දිගු කාලයකින් ලියන්නට මෙන්ම කියවන්න්ටද අවස්ථාවක් උදාවිය. පහුගිය දින කිහිපයෙහි තිබූ කාර්ය බහුලත්වය හා නිවසෙහි පරිඝණකයක් නොවීම ඊට හේතුවයි. මගේ ලැප්ටොප් එකට සිදු වූ සන්තෑසිය පසුගිය ලිපියකින් විස්තර කලා ඔබට මතක ඇතෑයි සිතමි. අද මම ලියන්නට යන්නේ අපූරු හෙල්මට් කතා දෙකකි. මේවා ඇත්තටම සිදු වූ සිද්දීන්ය. හිතා මතා ගොතන ලද කතා නොවේ.
පලවෙනි කතාව
ලෙස්ලි කියන්නේ මාත් සමග එකම දෙපාර්ථමේන්තුවේ එකට සේවය කරන සහෝදර සේවකයෙකි. නිතරම විහිළු තහළුවට බර පුද්ගලයෙකි. නිතරම ලොල් කතා පවසන්නෙකින්. මෙය ඔහු කියූ කතාවක් නොව ඔහුට සැබැවින් සිදු වූ අත්දැකීමකි. ලෙස්ලිගේ බිරිඳගේ නම "රාණි". ඔහු තරමටම නිතරම සිනාවෙන් ගත කරන ඔහුගේ බිරිඳද ඉතා සිරියාවන්ත කාන්තාවකි. ඇයට ඉතා හොඳ ඉවසීමක් ඇත්තේය. ලෝකයේ සර්ව සම්පූර්ණ මිනිසුන් නැත(Nobody is perfect). අප සියළු දෙනාගේ පොඩි -පොඩි අඩු පාඩු ඇත. ලෙස්ලිට මේ වගේ තිබූ අඩුපාඩුව ළඟ මතකය(Instant Memory) නැති වීමයි. ඒ කියන්නේ විනාඩියකට කලින් කල දේ අමතක වීමයි. මටත් ටිකක් වෙන්න මේ අඩුපාඩුව තියෙනවා. මේ කියන කාලයේ ලෙස්ලිත් මාත් එකම ඒකකයක වැඩ කලේ. එක දවසක් කෙටි නිවාඩුවක් ගත්ත ලෙස්ලි අපිට මෙහෙම කිව්වා
"මචං අද මම පොඩ්ඩක් කලිං ගෙදර යනවා. හෙට අපේ කෙල්ල මුලින්ම ඉස්කෝලේ යන දවස"
"හරි මචං අපි වැඩ ටික බලා ගන්නම්"
අපි එහෙම කිව්වේ ලෙස්ලියා ගැන තියෙන අනුකම්පාවටම. ලෙස්ලි කියන්නේ දෙමළ කිතුනුවෙක්. රාණිත් එහෙමයි. ඒ කාරණය මෙතන දැම්මේ මේ කතාව තේරුම ගැනීමේ පහසුවට. ලෙස්ලි හැමදාමත් වැඩට එන්නේ මෝටර් සයිකල් එකේ. රාණිවත් ඔෆිස් එකට ඇරලගෙන එනවා. බොහොමයක් ඔෆිස් එන නෝනා මහත්වරු මේ වගේ කරනවා මම දැකල තියෙනවා. අර නෝනා හෙල්මට් එකත් අරගෙන ඔෆිස් යන්නෙ. එකෙන් සිද්ද වෙන තව දෙයක් තියෙනව. තමා විවාහක කාන්ථාවක් හෝ විවාහ අපේක්ෂාවෙන් සිටින පෙම්වතියක් බව එකෙන් හැඟවෙනවා. ඒත් සමහර අය මේ හෙල්මට් එක තියා ගන්නේ වෙනත් කාරණයක් නිසා බව මට මිතුරෙක් කිව්ව. එහෙම නෝනා හෙල්මට් එක දවල්ට තියා