Sunday, December 20, 2015

බලා හිඳීම ...... Keep Watching ......

බලාගෙන ඉන්නවා කියන්නේ ලේසි වැඩක් කියලා කවුරුහරි හිතනවානම් ඒක මහා මුලාවක්. එකම දෙයක් දිහා එක දිගට බලාගෙන ඉන්න ගියාම ඇති වෙන්නේ නිදිමතක්. නමුත් ඒ බලා හිඳීම වගේ නෙවෙයි, කුමක් හෝ ලැබෙයි කියලා දිගටම බලාගෙන සිටීම. එහෙම ඉන්න එක ගැන තියෙන හොඳම උදාහරණය තමයි, එළුවාගේ බෙල්ලේ තියෙන ඇටේ වැටෙනකන් බලාගෙන හිටපු නරියාගේ කතාව'. කවුරුහරි කෙනෙක් නිෂ්පල දෙයක් සඳහා ඕනෑවට වඩා කාලය ගත කරත්දී අනෙක් අය කියන කතාවක් තමයි ඕක. නමුත් ඒකෙන් තවත් දෙයක් කියවෙනවා කියන එකයි මගේ විශ්වාසය. ඒ එහෙම බලාගෙන ඉන්නේ කපටින් බව මේ උපහැරණයෙන් කියවෙනවා. මොකද නරියා කියන්නේ කපටිකමට උපන් සතෙක් කියලා අපේ ඉතිහාස කතා වල කියවෙන නිසා. අනෙක එහෙම පතාගෙන ඉන්න අනෙක් පාර්ශවය අහිංසක පෙනුමක් තිබුණත් ශක්තිමත් කෙනෙක් කියන එකත් එළුවාගේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා. නමුත් මම කියන්න යන බලාගෙන හිඳීල්ල ඒ වගේ එකක් නෙවෙයි. මේ නිකං ඇස් දෙකෙන් දකින එක ගැනම තමයි මම කියන්න යන්නේ.

මුලින්ම කියන්න ඕනේ මම බ්ලොග් පොස්ට් එකක් නොදා මාසයක් ඇද්දා. එක අතකින් ඒකත් එක බලාගෙන හිඳීල්ලක් තමයි. නමුත් ඒ අතරවාරයේ මම තව නොයෙකුත් බලාගෙන හිඳිලි කරලා තියෙනවා. ඒ මාසය ඇතුලත ඇස් පේන්නේ නැති වෙන ගානට පරිගණක තිරය දිහාවට මුහුණ ඔබාගෙන බලාගෙන ඉන්නත් වුණා, දවස් කිහිපයක්. ඒ ඇනිමේෂන් එකක් හදන්න. ෆ්ලෑෂ් ගැන මොනවත් නොදැන, දවස් තුනක් ඇතුලත ඇනිමේෂන් එකක් කරන්න පුළුවන් වුණේ, යූටියුබ් එකට පින් සිද්ද වෙන්න. මම එකම වීඩියෝ එක සිය වතාවක් විතර බල-බලා තමයි ඇනිමේෂන් එක කළේ. අන්තිමේදී ඇස් පෙන්නේ නැතිව ගියත්, ඒකෙන් පුදුම ආත්ම තෘප්තියක් ලැබුවා. මේ පොස්ට් එක දැමීමේ අරමුණ ඒ ඇනිමේෂන් එක මෙතන ප්‍රදර්ශනය කරන එක නොවෙයි. මම කුඩා කාලේ ඉඳලා කරපු බැලිලි වගයක් ගැන බෙදා හදා ගන්න.

කිව්වා ගමන් කට්ටියට එක-එක කුණුහර්ප සිහියට එන්න ඇති. ඒක මගේ වැරද්දක් නෙවෙයි, කියවන ඔබගේ හිත්වල තියෙන වැරද්දක්. ඔන්න ඔය නිසා තමයි අපේ බ්ලොග් ලියන සෑමා "කැත හිත් වලට" කවි ලිව්වේ. ඒ කාලේ ඒවා බලපු කට්ටිය දන්නවා ඇතිනේ. නොදන්නවා නම් ගිහිං බලන්න. ඕවා සෑමා අත්අඩංගුවට පත්වෙන්න කලින් ලියපුවා. දැන් නම් කාලෙකින් ඒ වගේ පොස්ට් එකක් දැක්කේ නෑ. මම ගැලපෙන පින්තූරයකුත් යැවුවා. නමුත් මිනිහා තවමත් බලාගෙන ඉන්නවා ඇති ලියනවද නැද්ද කියලා. මොකද මායියට මාට්ටු වුණොත් කම්මුතු නිසා. ආහ් ! ලියන්න ආපු කතාව අමතක වෙනවා මේ එක-එක වල්පල් නිසා. 

මේ දවස් වල මගේ විනෝදාංශය වෙලා තියෙන්නේ, දියත උයන ඉඳලා, කොස්වත්ත හන්දිය දක්වා තියෙන මාර්ගය හදන එක බලාගෙන ඉන්න එක. මටනම් ඒ වගේ සතුටක් ලබන්න පුළුවන් වෙන දෙයක් නෑ. ඒ කියන්නේ කවුරුහරි වැඩක් කරන දිහා බලාගෙන ඉන්න එක. මගේ ඔෆිස් එකේ යාලුවෝ විහිළු කරනවා "උඹට හොඳ සුපවයිසර්" වැඩක් කියලා. ඇත්තටම මම ආසයි. සිවිල් ඉංජිනියරින් වලට බොහොමයක් දෙනා අකමැතියි. ඒ වගේම් සයිට් වල වැඩ කරන අපේ ඉවාන්ලා, කලණලාගෙන් ඇහුවනම් කියයි, මේවායේ තියෙන නීරස පැත්ත. අපි මේ වැඩ කරන අතරම, ඒ-සී කරපු කාමරයේ කෙළවරක ඉඳන් බලනවා වගේ නෙවෙයි ලංකාවේ සයිට් එකක වැඩ කරනවා කියන්නේ. මොකද එක පැත්තකින් ලෝක අණ්ඩපාල සෙට් එකක් එක්ක වැඩ කරන්න සිදු වෙන එක. අනිත් පැත්තෙන් ආරක්ෂාව ගැන නොසිතා එහෙ-මෙහෙ රිංගන්න ගිහිං සිදු වෙන විපැත්ති. මේකත් අර ගල්වඩු බාස්ගේ කතාව වගේ තමයි. අනෙක් අය කරන වැඩේ ශෝක් කියලා හිතෙන්නේ ඒ වැඩේට බැහැලාම බලපුවාම.

මේ බ්ලොග් පොස්ට්දාන්න ඊයේ හවස සුදානම් වෙච්ච වෙලාවේ, බ්ලොගර් උන්නැහේ තමන් විසින් හඳුන්වා  දෙන්නට යන අලුත්ම ෆීචර් එකක් ගැන පොඩි ඇඩ් එකක් දැම්මා. මමත් ඒකට අහුවුණා. මේක තමයි ෆොටෝ එකක් බ්ලොග් පොස්ට් එකට කෙලින්ම ඇදලා දාන්න පුළුවන්කම. වැඩේ ලේසි හින්දා මාත් අත්හදා බලන්නත් එක්ක මේ වැඩේ කළා. වැඩේ තියෙන්නේ මට ගන්න ඕනේ වුනේ මගේ ෆෝන් එකෙන් පාරේ වැඩ කරන කිහිප දෙනෙකුගෙන් යුක්ත පින්තූරයක්. මම ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික සුපුරුදු කොපි කරන ෆෝල්ඩර් එකට කොපි කළා. එතන ෆොටෝස් දහස් ගණනක් තියෙනවා. දැන් මට උවමනා අර ෆොටෝ එකම මේකට දාන්න. ඉතිං මම කලේ ෆෝන් ෆොටෝස් තියෙන ෆෝල්ඩර් එක ඇරලා අර පින්තූරේ ඇදලා දැම්මා. එක පාරක් දැම්මට ආවේ නැති හින්දා, තවත් වතාවක් දැම්මා. ඊට පස්සේ මම කොහොම හරි පුටුවෙන් නැගිටලා වෙන වැඩකට ගියා. ඒකට යන කාලෙන් ප්‍රයෝජනයක් ගන්න. ඇවිල්ල බලනකොට ඒ ෆෝල්ඩර් එකේ තිබුණ ෆොටෝ වලින් භාගයක් පොස්ට් එක ඇතුලේ. අන්තිමට මම මේක නවත්වන්න. පොස්ට් එක ක්ලෝස් කළා. එතැනින් වැඩේ නැවතුනත් ආපු ෆොටෝ අයින් කරන්න අද උදේ මිනිත්තු විස්සක් විතර ගත කළා. අපිට අවශ්‍ය දෙයක් නම් මෙහෙම ඉක්මනට වෙයිද ?

ඒකෙන් පස්සේ මම ඇවිත් තියෙන පින්තූර ටික දිහා බැලුවා. කාලෙකට කලින් ගත්ත ඒවාගෙන් මේ මාතෘකාවට අදාලා ඒවා ඉතිරි කළා. අපි එහෙනම් ඒ පින්තූර ටික පොඩ්ඩක් බලමු. පින්තූරයක වචන දාහකට වඩා වටිනවා කියලා කියමනක් තියෙනවා නේ. මුලින්ම තියෙන්නේ ඛේත්තාරමේ මැච් එකක් බලන්න ගිය වෙලාවකගත්තුෆොටෝ එකක්. මම වගේ ක්‍රිකට් පිස්සෙකුට නම් ඉතිං ක්‍රිකට් මැච් එකක් බලන්න තියෙනවනම් තව වෙන මොනවද ? බලාගෙන ඉන්නවා. අරෙහෙම අරයා අවුට් වෙලා, මෙයාට ලකුණු ගන්න බැරි වෙලා මැච් එක දිනයි කියල. සමහර අපි ක්‍රීඩා කරපු මැච් වල අවුට් වෙච්ච් විදිය හිතලා. ඒ බෝලෙට මෙහෙම ගැහුවනම් කියලා. සෙන්චරියක් ගහනකම්ම හිතනවා. මැච් එකක් ඉවර වෙලා දවස් ගාණක් යනකං මේ පසුතැවිල්ල තියෙනවා. බලාගෙන යනකොට ඒකත් එක බලා හිඳීමක් තමයි.


a painter painting a wall with the aid of deck hold using two ropes by fellow workers who are on top floor is a life risk no safety first at all
පලංචියේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ .....

 මේ පින්තූරය ගත්තේ අපේ බැංකුවේ ක්‍රිකට්ර්ලාගේ හමුවක් මීගමුවේදී පවත්වපු වෙලාවේ. එදා රෑ මීගමු කලපුව හෝ වෙරල දිස් වූ අකාරය තමයි මේ. මේ වගේ නිස්කලංක වෙලාවකත්, මැසි මදුරු කරදර නැතිනම්, ඕනෑතරම් වෙලා බලා හිදීම කරන්න පුළුවන්. 
sanda eliya muhudata watee thibena darshanayak
සඳ දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ .....


