Friday, May 10, 2024

අඳුරු යුගයේ මතක සටහන් - 2 සඳහා ඌණ පූර්ණය (රුවන් අයියගේ රුවන් වැකි) ......

2012 වර්ෂයේ බ්ලොග්කරණයේ මධුසමය ගතකල කාලයේ, එක හැල්මේ බ්ලොග් සටහන් පළකරමින් ගිය ගමන මදක් අඩාල වුපසු, මෙසේ පසුව සම්පූර්ණ කරණ පොරොන්දුවට කල් දැමූ සටහන් කිහිපයක්ම ඇතිබව පසක් වන්නේ අදාළ සිද්දි වලට පාදක වූ පුද්ගලයින් පසුව හමු වූ විටදී, එකතු කරගන්න වට්ස්ඇප් ගනුදෙනුවට එවැනි සටහන් එකතු  කරන විටය. පසුගිය හතරවෙනිදාල්ට කල් ගිය අපගේ බිග් මැච්(බිග් මැච් නොහොත් මහා තරග) සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ මාර්තු මාසයේ වුවද, විවිධ හේතුන් මත එය මැයි මාසයට කල් ගොස් තිබේ. අප වැන්නන්ට එවැනි දේ ප්‍රශ්ණ නොවුවත්,එම සම්ප්‍රදාය බිඳීම ගැන විවිධ විවේචන එල්ල කිරීම සාමන්‍යය. නමුත් දෙයක් විව්චනය කරනවට වඩා ඒවා මහපොළොවේ යථාර්ථයන් කිරීම තුළ තිබෙන අභියෝග දන්නේ ඒවාට මුහුණ දුන් අයයි. මෙම සටහන ඒවා ගැන කථා කිරීමට නොව, මා අතීතයේ මුහුණ දුන් අත්දැකීමක් ඔබ හා බෙදා ගැනීමේ අභිප්‍රායෙන් කරන ක්‍රියාවකි.

හරිනම් මෙම සටහන ලියවිය යුත්ත්තේ 2012 වසර තුළදීමය. නමුත් එකළ බ්ලොග් සටහන් සඳහා Trending මාතෘකා තෝරාගත යුතුව තිබිණි. මන්ද සිංහල බ්ලොගර්ස් බ්ලොග් සින්ඩිකේටරයේ කෙනෙකු තබන ලද බ්ලොග් සටහනක් පිලිබඳ සාරාංශය පැය කිහිපයක අවෑමෙන් එහි පළමු පිටුවෙන් පහළට යන තරමට එකළ බ්ලොග් කරුවන්ද, බ්ලොග් සටහන්ද වැහිවහැලා තිබුණු යුගයක් වූ බැවිණි. අප වැනි සුහුබුලන් අතර මහාචාර්ය නලීන් ද සිල්වා වැනි මහා චරිත පවා බ්ලොග් ලිවූ යුගයක මේ සුළි කුණාටුවේ නැගී සිටින්නට හදන පුංචි පැල මෙන් අපද එහි එල්ලී සිටිය යුතු විය. කෙසේ හෝ 2019 වනතෙක්ම සක්‍රීයව එම ක්‍රියාවේ යෙදුනද, ලැප්ටොප් භාවිතය අතහැර ජංගම දුරකථනයට සියල්ල කරන කාලයක් නිසා, මෙය කෙමෙන් ඇල්මැරුණු ස්වභාවයකට පත්වී පසුව ෆේස්බුක් වහලෙකු බවට පත් වුයේ, ප්‍රබල හේතු සාධක බොහොමයක් නිසාය. අද බ්ලොග් ලියු බොහෝදෙනා ෆේස්බුක් පිටු අටවාගෙන ඒ හරහා ලිවීමට පෙළඹී ඇත්තේ එහි සිටින පරිශීලකයින් ගණන ඉහළ මට්ටමක තිබෙන නිසාය. වෙගයනේ ජනප්‍රිය විය හැකි නිසාය. කළෙක මා මේ මාධ්‍ය දෙකෙන්ම සටහන් පලකළ නමුදු පසුව එය අත්හැර දැමීමට සිදු වුයේ කාර්ය බහුලත්වය නිසාමය.