ගත්තාම තමන්ගේ සැමියාට හෝ පෙම්වතාට ඩබල් දාලා දවල්ට ගමන් යන්න බැරිය කියන විශ්වාසෙන් තමයි එහෙම කරන්නේ. නමුත් ඕන එකා යාළුවෙක්ගේ හෙල්මට් එකක් ඉල්ලා ගන්නවා. මම හිතන්නේ නම් උපතින් හින්දු කාන්ථාවක් වෙච්චි රාණි මේ දේ කලේ තමන්ගේ පති-භක්තියට. අනවශ්‍ය බරක් තම සැමියාට පටව්න්නැතුව ඉන්න. මේ කියන දවසේ ලෙස්ලි අපේ ඔෆිස් එකෙන් පිටත් වුනේ තුනයි කාලට විතර. අපේ ඔෆිස් එක තියෙන්නේ බත්තරමුල්ලත් කොස්වත්තත් අතර. හවස හතරහමාරට විතර ලෙස්ලිගේ වයිෆ් ඒ කිව්වේ රාණිගෙන් අපේ ඔෆිස් එකට ආව කෝල් එකකකින් මුලු ඔෆිස් එකම කැලඹිලා ගියා.
"හලෝ. ලෙස්ල් ඉන්නවද?" (රාණි කථා කරන විදියට ලෙස්ලි කියන එක ඇහෙන්නේ ලෙස්ල් කියලා)
"ඔවු රාණි නේද, එයා ඔෆිස් එකෙන් ආවේ තුනයි කාලට විතරනේ දැන් එතනට එන්න වෙලානේ. තවම ආවේ නැද්ද?"
"හරි මම තියන්නම්"
ඇය දුරකථනය විසන්දි කලා. අපට මාර ප්‍රහෙලිකාවක් ලෙස්ලියාට මොකද වුනේ කියල. ඒ 2006-2007 කාල සීමාව. හැමතැනම යුධ හමුදා මාර්ග බාධක. ඒ මදිවට ලෙස්ලි දෙමළ (හැබැයි දෙමළ හරියට බෑ, සිංහල තමයි ලියන්න කියන්න පුළුවන්).
"මූව හමුදාවෙන් අල්ල ගත්තා වත්ද ?" එහෙම කිව්වේ ප්‍රියන්ත.
"උගේ සෙල් එකට මම කෝල් කරා, ඒකත් ඔෆ් කරගෙන මූ කොහේ ගියාද ?"
"උගේ සෙල් එක ඉතිං හරියට වැඩ කරන එකක්
නෙවෙයිනේ"
තවත් විනාඩි හතලිස්පහකින් විතර රාණිගෙන් කෝල් එකක් ආවා. දැන් රාණි ඉන්නේ ගෙදර. අපට දැන් කතාව හතර බීරියි. මූට මොනවා හරි කරදරයක්ද. අපේ ඇස් දෙක නිරායාසයෙන් ඇදී ගියේ රූපවාහිණියට. අපි සිරස දාගෙන බලාගෙන හිටියා මොනවා හරි බෝම්බ පිපිරීමක් ගැන විස්තරයක් තියෙනවද කියලා. ඒත් රෑ 7.00 වනතුරුත් කිසිම විස්තරයක් නෑ. මම දිගටම ලෙස්ලිගේ සෙල් එක ට්‍රයි කරමින් උන්නේ. එක පාරටම රිං වුනා.
"මචං අද මාර වැඩක්නේ වුනේ" ලෙස්ලියා බක බක ගාගෙන හිනා වෙනවා. උගේ හැටි එහෙම තමයි. කොයි දේටත් හිනා වෙනවා. දවසක් කාගෙ හරි අම්ම බාත් රූම් එකේ වැටුනා කිව්වාම "ෂා මරුනේ" කියල කිව්වේ නැද්ද. එවෙලාවේ ගුටි නොකා බේරුණේ ඌ ගැන හැමෝම දන්න නිසා.
