මට මගේ පියා ජීවිතය ගැන බොහෝ උපදෙස් දී තිබෙනවා. නමුත් තරුණ වයසේදී අපි දෙමව්පියන් කියන දේවල් කණකට ගන්නේ නෑ. ටිකක් කල් යත්දී තේරෙනවා "අනේ තාත්තා කිව්වා කතාව ඇත්ත නේද ? අම්ම කිව්වා එක මම එදා ඇහුවේ නෑ නේද ? " කියලා. මම මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මම ඒ ලෙවල් කරනකොට වගේ, යන්තමට දැලි රැවුල වැවීගෙන එත්දී, මටත් හිතුනා රැවුල කපන්න. ඒ කාලේ ඉතිං මේ වගේ දෙයක් කරන්නත් ලේසි නෑ. මොකද අපේ අතේ මුදල් ගැවසෙන්නේ නැති නිසා. මම බික් රේසරයක් ඉල්ලලා වද කරනකොට තාත්තා කිව දෙයක් තමයි
"දැන් ඔයා ඔහොම ආසාවෙන් රැවුල කැපුවට, කවදා හරි ජොබ් එකක් කරන කාලෙට තේරෙයි ඕක මහා එපා කරපු වැඩක් කියලා"
ඒ කතාව 100% ඇත්ත කියලා මට පහුගිය කාලේ මතක් වුණා. මොකද සමහර වෙලාවට විනාඩියක දෙකක ප්‍රමාදය, කාර්යාලයේ රතු ඉරට අහු වෙන්න හේතු වෙනවා. මේ වගේ කතාවක් කිව්වම බොහෝ දෙනෙක් කියන කතාව තමයි
"තව පොඩ්ඩක් කලින් ලෑස්ති වෙන්න"
කියලා. ඕක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මම කොහොමත් උදේ පහට, සමහර දවසකට ඊටත් කලින් ඇහැරෙන මිනිහා. ඒ වුණාට මම දන්නා දෙයක් තියෙනවා. අපි වැඩට යන්න සුදානම් වෙන්නේ අපේ පරිසරයත් එක්ක බැඳිලා, වටේ පිටේ ඇහෙන සද්දත් එක්ක. උදාහරණයකට උදේ 5:30 ට ආරම්භ වෙන පිරිත් අවසන් වෙන්න් උදේ 6:30 ට. මේක මම නොදැන ගත්තත් මගේ යටිහිත දන්නවා. ඒ නිසා ඔරලෝසුවේ වෙලාවට වඩා අපේ හිත මේ පරිසරයට බැඳිලා වෙලාව ගෙනියන්නේ ඒ ශබ්ද, ආලෝක, තත්වයන් එක්ක. ඒක වෙනමම කතාවක්. දැන් අපි එමු මාතෘකාවට.
ඉතිං මම රැවුල කපන්න ඕනේ කිව්වම මටත් හම්බ වුණා මෙන්න මේ පහලින් තියෙන ජාතියේ රේසර් එකක්. ඒ කාලේ හැටියට ඔනෙම ජගතෙක් මේකක් තමයි ගන්නේ. ඒ දවස් වෙනකොට මේවා ඇවිත් වැඩි කාලයක් නෑ. නමුත් සංචාරක පුරවරයක් වෙච්ච අපේ ගමට බොහෝ දේවල් කලින් ආවා කියලා මම මීට පෙරත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් අපිට කලින්ම දැක ගන්න ලැබුණා. නමුත් පරිහරණය කරන්න ගියේ නෑ.
