පින්තූරය ගත්තේ : http://en.allexperts.com |
පහුගිය කාලේ අපේ ඔෆිස් එකේ ටොයිලට් වල සිස්ටන් කැඩිලා ඒවායෙන් දිගටම වතුර ගලාගෙන ගියා. ඉතිං මේවා අදාල අංශ වලට දන්වලා ගොඩක් කාලයකින් පිළිසකර කර ගන්න පුලුවං වුනා. දිගටම වතුර ගලාගෙන යද්දී අපි තීරණයකට ආව ෆ්ලෂ් නොකර ඉන්න (පුරුෂයින් සඳහා වෙන් වුන පැත්තේ ටොයිලට් දෙකක් තියෙනව, පාවිච්චි කරන්නේ අපි තුන් දෙනෙක් ). එතකොට දෙන්නෙක් අතර පරතරය විනාඩි දහයක් වුනත් කරදරයක් නෑ.
මේවා හැදුවට පස්සේ මට හිතුනා කොයි තරම් වතුර ප්‍රමාණයක් අපතේ ගියාද කියල හොයල බලන්න. මම ගිහින් සිස්ටන් එකේ පියන උස්සලා බැලුවා. එහි ලීටර් දහතුනක ප්‍රමාණයක් සටහන් කරල තිබුණා. ඒත් මෙහි ලීටර් දොලහක් දක්වා වතුර පිරිල තිබුණා. පිරිල තුබුන වතුර එක ෆ්ල්ෂ් කරලා මම නැවත් පිරෙන්න යන කාළය මැන්න. ඒ සඳහා විනාඩි දෙකකුත් තත්පර දහයක් ගත වෙනවා. ඒ අනුව එයට වතුර ගලා එන වේගය තත්පරයට ලීටර් 0.0923 (12/130) ක් වෙනවා. ඒ අනුව එක් දිනක් තුල මෙසේ ගලාගෙන යන ජල ප්‍රමාණය ලීටර් 12/130 x 60 x 60 x 24 = 7975 ක් වෙනවා. ඔබට මෙය අදහා ගන්න පුලුවන්ද ? මෙවැනි ටොයිලට් දෙකකින් ගලගෙන යන ජල ප්‍රමාණ ලීටර් 15950ක් වෙනවා. මෙය එක් දිනක් සඳහා යන ජල ප්‍රමාණය ප්‍රමාණයි. එක් අයෙක් දවසකට පස් වතාවක් ටොයිලට් එක භාවිතා කලහොත් 5 x 12 x 3 = 180. එතකොට අපතේ යන ප්‍රමාණය ලීටර් 15770.
මම ලංකවේ හුඟක් පලාත් වලට ගිහින් තියෙනවා. බොහොමයක් පළාත් වල ජනතාවට බොන්න හොඳ වතුර නෑ. සමහරුන්ට කොහෙත්ම වතුර නෑ. එයාලා වතුර ගන්නේ හරියට අවුරුදු දහයකට කලින් අපි අන්තර්ජාලයට ගියා වගේ. මහ රෑ, නැත්නම් පාන්දරින් නැගිටලා ලිඳට යනවා. මගේ උපන් ගමටත් නල ජලය එන්න කලින් පානීය ජල ප්‍රශ්ණය තිබුණා. ඒ කාලේ අපිත් පන්සල කන්ද පාමුල තිබ්බ ලිං කීපයකින් තමයි වතුර ගත්තේ. බෙන්තොට කියන්නේ මුහුදුබඩ ඒ වගේම ගඟක් තියෙන පහත් බිම් ප්‍රදේශයක්. ටිකක් පහලට ගියාම හිරිගල් අහු වෙනවා. එතකොට ඒ ලිඳෙන් හොඳ වතුර බලාපොරොත්තු වෙන්න බෑ. අපි ඒ ලිං වැසිකිලි භාවිතය වගෙ එදිනෙදා කටයුතු වලට භාවිතා කලා. බොන්න වතුර ගේන්න පන්සල ලිඳට යනව. පායන කාලෙට වතුර ගන්න පෝලිම. අඩියේ හිර වෙලා තියෙන වතුර ටික කල වලට පුරවා ගන්නවා. බොහෝ විට ටින් එකකින් සාදා ගත්ත බාල්දියකින් අඩි 80ක් විතර පහලට දාල එකෙන් භාගයක් වගේ පුරවගෙන උඩට ගන්නවා. අක්කයි මායි නැත්නම් තාත්තයි මායි තමයි ලිඳට යන්නෙ. දෙපැත්තෙන් අත් දෙක දාලා කලේ අරන් එනව. එහෙම වතුර ගෙනාපු කෙනෙකුට තමයි වතුරේ අගය තේරෙන්නේ. මම පොරක් වෙන්න උත්සාහ කරනවා කියල හිතන්න එපා. අපේ පැත්තෙ නාන්න ඕන තරම වතුර තියෙනව. ඒත් බොන්න නෑ. පන්සල කන්ද වටෙට තිබුන ලිං කීපයක් තමයි මුළු ගමටම වතුර දුන්නේ.
