Sunday, January 12, 2014

මේ කවුද ? මොනවද කරන්නේ ? Who is he ? What does he do ?

 මේ පින්තූරයේ ඉන්න කෙනා කවුදැයි ඔබට හඳුනා ගන්න පුළුවන්ද ? බොහෝ දෙනෙකුගේ හිතට එන්න ඇත්තේ කලක් ඉන්දියානු රෝ ඔත්තු සේවය සොයමින් හුන් වීරප්පන් නමැති කාඩ්-බෝඩ් වීරයා කියා විය යුතුය. වීරප්පන්ගේ හැඩරුවට බොහෝ සෙයින් සමාන මොහු කවුද ? මොහු දුටු විට අපගේ ජනප්‍රිය බ්ලොග් කරුවකු, ඔහුගේ බ්ලොග් අඩවිය හඳුන්වා දී ඇති, තේමා පාඨය මගේ සිහියට එන්නේ නිතැතිනි. එය ඔබ, මා, අප සියලු දෙනා දන්නා එකකි. ඒ 

"හොරෙක් - මංකොල්ලකාරයෙක් - දේශප්‍රේමියෙක්"

එතකොට මේ ඉන්නේ මාතලන්ද ? නැත. කොහෙත්ම නැත. මෙහි සිටින්නා හොරෙක් නොවන බව මා තේරුම් ගත්තේ ඔහු සමග දොඩමළු වූ මිනිත්තු කිහිපයෙනි. ඔහු මංකොල්ලකාරයෙක්ද ? මේ කතාව අවසන ඔබට ඒ ගැන යම් සැකයක් ඇති විය හැක. ඔහු දේශප්‍රේමියෙක් බව මට සහතික කොට කිව හැක.  මා මේ කියන කතාව ඔබට ප්‍රහේලිකාවක් බව දනිමි. 

වරක් මා අගය කල මාතලන් නමැති ප්‍රවීණ බ්ලොග් කරුවා පැවසුවේ 
"බ්ලොග් කරුවන් යනු පුරවැසි මාධ්‍යකරුවන්(Citizen Journalist) බවත්, ඔබගේ වගකීම රටට සමාජයට වැදගත් වන දෙයක් දුටු විට වාර්තා කිරීමය"
යන වදන් කිහිපයය. මා පහුගිය කාලයේ කල බොහෝ බ්ලොග් සටහන් මේ ස්ථාවරයේ හිඳ ලියූ ඒවාය. සැබවින්ම අප පුරවැසි මාධ්‍යකරුවන්ය. 

දිනය පහුගිය සිකුරාදාය. වෙලාව සවස දෙක පමණ වන්නට ඇත. මා සිටියේ දැඩි බඩගින්නකය. ස්ථානය : අඹගහ හන්දිය. ඒ මට බාරදී තිබෙන සමරු කලාපයක කටයුතු සඳහා "අඹගහ හන්දිය" නමින් හඳුන්වන, තලංගම කොස්වත්ත, අයි.ඩී.එච්. සහ රාජගිරිය යන මාර්ග තුන එකට එකතු වන, කුඩා අඹගසක් ඇති හන්දියට ගිය අවස්ථාවේදීය. මා සිටියේ ත්‍රී රෝද රථයක් බලාපොරොත්තුවෙනි. එක් වරම එහි ළඟා වූ බට්ටා වර්ගයේ කුඩා ලොරියක් නවත්වා, එහි රියදුරු මා හට ගොඩ වන ලෙස ඉල්ලා සිටියේ ප්‍රිය මනාප සිනහවක් පල කරමිනි. මා දෙවරක් සිතා එයට ගොඩ වීමි. එහි පුරවාගෙන තිබුණේ කාර්යාල සඳහා සපයන පානීය ජල බෝතල්ය. එය මා තුළ මේ පුද්ගලයා කෙරෙහි සැකයක් ජනිත නොකරන්නට හේතු වන්නට ඇත. ඉන්පසු එකදිගට දොඩමළු වූ ඔහු

