බන්දු අංකල්ට, බන්දු අංකල් කියනවාට වඩා වැඩි යමක් කියන්නට මම නොදනිමි. ඒ ඔහු ගැන මතකය අප ඉතා කුඩා කාලයට දිව යන බැවිණි. කෙනෙකු ගැන අලගිය - මුලගිය තොරතුරු හෝ වෙනත් ආගත-නාගත දැන ගන්නට කුඩා එවුන්ට අවශ්‍යතාටක් පැන නගින්නේ නැත. ඔවුන් මිනිසුන් පිලිබඳ මතකය ගොඩ නගාගන්නේ තමන් දකින රූපය මතය. කෙනෙකුට දක්වන ගරුසරුව හෝ භක්තිය ඇති කර ගන්නේද මෙකී රුපය හෝ දේහය මතය. බන්දු අංකල් ගැන අපගේ(මගේ) මතකයද එලෙසය.
කුඩා කාළයේ මගේ ලෝකය සීමා වී තිබුණේ ඉතාම සීමාසහිත වපසරියක බව කිවයුතුය. එදිනෙදා ජීවිතය බොහෝවිට සීමා වුයේ මගේ නිවසත්, එයට යාබද මහ ඉස්කෝලේ නොහොතේ බෙන්තොට කුමර විදුහල සහ ඉන් ඔබ්බෙන් ඇති මගේ මිතුරු
සම්පත් විජේසේකරගේ නිවස(ඇත්ත වශයෙන්ම එය නිවාස සංකීර්ණයකි. ඒ අද පවතිනවා මෙන් එකපිට එක අහස දක්වා ගිය සංකීරණයක් නොව, විශාල වත්තක වට කඩොලු නොමැතිව තනා තිබෙන නිවාස කිහිපයකි)අතරය. ඉතා කළාතුරකින් දවසක් ඉන් ඔබ්බට ගියානම්, ඒ අපේ නැන්දලාගේ ගෙදරට හෝ නිවසට ඉතා ආසන්නයේ ඇති උඩකොටුව රජමහා විහාරයටය. තනියම යනවානම් එසේ වුවද, වැඩිහිටියෙක් සමග යනවානම්, පිටරඹ සිටින ජයසේන බාප්පලාගේ ගෙදර හෝ මවගේ උපන්ගම වන ගෝනගල වැනි තරමක් ඈතින් පිහිටි ස්ථාන වලද කරක් ගැසිය හැකිය. එසේ නමුදු පළමු පන්තියේ සිට තනිවම පාසල් යාමට මට අවස්ථාව හිමි විය.
පාසල් ගොස් ගෙදර ආ විගස බඩට යමක් දා ගැනීම ඕනෑම දරුවකුගේ සිරිත වුවද, පාන් කැබැල්ලකට හෝ තේකකට වඩා දෙයක් අපට හිමි නොවීය. ඒ පාසල් ගුරුවරියකු වූ මගේ මවගේ සහයට කිසිවකු නොසිටි යුගයක, ඇය දිවා ආහාරය පිළියෙළ කරන්නේ පාසැල් ගමනෙන් පසුව වීමය. මේ වයසේදී කෑම බීම ගැන වගක් ඇති ළමයෙකු සොයා ගැනීම ඉතා අසීරු කරුණකි. මා මේ සඳහන් කරන වයස අවුරුදු නවයක් හෝ දහයකි. කෙළිලොල් අපට හවසට ක්‍රිකට් ක්‍රීඩා කරනවාට වඩා දෙයක් නැත. ඉහත කී නිවාස සංකීර්ණය තුල වාහන ගමන් ගත හැකි පාරවල් දෙකක් ඇත. එකක් විජේසේකර මහ ගෙදරට ප්‍රවේශ වන මාර්ගයය. අනෙක ඉන් බිඳී අංශක තිහක පමණ කෝණයකින් නිරිත දෙසට ගමන් ගන්නා අනෙක් මාර්ගයයි. මේවායේ පළල අවම වශයෙන් අඩි දහයක් පමණ ඒවාය. නිරිත දෙසට ගමන් ගන්නා මාර්ගය නිවාස දෙකක් ආවර්රණය කරයි. එකක් සම්පත්ගේ ලොකු නැන්දා පදිංචි තට්ටු දෙකේ නිවසය, අනෙක සම්පත්ගේ නිවසය.
