බලාගෙන ඉන්නවා කියන්නේ ලේසි වැඩක් කියලා කවුරුහරි හිතනවානම් ඒක මහා මුලාවක්. එකම දෙයක් දිහා එක දිගට බලාගෙන ඉන්න ගියාම ඇති වෙන්නේ නිදිමතක්. නමුත් ඒ බලා හිඳීම වගේ නෙවෙයි, කුමක් හෝ ලැබෙයි කියලා දිගටම බලාගෙන සිටීම. එහෙම ඉන්න එක ගැන තියෙන හොඳම උදාහරණය තමයි, එළුවාගේ බෙල්ලේ තියෙන ඇටේ වැටෙනකන් බලාගෙන හිටපු නරියාගේ කතාව'. කවුරුහරි කෙනෙක් නිෂ්පල දෙයක් සඳහා ඕනෑවට වඩා කාලය ගත කරත්දී අනෙක් අය කියන කතාවක් තමයි ඕක. නමුත් ඒකෙන් තවත් දෙයක් කියවෙනවා කියන එකයි මගේ විශ්වාසය. ඒ එහෙම බලාගෙන ඉන්නේ කපටින් බව මේ උපහැරණයෙන් කියවෙනවා. මොකද නරියා කියන්නේ කපටිකමට උපන් සතෙක් කියලා අපේ ඉතිහාස කතා වල කියවෙන නිසා. අනෙක එහෙම පතාගෙන ඉන්න අනෙක් පාර්ශවය අහිංසක පෙනුමක් තිබුණත් ශක්තිමත් කෙනෙක් කියන එකත් එළුවාගේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා. නමුත් මම කියන්න යන බලාගෙන හිඳීල්ල ඒ වගේ එකක් නෙවෙයි. මේ නිකං ඇස් දෙකෙන් දකින එක ගැනම තමයි මම කියන්න යන්නේ.
මුලින්ම කියන්න ඕනේ මම බ්ලොග් පොස්ට් එකක් නොදා මාසයක් ඇද්දා. එක අතකින් ඒකත් එක බලාගෙන හිඳීල්ලක් තමයි. නමුත් ඒ අතරවාරයේ මම තව නොයෙකුත් බලාගෙන හිඳිලි කරලා තියෙනවා. ඒ මාසය ඇතුලත ඇස් පේන්නේ නැති වෙන ගානට පරිගණක තිරය දිහාවට මුහුණ ඔබාගෙන බලාගෙන ඉන්නත් වුණා, දවස් කිහිපයක්. ඒ ඇනිමේෂන් එකක් හදන්න. ෆ්ලෑෂ් ගැන මොනවත් නොදැන, දවස් තුනක් ඇතුලත ඇනිමේෂන් එකක් කරන්න පුළුවන් වුණේ, යූටියුබ් එකට පින් සිද්ද වෙන්න. මම එකම වීඩියෝ එක සිය වතාවක් විතර බල-බලා තමයි ඇනිමේෂන් එක කළේ. අන්තිමේදී ඇස් පෙන්නේ නැතිව ගියත්, ඒකෙන් පුදුම ආත්ම තෘප්තියක් ලැබුවා. මේ පොස්ට් එක දැමීමේ අරමුණ ඒ ඇනිමේෂන් එක මෙතන ප්‍රදර්ශනය කරන එක නොවෙයි. මම කුඩා කාලේ ඉඳලා කරපු බැලිලි වගයක් ගැන බෙදා හදා ගන්න.
කිව්වා ගමන් කට්ටියට එක-එක කුණුහර්ප සිහියට එන්න ඇති. ඒක මගේ වැරද්දක් නෙවෙයි, කියවන ඔබගේ හිත්වල තියෙන වැරද්දක්. ඔන්න ඔය නිසා තමයි අපේ බ්ලොග් ලියන සෑමා "කැත හිත් වලට" කවි ලිව්වේ. ඒ කාලේ ඒවා බලපු කට්ටිය දන්නවා ඇතිනේ. නොදන්නවා නම් ගිහිං බලන්න. ඕවා සෑමා අත්අඩංගුවට පත්වෙන්න කලින් ලියපුවා. දැන් නම් කාලෙකින් ඒ වගේ පොස්ට් එකක් දැක්කේ නෑ. මම ගැලපෙන පින්තූරයකුත් යැවුවා. නමුත් මිනිහා තවමත් බලාගෙන ඉන්නවා ඇති ලියනවද නැද්ද කියලා. මොකද මායියට මාට්ටු වුණොත් කම්මුතු නිසා. ආහ් ! ලියන්න ආපු කතාව අමතක වෙනවා මේ එක-එක වල්පල් නිසා.