 මේක අපේ ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානයේ සුහද හමුවක් වෙලාවක ගත් ඡායාරුපයක්(ඩිජිටල් කැමරා වලින් ගන්න පින්තූර වලට ඡායාරුපයක් කියන එක හරිද මන්දා). මේ වගේ සුන්දර ලඳුන් පිරිසක් දිහා ඇහැ අහකට ගන්නේ නැතිව බලාගෙන ඉන්න පුළුවන් ටිකක් ඈතට වෙලා. සෞන්දර්යාත්මක ඇසකින් මේක දකින්න ඕනේ, කාමුක ඇසකින් නොවේ. ඔබට කැමති ඇසකින් බලාගන්න.


kello pond eken wathura purawanawa kukku penawa
සීගිරි සුකුමාලියේ පෙර රජ සමයේ, මතකද අපි පා වුණා පෙම් අම නදියේ ......

මේ පින්තූරය දිහා බලන්න මේක අපි නුවර එළියේ සංචාරයක් ගිය වෙලාවක ගත්තු එකක්. මේක දිහාත් මම බොහෝ වෙලාවක් බලාගෙන හිටියා. මෙතන හරි අපූරු නිර්මාණයක් තියෙනවා. ඔබට මොනවද මේ ගැන හිතෙන්නේ ?


DIY effort making car shutter handle
කැරකෙන රෝදේ පුංචි කරහ්ත්තේ ඉඳගෙන මම ඉන්නේ ......

මේවාත් කලින් සංචාරය වෙලාවේදී ගත්තපින්තූර. මේ වගේ කඳු වැටියක් දිහා ඕනෑතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්.
mountain range nawalapitiya
සීත සුළං අවට හමන්නේ ....

කළින් කියපු නුවර එළියේ සංචාරය අතරමැද අපි නාවලපිටියේ තැනක නාන්න සෙට් වුණා. හරි අපූරු තැනක්. මේ වගේ ලස්සන දිය ඇල්ලක් වැටෙන තැනක ඕනෑතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් මටනම්. ඔබට කොහොමද ?

small waterfall navalapitiya
සඳදිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ ..... /
 සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ - සඳ පාන තියෙන රැක නොයන්නේ ....

gentle waterfall nawalapitiya sri lanka
සිලි සිලි සීතල ඇල්ලේ .... දිය සැලි සැලි යයි නැළවිල්ලේ ...... 




carrot farm in nuwara eliya sri lanka bio agriculture healthy food
කඳු මුදුනේ බීට්රූට් වැවීලා ... සිරි සාරි සරු සාරයි කන්ද උඩ රටේ ......
මේකත් ඒ සංචාරයේම අත්දැකීමක්. ජීවිතයටම අමතක නොවෙන එකක්. මගේ මිතුරු සුභාෂ්ගේ කාර් එකේ සිසිලන පද්දතියයි, ගියර් සිස්ටම් එකයි එක පාරටම අවුල් වුණා. තැන්නේ හොඳින් දුවන කාර් එකක් කඳුකර පෙදෙසකදී දුවත්දී එන්ජිම රත් වීම අහන්න දෙයක් නෙවෙයි. හැබැයි ගියර් වැටෙන්නේ නැතිව ගිහින්, අතින් ගියර් එක දාගෙන තමයි ගමන ගියේ. මුලින්ම අපිට මේක කියලා දුන්නේ ත්‍රී වීල් රිපෙයාර් කරන මල්ලි කෙනෙක්. පස්සේ පහුවෙනි දවසේ හදා ගන්නකම් එහෙම තමයි දිව්වේ. එන්ජිම රත් වුණාම මග නවත්වනවා, නැවත්තුවාම ගියර් දාන්නේ බොනට් එක උස්සලා අතින්. මේ වගේ වෙලාවකත් කැමති වුණත් අකමැති වුණත් බලාගෙන ඉන්න වෙනවා. සමහරුන්ට මේක කට්ටක් වුණාට, මේවා සුන්දර ඇබැද්දි විදියටයි මම සලකන්නේ. ඒ වුණාට මහ රෑ නුවර එලිය වගේ පැත්තක, නා කපන වැස්සක තෙමි තෙමී ඉන්න ගියාම සීතල කට්ටක් තමයි. නමුත් ජීවිතයට මේ වගේ අත්දැකීම් නැත්නම් වැඩක් නෑ.

car repair raining cooling system problem scare of leeches
ලොරි භාගේ මග හිටියා එනකොට රෑ යාමේ..... (යාලුවා දැක්කොත් ඉවරයි)
මේක අපි වෙනත් සංචාරයක් යත්දී ගත්ත පින්තූරයක්. මම හිතන්නේ මොනරාගලත් - සියඹලාණ්ඩුවවත් අතරේ තැනක තියෙන පුරා විද්‍යාත්මක ස්ථානයක්. මෙතන ඇතුලට ගියාම අපූරු සෙල්මුවා නාන තටාකයක් තියෙනවා. මේ වගේ වෙල් යායක් තියෙන නිස්කලංක පරිසරයක් දිහා බලාගෙන ඉන්න බැරිද ? මමනම් හරි ආසයි.

sri lankawe aithihasika sthana uva wellassa siyambalanduwa nidan wadula
දුර පෙනෙන තැනිතලා .... අනුරාධපුර දිහා ....

කැලෑවට හැදෙන මේ වගේ සොඳුරු මල් තවමත් අපේ රටේ ඇතුලට වෙන්න තියෙනවා.
wild flowers yellow red fern family
කැලෑ මලේ කොහේ ගියාදෝ .... නිවාඩුවට ගමේ ගියාදෝ.....
මේක මගේ ෆෝන් කැමරාවේ තියෙන ෆීචර් එකක් භාවිතා කරලා පසුව සකසපු එකක්. ඒකෙ තියෙනවා Colour Props කියලා ඔප්ෂන් එකක්. එකෙන් පුළුවන් එක තැනක වර්ණයක් තෝරලා, ඒක විතරක් ඒ වර්ණයෙන්ම තියලා අනික් හරිය කළු-සුදු කරන්න. මේ පැලැටිය රතු තමයි. ඒත් අපි මල් වර්ගයක් විදියට වවන තවත් පැලයක් රතු පාටට කිට්ටු වර්ණයක් ගන්න නිසා, ඒවත් වර්නවත්වම පේනවා.  මේකට හරි යන ගීතයක් තමයි හොයා ගන්න බැරි. අපේ සින්දු ඇනෝ මල්ලිට පුළුවන් වෙයිද උත්තරයක් දෙන්න.

a deadly red plant maranthika rathu palatiya

මේ පින්තූරය හරි අපූරු ස්ථානයක ගත්තේ. බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන චිත්‍රපටිය රූගත කරපු ස්තනනය. මේ වගේ ලස්සන නදියක් ලඟට වෙලා පැතලි ගලක් අරගෙන වතුර පහරට ගහලා, ගෙම්බෝ පනින්න වගේ පැන පැන යනවා බලා ඉන්න මම පුංචි කාලේ හරි ආසයි. මල්ලක් පුරවලා ගල් අහුලාගෙන ඇල අයිනට ඉස්සර ගියේ මේ වැඩේට.
ගඟ තවම තරුණයි ......

place where bridge on the river qwai made
කළු කැළණි නදී ගලා යාවී .... හෝ ... හෝ... මනහර සිරිය ලංකාවේ .... ලංකාවේ..
බ්‍රිජ් ඕන් ද රිවර් ක්වායි චිත්‍රපටයට හදපු පාළම තැනීමේදී කළුගල් විද දමා තිබු වානේ කම්බි තවමත් එම ස්ථානයේ දකින්න පුළුවන්.

Making bridge on the river qwai over kelani river english film makers drilled granite put these iron hooks
මේ තරම් සියුමැලිද කළුගල් ......
nisala nadiya නිසල නදිය calm river
ගඟ අද්දර මා සිහිල්සෙනෙන් සැනහේ .....
මේ පින්තූරය මට කවදාවත අමතක නොවෙන තැනක්. මේක 1989 දී තිබුණ පෙනුමෙන්ම තවමත් තියෙන එක එක්තරා අතකට පුදුමයට කාරණයක්. මොකද යුද්දේ ඉවර වුණාම කොළඹ සීඝ්‍රයෙන් වෙනස් වුණා. නමුත් මේ කඩ කාමරය අට දෙනෙකුගේ නිවහනක් වෙලා තිබුණා. මගේ ප්‍රථම ප්‍රේමය ගැන පොස්ට් එක කියවපු අයට මතකනම් මම කියපු බොරැල්ල හරස් පාර පටන් ගන්න තැන තියෙන පුංචි කඩයක උඩුමහල මට මාස අටක් විතර කාලයක් නිවහන වුණු ස්ථානය. ජීවිතය පිලිබඳ වැදගත්ම පාඩම් ඉගෙන ගත්තු කාලපරිච්චේදයක්.
very old boutique near borella LRH water tank cross road more than 100 years

මෙන්න මේ කතාවත පාදක වුණේ මේ කඩ පේලියේ ගත කළ කාළය : බොරැල්ලේ සිර කරුවෙකු වීමි III කොටස - මගේ ප්‍රථම ප්‍රේමය.
මේ පින්තූරේ ගන්න ගිහින් තමයි මේ අටොරාෂියක් පින්තූර මෙතනට වැටුණේ. මෙන්න මෙහෙම පාරේ වැඩ කරන ඒවා, ගෙදර මේසන් බාස්ලා වඩු බාස්ලා වැඩ කරන ඒවා බලාගෙන, ඒ අයත් එක්ක සල්ලාපයේ යෙදෙන එක තමයි මගේ පොඩි කාලේ විනෝදාංශය වෙලා තිබුණේ. දැන් කියලත් මහලොකු වෙනසක් නෑ. එයාලගනේ ප්‍රශ්න ටිකක් අහලා, දැනුවත් වෙන එක මගේ පුරුද්ද.

road workers working near pedestrian walking battaramulla

Monday, November 16, 2015

සුන්දර ඇබැද්දි අංක 1 : වැහිකාලේ - බර කාලේ ......

 සිංහල බ්ලොග් අවකාශයම මේ පසුකරමින් යන්නේ නිද්‍රාශීලී යුගයක් (Ice Age ) කියලා හිතෙන තරමට මෙහි බ්ලොග් සටහන් වැටීම අකර්මන්‍ය වෙලා. මම නිරතුරුව පොස්ට් එකතු නොකරන නිසාම නෙවෙයි. නමුත් අප මෙහි පැමිණි 2012 කාලය සහ ඉන්පසු අවුරුද්ද වූ 2013 කාලයේ කෙතරම් වේගයකින් එකල උන් සියළු දෙනා බ්ලොග් සටහන් එකතු කළාද යන්න එවක සක්‍රීයව සිටි සියල්ලන්ට නොරහසක්. එසේ වුයේ කුමන හේතුවකින්ද යන්න සොයාබැලීම මේ සටහනේ අරමුණ නොවේ. 

