Saturday, August 4, 2012

ඔලිම්පික් සඳහා තරඟ තෝරා ගැනීම සාධාරණද ?


1896 දී  ග්‍රීසියේ ඇතන්ස් නුවරින් ඇරඹි ඔලිම්පික් තරගාවලියේ 30 වන පියවර ලන්ඩනයේදී මේ පොස්ටුව ලියන මොහොතේදීත් ක්‍රියාත්මක වේ. ඔලිම්පික් තරගාවලිය සඳහා තිබෙන බොහෝ තරග සඳහා දක්ෂතා දක්වන විශේෂ ජාතීන් වෙයි. මලල ක්‍රීඩා, බාස්කට්බෝල් සහ බොක්සිං  සඳහා කළු ජාතිකයන්ද, ජිම්නාස්ටික්, කිමිදීම්, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, දුන්නෙන් විදීම, ඉලක්කයට වෙඩි තැබීම සඳහා නැගෙනගිර ආසියාතිකයන් සමත් කම් දක්වයි. යුරෝපීයයන් විශේෂයක් නොදක්වා මේ සියළු ක්‍රීඩා සඳහා දස්කම් දක්වයි. කෙටියෙන් කිවහොත් වැඩි කය ශක්තියක් ඇති කල්ලන් ශක්තිය සහ වේගය පදනම් වන ක්‍රීඩා ජය ගන්නා අතර, නම්‍යතාව සහ සංයමය අවශ්‍ය ක්‍රීඩා නැගෙනහිර ආසියාතිකයන් ජය ගනී. ශක්තිය යම් මට්ටමකටත්, නම්‍යතාව යම් මට්ටමකටත් ඇති යුරෝපීයයන් මේ දෙකටම මධ්‍යස්ථ දක්ෂතා දක්වයි. එහෙත් අප වැනි ශක්තිය හෝ නම්‍යතාව නැති දකුණු ආසියාතිකයන්ට කල හැකි ක්‍රීඩා මොනවාද ? 

දකුණු ආසියාතිකයන් වන අප පොදුවේ සෑම ක්‍රීඩාවක්ම කරන අතර, ඉඳහිට ඉදිරියට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක ගත හැක. එහෙත් අප දිගුකාලීනව දක්ෂතා දක්වන ක්‍රීඩාවක් නැත. සමාවන්න ඔලිම්පික් ක්‍රීඩාවක් නැත. එහෙත් අපේ දකුණු ආසියාතිකයන් ඉහල දක්ෂතාවක් දක්වන ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් නොවන්නේ මන්ද ? ඔවුන් හිතා මතා අප මගහැර ඇද්ද? ඇත්තටම සමහර ඔලිම්පික් තරග තෝරා ගත්තේ කුමන පදනමකින්දැයි ප්‍රහේලිකාවකි. සාමාන්‍යයෙන් යම් ක්‍රීඩාවක් ක්‍රීඩා කරන රටවල් ගණන මේ සඳහා පදනම් වෙතැයි සිතුනද, එය එසේ නොවන බව පසක් වන්නේ මේ සඳහා තෝරාගෙන ඇති සමහර ක්‍රීඩා රටවල් කිහිපයකට පමණක් ආවේනික ඒවා වීමය. උදාහරණයකට ගෘහස්ථ සයිකල් තරග(Cycling - Track), අසුන් පැන්නවීම(Equestrian), කඩු සටන්(Fencing), බී.එම්.එක්ස්. බයිසිකල් තරග(Cycling - BMX) කිහිපයකි. අනෙක්වායින්ද කිහිපයක් ඉතා සීමිත ජන කොට්ටාශ ක්‍රීඩා කරන ඒවාය.

ඔලිම්පික් සඳහා තරග තෝරා ගන්නේ කෙසේද ? අන්තර්ජාලය ඇසුරින් සොයා ගත හොඳම පිළිතුර මෙසේ පරිවර්තනය කර ඉදිරිපත් කරන්නම්

