Saturday, August 5, 2017

උමා ඔයෙන් ගොඩ යාමට නම් ...... To Recover from Uma-oya adversity

උමා ඔය ව්‍යාපෘතියන නිසා බණ්ඩාරවෙල  ආශ්‍රිත ප්‍රදේශයට වන හානිය ඔබ මේ වනවිට හොඳින් දන්නා කාරණයක්. ඉන් ඇති වී තිබෙන ජල මුලාශ්‍රය සිඳීම, නිවාස ඉරිතැලීම වැනි හානි නිසා එම ව්‍යාපෘතිය නතර කිරීම අනුවන ක්‍රියාවකි.  වෙල්ලස්සේ ජනතාව බොහෝවිට වසරේ දින 365ම ජල හිඟය නිසා පීඩා විඳියි. එයට පිලියමක් ලෙස මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම යහපත් ක්‍රියාවකි. මා කිසිසේත් මෙවැනි ව්‍යාපෘති වල සිදුවන ගනුදෙනු, ටෙන්ඩර් ගැන හොඳ හෝ නරක කථා කිරීමට බලාපොරොත්තු නොවේ. නමුත්  අද මුහුණ දී ඇති තත්වයට අපි ජාතියක් වශයෙන් මුහුණ දිය යුතුය. පවතින රජය කෙසේ හෝ එම තත්වය මගහරවාලීමට කටයුතු කළ යුතුය. මන්ද වෙල්ලස්සට වතුර දෙන්න ගොස්, ඌවත් විනාශ කර ගත යුතු නැත. මා කලින් යහපත් ක්‍රියාව ලෙස අර්ථ දැක්වූයේ ඌවේ ජල අතිරික්තය වෙල්ලස්සට ගෙන යාමයි. 

මෙවැනි ව්‍යාපෘති සිදු කිරීමට ප්‍රථම කලයුතු දේ පිලිබඳ දැන් වාද විවාද කිරීමෙන් පලක් නැත. තිබෙන එකම ඵලය  දේශපාලන වාසි ලබා ගැනීමයි. නමුත් පසුගිය රජයට එරෙහිව එවැනි වාසි ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැවතත් 2020 දීය. ඒ මැතිවරණය කාළයකදීය. මේ දවස් වල ස්කෝර් කර තිබීම හොඳ යයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් අද තිබෙන තත්වය එසේ පවත්වා එම වාසියද ලබා ගත නොහැකිය. ඒසේනම් කළ යුත්තේ මේ තත්වයට මුහුණ දීමය. පහලින් තිබෙන්නේ සමාන තත්වයකදී මැලේසියාව හැසිරුණු ආකාරයය. එහි විපක්ෂය හෝ රජය මේ පිළිබඳව තර්ක විතර්ක කර ගත්තාදැයි නොදනිමු. නමුත් එම ව්‍යාපෘතිය සිදු කළ අකාරය නම් ප්‍රශංසනීයය. මෙම ලිපිය ලියන්නට මා මෙතරම් ප්‍රමාද වීම ගැන අදටත් පසුතැවෙමි. මන්ද මා එය නැරඹුයේ එය මුලින්ම නැෂනල් ජෝග්‍රෆික් නාලිකාවේ විකාශණය වූ අවස්ථාවේදීය. නමුත් ඒ අවස්ථාවේ උමා ඔය ආශ්‍රිත මේ ඉරි තැලීම්, වියලීම් පිලිබඳ මට අසන්නට නොලැබිණි. අපේ මිත්‍ර කලාහිත තැබූ සටහන් කිහිපයක්නම් කියවූ මතකය ඇත. 

