Wednesday, August 29, 2012

බ්ලොග් පොස්ට් දැමීමේ නිවැරදි වේගය (Frequency ) කුමක්ද ?

2012 ජනවාරි මාසේ පළවෙනිදා මේ ලෝකේ හය හතරක් දැන්නැතිව බ්ලොග් ලෝකෙට කඩා පාත් වෙච්ච් මම, මාස අටක් ගත වෙද්දී බොහෝ දේවල් ඉගෙන ගනිමින්, වැරදි නිවැරදි කර ගනිමින්, මේ වෙනකොට පොස්ට් 80ක් විතර ලියල තියෙනවා. මුලින් මුලින් මගේ බ්ලොග් එක බලන අය මගේ මිතුරන්ට සීමා වුනත් අද වෙනකොට විවිධ සින්ඩිකේටර් හරහා බොහෝ දෙනෙක් කියවන තත්වයකට පත් වෙලා තිබෙනවා.  මේ වෙද්දී මම මාසෙකට පොස්ට් 10ක් වගේ ප්‍රමාණයක් පොස්ට් කරන මට්ටමක් පවත්වාගෙන ආවා. මේ කාල සීමාවේදි මට පෙනුන දෙයක් තමයි සමහර පොස්ට් ලියල දින පහක් හයක් යනකම් කියවන අය පැමිණෙනවා,  ඒත් සමහර පොස්ට් දාලා දවස් දෙකක් වත් යනකම් පිවිසෙන්නන් අඛණ්ඩව නොඑන බව . එතකොට ඉතිං නිකංම තව පොස්ට් එකක් ලියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.  මම මේ කරන්න යන්නේ සහ-සහභාගීත්ව ප්‍රයේෂණයක්  (Interactive Research) එකක්. මේක මට විතරක් වැදගත් වෙන දෙයක් නොවේ. ඇත්තටම මේ මොනවා කිව්වත් අපි පොස්ට් දන්නේ අපිට ඒ සඳහා ලැබෙන ඉඩකඩ අනුව. මම මෙතැනදී ඔබගේ සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා. මෙතන ඉන්නවා පොස්ට් 500 ට වඩා දාපු ප්‍රවීනයන්, ඒ වගේම මම වගේ ආධුනිකයන්.  ආධුනික අයට තමයි මේ දේ වඩාත් වැදගත් වෙන්නේ. මගේ මෙතන බලාපොරොත්තුව මා ලියනා දේ සිංහලෙන් කියවන හැම කෙනාටම කියවන්න සැලැස්වීම.

මට තේරෙන විදියට මේකට බලපාන කාරනයක් තමයි වැඩිම පිවිසෙන්නන් ප්‍රමාණයක් යොදා ගන්නා සින්ඩිකේටර්. අද වෙනකොට මම දන්නා විදියට සින්ඩිකේටර් පහළොවක් වගේ තියෙනවා. මින් වැඩි හරිය ෆේස්බුක් සින්ඩිකේටර්. මගේ බ්ලොග් එකට වැඩියෙන්ම පිවිසෙන්නන් එන්නේ "සිංහල බ්ලොග් කියවනය", පලවෙනි පිටුවෙහි තිබෙන තාක් පිවිසෙන්නන් අපේ බ්ලොග් එක වෙත පැමිණෙනවා. දෙවෙනි පිටුවෙන් හෝ ඉන් එහා ගිහින් එන්නේ ඉතා කලාතුරකින්. අපිට පුළුවන් නම් මේක යම් ස්ථායි තත්වයක පවත්වා ගන්න හැම දෙනාම ලියන දෙයට සමාන අවස්ථාවක් ලැබෙනවා. මට තේරෙන විදියට නම් අපි ලියන ප්‍රමාණය වැඩියි. පැමිණෙන්නන් පත්තරයකින් ලිපි තෝරාගෙන කියවනවා වගේ තමයි කියවන්නේ.  එහි වරදක් නෑ, තමන්ගේ රුචිකත්වය අනුව තමයි ලිපි තෝරා ගන්නේ. ඒත් සින්ඩිකේටර් වලට අමතර ජනප්‍රිය බ්ලොග් වල බ්ලොග් රෝල මගින්, අපගේ බ්ලොග් එක ෆලෝ කරන්නන් සහ සෙවුම් යන්ත්‍ර හරහාද පැමිණීම සිදු වනවා. සමහර අය කණ්ඩායම් වශයෙන් නිතරම යන බ්ලොග් තියෙනවා. ඇත්තටම මටත් ඒ වගේ බ්ලොග් තියෙනවා. මොනවා ලිව්වත් ගිහින් බලලා කමෙන්ට් කරන. හිතට වැදුනාම තමයි එහෙම වෙන්නේ. 

ඔබ ලියන මාතෘකාවත් එයට සෑහෙන දුරට හේතු කාරණයක් වනවා. බොහෝ දෙනෙක් මාතෘකාව පදනම් කරගෙන පිවිසෙන්නන් ආකර්ෂණය කර ගන්නවා. එහි වරදක් නෑ. එහෙත් සමහර ඒවා ගැනනම් එතරම් පැහැදීමක් නෑ. රටේ ජනප්‍රිය මාතෘකාවක් ඔබගේ පොස්ට් එකට දැම්මොත් බලන ප්‍රමාණය වැඩි වෙනවා. එයට සාපේක්ෂව කමෙන්ට් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ ප්‍රතිචාර මගින් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. සමහරවිට ලිපියේ අන්තර්ගතයට වඩා වැඩි දෙයක් කමෙන්ට් වලින් ගන්න පුළුවන්. ඒ වගේම එන අය අහන ප්‍රශ්ණ වලින් ඔබට අමතක වූ යම් තැනක් මතකයට නැගෙන්නත් පුළුවන්. 

හැබැයි ලිංගිත්වය ගැන තිබෙන ලිපි ගැන මම දරන්නේ නිහඩ ප්‍රතිපත්තියක්. ඒවා තියෙන්න අවශ්‍යද නැද්ද කියන එකට මට තාම පිළිතුරක් නෑ. නමුත් අපි දෙයක් ලියද්දී යම් වගකීමකින් ලියන්න අවශ්‍යයි කියන එකයි මගේ මතය. ලියා ඉතා ජනප්‍රිය විය හැකි බොහෝ දේ තිබුණත්, මෙහි පිවිසෙන්නන්ට හරවත් යමක් දීම තමයි මගේ වගකීම ලෙස මා විශ්වාස කරන්නේ. කොටින්ම මගේ දෙමාපිය, ගුරුවර වගේම සහෝදර සහෝදරියන්ට වුවත් කියවන්න හැකි. කියවීමෙන් පසු මට ඔවුන්ට මුහුණදිය හැකි දේ තමයි මා ලියන්න වග බලාගන්නේ. ඉතිං කෙනෙකුට හිතෙන්න පුලුව "උඹට ඔන්නම් උඹ ඔය විදිහට ලියපං, අපිට ඕන දේ අපි ලියවනවා" කියල. සහතික ඇත්ත. ඔබේ බ්ලොග් එකේ ඔබ ලියන්න ඕනේ ඔබට අවශ්‍ය දේ. ඒ ගැන විවාදයක් නෑ. 

ඒත් මගේ මිතුරණි, මට දැනගන්න අවශ්‍ය බ්ලොග් දෙකක් අතර පරතරය කෙතරම්ද කියලයි. ඒ සඳහා ඔබ සැමගේ සහභාගීත්වය බලාපොරොත්තු වනවා. කරුණාකර ඔබේ අදහස අකුරු කරන්න.

මෙය පර්යේෂණයක් බව මා මුලින්ම කිව්වා. හොඳයි ඒ සඳහා යම් සංඛයලේඛනයක් ඉදිරිපත් කිරීම අවශ්‍යයි. ඉතිං මම හිතුව සිංහල සයිබර් අවකාශයේ ජනප්‍රියම බ්ලොග් කිහිපයක බ්ලොග් පොස්ට් දැමීමේ වේගය ලැයිස්තු ගත කරන්න. මට අතපසු වූ බ්ලොග් එකක් වේ නම මෙහි සඳහම් කිරීම ඔබගේ වගකීම. මන්ද මෙය සහ - සහභාගීත්ව පර්යේෂණයක් බැවින්.

බ්ලොග් අඩවිය   ප්‍රවේෂණ  ගණන   පොස්ට් ගණන  දින ගණන *  වේගය**
කතන්දර                1,000,000         680                1140         පැ. 40
හිස් අහස                  905,000         130                  680       පැ. 125
මල් කැකුළු               442,000         467                  300          පැ. 15
මාරයාගේ හෝරාව     396,000         644                1000          පැ. 37
__________________________________________________________
* ආසන්නව, ** දල වශයෙන්.

ප : ලි : සමහර බ්ලොග් අඩවි වල ප්‍රවෙෂණ ගණකයන් එක් කර නොමැති බවින් මේ සඳහා තොර ගනු ලැබුවේ මට දැනෙන පරිදි වැඩිම ප්‍රවෙෂණ ගණනක් ඇති බ්ලොග් අඩවි බව කරුණාවෙන් සලකන්න.  ඉංග්‍රීසි Interactive කියන වචනයට පැහැදිලි සිංහල වචනයක් නැති නිසා "සහ-සහභාගීත්වය" කියන වචනය යොදා ගත්තා. මගේ වේගයත් දාන්නම්

ඇවිද්ද පය   :     42,000                   82                        242          පැ. 70

Tuesday, August 28, 2012

ඉර බැස යන වෙරළේ එකෙකු ඉර නැග එන වෙරළට ඇදගෙන ගොස් දැමීම - 2 කොටස (ගිනියමෙන් සිසිලසට)

ඉස්සර අපි චිත්‍ර කථා බලන්න පුරුදු වෙලා හිටිය. අද කාලේ වගේ ෆේස්බුක්, ගූගල් යුගයක් නෙවෙයි එදා තිබුණේ. තනිකරම පත්තර, පොත් පත් පමණක් පරිශීලනය කරමින් ගත කල යුගයක්.  සති අන්ත කාටුන් පත්තර වලට අපි කොයි තරම් ඇබ්බැහි වෙලා හිටියාද කිව්වොත් ගෙවල් ගානේ ගිහින් පත්තර බලන නැත්නම් ඉල්ලගෙන ඇවිත් බලන පුරුද්දක් අපට තිබුනා. පුස්තකාල වලත් දිනපතා සතිඅන්ත පත්තර තිබුණත්,  චිත්‍රකතා ඒවාට ගෙන්වන තත්වයක් තිබ්බේ නෑ. නමුත් අද මම ලියන්න යන කතාවට පත්තර කොහොත්ම සම්බන්දයක් නෑ. කියන්න ඕනෑ වුනේ මම ඒ කාලේ බලපු චිත්‍ර කතාවක වෙච්ච අපුරු සිද්ධියක් මම අද දාන්න ලියාගෙන යන මේ පොස්ට් එකට සම්බන්ධයක් තියෙන නිසා. මට හරියටම චිත්‍රකතා පත්තරේ මොකක්ද කියල මතක නෑ, ඒ වගේම කතාව මොකක්ද කියලා මතකත් නෑ. හොඳයි ඒ කාලේ තිබ්බ ජනප්‍රියම චිත්‍ර කතාවක් වෙච්ච සරත් මධු කියන අතිශය ජනප්‍රිය කාටුන් ශිල්පිය ඇන්ද "ඉතිං ඊට පස්සේ" කියල නිකමට හිතමු. මේ කියන සතියේ කතාව කියෙව්වහම අපට පොඩි සැකයක් ආව, ගිය පාර අවසන් කරපු තැනයි, මේ සතියේ පටන් ගත්ත තැනයි අතරේ කිසිම සම්බන්ධයක් නෑ නේද කියල. අපි හිතපු විදිය හරි කියල තේරුනේ ඊළඟ සතියේ පත්තරේ ඒ ගැන කනගාටුව පල කරලා ගිය සතියට නියමිත කොටස අද කියල දැම්මහම. එතකොට වැඩේ කේකුයි - පපඩනුයි වගේ වෙලා ගියා. අන්තිමේදී අපි කලේ පත්තර තුනම එකට අරගෙන කියවපු එක. හරියට අතුරුපස කාල පස්සේ බත් කෑවා වගේ වැඩක්. 

මම අද ලියන්න යන පොස්ට් එක, පොස්ට් දෙකකින් ලිවයුතු කතාවක දෙවෙනි කොටස. දැන් ඔබට හිතෙනවා ඇති නේද "මොකක්ද මේ කරන්න යන ගොන් වැඩේ මුලින්ම පලවෙනි කොටස ලිව්වනම් ඉවරයි" කියල. ඇත්ත ඒත් මේකේ පලවෙනි කොටස මතක් කර කර මම හෙමිහිට ලියාගෙන යනවා. තවම බාගයක් වත් ඉවර කරගන්න හම්බ වුනේ නෑ. මම මේ දෙවෙනි කොටස කලින් දාන්න හිතුවේ, දෙවෙනි කොටස ලියන එක ඉක්මනට ඉවර කර ගන්න පහසු නිසා. පලවෙනි කොටස එහෙම බෑ. හොඳයි අපි දැන් කතාවට යමුකේ. මම කෙටියෙන් කියන්නම් පලවෙනි කොටස ගැන. මේ කතාව සිද්ද වුනේ 2001 කේ ව්‍යාජ සාමය තිබ්බ කාලේ. ඒ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත අපේ ඉහල නිළධාරීන් නැගෙනහිර පළාතේ ශාඛා පුළුවන් තරම් පරිගණක කරන්න තීරණය කරලා තිබුනා. නමුත් මේ පැති වලට සිංහල අපිව යවන්නේ නෑ. ඒත් පනිෂ්මන්ට් එකක් විදියට තමයි මාව මේකට යවන්න තීරණය කලේ. අන්තිමේදී මම ගියා. සාමාන්‍යයෙන් මෙහෙම යද්දී සති දෙකක පුහුණුවක් ශාඛා වල සේවකයන්ට ලබා දෙනවා. දෙවන සතියේ මැදදී මට මැච් එකක් තියෙන බව දැනගෙන මම එකට අවශ්‍ය ඇඳුම් ටිකත් අරගෙනම තමයි ආවේ. මැච් එක තිබුණේ නුවරඑළියේ රදැල්ල  ක්‍රීඩාංගණයේ. අපි නැවතිලා හිටියේ අක්කරේපත්තු කියන මුස්ලිම් ගමේ. මේ පැති වල යුද්දය නොතිබුනත් සෑම උදෑසනකම මොකක් හරි විශේෂ සිද්ධියක් ගැන වාර්ථා වෙනවා. ඒ පැති වල මිනිසුන්ට ඒවා සාමාන්‍ය දේවල්.  සිකුරාදා තරගය තියෙන්නේ. ඒ කියන්නේ මම බ්‍රහස්පතින්දා පිටත් වෙන්න ඕනෑ. මම බදාදා අපේ අංශ ප්‍රධානියා වෙච්ච විතාරණ මහත්මයට කථා කලා.

"සුභ උදෑසනක් ඉලන්දාරියා, කොහොමද ඔය පැත්තේ තොරතුරු"

"හොඳයි මිස්ට විතාරණ" මම කෙටියෙන් පිළිතුරු දුන්න. මේ මනුස්සයා මේකට මාව එවන්න තීරණය කරලා මට මොන වදයක් දුන්නද කියල දන්නේ මම විතරයි. දැන් මොනවත් දන්නේ නෑ වගේ අහන හැටි.

"මොකද ඉලන්දාරියා කථා කලේ?"

" මිස්ට විතාරණ මට සිකුරාදා මැච් එකක් තියෙනව නුවර එළියේ" වෙනද මේ වගේ දෙයක් කථාඅරන්නේ අපි ටිකක් තිගැස්මකින්, ඒත් සති දෙකකට කලින් මට තිබ්බ ඒ බය නැති කලෙත් මේ මිනිහම නේදැයි මට සිතිනි. දැන් මට හිටියත් එකයි නැතත් එකයි. 

"දැන් ඉලන්දාරියා කොහොමද එන්නේ? හරි දුරයි නේද ?"

"මම බස් එකේ එනවා මිස්ට විතාරණ. උදේ හයට බස් එකක් තියෙනවලු."

"දිල්රුක්ට පහුගිය ටිකේ හරියට කරදර නේද? හරි දුෂ්කර ගමනක් නේද?"

"කමක් නෑ මිස්ට විතාරණ මම බැංකුවේ ඉන්නෙත් ක්‍රිකට් නිසා. නැත්නම් මම මෙලහකටත් වෙන රස්සාවකට ගිහින්". දෙවෙනි වාක්‍ය වචන වලට පෙරලන්න තරම් මට ශක්තියක් තිබුණේ නෑ. මොකද මේ වගේ වාක්‍යක් නිසා මේ අවස්ථාවත් නැති කර ගන්න මට උවමනාවක් තිබුණේ නැති නිසා. 

"හොඳයි ඉලන්දාරියා එහෙනම් සෆීර්ට කියල යන්න. ශාඛාවේ වැඩ කටයුතු හරි නේද?"

"ඔව්. මිස්ට විතාරණ. මම එහෙනම් තියන්නම්"

"හොඳයි. හොඳයි"

මිනිහා අද කථා කරන්නේ බොහොම කූල් පිට. 

මම පිටත් වෙද්දී සෆීර් මගේ අතට දුන්න පුංචි මුලක් ඉටි කවරයකින් ඔතපු. මුලක් කිව්වට එක වගේ දෙකක්ම. 

"මේ මොකක්ද?"

"මචං මේක චුලන්තයට දීපං. උඹ මට කලින් කොළඹ යනවනේ"

"මොනවද මචං මේ ?"

"මේක නිසාම් කොපි. ගොඩක් ජාති එකතු කරලා හදල තියෙන්නේ. අර එදා අපි කන්න ගිය කඩේ කොල්ල කිව්වේ මෙන්න මේවා"

"ආහ් ! මට දැනුයි මතක් වුනේ. අර ගංජායි කෝපියි තව මොනවද දාල හදන ඒවා නේද?"

