනය කර ඇත. 


Thursday, April 4, 2013

බොරු නැත්තෙමය මහතුන් පැවසු තෙපුල ... III

එක්තරා ගොළු මනුස්සයකුගෙන් එයාගේ යාලුවෙක්(කථා කරන්න පුළුවන්) දැනට අවුරුදු දහයකට විතර කලින් අහලා තියෙනවා එයා කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා. එතකොට ඒ ගොළු මනුස්සයා හස්ත මුද්‍රාවෙන් කියාලා තියෙනවා මාවන් අතපත්තු කියලා. කොහොමද කිව්වේ ? ඔන්න උත්තරේ හොයන්න ඔයාලට බාරයි.

ඔබ දන්නවා නේ මම මේ දවස් වල ඉන්නේ කොහේද කියලා ? ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ඔය ලෝක ප්‍රසිද්ධ මාධ්‍යවීදීන් වාඩි වෙලා වැඩ කරන පුටු මේස පරිහරණය කරන්න ඔයාලත් එක්ක බ්ලොග් ලියන මේ සුදීකටත් චෑන්ස් එක ලැබුනා. ඒ තනිකරම බ්ලොග් ලිවිල්ල නිසා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ථමාන සහ හිටපු ක්‍රීඩකයන් වගේම ජාත්‍යන්තර ක්‍රීඩකයන් බොහොමයක් සමග ඇසුරු කරන්න ලැබෙනවා. ඉතිං මම වගේ ක්‍රිකට් අසනීපයකින් ඉන්න කෙනෙකුට ඒක මොන වගේද කියලා කියන්න වචන නාස්ති කලොත් අපරාධයක්. අද ඉන්දියාවත් ඔස්ට්‍රේලියාවත් අතර තිබ්බ ක්‍රිකට් තරගයේ වීරයා වෙච්ච ජාස්කරන් සිං වෙත කුසලානා ලබා දුන්නේ, ලංකාවෙන් බිහි වෙච්ච අග්‍රගණ්‍ය පිතිකරුවෙක් ලෙස ලෝක ක්‍රිකට් ප්‍රජාව පිලි ගන්න මාවන් අතපත්තු මහතාගේ අතින්. එහෙම කෙනෙක් ආපු ගමන් නදීර උඩවත්ත මගේ සහෘද්ධයා මගෙන් අහනවා ඉන්ටර්වීව් එකක් ගන්නවද කියලා. මම තවම එපා කිව්වේ එකම එකයි.

ඉතිං මාවන් එක්ක කථා කරන්න ලැබෙන එකේ වටිනාකම මේ මාතෘකාවෙන්ම කියල තියෙනවා. ඔන්න එහෙනම් මාවන් එක්ක කරපු සම්මුඛ සාකච්චාව කියවන්න



මට දැනගන්න පුලුවන්ද එක දිගට ටෙස්ට් ඉනිම හයකම ෆේල් වෙලා, ඉන් පස්සේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන හැම රටකටම එරෙහිව ටෙස්ට් ශතකය ගානේ වාර්තා කරන්න ආත්ම ශක්තිය හදා ගත්තේ කොහොමද කියලා ?
මං හිතන්නේ අත්දැකීමුත් එක්ක ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරලා, මං ඉස්සෙල්ලම පාසලෙන් ආපු ගමන් තමයි ජාතික කණ්ඩායම නියෝජනය කෙරුවේ. ඒ එනකොට තිබුණු අත්දැකීමුයි මම තරග වාර කීපයක් ක්‍රීඩා සමාජයට, එස්.එස්.සී.  ක්‍රීඩා සමාජයට තරග කරයින් පස්සේ තිබුණු අත්දැකීම් අතර ලොකු වෙනසක් තිබුණා. ඉතිං මං හිතනවා ඒ අත්දැකීම් තමයි මට පිටුවහලක් වුණේ ඊට පස්සේ ලකුණු රැස් කරන්න. 
 