  1. ඔලිම්පික් ක්‍රීඩාවක් වශයෙන් යම් ක්‍රීඩාවක් තෝරා ගැනීමට නම් ඒ සඳහා ජාත්‍යන්තර පාලන මණ්ඩලයක් (Governing Body) තිබිය යුතු අතර  ජාත්‍යන්තර ශුරතා තරගාවලියක් පැවැත්වෙන ක්‍රීඩාවක් විය  යුතුයි.
  2. එම පාලන මණ්ඩලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නීතිරීති වලට අනුකුල විය යුතුයි. උදාහරණයකට  මත්ද්‍රව්‍ය භාවිතය පිටු දැකිය යුතුයි. 
  3. මහද්වීප හතරක රටවල් 75ක ක්‍රීඩා කරන ක්‍රීඩාවක් විය යුතුයි. කාන්තා අංශයටනම් මහද්වීප තුනක රටවල් 40ක ක්‍රීඩා කිරීම ප්‍රමාණවත්ය. මෙයින් අදහස් කරන්නේ එම රටවල් එම ක්‍රීඩාවේ යෙදෙනවාද යන්න නොවේ. එම රට අදාල පාළන මණ්ඩලයේ සක්‍රිය සාමාජිකයකු විය යුතු අතර, එම ක්‍රීඩාව එම රටේ ක්‍රීඩා වනවාද යන්න අදාල නොවේ. උදාහරණයකට අයර්ලන්තයේ කිසිම තැනක අයිස් හොකී ක්‍රීඩාව නොකලද ලෝක අයිස් හොකී සංගමයේ ඔවුන් සක්‍රීය සාමාජිකත්වය දරයි.
  4. තරගය සඳහා ශාරීරික දායකත්වය තිබිය යුතු අතර යන්ත්‍රසුත්‍ර වල දායකත්වයක් නොතිබිය යුතුය.
  5. අවම වශයෙන් ජාත්‍යන්තර තරගාවලි දෙකක් වත් පවත්වා තිබිය යුතුයි.

2016 ඔලිම්පික් තරගාවලියා සදහා ක්‍රීඩා 28ක් තෝරා ගනු ලබන අතර , මේ දක්වා යොදාගෙන නැති ක්‍රීඩා අටක් අතරින් 2ක් චන්ද විමසීමක් ඔලිම්පික් විධායක කමිටුව මගින් සිදු කරනු ඇත. 2020 සඳහා නිත්‍ය ක්‍රීඩා 25ක්ද පාවෙන ක්‍රීඩා 3ක්ද තෝරා ගනු ඇත. මෙම පාවෙන ක්‍රීඩා ඊළඟ අවස්ථාවේදී චන්ද විමසීම මගින් තෝරා ගන්නවා ඇත.

ඔලිම්පික් හා ක්‍රිකට් - "යා දෙක නොරත රත" වනු ඇද්ද?

ඉතින් දකුණු ආසියාතික අපේ ජනප්‍රියම ක්‍රීඩාවක් වන ක්‍රිකට් කවදා ඔලිම්පික් තරග වලට ඇතුලත් කර ගන්නවාද යන්න මට මෙන්ම ඔබට ගැටළුවක් වී තිබුනා විය හැක. ඇත්තටම අතීතයේදී මේ ගැන සාකච්චා වී නැද්ද ? කෙටිම උත්තරය ඇත යන්නයි. 1900 දී ඔලිම්පික් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවක් ලෙස ක්‍රීඩා කර තිබෙනවා කිව්වොත් ඔබ පුදුම නොවන්නේද ? ඔව් 1900 ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් ඇතුලත් වූ අතර එහි එකම තරගය එංගලන්තය ප්‍රංශය අතර පවත්වා තිබෙනවා. ඒ සඳහා එක කණ්ඩායමකට ක්‍රීඩකයින් 12ක බැගින් ක්‍රීඩා කර ඇති අතර. රන් පදක්කම දිනා ඇත්තේ එංගලන්තයයි. 

ඇත්තටම ඔලිම්පික් සඳහා ඉන් පසුව ක්‍රිකට් ඇතුලත් නොවීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ හැත්තෑ ගණන් වන තෙක්ම එය දින හයක් දක්වා දිවෙන් දිගු ක්‍රීඩා තරග වීමය. රටවල් දහයක් පමණ ඉදිරිපත් වුවහොත් ඔලිම්පික් තරගාවලියක් අවුරුද්දකට කලින් පටන් ගන්නට සිදු වනවා ඇත. එක්දින ක්‍රමය හඳුන්වා දුන් පසුවද එය ඇතුලත් කර ගෙන නොමැත. ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන රට සතුව ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි එක ක්‍රීඩාංගනයක්වත් තිබීම අත්‍ය අවශ්‍ය සාධකයක්ය. එහේත් එක්දින තරගවත් අඩුම ගානේ අයි.සී.සී. හී ලියාපදිංචි මුල් කණ්ඩායම් දොළහ සඳහා පවත්වා ඉවර කරන්නට අවශ්‍ය කාලය වැඩිය.  විස්සයි - විස්ස ක්‍රිකට් තරග හදුන්වා දීමත් සමග මේ පිලිබඳ බලාපොරොත්තු දල්වා ගත හැකි වූ අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද ඒ පිලිබඳ යම් යම් ඉඟි ලබා දී ඇත.