තවත් කිවයුතු දෙයක් ඇත. ඒ නම් ඔබ කරමින් සිටින දෙයක් අත්හැරියහොත් නැවත එම උනන්දුවෙන්ම එය සිදුකල නොහැකිය. මා මේ කියන දේ සියළු දෙනාට අදාළ නොවේ. මා වැන්නන්ට එසේමය. හිතන්න ඔබ ආහාර ගනිමින් සිටින විට ඔබට දුරකථන ඇමතුමක් ලැබෙනවා යයි කියා. ඔබගේ ආහාරයට ඔබ බාධා කරගනිමින් එයට උත්තර දෙනවා යනුවෙන් අදහස් කරන්නේ, ඔබගන්නා ආහාරයට වඩා වැදගත් කමක් හෝ රසවත් කමක් ඔබට ලැබෙන දුරකථන ඇමතුමේ තිබේ. එසේ ඔබගේ ආහාරය ඔබ මගින් නවතා දුරකථනයට සවන් දුන්නොත් නැවත එම උනන්දුවෙන්ම ඔබට ආහාරය සම්පුඋර්ණ කිරීමට නොහැකිය. එයින් අදහස් වෙන්නේ, ඔබ එක දිගට ආහාර වේල ගෙන අවසන් කිරීම හා සමානව මෙසේ බාධා සිදුවී දෙකෙනට බෙදා ගත් ආහාර වේලේ රසය නැත. ඔබගේ හිත පිරෙන්නේ නැත. ඔබේ නින්දට බාධා සිදු වුවහොත් සිදු වන්නේද එයමයි. ඉහින් ෆේස්බුක් ලිවිම හරහා අපගේ බ්ලොග් ලිවිල්ලට සිදු වුවේද එයයි. බ්ලොග් ලියන කාළයේ මා කළ එක් ආඥ්ඥාණ කමක් වන්නේ, එහි සිටි සියල්ලන් මගේ ෆේස්බුක් ගිණුම හරහා එකතු කර නොගැනීමයි. ඒ වෙනුවට වෙනම ෆේස්බුක් ගිණුමකින් ඔවුන් එක්කාසු කර ගත් නමුදු,  අද ඒ බොහෝ දෙනාද ඔවුන්ගේ නියම ගිණුම් වලින් ෆේස්බුක් පරිශීලනනය කරන නිසා, අප දෙගොල්ලාම අතරමං වී තිබේ. නමුත් ඉඳහිට මේ මෙතුර අහම්බෙන්, ගැහැට ගහක් මොරටුවේ හමුවූවා සේ හමු වේ.  එය වෙනමම කතාවකි.  මේ යන්නේ පඳුරු තැලිල්ලකි. 

අඳුරු යුගයේ මතකසටහන් 2 කොටස මා අවසන් කළේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මාහට ලබාදුන් දේශණය ඔබ හමුවට ගෙන ඒමේ පොරොන්දුවෙනි. මෙසේ වසර 12කට පසුව නින්දෙන් ඇහැරුණා වගේ, එය ලියන්නට යන්නේ අහවල් අමාරුවක් නිසාද යන්න ඔබේ හිතේ මේ මොහොතේ පැනනගින ප්‍රශ්නය බව මම දනිමි. නමුත් ඒවා එසේ වන්නේ හීනයකින් හෝ අදාළ කතානායකයා හමුවුවහොත්ය. නමුත් මේ කියන ප්‍රධාන ශිෂ්‍ය නායකයා හමුවීම සත්‍යයෙන්ම සිදු විය. ඒ අපගේ පාසල් සාමය අවසන්වී අවරුදු 26කට හෝ ආසන්න කාලයකට පසුවය. පාසලේ දහස් ගණනක් සිසුන් අතරින් ඔහුත් මමත් පුද්ගලික හැඳුනුම් කමක් පවත්වාගන්නට නම් ඔහුට හෝ මට යම් විශේෂයක් තිබිය යුතුය. සත්තකින්ම අප දෙදෙනාට එසේ විශේෂ මිත්‍රත්වයක් පැවැත්වීමට හේතුවක් නොවීය. 89-89 අඳුරු යුගයේ අවසන් වූ මගේ පාසල් ගමන නිසා යලිත් පාසල් මිතුරන් හා සබඳතාවය ඇතිවන්නේ, මේ අන්තර්ජාල පහසුකම ලැබීමත් සමගය. ඒ සමාජ මාධ්‍ය නිසාය. ඒවා සිදු වූ ආකාරය වෙනමම කථා කළහැකි මාතෘකාය. 