මේ වෙත්දී අපේ තාත්තා හැම දවසකම උදෑසන රැවුලත් එක්ක යුද්ධ කරනවා මම දැකලා තියෙනවා. සබන් කෑල්ලේ බුරුසුවක් අතුල්ලලා ඒක මුණේ උලාගෙන රේසරෙන් අදිනවා. මේ අපි වගේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් නෙවෙයි. ඇවිදින ගමන්. නොකැපිච්ච තැන හොයා ගන්නේ මුණ අත ගාලා. හැබැයි අපිට වගේ ලේසි රේසරයක් එයාලට තිබ්නුනේ නෑ. අපේ තාත්තා හැම දවසකම රැවුල කපන එක නොවරදවා කරපු දෙයක්. ඒ වගේම එයා මට මෙන්න මේ වගේ උපදෙසකුත් දුන්නා.
"හොඳට රැවුල කපලා, පිරිසිදු ඇඳුම් ඇඳගෙන, සපත්තු පොලිෂ් කරලා හැමදාම යන්න පුරුදු වෙන්න. ඕනෑම තැනකදී වැඩක් කරගන්න පුළුවන් එහෙම ගියාම"
ඇත්තටම ඒ උපදෙසත් 100%ක් සත්‍ය බව මට පහුකාලීනව වැටහුනා. ඉස්සර අපේ ගෙදර ලයිට් නැති කාලේ තාත්තා රැවුල කපනකොට කුප්පි ලාම්පුව අල්ලලා තාත්තට උදව් කරේ මම. මුලින් මුලින් ආසාවෙන් ඒ වැඩේ කලත්, පස්සසේ මට මේක එපා කරපු වැඩක් වුණා. ඒ නිසා වෙන්න ඇති තාත්තා මුණ අතගාලා ඉතිරි රැවුල් ගස් හොයන ක්‍රමයට යන්න ඇත්තේ.
|
පින්තූරය ගත්තේ : www.digital-rights.net |
තාත්තා රැවුල කපන්න පාවිච්චි කලේ මේ වගේ රේසර් එකක්. මට නම් හිතා ගන්නවත් බෑ මේ වගේ එකකින් කොහොමද රැවුල කපන්නේ කියලා. ඒ වුනත් මට බාල සහෝදරයා මේ වගේ එකක් පාවිච්චි කරනවා කියලා දැන ගන්න ලැබුණා.
|
පින්තූරය ගත්තේ : www.ebay.com
ඒ කියන්නේ තවම මේවාට වෙළඳ පොලක් තියෙනවා කියන එක. |
ඒ ලෙවල් අවසන් වෙනවාත් සමගම රැකියාවක් කරන්න වාසනාව මට ලැබුණ නිසා, මට අවශ්‍ය අඩුම-කුඩුම සපයා ගන්නත් මට පුළුවන් වුණා. ඉන් පස්සේ මම විවිධ රේසර් වර්ග වලට මාරු වුණා. ඒ කාලේ නොයෙක් වර්ග වල රේසර් වෙළඳපොලට ආවා. විල්කින්සන් කියන රතු-කළු රේසරයක් මම කාලයක් පාවිච්චි කළා. නමුත් ටික කාලෙකින් ඒවා ගන්න නැති වුණා. ඒවා එංගලන්ත වෙළඳ භාණ්ඩ නිසා මිල අධික වීම වෙන්න ඇති හේතුව.
ඊට පස්සේ බොහෝ කාලයක් මගේ හිතවතා වුණේ ජිලට් බ්ලූ ටූ රේසර් එක.
|
පින්තූරය ගත්තේ : www.atc-center.com |
මේක ඉතිං බොහෝ දෙනෙක් දන්නා නිසා, ආයි අමුතුවෙන් විස්තරයක් කරන්න අවශ්‍ය නෑ. මම හිතන්නේ ලංකාවේ තවමත් වැඩියෙන්ම විකිනෙන්නේ මේ වර්ගය.
