Monday, September 15, 2014

ලොල්ද මන්දා අංක 16 : සුද්දාගේ අමුතු යෝජනවා ...... Indecent proposal from a Guest

මේ කතාව මට අහන්න ලැබුණේ මම රිවරිනා හොටෙල් එකේ වැඩ කරපු කාලේ. මම වැඩ කරේ එකවුන්ට්ස් සෙක්ෂන් එකේ. අපේ ඔෆිස් එකත් එක්කම යාබදව තමයි රිසෙප්ෂන් එක එහෙම නැත්නම් පිළිගැනීමේ අංශය තිබුණේ. ඉතිං අපි දෙගොල්ලෝ එකට තමයි තේ විවේකයේදී කෝප්ප උස්සගෙන අපේ ඔෆිස් එකයි, රිසෙප්ෂන් එකයි අතර තිබ්බ මුල්ලට සෙට් වෙන්නේ. ඔය වෙලාවේදී තමයි අපේ රැකියාවල නිරත වෙත්දී වෙච්ච දුක්මුසු, හාස්‍යජනක, ත්‍රාසජනක, භියජනක, කෙල්ලන්ට නම් අයුතු යෝජනා, අඩම්තේට්ටම් වෙච්ච වගේම පිට ඉඳලා එන අය ඒ අතරතුරදී මුහුණදීපු අත්දැකීම් බෙදා ගත්තේ. 


මෙයට අමතරව අපේ ඔෆිස් එකෙන් රිසෙප්ෂන් එක පැත්තට ඔලුව දාපු ගමන් තියෙනවා ගෙස්ට්ලා තමන් ළඟ තියෙන පොත් පත් සඟරා හුවමාරු කර ගන්න ඩෙස්ක් එකක්. තමන් කියවපු/බලපු පොත් පත් සඟරා එතන දාලා, නොබලපු ඒවා අරගෙන යනවා. සුද්දෝ ඉතිං සුද්දෝම තමයි. කිසි දාක වංචා කරන්නේ නෑ. එතනින් එකක් ගන්නවා නම්, එතනට දෙකක් දානව. අපිත් පාන්දර ආපු දවසට ඔතන තියෙන මැගසින් උස්සනවා. ප්‍රංශ, ජර්මන් ඉතාලි තියා ග්‍රීක් වලින් තිබුණත් අපි බලන්නේ පින්තූර විතරයි. පොත් නම් ගන්නේ අපිත් එක්ක හිටිය ෂොක්මන් විතරයි. ඒත් ඉංග්‍රීසි ඒවා. අපෙත් එක්ක හිටපු බැසිල් තමයි ඒවායේ තියෙන පින්තූර විශ්ලේෂණය කරන්නේ. අපෙත් එක්ක වැඩ කරපු ෂොක්මන් මම දැකපු හොඳම කියවන පුද්ගලයෙක්. දවසේ වැඩ කරන්න ගන්න මිනිත්තු කිහිපය ඇරුනහම මිනිහගේ වැඩේ කියවන එක. ඩේලි නිව්ස් එක අකුරක් නෑර කියවනවා. අපේ ජී.එම්.ට වුණත් මොනවා හරි පත්තරේ තිබ්බ දෙයක් ගැන දැන ගන්න ඕන වුණොත් මිනිහාගෙන් තමයි අහන්නේ.

උදේට කාලා අපේ ආසන වල වාඩි වුණාට පස්සේ, ආයේ නැගිටිනවා බොරු. එහෙම යනවා නම් මොකක් හරි රාජකාරි වැඩකට තමයි. මම කරපු රාජකාරියේ හැටියට මට ටිකක් නිදහස තිබුණා ස්ටෝර්ස් එකට යන්න. මතක් වුණ වෙලාවේ මේ එක්කම අතුරු කතාවක් තියෙනවා ලියලා දාන්න. ඔය ස්ටෝර්ස් එකට යන්න අවසර ඇතුව හෝ නැතුව අපිට සාධාරණ හේතු තිබුණා. අපි උදේ අටට වැඩට වාඩි වෙන්න කලින් පහළ කුස්සිය, ස්ටෝරුව තියෙන පැත්තේ තියෙන අපට අදාළ කැන්ටින් වලින් ආහාරය ගන්න ඕනේ. මේවා නිකංම දෙන්නෙත් නෑ. මීල් චිට් කියලා, එක්-එක් ශ්‍රේණියට අදාලා වර්ණයන්ගෙන් යුත් කෝච්චි ටිකට් එකක් තරම්, හරියට මුද්දර වගේ මැදින් කඩන්න පුළුවන් ටිකට් වර්ගයක් අපට නිකුත් කරනවා. ඒ ගැන ගණනය කිරීමක් කලින් දවසේ සිදු වෙනවා. අදාළ අංශයට එදා කලින් දවසේ හවස මේ මීල් ටිකට් හම්බ වෙනවා. ලොක්කෝ කොච්චර අපිව බෙදලා තියෙන්න හැදුවත්, මේ කෑම කන තැන් වලදී අපි පන්ති භේදය අත ඇරලා සහෝදරයෝ වගේ උන්නා. මේ බොහෝ දෙනෙක් අපි එක්ක කථාවට කැමතියි. ඒ ඊළඟ මාසේ දහවෙනිදට ලැබෙන සර්විස් චාජ් එක කීයක් විතර වෙයිද කියලා දැන ගන්න. 