සාජා වලදී පලවෙනි එක්දින ශතකයට යන්න මම දැක්ක අරවින්දත්  බොහොම ලොකු සටනක යෙදිලා තමයි ඒ ශතකයට ගියේ. ඒක මොන වගේ අත්දැකීමක්ද මුලින්ම ශතකයක් ලබනකොට ?
මුලින්ම ශතකයක් ලබනකොට මම හිතන්නේ මොන ෆොර්මැට් එකේ වුනත් පලවෙනි ශතකය හරිම අමාරුයි ලබා ගන්න. ශතක ලබාගන්න ක්‍රමය පිතිකරුවෙක් වශයෙන් මම දන්නැති හින්දා. හැබැයි එක ශතකයක් ලබා ගත්තට පස්සේ, ඊට පස්සේ ශතක ලබන විදිය, ලකුණු ලබා ගන්නා ආකාරය, ඒ ක්‍රමය තමන් දන්නා හින්ද ටිකක් ලේසි වෙනවා. ලබා ගැනීම ලොකු සතුට ඒ වගේම ලොකු අත්දැකීමක්. ඊට පස්සේ තමන් රස කරන ලකුණුත් එක්ක සංසන්දනය කරලා බලද්දී පලවෙනි එක තමයි අමාරුම ශතකය.
 

එතකොට 200යේ, මම බලාපොරොත්තු වුණේ 200යේ රෙකොර්ඩ් එකත් දෙවෙනියටවත් නතර වෙයි කියල. ඒ ගැන මොකද හිතෙන්නේ ?

එක අවස්තාවක ඇත්ත වශයෙන්ම මටත් එහෙම හිතුණා. මොකද මට හිතුණා, මට ලකුණු දහයක් ගහනවට වඩා දෙසීයක් ගහන එක ලේසියි කියලා. අර මං ඉස්සෙල්ල කිව්වා වගේ අර මේ පුරුද්දකට ගියාම මම දන්නවා කොහොමද ගහන්න ඕනේ, කොච්චර වෙගේකින්ද? , ටෙස්ට් මැච් එකේ කොයි අවස්ථාවෙද ලකුණු රැස් කරන්න ඕනේ, කොයි වෙලාවෙද කියන එක මගේ අර ඇඟට - සිස්ටම් එකට එනවා. මටත් හිතුනා ඇත්තටම එහෙම. හැබැයි ඉතිං අවාසනාවකට වගේ, ඒ තත්වය ... මට දෙක - තුනක් මිස් වුණා. මට හිතෙනවා මට දහයක් නම් ගහන්න තිබ්බ කියලා කොහොමටත්. ඒ අවස්තාව, මට හිතෙනවා ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවය වෙන්න ඇති ඒ තත්වය මට උදා කර ගන්න බැරි වුණේ. 


දැන් පුහුණුකරුවකුගේ භූමිකාව විදියට කොහොමද? පුහුණුකරුවෙක් අනිත් ක්‍රීඩකයන්ව දිරිමත් කරනවා වගේ  දේවල් කරන්නේ

ඔව්. මං හිතන්නේ මං දැනට මගේ කාර්යභාරය වෙලා තියෙන්නේ ජාතික කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු වශයෙනුත් උප පුහුණුකරු වශයෙනුත් මගේ කාර්යභාරය වෙලා තියෙන්නේ දැන් ඉන්න ක්‍රීඩකයන්ට. දැන් ඉන්න පිතිකරුවන්ට විශේෂයෙන්ම එගොලන්ට එග්ලොලන්ගේ හැකියාව අනුව ඒගොල්ලන්ගේ හැකියාවන් තව දියුණු කර ගන්න අදහස් මම යෝජනා කිරීමක් සෑහෙන දුරට කෙන්රෙන්නේ මොකද ඒ වගේ  ස්ථාන දුරකදී මට ක්රීදයෙක්ගේ තාක්ෂණික මට්ටම හදන්නවත්, එහෙමෙ ටිකක් අමාරුයි, ඒගොල්ලන්ගේ මානසික මට්ටමයි, එගලොල්ලන්ගේ හැකියාවන් එක්ක තව ඒගොල්ලන්ට කරන්න  පුළුවන් දේවල තව ඒගොල්ලන් දැකපු නැති පැති යෝජනා කිරීමක් තමයි මම සෑහෙන දුරට කරන්න බලන්නේ. ඉතිං ඒ යෝජනවල් හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුලුවන්, හොඳ ඒවා ගන්න පුළුවන්, නරක ඒවා යන්න දෙන්න පුළුවන්. මොකද මේ ලෙවල් ඒකේ, ඒ තත්වයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍පිතිකරුවන්ට ඒක තමයි වෙන්න ඕනේ. හරි අමාරුයි තාක්ෂණික වශයෙන් හදන්න හරි අමාරුයි.
ටෙස්ට් තරගයකදී ලකුණු 200ක් ගහන්න වැඩියෙන්ම ඔන්න වෙන්නේ තාක්ෂණයද නැත්නම් ප්‍රවේගකාරී බවද ?


