Sunday, February 26, 2012

ලගාන් සිහි ගැන්වූ අපේ තායිලන්ත ක්‍රිකට් තරගය.

  
මෙම සිද්දිය 2004 වසරේ අග භාගයේදී සිදු වූවක්. මා අප ආයතනයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන බව මීට පෙර මෙහි සඳහන් කර නැතැයි මාගේ විශ්වාසයයි. මෙතුවක් ලිවූ සටහන් වල එය සඳහන්දැයි පරීක්ෂා කරන්නට කම්මැලි කමද නැත්නම් ලියූ දෙයක් ආපසු කියවද්දී එහි අඩුපාඩු දුටු විට ඒවා නිවැරදි කරන්න ගොස් මූලික අරමුණෙන් පිට පනින මාගේ සාම්ප්‍රදායික පුරුද්දට කොටු වේදෝ යන බියද යන්න නොදනිමි. 2004දී අපට එම අවස්ථාව උදා වූයේ ජනසතු සේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවක් හා අනු-ශූරතාවක් ලබා ගැනීමෙන් දක්වන ලද කුසලතාව ඇගයීමක් ලෙසය. එක පාරටම මේ මතකය අවදි වූයේ නැවත වතාවක් අප කන්ඩායමේ කිහිප දෙනෙකුට එවැනි අවස්ථාවක් උදා වීමේ ලකුණු පහල වීමත් සමගමය. "තායිලන්තයේ මොන ක්‍රිකට්දැයි" බොහෝ දෙනා ප්‍රශ්ණ කරන්නේ මුවගට නග ගන්න උපහාසාත්මක සිනහවක්ද සමගිනි. 2004දී අපද එසේ සිතා එම සංචාරය වෙනත් රටකට ලබා දිය නොහැකිදැයි ප්‍රශ්න කලෙමු. කෙසේ වෙතත් 2004දී අප නොසිතූ පරිදි එහිදි අපට එක් තරගයකට සහභාගී වීමේ අවස්ථාව උදා විය. ඒ වනතුරු මා ඇතුලු බොහෝ දෙනා කිසිදු විදෙස් සංචාරයකට සහභාගී වී නොතිබිනි. අද වාගේ බජට් එයාර්ලයින් සංකලපය එදා තිබුනි නම් අපද ඊට පෙර විදෙස් ගත වන්නට ඉඩ තිබුනි. ඒ වනතෙක් තායිලන්තය (බොහෝ දෙනා බැංකොක් ලෙසින් හඳුන්වයි ) ගැන මා අසා තිබූ හොඳම කථාවද මෙහිලා සඳහන් කරනු වටී. එක්තරා මහත්මයෙකු බැංකොක් යනවා යයි ඔහුගේ මිතුරෙකු සමග පැවසූ විට, බිරිඳත් එයට සහබාගි වනවාදැයි මිතුරා විමසා ඇත. පිලිතුරු ලෙස ඒ මහතා පවස ඇත්තේ

"පුත්තලමට යනවිට ලුණු අරගෙන යන්නේ කවුරුන්දැයි" කියාය. එම වැකියේ හාත්ස්‍යත් සමග බොහෝ දෙනා බැංකොක් යන්න ග්‍රහණය කරගෙන ඇති ආකාරය කදිමට පැහැදිලි වෙයි.

අපිට අද මැච් එක, හෙට මැච් එක කියා කල්මරන විට සියලු දෙනාට අම්බානකට මල පැනීම සාධාරණය. ඒ අප චැම්පියන් කන්ඩායම නිසා ඕස්ට්‍රේලියාව ආවත් අම්බානකට නෙලන මාන්සිකත්වයෙන් සිටිය නිසා නොව, ක්‍රීඩා ආම්පන්න ගෙනියන්න හැමෝගෙන්ම කිලෝ දෙක දෙක අඩු කල නිසාය. කිලෝ දෙකක් අඩු කලේ ඇඟේ බර නොව. බැගේජ් වලට ලැබෙන කෝටාවය. රට ගිය කෙනෙකුට කිලෝ දෙකක් තව බඩු ගෙන එන්න ලැබෙනවාය කියන්නේ මොනතරම් වාසනවක්ද යන්න ඉඳහිට රට ගිය ඕන කෙනෙක දන්නවා. අන්තිමේදී කොටියා ආවා වගේ හෙට මැච් එක යයි කී විටි අපට සිහි වූයේ බාලගිරි අද නොවේ හෙට වැනි අදහසකි.


