Saturday, September 28, 2013

ලොල්ද මන්දා අංක 11 : සෝවාන් හාමුදුරුවන්ගේ බණ ......

මේ දවස් වල රුපවාහිනියේ,  ගුවන්විදුලියේ ඇති වෙන්න බණ අහන්න ලැබෙනවා. ඇත්තටම ඒක හොඳ ප්‍රවනතාවයක්. ස්වාමීන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේ යෙදෙන එක මොනතරම් වටිනවද ? ඒත් මෑතකාලීනව මේ ස්වාමීන් වහන්සේලාව වටේ ගුරුකුළ ගොඩනැගෙන්න පටන් ගත්තා. සමහරු කියනවා අර හාමුදුරුවෝ හොඳයි, මේ හාමුදුරුවෝ හොඳයි. අර හාමුදුරුවෝ ලස්සනයි,ශාන්තයි, දැක්කම හිත පැහැදෙනවා. අපි යන්නේ අර පන්සලට, අපිනම් යන්නේ අර අසපුවට, බෞද්ධයෝ නිර්මාංශ විය යුතුයි, එහෙම නිර්මාංශ ප්‍රශ්නයක් නෑ.  මුදලට මාර්ග ඵල විකුණන අයත් ඉන්නවා. ඒ වගේම මතු බුදු වෙන බවට විවරණ දෙන අයත් ඉන්නවා.  ඉතිං මේ වගේ නානාප්‍රකාර දේවල් නිසා මතගැටුම ඇති වෙනවා. කොටින්ම මමත් මේවට යහමින් දායක වෙනවා. ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ මතවාද වටා ජනතාව ගොණු වෙලා කල්ලි ගැහෙන එක. හැමෝම පොදු අරමුණ වෙත යනවා වෙනුවට මේ වගේ දේවල් අල්ලාගෙන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා.
පින්තුරය ගත්තේ : http://www.youtube.com/watch?v=j5AxekJdyrg

මේ අතරට අලුතෙන්ම එකතු වෙලා තියෙන එක තමයි "අපි අහන්නේ සෝවාන් හාමුදුරුවන්ගේ බණ" කියන වාක්‍යය. සමහරු ඉන්නවා රහතන් වාහන්සේලාගෙන් බණ අහපු. හැබැයි මම නෑ කියන්නේ නෑ. අපි බණ අහන ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් මාර්ග ඵල ලබපු. නමුත් උන් වහන්සේලා තමන් එහෙම මාර්ග ඵල ලැබුවා කියල දේශනා කරන්නේ නෑ. අනිත් එක අද කාලේ මේ විසූක දස්සන තියෙන ලෝකේ එහෙම සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වාසය කරන්න බෑ. මටත් ළඟදී මම දන්නා මහත්මයෙක් ඔය කථාව කිව්වා. මම ඒ ගැන වාද විවාද කරන්න ගියේ නෑ. මොකද කෙනෙක් ගොඩ නගාගෙන ඉන්න ශ්‍රද්ධාව නැති කරන්න උත්සාහ කිරීම පවක්. එතුමා ඒ බණ මටත් කොපි කරලා දුන්නා. මමත් අරන් ආවා මිසක් අහන්න ලැබුණේ නෑ. සමහර විට මගේ පව්කාර කමට වෙන්න පුළුවන්. දවසක් මම බස් එකක යන ගමන් මෙන්න මේ වගේ සංවාදයක් කණට වැටුණා.

පළමු මගියා : මචං මම මේ දවස් වල හරි ෂෝක් බණ ටිකක් අහනවා. 

දෙවන මගියා :  හොඳයි. හොඳයි. බැරිද අපිවත් නිවන් දක්කන්න ? (විහිලුවට මෙන්)

පළමු මගියා : මචං උඹලට හැම දෙයක්ම විහිළු. දැන් කීයද වයස ? හැරමිටියෙන් යනකොට පන්සිල් අරන් වැඩක් නෑ. දැන්ම බණ ටිකක් අහන්න පටන් ගනිං.

දෙවන මගියා :  හරි. හරි. අපිත් නාහම ඉන්නේ නෑ. මමත් එහෙන් මෙහෙන් අහනවා බස් එකේ යනකොට.

පළමු මගියා : ඒ මොකද බස් එකේ විතරක්.

දෙවන මගියා :  නෑ ඉතිං දැන් තියෙන හැම එෆ්.එම්. එකේම බණ යනවනේ. ඒගොල්ලෝ එකනේ චැනල් එක අහනවට සල්ලිත් දෙන්නේ. 

පළමු මගියා :  අපි නම් අහන්නේ සෝවාන් වෙච්ච හාමුදුරුවන්ගේ බණ.

දෙවන මගියා :  මමත් අහලා තියෙනවා රට ගිය කාලේ. 

පළමු මගියා : ඈ. මොන රටෙදීද ? ඇත්තටම පිට රටවලත් ඉන්න පුළුවන් සෝවාන් හාමුදුරුවෝ.

දෙවන මගියා :  ඉන්නවා නේන්නම්. ඉන්දුනීසියාවේ තමයි මම දැක්කේ. එහෙ සෝවාන් හාමදුරුවරු ඕන තරම්.

පළමු මගියා : මම නෑ කියන්නේ නෑ. ඒත් ඉන්දුනීසියාව කියන්නේ මුස්ලිම් රටක් නේද ?

දෙවන මගියා :  ඒ වුනාට සෝවාන් හාමුදුරුවරු ඉන්නවා. මම බණත් අහලා තියෙනවා. 

පළමු මගියා : හරි එහෙනම් කියපන් බලන්න හාමුදුරුවන්ගේ නම ? මම හොයලා බලන්නම්. ඔය රටවල ඉන්න හාමුදුරුවෝ අපේ හාමුදුරුවොත් එක්ක සම්බන්ධ කම් ඇති. 

දෙවන මගියා :  නම තමයි සෝවාන්. එහෙ හාමුදුරුවරු නම් දාගන්නේ එහෙම තමයි. තව හාමුදුරු කෙනෙක් ඉන්නවා දිට්ඨිසම්පන්නෝ කියලා. මෙහෙත් ඉන්නේ ධර්මදූත වගේ නම් තියෙන අය. 

Thursday, September 26, 2013

ෆොන්ටෙරා සහ හයිලන්ඩ් ......

