සෙබස්තියන් කෝ කියන නම ඇහුවාම කවුද නොදන්නේ. ඕනෑම කෙනෙක් දන්නවා. එංගලන්තෙන් බිහි වූ දක්ෂ දුර දුවන්නෙක්. ඒත් ඉස්සර එයාගේ නම සෙබස්තියන් විතරයි පස්සේ තමයි මේ කෝ කෑල්ල එකතු වුණේ. කතාව මෙහෙමයි.
ඔන්න ජපානේ තිබුණ තරගාවලියකට සෙබස්තියන් සහභාගී වුණා. මිනිහට එහෙදී දවසක් හිතිලා සකේ වඩියක් ගහන්න. හවස කීප දෙනෙකුට කතා කලත් එකෙක් වත් කැමති වෙලා නෑ සෙබස්තියන්ගේ යෝජනවාවට. මිනිහා තනියම බැහැලා සීතලේ ගැහි ගැහී ගියාලු සකේ තැබෑරුමකට. එතන ඉන්නවලු තවත් සෙට් එකක් මේ තරගාවලියට ආපු. ඒ සෙට් එක ලංකාවේ. සෙබස්තියන්ගේ ඉහේ මලක් පිපුනලු. මිනිහා ගිහිං අපේ කට්ටියත් එක්ක එකතු වෙලා සකේ ගහන්න පටන් අරං.
ටික වෙලාවක් සකේ බිබී ඉන්න අතරේදී අපේ එකෙක් සෙබස්තියන්ට යෝජනාවක් කරලා.
"මචං අපි ලංකාවේ. අපිට ඉන්න හිටින්න, කන්න හරියට නෑ. මේ දිවිල්ලත් කොයි තරම් කාලයක් කරන්නද? අපේ දරු මල්ලෝ ඉස්කෝලේ යවන්න, ගෙයක් දොරක් හදා ගන්න, වාහනයක් ගන්න. ඒවා හීන විතරයි. මේ දිවිල්ලෙන් පවුලක් නඩත්තු කරන්න බෑ බං. ඉතිං අපි හිතුවා අනිද්දට මැරතන් එකේ ටිකක් දුර දුවලා අතුරු පාරකට වැටිලා වහං වෙන්න. ජපානේ හොරෙන් හරි අවුරුද්දක් දෙකක් විතර හිටියොත් ගොඩම තමා. එහෙම ගොඩ ගිය අය ඕනෑ තරම් ඉන්නවා ලංකාවේ"
මේ කතාව අහගෙන හිටපු සෙබස්තියන් මෙහෙම කිව්වා
මහලොකු එංගලන්තේ හිටියට අපිටත් ඔහොමම තමයි. උඹලා හැරෙන තැන කියපන් මාත් එතනින් හැරෙනවා.
මෙහෙම ප්‍රතිඥාවක් දීගෙන කට්ටිය තමන් ඉන්න හෝටල් වලට ගියා. සහයෝගෙට එන එකාට පුෂ් බයිසිකලයකුත් හොයා ගත්තා. තමන්ට තියෙන ඉතාම වැදගත් දේවල් විතරක් බෑග් එකකට දාලා අර සහයෝගෙට එන එකාගේ කරේ එල්ලුවා.
තරගය ආරම්භ වුණා. කෙන්යාවේ,ඉතියෝපියාවේ කල්ලෝ සෙට් එක කඩාගෙන දිව්වා. දන්නවනේ උන්ට ඉතිං ඕවා ටොයිස් වැඩ නේ. අනෙක් සුද්දෝ ටිකත් අරුන් පස්සේ පැන්නුවා. සෙබස්තියන් අපේ සෙට් එකත් එක්ක පල්ලම් බැස්සා. ඔන්න ටිකක් දුර ගියාම තියෙනවා ගම්බද පැත්තකට යන පාරක්. අපේ එකෙක් එතනදී වමට සිග්නල් දාලා කෙලින්ම අර පාරේ හැරිලා දිව්වා. අනෙක් දෙන්නයි සෙබස්තියන් කාරයයිත් ඒ පස්සෙන් ඇරලා දැම්මා. මිනිස්සු කෑ ගහනවා ඉචිකෝ, බචිකෝ කියලා. මුන් ටිකක් නෙවෙයි හැරිලා බැලුවේ. දිගටම ඇරලා දැම්මා. දුවන්න බැරි පුතයලානේ.
අන්තිමට තරගය නිමා වුණා. වෙනදා කිසි ගේමක් නැතිව ගෝල්ඩ් එක ගන්න සෙබස්තියන් පැත්ත පළාතේ නෑ. ඔන්න එතකොට බ්‍රිතාන්‍ය බලධාරීන් සෙබස්තියන් හොයන්න පටන් ගත්තා. සුද්දෝ මොන වැඩේ කලත් ඉට්ටැයිල් එකටනේ කරන්නේ. එයාලා ගත්තා කඩදාසි මිටියක්. අරගෙන ලිව්වා "සෙබස්තියන් කෝ" කියලා. එකට සෙබස්තියන්ගේ පින්තුරෙත් එකතු කළා. ඒවා පාරදිගේ බෙදන්න පටන් ගත්තා. අන්තිමට ජපන්නුන්ට මේ හරුපේ තේරුණේ නෑ. ඒ යක්කුත් අර කොලේ තියෙන එක ගිරව් වගේ කියවන්න ගත්තා. "සෙබස්තියන් කෝ...! සෙබස්තියන් කෝ ....!! " කියලා.
අන්තිමට ජපන්නු හිතුවේ මේ ෆොටෝ එකේ ඉන්නේ සෙබස්තියන් කෝ කියලා.
මගෙන් අහන්න එපා කොලේ ලිව්වේ ලංකාවෙන් ගිය එකෙක්ද කියලා. :)