ඔය කිව්වට හෙටත් උදේ වෙනකොට කියයි "අනිත් ටීම් එකට එන්න බැරි නිසා වෙන දවසකට දා ගමු කියලා" කියල.

"බලපන් හෙට පලවෙනිදා. අපි අනිද්දා ලංකාවට යන්නත් ඕනේ. මොනවත් හරියට ගන්නත් හම්බ උනේ නෑ. මුන් පහුගිය සතියෙම එක - එක බොරු කිය කියා කල් දාලා, යන්න දවසක් තියලා තමයි මැච් එක සෙට් කරන්නේ" කෙනෙක් කීය.

"ඇයි උඹ පහුගිය දවස් 6යේ අල හිටෙව්වද ? අනේ පලයං යන්න. එතකොට පහුගිය දවස් ටිකෙ මලු මලු උස්සගෙන ආවේ අලම වෙන්නැති." ඒකට නිසි උත්තර බැන්දේ කවුදැයි අද මට හරි හැටි මතක නැත.

"බලපං ! මේ දවස් ටිකේ රෑට - රෑට බිව්ව මිසක් එක දවසක් වත් ප්‍රැක්ටිස් පාරක් වත් දාන්න බැරි වුනා. මැච් එකක් ගහනවනං අඩු ගානේ ග්‍රවුන්ඩ් එකකට ගිහින් එක්සයිස් පරක් වත් දාන්න ඔනෙ නේද ?" ඒ තවත් කෙනෙක්ගෙ අදහසයි.

"මම නම් පුලුවන් තරම් පයින් ගියා. ඒක නිසා ෆුල් එක්සයිස්. ඇයි බං බොබේ මාර්කට් එකේ ඒ කෙලවරට යනවා මේ කෙලවරට යනව. හැතප්ම කීයක් නම් බඩ ගන්නද්ද ?

"මට නම් තියෙන ලොකුම ප්‍රශ්නය ඕක නෙවෙයි. හරියට කටට සැරට බත් ටිකක් කන එක. මුන් රතට රතේ පොල් සම්බල් දුන්නට කිසි සැරක් තියෙනවද ? " අප නවාතැන් ගත් ස්ථානය සිංහල මහතෙකුට අයිති හෝටලයක වුවත්, එහි සිංහල ආකාරයේ ආහාර පාන තිබුනත් (බත්, ගොටුකොළ සම්බෝල, මාලු, පරිප්පු, පොල් සම්බෝල, කිරිබත්, ලුණු මිරිස්) මේ කිසිම දෙයක් ලංකාවේදී අප ආහාරයට ගන්නා තරම් කටට-රසට හෝ කටට සැරට නොතිබුනි. මේ සියල්ලටම වඩා ප්‍රශ්ණය වූයේ ඔවුන් ඒ සඳහා භාවිතා කරණ තෙල් වර්ගයයි. එයින් පුදුමාකාර ගඳක්(අපට දැනෙන්නේ එසේය ) වහනය වේ. බොහෝ දෙනෙකුට එය මල පැනීමට කාරණයක් වී තිබුනි. පාරේ ගමන් කරන විට මේ ගඳ ආ විට අම්ම-මෝ නැතුව බනින්නත් අපේ සමහරු කාරුණික වී තිබුනි. ශ්‍රී ලාංකිකයකු වූ හෝටල් හිමියා දැන්-දැන් අපේ අය සමග කදිමට එකතු වී ඇත. ඔහුද අපේ අය සමග රාත්‍රියට සෙට් වෙයි. ඔහු ඉඳ හිට ලභා දෙන බ්‍රැන්ඩි භාගය නිසා මේ කෑම වල ඇති අඩු පාඩු අමතක කර දැමීමට සියලු දෙනා කාරුණික වී ඇත. මෙවැනි දෝශාරෝපණයක් කරන්නේ අහු-මුලු වලය. "මිනිහ හරි හොඳ නේදැයි" සමහරුන් විමසයි.