මේ දිනවල ලංකාවේ බොහෝ පළාත් වලට නොකඩවා ඇදහැලෙන වර්ෂාව මෙහි වෙසෙන ඔබසැමද මම මෙන් අත්විඳින්නට ඇතැයි සිතමි. වැස්ස සමහරෙකුට ආශිර්වාදයක් වනවිට, තවත් කෙනෙකුට ශාපයක් වේ. සමස්තයක් දෙනාට මෙය කටුක අත්දැකීමක් බව නොරහසකි. අපගේ ගෘහ සේවිකාව වන අයිල් දවස් දෙකක නිවාඩු ඉල්ලා ගිය ගමන සතියක් දක්වා දීර්ඝ විය. ඒ කාලයේ මාගේ දියණියගේ කටයුතු සියල්ල සිදු කිරීමට මා හට සිදු වීම නිසා නිවාඩු ලබාගෙන නිවසෙහි උන්නෙමි. ඒ සිටින විට රූපවාහිනියට නිරතුරු දෑස් යොමු කරමින් ඇඳෙහි සයනය කරනවිට ඉහත කී නිද්‍රාව පරදින දැඩි නින්දකට වැටීම නොවැලක්විය හැකිය. එසේ නින්දට වැටුණු පසු අවධි වන සෑම මොහොතකම නැවතත් දෑස් පියවෙයි. බ්ලොග් ලිවීමටද වුයේ එයමය. ලියන්නට අවශ්‍ය යයි සිතා පරිගණයක ඉදිරියේ හිඳගත් සෑම මොහොතකම පෙරකී නිද්‍රාශීලී බව එය යටපත් කළේය. 

සියළු දේ සදාකාලික නොවේ යන සත්‍යය පසක් කරමින්, කොයි මොහොතේ හෝ අප සැවොම පුරුදු පීල්ලට වැටෙන්නේය. ඒ මොහොත සියල්ලන්ට එකලෙස උදා නොවේ. අද එයට අවශ්‍ය කාලය, ද්වීපය, කුලය ආදී පස්මහා බැළුම් සියල්ල එකතැන් කරගැනීමට හැකි විය. එය නිරායාසයෙන් සිදු වුවකි. මෙම බ්ලොග් අඩවියට එකතු කරන නවමු කාණ්ඩය වූ "සුන්දර ඇබැද්දි" එකතු වන්නේ පසුගිය දින කිහිපය ඇවාමෙන් පිළිසිඳගත් අදහස් ගොන්නක් මල්පල ගැනීමක් ලෙසය. සුන්දර ඇබැද්දි කී විගස ඔබේ සිහියට එන්නේ මොනවාද ? සරලව යම් කෙනෙකු මුහුණ දුන් කරදරකාරී සිදුවීමක්, පසුව මෙනෙහි කරනවිට ඇති රසවත් බවය. මෙවැනි අත්දැකීම ඔබටත් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මේවා සිදු වූ ආකාරයෙන්ම ඉදිරිපත් නොකලද කාළයට අනුරූපව මතකයට නැගෙන පරිද්දෙන් ඉදිරිපත් කරන්නට සිත් විය.  

අද මා කියන්නට යන ඇබැද්දියට මුහුණ දෙන්නෝ පිරිමි පාර්ශවය වන අපය. කාන්තාවන් මේ පිලිබඳව ඇති සැලකිල්ල නිසාම ඔවුන්ට මේ ඇබැද්දි වලට මුහුණ දීමට සිදු නොවේ. සිදු වුවත් වන්නේ බොහොම කලාතුරකිනි. ඒවාට ආවේණික හේතූන් ඇත. කාන්තාව නිර්මාණය කර ඇත්තේ වෙසෙස් දරා ගැනීමේ හැකියාවක් සමග බව දිනක් මා සමග බසයේ එකම අසුනේ උන් මගේ මිතුරෙකු පැවසුවේ, හිස් වන අසුනට පොරකා පිරිමින් රිංගන විට, ඒ ගැන අඩු සැලකිල්ලක් දක්වා තමන් සතු මලු කිහිපයක්ද දරාගෙන හිටගෙන උන් මැදිවියේ කාන්තාව මුහුණ දෙන අපහසුතාවය පිලිබඳ මා දැක්වූ අදහසට පිළිතුරු දෙමිණි. නමුත් සොබාදහම ඔවුන්ට දරා ගැනීමට නොහැකි දේ කිහිපයක්ම නිර්මාණය කර ඇත. මා ඒවා පිලිබඳ මෙහිදී සඳහන් නොකරන්නේ, දැලි පිහියෙන් මී කිරි කෑම කොහොමත් අනතුරුදායක නිසාය.  

කාන්තාවන් මුහුණදෙන සුන්දර ඇබැද්දිය ලෙස පතල පිළිසිඳ ගැනීම මා කියන්නට යන කතාව හා පටලවා ගතයුතු නොවේ. මේ කතාව කියනවිට බොහෝදෙනාගේ මතකයට එන කාරණාව එය වුවද, ඔවුන්ට එය දරා ගැනීමට මනා ශක්තියක් සපයා ඇත. එනිසා එයත් මා මුහුණදුන් අත්දැකීමත් වෙනස් කාරණා දෙකකි. වැහිකාලයත් සමග ගහට පොත්ත මෙන් සබඳතාවක් ඇති මහා බරක් ගැන ඔබට සිතා ගත හැකිද ? අහස වලාකුලින් බර වීම, නිවෙස් වල වහලවල් බර වීම, ඇඳ සිටින ඇඳුම් තෙතබරිත වීම. මේවා ඔබගේ හිතටත් එන්නට ඇති. නමුත් මේක මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට කීවාක් සේ ඇතිවන බරකි. 

මා උසස්පෙළ ආරම්භ කල කාලයේද අද මෙන් එකදිගට වැසි ඇදහැලෙන්නට විය. සෙනසුරාදා ටිල්නි ද සිල්වා ගුරුතුමාගේ භෞතික විද්‍යා පන්තියට කළුතර යා යුතුය. නිවසේ සිට කිලෝමීටර් දහතුනක දුර ගෙවා දමන්නට එකල අප ගමන්ගත් 30 ශ්‍රී 155 නොහොත් 155 පාසල් බස්රථය ගත්තේ මිනිත්තු විසිපහක කාලයක් වුවද, බට්ටෝ බස් එක නොහොත් ඉසුසු එල්ෆ් වැන් කටුවක් ගන්නා කාලය මිනිත්තු හතළිස්පහක් හෝ පැයක් වේ. එකල මේ බස්රථ හා බැඳී වෙනමම සංස්කෘතියක් විය. ඉදිරි අසුනේ හිඳ ගැනීම වෙනමම සටනකි.  එම මගී ප්‍රවාහනය සමග අත්වැල් බැඳගත් ජැක් සංස්කෘතිය අනෙක් කාරණයයි. එකල ඒවා සුලබ කරුණුය. තමාට ජැක් තැබුවේ කවුද ? තමා ජැක් තැබුවේ කාටද යන්න රහසක්ව පවතී නිසා දෙපාර්ශවයම මෙහිදී යම් එකඟත්වයක් දැක්වූ බව නොරහසකි. නමුත් මා කියන්නට යන සුන්දර ඇබැද්දිය මෙය නොවේ. 

පෙරකී ප්‍රවාහන අපහසුතාව නිසාම සවස එකට පැවැත්වෙන පන්තියට මා නිවසින් පිටත් වන්නේ පෙරවරු 11:30ට පමණය.  සෙනසුරාදා උදෑසන කොහේ හෝ රස්තියාදුවක යන මා හැල්මේ නිවසට දිව එන්නේ පන්තියට දිව යාමේ දැඩි අවශ්‍යතාවය නිසාය. ක්‍රෂ් එකක් යනු කුමක්දැයි නොදන්නා සමයක මට ක්‍රෂ් එකක් සිටි බව මේ මොහොතේ මගේ මතකයට නැගේ. ඒ මාගේ ගණන් සැදීමේ දක්ෂතාවය නිසාය. මා සමග පන්තියේ උන් සෙසු අය සමග සසඳන විට අඩු ප්‍රියමනාප පෙනුමක් තිබූ මාහට කෙල්ලක් ආකර්ෂණය වීමට වෙනත් සාධාරණ හේතුවක් නොවිණ. මා පන්තියට දිව යන්නට තිබු ඉන්සෙන්ටිවූ එක එය විය. නමුත් කෙල්ලන් සමග කථාවට මා දැක්වූ බියසුලු ස්වභාවය එය යථාර්ථයක් බවට පත් කිරීමට ඉවහල් නොවිණි.  එසේනම් මා කියන්නට යන සුන්දර ඇබැද්දියට එයද හේතුවක් නොවිණි.

මාගේ රචනා කියවන සහෘදයෙකු "සුදීකත් පඳුරු තැලිල්ලට දක්ෂයි" යයි වරක් ප්‍රකාශ කළේය. එහි තිබෙන අල් තයන්නෙන් කියවෙන්නේ තමාද එයට දක්ෂ බව නොවේදැයි මට සිතේ. ඔය අල් තයන්න දමන බොහෝ දෙනා ඉන් අදහස් කරන්නේ ඔයාටත් මට වගේම පුළුවන් බවය. ඒ ගැන පොඩ්ඩක් සොයා බලන්න. උදේ 11:30 ට නිවසින් පිටවන මා අම්මා භාගෙට උයන ලද බත් සහ එක් මාලුවක් හෝ දෙකක් සමග උණු උණුවේම බත් ගුලි කිහිපයක් ගිල දමන්නේ කිඹුලා කිරිමැටි ගිලීම සිහිපත් කරමිනි. එහි කිසිදු රසයක් දැනෙන්නේ නැත. කට පිච්චීම සහ බඩ පුරවා ගැනීම හැර ඇති දෙයක් නැත. ඉතින් සුන්දර ඇබැද්දිය එයද නොවේ. හිතවත් කියවන සහෘදයිනි, මා තවත් ඔබ වෙහෙසට පත් කරන්නට බලාපොරොත්තු නෙවෙමි.  එකොළහයි තිහට ගෙදරින් පිටත් වන මා එකොළහයි හතළිස්පහ වනවිට අලුත්ගම බස් නැවතුම් පොළේය. පයින් ගමන් ගන්නා දිනකද, බසයෙන් යන වැහි දිනකද එසේය. වේගයෙන් ඇවිදීම අපේ පරම්පරාවේ පුරුද්දක් බව පවසන්නේ අසල්වසියන්ය.

