Sunday, September 28, 2014

රාජකාරී දිවියේ මට ලැබුණු ලොකුම අහියෝගය - II කොටස ...... The biggest challenge ever given in duties - Part II

ගුහා සමග අනුරාධපුර සහ පොලොන්නරුව ප්‍රාදේශික වලට අදාළ යාවත්කාලීන කිරීම සහ පුහුණුව ලබා දීමේ සංචාරය දවස් හතරකින් පමණ නිමා කළෙමු. මෙම සංචාරයේදී මා තේරුම් ගත එක් දෙයක් නම් ගුහ උපන්ගෙයි ලෝභයෙකු බවයි. ඒ අනුරාධපුරයේදී නවාතැන් සොයා හෙම්බත් වූ අකාරය සහ අවසානයේ අපගේ බැංකු මිතුරෙකුගේ නිවසේ ලගා ගැහීමට පෙර සැලසුමක් ඇතිව සිටි බව පසක් වීමෙන්ය. නවාතැන් සඳහා ආහාර පාන අවශ්‍යතා සඳහා රාජකාරි ස්ථානයෙන් යුගයට ගැලපෙන මුදලක් ගෙවූවත් බොහෝ දෙනෙකුගේ පරමාර්ථය වුයේ එම මුළු මුදලම ඊට වැය නොකොට යම් මුදලක් ඉතිරි කර ගැනීමය. අප කිහිප දෙනෙකුට මෙය ලැජ්ජාවට කාරණයක් විය. ගුහා සහ අපගේ තවත් සගයෙකු වෙනත් ගමනකදී වාහනයේම රාත්‍රිය ගත කල ආරංචියක් ඇති නිසා මා කලබයට පත් වී සිටියේය. මුළු අනුරාධපුර නගරයම පීරා හෝටල් 20ක් පමණ පරීක්ෂා කොට ඒවායේ කුමක් හෝ අඩුවක් කියා ඔහු පිටතට එයි. රාත්‍රී අට පසු වන විට එහි කිසිදු හෝටලයක කාමරයක් වෙන් කර ගැනීමට නොහැකි විය. අවසානයේදී පෙරකී මිතුරාගේ නිවසට හිස් අතින්ම ළඟා වීමට සැරසෙද්දී මා කඩයකින් කුමක් හෝ මිල දී ගත්තා මතකය.
පින්තූරය ගත්තේ : www.theguardian.com

මේ ක්‍රියාව නිසා මා ගුහා සමග පසුවූයේ මද අමනාපයකය. නමුත් කල් යාමේදී ගුහා සකසුරුවමින් මුදල් පරිහරණය කළේ  ඔහුගේ නැගණිය දීග දීම සඳහා දෑවැද්ද සැකසීම සඳහා බව තේරුම් ගැනීමට හැකි විය. 

ඉන්පසු අපට ඔහු ගැන ඇති වුයේ අනුකම්පාවකි. නමුත් එසේ සාධාරණ ප්‍රශ්නයක් නැති උපන්ගෙයි ලොභයන් කිහිපයක්ද අප අතර විය.

දමිළ සමාජයේ මේ දෑවැදී ක්‍රියාව තදින්ම ක්‍රියාත්මක විය. දොස්තරලාට, බැංකු සේවකයන්ට,අයියටයි ඉංජිනේරුවන්ට පෙර නියම කල මිලක් විය. ඒ අනුව ගුහාට ලැබෙන මුදල කීයදැයි අප විමසූ විට, මට හම්බ වෙන එක නංගිටයි, අක්කා බැඳපු මස්සිනාටයි දෙන්න වෙනවා යයි හේ පවසන්නේ නෝක්කාඩු මුහුණකිනි. 


"ඇයි අක්කා බැන්ද මස්සිනාට කලින ඩව්රිය දුන්නේ නැද්ද ?" යි අප විමසු විට,

"දුන්නා බං ඒත් ඒ කාලේ ලක්ෂ දොළහයි, දැන් නංගී බඳින මස්සිනාට විස්සක් දෙන නිසා, ඌට තව ලක්ෂ දෙකක් වත් ඕනේ කියනවා"
"ඌ යකාගේ මස්සිනා කෙනෙක්නෙ. මමනම් ඌට බම්බු ගහගන්න  කියනව. මට දීපං උගේ නම්බර් එක. මම කියලා දෙන්න"

"අනේ .... බං..... උඹ හදන්නේ අක්කව ආපහු ගෙදර ගෙන්නලා දෙන්නද?" යයි පවසන්නේ මද සිනහවක් මුවේ නගාගෙනය.

මිතුරාගේ නිවසේ නතර වුයේ සිකුරාදා දින රාත්‍රියේය. ඔහුගේ නිවාස පිටුපස ළිිඳ ළඟට ගොස් හොඳින් ඇඟ සෝදා ගත් මම ආපසු එන ගමනේදී අපගේ රියදුරා වූ ගඩාෆි හමු වී  
"අදවත් නා ගත්තොත් හොඳ නැද්ද ජිනේ"

"ඔයා නා ගත්තනේ, ඒ මදිද මගේ වැඩේ මම කර ගන්නම්"

"ඒ වුණාට අපි කොහොමද ඔයත් එක්ක එක කාමරේ නිදා ගන්නේ"

"ආ මහත්තයලාට තමයි බැරි. මගෙත් එක්ක ලොකු - ලොකු මහත්තුරුත් නිදා ගන්නවා"

"පේනවා - පේනවා නිදා ගත්ත බවනම්"

ජිනදාස හොඳින් ඇඟ පත සෝදා ගන්නේ එහෙමත් දවසක බව දන්නා නිසා මෙසේ පවසන්නේ ඔහු සමග කථාව ඉතා රසවත් නිසාය. ඔහු බොහෝ විට වචන පටලවා ගනී. දවසක්

"මහත්තයා අපේ ගෙවල් ළඟ ගෑනියෙක් වීසා කළා" යනුවෙන් පවසන කතාව තේරුම් ගන්නට අපට දින කිහිපයක් ගත විය. අප සිතා උන්නේ රට යන්න වීසා ගත් බවකි. නමු ඔහු අදහස් කර ඇත්තේ "සීසර්" නොහොත් සිසේරියන් සැත්කම ගැනය. ඔහුට කවුරුත් අමතන්නේ ගඩාෆි යනුවෙන් බව මා කලින් ලිපියේ සඳහන් කළා ඔබට මතක ඇතැයි සිතමි. ඒ ලාෆින් බුද්ධාගේ පෙනුමට සමාන ඔහුගේ තරබාරු ශරීරය නිසා පට බැඳුණුු නමකි. සාවාලායා, ධීවරයා, ඇනෝප්ලීස්, ආදී අලංකාර අන්වර්ථ නම් වලින් ඔවුන් ඇමතීම සෙසු රියදුරන් සහ අප පමණක් නොව, ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පුරුද්දයි.මේ නම් සාදා ගැනීමට පාදක වූ වෙනමම කතන්දර ඇත. ඒවා පසුදිනක හැකිපමණ ලියා තබන්නම්.