ලෝකයට සාපෙක්ෂව ලංකාව ජලය හොඳින් පවතින රටක්. ඕනෑනම් ලෝකයට දෙන්න උනත් ජලය තියෙනව කියලයි කථාවට කියන්නෙ. ඒත් රට ඇතුලේ ජලය බෙදාහැරීමේ විෂමතා තියෙනවා. නගරාසන්න ජනතාව කාර් හෝදන්න, මල් වලට දාන්න, නාන්න, ගෙවල් පිරිසිදු කරන්න ගන්නෙත් පිරිපහදු කල පානය කරන්න පුලුවන් ජලය. අපි ගන්න වතුර වලට බිලක් ගෙවනවනේ කියල ඔබට හිතෙන්න පුලුවන්. ඒත් අපි කාර් හෝදන වතුර ටිකක් බොන්න වත් වාසනාව නැති අය මේ රටෙ කොයි තරම ඉන්නවද. ගෙවලවත් එගොල්ලොන්ට හොඳ වතුර ටිකක් ගන්න නෑ. බෝතල් කල පානීය ජලය මේ ප්‍රශ්ණය විසඳුව කියල කවුරු හරි කියනවනම් ඒක මහ මුලාවක්. මේ රටේ ඉන්න හැම කෙනෙකුටම බෝතල් වතුර බොන්න තරම් වත්කමක් නෑ. අනිත් අතින් අපි හිතුවට හැම් ගම් දනව්වකටම ඒව යන්නෙන්ත් නෑ. නාගරික හා අර්ධ නාගරික පෙදෙස් වල තමයි මේවා දකින්නට තියෙන්නේ. ලංකාවේ අවශ්‍යතාවට සරිලන්න අලියා බීම හෝ මංචි/මැලිබන් බිස්කට් නිශ්පාදනය කරන්න බැරි බව ඔබ දන්නවාද? ඉතිං ජලය බෙදී යාමේ විෂමතා ගැන් කුමන කථාද?
මගේ පුද්ගලික විශ්වාසය තමයි ලංකාවේ ජලය වර්ග දෙකකින් තිබිය යුතු බව. ඒ කියන්නේ දැන් තියෙනව වගේ සුපිරිසිදු තත්වයේ වතුර එක් නල පද්දතියකිනුත්. පිරිසිදු නොකල ජලය තවත් පද්දතියකිනුත් සියලුම පලාත් වලට බෙදා හරින යාන්ත්‍රනයක් තිබිය යුතුයි. එත්කොට බීමට හා ස්නානයට එම ජලයත්. පිරිසිදු නොකල ජලය අනෙකුත් පවිත්‍රතා කටයුතු වලටත් භාවිත කරන්න පුලුවන්. එහෙම වුනොත් අඩු මිලකට සැම දෙනට හොඳ ජලය සපයන්න පුලුවන්. භාවිතා කරන ලීටර් ප්‍රමාණය අඩු වෙද්දි මිලත් අඩු වෙනවා. සම්ප් වල හා ටැංකි වල පානීය ජලය එකතු කිරීම නතර කරන්න වෙනව. මෙය පාලනය කරන්න බැරි නිසා කරන්න පුලුවන් හොඳම දේ පිරිසිදු නොකල ජලය නල ජලය ලෙසත්. පානීය ජලය සහනදායි මිලකට බොතල් ලෙසත් ලභා දීම. නැත්නම් තායිලන්තයේ නගර වල වගේ කාසි මගින් ක්‍රියා කරන පානීය ජල බෙදාහැරීමේ ව්‍යපෘති ආරම්භ කරන්න පුලුවන්.