බස්රථයේ ඉඳගෙන සිටින විටද පුංචි මුත්‍රාබරක් දැනුනද, ඉදිරි පේලි වල බංකුවක හිඳ ගැනීමද, පෙරකී ගැහැණු ළමයා අසලින් ගැවසෙන බංකුවක් වීමද අත්‍යවශ්‍ය සාධකයක් විය. නමුත් ඒ සඳහා මා හිතනවාටත් වඩා මාගේ මිතුරන් වන දයාරත්න, ජයවික්‍රම, පූජිත, සහ ජනක පරිශ්‍රමය දැරීය. මට තිබුනේ ඔවුන් පෙන්වන තැන හිඳ ගැනීමය. අර ළමයා හොරැහින් මා දෙස බලන බව ඔවුන් සාක්ෂි දරයි. නමුත් එකල මගේ සිත පැහැරගෙන තිබුණේ වෙනත් කෙනෙකි. ඒ ගැන පසුව කථා කරමු. පස්වරු දොළහයි තිහ වන විට මා පන්තිය පැවැත්වෙන කළුතර බාලිකාව පිටුපස ඇති ස්ථානයට ලඟා වුනෙමි. මිතුරන් සමග අල්ලාප සල්ලාපයෙන් පසුව පන්තියට රිංගා ගත්තේ, පෙරකී සුදුසු අසුන ස්ථිර කර ගැනීමටය. ඉන්සෙන්ටිවූ එක අසලම අසුන(බංකුවේ කෙලවර) මට වෙන්කරගෙන මා මිතුරු ජයවික්‍රම බලා හිඳී. මා ලඟා වනවිට ඇසෙන් ඉන්සෙන්ටිව් එක පෙන්වූ හෙතෙම සිනහව ගිලගෙන සිටී. මා තනිකර එලියට යන්නට ඔහු සහ දයාරත්න සුදානම් වුවද, මාද ඔවුන් පසුපස වැටී එලියට පනින්නේ ඔවුන්ගේ නොවක් බැනුම් මැදය. පෙරකී මුත්‍රබර තිබුනද එය පන්තිය අවසානයට කල් දැමු මම පන්තියට රිංගා ගතිමි.
පින්තූරය ගත්තේ : gossiplankahotnews.com

පන්තියේ වැඩකටයුතු වලට යොමු වූ විට මා කිසිදු කාරණයක් ගැන සිත් යොමු නොකලද, මගේ මිතුරන් පිරිස ඇයගේ හැසිරීම අධ්‍යනය කරති. ගුරුතුමා වැඩදමා කියාදෙන දේ තේරුම් ගෙන ඔහු ඉදිරිපත් කරන ගැටළු මුලින්ම විසඳීමේ අරමුණ හැර වෙනෙකක් මට නැත. එතුමාට කලින්ම උත්තරය කියන්නට සැදී පැහැදී කණ්ඩායමක් සිටියද, මා කරන්නේ උත්තරය මගේ මිතුරන්ට පැවසීමය. මේ පවසන දෙයට සවන් දීමට තුන්වන පාර්ශවයේ කෙනෙකුද අප අසල වේ. ඒ පෙරකී ඉන්සෙන්ටිවූ එකය. මගේ මිතුරන් පවසන කාරණාව සත්‍යයක් බව වැඩි දිනක් නොගොසින්ම මටද පසක් විය. නමුත් මා කුමක් කලයුතුද යන්න මට හැඟීමක් නැත. මෙය අහම්බයකි. මගේ සිතේ වෙනත් බලාපොරොත්තුවකි. මේ කෙලීගේ තොරතුරු සම්පාදනය කලේ නාලන්දයට යන අප හා පන්තියට එක වූ වෙනත් මිතුරෙකි. ඔහු කලින් අප පාසලේ සිට ඇත. බාලිකාවේ සිටින තමන්ගේ සොයුරිය හරහා මේ තොරතු අප වෙත සම්ප්‍රේෂණය වෙයි. නමුත් බීරි අලින්ට වීනා වාදනය පලක් නැත. මගේ බලාපොරොත්තුව ගැන ජනක හොඳින් දන්නා නිසා මෙය නොකෙරෙන දීගයක් බව සැමට පවසා ඇත.

පන්තිය පැවැත්වෙත්දීද, පන්තිය අවසනද චුරු-චුරු වැස්ස එකදිගට අැද හැලිනි. ඒ ගැන අපට නිනව්වක් නැත. මුත්‍රා බර නොහොත් චූ බර සැහැල්ලු කර ගැනීමට නම් තවත් බොහෝ වෙලාවක් බලාගෙන සිටිය යුතුය. එයට කල් ගතහොත් අලුත්ගම බලා ගමන් ගන්නා බස් රථයේ තිබෙන සොමිය මිස් වේ. කළුතර විද්‍යාලයේ අපගේ කණ්ඩායම සහ හොඳින් පෑහුණු අලුත්ගම විද්‍යාලයේ කණ්ඩායම එක් වී සංගීතයක් දමයි. ඒ අතර යන උසුළු විසුළුද මේ සමාගම තවත් ප්‍රිය වන්නට හේතුය. මේ අතරට කොළඹ පාසල් යන කිහිප දෙනෙකුද එක් වූ විට මුළු බස් රථයේම පාළනය අප අතේය. කොන්දොස්තර මහතාද අපව හොඳින් හඳුනයි. සීසන් එකෙන් ගමන් ගන්නා අප පවත්වන සංගීත සාජ්ජය ඔවුන්ද ප්‍රිය කරයි. මා සිටියේ හිඳගෙනය. බස් රථය කටුකුරුන්ද, පයාගල, මග්ගොන පසුකර බේරුවළට ලඟා වෙත්ම සෙනග භාගයට අඩු වේ. බොහෝ දෙනාට අසුන් ලැබීමත් සමග සංගීතයද බේරුවළින් අවසන් වේ. මගේ යටිබඩ ප්‍රදේශයේ හැගීම් දැනීම් දැන් නොදැනෙන තරමට මගේ චූබර උත්සන්න වී ඇත.

මා සමග ගමන් ගන්නා චමින්ද සහ ජනක බැස ගිය පසු මගේ සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාව වැඩි-වැඩියෙන් දැනෙන්නට විය. බැරිම තැන මොරගල්ල මාර ගහ අසල ඉස්කාගාරය අසලින් බසයෙන් බැස ගතිමි. මා බහින විට බස් රථයේ වූ අජිත් ගාමිණි "මොකද ගෙවල් මාරු කරලාද ?" යනුවෙන් ප්‍රශ්න කලද, ඔහුට උත්තරයක් නොදී අත වනා බසය ගියපසු හෙමින්-හෙමින් සෙනග නැති අඳුරු මුල්ලකට රිංගා මගේ අවශ්‍යතාව ඉටු කර ගතිමි. එය කෙතරම් සැහැල්ලුවක්දැයි ඔබට අමුතුවෙන් විස්තර කල යුතු නැත. මා මෙතරම් වතුරක් බිව්වාදැයි හිතෙන තරමටම එය දීර්ඝ විය. එය අවසන් කර පාරට පිවිසෙන විටම තවත් ලංගම බස් රථයක් ලැබුණේ මගේ වාසනවකටය. මුත්‍රාශය හිස් කලද එතැන ගල්ගෙඩියක් ඔබා ඇති සෙයක් තවමත් දැනේ. එය යථා තත්වයට පත් වීමට තවත් පැයක් දෙකක් ගත වේ. ගෙදර ගොස් මේ ඇබැද්දිය පැවසු විට දෙකන් පිරෙන්නට අම්මාගෙන් බැනුම් ලැබිණි.

මෙවැනි සුන්දර ඇබැද්දි වලට ඔබසැම මුහුණ දී ඇතුවාට කිසිම සැකයක් නැත. මේ ඒ මොහොතේදී කෙතරම් වෙදානතමක වුවද, පසුව ස්මරණය කිරීමේදී සොඳුරු මතකයන්ය. දෙවෙනි මතකය මෙහි ලීවොත් ඔබ මට දොස් නගනවා ස්ථිරය. එය ඊළඟ කොටසට. 

Tuesday, November 3, 2015

ලොල්ද මන්දා අංක 21 : වාහනේකට යන හරි පාර ......

මේ දවස් වල රුපවාහිනී නාලිකා වල නිතර දකින්නට ලැබෙන වෙළඳ දැන්වීමක් තමයි එල්.ඕ.එල්.සී එකේ මෙන්න මේ පහලින් තියෙන වෙළඳ දැන්වීම. 
මේ දැන්වීමේ තියෙන විශේෂත්වය තමයි. එන එන හැම කෙනාම එල්.ඕ.එල්.සී. එක හොයාගෙන යන එක. මේ දැන්වීම හදන්න ඇත්තටම හේතු වෙලා තියෙන කාරණය දන්නවද ? මම මේ ගැන පොඩ්ඩක් හොයා බැලුවා. 

එල්.ඕ.එල්.සී. එක තියෙන්නේ නවම් මාවතේ නේ. ඉතිං ගාලු පාරේ එන බස් වලින් එන උදවිය තමයි මෙහෙම ත්‍රී වීල් වලින් එල්.ඕ.එල්.සී. එක හොයාගෙන යන්නේ. මම දවසක් මේකේ ඇත්ත නැත්ත හොයන්න නවම් මාවත පැත්තේ ත්‍රී වීල් පදවන කිහිප දෙනෙකුගෙන් අහලා බැලුව. බැලුවම කතාව ඇත්ත. බහුතරයක් දෙනා ඇවිත් තියෙන්නේ කොස්ගොඩ, බලපිටිය, ඌරගස්මංහන්දිය, අහුන්ගල්ල, දොඩන්දූව, අම්බලන්ගොඩ පැත්තෙන්. බැලුවම මගේ ගමට අසල්වැසි ගම් සෙට් එක. මේක අහපු වෙලාවේ ඉඳලා මම කල්පනා කරන්න පටන් ගත්තා මේ අයට මොකක්ද තියෙන විශේෂත්වය කියලා.

කොස්ගොඩ, බලපිටිය, අහුන්ගල්ල, ඌරග්ස්මංහන්දිය, අහුන්ගල්ල, දොඩන්දූව, අම්බලන්ගොඩ කියන ගම් හෝ නගර ටික ගත්තම වැඩි දෙනා කරන්නේ සංචාරක කර්මාන්තයට සමීප රැකියාව, නැතිනම් මාළු වෙළඳාම හෝ මුහුදු යාම, ඌරගස්මංහන්දිය පැත්තේ අයනම් කුරුඳු වගාව, රබර් වගාව වගේ දේවල්. එහෙනං මේ ක්ෂේත්‍ර වලට අදාළ ණයක් තමයි දෙන්න ඇත්තේ. හැබැයි එහෙම වුණත් මේ නිර්ණායකයට අහු වෙන තව බොහෝ ගම් තියෙනවා. ඒ ගැන විස්තර කරන්න අවශ්‍ය නෑනේ.

මගේ අනන්තවත් මිතුරන් හිටියා මේ ගම් වල අය. ඒත් ඒ සබඳතා ජංගම දුරකථන එන්න කලින් ඒවා නිසා කාගේවත් දුරකථන අංකයක් මා ළඟ නෑ. නැතිනම් රිවරිනා එකේ ප්‍රේමදාස - හරි අපූරුවට රඟ දක්වාලා කථා කියන්න සමත් කෙනෙක්, ලකී, මැයියා ( මැයියා කියන්නේ ඒ පැත්තේ භාෂාවෙන් මල්ලිට. දවසක් පුෂ් බයිසිකලයේ, මැයි මාසයේ දවසක මාව තියාගෙන මැයියා පැදගෙන යත්දී මම ඇහුවා "මේ මොන මාසෙද මැයියෝ" කියලා. ඒක අහලා ඒකට හිනාව නවත්ත ගන්න බැරුව ගිහිං තව පොඩ්ඩෙන් අපි හැපෙනවා වාහනයක). මගෙත් එක්ක එන්.අයි.බී.එම් ගියපු ප්‍රසාද්(මේකා ගැනනම් පොස්ට් එකක් ලියන්න කාරණා තියෙනවා - එහෙම කියපු කීයක් මට ලියන්න අමතක වෙලා තියෙනවද කියන එක වෙනම කාරණාවක්). තවත් බොහෝ අය ඉන්නවා. මේ ඕන කෙනෙකුට කථා කරන්න තිබුණා. 