මේ සර්විස් චාජ් එක, තම තමන්ගේ දෙපාර්තමේන්තුවට දැනෙන විදියට ගණනය කර ගන්න, ඒ ඒ දෙපාර්තමේන්තු වල පැරණි සේවකයින් සමත් වෙලා තිබුණා. නයිට් ඔඩිටර්වරු දෙදෙනා විදියට කටයුතු කරපු මයිකල්-ශාන්ත දෙපල තමයි වඩාත් කිට්ටුවට නිවැරදි අගය කිව්වේ. ඒ නමුත් සර්වි චාර්ජ් එක ගණනය කරන එකේ සමීකරණය අනෙක් දෙපාර්තමේන්තු වලට අයට පමණක් නෙවෙයි සමහර ගිණුම් අංශයේ සේවකයන්ටත් ටිකක් විතර බරපතල වෙලා තිබුණා. මේ වගේ ආයතන වල සේවය කරන අය තමන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවය ආරක්ෂා කර ගත්තේ, මේ වගේ බැරෑරුම් දේවල් පිලිබඳ රහස් සඟවගෙන ඉඳීමෙන්. මේක තවත් කෙනෙකුට උගන්වන්නේ බොහොම අමාරුවෙන් තමයි. එහෙම ඉගැන්නුවත් කොටසක් අඩුවෙන්. ඒ නිසා වැඩේ දැනගත්තත් කවුරුවත් චන්ඩි වගේ මේවා හදන්න ඉදිරිපත් වුනේ නෑ. පසුකාලීනව මේ ගණනය කිරීම් කරන විදිය තිතටම ඉගෙන ගන්න මට පුළුවන් වුණා. උසස්පෙලට ගණිතය කරලා, එන්.අයි.බී.එම් එකේ පරිගණය පාටමාලාවට උසස් ගණිතය සහ උසස් මට්ටමක සංඛ්‍යානය ඉගෙන ගත නිසා මට ඒවා අල්ල ගන්න එතරම අපහසු වුනේ නෑ.

අතුරු කතාව අස්සේ තවත් අතුරු කතාවක් කියවුනා. සර්විස් චාර්ජ් ගණනය ඒ තරම් රසවත්. අතුරු කතාව තමයි, අර කියපු මීල් චිට් වලට කෑම නිකුත් කරන එක උදෑසන හතයි පනහට හරියටම අවසන් කළා. එතන ලබා දීපු කෑම ගැන අපේ ඒ තරම ප්‍රසාදයක් තිබුණේ නෑ. ඩප්පරා කියලා ජීවිතේට කාපු නැති, බ්ලේඩ් එකෙන් කැපුවා වගේ හරි හතරැස්, මෙලෝ රහක් නැති මාළු ජාතියක් තමයි අපිට කෑමට දුන්නේ. ඒ මදිවට කිරිබත් කන්න - කිරි හොදි ! බොහෝවිට කිරට උයපු මේ මාළු. අපේ ඇඟේ මාළු නටපු වාර අනන්තයි. ඇයි ඉතිං, පාන් එක්ක කිරි මාළු සහ මිරිස් මාළු නැත්නම් කිරිබත්. බොහෝවිට ඔය දෙකම එහා මෙහා කර කර දුන්නා. වතුර පුදුම ජරාවක්. ඒ හෝටලේ තියෙන මුහුදුබඩ පළාතේ ලුණු මිශ්‍ර හිරිගල් පොලවෙන් එන්නෙම කිවුල් වතුර. ඒ මදිවට කුඩා පනුවෝ ජාතියක් ඉන්නවා. ඒ වගේ ජරා වතුරක් මම දැක්කේ පහුකාලීනව බැංකුවේ සේවයට ගිය වෙලාවක අරලගංවිලදී. එහෙට හොඳට වහින කාලෙක වතුරේ කුඩා කූනිස්සෝ වර්ගයක් ඉන්න බව දැකලා, එහෙදීත් බිව්වේ උණු-උණු ගින්දර වගේ වතුර. මේ හෝටලේ නම් ලෝබ කමටමයි එහෙම කලේ. ඒවා හොයා බලන්න කවුරුවත් ඒ කාලේ හිටියේ නෑ. හරිනම් තරු ලබා දෙත්දී සේවක සුබසාධනයත් බලන්න ඕනේ. අනේ මන්දා ඒවා කොහොම සිද්ද වුණාද කියලා. 