මේ කථා බහින් පසු සියලු දෙනා සුපුරුදු පරිදි රාත්‍රී ආහාරය සඳහා එක් මේසයට වාඩි වූහ (එක් මේසයක් කිව්වාට මේස දෙක තුනක් එකතු කර සාදන ලද්දකි ). එදිනද සුපුරුදු පරිදි හොටල් හිමිකරුගේ බෝතලය මේසයට වැඩම කරන ලදී. "දැන් ඉතින් සියලු රෝග නිවාරණයි" කසු කුසුව මටද පැහැදිලිව ඇසුනි. කවරදාවත් නැති තරමට කාරුනික වූ හොටල් හිමියා එදින මුලු රාත්‍රියේ සෙට් වෙන්නට යන සියලු බර පැන දරන ආකරයක් පැහැදිලි විය. කටගැස්මට අවශ්‍ය සියලු ද්‍රව්‍ය පවා ඇණවුම් කරන්නේ ඔහුය. ටික වේලාවකින් හෝටලයේ ප්‍රධාන අරක්කැමිය ඇමතූ ඔහු හෙට අපගේ තරගය පැවැත්වෙන බැවින් ඒ සඳහා අවශ්‍ය දිවා ආහාර හෙට උදෑසන 8.30 වන විට සූදානම් කරන ලෙස දන්වන ලදී. "මෙදා පාර නම් මැච් එක තියෙන පාටයි. අන්තිමේදි කොහොම හරි මැච් එකක් ගහන්න හම්බ උනා" යැයි කවුරුන් හෝ ඉතා කැමැත්තෙන් පවසනු ඇසිනි. සමහරුන්ටනම් ඒ පිලිබඳ නිනව්වක් නැතිවා සේය. හෙට දින තරගය තිබෙන බව පසක් වූ නිසා කවුරුත් පාහේ කලින්ම කාමර වලට ගොස් නිදා ගන්න කතිකා කර ගැණුනි. කාලෙකට පස්සේ ටිකක් නිදා ගන්න චාන්ස් එකක් ලැබුනා" යයි කෙනෙක් කියයි.