මහත්තයා කවුද කියන්න මම දන්නේ නෑ. ඒත් හුඟාක් වෙලාවට පාරේ ඉන්න කවුරු හරි කෙනෙක්ව මේ නිකං තියෙන සීට් එකේ දාගෙන යනවා. අද කාලේ හොර හතුරන් ඉන්න හැටියට මේ වගේ දෙයක් කරන්න බයයි. ඒත් මහත්තයා දැක්ක ගමන් මට කියන්න පුළුවන් කවුද කියලා. මාත් ලංකාවේ හතරදිග්භාගයේ වැඩ කරලා අත්දැකීම් තියෙන මිනිහෙක්. මම හමුදාවේ වැඩ කළේ. සර්විස් එකෙන් පෙන්ෂන් අරගෙන හොරකම් කරන්න මංකොල්ලකන්නේ නැතිව, මාසෙට මේකේ ලීස් ගෙවලා, තෙල් ගහගෙන අතට රුපියල් දෙදාහක් තුන්දාහක් හොයා ගන්නවා. ඒ අතරේ කවුරු හරි කෙනෙක් දැක්කොත් උදව් කරනවා. කෙනෙක් දාගෙන යන්නත් අද කාලේ බයයි. ඒ වගේ අප්සට් කෙනෙක් නැග්ගොත් මැරෙන්න වුණත් ගහන්න යකඩ පොල්ලක් මා ගාව තියෙනවා. මම හමුදාවේ හිටපු සේවා කාලේ වත් කිසිම වරදකට අහු නොවුන නිසා මට කේ.එස්.පී. අඳින්න ලැබුණා

මේ වනවිට මාගේ ගමනාන්තයට ළඟා වූ බැවින් ඔහු වාහනය පසෙකට කර නවත්වා මා හා දොඩමළු විය. 

මොකක්ද කේ.එස්.පී. කියන්නේ ?

කේ.එස්.පී. කියන්නේ කීර්ති සේවා පදක්කම. මේ තියෙන ගැසට් එකෙන් අපිට ඒ සම්මානේ දුන්නේ. අපි කාටවත් බරක් නොවී සමාජයේ ජීවත් වෙන්න ඕනේ. මම අරක්කු - සිගරට් කිසි දෙයක්, අඩුම ගණනේ බුලත් විටක් වත් කටේ තියෙන්නේ නෑ. ඕවා ඔක්කොම පුරුදු මහත්තයා. හිත තමයි තියෙන්නේ. හිතුවොත් ඕනෑම දෙයක් නතර කරන්න පුළුවන්. මම 1995 ඉඳලා හරක් මස් කෑම නැවැත්තුවා.  

ඔහුගේ නම ආර්.ඩී. එන්. ධර්මදාසය. ඔහුගේ නම ඉදිරියෙන් කේ.එස්.පී. - wo ලෙස තැබිය හැකි බව ඔහු පවසයි. ඔහුගේ ගම වැල්ලව - කුරුණැගල ය. ඔහු සැබවින්ම රටට ආදර්ශමත් එමෙන්ම කීර්තිමත් රණ විරුවෙකි. අද අපේ රටට අවශ්‍ය මෙවැනි පුද්ගලන්ය. ඔහුට බොහෝ සෙයින් ස්තුති වන්ත වූ මා කාර්යාලය අසලින් බැහැ ගත්තේ මේ සටහන තබන්නට සිතෙහි තබාගෙනය.
______________________________________________
පසුව එකතු කල පින්තූරය.
පින්තූරය : http://documents.gov.lk/Extgzt/2012/PDF/Oct/1779_23/1779_23%20(S).pdf

Thursday, January 9, 2014

පහේ ශිෂ්‍යත්ව විවාදය අස්සේ හමු වූ ජෝන්ස් ජේල් ජර්නල් බ්ලොග් අඩවිය John's Jail Journal found during Grade V Scholarship Debate

