Saturday, July 26, 2014

අමතක වන්නට පෙර I : විදුලි සෝපානය,පන්ච් කාඩ්/ටේප් සහ මම ...... Before forget it I : Elevator , Punch Cad/Tape and me

විදුලි සෝපානයන් පිලිබඳ සංගණන වාර්තාවක්  කොතැනක හෝ තිබේද ? කොතැන හෝ තිබිය යුතුයි. එසේනම් ශ්‍රී ලංකාව තුල මේ වනවිට විදුලි සෝපාන කොපමණ ඇතැයි ඔබ සිතනවාද ? මෙයට නිශ්චිත පිළිතුරක් දීමට කිසිවෙකුට හැකි වේ යයි මා විශ්වාස කරන්නේ නෑ. නමුත් මේ ප්‍රශ්නය එක් දහස් නවසිය හැත්තෑ ගණන් වල ඇසුවා නම්, ඊට නිවැරදි පිළිතුරු දීමට කිහිප දෙනෙකුම සමත් වනු ඇත. 

මා මුලින්ම විදුලි සෝපානයක ගමන් ගත්තේ පෙර කියූ කාල වකවානුවේදීය. ඒ  කොළඹ මරදානේ සිටි, කොළඹ නැන්දාලාගේ නිවසට පැමිණි දිනක, සෙලින්කෝ ආයතනයට අයත් ආකාස කඩේ නමැති ආපන ශාලාවේ සේවය කල පියසිරි අයියා මුණ ගැසීමට ගිය ගමනේදීයි. මගේ මතකය නිවැරදි නම් එය තට්ටු හතරක හෝ පහක ගොඩනැගිල්ලකි. නමුත් ඒ කාලයේ ලංකාවේ උසම ගොඩනැගිල්ලක් ලෙස මෙය සඳහන් වූවා මතකය. ඒ කාලයේදීම සෙලින්කෝ ගොඩනැගිල්ල පසුබිමෙහි තබාගෙන හිඳ සිටින යුවතියන් දෙදෙනෙකුගේ ඡායාරූපය සහිත කැලැන්ඩරයක් තිබුණ බව මතකය. 
Old electric elevator  පැරණි විදුලි සෝපානය
පින්තූරය ගත්තේ : http://www.dreamviews.com/

එකල අද මෙන් විදුලි සෝපාන වලට ස්වයංක්‍රීයව වැසෙන දොරවල් තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ අතින් අදින යකඩ දොරවල්ය. එයට ඇතුල්වන පිරිස ගොඩ වූ පසු මෙම දොරවල් දෙපසින් වසනු ලැබේ. ඉන් පසුව සෝපානය ඉහළ-පහළ ගමන් ගනු ඇත. මා මුලින්ම සෙලින්කෝ සෝපානයේ කල ගමන අදටත් මතකයේ රැඳී තිබේ. එය ඉහල යනවිට මගේ සහෝදරයාට කැරකිල්ල සැදුනි. කුඩා ළදරුවකු වූ ඔහු මවට තුරුල් විය. ඉන් පසු එන ගමනේදී, ඔහු වඩා ගන්නා ලෙස, මවගෙන් ඉල්ලා සිටියේය. පසුව අප මේ කාරණය පවසා ඔහුට විහිළු තහළු කළෙමු. මන්ද ඊට බාල මගේ නැගණිය කිසිදු අපහසුවකින් තොරව එහි ගමන් ගත් නිසාය. 

සෙලින්කෝ ඉහළ මාලය සිට කොළඹ හාත්පස දෙස නැරඹු ඒ දිනය කිසිදා නොමැකෙන මතක සටහනකි. කොළඹ වරයද, සී.ටී.ඕ. ගොඩනැගිල්ලද එකල දකින්නට තිබූ දසුන්ය. ඉද්ද ගැසූවක් මෙන් කොල්ලුපිටිය දක්වා පැහැදිලිව පෙනෙන ගාලු පාරද, ගෝල්ෆේස් තනතිල්ල්ද මැවූ මනස්කාන්ත දසුන අදටත් සිහිපත් වේ. ආපසු එන ගමනේදී එහි ස්වයංක්‍රීය පඩිපෙලක්ද තිබූ බව මතකයක් ඇත. තවත් අමතක නොවන සිද්ධියක් වන්නේ කුඩාකල මට තිබූ නරක පුරුද්දක් එහිදී ක්‍රියාත්මක වීමයි. ඒ සැමතැන විසිරී තිබූ කහ පැහැති, තැනින් තැන හිල් විද තිබූ ටේප් පටි තොගයක් එකතු කරගෙන එන්නට සුදානම් වීමයි. කවුරුන් විරුද්ධ වුවත් මා ඒවා අත අරින්නේ නැති බව මගේ දෙමව්පියන් දන්නා නිසා, ඒවා එකතු කරගන්නා තුරු ඔවුන් නෝක්කාඩු මුහුණින් බලා සිටි අයුරු තවමත් සිහිපත් වේ. 
පින්තූරය ගත්තේ : http://geschichte.inf.tu-dresden.de/

ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ එක්දහස් නවසිය අනූ ගණන් වල තිබූ සුපතල පරිගණක පාඨමාලාව හදාරන්නට පසුව ගිය ගමනේදී කලින් කී විදුලි සෝපානය සහ පන්ච් ටේප් සහ පන්ච් කාඩ් දකින්නට ලැබීම දෛවෝපගත සිදුවීමකි. එම ආයතනයේ විදුලි සෝපානය සිසුන් භාවිතා කරනවාට ආචාර්ය ජයසිරි මහතා මනාපයක් නොදක්වන ලදී. එහි ගමන් කරන විට සෝපානයේ දොර විවෘත කළහොත් , සෝපානය මග නතර වේ. එකල සිටි පෙම්වතුන් මෙය අවභාවිත කල බව දැන ගන්නට ලැබුණි. ඉහළ පින්තූරයේ තිබෙන පන්ච් ටේප් සහ පන්ච් කාඩ් යනුවෙන් සඳහන් කාඩ් මුල් පරිගණක යුග වල දත්ත සටහන් කර තැබීම සඳහා භාවිතා කල ක්‍රම දෙකක් වේ. 
Punch Tapes සිදුරු සහිත අංකිත කාඩ් පත්
පින්තූරය ගත්තේ : http://www.retrotechnology.com/
මේවායේ දත්ත සටහන් කිරීම ටයිප් රයිටරයක් වැනි උපකරණයකින් සිදු කර තිබේ. ශ්‍රී ලංකාවේද මුල් කාලවල පරිගණක භාවිතයේදී මේවා යොදාගෙන ඇත. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේදී මේවා ගැන ඉගෙන ගත්තා මතකය. මේවාගේ දත්ත සටහන් කිරීම ඉතා රසවත් ආකාරයකට සිදු කරයි. ඔබ කැමැත්තක් දක්වනවා නම් පසු සටහනකින් ඒ පිළිබඳ දැනුවත් කරන්නම්. 

එදා තිබූ විදුලි සෝපාන හා සැසඳීමේදී අද ඇති විදුලි සෝපාන ඉතා ඉහල තාක්ෂණයකින් යුක්තය. නමුත් යොදා ගන්නා මූලික තාක්ෂනය එකමය. අද ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදුලි සෝපාන බොහෝ ස්ථාන වල ඇත. මින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති සෝපාන ඉතාමත් වේගවත් බව මගේ විශ්වාසයයි. එයට හේතුව වන්නේ නගින්නට තිබෙන උස වැඩි නිසා ඒවා වේගවත් කළහැකි වීමයි. අද විදුලි සෝපානයක් නැති තැනක් කොළඹ නගරයේ සොයා ගන්නට නොහැකි තරම් වුවත්, මා සඳහන් කල යුගයේ සෙලින්කෝ ආයතනය හැරුණුකොට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ එම පහසුකම තිබූ බව මගේ ඉහල නිලධාරියා වන ලසන්ත මහතා පවසයි. 

අද තිබෙන විදුලි සෝපාන තුල තිබෙන පහසුකම් සහ තාක්ෂනය ඉතා ඉහලය. ස්වයංක්‍රීයව ක්‍රියා කිරීම ඉන් ප්‍රධාන ලක්ෂණයයි. මේවා මයික්‍රෝචිප් ආධාරයෙන් ක්‍රියාත්මක වේ. වේග පාලනය, බර පාලනය, දොරවල් ඇරීම වැසීම, අනතරු ඇඟවීම ආදී බොහෝ දේ අද ස්වයංක්‍රීයව සිදු වේ. කෙතරම් තාක්ෂනය දියුණු වුවද, විදුලි සෝපාන හිර වීම නතර කල නොහැක. නිතර භූමි කම්පා තිබෙන රටවල් වල මේවා කෙසේ ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීම වටී. ත්‍රස්තවාදී කලබල තිබූ කාලයේ මගේ මිතුරෙකු කිසි දිනක ලිෆ්ට් එක භාවිතා නොකළේය. ඒ බෝම්බ පිපිරීමක් වැනි අවස්තාවකදී ඒවා අනිවාර්යයෙන්ම හිර වන නිසාය. මෙයට අමතරව විදුලි විසන්ධි වීමකදීද සෝපානය හිර වෙයි. නමුත් අද තිබෙන සෝපානයක් එසේ වුවහොත් පහසුවෙන් එලියට එන්නට හැකිය. 

