මේ දවස් වල රුපවාහිනී නාලිකා වල නිතර දකින්නට ලැබෙන වෙළඳ දැන්වීමක් තමයි එල්.ඕ.එල්.සී එකේ මෙන්න මේ පහලින් තියෙන වෙළඳ දැන්වීම.
මේ දැන්වීමේ තියෙන විශේෂත්වය තමයි. එන එන හැම කෙනාම එල්.ඕ.එල්.සී. එක හොයාගෙන යන එක. මේ දැන්වීම හදන්න ඇත්තටම හේතු වෙලා තියෙන කාරණය දන්නවද ? මම මේ ගැන පොඩ්ඩක් හොයා බැලුවා.
එල්.ඕ.එල්.සී. එක තියෙන්නේ නවම් මාවතේ නේ. ඉතිං ගාලු පාරේ එන බස් වලින් එන උදවිය තමයි මෙහෙම ත්‍රී වීල් වලින් එල්.ඕ.එල්.සී. එක හොයාගෙන යන්නේ. මම දවසක් මේකේ ඇත්ත නැත්ත හොයන්න නවම් මාවත පැත්තේ ත්‍රී වීල් පදවන කිහිප දෙනෙකුගෙන් අහලා බැලුව. බැලුවම කතාව ඇත්ත. බහුතරයක් දෙනා ඇවිත් තියෙන්නේ කොස්ගොඩ, බලපිටිය, ඌරගස්මංහන්දිය, අහුන්ගල්ල, දොඩන්දූව, අම්බලන්ගොඩ පැත්තෙන්. බැලුවම මගේ ගමට අසල්වැසි ගම් සෙට් එක. මේක අහපු වෙලාවේ ඉඳලා මම කල්පනා කරන්න පටන් ගත්තා මේ අයට මොකක්ද තියෙන විශේෂත්වය කියලා.
කොස්ගොඩ, බලපිටිය, අහුන්ගල්ල, ඌරග්ස්මංහන්දිය, අහුන්ගල්ල, දොඩන්දූව, අම්බලන්ගොඩ කියන ගම් හෝ නගර ටික ගත්තම වැඩි දෙනා කරන්නේ සංචාරක කර්මාන්තයට සමීප රැකියාව, නැතිනම් මාළු වෙළඳාම හෝ මුහුදු යාම, ඌරගස්මංහන්දිය පැත්තේ අයනම් කුරුඳු වගාව, රබර් වගාව වගේ දේවල්. එහෙනං මේ ක්ෂේත්‍ර වලට අදාළ ණයක් තමයි දෙන්න ඇත්තේ. හැබැයි එහෙම වුණත් මේ නිර්ණායකයට අහු වෙන තව බොහෝ ගම් තියෙනවා. ඒ ගැන විස්තර කරන්න අවශ්‍ය නෑනේ.
මගේ අනන්තවත් මිතුරන් හිටියා මේ ගම් වල අය. ඒත් ඒ සබඳතා ජංගම දුරකථන එන්න කලින් ඒවා නිසා කාගේවත් දුරකථන අංකයක් මා ළඟ නෑ. නැතිනම් රිවරිනා එකේ ප්‍රේමදාස - හරි අපූරුවට රඟ දක්වාලා කථා කියන්න සමත් කෙනෙක්, ලකී, මැයියා ( මැයියා කියන්නේ ඒ පැත්තේ භාෂාවෙන් මල්ලිට. දවසක් පුෂ් බයිසිකලයේ, මැයි මාසයේ දවසක මාව තියාගෙන මැයියා පැදගෙන යත්දී මම ඇහුවා "මේ මොන මාසෙද මැයියෝ" කියලා. ඒක අහලා ඒකට හිනාව නවත්ත ගන්න බැරුව ගිහිං තව පොඩ්ඩෙන් අපි හැපෙනවා වාහනයක). මගෙත් එක්ක එන්.අයි.බී.එම් ගියපු ප්‍රසාද්(මේකා ගැනනම් පොස්ට් එකක් ලියන්න කාරණා තියෙනවා - එහෙම කියපු කීයක් මට ලියන්න අමතක වෙලා තියෙනවද කියන එක වෙනම කාරණාවක්). තවත් බොහෝ අය ඉන්නවා. මේ ඕන කෙනෙකුට කථා කරන්න තිබුණා.