අවුරුදු කිහිපයක පටන් දේශීය රුපවාහිනී නාලිකා නැරඹීම සහමුලින්ම අත් ඇර දමා තිබෙන මා, අද දින(2014. රාත්‍රී දහයට දේශීය නාලිකාවක් බලන්නට තීරණය කරන්නේ අපේ රටේ පාසල් සිසුන්ට අතිශය වැදගත් මාතෘකාවක් ඔස්සේ රජයේ ඇමති වරයෙක් සහ රජයේම පළාත් සභා ඇමති වරයෙක් අතර පවත්වන ලද විවාදයට සවන් දීමටය. දේශීය නාලිකා නැරඹීම අත් හැර ජාත්‍යන්තර නාලිකා නැරඹීමට බොහෝ සාධාරණ හේතු මා ඇතුලු බොහෝ පිරිසකට ඇත. එසේම ජාතික පාසල් තරගය අතහැර ජාත්‍යන්තර පාසල් වලට ළමුන් යොමු කරන කණ්ඩායමේ කෙනෙකු හැටියට ඒ සඳහාද සාධරාන හේතු බොහොමයක් අපට ඇත. මගේ දරුවා සම්බන්ධයෙන් මේ කරුණ මට වැදගත් නැතත්, නිදහස් අධ්‍යාපනය ලැබූවෙකු වශයෙන්(අධ්‍යාපනය සහ සෞඛ්‍යය නිදහස් රටවල් දහයක් ඇති බව උදය ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය. ඒ ආර්ජෙන්ටිනාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය,  නොර්වේ, ස්කොට්ලන්තය,  බ්‍රසීලය, ජර්මනිය,     ලිබියාව සහ ශ්‍රී ලංකාව).

නින්දත් නොනින්දත් අතර මේ වාදය නරඹමින් සිටින අතරම පී.අයි.පී.(PIP) මගින් නැෂනල් ජෝග්‍රෆික් නාලිකාවේ යන මගේ ප්‍රියතම වැඩසටහනක වන "බැන්ග් අප් එබ්‍රෝඩ්" නමැති වැඩසටහනද නරඹන අතරය. (පී අයි පී යනු නාලිකා දෙකක වැඩසටහන් එකවර නැරඹිය හැකි පහසුකමකි.  එමගින් තිරයේ විශාලව එක් නාලිකාවක්ද, තිරයේ කෙලවර හතරින් කැමති තැනක තවත් නාලිකාවක්ද දර්ශණය කල හැක. කැමති නාලිකාවක හඬට ඇහුම්කන් දීමටද පුළුවන. මා කලේ ප්‍රධාන තිරයේ නැෂනල් ජෝග්‍රෆික් සහ කුඩාවට වාදයද, වාදයේ හඬද තබා ගැනීමයි. වාසනාවකට එන්.ජී.සී. හී ඉංග්‍රීසි උප සිරස දර්ශණය විය). ශිෂ්‍යත්ව වාදය බොහෝ දෙනෙකු නරඹන්නට ඇති නිසා මා "ජෝන්ගේ සිරගත සටහන් " නොහොත් ජෝන්ස් ජේල් ජර්නල් ගැන සටහනක් තබන්නම්. 