හැම දේටම කළින් එක දෙයක් කියන්න ඕනේ.මේ  ගම් වල ඉන්න  මිනිස්සු හරිම හිත හොද අය. මිතුරු කමක් ඇති කර ගත්තොත් බොක්කෙන් ෆිට් වෙන මිනිස්සු. ඒ හිත හොඳ කම නිසාම තමයි කවුරු හරි ජරා වැඩක් කළොත් එලෝ කෝටියට තද වෙන්නේ. ඒ වගේම තමයි පොඩි කේස් එකකටත් කඩු කිණිසි අතට ගන්න මිනිස්සු මේ පැති වල ඉන්නේ. ගෑණු පිරීමි බේදයක් මේකට නෑ. ඒ ගම් වල ඉන්න අය ගැන කථා කරන්නත් මේක අවස්ථාව නෙවෙයි. නමුත් මේ කතාවේදී එහෙම නොකරත් බෑ. ඒ පැති වල අයගේ කථා ශෛලිය හැම දෙනෙක්ම දන්නවා නේ. ඒක අනුකරණය කරන්න හැකියාවක් මට තියෙනවා. ඔය පාටි දාන වෙලාවක මතක් කරන්න. එහෙම කරන්නේ ඒ පැත්තේ මිනිසුන්ට හිනා වෙන්න නොවෙයි කියන එකත් මත තියා ගන්න. 

පස්සේ මම කොහොම හරි මැයියා නොහොත් අනුෂයාගේ නම්බර් එක හොයා ගත්තා. ආගිය තොරතුරු කතා කරලා ඉවර වෙලා මම ඇහුවා "මොකද මැයියෝ උඹලගේ පැත්තේ අය ගාල කඩාගෙන එල්.ඕ.එල්.සී යන්නේ" කියලා. මේක කිව්වමත් මැයියා විනාඩි දෙක තුනක් හිනාවුණා. ඊට පස්සේ මෙහෙම කිව්වා
"ඉතිං බං අයියේ උන් ණය දෙනවා කිව්වම යන්නේ නැත්තේ කවුද? අනිත් එක අපේ පැත්තේ අයටම ටාගට් කරලා උන් ඇඩ් එකකුත් ගැහුව එකේ. මීට කලින් ගිය ඇඩ් එක තමයි හේතුව"
මමත් එවෙලාවේ දන්නවා වගේ ඌත් එක්ක හිනා වෙලා පස්සේ කල්පනා කරන්න පටන් ගත්තා. මම කොහොමත් ඇඩ්වර්ටීස්මන්ට් ගැන පොඩි උනන්දුවක් තියෙන කෙනා නිසා මේ ගැන තේරුම් ගන්න වැඩි කාලයක් ගත වුණේ නෑ. 

කාලෙකට කලින් ගිය ඇඩ් එකක් තියෙනවා "වාහනේකට යන හරි පාර" කියලා කාටත් මතක ඇති. ඒ පැති වල අය වත්තේ-පිටියේ කුඹුරේ, වැල්ලේ වැඩ කරනකොට ටී වී කරේ තියාගෙන ගිහින් බල-බල ඉන්න වෙලාවක් නැති නිසා මේකේ රේඩ්යෝ වර්ෂන් එක තමයි ඇහෙන්න ලැබිලා තියෙන්නේ. කොහොමත් ඔය ඌරගස්මංහන්දිය පැත්තේ ගොවි මහත්වරු, පොළේ වෙළඳාම් කරන මහත්වරු තමන්ගේ බයිසිකලේට තමයි තියෙන වැඩ ඔක්කො දාන්නේ. ඒ කාලේ මතක නම් දෙපැත්තෙන් ගිරව් දෙන්නේ හයි කරලා. හෝන්ද, අරකද-මේකද සේරම හැඬල් එකෙයි මඩ්ගාඩ් වලයි තමයි හයි කරන්නේ. සමහරු රේඩියෝ පවා බයිසිකලයේ සවි කරපු අවස්ථා දකින්න ලැබිලා තියෙනවා. මේවා බොහෝ ගම් පළාත් වල තියෙන දේවල්. 

වැඩේ තියෙන්නේ මේ අලකලංචිය වෙලා තියෙන්නේ රේඩියෝ එකෙන් ඇඩ් එක අහපු නිසා.

වාහනේකට යන හරි පාර කියන එක එයාලට ඇහිලා තියෙන්නේ වාහේ ණයකට යන හරි පාර කියලා.
 ඒ පැතිවල අය මුණගැහිලා නැති අයගේ ප්‍රයෝජනය සඳහා : වාහේ කියන වචනය එයාලා භාවිතා කරන්නේ "මිනිහෝ" "යකෝ" "බං" "මචං" වගේ වචන වලට ආදේශකයක් විදියට. වාහේ කියන එකේ සාමාන්‍ය තේරුම නම් සැමියා කියන එක. මටනම් මේ පැතිවල අය එක්ක කරන සංවාද හරිම රසවත්. මේ කතාව මෙහෙම ලිව්වේ එයාලට මඩ ගහන්න එහෙම නෙවෙයි. මම කැමතිම මිනිස්සු සෙට් එකක් ඉන්න පළාතක්. ආ කියන්න අමතක වුණා වචන දහයක් කථා කරනකොට මට බොහෝ දෙනාගේ ගම් පළාත හරියට තේරුම් ගන්න පුළුවන්. ඒක හදා ගත්තේ "රාජකාරි ගවේෂණය" නිසාමයි.

Sunday, November 1, 2015

මගේ බ්ලොග් එකේ අනන්‍යතාවය ...... The uniqueness of my Blog ......

බ්ලොග් පොස්ට් එකක් දාගන්න වෙලාවක් නැතිකම නෙවෙයි, ඇත්තටම ඒ ගැන මතක් වෙන්නේ නැතිකමක් තියෙන්නේ. අවශ්‍යනම් මේ වෙනුවෙන් පැය දෙකක් වෙන් කර ගන්න බැරි කමක් නෑ. ඒත් වැඩේ තියෙන්නේ මේක මතක් වුණොත් ඒ වෙලාවට මොකක් හරි වැඩක්, මොනවා හරි වැඩක් නැතිනම් මේක මතක් වෙන්නේ නෑ. වෙනදා නම් මෙන්ඩා කෝල් එකක් දාලා මතක් කරනවා. මේ පාර මෙන්ඩත් බිසී වෙලාද කොහෙද ?

හරි ලියන්න මාතෘකා දහසක් තිබුණත්, ඒකට අවශ්‍ය කාලයයි මානසික නිදහස් බවයි නැ. කොහොමත් මම ලියපු පහුගිය පොස්ට් දෙක දිග වැඩියි කියලා චෝදනාවකුත් තිබුනා නේ. ඒ නිසා මම හිතුවා පුංචි තරගයක් තියන්න. ඒ කියන්නේ දුවන්න, පනින්න වගේ නෙවෙයි. පුංචි ප්‍රශ්නයක් අහන්න.   බලමු කවුද හරි උත්තරය දෙන්නේ කියලා. මේකේ මාතෘකාවේ තියෙනවා වගේම 

මගේ බ්ලොග් එකේ අනන්‍යතාවය මොකක්ද ? 

මේක හතරබීරී කතාවක් කියලා හැමෝටම හිතිලා ඇති. හරි මම ටිකක් පැහැදිලි කරන්නම්. මේ බ්ලොග් එක ආරම්භ කරපු දවසේ ඉඳන් මම යම්කිසි අනන්‍යතාවක් ආරක්ෂා කළා. ඒ මම ලියන පොස්ට් හැම එකකම අඩංගු කරපු දෙයක්. ටිකක් සීරුවෙන් බැලුවොත් පෙනේවි. ටිකක් විමසිලිමත්ව බලත්දී මේක පේන්නම ඕනේ. කාලයක් තිස්සේ මේක කියවපු කෙනෙකුට නම් ඉතාම පහසුවෙන් මේක තෝරා ගන්න පුළුවන්. බලමු කාටද කියලා හරි උත්තරය දෙන්න පුළුවන්. හරි උත්තර එකකට වඩා තියෙන්න පුළුවන්. කෙනෙක් දකින දේ නෙවෙයි තව කෙනෙකුට පෙන්නේ. මම හිතා මතාම කරපු දේවල් ඇරුණම, මටත් නොදැනී යෙදුනු දේ තියෙන්නත් පුළුවන්. මම හිතනවා කම්මැලි වෙන්නේ නැතිව කට්ටිය වැඩේට බහීවි කියලා. 

මේකට මගේ උත්තර දෙකක් තියෙනවා. එයට අමතරව වෙනත් ආවේණික දෙයක් හොයා ගත්තොත් ඒක දක්ෂ කමක්. බලමු. "සුදීක කිව්වොත් ක්‍රිකට්නේ" වගේ කම්මැලි උත්තරනම් දෙන්න එපා. මම හිතනවා පොස්ට් තුනක් බැලුවොත් උත්තරය හොයා ගන්න පුළුවන් වෙයි කියලා. වෙන පොස්ට් එකක් ලියන ගමන් කාලය ගන්න කරපු වැඩක් මේක. ඒ පොස්ට් එක තව දවස් දෙකකින් බලාපොරොත්තු වෙන්න. මතක තියා ගන්න ඒක ලොල් කතාවක් ......

Sunday, October 11, 2015

මාරක ලිඳේ මෝටර් සයිකල් සමග ගිජා, හෙට්ටියා සහ සත්කුමාර : දෙවන කොටස ......

මෙහි පළමු කොටස කියවූ බොහෝ දෙනෙකු බලාපොරොත්තු වී තිබුණේ, එය අවසානයේ මාරක ළිඳ දකින්නට හැකි වේය කියාය. නමුත් සියලු දෙනාගේ පැතුම් සුණු විසුණු කරන්නට මට සිදු වුයේ ඒ වනවිටත් ඡේද අටක් තුළ වචන 1680ක් අකුරු කර තිබීම නිසාය. බ්ලොග් පොස්ට් එකක සාමාන්‍ය ප්‍රමාණය විය යුත්තේ ඒ ෆෝ පිටුවකට මුද්‍රණය කර ගන්නට හැකි ප්‍රමාණය යන්න මගේ විශ්වාසයයි. එයින් ඔබ්බට යන ඒවා තුළ යම් කුතුහලයක් ගැබ්ව නැතිනම්, කියවන්නාගේ කමෙන්ට් තුළ නොයෙකුත් විප්‍රකාර දැක ගත හැක. මන්ද කියවන්නා හුදු හිතවත්කමට මෙය කියවීමට ආවත්, ඔවුන් තුළ දැවැන්ත සටහනක් තුළ ඇස් යැවීමට තරම් හොඳ මානසික නිදහස් බවක් නොවේ නම්, අවසානයේ කියවුයේ කුමක්දැයි විපිළිසර වෙයි. එය මාගේ අත්දැකීමයි. මට කිහිප විටක් ඒ අසරණ තත්වයට මුහුණ දෙන්නට සිදු වී ඇත. නමුත් හිතවතුනි මේවා රසවත් වන්නේ වැල් වටාරම් වැඩිපුර ලිවීම තුළ බව මගේ විශ්වාසයයි. නැතිනම් ගුණයාගේ රෙකොර්ඩ්ස් ටික ගිල්ලේ කවුද ? වගේ පේළි දෙකකින් මෙය හමාර කොට, කමෙන්ට් තුළින් ඔබ නගන අටෝරාශියක් ප්‍රශ්න වලට පිළිතුරු ලෙස ඉතිරි කොටස ලිවීමේ හැකියාවද ඇත. අපේ දේශකයා දවසක් ඒ ගැන සජීවී අත්දැකීමක්  ලබා දුන්නා ඔබට මතක ඇතැයි සිතමි. එසේනම් සහෝදරවරුනි පඳුරු තැලීම අවසන් කර, තලන ලද පඳුරු අස්සේ කුරුමානම ඇත්දැයි බැලීමේ වාරයයි මේ. 