65 comments :

  1. ද ලිෆ්ට් කියලා සෝ එකක් ආවා බැලුවද. ලිෆ්ට් වල යන්න බය එකට කියන ෆෝබියා ඒකකුත් තියෙනවා. මේ ළඟදී මම දැක්කා විජිතමුනි සොයිසා කියනවා. මොණරාගලට පළවෙනි ලිෆ්ට් එක ගෙනාවේ එයාය කියලා. සෙලින්කෝ එක ගැන නම් පොත් හතරක් පහක් උනත් ලියන්න පුළුවන්. පියසිරියා මගේ හොඳ යාළුවෙක්. දැන් මතකද දන්නෙ නෑ. පියසිරි වගේම නම්බර් වන් කුකෙක් හිටියා ශාන්ත කියලා. ඌ දැන් චීෆ් සෙකුයුරිටි ඔෆිසර්.

    ReplyDelete
    Replies
    1. ලිෆ්ට් වලට වඩා එස්කැලේටර් වලට ෆොබියාවක් තියෙනවා. හින්දි ඇඩ් එකක් තියෙනවා තාත්තා නගින්න බයයි. කොල්ලා නැගලා යනවා. ටිකකින් තාත්තා කොහොම හරි කරලා එල්ලෙනවා.
      අයියෝ ඇයි ශාන්තට එහෙම වුණේ ?

      Delete
    2. මාතා... මට සෙලින්කෝ එක ගැන හොඳ මතකයක් තියෙනවා. සෙලින්කෝ බේස්මන්ට් එකේ සැලොන් එක මම නිතරම ගැවසුන තැනක් 82-84 වගේ කාලයේ. උඹ ලියපන්. මම ලියන්න ගියොත් හෙන බිබිලක් වෙනවා...මගේ කතාව ලියන්න තව කල් යනවා. දාහක් කතා තියෙනවා ඔය සැලොන් එකයි මගෙයි.

      Delete
    3. Escalator phobia ඒකනම් සැරටම තියනවා. ගොඩක් උන් යන්නේ නෑ මගදී හිර වෙයි කියලා!

      Delete
  2. ආකාස කඩේ තට්‍ටු හතරකට වැඩිය උසයි සුදීක. මම දන්න ඔ‍ෆිස් එකක් තියනවා ඒකෙ අට වෙනි තට්‍ටුවේ... ඊටත් වැඩි තට්‍ටු ගානක් තියනවා මගේ හිතේ..

    මට හම්බෙලා තියනවා තනියම ලිෆ්ට් වල යන්න බය අය.. ඔවුන් තව කවුරුවත් නැතිව ලිෆ්ට් එකට නගින්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා ආකාස කඩේ අලුතෙන් උස වැඩි කරාද මන්දා සෙන්ට්‍රල් බෑන්ක් බෝම්බෙන් පස්සේ. ඔව් ලිෆ්ට් ෆෝබියාව බොහොම ප්‍රසිද්ධ එකක්.

      Delete
    2. සුදීක/සෙන්නා..... මම කියන කාලෙත් (70 ගණන්වල )මාව අරන් ගියා අපේ තාත්තා ආකාස කඩේට (එයාට සල්ලි තිබුණ කාලේ ) ඒක තමයි තිබුන උසම බිල්ඩිම. මම ඔය බිල්ඩිමේ උඩ මරු වැඩක් කරා තරුන කාලේ 84 විතර, ගොඩාක් දේවල් තියෙනවා සෙලින්කෝ බිල්බිමත් එක්ක කතා කරන්න. මගේ කසින් එදා මාත් එක්ක පිස්සු නටපු සෙලින්කෝ සැලොන් එකේ ලේඩීස් හෙයාර් ඩ්‍රෙසර්, අද ජපානයේ සල්ලි නිකං මල්ලි වගේ ඉන්න පොරක්. ලියන්න නම් ගොඩාක් තියෙනවා. කොහොමද දිගට ලියන්නේ.

      Delete
    3. අපි ඒ ගැන කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

      Delete
  3. බොාරු කියන්නෙ මොකටද ඕකෙ පළවෙනි වතාවෙ ගිය වෙලේ නිකං කැරකිල්ල වගේ තමා.. :D
    පන්ච් කාඩ් ගැනනං IT වලදි ඉගෙනගත්ත මතකයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සංචා පන්ච් කාඩ් ගැන අපි ඉගෙන ගත්තේ ඒවා භාවිතා වෙන අවධියෙමයි. ඒ නිසා අපිට ඒවා අතපත ගාන්න ලැබුණා.

