ආහ් ! අයිඩියාස් ගැන මා කොතැනක හෝ ඔබට පවසා ඇතත්, මට එය පිළිපදින්නට නොහැකි වීම නිසා මාසයක් පමණ කාලයක් බ්ලොග් සටහනක් නොලියා සිටින්නට මට හැකි විය. යම් දෙයක් පිළිවෙතක් සේ කරගෙන යනවිට අබිං කෑවා සේ කරගෙන යන මා, එම ක්‍රියාව නවතුවහොත් ඒ පැත්ත වත් නොබලා, එහෙම දෙයක් කළාදැයි විචාරයක් නැතිව සිටින්නටද ඒ ලෙසම දක්ෂය. මගේ මේ ලක්ෂණයට විටෙක මගේ සමීප මිතුරන් සිනා සේ. මා අලුතෙන් දෙයක් පටන් ගන්නා විට "වැඩි කලක් කරන එකක් නෑ" යන්න ඔවුන්ට හිතෙන දේ විය හැක. නමුත් කියන්න අවැසි දේ පසෙක ලා මා මාතෘකාවෙන් පිට පැන්න අවස්ථාද මාගේ බ්ලොග් අත්දැකීම තුල විරල නැත. ඉන් සිදු වන්නට ගියේද එවැනි වැඩකි. තවත් මොහොතක් ගියානම් මා මා ගැනම ස්වයං විවේචන ලිපියක් ලිය හමාර කරන්නට ඉඩ තිබුණි.
පින්තූරය ගත්තේ : http://www.sra.gov.ph/ |
මිනිස්සුන්ගේ නම් ගැන මට තිබෙන්නේ පුදුම උනන්දුවකි. ඕනෑම කෙනෙකුගේ නමක් ඇසු විට ඒ ගැන මොහොතක් කල්පනා කිරීම මගේ සිරිතය. මේ වනවිට නම් සම්බන්ධ පොස්ට් කිහිපයක්ම ලියා තිබේ. ඒ කලින් කී කුතුහලය නිසාය. නමුත් මාගල් වැනි දිග නම් තිබීමෙන් තමන් මෙන්ම අනෙක් අයද අපහසුතාවට පත්වන බව ඔබටත් සිතුනාද ? මේ මාතෘකාව මගේ සිතට ආවේද ආහ් ! අයිඩියා එකක් විලාසය. වාසනාවකට අද උදෑසන මගේ මතකයට එය යලිත් ආවේය. නැතිනම් එයද ගං ජලයට විසි කල ගල් කැටයක් මෙන් එහි පතුල සොයා යනු ඇත.
මෙය කොතනින් පටන් ගන්නදැයි මගේ සිතට දෙගිඩියාවක් දැනේ. දෙගිඩියාව යනු යම් දෙයක් ගැන දෙපැත්තට සිතීමය. "එක්කෝ කරනවා - අනේ බෑ. එහෙම කරලා ලෙඩක් වැටෙයිද ?" වගේ සිතුවිල්ලකට වැටීම දෙගිඩියාව ලෙස අපි දකිමු. සමහරවිට තුන් පැත්තකට හිතන්නට වෙන වෙලාවල්ද තිබිය හැක. එයට අපි තෙගිඩියාව යයි නොකීවද, ඇත්ත වශයෙන්ම භාවිතා කළ හැකි වචනය එයයි. හොඳයි, අපිට ඒ වගේ හතරක්, පහක්, හයක් හතක් අන්ත එකවිට පොදි ගැසෙන විට අප භාවිතා කල යුත්තේ කුමන වචනයක්ද ? සිවුගෙඩියාව, පන්ගෙඩියාව, හයගෙඩියාව, හත්ගේදියාව, අටගෙඩියාව.... වගේ ඒවාය. ඔහොම හිතන්නට ගියහොත් තව අපූරු වචන එලියටා එන්නට හැක. නමුත් මේ වෙලාවේ මට එන්නේ මල්ටිගෙඩියාවකි.