මා කළුතර මහා විද්‍යාලයට ඇතුලත් වුයේ, උසස්පෙළ හැදෑරීම සඳහාය. ඒ මා එතෙක් අධ්‍යාපනය කළ, විනය සඳහා මහත් ප්‍රසිද්ධියක් ඉසිලු කළුතර ඥානෝදය මහා විද්‍යාලය හැරපියා පැමිනෙමිනි. අප වැන්නන් පාසැල හැර යනවාට කිසිදු ගුරුබවතෙකු අකමැති වූ බවද කිව යුතුය. නමුත් එක්තරා විදියක බුද්ධි ගලනයක් වූ මේ ක්‍රියාවලිය නැවත්වීමට නම් පාසලේ විද්‍යා අංශ ආරම්භ කලයුතුය. එවකට එහි තිබුණේ වානිජ්‍ය සහ කළා අංශ පමණක් වීම, මෙසේ ප්‍රියයන්ගෙන් වෙන් වී වෙනත් තැනකට ආධුනිකයන් වීමට සිදුවීමකි. එය හරියට යුදෙවුවන් ගාසා තීරයට පලවා හැරීමේ අත්දැකීමට සමානය. එයින් පසු එක්කෝ අපි ඊශ්‍රායලය වගේ වැඩ පෙන්වා ඉහලට ආ යුතුය. නැතිනම් බටහිර රටවලට ගිය අපේ අයමෙන් ඉඳීය යුතුය. අපට සිදු වුයේ මේ දෙකෙන් දෙවැන්න බව කණගාටුවෙන් වුවද කිව යුතුය. විද්‍යාලයට(කළුතර අය විද්‍යාලය කියන්නේ කළුතර විද්‍යාලයට වන අතර බාලිකාව කියන්නේ කළුතර බාලිකාවට වන සේම, කොලේජ් කියන්නේ හොලික්‍රොස් කොලේජ් එකටය, කොන්වන්ට් කියන්නේ හොලි ෆැමිලි කොන්වන්ට් එකටය. නැතිනම් මෙය කියවන වෙනත් ප්‍රදේශ වල අය අන්ද මන්ද වනු ඇත) ගිය පසු අපට මුළින්ම ලැබුණේ රැග් එකය. මාහට එය ලැබුණේ ක්‍රිකට් කණ්ඩායමේ අයගෙන්ය. ඒ අයගේ නම් මා හොඳින් දැන සිටීම ඔවුන්ට ආශ්වාදජනක අත්දැකීමක් බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනිණි. ඒ මා ක්‍රිකට් පිලිබඳ දැක්වූ ඇල්ම නිසාමය. මා කළුතර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඕනෑම තරගයක් දිහා බලාගෙන සිටීමේ පුරුද්ද නිසාය. මගේ මේ උනන්දුව කෙසේද යත් මා කළුතර පී සී සී සහ ටවුන් ක්ලබ් ක්‍රීඩකයින්ව වෙන වෙනම හඳුනාගෙන තිබීමට තරම්ය. එකළ ජාතික කණ්ඩායමේ සියල්ලද, ආනන්ද-නාලන්ද, රෝයල් - තෝමියන්, රිච්මන් - මහින්ද, ඉසිපතන - තර්ස්ටන් ආදී තරග ගුවන්විදුලියෙන් ඇසීම නිසා මතකයේ බොහෝනම් ඇත. පසුකාලයන්හි ඔවුන් හමු වූ විට මා එසේ පවසා ඇත. බන්දුල වර්ණපුර,  දීපාල් මදුරප්පෙරුම, අතුල සමරසේකර, චමින්ද මෙන්ඩිස්(ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ),  ඉන් කිහිප දෙනෙකි. 

විද්‍යාලයේ ගුරුමණ්ඩලය ඥාණෝදයෙන් පැමිණෙන්නට කැමතිය. ඒ දක්ෂ කීකරු, හොඳ විනයක් සහිත අය බැවිණි. අපහට රසායන විද්‍යාව ඉගැන්වූ සොයිස මිස් එය මා හා කෙළින්ම පවසා ඇත. ඒ පසුගිය වසරේදී පැමිණි සුමංගල අයියා ගැන පවසමිණි. මාද ඔහුට බොහෙසෙයින් සමානය කෙනෙකු බව මා කියන්නට ගියේ නැත. ඇත්තටම අප දෙදෙනා එක වගේමය. දක්ෂතා අතින් වෙනස් නමුදු හැසිරීමෙන් සහ විනයෙන් එක වගේය. අප දෙදෙනා හඳුණන එය එය සහතික කරනු ඇත. නමුත් පිටින් ආ මා අධ්‍යාපනයට දස්කම් දක්වන විට එය ඇසේ කටු අනින්නා සේ වූ අයද සිටින ලදී. එය සිදු වුයේ පළමු වාර පරීක්ෂණයෙන් පසුවය. ඒ ගණිත ප්‍රශ්න පත්‍ර වලට මා සහතවත් පිටින් පැමිණි අයෙකු වූ දිමුත් ලකුණු ලබාගැනීමත් සමගය. මේ වනවිට බ්‍රයිටන් සේ සිටිය අයට අනෙක් අය යම් කෝචෝක් එකක් දැම්මාදැයි තවමත් නොදනිමි. පිළිතුරු ලෙස දෙවන වාරය පටන් ගත් සැණින් මගේ බෞතික විද්‍යා, ග්‍රාෆ් පොත නැතිවිය. එය මා සාදා ගත්තේ, තාත්තා ගෙනැවිත් දුන්, ඉතිරි විභාග ග්‍රාෆ් කොළ එක්කර පොතක් සේ බැඳ ගැනීමෙනි. එයින් මා කම්පා වූ තරම දන්නේ මා පමණකි. මෙසේ ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනා ගන්නා ගමන් පන්තියේ සෙසු අයද කෙමෙන් මාහට ආකර්ෂණය විය. ඒ උදෑසන කැඩෙටින් පුහුණුවීම් වලට ගොස් එන අය සඳහා මා කුප්පිය දැමීමත් සමගය. පන්තියේ බ්‍රයිටන් වූ අනෙක් අය සමාජ මට්ටමින් ඔවුන්ට වඩා තැනක සිටි, ඉංග්‍රීසි ගීත ඇසීම  සහ පොෂ් වැඩ කළ පිරිසක්   වූ බැවින්, ඔවුන්ට මේ එයට පහළ සමාජ මට්ටම් වල අය සමා පයුරු පාසානමක් නොතිබීම නිසාය. ඒ වෙනුවට කොමර්ස් සහ ආර්ට්ස් ක්ලාස් වල සහ ඉහළ සහ පහළ පංති වල සිටින ඔවුන්ගේ පන්නයේ අය සමග විවේකය ගත කිරීම නිසාය. මෙසේ මගේ කුප්පිය නිසා මා හල කුළුපග වූ විපුල මුණසිංහ(නාවික හමුදාවේ ඉහළ නිලයක් දරන බව දැනගන්නට ලැබිණි). රුවන් ගුණසේකර(පොලිස් පරීක්ෂක වරයෙකි) සහ මගේ මිත්‍ර ජයවික්‍රම(ඔහුද මා මෙන් උසස් පෙළට මගේ ගම් පළාතේ සිට පැමිණියෙකි), උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු වූ දයාරත්න(ඉතා හිත හොඳ කල්‍යාණ මිත්‍රයයෙකි), සිල්මන් ආදී අය එක් විය. ඔවුන් බොහෝදෙනා රැගෙන එන ටියුට් ගණන් මා විසඳා දුන්විට, මේ මිත්‍ර බැඳීම් තවත් තරවිය. 