හැම දේටම කළින් එක දෙයක් කියන්න ඕනේ.මේ ගම් වල ඉන්න මිනිස්සු හරිම හිත හොද අය. මිතුරු කමක් ඇති කර ගත්තොත් බොක්කෙන් ෆිට් වෙන මිනිස්සු. ඒ හිත හොඳ කම නිසාම තමයි කවුරු හරි ජරා වැඩක් කළොත් එලෝ කෝටියට තද වෙන්නේ. ඒ වගේම තමයි පොඩි කේස් එකකටත් කඩු කිණිසි අතට ගන්න මිනිස්සු මේ පැති වල ඉන්නේ. ගෑණු පිරීමි බේදයක් මේකට නෑ. ඒ ගම් වල ඉන්න අය ගැන කථා කරන්නත් මේක අවස්ථාව නෙවෙයි. නමුත් මේ කතාවේදී එහෙම නොකරත් බෑ. ඒ පැති වල අයගේ කථා ශෛලිය හැම දෙනෙක්ම දන්නවා නේ. ඒක අනුකරණය කරන්න හැකියාවක් මට තියෙනවා. ඔය පාටි දාන වෙලාවක මතක් කරන්න. එහෙම කරන්නේ ඒ පැත්තේ මිනිසුන්ට හිනා වෙන්න නොවෙයි කියන එකත් මත තියා ගන්න.
පස්සේ මම කොහොම හරි මැයියා නොහොත් අනුෂයාගේ නම්බර් එක හොයා ගත්තා. ආගිය තොරතුරු කතා කරලා ඉවර වෙලා මම ඇහුවා "මොකද මැයියෝ උඹලගේ පැත්තේ අය ගාල කඩාගෙන එල්.ඕ.එල්.සී යන්නේ" කියලා. මේක කිව්වමත් මැයියා විනාඩි දෙක තුනක් හිනාවුණා. ඊට පස්සේ මෙහෙම කිව්වා
"ඉතිං බං අයියේ උන් ණය දෙනවා කිව්වම යන්නේ නැත්තේ කවුද? අනිත් එක අපේ පැත්තේ අයටම ටාගට් කරලා උන් ඇඩ් එකකුත් ගැහුව එකේ. මීට කලින් ගිය ඇඩ් එක තමයි හේතුව"
මමත් එවෙලාවේ දන්නවා වගේ ඌත් එක්ක හිනා වෙලා පස්සේ කල්පනා කරන්න පටන් ගත්තා. මම කොහොමත් ඇඩ්වර්ටීස්මන්ට් ගැන පොඩි උනන්දුවක් තියෙන කෙනා නිසා මේ ගැන තේරුම් ගන්න වැඩි කාලයක් ගත වුණේ නෑ.
කාලෙකට කලින් ගිය ඇඩ් එකක් තියෙනවා "වාහනේකට යන හරි පාර" කියලා කාටත් මතක ඇති. ඒ පැති වල අය වත්තේ-පිටියේ කුඹුරේ, වැල්ලේ වැඩ කරනකොට ටී වී කරේ තියාගෙන ගිහින් බල-බල ඉන්න වෙලාවක් නැති නිසා මේකේ රේඩ්යෝ වර්ෂන් එක තමයි ඇහෙන්න ලැබිලා තියෙන්නේ. කොහොමත් ඔය ඌරගස්මංහන්දිය පැත්තේ ගොවි මහත්වරු, පොළේ වෙළඳාම් කරන මහත්වරු තමන්ගේ බයිසිකලේට තමයි තියෙන වැඩ ඔක්කො දාන්නේ. ඒ කාලේ මතක නම් දෙපැත්තෙන් ගිරව් දෙන්නේ හයි කරලා. හෝන්ද, අරකද-මේකද සේරම හැඬල් එකෙයි මඩ්ගාඩ් වලයි තමයි හයි කරන්නේ. සමහරු රේඩියෝ පවා බයිසිකලයේ සවි කරපු අවස්ථා දකින්න ලැබිලා තියෙනවා. මේවා බොහෝ ගම් පළාත් වල තියෙන දේවල්.
වැඩේ තියෙන්නේ මේ අලකලංචිය වෙලා තියෙන්නේ රේඩියෝ එකෙන් ඇඩ් එක අහපු නිසා.
වාහනේකට යන හරි පාර කියන එක එයාලට ඇහිලා තියෙන්නේ වාහේ ණයකට යන හරි පාර කියලා.