පෙරදින රාත්‍රී දහය වන විට නිදාගත් නිසාදෝ හිමිදිරි පාන්දර හතර වන විට මට ඇහැරුණි. මා මිත්‍ර මලින් තවමත් හොඳහැටි නින්දේය. දැන් ඉතිං මට නින්ද යනවා බොරු. කරන්න දෙයක් නැත. රූපවාහිණී යන්ත්‍රය පණ ගන්වන්න්නත් බැරිය. එහෙම වුනොත් මලිනයගෙන් හොඳවැයින් අහ ගන්නට හැක. මම දොර ඇර ගෙන කොරිඩෝවට ගොස් පාර දෙස බලා උන්නෙමි. අප සිටියේ තුන්වන තට්ටුවේ නිසා පාරෙහි සිදු වන දෑ කදිමට දැක ගත හැක. ඉඳහිට පාරේ ගමන් ගන්න හිඟන්නන් හා නගරය පිරිසිදු කරන නගරසභා කම්කරුවන් හැර කිසිවකුත් පාරේ නැත. එහෙත් මුලු නගරයම පෙරදා රාත්‍රියේදී මෙන් විදුලි ආලෝකයෙන් බබලයි. මට ලංකාව ගැන සිහිපත් විය. දැන් ලංකාවේ අය මර නින්දේ සිටින වෙලාවයි. කොළඹ නම් උදෑසන හතර වන විටත් පාරවල් වල මීට වඩා සෙනග ගැවසෙයි. ඒ අතින් බැංකොක් නගරය පාලුය. එහෙත් නොනිදා සිටින අයද වෙති. හිඟන්නන් වැඩ පටන් ගන්නේ රාත්‍රී දහය පමන වන විටය. ඔවුන් පාරේ අතන මෙතන දමා ඇති හිස් බොතල් හා  බියර්  කෑන් එකතු කරන්නට පටන් ගන්නේ අපේ බෝතල් පත්තර කාරයන් සිහි ගන්වමිනි. ඇත්තටම ඔවුන්ට හිඟන්නන් යයි ඇමතිය නොහැක. මන්ද හිඟන්න වූ කලී අනුන්ගෙන් යැපෙන්නන් පිරිසක් මිස දාඩිය මහන්සියෙන් යමක් හරි හම්බ කරන ජාතියක් නොවන බැවිනි. මා කොරිඩෝවේ කෙලවර ඇති ඔරලෝසුව දෙස නෙත යොමු කලෙමි. යාන්තම් උදෑසන හතරයි විස්ස පසු වුවා පමණි. නගරයේ කඩ සාප්පු වලින් මිනි මාර්ට් වගේ ඒව අරින්නේ උදෑසන පහ මාරට පමණය (අප නතර වී උන් හෝටලයෙන් උදෑසන තේ සපයන්නේ නැති බැවිනුත්, බැංකොක්  වල අපේ වගේ තේ කඩ් නැති බැවිනුත්, මමත් මලිනුත් උදෑසෙන තේ පානය සඳහා සෙවන් ඉලෙවන් මිනි මාර්ට් එක සොයා ගතිමු. එහි තේ නැති වුවත්, නෙස්කැෆේ සාදගෙන බීමේ අවස්ථාව සලසා ඇත). දිග සුසුමක් හෙලා නැවතත් පාරෙ සිදු වන දේ ගැන නෙත යොමා ගත්තෙමි. ලංකාවේ වෙසෙන මගේ බිරිඳද මේ වෙලාවේ තද නින්දේ පසුවෙයි. වැරදිලාවත් ඇය අවදියෙන් සිටියානම් කවුන්ටරය  මත ඔලුව ගහගෙන කුකුල් නින්දක පසු වන ටෙලිපෝන් ඔපරේටර් මහතාට දෙවියන්ගේම පිහිටය. ඉඳ හිට බල්ලෙක් බුරන හඬ හෝ ඈතින් ගමන් ගන්නා වාහනයක සද්දයක් මගේ දැහැන බිඳියි. බෝතල එකතු කරන්නා මගේ අවධනය නැවතත් සොරා ගනියි. රාත්‍රියේ සිට උදය දක්වා ඔවුන් මුලු නගරයම පෙරල-පෙරළා බෝතල් සොයන්නේ හරියට අපේ ලංකාවේ මැණික් පතලක් හමු වූ විට මිනිසුන් මුලු ප්‍රදේශයම උඩු යටිකුරු කරන්නා සේය. හැබැයි මෙහි එක් විශේෂත්වයක් ඇත. ඔවුන් කලහ කර ගන්නේ නැත. ඔවුන් සමගියෙන් සියලු බෝතල් සහ ටින් වර්ග වෙන වෙනම මලු වලට දමා ගනී. අවසානයේ ඔවුන් ලැබෙන මුදල බෙදා ගන්නවා ඇත. ඒ ලැබෙන මුදලින් ඔහුගේ මුලු පවුලෙහිම වියදම සරි කර වනු ඇත. එහෙත් ඔහු පවුලේ සැමට දවල් කාලයෙහි කන්න අඳින්න  දී දහවලේදී නිදා ගන්නවා ඇත. එවැන්නන් ගැන මට ඇති වන්නේ කණගාටුවකට වඩා ආඩම්බරයකි.  ප්‍රශ්ණ හමුවේ කඩා වැටෙනවාට වඩා ප්‍රශ්ණ වලට අභියෝග කරන ඔවුහූ සැබෑ පිරිමින්ය.