මේ දවස් වල මගේ විනෝදාංශය වෙලා තියෙන්නේ, දියත උයන ඉඳලා, කොස්වත්ත හන්දිය දක්වා තියෙන මාර්ගය හදන එක බලාගෙන ඉන්න එක. මටනම් ඒ වගේ සතුටක් ලබන්න පුළුවන් වෙන දෙයක් නෑ. ඒ කියන්නේ කවුරුහරි වැඩක් කරන දිහා බලාගෙන ඉන්න එක. මගේ ඔෆිස් එකේ යාලුවෝ විහිළු කරනවා "උඹට හොඳ සුපවයිසර්" වැඩක් කියලා. ඇත්තටම මම ආසයි. සිවිල් ඉංජිනියරින් වලට බොහොමයක් දෙනා අකමැතියි. ඒ වගේම් සයිට් වල වැඩ කරන අපේ ඉවාන්ලා, කලණලාගෙන් ඇහුවනම් කියයි, මේවායේ තියෙන නීරස පැත්ත. අපි මේ වැඩ කරන අතරම, ඒ-සී කරපු කාමරයේ කෙළවරක ඉඳන් බලනවා වගේ නෙවෙයි ලංකාවේ සයිට් එකක වැඩ කරනවා කියන්නේ. මොකද එක පැත්තකින් ලෝක අණ්ඩපාල සෙට් එකක් එක්ක වැඩ කරන්න සිදු වෙන එක. අනිත් පැත්තෙන් ආරක්ෂාව ගැන නොසිතා එහෙ-මෙහෙ රිංගන්න ගිහිං සිදු වෙන විපැත්ති. මේකත් අර ගල්වඩු බාස්ගේ කතාව වගේ තමයි. අනෙක් අය කරන වැඩේ ශෝක් කියලා හිතෙන්නේ ඒ වැඩේට බැහැලාම බලපුවාම.
මේ බ්ලොග් පොස්ට්දාන්න ඊයේ හවස සුදානම් වෙච්ච වෙලාවේ, බ්ලොගර් උන්නැහේ තමන් විසින් හඳුන්වා දෙන්නට යන අලුත්ම ෆීචර් එකක් ගැන පොඩි ඇඩ් එකක් දැම්මා. මමත් ඒකට අහුවුණා. මේක තමයි ෆොටෝ එකක් බ්ලොග් පොස්ට් එකට කෙලින්ම ඇදලා දාන්න පුළුවන්කම. වැඩේ ලේසි හින්දා මාත් අත්හදා බලන්නත් එක්ක මේ වැඩේ කළා. වැඩේ තියෙන්නේ මට ගන්න ඕනේ වුනේ මගේ ෆෝන් එකෙන් පාරේ වැඩ කරන කිහිප දෙනෙකුගෙන් යුක්ත පින්තූරයක්. මම ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික සුපුරුදු කොපි කරන ෆෝල්ඩර් එකට කොපි කළා. එතන ෆොටෝස් දහස් ගණනක් තියෙනවා. දැන් මට උවමනා අර ෆොටෝ එකම මේකට දාන්න. ඉතිං මම කලේ ෆෝන් ෆොටෝස් තියෙන ෆෝල්ඩර් එක ඇරලා අර පින්තූරේ ඇදලා දැම්මා. එක පාරක් දැම්මට ආවේ නැති හින්දා, තවත් වතාවක් දැම්මා. ඊට පස්සේ මම කොහොම හරි පුටුවෙන් නැගිටලා වෙන වැඩකට ගියා. ඒකට යන කාලෙන් ප්‍රයෝජනයක් ගන්න. ඇවිල්ල බලනකොට ඒ ෆෝල්ඩර් එකේ තිබුණ ෆොටෝ වලින් භාගයක් පොස්ට් එක ඇතුලේ. අන්තිමට මම මේක නවත්වන්න. පොස්ට් එක ක්ලෝස් කළා. එතැනින් වැඩේ නැවතුනත් ආපු ෆොටෝ අයින් කරන්න අද උදේ මිනිත්තු විස්සක් විතර ගත කළා. අපිට අවශ්‍ය දෙයක් නම් මෙහෙම ඉක්මනට වෙයිද ?