ඒ පැතිවල අය මුණගැහිලා නැති අයගේ ප්‍රයෝජනය සඳහා : වාහේ කියන වචනය එයාලා භාවිතා කරන්නේ "මිනිහෝ" "යකෝ" "බං" "මචං" වගේ වචන වලට ආදේශකයක් විදියට. වාහේ කියන එකේ සාමාන්‍ය තේරුම නම් සැමියා කියන එක. මටනම් මේ පැතිවල අය එක්ක කරන සංවාද හරිම රසවත්. මේ කතාව මෙහෙම ලිව්වේ එයාලට මඩ ගහන්න එහෙම නෙවෙයි. මම කැමතිම මිනිස්සු සෙට් එකක් ඉන්න පළාතක්. ආ කියන්න අමතක වුණා වචන දහයක් කථා කරනකොට මට බොහෝ දෙනාගේ ගම් පළාත හරියට තේරුම් ගන්න පුළුවන්. ඒක හදා ගත්තේ "රාජකාරි ගවේෂණය" නිසාමයි.
ඇයි වාහේ, ඒ වාහේ මේ වාහේ, කොයි වාහෙත් වාහනේකට ණයක් ගත්තම මක්කා වෙනවැයි.
ReplyDeleteඒකනේ වාහේ කියන්නේ.
Deleteඅන්න දැක්කද මම ගිය සැරේ කිව්වේ
ReplyDelete“රාඡකාරි ගවේෂකයාගේ මතක සටහන්“ ඔයාගේ එක අනන්‍යතාවයක් කියලා..
මම ඇඔිලිපිටියේ ඉන්නකොට..ඒ ළමයි කතා කරන විදිහ අමුතුයි
“ඒක නෝ සර් කියන්නේ“
“මෙෂිමන්ට් රිපෝට් තියේ සර්?“
තියේ කියන එකනම් දැන් සැම්පලයකට ගිහිං. අපේ බුකියේ වාහෙලා නිතරම පාවිච්චි කරනවා.
Deleteකතාව අන්තිමේට යනකම් කියන්න යන්නෙ මොකද්ද කියලා අනුමාන කරගන්න බැරිවුනා. මරු මරු!!
ReplyDeleteබස්සිලාට නොතේරෙන්න ලියාගන්න පුළුවන් කියන්නේ මමත් හෙන වාහේ කෙනෙක් කියන එකනේ.
DeleteSak. . Man hituwe me wahe aththatama leasing gena liyala kiyala.. hak hak..
ReplyDeleteඅනේ පලයං වාහේ යන්න.
Deleteඉතිං අපේ ගෙදර ආපු වෙලාවෙ උඹ ඒ ගම්වල ඈයො කතා කරනව වගේ කතා කරන්න එපැයි.අපරාදෙ මම දන්නෙ නෑනෙ.
ReplyDeleteකාටද වාහේ ඕවා මතක් වෙන්නේ. එහෙම කලානම් නාන්න වෙන්නේ වොඩ්කා.
Deleteඉතිං ගෙදර උන්දැලද වාහෙලව එල්.ඕ.එල්.සී. යවන්නෙ.
ReplyDeleteඔය වාහෙ කියන එකනං මේ පැත්තෙන් සමහර වෙලාවට පාවිච්චි වෙනව.
//කොස්ගොඩ, බලපිටිය, අහුන්ගල්ල, ඌරග්ස්මංහන්දිය, අහුන්ගල්ල, දොඩන්දූව,//
අහුන්ගල්ල ඩබොල්
//මගේ අනන්තවත් මේ ගම් වල අය.// මොකක් හරි අඩුයි වගේ.
බොහොම ස්තුතියි නයනු වාහේ. ඒ වැරදි ටිකයි අනෙක් ඒවායි සේරම හැදුවා. අද උදේ පහත් හයත් අතර තමයි මේක අහවර කොලේ.
Deleteඔහේ දන්නවැයි, මමත් ප්‍රාදේශීය භාෂාවල් ගැන හරිම උනන්දුයි. ඒ ඇයි කියලා අහන්ටෙපා .
ReplyDeleteඔහේ දොඩවනකං මං හාන්කවින්සියක් දැනගෙන උන්නේ නැහැ නෙව, ඔය වාහේ ප්‍රාදේශීය භාෂා ගැන උනන්දු වග. ඒවා අහන්ට යන එක නාකයි.
Deleteඇයි ඉතිං දොඩන් නැත්තේ?
Deleteමේ පායන කාලේ මොන දෙඩංද?
ගුරුවරයා..
Deleteලමයි දැන් ඉගෙන ගත්ත පාඩමෙන් කන ගැනයි කියලා දුන්නේ..දැන් ඇහැක් විදියට කනක් අදින්න බලන්න..
ලමයි
ඒ කොහොම ඇහැක් විදියට කනක් අදින්නේ...
ගුරුවරයා
නෑ නෑ ලමයි මම කිව්වේ ඇහැකි විදියට අදින්න කියලා..ඒ කියන්නේ පුලුවන් විදියට
හප්පා.. වාහ ණයක් ගිය දුරක් නෙහ්.. ඊළඟ පාර ගෙට් එකේදී මතක් කරන්නම්කො කතාව.
