Saturday, March 4, 2017

නාමේ නොදිරනා - කුණුකය දිරනා ......

තමන් දන්නා කෙනෙක් ගැන තවත් කෙනෙකුට විස්තර කරන එක පහසු කටයුත්තක් නොවේ. ඒ පිලිබඳ කොතෙකුත් අත්දැකීම් මට මෙන්ම ඔබටද ඇත. එයට ප්‍රධාන හේතුව කෙනෙකුට තමන්ගේ හිතේ ඇති දේ පැහැදිළිව විස්තර කිරීමේ හැකියාවක් නොමැති කමයි. සමහරවිට තමන් නොකියූ කොටස පවා තමා පැවසු බව හිතේ තබාගෙන කියන්නට යාමෙන් තත්වය තවත් නරක අතට හැරෙයි. මේ වරද කරන එක් ප්‍රධාන උදාහරණයක් මගේ කාර්යාලයේ වෙයි. ඒ අපගේ අංශයේ ඉහල නිලධාරියා වන ලසන්තයි. ඔහු අපට දෙයක් පවසන විට, වඩාත් රසවත් කොටස මුලින්ම කියා දමයි. නැතිනම් බොහෝ කොටස් අප දන්නවා යන මතයේ සිට ප්‍රකාශ කරයි. නමුත් ඔහු පැවසු දෙය නිසි පරිදි තේරුම් කර ගැනීමට අපට තවත් බොහෝ ප්‍රශ්න ඔහු වෙත යොමු කිරීමට සිදු වෙයි. ඔහු බොහෝ විට දෙවන වාක්‍යයේ සිට කතාව විස්තර කරන බව අපේ අත්දැකීමයි. මෙවැනි බොහෝ දිනක ඔහු කරගෙන යන කථාවට බාදා කරන ජනක, 

"ඉස්සෙල්ලාම ඔය කතාවේ මාතෘකාව කියන්න" යනුවෙන් පවසා සිටියි. එවිට මද සිනහවක් මුවට නගා ගන්නා ලසන්ත, පසුබට නොවී තොර තෝංචියක් නැතිවම කියවාගෙන යයි. අපට තිබෙන්නේ ප්‍රහේලිකාව විසඳා ගැනීමයි. කිසි දිනක කුණුහර්පයක් තමන්ගේ මුවින් නොපවසන ඔහු, වෙනත් වචන වලින් පවසාගෙන යන විට එය අසා සිටින කෙනෙකු එයට අදාළ කුනුහර්පය පවසයි. එවිට ඉතා තදින් හිනාවෙන ඔහු පුදුම වින්දනයක් ලබයි. එවැනි බොහෝ අවස්ථාවක මා පවසා සිටින්නේ

