පහුගිය පොස්ට් එක දාලා මේ වෙනකොට මාසෙකටත් වඩා කාලයක් ගත වෙලා. නොදැනීම කාළය ගාලා ගිහිං. විවිධ අංශ ඔස්සේ ලියන්න සුදුසු මාතෘකා ඕනේ තරම් හමු වුණත්, ඒ සඳහා සුදුසු අවස්ථාවක් ලැබුණේ නෑ. කොටින්ම ඒ අවස්ථාව මම හදා ගත්තේ නෑ. මේ වෙනකොට පාවිච්චි කරන මොබිටෙල් බ්‍රෝඩ් බෑන්ඩ් එක අත අරින්න තීරණය කරලා ඉවරයි. එයාර්ටෙල් වලට මාරු වෙන්න හිතාගෙන අපේ බ්ලොග් සහෘද්ධ හිතවතියක් වන නිලංකාට කථා කළත්, ඒ වැඩෙත් හරිය ගියේ නැත්තේ, එයාලා ඩොන්ගල් වලින් ඩේටා දෙන තත්වයක තවම ඉන්න නිසා. මීට කලින් භාවිතා කරපු ලංකා බෙල් එක ඩේටා ප්‍රමාණය අතින් ඉස්තරම් මට්ටමක ඉන්න නිසා, බිල ගෙවලා ආපහු ඒක සක්‍රීය කර ගන්න පුලුවන්ද කියළත් මම නිලංකාගෙන්ම ඇහුවා, මොකද එක දිගටම මට ඩේටා පැකේජ් ලබා දුන්නේ ඇය. එක අතකින් දන්නා අඳුනන කෙනෙක් ප්‍රමෝෂන් එකක් කරන වෙලාවට උදව්වක් වශයෙන් ගන්න එකත් හොඳ දෙයක්.
මොබිටෙල් එක ලබාදෙන දත්ත ප්‍රමාණය මගේ දියණිය පහසුවෙන් ඉවර කරනවා. ඉතිං මම වැඩකට බහින්න සුදානම් වෙනකොට නෙට්වර්ක් එක ස්ලෝ.අවසන් පොස්ට් එකටත් විවධ ප්‍රතිචාර ලැබුණා. තීරු දෙකකට ලියපු මේ පොස්ට් එකට සමහරු කැමති වුණා. ඒත් බහුතරය අකමැති වුණා. ඉතිං පර්යේෂණයක් විධියට කරපු මේ වැඩෙන් මට තේරුම් ගන්න පුළුවන් වුණා, බහුතරය කැමති පැරණි, තනි තීරුවට කියළා. හොඳයි ඔන්න පැරණි විදියටම, බොහෝ දෙනාගේ ඉල්ලීමට මම ලියනවා. හැබැයි ඒ ක්‍රමයට ආකර්ෂණය වුණ අය ගැන මට කනගාටුයි. හරියට පහුගිය පළාත් පාළන චන්දය පැරණි කේවල ක්‍රමය සහ අනුපාත අතර මිශ්‍ර ක්‍රමයකින් පැවැත්තුවා වගේ, අලුත් එකට කැමති අයට හිත හදා ගන්න වුණා, අනුපාත ක්‍රමය ආපහු එන එකට. අපි කොහොමත් අලුත් දේවල් ගැන පොඩ්ඩක් අඩමානයෙන් බලන ජාතියක්.
ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම්. ඉස්සර මගේ රාජකාරිය පදනම් වෙලා තිබුණේ, මම වැඩ කරන මහජන බැංකුවේ ශාඛා වලට විවිධ පද්දති හඳුන්වා දීම. ඉතිං මේ වගේ වෙනස් කරපු උකස් පද්දතියක් හදුන්වා දෙන්න අපි ගියා හතර දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක්. මට නියම වෙලා තිබුණේ වැලිමඩ ශාඛාව. මේ මතක් වෙච්ච වෙලාවේ මේ දේ කියන්නම ඕනේ. මට මේ ගමන සඳහා යන කණ්ඩායම එක්ක එකට යන්න බැරි වුණේ, මට ඒ දවසේ කොළඹ ඉන්න හේතු දෙකක්ම තිබුණ නිසා. එකක් තමයි මම ඒ දවස් වල විභාගයකට සුදානම් වුණා. ඒ වෙනුවෙන් පන්තියක් තිබුණා බම්බලපිටියේ හන්දියේ තියෙන තැනක(මට තැන මතක නෑ, පැරණි බම්බලපිටිය බස් නවත්වපු හෝල්ට් එක ළඟ). ඒකට අමතරව ඔෆිස් එකේ කාන්ති මිස්ගේ පෙරැත්තය නිසා, යෝජිත මනමාලියෙක් එයාගේ කාර්යාලයට ගිහිං බලන්න. පුද්ගලික බැංකුවක්. සෙනසුරාදා වැඩ. පංතිය 10:30 වෙත්දී අවසන් වුණා කියමුකෝ. මමත් බෑග් එකත් කරේ දාගෙනම ගියා අර දැරිවිව බලන්න. මම ගිහිං බැංකුවට ඇතුල් වෙලා, කිසි කලබලයකින් තොරව අර ළමයාගේ නම අහළා, ඩිවාන් එක්ක හරි බරි ගැහුණා. වැඩ අස්සෙන් බොහොම අමාරුවෙන් රිංගාගෙන ආපු මේ යුවතිය බොහොම සැහැල්ලුව, හිතවත්ව මමත් එක්ක කථා කරළා ආපසු රාජකාරියට ගියේ තමන්ට වැඩි වෙලාවක් රැඳී ඉන්න නොහැකි වීම ගැන කනගාටුව ඵල කරමින්. ඇය එතරම් පියකරු යුවතියක් නොවුනත්, චාම් ඒ වගේම බොහොම නිහතමානී ගති පැවතුම් ඇති කෙනෙකු බව මට ඒ මොහොතේ වැටහුණා. නමුත් යෝජිත් විවාව ගැන මගේ හිතේ ඒ දවස් වල තිබුණේ එතරම් හොඳ අදහසක් නොවෙයි.
මම ඉක්මනින් පිටකොටුවට පැමිණ බස් රථයට ගොඩ වුණේ, මේ වනවිටත් නුවර එලිය ආසන්නයේ හෝ එහි ගොස් ඇති මිතුරන් තිදෙනා වන නාමල්, ආනන්ද සහ අකිලට එකතු වීමේ බලාපොරොත්තුවෙන්. නුවර එලිය ආසන්නයට එනවිට බස් රථයේ වායු සමන යන්ත්‍රය ක්‍රියා විරහිත කරන්නේ හේතු දෙකක් ඇතිව, එකක් ධාවනයට පහසු වීම, අනික ජනෙල් විවෘත කර ස්වභාවික ඒ.සී. ලබා ගත හැකි වීම. පස්වරු දෙක හෝ දෙක හමාර වනවිට බස්රථය නුවර එලියට ලඟා වුණා. ඒ වෙනකොටත් ඇද කොළඹ මා දකින මේ මන්දාරම් අහස නුවර එළියේ ඕනෑම දිනක පවතින තත්වය මෙන් තිබුණා. මට ඒ වනවිට ප්‍රශ්න කිහිපයක් ඇති වී තිබුණා. ඒ මගේ ජංගම දුරකථනයේ බැටරිය බිංදුවටම බැස තිබීම සහ ස්වභාවිකව ඇතිවන මුත්‍රාශය නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවය. මේ දෙකම සපුරා ගන්න ගමන් දිවා ආහාරය ගත හැකි තැනක් පිලිබඳ සිහි කල්පනාවට ගන්නා විට මගේ හිතට ආවේ නුවර එළියේ සුප්‍රසිද්ධ ලයන් පබ් එක. මා එතැනට ගොඩවැදුනේ මේ අවශ්‍යතා දෙකෙන් දුරකථනයේ අවශ්‍යතාව ප්‍රමුඛතාවයේ තබාගෙන. බියර් එකක් ඔවුන්ගේ පහසුම බයිට් එකක් වන ඩෙවල් සොසේජස් එකක් ඇනවුම් කළ මා මගේ අවශ්‍යතාව ඔහුට දැන්වුවා, ඔහුගේ පිළිතුරෙන් මා වික්ෂීප්ත වුවා. ඔහු පෙන්වුයේ ඔවුන්ගේ ආයතනයේ සියළුම ප්ලග් ඇම්පියර් 15 ඒවා බව පෙන්වමින්. ඇනවුම් කළ බියරු වීදුරුව හමාර කළ මා ඉන් පිටතට ආවේ බලාපොරොත්තු සුන්වයි. මේ වනවිට දුරකථනයේ බැටරි අවසන් වී ඕෆ් මට්ටමේ තිබුණා.