මේ මාර්ග ගැන විශේෂයෙන්ම සඳහන් කළේ, ඒවා අපි ක්‍රිකට් ක්‍රීඩාකල විකට් නිසාය. සම්පත්ලාගේ නිවසින් අවසන් වන මාර්ගයේ සම්පත්ලාගේ නිවස අසල එක් විකට්ටුවකුත්, ඔවුන්ගේ මහගෙදරින් අවසන්වන මාර්ගයේ අනෙක් විකට්ටුව ලෙසත් භාවිතා කළෙමු. මේවා නියම ක්‍රිකට් පිච් ලෙස පවතින්නේ අප ප්‍රදේශයේ ස්වාභාවයෙන්ම පිහිටා ඇති වැලි සහිත මඩ පස නිසාය. යටින් තද වී ඇති නිසාත්, මතුපිටින් වැලි ඇති නිසාත් රබර් බෝලයෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට උචිතම ස්ථාන දෙකක් විය. මම, සම්පත් සහ ඔහුගේ සහෝදරයා ක්‍රීඩා කරන දිනකදී ඔහුගේ නිවස අසල විකට්ටුවත්, පිරිස වැඩි දිනයන්හී(ඉන්දික සහ ඔහුගේ ඥාති සොයුරා) මහගෙදර විකට්ටුවත් භාවිතා කළෙමු. සම්පත් ගැන වචනයක් සඳහන් කල යුතුමය. ඔහු පන්දුවට පහර දෙන අවස්ථා වලදී දැවී යාමට ඉතා අකමැතිය. මා හෝ ඔහුගේ සහෝදරයා හෝ ඔහුව කලින් දවා ගත්තොත් ඔහු උරණ වෙයි. ඉන් පසු ඉතා වේගයෙන් අපට පන්දු යොමු කරයි. එනිසා බොහෝවිට අප කරන්නේ පන්දු නිදැල්ලේ යාමට ඉඩ හැරීමයි. එවැනි පන්දුවක් ඔවුන්ගේ නිවසේ වීදුරු ජන්ලෙයක වැදුණු විට ඔවුන්ගේ මව නිශේද බලය පාවිච්චි කර ක්‍රීඩාව අත්හිටුවයි.
කලින් සඳහන් කළ සම්පත්ගේ ලොකු නැන්දා හෙද පාළිකාවක්(Sister) වුවාය. ඇය විවාපත් වී සිටියේ බන්දු අන්කල් සමගය. ඔහු සේවය කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේය. ඒ නිසාමදෝ සෑම දවසකම සූර් වී ගෙදර පැමිණෙන ඔහු,, ල ලොකු නැන්දා සමග කුමක් හෝ ආරෝවක් පටලවා ගනී. ඔහු සේවයට ගොස් පැමිණෙන්නේ සම්පත්ලාගේ නිවෙස පිටුපසින් ඇති පටු මාවත ඔස්සේය. ඔහුගේ රූපකායට සමාන පුද්ගලයන් අද කෙතරම් සිටියත්, එවකට මා ඔහු සමාන කරගෙන සිටියේ මගේ චිත්‍ර ගුරුතුමා විසින් නිර්මාණය කල කාටූන් චරිතයක් වූ යෝධයාටය. හෙතෙම යොදයෙකුට සරි සිරුරකට හිමිකම් කීවේය. නමුත් බඩ තඩිය නිසා පෙරකී යෝධයාට සමාන විය. දීපාල් සිල්වාට සමාන ඝන උඩු රැවුල ඔහුට රවුද්‍ර පෙනුමක් ගෙන දුන්නේය. නමුත් කුඩා අපත් සමග ඉතා කුළුපග පුද්ගලයෙකු විය. ඔහුගේ එකම සතුරා ලොකු නැන්දාය. ඇය දුටු තැන ඇඟට කඩා පැනීම ඔහුගේ සිරිත විය. බීමතින් ඔහුටම ආවේනික ශෛලියකින් ඉතා රෑ බෝ වනතුරු සිංදු කීම ඔහුගේ සිරිත විය. දවසක් පිටි ටින් එකක් අතැතිව ඔහුට මුහුණදුන් ලොකු නැන්දාට සිදු වුයේ බෝම්බ ප්‍රහාරයකට මුහුණ දීමටය. ඒ ඔහු එය උදුරාගෙන පයින් ගැසීම නිසාය. පියන ඇරුණු පසු දුම් වලාවක් සේ පළාතම වැසීගත් ඒ දසුන අදටත් මගේ මතකය අලුත් කරයි. කුඩා දරුවන් වූ අප බන්දු අන්කල්ගේ මේ වැඩ කිඩ ගැන කතා කලේ මහත් උජාරුවකිනි. විශේෂයෙන්ම සම්පත් ඔහු ගැන මහ ඉහලින් වර්ණනා කළේය.
