මගේ දියණියට මගේ ජාන වලින් පැමිණ ඇති එක පුරුද්දක් නම්, කලයුතු වැඩ අන්තිම මොහොත තෙක් කල් දැමීමයි. මේක මම වෙනමම ලියන්න හිටපු මාතෘකාවක්. මෙය වරදක් විදියට ලෝකය දකිනවා. අන්තිම මොහොතේ අන්තිම තප්පරයේ වැඩ කරන පුද්ගලයන්ට මම නම් බොහොම කැමතියි. සමහරු ඉන්නවා වැඩක් කරන්න ගියාම පැය ගණන් සැලසුම් කරලා අන්තිම මොහොතේත් වැඩ කරන. නමුත් මම, මගේ දියණිය සහ ලොව නමගිය බොහෝ දෙනෙක් කරන්නේ අන්තිම මොහොතේ ඉසිඹුවක් නැතිව වැඩ කිරීම. සමහරුන්ට මේක අමුතු වෙන්න පුළුවන්. නමුත් මෙහෙම මිනිසුන් ලෝකේ ඉන්නවා. ඒ වගේම මේක ලෝකයේ මතභේදයට තුඩු දුන් මාතෘකාවක්. මම ඒ ගැන ඊළඟ සටහන තබන්නම්.
මේ අන්තිම මොහොතේ වැඩ කිරීම මට ඔරොත්තු දුන්නත්, සමහර දෙමව්පියන්ට මේක මහා ඉසරදයක්. දවසක් ඉස්කෝලේ ගෘහ විද්‍යාවට අවශ්‍ය අඩුම-කුඩුම ඇය මට කිව්වේ අදාළ දිනයේ උදෑසන. ඉතින් මේ වගේ දේවල් වලට ආශා කරන පියෙක් ලැබීම ඇයගේ වාසනාව. මම ඒ දවසේ උදේ වරුව නිවාඩු දාලා ඇගේ ඉංග්‍රීඩියන්ට් හොයලා උදේ දහයට කලින් පාසලට ගෙනගොස් දුන්නා. ඒ අතරට තම්බන ලද කුකුළු මස් සහ බිත්තරද ඇතුලත්. මම ඒ වගේ අභියෝග වලට ආශා කළා. මගේ නිවාස තනන්නට බහිරව පූජාව තබන්න කලින් දිනයේ විශාල සංඛ්‍යාවක් වැඩ මම තනියම ඉටු කල බල පිළිගන්න මගේ සහෝදරිය මැලි වුණා. මේ වගේ කලබල අවස්ථා වල බොහොම සංයමයෙන් කටයුතු කරන්න මට පුළුවන්. ඒක මගේ රාජකාරියෙදීත් මා පෙන්වා තිබෙනවා. මගේ පම්පෝරිය එතනින් ඉවරයි.
මගේ දියණිය සුපුරුදු පරිදි පාසලෙන් ලබා දී තිබු දැනුවත් කිරීමේ පත්‍රිකාවක් (පිටු 5 ක පමණ) මගේ අත තැබුවේ රාත්‍රී අටට ආසන්නව. එහි සඳහන්ව තිබුණේ, සාමාන්‍ය පාසල් අධ්‍යාපනයට අමතරව සියළුම සිසුවියන් ක්‍රීඩාවක් කල යුතු බව. මා වැනි පියෙකුට එවැනි නිවේදනයක් තරම් සිත් ඇද ගන්න්නා වෙනත් දෙයක් නෑ. මගේ දියණියගෙන් ඇය ක්‍රීඩා කිරීමට කැමතිම ක්‍රීඩාව කුමක්දැයි ඇසුවහොත් "ෆුට්බෝල්" යනු ඇය මෑතක් වනතුරු ලබා දුන් පිළිතුරයි. නමුත් ශ්‍රී ලංකාවේ එය යථාර්ථයක් කර ගැනීමට අපහසු ඉලක්කයක්. ක්‍රීඩාවක් කෙනෙකු සමග බද්ධ වන්නට් බොහෝ කරුණු හේතු වුවත්, ඔබ ක්‍රීඩාවක් තෝරා ගන්නවානම් දෙවරක් සිතිය යුතු කාරණාවක් වන්නේ, අවුරුදු 50 දීත් ඔබට ඒ ක්‍රීඩාව කල හැකිද යන්නයි. උදාහරණයකට මා වැඩියෙන්ම ඇලුම් කරන ක්‍රිකට් ක්‍රීඩාව එහි මූලික ස්වභාවයෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු ලෙස ක්‍රීඩා කල නොහැකියි. නමුත් අපි මාතෘකාව දෙස නැවතත් සිත යොමු කළහොත් මගේ දියණිය කලයුතු ක්‍රීඩාව කුමක්ද ?
