අවුකන ප්‍රතිමාව ඉතාමත් සොඳුරු නිර්මාණයක් විදියට තමයි ඒ පිලිබඳ විසේසඥයින් සහ බෞද්ධ ජනතාව සලකන්නේ. එතැනට ගිය කෙනෙක් විශ්මයෙන් ඒ දෙස බලා සිටිනු හැර වෙන කුමක් කරන්නද ? මේ අත්දැකීම මමත් වින්දා. මගේ මුහුණු පොතේ ඒ පින්තූර බෙදා ගත්තා වගේ මතකයි. ඒත් ආපසු ගොස් ඒ පින්තූර හොයාගෙන එනවාට වඩා හොඳයි ගූගල් දේවියන්ගෙන් පින්තූර දෙකක් ඉල්ලා ගන්න එක. මොකද ෆේස්බුක් කියන්නේ සූදුවක්. මම මගේ මුහුණු පොතේ ඒකට ස්ලෝගන් එකකුත් තැබුවා "පහළට යන ගමන්" කියළා. ගියොත් කරන්නේ ඕන දේ නෙවෙයි. ඒ වගේමයි ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය, කාට හරි කෝල් එකක් ගන්න ෆෝන් එක ගත්තොත් වට්ස් ඇප්, වයිබ්ර්, ෆේස්බුක්, ඉමෝ ටික බලලා ඉවර වුණාම ගිය දේ මතක නැති වෙනවා. තව ඩින්ගෙන් ලියන්න ආව දේත් මට අමතක වෙනවා.
ඉතිං මගේ කතාව අවුකන ගැන නෙවෙයි. අවුකන ගැන බොහේ දෙනෙක් බොහෝ දේ කථා කරලා තියෙනවා.මම කියන්න යන්නේ එයාගේ සහෝදරයා හදපු දෙවෙනි පිළිමේ ගැන. ඒ ගැනත් මම දන්නේ බොහොම පුංචි විස්තරයක්. නොදන්නා අයට දැන ගන්න ඒ කතාව කෙටියෙන් කියන්නම්. අයියා මලෝ දෙන්නෙක් තමයි මේ විදියට හූවක දුරින් පිළිම හදන්න පටන් අරන් තියෙන්නේ. කුමක් හෝ තරගයක් තිබුණාම කෙනෙක් ජය ගන්නවා, කෙනෙක් පරදිනවා. ඉතිං මේ තරගයේ මුලික කොන්දේසියක් තමයි, කලින් ඉවර වුණ කෙනා හුවක් තියලා තමන්ගේ ජයග්‍රහණය සමරනවා කියන එක. එතකොට අනිකා දන්නවා තමන් පරාදයි කියළා. නමුත් ඒ කොන්දේසි වල නෑ දෙවෙනියා මගින් වැඩේ අල්ලලා දානවා කියළා. එහෙනං කොහොමද වැඩේ මග හිටියේ? දැන් කාලේ ප්‍රොජෙක්ට් වලට වගේ සල්ලි ඉවර වෙලා වැඩේ මග අැණ හිටියද ? නෑ. දෙවෙනියා තමන්ට ඇති වෙච්ච ශෝකෙට පපුව පැලිලා මැරුණා. ඔය පපුව පැලුනා කිව්වට මම හිතන්නේ හාර්ට් කේස් එකක් තමයි හැදිලා ඇත්තේ. ඒ කාලේ චෙකප් දාන්නේ නැති නිසා පලවෙනි ස්ට්‍රෝක් එකෙන්ම කම්බස්. නැතිනම් ඒසා පින් කන්දරාවක් කරපු කෙනෙකුට ඒ වගේ ඉරණමක් අත් වෙයිද ?
