Saturday, May 7, 2016

මගේ ක්‍රිකට් පිස්සුව අංක 1 : ටෙනිස් බෝලය ......

මගේ ක්‍රිකට් පිස්සුව කොයි තරම්දැයි අසා දැන ගත හැකි කිහිප පලක්ම වේ. ඒ මගේ දෙමව්පියන්, මගේ ගමේ අසල්වැසියන්, බෙන්තොට ග්‍රාමයේ ප්‍රදේශවාසීන්, පස් වසරක් මා නවාතැන් ගත් ගමගේ මහතාගේ නිවසේ අය, සහ මහජන බැංකුවේ මගේ සහෝදර සාමාජිකයින්ය. නමුත් කුඩා කලසිටම බොහෝ දෙනෙක් ඊට කිසිම සහයෝගයක් නුදුන්නෝය. ඒ අතර ඉහළින්ම සිටින්නේ මගේ දෙමව්පියන්ය. විදුහල්පති/ගුරු ජෝඩුවක් වූ ඔවුන්ට උවමනා වුයේ මා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වනු දැකීම නොව ඉංජිනේරුවකු වනු දැකීමය. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සාධාරණ වුවත් මගේ හිත පාලනය කිරීම ඔවුන්ට කිසිසේත් කල හැකි දෙයක් නොවීය. ගමේ අසල්වැසියන්ගෙන් නම් ඊට නොමද සහයක් ලැබිණි. 

විශේෂයෙන්ම මගේ එවකට හොඳම මිතුරකු වූ සම්පත්ගේ නිවසින් මට කදිම සහයක් ලැබිණි. ඒ මගේ දෙමාපියන් හිතාමතාම මට සපත්තු කුට්ටමක්(ක්‍රීඩා කරන) ලබා නොදුන්නත්, සම්පත්ගේ සපත්තු කුට්ටම ඉල්ලාගෙන ගොස් ක්‍රිකට් ක්‍රීඩා කර නැවතත් ඔහුගේ කාමරයෙන් තබා යාමට මට දී තිබූ අවසරයි. එවකට සම්පත්ගේ මව වූ මාලිනී මිස් මා දුටුවේ දේව දූතියක් ලෙසය. එකටම ක්‍රිකට් හෝඩි පොතේ මුලකුරු කියවූ සම්පත්ගේද ඊට විරෝධයක් නොවිණි. එකල මා අධ්‍යාපනය ලැබූ පාසල කිසිවක ක්‍රිකට් ක්‍රීඩාව නොතිබිණි. නමුත් බෙන්තොට ක්‍රීඩා සමාජය එකල ඩේලි නිවුස් කුසලානය සඳහා ක්‍රීඩා කල ඉතා ප්‍රබල කණ්ඩායමක් විය. ඒ කෙසේද යත් අපගේ වැඩිහිටි කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ සමරේ අයියා නොහොත් සමරසිරි ප්‍රනාන්දුට එවකට සිලෝන් ටීම් එකේ කැඳවීමක්ද ලැබී තිබුණි. නමුත් පුහුණුකරුවන් අල්ප යුගයක ඔහුගේ පන්දු යැවීමෙන් පසු ඉරියව්ව(Follow Through) අඩුපාඩුවක්(තණතිල්ල මත දිවීම) නිසා එම අවස්ථාව ගිලිහුණු පසුව අසන්නට ලැබිණි. එකල අප ක්‍රීඩා සමාජය ක්‍රීඩා කළේ ලණු පැදුර මතය. එනිසාම ඔහුට ඒ ගැන නිසි අවුබෝධයක් නොතිබෙන්නට ඇත. ගාල්ල රිච්මන්ඩ් විදුහලට ක්‍රීඩා කල චන්දන අමරසිංහ අයියා මගේ සිත්ගත් ක්‍රීඩකයා විය. 

මා ගිය ආත්මයේදීත් ක්‍රිකට් ක්‍රීඩා කල අයෙකු විය යුතු බව එකල මගේ ඇසුරේ සිටි සම්පත්ගේ බාප්පා කෙනෙකු වූ ඇල්ටන් අයියා(අංකල්)ගේ මතය විය. ඒ මා කුඩාකල කඩයට යනවිටත් පන්දු යවන ඉරියව්වක් අනුගමනය කරමින් යන නිසාය. මේවා ඔවුන් දැක ඇති ප්‍රමාණයට අනුව ඔවුන් මේ නිගමනය වලට එළැඹෙන්නට ඇත. එකල මා අනුගමනය කළේ ඩී.එස්. ද සිල්වාගේ පන්දු ඉරියව්වයි. කුඩාකළම නිසි පුහුණුවක් ලැබීම නිසා මා පා දඟ පන්දු යැවීමට නිපුණත්වයක් දැක්වූ නමුත් ඒ හා සමානවම කඩුලු රැකීමට හැකියාව මට තිබුණි. පුහුණුවීම් කල කාල වලදී මා තෝරා ගත්තේ කඩුලු රැකීමයි. 