මං හිතන්නේ තාක්ෂනය තමන්ට ශක්තියක් වෙනවා. තමන් දන්නවනම්, දැන් අපි කියමු නිදසුනක් විදියට අපිට තට්ටු තිහක බිල්ඩිමක් ගහන්න ඕන වුනහම අපට බිල්ඩිම ගහන්න පටන් ගන්න පුළුවන් ඔක්කොම තියෙන සල්ලිත් එක්ක, ගහගෙන යන්න පුළුවන්. හැබැයි අපිට ඔය ෆවුන්ඩේෂන් එක ශක්තිමත් නැත්නම්, ඔය කියන තට්ටු ගාන, තට්ටු තිහ වෙන්න පුළුවන්, හතලිහ වෙන්න පුළුවන් අපට ගහ ගන්න අමාරුයි. ඉතිං අපට තාක්ෂනය කියන එක අපට, තාක්ෂනය පිලිබඳ අපේ ශක්තියක්, ඒක පිලිබඳ අපේ විශ්වාසයක් තියෙනවා නම්, ඒ ලකුණු රැස් කිරීම පිලිබඳ අපිට ගැටළුවක් මතුවෙනවා අඩුයි, මොකද අපිට ඒ තාක්ෂනය තියෙන බව මං දන්න හන්දා. තාක්ෂනය නැත්නම් මට ඒ තාක්ෂනය ගැන හිතන්නත් වෙනවා ලකුණු රැස් කිරීම ගැන හිතන්නත් වෙනවා. ඉතිං තාක්ෂණයේ තියෙන වටිනාකම ඒකයි. 
 මාවන් එක්ක තවත් බොහෝ දේ කථා කරන්න තිබුණත්, කාලය හරස් වීම නිසා ඉතා කෙටියෙන් එම සාකඡ්චාව හමාර කරන්න සිදු වුණා. 

Tuesday, April 2, 2013

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ මහමොලකරු සමග දොඩමළුව

බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාව ඔබට අලුතෙන් හඳුන්වා දීමට අවශ්‍යද ? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ගහට පොත්ත සේ සබඳතාවක් ඇති පුද්ගලයෙක් වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා මුල්ම ටෙස්ට් තරගයේ සිට මේ දක්වා කුමන හෝ අයුරකින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා සම්බන්ධ වී ඇත. විටෙක කණ්ඩායම් කළමනාකරුවකු  වන ඔහු තවත් විටෙක පුහුණු කරුවකු වෙයි. මේ සියල්ලටම වඩා අප අගය කල යුතු දේ වන්නේ ඔහුගේ නිහතමානීත්වයයි. ඕනෑම කෙනෙකු සමඟ සිනා මුසු මුහුණින් කතාබස් කරන ඔහු වැන්නන් රටටම ආදර්ශයකි. 

සුදීකට අද සන්ධ්‍යාවේ රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු හමු විය. තරගාවලි අධ්‍යක්ෂ වරයා වශයෙන් ඔහු වඩාත් කාර්ය බහුල මොහොතක ඉතාම තැන්පත් ස්වභාවයකින් කතාබස් කිරීම එතුමාගේ වෘත්තීය දක්ෂතාව මොනවට විදහා දක්වයි. ඇවිද්ද පය කියවන ඔබ වෙනුවෙන් මා එතුමාගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා


 දැන් ඔබතුමා මේ තරගාවලියේ අධ්‍යක්ෂවරයා, මීට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවකු වශයෙන් ඔබ සේවය කර තිබෙනවා ඒ කළමනාකරණ අත්දැකීම කොහොමද ඩිරෙක්ටර් විදියට, වගකීම ?