"ඔව් ඔව් චුලන්තයට තමයි මේවා හොඳ. ඌ ඔය වගේ ඒවාට ආසයි නේ. හැබැයි මේක ලේසි එකෙකුට ගහන්න බෑ. බලමු චුලන්තය මොනවා කර ගනීද කියල"

"අනේ ඌට ඕක ගානක්වත් නැති වෙයි. ඌ ඉතිං ඔය වගේ ගුලි චුර්ණ වලට එක්ස්පර්ටනේ"

"බලමුකෝ"

මම අපේ ඩ්‍රයිවර් ඇනොප්ලීස්ව කැමති කර ගත්තා උදේ පහට මාව අම්පාරට දාන්න යන්න. උදේ හයට නුවරඑළි බස් එක. ඇනොප්ලීස් කියල මිනිහට කාඩ් එක වැදුනේ ඉස්සර මිනිහා බ්‍රාන්ච් වල නැවතිලා ඉන්න සේවකයන්ගේ පහසුවට බෙදල දීපු මදුරු දැල් බෙදන්න ලංකාවේම ගිය නිසා. ඇත්ත නම වෙච්ච සෙනෙවි(රත්න) කියන නමින් කවුරුවත් මුනටවත් කතා කලේ නෑ. 

උදේ හතරහමාරට මගේ ෆෝන් එකේ තිබ්බ එලාම් එකේ නාදෙට දඩස් ගාල ඇඳේ ඉන්දුනා. මම ටක් ගාල ලයිට් එක දාලා ඇඳ ලඟම කලින් සුදානම් කරලා තිබ්බ මගේ දත්බුරුසුවට දත් බෙහෙත් ටිකක් දාගෙන, ටවල් එකත් කරන් පිටිපස්සේ තියෙන නාන ස්ථානයට පිටත් වුනා. මේ වෙනකොටත් මේ නගරය ඇහැරිලා. සීයට සීයක්ම මුස්ලිම් ජාතිකයන් ජීවත් වෙන මේ නගරේ හතර අතින් පල්ලි වලින් නැගෙන උදෑසන යාතිකාව ඇහෙනවා. කඩිමුඩියේ පාරේ එහා මෙහා යන මුස්ලිම් ජාතිකයන් උදේ වුනත් නගන හඬේ වෙනසක් නෑ. මම ඉතාම කෙටි කාලයක් අරගෙන පිරිසිදු වෙලා ආවා. මම එද්දී සෆීරුයි සෙනෙවියි නැගිටලා. 

"ගූඩ් මෝනිං"

"ගුඩ් මෝනිං මචං"

"දිල්රුක් මහත්තය අපි යන්ද තේකක් බොන්න" සෙනෙවියාගේ ඉල්ලීම අහක දන්නා බෑ. අපි දෙන්නත් එක්ක පාරෙන් එහා පැත්තේ තියෙන කඩේට පිටත් වුනා. මේ කඩවල කෝප්ප ඒ තරම් හෝදන්නේ නෑ. හිරිගල් වතුරටයි, එකතු වෙච්ච කහට/කිරි මිශ්‍ර තේ තට්ටුවටයි සුදු කෝප්පේ තනි කහ පාටයි. මම ඒ තේක බොන්නේ නහය වහගෙන. ඒත් එතනට එකතු වෙන පල්ලියෙන් පිටවූ මුස්ලිම් ජාත්කිකයන් ස්රෝස් ගගා රස කර කර ඒ තේක බොනවා. මේ දුක අද විතරයි නේ කියල හිත හදාගෙන අන්තිම තේකත් බිව්වා. අද මට යන්න තියෙන ගමන ගැන ඩ්‍රයිවර් සෙනෙවිගේ මැප් එකෙන් පොඩි අවුබෝධයක් ගත්තා. සැහෙන වෙලාවක් ගත වෙයි කියන එක විතරයි මට හිතුනේ.

මම වෑන් එකට ගොඩ වුනා. සෙනෙවි මාර ෆයිට් එකක් දෙනවා සිංහල රේඩියෝ නාලිකාවක් අල්ල ගන්න. මේ නැගෙනහිර පළාත, අපිට වඩා ගොඩක් උදෙන් මේ පැත්තට එලිය වැටෙනවා. කාපට් කියන එකක් නොදැකපු, ගල් උඩින් තාර දාපු මේ පාරවල් වල යද්දී පපුව කූල් වෙලා යන අවස්ථාත් නැත්තේම නෑ.  මම එහෙම යන පලවෙනි ගමන මේක නොවන නිසා මට ඒ හැටි බයක් නෑ. ට්‍රැක්ටර් වල නැගුන ගොවියෝ උදෙන්ම තමන්ගේ කුඹුරු වැඩ පටන් ගන්න ලහි ලහියේ ගමන් ගන්නවා. ඔවුන් පාන්දරින්ම යන්න හේතුව මේ පැත්තේ අව්වේ ඉන්නවා කියන්නේ ඉතිං පුත්තලමේ කරවල වේලනවා වගේ වැඩක් නිසා. තියෙන කුඹුරු ප්‍රමාණයත් වැඩි නිසා පුළුවන් තරම් වැඩ කොටසක් කරන්නත් උත්සාහ කරනවා වෙන්න පුළුවන්. මේ පැත්තේ තියෙන කුඹුරු වල අන්තය තියෙන්නේ ක්ෂිතිජයේ. මට කුඩා කාලයේ කට පාඩම් කරපු කවියක් සිහියට ආවේ මේ පොස්ට් එක ලියන අද විතරක් නෙවෙයි, එදා ඒ වෙල් යායවල් මැදින් ගමන් ගත්ත වෙලාවෙත්

දිගාමඩුලු වන පියසේ        -     සිංහල බත් කෑ අපේ
රුහුණු පැටව කල දස්කම් -  අමතක වේද මේ කපේ
ඔවුන්  නමට  තවමත්  මෙහි ගස් වැල් වල මල් පිපේ
විජිත පුරේ දෙසින්   හමා  එන  සුළඟද  එහි   හැපේ


ඉඳහිට ගමන් කරන හමුදා භට කන්ඩ මෙන්ම තමන්ගේ ආම්පන්න කර ගහගෙන යන  ධීවරයන්ද පසු කරමින්  විනාඩි හතලිස් පහක අවෑමෙන් අපි අම්පාරට ලඟා වුනා. මොනවා වුනත් අම්පාර කියන සිංහල ග්‍රාමයට ලඟා වුනාම තමයි මම පපුව පුරෝලා හුස්මක් ගත්තේ.  ඒක ජාතිවාදී කමක් නෙවෙයි. අම්පාරේ දකින්න ලැබෙන ගෙවල් දොරවල් වල පවා යම්  සමීප බවක් තිබුනා. පහුගිය සතියේ තමයි මං තේරුම් ගත්තේ පිරිමි අපිට කාන්තාවන්ගේ ඇසුර නැතුව් ජීවත් වෙන්න බෑ කියලා. මෙහි ඉන්න බොහෝ දෙනෙක් කාන්තාවන් ඇස දෙක පවා කළු තිරයෙන් වසාගෙන ඉන්න නිසා කිසිම කාන්තාවක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ වෙලාවේදී තමයි දැනෙන්නේ රණ්ඩු සරුවල් වෙන්න හරි කාන්තාවෝ අපි වටා ඉන්න ඕනේ බව. සෙනෙවිත් මමත් දෙන්නම එකතු වෙලා නුවර එලිය බස් ඒක හොයා ගත්තා. සෙනෙවිගෙන් වෙන් වෙද්දී මගේ හිතේ පුංචි දුකක් ඇති වුනේ මේ සති දෙකක දුෂ්කර කාලේදී නුහුරු රටක ජීවත් වුන අපි දෙන්න සමීප මිතුරන් බවත් පත් වූ නිසා.  

එතනින් පස්සේ තමයි මේ ගමනේ වඩා රසවත් කොටස තියෙන්නේ. මම සදාකාලිකව විශ්වාස කරන සත්‍යයක් තමයි පින්තුරයකින් වචන දාහකින් කියන්න බැරි දෙයක් විස්තර වෙනවා කියන කතාව. මම මේ ආපු ගමන් මාර්ගය වචන වලින් විස්තර කරන්න ගියානම් මේක ලියන මටත් කියවන ඔබටත් මේ පොස්ට් ඒක තවදුරටත් ලියනවද/කියවනවද කියන ගැටළුව මතු වෙන්න ඉඩ තිබුනා. අර කවුරුන්ද කියනවා වගේ ගූගල් දෙයියෝ මෙතැනදී අපේ පිහිටට එනවා. ගූගල් මැප් වල තියෙනවා තමන් ගිය ගමන් මාර්ගය සලකුණු කරන්න පුළුවන් ටූල් එකක්. ඒක භාවිතා කරලා, ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් අරගෙන තමයි පහල පින්තුරේ නොහොත් වචන දාහ දාන්නේ. මට මතක හැටියට පහු කරපු ගම දනව් ටික සටහන් කරන්නම්. හැබැයි නිවැරදි තාවය ගැන සහතික කරන්න බෑ. මේ වගේ බ්ලොග් පොස්ට් එකක් අනාගතයේ දාන්න  වෙන බව දන්නවනම් ඒ තැන් ටික සටහන් කර ගන්න තිබුණා. තව දෙයක් කියන්න ඕනෑ, මේ පින්තුරේ මීට වැඩ ලොකු කලොත් කොටසක් දර්ශණය වෙන්නේ නෑ.  

1.අකක්රෙයිපත්තු 2. සමන්තුරේ 3. අම්පාර 4.දමන 5. සියඹලාංඩුව 6. හුලන්දාව 7. මොනරාගල 8. වැල්ලවාය 9. බණ්ඩාරවෙල 10. වැලිමඩ 11. නුවරඑලිය

මේ එන ගමනේ පුදුමාකාර සොභා සෞන්දර්යයක් විඳින්න ලැබෙනවා. ඉතාම සෞම්‍ය කාලගුණයක් තිබ්බ ඒ කාලේ එම ශුෂ්ක ප්‍රදේශ වලත් ගහ වැල කොළ පාටින් දකින්න ලැබුනා. තවත් කියන්න අවශ්‍යම දෙයක් තමයි පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන සෑහෙන ප්‍රමාණයක බෝඩ් මග දෙපස දකින්න ලැබීම. ඇත්තටම යම් දිනක මේ සියල්ල බලාගෙන (අර මාරයා යනවා වගේ) යන්න ආසාවක් තියෙනව. මේ එන ගමනේදී චෙක්-පොයින්ට් 8-10 වත් මගේ බෑග් එකත් අරන් බහින්න සිදු වුනා. ඒත් කුමක්දෝ වාසනාවකට මගේ බෑග් එක ඇර බලන්න කිසිවෙක් ඉදිරිපත් වුනේ නෑ. ඒකට හේතුව පසුව මම තේරුම් ගත්තා. පැය අටහමාරක් වෙන මේ ගමනේදී තේ සහ ආහාර සඳහා කිහිප තැනකම බස් රථය නවත්වනවා. මගේ මතකය නිවැරදි නම් වැල්ලවාය, ඉන් පස්සේ ඇල්ල-වැල්ලවාය සුන්දර මාර්ගයේ එක මංසන්ධියක(ස්ථානය නිශ්චිතව මතක නැත) දිවා අහාරය සඳහා බස් රථය නවත්වනවා, ඉන් පසුව වැලිමඩ. ඒ ස්ථානයේදී වූ අමතක නොවන සිදුවීමක් ලියන්නේ මේ ලිපියට හාස්‍යයක් එක කරන්නම නෙවෙයි. මම ආපු බස් එකෙක් මට ඉදිරියෙන් සිටි ආසනයේ (මම හිටියේ පුජ්‍ය පක්ෂය සඳහා වෙන් කල ආසනයට පිටුපස ආසනයේ) සිටි තරුණ භික්ෂුව මා දෙස කිහිපවිටක්ම හැරී බලනවා මම දැක්ක. අර දිවා අහාරයට නතර කරපු තැන තියෙන කඩයට යන්නැතුව මම පාරෙන් අනිත් පැත්තේ තියෙන රෙස්ටුරන්ට් එකට ගමන් ගත්තා. ඇත්තටම එය සුන්දර ස්ථානයක්, සීත පරිසරයක පිහිටා ඇති එම අවන්හලේ වීදුරු ජනෙල් වලින් හාත්පස ඇති චමත්කාර දසුන් දකින්න පුළුවන්. මෙම අවන්හලේ මා ඇරෙන්නට සිටියේ තම වාහනය නතර කර ආහාර ගනිමින් උන් යුරෝපීය සුදු යුවලක් පමණයි. මා සිටියේ පාර දෙසට මුහුණලා ඉඳගෙන. මට සැකයක් තිබුනා මා දමා බස් රථය පිටත් වෙයි කියන එක. 

මෙහෙම ඉන්නකොට මම දැක්ක අර තරුණ භික්ෂුව මේ අවන්හල දෙසට එනවා. එහි දොරෙන් කිසිම චකිතයකින් තරව ඇතුල් වෙච්ච වයස විස්සක් වගේ වෙච්ච භික්ෂුව මගේ ඉදිරි අසුනේ හරි බැරි ගැහී අසුන් ගත්තා. මා නැගිටින්න උත්සාහ ගත්තත් මා අතින් නැවැත්වුවා. මේ වෙනකොටත් මා ඇනවුම් කල "ෂෝට් ඊට්ස්" බඳුන ගෙන ආ වේටර් වරයා මා පානය කරන්නේ කුමක්දැයි අසා සිටියා

"ආ මට කොකා-කොලා කෑන් එකක් ගෙන්න." (අවන්හලට ඇතුල් වෙද්දී මම දැක්ක ස්ප්‍රයිට්, කොකා-කොලා කෑන් තියෙන බව) 

"ඔබ වහන්සේට ගිලන්පස?" මගේ බෞද්ධත්වය ඉදිරියට ආවා

"ආ මට ස්ප්‍රයිට් කෑන් එකක් ගෙන්න" උන් වහන්සේ ඇඟට නොදැනීම වදාලා

"මම ඉන්නේ වැලිමඩ. දැන් යනකොට දවල් දානේට පරක්කු වැඩියි." කියමින් උන් වහන්සේ චයිනීස් රෝල් එකක් වළඳන්න පටන් ගත්තා. මා තුල ඇති වූ විමතිය යටපත් කර ගනිමින් මමද චයිනීස් රෝල් එකක් කන්න පටන් ගත්ත. සංඝයා වහන්සේ නමක් සමග එකට - එක හින්ද ගනින්මින් අහාර ගැනීම මට තරමක් අසීරු කාරණයක්. මොනවා කරන්නද. උන් වහන්සේමනේ මේ විදිය තෝරා ගත්තේ. මම හිතින් කියා ගත්තා. 

"මහත්තය හමුදාවේද?"

"නැහැ හාමුදුරුවනේ, ඇයි එහෙම ඇහුවේ?"

"නෑ මට හිතුනේ මහත්තය නිවාඩු යන කැප්ටන් කෙනෙක්වත්ද කියල" දෙවෙනි රෝල් එක කන වළඳන ගමන් උන් වහන්සේ පැවසුවා වදාලා (එහෙනම් එකයි මේ චෙක් පොයින්ට් වලදී මාව පරීක්ෂා නොකළේ)
මම හිටියේ රතු සහ නිල් මිශ්‍ර ටී ෂර්ට් එකකින් සහ ඩෙනිම් එකකින් සැරසිලා. සමහරවිට එහෙම පේන්න ඇති. මම ටී ෂර්ට් එක යට කරලා, රැවුල කපල හිටිය හින්ද එහෙම හිතෙන්න ඇති. එක අතකට එහෙම වුන එක හොඳයි. අර පස් කන්දක් බුල්ඩෝසර් කරලා, ලී වැටවල් ගහල කැලෑවක් මැද තිබ්බ චෙක් පොයින්ට් එකේදී බොහොම ආචාරශීලීව සෙබළුන් මාත් එක්ක හිනා වුන එකේ රහසත් එකම තමයි. නැත්නම් අර "නිසාම් - කෝපි" දෙක මාට්ටු. කොහොමද එහෙනම් හෙට පත්තරේ මේක වටෙන්න්නේ "තම බෑගයේ සඟවාගෙන ආ මත්-කෝපි සමග බැංකුකරුවා දැලේ". කාල වරෙන්කො ඊට පස්සේ ඉතිං වහ තමයි කන්න වෙන්නේ. 

අන්තිමේදී අපි දෙන්නගේ බිල ආවා රුපියල් හාරසිය පනහක්. මම දෙවරක් නොසිතාම රුපියල් 500ක් දික් කළා. නැවතත් අපි බස් රථයට ගොඩ වැදුනා. මේවර මගේ ලඟින්ම අසුන් ගන්න ස්වාමීන් වහන්සේ සමත් වුනා. එක දිගට ආව ප්‍රශ්ණ වලට මා හිතට ආ උත්තර දුන්නේ මේ සාදු නම් අනාගතේට "ඇණයක්" වන්නට බැරි නැති බව මගේ හිත කිව් නිසා. මම ඉතා උවමනාවෙන්ම මගේ දුරකථන අංකය වෙනුවට මා කලින් පාවිච්චි කල අංකය ලබා දුන්න. උන් වහන්සේගේ අංකයද මා ඉතා උවමනාවෙන් සටහන් කර මගේ බෑගයේ නිසාම් කෝපි තිබෙන් පොකටටුවටම දැම්මා. උන් වහන්සේ වැලිමඩින් බැස ගත්තා. මා නැවතත් බස් රථයේ වීදුරුවෙන් පිටත බලාගෙන කල්පනාවකට වැටුනා. කොහොමින් කොහොමින් හරි චමත්කාරජනක සංචාරයක අවසානය නුවර එලිය මහජන බැංකු නිවාඩු නිකේතනය අසලින් නිමා වුනේ පස්වරු දෙක පසු වී විනාඩි තිස්ගානක් ගත වූ පසුයි. 

ප : ලි : නිසාම් - කෝපි බී චුලන්තට වූ දේ නුදුරු අනාගතයේ බලාපොරොත්තු වන්න (ලොල්).