ඉහත මුලික අවශ්‍යතා හතර ගතහොත්
  1. ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර පාලක මණ්ඩලයක් ඇත. අන්තර්ජාතික තරගාවලියක් පැවැත්වේ.
  2. අවශ්‍ය පමණටත් වඩා ජාත්‍යන්තර ක්‍රිකට් සංගමය මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කටයුතු කරයි.
  3. මහද්වීප හතරක එය ක්‍රීඩා කරයි. රටවල්  75ක් තවමත් ක්‍රීඩා කරනවාද ? ඇත්තටම දැන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන රටක් නැත. එහෙත් එය අත්‍යාවශ්‍ය සාදකයක් නොවේ. සක්‍රීය සාමාජිකත්වය තිබීම පමණක් සෑහේ.
  4. ඒ සඳහා යන්ත්‍ර සුත්‍ර දායකත්වයක් නැත.
  5. මේ වනවිට ජාත්‍යන්තර තරගාවලි දෙකකට වඩා පවත්වා ඇති මුත්, රටවල් 75 කට වඩා සාමාජිකත්වය ලැබූ පසු තරගාවලි දෙකක් පවත්වා තිබේද යන්නද ගැටළු සහගතය ?
    • ප්‍රධාන සාමාජිකත්වය දරන රටවල් 10යි
    • ආශ්‍රිත සාමාජිකත්වය දරන රටවල් 6යි
    • දෙවන මට්ටමේ ආශ්‍රිත සමාජිකයි 36ක්ද
    • අනෙකුත් රටවල් 60 කට වැඩි ප්‍රමාණයක්
අවසාන වශයෙන් සාමාජිකත්වය ලබූ රට වනුයේ රුසියාවයි. ඒ මේ වසරේදීයි.  එම නිසා මෙම වසරේ සිටි සලකනු ලැබුවහොත් ජාත්‍යන්ත්තර තරගාවලි 2ක් සපුරන්නට 2015 සහ 2019 ලෝක කුසලාන ගත හැකයි. ඒ අනුව ඉන් පසු එළැබෙන 2020 තරගාවලිය සඳහා තෝරා ගැනීම සඳහා තරමක් පමා වනු ඇත. මේ අනුව 2024 ඔලිම්පික් තරගාවලියෙදී ක්‍රිකට් ක්‍රීඩා කරනු දැකිය හැකිද ? 2024 තරගාවලිය සඳහා ඉදිරිපත් වන ප්‍රදාන ලංසු කරුවෙක් වන ප්‍රංශයට මෙම තරගාවලිය සංවිධානය කරන්නට අවස්තාව ලැබුනහොත් 1900දී ප්‍රංශයේ පැවැත්වූ තරගය සිහිගන්වමින් නැවතත් ඔලිම්පික් ක්‍රිකට් තරගයක් පැවැත්විය හැක.

මෙවර ඔලිම්පික් තරගාවලියට සමගාමිව 1900 ආකෘතියටම ක්‍රිකට් තරගයක් ප්‍රංශයේදීම පවත්වන්නට යයි. ඒ මේ මස 19 වැනිදායි. එම තරගාවලි දෙකේ ප්‍රචාරක දැන්වීම් පහතින් තිබේ.


පින්තුරය ගත්තේ : http://futurnow.tumblr.com



පින්තුර ගනු ලැබුවේ සහ ඒ ගැන වැඩිපුර විස්තර (පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන්)


26 comments :

  1. මෙහෙ අය මෙවර බේස්බෝල් සහ ගෑණු ගහන සොෆ්ට්බෝල් ඔලිම්පික් ක්‍රීඩාවක් වූයේ නැහැයි දුකෙන් ඉන්නවා. කලින් කලට එහෙන් මෙහෙන් හිස ඉස්සුවාට ඒකට ඇති ජනප්‍රියත්වය රටවල් කිහිපයකට පමණක් සීමා වීම නිසා අනාගතයේ ද එය නැවතත් එයි ද කියා සැකයි.