මම නැවතත් දෑස පිසදා බැලීමි. ඔව් මේ තියෙන්නේ ෆොන්ටෙරා සලකුණ තමයි. ටික කාලෙක ඉඳන් අතපොවන දුරේ තිබෙන කණ්ණාඩි කුට්ටම දෑසේ රුවා ගතිමි. දැන් නම් මොන ජගතටවත් මගේ ඇස් දෙකට බොරු කරන්න බෑ.  මේ තියෙන්නේ යස අපූරුවට. හහ් ! කොහොමද මේක වුණේ. දෙවියනේ අද උදේ පෝලිමේ ඉඳලා ගත්ත හයිලන්ඩ් පැකට් එක. එහෙනම් මේකත් මුන්ගේම වැඩක්. මෙවර මා දිව ගියේ ශීතකරණය වෙතයි. එහි ඇති යෝගට් කප් සියල්ල එළියට ගෙන එකින් එක පරීක්ෂා කළෙමි. 
"හත් දෙයියනේ, මුන්ට හෙන ගහන්න එපැයි. මේ යක්කු සෙල්ලම් කරන්නේ මේ අපේ ජීවිතත් එක්කනේ"
පින්තූරය ගත්තේ මමමයි.
තවත් යෝගට් කප් එකක් රවුම් කිහිපයක්ම කරකවා බලන ගමන් කෑ ගැසුවෙමි. ආහ් ! ඒ පාර මේ කප් එකේ මේ මගුල් සලකුණ නෑ. මේ වනවිට යෝගට් කප් එකට වැටී තිබෙන සිහින් දාඩිය බින්දු කිහිපය පිසදා නැවතත් කරකවා බැලුවෙමි. මේක නම් හොඳයි. එතකොට අරක? නැවතත් යෝගට් ටික ගෙන මේසය වෙත ගොස් වාඩි වුණෙමි.
"මොකද මේ ෆ්‍රිජ් එකේ දොර ඇර දාලා? මෙහෙම තිබ්බොත් ගෙවන්න වෙයි ලයිට් බිල්"
 ඒ බිරිඳගේ සුපුරුදු වාග් මාලාවයි.
"කෙහෙම්මල .... එයා ගෙවන ලයිට් බිල්"
මා සිතින් මුමුණා ගතිමි. එය මහා හයියෙන් කිව්වා නම් තවත් ගාල ගොට්ටියකට මුල එය වන්නට තිබුණි. දැන් ගොඩවල් දෙක හදා අවසන්ය. එහෙත් අර ලේබලේ නැති යෝගට් තුනක් සහ ලේබලය තිබෙන ඒවා හතක් ලෙස බෙදී ඇත. කරුමෙක මහත. 
"දැන් ඉතිං අපි තුන් දෙනාට මේ තුන කාලා අනිත් ටික විසි කරන්න තමයි වෙන්නේ. අයියෝ සල්ලි "
ඊයේ උදේ කාර්යාලයට ආ බෙදාහැරීමේ ලොරියෙන්ම මිලදී ගත් කිරිපිටි, යෝගට් සහ කිරි පැකට් වලට වෙච්ච දෙයක්. කඩේ තුන්සිය දහයක් හින්දම නෙවෙයි, හැමතැනම හිඟ නිසයි එහෙම ගත්තේ. ඒ වුණත් එකකින් රුපියල් දා හතරක් කියන්නෙත් අද කාලේ ලේසි පහසු ගණනක් නෙවෙයි. ඒත් මේ මගුල දැන් විසි කරපංකෝ. අයියෝ ඩී.සී.ඩී. කවුද අම්මපල්ල ඔය මගුල හොයා ගත්ත එකා. මෙතන හිටියානම් කෙළිනවා පිටි පැකට් එකෙන්ම. මේ අතර හතේ ගොඩෙන් යෝගට් එකක් අරගත් මායියා කොටා බාන්නට සැරසේ. උන්දට නම් මොකද ?
" කාපං කාලා මැරියන්" 
යළිත් හිතෙන්ම කී මම, ඇය යෝගට් එක කා අවසන් වනතුරු සිනා මුසු මුහුණින් බලා සිටියෙමි. 
"ඉවරද ? ඔයා කෑවේ ඩී.සී.ඩී. තියෙන යෝගට් එකක්"
"කෙහෙම්මල මේක හයිලන්ඩ් යෝගට් එකක්. ඔය කණ්ණාඩි දෙක දාලත් දැන් පෙන්නේ නැද්ද ?"
"කණ්ණාඩි ... කණ්ණාඩි ගන්න වෙන්නේ මට නෙවෙයි තමුසෙට ... බලනවා ඕක හොඳට කරකවලා"
එවර ඇය කථාව නවතා යෝගට් කෝප්පය කරකවන්නට විය. මා නැවතත් හොඳ යෝගට් ටික ෂොපින් බෑග් එක තුළටම දමා ෆ්‍රිජ් එකට දමා අවසන් කරන්නට පෙර
"කෝ මේකේ කොහෙවත් ගහලා නෑ ඩී.සී.ඩී. තියෙනවා කියලා. පිස්සු විකාර නැතුව ඔන්න ඔය යෝගට් ටික ෆ්‍රිජ් එකට දානවා. මම මේ චූටි අකුරු වලින් තියෙන ඒවත් කියවලා බැලුවා. දැන් ඔය චොක්ලට්, කිරිටොපි, නෙස්කැෆේ, නෙස්ටී ඕවයේ තියෙන කිරි වල ඩී.සී.ඩී. තියෙනවා කියලා කවුද බැලුවේ."
"මේන් කියලම ගහයි. පේන්නැද්ද ඕකේ තියෙන ෆොන්ටෙරා ලේබලේ ?"
"මොකක්ද ෆොන්ටෙරා ලේබලේ අර කැසට් සීඩී වල තියෙන සිංග් ලංකා ලේබලේ වගේ එකක්ද ?"
මෙවර ඇය සිනාසෙමින් පවසයි. මේ වගේ මෝඩ ගෑනියෙක්. සිතින් සිතමින් 
"හලෝ ෆොන්ටෙරා කියන්නේ ලංකාවට ඇන්කර්, එතකොට ඇන්ලීන් ගෙන්නන කට්ටිය. මම මේ බලන්නේ උන්ගේ ලේබලේ අපේ හයිලන්ඩ් එකේ ගැහුවේ මොන මගුලටද කියලා"
මේ වනවිට මගේ හිතට හීන් සැකයක් මතු වී තිබේ. ඒ ෆොන්ටෙරා සමාගම පහුගියේ ටිකේ පාඩු වූ නිසා, පහුගිය ටිකේ වේලි වේලි තිබ්බ හයිලන්ඩ් පැකට් දැන් හොයන්නත් නැති නිසා, හයිලන්ඩ් එකම එකත් කුණු කොල්ලෙට ගන්න ඇති යන්නයි. සිදු විය හැක්කේද එයයි. පහුගිය ටිකේ නිකං දුන්නත් ඇන්කර් ගන්න කවුරුවත් හිටියේ නෑ. ඒ කාලේ උඩ දාගෙන බීපු ඔක්කොම එවුන් දැන් පොර කකා හයිලන්ඩ් ගත්තේ. අපි හයිලන්ඩ් යෝගට් ඉල්ලනකොට නිව්ඩේල් කාපු එවුන් දැන් අපිවත් පෙල්ලගෙන ගොස හයිලන්ඩ් යෝගට් 20-30 ගන්නේ තුන් වේලටම කන්න හිතාගෙනද මන්දා ? 

අවුරුදු දෙකක ඉඳන් ලංකාවේ පත්තර නොබලන මගේ ගොන් කමට ශාප කර ගනිමින්, වහා දිව ගියේ හන්දියේ කඩේටයි. මේ වනවිට බොහෝ පත්තර විකිණී අවසන්ය. ඉතිරිව තිබු පත්තරයක් ගෙන මා යළිත් හැල්මේ ගෙදර ආවේ මාගේ කණ්නාඩි කුට්ටම මෙසේ උඩ නිසාය. නැතිනම් පොඩි කාලේ වගේ පාරේම කියවාගෙන එන්නට තිබුණි. මා කෙළින්ම කණ්ණාඩිය දමාගෙන පිටු පෙරළාගෙන පෙරළාගෙන ගියෙමි. පිටුවක් පුරාම "ෆොන්ටෙරා" සමාගමේ දැන්වීමකි. එහි සඳහන් වන්නේ සහමුලින්ම වෙනස් කතාවකි. 
"ෆොන්ටෙරා සමාගමත්  හයිලන්ඩ් එකත් මින් පසු එකම සමාගමක් ලෙස"
මේ මොන හරුපයක්ද ? ඊට යටින් නවසීලන්ත කෙප්ප වැස්සියක් සිනාසී බලා සිටී. මේකිත් හිනා වෙන්නේ අපිටමද මන්දා ? මම දනී-පනී ගා අනෙක් පිටු පෙරලා බැලීමි. එක පාරටම වෙළඳ පිටුවේ ඇති කුඩා ප්‍රවෘත්තියක් ළඟ මගේ දෑස නතර විය. 
"ෆොන්ටෙරා සමාගම හයිලන්ඩ් මිලදී ගනී"
මොනවා ? මුන්ට හෙනම ගහන්න එපැයි. පත්තරේට වැරදිලා වත්ද ? මේකනම් අහලම බලන්න වටිනවා. කෝ මගේ ෆෝන් එක. 
"දුවේ මගේ ෆෝන් එක අරන් එන්න පැටියෝ"
මගේ පිටට ගැහුවේ කවුද ? මම දෑස් පිසදා බැලීමි. මා මේ දුටු ජවනිකාව සිහිනයක්ද? හාත්පසම කළුවරය. වටපිට අතපත ගා බැලුවෙමි. දියණියගේ විළුඹ මාගේ පිට අසලම නැවතී ඇත. මා ඇඳේ වාඩි වී නැවතත් කල්පනා කලෙමි. මට එලෝ කෝටියට දාඩිය දමා ඇත. මේ දවස් වල තියෙන රස්නේ. මම නැගිට ලයිට් දමා කෙළින්ම ගියේ කුස්සියටය. ඒ ඊයේ ගෙනා හයිලන්ඩ් පැකට් දෙක පරීක්ෂා කිරීමටය.
______________________________________________
මෙය ප්‍රබන්ධයක් මිස සත්‍යයක් නොවේ. මේ දිනවල නිතර කතාවෙන මාතෘකාවක් වන ඩී.සී.ඩී. භීතිකාව අලලා ලියූවකි.  මෙයට නිමිත්ත වුයේ ඊයේ කාර්යාලයේ එළිපත්තට පැමිණි බෙදාහැරීමේ රථයෙන් මිලදී ගත් කිරිපිටි පැකට්, යෝගට් සහ දියර කිරි සිහි වීමෙනි. 

Tuesday, September 24, 2013

ප්‍රදර්ශණයෙන් පොත් ගත්තාද ?

2013 පොත් ප්‍රදර්ශනේ අහවර වෙලා දවස් දෙකයි. මේකත් දැන් පොසොන් එකට අනුරාධපුරේ යනවා වගේ අවුරුද්දකට සැරයක් බී.එම්.අයි.සී.එච්.යන එකත් පුරුද්දක්  වෙලා තියෙන්නේ. පුදුම පොත් විකිණිල්ලක් සහ ගැනිල්ලක්. ඔබත් පොත් වලට ප්‍රේම කරන කෙනෙක්ද ? එහෙනම් මේ  ගන්න පොත් ආරක්ෂා කර ගන්න විදියක් ගැන හිතලා ඇති.  පොත් වලට කවර දානවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? ඔබට එහෙම හිතෙන්න ඇති. නමුත් මේක ටිකක් අලුත් ඒ වගේම නිර්මාණශීලී ක්‍රමයක්. 

මේ පාර පොත් ප්‍රදර්ශනේ මම ගිය එකම දවස පහුගිය සෙනසුරාදා. පොත් ගැනිල්ල කොයි හැටි වෙතත් ඕනෙයා සහ ලියන්නා දෙන්නත් එක්ක එකතු වෙලා වෙනමම ප්‍රදර්ශනයක් බලන ගමන් අපි කථා වුණේ පොත් ආරක්ෂා කර ගන්න විධි ගැන. පහුගිය ටිකේ දුවගේ පොත් වලට පිට කවර දාපු අත්දැකීමත් එක්ක මම කිව්වා 

"දැන් නම් ඉස්සර වගේ කරදර වෙන්න ඕනේ නෑ, ක්ලියර් බුක් කවර් තියෙන නිසා. මම ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි පොඩි එකීගේ පොත් වලට දැම්මේ ඒ කවර. ඒ නිසා පොත් වලට මොනවත් වෙන්නේ නෑ" කියලා.
මේ කතාව අහනකම් මගේ මිත්‍රයෝ දෙන්නා මේ ගැන දැනගෙන හිටියේ නෑ. නමුත් දුලිප් මීට කලින් මේ ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ලංකාවේ නැති හයි-ෆයි ගණයේ අයිටම් එකක් කියලා තමයි හිතාගෙන ඉඳලා තිබුණේ. ඉතිං මම ඒ විස්තරේ ඒ දෙන්නට කළාම, ඒක පොත් වලට සැබෑ ලෙසම ප්‍රේම කරන අය විදියට ඒ දෙන්නට නම් සුබ ආරංචියක් වුණා. පස්සේ මට හිතුණා මේක අපේ බ්ලොග් සහෘද්ධයොත් එක්ක බෙදා ගන්න. හොඳ දෙයක් දකින්න ලැබුණොත් එකා නොමිලේ ප්‍රමෝෂන් කරන එක මගේ සිරිතනේ. 