මා සතුව බැංකුවේ ඩයරියක් නොමැති වීම සහ අවශ්‍ය අංක සටහන් කරගෙන පෙර සුදානම් නොවීම පිළිබඳව මා මටම දොස් නගා ගත්තා. කොහොමත් මා පෙර සුදානම් වීම ගැන තැකීමක් නොකරන කෙනෙක්. කළින් මා සටහන් කළ ප්‍රොකැස්ටිනේෂන් සටහන ඔබ කියවන්නට ඇතැයි සිතමි. මම යලිත් මොහොතක් කල්පනාවට වැටුනෙමි. මේ ශාඛා දෙකෙහි අංක, නොදැනීම විශාල ප්‍රශ්ණයක් වුයේ අසල හෝටලයකින් දුරකථන ඇමතුමක් මගේ මිතුරන්ගේ අංක වෙත ලබා ගත් මොහොතේදී. ඔවුන්ගේ දුරකථන ආවරණ සීමාවෙන් පිටත බව දැනුම් දෙනු ලැබුවා. මා යළිත් කල්පනාවට වැටුණා. මේ මොහොතේ මට ගණදෙවි නුවණ පහළ වුණා. කාර්යාලයේ වැඩ කරන කටපාඩම් අංකයකට ගෙන ඉරෝෂාගෙන් මේ අංක ලබාගත හැකි බව. මොහොතකින් ඒ අවශ්‍යතාව ඉටුකරගත් මා ලඟම පිහිටි කැප්පෙටිපොල ශාඛාවට ඇමතුමක් ලබා දුන්නා. නමුත් ආවාසනාවකට වෑන් රථය වැලිමඩ දක්වා යවා තිබුණේ ඔවුන්ගේ දිවා ආහාරය රැගෙන. ඉන්පසු යළිත් පැමිණෙන්නේ සවස 4:30 ට පමණ බවත් කැප්පෙටිපොළ උන් මිතුරා දැනුම් දුන්නා. මා යළිත් නතර වුයේ ලයන් පබ් එකෙහි සෙවනේ. අප වැනි උෂ්ණත්වයට හුරු කෙනකුට නුවරඑළිය කාලගුණය එළිමහනෙහි රැඳී සිටින්නට යෝග්‍ය නොවන බව මා අත්දකීම්න් දැන සිටියා. සවස 5:00 පමණ අලසව ලගා වූ වැන් රථයට මා ගොඩවන විට මාගේ ගමේ රෝහණ ධර්මරත්න සහ ප්‍රධාන කාර්යාලයේ හඳුණන අක්කා කෙනකු සහ ඔවුන්ගේ සංචාරක නඩය මුණ ගැසුණා. එම මහත්මිය ක්‍රිස්තියානි භක්තිකයෙකු වුයෙන් ඔවුන්ගේ බියර් වඩියෙන් එකක් මා වෙතද ප්‍රදානය කරන්නට කාරුණික වුණා.