අප ක්‍රීඩා සමාජයේ ජේෂ්ඨ කණ්ඩායම ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කරත්දී (ඔවුන් ක්‍රීඩා කළේ මගේ නිවසට ආසන්නව ඇති මහ ඉස්කෝලේ නමැති පාසලට අයත් ක්‍රීඩාංගනයේ මගේ නිවසට කිට්ටු කෙලවර දැලකින් වටකොට තනාගත් බාගතිල්ල්ක් {Half Pitch} මතය). ඔවුන්ගේ දෙවෙනි පෙළ වූ ටුටු අයියා ඇතුළු සමාගම (බර්නාඩ් අයියා, බේශාන් අයියා, රංජි බා, වසන්ත අයියා, වීරසේකර ලොකු අයියා, ප්‍රේමජයන්ත අයියා, ඉන්දු අයියා ) ටෙනිස් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කළෝය. මේ කණ්ඩායම මේ ක්‍රීඩාංගනයට අහම්බෙන් පාත් වූයේ, ගාමිණි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනය ඔවුන්ට භාවිතාව තහනම් කල පසුය. එයට පදනම් වූ කතාව තරමක් දිග මුත් මෙහි සඳහන් කිරීම වටී.

අපට තරමක් දුරින් ඥාතියෙකු වූ බන්දු සර් නමින් හඳුන්වන, ගාමිණි විද්‍යාලයේ පී.ටී. ගුරුවරයා කලක් අප ක්‍රීඩා සමාජයේ ක්‍රියකාරිකයෙකුව සිට ඇත. පසුව කුමක් හෝ විරසකයක් නිසා ඔහු එයින් ඉවත් වී ඇත. ඉන්පසු එතෙක් එම ක්‍රීඩාංගණයේ(එවකට දකුණු පළාතේ දෙවැනි විශාලම ක්‍රීඩාංගනය ලෙස පිළිගත්) ක්‍රීඩා කිරීම ඔවුන්ට තහනම් කර ඇත. එනිසා මහත් වියදමක් දරා නිමවන ලද ක්‍රිකට් පිච් එක පවා අතහැර ඔවුන්ට මේ ක්‍රීඩාංගනයට පල්ලම් බැසීමට සිදු විය. ඉන් පසු එම ක්‍රීඩාංගනය ගොඩ කරනවා යනුවෙන් සඳහන් කර තැනින් තැන මැටි ලෝඩ් අතුරන්නට යෙදිණි. පසුව තේරුණේ බන්දු සර්ගේ නිවසට යාබද කන්දක් කපා එම මැටි සපයාගෙන ඇති බවයි. අද කාලයේ සිදු වූවානම් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යාමට තරම් කාරණාවක් වනු ඇත. එයින් උරණ ඌ අප ක්‍රීඩා සමාජයේ ජේෂ්ඨයින් ඉන්පසු දිනක බන්දු සර්ට ඉදිමෙන්නට පහර දී තිබුණි.

කෙසේනමුත් එය මට වෙස්වලාගත් ආශිර්වාදයක් විය. මා ක්‍රිකට් ක්‍රීඩාවේ අයන්න - අායන්න හැඳින ගත්තේ මේ ක්‍රීඩාංගනයට ඔවුන් සම්ප්‍රාප්ත වූ පසුවය. මේ කාලයේ ලෙදර් පන්දු ක්‍රීඩාවට වඩා වැඩියෙන් ටෙනිස් බෝල් ක්‍රිකට් සිදු විය. අපට ඔවුන් සමග ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණේ, ක්‍රීඩාංගණයේ එතෙක් ක්‍රීඩා කල පිරිස ඔවුන්ට එකතු වීම නිසාය. එකල කුඩා දරුවන් වූ අපට ටෙනිස් බෝල් ක්‍රීඩාව සිහිනයක් විය. සම්පත්ලාගේ වත්තේ රබර් බෝලයෙන් අපි එවකට ක්‍රිකට් ක්‍රීඩා කළෙමු. නමුත් සම්පත්ගේ ආත්මාර්ථකාමී සහ කෝපාවිෂ්ට ක්‍රීඩා විලාසය නිසා එය අපට නීරස අත්දැකීමක් විය. මට ටෙනිස් බෝලයක් අල්ලන්ට අවස්ථාව ලැබුණේ එය අපේ වත්තට විසි වූ කලෙකය. ටෙනිස් බෝලයක ඇති මේ තරම් අරුමය කුමක්දැයි ඔබට මේ වෙලාවේ සිතෙනු ඇත. නමුත් අප කුඩාකල ටෙනිස් බෝල අදතරම් සුලභ නැත. කොටින්ම එය කඩයෙන් මිලදී ගන්නට හැකියාවක් නොතිබුණි.