"මොනවද බන් උඹ කරන්නේ. රාණි අපට එක දිගට කෝල් කරනවා. මොනවත් හරියට විස්තරයක් කියන්නෑ. ආපහු ඔෆිස් ආවද කියන එක තමයි අහන්නේ" ඒක අහල ඌ තවත් එක දිගටම නවත්තන්නැතුව හිනා වෙනවා. මට අම්බානකට තද වුනා.
"යකෝ දැන්වත් ඔය හිනාව නවත්තගනිං. උඹට ගෑණි දෙයි අද"
"නෑ. මචං රාණිට ගානක්වත් නෑ. මම ගෙදර යන්න කලින් රාණි ගෙදර ගිහින්"
"ඒකම තමයි යකෝ අපිටත් තියෙන ප්‍රශ්ණේ. තුනයි කාලට මෙතනින් ගිය එකා කොහෙ මක බෑවුනාද කියලා"
"උඹට කියන්නේ මම රාණිගේ ඔෆිස් එක ගාවට යද්දී රාණි මාව දැක්ක ගමන්ම හෙල්මට් එක දා ගන්නව මම දැක්ක. මම බයික් එක නවත්වලා. සාක්කුවෙන් ලේන්සුව අරගෙන ඇස් දෙක ඩිංගක් පිහදාලා. වයිසර් එක පාත් කරලා යන්න පිටත් වුනා. කිසි ට්‍රැෆික් එකක් තිබුණේ නෑ. අපි ඉතින් පොඩි කයියක් ගහගෙනම තමයි හැමදාම යන්නේ. මම ඉතිං වටපිට දකින දේවල් ගැන රාණිට පෙන්න පෙන්න, ඒවා ගැන කිය කිය තමයි යන්නේ. අද ගෑණි වැඩි කථාවක් නැත්තේ ඔෆිස් එකේ මොනව හරි ප්‍රශ්ණයක් වෙන්න ඇති කියල මට හිතුනේ. කොහොමත් එහෙම දවස් තියෙනවා. ඒත් කවදාවත් මගෙත් එක්ක තරහා වෙලානම් කථා නොකර ඉන්නේ නෑ. අපි මස් ටිකක් අරගෙන යමු කියලා මම වත්තල හන්දියේදි බයික් එක මස් කඩේ ගාව නැවැත්තුවා. හෙල්මට් එක ගලවන ගමන් අද මොනවද ගන්නේ කියල අහද්දිත් රාණි උත්තර දෙන්නේ නෑ. රාණි තමයි අනිත් දවසට ගන්න දේවල කියන්නේ. රාණි බැහැල ඇති කියල හිතාගෙන මමත් බයික් එකෙන් බැස්සා. එතකොට තමයි මට දෙලෝ රත් වුනේ. රාණි නෑ"
"මොනවා රාණි නෑ. එතකොට රාණි වැටිලා"
"නෑ, නෑ බං. මටත් මුලින්ම හිතුනේ එහෙම තමයි. මම කෙලින්ම ඇරලා දාලා රාණිගේ ඔෆිස් එක ගාවට ගියා. එතනත් නෑ. පස්සේ මම හෙමිහිට පාරේ ඇවිත් බැළුවා කොතනවත් වැටිච්ච කෙනෙක් ඉන්නවද කියලා. එහෙම ඇවිත් ගෙදර ආවේ රෑ හතට විතර"
"අම්මට සිරි. එතකොට කොහොමද රාණි ගෙදර ආවේ උඹට කලිං?"
"නෑ මචං. මම රාණිගේ ඔෆිස් එක ගාවදී ඇස් දෙක පිහදාන එක හැමදාම කරනවා. එහෙම පිහදාල ඉවර වෙනකොට රාණි නැගල ඉවරයි. මම කෙලින්ම ගෙදර යනවා. ඒත් අද මචං" ඌ ආයෙත් බක බක ගාලා හිනා වෙන්න ගත්තා.