මේ පොත් කවර එන්නේ සී.ආර්. පොතකට දාගන්න පුළුවන් ප්‍රමාණයෙන්.  (පස්සේ මැනලා හරියටම සයිස් එක කියන්නම්). මේ කවර වල තියෙන විශේෂත්වය තමයි මේක පොත් කවරයට අලවා ගන්න පුළුවන් කම. ඒ කියන්නේ මේක ස්ටිකර් එකක් වගේ. බුබුළු ඇති නොවෙන්න අලවා ගන්න ඕනේ. මේක ඇලෙව්වා පස්සේ පොතේ කවරේ ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්.  මේ පැකට් එකක් මකීන් පොත් හලේ රුපියල් තුන්සිය හැටක්  වෙනවා. එකක කවර දහයක් තියෙන්නේ. ඒ කියන්නේ එකක් රුපියල් තිස් හයක් වෙනවා. ගණන් වැඩියි කියලා හිතෙනවද ? හැබැයි මේක මම ගිය අවුරුද්දේ ජයා පොත් හලෙන් ගත්තේ රුපියල් තුන්සීයකට. මේ වගේ තැන් වල කොහොමත් ගණන් වැඩියි. ලිපිද්‍රව්‍ය වල කේන්ද්‍රය(Stationary Hub) වශයෙන් සැලකෙන පිටකොටුවේ මැලිබන් වීදියේ හරි පීපල්ස් පාක් එක පැත්තේ ගියොත් අඩුවට ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ කවරයක් දෙකට කපලා අපි කියවන පොත් වලට දා ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ප්‍රවේශමෙන් කරන්න ඕනේ. 

මේ තියෙන්නේ ඒ පොත් කවර වල බහලුම.

 එක් කවරයක් ඉවතට ගත්තම තියෙන්නේ මේ වගේ. මේ ඇලවෙන පැත්ත නෙවේ අනිත් පැත්ත. මේකේ තියෙන කොටු නිසා ඔබට පොත සමබර කරගන්න පහසු වෙනවා.

මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ මැද තියෙන සෙන්ටිමීටර් එකක් තරම් පටිය ඉවත් කර ගන්න එක. 


 ඊට පස්සේ මෙන්න මේ පෙනෙන විදියට පොත සමබරව තබාගෙන, අර විවර කර ගත්ත කොටසෙන් හීනි තීරුවක් පොතට අලවාගන්න.

ඉන් පස්සේ එක පැත්තක කවරය විවර කරගෙන අලවා ගන්න සුදානම් වෙමු.


 සම්පූර්ණයෙන් අලවා නිම කරන්න කලින්, පොතට උඩින් මේ ෆිල්ම් එක තියලා කෙළවර අනවශ්‍ය කොටස් මෙන්න මේ විදියට කතුරකින් කපලා ඉවත් කර ගන්න. පොතේ දාරයට උඩිනුත් මේ වගේම අනවශ්‍ය කොටස් ඉවත් කරන්න ඕනේ. 

 දැන් තමයි ඉතාම ප්‍රවේශමෙන් කරන්න ඕන කොටස තියෙන්නේ. පොත මත බුබුළු ඇති නොවෙන්න රෙදි කෑල්ලක් ආධාරයෙන් ඉහළට පහළට මදින ගමන්, අනිත් අතින් ඉතා සීරුවෙන් ස්ටිකර් එකේ යටින් තියෙන කඩදාසිය අදින්න ඕනේ. 

 මේ තියෙන්නේ සම්පූර්ණයෙන් පොතේ කවරය මත මේ ෆිල්ම් එක අලවාගෙන අවසන් වූ පොතක්. මේ නවන කොටස් අලවන එකත් ඉතාම සීරුවෙන් කරන්න ඕනේ. පොත් පනහක් - හැටක් මේ වෙනකොට අලවපු අත්දැකීමෙන් මම හොයා ගත්ත දෙයක් තමයි මේක ඇතුල් පැත්තට නවලා මුලින්ම හරි මැදින් ඇතුළටම එක ඇඟිල්ලකින් ඉරක් අඳින විදියට අලවාගෙන ඉන් පස්සේ අර රෙදි කෑල්ලේනම දෙපැත්තට ස්පර්ශ කරලා අලවා ගැනීමෙන් අනවශ්‍ය රැලි ඇති වීම වලක්වා ගන්න පුළුවන් කියන එක. 

මේ තියෙන්නේ එහෙම අලවා අවසන් කරපු පොතක්. සමහර තැන් වල මෝස්තරයක් වගේ පෙන්නේ ඒ ස්ටිකර් වල තියෙන මෝස්තරය(Texture). ඒවා හරියට අර ජනෙල් වලට දාන මල් වීදුරු වගේ. හැබැයි එහෙමත් නැත්නම් තමයි මම කැමති. 

Sunday, September 22, 2013

ලොල්ද මන්දා 10 : පොල් සම්බෝලේ ......

පදමට දෙහි - ලුණු - මිරිස් දාලා හදන පොල් සම්බෝලයක් තරම් තවත් රසවත් කෑමක් මිහිපිට තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. මෙහෙම වැඩිපුරම හිතුණේ 2004 දී මම බැංකොක් ගිය වෙලාවේ. අපි හිටිය බෙන්ස් රෙසිඩන්ස් කියන හෝටලයේ සිංහල කෑම හදලා දෙනවා. ඒත් කිසිම මිරිස් සැරක් නෑ. හේතුව තමයි මේක එයාලගේ කෑමක් නොවීම. බැංකොක් වල ඒ කාලේ තිබුණ තෙල් ගඳට සහ රසට අපිට වමනේ යන්න කිට්ටු කරලා තිබුණේ. බැංකොක් වලින් ලංකාවට ආපු හාදයෙක් පොල් සම්බෝලයි පානුයි මෙහෙදී හොඳට සප්පායම් වෙලා, පස්සේ අපෙන් ශිල්පය ඉගෙන ගෙන වැඩ දාලා හදලා කන අපූරුව බලන්න පහළ තියෙන වීඩියෝ එකෙන්.


නමුත් අපේ කතාවේ සිද්ධිය මේක නෙවෙයි. මගේ ඔෆිස් මිත්‍රයකුගේ බිරිඳ එම්.බී.ඒ. කරනකොට ඇයට දිවා ආහාර විවේකයේදී එක් වන මිතුරියක් ඉන්නවා. ඇය ලංකාවේ ප්‍රධාන සුපවෙදීණියකගේ දුවක්. කවුද කියලා මේ වෙනකොට ඔයාලගේ හිතටත් ඇවිත් ඇති. ඉතිං හිතන්නකෝ ලංකාවේ බොහොමයක් චැනල් වලින්, ලංකාවේ කාන්තා පාර්ශවයට උයන්න උගන්වන සුපවෙදිණියගේ දියණියත් සමග දිවා ආහාරය ගන්න ලැබෙනවා කියන්නේ මොන වගේ භාග්‍යයක්ද කියලා. වෙන කාරණයකට නෙවේ, ඉතින් බත් කනකොට තමන්ගේ තියෙන කෑම බෙදාගෙන කන එක අපේ සිරිත නිසා. එහෙම කිව්වම මතක් වුණේ සමහර ය ඉන්නවා, එක්කෝ බත් විතරක් කාර්යාලයට අරන් එනවා, නැත්නම් ව්‍යංජන විතරක් ගේනවා. ෂේප් තියරියෙන් වැඩේ ගොඩ යනවා. මේ වගේ සමහරු එකතු කරලා එක්කෙනෙකුට හදලා දෙන බත් එකට මම කලින් හිටිය ඔෆිස් එකේ අය කියන්නේ පාත්තරය කියලා. කෑම ගෙනියන්න බැරි වුණ දවසක මමත් පාත්තරයට වග කිව්වා.
පින්තූරය ගත්තේ : http://polsambolandbread.blogspot.com

ඉතිං දවසක් දිවා විවේකයේදී මගේ මිතුරාගේ බිරිඳත් අර මා.... නෑ... නෑ.. එයාගේ මිතුරියත් එකතු වෙලා දිවා ආහාරයට සෙට් වෙලා. අර කියපු සුපවේදිණියගේ දියණියගේ ලන්ච් බොක්ස් එකේ තිබිලා තියෙන්නේ බතුයි පොල් සම්බෝලයි විතරයි කියලා. මේ දෙන්නා එකට කෑම ගත්තත් බෙදා-හදාගෙන කන්න අර සුපවේදියණිය වැඩි කැමැත්තක් නෑලු.  අදහන්නත් පුදුමයි නේද ? නමුත් ඇත්ත. ඉතිං මිතුරාගේ බිරිඳ ඇයට තමන්ගේ ආහාර වලින් කොටසක් දාන්න අහලා. මොකද එයා ටිකක් අමුතු ජාතියේ කෙනා නිසා. එතකොට අර සූපවේදියණිය කියලා තියෙනවා.

"නෝ...නෝ... තැන්ක්ස් මයි ඩියර් ... ඈස් ෆාර් ඈස් පොල් සම්බෝල් ඉස් දෙයා(ර්). අයි කැන් මැනේජ් " කියලා. 

Wednesday, September 18, 2013

පැරාට ඇන්දූ අරා ......

මේ නම් දෙක ගැන මීට වඩා නම පුංචි දෙයක් වත් අහන්න එපා. දෙන්නම මගේ ඔෆිස් මිත්‍රයෝ. ඒ නිසා වැඩි විස්තරයක් කරන්න බෑ. පැරා කියන්නේ කොහොමත් හොඳට අඳින්න උපන් පුතා. හැම දේම සීරියස් හිතන, ඒ වුණත් අහිංසක, හැඟුම්බර කොල්ලෙක්(ඉස්සර). ඒකටත් එක්ක අරා. හැම වෙලාවේම කාට හරි අන්ඩරයක් දීල ආතල් එකක් ගන්න ජාතියේ පොරක්. හැබැයි අරාට ඒ වගේ ඇන්දිල්ලක් හරි විහිළුවක් හරි කළොත් එලෝ කෝටියට තද වෙනවා. හරියට අර චණ්ඩි ගුටි කන්න ආස නෑ වගේ. අරාගේ දවසක කාට හරි ගිනිගෙඩියක් නොදීපු දවසක් නැති තරම්.