 ඇත්තටම ජාතික කණ්ඩායමේ කළමනාකරු වුනහම ඉතාමත් දැඩි වගකීමක් තිබෙනවා. ඉතිං ක්‍රීඩකයන් පාලනය කරන්නේ කෙසේද ? ක්‍රීඩකයන් සමග කොහොමද ඔවුන්ගේ හැසිරීම් රටාව මොකක්ද ? ඔවුන්ගේ අවශ්‍යතාවයන් මොකක්ද ? ඒ තියෙන සෑම දෙයක් ගැනම සෑහෙන අවුබෝධයක් තියෙනවා. මං හිතන්නේ ඒ අවුබෝධය ඉතාම උදව් වෙනවා මේ වගේ තරගාවලියක් සංවිධානය කරනකොට. ඉතිං ඒ අවශ්‍ය හැම දෙයක් ගැනම හොඳින් බලල ඉවර වෙලා ඒවට සම්බන්ධ වෙන්නට හැකියාවක් ලැබෙනවා. ඉතිං මං හිතනවා ඒ ආභාෂය ගොඩාක් ප්‍රයෝජනවත් වුනා කියලා. 
 මේ ටුනමන්ට් එකේ මොනවද විශේෂ, ඒ කියන්නේ, අලුතෙන් දෙයක්, මං හිතන්නේ ජාතික කණ්ඩායමේ කරනවට වඩා මේක මට තේරෙන විදියට නම් වගකීම වැඩියි. තනිකර ඔබ තුමා අතට තමයි ඔක්කොම වගකීම් ටික ලැබෙන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන්  
 ඔව්. ඇත්තටම ජාතික කණ්ඩායමේ ලංකාවට කරනකොට ඉතාමත් සුළු කොටසක තමයි වගකීම ලැබෙන්නේ. නමුත් මෙතන මුළු තරගාවලියේම සෑම අංගයක් කෙරෙහිම වගකීම මා වෙත තමයි පැවරිලා තියෙන්නේ. ඉතිං ඔබ කිව්වා හරි,  ඉතාමත් විශාල වගකීම් සම්බාරයක් පැවරිලා තියෙනවා. ඉතිං එය තමයි පළපුරුද්දත් සමගම, ඒ කියන්නේ කරන්නට හැකියාව ලැබීම මම හිතනවා ඉතාමත් සන්තෝෂයට කාරණයක්. ගිය වසරේත් කණ්ඩායම් තුනක් සහභාගී වුණා. ඒ කණ්ඩායම තුනත් සමග වර්ෂාවෙන් ඉතාමත් බාධාවක්  ඇති වුනා ගිය වසරේ. නමුත් කෙසේ හෝ ගිය වසරේ තරගාවලිය සම්බන්දීකරණය කර ගන්න හැකි වුණා. ඉතිං මේ වසරේ බලාපොරොත්තු වෙනවා වර්ෂාවෙන් බාධාවක්  ඇති නොවෙයි කියලා. ඉතිං එහෙම වුනත් ඒවටත් අපි ඉතාමත් සුදානමින් තමයි ඉන්නේ.  කොයි අන්දමේ බාධාවක් ඇති වුනත්, එය හොඳින් කරන්නට අපිට හැකියාවක් ලැබෙයි කියලා මා හිතනවා. 
දැන් මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රිලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ අයි.සී.සී. එකේ අනුග්‍රය හෝ ඒගොල්ලන්ගේ අනුදැනුම මතද මේක සිද්ධ වෙන්නේ ? 