ReplyDeleteහොඳමයි වාහේ.
Deleteමං හිතුවෙ මුලින් දාපු ඇඩ් එක ගැන කියලා........ එතකන් වෙන එකක්නේ......... මරු මරු
ReplyDeleteමිනිහෝ ණයකට යන හරි පාර නෙහ්...........
ඔය පලාතට අපේ එක්කෙනත් අයිතියි සුදීක. ඒ උනාට භාෂාව නම් හුරු නෑ. ඇඩ් එකක් ගිය දුරක්. එල් ඕ එල් සී කාටත් ඕනෙ තැනක් නෙ දැන්.
ReplyDeleteඅම්මෝ! මං හොඳට මට්ටු වෙලා තියෙනවා ඔය එක එක පැත්තේ භාෂා විලාස හින්දා..
ReplyDeleteවාහේ ... "තෝ වගේ ගොන් වාහෙ කෙනෙක්" කියල එකෙක් බැනලත් තියනවා මට. ගොන් කතාව කෙසේ උනත් බැලින්නං ඌ බැනල තියෙන්නෙ ෆිට් එකට...
ReplyDeleteඑකම රටේ එක් එක් පලාත් වල කතා කරන භාෂාවේ විවිධත්වයක් තියනවා..
ReplyDeleteමම උපන් ගමේ සමහර වචන අවසන් වෙන්නේ "ට" යන්නෙන් (කොත්මලේ සමහර ගම්මාන)
"යන්න" වෙනුවට "යන්ට" සමහර පැති වල "යන්ඩ"
මම උපන් පලාතේ සමහර ගම්මාන වල ඉතා පැරණී බස් වහරක් තියෙන්නේ..
සුනංගු, මක්ක, බුන්නා (බීලා අවසන් කියන එකයි), ඒකල්ලා(ඉන් පස්සේ කියන එක),ඒකනෝ(ඒක තමයි කියන අදහස),මේ වගේ වගේ තව බොහෝ වචන තියනවා...
වලපනේ ප්‍රදේශයේදි දුෂ්කර ගමකදි අමුතුම විදියේ වචන ටිකක් අහන්න ලැබුනා.
තියාලා,කියලා,කොරාලා,
කමත් භාෂාවත් වෙනස්නේ....
අපේ ගමේත් (අප්පච්චිලාගේ) බුන්නා, අටවලා (දිග අරිනවට ) බාලා (වහනවට ) වගේ හිනා යන වචන ගොඩක් තියෙනවා. ඒ සමහර වචන ඇහිලා පොඩ්ඩිත් ඒවා පාවිච්චි කරනවලු. ඒ ඇර පොඩ්ඩි විසින් හදාගත්තු ඒවත් තියෙනවා. ඒවත් ගම් පැත්තට දැම්ම හැකි. :P
ReplyDelete/(මේකා ගැනනම් පොස්ට් එකක් ලියන්න කාරණා තියෙනවා - එහෙම කියපු කීයක් මට ලියන්න අමතක වෙලා තියෙනවද කියන එක වෙනම කාරණාවක්)/
ReplyDeleteමේකට ගන්න හොඳම ආදර්ශය නම් නිදහස් සිතුවිලි එකේ ලියන රවී ම තමයි.
තව ටික කාලෙකින් ඔය ප්‍රාදේශීය ව්‍යවහාර කළවම් වෙලා අර විදිහට ප්‍රදේශය අනුමාන කරන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ.
කතාව නං සුපර් තමා... ඒත් අපිනං දැන් ලීසිං කියලා අැහෙද්දි දුවනවා උන් හිටි තැන් අමතක වෙනකල්....... අාය.........
ReplyDeleteසුධීකලගේ පැත්තෙ ඉන්න අයට කවද තේරෙයිද තකහණියක් කොලඹ නෑවිත් ඒ පැත්තෙ තියෙන සමාගමේ ශාඛාවකට ගිහිල්ලත් එකම වැඩේ කරගන්න පුලුවන් කියල? මේ කිව්වේ කොලඹ ශාඛාවක් ගැන නෙමෙයිනම් කොම්පැණියට කවද තේරෙයිද ගණුදෙණුකරුවන් ගොඩක් ඉන්න පැත්තට ශාඛාවක් අරින්න ඕන කියල?
ReplyDelete''මක්කයි දොඩන් නැත්තේ'' කියල දවසක් බුවෙක් ඇහුවා, මං කරකවල අතෑරියා වගේ උනා හිටං.
ReplyDelete