කොහේදෝ හෝරා ස්ථම්භයක උදෑසන පහේ කණිසම වැදෙනාවා ඇසුණි. ඒ තරම් උවමනාවකින් මා කිසිම දෙයකට ඇහුන්කන් දේ ඇත්දැයි නොදනිමි. මා මේ පසුවෙන  හැම තප්පරයක්ම ගෙවා දමන්නේ මහත් අසීරුවකිනි. මෙවැනි නීරස පැය කීපයක් මා මීට පෙර ගෙව ඇත්ද ? විභගයක්දී කාලය ගෙවී යන්නේ කෙතරම් වේගයකින්ද ? එහෙත් මහත් ඕනෑකමකින් පහමාර වනුතුරු කල් මරන මට දැනෙන්නේ පුදුමාකාර කනස්සල්ලකි. අඩුම තරමින් තවත් විනාඩි විස්සක්වත් මා මෙතැන රැඳී සිට්යි යුතුය. උදෑසනට තේකක් නැතුව දවස පටන් ගන්නට ශ්‍රිලාංකික අපට නොහැක. නගර සභාවේ කුණු ලොරිය පෙත්බුරි සොයි සෙවෙන්ටීන්, ඒ කියන්තෙ පෙත්බුරි නගරයේ 17 වන වීදියෙහි කුණු පටවාගෙන හමාර කර ඇත. දැන් එය හෙමිහිට ඉදිරියට ඇදෙයි. එහෙත් බෝතල් එකතු කරන්නා තවමත් අහුමුලු ඔස්සේ ඉව අල්ලයි. ඔවුන් නගරසභා සේවකයන්ටත් වඩා යුහුසුලුව හා ඕනෑකමකින්, වෙරිමතින් කුණු බක්කිය අමතක කර එහෙ මෙහෙ විසි කරන ලද දේ ඇත්දැයි විපරම් කරයි. ඔවුන් මේ සොයන්නේ ඔවුන්ගේ අඹු දරුවන්ගේ කුසට දමන බ්ත් මිටකැයි මට සිතිනි. හිස් බෝතල් ඔවුන් බත් ඇට බවට පරිවර්තනය කරයි. මා සිටිනවාට පිටුපස කාමරයක දොර විවර වන හඬින් මා හැරී බැලුවෙමි. එම කාමරයෙහි අපේ කවුරුන්වත් නැති බවට මා හොඳින්ම දනිමි.සතියක් පමණ මෙහි ගත කර දැන් අපේ අය සිටින කාමර අපට හුරුපුරුදුය. එම කාමරයෙහි සිටි අය ඉන් පිටත්ව යාමට සූදානමින් මෙසේ එලියට ඇවිත් තිබේ. අපේ අය මේ වෙලාවට නැගිටින්නෙ ඉතා කලාතුරකිනි. මා අපේ කාමරයට ගොස් මලින්ට කතා කලෙමි.


උදෑසන 7.45 වන විට සියලු දෙනා සූදානම් වී ඇත. අපත් සමග මෙම තරගය සඳහා යාමට එම හෝටලයේ ශාන් නැමති සේවකයාද සූදානම් වී ඇත. ඒ අපේ ආවතේව කරු වශයෙනි. පහුගිය දවස් කිහිපයේදි අපත් සමග මෙම හාදය කෙතරම් කුලුපග වීද යත් ඔහු සිංහල වචන සෑහෙන ප්‍රමාණයක් ඉගෙන ගෙන තිබේ. ඔහු උදෑසනකට මුනගැහීම තරම් ආශ්වදජනක දෙයක් ඒ දින වල නොවීය. අපේ මිතුරන් මහත්මයා යන්නට හොඳ සිංහල කුණුහර්පයක් උගන්වා ඇත. සෑම දිනකම අප ඉදිරියට එන ඔහු ගුඩ් මෝනිං හු... යනුවෙන් අප අමතයි. එවිට හිනාව නවත්වා ගැනීමට අප කාටවත් බැරිය. ඔහුට තරමක් දුරට ඉංග්‍රීසි බස හැසිර විය හැකිය. තවත් විශේෂයක් වන්නෙ ඔහු අතරමැද කලාපයේ (නපුංසක) පුද්ගලයකු වීමයි. දෙතොල් ව්ලා ලිප්ස්ටික් ආලේප කර සිටින ඔහුගෙන් මා දින්ක් එසේ ආලේප කර ඇත්තේ මොනවදැයි විමිසීමි. එවිට "ලිපටික්" යනුවෙන් ඔහු පිළිතුරු දීය. තරගයට යන අතරතුරදි  ෂෝර්ට් ඇඳ තිබූ ටිරෝන්ගේ කකුලේ ඇති මවිල් අත ගා