"ඔයාට කුනුහර්පයක් කියන්න ඕනේ නම් ඔයාම කියා ගන්න, අපි ලවුවා කුණුහරප කියවන්න ලැස්ති වෙන්න එපා" යනුවෙනි. මා මේ කරගෙන ආවේ පඳුරු තැලිල්ලක් බව ඔබට වැටහුණේ නැති බව මට හොඳටම විශ්වාසය. ඒ කෙනෙකුට සාර්ථකව යමක් පැහැදිලි කිරීමට නොහැකි බව, පැහැදිලි කිරීමට මා ගත් උදාහරණය බව මදක් ආපස්සට ගොස් බැලුවහොත් ඔබට වැටහෙනවා ඇත. සමාවන්න, මා පවසාගෙන ආවේ, කෙනෙකුට තවත් කෙනෙකු ගැන විස්තර කිරීම කරන්න අමාරු වැඩක් නෙවෙයි - කරන්න බැරි වැඩක් බවයි.  මෙහෙම කියන්නේ "ඉන්ස්පෙක්ටර් ලකී". ඉන්ස්පෙක්ටර් ලකී කියන්නේ කවුදැයි කියන පැනය ඔබ විමසනවානම්, මේ පහලින් තිබෙන පින්තූරය බලන්න. මගේ වාසනාවට ගූගල් දෙවියන් සිටියි. එසේ නොවුණානම් ඉස්නේප්ක්ටර් ලකී කියන්නේ දෙරණේ යන කාටූන් එකක්ය, ඒකෙ නම සූටිං-මාටිංය, ලංකාවේ සූටිං මාටිං වුණාට ඉන්දියාවේ ඒකට කියන්නේ මොටු-පට්ලුය, ඒකෙ මේ රාලහාමිගේ චරිතයට කියන්නේ චින්ගම්ය, චින්ගම්ගේ තාත්තා චුවින් ගම්ය, මේ දෙදෙනාට හඬ කවන්නේ චූටි මල්ලියි, පොඩි මල්ලියිය කියා එකදිගට විස්තර කරගෙන යා හැකිය. කවුරුන් හෝ මගෙන් සූටි මල්ලි සහ පොඩි මල්ලි ගැන විමසුවහොත් මට සිදු වන්නේ චින්ගම්ගේ තුවක්කුවෙන් ඉහලට වෙඩිල්ලක් තබා ගැනීමය. එවිට වැටෙනා පොල් ගෙඩියක් මගේ හිසට අවශ්‍ය සම්බාහනය ලබා දෙනු ඇත.ඔබත් මා මෙන් කාටූන් බලන වැඩිහිටියෙකු නම් මේ ගැන මට වචන වැය කරන්නට සිදු වන්නේ නැත.
පින්තූරය ගත්තේ : http://www.newindianexpress.com/education/edex/2016/oct/16/when-a-fat-and-a-thin-guy-manage-to-get-together--1527829.html
නොදන්නා අය මේ සබැඳියාව ඔස්සේ ගොස් කියවා බලන්න.

මා කියාගෙන ආ කතාව කියාගෙන යාමනට නොහැකි වන්නේ, පඳුරු තැලිල්ල කුඩු ගැහුවා වගේ වැඩක් නිසාය. පඳුරු තලන්නට පුරුදු වූ එකාට කලාඳුරු ගසක් දැක්කත් වැටකෙයියා ගාලකට නෙලන සෙයියාවෙන් නෙලන්නට සිතෙයි. එය මාගේ වරදක් ලෙස නොසලකන්න. පඳුරු තලිල්ලට ගොස් නැති වුයේ ලියන්නට ගිය කතාවම පමණක් නොවේ. මා ලියාගෙන ආ ශෛලියද වෙනස් වූ බව පැහැදිලිය නැතිනම් පලවෙනි ඡේදය බලන්න. ඉතිං මට පවසන්න අවැසි වුයේ කෙනෙකුට තවත් කෙනෙකු ගැන විස්තර කරන්න නොහැකි වන්නේ මන්ද ? යන සංකීර්ණ කාරණාව සත්‍යයක් බවයි. ඔබ පරිගණක වැඩසටහන් සම්පාදකයෙකු නම්, ඔබට ලබා දී තිබෙන රත්ත්‍රන් නීතියක් වනුයේ, ගනුදෙනු කරුවාගේ අවශ්‍යතාව, ඔහු ලවාම ලියවාගෙන, ඔහුගෙන් අත්සන් ලබා එය තබා ගන්නා ලෙසයි. මන්ද ඔබ වැඩසටහන සංවර්ධනය කලවිට ඔවුන්ගෙන් 99%ක්ම පවසන්නේ අප ඉල්ලා සිටියේ මෙය නොවන බවයි. ඇත්තටම මෙය communication gaps  නිසා සිදුවන්නකි. එය අවශ්‍යතාව පවසන්නා සහ එය සපුරන්නාගේ ගනුදෙනුවේ අඩුපාඩුය. බොහෝ ගැටළු වලටද මුල් වන්නේ මේ සන්නිවේදන ඌනතාවන්ය. නමුත් මට අවශ්‍ය දේ තවමත් මා පැවසුවේ නැත. 