නමුත් ටික කාලයක් ගතවනවිට ඔවුන් සියල්ලගෙන් නික්මී තනිවම පන්තියේ ඉගෙන ගැනීමට නොහැකි විය. පාසැල කට් කර කොළඹ රිවිෂන් පංති ගිය බොහෝ දෙනෙකු විය. ඒ රාජා අල්විස්, ග්‍රේරෝ වැනි ගුරුවරුන්ගේ පන්ති සඳහාය. මා එසේ නොගිය අතලොස්සගෙන් කෙනෙකි. මාහට එසේ එක්වන්නට බොහෝ ඉල්ලීම් ලැබුනද, මගේ දෙමවුපියන්ගේ ආර්ථික තත්වය ගැන අවබෝධයෙන් පසුවූ මාහට ගමේ සහ කළුතර පංති තුනකින් සෑහීමකට පත්වීමට සිදු විය. අතරින් පතර කිසිවෙකු නොපැමිණි දිනක රසායන හෝ භෞතික විද්‍යා ගුරුවරුන්ගේ අවසරයෙන් තනිවම ප්‍රායෝගික පරීක්ෂණ කලෙමි. වරක් මා එසේ තනිවම පරීක්ෂණයක් සිදු කරන මොහොතක, සාමාන්‍ය පෙළ සිසුන්ට ගුරුතුමිය ඔවුන්ට නියමිත ප්‍රායෝගික පරීක්ෂණය උගන්වමින් සිටින අතරතුර විදුහල්පති තුමා, ගුරුතුමිය වූ සකුන්තලා මහත්මියගෙන් යමක් විමසීමට පැමිණ, මාගැන විමසන අයුරු මට පෙනිණි. මා බිරන්තට්ටු වී සිටියේ, මා විද්‍යාගාරයෙන් එලියට දමාවියැයි බියෙනි. තවත් මොහොතින් ජයසේන සර්ද, කොහේ හෝ සිට පැමිණියේය. ඔහුද විද්‍යා ගුරුවරයෙකි. ඒ වගේම සොබාදහම් සිසු හවුල නමැති පරිසර සංවිධානයක්ද අධ්‍යාපනයට පරිභාහිරව කරගෙන ආ අයෙකි. පාසලේ පරිපාලනයටද ඔහු බලපෑමක් කළ අයෙකි. පසුව විදුහල්පති තුමා ඇතුළු මේ ගුරුවරුන් එක්වී, මා ආදර්ශයට ගන්නා ලෙස එම සිසුන්ට අවවාද කරනු ලැබිණි. නමුත් පසුව මේ ව්‍යායාමය මා අත්හැර දැම්මේ පංතියේ අයට ආරංචි වුවහොත් එය වෙනත් ගැටලුවකට මුල වනු ඇති නිසාය.දිනක් අප පන්තියට පෙනෙන මානයේම තණකොළ බිස්සකට වී පංති කට් කරන අපට මහ හඬින් ඇමතු සිල්මන්, මට පන්තියට කථා කළේය. "උඹ ඕකුන් එක්ක හිටියට, ඉස්සර උඹ ඉගෙනගන්නවට අකමැත්තෙන් හිටියේ ඕකුන් තමයි, මෙන්න මෙහෙ වරෙන් පන්තියට" යනුවෙන් යකා සේ මාහට පැවසු මුත්, මා පන්තියට ගියේ නැත. පසුකාලීනව,  ඉහළ පන්තියේ ඇයගේ ගණිත ගැටළු විසඳීමට මා කැඳවාගෙන යෑමට, රමේෂ් අයියා, ප්‍රසන්න අයියා, දෙල්පචිත්‍ර  අයියා ඇතුළු කිහිප දෙනෙක් ඉදිරිපත් විය. මෙසේ මා ජනප්‍රිය වීම තුළ, අපට ඉහළ බයෝ පන්තියේ සිටි රුවන් සිල්වා ප්‍රධාන ශිෂ්‍ය නාකයාද මා ගැන යමක් වටහාගෙන සිටි බව මට පැහැදිලි වුයේ, ඔහු හමුවූ විට දක්වන ප්‍රසන්න පෙනුම නිසාය.

