අද බ්ලොග්කරණයේ හෝ මුහුණුපොත් සටහන්කරණයේ යෙදෙන යෙදෙන බොහෝ දෙනෙකු තම ළමා කාළයේ කියවීමේ පිපාසයෙන් පෙළුණු අය බව නොකිවමනාය. මන්ද අන්තර්ජාල ව්‍යාප්තිය ලොව පුරා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිදු වන්නේ 1995 න් පසුව වීම එයට ප්‍රධාන සාධකයකි. අනෙක ඊ කියවීම් උපාංග බිහි වන්නේදේ, පසුගිය දශකය හෝ ඉන් මෑතකදී සිට බව නොරහසකි. ඉදින් අප කුඩා කාළයේ පිපාසය නිවා සනහා ගන්නට තිබූ මාර්ග බොහෝ ස්වල්ප මෙන්ම, සියල්ලන්ටම පොදු ආකාරයේ ඒවා වීමය. අපේ යුගයේ ප්‍රධාන කියවීම් මාධ්‍යයන් ලෙස සැලකිල්ලට ගත හැක්කේ, පොත්, පුවත්පත්, සඟරා, සංගම් වාර ප්‍රකාශන යන දේය. ඒ වනවිටත් පුස්කොලපොත් පරිහණය සංගයා වහන්සේලාට සහ පාරම්පරික වෙද පවුල් වලට සීමා වී තිබීම නිසා, අපගේ පරම්පරාව නියෝජනය කරන කෙනෙකුට එම අවස්ථාව උදා වුවා නම්, ඒ ඉතා විරල ගණයේ එකකි.
එනිසා අපේ පරම්පරාවේ කෙනෙකුට අතට අහුවෙන ඕනෑම ලියවිල්ලක් කියවීම නිරායාසයෙන් සිදු වූ දෙයක්. විශේෂයෙන්ම චිත්‍රකතා, අපේ කාළයේ තරුණ පරම්පරාව අතර බොහෝ ජනප්‍රිය මාධ්‍යයක් වී තිබුණා. ඒ ගැන සඳහන් කරනවිට මින්පෙර සටහන් වල මා සඳහන් කර ඇතිද යන්න නිසැක මතකයක් නැතත් මේ අවස්ථාසම්බන්ධය මෙහි සටහන් නොකළහොත්, මෙය මුළින්ම කියවන කෙනෙකුට සිදු කරන අසාධාරණයකි. මගේ ගමේ ඉදිරිපිට එකළ පැරණි ආකාරයේ නිවසක් සහ ඉන් පිටුපස තවත් එවැනිම නිවසකින් සමන්විත, පැරණි, සිංහල උළු හෙවිලි කළ නිවසක් විය. ගුණසේකර වලව්වට අයත් මේ නිවසේ, අප දන්නා කාලයේ පටන් ජීවත් වුයේ කුලී නිවැසියන්ය. මා මේ කියන කාළයේ ජීවත් වූයේ බෙන්තොට සමූපකාරයේ කලමනාකාරිනියක් වූ හැරියට් ඇන්ටී යනුවෙන් අප ඇමතු කාන්තාව සහ ඇයගේ පවුලේ සෙසු කිහිප දෙනාය. නමුත් ඇයගේ මහළු මව්පිය ජෝඩුව ළඟ, ලග මාස දෙකක, මියපරලොව පත් වූයේ, ළමා කාළයේ විසූ, අපටනම් ඉබ්බා දියේ දැම්මා වැනි අවස්තාවක් උදා කරමිණි. එකළ අපේ ගමේ මලගමක් සිදු වූවානම්, එය සම්ප්‍රදායික ගම්වැසියන්ගේ නිවසක සිදු වුවාද, නැතිනම් පිටස්තර කුළී නිවැසියන්ගේ නිවසක සිදු වූවාදැයි, නොසොයා රෑ දිවා වෙහෙසෙන, වැඩිහිටි පරම්පරාවක් අපේ ගමේ කවදත් ජීවත් විය. අද තත්වයද වැඩි වෙනසක් නැති බව මගේ විශ්වාසයයි.