"ලොට්ස් ඔෆ් හෙයාර්" යයි පැවසුවේ අප කාගේත් මුවග හිනා නංවමිනි.


මෙම තරගයට තායි ජාතික කණ්ඩායම සහභාගි වනවාද ? නැතහොත් වෙනත් කණ්ඩායමක් සහභාගි වනවාද? යන්න අපට ගැටලුවක් වී තිබුනි. මොනව වුවත් එම ක්‍රීඩංගනයෙ තායි වැසියන් දහ පහලොස් දෙනෙකුවත් ඇතැයි අප විශ්වාස කලෙමු. එහෙත් ක්‍රීඩාංගණයට ලඟා වු අපට තේරුනේ එම කන්ඩායම දකුණු ආසියාතිකයන්ගේ මිශ්‍රණයක් බවයි. එසේ නමුත් එම ක්‍රීඩාංගනය මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත. වටපිටාවම හොඳින් ගස් කොලන් වලිනි පිරී පවති. එම ක්‍රීඩාංගනයට වැටක් හෝ තාප්පයක් නැති වීම් අපෙග් විමතියට හේතු විය. ඊටත් වඩා පුදුමය වූයේ එය තායි විශ්ව විද්‍යාලට අයිති එකක් වීම්යි. එහෙත් එම ගස් අස්සේ කිසිම විශ්ව විද්‍යාල සුසුවකු හො සිසුවියක් දකින්නට නැත. එවිට මාගේ සිතට ආවේ මීට දින කීපයකට පෙර කලු කොට සායකින් හා සුදු අත් දිග හැට්ටයකින් සැරසී පදික වේදිකාවේත්, කඩ සාප්පු වලත් සේවය කරන සේවිකාවන් පිරිසකි. ඔවුන්ගෙන් මා විමසා සිටියේ එය සාප්පු සේවිකාවන්ගේ නිල ඇඳුමද ? යන්නයි. එහෙත් එය සරසවි නිල ඇඳුම බව අසා මා විශ්මයට පත් වූවා පමණක් නොව අපගේ සරසවි සිසුන් ගැන ඉතා කණගාටුවක්ද ඇති විය. අපේ අය කඩයක තබා කාර්යලයක වත් වැඩ කරනවද යන්න මට ඇති වූ ගැටලුවයි. එහෙත් දේශණ නැති අවස්ථා වල නිකං අතන මේත රස්තියාදු ගැසීම, විරෝධතා සංවිධානය, තොරන් බැඳීම් ආදි ලෝකේ නැති වැඩ අපගේ සරසවි සිසු සිසුවියන්ට ඇත. ඒ අතින් තායි සරසවි සිසුවා අපට ආදර්ශයකි. හෝටල් හිමියා අප සමග පැවසූ කථාවක්ද මෙහි සඳහන් කරනු වටී. එක් යුගයක තායි සරසවියද අපගේ මෙන් කල-කෝලහල, විරෝධතා, සහ නොයෙකුත් ප්‍රශ්ණ උතුරා ගිය තැනක්ව පැවතින. තායි රජතුමා නිවෙදනයක් නිකුත් කර ඔවුන්ට ඇති ප්‍රශ්ණ පුද්ගලිකව ලියා එවන ලෙස දන්වා ඇත. ඉන් පසු එකී ප්‍රශ්ණ විසඳා ඇති අතර නැවත්ත් කිසිදු උද්ඝෝෂණ, විරෝධතා තායි සරසවි වලට තහනම් විය.