එම වීඩියෝව අපේ සිද්ධිය හා කෙතරම් සමපාත වනවාදැයි  මට  පසක්  වුයේ  සති  කිහිපයකට පෙරය. ඒ  උමා ඔය  ව්‍යාපෘතියේ  සැබෑ තත්වය  රුපවාහිනි  නාලිකා මගින්  පෙන්වන  විටය. මා  වචනයෙන් එය  විස්තර  කරන්නට යන්නේ  නැත. ඔබට  ඉංග්‍රීසි තේරුම් ගැනීමට  නොහැකි වුවත්, මෙහි සිදු වන්නේ කුමක්දැයි  තේරුම් ගැනීමට පහසුය. මැලේසියානු උමං දුම්රිය මාර්ගය තැනීමට ඔවුන්ට සිදු වන්නේ දහසකුත් එකක් ජනතාව ජීවත් වන ජනාකීර්ණ ප්‍රදේශ හරහාය. නමුත් ඔවුන් කෙතරම් සියුම්ව එය සිදු කළාදැයි ඔබට මේ වීඩියෝව නරඹා අවසන් වනවිට තේරුම් යනවා ඇත. එහිදීද නගරයේ ජනතාවට විශාල නිවාස හානි වලට මුහුණ දෙන්නට සිදු වේ. නමුත් ක්ෂණිකව ක්‍රියාත්මක වන ඉංජිනේරුවන් එයට පිළියම් යොදයි. එය සිදු කරන ආකාරය ඔබගේ දෑසින්ම නරඹන්න. මේ සඳහා වැය වන දත්ත අපතේ ගියා සේ ඔබට නොසිතෙනු  ඇත.

  
දියුණු එමෙන්ම එක්සත් ජාතියක් ප්‍රශ්නයකදී හැසිරෙන ආකාරයත්. අප වැනි අවස්තාවාදී දේශපාලනයක  නියැලෙන රටක එම ප්‍රශ්නය භාවිතා කරන ආකාරයත් දැන් ඔබට වැටහෙනවා ඇත. මෙහිදී මා දකින තවත් එක් වැදගත් දෙයක් වෙයි. මෙම වීඩියෝව නැරඹු ඔබටද එය පසක් වී ඇතුවාට සැක නැත. ඒ තනිකරම ආධුනික ස්වදේශීය ඉංජිනේරුවකු, ජාර්මන් විසේසඥයන් ඇසුරේ ප්‍රවීනයෙකු වන ආකාරයයි. එම ව්‍යාපෘතියේදී එවැනි අතුරු අන්තරාවක්(Project Variation) සිදු නොවිණි නම්, ඔහුගේ අත්දැකීම හුදෙක් කැණීම් ඉන්ජිනේරුවෙකුගේ අත්දැකීමක් වනු  ඇත. නමුත් දැන් අප වැනි ජාතියකට උපදෙස් දෙන්නට තරම් අත්දැකීම් ඔහු සතුව ඇත. කෙනෙකු වඩාත්  පරිණත වන්නේ, ඔහු මුහුණ දෙනු ලබන අත්දැකීම් වල ගැඹුරත් සමග යයි මාගේ විශ්වාසයයි. අද එම ඉංජිනේරුවා අපට පසක් කරන්නේ එයම නොවේද?

එය නරඹා අවසන් වූ පසු මෙම වීඩියෝවද නරඹන්න

මමත් මෙම වීඩියෝව නරම්බින් සිටින නිසා ඒ පිලිබඳ අදහස් දැක්වීමෙන් වැලකෙමි. නමුත් එයද මා  නරඹා ඇතිවා යන්න මතකයක් තිබේ. ඒ පිලිබඳ සටහනක් පසුව ඉදිරිපත් කරමි.

Wednesday, July 26, 2017

නයිට් ගැහිල්ල ......

අපේ අල්ලපු ගෙදර මළ ගෙයක්. ඒ ගෙදර හිටිය වයසක අම්මා මිය පරලොව ගිහින්. මම තවම ගියේ නෑ. නොගියත් ඒ අය කළබල වෙන්නෙත් නෑ. මොකද මේ නාගරික පරිසරයේ කවුරුවත්, තවත් කෙනෙකු වෙනුවෙන් මහන්සි වෙන්නෙත් නෑ, එහෙම වෙයි කියළා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. 