Friday, August 24, 2012

පොලීසියේ හොරකමක්

එක්දහස් නවසිය අසුගණන් වල සිදු වූ මේ කතාන්දරය හරියටම මොන අවුරුද්දේ වුනාද කියන්න මට නිනව්වක් නැති වුනත් මෙහි නොලියාම බැහැ. මේ කාලේදී මම ඉස්කෝලේ ගියේ කළුතර. හරියටම කියනවානම් කළුතර ඥානෝදය මහා විද්‍යාලයට. පාසල ඇරිලා කරදරයක් නැතිව ගෙදර එන්න තියෙන එකම ක්‍රමය කෝච්චිය. පාසල් බස් රථයේ එන එක විනෝදයක් වුනත්, අසලම පාසලක විදුහල්පති වූ මගේ  පියා මාස තුනේ සීසන් එකක් අරගෙන් එන්නේ කෝච්චියේ නිසා, මමත් කෝච්චියේ එන්න පුරුදු වෙලා හිටියා. කෝච්චියට පුරුදු වුන කෙනෙක්ට බස් එකක යනවා කියන්නේ මරන්න ගෙනියනවා වගේ වැඩක්. මම ඉඳ හිට අක්කත් එක්ක ස්කූල් බස් එකේ ගියත්, යන්න කැමති කෝච්චියේ. හිටගෙන ගියත් ඉඳගෙන ගියත් කිසිම ගමන් විඩාවක් නැති කෝච්චිය කළුතරින් පිටත් වෙන්නේ හවස 2.33 ට. එතකන් ස්ටේෂන් එකටත් කළුතර ක්‍රීඩාංගණයටත් මැදි වෙලා තියෙන, වයසක ජෝඩුවක් පවත්වාගෙන් ගිය, කූල් සපෝට් එකේ තමයි මමයි තාත්තයි කාලය ගෙව්වේ. 


http://www.flickr.com(c) YIM Hafiz මේ තියෙන්නේ බෙන්තොට දුම්රිය ස්ථානයේ චායරුපයක්.


තවත් දවසක් කළුතරින් 2.33 ට පිටත් වෙච්ච් ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රිය බෙන්තොටට හරියටම හවස 3.15 ලඟා වුනා. බෙන්තොට දුම්රිය ස්ථානය ප්‍රධාන දුම්රිය ස්ථානයක් නොවුනත් සංචාරක ව්‍යාපාරය නිසා, රුහුණුකුමාරි සීග්‍රගාමී දුම්රිය හැර අනෙකුත් සියලුම දුම්රිය මෙම ස්ථානයේ නවත්වනවා. බෙන්තොට දුම්රිය ස්ථානයෙන් එලියට බහින්නේ බෙන්තොට පොලීසියේ එලිපත්තට. එතනින් එහාට තියෙන්නේ ඉතාම රමණීය ප්‍රදේශයක්. බෙන්තොට සංචාරක මණ්ඩලය, තැපැල් කන්තෝරුව, ලංකා බැංකුව, රතු කුරුස ආයතනය, ප්‍රාදේශීය විදුලි බෙදා හැරීමේ මධ්‍යස්ථානය. මේ හරිය පහු කරගෙන යද්දී ගමන් විඩාව නැති වෙලා යනවා. එදත් වෙනද වගේම අපි මේ ප්‍රදේශය පහු කරගෙන ගියා. ඔය කියන ආයතන ටික පහු කරගෙන යද්දී හමු වෙන බෙන්තොට පොකුණ (ඇත්තටම මේක බෙන්තොට තියෙන ස්වභාවික වගුර සහ බෙන්තොට ගඟ යා කරන දිය පාර පළල් කිරීමෙන් සාදන ලද්දක්. මෙහි  විශේෂය වන්නේ එය ලංකාවේ හැඩයට සාදා තිබීම. ඒත් අන්තින්මට ගමේ ගිය වෙලාවේ දැක්කේ ඒකෙ යාපනය වගේ කොටස ගොඩ කරලා තියෙනවා. මේ ප්‍රදේශයේ තියෙන අරලිය ගහක අත්තක් කපන්නත් එම ප්‍රදේශය සැලසුම් කරපු ජෙෆ්රි බාවා මහතාගෙන් අවසර ගන්න ඕනෑ. මේක ගොඩ කරන්න එතුමා අවසර දුන්නද නැත්නම් නොකියාම කලාද කියන එක මට සැකයි). ගාව මිනිසුන් විශාල පිරිසක් රැස් වෙලා ඉන්නවා දැක්කා. මගේ තාත්තා මෙන්ම මමත් කුතුහලයෙන් යුක්තයි. ඉතින් අපි දෙන්නට මේක බලාගෙන ඉන්න බැරුව වෙනදට දකුණ පැත්තට හැරිලා ගාලු පාර දිගේ ගෙදර යන ගමන වෙනස් කරලා මිනිස්සු පොදි කකා ඉන්න වම පැත්තේ තියෙන කුඩා පිට්ටනිය පැත්තට ගියා. තාත්තා එතන ඉන්න තාත්තගේ යාලුවෙක් එක්ක කතාවට වැටෙනකොට, ඒ වෙනකොටත් එතනට ඇවිත් හිටිය මගේ යාලුවන්ට මාත් එකතු වුනා. 

"මොකද මචං කට්ටිය පිරිලා පොකුණ දිහා බලාගෙන ඉන්නේ ?"

"බෙන්තර පොලීසියේ බඩු වගයක් නැති වෙලා. ඒවා හොයනවා"

"ඉතිං බං මේ පොකුණේ මොනවද හොයන්නේ"

"මේ පොකුණට තමයි ඒවා දාල තියෙන්නේ"

"ඉතිං, ඉතිං"

"දැන් කිමිදුම් කාරයෝ දාලා හොයනවා"

"හොයයි කියල තමයි බය. ඇයි බං මේක තනිකර කළු පාටයිනේ, මොනවත් පෙනෙයිද?"

"මොනවද බං නැති වෙලා තියෙන්නේ?"

"උඹ ගෙදර ගිහින් කාල වරෙන්කො එතකොට කියන්නම්"

"අනේ, මිල්රෝයි කියපන් බං"

"ඉඳිකට්ටක් නැති වෙලා, ඒකයි හොයන්නේ" එහෙම කිව්වේ මට උත්තරය දෙන්න ලැස්ති වුන මිල්රෝයිගේ කට අතින් වහ ගත්ත කුමාර

"ගිහින් කාල වරෙන් පඬිය වෙන්නැතුව"

"සුභාෂ් අපි යං" තාත්තාගේ අණට කීකරු වෙච්ච් මම එතනින් ආවේ, ගෙදර ගිහින් කාපු ගමන් පනින්න හිතේ තියාගෙන. එතන හොයන දේ තාත්තාගෙන් දැන ගන්න පුළුවන් වුනත්, ඒ ගැන තාතාගෙන් අහන්න නොගියේ, වැඩි විස්තර අහන්නේ මේ පැත්තට බඩ ගාන්න හිතේ තියාගෙන බව තාත්තාට තේරෙන නිසා. වෙනදා පාර පැනලා අපේ පාරට එනකං ගාලු පාරේ යන අලුත්ම වාහන අංකය ගැන විමසිල්ලෙන් බලන මට එදා ගෙදරට එනකං කොහොම ආවාද කියලවත් මතක නෑ. ගෙදර කඩුල්ලෙන් පැනල ඇතුලට දිව්වා මං. ඒ වෙනකොටත් මට බෙදල තිබ්බ බත් එක අතට අරන් කන්න හදනකොටම අම්මා පටන් ගත්තේ නැද්ද 

"අත හොදගෙන් ඇවිල්ල කනවා. කෝච්චියේ මොන ජරාව අත ගාගෙන එනවද කියල කවුද දන්නේ. ඒවත් එක්කම ගිලින්නද හදන්නේ ?"

"අනේ අම්මේ මට හොඳටම බඩගිනියි."

"මම දන්නවා පුතේ ගිහින් අත හෝදගෙන එන්න"

මම අඩියට දෙකට ලිඳ ගාවට ගිහින් තනි අතින්ම වතුර එකක් ඇදගෙන බාල්දියටම අත දාලා හෝදගෙන කෙලින්ම දිව්වේ මගේ කෑම එක ගාවට. අහුරට දෙකට බත් එක හිස් කරන දිහා අම්ම බලාගෙන හිටියේ ස්වභාවයෙන්ම මවකගේ හිතේ තම දරුවන් ගැන ඇතිවන දයාණුකම්පාවෙන් බව එදා නොවැටහුනත් මට අද හොඳටම තේරෙනවා. 

"පොලීසියේ අර බඩු වගයක් නැති වුනා මතකද? ඒවා පොකුණට දාල කියන්නේ. අද කිමිදුම් කාරයෝ දාල හොයනවා" 

තාත්තත් මට කොලේ වහන බව තේරුනත්, වැඩි විමසීමක් නැතුවම මම කෑම ටික ගිලගෙන ගිලගෙන ගියා.   මේ වෙනකොටත් අපේ නිවසට යාබද මහ ඉස්කෝලේ පිට්ටනියේ කිහිප දෙනෙක් ක්‍රීඩා කරන සද්දයත් යන්තමින් ඇහුනා. ඒත් අද වැඩි පිරිස එකතු වෙලා ඉන්නේ අතන. මගේ හිත කියන්නෙම යන්න. ඒත් මේ දෙන්නට මොකක්ද ගහන පචේ ? හිත හිතා ඉන්නකොට හිතුනා 

"හරි වෙනද වගේම පිට්ටනියට ගිහින් හිමිහිට මාරු වෙනවා"

පිට්ටනියට යාබදව තිබෙන ගුරු පාර, ගුරු පාරක් කිව්වට අපේ ගෙවල් හරියේ පාරවල් මඩ් පාට මිසක් මැටි ගතියක් ඇත්තෙම නෑ. 

"අම්මේ මම යනවා සෙල්ලම් කරන්න" කියාගෙන මම අපේ වැටේ කම්බි දෙකක් අතරින් රිංගලා පිට්ටනියට ගියා. පිට්ටනියට ගියාම අම්ම වැඩිය බලන්නේ නෑ. අද කොහොමත් බලන එකක් නෑ. මම සෙල්ලම් කිරිල්ල පැත්තක තියල හිමිහිට අර ගුරු පාර තියෙන හරියට ගියා. 

"සුභාෂ් උඹ හත් වෙනියා. එනවද සෙල්ලම් කරන්න?"

"නෑ මම යනවා බාප්පලාගේ ගෙදර" එහෙම කියන ගමන් මගේ ඔලුව නිරායාසයෙන් අපේ ගෙවල් පැත්තට හැරුනා. අම්ම පෙන්න නෑ. තාත්තා මූණ හෝදන්න ලිඳ ගාවට එන්න කලින් යන්න ඕනෑ. නැත්නම් තාත්ත දකිනවා. මම හෙමිහිට පාරට රිංගල දුවන්න පටන් ගත්ත. අපේ පාර ගාවදී වට පිට බලලා කෙලින්ම නැග්ග පන්සල කන්ද. පන්සල කන්දේ අනිත් පැත්තෙන් ගියාම පොකුණ ළඟටම යන්න පුළුවන්. එක් හැල්මේ දිව්ව මට පොකුණ ගාවට යන්න ගත වුනේ විනාඩි දෙකකටත් අඩු කාලයක්. 



පින්තුරය ගත්තේ : tripadvisor.com

මම කෙලින්ම නතර වුනේ මිල්රෝයි ගාව. උගේ අතින් ඇදගෙන මම ගියා පොඩ්ඩක් ඈතට. මේ වෙනකොට කුමාරලා පොකුණ ගැට්ටේ වාඩි වෙලා. පොකුණෙන් අනිත් පැත්තේ පොලීසියේ කිහිප දෙනෙක්ම හිටියා. ඒ කෙලවරින් එක පාරටම කිමිදුම් කරුවෙක් ගොඩට ආවා. තමන්ගේ මුහුණේ තිබ්බ ගොගල් එක ගලවලා පොලීසියේ කෙනෙක් එක්ක කථා කරනවා අපි බලාගෙන හිටියා. 

"මචං මොනවද බං හොයන්නේ"

මගේ කණට කරලා මිල්රෝයි කිව්වා 

"තුවක්කු දෙකකක්"

"මොනවා" මට ඉබේටම කියවුනා. 

මම ආයි කට අරින්න කලින් මිල්රෝයි මගේ කට වහල. 

"කෑ ගහන්න එපා බං. එක පාරකුත් මෙතන හිටිය පොඩි ළමයි යන්න කියල අපිව එලෙව්වා. බොහොම අමාරුවෙන් අපහු ආවේ. උඹ කෑ ගහල ගම කන්න එපා"

මම "හරි - හරි" කිව්වේ අමනාපයෙන්. මුන්ට ඉතිං මාවම තමයි ඉන්නේ කියල හිතන ගමන්. 

ඒ පාර පොකුණේ අනිත් කෙලවර හිටිය පොලිස් නිලධාරීන්, ග්‍රාමසේවක, පන්සලේ හාමුදුරුවේ ඇතුළු සියලු දෙනා යන්න පටන් ගත්තා. 

"මචං හම්බ වුනේ නැද්ද ?"

"මොන හම්බ විල්ලක්ද බං, වරෙන් අපි යන්න වැල්ලට"

"අනේ මේ මට නම් කථා කරන්න එපා. අපි යමු සෙල්ලම් කරන්න. මම එතනට ඇවිත් හෙමිහිට ආවේ"

"අපි යනවා වැල්ලේ එනවා නම් වරෙන්"

"අපෝ බෑ මම යනවා පිට්ටනියට"

ඒ වෙනකොට ඕනනම් හවස පහ විතර වෙන්න ඇති. මම කෙලින්ම ගියේ පිට්ටනියට. මම යනකොට සෙල්ලම් කරපු අයත් එක රවුමක් ඉවර වෙලා. වැඩි ලකුණු වලට දෙවෙනි රවුම පටන් අරගෙන. තවම බැට් කරන්නේ දෙවෙනියා. මේ ටික ගහල ඉවර වෙනකොට මට බැට් කරන්න වෙන්නෑ. ඒ නිසා මම යනවා ගෙදර කියල හිතාගෙන හෙමිහිට කම්බි දෙක අතරින් රිංගල ලිඳ ගාවා ගිහින් මූණ හොදගෙනම ගෙට ගියා.

මම ගෙදර යද්දී තාත්තා හිටියේ නෑ. තාත්තා අලුත්ගම ගිහින් ගෙදරට ඕනෑ කරන දේවල් ගෙන්න. මම කරන්න දෙයක් නැතුව මිදුලට වෙලා අහසේ පියාඹන කුරුල්ලන්, වවුලන් දිහා බලාගෙන හිටියා. තව ටිකක් මෙහෙම බලාගෙන හිටියාම පොල් ගස් වලට වදින බේරුවල ප්‍රදීපාගාරේ ලයිට් දැක ගන්න පුළුවන්. ඒත් මගේ හිතට වද දෙන්නේ ඊළඟට මොකද වෙන්නේ කියල. මෙහෙම ටිකක් වෙලා යනකොට තාත්තා ආවා. බයිසිකලය ඉස්තෝප්පුවට ගන්න ගමන්. 

"අර හොයපුවා හම්බ වෙලා නෑ. හෙට මෝටර් දාල පොකුණ ඉහිනවා කියන්නේ"

"පොඩි ජාල සාගරක්ද එතන? කොහොම කියල ඉහින්නද? අනික මේ කාලේ හොඳටම වතුරත් වැඩියි. ඔන්න පායන කාලෙක නම් කමක් නෑ."

"බලන්න බැරියයි හෙට"

තාත්තා ගෙනාපු පත්තරෙත් අරන් පුටුවකට හරි බරි ගැහුනා. 

මට ඇහැරුනේ පහුවදා පාන්දර මට තාත්තා නැගිට්ටවන හඬින්. මට එක පාරටම හිතුන අද ඉස්කෝලේ නොගිහින් ඉන්නවා කියල. එතකොට පොකුණ ඉහින එක උදේ ඉඳල බලන්න පුළුවන්. හදිස්සියේ ඉස්කෝලේ ගිහින් ඉන්නකොට අඩියටම හින්දල තුවක්කු දෙක අරගත්තොත් මට බලන්න වෙන්නෑ. 

"මට අද යන්න බෑ"

"ඒ මොකද මම දන්නා අම්මත් එක්ක බේරාගන්නවා"

මම ඇඳෙන් බැහැල කුස්සියට ගිහින් වතුර එකක් අරගෙන කට හෝදලා එන ගමන් අම්මට කිව්වා

"අම්මේ මම අද ගෙදර ඉන්නවා. මට දුන්න ගෙදර වැඩ කරන්න බැරි වුනා" මම බොරුවක් අද බාවා.

ඒ එක්කම ඉලාස්ටෝ ආයතනයේ හයට වදින සද්දේ නාද වුනා. ඒක නාද වෙද්දී අහල ගං හතකට සද්දේ ඇහෙනවා. අපේ ගමේ හැම දෙනාම තමන්ගේ වැඩ රාජකාරි පිළිවෙල කරගත්තේ මේ නලාවට පින් සිද්ද වෙන්න.  ඒක වදින්න ගත්තාම විනාඩියක් විතර මහා හඬක් පිට කරනවා. ඒ නලාව නැවත උදේ හතට, හතයි කාලට වදිනවා. ඊට පස්සේ දොළහට එකට, තුනට, පහට. ගාමිණී විද්‍යාලය තියෙන්නේ මේ ආයතනයට යාබදව. එකට නම් මේ සද්දේ කණේ තිබ්බ වගේ ඇහෙනවා. මේ පහලින් තියෙන යූ-ටියුබ් වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. මේක වාර ගොඩක් වදිනවා ඒත් ඔය එක වාරයක් තමයි ඉලාස්ටෝ නලාවේ වදින්නේ. 





මේක හොයන්න සර්ච් කරද්දී මම දෙවන ලෝක යුද්දේ අණතුරු අඟවන සඥා කියල දැම්මා. එතකොට තමයි මේක හොයා ගන්න පුළුවන් වුනේ. මම අනුමාන කළා ලෝකයේ විවිධ රටවල සංචාරය කර තාක්ෂණය උකහා ගත් ඉංජිනේරුවෙක් වන ඩොනල්ඩ් ගුණසේකර මහතා මෙය සොයා ගන්න ඇත්තේ ජර්මනියෙන් වෙන්න ඇති කියලා.