ආයෙත් පිට පැන්නා. හතයි පනහට ආහාර ගන්න බැරි වුනොත්, ආයේ උදේ දහයට දෙන කිරි තේ එක ඇරෙන්න දවල් වෙනකං මොනවත් නීතියානුකූලව ලැබෙන්නේ නෑ. ඒ කියමනෙම රැඳිලා තියෙනවා "හොරෙන් කන්න පුළුවන්" කියන එක. එකවුන්ට්ස් එකේ හිටපු අපිට ඔෆිස් එකට යාබදව තිබුන කොෆී ෂොප් එකෙන් හරි පහළ ලොකු කුස්සියෙන් හරි කෑම ටිකක් ලබා ගන්න බැරි වෙන්නේ නෑ. ඒත් අපි ඉන්නා තැනට ගෙන්වා ගන්න පුළුවන් කොෆී ෂොප් එකෙන් විතරයි. ඒකෙ වැඩ කරපු ච්බ්බා නොහොත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු (ජීවතුන් අතර නැති බව මෑතකදී දැන ගන්නට ලැබුණා. අපෙත් එක්ක ක්‍රිකට් තරග වලට යත්දී රස ගුලාවක් මවපු සැබෑ චීනෙකුගේ පෙනුම සහිත තඩි මහතා පුද්ගලයෙක්) නොහොත් චබ්බා අපිට එහෙම ඉල්ලපු දවසකට ඊයම් කොලවල ඔතපු තම්බපු බිත්තර, බ්‍රෙඩ් රෝල්, ක්‍රොසේන්ස්, ඇම්බුම් කෙසෙල් ගෙනත් දෙනවා. නමුත් මතක ඇතිව කෙසෙල් ගෙඩියේ ලෙල්ල ගෙනියන්න ඔහු වග බලා ගත්තා. ඒ ඔහුගේ දිනය අවසන තුලනයන් කරන්න. ඒ තරම් පාළනයකින් තමයි ඒ ආයතන දිව්වේ. නමුත් වර්ෂ අවසාන බෝනස් එක හැමෝටම රුපියල් පන්දාහයි. ඒවා ගැන කථා කරලා වැඩක් නෑ. ඒවායේ තිබුන නාම මාත්‍ර යුනියන් වලට ඒවාට සටන් කරන්න බෑ. 

පහළ ලොකු කිචන් එකෙන් කෑම ටිකක් දෛනිකව ඉල්ලා ගන්න ඒ කාලේ අපි වග බලා ගත්තා. ඒ උදේට පරක්කු වෙන අයට සහ ඒ යුගයේ බද්‍ර යෞවනයේ උන් අපට. එහෙම කිව්වට වයසක අයත් අත ඇරියේ නෑ. සමහර දවස් වලට ඉම්පොට්ඩ් ටෙන්ඩර් ලොයින් කියලා රටින් ගෙන්වපු හරක් මස් කන්න ලැබුණා. අපිට මේවා ලැබෙන්නේ ගාබේජ් බෑග් එකක් පුරවලා. ස්ටෝස් එකේ ඉන්න ආනන්ද හෝ ෂර්ලි කරන්නේ මේ ටික අරගෙන නිතර අරින්නේ නැති ලිපිද්‍රව්‍ය ගබඩාවේ රාක්කයක් සඟවනවා. ඊට පස්සේ ඉන්ට කොම් එකෙන් අපිට පණිවුඩය දෙනවා. අපි කට්ටිය හිමිහිට ස්ටෝරුවට පල්ලම් බහින්නේ එකම දොරෙන් නෙවෙයි. කෙනෙක් අර ඉහලින් පේන කහ පාට තැනින් ගිහින්, ටී.වී. කාමරයෙන් හෝ කොෆී ෂොප් එකෙන් පිටුපස කොරිඩෝවට පිවිසෙනවා. අපි දෙදෙනෙක් විතර අපේ පිටුපස දොරින් ස්ටෝරුව බලා යනවා. තවත් කෙනෙක් ජී.එම් ඉන්න පැත්තෙන් ගිහින් ඩිස්කෝ එකෙන් පිටුපස කොරිඩෝවට එනවා. බැරිම කෙනෙක් තව රවුමක් ගහලා බිම් මහලේ තියෙන ස්ටෝරුවට එනවා. ආනන්ද හරි ෂර්ලි හරි කරන්නේ අපිව මේ කාමරයට දාලා දොර වහලා යතුර සාක්කුවේ දාගෙන තමන් වැඩ කරන ආහාර ගබඩාවේ වැඩ කරන එක. අපි කාලා ඉවර ඇති කියලා හිතෙන වෙලාවක ඇවිත් දොර අරිනවා. ෆෑන් එකක් නැති නිසාත්, වටෙන්ම බිත්ති තිබෙන නිසාත් මේක පෝරණුවක් වෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නෑ. කාලා ඉවර වෙනකොට අපි ඉන්නේ දාඩිය පෙරාගෙන. මොනවා වුණත් සංචාරකයන් වෙනුවෙන් නිමවෙන ආහාර වල තියෙන නැවුම් රසය නිසා මේ වගේ පරිසර තත්ත්ව ඉවසගෙන ඉන්නවා. 