අපි ගං වල මිනිස්සුනේ. ඉතිං හොඳට නයිට් ගැහිල්ල පුරුදුයි. අවුරුදු අසූවක් පැනපු මගේ පියාත් තවම ගමේ මළ ගෙවල් වල නයිට් ගහන්න යනවා. නගරේ ඔය තත්වේ වෙනස්. අපි ඔෆිස් එකේ මෙනකාගේ මාමණ්ඩි මල වෙලාවේ මමත් ගියා නයිට් එකක් ගහන්න බලාගෙන. මොකද එයාලගේ ඒ ගෙදරට ලඟම කාර්යාලීය සගයා මම වෙච්චි, නොයන එක හිතට මහ මදිකමක් වුණා. මමත් වොෂ් එකක් දාගෙන එහෙම මළගෙට ගැලපෙන ඇඳුමක් එහෙම දාගෙන ගියා නයිට් එකක් ගහන්න. ඔන්න හතහාමාර - අට වෙනකොට මළගෙදරට ආව ඒකා දෙන්නා මාරු වෙනවා. රෑ දහය විතර වෙනකොට මම විතරයි. දැන් මෙනකාගේ හස්බන්ඩ්ට හොඳටම නිදි මතයි කියළා මට පේනවා. ඇමති බිරිඳක් වෙච්චි මේනකාගේ සොයුරියත් එක්ක මම දිගු කයියකට සෙට් වෙලා හිටියේ. මේ අතරේ මේනකා එනවා මං ලඟට ඇවිදින් කියනවා

"සුදීකෝ අපි නම් තව ඩිංගකින් දොරවල් වහලා දාලා නිදා ගන්නවා. උඹත් ගෙදර ගිහිං නිදා ගනින්"

මාව කරකවලා අතඇරියා වගේ වුණා. ඇයි හත් දෙයියනේ මළ ගෙවල් වල දොරවල් ජනෙල් වහනවා කියලා මම ඔය ඇහුවමයි. අපේ ගං වලනම් හත්දොහේ දානෙත් අහවර වෙනකං ඉතිං දොරවල් වහනවා තියා නිදා ගන්නවත් බොරු. මේ කොළඹ හැටි වෙන්න ඇති. මට හිතුණා. 

ඊට පස්සේ මගේ මතකය ඊටත් පොඩ්ඩක් පස්සට දිවුවා. ඒක ඊට එහා කතාවක්. ඔන්න අපෙත් එක්ක එකට බැංකුවට ජොයින් වෙච්ච රොහාන් කාරයාගේ ආච්චි නැති වුණා කියන ශෝකජනක පුවත අපේ දෙසවන වැකුණා. අපි එදා හවස වැඩ අහවර වෙනකං හිටියේ පුදුම නොයිවසිල්ලකින්. කොළඹ බෝඩින් වල ජීවත් වෙච්ච අපිට මේ වගේ සීන් එකක් සෙට් වෙනවා කියන්නේ ඉතිං බෝනස් එකක්. මොකද ඒ වෙනකෝටත් ඔෆිස් එකෙන් ඕෆ් වෙලා හවස බස් හෝල්ට් එකේ පැය දෙක තුනක් කථා කර කර ඉන්න අපි කිහිප දෙනෙක් පුරුදු වෙලා හිටියා. වැඩියෙන්ම මමයි ප්‍රියන්තයි. ඒ කාළෙ අපේ සිත් ගත් කුමාරිකාවෝ ගැන තමයි මේ සතර කම්මන්ත්‍රණය. ඊට අමතරව ගුණසේකර උන්නැහේ, සිල්වා උන්නැහේ, මහින්ද වගේ චරිත ගැන කථා වෙනවා. මොකද ඔය රාජකාරි ගවේෂණයන්ට ඒ කාලේ කවුරුත් පොර කනවා. තාරුණ්‍යයේ පසු වුණු කවුරුත් වගේ ලංකාවේ සතර දිග්භාගයේ ඇවිදින්න තමයි ආශාව. මේ වගේ චෑන්ස් ඉතිං කාටද අප්පේ හඹා වෙන්නේ. ඇවිද්ද පය ...... ලියන්න තිබුණු මූලික අරමුණත් ඒකම තමයි. ඒ වගේ ගමන් වල අත්දැකීම් බෙදා ගන්න. ඒ කාරිය තවම අහවර කරන්න බැරි වුණා. 