පැරා වැඩට එන්නේ කෝච්චියේ. රඹුක්කන කෝච්චියේ වැඩට එන පැරා බොහොම දවසට රතු ඉර බේර ගන්න සටනක් දෙනවා. ඈත ප්‍රදේශයක ඉඳන් දවස් හතම වැඩට එන්න ගියාම තියෙන වදේ මම හොඳටම දන්නවා. ඒ මාත් බැංකුවට ආව මුල් කාලේ ගෙදර ඉඳගෙන වැඩට ගිය නිසා. සතියේ අන්තිම දවස් වෙනකොට නිකං මත වෙලා වගේ. ඒත් පැරා මුළු කාලෙම, මේ සුමේ ඇද්දා. මේ කෝච්චි ප්‍රමාද වෙන දවසට, අටයි කාලට වදින නිල් ඉරත්, අටහාමාරට වදින රතු ඉරත් බලන බලන අත පැරාට පේනවා. ලොකු සටනක් දීලා දාඩිය මුගුරු දාගෙන තමා පැරා උදේ ඇවිත් පුටුවේ වාඩි වෙන්නේ. පුදුම අනුකම්පාවක් මේ මනුස්සයා ගැන වෙලාවකට ඇති වෙනවා. දෙදරු පියෙක් වෙච්ච පැරාට තමන්ගේ දරු මල්ලෝ දකින්න වෙන්නේ සති අන්තයේ විතරයි. 

තවත් දවසක් කොටුව දුම්රිය පොළට රඹුක්කන කෝච්චිය ළඟා වුණේ ප්‍රමාද වෙලා. මේ වගේ වෙලාවට පැරාට ඇති වෙන ආතතිය නිසා කරන කියන දේ හිතා ගන්නත් බැරිව යනවා. පැරා කෝච්චිය නවත්වන්නත් කලින් පැනලා දුවගෙන ගියේ රතු ඉර බෙර ගන්න හිතාගෙන. මොකද සමහර දවස් වලට අටයි හතළිස් පහටත් ඉර නොගහා තියෙන බව පැරා දන්නවා. අනිත් අය පිටවෙන දොරටු පැත්තට දුවගෙන ගියත් පැරා දිව්වේ කෙටි තාප්පේ තියෙන පැත්තට. ඒ කියන්නේ ගේට්ටු වල පෝලිම් ගැහිච්ච වෙලාවකට කොටුව ඉස්ටෙසමෙන් පිට වෙන්න තියෙන හොඳම තැන. මේ තාප්පේ උඩින් පැන්නම කෙළින්ම ඩී.ආර්. විජේවර්ධන මාවතේ. පැරා පුරුදු තැනින් බෑග් එකත් කිහිලි ගන්නං පැන්නා. ඒත් බිමට ළඟා වෙන්න වෙනදට වඩා වෙලාව ගත වෙනකොට තමයි පැරා බිම බැලුවේ. 

කවුදෝ නොසන්ඩාලයෝ පිරිසක් එතන අඩි තුනක්-හතරක් විතර වළක් හාරලා. පැරා කෙළින්ම ඒක ඇතුලට වැටුණා විතරක් නෙවෙයි, එක කකුලක් අඩමානෙට හිටලා. ඉතිං කකුල පෙරළන එක අහන්න දෙයක් නෑනේ. ඒත් මේ වේදනාවල් පැත්තක තියලා වළෙන් ගොඩ වෙලා පැරා කෙළින්ම ඔෆිස් එකට දිව්වා. හති දාගෙන දුවගෙන එන පැරා දැක්ක ගමන් අරා 
පින්තූරය ගත්තේ : http://forums.catholic.com

"මොකද මචං මේ" කියාගෙන පරාගේ කේශාන්තයේ සිට පාදාන්තයට බැල්මක් දැම්මා. ටික වෙලාවකින් වෙච්ච දේ අරා දැන ගත්තා විතරක් නෙවෙයි, ලොකු අය දැනුවත් කරලා කොස් ගෙඩියක් වගේ ඉදිමිලා තිබ්බ පැරාගේ කකුලට බෙහෙත් ගන්න නවලෝකෙට එක්කන් ගියෙත් අරා. ඒත් මේ එක්කම අරාට ගණදෙවි නුවණ පහල වුණා. මිත්‍රයාව ඔෆිස් එකට ඇරලලා ටික වෙලාවකින් උඩ වෙනත් මහලකට ගියා. ගිහිං පැරාගේ ජංගම දුරකතනයට ගත්තා කෝල් එකක්.

"මේ මිස්ටර් පැරා... ද කතා කරන්නේ ?"

"ඔව්. මම පැරා... තමයි" කෙඳිරි ගැන හඬින් පැරා පිළිතුරු දුන්නා.

"මම සී. ජී. ආර්. එකේ ජෙනරල් මැනේජර් කථා කරන්නේ. අද මිස්ටර්ට කෝච්චියෙන් ඇවිත් මොකක් හරි අනතුරක් වුණාද?"

"ඔව්. ඔව්. සර්"

"හරි කෝච්චියේ වෙන අනතුරු වලට අපේ රක්ෂණයක් තියෙනවා. හැබැයි අපි මේකෙන් කවර කරන්නේ දුම්රිය ස්ථානේ ඇතුළේ වෙන අනතරු වලට විතරයි. දැන් කොහොමද මිස්ටර් පැරා... ට මේක වුණේ"

පැරා පොඩ්ඩක් කල්පනා කරා. එක පාරටම ආවා උත්තරේ

"මම සර් කෝච්චියේ බැහැලා අනිත් ෆ්ලැට්ෆෝම් එකට යන්න කියලා පහළට පැන්නා. එතකොට තමයි කකුල පෙරළුණේ. පස්සේ නවලෝකෙට ගිහින් බෙහෙත් අරං ආවා. එක්ස් රේ එකකුත් ගත්තා"

"හරි. කොයි තරම් වියදමක් ගියාද ?"

"බෙහෙත් වලටනම් රුපියල් දෙදාස් හාරසීයක් විතර ගියා"

"හරි. ඒකට බැංකුවෙන් ගෙවනවා ඇතිනේ. අපේ ඉන්ෂුරන්ස් එක රුපියල් පනස්දාහක්. හැබැයි මිස්ටර් පැරාට පොඩි වැඩක් කරන්න වෙනවා. මේකට මෙඩිකල් රිපෝර්ට් එකක් අරන් එන්න වෙනවා"

"හරි සර්. ඒක ගෙන්න මට පුළුවන්. කොහොමද ඒක වෙන්න ඕනේ"

"මෙහෙමයි ඔය රිපෝර්ට් එක ගන්න වෙට් ඩොක්ටර් කෙනෙක්ගෙන්. අපිට ආරංචියක් ආවා මිස්ටර් මුත්‍රා කරන්න ගියාම කකුල පොඩ්ඩක් ඉස්සෙනවා කියලා"

මේක හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. ඔෆිස් එකේ බොහෝ දෙනෙක් අරාට මේකට බැන්නත්. පොඩි ආතල් එකක් නොගත්තෙත් නෑ. 

Monday, September 16, 2013

සන්නිවේදන හිඩැස් (Communications Gaps) ......

මීට කලින් ලියපු බාර් කොත්තු රොටි  සටහනට ලැබුණු අදහස් වලිනුත්, දිගුකාලීනව මගේ අත්දකීමෙනුත් මම දන්නවා බොහෝ ආරවුල්, මත ගැටුම්, ඒ වගේම ලොල් කතා වලටත් පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේ පරතරය නොහොත් හිඩැස. ඒ කියන්නේ කෙනෙක් යමක් ප්‍රකාශ කරන්න කලින් හිතනවා මේ මම කියන දේ අනිත් කෙනෙ සහසුද්දෙන්ම තේරුම් ගනී කියලා, එහෙම හිතලා එයා එයාගේ ලෝකේ ඉඳගෙන කියාගෙන යනවා. නමුත් අර අහගෙන ඉන්න කෙනා මේක ග්‍රහණය කර ගන්නේ වෙන විදියකට. බොහෝ වෙලාවට උච්චාරණ වෙනස්කම් පවා මේවාට හේතු වෙනවා.

පින්තූරය ගත්තේ : http://www.dreamstime.com
මම වැඩ කරන්නේ මහජන බැංකුවේ කියලා බොහෝ දෙනෙක් දන්නවා. ඉතිං පහුගිය කාලේ අපේ සාමන්‍යාධිකාරීවරාය වෙලා හිටිය පතිරණ මහත්මයා සේවකයන්ගේ සන්නිවෙදෙන නිපුණතාව (Communications Skills) වර්ධනය කරන්න හිතාගෙන චක්‍රලේඛනයක් නිකුත් කළා සෑම බ්‍රහස්පතින්දා උදෑසනම සියලුම සේවකයන් විනාඩි දහයකට රැස් වෙන්න, එතැනදී එක සේවකයෙක් විනාඩි පහක් කථා කරන්න කියලා. ඒ කියන්නේ සතියකට එක් අයෙක් වෙන විදියට. මේ කටයුත්තේ මගේ වාරය තිබුණේ මාස කිහිපයකට ඉදිරියට. මුලින්ම ඉහළ තනතුරු වල ඉන්න යට අවස්ථාව දුන්නා. නමුත්එම ස්ථානයේ  (ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානයේ) දෙවැනි නිලධාරියා මේ අවස්ථාව හිතා මතාම මග හරින බවක් පෙනුණා. ඉතිං ප්‍රධාන කළමනාකාර තුමා මා දෙසට හැරිලා මගෙන් ඉල්ලා හිටියා මේ අවස්ථාවේ Payment Gateway එකක් කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න. ඒ ඊට කලින් දවසේ එතුමාත්, මමත් ඇතුළු තව කිහිප දෙනෙක් සහභාගී වුණ, එවැනි පද්ධති ස්ථාපනය කරන ආයතනයක දේශනයකින් ග්‍රහණය කරගත් කොටස පැහැදිලි කරන්න. ඉතිං මම ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් කෙටියෙන් සරල විස්තරයක් කළා. 