එදින එම ගමන අප අවසන් කළේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේ. ඒ ග්‍රෙගරි වැව සේටාමුල් එක අවසන් වීමන් පසුව. එදින පින්නේ කමිසද ඉවත් කරගෙන මගේ මිතුරන් සප්පායම් වුවත්, මා වැන් රථයේ වැඩි කාළයක් ගත කළේ එහි අගුණ එන්නේ පහුවදා බව දන්නා නිසා. බොහොම කයිවාරු කාරයෙකු වූ මිස්ටර් ජයන්ත නම් වූ අපේ රියදුරා සිනහ සාගරයක් මවන්න සමත් පුද්ගලයෙක්. අපේ අය සෑහෙන ප්‍රමාණයකට අනුමත වූ පසු කමිස පවා ගලවා සිංදු කියන්නට පටන් ගත්තා මට මතකය. ඉන්පසු ගමන් විඩාවටදෝ ඇති වූ නින්දකින් පසු ගොස් මමද ඔවුන් හා එක්කාසු වුණා. ගීතයක් අවසන් වනවාත් සමගම "ලස්සන රෝස මලත් මට ලස්සන නෑ..." කියමින් එහි දෙවෙනි පදය අපෙන් කෙනකු අල්ලාවී යන බලාපොරොත්තුවෙන් අත දික් කරගත් මිස්ටර් ජයන්තට මිනිත්තු කිහිපයක්ම එසේ බලන් සිටින්නට සිදු විය. ඉන් පසුව ඇති වුයේ දිගු හිනා සාගරයකි. එසේ වුවද ඔහු ෆුල් සීරියස් පිට තවමත් ඒ ගීතයම ගයන්නට බලා හිඳී. මේ තොයිල් අල්ලා මධ්‍යම රාත්‍රියත් පසු වී, නැවතත් වැලිමඩ නවාතැන වෙත ගමන් ගගතිමු. වැලිමඩට ආසන්න්නයේදී වාහනය ඕනෑවට වඩා දකුණු පැත්තට ගමන් ගන්නවා දුටු මා ජයන්ත .... ජයන්ත... යනුවෙන් කෑ ගසත්ම, නිමේෂයක නින්දෙන් ඇහැරුණු ජයන්ත වාහනය නවතා, "පොඩ්ඩක් ඇහැ පියවුනා. මම මේ දකුණු පැත්තේ එජ් එක අල්ලන් ආවේ" යනුවෙන් පැවසීය. මේ සිදුවීම අතරතුර මර නින්දේ පසු වූ මගේ මිතුරන් තිදෙනා යළිත් නින්දට වැටුණේ නැත.
පසුදා නව පද්දතිය ස්ථාපිත කිරීමන් පසු, ශාඛාවේ උකස් අංශයේ සේවය කරන පුද්ගලයා නොමැති වුවද, මෙහි තිබෙන සැකසුමේ අඩුවක් දුටු මා, මේස සේප්පු සියල්ල නව පිළිවෙලකට සකස් කළ අතර, එය අපගේ රාජකාරියෙන් පරිභාහිර දෙයක් වුයේය. නමුදු මෙහි තිබෙන අඩුපාඩුව එය ලෙස මට වැටහිණි. මේ වනවිට රැඳී සිටි ශාඛාවේ සේවක මහතා පැවසුවේ පෝලිම මිදුල දක්වා තිබෙන බවය. සඳුදා දිනයේ අදාළ සේවකයා පැමිණ, "කවුද මේවා වෙනස් කරන්න කිවුවේ? හවසට ආයේ තිබුණ විදියටම හදනවා" යනුවෙන් හෙන දෝස් මුරයක් දා වැඩ පටන් ගති. සවස් වනවිට නව පද්දතියට හුරු වීමෙන් පසු සහ "මේ ක්‍රමය හොඳයි" යනුවෙන් පවසා, එදින සවස අපට බෝතල් සංග්‍රහයක්ද කළේය. මා මේ කියන්නට ආ කතාව එයයි. වෙනස් වීමට අපේ තිබෙන අකමැත්ත නිසා, බොහෝ වටිනා දේ අප වෙත එන්නේ ප්‍රමාදයෙනි. ඒ අපි අලුත් දේ ගැන අදමානයේ බලන නිසාය.
මා ලියන්න ආ කතාව කිසිසේත් එය නොවීය. එය අතුරු කතාවක් හෝ පඳුරු තැලිල්ලකි. නියම කතාවට ඔබ එන්නේ දැන්ය. දිගු වැඩි නිසා කියවීම අත් හළ කවුරුන් හෝ සිටීනම්, ඒ ගැන කණගාටු වනවා හැර වෙන කියන්නට දෙයක් නැත. අද ශ්‍රී ලංකාව සහ නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වනා දිනයයි. අදදින කාලගුණ අනාවැකි ඒ අකාරයෙන්ම සිදු වූ දිනයකි. උදෑසන 4:30ත් 5:00ත් අතර තද සුළං සහිත දාරානිපාත වැස්සක් කඩා වැටිණි. ඒ මොහොතේම මට මතක් වුණේ, අද නම් තරගය ක්‍රීඩා නොකරනු ඇති බවයි. නමුත් කාර්යාලයට (බොරැල්ලේ - වනාතමුල්ලේ ඇති සරවනමුත්තු ක්‍රීඩාංගනයට නොදුරින්) ආ විට වටපිට බලන විට දිය කඩිති දකින විට, මගේ පළමු රාජකාරිය කළ බෙන්තොට බීච් හෝටලයේ සිටි මහේන්ද්‍රන් නිරන්තරයෙන් සිහිපත් වීම නවත්වන්නට උගහට කරුණකි. මා සිනහවකින් මුව පුරවාගෙන සිටින විට මගේ කාර්යාල සගයා ඒ ගැන විමසීය. ඔහු හා මහේන්ද්‍රන්ගේ කතාව පැවසු පසු මෙය බ්ලොග් එකේ සටහන් කළ යුතුම දෙයක් යයි මතකය අවධි විය. ඉතිං අදදින කෙසේ හෝ මෙය ලියා අවසන් කලයුතු බව සිහි තබාගෙන කඩිනමින් ඒ සඳහා යොමු විය.