    ශක්තිය හා නම්‍යතාවය නැති නිසා ඔලිම්පික් යන්න බැහැයි කීම මා නම් පිළිගන්නේ නැහැ. ඒ සඳහා උවමනාවක් ඇති අය නැහැ නෙමෙයි, දකුණු ආසියාවේ අභාග්‍ය්‍ය ඒකීය පුද්ගල වෑයමකට කිසිවෙක් අත දීමක් නැතිකම. කැපවීම හා උත්සාහයක් ගැනීම නිසා ඔලිම්පික් තරඟ වලට යන්න අවස්ථාව ලැබෙන බව දකින දවසකට (පාලකයන්ගේ අවහිරයක් නැතිව) ඇතිවෙන්න ඔලිම්පික් යන්න සුදුසුකම් ලබන අය දැකගන්න හැකිවේවි.

    ReplyDelete
  2. මම නම් හිතන්නේ ක්‍රිකට් වලට වලට වඩා ඉස්සෙල්ල බේස් බෝල් ගෙනෙයි කියලයි සුදීක.

    ReplyDelete
  3. එතකොට ලංකාවටත් ඒ වෙද්දිත් දක්ෂව ක්‍රීඩා කළොත් ඔලිම්පික් පදකක්කම් ගේන්න බැරිවෙන එකක් නැහැ.

    ReplyDelete
  4. මෙච්චර කල් මේ බ්ලොග් 1 කියෙව්වට අදයි මං බැලුවේ ඔයාගේ ප්‍රොෆයිල් 1 ,මං චමත් ,මතකද?first city branch එකේ හිටියේ ,හර්ෂනිලත් එක්ක ,well done අය්යා ,හොඳ බ්ලොග් 1 ක්‌

    ReplyDelete
  5. මෙච්චර කල් මේ බ්ලොග් 1 කියෙව්වට අදයි මං බැලුවේ ඔයාගේ ප්‍රොෆයිල් 1 ,මං චමත් ,මතකද?first city branch එකේ හිටියේ ,හර්ෂනිලත් එක්ක ,well done අය්යා ,හොඳ බ්ලොග් 1 ක්‌

    ReplyDelete
  6. ______________________________________________________________________
    @අරුණි ශෆිරෝ : ඉස්සෙල්ලමා ඔය මේ පැත්තේ ආව එකට ස්තුතියි. මම සාමන්යෙන් ක්‍රීඩාවක් කියා සලකන්නේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් තැනකට එක්කාසු වුනාම කරන්න පුළුවන් ක්‍රීඩා. සමහර ඔලිම්පික් ක්‍රීඩා කරන්නා මිල මුදල් යහමින් අවශ්‍යයි. එහෙම ක්‍රීඩා වලට තුන්වන ලෝකයේ රටවල යට ඇතුලත් වෙන්න බෑ. ඔලිම්පික් කමිටුවේ අර විලම්බීත නීතිය නිසා එයාලට අවශ්‍ය ක්‍රීඩා අපි වගේ දුප්පත් රටවල ක්‍රීඩා සමාජයක් අල්ලලා පොඩි ආධාරයක් දීල ආරම්බ කරනවා. අපේ වගේ රටවල් වල ඉන්න නිල ලෝබීන් නිසා සංගමයක් අටවා ගන්නා පහසුයි. එයාලට එනිසා අරමුණ ඉටු කර ගන්නා පහසුයි.

    මෙහෙමයි ක්‍රීඩාවක් සඳහා පරම්පරා ගණනක පලපුරුද්ද අවශ්‍ය බව පිළිගැනීමයි. ඔබේ රටේ එක වගේ දක්ෂ තරගකරුවන් වැඩි වන ප්‍රමාණයට දක්ෂතාවත් ඉහල යනවා. ඔයාට කියන්න පුලුවන්ද කළු ජාතිකයන් ජිම්නාස්ටික් වගේ ක්‍රීඩාවන්ට දක්ෂ නොවන්නේ ඇයි කියල ?
    ______________________________________________________________________
    @Kenji.Japan : ඔව් එයාලගේ අර විලම්බීත නීතිය තමයි ඒකට හේතුව.
    ______________________________________________________________________
    Hasitha : ඔව් අඩුම ගානේ බංගලිදේශයට හරි පුළුවන් වෙයි.
    ______________________________________________________________________
    @හසරැල් : චමත් ඔව් මට මතකයි. බොහොම ස්තුතියි.
    ______________________________________________________________________

    ReplyDelete
  7. 19 පහල 20/20 ඇතුල් කරගන්නවා කියලා කතාවක් ගියා නේද?