මෙය ඇල්ලු මොහොතේ මා සිතා ගත්තේ මා ටෙනිස් බෝලයක් හදනවා යන්නයි. මගේ මිතුරන් මේ ගැන අදහස් දක්වන විට සඳහන් කළේ එම බෝලයට පුළුන් අලවා ඇති බවයි. අතට අසු වූ මොහොතකවත් වැඩි වෙලාවක් තබා ගන්නට නොහැකි බැවින්, මටද ඒ ගැන ඉන් එහා ගිය අදහසක් ගන්නට නොහැකි විය. නමුත් පරිසරය පාඩමේ උගත් පරිදි මේවා කෙරෙනවා ඇත්තේ බැටළු ලොම් වලින් බව මගේ විශ්වාසයයි. ලංකාවේ බැටළුවන් නැත. එකවිටම මගේ සිහියට ආවේ අපේ පූස් තදියායි. නිකං ඉඳන් බද පුරවා ගන්නා පූස් තදියාට පාඩමක් උගවන්නත් එක්කම උගෙන් මයිල් ගලවා ගනිමි යන්න අදිටන් කර ගතිමි. එහෙත් පූසාට කිට්ටු කර මවිල් ජුණ්ඩක් කපා ගන්නට හදන සෑම මොහොතකම ඌ වේදනාකාරී හඬක් පිට කරමින් පලා යයි. වෙනත් විකල්පයක් අහලපස්මාණයක  නැතිවිට පුළුං මා හට ඇති එකම විකල්පය විය.


කපු පුළුන් කෙසේ වෙතත්, අපගේ වැට මායිමේ ඇති කොට්ට පුළුන් ගසෙන් නොමිලයේ වැටෙන පුළුන් කදිම ආදේශකයක් විය.  අල්ලන්ට අවශ්‍ය පුළුන් සහ ගම් ස්වල්පයක් සපයා ගත්තද, එයට සරිලන බෝලයක් හොයා ගන්නේ කෙලෙසදැයි දස අතේ කල්පනා කළෙමි. එම ප්‍රමාණයට සමාන, බෝලයක් වැනි දෙයක් මා දුටුවානම්, ඒ අපගේ කෑම මේසයේ කකුලේ ඇති කැටයම් බෝලයයි. ගේ පිටුපස වරක් ඇවිදින මට, අත්හැර දමා ඇති මෙවැනි කකුල් තුනක මේසයක් හමු විය. මොහොතක් හෝ ප්‍රමාද නොවී, මන්නය අතට ගත් මම ඉන් එක කකුලක් ගලවාගෙන, රවුම් කොටස කපන්නට පටන් ගතිමි. එය හිතු තරම් පහසු කටයුත්තක් නොවීය. එක පැත්තක් අවසන් වනවිට මා අසලට පැමිණියේ මහින්දයි, ඔහුගේ සහයද ඇතිව බෝලය රවුම් කරගත්තේ මිනිත්තු ගණනක් රළු සිමෙන්ති පොළොවේද ඇතිල්ලීමෙන් පසුවය.


ඉන්පසුව වටේට ගම උලා, හෙමින්-හෙමින් පුළුං ඇලෙව්වෙමු. පසුව එය වේලෙන්නට ඉහළ තැනකින් තැබුවෙමු. නමුත් දවස් ගණනක් ගත වුවද එහි තිබූ ගම් වේලී තිබුණේ නැත. අවු රශ්මියට නිරාවරණය කළද ගම් ටික උණු වී වැක්කෙරෙනවා මිස සවි වන පාටක් නොවීය. ලීය මතුවන සෑම තැනකම ගම යොදා පුළුන් අලවා ගත්තද, බෝල අතට ගත් සාම විටම, එය ලිස්සා බිමට වැටෙන්නේ අතෙහි පුළුං සහ ගම් ඉතිරි කරමිනි. දවස් ගණනක පරිශ්‍රමයකින් පසුව එය පන්දුවක තත්වයට පත් කර ගත්තද, එය බිම ගසන විට ඉහළ නොයෙන තත්වය මත ප්‍රසිද්ධියේ එයින් ක්‍රීඩා කිරීම අපට ලැජ්ජාවට කරුණක් විය. පසුව සැලසුම් කරගත් පරිදි මහින්දත් මමත්, නිවාඩු දිනක පාන්දරින් පිට්ටනියට බැස එල්ලේ ගසන ආකාරය එයට පහර දුනිමු. පළමුව "පටාස්...." හඬක් නංවමින් එය අප අසලම කඩා වැටුණද, පහරවල් කිහිපයක් එල්ල කිරීමේදී, "දිරික් ...." හඬක් නංවමින් පිත්ත මිටෙන් කැඩී ගියේය. එම පන්දුව පිළිබඳ ඇති ආශාව එලෙස නිමා විය. "පිස්සොත් එක්ක සෙල්ලම් බෑ" කියන්නැහේ, හිතුණොත් කරන පුරුද්ද මා වෙත ලැබුණේ කුඩා සන්දීයේ සිටමය.