      Delete
    2. ඒ කියන්නේ සුදිකට දැන් සැහෙන්න වයස වෙන්න ඕන

      Delete
  4. ලංකාවෙ මුල්ම ලිෆ්ට් & escalator කිව්වොත් ඉතිං සෙලින්කොම තමා ඉදගෙන .....
    >>මේවාගේ දත්ත සටහන් කිරීම ඉතා රසවත් ආකාරයකට සිදු කරයි. ඔබ කැමැත්තක් දක්වනවා නම් පසු සටහනකින් ඒ පිළිබඳ දැනුවත් කරන්නම්. <<
    කියනකං නොහිද දාපං මචං :) :)

    ReplyDelete
    Replies
    1. හරි කෙන්ජියේ උපරිම උත්සාහ ගන්නම්.

      Delete
  5. මම හිතන්නේ ලෝකයේ තවමත් වැඩියෙන්ම සේවා කට්ටියක් තමයි ඔය ලිෆ්ට් වල අලුත්වැඩියා සේවා සපයන්නන් ..... මොකද ඉස්සර ඔය ලිෆ්ට් වලට යොදාගත්තේ ඉතාමත් මිල අදික තත්වයෙන් උසස්ම අමතර කොටස් ඒ නිසා ඒවායේ මිල ගණනුත් හරිම සැරයි .... ඒ නිසා අයකිරිමුත් බොහොම ඉහලයි .... එත් දැන් ඒ සියලුම අමතර කොටස් චීනයේ නිපදවෙනවා ..... මිල ඇහුවම හිනා යනවා (පරණ ගණන් මතක් වෙලා).... එත් අලුත් වැඩියා කරන අය තාමත් අයකරන්නේ පරණ අමතර කොටස්වල ගානටම හරියන්න.... ඒ උනාට පාවිච්චි කරන්නේ ගාන අඩු චීන කෑලි.....

    ReplyDelete
    Replies
    1. මුල්ම ඒවා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත නිසා කොහොමත් ගණන්. පස්සේ ඔටිස්, මිට්ෂුබිෂි වගේ ඒවා ජපානයෙන් ආවේ. දැන් ඉතිං ඕනෑම දෙයකට චීන විකල්පයක් තියෙනවනේ.

      Delete
  6. 1න්ම කැමති..පසු සටහනක් ලියන්න. අනිත් රටවල් වල භාවිතා වෙන තාක්ෂනය ගැනත් ලියන්න.
    මිට පෙර නොදන්නා විස්තර ගොඞක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජීව. පන්ච් ටේප්/කාඩ් ගැන ලියන්නම වටිනවා.

      Delete
  7. අර උඩ තියෙන ජාතියෙ ලිප්ට් වල යන්න ආසයි අප්ප...
    ලංකාවෙ තාම තියේද...
    ඉන්දියාවෙ නං තියේ... මොකද අර පිචෑර් වල නිතරම ඕව නෙව පෙන්නන්නෙ
    හිහි

    ReplyDelete
    Replies
    1. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පාවිච්චි වෙනවා තවම.

      Delete
    2. සුදීක
      සෙලින්කෝ එකට අමතරව ඔය ජාතියෙ ලිෆ්ට් තුනක් තිබුණු තැනක් තමයි ටයිම්ස් පත්තර කන්තෝරුව.
      ඔය පන්ච් කාඩ් සිස්ටම් එක විභාග දෙපාර්තමේන්තුව පාවිච්චි කළා ඒ දවස්වල...

      හර්ෂ

      Delete
  8. කාටවත් කියන්න එපා මටත් තනියම ලිෆ්ට් වල යන්ඩ බයයි

    ReplyDelete
    Replies
    1. ඕකත් නිකං පණ්ඩිතයට ඒදන්ඩේ යන්න බෑ වගේ වැඩක් මට හිතෙන්නේ. උඹ මැෂින් කාරයා නිසා, ඔය කේබල් වල සවි ශක්තිය ගැන බය හිතෙනවා ඇති.

      Delete
  9. ලිපිය නියමයි... අදම දැනගත්තු දේවල් ටිකකුත් තියෙනවා.. ස්තූතියි මචං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුගෑගීප.

      Delete
  10. ආකාස කඩේ තිබ්බෙ 14 වෙනි තට්ටුවෙ මට මතක විදියට. ඔය ලිෆ්ට් එකට විදුලි සෝපානය කියන එකේ අවුලක් තියෙනව. මොකද සෝපානය කියන්නෙ පඩි පෙලට. එතකොට ලිෆ්ට් එකට විදුලි සෝපානය කිව්වම එස්කැලේටර් එකට මොකද කියන්නෙ?

