මෙම බ්ලොග් අඩවිය ආරම්භ කොට 2017 ජනවාරි පළමුවනිදිනට අවුරුදු පහක් සම්පූර්ණ වෙයි. නමුත් බ්ලොග් සටහන් දෙකක් අතර දිගුම පරතරය වාර්තා වන්නේ 2016 අවසන් සටහනේ සිට මේ තැබෙන සටහනට දක්වායි. මෙය ආරම්භ කළ මුල් අවධියේ දවස් හතරකට වරක් වත් බ්ලොග් සටහනක් මෙම අඩවියේ ඵල විය. එයට හේතුව එකල බ්ලොග් ලිවීම තරගයක් ලෙස පැවතීම බව මගේ විශ්වාසයයි. එකළ බ්ලොග් කරණයේ යෙදුනු කවුරුත් යහමින් එම තරගාවලියට දායකත්වය සපයනු ලැබූ අතර, නවකයන් වූ අපද එම රැල්ලට හසුව වේගවත් ගමනක යෙදුනෙමු. කෙසේ නමුත් තවදුරත් මෙය පවත්වාගෙන යනවාද, යන පැනය මගේ හිතේ නැගුනේවත් නැති මාස කිහිපයක් පසුවිණි. මා ඒ කාළය තුල කළේ මොනවාද ?
එම කාළයෙන් වැඩි කොටසක් මා ගත කළේ, ධර්මාශෝක රජුගේ පුවත ප්‍රතිනිර්මාණය කරමින් කලර්ස් ටී වී නමැති ඉන්දියානු නාලිකාව නිශ්පාදනය කළ, කොටස් 450 කින් සමන්විත හින්දි නාටක මාලාව යූ ටියුබ් හරහා නැරඹීමය. හින්දි භාෂාව පිලිබඳ අල්ප දැනුමක් වත් නැති මා හට එය නරඹා තේරුම් ගැනීමට හැකි වුයේ අප භාෂා දෙකටම පොදු සංස්කෘත වචන මාලාව නිසාය. එමගින් කතාවේ මූළික අරුත තේරුම් ගත හැකි විය. සිංහලෙන් හඬ කවා දෙරණ නාලිකාවේ සති අන්තයේ විකාශනය වන ටෙලි මාලාව ප්‍රදර්ශනය තව කෙතරම් කාලයක් ගත වේදැයි සිතා ගත නොහැක. ඉන් පසුව මහරජ ගැමුණු මාලාව හිරු නාලිකාවේ යූ ටියුබ් අවකාශය ඔස්සේ නරඹන්නට යෙදුනි. අශෝක සහ එය අතර අහසට පොළව මෙන් පරතරයක් පැවතියද, අප නිෂ්පාදකයාද ඉතා හොඳ උත්සාහයක යෙදී ඇති බව පැහැදිලිය.
මේ අතරවාරයේම යොවුන් ආසියානු ක්‍රිකට් කුසලානයේ නේපාල කණ්ඩායමේ කණ්ඩායම් නිලධාරියාගේ වගකීමද ඉතා සතුටින් සිදු කලෙමි. එය හැරිසන්ට හැරිස් බ්‍රෂ් එකක් ලැබුණා වගේ වැඩකි. එහිදී ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් වැනි ලෝක පූජිත ක්‍රීඩකයන් හා ඡායාරූපයකට මුහුණ දීමට වරම් ලැබීම සතුටට කරුණකි.ඔහු සමග වචනයක් දෙකක් කථා කිරීමට අවැසි වුවද, හේ කිසිවකු සමග කථා කිරීමට ප්‍රධාන පුහුණුකරු තනතුරෙහි වගකීම් ඉටු කිරීමට තිබූ කාළය මිඩංගු කලේ නැත.