පින්තූරය ගත්තේ : www.amazinglanka.com මේක රැස්වෙහෙර කියළා මතක් වුණේ ගූගල් සර්ච් කළාම ආපු පින්තූරේකතාව කියෙව්වම |
මට මේ නිධාන කතාව යලිත් මතකයට ආවේ අද හිතට වද දීපු සිංදුවක් අහන්න ගිහිං ඔබේ නලයේ නොහොත් යූටියුබ් එකෙන් ඒකෙ වචන ටික දැක්කම. අපි බොහෝ ගීත වල මුල් කොටස පමණක් දන්න නිසා, ඒ කොටසේ ලස්සන විතරක් රස විඳින්න පුරුදු වෙලා ඉන්නවා. මේ වගේ සම්පූර්ණ ගීතය ලිරික්ස් එක්ක අහපු වෙලාවට තමයි, තේරුම හෝ නිධාන කතාව හොයාගෙන යන්න හිතෙන්නේ. වැඩේ තියෙන්නේ මේ ගීතේ මැද කොටස් කොහොම කිවුවද කියලත් හිතෙනවා. නමුත් මේ ගීතයේ පළමු කොටස(මම මේවට කියන ටෙක්නිකල් නේම්ස් දන්නේ නෑ, අර අන්තරා කොටසද මොකක්ද ), ඉතාම භාව පූර්ණව ගායනා කරන්න මටත් පුළුවන් ඒ වුණාට මැද කොටස් දෙක කියන්න නම් සක්කරයාගේ පුතා වයිමටත් බෑ කියලයි මට හිතෙන්නේ. මට සිංදුවක් නැගලා ගියොත් ඒක කට පාඩම් වෙනකං අහන සිරිතක් මගේ තියෙනවා. අන්න ඒ අමාරුව නිසා තමයි මේ අමාරුවේ වැටුණේ. ඒ නිසා තමයි මේ පොස්ට් එක වැටෙන්නෙත්. සමහරවිට මේකේ රචකයා මගෙත් එක්ක අමනාප වෙන්නත් පුළුවන්. නමුත් ඔහු ලියපු නිසදැසක් වෙන්න ඇති කියළා තමයි මට හිතෙන්නේ. මේකෙන් කියවෙන්නේ ඉතාම සරල ආදරයක් ගැන වෙන්න ඕනේ. නමුත් කියන ගායකයාව මේ වගේ අමාරුවේ දාන්න සින්දු ලියන එකනම් ...
මෙන්න ගීතය යූ ටියුබ් සබැඳියාව
තවත් ඇද - ඇද ඉන්නේ නැතිව සිංදුව මොකක්ද කියළා කියන්නම්. මාසේ අන්තිම දවස් නිසා වීඩියෝව දන්නේ නැතිව ඉන්නම්.
කවියක් වගේ විඳිනවා
පවනක් වගේ දැනෙනවා
මුහුදක් වගේ කැළඹිලා
සුළඟක් වගේ ආදරේ ......//
සුමුදුයි වදන්
අරුතක් නැතත්
බොළඳයි ඔවුන්
සොඳුරුයි හැඟුම්......//
කවියක් වගේ ......
කඳුලුත් පිරෙයි
හසරැල් ගලයි
ඉවසුම් නොදෙයි
සොඳුරුයි හැඟුම් ......//
මම සංගීත විචාරකයෙක් නම් නෙවෙයි. ඒ වුණත් මම හොඳ රසිකයෙක්(මේ වාක්‍යයේ බ්ලොග් කාරයෝ දෙන්නෙක් ගැන කියවුණා. කෙනෙක් නම් අප අතරින් සමු ගත්තා. අනිකා ගැන කිසිම හා-හූවක් නෑ). ඒ නිසාද මන්දා මම පුරුදු වෙලා තියෙන්නේ එක ගීතෙක එක රිදම් එකක් තියෙන ඒවා අහන්න. මෙහෙම නැති ඒවාත් තියෙනවා. මල් පිපෙයි - දෙනෙත් ඇරෙයි