    ලංකාවෙ මුල්ම යුගේ ලිෆ්ට් එකක් තියෙන තැනක් තමයි ගෝල්ෆේස් ටෙරස් එකේ තියෙන මාකන් මාකර්ලගෙ මහ ගෙදර. මේක ඔෆිස් බිල්ඩින් එකක්, උඩම තට්ටුවෙ පෙන්ත් හවුස් එකේ තමයි අයිතිකාරයො ඉන්නෙ. ලිෆ්ට් එකට ඔපෑඉටර් කෙනෙකුත් ඉන්නව දැක්කම භය හිතෙන පෙනුම තීන. මම දන්න විදියට ඒක සෙලින්කෝ එකට වඩා පරණයි.

    මම ලිව්ව බහරේනයෙ මෝඩ මෝල නම් ලිපියෙ තීන ගොඩනැගිල්ලෙ ලිෆ්ට් එක පිටත පේන්න එක පැත්තක් වීදුරු වලින් තියෙන්නෙ. තට්ටු 38 උඩට වට පිට බල බල යන එක ජොලි උනාට එන එක හීතලවෙන වැඩක් පුරුදු නැති කෙනෙකුට.

    ReplyDelete
    Replies
    1. හොඳයි අපි ලිෆ්ට් එකම කියමු. වැඩේ තියෙන්නේ හරි සිංහල වචනයක් නැති එක.

      Delete
  11. දේශීය අදායම් එකෙත් ලිෆ්ට් කිහිපයක්ම තියෙනවානේ.මට මතකයි මේ මෑතකදී එකේත් ලිෆ්ට් එකක් අතරමග හිර වෙච්චි කතාවක් තිබුණා.

    ReplyDelete
    Replies
    1. හිර වුණාම දැනුම් දෙන්න දුරකථනයක් දැන් ලිෆ්ට් වලනම් තියෙනවා. බොහෝ දෙනෙකුගේ අතේ මොබයිල් තියෙන නිසා, ඒ හැටි බය වෙන්න දෙයක් නෑ.

      Delete
  12. දැං තියන ලිෆ්ට් නිකං නිකං බෙන්ස් වගේ ඈ :D

    ReplyDelete
    Replies
    1. බෙන්ස් හැදුණේ අර වගේ මයිනර් වැඩි දියුණු කරලා තමයි.

      Delete
  13. අර වගේ එකක ගිහින් බලන්ට ආසයි...හැබැයි ටිකක් බයයි තමා නේද? :D

    ReplyDelete
    Replies
    1. ඒවායේ යන්න දැන් ඒවා තරම් බය වෙන්න එපා. මොකද මේඩ් ඉන් ඉන්ගලන්ඩ්.

      Delete
  14. තව විස්තර ටිකක් දැම්මනම් මරු

    ReplyDelete
    Replies
    1. මොන වගේ විස්තරද මචං ? ලිෆ්ට් වැඩි දියුණු වෙච්ච හැටිද ? මේ දවස් වල මම බොහොම අමාරුවෙන් මේ ටිකත් ලියා ගන්නේ.

      Delete
  15. මා මුලින්ම විදුලි සෝපානයක් දුටුවේ 1960 දශකයේ මුල් භාගයේදීයි. ඒ එකල කොටුවේ පිහිටා තිබුණු, පැරණි 'ටයිම්ස්' (ලංකාදීප) පුවත් පත් ආයතනයේදියි. එය බොහොම මුල් යුගයේ එකක්. මේ වෙලාවේ සෝපානය තිබෙන්නේ කීවැනි තට්ටුවේද කියන එක පෙන්නුවේ, අර්ධ කවාකාර ඔරලෝසු මුහුණතක් වැනි මුහුණතක සවිකළ ඔරලෝසු කටුවක් වැනි කටුවකින්. ඔබ කියා ඇති ආකාරයේ අතින් අරින වහන දොරවල් තිබුණේ. ඒ කාලේ ලංකාවේම විදුලි සෝපාන දහයකට පහළොවකට වඩා තියෙන්න නැතුව ඇති.

    මම ආසම විදුලි සෝපානයක් තම ලංකා විදුලිබල මණ්ඩලයේ තිබෙන අර නොනවතින විවෘත සෝපානය. දවසක් මම අපේ පොඩි අක්කා සමග එයට නගින්න ගිහින් අක්ක බයවෙලා පොඩි (පොඩි?) විලාපයක් තිබ්බ මණ්ඩලේටම ඇහෙන්න.

    මගේ යාලුවෙක් මැජස්ටික් සිටි එකට ගියා මුළු පවුල පිටින්. ගෘහ සේවිකාවත් ගිහින් හිටියා. ඇය හොඳටම බයවුනා අර එස්කැලේටර් එකේ යන්න. එතනට ගිහින් මහ හඬින් අරවා මෙව්වා කියනකොට, අවට ඉන්න ජනතාවගේ අවධානයත් යොමුවෙන්න පටන් ගත්තලු. මගේ යාලුවා එයාගේ බිරිඳට කනට කරලා කියලා තියනවා එයා කරන්න යන දේ. එක වරම ගෘහ සේවිකාවගේ අත තදින් අල්ලලා ඇයවත් ඇදගෙන ඔහු එස්කැලේටර් එකට ගොඩවුනා. අනේ අර කෙල්ලගේ විලාපයට ආරක්ෂක අංශයේ ඔක්කොම දුවගෙන ආවා මිනියක් මරනවද බලන්න.