මට, ගිජාට, සත්කුමාරට, හෙට්ටියාට, සුමියාට පෙම්වතියක් සිටියේ නැත. නමුත් ගුණයා නම් ගිය තැනක අත හරින්නේ නැත. පෙර කිව් ලෙස කෙළි පැටික්කියන් සමග දිවා ආහාරයට සෙට් වෙන ඔහු දවසින් දෙකෙන් ඔවුන් කුළුපග කර ගනී. තුන්වන දිනය වනවිට ඔවුන් ගුනයාගේ පස්සෙන් විත් මොනවාදෝ විමසයි. බැංකුවේ සිටින පියකරුම යුවතියන් මෙසේ ඔහුගේ පස්සෙන් වැටීම, සියල්ලන්ටම ගැටලුවක් මෙන්ම ඉහිලුම් නොදෙන කාරණායා. මම දවසක් ගුනයාට පවසා සිටියේ

"
මචං උඹ කෑලි සීයක් සෙට් කර ගත්තත් කමක් නෑ, අපිටත් ක්‍රමේ කියලා දීපං" යන්නයි.
දිනක් මේ තරුණියක් සමග ඔහු සල්ලාපයේ යෙදෙන විට, අසල කබඩ් එකකට මුවා වී කෙනෙකු ඊට කන් දී තිබුණි. මේකා කරන්නේ කුමක්දැයි ඉන්පසු ඉතා ප්‍රසිද්ධ කාරණයක් විය. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අපිට බැංකුකරණය පිළිබඳ විභාග අදාළ නොවුණත්, උසස් පෙළට වාණිජ විෂයයන් හැදෑරු ගුණයා, බැංකුවට එක් වූ විගස එම විභාගයන්ට පංති ගොස් ඇත. ඔහුගේ අධ්‍යාපනික පසුබිම නිසා මේ විෂය පථයන් ඔහුට පහසු වී ඇත. නමුත් විභාගයට මුහුණ දුන් බවක් හෝ ප්‍රතිඵලයක් ගැන කිසිදු ආරංචියක් නැත. හෙතෙම ශාඛාවන් වල සිටින කෙළි පැටික්කියන්ගෙන්, බෑන්කින් එක්සෑම් කරාද ? යන ප්‍රශ්නය යොමු කර, එසේ නොමැතිනම් ඇයට හොඳටම දෝෂාරෝපණය කරයි. පිස්සු නටන්නේ නැතිව විභාගේ කරන්න. මෙවායේ වැඩ කර-කර ඉඳලා හරි යන්නේ නෑ. ප්‍රමෝෂන් ටික වෙලාවට ගන්න නම් ඉතිං බෑන්කින් කරන්නම වෙනවා. හෙටම පටන් ගන්න මගේ නෝට්ස් දෙන්නම් යනුවන් පවසයි. ඉන්පසුව අර තරුණිය අයියේ නෝට්ස් ගෙනාවදැයි අසමින් ඔහු පස්සේ වැටෙයි. ගුන්යා කෙල්ලන් වශී කර ගන්නා ශාත්‍රය එයයි.

එහි වැඩ කරන කාලය තුළ ගිජාට බැංකුවේම සේවය කරන තම සොයුරියගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එය හමාර කල විගස ඔහු පවසා සිටියේ ලබන බ්‍රහස්පතින්දා තමන්ට වෙඩින් එකකට යාමට ඇති බවයි. එනිසා තමන් එදින නිවාඩු ලබා ගන්නා බවද පැවසීය. මෙය අසා සිටි සුමියා පැවසුවේ බ්‍රහස්පතින්දා පෝය දිනය බවද, අමුතුවෙන් නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නැති බවය. මොහොතකින් ඉද්ද ගැසුවාක් මෙන් තමන් හුන් අසුනෙන් නැගී සිටි ගිජා අතින් කට වසාගෙන කල්පනා කරන්නට විය. හේතුව පෝය දිනයක රාජකාරි කිරීමෙන් ලැබෙන අතිකාල සහ දිනක වැටුප ඔහුට අහිමි වන බැවිනි. ඔහු එතරම් මුදල් සෙවීමට අරමුණු කරගෙන සිටි අයෙකි. ගිජාගේ සොයුරිය අප සේවය කරන අංශයේම සේවය කරන අපට වඩා වසර කිහිපයක් ජේෂ්ඨ සේවිකාවකි. අප සේවයට බැඳුණේ ගිජාලාට මාස පහකට පමණය පෙරය. දීප ව්‍යාප්ත විභාගයකට මුහුණ දෙමිනි.


"
අපේ මල්ලිත් විහාගේ ලිව්වා ඕගොල්ලොත් එක්ක"

"
ඉතින් මොකද වුණේ ?"

"
අපෝ එයාව ගන්න නම් තව හත්සිය ගාණක් ඊට කලින් ගන්න වෙනවා
 එසේ කථාව අවසන් වුවද, ඊළඟ පහළොස් දෙනාගේ කණ්ඩායමේ ගිජා බැංකුව ඇතුළට පැමිණ සිටිනු දැක තැන-තැන කසුකුසු ඇති විය. ඇවිත් දවස් දෙකකින් කාගේ වත් විමසීක් නැතිව මාතලේ ශාඛාව බලා ගිය සිල්වා මහතාගේ කණ්ඩායමට ගිජා බලහත්කාරයෙන්ම ඇතුළත් වී තිබිණි. අක්කා විසින් විස්තර කරන්නට යෙදුණු "ශාඛා විසිත්ත ඉල්ලම" හැරීමට ගිජා පටන් ගත්තේ අයුරිනි. එයට අමතරව ඔහුට තවත් උපදෙසක් සිය ආදරණීය සොයුරිය විසින් ලබා දී තිබුණි, පූල් එකට(කවුරුත් එකතු වී වියදම් සමසේ බෙදා ගැනීම්) කන නිසා පුළුවන් තරම් කෑම බඩට දා ගන්නා ලෙසයි. ගිජාගේ මේ ගිජු බව, සිය සොයුරිය නිසා ඇති වුවක්ද, නැතිනම් උපතින් ගෙනා එකක්දැයි කිසිවකු තවමත් නොදනී. නමුත් ඔහුගේ මේ හැසිරීම නිසා අප කණ්ඩායම් වල අය බොහෝ අපහසුතාවලට ලක් වී ඇත.වරක් පොළොන්නරුවට ගිය කණ්ඩායමක් රාත්‍රියට නූඩ්ල්ස් ඇණවුම් කර ඇත, මේසය මත ගෙනැවිත් තැබූ බන්දේසියේ තිබූ ප්‍රමාණයෙන් 3/4ක්ම ගිජා බෙදාගෙන ඇත. එවිට එහි පැමිණි වේටර් වරයා පවසා ඇත්තේ "කලබල වෙන්න එපා සර් හෙමිහිට කන්න, තව මේ වගේම එකක් ගේන්න තියෙනවා" කියාය. එවිට එහි උන් අනෙක් අය මුහුණෙන් මුහුණ බලාගෙන ඇත. වරක් කොත්තු රොටි කන ගමන් කවුරුන් හෝ ගෙන්වා ගන්නා ලද මඤ්ඤොක්කා දීසියෙන්ද කැබලි දෙක තුනක් කොත්තු රොටිය මත බෙදාගෙන අනුභව කරගෙන ඇත.ගිජා සහ කෑම යනුවෙන් තවත් පොස්ටුවක් සම්පාදනයට කරුණු ඇතත් මේ එයට අවස්ථාව නොවේ.
ගුණයා කුලියාපිටිය ශාඛාව වත්තේ ඇති අඹ ගස් දිහා ඉතා කෑදර බැල්මක් හෙළා, විලාට් අඹ නම් මරු කියමින් ඔබ මොබ ඇවිද්දේය. තවත් මිනිත්තු කිහිපයකින් සපත්තු පිටින්ම ඔහු ගහට ගොඩ වී ගෙඩි කිහිපයක් බිමට පත බාවා ඇත. අපිට තිබෙන්නේ බලාගෙන හිඳින්නය. ගුනයාගේ අඹ කෑදර කම නිරීක්ෂණය කල ගිජා, තමා පහුගිය බ්‍රහස්පතින්දා ගිය ගමන ගැන ප්‍රධාන කාර්යාලය දැනුවත් නොකිරීමට අංක එකේ කේලාම් කාරයෙකු වූ ගුණයා කැමති කරගනු වස්, දිනක සවස් කාලයේ, ශාඛාවේ අය නික්ම ගිය පසු, අඹ ගස් වලට ගොඩ වී, අසවැන්න නෙලීය. එහි අග්‍ර ඵලය ගුනයාට වෙන් කල හෙතෙම තවත් ගෙඩි කිහිපයක් අපගේ පරිභෝජනයට වෙන් කළේය.සත්කුමාරට නම ලැබුණේ එකල නිතර පාරේ දකින්නට ලැබුණු ටියුෂන් මාස්ටර් වරයෙකුගේ පෝස්ටර් එකක් අනුසාරයෙනි. එය ඔහුට ආදේශ කිරීම මාගේ සාඩම්බර සේවාවකි. එම නමින් ඔහු අමතනවාට සත්කුමාර ඉතා කැමති විය. දෛනික රාජකාරි හවස හතරයි හතළිස් පහටම අවසන් කර මා දිව යන්නේ, පොඩි රවියලාගේ නිවෙස අසල ඇති පොල්වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමටය. නමුත් එහි ක්‍රීඩා කිරීම පහසු කටයුත්තක් නොවීය. දිනක් උද පන්දුවක් වෙත පියාඹා ගිය මාගේ අල්ලේ නිදිකුම්බා කටුවක් අැනිණි. එය ඉවත් කර ගන්නට සති දෙකක පමණ කාලයක් අවශ්‍ය විය. පොල් පරාල වල තිබෙන කීරක් ඇනුණු පසුවද මෙයට සමාන අත්දැකීමක් විඳීමට සිදු වේ. අත්දැකීම් ඇති නිසා එතරම් ගැටලුවක් ඇති නොවිණි. මා එසේ පොල්වත්තේ ක්‍රිකට් කෙළියට ගියද, ගිජාට උවමනා වුයේ එදිනෙදා සවසට ඕටී පාරක් දමා ගැනීමය. අප එකිනෙකාගේ කැමැත්තට ඉඩ දී කටයුතු කළෙමු.
ඉඳහිට දවසක අප හා නවතින සුමියාද ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇල්මක් නොදැක්වුවත් අප හා එක් විය. දිනක් එක කණ්ඩායමට කෙනෙකුගේ අඩුපාඩුව ඇති විය. සඳහා බලවත් පරිශ්‍රමයකින් පසුව සුමියා එකතු කර ගැනීමට හැකි විය. ඉදිරියට නෙරා බඩකින් යුත් සුමියා තමන්ගේ දනිස්ස අසලට උඩ පන්දුවක් සුරැකිව රැක ගත්තේ කව්රුත් පුදුමයට පත් කරමිනි. මමත් පොඩි රවියාත් පමණක් ක්‍රිකට් ක්‍රීඩාවට ගිය දිනක, ක්‍රීඩාව අවසන් කර රවියාගේ නිවසට ගොඩ වී තේකක් බී ආපසු පැමිණෙන විට, මා කදිම යෝජනාවක් ගෙනාවේය. රවියාද ඊට එක පයින් එකඟ විය. මා ක්වාර්ටර්ස් එකට එනවිට ගිජා එතන නොවීය. සත්කුමාර සිටියේ මලගෙවල් වල ඩෙත් බොඩි එක තබා සිටින අකාරයේ නින්දකය. සැමදා සේවය හමාර කර පසු එසේ මානසික විවේකයක් ලබා ගැනීම සත්කුමාරගේ සිරිතය. එන්.ඩී.ටී. ඉංජිනේරු පාඨමාලාව සේවය අතරදීම අවසන් කරන්නට හේ වග බලාගත්තේය. ඔහු ශ්‍රී ලාංකික පේටන්ට් හිමිකමක් ඇති නිශ්ශබ්ද විලියම් කෙනෙකි. වැඩි කථාවක් නැත. තවත් මොහොතකින් උඩ තට්ටුවට ගිය ගිජාද පැමිණිනි.