රුවන් සිල්වා යනු පාසලේම ජනප්‍රිය, ඒ වගේම සියලු සිසුන් අවනත, ගුරුවරයෙකු තරම්ම අවවාද අනුශාසනා කළහැකි මුහුකුරා ගිය දක්ෂ නායකයෙකි. එසේ නොවන්නට සමස්ත ලංකා කැඩෙට් බලකායේ ආර්.එස්.එම්. නිලයට යාමට ඔහුට නොහැකිය. එකළ කළුතර මහා විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායම පළමු, හෝ දෙවන තැනට පත්වන මට්ටමට එය ඔසවා තැබීමේ එක් ස්ථම්භයක් ලෙස ඔහු නම් කළ හැකිය. මේ පොස්ට් එක සඳහා මා ඔහුගෙන් ඡායාරුපයක් ඉල්ලා සිටියේ දවස කිහිපයකට පෙරය. ඔහු එය මා වෙත ඒවා තිබුණේ අද දවසේය. මා මේ පොස්ට් එක ලියන්නට මත්තෙන් ඔහු හා දුරකථන සංවාදයක යෙදිණි. මා සිතා සිටියේ ඔහු හමුදාව ඔස්සේ ඉදිරියට යන්නට ඇතිය කියාය. අපේ ගමේ හිතවතෙකු වූ පියල් වීරසේකර මා හා පවසා සිටියේ ආර්. එස්. එම්. කෙනෙකුට හමුදාවට බැඳෙද්දී ඉහළ නිලයක් ස්වයංක්‍රීයවම හිමිවන බවය. ඒ ඔහු බෙන්තොට ගාමිණී විද්‍යාලයේ පී.ටී.අයි. ලෙස සහ කැඩෙට් බලකාය පුහුනුකරවන්නා ලෙසය. මා කැඩෙට්ගැන කළ අධයනයක්ද මේ මොහොතේ සිහියට නැගේ. කැඩෙටින් වලට හොඳ පාසැලකට එයට වඩා අඩු දස්කම් දක්වන පාසැලකින් ශිෂ්‍යයෙකු පැමිණියහොත්, ඔහු විගසින් දක්ෂ පාසලේ මට්ටමට දියුණු වන අතර, අදක්ෂ පාසැලකට දක්ෂ පාසැලක සිසුවෙකු ගියහොත්, විගසින් ඔහු ඒ පාසලේ මට්ටමට පහතට වැටේ. මෙම පාසැල් දෙකේම කැඩෙටින් දෙස බලා මේ කියන උදාහරණ දෙකක්ද දුටු නිසා මා ඒ නිරීක්ෂණය තදින් මතකයේ තබාගෙන තිබේ. මෙය වෙනත් කාර්යයන් උදෙසාද සත්‍ය වේ. රුවන් අයියා දයාරත්නගේද කුළුපග මිතුරෙකු නිසා ඔහු මා කෙරෙහිද යම් ප්‍රසාදයක් දැක්වීය. ඔහු කොහොමත් පාසැල් මට්ටම ඉක්මවා ගිය මුහුකුරා ගිය වැඩිහිටියෙකුගේ දැක්මක් සහිත නායකත්වයේ ලක්ෂණ උපතින් දරාගෙන පැමිණියෙක් බව මට වැටහේ. මේ සටහනට පෙර මා දයාරත්න සමග දුරකථන සංවාදයක යෙදුනේ රුවන් අයියා ගැන වැඩි යමක් දැනගන්නටය. නිදහස් උත්සවය කළුතර කටුකුරුන්දේ පැවති වසරේ, මාච් එකකට අපගේ පාසැල තොරාගන තිබිණි. එහිදී ඔහු මාච් කරනු දුටු බන්දු කන්නන්ගර(මාගේ ඥාතියෙකි) පී.ටී.අයි ගුරුවරයා, පවසා ඇත්තේ, මේකා කවදා හෝ ඉහළ තැනකට යනවා ඇත යන්නයි. එය පසුකාලීනව සත්‍ය වුයේ, ඔහු කැ



ඩෙටින් වලින් සී.එස්.එම්. සහ ආර්.එස්.එම්. නිලයන්ට උසස් වීමෙනි.

බැනරය ඇඳි දිනයේ රුවන් අයියා පාසලේ සිටියේ නැත. පසුදින මා ජයසේන සර්ගේ කාමරයේදී හමු වූ විට, මා පසෙකට කරගෙන රුවන් අයියා රුවන් වැකි කිහිපයක් පැවසීය. අදටත් ගලක කෙටු අකුරු මෙන් ඒවා මාගේ සිතෙහි සටහන්ව තිබේ.

"ඔයා දන්නවද මල්ලි, මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ සියට අනූගානක් දෙනාට මොකක් හරි මානසික රෝගයක් තියෙනවලු. ඒවා ලොකුවට නැති වුණත්, යම් ප්‍රමාණයකට තියෙනවා. ඉතිං මේ ඉස්කෝලෙත් ඒ වගේ තමයි. එක එක ජාතියේ මානසික ලෙඩ්ඩු ඉන්නවා. ඔයාට තේරිලත් ඇති. ඔයා ඒ වගේ කෙනෙක් නෙවෙයි. ඔයාට හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. මං හිතනවා ඔයා එවා තේරුම් අරගෙන, ඔයාගේ වැඩටික කරගෙන, ඔය මානසික ලෙඩ්ඩුන්ගේ, එක-එක වැඩ වලට පැටලෙන්නේ නැතිව ඉස්සරහට යයි කියළා"