    ReplyDelete
    Replies
    1. වයිෆ්ට තද වෙලා නැද්ද ?

      Delete
  16. ඉහල යන්න පුලුවං රස්සාවක් කරන්න ඕනෙ නම් එක්කෝ පොල් ගස් නගින්න ඕනේ නැතිනම් විදුලි සෝපාන ක්‍රියාකරුවෙක් වෙන්න ඕනේ. ඉස්සර අපි ඕවායේ බට්න්ස් කඩයි කියලද කොහෙද ඕවට එහෙම අය දාලා තිබ්බනේ.
    අමෙරිකාවේ ඉන්නවනේ Amish people කියලා ජාතියක්. එයාලගේ "ගැමි"
    ගති වලට නැතිනම් පරණ විදියට ජීවත් වීම හාස්‍යයට ලක් කරපු කතා හුඟක් තියෙනවා. මේ එහෙම එකක්.
    එක පොරක් එක පාරක් පුතත් එක්ක නගරෙකට ගිහින් ලොකු බිල්ඩිමකට ඇතුල් වුනාලු. පොර ලොබි එකේ බලා ඉන්දැද්දි දැක්කලු එක දොරක් ඇරෙනවා පොඩී කුටියකට. එතන බලා හිටපු වයසම ගෑණු කෙනෙක් ඒ කුටියට රිංගලා දොර වහ ගත්තලු. මෙන්න ටික වෙලාවයිලු ගියේ අර අවන් එකක බෙල් එක වදිනවා වගේ ටිං ගාලා බෙල් එක වැදුනලු, දොර ඇරුනලු, ඉටිකිරිස් වගේ ගෑල්ලමයෙක් අර දොරෙන් එළියට ආවලු.


    පොර පුතාට කිව්වලු. "කොල්ලෝ උඹ ටක් ගාලා ගෙදර දුවලා අම්මව එක්ක වරෙං."

    ReplyDelete
    Replies
    1. එල හෙන්රිය...;.. :)

      Delete
    2. ඇත්තටම නොදැකපු එකෙක් ඒ වගේ හිතන එකෙත් වරදක් නෑ.

      Delete
  17. ‍මේ ‍ලිෆ්‍ට්‍ ‍ක‍තා‍ව ‍කි‍ය‍ව‍න‍කො‍ට ‍ම‍ට ‍ම‍තක්‍ ‍උ‍නේ ‍ම‍ම ‍වැ‍ඩ ‍ක‍රන්‍‍නේ ‍කාර්‍ගිල්‍ස්‍ ‍එ‍කේ , ‍අ‍පේ ප්‍ර‍ධා‍න ‍කාර්‍යා‍ල‍යේ ‍ගො‍ඩ‍නැඟි‍ල්‍‍ලේ ‍ම‍ට ‍ම‍ත‍ක‍යි ‍ඔ‍ය ‍ප‍ර‍ණ ‍සෝ‍පා‍න‍යක්‍ ‍ති‍ය‍න‍වා ‍ත‍ව‍ම ‍හො‍ද‍ට ,‍පා‍විච්‍‍චි ‍ක‍රන්‍‍නේ ‍නැ‍ති ‍උ‍නා‍ව ‍බො‍හො‍ම ‍හොඳි‍න්‍ ‍අ‍ද‍ට ‍උ‍නත්‍ ‍පා‍විච්‍‍චි ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වි‍දි‍ය‍ට ‍න‍ඩත්‍‍තු ‍ක‍ර‍ලා ‍ති‍ය‍න‍වා ‍ම‍ම ‍හි‍තන්‍‍නේ , ‍දැන්‍ ‍නම්‍ ‍මේ ‍අ‍ලුත්‍ ‍එ‍කක්‍ ‍පා‍වි‍චි‍ය . ‍අ‍ර ‍කොම්‍‍පී‍ටර් ‍පන්‍ච්‍ ‍කාඩ්‍ ‍ලි‍පි‍යත්‍ ‍ලි‍යන්‍‍න . ‍අ‍පි ‍හ‍රි ‍කැ‍ම‍තී ‍දැ‍න‍ගන්‍‍න.‍ලිෆ්‍ට්‍ ‍ෆෝ‍බි‍යා ‍එ‍ක‍නම්‍ ‍බො‍හො‍ම ‍අ‍ය‍ට ‍ති‍ය‍න‍වා‍ලු ‍ම‍මත්‍ ‍අ‍හ‍ලා ‍ති‍ය‍න‍වා

    ReplyDelete
    Replies
    1. හොඳයි ලියන්නම්. ඊට කලින් පොඩි පරිවර්තනයක් කරන්න තියෙනවා.