ඒත් අම්මගෙන් බේරෙන්නම හම්බ වුනේ නෑ. මට ඉස්කෝලේ යන්න වුනා. මම කඩිමුඩියේ ලැස්ති වෙලා ඉස්කෝලේ ගියා තාත්තත් එක්ක. උදේ ස්ටේෂන් එකට යන ගමනුත් පොකුණ දෙස බලාගෙන ගිය මම ප්‍රාර්ථනා කලේ හවස මම එනකන් මේක හිස් කර ගන්න බැරි වෙන්න කියල. එදා ඉස්කෝලේ ගිහින් මගේ යාළුවන් එක්කත් මේ කතාව කිව්වා. ඒත් මේ පොකුණ දැකල නොතිබුන මගේ යාලුවන්ට මේක එච්චර ගානක් වුනේ නෑ. එත් මගේ හිතේ මැවි-මැවී පෙනුනේ මේ පොකුණ හිස් කරන දර්ශණය. එදා දවස කොහොම ගෙවිල ගියාද කියල මට මතක නෑ. මම කල්පනා කර කර හිටියේ කලින් යන්න විදියක්. ඒත් සියලුම ගුරුවරු නියමිත විදියට ඉගැන්වීම කරගෙන ගියා. අන්තිමට මම දුවගෙන දුවගෙන ගියා ස්ටේෂන් එකට. ඒත් තාත්තා එන්න තව වෙලා යනවා. 

වෙනද වගේම ගාලුකුමාරිය තුනයි කාල වෙද්දී බෙන්තොටට ලඟා වුනා. මම කෝච්චියෙන් බැහැල තාත්තවත් පහු කරගෙන දුවගෙන දුවගෙන ගිහින් බැලුව එතන වෙන්නේ මොනවද කියල. ටිකක් ලොකු මෝටර් දෙකක් වතුර බහින පැත්තේ තියල වතුර හිස් කරනවා. එක තැනක කවුදෝ ගහපු ඉන්නක් දිහා හැමෝම කථා නැතුව බලාගෙන ඉන්නවා. මුලින්ම වතුර තිබ්බ තැන කවුරුන් හෝ සලකුණු කරලා තිබුණා. එකට වඩා අඟල් හයක් විතර පහලට වතුර අඩු වෙලා. 

"මේ විදියට නම් මේක හිස් කරන්න බෑ"

සමහරු අදහස් පල කලත්, තව කොටසක් මේක හිස් වෙනකන් බලාගෙන හිටියේ වෙනත් බලාපොරොත්තුවක් ඇතුව. ඒ අන්තිමට වතුර නැතුව දඟලන මාළු ටික අල්ල ගන්න. මේක අර විශාල වගුරට සම්බන්ධ නිසා ඉබ්බොත් ඉන්න බැරි නැති බව සමහරුන්ගේ අදහස වුනා. අනිත් පැත්තේ පොලිස් ජීප් එක නතර කරලා තිබුණා. එතන පොලීසියේ බොහොමයක් අය රැස් වෙලා හිටියා. සමහරු කියන්නේ මේ තුවක්කු දෙක හොයා ගන්න බැරි වුනොත් ඕ.අයි.සී. මහත්තයට ගෙදර යන්න වෙන බවයි. ඒකටත් හිත යටින් කැමති අය හිටියා. අද තාත්තටත් ගෙදර යන්න හදිසියක් නෑ. ගාලු පාරට යාබදව තිබ්බ මේ පොකුණ ගාව සෙනග රැස් කකා බලන්නේ මොකක්ද කියල දෙපැත්තට යන වාහන වේගය බාල කරලා බලන්න පටන් අරන් තිබුණා. කොහොමත් අලුත්ගම රේල්-ගේට්ටුව වැහුවාම මේ හරියට වෙනකන් වාහන තදබදයක් එනවා. එතකොට කොළඹ පැත්තට යන අයට නිකම්ම බලා ගන්න පුළුවන්. මමයි තාත්තයි ගෙදර ගියා. මම ඉක්මනට කාලා ෂර්ට් එක විතරක් මාරු කරන් ආපහු ආව. මේ වෙනකොට මෙතන අයිස්ක්‍රීම්, වඩේ, බුලත්විට, සිගරට් විකුණන අය තමන්ගේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කරලා තිබුණා. එයාලට මේ වගේ තැන් වලට එන්න විශේෂයෙන් ආරාධනා කරන්න අවශ්‍ය නෑ. 

මේ වගේ තැන් වල තවත් ප්‍රමුඛ කාර්යභාරයක් කරන පිරිසක් අපේ ගමේ හිටිය. ඇත්තටම එයාලගේ විනෝදාංශයට තැනක් නොතැනක් නෑ. ඕනෑම ගමක මේ වගේ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. ඒ තමයි විනෝදාංශයට  පච හැලීම. පච ඒබරං, පච සුනිල්, පච සෝමපාල කියන්නේ අපේ ගමේ මේ වගේ නම් පට බැඳිච්ච කිහිප දෙනෙක් විතරයි. තව ඇඟට නොදනී ඉඳ හිට බොරුවක් දෙකක් කියන අයත් බොහොමයක් හිටියා. මෙතනදී ඒ අය පච වගා කරන්න නොගියේ මේක පොලීසියේ වැඩක් නිසා. ඒත් එතනදීත්

"අර පෙන්නේ තුවක්කු බටේ" 

යයි අයෙක් කී විට, සැවොම එතනට එක්රැස් වෙයි. එහෙත් එය වෙනත් යමක් බව තේරුම ගන්නා විට එසේ පැවසු පුද්ගලයා ඒ අසලින් මාරු වී අවසානයි. එතන නොහිටියත් පිරිස අමු තිත්ත්ත කුනුහර්පයෙන් ඔහුගේ සනුහරයටම සංග්‍රහ කරයි. 

"මෙතනත් වෙන්නේ අර කොටිය ආව වගේ වැඩක්, එක වැඩිහිටියෙක් පවසයි" 

ඒ කතාව ඇත්තය. තුවක්කු දෙක ඇත්තටම දැක්කත් දැන් පිලි නොගන්නා ගානට ගම්මු පත් වී ඇත්තේ පචයන්ගේ මේ ක්‍රියාකලාපය නිසාය. එහෙත් කිසිවකුත් තමන්ගේ උනන්දුව අත් හරින පාටක් නැත.

ඊට පසු කවුරුන් හෝ "අර පෙන්නේ තුවක්කු බටේ" යයි කී විට "පේනවා තොගේ අප්පාගේ අහවල් එක" යයි උත්තර පහ හයක් එක විට ගලා එයි. ඇත්තටම මේ තුවක්කු හම්බ වුනත් නැතත් එතන රස සාගරයකි. 

මම එතනට යද්දී අවට ඉස්කෝල වලට යන මගේ මිතුරන් ඒ වෙනකොටත් එතන රංචු ගැහිලා හිටිය. හුඟ දෙනෙක් හිටියේ අර ඉන්න හිටවල තිබ්බ තැන. තැන් තැන් වල මිනිස්සු රංචු ගැහිලා කථා කර කර ඉන්නවා. මම යද්දී කොළ කෑල්ලකුයි පැන්සල් කොටයකුයි සාක්කුවේ දාගෙන ගියා. මම හෙමිහිට ලකුණු කර ගත්ත උඩම තැන පටන් අරන් තියෙන්නේ දහයට, එතකොට අඟල් හයක් බස්සන්න පැය හයක් ගිහින්.  පැයකට අඟල ගානේ ගියොත්, පැය විසිහතරකම දාල තිබ්බොත් අඩි දෙකයි. අඩි හයක් මේක ගැඹුර වුනොත් දවස් තුනයි. එතකොට උනන වතුර. මම අයිනකට වෙලා ගණන් හදල බැලුව. ඒ වුනාට මේක ජොලි වැඩේනේ. හවස පහ විතර වෙනකොට වැඩේ නවත්වල හෙට පටන් ගන්නවා කිව්වා. මේ වෙනකොට වගුර පැත්තෙන් එන ජල පාර නවත්වල තිබුණේ. දෙවෙනි දවසෙත් ඒ හැටි ප්‍රගතියක් නෑ. අන්තිමට අඩු කර ගන්න පුළුවන් වුනේ අඩි එකහමාරක් විතරයි. මම අන්තිමට කෙනෙක්ගෙන් අහල බැලුව 

"කොහොමද හරියටම දන්නේ මේකේ තුවක්කු දෙක තියෙනව කියල?"

"අංජනමක් බලල තමයි දැනගෙන තියෙන්නේ"

අනේ මෙහෙමත් පොලීසියක්.


ප:ලි :  මට තාමත් පොඩි සැකයක් තියෙනවා. මේ දවස් වලම අපේ ගමේ ලැව් ගින්නක් වගේ පැතිරුණ කතාවක් මේ සිද්ධිය හින්ද හැමෝටම අමතක වෙලා ගියා. ඒ මගේ බොහොම හිතවත් ගෙදරක හිටිය අකීකරු පුතෙකුට තිබ්බ චෝදනාවක් ගඟේ තියෙන "මහගල" කියන ගලේදී එයත් එක්ක නාමින් හිටිය අනිත් කෙනාව වතුරට තල්ලු කරලා මරල කියන එක. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද /නැද්ද කියන එක.

Monday, August 20, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 17 - ATM ගැනමයි

මම ලියපු ATM සමග ගනුදෙනු කිරීමේදී කියන පොස්ට් එකට හුඟක් දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා. මේ ලියන්න යන කතා දෙකත් ATM සම්බන්ධ ඒවා. හැබැයි ටිකක් විතර ලොල් කතා. මේ කතා දෙකටම සම්බන්ධ  කතා  නායකයා ගැන මෙතන තවත් ලොල් කතාවක් ලිව්වා. එයාගේ නම කෙලින්ම ලියල තියෙනවට මිනිහාගේ වැඩි මනාපයක් නැති බව මට කනින් කොනින් දැන ගන්න ලැබුණා. ඒක නිසා අන්වර්ථ නාමයකින් ලියන්න හිතුව. අපිත් එක්ක රවී කියල කෙනෙක් නැති නිසා රවී කියන නම යොදා ගන්නම්.  

සැ.යු. ඒ කාලේ ATM රූම් තමයි තිබ්බේ දැන් වගේ නිරාවරණය වෙච්ච ATM  නෙවෙයි.

ඉස්සර අපේ ඔෆිස් එක තිබුනේ නුගේගොඩ පාගොඩ පාරේ තියෙන මහජන බැංකුවේ තුන් වෙනි මහලේ. දවසක් ATM එකට ටක් ගාල ගිහින් එන්නම් කියල ගිය රවී පැය භාගෙකට වත් ආවේ නෑ. අපි හිතුව රවියා එක්කෝ වෙන ගමනක් ගියා නැත්නම් කඩේට වෙලා ප්ලේන්ටියක් වත් ගහනවා ඇති කියල. සාමන්‍යයෙන් දෙක දෙකහාමාර වෙනකොට එතන උණු උණු මාළු පාන්, බනිස්, කිඹුලා බනිස් බාන නිසා ෂුවර් එකටම මු එතන ඇති කියලා අපි කථා වුණා.

මෙන්න කියල කට ගන්න කලින් කොල්ල එනවා හති දාගෙන. ඒ මදිවට මේකා හිනා වෙනවා ලවක් දෙවක් නැතුව.

"මාර වැඩේ බං වුනේ හාහ් හාහ් හා "

"අනේ පලයන් යන්න. උඹ බේකරියට ගිහින් හොඳට කාලා, ටී එකක් ගහල ආවා තනියම" එහෙම කිව්වේ ආනන්ද.

"නෑ බං අහපන් වෙච්ච වැඩේ. මම ATM එකට යනකොට එළියේ කවුරුවත් හිටියේ නෑ. හාහ් හාහ් හා"

"ඔය හිනාව නවත්වල කියන දෙයක් කියපන්කො. අපටත් හිනා වෙන්න" මෙනකාට ඉවසිල්ලක් නෑ. අපටත් එහෙම තමයි.

"මම ඇතුලට යන්න හදනකොටම පහල වීදුරුවෙන් දැක්ක කවුරු හරි ගෑනියෙක් ඉන්නවා. ස්කර්ට් එකක් ඇඳල කකුල් දෙක පේන්නම තිබුනා. මමත් ඉතින් ඒ මනුස්සය එනකම් බලාගෙන හිටියා. කොච්චර කරත් එන්නේ නෑ. මට පිටිපස්සේ හිටිය මනුස්සයට ඉවසගෙන ඉන්න බැරි තැන. මල්ලි ඔයාට හදිසි නැත්නම් මෙහාට වෙන්න කියල කෙලින්ම ඇතුලට ගියා. මට හිතා ගන්නවත් බෑ ඇතුලේ කවුරුවත් නෑ"

"එතකොට උඹ කාවද දැක්කේ?"

"මචං ATM එක ඇතුලේ කළුවරයි නේ. මට පිටිපස්සෙන් හිටිය අක්කගේ කකුල් දෙක තමයි මම වීදුරුවෙන් දැකල තියෙන්නේ ඇතුලේ ඉන්නවා වගේ"

______________________________________________

මේක වෙලා තියෙන්නේ රවිය බැංකුවට ආව කාලේ. වෙන තරමක් ඇබැද්දි වෙච්ච පුද්ගලයෙක් තමයි රවී කියන්නේ. ඒ කාලේ බැංකුවේ ලස්සනම කෙල්ලෝ ඉඳලා තියෙන්නේ ලීගල් ඩිපාර්ට්මන්ට් එකේ. අපේ රවියත් මේ කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉඳලා තියෙනවා. ඒ කෙල්ලත් වැඩි අකමැත්තක් නැති පාටට ඉඳලා. උදේට කැන්ටිමේදී හමු වුනහම "ගූඩ් මෝර්නින්" කියල ලාවට ෂේප් වේගෙන එන කාලේ. දෙන්නට දෙන්න හිතින් කැමැත්තක් තිබ්බත් ඉතිං පොඩි ලැජ්ජාවක් දෙන්නගෙම හිතේ තිබුනා. මෙහෙම ඉන්න අතරේ දවසක් තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. රවියා ATM එකේ සල්ලි අරන් එලියට එන්න එනකොටම ඊළඟට එන්න ඉන්නේ අර කෙල්ල කියල දැක්කහම රවියට හීන් දාඩිය දාල. අද නම් වැඩේ ඉවරයි. ඉවරෙටම ඉවරයි කියල හිතනකොටම රවියට ගණදෙවි නුවන පහල වෙලා.

"මිස් දැම්මම ඇතුලට යන්න එපා මට කලින් ආව කෙනා මේක ඇතුලේ ප*යක් ඇරලා. ගඳේ බෑ" 

කියාගෙන රවියා යන්න ගිහින්. වැඩේ ගොඩ කියල හිතුවට අර කෙල්ල ඊට පස්සේ මුනවත් බලල නැහැ. වැඩේ එතනින්ම් ඉවරයි.

පින්තුරය ගත්තේ : jillzhu.wordpress.com

Friday, August 17, 2012

ATM යන්ත්‍රය සමග ගණුදෙනු කිරීමේදී

මෙහෙම පොස්ට් එකක් දාන්න තුන් හිතක වත් තිබුනේ නෑ. මගේ මිත්‍ර හෙන්රි දාලා තිබුන 79. මාවම කන ATM සමග හැංගියං අරූ එනවෝ!!! (1) කියන ඕනෑම කෙනෙකුට වැදගත් වෙන ලිපිය කියෙව්වහම, ඒකට කමෙන්ට් එකක් වශයෙන් දැම්මොත් බලන අයට එපා වෙන තරම් කරුණු ටිකක් එකතු කරන්න වෙන නිසා හෙන්රිගෙන් අවසර අරගෙන මේ පොස්ට් එක දාන්නේ මේක ඕනෑම කෙනෙකුට වැදගත් වෙන දෙයක් නිසා. අනිත් කාරණය තමයි මගේ පසුබිම . ඒ ගැන විස්තරයක් හෙන්රිගේ පොස්ට් එකට කමෙන්ට් එකක් විදියට එකතු කළා. මේක කියවන්න කලින් හැම දෙනාම ඒ ලිපිය කියවනවානම් හොදයි  ප්‍රවේශයක් වශයෙන්. 

ඉහලින් තියෙන පින්තුරය දිහා බලන්න. මේක ඉතාම සරල සටහනක් කියල කියන්න ඕනෑ. බොහෝ බැංකු මෙම ආකෘතියට අනුකුලව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔනෑම බැංකුවක් ATM යන්ත්‍ර ඔවුන්ගේ ශාඛා හෝ වෙනත් පොදු ස්ථානයක ස්ථාපනය කරනවා නම් ඒ සඳහා මධ්‍යම ATM Switch මධ්‍යස්ථානයක් හරහා තමයි සම්බන්ධ කරන්නේ. A වලින් දක්වා තිබෙන සබැඳියාව(Link එක) මගින් තමයි ATM යන්ත්‍රත්, ATM Switch එකත් සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මෙම ATM Switch යන්ත්‍රයට එම බැංකුවේම ශාඛා සම්බන්ධ වෙලා තියෙන්නත් පුළුවන්. මම එහෙම කියන්නේ දැන් බොහොමයක් බැංකු මධ්‍යගත(Centralized) විදියට බැංකුකරණයේ නියැලෙන නිසා. ඉස්සර තනි තනි ශාඛා වලින් එම ශාඛාවට අදාල ගණුදෙනු කරුවන්ගේ ගිණුම් පරිඝනක ගත් වෙලා තිබ්බ ක්‍රමයක් තිබුන නිසා. තවමත් මේ ක්‍රමයට ක්‍රියාත්මක වන බැංකු ඇති(Distributed). 