හොඳයි මට තියෙන ප්‍රශ්නය "ලංකාවේ අපේ නම් මෙච්චර දිග ඇයි ?" මෙය සමාජ ප්‍රශ්නයක් නොවේද ? ඇත්ත වශයෙන්ම මෙය ප්‍රශ්නයක්. මොකද අපේ පැරණි අය නම් දමා ගැනීමේදී "යකා දොඩංගොඩ බදා ගත්තා වගේ" ප්‍රතිපත්තියක් අනුගමනය කලද ? යම් අයෙක් ඔබ අමතන්නේ එක් නමකිනි. රාජකාරි මට්ටමෙන් නම් නම සහ වාසගම සමග නම් දෙකකිනි. නැතිනම් භාවිතාවට පහසු නමකිනි. මේ වෙලාවේ දහසක් උදාහරණ ඔබේ හිතට එන බව මම දනිමි. අපේ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍රරාජපක්ෂ වුවද මේ රටේ හෝ ලෝකයේ ඔහු දන්නා අය ඔහුට අමතන්නේ මහින්ද රාජපක්ෂ යනුවෙනි. මගේ කාර්යාලයේ දම්මිත් නමැති මිතුරෙකු සිටී නමුත් කිසිවෙකු ඔහුට දම්මිත් යනුවෙන් අමතන්නේ නැත. දම්මික යන ආමන්ත්‍රණයට පහසු නමකින් සියල්ලෝම ඔහු අමතයි.
අපේ කාර්යාලයේ ප්‍රශාන්තිලා දෙදෙනෙකු ඇත. ඔවුන් ලොකු ප්‍රශාන්ති සහ සහ පොඩි ප්‍රශාන්ති යනුවෙන් මුලින් අමතා පසුව පොඩි ප්‍රශාන්තිට "පොඩ්ඩි" යනුවෙන් අමතන්නට පටන් ගෙන ඇත. දැන් ඇය පොඩ්ඩිය. නමුත් ඇගේ නියම නම ප්‍රසන්ති ය, මේ වගේ උච්චාරණයට අමාරු නම් ජනතාව කිසිදු විටක බාර නොගනී. ඔවුන්ගේ දෙමාපියන් දහසක් බලාපොරොත්තු ඇතිව ඇයට තබන ලද අපූරු නමට පින් සිදු වන්නට අද ඇය පොඩ්ඩි බවට පත් වී ඇත. මේ මොහොතේ නොකියාම බැරි තවත් කාරණයක් මගේ මතකයට එයි. ඒ මා බැංකුවට බැඳුනු මුල් කාලයේ අත්දැකීමකි. ඉහත කී උදාහරණය නිසා මා "කොටා" නොවී බේරුණේ අනුනමයෙනි. කතාව මෙසේය.
මා ඉපදී හැදී වැඩුණු බෙන්තොට නොහොත් බෙන්තර ගමේ සියල්ලන්ම පාහේ මා අමතන්නේද, මා ගැන දන්නේද "සුභාෂ්" යන නමිනි. ඉතිං බැංකුවට ආ විට මගේ නම විමසන විට එය සුභාෂ් යනුවෙන් කියූවේ පුරුද්දටය. නමුත් මෙතන පොඩි කොස්සක් තිබුණි. ඒ මා සමග තවත් සුභාෂ් කෙනෙකු මේ දාහත් දෙනෙකුගේ කණ්ඩායමේ සිටීමය. නමුත් අහඹු ලෙස ගත්විට ලංකාවේ මිනිසුන් ලක්ෂයක සුභාෂ් ලා දෙදෙනෙකු සොයා ගත හැකිද ? වඩා රසවත් කාරණය