 ඇත්තටම අයි.සී.සී. එකේ අනුදැනුමක් මේ තරගාවලියට නෑ. මේ තරගාවලිය ඇත්තටම රෙඩ්බුල් ඉවෙන්ට් එකක් විදියට ඔවුන්ගේ කම්පනියේ සම්පූර්ණයෙන්ම මේ වියදම් දරාගෙන පැවැත්වෙන තරගාවලියක්. ශ්‍රී ලංකා ක්‍රිකට් අපිට ඇත්තටම උදව් වෙලා තියෙනවා ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අපිට ලබා දීම දිවා-රාත්‍රී තරග වලට. ඉතිං මං හිතනවා උපාලි ධර්මදාස මහත්මයත්, නිශාන්ත රණතුංග මහත්මයත් ඉතාමත්ම උවමනාවෙන් අපිට මේ ක්‍රීඩාංගණය ලබා ගැනීමට අවශ්‍ය වෙච්ච් වෙලාවේදී උදව් කරා. මට මතකයි ගිය වසරේදීත් අපට අවශ්‍ය වෙච්ච වෙලාවේදී කවර, ඒ වගේම සුපර්-සොපර් ලබා දුන්නා ඒ තරගාවලිය පවත්වන්න. ඉතිං එහෙම සහයෝගයක් ලබා දුන්නැත්නම් ඒ තරගාවලිය කවදාවත් හිතපු තරම් උසස් තත්වයෙන් පවත්වා ගන්නට ලැබෙන්නෑ. ඉතිං මං හිතන්නේ මං ඔවුන්ට ඉතාමත් ස්තුති වන්ත වෙන්න ඕනේ මේ තරගාවලියට සහයෝගය දක්වලා මේ ආකාරයෙන් පවත්වාගැනීමට උදව් කිරීම ගැන.  

ඔබගේ මේ පත්වීම දෙවෙනි වරට, ඔවුන් ඔබ ගැන විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඔබ හිතන විදියට මොකක්ද මේකේ රහස ?

ඇත්තටම ගිය වසරේ තරගාවලියේදී යම්කිසි කෙනෙක් ඇවිල්ල පලවෙනි දවසේ ක්‍රීඩා පිටිය දිහා බැලුවනම්, සී.සී.සී. ක්‍රීඩාංගනයේ තමයි පහුගිය වෙලාවේදී පැවැත්වුනේ. ඉතිං අපි සී.සී.සී. ක්‍රීඩාංගණය තෝරා ගත්තේ මහජනයාට ඇත්තටම ලේසියෙන් එන්න පුළුවන්, කොළඹ හත නගරයේ කේන්ද්‍රස්ථානයක තිබුණේ. ඒක් හින්දා අපට හිතුනා එතන පහසු හොඳ තැනක් කියලා නමුත් අවාසනාවන්ත විදියට වැස්සෙන් ඉතාමත්ම බාධා ඇති වුණා. නමුත් අපිට පුළුවන් වුණා ඒ තරගාවලිය වතුර අයින් කරලා, අපි ඇත්තටම මෝටර් දම්මලා වතුර පොම්ප කරලා ඉවර වෙලා තමයි අපි ඒ මැච් එක සෙල්ලම් කරන තත්වයටගියේ. ඉතිං මං හිතනවා ඒ විශ්වාසය තමයි ගොඩක් වෙලාවට රෙඩ්බුල් ආයතනයට තියෙන්නේ. ඕනෑම අවස්ථාවකට මුහුණ දීලා, ඒ තරගාවලිය හොඳින් පවත්වන්නට අවශ්‍ය සෑම අංගයක්ම මං ගාව තිබෙනවා කියන එක තමයි ඔවුන්ගේ විශ්වාසය. 
මං මේක හැම කෙනාගෙන්ම අහන ප්‍රශ්නයක්, ක්‍රිකට් ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙක එකට ගෙනියන එකේ සාර්ථකත්වය ලබන්න පුලුවන්ද ? අපි ශ්‍රී ලංකාවේ දකින්නෑ එහෙම සාර්ථක වුණ අය බොහොම කලාතුරකින්. නමුත් වින්ටර්/සමර් සීසන්ස් තියෙන අය මේක සමබර කර ගන්නවා. 
ඇත්තටම මම හිතනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්නට කාලයක් නැති කම මම හිතන්නේ මේකට බලපානවැයි කියලා මම හිතනවා. නමුත් මම දකින විදියට මේ දෙක එකට කර ගැනීමට  ගොඩක් වෙලාවට බැරි වෙනවා. එහෙත් පුළුවන් වෙන්නට අවශ්‍යයි. අපි දකිනවා ජෙහාන් මුබාරක්, කුමාර් සංගක්කාර, හේමන්ත බොතේජු ක්‍රීඩකයන් යුනිවර්සිටි මට්ටමට ගියා. ඒ වගේම ගොඩක් හොඳින් උසස් පෙළ සාර්ථක වෙච්ච ක්‍රීඩකයන් ගොඩක් සිටිනවා. ඉතිං මං උනත් උසස් පෙලට ක්‍රෙඩිට් හතරක් ලැබුවා. ඉතිං අපිට හැකියාව තිබුණා ඒ දෙක සමබරව පවත්වාගෙන යන්නට. ඉතිං බැහැයි කියලා දෙයක් නෑ. මා දන්නවා ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා පාසල් පළමු පෙලට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ලංකාවේ යුනිවසිටි වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ. ඉතිං මං හිතනවා ඒ දෙක සමබරව පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා තමන්ට උවමනාවක් තිබෙනවානම්.  