ඉතිං ඔය මුලින් කිව්ව චරිත තුණ තමයි තීරණය කලේ අපි කොයි දිසාවේද යන්න ඕනේ කියළා. මේ වෙලාවේ මතකෙට එන දේවල් එහෙමම අමුවෙන් කියලා දාන්න හිතුණා. මුලින්ම මේ වගේ පිට පළාතකට ගෙනියන්න තීරණය වුණු අලුත් අයගෙන් කිහිප දෙනෙකු අතරට මමත් එකතු වුණා. ඒ අපි ජොලියට බර පොරවල් නිසා බව තමයි පැරැන්නෝ කිව්වේ. නමුත් මේ එක්කම වෙනත් හැකියාවල් එහෙමත් මැනගෙන තිබුණා. රුචි අරුචිකම් එහෙමත් ඕවාට අඩංගුයි. ඉතිං මුලින්න එහෙම යන්න වුණේ බදුරලිය බ්‍රාන්ච් එකට. මගේ ගම් පළාත ගැන හිතලා ගුණසේකර උන්නැහේ මාවත් මේකට දාන්න තීරණය කරලා තිබුණා. මගෙන් ඒ ගැන විමසුව ගමන්ම මම කැමැත්ත ඵල කළා. අහවල් එහෙකට අකමැති වෙන්නද ? මෙතැන යම් වැරදි වැටහීමක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ මමත් එක්ක එක දවසෙනම පත්වීම් ලැබූ මගේ අතිජාත මිත්‍රයා සුභාෂ් සහ මම(සුභාෂ්) දෙදෙනා පටලාවා ගනිමින්. අපි මුලින්ම වැඩට ආපු දවසේ ජයවර්ධන නෝනා අපෙන් නම් අහත්දී මමත් මගේ මිතුරාත් දෙදෙනාම එකම නම කිවුවා. ඇය එවිට අපගේ වෙනත් නම් විමසා සිටියා. මම දිල්රුක් නම කියා සිටියා, මගේ මිතුරා ලංකා යන නම ඉදිරිපත් කළත්, ඔහුට සුභාෂ් සහ මට දිල්රුක් යනුවෙන් ඇමතීම යෙහෙකැයි ඇය පවසා සිටියා. 

නමුත් ඒ වනවිට අප දෙදෙනාම සුභාෂ් යනුවෙන් අමතන්න ඉඳහිට ප්‍රධාන කාර්යාලට සැපත් වන මේ චාරිකා නඩය හුරු වී තිබුණා. මේ වෙනස් කම පිලිබඳ තවමත් ඔවුන් දැනුවත් වුයේ නෑ. එයට ප්‍රධාන හේතුව, පිස්සුවක් මෙන් ලංකාවේ හතර දිග් භාගයේ ගැහැණු පිරිමි භේදයක් නැතිව සැරිසැරූ මේ නඩය ඉඳහිට කොළඹට සම්ප්‍රාප්ත වන්නේ ඔවුන්ගේ අතිකාල සහ ගමන් වියදම් දීමනා ඉදිරිපත් කිරීමට පමණක් වීම. මේසේ ගමන් ගැනීම අපූරු ඉල්ලම් බවට කිහිප දෙනෙකු පත් කරගෙන තිබුණා. ඒ තමන්ගේ වේතනය ගෙඩි පිටින්ම ඉතිරි කිරීමේ හැකියාව ඇති නිසා. මේ නිසා අපවැනි අවස්ථා පසුපස ලුහු නොබඳින කිහිප දෙනෙකුට වට කඩොලු ඇහුරුණා. මා කියාගෙන ආවේ අප දෙදෙනාගේ නම් පටලැවිල්ල පිළිබඳවයි. බදුරලිය ගමනේ ස්වේච්චා නායකත්වය භාර ගත් ලලිතා මෙනෙවිය(අවිවාහක) මා වෙනුවට, සුභාෂ් කැඳවාගෙන මේ ගමන පිටත් වෙන්න සැලසුම් කළා. නමුත් ඒ සඳහා මුලින් තෝරා ගෙන තිබුණේ මා බව මා ඔවුන්ට පවසන්න උත්සුක වුණේ නෑ. එහෙම පුරුදුදක් මගේ ළඟ තිබුණේ නෑ. පසුව ඔවුන්ගේ ඒ ගමන අත්දැකීම් බහුල එකක් බවට පත් වී තිබුණා. ඒ අනපේක්ෂිත ගංවතුරකින් ඔවුන්ට සංග්‍රහ කර තිබීම නිසා. නමුත් කුරුවිට ප්‍රදේශයේ උපන් මගේ මිතුරාට මෙය අලුත් අත්දැකීමක් නොව, එදිනෙදා ජීවන පුරුදුදක් නිසා කිසි කලබලයක් ඇති වී තිබුණේ නෑ. ඔවුන් හබල් ඔරුවකින් ගමන් ගන්නා දර්ශණ ඡායාරූපයට නගා තිබුණේ අපේ කාර්යාලයේ ඉරෝෂා. ඇය මෙවැනි ගමනකට ෆිල්ම් රෝල් දෙක තුනක් අවසන් කරන්න අමතක කලේ නෑ. අදත් ඇයගේ ඇල්බම් පෙරළුවා නම් අපූරු අත්දැකීම් පිලිබඳ මතකය යළි ගෙන එන්න ඉඩ තිබුණා. නමුත් ඇය මේ වනවිට විදේශගතවයි සිටින්නේ. ඒ කාළයේ කවුරුත් ඇය ආමන්ත්‍රණය කලේ ෆොටෝජෙනික් නමින්.