දවසක් අපි කාලා බලාගෙන ඉන්නවා දැන් දොර අරියි, දැන් දොර අරියි කියලා. ඒ වුණත් පැය එකහාමාරක් විතර ගත වෙනකම් දොර ඇරුණේ නෑ. අන්තිමට අපි නිකං බැදපු කන්කුන් වගේ මැල වෙලා ඉන්නකොට තමයි ෂර්ලි ඇවිත් දොර ඇරියේ. ඒ වෙලාවේ අපි මොනවා කිව්වද කියලා අපිට මතක නෑ. කෙනෙක් අමු තිත්ත කුණු හර්පෙන් බනිද්දී අපි ඉක්මනට දුවලා ගියේ අපේ ආසන වලට.  මේ වෙනකොට අපිව හොයනවා ඇති කියන බයයි. ඔෆිස් එකේ ඒ.සී. තියෙන නිසා සිසිල් වෙන්නයි බලාගෙන. නමුත් වාසනාවකට කාවවත් හොයලා නෑ. එදා වෙලා තියෙන්නේ ජී.එම්. මොනවා හරි හදිසි කටයුත්තකට ශර්ලිව ගෙන්නලා. කථාව පැය ගණනක් ඇදිලා ගිහින්. එදායින් පස්සේ ඒ ගමන යනවා නම්, දෙතුන් වරක් ෂර්ලිට හරි ආනන්දට හරි කොහේ හරි යනවා නම් අපිව එලියට දාන පොරොන්දුවට තමයි ඇතුලට යන්නේ. දවසක් ලීටරේ ඇපල් ජූස් එකක් කියලා, අපි බිව්වේ තක්කාලි ජූස් එකක්. දවස් දෙකක් යනකං මුළු ඇඟම ගිනි තියලා වගේ. මම වතුර කොච්චර බිව්වද කියලා මතක නෑ. සුද්දන්ට ටුමාටෝ ජූස් හරි ගියාට අපිට හරි යන්නේ නෑ. 

අතුරු කතාවල් ඉවර නිසා දැන් බහිමු අපේ ප්‍රධාන කතාවට. අපේ රිසෙප්ෂන් එකට ආවේ ඉතිං ලස්සන කෙල්ලෝ නේ. මට දැන් හරියට මතක නැතත් දිනේෂා, රොමේන්, අංජලිකා අරකා-මේකා ඕනෑම නමක් තියෙන අය එනවා. සමහරු එන ඉක්මනින්ම යනවා. සමහරු කාලයක් ඉන්නවා. සුදු, ලස්සන, මහත, උස එක එක විදියේ අය එනවා. මේ ය දැක්කම සංචාරකයන්ට විවිධ අදහස් පහල වෙන එක පුදුමයක් නෑ. අපෙත් එක්ක හිටි සමහර ලොක්කොත් මේ අයගේ පස්සේ වැටිලා හිටියේ. එක ලස්සන, සුදු මහතා කෙල්ලෙක් හිටියා, කෙල්ල කිව්වත් මෙයා අවුරුදු තිහක විතර කෙනෙක්. නමුත් රුසියානු පෙනුමක් තිබුණේ. දවසක් මගෙන් ඉල්ලා ගත්ත මාකර් පෙන් එකක් ආපහු නොදී මගෙනුත් බැනුම් අහ ගත්තා වගේ මතකයි. පස්සේ "මෙයා පුංචියට හිටියට හරියට කේන්ති යනවා" කියලා මට තේ වෙලාවේදී විහිළු කළා. මෙහෙම ඉන්නකොට දවසක් හවස හයට විතර මේ කෙල්ල මූණත් රතු කරගෙන අපේ ඔෆිස් එක පැත්තට දුවගෙන ආවා. පපුවට අත තියාගෙන, වේගයෙන් හුස්ම ගන්නවා. මේ වෙලාවේ ඔෆිස් එකේ හිටියේ මම, ෆාහිම් සහ සේනාරත්න ඇතළු කිහිප දෙනෙක්. අපි බැළුවා මොකක්ද මෙයාට වෙලා තියෙන්නේ. කිසි සබකෝලයක් නැති කෙනා, එකපාරට ලජ්ජාවෙන් මුහුණ රතු කරගෙන. මට අදත් මැවිලා පේනවා, ඒ මූණේ තිබුන තැති ගැන්ම, ඒ වගේම අපේක්ෂා භංගත්වය. අන්තිමට මේසයක් උඩ තිබ්බ වතුර බෝතලය කටේ තියාගෙන බීලා කථා කරන්න පටන් ගත්තා.
"මමනම් හෙටම අස් වෙලා ගෙදර යනවා. අපි උඩරට බොහොම ලැජ්ජාවට බයට හැදුන අය"
එයා වේගයෙන් කියාගෙන ගියා. වෙනදා එයාගේ වචන වල තිබ්බ ලාලිත්‍යය මොහොතකට ගිලිහිලා.  මේ වගේ විවිධ චරිත රඟපාන දේවල් දැකලා අපිටත් මේවා කිසිම ගානක් නැති තත්වයේ හිටියේ. මුස්ලිම් වුනත් ෆාහිම් උඩරට පැත්තේ, ඒකට හරියන්න සේනාරත්න කෑගල්ලේ. මේ වෙලාවේ මේගොල්ලන්ගේ උඩරට ගතිය එලියට ආවා.
"කියන්න - කියන්න මොකද වුණේ. කවුරු හරි ඔයාට කරදර කරන්න ආවද ?"
කෙල්ල ඔලුවෙන් සන් කරමින් ඒ අදහස අනුමත කළා. දැන් අපිට කාරණය පැහැදිලියි. මේ හෝටල් වල එහා මෙහා යත්දී අහුමුළු වලදී කෙල්ලන්ගේ අතනින් මෙතැනින් මිරිකන පුරුද්දක් ලොක්කන්ට වගේම අනිත් අයටත් තිබුණා. හැබැයි මෙයාලාගේ ඇඟට අත තියන්න පහල සේවකයන් බයයි. එහෙම කලානම් එක්කෝ එයාලත් එක්ක ඉන්න කෙනෙක් වෙන්න ඕනේ, නැතිනම් ලොක්කෙක් වෙන්න ඕනේ.