      Delete
  18. ඔන්න ඔය ජාතියේ පරණ ලිෆ්ට් එකක් ඔපරේට් වෙනාවා තාම බදුල්ල ඉස්පිරිතාලේ , හැබැයි අමාරු ලෙඩෙක් සහ මිනියක් ගෙන්න විතරයි

    ReplyDelete
    Replies
    1. හික්ස් මාත් කියන්න හැදුව විත‍රයි මාත‍රත් තියෙනව ලෙඩ්ඩුන්ට විත‍රයි කියල.

      Delete
    2. අමාරු ලෙඩ්ඩු, පහලට එනකොට මිනී වෙලාද එන්නේ ? :)

      Delete
  19. ඔය පන්ච් කාඩ් ගැන අපිත් ඉගෙන ගත්ත මුල් කාලෙ. ඒ ගැන ලියනවනං වටිනව.
    මාත් ඉස්සර අර එස්කැලේටර් වල යන්නනං මාර බයක් තිබුණෙ. පස්සෙ MC යුනිටි ඒවයෙ ගිහිල්ලම පුරුදු උනා.
    ඔය ලිෆ්ට් වල කලිං ගිහිල්ල තිබුණට ඒක ඔපරේට් කරන්නෙ කොහොමද කියල හරියටම තේරුං ගත්තෙ අර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකේදි තමයි. :D

    ReplyDelete
    Replies
    1. ලිෆ්ට් එකක් ඔපරේට් කරන එක නිකන් බ්ලෙන්ඩර් එකක්, මයික්‍රෝවේව් යන් එකක් වගේ තමයි.

      Delete
  20. නොදැන සිටි කරුණු කීපයක් දැනගත්තා. ලංකාවෙ පළවෙනි පරිගණකෙ ගෙනාවෙ කොහේටද කියලා මතකද ?

    ReplyDelete
    Replies
    1. මම දන්නා විදියට කළුතර චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ පරිගනකයක් ආධාරයෙන්, ඊට අමතරව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට සිංහල මයික්‍රොප්‍රොසෙසර් එකක් එක්ක එක හදවාගෙන තියෙන බව අහලා තියෙනවා.

      Delete
    2. මුල්ම පරිගණකය ගෙනාවෙ විභාග දෙපාර්තමේන්තුවට

      Delete
    3. මට මතකයි ගලධාරි හෝටලය. 1986ද කොහෙද. රෙස්ටෝරන්ට් එකේ ඉඳන් කිචන් එකට ඕඩර් එක යැව්වේ කම්පියුටර් සිස්ටම් එකකින්. ඒක ඔබරෝයි එකේවත් තිබුනේ නැහැ. මට මතක දෙයක් කිව්වේ හරි වැරදි දන්නේ නැහැ.

      Delete
  21. ඉසිවරයා වගේ නමක් තියෙන ටෙලි නාට්‍යක මම දැක්කා මනුස්සයෙක් අතින් කඹයක් ඇදලා ක්‍රියාත්මක කරවන සෝපානයක් . මේක කියවත්දි මට ඒක මතක් උනා .

    ReplyDelete
    Replies
    1. ඔය කතාව කිව්වම මතක් වුණේ, භයාගිරිය ප්‍රතිනිර්මාණය කරන තැනදී ගියා අමුතුම ලිෆ්ට් එකකින්.

      Delete
  22. අ‍ර ‍කොම්‍‍පී‍ටර් ‍පන්‍ච්‍ ‍කාඩ්‍ ‍ලි‍පි‍යත්‍ ‍ලි‍යන්‍‍න . ‍අ‍පි ‍හ‍රි ‍කැ‍ම‍තී ‍දැ‍න‍ගන්‍‍න

    ReplyDelete
    Replies
    1. හොඳයි. ඊට කලින් ලස්සන ලිපියක් තියෙනවා පරිවර්තනය කරන්න.