ඒකෙන් පස්සේ මම ඇවිත් තියෙන පින්තූර ටික දිහා බැලුවා. කාලෙකට කලින් ගත්ත ඒවාගෙන් මේ මාතෘකාවට අදාලා ඒවා ඉතිරි කළා. අපි එහෙනම් ඒ පින්තූර ටික පොඩ්ඩක් බලමු. පින්තූරයක වචන දාහකට වඩා වටිනවා කියලා කියමනක් තියෙනවා නේ. මුලින්ම තියෙන්නේ ඛේත්තාරමේ මැච් එකක් බලන්න ගිය වෙලාවකගත්තුෆොටෝ එකක්. මම වගේ ක්‍රිකට් පිස්සෙකුට නම් ඉතිං ක්‍රිකට් මැච් එකක් බලන්න තියෙනවනම් තව වෙන මොනවද ? බලාගෙන ඉන්නවා. අරෙහෙම අරයා අවුට් වෙලා, මෙයාට ලකුණු ගන්න බැරි වෙලා මැච් එක දිනයි කියල. සමහර අපි ක්‍රීඩා කරපු මැච් වල අවුට් වෙච්ච් විදිය හිතලා. ඒ බෝලෙට මෙහෙම ගැහුවනම් කියලා. සෙන්චරියක් ගහනකම්ම හිතනවා. මැච් එකක් ඉවර වෙලා දවස් ගාණක් යනකං මේ පසුතැවිල්ල තියෙනවා. බලාගෙන යනකොට ඒකත් එක බලා හිඳීමක් තමයි.
|
|
පලංචියේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ ..... | | |
මේ පින්තූරය ගත්තේ අපේ බැංකුවේ ක්‍රිකට්ර්ලාගේ හමුවක් මීගමුවේදී පවත්වපු වෙලාවේ. එදා රෑ මීගමු කලපුව හෝ වෙරල දිස් වූ අකාරය තමයි මේ. මේ වගේ නිස්කලංක වෙලාවකත්, මැසි මදුරු කරදර නැතිනම්, ඕනෑතරම් වෙලා බලා හිදීම කරන්න පුළුවන්.
|
සඳ දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ ..... |
මේක අපේ ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානයේ සුහද හමුවක් වෙලාවක ගත් ඡායාරුපයක්(ඩිජිටල් කැමරා වලින් ගන්න පින්තූර වලට ඡායාරුපයක් කියන එක හරිද මන්දා). මේ වගේ සුන්දර ලඳුන් පිරිසක් දිහා ඇහැ අහකට ගන්නේ නැතිව බලාගෙන ඉන්න පුළුවන් ටිකක් ඈතට වෙලා. සෞන්දර්යාත්මක ඇසකින් මේක දකින්න ඕනේ, කාමුක ඇසකින් නොවේ. ඔබට කැමති ඇසකින් බලාගන්න.
|
සීගිරි සුකුමාලියේ පෙර රජ සමයේ, මතකද අපි පා වුණා පෙම් අම නදියේ ...... |
මේ පින්තූරය දිහා බලන්න මේක අපි නුවර එළියේ සංචාරයක් ගිය වෙලාවක ගත්තු එකක්. මේක දිහාත් මම බොහෝ වෙලාවක් බලාගෙන හිටියා. මෙතන හරි අපූරු නිර්මාණයක් තියෙනවා. ඔබට මොනවද මේ ගැන හිතෙන්නේ ?