ඇත්තටම 88-89 කාළයේ බැනර්, පෝස්ටර්, කටවුට් අඳින්න හැකියාව තියෙනවා කියන්නේ මරණ සහතික ලියාගෙන ඉන්නවා වගේ වැඩක්. මොකද සහෝදර වරුන් දැනගත්තා කියන්නේ, මා කෙසේ හෝ ඔවුන්ගේ ග්‍රහණයට නතු වෙනවා කියන එක. ඒ වගේම රජයේ විනාශකාරී පිරිස දැනගත්තා කියන්නේ, ටයර් සෑයට වීසා ගැනීමක් වගේ දෙයක්. මට තරවටු කරනවා වෙනුවට, ඉතා සෞම්‍යව මේ දේ මා හට පැවසීම, ඔහුගේ මුහුකුරා ගිය බව අවබෝධ කරගන්නට කදිම සාක්ෂියකි. මා ඔහුට සලකන්නේ ඉෂ්ඨ දේවතාවෙකුට දක්වන ගෞරවයෙනි. මන්ද ඔහු මා ඒ මොහොතේ හරිමගට ගත් පුද්ගලයා නිසාය. එසේ නොවන්නට මගේ ඉරණම වෙනත් ආකාරයකින් ලියවෙන්නට තිබුණු.

ඔහුගේ පියාගේ දැඩි විරෝධය නිසා ඔහුගේ ගුවන් හමුදා සිහිනය බොඳවී ඇතිබව මා ඇද ඔහු සමග කළ සංවාදයේදී දැනගන්නට ලැබිණි. නමුත් ඔහු තෝරාගත් ගාමන්ට් අංශයේ කර්මාන්ත ශාලා කළමනාකරුවෙකු මට්ටම දක්වා ඔහු ගොස් ඇතිබව දැනගන්නට ලැබීම සොමනසට හේතුවකි. නමුත් මගේ හිතට නම් එය මදිය. මට විවිධ මිනිසුන් ලක්ෂ ගණනක් මුණගැසී ඇතිමුත්, ඔහුගේ ඇති නායකත්ව ලක්ෂණය සපිරි අයෙක් හමුවුවානම් කලාතුරකිනි. නමුත් අද අප සිටින තැන් අපගේ දෛවයේ ලියවී තිබු ඒවාය. ඔහු හොඳින් සිටීමම සතුටට කරුණකි. 

මගේ බ්ලොග් මිතුරන් බ්ලොග් නොලියනවා කියා නගන නොක්කාඩුවට මෙසේ කදිම පිළිතුරක් දෙන්නට ලැබීම සතුටකි.


Tuesday, January 23, 2024

වාර 100 චාර්ජ් නොකර භාවිතා කළහැකි බැටරියක් ...... Mobile bataery that could be used without charging 100 times

 චීනයේ බීටාවෝල්ට් නැමැති ආරම්භක ව්‍යවසාය සමාගමක් පැතලි න්‍යෂ්ඨික බැටරියක් නිශ්පාදනය කරන්නට සමත් වී ඇති අතර එය ආරෝපණය(චාජ්) කිරීමකින් තොරව වසර 50ක පමණ කාලයක් භාවිතා කලහැකිය. ධල වශයෙන් කුඩා කාසියක් තරම් වූ ප්‍රමාණයකින් යුත් මෙම බැටරියක් වන BV100 භාවිතා කරන්නේ එහි අලවා ඇති අර්ධ සන්නායක කෘතිම දියමන්ති ඒක පඨික තට්ටුවක් හා නිකල් ලෝහ ටේප් පටියක් අතර සිදුවන ක්ෂය වීම පදනම් කරගෙන ඇතිවන විකිරණ ශක්තිය ඔස්සේ බලය ජනනය කරයි. බීටාවෝල්ට් ආයහනය පවසන්නේ තමන් සතු තාක්ෂණය ඇමරිකාව හෝ යුරෝපයේ පර්‍යේෂකයන් යොදාගෙන ඇති තාක්ෂණයන්ට වඩා ප්‍රබල බවයි.


BV100 බැටරියක් මෙගා වොට් පැය 3300 ධාරිතාවකින් යුක්ත වන අතර එය සාම්ප්‍රදායික ලිතියම් අයන් බැටරියක් මෙන් 10 ගුණයක ශක්ති ධාරිතාවකින් යුක්ත බව පැවසේ. මිලි මීටර 15x15x15 ප්‍රමාණයේ බැටරියක් මයික්‍රෝවොට් 100ක ශක්තියකින් වෝල්ට් 3ක බලයක් ලබා දෙයි. තවමත් ජංගම දුරකථන හෝ ලැප්ටොප් සඳහා භාවිතා නොකලත්, ඒ සඳහා සමාන්තරගතව හෝ ශ්‍රේණිගතව යොදාගැනීමේ හැකියාවක් පවතින බව සඳහන් කරයි. 