එයට අමතරව කලක් තිස්සේ දැන හඳුනාගෙන සිටි ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතා මුණගැසීමද, රෝයි ඩයස් වැනි ප්‍රථම ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මුණගැසීමද සිහිනයන් සැබෑවීමකි. කුඩා දරුවකු වශයෙන් මේ නම් මුලින්ම පාලිත පෙරේරා, ප්‍රේමසර ඈපාසිංහ වැනි හඬවල් වලින් රේඩියෝවෙන් අසා, පසුව රූපවාහිනියෙන් නරඹා තිබුණද, කිසිදින ඔවුන් හා ඊමේල් මගින් ගනුදෙනු කිරීමට හැකි වේ හෝ දැනහැඳුනුම් කම් ඇතිකරගෙන කථාබස් කරන්නට හැකි වේ යයි මා සිහිනෙන් වත් සිතුවේ නැත. එය නැවුම් මෙන්ම ප්‍රීතිජනක අත්දැකීමකි. මේ තරගාවලියේදී හෂාන් තිලකරත්න මහතාද, රුචිර පල්ලියගුරු වැනි ජාත්‍යන්තර විනිසුරුවන් සමග ක්‍රිකට් නීති රීති ගැනසාකච්චා කිරීමට ලැබීමද සතුටට කරුණකි. මෙයට අමතරව ඉන්දියාව 1996 ලෝක කුසලානයේදී නියෝජනය කල අශීෂ් කපූර් සමග ඉතා දිගු අල්ලාප-සල්ලාපයක යෙදෙන්නටද එහිදී හැකි විය. ඒ අවසන් පූර්ව තරගය දිනයේදීය. මෙම තරගාවලියට ඇෆ්ගනිස්තානයෙන් පැමිණි අහමඩ් පක්ටීන්, මැලේසියාවේ කාලිදාස්, සිංගප්පූරුවේ සයික ප්‍රසාද් වැන්නන් සමග දිගු සංවාද වල යෙදෙන්නටද අවස්ථාව යෙදුණි. මා සමග ක්‍රිකට් ක්‍රීඩා කර ඇති කළුතර ආරියවික්‍රම අයියා මේ අය සමග සංවාද වලට අවස්ථාව උදා කරළීය. ඔහු විනිසුරුවන්ගේ සම්බන්ධීකාරක වශයෙන් මෙම තරගාවලිය තුල සිටීම මට මහත් අස්වැසිල්ලක් විය.
එහිදී මා ලද ඉහළම අවස්ථාව ඛෙත්තාරම ක්‍රීඩාංගනයේ ජනපති තුමන් සඳහා වෙන් වූ කොටසේ සිට තරගය නැරඹීට ලැබීම සහ තුන්වැනි විනිසුරුගේ කාමරයේ සිට තරගය ක්‍රියාත්මක වන ආකාරය දැකීමය. පිටිය මැද සිටින විනිසුරුවන්ට තුන් වැනි විනිසුරුගෙන් ලැබෙන සහය කෙතරම්ද යන්න ඉන් පැහැදිළි විය. පිටිය මැද සිටින විනිසුරුවන්ට පවර් ප්ලේ සංඥා කිරීමට මෙන්ම තවත් බොහෝ දේ ඇතුලත සිටින තෙවැනි විනිසුරු සිහිපත් කරයි. ඔහු ලකුණු පුවරුව සහ පිටිය මැද සිටින විනිසුරුවන් සමග වෙනස් තරංග ඔස්සේ ක්‍රියාත්මක වන වෝකි-ටෝකි දෙකකින් නිරන්තරව සන්නිවේදනයේ යෙදෙයි. එය හරි අපූර්ව අත්දැකීමකි. මෙයට අමතරව තරග පාවාදීමට එරෙහිව(Match Fixing) කෙරෙන ක්‍රියාවලිය සඳහා වෙන්ව ඇති සී.සී.ටී.වී. කැමරා විස්සක පමණ දර්ශණ එක් පැතලි තිඅරයක දිස් වන, නිරතුරු ඇස ගසාගෙන සිටින නිලධාරීන් කිහිප දෙනෙකු ඇති තවත් කාමරයක් යාබධව ඇත. මා විටෙක එහිද කාළය ගත කලෙමි. මේ සියල්ලටම මෙපිටින් මා ගාවෙෂකයෙකු බව අමතක නොකළෙමි.
ඉදින් මාගේ පහුගිය මාස කිහිපය ගතවවූයේ එලෙසය. මෙය නිදහසට කරුණු කීමක් නොවේ. නමුත් නිරන්තරයෙන් මේ බ්ලොග් අඩවිය දෙස ඇස ගසාගෙන සිටින මෙන්ඩා ඇතුළු පිරිස අස්වසාලන්නට මේ සටහන තබමි. ඉදිරියේදී හැකි පමණින් දායකත්වය සපයන්නට බලාපොරොත්තු වෙමි. මෙය වඳුරන්ගේ ගෙවල් හැදිල්ලක් නොවේවා යයි මමම ප්‍රාර්ථනා කර ගනිමි.