එය මා පිළිතුරු දිය යුතු පැනයක් යයි මා කිසිවටකත් සිතන්නේ නැත. එයට පිළිතුරු ලබාදිය යුත්තේ මගේ දියණියයි. දෙමාපියන්ගේ කැමැත්ත අනුව එය සිදු විය යුතුද ? මගේ විශ්වාසය නැත යන්නයි. ක්‍රීඩාවක් වැනි දෙයකදී කෙනෙකුගේ කැමැත්ත අවාසාන ඉලක්ක කරා ඔවුන් රැගෙන යන බලවේගය වශයෙන් ක්‍රියා කරන බැවින්, එහි තේරීමද අදාල පුද්ගලයා විසින් සිදු කල යුතුය, යන්න මගේ විශ්වාසයයි. නමුත් වයස 10 කට ආසන්න මගේ දියණිය මේ පැනය මා වෙත යොමු කලේ මා මවිතයට පත් කරමින්. එහෙත් එහි සඳහන් සියලු ක්‍රීඩා ඇයට කල නොහැක. හේතුව සවස් කාලයේ ඇති අමතර පන්ති මග හැරෙන නිසාය. නමුත් මා වැනි පියෙක් එය කල යුතුද ? මගේ සිත නැවත දෙගිඩියාවක පැටලිණි. වරක් පිහිනුම් සඳහා ඈ යොමුකලද එහිදී ඇයගේ නළලට සිදු වූ තුවලායේදී පාසල හැසිරුණු ආකාරය පිළිකුල් සහගතය, නමුත් ඇගේ පන්ති භාර ගුරුවරිය ඒ වෙනුවෙන් කල කැපවීම අගය කලයුතුය. එය වෙනමම බ්ලොග් සටහනක් තැබිය යුතු කතාවකි.
පිටු කිහිපයකින් සමන්විත පත්‍රිකාව කියවා ඇය සඳහා සුදුසුම ටේබල් ටෙනිස් බව වටහා ගතිමි. අනෙක් සියළුම ක්‍රීඩා එක්කෝ අධික ලෙස කය වෙහෙසන ඒවාය, නැතහොත් මොලය වෙහෙසන ඒවාය. ඒ දෙක අතරමැද තබන්නට හැක්කේ පිං-පොං නොහොත් ටේබල් ටෙනිස්ය. එමගින් කය මෙන්ම මනසද එකලෙස වෙහෙසවයි. මා ඇයගෙන් කැමැත්ත විමසා සිටියෙමි. අවසානයේ අප දෙදෙනාටම එකට ගතහැකි තීරණය වුයේ ටේබල් ටෙනිස්ය. නමුත් එමගින්ද ඇගේ ටියුෂන් පන්තියක් මග හැරේ. නමුත් ක්‍රීඩාව පුද්ගලයෙකුට අත්‍යාවශ්‍ය අංගයක් බව මා ඉතසිතින් පිලිගනිමි. මේ පත්‍රිකාව මා පුරවන්නේ, ඉතා කැමැත්තෙනි. නමුත් ඉදිරියේදී ඇය මෙම ක්‍රීඩාව වෙනස් කිරීමට ඉල්ලා සිටියොත් ඒ සඳහාද, නොපැකිලිව ඇයට අවස්ථාව ලබා දෙන්නෙමි. තවමත් තමන් ගැන තනිව තීන්දුවක් ගත හැකි වයසක ඇය නැති බව මගේ විශ්වාසයයි.