මා වඩාත්ම තැතිගැන්මකට පත්වුයේ පදවියට සහ කැබිතිගොල්ලෑවට ගමන් ගන්නා අවස්ථාවන්හීදීය. ඒ පදවියට යන ගමන බිම්බෝම්බ පිරි මාවතක් දිගේ ගමන් කරනවා වැනිය. දෙපස මීටර් 60ක් පමණ කැලය එළිි කර ඇත. මීටර් 100න් 100ට කුඩා බංකර් බැඳ ඇත. රාත්‍රී කාලයන්හිදී මේවායේ වෙඩි තබා ගැනීම් සිදු වේ. කොටින්ම සවස හයෙන් පසුව මේ පාර වසා දැමේ. බලන බලන තැන බිම්බෝම්බ පිපිරී ගිය වළවල් වසා ඇත. පැයට කිලෝ මීටර අසූවකට එහා වේගයකින් ජිනදාස වාහනය පදවයි. එය වළක වැටෙන සෑම මොහොතකම දැන් පුපුරා යනු ඇතැයි මගේ සිත කීරි ගැසෙයි. එවැනි තැනකදී මා දෑස් පියාගෙන ගමන් ගතිමි.
මේ පාරේ ලෑන්ඩ් මාස්ටර් මෝටර් සයිකල් සහ ලංගම බස් රථයක් සහ හමුදාවේ ට්‍රක් රථ ගමන් ගනී. පාර දෙපස නිවෙස් නැති තරම්ය.

අනෙක් අතින් කැබිතිගොල්ලාවට යන මාවත හුදෙකළාය. එහි කොටි නැති වුවද වෙනත් සතුරු කරදයක් වේදෝයි යන බිය අපට ඇති විය. බොහොම කලාතුරකින් මිනිස් පුළුටක් දැක ගත හැක. එහි සිට පැමිණි ගමනද කිසිදා අමතක නොවන්නකි. යන්තම් කහටගස්දිගිළියට ලඟා වු පසු මගේ බිය තුරන් විය.

මෙවැනි ගමන් යත්දී ගුහා ඉදිරි පස අසුනේ ගමන් ගත්තද, ආපසු කොළඹ බලා එන ගමනේදී ඔහු ස්වේච්ඡාවෙන්ම පිටුපස අසුනට ගමන් කරයි. ඒ චෙක්පොයින්ට් වල නවත්වන විට ඔහුගේ හැඳුනුම්පත ඉදිරිපත් කළහොත්, මුළු වාහනායම දැඩි පරීක්ෂාවකට ලක් කරන බැවැනි.

ඉන්පසු එළඹියේ සැබෑ අභියෝගයට මුහුණ දෙන කාලයයි. එම යුගයේ නිරතුරු පුවත්පත් බලමින්ද, වෙනත් මාර්ග වලින් ලැබෙන තොරතුරු වලින්ද අප සන්නද්ධ වුයේ අවාසනා රංගනයට කවදා හෝ මුහුණ දීමට සිදු වන බව දන්නා නිසාය. අනුරාධපුර ගමනින් පසුව එළැඹුණු සියලුම සති අන්ත වල කුමන හෝ ප්‍රාදෙශිකයකට අදාළ පුහුණු සැසියක් සංවිධානය කර තිබුණි. මේ බොහොමයට මටද සහභාගී වීමට අවස්ථාව ලැබුණි. කොළඹ ප්‍රදේශයේ මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත්වුයේ මහරගම තරුණසේවා රඟහලේය.

මේ ප්‍රයාමයේ පළමු පියවර හෙවත් පසුබිම සැකසීම අවසන් වී දෙසැම්බර් මාසයේ අග අන්තිම ඉරිදා දින නුගේගොඩ අපගේ තොරතුරු තාක්ෂණ ඒකකයේ කුමාරපතිරණ මහතා විසින් සියලු දෙනාට සංග්‍රහයක්ද පැවැත්වීය. දෙසැම්බර් මාසයේ 26 වෙනි දින සිට ජනවාරි 03වෙනිදා දක්වා කාලය අප පිටත ප්‍රාදේශික වෙත පිටත් කර හරින්නට අපගේ ඒකක ප්‍රධානියා වන නීල් විතාරණ මහතා සැලසුම් කොට තිබුණි. ඒ අනුව මා අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය යන ප්‍රාදේශික භාර නිලධාරියා වශයෙන් පිටත් කර යවන්නට තීරණය කර තිබුණි. මා සමග එවකට අප සමග කොන්ත්‍රාත් පදනමට සේවය කල ලිහිණිකඩුව නමැති කතා මවන්නාද විය. ඔහුගේ වැඩ සහ කතා වෙනමම සටහන් කල හැකිය. ඒ තරමටම ඔහු නිතරම රසකතා මවන්නෙක් විය. ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ පාසල් ජීවිතය පිළිබඳ කතා ඉතා රසවත්ය. ඔහු අද කැනඩාවේ වාසය කරයි. මෙයට අමතරව වෙනත් පද්ධතියක් පිළිබඳ ගැටලු වලට පිළිතුරු සැපයීම සඳහා බෙල්ලන්විල යනුවෙන් බොහෝ දෙනා හඳුන්වන සම්පත්ද අප හා එක් විය. මා ඔහු ඇමැතුයේ සත්කුමාර යන නමිනි. එයට ඔහු ඉතා කැමැත්තෙන් ප්‍රතිචාර දැක්වීය. මෙයට අමතරව ඔහුගේ ගමේ නමින්ද ඔහුව සමහරු අමතනු ලැබීය. ඒ මාකවිටයා නොහොත් මාකයා කියාය. ඒ නමට හේ වැඩි කැමැත්තක් නොදැක්වීය.  මෙවර අපගේ රථාචාර්ය භූමිකාවට පණ පෙව්වේ ජපන් බට්ටා යනුවෙන් මුළු බැංකුවම හඳුනන චන්ද්‍රසිරිය. මේ ගමනේදී ඔහුට කදිම අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු විය.එය මා පසුව විස්තර කරන්නම්.

26 වෙනිදා අනුරාධපුරයට ළඟා වූ අපගේ ප්‍රධානම ඉලක්කය වුයේ සතියක පමණ කාලයට නවාතැනක් සොයා ගැනීමයි. අනුරාධපුරයේ මිතුරකුගේ මග පෙන්වීම අනුව අප මුලින්ම ළඟා වූ ස්ථානයේ උඩු මහලේ කාමර දෙකක් පෙන්වීය. නමුත් දිවා කාලයේ ඇඳුම අකුලා බෑග් වලට දමා ඒවා වෙනත් ස්ථානයකින් තැබිය යුතු බව. එය ඇසූ මොහොතේ සිට සම්පත් "වෙන තැනක් බලමු මචං" යන්න මන්තරයක් සේ මතුරන්න්නට විය. අසිත නමැති අනුරාධපුර බැංකු මිතුරාගේ මග පෙන්වීමත් සමග සර්වෝදය සර්කිට් බංගලාව තෝරා ගතිමු. එහි විශේෂත්වය වන්නේ "කපල්" වලට දිවා කාලයේ කාමර ලබා නොදීමයි. පිරිසිදුකමත්, අබේරත්න නමැති එහි සිටි හිතෛෂී භාරකරුත් නිසා අප එම ස්ථානය තෝරා ගන්නට හේතු වුණා. ජනවාරි පළවෙනිදට එළිි වුණ දවසේ වෙච්ච කදිම සිදු වීමක් ලොල්ද මන්දා I - කළු ෂර්ට් කාරයාගේ රහස...... විදියට මීට කලින් සටහන් කරා ඔබට මතක ඇති.

අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර තුමා අපව ඉතා සාදරයෙන් පිලි ගනු ලැබුවා. ඒ කිව්වේ උත්සවාකාරයෙන් නෙවෙයි. ආගිය තොරතුරැ සහ, අපගේ නවාතැන, මේ ප්‍රශ්නය පිළිබඳ කෙටි පිළිසඳරක් වශයෙන්. මොකද ජනවාරි පළවෙනිදට එතුමාට ඉන්න වැදගත්ම පුද්ගලයන් වෙන්නේ අප  තිදෙනා නිසා. තුන්වෙනි මහලේ අපට පරිගණක කාමරයක් සුදානම් කර තිබුණා. එහි වින්ඩෝස් පද්ධතිය ස්ථාපනය කල පරිගණක පහක් පමණ තිබුණා. අප හැරෙන්නට එහි ප්‍රාදේශිකයේ පරිගණක කටයුතු වල යෙදී සිටි හසිත සහ එහි මූල්‍ය නිලධාරියාත් ඒ වනවිට සේවයේ යෙදී සිටියා. දින කිහිපයක් යත්දී ඒ දෙදෙනා සමග ඉතාම සුහද වන්නට අපට හැකි වුණා. අපගේ පද්ධතිය පදනම් වෙලා තිබුණේ යුනික්ස් මෙහෙයුම් පද්ධතිය මත නිසා අප ගෙන ආ සර්වර් යන්ත්‍රය සහ වයිස් වර්ගයේ ටර්මිනල් යන්ත්‍රයත් සවි කර ගත්තේ පද්ධතිය පිලිබඳ ගැටළු විමසන විට පිළිතුරු දීමේ පහසුව සඳහාය. අප වෙත ලබා දුන් දුරකථන පිළිිබඳ එහි සේවය කල අනෙක් අය එතරම් ප්‍රාසාදයක් නොදැක්වූ බව පසුව අපට තේරුම් ගියා. ඒ ඔවුන් ඉන්ටකොම් පහසුකම භාවිතා කරත්දී අපට කෙළින්ම ඇමතුම් ලබා ගැනීමේ පහසුව තිබීම. මේ අතරේ නිතරම අප අසල දැවටෙමින් අපත් සමග හාද වූ කෙනෙක් වුවා. අද මට ඔහුගේ නම අමතක වුවත්, ඔහු නිතරම මුමුණන ගීතය අමතක වන්නේ නෑ. ඒ "මළ පොතේ අකුරු බෑ කී මිනිහා" ගීතය. මුලින් අපද ඔහු කරන මේ ගී ගැයීමට සවන් යොමු කළද, පසුව ඔහු එම ගීය ගයන්නේ අසනීප තත්වයක පසුවන, කලින් ශාඛාවක හොඳින් සේවය කල, දැන් කිසිදු කටයුත්තක් කල නොහැකි තත්වයේ සිටින, එහෙත් කාර්යාලයට වාර්තා කරන සේවකයෙකුට අවලාද ස්වරූපයෙන් බව දැනගත් පසු නොදුටු ස්වරූපයෙන් සිටින්නට වග බලා ගත්තා. "නිකං පඩි ගන්නවා - අපි වැඩ කරනවා" යන්න නිරතුරු ඔහු කරන චෝදනාව විය. නමුත් මෙසේ අනෙක් අය සේවය නොකරන බව පවසන බොහෝ දෙනාද වැඩ කරන්නට අකමැති අය බවත්, එහෙත් ලෝකයාට පෙනෙන්නට කුමක් හෝ කරන අය බවත් මා රාජකාරි ජීවිතයේ තේරුම් ගත් සත්‍යයක්.

ඔහු අපට නිතරම "හවසට සෙට් වෙමු. මගේ ෆ්‍රිජ් එකේ කකුළුවෝ කිලෝ එකක් තියෙනවා. හදාගෙන එන්නම්" යන යෝජනාව ගෙන ආවත්, ඔහු කෛරාටිකයෙකු බව තේරුම් ගන්නට වැඩි වෙලා ගත වුයේ නෑ. මේ අතර වාහනයට වී සිටින්නට කම්මැලි වූ චන්දරේ නොහොත් ජපන් බට්ටා, අප සිටින පරිගණක කාමරයේ අමතර පරිගණකය ඉදිරියේ හිඳ එය අත පත ගාන්නට පටන් ගත්තා. මේ මොහොතේ අප ඉදිරියේ ඇති භාරදූර කාර්‍යය නිසා ඔහුට විරුද්ධ වන්නට කිසිවෙක් ඉදිරිපත් වුයේ නෑ. දින කිහිපයකින් කුමක් හෝ කර එම පරිගණකය වැඩ නොකරන තත්වයට ගෙන එන්නට ඔහු සමත් වුණා. ඉන් පසු ඔහු වාහනයෙන් බැස ඉහළට ආවේ නෑ. මේ අතර නුගේගොඩ අපගේ කාර්යාලය සමග නිරතුරු සබඳතාව පවත්වාගෙන එහි සිදුවන්නේ කුමක්දැයි අප විමසිල්ලෙන් පසු වුවා. විශේෂයෙන් අනෙකුත් ප්‍රදේශික බලා ගිය අයගෙන් යම් විශේෂ තොරතුරක් තිබේදැයි අප සොයා බැලුුවා. නුගේගොඩ කාර්යාලයේ සිට අප සමග තොරතුරු හුවමාරු කර ගන්නට වෙනම කණ්ඩායමක් යොදවා තිබුණා. මුල් දින කිහිපයේ සැහැල්ලුවෙන් පසු වුවත්, අවසන් දින කිහිපය ළංවත්ම අප තරමක් නොසන්සුන් ගතියක් දැක්වූවා. මෙම ප්‍රදේශය භාර නිලධාරියා (පරිගණක ගැටලු සම්බන්ධයෙන්) මගේ හිසේ යම් බරක් තිබුණා. නිර්මාණශීලී පුද්ගලයෙකු වූ ලිහිණිකඩුව නුගේගොඩට තොරතුරු වාර්තා කරන්නට වෙනම පෝරමයක් නිර්මාණය කළා. පේන්ට් ආධාරයෙන් චෛත්‍යයක්, ගල් කණු දෙකක් සහිත පින්තූරයක් නිර්මාණය කල හෙතෙම එය කලින් කී පෝර්මයේ ලාංඡනය ලෙස යොදා තිබුණා. සම්පත් පසු වූයේ ඉතා සැහල්ලුවකිනි. ඒ ඔහුගේ පෙම්වතිය මේ ප්‍රදේශයේ වූ නිසාය. ඔහුට මේ ගමන පනින රිලවුන්ට ඉනිමං සේ විය. ඔහු නිතරම ඇය හා දුරකථන සබඳතාව තබා ගන්නට වග බලා ගත්තේය. අප වෙත ලබා දුන් කෙළිින්ම ඇමතිය හැකි දුරකථනද ඔහුට ඉනිමං සැපයීය. මේ දුරකථන ගැන උනන්දුවෙන් පසු වූයේ එම ස්ථානයේ සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන්ය. ඒ අප ගිය පසු මේවා ඔවුන්ගේ මේස මත තබා ගැනීමටය. මෙවැනි විශේෂ අවස්ථා නිසා කාර්යාලයක, රටක යටිතල පහසුකම් සංවර්ධනය නිසා පසුව ඒ කාර්යාලයේ නැතිනම් රටේ ජනයාට අත්වන පහසුවක් සිදු වේ. ඒ ගැන උදාහරණ ගැනීම මේ සටහනේ අරමුණ නොවේ. එහෙත් මේ Y2K ගැටලූුව නිසා අපේ කාර්යාල වල පරිගණක පද්දති වලට නව ජීවයක් ලැබුණි. 