මෙතන දක්වල තියෙන Foreign Bank ගණයටම තමයි අදාළ බැංකුව නොවෙන අනෙකුත් දේශීය බැංකු සියල්ලත් ගණන් ගනු ලබන්නේ. ඇත්තටම ඒවාගේ භූගෝලීය පිහිටීම (Geographical Location) වැදගත් වෙන්නෙන් නෑ. දුර පිලිබඳ ඒ හැටි ගැටළුවක් ඇත්තේ නෑ. A,B,C,D,E වලින් පෙන්වා ඇති සියලුම රැහැන් ජාල සම්බන්ධතා (Network Links). ඒ කියන්නේ ටෙලිෆෝන් ලයින්ස්. ලංකාවේ නම් ටෙලිකොම් වගේ රැහැන් සහිත  ජලා සහ රැහැන් රහිත සන්ටෙල්, බෙල් යන ස්ටාවර සම්බන්ධතා (Fixed Wireless) වලින් සහ ඩයලොග් වගේ සම්පූර්ණ රැහැන් රහිත ජාලා වලින් ලබා ගත් සම්බන්ධතා මේ සඳහා භාවිත කරනවා. හැබැයි මේවා සම්පුර්ණයෙන්ම ඒ සඳහා වෙන් කරව ගත් (Dedicated/Leased Lines) ඒවායි. ඒ කියන්නේ සාමාන්‍ය දුරකථන ලයින් එකක් මේ සඳහා භාවිතයට ගන්නේ නෑ. තවත් කාරණයක් තියෙනවා අමතර (Back Up) සම්බධතාවක්ද මේ සඳහා භාවිත කරනවා. මීට අමතරව ඇන්ටෙනා මගින් සම්බධතා දෙන ලංකා කොම් වගේ ආයතන වලිනුත් සැටලයිට් මගින්  පවා සම්බන්ධතා යොදා ගන්නවා. 

විදේශීය බැංකු තමන්ගේ ගනුදෙනුකරුවන්ට මෙම පහසුකම් ලබා දෙන්නේ වීස (VISA) සහ මාස්ටර්(Master) ජාලා සමග එක වීමෙන්. ඇත්තටම දේශීය බැංකු පවා අනෙකුත් බැංකු සමග එක් වන්නේ මේ ජාලාවන් හරහායි. සමහර බැංකු හර කාඩ් වල සිරස්(Cirrus) කියන ලාංඡනය සහ ණය කාඩ් වල මාස්ටර්( Master) සංකේත සටහන්ව තිබෙන ඔබ දැක ඇතුවාට සක නැත. කෙසේ වෙතත් මෙම සංකේත දෙකම තිබෙන බැංකු මඑස්ත්රෝ(Maestro) ජාලාව හරහා ලෝකය හා සම්බන්ධ වනවා. වීසා ආයතනය තම හර සහ ණය කාඩ් පත් නිකුත් කරන බැංකු වලට වීසා (VISA) ලාංචනය පමණක් යොදා ගැනීමට ඉඩ සලසා තිබෙනවා. මේ කරුණු සියල්ල ඔබට වැදගත් නොවුනත් ඔබගේ දැනුම පිණිස මෙසේ එකතු කළා.  

එහෙත් තවමත් ආයතනයටම ආවේනික(Proprietary) කාඩ්පත් භාවිතා කරන බැංකු පවතිනවා.  මාස්ටේර් සහ වීසා ජාලය භාවිතා කර හැර හෝ ණය කාඩ් මගින් ගනුදෙනුවක් සිදු කල විට අදාළ බැංකු වලට එම ආයතනයට කොමිස් මුදලක් ගෙවීමට සිදු වනවා. කෙසේ වේතත් එය ගනුදෙනුකරුවාගෙන් අය කර ගන්නේ නෑ. නමුත් Proprietary කාඩ් සඳහා එම බැංකුවට මෙම වියදම යන්නේ නෑ. එහෙත් එය අදාළ බැංකුවේ ටේලර් යන්ත්‍ර වලම පමණක් බාවිතා කල හැකි වීම පාඩුවක්. එහෙත් හර කාඩ් පතකින් තමන්ගේ නොවන බැංකුවකින් (Foreign) මුදල් ලබා ගැනීමකදී යම් ගාස්තුවක් ගෙවීමට සිදු වනවා. මෙම අගය ඒ ඒ බැංකු මත පදනම් වනවා. එය මුදල් අත්තිකාරම් ගාස්තු ලෙස හැඳින්වෙනවා.

මා මෙතෙක් විස්තර කලේ ජාලා සහ කාඩ් ගැන පමණයි. එහෙත් අප සාකච්ඡා කරන මාතෘකාව ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීම නිසා අපි දැන් ඒ පැත්තට හැරෙමු. ATM යන්ත්‍රය යනු යන්ත්‍රයක් බව අප මුළින්ම සිහියේ තබා ගත යුතුයි. එය ක්‍රියා කරන්නේ එයට ලබා දෙන විධානයන් අනුවයි. ඔබ යන්ත්‍රයට කාඩ් පත්‍රය ඇතුලත් කල මොහොතේ සිටය එය ක්‍රීයාත්මක වනවා. දැන් බොහෝ ATM යන්ත්‍ර වල කැමරා සවි කර තිබෙනවා. එසේ සවි කරන්නේ හොරුන්ව කොටු කර ගැනීමට පමණක් නොව ගණුදෙනු කරුවා යම් අවස්ථා වලදී පිලි නොගන්නා දේ පිලිබඳ තහවුරුවක් කර ගැනීමට. 

මම ඔබට ලබා දෙන පළමු උපදෙස  තමයි ගනුදෙනුවට පෙර ඔබට පිටුපස සිටින්නා දෙස හැරී බලන්න. එවිට ඔහු ඔබට ඕනවට වඩා සමීපව සිටිනවා නම් ඔහු මදක් පසුපසට වෙයි ඉබේටම. ඉන් ඔබ අවධානයෙන් සිටින බව ඔහුට ඇගවෙනවා. ඔබගේ PIN අංකය ලැබුණු පසු එය මතකයේ පමණක් තබා ගන්න. මා දැක තිබෙනවා සමහර ගනුදෙනුකරුවන්  PIN  අංකය සහ කාඩ් පත එකම කවරයේ බහා තබා ගන්නවා. සමහරු ජංගම  දුරකථනයේ  සටහන් කරගෙන තිබෙන බව පෙනෙනවා. ඔබට මතක තබා ගත යුතු  PIN  අංක ගණනාවක් තිබෙනවා යයි සිතන්න. එසේ ලියා තබා ගැනීමට අවශ්‍ය නම් ඔබටම ආවේනික ශෛලියකට අනුකුලව ලියා තබා ගන්න.  මුදල් ලබා ගැනීම ඉතා හදිසියේ සිදු නොකරන්න. දිගු පෝලිම් තිබෙන තැන් වල ඉහත කී ආකාරයට පිටුපස සිටින්නා ඔබට සමීපව සිටීම වලක්වා ගන්න බෑ. එහෙත් ඔබට  සැක සහිත අවස්ථාවකදී එම ඔබගේ අවස්ථාව පිටුපස සිටින්නට ලබා දී පැත්තකට වී සිටීම වඩාත් උචිතයි. 

තවමත් සමහර බැංකු  ATM යන්ත්‍ර මුදල් ලබා දීමට ප්‍රථම කාඩ් පත ලබා දෙනවා. ඉස්සර අපේ බැංකුවේත් ඒ ක්‍රමය අනුගමනය කළා. නමුත් ඔබ එන්නේ මුදල් පිලිබඳ බලාපොරොත්තුවෙන් නිසා ඔබට කාඩ් පත ආපසු ගන්න අමතක වන්නට පුළුවන්. වරක් අපට පුහුණුවක් ලබා දීඒමට පැමිණි සිංගප්පූරු ජාතිකයකුගෙන් මා ඒ පිලිබඳ විමසා සිටිය ඔහු පවසා සිටියේ එය බැංකුවේ අභිමතය පරිදි තීරණය කල හැකි බවයි.  මෙයට දැන් කදිම පිලියමක් යොදා තිබෙනවා. ඒ සෑම ගනුදෙනුවකදීම PIN අංකය විමසීම. නමුත් ඔබගේ කාඩ් පත අමතක කර දා ඇති විට එය ලබාගෙන වෙළඳ ආයතන වලින් බඩු ගැනීම පහසුවෙන් සිදු කල හැකයි. ඔබගේ අත්සන හුරු වීමට යන කාලය පමණයි හොරකුට අවශ්‍ය වන්නේ. අනෙක් අතට වෙළඳසැල් වල සිටින අහිංසක මුදල් අයකැමියන් අත්සන් පරීක්ෂා කිරීමට නොයන්නේ එක් අතකින් එයට වැය වන කාලය, නියම අත්සන හඳුනා ගැනීමට ඇති අපහසුව (බොහෝ විට  කාඩ් පත මත් හොඳම අත්සන සටහන් වන්නේ නෑ. එහි තිබෙන්නේ ලිස්සන මතුපිටක් නිසා), ගණුදෙනු කරු එවැනි අවස්ථාවක අපහසුතාවට පත් කීරීමට ඇති අකමැත්ත නිසා. 

හොඳයි හෙන්රිට සිදු වූ දේ වන්නට හැකි අවස්ථා දැන් විමසා බලමු. ඔබ යම් මුදලක් ඉල්ලා සිටින විට යන්ත්‍රය විමසා සිටිනම එම මුදල ලබා දිය හැකි මුදලක්ද කියා, එසේ ලබා දිය හැකි මුදලක් නම් එම පණිවුඩය අදාළ Switching මධ්‍යස්ථානයට යොමු කරනවා. Switching මධ්‍යස්ථානය තීරණය කරනවා එය යොමු කල යුතු දිසාව. මෙම Switching මධ්‍යස්ථානය කොටස් දෙකකට බෙදා දක්වා තිබෙන්නේ VISA/Master සර්වර් එකත් එයටම ඇතුලත් කොට. එය පිටස්තර බැංකුවක් නම් ඊළඟට එය යොමු වන්නේ VISA/Master සර්වරය(සමහර බැංකු වල මෙම සර්වර් දෙකම එක් ස්ථානයක තබා තිබුනත් තවත් ආයතන වල දෙතැනක ස්ථානගත කර තිබෙනවා) වෙත එය ඊළඟට VISA/Master යන ආයතනය වෙත එම ගනුදෙනුව යොමු කරනවා. VISA/Master  ආයතන අදාළ බැංකුව වෙත එම ගණුදෙනුව යොමු කරනවා. ඒ ඔබගේ ගිණුම පවතින ශාඛාව වෙත. මෙය සැතපුම් දහස් ගානක දුරක් වුනත් මේ සියළු කටයුතු සඳහා ගත් වන්නේ තත්පර කිහිපයක් පමණයි. ඔබගේ ගිණුමෙන් සිදු කල යුතු කාර්යය සිදු කර ප්‍රතිපලය නැවතත් ආ මාර්ගයේම ආපසු ගමන් කරනවා. ඔබ ගිණුමේ ශේෂය විමසා සිටියහොත් එය බොහෝවිට ඔබ වෙත ළඟ වෙනවා. මුදල් ඉල්ලා ඇති විටක ඔබට මුදල් ලබා දිය හැකිද නැද්ද යන්න තීරණය වන්නේ ශේෂය මතයි. එම සියළු කරුණු සපුරා ඇති විටක ඔබට මුදල් ලබා දෙයි. හොඳයි මුදල් ලබා නොදෙන අවස්ථා මොනවාද

  1. ඔබට අවශ්‍ය මුදල ඉල්ලු පසු ඉහත A,B,C,D,E යන කුමන ස්ථානයක හෝ ජාල සබන්ධතාව ගිලිහී ගිය විට හෝ වේගය අඩු වී ඒ සඳහා ගත වන කාලය වැඩි වූ විට. ඒ සඳහා නිශ්චිත කාලයක්  ATM යන්ත්‍රය බලා සිටිනවා. එය තීරණය කරන්නේ  ATM යන්ත්‍රය හිමි බැංකුව. උදාහරණයකට තත්පර 5ක් ඇතුලත් පණිවුඩය  ATM යන්ත්‍ර  ට නොපැමිණියහොත්  ATM යන්ත්‍රය එම ගණුදෙනුව අවලංගු කර ඒ බව අදාළ බැංකුවට දැනුම් දෙනවා. එවිට ඔබගේ ගිණුම හර කර ඇත්නම් බැර පිවිසුමක් (Reversal) පනවනවා. එහෙත් ජාල සබඳතාව ගිලිහී ඇති විට මේ පණිවුඩ නියමාකාරයෙන් ක්‍රීයාත්මක වන්නේ නැ. 
  2. ඔබට ලබා දීමට මුදල් ගණන් කරන විටදී එය වැරදි යයි තෝරා ගැනීමට යන්ත්‍රය සමත්. එසේ වූ විට ඒවා වෙනමම බාස්කට් එකක් වෙත යොමු කරනවා. එසේ කිහිප විටක් එයට වරදින බව පෙනුනහොත් යන්ත්‍ර අක්‍රීය වනවා. මේ අවස්ථාවේදී පවා ඉහත ආකාරයට බැංකුව වෙත දැනුම් දීමට යන්ත්‍රය ක්‍රියා කරනවා.
  3. මුදල් ඔබ වෙත ලඟා වන බෙල්ට් තුල මුදල් හිර වීම නිසා එකවරම යන්ත්‍ර අක්‍රීය වන්නට පුළුවන්. ඒ වාගේම් මුදල් තැන්පත් කර ඇති කැසට් අක්‍රීය වීම නිසා ඔබට අවශ්‍ය මුදල ලබා දීමට අපොහොසත් වන්නට පුළුවන්. එහෙත් මෙවැනි අක්‍රීය වීම් යථා තත්වයට පත් කරන්න Switch මධ්‍යස්ථානයෙන් පුළුවන්. එවැනි අවස්ථාවක මුළු යන්ත්‍රයේහි සියළු අංගෝපාංග පරීක්ෂා කරනවා යන්ත්‍රය විසින්ම (Self Test).
දවස අවසානයේදී මෙවැනි අවිනිශ්චිත ගණුදෙනු පිලිබඳ වාර්තාවක් Switching මධ්‍යස්ථානයෙන් ලබා ගන්න පුළුවන්. ATM යන්ත්‍ර වලට මුදල් ඇතුලත් කරන නිලධාරීන් මුලින්ම අර අමතර බාස්කට් (Reject Bin) පරීක්ෂා කර සටහන් කර ගන්නවා. ඉන්පසු ඔහු යන්ත්‍රයේ ඇති  මුද්‍රණ යන්ත්‍රයෙන් සාරාංශයක් ලබාගෙන ඒ සමග මුදල් තුලනය කරනවා. යම් වැඩි මුදලක් තිබේ නම් Switching මධ්‍යස්ථානයෙන් ඒ පිලිබඳ විමසනවා. ඒ අකාරයේ වැරදි සිදු වීම් නිවැරදි කරන්න බොහෝ විට පසුදාම පිවිසුම් පනවනවා. නමුත් මෙවැනි අවස්ථා ගණන වැඩි නම් ගණුදෙනු කරු විමසන තෙක් ඔවුන්ට බලා සිටින්නට සිදු වනවා. 

යන්ත්‍රය ඔබට මුදල් ලබා දුන්නත් ඔබ මුදල් ලබා නොගත් අවස්ථා තිබෙනවා. උදාහරණයකට මුදල් ලබා දෙන විට ඔබගේ ඇත වැදුනොත් එය වෙනමම බාස්කට් එකකට යොමු වනවා. සමහර කූඨ ගණුදෙනු කරුවන් තමන්ට ලබා දෙන මුදලින් මැද තිබෙන නෝට්ටුවක් පමණක් සීරුවෙන් ඇදගෙන තිබෙනවා. ඔබ නිශ්චිත කාලයකදී මුදල් ඉවත් කර නොගත්තත් අර කලින් පැවසූ බාස්කට් එකෙහි මෙම මුදල් තබා ගන්නවා. එලෙස මුදල් දැමීමට පෙර ගණන් කර තිබෙන මුදල ජර්නල් මුද්‍රණ පටියේ සටහන් කරනවා. මෙලෙස ඔබ කරන සියළු කටයුතු ජර්නල් යන්ත්‍රයේ සටහන් වන නිසා ඉන් ඔබට සිදු වන්නේ යහපතක්. මා ඔබට ලබා දෙන ඊළඟ වැදගත් උපදෙස මුදල් ලබා ගැනීමට පෙර ගිණුම් ශේෂය පරීක්ෂා කරන ලෙස. මන්ද එය ජර්නල් පටියෙහි සටහන් වනවා. එසේ සටහන් වූ විට ඔබ කරන ගණුදෙනුවට පසුද අනිවාර්යයෙන්ම් ඔබගේ ශේෂය සටහන් වන නිසා යම් ගැටළුවක් සිදු වූ අවස්ථාවක ප්‍රයෝජනවත් වෙනවා. 

බොහෝ කාඩ් මධ්‍යස්ථාන ස්විච් මධ්‍යස්ථානයෙන් ලබා දෙන දත්ත පිටපත් සමග වීස හෝ මාස්ටර් කාඩ් වෙතින් ලැබෙන දත්ත සැසඳුමක් සිදු කරනවා පරිඝනක වැඩසටහනක් මගින්. එවිට නොගැලපෙන සටහන් පිලිබඳ වාර්තාව තබාගෙන ඉහත කී ගැටළු අවස්ථා වලට පිළිතුරු සපයනවා. 

ඒ වගේම වැදගත් දෙයක් තමයි ඔබට ලබා දෙන රිසිට් පත එය ඔබ ළඟ තබාගෙන ඔබගේ බැංකු පොත යාවත්කාලීන කල පසු හෝ ඔබගේ මාසික වාර්තාව සමග සසඳා බලන්න. මා එය තවමත් සිදු කරනවා. දැන් බොහෝ බැංකු කෙටි පණිවුඩයක් සැනෙකින් යොමු කරනවා. එය ආකාර දෙකකින් වැදගත් වෙනවා. එකක් තමයි එය ඔබගේ රිසිට් පතට ආදේශකයක් වීම, අනිත් අතින් ඔබගේ කාඩ් පත අවභාවිත(mis-use) වනවා නම් දැන ගැනීමට ඇති හැකියාව. 