"උඹට නං හිනා. එතකොට රාණි කොහොමද ගෙදර ආවේ"
"මචං මම ඇවිත් තියෙන්නේ රාණි නගින්න කලින්. රාණි මුලදි හිතල තියෙන්නෙ මම විහිළුවක් කරනවා කියලා. ඊට පස්සේ මගේ සෙල් එකට දිගටම ට්‍රයි කරල. ඒත් වැඩ නැති වුනාම තමයි උඹලට කතා කරල තියෙන්නේ. රාණි ත්‍රීවීල් එකේ ගෙදර ඇවිත්. මම මස් කඩෙ ඉන්නකොට වෙන්නැති මාව පාස් කරගෙන යන්නැත්තේ. මම මස් කඩේ ඉඳල ආපහු කෙලින්ම ගියේ රාණිගේ ඔෆිස් එකටනේ".
"අපිට ඔහොම එකක් වුනානම්" මම දිගු හුස්මක් හෙලන ගමන්ම කිව්ව.
පින්තූරය ගත්තේ :http://www.123rf.com
දෙවෙනි කතාව
මුලින්ම මගේ බ්ලොග් රසික/රසිකාවියන්ගෙන් සමාව ඉල්ලනවා පොරොන්දු වෙච්චි විදියට දෙවෙනි කතාව දාන්න බැරි වීම පිලිබඳව. එහෙම වෙන්න හේතුවත් යටිතල පහසුකම් ප්‍රශ්ණයම තමයි. මේ දවස් වල මගේ ඩුප්ලිකේට් අයිපෑඩ් එකට සිංහල ෆොන්ට් ටිකක් දා ගන්න මාර් දත කැවිල්ලක් දානව. වැඩේ ලේසි නැති පාටයි. ගූගල් ප්ලේ එක මගේ එක ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් විදියට අයිඩෙන්ටිෆයි කරන්නෑ. එහෙනම් කතාවට බහිමු.
සිරිමල් කියන්නේ එක්තරා ගමක හිටපු තරුණයෙක්. මේ කොල්ලා එක කන්නයක අස්වැන්න විකුණපු ගමන්ම කරේ මෝටර් සයිකලයක් ගත්ත එක. මෝටර් සයිකලයක් විතරක් නොවෙයි හොඳම වර්ගයේ හෙල්මට් දෙකකුත් ගත්තා. සිරිමල්ට තිබුන හීනයක් තමයි මේ මෝටර් සයිකලයේ පුංචිමැණිකාවත් දාගෙන ගම වටේ උජාරුවට රවුමක් යන්න. පුංචිමැණිකා කියන්නේ සිරිමල්ගේ අනාගත සහකාරිය වෙන්න ඉන්න කෙනා. ඉතිං ටවුමෙන් මෝටර් සයිකලය ගත්ත සිරිමල් හැල්මේ ඒක පැදගෙන ආවේ පුංචිමැණිකලාගේ දිහාවට. අළුත්ම කිරි ටොයියා බයික් එක දැක්කහම පුංචිමැණිකාටත් වඩා ආඩම්බර උනේ උන්දැගේ තාත්තා වෙච්චි සියාතු ගොයියා. එතන ඇති වුනා මෙන්න මේ වගේ දෙබසක්.
"ආ සිරිමල් අයියන්ඩී මේ තේක බීල ඉන්ටකෝ"
එහෙම කියද්දිත් සිරිමල් උන්නේ බයිසිකලයේ අතන-මෙතන තවමත් ඉතිරිවෙලා තිබ්බ ඉටිරෙදි කෑලි ගලවමින්. එක පාරටම තමන් උන්න සිහින රාජ්‍යයෙන් බිමට කඩා වැටුන සිරිමල් පුංචිමැණිකා දුන්න තේක අතට ගත්තා. අරගෙන එක උගුරට ඒකෙන භාගයක් ඉවර කරලා කෝප්පය පුංචිමැණිකාගේ අතේ තියන ගමන් මෙහෙම කිව්වා.