ඒ කාලයේ නිවසින් පිටදී ලබාගන්නා හැම කෑම වේලකටම ෆ්‍රයිඩ් රයිස් කෑ යුතුය යන මතයේ සිටි අප, ආලන්කුලමට ගමන් ගත්තේ රාත්‍රී ආහාරයට යමක් රසට ගන්නට හැකි තැනක් නිසාම පමණක් නොවේ. ඒ එම ස්ථානයේ සේවය කල සුරූපී තරුණියක් මට ක්‍රෂ් වීම නිසාය. එකල මගේ ජනප්‍රියම ආහාරය වුයේ "නාසි ගෝරං" ය. මා එයට පුරුදු වූයේ කොහුවල ගිහාන්ස් රෙස්ටෝරන්ට් එක නිසාය. ජපන් බට්ටා එය හඳුන්වන්නේ "නාසි චෝරා" යනුවෙනි. පසුව ඔහු අර යුවතියටද "නාසි චෝරා" යන යෙදුම යොදා කථා කරන්නට පුරුදු විය. අදද ඔහු මුණගැසුණු මොහොතක, කොහොමද නාසි චෝරා යනුවෙන් අසන්නේ, අපගත් ආහාරය ගැන නොව, ආලන්කුලමේ සිටි පියකරු යුවතිය ගැනය. 

දෙදාහ උදා වන මොහොතට මුළු ලෝකයම සුදානම්ය. දෙදාහේ පළමු හිරුරැස් පතිත වන කිරිබැටි රාජ්‍යයට සංචාරකයන්ගේ දෑස යොමු විය. එය නරඹන්නට ලොව නන් දෙසින් සෙනග ගිණිිකොණ ආසියාතික  හෙවත් ආසියානු පැසිපික් කලාපයේ රටවල් වලට ඇදෙන්නට විය. මේ දින කිහිපය මුළු ලෝකයම ත්‍රාසය, භීතිය, කුතුහලයෙන් වෙලී ගියා යයි කීම අතිශෝක්තියක් නොවේ.  ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වූ සිරස ආයතනය සහස්‍රය යන වචනය වෙළඳ පොළට ගෙන ආවේය. නුමත් නිවැරදි වචනය සහස්‍රකයේකය බව දැන ගන්නා විට නිර්මාණය ඔවුන් ප්‍රමාද වැඩිය. ලෝකයේ එක්-එක් රටවල් වලට වසර දෙදහාට හිරු උදාවනවාත් සමග ප්‍රචාරය කරන්නට ගීතයක් කර තිබුණි. ලංකාව වෙනුවෙන් ඒ කාර්යය කළේ සිරස ආයතනයයි. එදින ප්‍රචාරය වූ ගීත අතුරින වඩාත් සිත්ගන්නා නිර්මාණය කර තිබුණේ ලංකාවෙන් බව මමත් ලිහිණිකඩුවත් කථා කළා මතකය. සැබවින්ම එය අපූරු ගීතයකි. මෙය නෑසු කෙනෙක් සිටීදැයි සැකසහිත නමුත් මේ ගීය ප්‍රිය කල ඔබ අප කවුරුත් එය යළිිත් වරක් රස විඳින්නට කැමති වනවා ඇත. එය සාමය හීනයක්ව පැවති සම්මයක සාමය ගැන කියවුණු ගීතයකි.


අප Y2K ගැටලුුව වෙත සිත් යොමාගෙන සිටි නවිට ප්‍රාදේශිකය තුළ  ශාඛා අතර ලාභයේ උපරිමය ලබා ගැනීමේ තරගයක් විය. මුල්‍ය සහයකයා සහ අසිත මේ ඉලක්කම් ෆැක්ස් මගින් ගෙන්වාගෙන එක්සෙල් පිටුවක ඇතුලත් කරමින් පසුවිය. මේ අතරවාරයේ කුමක් හෝ කාරණයකට අපට පොලොන්නරුවට යන්න සිදු විය. එදින තදින් වැසි ඇති වූ දිනයක් වූ අතර වියලි කළාපයේ එතරම් සුන්දර දසුනක් මා කිසිසේත් බලාපොරොත්තු නොවුනකි. හබරණ සහ පොලොන්නරුව් අතර ප්‍රදේශයේදී අලි කිහිප දෙනෙකුද දකින්නට ලැබිණි. කාලයකින් රසවත් කොළ මිටක් බුදින්නට ඔවුන් එලියට එන්නට ඇත. අප ආපසු එත්දී මින්නේරිය ධීවර වෙළඳ සංස්ථාවට අනුබද්ධ සැලෙන් තිලාපියා මාළුවා කියුබ් කර විකුණන  කිලෝ කිහිපයක්ම ලබා ගත්තේ අහාරයට ගැනීමටත් ආපසු නිවසට එනවිට රැගෙන එමටත්ය. ඒ පිලිබඳ ඔත්තුව අපට ලබා දුන්නේ සර්වෝදය නිවස්නයේ අබේරත්නයි. නිතරම අප හා දොඩමළු වන අබේරත්න යම් අධ්‍යාපනයක් ලද පුදගලයෙක් බව ඔහුගේ කථාබහෙන් පැහැදිලි විය.

දෙසැම්බර් තිස් එක් වෙනිදා මේ ලෝකවාසී සියළු දෙනාට මෙන්ම අප තිදෙනාටද විශේෂ විය. අප නිවසින් පිට අලුත් අවුරුද්දක් ලබන පළමු වතාව මෙන්ම, එය තවත් සියවසක ආරම්භය වන්නේය. මේ දිනය උදාවත්ම තවත් ගැටළුවක් අප හමුවේ විය. එනම් අවුරුදු හතරකට වරක් අධික අවුරුද්දක් ලබන්නා සේම අවුරුදු 400කට වරක්ද අධික අවුරුද්දක් ලබන අබ්වයි. එනිසා එම අවුරුද්දේ පෙබරවාරි මසට දින තිහක් තිබේදැයි කිහිප දෙනෙකු තර්කයක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව එම වසරට දින 367 තිබිය යුතුය. වෙනත් යට මෙය තවත් දිනයක් පමණක් වුවත් බැංකු වල අපට එය බැරෑරුම් ප්‍රශනයක ආරම්භයක් විය හැකි නිසා නිරතුරුව එදිනෙදා පුවත් කෙරෙහි සැලකිල්ල යොමු කළෙමු. නමුත් අධික අවුරුදු සමපාත වනවිට එක් අමතර දිනයක් පමණක් තිබිය යුතුබව කවුරුන් හෝ ප්‍රකාශ කර තිබුණි. එසේ නොවුවානම් ප්‍රශ්න වෙනත් අතකට හැරෙන්නට ඉඩ තිබුණි. මේ වනවිට මේ ගැටළුව වෙනුවෙන් අප ඇති තරම් නිදි මරා ඇත. තවත් වෙහෙස වීමේ තේරුමක් නැත. නිවසින් පිට සමරන එකම 31 වෙනිදාවට අපද සැරසුනෙමු. වේලාසනම ආලන්කුලමෙන් අපට අවශ්‍ය ආහාර වෙන් කර ගතිමු. අපගේ බීම අවශ්‍යතාද වේලාසනම සපයාගෙන, සවස හත පමණ වනවිට සර්වෝදයට ලඟා වීමු.