ඔබට මා ලබා දෙන ඊළඟ වැදගත් උපදෙස තමයි ඔබට යම් ගැටළුවක් ඇති වූ විට ඔබ එය සිදු වූ ස්ථානයකට අදාල බැංකුව සමග ඒ පිලිබඳ කථා නොකොට ඔබගේ කාඩ්පත නිකුත් කල බැංකුව(Issuing Bank) සමග කථා කිරීම. එය තමයි එසේ කලයුතු හරි ක්‍රමය.  ඔබට වෙනත් රටක බැංකුවක රාත්‍රී කාලයේදී මෙය සිදු වූවානම් එම බැංකුව සමග ඔබට ඒ ගැන කථා කිරීමට අවස්ථාවක් නෑ. මව් රටට හෝ ඔබ ජීවත් වන රටට පැමිණ ඔබේ බැංකුවට පැවසීම හැර කල හැකි දෙයක් ඔබට නෑ. ඇත්තටම ඒ සඳහා ක්රියාත්මක වීමේ අයිතිය ඇත්තේ ඔබට කාඩ් පත නිකුත් කල බැංකුවටයි.

ඊළඟ උපදෙස ඔබේ අතේ මුදල් බින්දුවටම හිඟ වීමට පෙර මුදල් ලබා ගන්න. එවිට ඔබගේ ගිණුමේ ශේෂය බින්දුවට පත් වුවත් හෙට වනතුරු දරා ගන්න පුළුවන්. 

දැන් බොහෝ බැංකු අන්තර්ජාල බැංකු පහසුකම ලබා දෙනවා එමගින්ද ගණුදෙනුව සිදු වූ ආකාරය ගැන යම් තහවුරුවක් තබා ගන්න. 

ඔබගේ රථවාහන ATM යන්ත්‍රය අසලදී මෙන්ම වෙනත් පොදු ස්ථාන වල ගාල් කිරීමේදීද හෙන්රිගේ ලිපියේ එන අවදානම් පවතිනවා. 

වැදගත්ම උපදෙස ඔබට කොයි තරම් හදිසියක් වුවත්, කොයිතරම් විශ්වාසවන්ත මිතුරෙක් ඥාතියෙක් හිටියත්ඔබේ කාඩ්පත හා PIN අංකය ඔවුන්ට දී මුදල් ගෙන්වා ගැනීමෙන් වලකින්න. එක් අතකින් එය නීති විරෝධී ක්‍රියාවක් අනිත් අතින් අවදානමක්.

ATM යන්ත්‍රය අසලදී කිසිම කෙනෙකුගේ උදව් ලබා ගැනීමෙන් වලකින්න. 

වීසා / මාස්ටර් කාඩ් වල ප්‍රශ්න විසඳීම සඳහා chargeback කියල ක්‍රියාවලියක් තියෙනවා. එවැනි ගැටළු ඇති වූ අවස්ථා වලදී අනුගමනය කලයුතු නීති මාලාවක් එම ආයතන වලින් ලබා දී තිබෙනවා. බොහෝ විට උපකාරී කරගන්නේ අර ATM ඇතුලේ මුද්‍රණය වන ජර්නල් එක. සමහරවිට බැංකු වලට ජර්නල් වල චායාපිටපත් පවා යවන්න වෙනවා. ඔබට දැන් ගැටළුවක් ඇති වෙන්න පුළුවන් මේ ජර්නල් මුද්‍රණ යන්ත්‍රයේ කඩදාසි රෝල ඉවර වුනොත් මොකද වෙන්නේ කියල. බය වෙන්න දෙයක් නෑ ඊ-ජර්නල් (ඒ කියන්නේ ATM යන්ත්‍රයට සම්බන්ධ පරිගණකයේ එය සටහන් වනවා, පසුව කඩදාසි ඇතුලත් කල පසු මුද්‍රණය වනවා). ඉතින් ATM යන්ත්‍රය ඇතුලේ ජීවත් වන සාක්ෂිකරු ලෙස මේ ජර්නලය හඳුන්වන්න පුළුවන් (ජර්නලයේ සියළු කටයුතු සටහන් වන නිසා හෙන්රි කල දේ අත්‍ය අවශ්‍ය නෑ).

ඔබගේ කාඩ්පතේ තිබෙන දුඹුරුපාට තීරුව (Magnetic Strip) ගැන යමක් කියන්න ඕනෑ. මෙහි සටහන් වන තොරතරු වෙනච් Electro Magnetic ප්‍රභවයක් මගින් විකෘති වන්න පුළුවන්. ඔබේ ජංගම දුරකථනය තමයි මෙම කාඩ් පතේ හොඳම හතුරා. එයට එම දත්ත අක්‍රීය කරන්න පුළුවන්. ඒ වගේම එම දත්ත පහසුවෙන් පිටපත්(Skimming) කල හැකි කුඩා යන්ත්‍ර තිබෙනවා එනිසා ඔබගේ ඇසට පෙනෙන මානයෙන් පිටතට සුපිරි වෙළඳසැල් හෝ වෙනත් ආයතනයක මුදල් අයකමියන් රැගෙන යනවා නම් ඊට විරුද්ද වන්න. නවතම චිප් කාඩ්පත් මෙයට විසඳුම සපයනවා. ඒවා පිටපත් කල නොහැකියි.

Wednesday, August 15, 2012

SLPL තරග සඳහා ප්‍රේක්ෂකයන් අඩු ඇයි ?

බොහෝ කලක් සිට පැවති බලාපොරොත්තුවක් සැබෑ කරමින් අගෝස්තු මස 11 වන දින  මෙලොව එලිය දුටු ශ්‍රී ලංකා ප්‍රීමියර් තරගාවලිය බොහෝ සෙයින් ජනප්‍රිය වනු ඇතැයි සියළු දෙනා බලාපොරොත්තු වුවත් මේ දක්වා ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා අඩු යයි රුපවාහිනිය ඉදිරියේ සිටින කාටත් පසක් වූ කාරණයයි. සාමාන්‍යන් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරගයක් පැවැත්වෙන විට හොඳ ප්‍රේක්ෂක සහභාගීත්වයක් දක්නට ලැබුනත් මේ දින වල ක්‍රීඩාංගනය වෙත ලඟා වන ප්‍රේක්ෂකයන් ගණන ඉතා පහල මට්ටමක් පවතී. විස්සයි-විස්ස තරගාවලීන් දවසින් දවස ජනප්‍රිය වන යුගයක අපට සිදු වී ඇත්තේ කුමක්දැයි මේ වන විට කාගේත් සිත් තුල ඇති වී ඇති ප්‍රශ්ණයයි. ඇත්තටම දැන් මෙය ප්‍රසිද්දියේම කතා වන, Talk of the Town බවට පත් වී ඇත. සියළු දෙනා මේ තරග පිලිබඳ උනන්දුවක් දැක්වූවත් මා දන්නා කිසිවකු ක්‍රීඩාංගණය වෙත ගොස් තරගය නැරඹ නැත. වෙනදා ඕනෑම කණ්ඩායමක් ශ්‍රීලංකාවේ සංචාරය කරනවිට තරගයක් දෙකක් නරඹන මාද මේ දක්වා තරගයක් නැරඹීමට උනන්දුවක් දැක්වුයේ නැත. එහෙනම් මෙයට හේතු වී ඇත්තේ කුමක්ද?

මෙම තරගාවලිය කිසිසේත්ම ඇල් මැරුණු එකක් යයි කිව නොහැක. සාමාන්‍යන් විස්සයි විස්ස තරගාවලියක දකින්නට ලැබෙන තරගකාරීත්වය මෙහි ඇත. මේ ලිපිය ලියන මොහොත වනවිට තරග හයක් පවත්වා අවසන්ය. මෙම තරග හය තුල හයේ පහරවල් 50 ක් එල්ල කර ඇත. මෙය එක් තරගයක් සඳහා සාමාන්‍යන් හයේ පහරවල් අටකට වඩා මදක් වැඩිය. එය එතරම් නරක අගයක් නොවේ. සාමාන්‍යන් විස්සයි විස්ස තරගයක ජයග්‍රාහී ලකුණු මට්ටමක් ලෙස සලකන්නේ ලකුණු 160ක්ය. නැතහොත් පන්දු ඕවරයකට ලකුණු අටක සාමාන්‍යක්ය. එම අගයට කිට්ටු සහ පසු කර ගිය ඉනිම 6ක්ම වාර්තා වී ඇත.  එහෙනම් තරගාවලිය සාමාන්‍ය ආකාරයකට ගලා යයි. එහෙත් කෝ ප්‍රේක්ෂකයන් ? මගේ ත්‍රී වීල් හිතවතා පවසන්නේ පාසල් ළමුන්ට මෙම තරගාවලිය නොමිලයේ නරඹන්නට අවස්ථාව සලසා දිය යුතුයි යන්නයි. කෙසේ වෙතත් ඒ විසඳුම් පැත්තය. විසඳුම් ගැන කතා කිරීමට මත්තෙන් අඩු ප්‍රේක්ෂක ආකර්ෂණයට හේතු සාකච්චා කල යුතුයි.

හොඳයි අප මේ කතා කරන්නේ IPL තරගාවලිය දෙස බලාගෙන ඒ ආකාරයේ සෙනගක් නැත්තේ මන්දැයි කියා නොවේද ? මගේ මතය නම අපට කුමන දෙයක් සඳහාවත් ඉන්දියාව සංසන්දනයට නොගත යුතුයි යන්නයි. "ඉන්දියාව ලෝකයක්" යනුවෙන් මා අසා ඇත. එය පරම සතයක් බව මට පසක් වූයේ පසුගිය 2011 ලෝක කුසලාන අවසන් තරගය නරඹන්නට ඉන්දියාවට ගිය පසුය. එහිදී මට හමු වූ නවදිල්ලියේ වෙසෙන පුද්ගලයෙක් පවසා සිටියේ ඉන්දියාවේ හැම ජාතියකටම සමාන මුහුණු ඇති මිනිසුන් ජීවත් වනවා යන්නයි. 
ඉන්දියාවේ ගත කල එක් දිනයක රාත්‍රියේ  මට චීන ආහාර වේලක් ගන්නට සිතක් පහල වී, ඉනොර්බිට් වෙළඳ මධ්‍යස්ථානයේ ඉහලම මාලයට ගමන් ගතිමි. එහි නියම චීන ජාතිකයන් විසින් පවත්වාගෙන යන ආහාර වෙළඳ සැලකට ගොස් මගේ ආහාර වෙලා ඇනවුම් කර ඉදිරිපස සවි කර ඇති රූපවාහිනි තිරය දෙස දෑස් යොමාගෙන ඉන්දියාව ක්‍රීඩා කරන තරගයක් නැරඹුයෙමි. මේ කිසිවක් ගැන අවධානයක් නොදක්වූ චීනුන් කනේ ඉයර්ෆෝන් ගසාගෙන සිටින්නේ, ක්‍රිකට් උන්මාදයෙන් මත වී ඇති ඉන්දියානුවන්ගෙන් කන්දොස්ක්රියාවෙන් බේරෙන්නට යන්න පැහැදිලිය. එහෙත් මා දෙස බලා දෑතින් සන් කල චීනා පවසා සිටියේ තවත් හතරේ පහරක් එල්ල කල බවයි. සැටලයිට් රුපවාහිනී විකාෂණයට කලින් ඇසෙන රේඩියෝ විකාශණයට චීනා සවන් දෙන්නේ කාටත් ප්‍රථම තරගය පිලිබඳ දන ගැනීමට බව මට පැහැදිලි වුනේ තවත් සුළු වෙලාවකින් මගේ බත් පත ගන්නට ගිය විටි මා ඉන්දියානුවෙක් නොවේදැයි ඔහු ප්‍රශ්න කල විටය. වැරදී ඇත්තේ මටය. චීනකුගේ ස්වරුපය ඇතත් ඔහු ජාත්‍යාලයෙන් පිරිපුන් ඉන්දියානුවෙක්ය.  ඉන්දියාවේ වෙසෙන ජාතීන් අතර විවිදත්වය  අප හා ඔවුන් සංසන්දනයට නොහොබිනා යයි මා පවසන්නේ කෙසේදැයි ඔබට මේ වන විටත් සිතෙන්නට ඇත. ඇත්ත, එහෙත් ඉන්දියාවේ එකිනෙකාගෙන් වෙනස ශ්‍රී ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි, වෙනස් භාෂා කථා කරන, වෙනස් සංස්කෘතීන් ඇති ජාතීන් කීයක් නම් වෙසෙයිද ? 

මා මේ උත්සාහ කරන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයකටත් වඩා කුඩා බිම් ප්‍රමාණයක් සහ අඩු ජනගහනයක් ඇති ශ්‍රී ලංකාව කෙසේ නම් ඔවුන් සමග සංසන්දනය කරන්නද යන්න සනාත කරන්නය. මගේ මතකය නිවැරදි නම් ඉන්දියාවේ පසුගිය IPL තරගාවලියට කණ්ඩායම් නවයක් තරග කළා. ඉන්දීය ජනගහන වන මිලියන 1200 මේ කණ්ඩායම් නවයෙන් බෙදුවොත් එක් කණ්ඩායමක් සඳහා මිලියන 133 ක් පමණ අගයක් ලැබෙනවා. තරගයක සාමාන්‍ය ප්‍රේක්ෂකයන් සංඛාව පනස්දාහක් ලෙස සැලකුවහොත්, ක්‍රීඩාංගනයක් පිරෙන්න සෙනග එවන්නට අවශ්‍ය ප්‍රතිශතය 0.04% කැ ආසන්න අගයක් ගන්නවා. දැන් අපි ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. අපේ ජනගහනය මිලියන 20 න් කණ්ඩායමකට ලැබෙන අගය 2.86ක් වනවා. ක්‍රීඩාංගනයක් පිරවීමට අවශ්‍ය පැමිණීමේ ප්‍රතිශතය වන්නේ 1.75%. දැන් ඔබට වැටහෙනවා නේද අපේ ක්‍රීඩාංගනයක් පුරවන්නට ඉන්දියාව මෙන් 44 ගුණයක උනන්දුවක් දැක්විය යුතු බව.

ඇත්තටම උනන්දුව අතින් අප සිටින්නේ කොතනද ? ඉන්දියාවේ සිටින්නේ කෙතරම් ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන්නන්ද යන්න වටහා ගැනීමට ඉන්දියාවටම යා යුතුය. මා කලින් විස්තර කල ගමනේදී එය කදිමට වටහා ගන්නට මට හැකි වුනා. සුපර් මාර්කට් වල ඇති සියලුම් අසුන් ඔවුන් භාරයට ගන්න ඉන්දීය ප්‍රේක්ෂකයන්ට විරුද්ද වනවා වෙනුවට කඩ සාප්පු හිමියන්ද තම තමන්ගේ ව්‍යාපාර යකාට ගියදෙන් කියා ඔවුන් සමග එක් වී තරග නරඹන්න පටන් ගන්නවා. තරගය ආරම්භ වන්නේ සවස 2.30 ට නම් සවස එකේ සිට කන් පැලෙන නාදයකින් ප්‍රීති ගෝෂා පවත්වනවා. ඒ ඔවුන්ගේ වීරයන් වන සචින් හෝ දෝනි වෙළඳ දැන්වීමක දුටු විට. ජාතික ගීය ගායනා කරන විට සියලු දෙනා මහා හඬින් එම ගයනට එක් වනවා. එක් දිනක් මම ජාතික ගීය නොකියන්නේ මන්දැයි ඔවුන්ට ගැටළුවක් වුනා. මම පෙනුමෙන් ඉන්දියානුවකුට වඩා වෙනස් නොවන නිසා ඔවුන්ට අඳුරා ගන්න බෑ.  අවසාන තරගයට අප සුදුසුකම් ලැබීමෙන් පසු ඔවුන් අප ශ්‍රී ලාංකිකයන් බව දන ගතහොත් අවක්ඥාවට ලක් කරනවා. ඉන්දීයා ප්‍රේක්ෂකයාගේ උනන්දුව වටහා ගන්නට එය හොඳටම ප්‍රමාණවත් යයි මා සිතනවා.  මෙවැනි උන්මාදයකින් පසු වන්නන්ගෙන් ක්‍රීඩාංගන පිරී යාම පුදුමයට කරුණක් නොවේ. ඔවුන් තරග පරාජය වූ පසු හැසිරෙන ආකාරය එයට හොද සාක්ෂි සපයනවා. 

අනෙක් කාරණය ඉන්දීය ප්‍රාන්ත තරගාවලියක් (රංජි කුසලාන) පවතින නිසා ඔවුන් තමන්ගේ කණ්ඩායමට සහය දක්වන්න මුල සිටම පුරුදු වී තිබෙනවා. අප තවමත් කුමන කණ්ඩායමට සහයෝගය දක්වනවාද යන්න තෝරා බේරා ගැනීමට නොහැකිව ලත වෙනවා නොවේද. එක් අතකින් අප ඉන්දියානුවන් තරම් පහත මානසිකත්වයකින් පසු නොවීම මීට හේතුවක්. අපට බස්නාහිර කණ්ඩායමේ දිල්ශාන් පහර දෙන විටත්, රුහුණේ ලසිත් මාලිංග පන්දු යවන විටත්, වයඹේ මහේල පහර දෙන විටත්, කඳුරට තිසර ක්‍රීඩා කරන විටත්, නැගෙනහිරින් මැතිව්ස් එන විටත් අප ඔවුන්ට හිතින් සහය පල කරමු. අප තවම ශ්‍රී ලංකා කියන අය අනිත් අයගෙන් වෙන් කරගෙන සිටිමු. එහෙත් ඔබ තවමත් කුමන කණ්ඩායමට සහයෝගය දක්වනවාද යන්න තීරණය කලාද ? එසේ තීරණය නොකර කෙසේ නම් ක්‍රීඩාංගනයට ගොස් සහය පල කරන්නේද ? මට සිතෙන්නේ අපි තවමත් මෙතන සිර වී සිටින බවයි. උදාහරණයකට මා උපන් ප්‍රදේශය ගතහොත් මා සහයෝගය පල කල යුත්තේ රුහුනටය, එහෙත් මා ජීවත් වන පළාත ගත්තොත් මා බස්නාහිරට සහයෝගය දැක්විය යුතුය. එහෙත් මගේ ප්‍රියතම ක්‍රීඩකයන් සිටින්නේ වයඹ හෝ කඳුරටය. ඉතිං මා කාට සහයෝගය දක්වන්නද ? මේ ප්‍රශ්නයේ තවත් බොහෝ දෙනෙක් ගැලී සිටිනු නොඅනුමානය. අනිවාර්යයෙන්ම මෙම තරගාවලිය අවසන් වූ පසු අපට යම් තීරණයකට එළඹිය හැකිය.