    ReplyDelete
  8. @Sabith : ඔව් එහෙම යෝජනාවක් තිබුණා. මොනවා වුනත් 2024 න් පස්සේ තමයි.

    ReplyDelete
  9. ක්‍රිකට් ඔලිම්පික් වලට දැම්මයි කියන්නකෝ... එතකොට මේ දියුණු රටවල් මේ ක්‍රීඩාවෙන් පදක්කමක් දිනන්න ඇමරිකාව සාමාන්‍යයෙන් කරන ක්‍ර‍මයට තමන්ගෙ රටේ පුරවැසි කම දීලා වැඩි වටිනාකමක් ගෙවයි... අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙවනවා වගේ තෙගුණයක් පමණ ගෙවීමක් කලොත් අපේ ක්‍රීඩකයො ඇමරිකාවට / ප්‍රංශයට/ ජර්මනියට ක්‍රීඩා කරන්න නොයා ඉදීවි කියලා මටනම් හිතන්න බෑ... ඔන්න මම සෑහෙන අනාගත පුරෝකථනයක් කලේ...

    ReplyDelete
  10. ක්‍රිකට් ඔලිම්පික් වලට ගන්නෙ නැති එකමයි හොඳ.... ඔලිම්පික් කාලෙ විතරයි අනික් ස්පොර්ට්ස් බලාගන්න අවස්ථාවක් තියෙන්නේ.

    ReplyDelete
  11. ක්‍රිකට් ඇතුල් උනොත් අපිට රන් පදක්කමක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් වේවි ....

    ReplyDelete
  12. ______________________________________________________________________@සිරා : ඔයාගේ උත්තරයේ වැදගත් දෙයක් තියෙනවා. ඇමරිකන් කාරය හැකියාවන් මිලදී ගන්නවා කියන එක. අද ඇමරිකාව වෙනුවෙන් ඔලිපික් දිනන්නේ ඇමරිකනුවන්ද ?
    ______________________________________________________________________
    @කැන්ඩියන් : ඔයාගේ නිදහස් මතට මම ගරු කරනවා. ක්‍රිකට් වලට අකමැති අයත් ඉන්න පුළුවන්. හැබැයි මේ මාතෘකාව තනිකරම ක්‍රිකට් හා ඔලිම්පික් ගැන කියන්න නෙවෙයි මම උත්සාහ කලේ. බටහිර බලවතුන් එයාලාගේ තෙල (කාලා වැඩි වෙච්ච) පෙන්වන්න එයාලට වාසි ක්‍රීඩා එකතු කරලා තියෙන ආකාරය.
    ______________________________________________________________________
    @රොබින් : මෙතනදී රන්ද රිදීද කියන එක නෙවෙයි වැදගත්, මේ ක්‍රීඩාව ඔලිම්පික් වලට ඇතුලත් වීම.
    ______________________________________________________________________

    ReplyDelete
  13. කවුද කියන්නෙ කළු ජාතිකයන්ට ජිම්නාස්ටික් බැහැයි කියල? එදා "Magnificent Seven" වලට අයිති Dominique Dawes හිටියා, අද ඉන්නවා ගාබ්රියෙලා ඩග්ලස්, දැක්කෙ නැද්ද "පියාඹන ලේනාව"?

    සුදු හම ඇති අය ජනගහණයෙන් 78% ක් ඉන්න ඇමෙරිකාවේ කළු ජාතිකයන් ඉන්නේ 13% ක් පමණයි.

    ReplyDelete
  14. @arunishafiro : මම කියන්නේ සමස්ත කළු ජාතිකයි. කෙන්යාවෙන්, ඉතියෝපියාවෙන් වගේ රටකින් ජිම්නාස්ටික් ක්‍රීඩකයන් බිහි වීම ඉතා අඩුයි.