මහේන්ද්‍රන් දමිළ ජාතිකයෙකු බව ඔබට අමුතුවෙන් පැවසීමට කාරණයක් නොවේ. නමුදු ඔවුන් දක්ෂතා දක්වන එක් විෂයයක් වුයේ ගිණුම්කරණයයයි. මා අනුයුක්තව සිටියේ පිළිගැනීමේ අංශයට නමුදු මා සාදා දෙන සංශික්ප්තය ගිණුම් අංශයෙන් නිවැරදිතාව සඳහා පරීක්ෂා කරයි. එසේ කරන දෙදෙනාගෙන් කෙනෙකු මහේන්ද්‍රන්ය, අනෙකා නලීන් අයියාය(අද ඔහු සහකාර පොලිස් අධිකාරී වරයෙකි). නලීන් අයියාගේ සහ මහේන්ද්‍රන්ගේ මහා පොදු සාධකය ගිනුම්කරණයම නොවුනත්, ඔවුන් දෙදෙනාම පාපන්දු ක්‍රීඩාවට ඇල්මක් සහ දක්ෂතාවක් දැක්වීය. ඇත්තෙන්ම මාද ඒ කුලකයට අයත්ය. මට ඒ රැකියාව ලැබුණේ, ගෝල් රකින්නෙකු වූ මා දෙස එම ආයතනය බොහෝ කලක සිට ඇහැ ගසාගෙන සිට, යම් තරගයක් දී, මගේ උසස්පෙළ හමාර වනවාත් සමගම රැකියාවට අවස්ථාව ලබා දීම සිදු විය. සම්මුඛ පරීක්ෂණය සුදු වුයේ, උසස් පෙළ අතර මැද තිබූ විභාගය නොමැති දිනකය. නැතිනම් ලිහිණියා සර්ෆ් හෝටලය මා සඳහා බෙන්තොට ක්‍රීඩා සමාජය හරහා විවිධ ඉල්ලීම් කර තිබුණි. වෙනත් බසකින් කිවහොත්, ටුටූ අයියාට පෙර රොහාන් අයියා ඉස්සර වීමකි. මා ලබා ගැනීම අංශ දෙකකින්ම් ලැබෙන ප්ලස් පොයින්ට් එකක් බව රොහාන් අයියා දැන සිටියේය. ඒ මා දස්කම් දැක්වූ අනෙක් ක්‍රීඩාව වූ ක්‍රිකට් නිසාය. ටුටූ අයියා ඒ කාළයේ ක්‍රිකට් ගැන වැඩි උනන්දුවක් දැක්වුයේ නැත.