අනෙක් අතින් ගත විට අගෝස්තු හත් වනදා තෙක්ම ශ්‍රී ලංකාවේ එක දිගටම වෙනත් තරග නරඹා හෙම්බත් වී සිටින ප්‍රේක්ෂකයන්ට මෙම තරගාවලීන් අතර ලැබුන පරතරය මදිය. මා තේරුම් ගත පරිදි ක්‍රීඩාංගන වල තරග නැරඹීමට එන්නේ දැනට ක්‍රීඩා කරන්න අය, කාර්යාල වල සේවය කරන අය, සුළු ව්‍යාපාර කරන අය. මේ පාර්ශව තුනම ගත්තත් මුදල් උපයාගෙන ක්‍රීඩාංගන වෙත පැමිණිය යුතු අයය. ඉතිං පසුගිය ඉන්දීය සහ පාකිස්තානු තරග නැරඹු ඔවුන්ට යම් මුදලක් අතේ ඉතිරි කර ගන්නට කාලය මදි බවයි මගේ වැටහීම. ඔලිම්පික් තරගාවලියද යම් මට්ටමකට ප්‍රේක්ෂකයා ක්‍රිකට් වලින් ඈත් කර තබන්න සමත් වුනා. 

ඉන්දීය තරගාවලියට සාපේක්ෂව මෙම කණ්ඩායම් වල සිටින විදෙස් ජනප්‍රිය සහ දක්ෂ ක්‍රීඩකන් ගණනද අඩුය.  ඔවුන් අප තරගාවලියට ක්‍රීඩකයි සහබාගි නොකරවුයේ කුමන පදනමකින්ද යන්න තවමත් පැහැදිලි නොවුනත්, යම් හෙයකින් එසේ සහභාගී කලානම් ක්‍රීඩාංගන පිරි ඉතිරී යන්නේ ඉන්දියානුවන්ගෙන්මය. එයට හොඳම උදාහරණය සපයන්නේ IPL තරගාවලිය දකුනු අප්‍රිකාවේ පැවැත්වූ විට එහි ඇදුන ඉන්දියානුවන් ගණන සැලකිල්ලට ගත් විටය. යම්හෙයකින් ලබන වසරේ IPL තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුවහොත් ක්‍රීඩාංගන පිරෙන ආකාරය බලා ගන්නට හැක. 

ඉහත කී කාරණා සැලකිල්ලට ගත් විට මෙම තරගාවලියේ සාර්ථක / අසාර්ථක බාවය ගැන අනාවැකි පල කිරීමට තවත් අප ඉක්මන් විය යුතු නැත. එක් අතකින් මෙම තරගාවලිය අවුරුදු තුනක්ම සංවිධානය සඳහා බ්‍රිතාන්‍ය සමාගමක් සමග ගිවිසුම් අත්සන් කර ඇති බැවින් මෙය අසාර්ථක වුවත් අප දිනුම්ය.  

මොනවා වුනත් ශ්‍රීලාංකිකයන් වශයෙන් මෙවර තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන මහින්ද්‍රා ආයතනයටත්  සෙසු කණ්ඩායම් මිලදී ගත් හිමිකරුවන්ට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.

පින්තුරය ගත්තේ : wisdenindia.com

Monday, August 13, 2012

එස්.එල්.පී.එල්. සමාරම්භක උළෙලට ගියෙමි.

අප බොහෝ දෙනා බලා සිටි එස්.එල්.පී.එල්. තරගාවලිය ආරම්භ වීමේ සුභාරංචිය ලද වහාම සතුටට පත් වන පුද්ගලයන් අතර මම ද කෙනෙකි. පසුගිය වසරේ මෙම තරගාවලිය පවත්වන්න සුදානම් වුවත් අවාසනාවකට එය අත් හැර දමන්නට සිදු විය. එකල මාගේ සිතේ ඇති වූ සිතුවිල්ල නම් අපගේ කණ්ඩායම් මිලදී ගන්න තරම් වත්කමක් තිබෙන ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාවේ නැද්ද යන්නයි. ඉන්දියාවේ නම් වෙන්දේසි වලදී ඉතා ඉහල මිලක් ගෙවා මෙම කණ්ඩායම් මිලදී ගෙන තිබුණා. අවසානයෙදී ශ්‍රී ලංකා ප්‍රීමියර් තරගාවලිය යතාර්ථයක් බවට පත් වුනා. එහෙත් එහි සමාරම්භක උළෙලට සහභාගී වීමට මට අවස්ථාවක් (වී.අයි.පී. අවසර පත්‍රයකින්) උදා වේ යයි මා සිහිනෙකින් වත් සිතුවේ නෑ. එම අවසර පත්‍රය ලැබූ ක්‍රමය ගැන විස්තර කිරීමට කාලය මිඩංගු කිරීම තේරුමක් නැති වුවත් මා එහිදී ලද අත්දකීම් ඔබත් සමග බෙදා ගැනීම වටී.

කලින් පැවසූ ආකාරයටම ඉතා තද ක්‍රිකට් ප්‍රේමියකු වන මා හට එය මහමෙරකි. පන්සීයකට අඩු පිරිසක් සහභාගී වන තැනක මමත් එක පුද්ගලයකු වීම මට කෙතරම් වටීදැයි මගේ සමීප මිතුරන් දනී. ක්‍රිකට් වලට ඇති මගේ ප්‍රේමය කිසිදා නොසිඳෙන දිය උල්පතක් වැනිය. ආනන්ද-නාලන්ද, ඉසිපතන-තර්ස්ටන්, රිච්මන්ඩ්-මහින්ද, රෝයල්-සාන්ත පීතර ආදී පාසල් ක්‍රිකට් තරග රේඩියෝවෙන් ඇසීමෙන් ආරම්භ වන මගේ ක්‍රිකට් ප්‍රේමය පසුව ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සුහද පිළිසඳරක යෙදෙන තත්වයකට වර්ධනය කර ගන්නට ලැබීම මගේ වාසනාවකි. 

අපි මොනවද ඇඳගෙන යන්නේ යයි මගේ අතිජාත මිතුරා සුභාෂ් ඇසු විට මා පැවසුවේ "ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට් ඒකඇඳගෙන යමු නේද?" කියායි. මා සිතා සිටියේ එය ඔලිම්පික් සමාරම්භක උළෙල වාගේ මහා ජනකායක් සහභාගී වන්නක් විය යුතු යන්නයි. එහෙත් මගේ මිතුරා පවසා සිටියේ මෙය සුගතදාස ගෘහස්ථ ශාලාවේ පැවැත්වෙන බැවින් උත්සවයට ගැලපෙන ඇඳුමකින් සහභාගී විය යුතුයි බවයි. ඉන්පසු අප දෙදෙනා මහත්වරුන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට මහත්වරු මෙන් සහභාගී වීමට තීරණය කරා. එය රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිත බැවින් අප දෙදෙනාත් අපගේ මිතුරා සහ ඔහුගේ පවුලේ අයත් මෙම ශාලාව අසලට රාත්‍රී 7.00 පමණ වනවිට ලඟා වුනා. ටික මොහොතකින් අප රුපවාහිනී තිරයේ දකින මේ සියලු ක්‍රිකට් වීරයන් අප පසුකර ඇතුල් වන ආකාරය දැක ඉමහත් සතුටින් එම අවස්ථාව උදා වනතුරු පසු වුනා. එහෙත් වාහනය ගාල් කරන්නට ගිය සුභාෂ්ගේ ප්‍රමාදය නිසා ඉදිරිපස දොරටුව අසල විනාඩි 15ක් පමණ රැදී ඉන්නට සිදු වුනා. එයම අප පසු කර යන ප්‍රසිද්ධ චරිත දැක හඳුනාගෙන "මේ යන්නේ අරයා, මේ යන්නේ මෙයා" යනුවෙන් කොඳුරමින් කාලය ගෙවා දැම්මීමට හේතු වුනා.

ගෝෂාකාරී ශබ්ද පවතින තැන් වල කාලය ගත කරන්නට මා දක්වන්නේ දැඩි නොකැමත්තක්. එහෙත් මෙවැනි අවස්ථාවක් මග නොහැර සහභාගී වන්නේ  මා ක්‍රිකට් වලට දක්වන ප්‍රේමය නිසාමයි. කෙසේ හෝ රාත්‍රී 8.30 ට මත්තෙන් එය ආරම්භ වුනා. එහි වේදිකාව,   ආලෝකය, පිටුපස දර්ශන, ශබ්ද පරිපාලනය ඉතා උසස් මට්ටමකින් පැවතුනා. එහි සිටි සහායිකාවන් අපව  ඉදිරියේ මැදපෙළ අසුනක් වෙත යොමු කළා. ඇත්තටම එම උත්සවය නැරඹීමට එය කදිම ස්ථානයක්. මෙම ශාලාව ජපන් ආධාරයක් මත ලැබුන එකක් නිසා මෙහි හොඳ ශබ්ද සහ ආලෝක පද්දති සවි කරා ඇති දැන ගත්තේ අපගේ මිතුරාගෙන්. මෙහිදී මගේ ක්‍රිකට් මිතුරියන් වන චමරි අතපත්තු, සඳමාලි දොලවත්ත දකින්නට ලැබුනත් ඔවුන් සමග පිළිසඳරේ යෙදෙන්නට අවස්ථාවක් ලැබුනේ නැහැ. ගයේෂා පෙරේරාත් මෙයට සහභාගී වනු දුටුවා. ඇයද යම්තාක් දුරට මගේ සමීප මිතුරියක්. 

එය ඉතා සමතුලිත වැඩසටහන් පෙළගැස්මක් ලෙස පැවසුවොත් අතිශෝක්තියක් නොවේ. දේශීයත්වය අගයමින්, එක්-එක් පළාතට ආවේනික නැටුම් සහ ගායනා වලින් සැදී ගීත සහ ඉදිරිපත් කිරීම් පෙළ දෙස විදේශීය ක්‍රීඩකයින් මහත් ඕනෑකමකින් බලා සිටියා. ඇත්තටම එය අපටද ඉමහත් සතුටක් ගෙන දුන්නක්. මෙම අවස්ථාව හිරු රුපවාහිනිය තුලින් ඔබ දකින්නට ඇතැයි සිතනවා. එහෙත් එම උත්සවයේ මගේ සිත්ගත් අංග මා මෙසේ විස්තර කරන්නම්. 

ක්‍රීඩාවේ ජීවගුණය(Spirit of Cricket) ආරක්ෂා කරනුවස් කණ්ඩායමේ නායකා සහ හිමිකරු ඇඟිලි සලකුණු තම්බමින් කරන ලද ඉලෙක්ට්‍රොනික් එකඟතාව ඉතා මනස්කාන්ත ලෙස දර්ශන තිර මත දැක්වීම. සියලුම කණ්ඩායම් වෙනුවෙන් ඉදිරිපත් කල ගීත සහ ඉදිරිපත්කිරීම්. භාතිය සන්තුෂ් / අශාන්ති/උමාරියා සහ ජනනාත් වරකාගොඩ ගේ ඉදිරිපත් කිරීම්. මෙහිදී " නා-නා-නේ-න-න-නේ-නා-නා" ගීතයට දිල්ෂාන්, නැනස්, ලාරා, බෝජායිස් සහ කණ්ඩායම් හිමිකරුවන් මෙන්ම ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ ප්‍රධාන අනුග්‍රාහක මහින්ද්‍රා ආයතනයේ ශුක්ලා මහතා වරද්ද-වරද්දා ගායනා කරන විට අපට ඇති සිනහවනම් වලක්වා ගන්නට නොහැකි වුනා. එහිදී බ්‍රයන් ලාරාගේ  සහ කුමාර් සංගක්කාරගේ කථා ඉතා රසවත් මෙන්ම  සාරගර්භ ඒවායි. විශේෂයෙන්ම අපගේ මතකයෙන් ගිලිරි යන චමින්ද වාස් ගැන බ්‍රයන් ලාර කරන ලද විග්‍රය ඉතාම වැදගත්. කුමාර් සංගක්කාරගේ කථාවෙදී ලාරා සහ තිලාන් ගැන විස්තරය ඉතා සිනහ නංවන සුළුයි. 

නමුත් එහිදී මට මුණ ගැසුණ මගේ පාසලේ ආදිශිෂ්‍ය ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන මහතා පැවසූ දෙයින් මා තරමක් වික්ශීප්ත භාවයට පත් වුවා 

"නිකං බලන්න ආවේ මොනවද වෙන්නේ කියල, ඒත් මං මේකට කැමති නෑ"

පසුදා උදයේම ෆේස්බුක් වල සිටි ඔහුගෙන් මා විමසා සිටිය ඇයි ඒ වගේ මතයක් දරන්නේ කියා, එවිට ඔහු පැවසුයේ 

"පොඩි එවුනුත් සල්ලි පස්සේ යනවා, මුදලට තරග පාවා දෙනවා" යන්නයි. එම කතාවෙන් මගේ මතකය තරමක් ඈත හා මෑත දෝලනය වූ සිතුවිල්ලක නතර වුනා.

1994 දී මට රවීන්ද්‍ර පුෂ්පකුමර මුණගැහුනා දකුණු අප්‍රිකාවේ සංචාරයට පසු. ඔහුත් මාත් එකම බස් රථයෙන්(154) බැස ටොරින්ටන් දක්වා පයින් යන ගමන් සුහද පිළිසඳරක යෙදුණා. ඉතාම නිහතමානි පොලවේ පය ගසා සිටින පුද්ගලයෙක් බව මට පසක් වුනා. ඒ සමගම පොදු ජනයා ගැවසෙන තැන් වල ගැවසෙන සාමාන්‍ය අය ලෙස  එවක ක්‍රිකට් ක්‍රීඩකයන් සිටියා. පසුගිය අඟහාරුවාදා එස්.එස්.සී. දොරටුව අසල අලුත්ම කලුපාට වොල්වෝ රථයක නලා හඬවන සද්දය නිසා එහි සිටින්නේ කවුදැයි  දෑස් යොමා බැලුව. එහි සිටින්නේ අජන්ත මෙන්ඩිස්. ඔවුන්ට අද තිබෙන ආර්ථික සමුර්ධිමත් භාවය ගැන අපට ඉරිසියාවක් නැති වුවත් ඔවුන්ට එය ලඟා කරා ගත හැකි වුයේ 1996 පෙරළියට දායක වුනු සියළු දෙන විඳි දුක්, බාදක, කම්කටොළු නිසා බව ඔවුන් දන්නවාද ? 

සමාරම්භක උළෙලේදී මගේ ජංගම දුරකථනයේ සටහන් කරගත් චායාරුප පහත සබැඳියෙන් ගොස් බලන්න පුළුවන් 

https://www.facebook.com/media/set/?set=a.10151023620594825.431200.535429824&type=3

ප:ලි: ඔබ දන්නවාද මහින්ද්‍රා ආයතනයේ නිෂ්පාදන සහ නිෂ්පාදන කර්මාන්ත තියෙන්නේ මොන රටවලද කියලා. ශුක්ලා මහත්මයාගේ කතාවට අනුව ඉන්දියාව, චීනය, අමෙරිචාව, දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රලියාවේ නිෂ්පාදන ශාලා තියෙනවා. අප දාන්නේ ට්‍රැක්ටර්, ජීප් පමණයි එහෙත් ඔවුන් මෝටර් බයිසිකල්, යොච්, ගුවන් යානා පවා නිෂ්පාදනය කරනවා. 

Thursday, August 9, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 16 - කවුද එතන ඉන්නේ ?

පහුගිය ටිකේ මම ලියාගෙන ආව අඳුරු යුගයේ මතකසටහන් සීරීස් එකටම සම්බන්ද එහෙත් එම කාණ්ඩයට වඩා ලොල් කතාවක් වෙච්ච මේ කතාව මගේ මතකයට ආවේ මේක මට කිව්වා සුචාව මම අද උදේ හීනෙන් දැක්ක හින්ද. එතකොට කවුද මේ සුචා. සුචා කියන්නේ සුචරිතරත්න. මට නම් මේ නම කිව්වත් හිනා යනවා. එවරෙඩි පුස කියල තමයි අපේ ක්ලබ් එකේ අය හඳුන්වන්නේ. ඉතිං සුචා ගැන පස්සේ කතා කරන්න බැරියයි. අදාල කතාව මට ඇවිත් කිව්වේ සුචා. මේ කියන සංවාදයට සහබාගි වුණා අය ගැන සුචා එදා එලි කලේ නෑ. ඒ කාලේ හැටියට අපි එක්ක ඕක කිව්වනම් අදාළ සැකකාරයන්ට හිරේ ලගින්න වෙනවා.

මේක වුණා කාල සීමාව දැනටමත් ඔබේ හිතට එන්න ඕනෑ. අසූ නවය අනුව කාල වකවානුවේ සිදු වුනා යයි විශ්වාස කලහැකි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සංවාදයක්. ජනතා විමුක්ති පෙරමුණ කියන නමින් එම කණ්ඩායම නො-හඳුන්වා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියල හඳුන්වන්න  මම හිතුවේ මුලින්ම ආයුද අතට ගත්ත පිරිස ජවිපෙ වුනත් පසුව නොයෙක් බලාපොරොත්තු හිතේ දරාගෙන මෙම සංවිධානේ වටා ගොනු වූ පිරිස් එක් වූ විට එය ජවිපෙයකට වඩා අර කිව්වා සංවිධානය නමින් හැදින්වීම  වඩාත් උචිත නිසා. ඒත් මේ දෙකේම වැඩි වෙනසක් නෑ. ඒ කතා මෙතනට අදාළ නොවුනත් මෙහෙම සඳහන් කලේ මම ජවිපෙට සුදු හුණු ගාන්න යනවා කියල කෙනෙකුට හිතෙන්න පුළුවන් නිසා.

මේ කියන කාලේ වෙද්දී රජයේ හමුදා වෙතින් හොඳටම ප්‍රහාරයට ලක් වෙලා බොහෝම අඩාල තත්වයකින් හිටියත් ඉඳ හිට එතන මෙතන පොඩි පොඩි සිදු වීම් වුනා. අද අවසන් වෙයි හෙට අවසන් වෙයි කියල හිතුවත් සහෝදරවරුත් ඉඳ හිට පොඩි වැඩක් දීල තමන්ගේ ජාම බේර ගත්ත.