    ReplyDelete
  15. ඔලිම්පික් මලල ක්‍රීඩා අංශයේ ක්‍රීඩා විතරයි නේද පවත්වන්නේ?

    ReplyDelete
  16. මේ ළගදි දවසක මට උපතින් ටොංගෝ දැන් ප්‍ර‍ංශ ජාතික කලු මිනිසෙකු හමුවුනා... මම ඔහුත් සමග සාකච්ඡා කලේ ඇයි පිහිනුම් වැනි ඉසව්වක කලු ජාතික සහභාගිත්වය අඩු කියලා.. ඔහු දුන්න පිළිතුර තමයි බොහෝ කලු ජාතික රටවල් ආර්ථික අතින් පහළ මට්ටමක සිටින නිසා අඩු වියදමකින් කරන්න පුලුවන් ක්‍රීඩා සදහා කලු ජාතිකයින් එදා සිට වැඩියෙන් නැඹුරැ වුනු බව...

    ReplyDelete
  17. @නිශාන් : නැහැ බලන්න අනෙකුත් සියලුම ජනප්‍රිය ක්‍රීඩා ඇතුලත්කර තිබෙනවා, එකතු වෙමින් පවතිනවා.

    @සිරා : ඔය විවේචනය මටත් තියෙනවා. එකයි මම කියන්නේ ක්‍රීඩාවක් කියන්නේ කොල්ලෝ කුරුට්ටෝ හත් අට දෙනෙක් එකට එකතු වුනහම කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ කියල. බලන්න තව ටික දවසකින් බොලින් ඔලිම්පික් වලට එයි. එත් ලංකාවේ කී දෙනටද අවස්තාව තියෙන්නේ. දුන්නෙන් විදීම, ගෘහස්ථ පාපැදි දාවනය, ඉලක්කයට වෙඩි තැබීම් වගේ ඒවා ධනවත් රාජ්‍ය වලට පමණක් සීමා වෙන්නේ එකයි. ලංකාවේ ත්‍රිවිද හමුදාවට එකතු වු යට පමණක් මෙම අවස්ථාව ලැබෙනවා. ඇත්තටම අපි වගේ යට ගැලපෙනම ක්‍රීඩා තමයි ඉලක්කයට වෙඩි තැබීම, ඉලක්කයට විදීම වගේ ක්‍රීඩා. ඒවාට වැඩි වැඩියෙන් අවස්ථාව ලබා දිය යුතුයි.

    ReplyDelete
  18. වටිනා විස්තර ටිකක් දැනගත්තා.

    ReplyDelete
  19. අපි දුප්පත් රටක් ඒ නිසා අරක කරන්න සල්ලි නැහැ මේක කරන්න සල්ලි නැහැ කියන එක නිදහසට හේතුවක් කරගැනීම පහසුයි. රටේ පාලනයේ කැපිලි නැත්නම් යන්න පුළුවන් දුර ගැන කතා කරන්නෙ නැතිව.

    සෙරීනා සහ වීනස් විලියම්ස් සහෝදරියන් ඇමෙරිකාවේ දුප්පත් අය. එයාලගෙ තාත්තා තමයි ඔවුන්ට ටෙනිස් ගහන්න කියා දෙන්නෙ. එයාලට ටෙනිස් උගන්වපු පුහුණුකරුවෙක් හා මම කතා කර තියෙනවා. තාත්තා වැට අයිනෙ ඉඳගෙන පුහුණුව පවත්වද්දී තමන් ද පොතක සටහන් ලියාගෙන උගන්වන්න ඉගෙන ගත් හැටි.

    ගැබී ඩග්ලස්ගෙ අම්මා දුප්පත්. රස්සාවල් තුන හතරක් කරමින් තමයි ගැබීට ජිම්නාස්ටික් උගන්වන්න එයා වියදම් හොයාගන්නෙ.

    නැහැ, එයාලා දුප්පත් නිසා හෝ රට පෝසත් නිසා නෙමෙයි. රටේ තියන දක්ෂයෙකුට ඉහළ යන්න පුළුවන් වාතාවරණය නිසයි මේ ජය.