"සුද්දෙක් ඇවිත් මට කි...ව්....වා... මට කිව්වා.. "
"ඔය ගොත ගැහිල්ලා තියලා ඉක්මනට කියාපන් නංගියේ, ඌ මොනවද උඹට කලේ ?"
ජාති ආලය ඉහ-වහා ගිහින් සේනා අත්දිග ෂර්ට් එකේ මදක් නවාපු අත්, වැලමිටෙන් උඩටම ඇද ගත්තේ "ගනු කඩුවට - එනු සටනට " සටන් පාඨය සිහි ගන්වමින්.

"සුද්දා මට කිව්වා අයි වොන් ටු ෆක් කියලා. ඇයි අයියේ මෙහෙම ප්‍රසිද්ධියේ ඔහොම අහයි කියලා කවුද හිතන්නේ. අපි මෙතන ඇවිත් ඉන්නේ වැඩ ඉගෙන ගන්ට. උන්ට ඕන - ඕන දේවල් කරන්ට නෙවෙයිනේ. ඌ බීලද කොහෙද"
මේ වෙලාවේ රස්සාව පැත්තක තියන්න අපි කාටත් හිතට ආවා. වීර පුරන් අප්පුගේ පරපුරේ අය වගේ සුද්දා හොයාගෙන යන්න හදනකොටම, රිසෙප්ෂන් එකේ ඉන්න අනිත් කෙනා උස මහත සුදු රොමේන් දුවගෙන එනවා කට පුරා හිනා වේගෙන.
"මෙයාට තියෙන්නේ පුදුම කලබලයක් අනේ. බලන්න අර සුද්දා ලියුමත් තියාගෙන බලාගෙන ඉන්නවා. යමු යමු"

කියලා දම් පාට බතික් සාරියකින් සැරසිලා කඳුළු පෙරන්න ඔන්න මෙන්න මුහුණින් ඉන්න අරයට කියනව. 
"මේ රොමේන් උඹ පැත්තකට වෙයං, අපි දෙන්නං සුද්දට උත්තර. උන්ට ඕනේ ඕනේ දේවල් කරන්න දෙන්න පුලුවන්ද ?"
"හරි දැන් අයියලා කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා"
"අනේ උඹට නොතේරෙන්න උඹ පොඩි එකානේ. වරෙන් කිරි ටිකක් පොවලා හරහට නලවන්න. ඇයි බං සුද්දා මේකිට අඬගහලා තියෙන්නේ මොකටද කියලා එතනම හිටිය උඹට ඇහුනේ නෑනේ. උඹ ඉතිං කොහොමත් ලංසි බඩුවනේ"
මේ මොනවා කිව්වත් රොමේන් හිනාව පුරවාගෙන ඉන්නවා. අතින් කට වහගෙන හොඳටම හිනා වෙලා මෙහෙම කිව්වා
"ඒ සුද්දට ඕනේ වෙලා තියෙන්නේ ෆැක්ස් එකක් යවන්න. දන්නේ නැද්ද ජර්මන් කාරයන්ගේ ඉංග්ලිෂ් ප්‍රනවුන්සියේෂන්. මෙයාට ඇහිලා තියෙන්නේ වෙන එකක්"
 ඊට පස්සේ මේක මුළු හෝටලේම ඉන්න සේවකයනේ කණින් කනට යන්න ගත වුණේ පැය දොළහකට අඩු කාලයක්. ඒ 1991 වගේ කාලෙයේ ජංගම දුරකථන බොහොම දුර්ලභ යුගයක් නිසා. අද වගේ දවසක නම් විනාඩි දෙකයි. ඊට පස්සේ අරයව දකින ඕනෙම කෙනෙක් අතට අහු වෙන කොළ කෑල්ලක් පෙන්නලා කිසිම කැතක් නැතිව 
"අයි වෝන්ට් ටු ෆක්"

කියන්න අමතක කලේ නෑ. ටික කාලෙකින් මේ සුන්දරිය වෙනත් රැකියාවක් හොයාගෙන ගියා. 

Friday, September 5, 2014

ඇයි මීට කලින් අමු මිරිස් කනවා දැකලම නැද්ද ...... ? Never seen eating "Amu Miris" Before ...... ?

අපේ කට්ටිය අමු මිරිස් චැලේන්ජ් එක පටන් අරගෙන දැන් සතියකට ආසන්න කාලයක් වෙනවා. දැන් කට්ටිය කාගෙන කාගෙන යනවා, කාටවත් තවම සැර දැනුණේ නෑ. යාන්තමටවත් දැනුණේ අර වෙනිවැල් උන්නැහේට. මේ වැඩේ අපේ කට්ටිය ආරම්භ කලේ, අර ලෝකේ වටා යන අයිස් බකට් චැලේන්ජ් එක දැකලා. "කොපි කිරිල්ල අපේ රටේ පුරුද්ද නේ ඉතිං" කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. "කොපි කිරිල්ල වෙන්නේ අයිස් බකට් එක ඒ විදියට කලානම් නේ" කියලා තව කෙනෙක් තර්ක කරන්න පුළුවන්. බොරු කියන්න ඕනේ නෑ මටත් ඔහොමම හිතුණා. පෘතග්ජන මිනිස්සුනේ. මෙහෙම හිතිලා මම නිකං හිටියේ නෑ. දුකට සැපට දෙකට ඉන්න ගූගල් දෙවියන්ගේ පිහිට පැතුවා.  එහෙම කරලා සොයා ගත්තු දැනුම තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ.