42 comments :

  1. මට මේක කියෙව්වම මතක් උනේ අපේ තාත්තා ඒ කාලෙ සතියකට සැරයක් ගෙදර එද්දි ලෙදර් බෝල තුන හතරක් ගේන එක. පස්සෙ බලද්දි ඉස්සරහ පිට්ටනියෙ ක්‍රිකට් ගහන එවුන් බැංකුවේ වීදුරු කැඩෙන්න හයේ ඒවා ගැහුවම උන්ට ඒවා ආයෙ ඉල්ලන්න බය නිසා පැත්ත පලාතක එන්නෙ නැතිලු.

    ReplyDelete
    Replies
    1. අපේ රත්මලාන ග්‍රවුන්ඩ් එක ලඟත් ගෙදරක් තියෙනවා ඔය වගේ ලොකු බැරල් එකක් පුරෝලා බෝල තියෙනවා. දෙන්නේ නෑ. පැනලා ගිහිං ගන්නත් බෑ. ලොකු බල්ලෝ දෙන්නෙක් ඉන්නවා.

      Delete
  2. හොඳ වෙලාවට අර මේස බෝලෙන් ගහල මහින්දයගෙ ඔළුව පැලුවෙ නැත්තෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒක දුරට යන්න ගහන්න නම් දවසට හාල් සේරු දෙකක වත් බත් කන්න ඕනේ. අන්තිම එක බැට් එකත් කඩාගෙන ගියේ.

      Delete
  3. අර මේස කකුල කපලා පෝරියල් එකක් කෑවේ නැද්ද ?
    අපේ පැත්තේ කඳුහෙල් වැඩි නිසා ඉස්සර අපි බෝල ගහනවට වැඩ වැඩි වෙලාවක් කළේ බෝලේ හොයන එක

    ReplyDelete
    Replies
    1. නැහැ. මම කරපු වැඩ වලට ගුටි කෑවා නම් තවම ඉවර කරන්න බෑ. දවසක් ටයිම් පීස් ඔරලෝසුවක් ගැලෙව්වා. දුන්න ආපහු දාගන්න බැරි වෙලා, ඒක එතැනින්ම අවසානයි. ඔව්. මමත් ටුනමන්ට් එකක් ගහලා තියෙනවා ඔය වගේ කන්දක් කපලා හදපු ගර්වුන්ඩ් එකක. එතැන බොලේ හොයන්න වෙනම හමුදාවක් රඳවලා තිබුණා. ඒ තරගාවලියේ අවසන් තරගය අපි අවාසනාවන්ත විදියට පරාද වුණා. ඒ ගැනත් ලියන්නම්. ඒ මතකය අවිස්සුවාට ස්තුතියි.

      Delete
    2. //අවසන් තරඟය අපි අවාසනාවන්ත විදියට පරාද වුණා //

      මගුලක් කියනවා.. අනිත් පිලේ අම්පයර්ට තොපි හොර කලා නෝබෝල් දැම්මා ,සයිඩ් ඉල්ලුවෙ නෑ එහෙම කියලා මැච් එක ඩ්‍රෝ කරගන්න එපැයි ..:D

      Delete
    3. අත් හැර දමා තිබුණු මේසෙකින් තමයි කකුල කපා ගත්තේ.

      Delete
  4. සුදීකයියෙ රබරෙන් පොල් අඩි ගහපු අපිට ඒ දවස් වල ලොකුම අවුල උනේ ටෙනිස පැලෙන එක.. .ඉස්සර අපි ටෙනිස ලෙල්ල ගහලා තම්බනවා පැලෙනවට..ඒකට ඔස්තාද්ලා වෙනම උන්නා නෙවැ අපේ.( ඕකෙන් "දුටු තැන" ගහද්දි පිටට පාරක් වැදුන කියන්නෙ කඳුලු පනිනවා ). ආයෙ මොනවද ගෑවුනානං යන්නෙ පිඹලා ඊට පස්සෙ :D . බෝල ගහනවට වඩා අපි උන්නෙ පොල් කරටි වල බෝල හොයන්න..හැක්.

    dunlop එකයි slazenger එකයි තමා ෆේවරිට්. පිට උං එක්ක මැච් ගහද්දි ඔට්ටුවත් slazenger ටින් දෙකක්..ඔර කලිසං සාක්කුවෙ ටෙනිස දාගෙන බැට් එක වන වනා පොබ්බෑග්ගෙ අරං තමා ඉස්කෝලෙ යන්නෙ..බෙල් එක ගහන්න කලිං මැච් එකක් වනාගන්න :D ආං එහෙම දුක් මහසි වෙලා අපි ඉගනගත්තෙ.. හැක හැක

    ReplyDelete
    Replies
    1. ටෙනිස් බෝලෙ මයිල් බාල තැටියක් උඩ තියල ගානට පුච්ච ගන්නවත් මතකයි පත්තරේ.