අප ගෙනගියේ ඊයම් කොලයක ඔතාදුන් ග්‍රිල් කරන ලද ගරුපා මාලුවෙක් සහ එය වටේ තබා තිබු අනෙකුත් සැලඩ් වර්ග පමණක් නොව, එදින රාත්‍රියට අවශ්‍ය ආහාර පැකට් වලට අමතරව නිදිවරමින් රූපවාහිනී නැරඹීමට අවශ්‍ය බයිට් වර්ග රැසක්, කොකා කෝලා සහ ස්ප්‍රයිට්ද ඇති පමණ රැගෙන ගියෙමු. රාත්‍රී එකොළහ වනවිට සම්පත් නානකාමරයට වැඩ පිරිසිදු වී, අලුත් ඇඳුමක් අඳ සූදානම් විය. ඒකත් එකටම ඔහු ප්‍රියම්බිකාව මුණ ගැසීමට යනවා ඇත. නමුත් මේ රාත්‍රියේ කෙසේ යනු ඇතිද ? ජපන් බට්ටාද මද පමණට සළු වී සිටියි. කිතුනු බැතිමතෙකු වූ සම්පත් අවුරුදු සැමරීමට අනුරාධපුර තිබෙන ක්‍රිස්තියානි පල්ලියට යාමට සුදානම්ය. වාහනයද රැගෙන යාමට ජපානා සමග කතාබස් කොටගෙන ඇත. නමුත් අප ඒ ගමනට ඉඩ නොදී, ජපනාට වාහනය පදවන්නට දී ඔහුත් සමග ගමනට එකුතු වීමු. අප වාහනයේ අඩ නින්දේ පසු වෙත්දී පල්ලියේ සේවාවට සම්පත් සහභාගී විය. පැයක් පමණ අවෑමෙන් නැවතත් අපේ නවාතැනට පැමිණ උදෑසන තුන පමණ වනතෙක් රුපාවාහ්නිය ඉදිරියේ ගත කොට උදෑසන හයට අවධි වුයේ මහා ප්‍රයාමය්ට මුහුණ දෙන්නටය. අප හනික ප්‍රාදේශීය කාර්යාලයට ලඟා වීමු.

උදෑසනම මගේ නමට ත්‍රිකුණාමලය ශාඛාවෙන් දුරකථන ඇමතුමක් ඇති බව ලිහිකඩුව පැවසීය. මා විගස ඒ වෙත දිව්වෙමි.

"ෂර්. ගූඩ් මෝර්නින්, හැපී නිව් යර්, හැපී මිලේනියම්. අපිලට ප්රෝබලම් එකක්"

මා පෙර සුදානම් කරගත් කඩදාසි මිටිය සහ පාන ගෙන

"මොකක්ද බ්‍රාන්ච් එක ?"

"අපි ට්‍රින්කෝ ඉඳන් තම කතා කරනවා.. අපිලා කම්පියුටර් ඔන් කරනකොට ඩෙට් වැරදි කියනවා"

"හරි. ටිකක් ඉන්න. මම අපේ කුමරපතිරණ මහත්තයාට කථා කරලා ඔයාට කෝල් එකක් දෙන්නම්"

මම කුමරපතිරණ මහතා(නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා) අමතන්නට සුදානම් වනවාත් සමග ලිහිනිකඩුව දුවවිත් මගේ දුරකථනය විසන්ධි කර.

"මචන් ඒ කෝල් එක දීලා තියෙන්නේ අසිතයා"

"ඌ හරි මිනිහෙක්නේ. මේ වගේ වෙලාවට විහිලු කරනවද ?"

"හරි දැන් ඉතිං  යමන් උදේට කිරිබත් කන්න. ආර්. එම්. අපට එන්න කියලා"

"උඹ පලයන් මම ඉන්නම්. ඇයි බං මේ වගේ දවස් වලටවත් විහිළු නොකර ඉන්න බැරි"

"වරෙන් මචං යන්න"

ලිහිණියා මාවත් ඇදගෙන පහල මාලයට බැස යන්නට පටන් ගත්තේය. මමත් ඔවුන් සමග ගොස් ආහාර ගන්නට සුදානම් වනවාත් සමග මගේ ජංගමයට දුරකථන ඇමතුමක් ලැබිණි. 

"හලෝ. අන්කල් කරන්න දෙයක් නෑ. ඔබ ඇමතු අංකය වැරදියි"

"මොකක්. කවුද කථා නරන්නේ"

"ඔබ ඇමතු අංකය වැරදියි. අංකය පරීක්ෂා කර නැවත අමතන්න"

"පුතා ගෙදර ලොකු කෙනෙක් නැද්ද ? "

"නෑ අපි තමයි ඉන්නේ"

"^*((^*()(%**(((%"

මාරුවෙන් මාරුවට කථා කල පොඩි එවුන් දෙදෙනෙකුට, කාර්යාලයෙන් පිටතට පැමිණ එසේ ඇමතීමට සිදු වීම ගැන මා අදටත් කනගාටු වෙනවා. නමුත් මා ඒ මොහොතේ සිටි ව්‍යාකූල තත්වය දන්නේ මා පමණයි.කුමක් හෝ කරුණක් නිසා ත්‍රිකුණාමලයට යන්නට සිදු වුණා නම්, එය අද තරම් පහසු කාරණයක් නොවේ. ඒ හබරණ ත්‍රිකුණාමලය මාර්ගය එතරම් ආරක්ෂාකාරී නොවන නිසා. දහවල් දොළහ පමණ වනවිට කිසිදු බිඳ වැටීමක් වාර්තා වුයේ නෑ. නමුත් ප්‍රාදේශිකයේ පරිගණක ක්‍රියාකරු නැතිව කපිල නමැති මුල්‍ය නිලධාරියාට එම ප්‍රදේශයට අදාළ ලාභයේ එකතුව එක්සෙල් පිටුවක හදා ගන්න බැරිව දඟලන විට, මා වෙත ප්‍රාදේශීය කළමනාකරුවා පැමිණ බැගෑපත්ව ඒ සඳහා උදව් වන ලෙස ඉල්ලා සිටියා. කලයුතු කිසිදු රාජකාරියක් නොවූ නිසා මා ඉතා කැමැත්තෙන් එම කාර්යය ඉටු කර දුන්නා. මෑතකදී පත්වීම් ලැබූ අර තරුණයා  දියෙන් ගොඩදැමූ මාළුවෙකුගේ සිරි ගෙන සිටියා. නුගේගොඩින් අප දැනුවත් කලේ තුන් වැනිදා ආපසු කොළඹ පැමිණෙන ලෙසය. ලෝකයේ කිසිදු තැනකවත් කිසිදු නස්පැත්තිය වාර්තා වී තිබුණේ නෑ. නමුත් එය එසේ වුයේ පෙර සුදානම නිසා බව මගේ විශ්වාසයයි. 