දෙදෙනා පසු මා ඔවුන් සමග අපට වෙන්නට යන අකරතැබ්බයක් ගැන විස්තර කළේ මෙලෙසිනි

"
බලපන් මචං පොඩි රවියාගේ නංගිගේ පිස්සු වැඩ, අද රෑට අපිට කෑම ලැස්ති කරනවා කිව්වා. හරි නෑනේ මචං. අපි මොනවා හරි අරගෙන යමු. හැමදාම නිකං කන්නත් හොඳ නෑනේ"මෙසේ කියූ පසු වැතිරී සිටි සත්කුමාර ඉද්ද ගැසුවාක් මෙන් අංශක අණුවකින් කොන්ද නවා ඇඳේ වාඩි විය. ගිජාගේ කටින් එකවිටම "නෑහ්" යනුවෙන් පිට විය. නොමිලයේ රස කෑම එකකට වග කීමට ඇති හැකියාව නිසාය. ඉන්පසු හිටිවනම ඇඳුම් අඳින්නට පටන් ගත දෙදෙනාට මා උපදෙස් දුන්නේ මෙලෙසිනි.

"
මොකක්ද බං පොඩි රවියලාගේ නංගිත් ඉන්න තැනට ෂෝට් ඇඳගෙනද යන්න හදන්නේ. කලිසමක් ඇඳපන් බං. අනේ සත්කුමාර ඔයිට වඩා හොඳ ෂර්ට් එකක් ගනින්කෝ
 රාජකාරියට ඇඳි ඇඳුම් අඳින්නට සුදානම් වූ දෙදෙනා, අවසානයේ දිග කලිසම් සහ විස්කොස් වර්ගයේ පාර්ටි ෂර්ට් වලින් සරසා ගන්නට මට හැකි විය.  මේ දිනවල අපගේ ප්‍රියතම ස්ථානය වී තිබුණේ, කුලියාපිටිය සිනමා ශාලාව ඉදිරිපස අභිනවයෙන් ආරම්භ කරන ලද රෙස්ටුරන්ට් එකකි. ඔවුන්ගේ මුල්ම මෙන්ම නිතිපතා පැමිණෙන ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකු වූ අපට, ව්ශේෂ සැලකිලි දින කිහිපයකින් පසු ලැබිණි. නානකාමරයේ සිට පැමිණෙන මා හට දෙදෙනා මනමාලියන් බලන්නට සැරසෙන්නට මෙන් සුදානම් වී සිටින ආකාරය දැක සිනා නතර කර ගැනීම දැඩි ආයාසයක් ගන්නට අවශ්‍ය විය.
"පොඩි රවියා කාර් එකෙන් හතයි කාලට එනවා කිව්වා. දැන් කීයද වෙලාව. සෙන්ට් එහෙම තියෙනවානම් ගහගෙන යමල්ලා. පොඩි රවියාගේ නංගි ලස්සන කෙල්ල"
යන ගමන ගැන සක්සුදක් සේ දන්නා මා සුපුරුදු ලෙස ඩෙනිම සහ ටී ෂර්ට් එක පැළඳ ගත්තේ කවදත් සුපුරුදු ඇඳුමද නිසාය.  මේ ගැන පොඩි සැකයක් ජනිත කරන්නට මේ කාරණය හේතු විය
"මොකක්ද බං අපිට ෂර්ට් අඳින්න කියලා උඹ අඳින විදිහ"

"
මං ෂර්ට් අඳින්නේ ඔෆිස් එකට විතරයි කියලා උඹලා දන්නවනේ. මගේ ගාව මල්-මල් ෂර්ට් නෑ. කවුද දන්නේ පොඩි රවිගේ නංගි කැමති උඹලා දෙන්නගෙන් කෙනෙකුටද කියලා. මම හැමදාම එහෙ යනවා. එහෙනං මට විතරක් රෑට කන්න දෙන්න තිබුණනේ" කතාව දෙදෙනාගේ මුවේ මද සිනහා අඳින්නට සමත් කාරණයක් විය. තවත් මිනිත්තු කිහිපයකින් පොඩි රවියාගේ වාහනය බැංකුව ඉදිරිපිට නැවැත්වීය. අප එයට ගොඩ වූ පසුත්, එය රවියාගේ ගෙදර තිබෙන දිසාවෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනු දැක දෙදෙනාගෙන් කෙනෙකු විමසා සිටියේ "මේ කොහෙද යන්නේ" යනුවෙනි. වාහනය ගමන් ගත්තේ සුපුරුදු ආපන ශාලාව දෙසටය. එවිට රවියා පැවසුවේ තමන්ට මොනවා හෝ මිලදී ගැනීමට ඇති බැවින් තරමක් ඉදිරියට යන බවය. මොහොතකින් එම රෙස්ටුරන්ට් එක ඉදිරියේ වහනය නතර කර "බැහැපල්ලා" යනුවෙන් පොඩි රවියා පැවසු විට මා පමණක් රථයෙන් බැස ගත්තද, දෙදෙනාගෙන් එක් අයෙකු වත් වාහනයෙන් නොබැස"මේ - මොකද බං. මෙතන මොකටද බහින්නේ"

"
බැහැපන් - බැහැපන් මෙහෙන් තමයි අද රෑටත් කන්නේ"දෙදෙනා බැස ගත්තේ නෝක්කාඩු මුහුණෙනි. මුහුණු දෙකේ මොහොතේ කෝපය මුසු සිනහා ඇඳී තිබිණි. මෙවැනි ගමන් රසවත් කරන්නේ මේ වාගේ ලණු කැවීම් සහ ඒවා කණ්ඩායමේ සෙස්සන්ට දැන ගැනීමට සැලැස්වීමෙන් බව අමුතුවෙන් විස්තර කල යුතු නැත. ඉන්පසු ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන මුල් දිනයෙන් පසුව ගුඩ් මෝනින් ළඟට, පොඩි රවියාගේ නංගි ලස්සනදැයි ඇසු විට, සුදීකගේ අම්මට පින් දෙන්නට ගිජා වග බලා ගත්තද, සත්කුමාර ලජ්ජාශීලී සිනහවක් දමා බිම බලාගනී.
දිනක් චයිනීස් රෙස්ටුරන්ට් එකකට ගොඩ වූ අප බියර් ඕඩර් කළෙමු. ගිජාට බියර් සෙන්ටිමීටර් එකක් පමණ ලබාදුන් විට, හෙතෙම තමන් අතීතයේ පවත්වන්නට යෙදුණු දහම් පාසල් සමිතියේ කථා, සමගින් රස ආකාරයකට අප ගෙන යන්නට සමත්ය. ඔහු ඇල්කොහොල් වලට ඇලජික් අයෙකු බව බොහෝ දෙනාගේ මතයයි. ඉන්පසු අපට මහා කරදයක් ලබා දෙන්නට සමත්ය. එදින හොඳටම වැඩි වූ ගිජා මේසය මත ඔළුව ගහගෙන සිටියේය. බිල ආපසු අමු ලෝභයෙකු වූ ගිජාගේ සාක්කුවෙන් පර්ස් එක ගෙන බිල ගෙවා දමීමු. ඉන්පසු එය ඔහුට නොදුන් අප සඟවා තැබීමු. එය තිබුණේ සුමියාගේ භාරයේය. පසුවාදා උදේ පර්ස් එක හොයා වෙස් පෙරළියක් කල ගිජාට අපි ගැන දක්වන ඇල්මැරුණු උනන්දුව සැකයට හේතු විය. සියල්ලන්ගෙන් අසා අවසානයේ සුමියා ළඟට ගිය විට, "මේ තියෙන්නේ ගිහිං අරන් වරෙන්" යනුවෙන් පවසා අසල ඇති ජනේලයෙන් අල්ලපු වත්තට එය විසි කර දැමීම අප කවුරුත් අපේක්ෂා කල දෙයක් නොවුණත්. කේන්ති ස්වරූපයක් දැක්වූ ගිජා අල්ලපු වත්තට ගොස් එය රැගෙන එනදෙස අප මෑත් වී ජනේලයෙන් බලා උන්නෙමු. එවැනි කිසිම මොහොතක කලහාකාරී හැසිරීමක් නොදක්වන එක ගිජාගේ සිරිතයි.