මා ලියාගෙන ආ මූලික කතාව මෙය නොවෙයි. ඒ නයිට් ගැහිල්ල. ඉතිං රෝහාන්ලාගේ ගෙදර යන්න මේ අතරින් අප කිහිප දෙනෙකු(කොළඹ සිටි) කථිකා කර ගත්තා. සුමිත්, මලින්(විජේරාමෙ හාදයෙක් වුණත් අප සමග ඉතා කුළුපග මිතුරෙකු වී සිටියා), චමිල, ප්‍රියන්ත සහ මම එකතු වුණා. ප්‍රියන්ත ගැන පුංචි දෙයක් සඳහන් කරන්න ඕනෙමයි. ඒ ඔහු කොළඹ සරසවියේ සිසුවෙකු ලෙස බ්ලොම් නේවාසිකාගාරයේ සිටි අයෙකු වීමයි. මා එකළ බදුල්ලේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ගොස් එන ඕනෑම දිනක නවතින්නේ මේ බ්ලොම් නේවාසිකාගාරයේ. ඒවාට යන එන අය ගැන වැඩිමනත් කවුරුත් වද වෙන්නේ නොමැති වීම ඒ කාරණයට පිටිවහලක් වුණා. ඔවුන් අතර සහෝදරත්වය, සමානාත්මතාවය මැනවින් තිබුණා. කොහොමත් අප දෙදෙනා එක වයසේ පසු වූවන් නිසා කාටත් සැකයක් ඇති වන්නට හේතුවක් වුණේ නෑ.  ඉතිං අපි හතරදෙනා කොම්පකදකදවීදියෙන්(කොම්පඤ්ඤවීදියේ දුම්රිය පොළේ සටහන් වෙන ආකාරයට) සප්පායම් වී වී බත්තරමුල්ලේ පිහිටි රෝහාන්ලාගේ නිවසට යන්න බස් රථයකට ගොඩ වුණා. 

ඒ වර්ෂාධික දිනයේ රෝහන්ලාගේ නිවාස සොයාගෙන එහි ලඟා වනවිට රාත්‍රී නවයට ලං වී තිබුණා. අප සමග අල්ලාප-සල්ලාපයේ යෙදුණු රොහාන්, මම නම් තව ටිකකින් නිදා ගන්නවා. ඔයාලත් නිදියනවානම් උඩ තට්ටුවේ ඉඩ තියෙනවා යනුවෙන් පවසා සිටියා. අපි කිහිප දෙනා තුෂ්නිම්භූතව එකිනෙකාගේ මුහුණ බලා ගත්තා. මේ අතර රොහාන් වෙනත් කාරියකට නිවාස තුලට ගියා. මූට වැඩක් නැත්තම් අපි මොකටද ඉන්නේ ? එහෙම කිව්වේ සුමිත්. තවත් සුළු මොහොතකින් අපි පිටත් වීමට සුදානම් වුණා. අන්තිමේදී දෙපාර්ශවයටම අගතියක් නොවන විසඳුම වන ආපසු ගෙවල් බලා යාමට අපි තීරණය කළා. එනකං හැම කෙනාම රෝහාන්ලාගේ හත්මුතු පරම්පරාව සිහි කළා. මම එදිනත් බෝඩිම වෙත නොයා ඉහත කී බ්ලොම් එක නොහොත් බ්ලොම්ෆොන්ටීන් එකේ නතර වුණා. එහම කඩා වැටෙන්න පුළුවන් තැනක් තිබුණු එකත් හොඳයි. 

