විදුලි සෝපානයන් පිලිබඳ සංගණන වාර්තාවක් කොතැනක හෝ තිබේද ? කොතැන හෝ තිබිය යුතුයි. එසේනම් ශ්‍රී ලංකාව තුල මේ වනවිට විදුලි සෝපාන කොපමණ ඇතැයි ඔබ සිතනවාද ? මෙයට නිශ්චිත පිළිතුරක් දීමට කිසිවෙකුට හැකි වේ යයි මා විශ්වාස කරන්නේ නෑ. නමුත් මේ ප්‍රශ්නය එක් දහස් නවසිය හැත්තෑ ගණන් වල ඇසුවා නම්, ඊට නිවැරදි පිළිතුරු දීමට කිහිප දෙනෙකුම සමත් වනු ඇත.
මා මුලින්ම විදුලි සෝපානයක ගමන් ගත්තේ පෙර කියූ කාල වකවානුවේදීය. ඒ කොළඹ මරදානේ සිටි, කොළඹ නැන්දාලාගේ නිවසට පැමිණි දිනක, සෙලින්කෝ ආයතනයට අයත් ආකාස කඩේ නමැති ආපන ශාලාවේ සේවය කල පියසිරි අයියා මුණ ගැසීමට ගිය ගමනේදීයි. මගේ මතකය නිවැරදි නම් එය තට්ටු හතරක හෝ පහක ගොඩනැගිල්ලකි. නමුත් ඒ කාලයේ ලංකාවේ උසම ගොඩනැගිල්ලක් ලෙස මෙය සඳහන් වූවා මතකය. ඒ කාලයේදීම සෙලින්කෝ ගොඩනැගිල්ල පසුබිමෙහි තබාගෙන හිඳ සිටින යුවතියන් දෙදෙනෙකුගේ ඡායාරූපය සහිත කැලැන්ඩරයක් තිබුණ බව මතකය.
පින්තූරය ගත්තේ : http://www.dreamviews.com/ |
එකල අද මෙන් විදුලි සෝපාන වලට ස්වයංක්‍රීයව වැසෙන දොරවල් තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ අතින් අදින යකඩ දොරවල්ය. එයට ඇතුල්වන පිරිස ගොඩ වූ පසු මෙම දොරවල් දෙපසින් වසනු ලැබේ. ඉන් පසුව සෝපානය ඉහළ-පහළ ගමන් ගනු ඇත. මා මුලින්ම සෙලින්කෝ සෝපානයේ කල ගමන අදටත් මතකයේ රැඳී තිබේ. එය ඉහල යනවිට මගේ සහෝදරයාට කැරකිල්ල සැදුනි. කුඩා ළදරුවකු වූ ඔහු මවට තුරුල් විය. ඉන් පසු එන ගමනේදී, ඔහු වඩා ගන්නා ලෙස, මවගෙන් ඉල්ලා සිටියේය. පසුව අප මේ කාරණය පවසා ඔහුට විහිළු තහළු කළෙමු. මන්ද ඊට බාල මගේ නැගණිය කිසිදු අපහසුවකින් තොරව එහි ගමන් ගත් නිසාය.
සෙලින්කෝ ඉහළ මාලය සිට කොළඹ හාත්පස දෙස නැරඹු ඒ දිනය කිසිදා නොමැකෙන මතක සටහනකි. කොළඹ වරයද, සී.ටී.ඕ. ගොඩනැගිල්ලද එකල දකින්නට තිබූ දසුන්ය. ඉද්ද ගැසූවක් මෙන් කොල්ලුපිටිය දක්වා පැහැදිලිව පෙනෙන ගාලු පාරද, ගෝල්ෆේස් තනතිල්ල්ද මැවූ මනස්කාන්ත දසුන අදටත් සිහිපත් වේ. ආපසු එන ගමනේදී එහි ස්වයංක්‍රීය පඩිපෙලක්ද තිබූ බව මතකයක් ඇත. තවත් අමතක නොවන සිද්ධියක් වන්නේ කුඩාකල මට තිබූ නරක පුරුද්දක් එහිදී ක්‍රියාත්මක වීමයි. ඒ සැමතැන විසිරී තිබූ කහ පැහැති, තැනින් තැන හිල් විද තිබූ ටේප් පටි තොගයක් එකතු කරගෙන එන්නට සුදානම් වීමයි. කවුරුන් විරුද්ධ වුවත් මා ඒවා අත අරින්නේ නැති බව මගේ දෙමව්පියන් දන්නා නිසා, ඒවා එකතු කරගන්නා තුරු ඔවුන් නෝක්කාඩු මුහුණින් බලා සිටි අයුරු තවමත් සිහිපත් වේ.