ලණු කැවීම අංක දෙක ලෙස සටහන් කල හැක්කේ පොඩි රවියා දුන් ගුලියකි. ඒ තමා සමග අනියම් සම්බන්ධයක් පවත්වන අක්කා කෙනෙකු ගැනයි. ඇයගේ සැමියා සිටින්නේ පිට රටක බවත්, ජනේලයේ ග්‍රිල් එකේ අැණ ඉවත් කර ඇති නිසා තමන් පහසුවෙන්ම රාත්‍රියේදී එම නිවසට ඇතුළු වන බවත්. ආපසු එන්නේ පැය කිහිපයක් එහි ගත කල පසු බවත්. කැමතිනම් තමාට අක්කා අපට කැමති කර දීමට හැකි බවත් රවියා කියාගෙන යයි. සත් කුමාර මේ සියලු දේ දෙස බලා සිටින්නේ සැක මුසුවය. නමුත් ගිජා මේවා ගැන අසන්නේ ඉතාම උනන්දුවෙනි. "හරි ඊළඟ සතියේ මැද නිවාඩු දවසක් එනවනේ. අම්මා කිව්වා එදාට බ්‍රාන්ච් එක වහනවා කියලා. අපි එහේ යමු". දැන් ගිජා වැඩේට සුදානම්ය. නිවාඩු දිනයේ මෙහි නොරැඳී සුමියා හලාවතටද සත්කුමාර ජාඇලටද පිටත් වුයේ පෙරදින සැන්දෑවේය. ඉතා අලස ලෙස උදේ කාලය ගෙවා දැමු අප ටවුමට බඩ ගෑවෙමු. ජංගම දුරකථන බහුල නොවූ මෙන්ම ඒවායේ ඇති අධික මිල ගණන් නිසා ඉතා අඩුවෙන් කෝල් ගැනීමට යොමු වූ යුගයක, ටවුමේ පොඩි රවියා නිතර යනෙන කඩයකට ගොඩ වී තේකක් බී බලා සිටියෙමු.

රවියා පැමිණියේ බයිසිකලයකය. එයද එහි දමා අපව අතුරු පාරවල් ගණනක කැඳවාගෙන ගොස් නිවසක් අසල පාරේ අප දෙදෙනා රඳවා රවියා ඇතුළට ගියේය. සිදු වන්නේ කුමක්දැයි මම සහසුද්දෙන්ම දැනගෙන සිටි නිසා, නිවාස දෙසවත් නොබලා පාරේ යනෙන වාහන සහ මිනිසුන් දෙස බලා සිටියෙමි. නමුත් ගිජාගේ ඇස යොමු වී තිබුණේ එකී නිවාස දෙසටයි. තවත් සුළු මොහොතකින් රවියා පැමිණියේ ශෝක මූඩ් එකක් දමාගෙනය.

"
හරි වැඩේ මචං අක්කා පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා. අද බෑ කිව්වා. වෙන දවසක නොවැරදීම එන්න කිව්වා
 මෙය ඇසු ගිජාගේ මුහුණ තුළ තිබූ බලාපොරොත්තු සහගත බව පහව ගොස් අපේක්ෂා භංගත්වය ඉස්මතු වන අයුරු දැකගන්නට තරම් මම භාග්‍යවන්ත වීමි. එවැනි අවස්ථාවක හේ තනිවම කියවයි. මුහුණ මත තම වමතේ දබරැඟිල්ල තබාගෙන ගැඹුරුව කල්පනා කරයි. වේගයෙන් හුස්ම ගනියි. හිටපු ගමන් අශ්වයෙකු මෙන් නහයෙන් පිඹියි. තනිකරම විකෘත්ති ස්වභාවයක් ගනියි. ඉන්පසු අප තිදෙනා කිසිම කතාවක් නොමැතිව නගර දෙසට ගමන් ගතිමු. සවස් තුනත් හතරත් අතර මොහොතක වුවද, අකාශය අඳුරු කර තිබීම නිසා, රාත්‍රිය එළඹෙමින් තිබේ යයි කෙනෙකුට සිතෙන පරිසරයක් ඇත. මේ මොහොතේ වීදීය පාළුවට ගොසිනි. තවත් සුළු මොහොතකින් අප ඉදිරියට පැමිණියේ නගරයේ අයාලයේ යන බැල්ලියකි. ගිජාගේ කටහඬ නැවතත් අවදි විණි.

"
දැන්නම් මට අන්න අර බැල්ලි හරි කමක් නෑ
 අප දෙදෙනාට හිනාව නතර කර ගන්නට හැකියාවක් නොවීය. තවත් මොහොතකින් අපගේ හිනාවට ගිජාද එකතු වේ. මෙසේ රසවත්ව ගෙවූ කාලයක් නිමාව දකිමින් තිබෙන සමයක තවත් දිනක සවස් වරුවක ගිජා සහ මම පමණක් ඉතිරි වනසේ, අනෙක් අය ගම්බිම් බලා පිටත් වුහ. අප දෙදෙනාට කළහැකි දෙයක් නොවිණි. පාසල් නිවාඩු කාලයේ කුලියාපිටිය නගර මධ්‍යයේ ඇති මහා විද්‍යාල භූමියේ ඇති කානිවල් එක දෙසට ඇදෙන ජනයා දෙස බලා සිටින අපටද එයට එකතු වීමට අදහසක් ඇති විය. වෙලාව යන්තම් රාත්‍රී හත වන්නට ඇත. මම සිටියේ ටී ෂර්ට් එකක් සහ ෂෝර්ට් එකකින් සැරසීය. නමුත් සිවිල් පිටය. ගිජා කෙලෙසක සිටියාදැයි නොදනිමි. තවත් මිනිත්තු කිහිපයකින් කානිවල් පොළට ළඟා වූ අප ටිකට් දෙකක් ලබාගෙන එහි ඇතුළත් වීමු. මොහොතක් ඔබ-මොබ සක්මන් කල අපට තරමක් සෙනග වට වී සිටින මාරක ළිඳේ මෝටසයිකල් දසුන දැකීමට සිත් විය. මා ඊට පෙර කිසිදිනක එවැන්නක් නරඹා නැත.

අප දෙදෙනාද එහි සිටින සෙනගට එකතු වුණෙමු. වටේට කඹ දමා ලෑලි වලින් තනා ඇති මාරක ළිඳ උද රඳවා ඇති වේදිකාවේ අප දෙදෙනාට එකම තැනින් හිටගන්නට හැකියාවක් නැත. ළමයෙකු තම දකුණු අතින් දරාගෙන සිටින තරුණ කාන්තාවකගේ වම් පසින් මමද, ඇයට දකුණු පසින් ගිජාද සිට ගතිමු. තවත් මිනිත්තු කිහිපයක අවෑමෙන් දර්ශනය ආරම්භ විය. මෝටර්සයිකල් යනුවෙන් දැන්වීම් කර තිබුණද, පතුලේ ඇති දොර ඇරගෙන එහි පිවිසියේ පාපැදියක් සමග සර්කස් කරුවෙකි. පාපැදියට ගොඩ වූ ඔහු මුලින්ම එහි පතුලේ රවුම් කිහිපයක් පැද එක්තරා වේගයකට පැමිණි පසු මදක් ඇලයට ලීයෙන් සාදා ඇති එහි බිත්ති දිගේ ගමන් කරන්නට පටන් ගන්නා ලදී. විටෙක ඉහළ දෙසටත් තවත් විටෙක පහළටත් ආනත වෙමින් ධාවනයේ යෙදුණු ඔහු ක්‍රමයෙන් වේගය අඩු කරමින් නැවතත් පතුලට නිරුපද්‍රිතව ගමන් ගත්තේ, එහි වුන් අප කාගේත් සිත් වලට සැනසීමක් එකතු කරමිනි.
පින්තූරය : gettyimages

ඉන්පසු කොහෙන්දෝ හඬකින් කියවුණේ, අවසන් වුයේ එහි පළමු අදියර බවත්, එහි නියම අංගය වන මෝටර් සයිකල් ධාවනය තවත් සුළු මොහොතකින් ඇරඹෙන බවත්වය. එයට සමගාමීව මෝටර් සයිකලයක් පණ ගන්වා රේස් කරන හඬ ඇසිණි. මෙවර දොරෙන් ඇතුල් වුයේ ට්‍රේල් වර්ගයේ මෝටර් සයිකලයකට ගොඩ වූ රේස් කරුවකු මෙන් හැඳ පැළඳ ගත් මිනිසෙකු. ඔහු පැමිණි විගස ඇතුල් වන දොර වසා දැමිණි. මෝටර් සයිකලයේ ප්‍රධාන ලාම්පු දල්වා ඇත. එයට අමතරව ටකරං පියස්සේ එල්ලන ලද විදුලි පහනකින් ඇතුළේ සිදු වන්දේ පැහැදිලිව දැක ගත හැක. සයිකල් කරුවා මෙන්ම මද වේගය වැඩි කරමින් තරමක වේගයටත් තවත් මොහොතකින් ඉතා වේගවත් මට්ටමකට තම මෝටර් සයිකලය පැදවූ ධාවකයා සුළු මොහොතකින් ලෑලි බිත්තිය දිගේ ධාවනය ආරම්භ කළේය. බයිසකලය ගමන් ගනිද්දී නොගස්සුණු විලස ලී අට්ටාලයක් බඳු ළිද ගැස්සෙන්නට පටන් ගත්තේ එහි වුන් සියල්ලන් තුළම යම් භීතියක් ඇති කරමිනි. එහෙත් සියල්ලන් පසු වුයේ නිර්වින්දනය කල ස්වභාවයකිනි. අපගේ තොල් කට වෙලී ඇත. ධාවකයා ඉතා වේගයෙන් එහි බිත්ති දිගේ ගමන් ගනිද්දී ඇති වන ගැස්සීමෙන් බියක් ඇති වූ කාන්තාවා මගේ දකුණු අත අස්සෙන් අ යවා තදින් මගේ අත ග්‍රහණය කර ගත්තේ තම පෙම්වතාවගේ අතෙහි වේලෙන යෞවනියක් පරිද්දෙනි. මෙම නුහුරු හැගීමෙන්ද, ගැස්සෙන වේගය නිසා ඇතිවන භීතියෙන්ද මා සිටියේ සිහින ලෝකයකය. ඇගේ පහස මට නොදැනුණා නොවේ.

මෙසේ මිනිත්තුවක් ගත වන්නට ඇත. තවත් සුළු මොහොතකින් වේගයෙන් මගේ අතින් ඇගේ ඇත මිදෙනවා මට දැනිණි. මමද වෙනසක් නොදක්වා කඹය අල්ලාගෙ ධාවකයා දෙස නෙත් යෝමාගෙනම සිටියෙමි. නමුත් සිදු වුයේ කුමක්දැයි ප්‍රහේලිකාව මා තුළ විය. තවත් මිනිත්තු කිහිපයකින් වේගය අඩාල කර, සයිකල් කරුවා පරිද්දෙන්ම එහි පතුලට ගමන් ගත් ධාවකයා සයිකලය නතර කළේය. අපද හනි-හනිකට පහළට බැස ගමන් ගතිමු. අප ආපසු යන ගමනේදී සිදු වූ සිදුවීම මම ගිජාට පැහැදිලි කළේ ඒකාව මේ කථාවෙන් මවිතයට පත් කරන බලාපොරොත්තුවෙනි. මා කථාව අවසන් කළපසු හඬ අවදි කල ගිජා


උඹ හිතාගෙන හිටියේ මම දැක්කේ නෑ කියලද? මමත් බලාගෙන හිටියේ. මටත් ඉන්න බැරි වුණා බං. මම වම් පැත්තෙන් අත දාලා පු* මිරිකුවා.සිදු වූ දේ පැහැදිලි වන්නට මට වාක්‍ය කිහිපය ප්‍රමාණවත්ය.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...