අනෙකා මට වඩා අඟල් හය හතක්ම උස වීමයි. ටික දිනකින් ඔහු "උස සුභාෂ්" ද, මා නිකම්ම සුභාෂ් ද යනුවෙන් යනුවෙන් අමතන බව මට දැනිණි. නමුත් ඔවුන්ගේ පෙර අත්දැකීම් අනුව උස කෙනාට "දිගා" යනුවෙන් අමතනු දැක ගත හැකි වූ අතර, මෙවර එය සුභාෂ්ට පට නොබැඳෙන බවට සහතිකය. මිටි සුභාෂ් යනුවෙන් එකෙකු හෝ මා ඇමතීමේ අවදානම ඇත, සමහර විට කෙනෙකු කොට සුභාෂ් යනුවෙන් මා ඇමතිය හැක. එසේ වුවහොත් වැඩි කාලයක් යන්නට මත්තෙන් මා කොට සුභාෂ් වී පසුව කොටා වනු ඇත. එවෙලාවේ බුද්ධිමත්(කට්ට) වූ මා ඉල්ලා සිටියේ මට දිල්රුක් යනුවෙන් අමතන ලෙසය. එවැනි වෙලාවල් වල උපක්‍රමිකව පල්ලම් බැසීම ප්‍රඥාගෝචරය. :)
මිනිසුන්ට කෙතරම් දිග නම් තිබුනද, සෙසු අය ඔවුන්ව අමතන්නේ ආමන්ත්‍රණයට පහසු නම් දෙකකිනි. අපේ රටේ අයගේ නම් දිග වැඩි යයි මැසිවිලි නගන්නේ විදෙස් රටවල ආගමන විගමන නිලධාරීන් බව ඔබ දන්නවාද ? ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සකස් කෙරෙන පාස්පෝට් ලියවිල්ල හොඳම උදාහරණයය. එහි මාගල් වැනි දිගු නම් වලට ඉඩ නැත. ඔබේ නමින් කොටසක් එයින් ගිලිහී තිබෙනු සමහරවිට ඔබ දැක තිබෙන්නට පුළුවන්. ඒ පෙර කී ප්‍රමිතිය නිසාය. ඔබේ උප්පැන්න සහතිකය දෙස විමස්ලිමත්ව බැලුවොත් එහි නම ලිවීවට ඇති ස්ථානයේ පේලි දෙකකට නම් ලිවීමට ඉඩ ඇති බව පැහැදිලි වනු ඇත. නමුත් එසේ නම් දහයක් පමණ තිබීම කාගේ පහසුවට හේතු වේද ? මේ ඒවා නිවැරදි කර ගැනීමට කදිම කාලය බව මට මෙන්ම ඔබටද සිතෙන්නට හැක. ඔබට කොපමණ දිග නමක් තිබුනද, ඉන් ලැබෙන වාසියක් නැත්තේය. එකම වාසිය වන්නේ ඔබව යම් වරදකට නීතියේ රැහැනට කොටු කිරීමට ඇති පහසුව පමණි. ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගන්නා විට "ඔබේ මවගේ අවිවාහක නම" කුමක්දැයි අසන්නේද මේ කාරණයටය. හේතුව ඔබව තනිකර අඳුනා ගැනීමට බව ඔබට නොසිතෙන්නට ඇත. මෙය වෙනත් ජාතීන්ට ගැටළුවක් වුවද අපටනම් මහලොකු ගැටළුවක් නොවේ.