      Delete
  23. මම ඉස්සෙල්ලාම ලිෆ්ට් එකක් දැක්කේ තාත්තා වැඩ කරපු රක්ෂනේ . මට මතක හැටියට යෝක් බිල්ඩිමේ. මම වැරදි ඇති. ඊට පස්සේ සෙලින්කෝ එකේ. අර ගරාදි වැට එක්ක ලිෆ්ට් එක. මම පොඩි කාලේ තැප්‍රබෝන් හෝටලයෙත් අපේ ඥාති අක්කා කෙනෙක්ගෙ වෙඩින් එකට ගියා. එතනත් ඔය ගරාදි වැට එක්ක ලිෆ්ට් එකක් තිබුනා. මම ඔබරෝයි එකේ තමයි දැක්කේ පලවෙනි ගරාදි වැට නැති ලිෆ්ට් එක 1982 ස්ටාෆ් එකටත් වෙනම තිබුනා. නුවර ක්වීන්ස් හෝටලයෙත් ගරාදි ලිෆ්ට් තිබුනා. මවුන්ට් ලැවිනියා හෝටලයෙත් එහෙමයි. මේ හෝටල් දෙකේම කුස්සියේ සිට කෑම රෙස්ටොරන්ට් එකට ගේන ස්ටාෆ් ලිෆ්ට් එකක් තිබුනා. මට මේ දේවල් ගැන ලියන්න ආසයි සූදික. කෝ වෙලාවක්. කවදා හරි ලියනවා....ඉතිහාසය ලියා තැබිය යුතු නිසා. උඹට ස්තූතියි ලිෆ්ට් මතක් කරාට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අරුගේ ඉතිහාස සටහන් ඉතාමත් රසවත්. ඒ වගේ පිළිවෙලකට ලියන්න තිබුණා නම් කියලා මටත් වෙලාවකට හිතෙනවා.

      Delete
    2. අරු..මම 82 දි විතර ආධුනිකයෙක් විදිහට වැඩ කලා මෙසෙන්ජර් වීදි්‍යෙ Samuel Sons ආයතනයෙ. දැන් ඒක නැහැ.ඒ ගොල්ලො තමයි නම් දරා හිටියෙ කලැප්සිබල් ගේට්ස් වලට. Union ලේබලයෙන් open type සහ shutter type දෙකම කළා. මට මතකයි ඔය ලිෆ්ට් වල දොරවලුත් හැදුවා.

      හර්ෂ

      Delete
  24. සුදීක....මම 1987 ඔමාන් එයාර් පෝට් එකේ වැඩ කොරනකොටත් තිබුනේ ඔය තිත් තිත් වැදෙන කහ පාට සිස්ටම් එකම තමයි. මට හරියට මතක් වෙන්නේ නැහැ ඒ සිස්ටම් එකේ නම. ඔමාන් එයාපෝට් එකේ හිටිය ඒ ඔපරේටර්ස්ලා තමයි පනිවිඩ දුන්නේ. 24 පැයේම හිටියේ ලාංකිකයෝ. නමින් මතකයි. 87 ඉඳන් මේ වෙනකොට කොච්චර වෙනසක්ද. මම ඒ කාලය ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. හොඳයි ලියන්න. ඉතාම රසවත් වෙයි. මම හිතන්නේ ඒ කාලේ ඒ වගේ වැඩ කරපු අයට හොඳ දැනීමක් තිබෙන්න ඇති. මොකද ස්වයංක්‍රීය දේවල් අඩු නිසා.

      Delete
  25. අමතක වන්නට පෙර කියන මාතෘකාව දැක්කාම මට එකපාරටම හිතුනේ අරූ ලියන (අවුල් වෙන්නට පෙර) කතාවේ කොටසක් කියායි!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ දෙකේ වෙනසක් නෑ. අරූ අමතක වන්නට පෙර කියලා භාවිතා කළා නම් තමයි හොඳ. නමුත් අරු ඉතිහාසය ලියත්දී මම ලියන්නේ, එදා අප දුටු එහෙත් අද බොහෝ දෙනෙකුට අමතක, අද දුටුවම හාස්‍යයක් ඇති වන දේවල්.

      Delete
  26. පන්ච් කාඩ් ගැන නම් ඇහුවෙත් අදමයි.. ඇත්තටම අර මුලින්ම කියලා තියෙනවා වගේ ඒ ගැන සංගණන වාර්ථාවක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. කොළඹ කොටුවේ හිටියා නම් සංගණන වාර්තාව අරන් බලන්න තිබුණා.

      Delete
  27. පන්ච් කාඩ් ඒ වගේම ඔය ඩේටා එන්ටර් කරන පන්ච් ටේප් එහෙම අපි අයිටී කරන මුල්ම කාලේ ඉගනගත්තා මතකයි, මුලින්ම ලිෆ්ට් එකක් දැක්කේ 1992 දී ද කොහේද අපේ මාමගේ මගුල් ගෙදර ගිහින් ඉන්නකොට. ඒ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් එකේ. ආසාවට එදා ඕකේ වට දෙකතුනක් ගියා මතකයි.

    ReplyDelete
    Replies
    1. ඒවා හොයා ගත්ත මිනිසුන්ට පිං සිද්ධ වෙන්න තමයි අද අපි මේ හැම දෙයක්ම කරන්නේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...