      Delete
    2. ආං එහෙම පෙරංගාල බෝලෙ සීසන් කරගත්ත කියන්නෙ අපිට ඕක හෙන සම්පතක් නෙවැ හැලපයියෙ .. සමහර ටූනමන්ට් වල ඕකෙන් ගහන්න දුන්නෙ නෑ.
      මේ ඒක නෙවෙයි..තැටිය රත් වෙච්චි වෙලාවෙ රොටියක් පුච්ව ගත්තෙ නැතෙයි :D

      Delete
    3. @පත්තරේ : අපේ වාසනාවට පස්සේ සංචාරක හෝටල් වල සෙල්ලම් කරපු ටෙනිස් බෝල ලැබුණා. ඒවා ලේසියෙන් පැලෙන්නේ නෑ. තවමත් Dunlop/Slazenger දෙක තමයි ජනප්‍රිය. දැන් Penn කියලා චීන එකකුත් තියෙනවා.

      මම දැනට අවුරුදු තුනකට කලින් ටෙනිස් බෝල් ක්‍රිකට් වලින් සමු ගත්තා. සාපේක්ෂව වැඩි ජවයක් අවශ්‍යයි මේ ක්‍රීඩාවට. මගේ උරහිස් ආබාධය නිසා ත්‍රෝ කරන්න බෑ. වේගෙන් බෝල් කරන්නත් බෑ. ටෙනිස් වලින් නම් සෑහෙන සම්මාන ලැබුණා, හොඳම පිතිකරු, පන්දු යවන්නාට බැංකුවේ ටීම් තිහ-හතලිහ ගහපු වෙලාවේ. දැන් මේවායේ ප්‍රධාන තීරක තනතුර කරනවා. එහෙම කරත්දී ක්‍රීඩා කරන එක අසාධාරනයි.

      @දේශක : මම වෙළඳ සේවා එෆ්/එච් වල ක්‍රීඩා කලේ. මම විතරක්ද සජිත් ප්‍රනාන්දුත් ඒකෙ හිටියේ. තමන් වැඩ කරන තැන තියෙන ඩිවිෂන් එක තමයි ගහන්න වෙන්නේ.

      @හැලප : එහෙම සීසන් කරන්නේ එල්ලේ ගහන්න නේද ?

      Delete
    4. මේ වෙලාවේ මතක් වෙච්ච් තව දෙයක් කියන්න ඕනේ. ටේප් බෝල් ටූනමන්ට් දැන් තැනින් තැන තියෙනවා. බොලේ හදා ගන්න හැටි දන්නවනේ. ටෙනිස් බෝලෙට ඉන්සියුලේෂන් ටේප් ඔතලා. මම දැනට අවුරුදු 10කට විතර කලින් මාතරදී සෙල්ලම් කළා. කකුලේ වැදුනොත් මව්කිරි බීපුවා මතක් වෙනවා.

      Delete
    5. සුදීක....ඇත්තටම සජිත් ප්‍රනාන්දුට මොකද වුනේ. කෝ දැන්?

      ඔය ටේප් බෝල් සෙල්ලම තියෙන්නේ සවුත් ඒශියා විතරද? ටේප් බෝල් ගහන්නේ සොෆ්ට්බෝල් ගහන බැට් එකෙන්මද? මේකට වෙනම ඇසෝසියේශන් එකක් තියෙනවද?

      Delete
  5. දවසක් ඉස්කෝලෙදි පිට්ටනියෙ නෙට් එක ලඟ විසිකරල තිබුන ලෙදර් බෝලයක් අරගෙන සෑහෙන්න මහන්සි වෙලා ලෙහුවා මොකද්ද මේ බලන්න..ටිකක් ලෙහාගෙන නූල් බෝලයක් එලියට එනකොටම අයියලා ඇවිත් පැන්නුවානෙ.. චැක්..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය තරම් හයිය ලෙදර් බෝලයක් ඇතුලේ තියෙන්නේ හණ නූල්, සහ කිරල ඇබ වගේ දෙයක් කියලා හිතන්නත් අමාරුයි නේද. පිට කවරය තමයි ශක්තිමත්. ඒ වගේම මැස්ම. මේවා හදන වීඩියෝ තියෙනවා යූටියුබ් එකේ. ආසනම් බලන්න.