තායි යනුවෙන් සඳහන් කලද එම කණ්ඩායම හැන්දින්වීමට සුදුසු නාමය කුමක්දැයි මට තවමත් ගැටලුවකි. ඒ අතර ශ්‍රීලාංකිකයින් පස්-හය දෙනෙකුවත් සිට්යා යයි මගේ විශ්වාසයයි. අනෙකුත් අය ඉන්දියන්, පාකිස්ථාන් සහ බංග්ලාදේශයෙන් ආ අය වූහ. ඔවුන් එහි සේවය කරන අතර ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වෙයි. අපත් සමග අල්ලාප සල්ලපයෙහි යෙදුනු අකුරණ ප්‍රදේශයේ ක්‍රීඩකය (නම මතක නැත) අපගෙ ජේෂ්ඨතම පුද්ගලයා ටික වේලාවකින් අසා සිටිය ප්‍රශ්ණය සහ ඔහු ලභා දුන් පිලිතුර අදත් මගේ හිතේ රැවු පිලිරැව් දෙයි.


"මචං උඹ ලංකාවෙද ?"


"ඇයි යකෝ නැත්නම් මම කොහොමද උඹත් එක්ක සිංහලෙන් කථා කරන්නේ ?"


එම කථාව සිහිපත් කර අප තවමත් සිනසෙමු.


මද ප්‍රමාදයකින් පසු තරගය ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් ඔවුන් පන්දුවට පහර දීමට පිටියට පිවිසීය. එම විකට්ටුව සිමෙන්තියෙන් සාදා ඇති අතර උඩින් කාපට් එකක් අතුර ඇත. තරග විනිශ්චය දෙපැත්තේම ක්‍රීඩකයන්ට භාර විය. මුලින්ම විනිශ්චය සඳහා ඉදිරිපත් වූ රැවුල වවා ගත් ඉන්දියානුවා තොර තෝංචියක් නැතුව කියවමින් තරග විස්තර විචාරයක්ද නොමිලයේ ලභා දීම්ට කාරුණික විය. ඔවුන්ගෙ කන්ඩායමේ බාල මහලු ඉන්දියනුවන් කිහිප දෙනෙක්ම විය. වයසක ශීක් ජාතිකට අඩුම වශයෙන් අවුරුදු පනස් පහකට වැඩි මිස අඩු නැත. කලින් අප සමග කථා කල අකුරණ මුස්ලිම් තරුණය අපිට අම්බානකට නෙලුවේය. මුල් ඕවර අට අවසානයෙක්දි ලකුණු හැට ගණනක්  ඔවුන් ලභා ගෙන තිබුනි. මගේ හිත නිතරම කිව්වේ අපට ලෝක නොන්ඩියක්  සිදු වනු ඇති බවයි. ලගාන් සිනමාපටයෙහි මෙන එක වයසකටත් නැති, එක ප්‍රමනයකටත් නැති, මිශ්‍ර ජාතීන්ගෙන් සැදි එම කණ්ඩයමට අප පරාද වෙයිද ? අපගේ වාසනාවකට කලින් කියූ අකුරණ තරුණයා ලකුනු හැට ගානකට දැවී ගියේය. ඉන් පසු ආ ලගාන් කණ්ඩායමට වැඩි වෙලා පිටියෙහි රැඳී සිටීමට වාසනවක් නොවීය. සියලු දෙනා ලකුණු එකසිය පනස් ගානකට දවා ගන්නට අපි සමත් වීමු. එහෙත් කිසිම මහන්සියක් නැත. දිවා ආහාරයේදී අප වෙත කෑම පැකට් ටික ලබා දුන් ශාන් කොලුවා අසා සිටියේ තරගය අවසානද යන්නයි. තවම භාගයයි යනුවෙන් පැවසු විට ඔහුගේ මුහුණ අඳුරු වී යන බව පෙණිනි.