කියන්නා කෙසේ කීවත් - අසන්න්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බවට ඇති පැරණි කියනමන, ඔබව සිහිබුද්ධියෙන් ඇහුන්කන් දෙන්නෙකු කරවනු වස් පැවසු දෙයක් නොව, ඔබ සිතා ගන්නා දේ පිලිබඳ වගකීම ඔබ සතු බව පවසන වාක්‍යයක් බව මගේ පුද්ගලික විශ්වාසයයි. කෙනෙකු තවත් කෙනෙකු ගැන විස්තර කරන විට නිතරම උදාහරණ වලින් විස්තර කරන්නේ ඒ නිසාය. අනේ අර සනත් ජයසුරිය වගේ කෙනා. නැතිනම් සුනිල් හෙට්ටිආරච්චි වගේ කෙනා යනුවෙන් කෙනෙකු පවසයි. අද සමාජයේ විස්තර කිරීමට කොතෙකුත් චරිත තිබුනද, අතීතයේ සිනමා නළු නිළියන්ගේ හැඩ රුව වලින්ම විස්තර කිරීම අපේ පුරුද්දයි. අද මගේ කතාවේ කතා නායකයා බ්ලොග් අවකාශයේ සිටින කිහිප දෙනෙකුම හොඳින් දන්නා කියන චරිතයකි. නමුත් මා ඔහු ගැන විස්තර කරන්නට අකුරු හෝ වාක්‍ය යොදා ගත්තේ නම්, එයට අනුරූපව ඔබේ හිතේ ඇඳෙන පුද්ගලයා චිත්‍රයට නගන්නැයි මා ඉල්ලා සිටියොත්, මේ අවකාශයේ සිටින දක්ෂම චිත්‍ර ශිල්පියෙකු වන විදෙස් සිත්තරා අඳින රූපය වුවද බොහෝවිට මා අදහස් කල පුද්ගලයාට බොහෝ සෙයින් වෙනස් බව ඉර - හඳ සේ විශ්වාසය. ඒ කියන්නේ කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන දේ වෙනත් කෙනෙකුට පැහැදිලි කරගන්න්ටම නොහැකි බවමද ? නැත. එවැනි චිත්‍ර ඇඳීම් මගින් අපරාදකරුවන් කොටු කරගත් අවස්ථාද ඇත.

මා මේ කියන්න යන පුද්ගලයා රත්නසිරිය. මා දන්නා රත්නසිරිලා තුන් දෙනෙකු ඇත. ඉන් පළමුවැන්නා ඉතා විනොදකාමියෙකි. ඔහු තිලකරත්න දිල්ශාන්ගේ මාමාය. මා සමග බොහෝ කාලයක් පාපන්දු ක්‍රීඩා කර ඇතිවා සේම ලඟින් ඇසුරු කර ඇත්තේය. දෙවෙනි රත්නසිරි අපේ බැංකුවේ ඔපිස්ර් මහත්මයෙකි. ඔහුද ඉතා විනෝදයට බර සැහැල්ලුවෙන් සිටිනා පුද්ගලයෙකි. ලෝකය හිස මත කඩා පාත් වුවද එලෝ -මෙලෝ නැතිව සිටින්නට හැක. තුන්වෙනි රත්නසිරි මට මුණ ගැහෙන්නේ රාජකාරි දිවියේදීය. ඒ රත්නසිරිටද මුලින් විස්තර කල රත්නසිරි ලාට ඇති පොදු ගතිගුණය ඇත. ඒ විනෝදයට බර සැහැල්ලුවෙන් සිටින පුද්ගලයෙකු යන පොදු වාක්‍යයයි. එය ඔවුන්ගේ මහා පොදු සාධකයයි. ඔබ දන්නා රත්නසිරිලාටද මේ ගුණය ඇත්දැයි සිතා බලන්න. මේ ප්‍රශ්නයට ඔව් යන පිළිතුර දෙන කිහිප දෙනකුටම සිටින බව පැහැදිලිය. ඒ අරුණ පෙරේරා නොහොත් අරූ, x-පෝටර්, Dr. ඇල්බන් සහ රහස් නමකින් සිටින අනෙක් බ්ලොග් කියවන මගේ කාර්යාලීය මිතුරායි. 