      Delete
    2. https://www.youtube.com/watch?v=2EE82vdExhw

      Delete
  6. ක්‍රිකට් වලට නං මාත් පස්ට ආසයි. වැඩියක්ම කැමති බෝල දාන්න. මං ලෙප්ට් හෑන්ඩ නිසා පොඩි ඉල්ලුමකුත් තිබුනා. තව එකක් පොඩි අවුලක් තිබුනා දුවගෙන එද්දි මට විකට් එක පේන කොට බෝලේ ඒකට අතාරින්මයි හිතෙන්නේ. ඕවරයක් යැව්වොත් බෝල දෙක තුනක් වත් අනිවා පුල්ටොස් විකට් එකට. ඒ දවස් වල අපි දන්න යෝකර් එකක් තියෙය් බං. අන්න ඒ වගේ ඒවා තමා මං යැව්වේ. මේ බෝල වලට හෙන බයයි පොරවල්. හැක් හැක්. ටොස්කාපර් කියල තමා නමත් දාලා තිබුනේ.. බොරළැස්ගමුව, මල්වාන, රඹුක්කන, බොල්ලත ඕන්න ඕවයේ ටුනර්මන්ට් වලටත් මම ගියා. මේ ඔක්කෝම ටෙනිස් බෝල. රස්සවාට ගියාට පස්සේ ටික කාලයක් මම වෙළාද සේවා ඩී කාණ්ඩයේ ගහපු අපේ ටීම් එකටත් හිටියා. ඒ උනාට ඒක අමාරුයි බං.. හැක්.. ඒක නැවැත්තුවා..

    උඹ පොඩි කාලේ කඩේට බෝල් කරගෙන ගියාට මං තාමත් ගෙදරදි නිකං ඉන්න ගමනුත් බෝලින් ඇක්සොං දානවා. පොඩි උන් දෙන්නට ස්පින් බෝල දානවා.. ටෙනිස් බෝලෙන් ස්පින් පුරුදු වෙනවා. ඕං මයේ කෙරුවාව..

    ReplyDelete
    Replies
    1. හැමදාම ෂයි කරන්න බෑ ඩෝ,අහුවුන දවසට කැපෙනවා.

      Delete
    2. //මං තාමත් ගෙදරදි නිකං ඉන්න ගමනුත් බෝලින් ඇක්සොං දානවා.// හපොයි..

      Delete
    3. බලාගෙන රනවුට් යයි :D

      Delete
    4. දේශෝ මේකට දෙන්න ඕනේ උත්තරය උඩ කොටලා. දැන් මැන්ටල් නේ බං. ඒක නෙවෙයි මචෝ මම උඹේ ෆොටෝ එකක් දැක්කයි කියපන්කො අපේ බ්ලොග් පොරකගේ ෆෝන් එකක. වමතින් බෝල් කරන එවුන්ට කොහොමත් ඉල්ලුමක් තියෙනවා. නැචුරල් ස්වින්ග් එකක් තියෙන නිසා. අපේ ක්ලබ් එකේ හිටියා සමන් ධර්මරත්න කියලා බුවෙක් ටෙනිස් බොලේ ෆාස්ට් බෝල් කරන ගමන් ටර්න් කරනවා. මටත් ඒ පුරුද්ද නැතුවම නෙවෙයි. ඇඟේ තවම ක්‍රිකට් තියෙනවා. පිහියෙන් බැට් කරනවා. පොඩි කාලේ නං බිත්තියේ අත වැදිච්ච අවස්ථා එමටයි.

      Delete
    5. "පිස්සොත් එක්ක සෙල්ලම් බෑ"

      Delete
    6. ඕක අපේ කාඩ් සෙන්ටර් එකේ කොල්ලන්ගේ කටේ තියෙන වචනයක්.

      Delete
  7. ක්‍රිකට් නොගහපු කොල්ලෙක් ලංකාවේ නැතුව ඇති. මාරු බොලයක්නේ හදල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ වගේම රෙජිෆෝම් වලින් ෆූට්බෝල් ගැහුවා. අපි ගේ ඇතුලෙත් ක්‍රිකට් ගැහුවා. ටෙනිස් බෝලෙන් ස්පින් කරන්න වගේම දුස්රා දාන්නත් පුරුදු වුණා එකෙන්. අපේ පවුලේ සහෝදරියන් දෙදෙනා ඇතුළු පස් දෙනාටම ක්‍රිකට් ගහන්න පුළුවන්.