මට තියෙනවනේ ලෙඩක් අලුත් මොනවා හරි දැක්කොත් අත්හදා බලන. මෙහෙම කාලයක් ඉන්නකොට අනූ අටේදී විතර ආවා තල තුනක් තියෙන රේසර් එකක්. නුගේගොඩ සෑම්ස් එකේ මේක තියෙනවා දැක්කම මට ඉන්නම බැරි වුණා. ඉතිං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව ගත්තා එකක්.
|
පින්තූරය ගත්තේ : www.acne.org |
මේක අරගෙන ඉන්න බැරි කම කොයි තරම්ද කියනවා නම්, එදා හවසම මේකෙන් රැවුල ගා ගත්තා. "ඇත්තටම මේක නියම භාණ්ඩයක්" මට එහෙම හිතුණා. මම ඉතිං නිකන් හිටියේ නෑ ඔෆිස් එකේ මගේ යාලුවොත් එක්කත් මේ ගැන කිව්වා. මම හිතන්නේ ඉන් පස්සේ කවුරු හරි මේකක් ගත්තා. දැන් වැඩේ නැගලා යනවා. මේකට දාන්නා රේසර් තල වෙනම ගන්න ඕනේ. ඒවා තියෙනවා සුපර් මාර්කට් වල ඕනෑ තරම්. කෑලි දෙකේ ඒවා, කෑලි හතරේ ඒවා. සමහර වෙලාවට ලොකු ඩිස්කවුන්ට් එක්ක. මම ඒ වගේ වෙලාවල් වලට දෙක-තුන අරන් තියා ගත්තා.
මට මතක හැටියට 2000 ඉඳලා 2005 වෙනකං මම පාවිච්චි කලේ මේ වගේ රේසර් සහ තල. කිසි වරදක් නෑ මුණ තුවාල වෙන්නේ නෑ. සුමුදුව රැවුල කැපෙනවා. ආ.... කියන්න අමතක වුණා. ශේවින් ෆෝම්, ආෆ්ටර් ෂේව්. ඒවාත් මම භාවිතා කළා. ආෆ්ටර් ෂේව් නම් මුල ඉඳලම. ඔව් ඔව් බ්ලැක් නයිට් තමයි. ගෑවාම දෙයියෝ සිහි වෙන්නේ.
ඇත්තටම හොඳට රැවුල කපන්න නම් මේ ජාති දෙක අත්‍යවශ්‍ය දේවල්. ශේවින් ෆෝම් සහ ආෆ්ට්ර් ෂේව් (මේවාට සිංහල වචන තියෙනවද ?). රැවුල් ගස් කෙලවර ඉහලට ඇවිත් රළු පෙනුම එන්නේ නෑ, ශේවින් ෆෝම් භාවිතා කලහම. හැමදාම කොල්ලා වගේ ඉන්න පුළුවන්. :) . ආෆ්ටර් ෂේව් ඉතින් පාවිච්චි කරන එක ශරීර සෞඛ්‍යයට හොඳයි. අපිට පෙනෙන්නේ නැති කුඩා කැපුම් නිසා ඇති වන විවර මේ මගින් වැහෙනවා. ඒ වගේම විෂබීජ නැසෙන්නත් හොඳයි. ඒ වගේම තමයි රැවුල කපද්දී උණු වතුරෙන් රේසරය හෝදන්න පුළුවන් නම්. ඒක රැවුල කපන සාම්ප්‍රාදායික ක්‍රමයේ තියෙන එක් අංගයක්. තව දෙයක් රැවුල කපද්දී, ඒවා පිහිටලා තියෙන අතට විරුද්ද අතට කපන්න හොඳ නෑ. එහෙම කැපුවොත් ඉන් පස්සේ ඒවාහරි පැත්තට කොයි තරම් කැපුවත් හරි යන්නේ නෑ.