|
කැරකෙන රෝදේ පුංචි කරහ්ත්තේ ඉඳගෙන මම ඉන්නේ ...... |
මේවාත් කලින් සංචාරය වෙලාවේදී ගත්තපින්තූර. මේ වගේ කඳු වැටියක් දිහා ඕනෑතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්.
|
සීත සුළං අවට හමන්නේ .... |
කළින් කියපු නුවර එළියේ සංචාරය අතරමැද අපි නාවලපිටියේ තැනක නාන්න සෙට් වුණා. හරි අපූරු තැනක්. මේ වගේ ලස්සන දිය ඇල්ලක් වැටෙන තැනක ඕනෑතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් මටනම්. ඔබට කොහොමද ?
|
සඳදිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ ..... /
සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ - සඳ පාන තියෙන රැක නොයන්නේ ....
|
|
සිලි සිලි සීතල ඇල්ලේ .... දිය සැලි සැලි යයි නැළවිල්ලේ ...... |
|
කඳු මුදුනේ බීට්රූට් වැවීලා ... සිරි සාරි සරු සාරයි කන්ද උඩ රටේ ...... |
මේකත් ඒ සංචාරයේම අත්දැකීමක්. ජීවිතයටම අමතක නොවෙන එකක්. මගේ මිතුරු සුභාෂ්ගේ කාර් එකේ සිසිලන පද්දතියයි, ගියර් සිස්ටම් එකයි එක පාරටම අවුල් වුණා. තැන්නේ හොඳින් දුවන කාර් එකක් කඳුකර පෙදෙසකදී දුවත්දී එන්ජිම රත් වීම අහන්න දෙයක් නෙවෙයි. හැබැයි ගියර් වැටෙන්නේ නැතිව ගිහින්, අතින් ගියර් එක දාගෙන තමයි ගමන ගියේ. මුලින්ම අපිට මේක කියලා දුන්නේ ත්‍රී වීල් රිපෙයාර් කරන මල්ලි කෙනෙක්. පස්සේ පහුවෙනි දවසේ හදා ගන්නකම් එහෙම තමයි දිව්වේ. එන්ජිම රත් වුණාම මග නවත්වනවා, නැවත්තුවාම ගියර් දාන්නේ බොනට් එක උස්සලා අතින්. මේ වගේ වෙලාවකත් කැමති වුණත් අකමැති වුණත් බලාගෙන ඉන්න වෙනවා. සමහරුන්ට මේක කට්ටක් වුණාට, මේවා සුන්දර ඇබැද්දි විදියටයි මම සලකන්නේ. ඒ වුණාට මහ රෑ නුවර එලිය වගේ පැත්තක, නා කපන වැස්සක තෙමි තෙමී ඉන්න ගියාම සීතල කට්ටක් තමයි. නමුත් ජීවිතයට මේ වගේ අත්දැකීම් නැත්නම් වැඩක් නෑ.
|
ලොරි භාගේ මග හිටියා එනකොට රෑ යාමේ..... (යාලුවා දැක්කොත් ඉවරයි) |
මේක අපි වෙනත් සංචාරයක් යත්දී ගත්ත පින්තූරයක්. මම හිතන්නේ මොනරාගලත් - සියඹලාණ්ඩුවවත් අතරේ තැනක තියෙන පුරා විද්‍යාත්මක ස්ථානයක්. මෙතන ඇතුලට ගියාම අපූරු සෙල්මුවා නාන තටාකයක් තියෙනවා. මේ වගේ වෙල් යායක් තියෙන නිස්කලංක පරිසරයක් දිහා බලාගෙන ඉන්න බැරිද ? මමනම් හරි ආසයි.
|
දුර පෙනෙන තැනිතලා .... අනුරාධපුර දිහා .... |
කැලෑවට හැදෙන මේ වගේ සොඳුරු මල් තවමත් අපේ රටේ ඇතුලට වෙන්න තියෙනවා.