මෙම ක්‍රියාවලියේදී අප දැක්වූ කැපවීම අගය කරමින් ආයතින කළමනාකාරීත්වය ලිපියක් ලබා දුන්නා. එහි පිටපතක අපගේ පුද්ගලික ලිපිගොනු වලටද යවා තිබුණා. 

Monday, September 22, 2014

රාජකාරි ජීවිතේ මට ලැබුණු ලොකුම අභියෝගය ...... The biggest challenge ever given in duties

මේක ගැන ලියන්න හිතලා බොහෝ කල් වුණත්, ලැබෙන විවේකය අවම නිසාත්, වෙනත් මාතෘකා වලට හිත ගිය නිසාත් මේක අතපහු වුණා. නමුත් මහජන බැංකුවේ පරිගණක දෙපාර්තමේන්තුවේ රැකියාවට ඇවිත් අවුරුදු හතරක් ගත වෙත්දී මේ වගේ වගකීමක් දෙන්න තරම් විශ්වාසවන්තභාවයක් ඇති වුණ එක ගැන මම ඉතාම සතුටු වුණා. පුද්ගලික ආයතනයක නම් රැකියාවට ඇවිත් මාස කිහිපයකින් ඕනෑම වගකීමක් පවරන්න පැකිලෙන්නේ නෑ. ඒත් රාජ්‍ය(ඇත්තටම අර්ධ රාජ්‍ය) ආයතනයක මේ වගේ වගකීමක් දෙන්න කලින් ජෙෂ්ඨත්වය, අධ්‍යාපන සුදුසුකම් බලපානවා. සමහරු කරන්න බැරි වුණත් මේ වගේ තැනක කැපී පෙනෙන්න පුළුවන් නිසා ඒවා බලාපොරොත්තු වෙනවා. නැතිනම් ඉල්ලා සිටිනවා. එහෙම නොදුන්නොත් ඒකට වෙනත් බලපෑමක් හරි කරලා ලබා ගන්නවා. නමුත් මගේ වාසනාවකට හෝ අවාසනාවට  එතැන හිටපු අඩුම අත්දැකීම තිබුණ කෙනෙක් වුනත්, මගේ අධ්‍යාපනය සහ දැනුම ගැන සලකලා මගේ කාර්යාලයේ එවකට ප්‍රධානියා වුණ විතාරණ මහත්මයා තීරණය කළා මට මේ වගකීම දෙන්න. ඔහු ගැන මෙතන වචනයක් සඳහන් නොකලොත් අඩුපාඩුවක්. එතුමා සලකා බලන්නේ වැඩක් කරගෙන යාමේ හැකියාව සහ දැනුම මිස සේවා කාලය, තනතුර වගේ දේවල් නෙවෙයි. අන්න ඒ ගුණය නිසා තමයි මං වගේ කෙනෙකුට එවැනි වගකීමක් දෙන්න තීරණය කරන්න ඇත්තේ. 
වසර 2000 ප්‍රශ්නය මහජන බැංකුව තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව
පින්තූරය ගත්තේ : commons.wikimedia.org

1999 කියන්නේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා කරපු හැමෝටම ලොකු කඩයිමක්. අර මාරක අපල කියන්නේ. අන්න ඒ වගේ පන්න ගන්න අමාරු දිනයක් බවට 1999.12.31 ගෙවිලා 2000.01.01 ලබන මධ්‍යම රාත්‍රිය පත් වුණා. දැන් ඔබට තේරෙනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකක්ද කියලා. අපේ අවාසනාවකට ඒ කාලයේ අපිට මේ වගේ නිදහසේ අදහස් ඉදිරිපත් කරන්න අන්තර්ජාලය කියන තෝතැන්න තිබුණේ නෑ. ඒ වනවිට අන්තර්ජාල පහසුකම බොහොම දුර්ලභ විදියට අපේ කාර්යාලයේත් තිබුණා. නමුත් එය විශේෂ ආවරණයකින් වසා තිබුණු තවත් එක සුවිශේෂී පරිගනකයක ස්ථාපිත කර තිබුණා. අපිට යම්කිසි විදියකින් එය භාවිතා කරන්න ඕනේ නම්, විතාරණ මහත්මයා ලවා එම පරිගනයකට ඇතුලත් වීමට CMOS රහස් අංකය ඇතුලත් කරව ගන්න වෙනවා. අන්තර්ජාලයට ප්‍රවේශ වීමත් ඒ වගේ. ඒ කාලේ තිබුණේ භාවිතා කල කාලයට ගෙවන ක්‍රමය(Pay Per Seconds). ඉතිං එතැන භාවිතා කරන්න මම යන්තමට එක වතාවක් අවස්තාව ඉල්ලා ගත බව මතකයක් තියෙනවා. ඒ මම ටෙස්ටින් කරපු ක්ලිපර් මත සංවර්ධනය කල පද්දතිය පිලිබඳ ඇති අවදානම පිලිබඳ තොරතුරක් සොයා ගන්න.  

අපි 1999 මුල කාලේ ඉඳලම මොකක්ද මේ Y2K කියන්නේ කියලා හොයන්න පටන් ගත්තා. මේ කාලේ මම BCS වලට පන්ති ගිය නිසා ඒ තුලින් යම් අවුබෝධයක් ලැබිලා තිබුණා. අද මේක විහිලුවක් වගේ පෙනුනට ඒ කාලේ මේක බොහොම භයානක උවදුරක් විදියට තමයි සැලකුවේ. මේකේ මූලිකම ප්‍රශ්නය වුණේ ඉලක්කම් දෙකක් භාවිතා කරලා දිනය සඳහන් කරන විදිය 2000 ලබනවත් එක්කම ඉලක්කම් හතරකින් ලියන්න, පරිගණක පද්දතියට ඇතුලත් කරන්න නැතිනම් මුද්‍රණය කරන්න සිදු වීම. ඇයි බැරි  ? "අද 2014 ලියන්නේ 14 කියලනේ" ඔබට එහෙම හිතෙන්න ඇති. නමුත් මම මෙහෙම කිව්වොත් ඔබ කොහොමද මේ දිනය කියවන්නේ 01/07/04 දෙදාස් එකේ ජුලි 04 ද නැතිනම් දෙදාස් හතරේ ජුලි 01 ද ? මේ වගේ ගැටලුකාරී තැන එනවා. මේක නෙවෙයි  බැංකු වල වැඩ කරපු අපිට තිබුණ ලොකුම ගැටලුව. ගණනය කිරීම් නිකමට හිතන්න බිංදු දෙක දිනය දාලා දින ගණනක් ගණනය කරන්නේ කොහොමද කියලා. 99/12/05 ඉඳලා 00/01/09 වෙනිදා දක්වා දින ගණන පරිගණක වැඩසටහනකින් ගණනය කරන්න නම් දෙවෙනි එකෙන් පලවෙනි එක අඩු කරන්න වෙනවා. නමුත් ඒ කාලේ නිෂ්පාදනය කරපු පරිගණක හෝ පරිගණක පද්දති සංවර්ධනය කරන භාෂා වල මේවාට සුදානමක් තිබුණේ නෑ. ඇරත් බැංකු පද්දතියකදී අපි වෙනමම කැලැන්ඩරයක් පවත්වාගෙන යනවා. පද්දතියේ තිබෙන දිනයත් එක්ක යන්න බැරි ප්‍රායෝගික ගැටළු බොහොමයක් තිබුණා. ඒවා සඳහන් කලොත් කතාවේ රසවත් බව නැති වෙන නිසා මම ඒ කොටස මග ඇරලා ඉදිරියට යන්නම්. 