කාරණා කිහිපයක් නොවන්නට, හෘදස්පන්දනය ක්‍රමවත්ව පවත්වා ගැනීමට යොදාගන්නා පේස්මේකර් වැනි යන්ත්‍ර සඳහාද මෙම බැටරිය කිරීමේ හැකියාව අධ්‍යනය කරමින් පසුවන බවද සඳන් කරයි. මෙම සමාගම අවධාරණය කරන්න්නේ පිටස්තර උත්තේජනයන්ට ප්‍රතිචාර දැක්වීමක් නිසා එය ගිනිගැනීම හෝ පිපිරීමක් සිදු නොවන බවයි. දැනට න්‍යෂ්ඨික බැටරි භාවිතා කරන්නේ අභ්‍යාවකාශ ඉංජිනේරු කටයුතු සඳහා පමණක් වන අතර බීටාවෝල්ට් සමාගම එය සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා යොදාගැනීමට අධ්‍යනය කරමින් සිටී.

BV100 තවමත් පවතින්නේ නියාමක අවධියක වන අතර නුදුරේදී එය විශාල පරිමානයෙන් නිශ්පාදනය සඳහා සැලසුම් කර ඇත. වඩාත් ශක්තියකින් යුත් බැටරියක් සඳහා පර්‍යේෂණ බීටාවෝල්ට් ඉලක්ක කරගෙන ඇතිබව පවසන අතර ඒ සඳහා යොදාගතහැකි ආදේශකයන් අත්හදා බළමින් සිටින බවද පවසයි. 2025 වසරේදී වොට් 1ක බලයකින් යුත් බැටරියක් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද, ඒවා එක් වරක් පමණල් චාජ් කරන ජංගම දුරකථන බැටරි ලෙසද, අඛන්ඩව පියාසර කරන ඩ්‍රෝන යානා සඳහාද භාවිතා කිරීම සඳහා නියාමන අධිකාරී අවසරය ලැබෙනතුරු පසුවේ.

Saturday, January 13, 2024

නන්දා මාලනී, සමන්ලතා සහ අංජලී……

ගිය සෙනසුරාදා රාත්‍රියේදි විදිල්ලක් කෙටුවා වගේ ක්ෂණයකින් මගේ මතකය එකපාරටම 1984 වර්ෂයේ එක්තරා දිනයක් වෙත ඇදී ගියා. මේ වනවිට පාසැල් ශිෂ්‍ය/ශිෂ්‍යාවන් 40කට ආසන්න පිරිසකගෙන් සමන්විත අපේ පන්තිය, කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ පැරණි වලවු ගොඩනැගිල්ලේ නැගෙනහිර කෙලවරේ අඳුරු කාමරයක පිහිටලා තිබුණේ.  9 වසරේදී සියළුම දක්ෂ සිසු සිසුවියන් එකම පන්තියකට එක්කාසු කරපු වෑයම සාර්ථක නොවුනේ, මේ දක්ෂයින් පිරිස තවත්

දෙයකට අධ්‍යාපනයට වඩා නිපුණතාවක් දක්වපු නිසා. ඒ කච-කචේට. ඉක්මනට වැඩ අවසන් කරන මේ සෙට් එක කෑගහන්න පටන් ගන්නවා. ඔය නිසා කඩිමුඩියේම 10 වසරෙදී අපිව නැවතත් පන්ති 3කට බෙදා වෙන් කරනවා මිශ්‍රව. ඒ කියන්නේ එක පන්තියක සියළුම තරාතිරම් වල අය එකට ඉන්නවා. දක්ෂ-අදක්ෂ, ලස්සන-අවලස්සන, දුප්පත්-පෝසත්, දුර-ළඟ මෙකී නොකී මොනම නිර්ණායකයකින් මැන්නත්, ඒවාට ගැලපෙන උදවිය අපේ පන්තියේ හිටියා. අනෙක් පන්ති වලත් ඒ විදියටම බෙදිලා තිබුණා. කන්නන්ගර නැමති, ඒ කාළයේ ප්‍රදේශයේ නම්දැරූ විදුහල්පති ගුරුපියා නායකත්වය දුන් මේ පාසැලේ දැඩි විනය නීති ක්‍රියාත්මක වුණා. පාසැල් ප්‍රේමය කියන දේ මේ කාලයේ නව යොවුන් වියේ පසු වූ අපට සිහිනයක්ම පමණක් වූවා. නමුත් මා මේ කියන්නට යන කථාව එයට සම්බන්ධ වූවක් නොවෙයි. 

දිනක් අපේ සිංහල ගුරුතුමා නිවාඩු ලබාගෙන තිබුණා. එවැනි දිනයන්හී

විදුහල්පති තුමා පන්ති වලට පැමිණීම සාමන්‍ය දෙයක් බවට පත් වී තිබුණා. මෙය බොහොම භයංකාර අත්දැකීමක් ලෙස කවුරුත් සැලකුවා.  මට එය තවත් අවිනිශ්චිත කාරණාවක් වූයේ එවැනි අවස්ථා වල එතුමා