|
කැලෑ මලේ කොහේ ගියාදෝ .... නිවාඩුවට ගමේ ගියාදෝ..... |
මේක මගේ ෆෝන් කැමරාවේ තියෙන ෆීචර් එකක් භාවිතා කරලා පසුව සකසපු එකක්. ඒකෙ තියෙනවා Colour Props කියලා ඔප්ෂන් එකක්. එකෙන් පුළුවන් එක තැනක වර්ණයක් තෝරලා, ඒක විතරක් ඒ වර්ණයෙන්ම තියලා අනික් හරිය කළු-සුදු කරන්න. මේ පැලැටිය රතු තමයි. ඒත් අපි මල් වර්ගයක් විදියට වවන තවත් පැලයක් රතු පාටට කිට්ටු වර්ණයක් ගන්න නිසා, ඒවත් වර්නවත්වම පේනවා. මේකට හරි යන ගීතයක් තමයි හොයා ගන්න බැරි. අපේ සින්දු ඇනෝ මල්ලිට පුළුවන් වෙයිද උත්තරයක් දෙන්න.
මේ පින්තූරය හරි අපූරු ස්ථානයක ගත්තේ. බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන චිත්‍රපටිය රූගත කරපු ස්තනනය. මේ වගේ ලස්සන නදියක් ලඟට වෙලා පැතලි ගලක් අරගෙන වතුර පහරට ගහලා, ගෙම්බෝ පනින්න වගේ පැන පැන යනවා බලා ඉන්න මම පුංචි කාලේ හරි ආසයි. මල්ලක් පුරවලා ගල් අහුලාගෙන ඇල අයිනට ඉස්සර ගියේ මේ වැඩේට.
|
ගඟ තවම තරුණයි ...... |
|
කළු කැළණි නදී ගලා යාවී .... හෝ ... හෝ... මනහර සිරිය ලංකාවේ .... ලංකාවේ.. |
බ්‍රිජ් ඕන් ද රිවර් ක්වායි චිත්‍රපටයට හදපු පාළම තැනීමේදී කළුගල් විද දමා තිබු වානේ කම්බි තවමත් එම ස්ථානයේ දකින්න පුළුවන්.
|
මේ තරම් සියුමැලිද කළුගල් ...... |
|
ගඟ අද්දර මා සිහිල්සෙනෙන් සැනහේ ..... |
මේ පින්තූරය මට කවදාවත අමතක නොවෙන තැනක්. මේක 1989 දී තිබුණ පෙනුමෙන්ම තවමත් තියෙන එක එක්තරා අතකට පුදුමයට කාරණයක්. මොකද යුද්දේ ඉවර වුණාම කොළඹ සීඝ්‍රයෙන් වෙනස් වුණා. නමුත් මේ කඩ කාමරය අට දෙනෙකුගේ නිවහනක් වෙලා තිබුණා. මගේ ප්‍රථම ප්‍රේමය ගැන පොස්ට් එක කියවපු අයට මතකනම් මම කියපු බොරැල්ල හරස් පාර පටන් ගන්න තැන තියෙන පුංචි කඩයක උඩුමහල මට මාස අටක් විතර කාලයක් නිවහන වුණු ස්ථානය. ජීවිතය පිලිබඳ වැදගත්ම පාඩම් ඉගෙන ගත්තු කාලපරිච්චේදයක්.
මෙන්න මේ කතාවත පාදක වුණේ මේ කඩ පේලියේ ගත කළ කාළය :
බොරැල්ලේ සිර කරුවෙකු වීමි III කොටස - මගේ ප්‍රථම ප්‍රේමය.
මේ පින්තූරේ ගන්න ගිහින් තමයි මේ අටොරාෂියක් පින්තූර මෙතනට වැටුණේ. මෙන්න මෙහෙම පාරේ වැඩ කරන ඒවා, ගෙදර මේසන් බාස්ලා වඩු බාස්ලා වැඩ කරන ඒවා බලාගෙන, ඒ අයත් එක්ක සල්ලාපයේ යෙදෙන එක තමයි මගේ පොඩි කාලේ විනෝදාංශය වෙලා තිබුණේ. දැන් කියලත් මහලොකු වෙනසක් නෑ. එයාලගනේ ප්‍රශ්න ටිකක් අහලා, දැනුවත් වෙන එක මගේ පුරුද්ද.