"දැන් ඉතිං සුනංගු නොවී ඉක්මනට ඇඳුමක් දාගෙන එන්ට. අපි යමු කන්ඳේ දේවාලෙට ඉස්සිස්සෙල්ල"
මේ කථාව දිහා තවත් කෙනෙක් කන් යොමාගෙන හිටියා. ඒ සියාතු සිරිමල්ගේ අනාගත මාමන්ඩී. එලිපත්තේ තියෙන බූරු ඇඳේ වාඩි වෙලා බුලත් විටක් සූදානම් කරමින් උන්න සියාතු සිරිමල්ට මේ වගේ ආයාචනයක් කලා
"අනේ සිරිමලෝ මාත් හරිම ආසාවකින් උන්නේ ඔය මොටෝ බයිසිකලයක කොහේ හරි යන්ට. උඹට බැරිද මාවත් ටිකක් දුර ඕකේ තියාගෙන යන්ට?"
ඒ කියපු කථාවට සිරිමල් ඇද වෙලා ගියත්. මාමණ්ඩියා තරහා කරගෙන කොහොමද ? කියන ප්‍රශ්ණාර්ථය සිරිමල්ගේ හිතේ බුර බුරා නැග්ගා. දැන් ඉතිං මොනවා කරන්ටද ? එක්කං යනව ඔන්න ඔහේ. කියල සිරිමල් හිතා ගත්තා. මමත් බූරුවා වගේ කඩාගෙන මෙහාට ගෑටුවානේ. එන්ට තිබ්බේ කවුරුත් නැති වෙලාවක් බලලා. ඒත් එහෙම කරන එකත් නරකයි නොවැ. මේ ගං තුලානේ උන් හිතයි මං කවුරුත් නැති වෙනකං ඉඳලා ගෙට රිංගනවා කියලා. සිරිමල්ගේ හිතට දහසක් දේ ආවා. අන්තිමේදි හිත හදාගෙන මාමණ්ඩිගෙන් මෙහෙම ඇහුවා.
"සියාතු මාමා මීට කලියෙන් මෝටර් සයිකලයේ ගිහින් තියෙනවාද ?"
"අනේ නැහැ කොළුවෝ. උඹට තමා මේ පළමු වතාවට කිව්වේ"
"හා යං එහෙනම් මේ හෙල්මට් එක දා ගන්ට. ඉන්ට මමම දාන්නම්."
සීරිමල් දඟලලා දඟලලා සියාතුගේ ඔළුවට හෙල්මට් එක දැම්මා. වයිසර් එකත් වහලා බොහෝම පරිස්සමට සියාතුව පස්සෙන් නග්ගගෙන දැන් යනවා. මෙහෙම ගියාට සියාතුත් හොඳටම බයයි මෝටර් සයිකලේ යන්න. එක පාරටම සියාතු මහා හඬින් කෑ ගහන සද්දෙට ගැස්සිලා ගිය සිරිමල් බයිසිකලය නවත්වලා ස්ටෑන්ඩ් එක ගහලා බැස්සා.
"අනේ බුදු අම්මෝ මං නැතෝ. අනේ සිරිමල් කොළුවෝ මට මොනවද වුනේ. මේ වහන්තරාව ගලවපන්. මගේ ඔළුව පැලිලිලද බලපං"
හෙල්මට් එක ගලවන්න කලින්ම සිරිමල්ට කාරණය වැටහුනා. ඒ දැකපු දර්ශණයෙන් සිරිමල්ට ආවේ වේදනාවක්. අන්තිමට වෙලා තිබුන දේට කොයි තරම් දුකකින් හිටියත් සිරිමල්ට හිනා ගියා. හෙල්මට් එක ගලවන ගමන් මෙහෙම කිව්ව.
"මාමන්ඩී මේ හෙල්මට් එක ඉස්සරහ වීදුරු වගේ තියෙන එක (වයිසර් එක) තියෙද්දිම තමයි විට කාල කෙල ගහලා තියෙන්නේ.