මට එක පාරටම නින්දෙන් ඇහැරුණා. ඒ මම පුරුද්දක් විදියට නින්දට යන ගමන් ටී වී එක නරඹනවා. එහෙම නින්දකින් මම සාමන්‍යයෙන් ඇහැරෙන්නේ ලොකු ගාලගෝට්ටියක් ඇහිලා තමයි. ඒ මම නරඹමින් ඉන්න නාලිකාවේ තියෙන දේශපාලන වාද-විවාද වැඩසටහනක උච්ච ස්ථානයේ කරන අඬහැරයන් ඇහිලා. ඒ බොහෝ විට මධ්‍යම රාත්‍රිය ආසන්නයේ. නමුත් මට ඇද ඇහැරුණේ ඉතාම කළින්. මාව ඒ වෙලාවට ඇහැරන්න සමත් ජගතෙක් ඉන්නවා නම් ඒ කවුද ?
ඒ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් එකේ අවසන් අටේ තරගයේ මුළින්ම ගායනය ඉදිරිපත් කරපු ධනංජය සේනානායක. මේ වැඩසටහන් වලට එස්.එම්.එස්. යැවිල්ල නතර කරළා ගොඩක් කල් වුණත්, මේකාට එස්.එම්.එස්. එකක් යවන්න කිහිප විටක්ම මට හිතුණා. නමුත් තවමත් යැවුවේ නෑ. මෙතැන ඉන්න මේ අට දෙනාගෙන් බොහෝ දෙනෙක් තරගකරු මට්ටම පහු කරපු අය. ඒ කියන්නේ ඔවුන් ගායකයින් මට්ටමේ ඉන්නවා. ධනංජයගේ දත් සෙට් එක මට නිතරම සිහි කරන්නේ, පහුගිය අව්රුද්දෙ අප හැර ගිය විජේසේන අයියාව. ඔහු ගැන පොස්ට් එකක් ලියන්න හිතාගෙන හිටියත්, මේ වැඩේ මගේ අතින් සිද්ධ වෙන්නේ නෑ. එකට මොනවා කරන්නද කියළා මට හිතෙන්නේ නෑ. අද පුංචි විශේෂයක් මම මේ පොස්ට් එක් අකුරු කරන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් නරඹන ගමන්. ඒක ඇති විශිෂ්ඨ රියලිටි . අද සියලු දෙන්න ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චි ගායකයාගේ ගීත. පිස්සුම හැදෙනවා. මොකද කරුණාරත්න අබේසේකර, විකටර් රත්නායක, මිල්ටන් වගේ සුසංයෝග වලින් හැදුණු ගීත අහන්න ලැබෙනවා කියන්නේ ඉතිං විරල අවස්තාවන් තමයි. ඉතිං විජේසේන අයියා ගැන මට හිතට ආපු පුංචි දෙබසක් මේ විදියට ලියන්න හිතුණා.
විජේසේන අයියේ උඹ කොහෙද ගියේ ?
මම යන්න ගියා මල්ලි. උඹ මම උන්නද මළාද කියලවත් බැලුවද ?