බන්දු අන්කල් සතුව මූනිස්සම් තුවක්කුවක් විය. මෙය කාලයාගේ අවෑමෙන් අපගේ පරිහරණයට සරි විය. සම්පත් සතුව මූනිස්සම් දෙකක් විය. ඉන් එකක් තුවක්කුව කඩා, ලෝඩ් කරගත්තද කොකා ගැස්සීමට ඔහු බිය විය. ඔහුගේ පියා වෙත එය ගෙන යාමට ඔහු මැලි කමක් දැක්වු නිසා, එයත් රැගෙන හනික අපේ ගෙදරට ගමන් ගත්තේ මහ ඉස්කෝලේ පිට්ටනිය හරහාය. මගේ පියාට දුන් විට, තමා බිබිලේ රාජකාරි කරන කාලයේ තුවක්කුව පරිහරණය පුරුදු වූ බව පවසා, එහි මිට උරහිසට තබා, අසල තිබුණ ටින් එකකට ඉලක්කය ගෙන කොකා ගැස්සීය. මෙය බලාගෙන සිටි අපට මෙය ටොයිස් වැඩක් බව පැහැදිලි වුවද, හරියට මෙය පරිහරණය නොකළොත් උරිස්ස පැනීමට වුවද ඉඩකඩ ඇති බව පියා අනතරු ඇඟවීය. දෙවන මූනිස්සම ලෝඩ් කරගත් අප, දැන් ඒ කාලයේ තිරගත වූ වීර පුරන් අප්පු ජවනිකාවක් රඟ දැක්වීමට සුදානම්ය. සම්පත්ගේ සිත්ගෙන තිබුණේ සුද්දන් දන නමා කල වෙඩි තැබීමටය. පිට්ටනියේ ඔහුගේ නිවාස අසලට වන්නට පොල් ලෙලි වේලෙන්නට දමා තිබෙන තැනට ගොස්, සුද්දන් අනුගමනය කරමින් දන බිම ඇණ, වන්-ටු-ත්‍රී යනුවෙන් තමන්ටම කියාගත් ඔහු කොකා ගැස්සීය. ඩෝං හඬක් නංවමින් එය පත්තු වූ උද්දාමයෙන් මා කෑ ගැසුවත් සම්පත්ගේ මුහුණ එතරම් හොඳ නැති බව පැහැදිලි විය. පසුව බැලීමේදී තුවක්කුවේ කොකාට ඔහුගේ ඇඟිල්ල අසු වී ළේ එන්නටම තුවාල වී තිබුණි. ඉන් පසුව ඔහු කිසිම දිනක එය පරිහරණය නොකළේය. පසුව එහි නිත්‍ය ක්‍රියා කරුවා මා විය. නමුත් මූනිස්සම් නැතිව කෙසේ වෙඩි තබන්නද ? ඒ ගැන කල විපරමකදී කෙනෙකු පැවසුවේ මූනිස්සම් වෙනුවට මුං ඇට යොදා ගත හැකි බවය. ඉන් පසුව අප මුං ඇට යොදාගෙන කදිමට වෙඩි තබන්නට පටන් ගත්තද, කවුරුන් හෝ සම්පත්ලාගේ මවට ලබා දී තිබූ ඔත්තුවක් නිසා එම අවස්ථාව මග හැරී ගියේ ලත් තැනම ලොප් වන ස්වභාවයකිනි.