ඒත් පහුගිහි අවස්ථා කිහිපය ලබා ගත්තු නිලධාරීන් කථා කරනකොට මම තේරුම් ගත්තේ, ඒ හැමෝම තමන් කියවන දේ අනිත් අයට තේරෙයි කියන පූර්ව නිගමනයේ ඉඳගෙන එයාලගේ ලෝකයේ ඉඳන් ඒ දේ කළා කියලා. එක් මහත්මයෙක් ඉතා වැදගත් මාතෘකාවක් තෝරාගෙන තිබුණත්, ඒ වෙනුවෙන් කරන්න අවශ්‍ය ගෙදර වැඩ (Homework) නොකර ආ නිසා අතර මගදී, තමන්ගේ සාක්කුවෙන් පත්තර කෑල්ලක් අතට ගෙන කථාව නවත්වා ඒ ගැන කියන්න ගියා, එතන හිටිය තරුණ කණ්ඩායම එකෙන් නියම ෆන් එකක් ගත්තා. අවාසනාවකට අර මහත්මයා තෝරාගෙන තිබුණ මාතෘකාව "ගැටුම් නිරාකරණය". ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පත්‍රයක පළවූ වාර්තාවක් තමයි ඔහු යොදාගෙන තිබුණේ. අන්න ඒ වෙලාවේදී මම හිතා ගත්තා මම මේ මාතෘකාව තෝරා ගන්නවා කියලා. 

ඊළඟට මේ දේ මගේ හිතට ආවේ, මා කලින් වැඩ කල බැංකුවේම වෙනත් ස්ථානයක, පද්ධති සංවර්ධනය කල නිලධාරීන් (Developers) ශාඛාවල සේවකයන් සමග දුරකථනයෙන් ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් දෙද්දී තමන්ට ආවේණික පරිගණක භාවිතයේ තිබෙන වදන් යොදා ගන්නවා. ඒත් මේ සමහරක් වචන වල නිසි තේරුම, හෝ ප්‍රකාශ කරන නිලධාරියා බලාපොරොත්තු වන තේරුම මේ අය දන්නේ නෑ. සමහරවිට පරිගණකය වෙත යන්න කියන කොටස නොකියා, කුමක් හෝ එහි යතුරුලියනය කරන්න කීවාම ඇමතුම ලබාන්නා අන්දුන්-කුන්දුන් වනවා. සමහරු ගනුදෙනුකරුවන්ගෙන් පවා ප්‍රශ්න අහද්දී මේ දේ අමතක කරනවා. මෙතනදී වෙන්න අවශ්‍යම දේ තමයි තමන් ඉදිරියේ ඉන්න හෝ තමන් ඉලක්ක කරන ප්‍රේක්ෂකයා එහෙමත් නැතිනම් ශ්‍රාවකයා (Audience) එක ගැන තේරුම් නොගෙන කථා කිරීම.

අර කාර්මික මහත්වරු මල් එක - ෆ්ලැට් එක කියලා ඉස්කුරුප්පු නියං වලට ආමන්ත්‍රණය කරනවා වගේ විවිධ ක්‍ෂේත්‍ර වල යට ආවේණික වෙච්ච විවිධ වචන මාලාවල් තියෙනවා. ඒ වගේම ඒ තැන් වල තිබෙන උප සංකෘති වල තිබෙන වචන පවා පුරුද්දට කියවෙනවා. මේකෙන් වෙන්න අර ගණුදෙනු කරුන්වන් අන්දුන්-කුන්දුන් වෙන එක. එක් වරක් නවක සේවිකාවක් ගණුදෙනුකරුට ඔහුගේ ශේෂය පවතින සර්වර් වල නම් වලින් කිව්වා. ඒ කියන්නේ "අහවල් සර්වර් එකේ පෙන්වන්නේ මේ ගාන, අහවල් සර්වර් එකේ පෙන්වන්නේ මේ ගාන" කියලා. එතනින් යද්දී එය මගේ කනටත් වැටුණා. මම ඇයගෙන් පෙරළා ප්‍රශ්න කළා "දැන් එතකොට කස්ටමර් දන්නවද අපේ සර්වර් දෙකක් තියෙනවා කියලා ?". එවිට ඇයට සිදු වූ වරද තේරුණා.

තමන්ගේ ශ්‍රාවකයා(Audience) එක හොඳින්ම තේරුම්ගෙන ආමත්‍රණය කල කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. උන් වහන්සේ තමන් ඉදිරියේ සිටින පුද්ගලයාට අනුව තේරුම් ගත හැකි ආකාරයට දේශනා කළා. ඉතිං අප වැනි පෘථග්ජන අයට ගණුදෙනුකරුවා හෝ ශ්‍රාවකයා කියවීමේ හැකියාවක් නැති නිසා, කරන්න පුළුවන් හොඳම දේ තමයි, තමන් ඉදිරියේ හෝ දුරකථනයෙන් සම්බන්ධ වී ඉන්නේ මොනවත් නොදන්නා අයෙක් බව සිතා කථා කිරීම.

අනිත් දේ තමයි අපි කොයි තරම් උත්සාහ කලත්, සියයට සීයක් නිවැරදිව අපට අවශ්‍ය දේ අනෙක් පුද්ගලයාට දීමේ හැකියාවක් අපි තුල නෑ. එහෙම වෙනවා නම් බොහෝ ගැටළු අවම වෙයි. පරිගණක ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නවා ඇති ගණුදෙනුකරුවා ඔවුන්ගේ අවශ්‍යතා (Requirements) පද්ධති සංවර්ධනය කරන්නාට (System Developer) ට හරියටම කියා ගන්න දන්නේ නැති බව. සමහරවිට ගණුදෙනුකරු තමන්ට අවශ්‍ය දේ පවා හරියටම දන්නේ නැති බව. ඒ නිසා තමයි මුලින් ලබා ගත අවශ්‍යතා ඔවුන් ලවා ලිඛිතව සහ අත්සන් සහිතව ලබා ගන්නේ. 

Monday, September 9, 2013

ලොල්ද මන්දා අංක 9 : බාර් කොත්තු රොටි ......

මම රිවරිනා හොටෙල් එකේ වැඩ කරපු කාලෙත් පුදුමාකාර චරිත ටිකක් මුණ ගැහුණා. මොකද සංචාරක හෝටලයක් කියන්නේ විවිධ අධ්‍යාපනික මට්ටම් වල සහ විවිධ සමාජ මට්ටම් වල අයගේ එකතුවක්. ඒ වුණත් මේ හැම දෙනෙකුම එකතු වෙලා ඉතාම සමගියෙන් කණ්ඩායමක් විදියට එකම අරමුණකට වැඩ කරා. ඉතිං මේ වගේ සේවක පිරිසක් පැය විසිහතරේම වැඩ කරද්දී හොඳ හොඳ සිද්දි වාර්තා වෙනවා. අපි ගිණුම් අංශයේ වැඩ කලත් රාත්‍රී සේවා සඳහා මට අවස්ථාවක් තිබුණේ නෑ. නමුත් ඒ වැඩ කරන අය කලින් දවසේ රාත්‍රියේදී සිදු වෙච්ච් දේවල් උදේ ආහාර ගන්න ගමන් බෙදා ගන්නවා.

අහාර ගන්න ගිණුම් අංශයට සහ සුපවයිසර් වරුන්ට වෙනම ස්ථානයක් තිබුනත්, අපිත් අර පොදු සමාජය ගැවසෙන තැනට යන්න පුරුදු වෙලා හිටියේ අර කලින් කියපු රස කතා අහ ගන්න. තවත් දෙයක් මේ වැඩ කරන බොහෝ දෙනෙක්ට කාඩ් නම් වලින් තමයි ආමන්ත්‍රණය තිබුණේ. අලුත් කෙනෙකුට ටික කාලයක් යනවා මේ උප සංස්කෘතිය ග්‍රහණය කර ගන්න. ඔය කාඩ් නම් වලට අමතරව ජර්මන්, ප්‍රංශ, ඉතාලි භාෂා වල වචනත් එහෙන් මෙහෙන් විසි වෙනවා.

ජෝසප් කියලා හිටියා බාර්මන් කෙනෙක් මිනිහා අර බෝතල් වල ඉතිරි වෙන ඒවා බීලා උදේට එන්නේ වෙරිමතින්. මූණ හරියට මල මිනියක් වගේ. එයාව අමතපු සුරතල් නාමය තමයි "එම්බාමන්". අපේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ කැෂියර් කෙනෙක් හිටියා. එයාගේ සුරතල් නාමය තමයි "අන්දොස්". චෙෆ් මහත්තයාට "හරක් හොරා", ජී.එම්.ට ජෙමා.  ඔය වගේ නම් රාශියක් තිබුණා. අපේ කතාවේ කතානායකයා අන්දොස්, ගණිතයෙන් උසස්පෙළ කරපු මතුගම පැත්තේ හාදයෙක්. මගේ වයසට කිට්ටු වයසක, ඒ වගේම කිට්ටුව කාලෙක සේවයට එක් වෙච්ච කෙනෙක්. මිනිහාට පොඩි ටියුබ් ලයිට් ගතියක් තිබ්බා. පොඩිම කියන්නත් බෑ. සමහරවිට එක දිගට නිදිමරපු නිසා වෙන්නත් ඇති. 