මළගමෙහි කටයුතු අවසන්වී දෙදිනකින් පමණ, හත්දවසේ බණ කියන දින උදා වන්නේ, එකළ මෘත ශරීරයක් නිවසක තබා ගන්නා කාළය ගැන ඉඟියක් ලබා දෙමිනි. එවැනි අවස්ථාවක මළගම, ඇති නිවසේ බතක් ඉදෙන්නේ නැති වුවද, අසල්වැසි නිවෙස් තුන්වෙල් වෙන් කරගනිමින්, පැමිණෙන සියල්ලට ආහාර පාන මෙන්ම තේ වේල් කිහිපයක්ද ලබා දෙන්නේ කිසිදු අහිතක් නැතිවය. සමහරවිටෙක මේවා බෙදා ගන්නට තරගයක, යෙදෙන අවස්ථාද විරළ නොවේ. මෙකී බණ පැවති දිනයේ, පැට්‍රෝමැක්ස් ලාම්පුවකින් එලිය කළ එම නිවසේ බණ දේශනාව සිදු කරන ලද්දේ, බෙන්තොට උඩකොටුව රජ මහ විහාරාධිපති බෙන්තර සෝමසිරි හිමියන් විසිණි. ඒ කාළයේ අප උන් වහන්සේට පෙනෙන්නට පන්සල් භූමිය පැත්තේ සැරිසරන්නට කුඩා මෙන්ම වැඩිහිටි කවුරුත් භියක් දැක්වීය. උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙකුට ආවේනික කරුණාවන්ත භාවයෙන් මදක් ඔබ්බට ගොස්, ආවේණික දුෂ්ඨ ස්වභාවයක් ඉසිලීය. ඒ එකල අප උන් වහන්සේ දුටු ආකාරයය. උන් වහන්සේගේ ඒ හැසිරීමට හේතුව, දැඩි නීති රීති සහිතව පන්සල පරිපාලනය කිරීම බව අද මගේ විශ්වාසයයි. එකළ අපට තිබූ ප්‍රධාන ගැටළුව වුයේ පන්සල වත්තේ ඇති පලතුරු ගස්වල තිබෙන ගෙඩි-කරල් තබා, බිම වැටී තිබෙන එකක් වත් අහුලා ගැනීමට උන් වහන්සේගේ දෑසට හොරෙන් කළ නොහැකි වීමය. නැතිනම් අපට පන්සලේ තිබූ විශේෂයක් නැත. යන්නම් වාලේ එහි බඩගාන අපට ගෙදර එන්නට පෙර සෝමසිරි ලොකු හාමුදුරුවන්ගේ, වේවැල් පහරක් හෝ අවුවේ දණගසා සිටින දඬුවමක් නොලැබ පැමිණෙන්නට නම් උගහට කරුණකි.
නමුත් අප පන්සලේ දෙවනියා වූඕපාත විමලසිරි ස්වාමීන් වහන්සේ සහ ඉන් පහළ දෙනම(දෙදෙනාම අද ගිහියන් වී ඇත).සාමනේර වයසේ පසුවූ හිමිගේ නම මට නිශ්චිතවම අද මතකයක් නැතත්, එකළ අප දෙදෙනාගේ ඉතා සමීප මිත්‍රත්වයක් විය. උන් වහන්සේ සතිපතා මිලදී ගන්නා සිත්තර පත්තරේ, පන්සලේ වැට මායිමට ගොස් ඉල්ලාගෙන, මිටින් මුදාහල කුරුල්ලෙකු සේ, පන්සල කන්දේ සිට, එය ආසන්නයේ සිටි අපගේ නිවසට දිව එන්නේ, කියවීම පිළිබඳ අපතුල තිබූ පිපාසාව මොනවට පැහැදිලි කරමිණි. මගේ පැමිණීම අපේක්ෂාවෙන් පසුවෙන අපේ අක්කා සහ ලොකු අම්මාගේ දුව වූ චූටි අක්කා බලා සිටින්නෝය. මොහොතකින් එහි කෑලි කඩාගෙන අපේ රුචිකත්වය අනුව කියවන්නට පටන් ගනිමු. ආ මුලින්ම ටෝගා, යුනිකෝ, කියවන අතර ඉන්පසු කියවන්නේ කැමිලස්ගේ ගජමෑන් කියවීමෙන් අනතුරුව එහි තිබෙන, ඉතිං ඊට පස්සේ සිට සියලු කථා කියවන්නෙමු. ඉන් පස්සේ සතියක් බලා සිටිමු. තාත්තා ගෙනෙන පත්තර සියල්ලද අප කියවා දමමු. අහුවෙන සියල්ල කියවා ඔහේ බලා සිටිමු. රූපවාහිනියක් නිවසක නැති එකළ, සවස පහට තම දෙවෙනි විකාශන කාළය ආරම්භ කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සහ සිංහල දෙවෙනි සේවය වටා අප එකතු වන්නේ සවන් දිය හැකි සියල්ලට සවන් දෙන්නය. ඒ සියල්ල අවසන් කළද අපේ පිපාසාව සංසිදෙන්නේ නැත.