Monday, April 1, 2013

හෙටින් ඇරඹෙන ලෝක කැම්පස් විස්සයි20 ශුරතාව

ඊයේ සන්ද්‍යාවේ ගල්කිස්ස මුහුදු වෙරළේ පැවති අති උත්කර්ෂවත්  හඳුන්වාදීමේ සාදයත්  සමග ඇරඹෙන ලෝක කැම්පස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා සියළු කටයුතු සුදානම් බව එහි තරගාවලි අධ්‍යක්ෂ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඊයේ ගල්කිස්ස මුහුදු වෙරළට එක්වූ ලෝකයේ රටවල් හයක ශුරතා දිනාගත් කණ්ඩායම් සමග එක්ව පැවතී මාධ්‍ය හමුව සහ කාණ්ඩ දෙකකට කණ්ඩායම් වෙන් කිරීමේ මුලික පියවර සමග බොහෝ දෙනා ඉතා සුහදව අදහස් හුවමාරු කර ගත්තේ හෙට සිට එකිනෙකා පරයා නැගී සිටින්නට සිටින කණ්ඩායම් බව අමතක කරමිනි. ලෝකය එක යායක් බව මොනවට පසක් කල මේ හඳුනා ගැනීමේ උළෙල මා සහභාගී වූ හොඳම උළෙල බව කිසිදු චකිතයකින් තොරව පවසමි. 

ගල්කිස්ස සුන්දර වෙරල තීරයේ වැලි තලාව මත කුඩා ක්‍රිකට් ක්‍රීඩාංගණයක අසිරිය ගෙන තිබුන අතර අවසානය වන තෙක් සිදු වන්නට යන්නේ කුමක්ද යන්න කිසිවකුට නිසි වැටහීමක් නොතිබිණි. ගල්කිස්ස  වෙරලට ඊයේ සන්ද්‍යාවේ එක් වූ මහජනතාව ඉතා විමතියෙන් බලා සිටියේ සිදු වන්නට යන්නේ කුමක්ද කියාය. ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය නියෝජනය කරමින් එක් වූ සුදීක, මෝරා ස්පිරිට්(මොරටුව සරසවිය) සහ කොළඹ සරසවියේ මාධ්‍ය කණ්ඩායම් වල අයටද මෙය විමතියට කරුණක් විය. ගල්කිස්ස වෙරල තීරයේ ඇති ගෝල්ඩන් මයිල් අවන්හල ලෝකයේ රටවල් හයක තාරුණ්‍යයෙන් පිරී ඉතිරී ගිය ඒ මොහොත වචනයෙන් විස්තර කල නොහැකි තරමේ සොඳුරු අත්දැකීමක් වුණා. 

හවස 5.00 වත්දී මුලින්ම එහි ලඟා වුනේ එංගලන්ත කණ්ඩායම. ඔවුන් දුටු විට අපට හිතුනේ සරසවි යන තරුණ ගැටව් ටිකක් නොව ජාතික කණ්ඩායමේ සිටින තරම්ම හැඩි දැඩි කණ්ඩායමක් බවය. එහෙත් ඔවුන් ඉතා ඉක්මනින් එහි සිටි අප හා කුළුපග වුණා. සියළු දෙනා ඉතා කැමැත්තෙන් අප වෙත අදහස් දක්වන්නට ඉදිරිපත් වුණා. 

ඉන් අනතුරුව අසල්වැසි ඉන්දීය කණ්ඩායම එහි ලඟා වුණා. ඉන්දියාව වෙනුවෙන් මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ උතුරු ඉන්දීය අනුබද්ධ විශ්ව විද්‍යාලයක්(College) වන චන්දිගාර්හී ඩී.ඒ.වී. සී. ය. මෙම විද්‍යාතනය නියෝජනය කල ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන යුවරාජ් සිං විස්සයි20 ක්‍රිකට් වලදී අමතක කල නොහැකි චරිතයක්. 