මේ සටහන ලියන්න අදහස ආ මොහොතේ මම හිතුවේ මේ නයිට් ගැහිල්ල ගැන සුද්දන්ට, හෝ දියුණු යයි සම්මත රටක එකෙකුට කීවොත් ඔවුන් කුමක් පවසාවිද යන්නයි. අනිවාර්යයෙන් අපිට පිස්සු බව ඔවුන් පවසනු ඇත. මේ සටහන තබන මොහොතේ පවා අල්ලපු වත්තේ සිටිනවුන් උස් හඬින් කරන සංවාදය හීනියට ඇහෙනවා. වාසනාවකට මා නිදන කාමරයට මේ හඬවල් ඇහෙන්නේ නෑ. නගරයේද එසේ වන්නේ එක්තරා පිරිසකගේ බව මට පසක් වන්නේ, අල්ලපු ගෙදරට එලිවනතෙක් එකතු වන ජනකාය සහ මොරටුවේ සොයිසලාගේ මවගේ මළ ගෙදරට ගිය ගමන සිහිපත් වීමෙනි. මා සොයිසාගේ මවගේ මළගෙදර පැමිණියේ ගලේවෙල ශාඛාවේ තාවකාලිකව පුහුණුව ලබා දීමට ගිය ගමනේ සිටයි. වරුවක නිවාඩුවක් ගෙන මා පැමිණියේ කාරණා දෙකක් ඉටු කිරීමටයි. ඒ මාගේ මිතුරෙකු සේවය කල ටී හවුස් නමැති ආයතනයේ අධිපතිනියට අයිති හර්මිටෙජ් නමැති අන්ටික් සාප්පුවට මා සංවර්ධනය කල මෘදුකාංගය ස්ථාපනය කිරීමට සහ මළ ගෙදරට යාමටයි. කොළඹට පහට ලඟා වුවත් පෙන් ඩ්‍රයිව්ස් නොමැති කාලයක ඩිස්කට් මගින් දත්ත හුවමාරු කිරීමේදී නොවක් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වීමේ ප්‍රතිපලයක් ලෙස මා සොයිසාලාගේ නිවසට ලඟා වුවේ රාත්‍රී එකොළහට පමණය. එහි පැයක් රැඳී මා ආපසු නිවසට ආයේ, උදැසනම ගලේවෙල යාමේ අරමුණෙනි. 

සොයිසලාගේ නිවාස පිරෙන්න සෙනග සිටි බව අදටත් මට මතකය. අපේ ගමේ මළ ගෙදරකටත් වඩා මෙහි කලබල සහිත වටපිටාවක් විය. හතරවටේ කැරම් සහ කාඩ් සෙල්ලම් කිරීමේ යෙදී සිටි පිරිසට මළ ගේ වගේ වගක් නැත. තැනක කෝපිද, තවත් තැනක් බිස්කට්ද සංග්‍රයක් සිදු වේ. මේවා කිසිවක් ඉතිරි වන්නේ නැත. මේ අතර සොයිසා වෙත ලඟා වූ අයෙක් තර්ජනාත්මකව මෙන් පවසා සිටියේ පැමිණ සිටි අයට සිගරට් නොදුන්නොත් එක-දෙක වනවිට කිසිවෙකු ඉතිරි නොවන බවය. මේ අතර මෙහි පැමිණ සිටි මාගේ සෙසු මිතුරන් සෙට් වීම සඳහා වෙනත් ස්ථානයක් වෙත ගමන් ගත් බව සොයිසාගෙන්ම දැන ගතිමි.