බෙන්තොටට බැංකු තියෙන්නේ එකයි. ඒ ලංකා බැංකුව. ඒක තියෙන්නේ සංචාරක කලාපයේ. ඒ මදිවට බෙන්තොට පොලීසිය ඉදිරිපිට. මේකට අත තියනවා කියන්නේ ඉතින් පොලීසියට ගැහුවා වගේ වැඩක්. නිකමට වත් නොහිතන දෙයක්. ඒත් මේ සංවිධානයට පසුව එක් වෙච්ච අය බැංකු කඩන්න, මංකොල්ල කන්න වගේ දේවල වලට හරි උනන්දුයි. ඉතිං වැඩි නියෝජනය තියෙන්නේ මේ හොර සාමාජිකයින්ට නිසාත්, කොහේ-කොහේ හරි යම් සිද්ධියක් ඇති වුනාම සංවිධානයට පොඩි ක්‍රෙඩිට් එකක් එන නිසාත් නියම ජවිපෙ සහෝදරයෝ මේ වගේ ඒවාට වැඩිය ප්‍රතිවිරෝධයක් දැක්කුවේ නෑ. ඔන්න ඇති වුන සංවාදය මෙහෙමයි.

ජවිපෙ සාමාජික 1 : සහෝදරයා අපි දැන් නිහඩව හිටිය හොඳටම ඇති, අපි යමක් කරන්න ඕනෑ ටිකක් රටටම දැනෙන විදිහේ දෙයක්.

අලුත් සාමාජික 1 : හරි අපි බෙන්තොට ලංකා බැංකුව කඩමු. එකේ හොදට සල්ලිත් තියෙනවා අහල ගං හතක මිනිස්සු රත්තරං බඩු තියල තියෙන්නෙත් මෙතන. ඒක පිටිපස්සේ තියෙන තැබිලි කොටුවෙන් ඇතුලට රිංග ගන්න පුළුවන්.

ජවිපෙ සාමාජික 2 : චී.... චී.... සහෝදරයා අපි එතන ඉන්න හොඳ නෑ.

අලුත් සාමාජික 2 : ඔහෙට පිස්සුද ස..හෝ...ද...ර...යෝ, කවුද එතන ඉන්නේ. බැංකුවක් කඩලා. අපි හිමිහිට මාරු වෙනවා මිසක්.

ඔන්න හිනා ගියේ නෑ කියල මට කියන්න එපා. මේ එක්කම පොඩි දැන්වීමක් කරන්න ඕනේ උසස් රස වින්දනයක් තියෙන ලොව වටා විසිරි සිටින අපේ සයිබර් මිතුරු කැලට.  නන්ද මාලනී මහත්මියගේ ගීත වල වචන ෆේස්බුක් නොට්ස් විදියට එකතු කරලා මගේ මිත්‍රයෙක් වන රනිල් මුදුන්කොටුව ෆේස්බුක් පේජ් එකක් විදියට පවත්වාගෙන යනවා. සිංහලෙන් සියළුම ගීත වල වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම හොඳ උත්සාහයක් හා කැපවීමක් ඔහු ඒ වෙනුවෙන් කරලා තියෙනවා. අද මගේ මිත්‍රය එයට එක් කරන්නේ 250 වෙනි නොට් එක. මම කාලෙක ඉඳන් කිව්වත් මිනිහා බ්ලොග් එකක් පටන් ගන්නේ නෑ. බ්ලොග් එකක් විදියට ලිව්වනම් හොඳයි කියන එක මිනිහට නිනව්වක් නෑ. ඒ මොනවා වුනත් අඛණ්ඩව නෝට්ස් 250ක් නොහොත් ගීත 250ක් මෙහි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතිං ඔබටත් පුළුවන් මේ ෆේස්බුක් කණ්ඩායමට එකතු වෙලා ගීත වල රස විඳින්න මෙන්න මේ පහල තියෙන ලින්ක් එක හරහා ගිහින්. සමහරවිට ඔබ මේ වෙනකොටත්  එම කාන්ඩේ සාමාජිකයෙක් වන්න පුළුවන්. මොකද දැනට 9500 කට අදික පිරිසක් මේ වට එක් වෙලා ඉන්නවා. මෙන්න ලින්ක් එක

Monday, August 6, 2012

මානසික අල්ලස් නැති - "සිංදු ආදරේ....."

අපේ රටේ විතර FM නාලිකා තිබෙන රටක් ලෝකයේ තව කොහේ හරි තියෙනවද කියන එක සැකයි. ඒ තරමටම ලංකාවේ FM  සේවාවල් හතු පිපෙන්න වගේ බිහි වෙනවා. පර්යේෂණ විකාශන කාලේ තමයි මේ කොයි සේවාව ගත්තත් හොඳම කියල නිතරම FM වලට ඇහුන්කන් දෙන රියදුරන් සහ ආරක්ෂක නිලධාරීන් පවසන්නේ. ඒ කතාව බොරුවක් නොවෙයි කියලා අපට හිතෙන්නේ බස් එකක දුර ගමනක් යන්න සෙට් වුණොත් පටන් ගත්තා මොහොතේ ඉඳල අවසානය දක්වා ඇහෙන කන් කරච්චලයට ඉඳ හිට හරි මුහුණ දෙන්න වුණාම. ඒ මදිවට අතරමැද තිබෙන වෙළඳ දැන්වීම් ප්‍රමාණය. මේ සේරෝටම වඩා ඉහළින් තියෙන්නේ මේවාගේ සේවය කරන ගිරා පෝතක කැලගේ කැඩිච්ච සිංහල කියවිල්ල. එයාල හිතන් ඉන්නේ මේවා අහගෙන ඉන්න යට හරි රසවත් කියලද දන්නෑ. 

කලක් සාම්ප්‍රදායික මට්ටමේ තිබ්බ ගුවන් විදුලි සේවාව මෙතනට ඇද දැමීමේ ප්‍රමුඛ කර්තව්‍ය සිදු කරේ සිරස FM  ආයතනය. එයාලගේ අඩි පාරේ යමින් අද වනවිට තවත් FM නාලිකා බොහොමයක් බිහිවෙලා. ඒවාටම හරි යන නවක පරපුර යයි කියා ගන්නා ගායන ශිල්පීන් කැල ඉදිරිපත් කරන හරසුන් ගීත. අනේ මන්දා අපේ වයසේ වැරද්දක්ද මන්දා මේවා අහගෙන ඉන්න බැරි. අර අපේ බ්ලොග් ශිල්පීන් කියනවා වගේ "මගේ බ්ලොග් එකේ දාන්නේ මට ඕන ඒවා, කැමතිනම් කියවන්න" කියල, මේ FM වලත් "අපි දාන්නේ අපිට ඕන ඒවා, උඹලට කැමතිනම් අහගෙන හිටපල්ලා" වගේ අදහසකින්. අකමැතිනම් ඔබට වෙනත් සේවාවකට මාරු වෙන්න පුළුවන් (අර සංගා සිම්පල් ප්ලෑන් එකකට මාරු වුණා වගේ) නැත්නම් වහ දාන්න පුළුවන්. එකම විසඳුමත් ඒක තමයි. හැබැයි ඔබ බස් රථයක දිගු ගමනක් යනවා නම් ඔබට විකල්පයක් නෑ(මතකයට එන්නේ "සිරි සංඝබෝධි මහත්මයා අනුරපුරේ සිට නැග ගත්තා සැප බස් රියක" කියන ගීතය).  හොඳ වෙලාවට දැන් ජංගම දුරකථන වල තිබෙන ඉයර්ෆෝන් එක කනේ ගහගෙන වෙන මොනවා හරි අහන්න පුළුවන්. එත් ඒ වගේ දේවල් වලට වැඩිය හුරුවක් නැති වියපත් උදවියට සිද්ධ වෙන්නේ මොන ක්‍රමයකට හරි නිදා ගන්න.

මේ කතාවට ප්‍රවේශය ලැබෙන්නේ රාජකාරියකට නුවර ගිහින් ඊයේ එන ගමන් අපේ වාහනේ රියැදුරා රේඩියෝව දැම්මහම ඇහුණ වැඩසටහන නිසා. මිනිහා ඕනනම් මට වඩා අවරුදු පහක් හයක් වැඩිමහල් වෙන්නැති. මිනිහා ඒකේ බොත්තම් වලට හිතට අල්ලලා ගිය සේවාවන් කිහිපයක් දාගෙන තිබුණා. මට කිව්වා ඔබල බලන්න හොඳ ඒවා තියෙනවාද කියලා. මම කිව්වා අර එක දිගට සිංදු යන සේවය හොඳයි. එකේ පරණ සිංදු වගේම ඉංග්‍රීසි හින්දි සිංදුත් යන නිසා හොදයි කියල. මිනිහත් ඒක අනුමත කරා. අපේ පිටුපස ආසන වල ඉඳගෙන හිටි අය සියලු දෙනා නිදි දෙව්දුවත් සමග නිසා අපට මේ කාර්යය පහසුවෙන්ම කරගෙන යන්න පුළුවන් වුණා. 

ඕන එකක් කියල මම හතරවෙනි බොත්තම එබුවා. ඒ මගේ එක පුරුද්දක් නිසා. අන්තර්ජාලය ඔස්සේ විකාශනය වන ක්‍රිකට් තරග නරබද්දී බොහොම දෙනා පළවෙනි සහ දෙවෙනි නාලිකා තෝරා ගන්න නිසා කරදර වෙන්නැතුව බලන්න පුළුවන් හොඳම එක හතරවෙනි එක කියල මම අත් හුරුවෙන් දැනගෙන හිටිය. ඒ පුරුද්ද තමයි මෙතැනදීත් ඉදිරියට ආවේ. මම කන් යොමාගෙන උන්නේ තව තත්පර කිහිපයකින් මේක මාරු කරන්න වෙයිද කියන දෙගිඩියාවෙන්. එත් මේක තරමක් වෙනස් සේවාවක් කියල මට හිතුණේ මෙතැන නිවේදිකාව බොහොම පැහැදිලි, හොඳ සිංහලෙන් කරගෙන යන වැඩසටහන ඇහුනාම. මම ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ පොඩ්ඩක් වැඩි කරන ගමන්ම කිව්වා "මේකනම් ටිකක් හොඳ පාටයි" කියල. රියදුරු රාජාත් ඒක අනුමත කරා. දැන් අපි දෙන්නා මේක අහගෙන ඉන්නවා.

ඒ වැඩසටහන "සිංදු ආදරේ" ඇහුණ ගමන් කෙනෙකුට හිතෙන්න පුළුව මේකේ යන්නේ ආදර ගීත කියල. ඉතිං මටත් හිතුණේ එහෙමම තමයි. ඒත් එම නිවෙදිකාවගේ ප්‍රසන්න වචන හැසිරවීම නිසා දිගටම අහගෙන ආව. වෙලාව රාත්‍රී 8.45 විතර ඇති, ඒ වෙද්දී මට ඇතිවේගෙන ආපු නිදිමතත් නැතුව ගියා. ඔන්න නිවේදිකාව මෙහෙම කියාගෙන යනවා

"ප්‍රේමසිරි කේමදාසයන් ගීයකට තනු නිර්මාණය කරමින් සිටින විටක දකිනවා, එම වාදක මණ්ඩලයේ හිටිය අමරසිරි පීරිස් නැමති වාදන ශිල්පියා එම ගීතය හම් කරමින් ඉන්නවා. ඔහු ඒක පාරටම කියනවා අමරසිරි ඔයා තමයි මේ සිංදුව කියන්නේ කියල, ඒ වෙලාවේදී තීරණය කරලා. අමරසිරි පීරිස් කිව්වහම ඕනෑම කෙනෙකුට නිරායාසයෙන් මතකයට එන මේ ගීතය ලිව්වේ අධිනීතිඥ රම්බණ්ඩා සෙනෙවිරත්න. සුපුන් මේ ගීය නිර්මාණය වුණු ආකාරය ගැන විස්තරයක් කරන්න"

ඔය මම ලිව්වේ මට මතක විදියට. ශිවන්ති නැමති එම නිවේදිකාව එය ඉදිරිපත් කළේ මෙයටත් වඩා අනර්ඝ විදියට. ඊළඟට එම ගීතයෙහි පද රචනය වූ ආකාරය ගැන සුපුන් නැමති විචාරකයා ඉතාම විශිෂ්ට කථනයක යෙදුණා. මම මෙතන ඒවා ලියන්න ගියොත් ඔබට මා දෙන්න යන පණිවුඩය නිවැරදිව ලැබෙන්නේ නෑ. ඉන්පසු ඔවුන් "යදමින් බැඳ විලංගු ලා" කියන නන්දා මාලිනී මහත්මියගේ ගීතය ගැන මේ වගේම විචාරයක යෙදෙනවා. ඉන් පසුව "නොදොඩා ඉන්න එපා දේවී" කියන ජානක වික්‍රමසිංහ ගායනා කරන ගීතය ගැන. මම භාවනාවකට සම වැදිලා වගේ අහගෙන හිටිය. 

හොදයි මම සිංදු ආදරේ කියන ගීත නිර්මාණ ගැන කියවෙන වැඩසටහන ගැන ඔබට කිව්වා. හැබැයි මාතෘකාවේ තිබෙන මානසික අල්ලස් කියන්නේ මොකක්ද ? අල්ලස් කියන්නේ ඉතිං ජරාව දීමනේ. කෙනෙක් තව කෙනෙක්ට ජරාව දෙන්නේ නීත්‍යානුකුල නොවන මාර්ගයකින් වැඩක් කර ගන්න. හැබැයි සමහර ගෑනු ළමයි මීට අමතරව පාවිච්චි කරන වෙනත් උපක්‍රමයක් තමයි මේ මානසික අල්ලස් කියන්නේ. ඒ ගුරුවරුන්, සේවාදායකයන්, ආයතන ප්‍රධානීන් වගේ ඉහළ අයගෙන් මෙන්ම, තමන්ට සේවය සපයන වෙනත් පහළ අයව පවා ඇද බැඳ තබා ගන්නේ යොදාගන්නේ මේ ක්‍රමය වීම. ඒ තමයි ඔවුන්ට සහජයෙන් දීල තියෙන ගැහැණු කම , සුකොමල කම භාවිතා කිරීමන්. හැට හතර මායම් කියන්නෙත් මේකටද ? මේක ඊට වඩා ටිකක් අඩු එකක්, දුරකථනයෙන් හෝ සම්මුඛව කෙරෙන වචන හුවමාරුවේදී, ආදරබර වදන් ඉතා ප්‍රවෙසමට පාවිච්චි කිරීම තමයි මේ මානසික අල්ලස් කියන්නේ. මේවා ඇහුවාම ඉතිං ඉර ඉලක්කගත පුද්ගලයා ඇඹරිලා යනවා. අන්තිමට අර කෙල්ල කියන ඕනෑම දෙයක් කරන ගානට එනවා. 

FM වල ඉන්න ගිර පෝතිකාවනුත් මේක හොඳටම භාවිතා කරනවා "ඔයාට ආදරෙන්","මං ඔයාගේ ම* බට්ටි නැත්නම් කිරිල්ලි" වගේ නොකිවයුතු වචන පවා දාලා කරන්නේ  ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගන්න. ඒ වෙනුවෙන් එයාට ඉහළ වැටුපක් ලැබෙනවා. අහිංසක ශ්‍රාවකයන් මේකට අහු වෙලා කියන කියන විදියට කෙටි පණිවුඩ ඒ මේ අතට යවනවා. එකෙන් අර සේවාවේ අයිතිකරුවන්ට හොද්ද බොර වෙනවා. එයිනුත් නොනැවතී ගීත ඉල්ලන්න දුරකථන ඇමතුම් ගන්නවා. ඒ කියන්නේ අර මානසික අල්ලසට ශ්‍රාවකයා හොඳටම නතු වෙලා. 

මම සිංදු ආදරේ ගෙන එන ශිවන්ති කියන නිවේදිකාව සහ එහි විචාරය කරන සුපුන් තබන්නේ ඉතාම ඉහළ තැනකින්. ඔවුන් මුදල් වලට ආත්මය පාවා නොදෙන, හොඳ වචන සම්රභායක් සතුව තිබෙන නිවේදක/විචාර සුසංයෝගයක්. ඔවුන්ගේ මේ වැඩසටහන විකාශනය වන්නේ අලුතින් ආරම්භ කරන ලද "සිංහ FM" කියන සේවාව හරහා. මෙය සතියකට කිහිප වතාවක් විකාශණය වනවාද යන්න නිශ්චිත නෑ. එහෙත් මෙය මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ගෙන එන්නත් ඔවුන් කටයුතු යොදා තිබෙනවා ඒ අඟහරුවාදාට මව්බිම පත්‍රයත් සමග නිකුත් වන අතිරේකයකින්. 

ඔබත් මා මෙන් FM අසා හෙම්බත් වුවෙක් නම් මෙන්න කදිම අවස්ථාවක්, බය නැතුව මේ වැඩසටහනට ඒක පාරක් හරි ඇහුම්කන් දෙන්න. මම සහතික කරනවා හරවත් යමක් ඔබට ලැබේවි කියා.  

ප:ලි:  මෙය කාට හෝ කඩේ යාමක් ලෙස නොසළකන්න. මා සවන් දුන් මේ වැඩසටහ සහ නිවේදිකාව/විචාරකයගේ විශේෂත්වය ඔබටත් ලබා දීමේ අරමුණින් ලිව්වෙමි. FM 107.9 ඔස්සේ ඔබටද එක විය හැක. 

සිංහ FM  වෙබ් අඩවිය : http://singhafm.com/
සිංහ FM ෆේස්බුක් පිටුව :http//www.facebook.com/singhafm
ශිවන්තිගේ ෆේස්බුක් පිටුව : https://www.facebook.com/shiwanthisinghafm

මේ ඉන්නේ ශිවන්ති අයගේ පින්තුරය ගත්තේ  ඉහතින් තියෙන ඇයගේ ෆේස්බුක් පිටුවෙන්.



මේ ඉන්නේ සුපුන් රත්නායක පින්තුරය ගත්තේ එයාගේ ෆේස්බුක් ප්රෝෆියිල් එකෙන්.


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 1 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 10 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...