ඊට පෙර "බැන්ග් අප එබ්රෝඩ්" ගැනද වචනයක් කිව යුතුය. මෙම වැඩසටහනින් බොහෝ විට පෙන්වන්නේ නොකළ වරදකට සිරගත වූ හෝ නිවාස අඩස්සියකට පත් වූ අයගේ සත්‍ය අත්දැකීම් ඇසුරෙන් කරන ලද  නිර්මාණයකි. එය අතරවාරයේ බොහෝ විට එම අත්දැකීම් ලද තැනැත්තා කථා කරන අතර ඔහු/ඇය මුහුනදුන්නාට සමාන සිදු වීම් පෙළක් නිර්මාණය කර පෙන්වයි. එදින එහි පෙන්වන ලද වැඩසටහන යම් සිර කඳවුරක් බව පැහැදිලි විය. නමුත් ඔවුන්ගේ උපසිරසේ "Jonh's Jail Journal" යන්න දිස් වූ වහාම මා කලේ එය ගූගල් කිරීමයි. මොහොතකින් මා ඔහුගේ බ්ලොග් අඩවිය තුලට ගියෙමි. ඔහු බ්ලොග් කරණයට පිවිස ඇත්තේ 2004 සැප්තැම්බර් බව පැහැදිලි විය. එම බ්ලොග් අඩවියට අලුතෙන් ගොඩවන්නන් වෙනුවෙන් වෙනමම සටහනක් ඔහු තබා ඇත. එම කෙටි සටහන මෙසේයි
ෂෝන් අට්වුඩ්
දුෂ්ඨ ෂෙරිෆ් වරයෙකු වූ ජෝ ආපයියෝ විසින් පාළනය කරන ලද ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ, ෆීනික්ස් හී උපරිම රැකවරණය සහිතව පැවති මැඩිසන් මාවතේ සිරගෙදර  තත්වය නිරාවරණය කිරීමේ අදහසින් මා ජෝන්ස් ජේල් ජර්නල් ආරම්භ කලේ 2004 දීය. ගොල්ෆ් පැන්සලක් බ්ලොක්-ගල් බිත්තියේ හෝ යකඩ දොරෙහි ඌරච්චි කර උල් කරගෙන තැබූ සටහන් සතිඅන්තයේ මා බැලීමට පැමිණෙන මගේ නැන්දා වූ ඈන් හොර රහසේ සිපිරිගෙයින් පිටතට රැගෙන ගියාය. එංගලන්තයේ උන් මගේ දෙමව්පියන් මේ සටහන් අන්තර්ජාලයට එකතු කරන ලදී. එම බ්ලොගය ජාත්‍යන්තර මාධයන්හී අවධානය දිනා ගත අතර මැඩිසන් වීදියේ සිරගෙදර වසර කිහිපයකින් පසුව වසා දමන ලදී. 
එහි සිටි ෂෙරිෆ් ජෝ තවමත් මැරිකෝපා නමැති ප්‍රාන්ත සිරගෙවල් සහ පහසුකම් පද්දතියේ  ප්‍රධානියා වේ. ඔහුගේ විවේචකයන් ඔහු හඳුන්වන්නේ මරණයේ සුරදූතයා ලෙසය. ඒ ඔහු පාළනය කරනු ලබන සිර ගෙවල් වල සිදු වන අසාමාන්‍ය මරණ සංඛාව පමණක්
ෂෙරිෆ් ආර්පයියෝ
නිසා නොව, ඔහුගේ ගාඩ්වරුන් ඒ සඳහා පොළඹවන්නේ රැඳවියන් මරා දැමීම පිලිබඳ වගකීම ෆෙඩරල් උසාවිය දරනවා යන මතය ඔවුන්ට ඉඟි කරමිනි. 
මා එහි සිරගතව සිටි කාලයේ රැඳවියන් සිය ගණනක් බලා ගැනීම සඳහා ගාඩ් නිලධාරීන් දෙදෙනෙකු පමණක් යොදවා තිබූ අතර, ඔවුනට වඩා වැඩි පාළන බලයක් මෙක්සිකන් මාෆියාව වැනි  කල්ලි වලට තිබුණි. හිසවල් වැසිකිලි වල යකඩ දොරවල් වල ගසන හඬවල් මට පුරුදු වී තිබූ අතර එම ශරීරයන් එහා මෙහා විසි කරන හඬවල්ද සුලබ විය.

 එම සිරගෙදර ආරක්ෂක කැමරා වල සටහන්ව තිබූ එවැනි මරණයක් පිලිබඳ වීඩියෝවක් මෙම සටහනට පහලින් ඇත. 

ඔහු විසින් තබන ලද සටහන් තුනක් එහි උදෘත කොට ඇත. ඒ අතුරින් එහි තත්වය විස්තර වන නමුත් හිරිකිත බවින් අඩුම සටහන මා මෙසේ ඉදිරිපත් කරන්නම්