2006 දී විතර මල්ලී රට ඉඳලා එත්දී ගෙනත් දුන්නා මෙන්න මේ ජාතියේ එකක්. ඇත්තටම ඒක ජාති බඩුව. මොකද ඒක රැවුල කපන ගමන් වයිබ්රේට් වෙනවා(දෙදරනවා ලාවට). හැබැයි ඒකට බැටරි දාන්න ගියාම විකිණෙනවා. A3 වර්ගයේ බැටරි තමයි හරි යන්නේ. ඒ මගින් රේසරයට අවශ්‍ය බරත් ලැබෙනවා.
|
පින්තූරය ගත්තේ : www.mysupermarket.co.uk |
මට දුන්න එකට අමතරව එයා පාවිච්චි කල ඒකත් මටම දීලා ගියා. එකක් තියා ගත්තේ ගමනක් යනකොට භාවිතා කරන්න කට්ටලයට. ඒ කාලේ නිතර ඇවිදින්න වෙච්ච නිසා ඒකත් පහසුයි. නමුත් මුල් කාලේ මේ කොළ පාට බ්ලේඩ් නැති නිසා. උඩින් තියෙන මැච් 3 ඒවාම මේකට දාලා භාවිතා කළා. එක දෙයක් මතක් කරන්න ඕනේ. මේවායේ මිල හරිම වැඩියි. ඩිස්කවුන්ට් දාන වෙලාවට ගන්න එක තමයි මගේ සිරිත. සමහර වෙලාවට රේසරෙත් එක්ක, කාට්‍රිජ් පැකට එකක් දෙන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ වෙලාවකට පොඩ්ඩක් ඔලුව භාවිතා කරලා වැඩ කරොත් වාසි ගන්න පුළුවන්.
ඉන් පස්සේ මම චන්ද්‍රිකා නාලිකා වල ජිලට් ෆියුෂන් පෙන්වනවා දැක්කා. මේකේ විශේෂත්වය තමයි තල 5ක් සහිත වීම. ඉතිං මටත් හරි ආසා හිතුණා එකක් පාවිච්චි කරලා බලන්න. ලංකාවේ 2008 විතර ඒවා තිබුණේ නෑ. මෙහෙට ආවේ 2011 අග හරියේ මගේ මතකය නිවැරදි නම්. ඉතින් සිංගප්පූරුවේ ගිය වෙලාවේ මමත් එකක් ගත්තා. ඒකත් එහෙදී පාවිච්චි කරලා බැලුව. මල් මසුරන්. මම එක දෙයක් දැනගෙන හිටියා. මේවාට කාට්‍රිජ් ලංකාවේ නැති බව. නමුත් මේවා මැච් 3 බ්ලේඩ් එක්ක ගැලපෙනවා. එහෙම නොගැළපෙන එකක් තියෙන්නේ සෙන්සර් එක්සෙල් කියන වර්ගය විතරයි. ෆියුෂන් වල තියෙන විශේෂයක් තමයි නාහේ, කනේ වගේ තියෙන රෝම ඉවත් කරන්න පුළුවන් තනි තලයක් බ්ලේඩ් මණ්ඩලයේ උඩ පැත්තේ තියෙන එක. ඒක නම් මම වගේ කණේ මයිල් මොඩ්ල් වලට හරි වැදගත්. හැබැයි ප්‍රවේසමෙන් මේවා භාවිතා කරන්න ඕනේ. වෙන කල්පනා වල ඉන්න ගමන් මේ වගේ වැඩ කරන එක අනතුරුදායකයි. කණේ සම හරිම සිනිඳුයි.
මේකත් මම 2012 විතර වෙනකම් පාවිච්චි කළා. එහෙම කරලා හොඳටම හෙම්බත් වෙලා අන්තිමේදී තාත්තා කිව්වා වගේ රැවුල කපන එක මහා වදයක් වුණා. පස්සේ මම රැවුල එක ගානකට ට්‍රිම් කරලා වැව්වා. පස්සේ තේරුණා ඒක ට්‍රිම් කරන්න යන කාලය ඊටත් වඩා වැඩියි කියලා. බැරිම තැන ආයිමත් කපන්න ගත්තා. මේ පාර මම අලුත් වෙළඳ දැන්වීමක් දැක්කා. ඒ ජිලට් ෆියුෂන් ප්‍රෝග්ලයිඩ් කියන එක ගැන. ගාණත් ටිකක් අඩුයි. බලන්නත් එක්ක ගත්තා.