පින්තූරය ගත්තේ : http://geschichte.inf.tu-dresden.de/ |
ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ එක්දහස් නවසිය අනූ ගණන් වල තිබූ සුපතල පරිගණක පාඨමාලාව හදාරන්නට පසුව ගිය ගමනේදී කලින් කී විදුලි සෝපානය සහ පන්ච් ටේප් සහ පන්ච් කාඩ් දකින්නට ලැබීම දෛවෝපගත සිදුවීමකි. එම ආයතනයේ විදුලි සෝපානය සිසුන් භාවිතා කරනවාට ආචාර්ය ජයසිරි මහතා මනාපයක් නොදක්වන ලදී. එහි ගමන් කරන විට සෝපානයේ දොර විවෘත කළහොත් , සෝපානය මග නතර වේ. එකල සිටි පෙම්වතුන් මෙය අවභාවිත කල බව දැන ගන්නට ලැබුණි. ඉහළ පින්තූරයේ තිබෙන පන්ච් ටේප් සහ පන්ච් කාඩ් යනුවෙන් සඳහන් කාඩ් මුල් පරිගණක යුග වල දත්ත සටහන් කර තැබීම සඳහා භාවිතා කල ක්‍රම දෙකක් වේ.
පින්තූරය ගත්තේ : http://www.retrotechnology.com/ |
මේවායේ දත්ත සටහන් කිරීම ටයිප් රයිටරයක් වැනි උපකරණයකින් සිදු කර තිබේ. ශ්‍රී ලංකාවේද මුල් කාලවල පරිගණක භාවිතයේදී මේවා යොදාගෙන ඇත. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේදී මේවා ගැන ඉගෙන ගත්තා මතකය. මේවාගේ දත්ත සටහන් කිරීම ඉතා රසවත් ආකාරයකට සිදු කරයි. ඔබ කැමැත්තක් දක්වනවා නම් පසු සටහනකින් ඒ පිළිබඳ දැනුවත් කරන්නම්.
එදා තිබූ විදුලි සෝපාන හා සැසඳීමේදී අද ඇති විදුලි සෝපාන ඉතා ඉහල තාක්ෂණයකින් යුක්තය. නමුත් යොදා ගන්නා මූලික තාක්ෂනය එකමය. අද ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදුලි සෝපාන බොහෝ ස්ථාන වල ඇත. මින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති සෝපාන ඉතාමත් වේගවත් බව මගේ විශ්වාසයයි. එයට හේතුව වන්නේ නගින්නට තිබෙන උස වැඩි නිසා ඒවා වේගවත් කළහැකි වීමයි. අද විදුලි සෝපානයක් නැති තැනක් කොළඹ නගරයේ සොයා ගන්නට නොහැකි තරම් වුවත්, මා සඳහන් කල යුගයේ සෙලින්කෝ ආයතනය හැරුණුකොට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ එම පහසුකම තිබූ බව මගේ ඉහල නිලධාරියා වන ලසන්ත මහතා පවසයි.
අද තිබෙන විදුලි සෝපාන තුල තිබෙන පහසුකම් සහ තාක්ෂනය ඉතා ඉහලය. ස්වයංක්‍රීයව ක්‍රියා කිරීම ඉන් ප්‍රධාන ලක්ෂණයයි. මේවා මයික්‍රෝචිප් ආධාරයෙන් ක්‍රියාත්මක වේ. වේග පාලනය, බර පාලනය, දොරවල් ඇරීම වැසීම, අනතරු ඇඟවීම ආදී බොහෝ දේ අද ස්වයංක්‍රීයව සිදු වේ. කෙතරම් තාක්ෂනය දියුණු වුවද, විදුලි සෝපාන හිර වීම නතර කල නොහැක. නිතර භූමි කම්පා තිබෙන රටවල් වල මේවා කෙසේ ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීම වටී. ත්‍රස්තවාදී කලබල තිබූ කාලයේ මගේ මිතුරෙකු කිසි දිනක ලිෆ්ට් එක භාවිතා නොකළේය. ඒ බෝම්බ පිපිරීමක් වැනි අවස්තාවකදී ඒවා අනිවාර්යයෙන්ම හිර වන නිසාය. මෙයට අමතරව විදුලි විසන්ධි වීමකදීද සෝපානය හිර වෙයි. නමුත් අද තිබෙන සෝපානයක් එසේ වුවහොත් පහසුවෙන් එලියට එන්නට හැකිය.