කෙසේ වෙතත් මගේ රාජකාරිය මගේ ක්‍රීඩාවට බාධාවක් වුයේ, මා සෑම දිනකම සවස හයට සේවයට වාර්තා කලයුතු අතර, එය රාත්‍රී දහයට නිමා වන මුත්, රාජකාරිය ඉවර වන්නේ පහුවදා උදේ හතේ සිට දහය දක්වා තවත් පැය තුනක කාළයක් රාජකාරි කිරීමෙනි. මේ පැය තුන ඉතාම අපහසු පැය තුනක් විය. ඒ කිසිමදාක රාත්‍රී දහයට පිට නොවන මා, අපේ සෙට් එක වූ ජයසේන, ගමගේ, ජයවර්ධන වරු දෙදෙනාගෙන් කෙනකු හෝ දෙදෙනාම, දිලිප්(ඔහු ගැන වෙනම පොස්ට් එකක් ලිවිය යුතුය), ඇතුළු කිහිප දෙනෙක් සමග ඔවුන්ගේ රාජකාරි අවසන් වනතුරු බලා හිදීම නිසාය. ඩිස්කෝ එකේ කැෂියර් හෝ රෙස්ටුරන්ට් කැෂියර් ලෙස සේවය කරන ජයසේනගේ ඩියුටිය හමාර වන්නේ රාත්‍රී 12 පසු වීමෙන්ද අනතුරුවය. ඒවා බැලන්ස් කර ඔහු පැමිණෙන තුරු හිඳ ආපසු බෙන්තොට බීච් ක්වාර්ටර්ස් එකට ගොඩ වැදෙන අප නින්දේ පසුවන සියල්ල ඇහැරවා ඉන්පසු සුද්ද පවිත්‍ර වී නිදා ගන්නේ රාත්‍රී දෙකට පමණය. යළිත් උදේ හයට පමණ අවධි වන මා නිවසට ගොස් සුදානම් වී හතට යළිත් දිව යන්නේ බීච් හෝටලයේ ගිණුම් අංශයටය. ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කර තිබූ මෙම හෝටලය කාමර සියයකට වැඩි තරු හතර පන්තියේ එකක් විය. අද එම හෝටලය කිනම් නමකින් හන්දින්වෙනවාදැයි නොදදිනා මුත්, මෑතකදී එය සම්පූර්ණයෙන්ම වාගේ කඩා යලි වෙනස් මුහුණුවරකින් පැමිණීමට සුදානම් වන සෙයක් පෙනෙයි. එය කාළීන අවශ්‍යතාවකි. වෙනස් වීමට භාජනය නොවුවහොත් ඔබගේ තැන වෙනත් කෙනෙකු වෙත යාම වලක්වා ගත නොහැකිය.
මහේන්ද්‍රන් පොත් තබන්නෙකු නොහොත් බුක් කීපර් වරයෙකි. එම කුඩා ගිණුම් අංශයේම සහකාර ගණකාධිකාරී වරයාද දමිලයෙකි. ඔහු කුගනේන්ද්‍රන්ය. ඔහු මට කදිම පාඩම් කිහිපයක්ම ඉගැන්වූ පුද්ගලයෙකි. ප්‍රධාන ගණකාධිකාරී වරයාද දමිලයෙකි. නමුත් ඔහු සොමියට බර එහෙත් නිහඩ පුද්ගලයෙකි. රජින්ද්‍ර නම් වූ ප්‍රධාන ලිපිකරුවාද දමිලයෙකි. මා මේ පෙන්වන්නට උත්සාහ කරන්නේ එම විෂයට ඔවුන්ගේ ඇති ඇල්මයි. මේ සිවු දෙනාගෙන්ම් අපි වැඩියක් ආදරය කළේ මහේන්ද්‍රන්ටය. ඔහු අපගේ පාපන්දු කණ්ඩායමේ බැක් එකේ ප්‍රධාන ක්‍රීඩකයෙකි. ඔහු සිටිනා විට මා කිසි විටෙකත් ගෝල් රැකීමට බිය වන්නේ නැත. ඒ ඔහුගෙන් පන්නා ගෝලය වෙත පන්දුව ගෙන ඒමට සමතෙකු මා දැක නැති නිසාය. ඔහුගෙන් ලැබෙන ප්‍රවේගකාරී පහරවල් පිටියෙන් ඉවතට යන්නේ, පන්දුව අකාසය දෙසට නොනැවතී ගමන් කරන ආකාරයකි පෙන්වමිනි.