මම එහෙම ලිවුවට විජේසේන අයියා කවදාවත් එහෙම කියන්නේ නෑ. මේ සුදීක කවද හරි යන තැන ගැන පුංචි හීනයක් දැකපු කෙනෙක් තමයි විජේසේන අයියා. මම කිසිම මළ ගෙයකදී හඬා වැලපුනේ නෑ. නමුත් එදා මට ඇඬුනා. මට එකකුස උපන් අයියා කෙනෙකු නැති වුණත්, නැන්දාගේ පුතුන් පස් දෙනා අතරින් බාලයාට වැඩිමල් කෙනා. චෙෆ් කෙනක්. රසට උයන්න පුළුවන් පිය පුතු සංගමයක එක් පුරුකක්. ඔහුට වැඩිමහල් සහෝදරයා තමයි ආකාස කඩේ චෙෆ් වුණ පියසිරි අයියා. ලොකු අයියාත් කුක්. එයත් අප අතරින් කලින්ම ගියා. මේ හැම කෙනෙක්ම මට වඩා ගොඩක් වැඩිමහල් අය. ඒ වුණාට විජේසේන අයියා මට ඉතාම සමීප වුණා. ඒ එයාගේ පුංචි නිවහනේ මම කාලයක් තනි රැකපු නිසා. මේ ධනංජය ඇති දක්ෂයෙක් අද විජේසේන අයියට පිං පිණිස මමත් එස්.එම්.එස්. එකක් යවනවා. ඌට තියෙන්නේ විජේසේන අයියගේ හිනාව. ආ අමතක වුණා අර කන්ටිබල් කතාව කිවුවේ විජේසේන අයියා. ඉස්සර අපි දෙන්නගේ මාර හොබී එකක් තිබුණා. මට පොඩි කාලෙදීම පින්සල හුරු වුණා. විජේසේන අයියගේ රැලේ බයික් එක් පේන්ට් කරළා ඉවර වෙලා ඒකෙ ඉරි සහ ලාංචන ඇන්දේ මම. ඉතිං මේ ලෝකේ මගේ හැකියාවල් වලින් වැඩක් ගත්ත ස්වල්ප දෙනාගෙන් කෙනෙක් විජේසේන අයියා. මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
දෙවෙනියාට මෙතන සින්ග් කළේ රවී රෝයිස්ටර්. මේ යෝධයා සංගීතය උඩු-යටිකුරු කරනවා.නදීක ගුරුගේත් හොල්මන් වෙන එකේ අපිට එහෙම වෙන එක අහන්න දෙයක් නෑ. මේ වැඩසටහන යත්දී ඒකාගේ පියා අතරින් පතර පෙන්නනකොට මුහුණ ටිකක් දැකලා පුරුදුයි. පස්සේ තමයි දැන ගත්තේ අපේ බැංකුවේ ඉඳලා විශ්‍රාම ගත්ත වයි.වී.ඒ සහෝදරයාගේ පුතා කියළා. මේකා සංගීතයට යමක් කරයි කියළා මට හිතෙනවා. ඒකා අපි නොදැක්ක විවිධ සංගීත භාණ්ඩ වගයක් ගෙනැත් ප්ලේ කරනවා.
ඊළඟට මම රජෙක් දැක්කා. රුපවාහිනි තිරයක රජෙක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ හදවතේ හිලක් තිබුණු තමන්ගේ දියණියව(ඉසුරි ශාලිකා) දෑතින් ඔසවලා මෙතැනින් ගෙනැත් තබපු පියෙක් කථා කරන දසුන දිහා හදවතින් කඳුළු සලාගෙන මම බලා හිටියා. දියණියක් ලොකු මහත් කරන්න සටනක් දෙන මං වගේ කෙනෙකුට ඔහු රජෙක්ම තමයි. ඔහු කියපු එක් කතාවක් ලියා තබන්න ඕනෙම කියළා හිතෙනවා. මගේ දුවගේ උපන්දිනය විදියට මම සමරන්නේ එයාගේහදවත් සැත්කමින් පස්සේ සිහිය ආපු දවස කියළා. ඉඟිනියාගල වගේ දුෂ්කර ගමක ඉඳන් මේ වගේ වේදිකාවක් උඩට තමන්ගේ දියණියගේ පුංචි අතින් අල්ලන් ගෙනැත් තබපු ඔහු මට ඇත්තටම රජෙක් තමයි.
මේ වැඩසටහනේ සංගීතය සපයන කණ්ඩායමත් ඇති විශිෂ්ඨයි. ඒ ගැනත් පුංචි සඳහනක් නොකළොත් වරදක් කියළා මට හිතෙන්නේ. ශික්ෂා සංගීත කණ්ඩායම තමයි ඒ නව රිද්මය මුසු කරන්නේ. සංගීතයට ප්‍රිය කරන අය ඉන්නවා නම් මේ කොටස රිවයින්ඩ් කරලා හරි බලන්න. කණේ මී පැණි තමයි. එස්.එම්.එස්. සූදුව අස්සේ මේ වගේ රසයක් ගන්නත් පුළුවන්.