කහකුරුල්ලන් පැමිණියේ ඉන් අනතුරුවයි. මෙම තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අඩුම උස ඇති කෙනා අඩි 5 යි අඟල් 10 ක් උසයි. ඔවුන්ගේ කණ්ඩායමේ විශේෂත්වය වන්නේ එයට නායකත්වය දෙන්නේ ඉන්දියානු ජාතිකයෙක් වීමයි. ඔහු බැන්ගලුරු වැසියෙක්. එම ස්ථානයට පැමිණි වඩාත් නිහතමානී කණ්ඩායම ඔසියන් යයි බය නැතිව පැවසිය හැක. 



කවුරුත් නොසිතු මොහතක එහි පැමිණි පකිස්තානු කණ්ඩායම ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත කණ්ඩායම් තුනෙන් එකක්. ඔවුන්ගේ කණ්ඩායම සමග විශේෂිත පුද්ගයකෙක් පැමිණ සිටියා. ඒ පකිස්ථානු කණ්ඩායමට නායකත්වය දුන් සහ දිගු කලක් එහි කඩුලු රකින අත් ආවරණ පැළඳි මොයින් ඛාන්. ඔහු ඉතාම කුළුපග පුද්ගලයෙක්. 



ගල්කිස්ස මුහුදු වෙරළට රාත්‍රිය රැගෙන ආවේ සත්කාරක කණ්ඩායම වන ශ්‍රී ලංකාව. මෝරා ශාර්ක් ලෙස වඩාත් ජනප්‍රිය, මොරටුව සරසවි කණ්ඩායම සුපුරුදු නිල් පැහැති කමිස පැළඳ එහි පැමිණ සිටියා. 



සුදීකගේ ජංගම දුරකථනය දහවල් කාලයේ ඉතා පැහැදිලි ඡායාරුප ගෙන දුන්නත් රාත්‍රිය එයට සුභ නෑ. 

තරගාවලියේ ලජ්ජාක්රුවන් ලෙස කවුරුත් හඳුනා ගත් බංගලි කොලු පැටව් ටික කෙලින්ම කැමරාවට මුහුණ දුන්නේ නෑ. 



මේ සියළු දෙනා පැමිණි විගස තරගාවලයේ අධ්‍යක්ෂ තුමා වැල්ලේ තනා තිබු කඩුල්ල අසල A ස B කාණ්ඩ වේලට මෙම කණ්ඩායම් ගොනු කරන්නට නවතම ක්‍රමයක් යොදා ගත්තා. ඒ මල්ලක බහා තිබූ පන්දු හයක් ලබා ගැනීමට ඔවුන්ට සැලැස්වීමෙන්. එහි අංක 1 සිට හය දක්වා ලකුණු කර තිබුණා. එහි අනුපිලිවෙලට අනෙක් පස ඇති කඩුල්ලට කණ්ඩායමේ නායකයා පන්දු යැවීමට නියමිත වුවා. ඔවුන් යවන පන්දුවෙන් බිඳෙන කඩුල්ලේ කණ්ඩාමේ නායකයාගේ අත්සන යොදන්නට සංවිධායකයින් කටයුතු යොදා තිබුණා. 


මුලින්ම මල්ලට ඇත දැම්මේ එංගලන්ත නායකයා. 



තුන්වෙනි වතාවේ කඩුල්ල බිඳ දැමු ඕස්ට්‍රේලියානු නායකයා පන්දුව යවමින්. 

ඉන්පසු මෙම කඩුළු එකිනෙක ගෙන එහි මුදුනත අලව තිබු ස්ටිකර් ඉවත් කර A සහ B කාණ්ඩ වලට අයත් කණ්ඩායම් තෝරා ගත්තා. එය පසෙක සුදානම් කර තිබූ පුවරුවේ සටහන් වුනේ මේ ආකාරයට.



ඒ අනුව A කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ පාකිස්ථානය තරග කරන අතර B කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බංග්ලාදේශය. මෙහි අවසාන පූර්ව වටයට එළඹීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු වනවා. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 1 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 10 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...