අප කුඩා කල අපට එක ක්‍රීඩාවක් තිබුණේ නැත. අහු වූ දේ කල ළමා කාලයක් අපට තිබුණි. ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු, එල්ලේ, කැරම්, දාම්, පමණක් නොව චක්ගුඩු, හොරා පොලිස්, වල කල්ලි, ටින් කැඩීම ඉන් කොටසකි. එකල අපේ ක්‍රීඩා වරු ගණන් පැවතිනි. හොරා පොලිස් වැනි ක්‍රීඩා නිවාඩු කාල වල දවස් ගණන් දිගට පැවතිනි. අවුරුදු කාලයට කැට ගැසීම, පංචි දැමීම අපගේ ප්‍රධාන විනොදාන්ශයන්ය. මැරතන්, සහ බයිසිකල් රේස්ද අමතක කල නොහැක. පසුකාලීනව බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් සහ ටෙනිස්, රගර්ද අත්හදා බලන්නට අවස්ථාව ලැබුණි. නමුත් මා දිගු කාලීනව කරන්නට තෝරා ගත් ක්‍රිකට් ක්‍රීඩාව මට වයස පනහා ඉක්ම යන මොහොතේදී කල නොහැක. දැන් මා වෙනත් ක්‍රීඩාවක් කෙරේ සිත යොමු කලයුතු කාලය එළැඹෙමින් පවතී. වරෙක ටෙනිස් ක්‍රීඩා කලයුතු යැයි මා විශ්වාස කලද, එයට හොඳ ශාරීරික යෝග්‍යතාවක් අවශ්‍ය බව නොකිවමනාය. ඒ සඳහා ඇවිදීම හෝ දිවීම කල යුතු වේ. බිලියඩ් වැනි ක්‍රීඩාවක් අප වැනි කය වෙහෙසා ක්‍රීඩා කිරීමට පුරුදුව හුන් කෙනෙකුට ගැලපෙන ඒවා නොවේ. අවසානයේ අතීරණයක පසු වන්නේ මගේ දියණිය නොව මා බව පසක් වී මට ආත්ම අනුකම්පාවක් ඇතිවේ.
නමුත් මෑතකදී දෙහිවල නගරයේ අත හැර දැමු කාර් සේල් පලක ගැටව් කිහිපදෙනකු ෆුට්සාල් (Indoor Football) ක්‍රීඩා කරනු දැක මා තුල ඇති මැරඩෝනා එලියට එන්නට සැරසිණි. නමුත් ගෘහස්ථ ක්‍රීඩා මට නොගැලපෙන බව මා පසක් කොටගෙන දැන් සෑහෙන කාලයකි. ඒ එවැනි ස්ථාන වල ඇති අඩු ඔක්සිජන් මට්ටම මට ඔරොත්තු නොදෙන නිසාය. ඇත්තටම මා කැමති එළිමහනේ කෙරෙන ක්‍රීඩාවකටය. මා කුමක් තෝරා ගත යුතුද ? දැනට මා බයිසිකල් පැදීම සහ ඇවිදීම විනෝදාංශ කොට ගෙන ඇත්තෙමි. නමුත් වැසි දිනවලදී මේවා අඩාල වේ. දැනට නූලක එල්ලන ලද පන්දුවකට පහර දීම අතුරු විනෝදාංශය කොට ගෙන ඇත්තෙමි. නමුත් ඒවා දිගුකාලීන නොවේ.
පින්තූරය ගත්තේ : |