මහේන්ද්‍රන් රාජකාරියට පැමිණෙන්නේ පාපැදියෙනි. ඔහු ජීවත් වුයේ ධර්ගා නගරයේයි. එහි සිට මෙහි ඉතා පාන්දරින් බයිසිකලය පැදගෙන එන ඔහුගේ නළලත මොට්ටුවක් වරදින්නේ නැත. ඔහු කිසි දිනෙක ප්‍රමාද වන්නේද නැත. මා සේවයට යනවිටත් උදෑසන අහාරය ගනිමින් සිටින මහේන්ද්‍රන් තමන්ගේ කෝපි කෝප්පය රස විඳ විගස තමන්ගේ ආසනයට දුවන්නේ, "අඩේ ඉක්මනට එන්ඩ" යනුවෙන් මටද පවසමිනි. ඔහු ඉතා නිර්ව්‍යාජ මනුස්සයෙකි. බොහෝවිට අනෙක් අය විවිධ දේ කියමින් ඔහු රවටලනු ලබයි. එනිසාම ඔහු දැන් අනික් අයට ඇහුන්කම් දෙන්නේ නැත. දිනක් අධික ලෙස වැසි වැටෙමින් තිබුණි. තරුණ වයසේ පසු වූ අපට වැස්ස එතරම් බාධකයක් නොවීය. කාගේ හෝ කුඩ කබලක් සොයාගෙන, පාරේ යන කෙනෙකුගේ බයිසිකලයක ගොඩ වී නැතිනම්, පයින්ම මේ කෙටිදුර ගමන් ගැනීම මගේ පුරුද්ද විය. නමුත් එදා මහේන්ද්‍රන් වැඩට පැමිණියේ බොහෝ ප්‍රමාද වීය. නලීන් අයියා අසල නැවතුණු මහේන්ද්‍රන් වැස්ස විස්තර කළේ මෙසේය
"අඩේ නලීන් මාර වෙෂ්ෂ අප්පා. කාකා එක රෝටෙකේ නානවා"
ඔහු කියූ අන්ඩර දෙමළය මට කිසි ලෙසකින්වත් පැහැදිලි නොවිණි. ඔහු ඈත් මෑත් වනතුරු සිට මා නලීන් අයියාගෙන් ඔහු කියූ දෙය කුමක්දැයි ඇසුවේ ඔහුගේ තලතෙල් ගන්ධය නලීන් අයියා අසළින් ඉවත් වීමටත් පෙරය. නලීන් අයියාද මා බයිට එකට ගනිමිනි "කාක එක රෝටෙකේ නානවා" කියුවේය. බොහෝ වෙලාවකට පසු එය විස්තර ඇතිව අසා ගැනීමට හැකි විය. වැහි වතුර පාරේ පිරී තිබෙන විට කාක්කන් එහි නානවා යන්න ඔහුට කියන්නට ඕනෑ වී තිබිණි. වැස්සේ තරම පැහැදිළි කිරීමට ඔහුට අවශ්‍ය වී තිබිණි. ඉන්පසුවත් නලීන් අයියා ඔහුගෙන් අසන්නේ "තාමත් කාක එක රෝටෙකේ නානවද?" යනුවෙනි. එයින් විස්සෝපයට පත් වන මහේන්ද්‍රන් "අඩේ නලීන් මොකාද අප්පා" කියමින් යන්නේ නොක්කාඩුවෙනි.
වෙනද වගේම ලස්සනයි
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඅලුත් පද්ධති වලට හුරු වෙන්න අකමැති කම අපේ ගොඩක් අයට උපතින්ම එන එකක්ද කොහෙද.
ReplyDeleteකියලා වැඩක් නැත. අත්දැකීම් එමටය.
Deleteහෙහ්.. අපි අලුත් වෙන්න බයද නැත්තං අතීතකාමය වැඩිද නැත්තං අපි අවුට්ඩේටඩ් වෙන් ආසද මට හිතාගන්න බෑ. එයාටෙලුත් ඒ වගේ තාම රවුටර් එකක් දෙන්න කැමති නෑ.
ReplyDeleteඅර මනුස්සයව බයිටට ගත්තට මළ පනින්නැද්ද 😂
ඉස්සර සිරසේ වැඩසටහනක් ගියා අහන්න ආසයි ගයන්න කියලා, ඒකේ එක කොටසක් තියෙනවා ඇස් වහලා තමන්ට කලිං පෙන්වපු වස්තුවක් හොයන්න. බොහෝ දෙනෙක් තමං මුලින්ම අල්ල ගත්ත එක අතාරින්නෙම නෑ.ඒ ලක්ශණය කොතැනත් අඩු-වැඩි වශයෙන් කරනවා.
ReplyDeleteඒ වෙලාවට මිනිහගේ මූණේ තියෙන පරාජිත පෙනුම බලන්න දුකයි.
රහයි!
ReplyDelete