යලිත් මාතෘකාව දෙස බලන්න නාමේ නොදිරනා -කුණු කය දිරනා ......ඇත්තවශයෙන්ම මාකියන්නයන්නේ, අපට කියව-කියවා රසවිඳින්නට අපූරු මතකයක් ඉතිරි කර ගිය රත්නසිරි නමැති පුද්ගලයා ගැනය. ඔහුගේ නම රත්නසිරි වුවද බොහෝ දෙනා ඔහුට පවසන්නේ විල්සන් කරූ කියාය. ඒ ඔහු රංගන ශිල්පී, සටන් නළු විල්සන් කරූට 90%ක්ම සමාන රූප සොබාවක් ඇති පුද්ගලයෙකු නිසාය. මා ඔහුගේ කොණ්ඩය මේ වාගේය, මුහුණ මේ වාගේය,  ඇඟ මේ වාගේය, කථාව මේ වාගේය කීවානම් 100%ක්ම හිතේ ඇඳ ගන්නේ වෙනමම රූපයක්ය. එය ඔබගේ හෝ මාගේ වරදක් නොවේය. බොහෝ නවකතා චිත්‍රපටයට නැගුන විට "ෆිල්ම් එකට වඩා පොත හොඳයි" යනුවෙන් ඔබ පවසන්නේ ඒ නිසාය.

රත්නසිරි නොහොත් විල්සන් කරූ ගැන සඳහන් කිරීමට මේ පොස්ට් එක දිග වැඩිය. ඔබ මේ තාක් කියවාගෙන ආවානම් ඒ, මා ඔබ තුල ඇතිකළ කුතුහලය නිසාය. මා ඊළඟ සටහනින් පඳුරු නොතලා කෙළින්ම පවසන්නම්. ඒ දෙල්කඳ අසල ජීවත් වූ, අකාලයේ මියගිය, තවත් අපූර්ව චරිතයකට හිමිකම් කී, විල්සන් කරු නොහොත් රත්නසිරිගේ කථාවයි.

Wednesday, February 22, 2017

එළුපැටියාගේ කතා - තෙවන කොටස ......

මම මුළින්ම ලියපු එළු පැටියාගේ කතා මාලාව බොහොම ජනප්‍රිය වුණා. කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒකට නෙලුම් යායෙන් සම්මානයකුත් ලැබුණා. එළුපටියාගේ කතා එතරම් ජනප්‍රිය වුණේ ඇයි ? මම කළින් ලිපියෙන් පැහැදිලි කළා වගේ, දරුවන් නිදි ගන්වන්න ගියාම එයාලා වැඩියෙන්ම කැමති දේ කතා අහන එක. නමුත් ඔබේ කතා ගබඩාව ඔබටත් නොදැනීම අවසන් වෙන්නේ හිරු දුටු පිණි මෙන්. අන්තිමේදී දෙමව්පියන් අසරණ වෙනවා. මෙහෙම අසරණ වුණු වෙලාවක මගේ හිතට නැගුණු අදහසක් තමයි මේ "එළු පැටියාගේ කතා". මේකේ තවත් දෙයක් තියෙනවා. දන්නා කතාවක් ආපහු කියන්න ගියාම අපි වැරද්දුවොත් පොඩි එවුන් අපිව නිවැරදි කරනවා විතරක් නොවෙයි, ඔවුන්ගේ නින්දටත් බාදා කර ගන්නවා. අනිත් කාරණයේ තමයි දවසේ වැඩ කටයුතු කරලා ඉන්න දෙමව්පියන්ට කතා කියාගෙන යනකොට ඉබේම නින්ද යනවා. එවෙලාවට ඇහැරෙන්නේ හීනෙන් දකින වචනයක් මහ හයියෙන් කියාගෙන. මේක අර කියාගෙන ගිය කථාවට කිසිසේත් සම්බන්ධ නෑ. එතකොට පොඩි එවුන් අහානවා එක එක ප්‍රශ්න. ඒවාට උත්තර දෙන්න ගියාම අනිවාර්යනෙන් අනාත වෙනවා. 