      Delete
  8. මාත් වයස අවුරුදු 9 වෙනකොටත් ක්‍රිකට් පිස්සෙක්.. 85 ලංකාව පලවෙනි ටෙස්ට් මැච් එක දිනපු එක මම tv එකේ ලයිව් බැලුව.. ඒ කාලේ අපේ අයියලා වත් ක්‍රිකට් ගැන එච්චර උනන්දු නෑ. ටෙස්ට් මැච් නම් උන් කොහොමට් බලන්නේ නෑ.. මට ඒකට අදටත් දවස් 5ක් එක දිගට ටෙස්ට් මැච් එකක් බලන්න පුළුවන්.. (එහෙම ඉඩ දෙන්නේ නැති එක තමයි අවුල) තිලකසිත කියුවා වගේ අපෙත් වැඩිම වෙලාව යන්නේ ඉතිං බෝල හොයන්න තමයි. අපි ඉස්සර ඕල්ඩ් දුතියන්ස් ක්ලබ් එකේ මැනේජර් ගෙන් ටෙනිස් ගහල පදම් වෙච්චි ටෙනිස් බෝල අරගන්නවා මිනිහව බැලන්ස් කරලා. ඒවා සුපර්. බැට් එක තියපු ගමන් විදගෙන යන්නේ.. නැත්නම් කරන්නේ අර වගේ වටේ බූල් ටික පුච්චලා ගන්න එක තමයි. ටෙනිස් බෝල නැති කොට රබර් බෝල නැත්නම් ආර්පිකෝ එකේ පොඩි ඉරි ඉරි බෝල ගන්නවා. ලෙදර් ගහන්න ආදේශේට ගන්නේ ගල් කැටයක් වටේ ඔට්ටපාළු ඔතලා. අම්මට සිරි වෙනවා වැදුනොත් එහෙම.. ඒ බෝලෙට අත දිග ඇරලා ගැහුවොත් අනිවා බැට් එකේ මිට යනවා..
    මේ ඉස්ටෝරිය දිගටම ලියපන්.. කියවන්න පට්ට ආසයි මේවා..

    ReplyDelete
    Replies
    1. ඕල්ඩ් දූතියන්ස්, 1989 දී පාපන්දු තරග කීපයක් නැරඹුවා බදුල්ලේදී.

      Delete
    2. ඒ මැච් එක සදා අනුස්මරණීය එකක්. ඒ මැච් එක දිනුවාම ජේ.ආර්. ජනාධිපති තුමා පහුවදා නිවාඩු දුන්නා. ඒ කාලේ අපි රුමේෂ් ඒ විකට් එක ගත්ත විදිය ඉමිටෙට් කරනවා. හරියට ක්‍රිකට් බලනවානම් - ක්‍රිකට් ගැන ඉගෙන ගන්න ඕනෙනම් බලන්න ඕනේ ටෙස්ට් මැච් තමයි. මමත් පුළුවන් වෙලාවට ටෙස්ට් මැච් බලනවා. ඒකෙ තමයි බැලුවොත් නියම ගේම් එක තියෙන්නෙත්. කඳුකර පළාත් වල ක්‍රීඩාව දුෂ්කර බව හොන්දීම තේරුම් ගත්තේ මේ කමෙන්ට් දෙකෙන් තමයි. කොට් බෝල් තමයි නියම ඒවා. සංචාරක ප්‍රදේශයක් නිසා අපිට ටෙනිස් බෝල පහුකාලීනවා හොඳට ලැබුණා. අපිත් ඔට්ටපාළු වලින් ගහලා තියෙනවා. එකට හොඳම කිතුල් ලීයෙන් හදපු බට.
      මේක කලින් මගට ලියලා තිබුණ එකක්. පහුගිය දවසක ඉවර කලේ.

      Delete
  9. හැක්, ලංකාවේ කොල්ලෙක් පොඩි කාලේදී පාර මැද හරි ක්‍රිකට් ගහලා නැත්තං ඒකා ලංකාවේ කොල්ලෙක් නෙවෙයි.

    1960 ගණන්වල අපේ අයියා එයාගේ යාලුවොත් එක්ක ක්‍රිකට් බැට් එකක් හැදුවා. ඒක හැදුවේ සපු ලීයෙන්. ලස්සනට හැඩය ගත්තා වඩු ආයුධ පාවිච්චි කරලා. ටිකක් බර වැඩි වුනත් මිටට බයිසිකල් ටියුබ් එකක් දාලා එහෙම ගත්තා. ලෙදර් බැට් සීසන් කරන ලින්සීඩ් ඔයිල් දාලා මේස් එකක් ඇතුලට දාපු පරණ ලෙදර් බෝලෙකින් තලමින් සීසන් කළා. අවුරුද්දක් විතර පාවිච්චි කළා. නමුත් ලෙදර් බෝලෙකට ගහන්න ගිහින් මිට කරමුලින් කැඩුනා. හේතුව ලෙදර් බැට් එකක වගේ මිට වෙනම හදලා සවිකර නැතිවීමයි.