    Jamaican national bobsleigh team එක හේමන්ත ඔලිම්පික්ස් වලට ගිය එකම ග්‍රීෂ්ම කලාපීය රට. 1993 දී එයාල ගැන Cool Runnings කියල චිත්‍රපටියකුත් ආවා. අන්න ධෛර්යයමත් මිනිස්සු, තමන්ගෙ රටේ හිම නැහැ කියලා පසුබට වෙන්නෙ නැති!!!!

    උවමනාවක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. රට දුප්පත් වුනත්, රටේ දක්ෂයෙකුට ඉහළට යද්දි කොතරම් බාධක තිබුණත් ලංකාවේ සුසන්තිකාත් ඒක ඔප්පු කළා. ඒත් ඒ අය අඩු එහෙම කට්ට කාගෙන යන්න හැමෝටම උවමනාවක් නැතිකම. එහෙම යන්නෙ ලෝකයේ ස්ව උත්සාහයෙන් ධනවත් වෙන වගේ අතලොස්සක් විතරයි. අනිත් අය කරන්නෙ ඒ අයට බැරි වූ බවට නිදහසට හේතු සෙවීම.

    ReplyDelete
  20. @අසරණය : බොහෝම ස්තුතියි. කමෙන්ට් වලින් මමත් ගොඩක් දේ දැනගත්තා.

    @අරුණි ශෆිරෝ : පවුලේ දුප්පත් කම නෙවෙයි. ඔයාම කියන විදියට ඇමරිකාව වගේ රටක දුප්පත් වුනත් නැගී හිටින්න පුළුවන්. බලන්න ඒ රටේ දුප්පතෙක්ට වුනත් අවශ්‍ය යටිතල පහසුකම් තියෙනවා. රටේ පොහොසත්කම නිසා ලැබෙන දේ බොහොමයි. හොඳ ආහාර, බෙහෙත්, අනෙකුත් පහසුකම්, මානසික නිදහස. මේ දේවල් ක්‍රීඩාවට අවශ්‍යයි. කොහොම හරි උත්සාහයෙන් නැගී හිටලා ජාතික තලයට ආවාම රජය ඒ අයව බල ගන්නවා. සුසන්තිකාට ඉහත කියපු හැම ආකාරයකින්ම බාද ඇති වුණා. සුසන්තිකා කියන්නනේ කලාතුරකින් බිහිවන දැඩි ආත්ම ශක්තියකින් හැම දෙයකටම මුහුණ දුන් කෙනෙන්. හොඳයි දුප්පත් රටක් කියන්න ඉහල යන්න මාර්ගය හරියට තියෙන ?

    ReplyDelete
  21. ජමෙයිකාව වගේ බටහිර ඉන්දීය ක්‍රීඩකයන් පුහුනුවීම් කරන්නේ ඇමරිකාවේ. සුසන්තිකා පවා ඇමරිකාවේ ඉඳගෙන පුහුනුවීම කලා මතකද? එහෙ පහසුකම් වගේම් හොඳ පුහුණුකරුවන් ඉන්නවා. පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා ජීවත් වෙන්න පුළුවන්. මේ කාරණා තමයි ඒවාට බලපාන්නේ.

    ReplyDelete
  22. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා අතර ගත්තොත් ක්‍රිකට් කියන්නේ දෙවනි තෑන ඉන්න ක්‍රීඩාව.
    දකුනු ආසියාවේ විතරක් නෙවෙයි උසේන් බෝල්ට් ලා ඉන්න ජෑමෑයිකාව ඈතුලු කෑරිබියන් රටවල් වලත් අප්‍රිකාවෙත් ජනප්‍රියයි.දෑන් චීනයේ වගේම නෑගෙනහිර ආසියාතික රටවලත් ක්‍රිකට් හොදට කරගෙන යනවාලු.
    නමුත් ක්‍රිකට් ක්‍රීඩා කරන බහුතරයක් රටවල් නෑතිබෑරි පන්තියේ රටවල් නිසාද කොහෙද මේ නොසෑලකිල්ල.

    රෝහිත

    ReplyDelete
  23. @රෝහිත : මමත් මෙතන මතු කරන්න හදන්නේ ඔය දේම තමයි. නැති බැරි රටවල අය දක්ෂ හින්ද වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  24. සාපේක්ෂව ක්‍රිකට් කියන්නෙ ජනප්‍රිය ක්‍රීඩාවක් නෙවේ. දකුණු ආසියාවේ ක්‍රිකට් මත්තෙ මිනිස්සු නැහුනට ක්‍රිකට් ගහන ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ පවා ඊට වඩා ජනප්‍රිය ක්‍රීඩා තියෙනවා. අයර්ලන්තෙ මිනිස්සුවත් දන්නෑ එයාලට හොද කණ්ඩායමක් තියෙනවා කියලා.