මුලු හවස් භාගයම ඔහු ගසක් යට නිදාගෙන ඉයර්ෆොන් කණේ ගසාගෙන නිදා ගන්නවා දැක අපට ඇති වූයේ මහත් අනුකම්පාවකි. ආරම්භක පිතිකරුවකු වූ මගේ සිතේ එක් අදිෂ්ඨානයක් විය. ඒ "මෙමේ කණ්ඩායම කෙසේ හෝ  පරාද කල යුතුයි" යන්නයි. වරක් කුමර් ධර්මසේන සමග පැමිණි කණ්ඩයමක අය පවා මහලු සිං මහතා හමුවේ දැවී ගිය බව අසන්නට ලැබිනි. අර රැවුලාගේ විස්තර විචාරය අවසන් නොවුනි. එක දිගට ගඟක් ගලා එන්නා සේ ගලා එන එය අපටද මහත් ආශ්වාදයක් ලභා දුනි. වරක් උඩ පන්දුවක් අත හැරි ශ්‍රීලංකික් කඩුලු රකින්නාට හොඳට දෝශාරෝපනයක් කල ඔහුගේ අතටම ලබා දුන් උඩ පන්දුව අත හරිය විට කඩුලු රකින්න අසා සිටියේ


"එනි කමෙන්ට් ඔන් දැට් ?" කියාය.


ඉන් පසු ඔහුගේ දිව ගොලු විය. අපගේ කණ්ඩායමෙන් විනිශ්චයට ඉදිරිපත් වු මලින් විටෙක තමාගේ රාජකාරිය පැත්තක තබ ඡායරූපකරණයේ නිරත විය. ඒව පිළිබඳ ඔවුන්ටද ඒ හැටි ගැටලුවක් නොවීය. මා ඉත සුපරීක්ෂාකාරීව පන්දුවට පහර දුන්නත් සිං මහතාගේ දඟ පන්දු හමුවේ කඩුලු කිහිපයක්ම දැවී ගියේය. මා සටන අත් නොහැර ක්‍රීඩාවේ නිරත වී අප ජයග්‍රහණය කරන තුරුම කඩුල්ලේ රැඳි සිටියෙමි. කඩුලු රකින ශ්‍රී ලාංකිකයා නිතරම "ගහලා දාපං මචං" කිව්වත්. කවුරුන් හෝ දුන් අවවාදය නිසා සිං මහතාට කොටු නොවී ක්‍රීඩා කිරීමට සමත් විය.


සමස්තයක් වශයෙන් එම ක්‍රිකට් තරගය විනෝද ජවනිකාවක් වු අතර තවමත් අප ඒ ගැන සිහිපත් කර පුදුම සතුටක් විඳින්නෙමු.

පින්තූරය ගත්තේ  : http://www.bollywoodlife.com

6 comments :

  1. ගොඩාක් රටවල් වල කණ්ඩායම් නියෝජනය කරන්නේ දකුනු ආසියාතිකයෝ තමයි දැන්!

    ReplyDelete
  2. අම්මෝ කතාව කියන්න ගියපු දුර.මාර වටින සිද්දි ටිකක්.

    ReplyDelete
  3. අමාරුවෙන් හරි කියෙව්වා ඔක්කොම...මාර සීන් ගොඩක් නේ වෙලා තියෙන්නේ....

    ReplyDelete
  4. මැච් එක ගැන විතරක්ම ලිව්වනම් මේක නීරස එකක් වෙනනවා. ඒ නිසයි තායිලන්තය ගැන විස්තර ටිකක් ලිව්වේ.

    ReplyDelete
  5. මේකේ භාගයක් ලියලා තියෙද්දි දුව අතින් ලැප්ටොප් එකට වතුර වැටිලා. ඊයේ හිටිය ඔෆිස් එකේ සින්ග්ලිෂ් ෆොන්ට් එක නැතුව, ටයිප් කරපුවගේ ගොඩාක් වැරදි දැන් තමයි හැදුවේ. මුලින්ම කියවපු අයට ඒක දැනෙන්නැති. මෙතල ලියලා තියෙන්නේ එහෙදි මූණ දීපු සිද්දි වලින් ටිකක් විතරයි.

    ReplyDelete
  6. අනේද කියන්නෙ පුත්තලම් යනකොට මක්කටයි ලුණු අරන් යන්නෙ :-D

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...