එක දවසක් ක්වාර්ටස් එකේ නිදන් ඉන්නකොට ඇඳේ ඔලුව තියන පැත්ත සම්පූර්නයෙන බිමට කඩා වැටිලා. ඒත් අන්දොස්(නම ප්‍රියන්ත වගේ මතක) එක දිගට නිදාගෙන. මට නම් මිනිහා ගැන තිබ්බේ පොඩි අනුකම්පාවක්. ඒ කාලේ අපි කාටත් තිබ්බ බරපතලම  ප්‍රශ්ණයක් තමයි ඉංග්‍රීසි. උසස්පෙළ හමාර කරනකොට බොහෝදෙනෙක් ඉංග්‍රීසි ගැන අල්ප දැනුමක් එක්ක තමයි රස්සා වලට එන්නේ. විශේෂයෙන් කොළඹින් පිට අය. මෙයාගේ රස්සාව තමයි කැෂියර්. සල්ලි ෂෝර්ට් වුණා කියලා හැම දාම ඔලුව කකහා ඉන්නවා. රිවරිනා හොටෙල් එකේ තියෙනවා කැෂියර්ලා වැඩ කලයුතු තැන් රාශියක්. ලෝන්ජ් බාර්, කොෆී ෂොප්, පූල්බාර්, දිස්කොතෙක්, කොන්ඩිටෝරයි(Konditorei කියන්නේ ජර්මන් වචනයක්. ඒක පුංචි පහේ රසකැවිලි සහ කොපි තියෙන කඩ වලට කියන නමක්. මමත් අද තමයි දැන ගත්තේ විකිපීඩියා එකෙන්). 

ඉතින් බොහෝදෙනෙක් පූල්බාර් වැඩ කරපු දවසට සල්ලි අවුට්. හේතුව ගැන කියන්න අවශ්‍ය නෑනේ. :) මේ තැන වල වැඩ කරනොට තමන්ගේ රාජකාරියට අමතරව අනිත් අයගේ රාජකාරී වලටත් උදව් වෙන්න සිදු වෙනවා. දවසක් අපේ අන්දොස් අර එම්බාමන් එක්ක ලෝන්ජ් බාර් එකේ වැඩ කරලා. එම්බාමන් නොහොත් ජෝසප් ටිකක් සුද්දෝ අඩු වෙලාවක් බලලා (රෑ අටට විතර) කන්න ගිහිං. අපේ අන්දොස් මහතාව බාර් එකේ රඳවලා. මේ වෙලාවේ එතනට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කඩා පැනලා. දැන් අපේ අන්දොස්ගෙන් ප්‍රශ්ණ කරනවා

නිලධාරියා : කී දෙනෙක් මෙතන වැඩ කරනවද ?

අන්දොස් : අපි දෙන්නයි සර්. මායි ජෝසප් අයියයි.

නිලධාරියා : තමුන්ට බාර් එකක වැඩ කරන්න බාර් ඔතොරිටි තියෙනවද ?

පින්තූරය ගත්තේ : http://www.bootsnall.com
අපේ අන්දොස් මල්ලිට මේ වචනේ හරියට ඇහුනේ නැහැ මිනිහට මේක ඇහුනේ වෙන විදියකට. ඇහුනත් තේරෙන එකක්යැයි. ඉතිං මිනිහා තේරෙන විදියට උත්තර දුන්නා. බාර් වල කන ජාති නෑ. අවේලාවේ කෑමක් ඕඩර් කරලා කන්න පුළුවන් තැන මිනිහගේ හිතට ආවා. 

අන්දොස් : ඉන්න සර් මං අරගෙන එන්නම්.

එහෙම කියපු ප්‍රියන්ත කෙලින්ම නතර වුණේ කොෆී ෂොප් එකේ. හති දාගෙන ඒකෙ තියෙන මිනි කිචන් එකට දුවලා ඒ වෙලාවේ වැඩ කරපු චබ්බා ගෙන් ඇහුවා

"අයියේ කොත්තු රොටි තියෙනවද ?" කියලා. උපන්ගෙයි විහිළු කාරයෙක් වෙච්ච චබ්බා කිව්වා.

"මෙතන නම් කොත්තු රොටි නෑ. අලුත්ගම තම්බි කඩේ නම් තියෙනවා. ඇයි උඹ රෑට කෑවේ නැද්ද? ඔය තියෙන දෙයක් කාපං" කියලා.

"අනේ චබ්බයියේ විහිලු කරන්න එපා. අතන ගෙස් බලාගෙන ඉන්නවා."

"නෑ. මම කිව්වේ මේ වගේ හෝටල් වල කොහෙද බන් කොත්තු(1991 දී. දැන් නම් ඕන තරු හෝටලයක තියෙනවා)"

මේ වෙලාවේ මෙතනට ආවා පැට්‍රික් කියන පරණ කැෂියර්. මිනිහා කතාව අහගෙන ඉඳලා අන්දොස් මල්ලිගේ අතින් ඇදගෙන ගියා ලෝන්ජ් බාර් එකට. ගිහින් අර එක්සයිස් නිලධාරියාගෙන මොනවද ඕනේ කියලා අහලා, ලැබුන උත්තරය ඇහුණාම කෙලින්ම බාර් එක අස්සට ගිහින් විනාඩි ගානකින් තමා හිනාව නතර කරන් තියෙන්නේ.

 විනාඩි ගානක් ඇතුලත හැමෝම වගේ දැනුවත් කරන්නත් පැට්‍රික් වග බලාගෙන. 

ඊට පස්සේ අපේ යාලුවෝ අන්දොස් හම්බ වෙච්ච වෙලාවට අහනවා

"මචං බාර් කොත්තු රොටියක් ගන්නවනම් කොහෙන්ද ගන්න පුළුවන්" කියලා

Saturday, September 7, 2013

මහින්දට ඇන්දූ හැටි ......

මහින්ද කිව්වම ලංකාවේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ හිතට එන කෙනෙක් ඉන්නවනේ. එයාව අන්දන්න මට පුළුවන් කියලා හිතෙනවද ? කීයටවත් බෑ. අනිත් එක ලංකාවේ ඉන්නේ එක මහින්දද ? තව මහින්දලා කීප දෙනෙක් ගැන දැන් ඔයාලා හිතනවා ඇති. අර මහින්ද අබේසුන්දරද ? නෑ නෑ එයත් නෙවෙයි. මේ අපේ ගමේ මහින්ද ගැන. 

මහින්ද කියන්නේ මගේ ගමේ ගෙදර ඉස්සරහ ගෙදර හිටිය(දැනුත් ඉන්නවා) කෙනෙක්. මිනිහාගේ චරිතය මට හමු වෙච්ච පුදුමාකාර චරිත වලින් එකක්. අද හවස අපේ ඔෆිස් එකේ මිතුරන් එක්ක කථා කරනකොට තමයි මේ මතකය අවධි වුණේ. මහින්ද මට වඩා අවුරුදු හයක් හතක් වැඩිමල්. මම ඉස්කෝලේ යන්න පටන් ගන්නකොටත් මිනිහා පහේ පන්තියේ. මම හයවෙනි පන්තියට යත්දීත් මිනිහා පහේ පන්තියේ. මහින්ද වගේම එයාගේ අයියාත් පහේම තමයි හිටියේ. ඒ අපේ අල්ලපු වත්තේ තියෙන මහා ඉස්කෝලේ නොහොත් කුමාර කණිෂ්ඨ විද්‍යාලේ. 

හැමදාමත්, හැමදේදීත් අපිත් එක්ක තරග වැදුණේ මේ අයිය මලෝ දෙන්නා. මුලින්ම වෙසක් තොරං වලින්. අපි ඒ කාලේ වෙසක් කාඩ් එකතු කරලා තොරං හැදුවේ. මට වෙසක් කාලෙට පුදුම තොරං පිස්සුවක් හැදෙන්නේ. එක පාරක් අපි හදපු තොරණක් පහුවදාට එලි වෙනකොට හොරු අරන් තිබුණා. අන්තිමට මගේ හොඳම යාලුවා වෙච්ච සම්පත්ට මේ කේස් එක අහු වුණා. වැඩිය අකුරු බැරි මේ ජෝඩුව උස්ස්පු වෙසක් කාඩ් වගයක් දීලා සම්පත්ගෙන් මොනවා හරි ඉල්ලලා. සම්පත් මගේ කණේ තිබ්බා හොරා කවුද කියලා. 

මහින්දලාගේ අක්කා සුවිස් ජාතිකයෙක් එක්ක විවාහ වෙලා රට ගියා. ඉන් පස්සේ තමයි මහින්දලාට සියලු සැප සම්පත් පහල වුණේ. ටික කාලෙකින් ගේ සම්පූර්ණයෙන්ම නවීකරණය කලා. කැසට් රෙකෝඩර්ද, කලර් ටී.වීද, ෆ්රිජ්ද  ලෝකේ නැති ජාති එහෙට එන්න පටන් ගත්තා. ඒ කාලේ අපේ ගෙදර කැසට් රෙකෝඩර් එකක් ගත්තේ නෑ. හේතුව අපේ අධ්‍යාපනයට බාධා වෙයි කියලා. ඒ වුණාට මහින්දලා නොමිලේම අපිටත් සිංදු ඇහෙන්න සැලැස්සුවා, අපේ ඉලීමකින් තොරවම. එක කැසට් එකක් ගෙනාවාම ඒක සතියක් විතර එක දිගට පුනර්වාදනය වෙනවා. මල්වත්ත පාර වගේ. ඒ නිසා කිසිම ගැටළුවක් නැතිව මට සිංදු කට පාඩම් හිටියා. අපේ අම්මා නිතරම අහන එකක් තමයි "මොකක්ද අර කනත්තක් ගැන යන සිංදුව කියලා". ඒ මිල්ටන් මල්ලවාරච්චි එච්. ආර්. ජෝතිපාල  මහත්මයා ගායනා කරන "පාලු සුසානේ ප්‍රේම පුරාණේ" කියන ගීතය.  තව කාලෙකදී "බඹර පහස ලබන මලක්දෝ" කියන එක ඇහිලා අපේ තාත්තා ඇහුවා "මොනවද මේ යක්කු අහහ සිංදු" කියලා. ටික කාලයක් යනකොට කම්මලේ බල්ලෝ වගේ එයාලටත් ගානක් නැතිව ගියා. 