මම ඔය සර්ච් එක කරේ ඊයේ හවස. මට අපූරු ලිපි කිහිපයක් හමු වුණා. ඒවා කියවලා පස්සේ මේ සටහන තියනවා කියලා හිතාගෙන ටී.වී. බලන්න පටන් ගත්තා. මගේ ප්‍රියතම නාලිකාවක් වන ඩිස්කවරි එක බලමින් ඉන්නකොට, හරි අපූරු වැඩසටහනක් ගියා. මම වෙනදා බලලා නැති වුණත්, ඊයේ බලන්න හිතුණේ මම චැනල් එක මාරු කරපු ගමන් දැකපු විශ්මිත රුප රාමුව නිසා. වැඩසටහන තමයි you have been warned. මේ වැඩසටහන කලිනුත් කිහිප වතාවක නරඹලා තිබුණා. ඒකෙ යන තරමක් යන්නේ මිනිස්සු කරපු ගොන්කං කිව්වොත් වඩා නිවැරදියි. ඔන්න එහෙනං ඔයාලත් බලන්නකෝ මේ හාදයා කරන වැඩේ.



   



දැන් පේනවා නේද රඟේ. රට කජු, රට ළූණු, රට පුවක්, රට අඹ, රට හරක්, රට හාවා ආදී වශයෙන් හොඳම එක රටට පූජා කරන්න පසුබට නොවෙන අපේ සමාජය, සැරම මිරිස් වලට රට මිරිස් කියලා නොදැම්මේ ඇයි කියන ගැටළුව මෙතනදී මතු වෙනවා. එහෙම කරේ අපේ දීන කමට කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒ මාතෘකාව වෙනමම කථා කරන්න අවශ්‍ය එකක්. 

මේ මිරිස් සැර ලෝකෙම ජනතාවට ප්‍රශ්ණයක් වුණා. ඒ නිසා විල්බර් ස්කෝවල් කියන ඇමරිකානු රසයනඥයා සොයා ගත්තා මිරිස් වල තිබෙන කටුකත්වය මනින ක්‍රමයක්. එය හඳුන්වන්නේ ස්කෝවල් පරිමාණය (Scoville scale) හෝ ස්කෝවල් ඒකක(Scoville Units) ලෙස. කැප්සායිසින් කියන රසායනික සංයෝගය තමයි මිරිස් වල සැරට හේතු වෙන්නේ. ඉතිං මේ සංයෝගය තිබෙන ප්‍රමාණයට මිනිස් සමේ තිබෙන ප්‍රතිග්‍රාහක ස්නායු ක්‍රියා කරන ආකාරය අනුව තමයි මේ ඒකක කොපමණක් මෙහි අඩංගු වනවාද යන්න තීරණය කරන්නේ. එම සංයෝගය මිනිස් සම මත උෂ්ණත්වය ඉහල දමන්න හේතු වනවා. නමුත් එය සිදු කරන්නේ සීනි ද්‍රාවණයක් සහ විවිධ වර්ග වලට අදාළ මිරිස් පල්පයක් මිශ්‍ර කිරීමෙන් පසුව. මෙය 100% සාර්ථක නොවන බව ඔවුන්ම පවසනවා. හේතුව එක්-එක් මිනිසාගේ සමට සාපේක්ෂව මෙය සිදු කිරීම. මෙහිදී මෙම ඒකක ප්‍රමාණය 0 වීමට සීනි ද්‍රාවනයෙන් කොපමණ ප්‍රමාණයක් යෙදවිය යුතුයි පරීක්ෂා කෙරෙනවා. සමහර වර්ග වලට මිලියන ගණන් වල අගයක් දෙනවා. 

පින්තූරය ගත්තේ : http://www.eatmorechiles.com

මේ පින්තූරයෙන් පෙවන්නේ විවිධ වර්ග වල මිරිස්(ඔවුන් මේවා Pepper වශයෙන් හඳුන්වන්නේ) කලින් සඳහන් කරපු ස්කෝවල් දර්ශකයට අනුව දක්වන සැර ප්‍රමාණය. 

මේ ගැන කරපු සෙවීම් වලදී අගනා ලිපි කිහිපයක්ම හමු වුණා. ඉන් සරල සහ සිත්ගන්නා සටහනකැ මෙන්න මේ වගේ විස්තරයක් තිබුණා. 

බෙල් පෙපර්

දැක්ක ගමන් ලංකාවේ බොහෝ දෙනෙක් දන්නා කිසිම කරදරයකින් තොරව ආහාරයට ගන්න පුළුවන් මිරිස් පවුලේ සැර අතින් බාලයා ලෙස හඳුන්වන්න පුළුවන් මේ වර්ගය. රතු, කහ සහ කොළ වර්ණයන්ගෙන් මේවා වෙළඳපොලේ දක්නට ලැබෙනවා.