    අපිට ඔලිම්පික් යන්න පුළුවන් හොදම අවස්ථාව මළල ක්‍රීඩාවෙන් මට හිතෙන හැටියට. ඒත් දැන් ගොඩක් දක්ෂතා තියෙන අය මළල ක්‍රීඩාව අතහැරල රගර් වලට යනවා. රජය අනුග්‍රහය දීලා හොද සැලැස්මකට වැඩ කරොත් මේක බැරි දෙයක් නෙවේ.

    අනෙක් අවුල අපේ හොද ක්‍රීඩකයො ගොඩ දෙනෙක් තහනම් ‍අවුසද චෝදනා ලබල තියෙනවා. චින්තන විදානගේ, රොහාන් ප්‍රදීප්, ජානි චතුරංගනී, මංජුල...

    සුසන්තිකා, දර්ශලාට උනත් ඒ කලේ sb ලොකු අනුග්‍රහයක් දැක්වුවා මට මතක විදිහට.

    ReplyDelete
  25. @බැචා : කොහේ ජනප්‍රිය වුනත් වැඩක් නෑ යුරෝපයෙයි, අමරිකවෙයි, නැගෙනහිරි ආසියවෙයි ජනප්‍රිය නොවී. ආර්ථික වශයෙන් පොහොසත් මේ අය තමයි මේ තැන වල තීරණාත්මක සාධක වෙලා තියෙන්නේ. ඔව් අපේ දක්ෂ අයට මත්ද්‍රව්‍ය චෝදනා නිසා පෙනේනේ අපේ මළල ක්‍රීඩාව කඩා වැටිලා කියල. එස්.බී. ගේ මොන දේ තිබුනත් එස්.බී. ක්‍රීඩා කරපු කෙනෙක්. ක්‍රීඩා නොකරපු ක්‍රීඩා ඇමති කෙනෙක් හිටියොත් ලැබෙන අනුග්‍රහය අඩු වෙනවා.

    ReplyDelete
  26. ක්‍රිකට් ඔලිම්පික් වලට දාන්න නම් බ්‍රිතාන්‍යය , ඕස්ට්‍රේලියාව , ඉන්දියාව තුන එකතු වෙන්න ඕනි,නමුත් එහෙම උනන්දුවක් නැති පාටයි , ඉන්දියාව නම් ඔලිම්පික් නමටත් බයයි මම හිතන්නේ

    අරුණි අක්කා කිව්වා වගේ දකුණු ආසියාවේ තියෙන්නෙ සල්ලි ප්‍රශ්නයකටත් වඩා දක්ෂයාට ඉහලට නගින්න අත නොදීමේ ප්‍රශ්නයක් , මිනිස්සු බහුතරය දුප්පත් වුනාට ඉන්දියාව රටක් විදිහට පොහොසත් , අභ්‍යාවකාශ ගමන් වලට යුධ ගුවන් යානා ගන්න කරන වියදමක් වලින් අංශු මාත්‍රයක් වැය කලොත් ඔවුන්ට ඔයිට වඩා පදක්කම් ගන්න ක්‍රිඩකයො හදතැකි හැබැයි ඒකට ඕනි කමක් හෝ ක්‍රම වේදයක් විශම සමාජ ක්‍රමය ඇතුලේ නැ , උදාහරණයක් විදිහට අඩු කුලේ කොයිතරම් දක්ෂයෙකුට වුනත් ඉහල කුලවල තෝරාගැනීම් නිලධාරින් අතින් තේරෙන්න බෑ

    චීනය ද කොරියාව ඔලිම්පික් අභියෝගය සාර්‍තකව ජය අරන් තියනව, හැබ්යි ඊයේ මුනු පොතේ දැක්ක චීන ලමයින්ට පුහුණුව දෙන ජිම්නාස්ටික් කඳවුරක් දැක්කට පස්සෙ නම් පදක්කම් නැතුව ලංකාව ඉන්න විදිහත් අයිට වඩා හොඳයි කියල හිතෙනවා

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...