ඒ කාලේ හැම කෙනෙකුගේම කටේ තිබුනේ මේ වයි2කේ කියන එක තමයි. කඩයට ගියත්, බස් එකේ ගියත්, පාරක ගියත් ජනයාගේ තුඩ-තුඩ රැව් දෙන වදන වුණේ මේක. මේ නිසා බැංකු ඇතුළු බොහෝ ආයතන වලට තමන් භාවිතා කරන පරිගණක පැත්තකින් තියලා අලුත් පරිගණක (අපිට ශාඛාවකට එක බැගින් සර්වර් පවා ) අලුත් කරන්න සිදු වුණා. මගේ මතකයේ හැටියට අපි එකවර සර්වර් 100ක් අලුත් කරන්න සිදු වුණා. අපේ බැංකවේ ඒ වනවිට පරිගණක පද්දති වර්ග තුනක් තිබුනා. මේ තුනම අද නැති නිසා ඒ ගැනත් සටහන් කරන්න. එකක් ඉන්ෆොමැටික්ස් ආයතන විසින් සපයා පවත්වාගෙන ගිය BNC නමැති පද්දතිය. එය ස්ථාපනය කර තිබුණේ නගර ආශ්‍රිත තරමක් විශාල ශාඛා වල. PABS නමැති අපේම සේවකයන් විසින් සංවර්ධනය කල පද්දතිය. මගේ රාජකාරිය තිබුණේ මේ පද්දතිය තිබුනු ශාඛා වලට අදාලව. මෙය බහු පරිශීලක පද්දතියක් වුණා. උපරිම 12ක් වගේ ටර්මිනල් සංඛ්‍යාවකට යන්න පුළුවන් වුණා. අපි පාවිචි කලේ ස්කෝ යුනික්ස් කියන මෙහෙයුම් පද්දතිය. ෆොක්ස්බේස් කියන භාෂාව භාවිතා කරලා තමයි පද්දති නිර්මාණය කරලා තිබුණේ. ඉතිං 
මේ පද්දතිය වලට අදාළ දිනය සඳහන් හැම තැනක්ම යලිත් පරීක්ෂාවට ලක් කරන එක අපේ රාජකාරිය වුනා. 

මුල් කාල වල කලේ මේ පද්දති මේ ඉලක්කම් හතරේ දිනයට හරි යන්න සංවර්ධනය කරන්න. ඒ කරලා ඉවර කරපු පද්දති පරීක්ෂා(Test) කරන්න අපි වගේ නවකයන් මෙන්ම පැරණි සේවකයන් එකසේ දිවා රෑ නොබලා වෙහෙස වුණා. මේවා ලියන්න වෙනම පෝරමයක් (Test Script) පුරවන්න අපිට සිදු වුණා. අපේ කෙනෙකුගේ අතින් මෙවැනි පිටපත් සිය ගණනක් පුරවන්න ඒ කාලේ අපිට සිදු වුණා. වට කිහිපයක සංවර්ධන/පරීක්ෂා සිදු කිරීමෙන් පසු මේ පද්දති හොඳින් වැඩ කරන තත්වයට පත් කරන්න අපට හැකි වුනා.  සියල්ල හරි ගිය පසු අපට පැවරුන රාජකාරිය ලංකාව පුරා විසුරුණ ශාඛා ජාලයට මේවා ගෙනගොස් කොපි කරන්න. ඒ කාලයේ අපගේ පද්දති වැඩ කලේ මධ්‍යගත පද්දතියක් විදියට නොවේ. විසිරුණු පද්දති (Distributed System) ආකාරයට තමයි මේවා තිබුණේ. ඒ කියන්නේ දවසේ දෛනික ක්‍රියා අවසන් කල පසු පද්දතිය වසා(Shutdown) දමන්න පුළුවන්. නමුත් ඒ කාලයේත් ශාඛාවට අදාළ ගනුදෙනුකරුවන්ට එම ශාඛාවෙන් පමණක් මුදල් ලබාගතහැකි ආකාරයට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර(ATM) සම්බන්ධ කර තිබුණා. අද ඔබට මෙය සහමුලින්ම නුහුරු ආකාරයක් වුවත්, අප මෙවැනි ශාඛා පහලවකට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන ගියා. ඒ නිසා එම පද්දති වසා නොදමා පැය විසිහතරම ක්‍රියාකාරී තත්වයේ පවත්වා තබන්නට සිදු වුණා. 

Y2K කිව්වම ඒ කාලයේ අපිට අමතක කරන්න බැරි නමක් අද අපත් සමග සයිබරයේ කරක් ගහනවා. ඒ කායාලේ අපිට ඔහුව දැනුණේ යෝධයෙක් වගේ, නමුත් ඔහු අද අපත් සමග බ්ලොග් වල සහ මුහුණු පොතේ අදහස් හුවමාරු කර ගන්නවා. වසර දෙදාහට සුදානම් වෙත්දී ශ්‍රී ලංකා මහා බැංකුවේ මේ ව්‍යාපෘතියට ප්‍රධාන නිලධාරියෙක් පත් කළා. ඒ චානුක වත්තේගම මහතා. ඒ කාලයේ ඔහු දැක නැති වුවත් පසුව හෝ ඔහු සමග අදහස් හුවමාරු කරගන්න ලැබීම භාග්‍යයක් විදියටයි මා සලකන්නේ. මේ පිලිබඳ විවිධ සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය විවිධ බැංකු වල පැවැත්වුණා. මට ඒ යුගයේ තවත් දුර්ලභ අවස්ථාවක් ලැබුණා. ඒ අපේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වුණු අද ජීවතුන් අතර නැති කේ.බී. කුමාරපතිරණ මහතා වෙනුවෙන් පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කරන්න. නිමල් රාජපක්ෂ මහතාගේ කම්පැක් වර්ගයේ ලැප්ටොප් යන්ත්‍රය භාවිතා කරන්න මට එමගින් අවස්තාව ලැබුණා. එහි තිබුණු මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් 98. 

මේ කාලයේ පොත්-පත්, සඟරා, ජර්නල් ආදියෙන් මේ පිලිබඳ මගේ දැනුම වර්ධනය කර ගන්න මා නිරතුරු උත්සාහ වන්ත වුණා. නිරතුරු තොරතරු පිපාසයෙන් පෙලෙන පුද්ගලයෙකු වශයෙන් මා දැඩි උනන්දුවකින් මේ සොයා බැලීම් කළා. එනිසාම අනෙක් අය වෙත කදිම තොරතුරු රැසක් ගෙන යන්න මා සමත් වුණා. ඒ එක්දහස් නවසිය හැට ගණන් වල නිපැයුණු පරිගණකයක් මිලදී ගන්නා මුදලින් බටහිර ඉන්දීය රටවල් වල ඇති කුඩා දූපතක් මිලදී ගන්නට හැකි බව. තවත් කෙනෙකු මේ ඉලක්කම් දෙක වැඩි වීම නිසා එක ආයතනයක ට මුහුණ දීමට  සිදුවන මුද්‍රණ පිරිවැය ගණන් බලා තිබුණා. ඒ දිනය සටහන් වන සාම තැනකටම අමතර ඉලක්කම් දෙකක් මුද්‍රණය කරන්නට සිදු වීම නිසා.  