පොබ්ලානෝ


බැලූ බැල්මට අපේ අමු මිරිස් වගේ පෙනුනත්, මෙය ඉතා තද කොළ පැහැති අපේ අමුමිරිස් වලට වඩා ප්‍රමාණයෙන් විශාල මිරිස් වර්ගයක්. දිගින් අඟල් හතරක් සහ පළල අඟල් දෙකක් පමණ වන මෙම මිරිස් වර්ගය වියලි මිරිස් ලෙසද වෙළඳපොලේ තිබෙනවා.

මෙය ඉතා ඝන පොත්තක් ඇති මිරිස් වර්ගයක් නිසා, අහාර පිළියෙළ කිරීමේදී ඇතුලත පුරවා සාදා ගන්නා අහාර සඳහා වැඩිපුර යොදා ගන්නවා. මෙය ප්‍රසිද්ධ මෙක්සිකන් ආහාරයක් වන "චිලී රේලෙනොස්" සෑදීමේදී යොදා ගන්නවා. ඒ ගැන වචනයෙන් විස්තර කරනවාට වඩා මේ පින්තූරය වැඩි විස්තරයක් සපයයි කියා මා විශ්වාස කරනවා.

මේවයේ ස්කෝවල් ඒකක 2000 ක අගයක් ඇති බව සඳහන්.

ෆ්‍රෙස්නෝ

මේවා ලංකාවේ දකින්නට ලැබෙනවදැයි කියා ස්ථිරවම කියන්න බෑ. නමුත් අපේ සමහර කොච්චි මිරිස් වර්ග මේ අකාරයේ බව මතකයක් තියෙනවා. ඉදුණු විට තද රතු සහ තැඹිලි පැහැයකින් යුත් මේ කොච්චි වර්ගය ජලපේනෝ වලට යම් සමානත්වයක් දක්වනවා.

මේවායේ ආහාරයට භාවිතාව වැඩි වශයෙන් සැලඩ් වර්ග වෙනවා. සමහරු මේවා තලා පල්පයද ආහාරයට ගන්නා බව පැවසෙනවා.  මේවායින් සාදා ගන්නා තවත් ආහාරයක් තමයි "පිකෝ ඩි ගැල්ලෝ".

මෙහි ස්කොවිල් අගය 5000ක්.

අන්හයිම් මිරිස් 

මෙන්න ඉනන්වා අපේ හිතවතා. අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑ නේද ? නමුත් ඔවුන් භාවිතා කරන්නේ වෙනත් නමක්. හදන විදිය ගැන පිටරටියන්ගෙන් ඉගෙන ගන්නත් අවශ්‍ය නෑ නේ. දැනට අමුවෙන් එක පාරට තුනක් කන්න පුළුවන් කියලා. මේවායේ ස්කෝවල් දර්ශකය 2500 වශයෙන් ගණන් බලා තිබෙනවා. 


මෙය ලොව වැඩියෙන්ම ජනප්‍රිය මිරිස් වර්ගයයි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේද මේ හති මිරිස් වර්ගයක් දක්නාට ලැබුණා. නමුත් භාහිර පෙනුමෙන් එය මෙහි තිබූ වර්ගයම බව නිගමනය කරන්න බෑ. අත්හදා බලන්නවත් මේවා කට අහලකට ගන්න එක සියතින් ගෙල සිඳ ගැනීමක් වැනියි. මෙය සාපේක්ෂව කුඩායි. හරියටම කිව්වොත් මහපටඟිල්ල තරම්. මෙහි ශක්තිකමත් පිට පොත්තක් ඇත. ඇටත් සමගින් ආහාර සෑදීමේදී යොදා ගත හැකියි. එයා සාදා ගැනීමට හැකි ක්‍රම ගණන අසීමිතයි. විවිද සැලඩ් වර්ග වලට උඩින් දමන්න හීනියට කපාගත් ජලපීනෝස් අනර්ඝයි.මෙහි ස්කෝවල් දර්ශකය 5000ක් නිසා තවමත් අපට ලඟා විය හැකි සීමාවේ පවතිනවා. 

හබානෙරෝ



මෙය බෙල් පෙපර් වර්ගයක් යයි වරදවා වටහාගෙන අහාරයට ගත්තොත් එය ඔබේ තාවකාලික අවසානය බව මා භිය නැතිවම පවසනවා. මන්ද බෙල් පෙපර් වලත් කහ පැහැ කරලක් තිබෙන නිසා, පැටලීමට ඇති හැකියාව වැඩියි. මෙහි අධික ලෙස කප්සායිසින් අඩංගු නිසා ඉතා සැර මිරිස් වර්ගයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඔබට තද සැර මිරිස් වර්ග අනුභව කල නොහැකි නම් මෙය උත්සාහ කිරීමෙන් වලකින්න. විවිධ සැර අධික සෝස් වර්ග සහ සල්සා නමැති මධ්‍යම ඇමෙරිකානු ආහාර සඳහා මේවා යොදා ගන්නවා. මෙහි ස්කොවල අගය හිතා ගන්න පුලුවන්ද ? 100,000 සිට 350,000 අතර අගයක්.