රත්නසිරිලාගේ නැන්දම්මාගේ මළ ගෙදර යාමද සිහිපත් කළ යුතුමය. එහි ගොස් වත්තේ තැනක සෙට් වූ අපට කෑම ගැන වගේ වගක් නොවිණි. ටික මොහොතකින් මම වෑන් එකේ පිටුපස කොටසේ නිදා ගත්තෙමි. සපත්තු ගලවා නිදා ගත් මම නින්දෙන් අවදි වී මේස් පිටින්ම ඔබ මොබ සක්මන් කලෙමි. ටික මොහොතකින් මගේ යටිපතුල් ඇලෙන ස්වභාවයක් ගත් අතර, පසුව කල විමසීමකදී දැන ගනු ලැබුණේ, මේ වනවිට අප සමග ආ පිරිස වත්තේ කොස් ගසකින් ගෙඩි කිහිපයක්ම බිම හෙලා ඇති බවයි. රාත්‍රී හතට පමණ අපට නිවේදනයක් නිකුත් කරමින් රත්නසිරි අල්ලපු ගෙදරකට ගමන් ගත්තේ "මමනං එහා ගෙදරට යනවා කන්න. කැප්ටන්ලා කන්නේ නැද්ද ?" යනුවෙන් පවසමිනි. උප්පත්තියෙන්ම වතුපිටි ඉඩකඩම් වලට හිමිකම් කී රත්නසිරි කා හටත් ඇමතුවේ කැප්ටන් යනුවෙණි. එනිසාම බොහෝ දෙනෙකු පෙරළා ඔහු අමතුවේද කැප්ටන් යනුවෙනි. කප්ටන්ට එකල වැදුණු කාඩ් කිහිපයක්ම විය. ඒවායින් වඩා හාත්ස්‍යොත්පාදකම එක වන්නේ, බිරිඳගේ හෝ ඔහුගේ ඥාතියෙකු මිය පරලොව ගිය විට ඔහුට ඉඩම් අක්කර කිහිපයක්ම හිමි වන බවයි. 

සප්පායම රාත්‍රී දහයට පමණ නිම කල අප පිරිස, රත්නසිරිගෙන් ඩිනර් ඉල්ලා සිටියේය. "දැන් කරන්න දෙයක් නෑ කැප්ටන්, ඒ ගෙදර වහලා" රත්නසිරි විහිළුවෙන්ම පැවසීය. එනමුත් මද පමණින් සිටි අපේ කණ්ඩායම සැලුනේ නැත. "උඹ දැන්මම කඩේ ගිහිං අපිට කන්න අරන් වරෙන්, නැත්නම් අපි මෙතැන සිංදු කියනවා" එවර තර්ජනය උපුල්ගේනි. පැමිණ සිටින පෝරිසාදයන්ගේ හැටි හොඳහැටි දන්නා රත්නසිරි මදක් පසුබැස තකහනියක් හෝමාගමට ගොස් ෆ්‍රයිඩ් රයිස් ගෙනැවිත් තිබුණි. එහෙත් ඒ සඳහා වැය වූ මුදල ගැන තෝරා-තෝංචියක් නැතිව කියවන්නට පටන් ගති. එයට හිලව්වට ඔහුගේ නිවසෙන් පිටවන විට අපේ අය ගේට්ටුවේ කම්බි කූරු මත ඇති ඔටුණු කිහිපයක් ගලවාගෙන කාර්යාලයට ගෙනැවිත් තිබුණි. පසුව ඒ පිලිබඳ ආඩාපාලි කියූ කැප්ටන් "ඕගොල්ලෝ හරි මිනිස්සු තමයි කැප්ටන්, ගෙදරකට එක්කන් යන්න බෑ. මොනවා ගලවාගෙන එයිද දන්නේ නෑ" යනුවෙන් පැවසුවේ මද සිනහවක්ද මුහුණට නගා ගනිමිනි. 

සතිපොතට කළ සටහන ඇවිද්ද පයට ...... සෑහෙන නිසා මෙහි ඵල කලෙමි.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...