2004 ජුලි 13
 හදිසියෙන් එකපිට-එක එන ශෝකාන්තයන් මෙම සටහන තැබීමට මගේ සිත මට බල කර සිටී. පහුගිය සති අන්තයේ මා සිටින මහලේ සිරකරුවන් දෙදෙනක් සියදිවි හානිකර ගැනීමේට උත්සාහ ගන්නා ලදී. එක් අයෙක් බැල්කනියෙන් බිමට පනින ලද මුත් ජීවිතය හානි නොවීය.  අනෙකා ගෙල වැල ලා ගෙන මිය යාමට උත්සාහයක යෙදින.  එසේ තිබියදී මධ්‍ය-මට්ටමේ ආරක්ෂාවක් යටතේ පැවති කොටසක රැඳවියකු නාන කාමර ඇති පෙදෙසෙහි මිය ගොස් තිබුණි. සිරකරුවන් බොහෝවිට මෙම පෙදෙසෙහිදී පහරදීමට හේතුව, ආරක්ෂක කැමරා මගින් එය ආවරණය නොවන නිසාය. බලධාරීන් එම මියයාම පිලිබඳ හේතුව සඳහන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙහි පිටත උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 114 කි.  අපගේ හිරකූඩු වලට කාන්දු වන වායු දහරාවන් දැනෙන්නේ හෙයාර්ඩ්‍රයර් එකකින් එන උණුසුම් වායු දහරාවක් ලෙසය. දිවා - රාත්‍රී දෙකෙහිම අපගේ  ඇඟවල් දහදියෙන් පෙඟුණි. දහදියෙන් තෙත් වූ කඩදාසි මත ලිවීම අපහසුය. වැඩි දෙනෙකුට දැන් සමේ රෝග සහ දද සෑදී ඇති අතර ඒවා නිරන්තර කැසීමක් සිදු වේ. මගේ සිරුර දහදියෙන් පෙඟීම නිසා කසන විට නියපොතු අස්සේ සම් කැබලි එකතු වේ. මෙසේ දහඩිය වෑහීම සහ කැරපොත්තන් කරන යටිපතුල් කිචි කැවීම අතර නින්ද පහසු කාර්යයක් නොවේ. ඊයේ රාත්‍රියේ එක පසකට ඇලවී නිදා සිටි මගේ කණ දහදියෙන් පිරුණු විට මා හිස හැරවූ පසු දහදිය මුහුණ දිගේ ගලන්නට විය. මා ඇහැරුණේ තැතිගන්මකිනි. එය හරියට මගේ කම්මුල කිසිවකු අතගාන ලෙස දැනිණි. 
 වරක් මා ගාඩ්වරයකුගෙන් පරිපාළනය මේවාගෙන් ඉවත් වී සිටින්නේ කෙසේදැයි ඇසූ විට, ඔහුගේ පිළිතුර වුයේ "මෙහි සිදුවනදේ ගැන ලෝකයාට දැනුමක් නෑ" යන්නයි.
 ළමා කාලයේදී මා අපාය කෙසේදැයි සිතින් මවා ගතිමි.  එහි ඇති ගල්ගුහා වල ශාප ලද්දන් හිරවී ඇත, වදහිංසා පමුණුවා ඇති ඔවුන් පිච්චී ඇත. විස්තර කල නොහැකි උරගයින් එම ශරීර වල ඇදීයාම මා සිතින් මවා ගෙන ඇත. එහෙත් මා කිසිදිනක මිනිසුන්ගේ ද්වේශසහගත ස්වභාවය මිහිමත නැවත නිර්මාණය වේ යයි සිතින් මවාගෙන නැත. 
ඔහු ජෝන් නමින් මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ, සත්‍ය වශයෙන්ම්  අන්වර්ථ චරිතයක් වීමේ අවශ්‍යතාවකින් බව පැහැදිලිය. ලෝකයාට මේ තොරතුරු ලබා දෙන්නේ ඔහු යයි ඔවුන් දැන ගත්තානම්, වැඩිකලක් ජීවත් වීමට අවස්ථාව අහිමි වන්නට තිබුණි. ඔහුගේ සත්‍ය නාමය වන්නේ ෂෝන් අට්වූඩ් ය. සැබෑ අත්දැකීම් කැටිකොටගත් මෙම බ්ලොග් අඩවියට ගොඩ වන්නට ඔබටත් හැකියි. එහි ලිපිනය වන්නේ

http://jonsjailjournal.blogspot.com/

මානව හිමිකම් ගැන කථා කරන අය මේවා නොදකීද ?

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...