ටික කාලයක් යද්දී අක්කා සල්ලි එවලා ගත්තා වෑන් එකක්. ඊට පස්සේ ඒගොල්ලෝ පෝසත් අය විදියට එයාලම හඳුන්වා ගත්තා. මහින්දගේ අයියා මහේෂ් කතා කරනකොට නිතරම කියන වචනයක් තමයි "පෝසත් කමට කියනවා නෙවෙයි" කියන එක. ටික කාලෙකදී මේ පෝසත් කමට ගැලපෙන්න පොමනේරියන් පොමරේනියන් බල්ලෙක් ගෙනාවා. මහින්දලාගේ ගෙදර තියෙන්නේ පාරේ මට්ටමට වඩා අඩි තුනක් විතර ඉහලින්. අර මම කලින් ලිව්වා සිරියලතා කට්ටියගේ ගෙදරට බද්දව වම් පැත්තේ. නිකමට හිතන්න මේ ගෙවල් දෙකේ කැසට් රේකෝඩර් දෙකේ සිංදු දෙකක් යද්දී අපට දැනුන ආතල් එක කොහොමද කියලා. නියමම මල්වත්ත පාර. ඉතිං ඔය පොහොසත්කමට ගැලපෙන අනිත් දේ තමයි ඉංග්‍රීසි. කාලයක් සුද්දෝ පස්සේ ගිහිං මේ අයියා මලෝ දෙන්නට පොඩි පොඩි ඉංග්‍රීසි කෑලි පුළුවන්. දැන් අර පොමියා පාරේ දුවනකොට ඒ ගෙදර අය මහා හයියෙන් කෑ ගහනවා "ගෙටප් ... ගෙටප්" කියලා.

මේගොල්ලෝ පොහොසත් වෙන්න කලින් දවසක ගඟේ නාන්න ගිහිං. අපේ ගෙවල් ලඟම තමයි බෙන්තර ගඟේ විශාල කලපුව කොටස තියෙන්නේ. අලුත්ගම - බෙන්තර අතර කිලෝ මීටර් එකක් විතර පළල්. පහලවත්ත පාර කියන පාරට යාබද කොටසේ තියෙනවා කළු ගලක් ගොඩබිමට කිට්ටුවම. ඒකට කියන්නේ මහගල ගියලා. මහගලට අඩි පහලවක් විතර ඈතින් තියෙනවා තවත් පොඩි ගලක්. මේ හරිය තරමක් ගැඹුරයි. මේ දෙන්නා දවසක් මෙතන නානකොට මුහුදේ(කරදියේ) ඉඳන් ගඟට(මිරිදියට) ආපු යෝධ කට්ටාවෙක් වල්මත් වෙලා ඉන්නකොට අතින්ම අල්ල ගන්න මේ අයියා මලෝ දෙන්නා සමත් වුණා. අඩි හයක් විතර උස මේ යෝධ මාළුවා අහු වුණ සන්තෝසෙට දෙන්නා ඒකව කර ගහගෙන, ගම දෙවනත් කරගෙන ඇවිත් තිබුනේ අමු නිර්වස්තරෙන්. අනිත් අය හිනා වෙද්දී මේ දෙන්නට හිතිලා තියෙන්න මාළුවා දැක්ක සන්තෝසෙට තමයි මේ හිනා වෙන්නේ කියලා. ඒ වෙද්දී මේ දෙන්නගෙන ලොකු එක්කෙනාට අඩු ගානේ අවුරුදු පහළොවක් වත් වෙනවා.

මේ ගොල්ලෝ ලබා ගත්ත පොහොසත් කමත් එක්ක ගමේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් කම නිකම්ම මහින්දට දෙන්න සිද්ද වුණා. මළපොතේ අකුරක් බැරි මහින්දට මේක දෙන්න මුලින් මුලින් අකමැති වුණ අයටත් පස්සේ කැමති වෙන්න වුණා. ඒ වගේ තරගෙක තියෙන ලොකුම අභියෝගය තමයි පිටින් එන කණ්ඩායමට දිවා ආහාරේ දෙන එක. මහින්ද පොහොසතා හින්දා තනියම වුනත් ඒ වැඩේට කර ගහන්න ඉදිරිපත් වෙන ගානේ ඒ කාලේ හිටියේ. ඉස්සර ඉනිම දෙකේ තරග වල අපි වගේ පොඩි එවුන්ට චාන්ස් එකෙක් දෙන්නේ බොහෝ විට දෙවෙනි ඉනිමේ. එක පාරක් මගේ පන්තියේ යාලුවෙක්ගේ ගමේ ටීම් එක ආවා. මහින්දට චාන්ස් එක දෙන්න හිටියේ දෙවෙනි ඉනිමේ. කොහොම හරි තරගේ දිනන්න ඕන කමට නායකයා දෙවෙනි ඉනිමට ඒ වෙලාවේ කඩා පාත් වුණ කාව හරි දාලා. දැන් මහින්ද මහා හයියෙන් කෑ ගහලා අඬනවා "මාව මැච් එකට දාන්න බැරි නම් මගේ මිරිස් කරල් ටික දීපං" කියලා. එදා දවල් කෑමට සම්බෝල හදන්න මිරිස් දීලා තියෙන්නේ මහින්ද. මගේ පන්තියේ යාලුවා මාව නැති කරා ඔය කතාව මතක් කරලා. "මොනවද බන්. උඹලගේ ගමේ ඉන්නේ දීපු මිරිස් ආපහු ඉල්ලන එවුන් නේ" කියලා.

මහින්දට හොඳට ක්‍රිකට් ගහන්න බැරි වුණත් මැච් එකේ ආරම්භක පිතිකරු හා පන්දු යවන්නා වුනෙත් මහින්දමයි. අන්තිමට මේ නායක කමින් මහින්දව එලවා ගන්න බැරිව කට්ටිය මාර දුකක් වින්දා. සමහරු කණ්ඩායම හැරදා ගියා. හරියට ලංකාවේ ලොකුම පක්ෂේ වුණා වගේ. මෙගොල්ලොත් ඒ පක්ෂෙම තමයි. බලන්න ඕනේ චන්දෙ කාලෙට අපි අනිත් පැත්තේ හින්දා අපිට ඇහෙන්න රේඩියෝ එකේ ප්‍රේමදාස උන්නැහේගේ කතා යන වෙලාවට මහා හයියෙන් ගමටම නොමිලේ අහන්න සලස්සන හැටි.

මහින්දට ආවේනික වචන සෙට් එකක් තිබුණා. බොහෝ ඒවා මට අමතක වුණත් සබන් වලට රබන්, පිඟානට පිනාව වගේ වචන පාවිච්චි කළා. මහින්ද තරුණයෙක් වෙනකොට අපේ ගමේ හිටිය ලස්සන් කෙල්ලෙක්ට මේකාගේ හිත වැටුනා. ඉතිං මල වදේ අපිට ඒ කෙල්ලව සෙට් කරලා දෙන්න කියලා. කෙල්ලගේ නම සේපාලිකා. අපිත් ඉතිං උදව් කරන පොරොන්දුවට ඌව මෝරා කරගෙන බනිස් මාළු පාන් කෑවා. මහින්දට අකුරු බැරි නිසා මේ කෙල්ලට මේ අදහස කියා ගන්න විදියක් නෑ. කරන ලොකුම දේ තමයි කෙල්ල ක්ලාස් ගිහින් එනකොට අලුතෙන් ගත්ත පුෂ් බයික් එකෙන් කෙල්ලව පහු කරලා යන එක. නිකම්ම නෙවෙයි අක්කා එවපු වයිවාරන ඇඳුම් ඇඳගෙන, සෙන්ට් එහෙම ගහලා.

දවසක් මායි සුසන්තයි කල්පනා කරා මූට අන්දන්න. ඒ කාලේ කැලැන්ඩර් වල මුල් කොලේ එන්නේ නිකං. අපි කරන්නේ ඒ වගේ ඒවා කටු වැඩ වලට පාවිච්චි කරපු එක. මහින්දගේ මේ ප්‍රේමෝන්මාදය දැකලා දවසක් හවස මහ ඉස්කෝලෙට ගිය අපි දෙන්නා අර කිව්ව කැලැන්ඩර් කොළයකින් කපලා ගත්ත කොටසක ලිව්වා ලියුමක්. ඒ කාලේ මගේ අත් අකුරු මුතුකැට වගේ. බොහෝ දෙනෙක් ලව් ලෙටර් ලියා ගන්න එන්නේ මං ගාවට. අනේ එහෙම කාලයක්. කාලා, කාලා ඉස්මුරුත්තේ හැදෙන ගානයි. ඔරෙක්ස් පෑනත් ඉතිං ඒවාටම කියාපු භාණ්ඩේ. මේ කාලේ මහින්දගේ අක්කා ඇවිත් හිටියා. ඒ වගේ දවස් වලට මහින්දලා යන්නේ පොළොවට ටිකක් උඩින්. සමහර වෙලාවට අපිවත් ගණන් ගන්නේ නෑ. ඒ වෙනකොට මම කෙල්ලෙකුට ලියුම් ලියලා නැති වුනත් අනිත් අයගේ අදහස් අකුරු කරලා ඒවායේ ලියවෙන්න ඕනේ දේවල් මගේ හිතේ ගබඩා වෙලා තිබුණා. අපි ලිව්වා මෙන්න මේ වගේ ලියුමක්.