ෆියුෂන් එක්ක මේකේ තියෙන වෙනස, බැටරි යොදවන්නේ නැති එක. ඇත්තටම ඒක අත්‍යාවශ්‍ය නෑ. ඒ වයිබ්රේට් මොඩ්ල් එකේදී මුහුණ මත රේසරය ඉතා සුළු ප්‍රමාණයකින් බම්ප් වෙනවා. ඒ නිසා වෙන්නේ කැපෙන ප්‍රමාණය අඩු වෙනවා. හරියටම 50%කින් නැතත්, එයට ආසන්න ප්‍රමාණයක්. එතකොට මුහුණ තුවාල වීම අඩු වෙනවා. මොනවා වුණත් හොඳ සොයා ගැනීමක්. මේක ටිකක් බරයි. හැබැයි වැඩේ කෙරෙනවා.
කොහොම හරි පහුගිය කාලේ දවසක මට ඔෆිස් එකේ ෆුල් නයිට් ගහලා උදේ ලෑස්ති වෙන්න ගියාමයි තේරුණේ රේසරය ගෙනැත් නෑ කියලා. මම ළඟ කඩෙන් බ්ලූ 2 එකක් ගත්තා. අනේ මේ කැපෙන්නේ ශෝක් එකට. බැලුවම එක-එක ඒවාට වඩා මේක හොඳයි නේ. හරිම සිම්පල් ප්ලෑන් එක. මමත් සංගා වගේ මාරු වුණා මේ සිම්පල් ප්ලෑන් එකට.
මොනවා වුණත් ත්‍රිත්ව විද්‍යාලයේ සංගා ගත්ත ත්‍රිත්ව ශතකයට මගේ සුභ පැතුම්.
හා ! මේ ඉන්නේ හොරු ටික. මොකද මේ කාන්තා පාර්ශවේ කට්ටිය මේක බැලුවේ. කමක් නෑ. මම දන්නවා බලනවා කියලා. හැබැයි එයාලත් දැන් අපි වගේම ශේවින් ෆෝම් ගාලම ෂේව් කරනවා මෙයාලා. බොරුද බලන්න පහලින් තියෙන පින්තූරේ. හැබැයි මේක කාන්තාවන්ට පමණයි. මොකද මේ මහත්තුරු කට්ටිය මේක දිහා බලාගෙන ඉන්නේ.
|
පින්තූරය ගත්තේ : www.wisegeek.com |
මේ සටහන ලිවීමේදී අපේ විචාරක තුමාගේ ශෛලිය පොඩ්ඩක් අනුගමනය කළා. එතුමා ආඩම්බර වෙයි මම හිතන්නේ. :)
මේ පහලින් තියෙන පින්තූර අනාගතයේදී සත්‍යයක් බවට පත් වෙන්නත් පුළුවන්.
මේ පින්තූරය ගත්තේ ඒ ගැන බ්ලොග් පොස්ටුවක් දාපු තැනකින්. ගාසා තීරයේ සේවය කරන විදේශිකයෙක් තමයි මේ ඩබල් කිරිල්ල ගැන ලියලා තියෙන්නේ. තවමත් මෙහෙම එකක් නෑ. සමහරවිට එන්න පුළුවන්.
|
පින්තූරය ගත්තේ : https://www.fasthorseinc.com |
මේ පින්තූරයත් බ්ලොග් එකකින්. එහි රචකයා කියන්නේ කොයි තරම් බ්ලේඩ් ප්‍රමාණයක් අවශ්‍යද කියන කාරණය. මේවා අනාගතයේදී වෙන්නත් බැරි නෑ.