    අපි දොඹ ගෙඩියක් වටේට ඔට්ටපාළු ඔතලා බෝල හදාගන්නවා. සෑහෙන්න හොඳයි.

    ReplyDelete
    Replies
    1. ටෙනිස් බැට් එකක් සීසන් කරනවා කියලා ඇහුවමයි. ඉස්සර මිටවල් වලට බයිසිකල් ටියුබ් තමයි දැම්මේ. ලෙදර් වලට හරි යන්නෙම විලෝ ලීයෙන් හදපු බැට්. ඒ වගේම මිට වේවැල්. ඒ වේවැල් ලීයත් තුනට පලලා ඇතුලට රබර් ලේයර් තුනක් දානවා සැර බාල කරන්න. විලෝ ලීයත් විශේෂ එකක්. ඒක සීසන් කරාම අතුල කොහු වෙනාවා. එතකොට පහර දෙත්දී අතට දැනෙනවා අඩුයි. ඒ වුණත්, බැට් එකේ කෙලවරේ වැදුනොත් අත් වලට හොඳට දැනෙනවා.

      Delete
  10. මගෙ ඊළඟ පෝස්ට් එක බැට් සම්බන්ධවයි.

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් බලන් ඉන්නවා කියවන්න.

      Delete
  11. හිහි. ටෙනිස් බෝල හැදුව හැටි දැක්කම නං හිනා ගියා
    අපි පොඩිදවස් වල බෝල හැදුවෙ ඔට්ට පාල් වලින්. සම්පූර්නයෙන්ම ඔට්ටපාලු දදැම්මොත් බෝලෙ හොයාගන්න බැරිවෙන හිංද බම්ප්වෙන එක අඩු වෙන්න මැදට මොකක් හරි දාල තමා ඔතන්නෙ
    වැදුනොත් නං චූ යන්න රිදෙනව.. හිහි

    අර මනුස්සයො බෝල බැරල් එක්කට එක්කහු කලේ උයං කන්න වෙන්න ඇති නේ පව්

    ReplyDelete
    Replies
    1. ඔට්ටපාලු වලින් මමත් සෙල්ලන් කරලා තියෙනවා. වැඩේ තියෙන්නේ ඒවායේ කිසි කන්ට්‍රෝල් එකක් නැතිකම. ඉස්සර සම්බෝල කියලා ගේම් එකක් තියෙනවා. මේකත එක එක පැතිවල වෙනස් නම් කියන්නේ. ඒකට ඔට්ටපලු ගත්තොත් නම් මම සෙල්ලම් කරන්නේ නෑ. මොකද වැදුනොත් ඇඟේ රතු වෙන හින්දා.
      එහෙම තියන් ඉන්නේ කුපාඩි කමට.

      Delete
  12. මාත් හැදුව ලෙදර් බෝලයක්. කැඩුන පරිගණක මේසයක කකුලක තිබුන බෝලය මැද්දට දාල. වටේ කවර් කලේ ඝනකම් සෙරෙප්පුවකින් ගත්ත පදම්කල රබර් ජාතියකින්. නූල්වලින් මහල ගත්තම සිරා ලෙදර් එකක්. හැබැයි ටිකක් ගහද්දි නූල් ඇදෙනව රබර්එක කපාගෙන.

    ReplyDelete
    Replies
    1. ලෙදර් හැම තමයි වැඩේට හරි යන්නේ. කීයටවත් ගැලවෙන්නේ නෑ. රාජ් බලලා තියෙනවද නියම ලෙදර් බොලේ හදන විදිය. අර උඩින් ප්‍රසන්න දාල තියෙන ලින්ක් ඒකෙන් බලන්න.

      Delete
  13. අයියෝද කියන්නේ සොෆ්ට්බෝල් ක්‍රිකට්. අපේ ග්‍රවුන්ඩ් එක තමයි දෙල්කඳ ඉරිදා පොළ නැත්නම් මැච් එකක් දවසට ජපුරේ ග්‍රවුන්ඩ් එක. දැන් නම් ඒවා වෙනස් වෙලා ඇති.

    ReplyDelete
  14. පරක්කු වැඩියි.. දිගටම ලියමු මේක.. බොහොම රහයි.. අපිත් ඒ කාලෙ ටෙනිස් බෝල වලට පාඩම් කරන්න කියල දුන්නු වද වල තරමක්...

    ReplyDelete
  15. පොඩ්ඩක් පරක්කු උනා
    අපි කතාවට කියන්නේ
    පිස්සොත් එක්ක ජිල් ගහන්න බැහැ කියලා

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...