අපට පාපන්දු ක්‍රීඩා කරන්නට මහත් ආශාවක් තිබුණි. නමුත් අපට තිබුණු එකම අඩුපාඩුව පාපන්දුවක් නොමැති කමය. මේ බව බන්දු අංකල්ට පැවසු විට,තමාද පාපන්දු ක්‍රීඩා කර ඇති බවත්, යලිත් ක්‍රීඩා කිරීමට තමාටද අවශ්‍යතාවක් ඇති බවත්, තමන් පාපන්දුවක් අපහට ගෙනැවිත් දෙන බවත් පොරොන්දු වීය. නමුත් කන බොන මිනිසුන්, දෙකක් දා ගත් වෙලාවට කියනා දේවල් එතරම් ගණන් නොගත යුතු බව පාලිත අයියා ඇතුළු බොහෝ දෙනාගේ මතය විය. වැඩ ඇරී ගෙදර එන ගමන්, පිට්ටනිය අසලට වී අප කරන ක්‍රීඩාව දෙස මදක් බලා සිටින බන්දු අංකල් සමග බොහෝ දෙනා කථාවට පෙළඹෙන්නේ, දෙකක් දමා සූර් වි සිටින ඔහුගෙන් හොඳ කියුම් කිහිපයක් අසා ගැනීමේ අදහසිනි. නමුත් එක් දිනක් අප බොහෝ දෙනා මවිත කරමින්, දුඹුරු පැහැති පොල් ලෙල්ලක් වැනි යමක් තමන්ගේ බෑගයෙන් ඇද අප වෙත විසි කරන ලදී. ඇත්තටම එය තොප්පියක් වැනිය. මොහොතකින් එය බෝලයක් බව කාලයක් ක්‍රීඩා කර අත්දැකීම් ඇති පාලිත අයියා වටහා ගත්තේය. නමුත් තවමත් අපට මෙය අදහා ගත නොහැකි වුයේ, බෝලයක් නම් රවුම් විය යුතුය.
"මේක හරියට වළඳක් වගේනේ" කෙනෙකු පැවසීය.
"මේකට හුලං ගහන්න පොම්පයක් ඕනේ වෙනවා". අවස්ථාවේ වීරයා වූ පාලිත අයියා කියා සිටියේය.
මොහොතකින් කෙනෙකු ගෙදර දිව ගියේ, තම පියාගේ බයිසිකලයට හුලං ගසන පොම්පය රැගෙන එන්නටය. ඒ අතරතුරදී මෙහි ඇති ලේස් ලිහා බැලුම් බෝලයක කටක් වැනි කොටසක් එලියට ගන්නට පාලිත අයියා සමත් විය. අපට බෝලය දුන් බන්දු අංකල් ගැන වගේ වගක් නැතිව උන් අපගෙන් කෙනෙකු ඔහුව හොයන්නට වුයේ ඔහුගෙන් ඒ ගැන වැඩි තොරතුරු විමසන්නටය. දැන් සම්පත් මේ දෙස බලා සිටින්නේ ඉතා ආඩම්බරයකිනි. මන්ද මෙහි නිත්‍ය හිමිකරුවා තමා වන බැව් හේ ඉවෙන් මෙන් වටහාගෙන සිටි බැවිණි. මාලනී නැන්දා සමග විවාපත් බන්දු අංකල්ට තවමත් දරු සුරතල් බලන්නට අවකාශ ලැබී නොතිබුණෙන්, ඔවුන්ගේ දරුවන්ගේ අඩුව අප කිහිප දෙනෙකු පුරවාලනු ලැබිණි. ඒ නිසා ඔවුන්ගේ ආදර සත්කාර අපට නොඅඩුව ලැබුණි. ඒවා රසකවිල්ලකට තේ කෝප්පයකට සීමා නොවී පාපන්දුවක් දක්වාම වර්ධනය වුයේ එහෙයෙනි. ඔහුට ළමයින් වූවානම් තත්වය මීට වඩා වෙනස් අතක් ගන්නවා සිකුරුය.