ඒ අඩුව පුරවා ගන්නට අප කළ දෙවෙනි කාර්යය පොත් හුවමාරු කරගෙන කියවීමය. තාත්තගේ පාසලෙන් ගෙනෙන පොත් සහ ගමේ පුස්තකාලයෙන් ගෙනන පොත් කියවීමය. මාගේ තවත් පුරුද්දක් වුයේ, ගාලු පාරේ අපේ නිවසට හැරෙන හන්දියේ තිබෙන සුහද කැෆේ නම් පත්තර කඩයට පාසල් කාලයෙන් පසු ගොස් තිබෙන පත්තර ඉල්ලගෙන කියවීමය. එකළ අපට ඉංග්‍රීසි කියවීමේ හැකියාවක් නැති නිසා, සියළු සිංහල පත්තර, හානියක් නොවන ලෙස ප්‍රවේසමෙන් කියවා ආපසු භාර දී ගෙදර එමු. ඉන්පසු ප්ට්ටනියේ කාළය ගත කළෙමු. බොහෝ දෙනෙකුට නැති, මා තවමත් කරන, තවත් එක්තරා පුරුද්දක් ගැන සටහන් කිරීමට මා තීරණය කළේ, මේ චේන් චැලේන්ජ් මාලාවට තවත් එකක් එකතු කිරීමේ අදහසිනි. මට අමතරව මෙය කියවන ඔබටද එවැනි පුරුදු තිබෙන්නට හැක.
මා එදා සිට අද දක්වා කරන, මේ පුරුද්ද විවිද දේ නිවසට ගෙන එන කඩදාසි කවර ප්‍රවේසමෙන් දිග හැර කියවීමයි. මේ පුරුද්ද කුඩා කළ සිට අද දක්වා කරගෙන එන්නකි. ඒ මගින් රටේ තිබෙන විවිධ දේ පිලිබඳ අවුබෝධයක් ලබා ගත හැකිය. විශේෂයෙන්ම මා පරිගණක පාඨමාලාවන් හදාරන යුගයේ මුද්‍රිත සැලසුම් කිරීමට මෙසේ එකතු කරගත් විවිධ ආයතන වල ඉන්වොයිස්, වාර්තා සහ බිල්පත් උපයෝගී කර ගතිමි. අදද මා මේ තුලින් පෝෂණය ලබා ගනිමි. මේවා නැවත කරළියට එන්නේ ෂොපින් බෑග් තහනමත් සමගය. මට ඊයේ එවැනි ඉතා වැදගත් ලියවිල්ලක් හමු විය. එහි පින්තූර මෙසේ එකතු කරමි. ඔබට මා දෙන චැලේන්ජ් එක අද සිට මේ මාසය තුළ ඔබට ලැබෙන කඩදාසි කවර වල පින්තූරයක් වත් ඔබගේ බ්ලොග් අඩවියේ පළ කරන ලෙසය. සාහිත්‍ය මාසයේ කියවන්නාට අලුත් යමක් දීම මින් සිදු කළ හැක.