නිසල රැයක,
ආදරණීය මහින්ද වෙත(අපිට මොකෝ අපේ අතින් යනවැයි. අපි දන්නවා මෙහෙම ලිව්වම ඌට මාර අප් වෙන බව)
අනේ මහින්ද ඔයාලගේ අක්කා ආවට පස්සේ ඔයා හරිම ආඩම්බර වෙලා. වෙනදා මම ක්ලාස් ගිහින් එනකොට මගේ පස්සෙන් ඇවිත් මාව පහු කරගෙන යන ගමන් අහිංසක විදියට මං දිහා හැරිලා බලලා හිනා වෙන ඔයා, අද ඉස්සරහට හම්බ වෙලත් අහක බලං ගියා නේද ? මට ඒ වෙලාවේ මාර දුකක් ඇති වුණේ. කොහොමත් අක්කා ආවාම ඔයා ටිකක් ආඩම්බර වෙනවා. එන්න එපා අක්කා ගියාට පස්සේ මගේ පස්සෙන්. මම තාත්තට කියනවා.
ඔයා වගේ පෝසත් කට්ටිය අපි වගේ දුප්පත් අයට කැමති වෙයිද මන්දා. අපේ අම්මයි - තාත්තයි දැන ගත්තොත් මට හොඳටම බැනුම් අහන්න වෙයි. මේ ලියුම ලිව්වෙත් හරිම බයෙන්. එහෙනං ඉරිදා පන්සලේ බෝධි පූජාව වෙලාවට හමුවෙමු. 
ඔයාට බුදු සරණයි.  
 මම ඔයාගේම 
සේපාලිකා.

මේ ලියුම අරගෙන ගියේ සුසන්ත. මම මොනවත් නොදන්නා ගානට හිටියා. ඒ වුණාට දවස් දෙකකට පස්සේ මහින්දලාගේ අක්කා (මල්ලිකා) මට ටිකක් සැරෙන් කථා කළා.

"මෙහෙ එනවා - තමුසේ නේද මේ ලියුම ලිව්වේ"
"මොන ලියුමද ? කාටද ? මම දන්නේ නෑ"
"දන්නේ නෑ, බලනවා මේක දැකලා මේ යකා පිස්සු වැටිලා. මට කතා කරනවා මේ කෙල්ලගේ ගෙදර ගිහින් කතා කරමුයි කියල. මේවා ගස් යන වැඩ. ඉන්නවා මම මේක ඉස්කෝලේ මහත්තයටත්(අපේ තාත්තා) පෙන්නලා, ඒ කෙල්ලගේ තාත්තට දෙනවා.
මේක ඇහුවම මට කලිසම තෙත් වෙන ගානට බය හිතුණා. මේ කොළ කෑල්ලට මෙච්චර පරිප්පුවක් කන්න වෙයි කියලා මට හිතුනේ නෑ. සුසන්තයත් ඉන්නවා පැත්තකට වෙලා. මම බිම බලා ගත්තා. මට දැන් කඳුළු එන්න ලඟයි වගේ. කී තැනකින් කන්න වෙයිද ? මම කෙලින්ම නතර වුණේ ගෙදර. ඒ වුණාට එතනින් එහාට මොනවත් වුනේ නෑ. අන්තිමට මහින්දගේ හීනේ කඩා වැටිච්ච එක විතරයි වුණේ. මම යාන්තමට ශේප් වුණා. මේක කරමුම කියලා මට වද දීපු සුසන්තයා ඉන්නවා කිසි ගානක් නැතුව. මොකද මේ දවස් වල මල්ලිකාව බයිසිකලේ තියාගෙන එහෙ-මෙහෙ යන හින්දා ඌටත් සරුයිනේ.

මේක  මම පොඩි කාලේ වෙච්ච දෙයක්. අපේ ගෙදර ඉඳලා ටිකක් ගම ඇතුලට යනකොට හමු වෙන ලන්දේසි ඇල ළඟ තියෙන පාලම ගාව හැම ඇසල පෝයටම තොරණක් හදනවා. මේක කරන්නේ විජේසේකර පවුලේ අය. විවිධ දක්ෂතා තියෙන අය ඒ පවුලේ ඉන්නවා. විල්ෆ්‍රඩ් සර්ට චිත්‍ර අඳින්න පුළුවන්, ඇල්ටන් අන්කල්ට ඉලෙක්ට්‍රික් වැඩ පුළුවන්. අනිත් අයට එනවුන්ස් කරන්න පුළුවන්. මේ තොරණ හදන තැනට දවසක් මහින්දයි මායි ගියා. මම වතුරට පොඩ්ඩක් බය නිසා හිටියේ මහින්දගේ පිටිපස්සෙන්. ඇල කණ්ඩිය ගාව අඩි අටක් විතර උසයි. එතන ගැට්ට සිමෙන්තියෙන් හදලා තිබුණේ. කවුදෝ එකෙක් පස්සෙන් ඇවිත් මාව තල්ලු කළා, මම මහින්දගේ පිටට අත් දෙක තියලා බේරුණා. ඒත් මහින්ද කෙලින්ම ඇලේ. මම උඩට වෙලා බලාගෙන ඉන්නවා. වටේ ඉන්න හැමෝටම හිනා. ටිකක් එහාට ගිහිං ගොඩට ආව මහින්දයා අලි ගලක් උස්සන් මං පස්සේ පන්නන්න පටන් ගත්තා. මම කෙලින්ම නතර වුණේ ගෙදර.

ඉස්සර මමත් මහින්දලාගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියා කැරම් ගහන්න. මේකට අපේ අම්මා වැඩි කැමැත්තෙන් නෙවෙයි හිටියේ. ඒ ගෙදරට නානාප්‍රකාර අය එන හින්දා. කොටින්ම සුද්දන් පවා ගෙදර එක්කන් එනවා. එහෙම නිතරම එන බ්‍රයන් කියලා සුද්දෙක් හිටියා. බ්‍රයන් එන්නේ මොන මාසෙද, ඒ මාසේ මහින්දගේ උපන් දිනයක් එනවා. ඒ එන්නේ බ්‍රයන් යන්න දවසකට කලින්. ඉතිං පාටියක් දෙනවා, ඒකට තෑග්ග විදියට සුද්දා ගේන්නේ, ලංකාවට එනකොට අරන් එන කැසට් රෙකෝඩරය.

එක සැරයක් මහින්දගේ තාත්තා මේ කැරම් බෝඩ් එකට අලවංගුවෙන් ඇන්නා. අපේ කැරම් ක්‍රීඩාව එතනින් නතර කරන්න අපි කැමති වුණේ නෑ. මගේ ගාව තිබුණා තිනර් වලට රෙජිෆෝම් දාලා හදපු බොහොම ප්‍රබල ගම්එකක්. මම එකෙන් මගේ ෂර්ට් එකක්කත් හිලක් හදුනා තැනකට කෑල්ලක් තියලා ඇලෙව්වා. නියම ගම් එක. පස්සේ ප්ලයිවුඩ් කෑල්ලක් හොයාගෙන, අර හිල් වුණ තැන අඟල් හතරේ හතරේ කෑල්ලක් කියත් පටියකින් බොහොම සීරුවට කපලා අයින් කරා. හොඳ වෙලාවට යටින් තියෙන ආධාරක ලීයට මොනවත් වෙලා නෑ. එතනට අර ගෙනාපු ප්ලයිවුඩ් කෑල්ල තියලා ඇලෙව්වා. අතර මැද්දට බොරික් කුඩු සහ ගම් එකෙන් හදපු මිශ්‍රණය පිරෙව්වා. මේ දෙක අතර ඝනකම් වල පරතරයක් නිසාදෝ මුලින්ම එතැනින් පාරවල් ගහද්දී ඩිස්ක් එක ඉදිරියෙන් ඉන්න කෙනාගේ මූනට එන තත්වයක් තිබුණා. පස්සේ වැලි කඩදාසියකින් ෂේප් කරා. ටික දවසකින් තිබුන තත්වෙට ආවා.

මහින්ද හැමදාම කැපිලා පෙනෙන්න මොනවා හරි කරනවා. එක පාරක් බොරු පිස්සුවක් වගේ අරගෙන තොයිලයක් කරා. මිනිහා ඒකෙ ආසම කෑල්ල තමයි පුටුව යටින් රිංගන එක. ඒක කරලා පහුවදා හිටියේ මාර උජාරුවකින්. එක අතකට මහින්දලාගේ අක්කා පව්. අවුරුදු විසි ගණන් වෙලත් කිසිම වැඩක් පලක් නොකරන මේ අයියා මලෝ දෙන්නට බත සරි කරේ මල්ලිකා. තොයිලෙන් පස්සේ තමන්ට කෙල්ලෝ ආකර්ෂණය වෙයි කියලා තමයි මහින්ද හිතාගෙන හිටියේ. ඒ කාරණේටම තමයි පන්සලේ බෝධි පූජාව වෙලාවට සුරප්පට්ටුව වාදනය කරන්න මිනිහා ඉදිරිපත් වුණේ.

පින්තුරය ගත්තේ : www.artway.eu
එක පාරක් අවුරුදු උත්සවයක් බලන්න යන්න සුදානම් වෙලා අක්ක එව්ව අලුත්ම ඩෙක්ස් පෙයාර් එක දාගත්තා. දාගත්තට මට පෙනුණා ඇවිදිනකොට පොඩි වෙනසක්. ඩෙක්ස් වල හැඩයෙන් ඒ තරමටම වම දකුණ පෙන්නේ නෑ. මහින්ද සපත්තු දෙක දාලා තිබුණේ කකුල් මාරු කරලා. 89/90 අඳුරු යුගයේදී මේ අයියා-මලෝ දෙන්නව ඇල්පිටිය කෑම්ප් එකට කුදලන් ගිහිං තිබුණා. බේරුනේ අනුනවයෙන්.

මෑතකදී සංචාරක හෝටල් රස්සාවක් කරනවා කියලා දැන ගන්න ලැබුණා. පහු කාලීනව මිනිහා හෘද රෝගියෙක් වෙච්ච නිසා මොනවත් කරන්නේ නෑ කියලත් ආරංචියි. මේ සටහනට එකතු කරපු කාරණා සියල්ල සත්‍ය ඒවා. සිතා-මතා ගොතාපු කිසිම කරුණක් නෑ. මේ වගේ චරිත බොහොමයක් අපේ කාර්යාල වලත් ඉන්නවා. වෙනස උගත්කම විතරයි. නමුත් මහින්ද කියන්නේ  බොහොම අව්‍යාජ චරිතයක්. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...