කියන අඹ යහළුවෝ ගීතය ඒ වගේ එකක්. නමුත් එක බටහිර ආරේ තනුවක් බවයි මගේ විශ්වාසෙ. බටහිර ගීත නම් අනිවාර්යයෙන් රිදම් දෙකක් හෝ වැඩි ගණනක යනවා. මට හිතුණා මේක රී-මේක් එකක් කළොත් හරි යයි කියළා. ලිරික්ස් එහෙම හදනවට කියන්නේ රී මේක් නෙවෙන වග මම දන්නවා. නමුත් ඒ කර්තව්‍යයට කියන්නේ මොකක්ද කියළා මම දන්නේ නෑ.මොකද මේක මගේ ඉන්ඩස්ට්‍රි එක නෙවෙන හින්දා. නමුත් මම ගීත දෙකක් ලිවුවා. ඒවා තවතමත් මගේ ගාව තියෙනවා. එකක් ගායකයා හොඳටම කැමති වුණ එකක්. නමුත් දැන් ලංකාවේ ගීත කෙරෙන්නේ මාෆියා ක්‍රමයකට නිසා ඒවා ලත් තැනම ලොප් වුණා. මේ ගැන මට දයානන්ද රත්නායක අපේ සහෝදර බ්ලොග් කරුගෙන් හරි ඉයන් ලින්තොටගෙන් වත් උපදෙසක් ගන්න බැරි වුණා. මොකද මම එක ගීතයක් ලිවුවේ අපේ රටේ හොදටම ප්‍රසිද්ධ වුණු එක්තරා ගායකයෙකුගේ රිදම් එකට හරි යන්න. කොටින්ම මම ගීතය ලියද්දී හම් කළේ එයාගේ රිදම් එකට. ඒ නමුත් මම මේ ගීතය තවත් දෙදෙනෙකුගේ මිතුරන්ට යොමු කළා. දෙවෙනි මිතුරා තමයි මට හරි කතාව කිව්වේ.
අයියේ, දැන් ලංකාවේ සිංදු හදන්නේ ඉස්සර ක්‍රමයට නෙවෙයි. කෙනෙක් ලියපු සිංදුවක්, සංගීතය කරන කෙනා සංගීතය දාලා, ගායකයා කිව්වේ ඉස්සර. දැන් මේවා සල්ලි වලට ගන්න කොම්පැණි ඉන්නවා. එයාලා ගායකයාට අතට ලක්ෂ දෙකක් විතර දෙනවා. ඉන් පස්සේ ලියපු කෙනාට සිංදුවේ අයිතියක් නැති ගානයි. ඔය නිසා දැන් ගායකයොත් සින්දු කරන්නේ කොම්පැණි ක්‍රමේට. මොකද පාඩුවක් නෑනේ.
ඔන්න කතන්දරේ. මම ගායකයාගේ නම කියන්නේ නැත්තේ එයා බොහොම කාරුණික පුද්ගලයෙක්. ඒ වගේම නොපැකිලිව මගේ ගීතය බලලා, ඒකෙ එක කොටසක් වෙනස් කරන්නත් මගෙන් ඉල්ලුවා. මම ඒ ටිකත් කළා. එයා එක වැඩසටහනක කිවුවා, දැන් කියන්න තරම් හොඳ ගීත ලියවෙන්නේ නෑ කියලා. මෙයා කිවුවේ සුභාවිත ගීත ලියවෙන්නේ නෑ කියළා. ඉතිං මම මේ චැලේන්ජ් එක අරගෙන එදාම එයාට මේ ගීතය වයිබර් කළා. අන්තිමට වැඩේ නොකෙරෙන තැනට ආවම, මමත් නිහඬ වුණා. මොකද මේක මගේ ඉන්ඩස්ට්‍රි එක නොවෙන නිසා. හැබැයි මම මේක කවුරු හරි ලවුවා කියවනවා. මොකද මට මේකට සල්ලි වියදම් කරන්නත් උවමනා නෑ. ඒ වුණාට මේක ගීතයක් කරන්න තියෙන ආශාව අත හරින්නෙත් නෑ.