මගේ දැනුම පරීක්ෂා කිරීමට ඉදිරිපත් වන නිසා. බොහෝ අය වේවැල් පහරට මුහුණ දුන්නත් මාහට එය අකැප වූවක් සේ මවිසින්ම සම්බාධක පනවාගෙන තිබුණා. හේතුව කෙටිකලකට මෙම පාසැලේම උප විදුහල්පතිවරයෙකු ලෙස කෙටි කාලයක් සේවය කල තවත් කන්නන්ගර කෙනෙකු වු මගේ පියාගේ ගෞරවය රැකීම. මින්පෙර පැමිණි සෑම අවස්ථාවකම ඒ ගෞරවය රැක ගැනීමට සමත් වුවා. සමහර දිනක මගේ රචනාවකට පැසසුම් පවා හිමි වූවා. ප්‍රින්සිපල් සර් මාව අල්ලාගන්න එක අනෙක් අයට බොහෝ සතුට දනවන කාරණයක් වූයේ, ඔවුන්ට එවැනි අවස්ථාවන් නොලැබීමට එය හේතු වූ නිසා. මන්ද යම් වරදක් සිදු වූ මොහොතක එයට වේවැල් පහර හිමිවීමට හේතුවන නිසා.  මේ කියන දිනයේදීද ප්‍රින්සිපල් සර් පන්තියට බලාපොරොත්තු වූ අයුරින්ම ගොඩවුණා. එදින එතුමා අප හමුවේ පුදුමය උපදවන ප්‍රශ්නයක්  තැබුවා.  ඒ යස ඉසුරු චිත්‍රපටය නැරඹූ අය අත් ඉහළට ඔසවන ලෙසට. කිසිවෙකුට අත් ඔසවන්න තරම් ධෛර්‍යයක් තිබුණේ නෑ. මදක් වටපිට බෑලූ එතුමාගේ ඊළඟ පැණය වූයේ, "ඒ චිත්‍රපටියේ තියෙනවා නන්දා මාලනී මහත්මිය කියන ලස්සන සිංදුවක්, කාටහරි ඒක කියන්න පුළුවන්ද ? " මේ ප්‍රශ්නයෙන් වික්ෂිප්ත වූ අප එකිනෙකාගේ මුහුණ දෙස බළන්නට වුණා. නමුත් ඒ අවස්ථාවේ නැගී සිටියේ මෙයට මිනිත්තු කිහිපයකට පෙර අතුව ගිණි අවුවේ නෙට්බෝල් පුහුණුව අවසන්කර මෙහි පැමිණි සමන්ලතා. ඇය වෙනත් දිනයකනම්  තුන්කොණින් දහඩිය පෙරාගෙන පොතකින් පවන් සලනා ගමන් ඉන්නා වේලාවකයි එතුමා මෙහි පැමිණියේ. 

අප සියළුදෙනා පුදුමයටත්, නිශ්ෂබ්දතාවයටත් පත්කරමින් 


"අම්මාවරුනේ - අම්මාවරුනේ

සම්මා සම්බුදු අම්මාවරුනේ

දරුවන්ගේ දුක් කඳුළු දකිනදා

සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා"


යනුවෙන් වූ ගීතය ගායානා කලා. මා ඒ ගීතයේ කොටස් මින්පෙර ශ්‍රවණය කර තිබුණත්, සම්පූර්ණ ගීයට සවන් දුන්නේ ඒ මොහොතේදීයි. එකල පාසැල් දරුවන්ට දෙම්වුපියන්ගේ හෝ පාසැලේ සහභාගීත්වයක් නොමැතිව චිත්‍රපට නොහොත් බයිස්කෝප් ශාළාවකට ප්‍රවේශවීම උගහට කාරණයක් වූවා. 


"සෙනෙහස නැතිදා

සිතද බොළඳ වී ලොවම ආදරෙයි

කියා සිතේ

මායාවක් වී එහි තනිවූදා 

අම්මා පමණයි ළඟ ඉන්නේ - අම්මා පමණයි

ළඟ ඉන්නේ"


මේ මොහොතේ මගේ කන් සහ හිස පෙදෙසේ හිරිගඬු පිපුණා.



එදින ප්‍රින්සිපල් සර්ගේ නොමඳ පැසසුම සමන්ලතාට හිමි වුණා. ඉන්පසුව නන්දා මාලනියගේ හඬින් මේ ගීය මා කොතෙකුත් ශ්‍රවණය කර තිබේ. යලිත් මේ මතකය අවදි කලේ "මා නොවන මම" වැඩසටහනට මෙවර එක්වූ අංජලී හේරත් අලංකාරව එය ගායනා කරනු ඇසීමෙනි. මේ තිදෙනාම එකම ආකාරයකින් රසාලිප්තව මේ ගායනය කලබව මගේ විශ්වාසයයි. සමන්ලතා අද විදේශගතව වාසය නොකලානම්, අපගේ සුහද හමුවේදී යලිත් ඇගේ හඬින් එය අසන්නට අවස්ථාව උදාවනවා පමණක් නොව, එය ඔබටද අසන්නට සලසන්නට ඉඩ තිබුණි. දැනුදු ඒ ගීතය මේ හඬවල් ත්‍රිත්වයේ සම්මිශ්‍රණයක් ලෙස මගේ දෙසවන් තුල රාව ප්‍රතිරාව නැගෙයි.


ප.ලි. මේ ගීතය රචනය කොට තිබෙන්නේ ධර්මසිරි ගමගේ ශූරීන්, සංගීතවත් කොට ඇත්තේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...