තවත් මොහොතකින් පොම්පයේ බටය, වැල් කටට තදින් අල්ලා ගන්නට එකෙකුට පවරා පාලිත අයියා බයිසිකලයට හුලං ගසන ආකාරනම් ඊට හුලං පිරවීය. එය හෙමින්-හෙමින් රවුංවී එනු අප බලා උන්නේ නොයිවසිල්ලෙනි. එක්තරා මට්ටමකට හුලං ගැසූ පාලිත අයියා, වාහා පැන එහි කටින් අල්ලා ගත්තේ බැලුන් බෝලයක කට අල්ලා ගන්නා නියායෙනි. ඉන්පසු එය ඇතුළට දමා නවා, බුරුල් කල ලේස් අල්ලා තද කරන ලද අතර. එය දෑතින් තද කර හුලං ප්‍රමාණය පිරික්සීය.
"තව පොඩ්ඩක් හුලං වැදුනානම් තමයි හොඳ. ඒත් කමක් නෑ උඹලාට වැඩිය හුරු නැති හින්දා" යයි දනමුත්ත්තෙකු සේ කියා සිටියේය. ඉන් පසුව එය උඩ දමා පා පහරක් ගැසීය. එය ගමන්ගත් පැත්තට අප දිව ගියේ පිස්සුවෙන් මෙනි. ඉන්පසු ලැබෙන ලැබෙන එකා එයට පයින් පහර දෙන්නට විය. නමුත් බොහෝ පහරදුන් කිසිවෙකු යලිත් එයට පහර දීමට නොයා කකුල අල්ලාගෙන තැන-තැන වාඩි විය. පන්දුවට පහරක් දුන් මටද දවල් තරු පෙනුණේය. ඒ මගේ කකුලේ මහපට ඇඟිල්ල බිත්තියක, පුටු කකුලක ඇනුනාට වඩා වේදනාවක් දුන් නිසාය. සියළු දෙනා කදවාගත් පාලිත අයියා එයට පහර දෙන අකාරය පෙන්වීය. අපිද ඔහු පෙන්වන ආකාරයට පාදය හරවා පැත්තෙන් පහර දෙන්නට උත්සාහ ගතිමු. තවත් ටික වෙලාවකින් කණ්ඩායම් දෙකකට බෙදී ක්‍රීඩා කරන්නට අපට හැකි විය. ඒ වනවිට බන්දු අන්කල්ද අප හා එක් වී පොඩි එකෙකු සේ පන්දුව පිටුපස හඹා යාමේ කර්තව්‍යට උර දී හමාරය. තවත් මොහොතකින් තවත් ගැටළුවක් මතු විය. ඒ පන්දුවේ ලේස් තිබෙන ප්‍රදේශයට පහරදුන් අය යලිත් කකුල් අල්ලාගෙන බිම ඉඳ ගැනීම නිසාය. ඇත්තටම එය මහත් වේදනා ගෙන දෙන අවස්ථාවකි. කකුල පැත්තට හරවා පහර දෙනවාට වඩා, ඇඟිලි උඩට නවා යටි පතුලෙන් පහර දීමේ පහසු ඉරියවව්වක් අප පසුව සොයා ගතිමු. ටික දිනකින් මේ ආරංචිය ඔස්සේ පාපන්දු ක්‍රීඩාවට බොහෝ දෙනා පැමිණෙන්නට විය.
මේ ආකාරයෙන් අපේ වීරයා වූ බන්දු අංකල්, තවත් වීරයෙකු වන ආරංචියක් සම්පත් ගෙන ආවේය. ඒ බන්දු අංකල් "වීර පුරන් අප්පු" චිත්‍රපටයේ රඟපා ඇති බවය. එහි දොලාවක් කර ගහගෙන යන හතර දෙනාගෙන් කෙකු ඔහු බව සොයාගෙන තිබුණි. එය අපේ ගමේ ලැවූ ගින්නක් සේ පැතිර ගියේ, බන්දු අංකල් ගමේම වීරයෙක් කරමිනි. මේ කිසිවකින් ආඩම්බර නොවූ හෙතෙම හවසට මදුවිතක් තොල ගා සිංදුවක් කියාගෙන ගෙදර ආවේය.
|
පින්තූරය ගත්තේ : https://www.etsy.com |