දවස් තුනකට කළින් මගේකෙළි පොද්දටත් ආපහු ආස හිතුණා මේ කතාවක් අහන්න. එයා මට නැවතත් මතක් කළා "තාත්තේ එළු පැටියාගේ කතාවක් කියන්න බැරිද ?" කියලා. සිම්පල්නේ කියලා හිතිං හිතාගෙන මම ඇහුවා පුතා දන්නවද

එළුපැටියා වරකා කාපු කතාව 

ඔන්න දවසක් එළු පැටියා ටකස්-ගකස් ගාලා පාර දිගේ ඇවිදගෙන ආවා(මේ වෙලාවේ දරුවාගේ පිටේ කොඳු නාරටිය දිගේ ඇඟිලි වලින් එළුවා ඇවිදිනවා වගේ කරන්න ඕනේ. ඒක නින්ද ලඟා වෙන්න කරන පුංචි සම්බාහනයක් වෙනවා).
පින්තූරය ගත්තේ : dreamstime.com
මෙහෙම පාලු වත්තක් ගාවින් යනකොට එයාට ආවා පුදුම සුවඳක්. එයා එතැන නැවතිලා වටපිට බලන්න පටන් ගත්තා. ඒත් එයාට හරියටම ඒ සුවඳ එන්නේ කොතැනින්ද කියලා හොයා ගන්න බැරි වුණා. ඒ වුණාට සුවඳ එන පැත්තට එයා ඇවිදගෙන ගියා. හොඳටම සුවඳ දැනුණත් සුවඳ එන්නේ කොතැනින්ද කියලා තාම පේන්නේ නෑ. එළු පැටියා වටපිට බැලුවා. බිම බැලුවා. අන්තිමට උඩ බැලුවා. "මගෙ අම්මේ ..." එළුපටියට ඉබේම කියවුණා. එළු පැටියා ඇවිත් තියෙන්නේ වරකා ගහක් මුළට. එක පාරටම කටට කෙළත් ඉණුවා. දැන් මොකද කරන්නේ ? එළුපටියා කල්පනා කළා. ඉන් පස්සේ එයා හිතා ගත්තා ගහට නැගලා වරකා ගෙඩිය කඩාගෙන කනවා කියලා. එළුවන්ට කොහොමත් උඩ නගින්න පුළුවන්නේ. ඔන්න එයා මුළින්ම, ටිකක් උඩට නැග්ගා. ඉන් පස්සේ හෙමින් වරකා ගෙඩිය තියෙන අත්ත දිගේ ඇවිදගෙන ගියා. බිම බලනකොට පොඩ්ඩක් බයත් හිතුණා.

දැන් කොහොමද ගෙඩිය කඩා ගන්නේ ? ආයෙත් එයා කල්පනා කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ එයාට හොඳ දෙයක් හිතුණා. එළු පැටියාට ඇඟිලි නැති නිසා ගෙඩිය කඩා ගන්න බෑ. එයා කලේ වරකා ගෙඩියේ නැට්ට කටින් විකන්න ගත්තා. ටිකක් විකාගෙන යනකොට, හොඳටම ඉදිලා තිබුණ වරකා ගෙඩිය බිමට වැටුණා. "දොන්ත පතෝස්" කියළා. තව ඩින්ගෙන් එයාවත් "දොන්ත පතෝස්" වෙනවා. ඒ නිසා උඩ නගිනකොට පරිස්සමෙන් නගින්න ඕනේ. බිමට වැටිච්ච වරකා මදුළු හැමතැනම විසිරුණා. එළුපටියා පරිස්සමෙන් බිමට බැහැලා, සුවඳ හමන, පැනීම පැණිරස වරකා කන්න පටන් ගත්තේ. ඉන් පස්සේ එයා සන්තෝසෙන් කෑ ගැහුවා
පින්තූරය ගත්තේ : pinterest වෙතින්

"බෑහෑ ... උම්බැහෑ ..."කියලා. ඒ සද්දෙට එහා වත්තේ සෙල්ලම් කරගෙන හිටපු ළමයි ටිකත් එතැනට දුවගෙන ආවා. පස්සේ එයාලත් වැලි ගෑවිච්ච නැති වරකා මදුළු ටිකක් රස බැලුවා. හැමෝට සන්තෝසයි. ඉන් පස්සේ ළමයි ටික එළු පැටියාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන "ගිණි - ගිණි බෝලේ සෙල්ලම කළා"

තව කතා දෙකක් තියෙනවා. ඒ දෙක ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම්.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...