මේ පද්දති ශාඛාවන්ට ලබා දෙන්නට අපිට යන්න සිදු වුණේ සති අන්ත වල. ඇත්තටම එම කාලය ඉතාම ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කල කාලයක්. රැකියාවේ කෙතරම් වගකීම් තිබුනත් ගමනේදී සහ පිට පලාතක රැඳී සිටින කාලයේදේ අප ඉතා සතුටින් කාලය ගත කළා. අපි දෙදෙනෙක් එකතුව මෙම සර්වර් හතරක් හෝ පහක් පුරවාගෙන එක් පළාතකට ගියා. මෙවැනි රථ කිහිපයක්ම එකට ගමන් කර එක් කාලාපයක් එක සති අන්තයකදී ආවරණ කළා. මුල් වටයේදී අපි අලුත් සර්වර් වලට තිබෙන පරිගණක පද්දතියයම ස්ථාපනය කළා. ඒ "එකවර වෙනස්කම් කිහිපයක් නොකරන්න" යන රන් නීතිය අනුගමනය කරමින්. අප එසේ වෙනස්කම් දෙකක් කළානම් එළඹෙන සඳුදා දින අපගේ දුරකථන අංක දෙකට ඉතා කාර්ය බහුල දිනයක් වනවා නොඅනුමානය. ඊළඟ වටයේදී අප මේ සියලුම ශාඛා වලට ගොස් නව පද්දතිය ස්ථාපනය කළා. එසේ කලේ එම පද්දතිය 100%ක්ම වසර 2000ට සූදානම් බව තහවුරු කරගැනීමෙන් අණතුරුව. ඉන්පසු රවුමේදී අප මේ වෙනස්කම් පිලිබඳ ශාඛා සියල්ලටම ගොස් දැනුවත් කළා.

මමත් දමිළ සහෝදරයෙකු වූ ගුහානන්ද නොහොත් ගුහාට යන්නට ලැබුණේ උතුරුමැද කලාපයට. අප දෙදෙනා අනුරාධපුර, පොලොන්නරුව සහ වව්නියාව වැනි පළාත් වල ගමන් ගනිමින් ශාඛා වල සේවකයන් දැනුවත් කළා. සිංහල භාෂාව කතා කරන ප්‍රදේශ වල මමත්, දමිළ සේවකයන් බහුතරයක් සිටින ශාඛා වල ගුහාත් කුඩා දේශන පැවැත්වුවා. අප වවුනියාවට ලඟා වුණේ ඕමන්ත ඉරට්ටපෙරියකුලම්(ඉන්දික උපශාන්ත මහතාගේ දැනුවත් කිරීම අනුව නිවැරදි කරන ලදී)හමුදා කඳවුර පසු කරමින්. එම ස්ථානය දෙපස චෙක්පොයින්ට් දෙකක් ස්ථාපනය කර තිබුණා. එම ස්ථානය පසුකර වවුනියාව දෙසට ගමන් කරන සියළු දෙනාට බස් ටිකට්ටුවක් තරම් කුඩා ටිකට්ටුවක් හමුදාව නිකුත් කරනවා. එම තුණ්ඩුව නැතිව ආපසු රජයේ පාලන ප්‍රදේශ වලට එන්න බෑ. එනිසා මටත් වඩා ගුහා තමන්ගේ ජාතික හැඳුනුම්පත සහ මේ තුණ්ඩුව පරිසම් කරන ආකාරය මට පැහැදිලි කළා. එවැනි දෙයක් නැතිව ඒ කාලේ රටතුල ගමන් කිරීම ඔහු වැනි දමිල තරුණයෙකුට සිහිනයක් පමණයි. මොනවා වුණත් ගුහාගේ ජාති ආලය නම් අඩු වුනේ නෑ. ඔහු වවුනියාව ශාඛාවට උදේ නවයට ඇතුලත් වී, දේශනය නිමා කලේ සවස තුනත් පහු වී. මෙය මා තුල කලකිරීමක් මෙන්ම භීතිය සහ කෝපය ඇති කරවන්න හේතු වුණා. බැරිම තැන මම වායුසමනය නොකළ ජිනදාස නොහොත් ගඩාෆි නමැති තවත් කථා කළහැකි පුද්ගලයෙකු පැදවූ රථයේ පිටුපස ආසනයට වී හාත්පස නැරඹුවා. 

දැඩි අවු රශ්මියක් ඇති මේ කලාපයේ එළිමහනේ පැයක් දෙකක් රැඳී සිටීම ඉතා වෙහෙසකර කටයුත්තක්. නමුත් නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නසා ගන්නවාට වඩා, එළිමහනේ සිදු වන්දේ නැරඹීම හොඳ බව සිතමින් මා වාහනයට වී මාර්ගය දෙස බලා සිටියා. එය පිරෙන්න්ටම තිබුණේ කාන්තාවන් මෙන්ම පුරුෂ පාර්ශවය පැදගෙන ගිය පාපැදි පමණයි. වෙනත් පළාතකදී නම් මා පාරට බැස ටිකක් ඇවිදින්නට පසුබට වන්නේ නෑ. නමුත් කාලය, දේශය ගැන මේ වෙලාවේ සැලකිලිමත් වන්නට මට සිදු වුණා. සවස් වෙත්දී තේකක් පමණක් පානය කර දිවා ආහාරය ගන්නේ කොයි මොහොතේදැයි සිතමින් උන්නා. 

"ඩෝං" 

යන මහා සද්දයෙන් මා කලබලයට පත් වුණා. ෂුවර් එකටම බෝම්බයක් පිපිරී ඇත. මෙවැනි නගරයක එවැනි දෙයක් අතිසාමාන්‍ය දෙයක්. මා වටපිට බැලුවත් එහි සිටින කිසිවෙකු කලබලයට පත් වී නැති බව වටහා ගන්නට මට මිනිත්තු දෙක තුනක්ම ගත වුණා. මා අතපය හිරි ඇර වාහනයෙන් බැස යලිත් ශාඛාවට ගමන් කිරීමේ අරමුණින් දොර අරගෙන එලියට බැස්සා. ශාඛාවේ එළිපත්තේදී මම ආපසු හැරී වාහනය දෙස බැළුවා. එහි වහල උඩ වඳුරෙක් අමු අඹයක් අතැතිව සිටියා. මට ඇහුණු බෝම්බ හඬට වගකිවයුත්තා ඔහුය. අඹ ගැසී සිට වහලට පණින සද්දයට මා රැවටී තිබුණා. බඩගින්න, තැතිගැන්ම මෙන්ම කෝපයෙන් සිටි මාගේ හිත නිවාලන්නට මේ වඳුරු පෝතකයා සමත් වුණා. මම උඩුතොල මතට වැටී ඇති දහදිය බින්දු කිහිපය පිසදමන ගමන් ශාඛාවට අතු වුණා. 

මෙය එක් කොටසකින් හමාර කරන්නට බලාපොරොත්තු වුවත්, තවත් කොටසක් දක්වා යන්නට සිදු වනවා. එම කොටසින් මා දැරූ වගකීම කුමක්දැයි ඔබට දැන ගන්නට පුළුවන්. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...