දැන් අපි අවුකන කතාවට ආපහු එමු. මට මේකට මේ අවුකන කතාව මාතෘකාව විදියට දාන්න හිතුන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මට මේ ගීතේ පේන්නේ අර පපුව පැලිලා මැරුණු කෙනා හදපු බුද්ධ ප්‍රතිමාව වගේ. මේක ලියපු කෙනාට අවමන් කරන්න හිතාගෙන ලියපු කතාවක් නෙවෙයි. මේක ලිව්වේ කවුද කියලවත් මම දන්නේ නෑ. හැබැයි මට හොඳටම විශ්වාසයි මේක නිසඳැසක් කියළා. මේ ශයිලිය ඒ ආරේ තියෙන්නේ. එහෙම නෙවෙයි නම් ගැත්තාට අනුකම්පා කරන සේක්වා. වැඩේ තියෙන්නේ මට මේක පෙනෙන්නේ එහමම තමයි. මේක මැද්දට තව වචනේ ගානේ එබුවොත් වැඩේ හරි යනවා. අපි නිකමට හිතමු පළමු (අන්තරා ද මන්දා) කොටසට "අනේ" කියන වචනේ එබුවා කියළා. ඔන්න එතකොට ඒ කොටස ලියවෙනවා මෙහෙම.
සුමුදුයි අනේ වදන්
අරුතක් අනේ නැතත්
බොළඳයි අනේ ඔවුන්
සොඳුරුයි අනේ හැඟුම්......//
මේ විදියට දැම්මම පළවෙනි කොටසේ රචනා ශයිලියටත් ගැලපෙනවා. තේරුමත් වෙනස් වෙන්නේ නෑ. වෙනස් වචන හතරක් දැම්මොත් තේරුම වෙනස් වෙන්න පුළුවන්. වැඩේ දෙල් වෙන්නේ දෙවෙනි කොටසට හරි යන තනි වචනයක් හොයන්න ගියාම. මේ කෑල්ටත් "අනේ" ම දාලා බලමුද ?
කඳුලුත් අනේ පිරෙයි
හසරැල් අනේ ගලයි
ඉවසුම් අනේ නොදෙයි
සොඳුරුයි අනේ හැඟුම් ......//
මේක ඉතිං බොළඳ ආදරයක් ගැන කියවෙන(මම හිතන විදියට) ගීතයක් නිසා. "අනේ" වෙනුවට "ඔහේ" යෙදුවත් කමක් නෑ. හැබැයි මාතර පැත්තට වෙනම වර්ෂන් එකක් ගහන්න වෙනවා. නැතිනම් වැරදි විදියට තේරුම් ගන්නවා. ආ තවත් බ්ලොග් කාරයෙක්ගේ නමක් මෙතන තියෙනවා. මාතර හසරැල්. මළ කෙලියයි මහරජ කියන්නේ ඕවට තමයි. හසරැල් ඔහේ .... කිව්වම, ඒකා මාව හොයාගෙන එන්නත් බැරි නෑ. උන්නැහේ කොහම හැටි වෙතත් අක්ක නම් මට බොරැල්ලේදී ළඟදී මුණ ගැහුණා.
මේ මාතෘකාව ගන්න තවත් හේතුවක් තමයි. මාව ලියන්න උනන්දු කරපු ගොඩගම චන්දිමා මගෙන් දවසක් අහපු කතාව. එයාට අනුව "මේ තරම් සියුමැලිද කළුගල්" කියන සුනිල් එදිරිසිංහයන් කියන සමුද්‍ර වෙත්තසිංහ (මතකය නිවැරදි නම්) ලියපු ගීතයත් ඔය වගේ. මගෙන් ඒකට හේතුව එය ඇහුවා. මම කිවුවා එදා ලියපු අය සහ අද ලියන අය අතර ලොකු ගැප් එකක් තියෙනවා කියළා. හැබැයි වැඩේ තියෙන්නේ ඒ ගීතයෙත් තියෙන්නේ මේ රිදම් කේස් එකදෝ කියළා මට දැන් හිතෙනවා. හැබැයි මම චන්දිමාට දුන්නේ වෙනස් පිළිතුරක්. ඒ පලවෙනි කොටසේ තියෙන සුභාවිත ගතිය මැද කොටස් වලදී සරළ ඒ වගේම වාර්තාමය ගතිය නිසා අඩු වෙලා කියළා.