සෙරානෝ

,මේවා බැලූ-බැල්මට අපේ අමු මිරිස් කියා හිතා ගන්න පුළුවන්. නමුත් මෙය වෙනස් වර්ගයක්. එය වෙනස් වන්නේ ස්කොවල දර්ශක අගය නිසා මෙය ඉහත සඳහන් ජලපීනෝ වර්ගයට ආදේශකය වශයෙන් යොදා ගත්තත්, එකතු කර ගන්නා අහාරයේ සැර ඉතා ඉහල මට්ටමකට යනවා. මෙම වර්ගයේ ස්කෝවල් දර්ශකය පෙන්වන්නේ 25,000 ක අගයක්. 

සියේන

සිහින්, අඟල් හයක් පමණ දිගැති, රැලි සහිත මෙම මිරිස් වර්ගයත් අපේ මිරිස් සංචිතයේ එකක් කියා වෙලාවකට ශිතෙනවා. නමුත් ඔබ මේ වන විට ඉගෙන ගෙන තිබෙන පාඩම් අනුව මිරිස් වර්ග අත්හදා බලන්න යෑම ඥානවන්ත ක්‍රියාවක් නොවෙයි. මෙයට ඩෙවල් ෆින්ගර්ස් යන අන්වර්ථ නාමයෙන්ද අමතනවා. මේවා  කැජන් නමැති මුහුදු ආහාර සෑදීමේදී බහුලව යොදා ගන්නවා. මේවායින් බොහෝවිට සෝස් වර්ග නිපදවනවා නමුත් විවිධ සැලඩ් සාදීමෙදීත් යොදා ගන්නවා. ස්කොවිල් අගය 60,000 ක තිබෙන නිසා මෙයට හිමි වන්නේ සැර අතින් මඩ ස්ථානයක්. 

ගෝස්ට් චිලී නොහොත් හොල්මන් මිරිස්


මෙය නාගා ජෝලෝකියා ලෙසත් හැඳින්වෙනවා. මෙය ලෝකයේ ධරුනුම නයි මිරිස් වර්ගය ලෙස හඳුන්වන්නේ එහි ඇති අනුකම්පා විරහිත කප්සෙයිසින් ප්‍රමාණය නිසා ඇතිවන සැර නිසා. මෙය ඉන්දියාවේ බොහෝ සෙයින් වගා කෙරෙනවා අඟල් 2 ½ ත් 3 ½ ත් අතර ප්‍රමාණයේ තැඹිලි හෝ තද රතු වර්ණයෙන් සමන්විත තුනී සමක් සහිත රැලි ගැසුණු මිරිස් බෝල ලෙස හැඳින්විය හැකියි. මේවා ආශ්‍රිත අහාර නිර්මාණයේදී අරක්කැමියන් අත් ආවරණ පළඳින්නේ ඒවා හා දෙඅත් ගැටීම වලකා ගන්න. ඒවා තුල මෘදු තෙල් සහිත ඉස්මක් තිබේ. මේවායේ භාවිතය අහාර පිසීමේ අභියෝග වන්නේ යුරෝපයේ. නමුත් ඉන්දියාවේ අලි වැටවල් වල මෙය ආලේප කරන්නේ අලි-ඇතුන් පලවා හරින විඅල්පයක් ලෙස. මේ අතරවාරයේ හොල්මන් මිරිස් නො-දරුණු සෙනග පාලක මෘදු අවියක් ලෙස සංවර්ධන උත්සාහයක් පවතිනවා. නිකමට් හිතුනාද මෙහි ස්කෝවල් අගය මොන තරම්ද කියලා. වැඩිය නෑ 850,000 සිට 1,000,000 දක්වා ඉහල අගයක් මෙයට ලැබී තිබෙනවා.

නාගා වයිපර්ස්


තද රතු පැහැ, කුඩා සහ රැලි සහිත මිරිස් වර්ගයකි. ප්‍රමාණයෙන් හබනීරෝ මිරිස් වර්ගයට සමාන නමුත් අධික සැරකින් යුක්තය. බ්‍රිතාන්‍ය මිරිස් වගා කරන්නෙකු සහ මත්පැන්ශාලා හිමියෙකු විසින් කරන ලද නිර්මාණයක් වන නාගා වයිපර්ස් නාගා ජෝලෝකියා සහ තවත් වේදනාකාරී නයි මිරිස් වර්ග මුහුන් කර සාදා ගන්නා ලද්දකි. එය 2010 දී ලොව සැරම මිරිස් වර්ගයට හිමි ගිනස් වාර්තාවටද හිමිකම් කීවේය. මේ මත්පැන් ශාලා හිමිකරු නාගා වයිපර්ස් ව්‍යංජනයක් ලෙසින් පිළිගන්වයි. නමුත් ගනුදෙනු කර තම කැමැත්ත පිළිබද ගිවිසුමක් ආහාරයට ගැනීමට පෙර අත්සන් කල යුතුය. එයට අමතරව එහි රස බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය එහි රස බලා ඇත. මෙහි ස්කෝවල් දර්ශක අගය 1.359,000 !

තොරතුරු මූලාශ්‍රය : http://www.artofmanliness.com/2011/01/04/mastering-man-food-knowing-your-peppers/

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...