හිතන්න, අපේ රටේ මුස්‌ලිම ජාතිකයන් නම් තබන ආකාරය. බොහෝ දෙනෙකුට මොහොමඩ් හෝ අහමඩ් කියන පොදු නාමය ඇත. බොහෝ දෙනෙකුට මොහොමඩ් කෑලි දෙකක් ඇත. උදාහරණයක් ලෙස "මොහොමඩ් රියාස් මොහොමඩ් ඉර්ෆාන්" මෙහි මොහොමඩ් රියාස් යනු ඔහුගේ පියාගේ නමේ කොටසකි. මේ ආකාරට ඔහුගේ පුතෙකුට නම් තබන විට මොහොමඩ් ඉර්ෆාන් යනුවෙන් නම් තැබීම කරනු ඇත. අපේ දමිළ සහෝදරයෙකු නම් තබන්නේ පියාගෙන් නම මුලට ගෙන වෙනත් නමකිනි. මුත්තයිය්යා මුරලිදරන්ගේ පියාගේ නම අවසන් වන්නේ මුරලිදරන් මුත්තයියා (රසිකලොජිස්ට් ගෙ නිවැරදි කිරීම අනුව)යනුවෙනි. මේ ආකාරයෙන් නම් තැබීම නිසා එම ජාතීන් දෙකට තිබෙන්නේ සීමිත නම් ප්‍රමාණයකි. වෙනත් යුරෝපීය ජාතීන්ටද සීමිත නම් ප්‍රමාණයක් ඇත. එවැනි නම් ඇති අවස්ථාවක හරියටම කෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට නම් මවගේ අවිවාහක නම වැදගත් වේ. නමුත් කෝල් සෙන්ටර් වල සිටින කොල්ලන් කෙල්ලන් මෙය පුද්ගලයන් හඳුනා ගැනීමට යොදා ගැනීම අද විහිළුවක් බවට පත් වී ඇත. මෙසේ මවගේ නම වැදගත් වන්නේ කලින් කී මොහොමඩ් රියාස් මොහොමඩ් ඉර්ෆාන් යනුවෙන් නම ඇති සමාන පියවරුන්ගේ නම් ඇති අය බහුලව සිටින නිසාය. දමිළ නම් වලද මේ සම්භාවිතාවන් වැඩිය.
ලංකාවේ සිංහල කෙනකුට තිබෙන සාමාන්‍ය නම් ගණන කවුරුන් හොඳ ගණනය කර ඇතිද ? එය විශ්ව විද්‍යාල සිසුවෙකුට කරන්නට කදිම ව්‍යාපෘති මාතෘකාවක වනු ඇත. දකුණු කොරියාවේ පිරිමින්ගෙන් 92% කට "කිම්" යන නාමය ඇති බව මා කියවා ඇත. එවැනි පොදු නාම රටක පැවතීම සාමාන්‍ය වුවද, නම් පහක් හයක් පැවතීම අසාමාන්‍ය ලක්ෂණයකි.
මගේ මතකය දිව යන්නේ මා මහජන බැංකුවට එකතු වූ මුල් කාලයටය. එකල අපට ශාඛා පරිගණකගත කිරීමට දත්ත ප්‍රවේශනය කිරීමට සිදු විය. එවැනි විටෙක "ඇත්තටම මොකටද මෙච්චර දිග නම් ?" කියන සිතුවිල්ල මට සිය දහස් වරක් ඇති විය. 1998 දී අප දෙපාර්තමේන්තුවට එකතු වූ එක් සොයුරියක් නිසා අපගේ වැටුප් වලට අදාළ පරිගණක පද්දතියක නම සඳහා ඇති ඉඩකඩ වෙනස් කිරීමට සිදු විය. හේතුව අැගේ නමට මුලකුරු දහයක් පමණ පැවතීමයි. එනිසා ඇගේ සම්පූර්ණ නම ඇතුලත් කිරීමට නම් පද්දතියේ ඒ සඳහා වන ඉඩකඩ පුළුල් කිරීමට සිදු විය. පුද්ගලයෙකු හඳුනා ගැනීමට ප්‍රමාණවත් වන නාමයක් හැරෙන්නට ඒ පුද්ගලයාගේ ගම, දරන ලද පදවි තානාන්තර ආදිය එකතු කිරීම ඇත්ත වශයෙන්ම විහිළුවකි. මේවා අතීතයේදී නම්බුවට කාරණා වුවද අද කාලයේදී වෙනස් විය යුතු බව පැහැදිලිය. මගේ දියණියට නම් තැබීමේදී මේ සම්ප්‍රදාය වෙනස් කිරීමට මා උත්සාහ කලද, මගේ මවගේ දැඩි පෙරැත්ත කිරීම මත මටද හැම දෙනාම යන පාරේ යන්නට සිදු වියේ.
අප මෙසේ නම් කෙටි කර ගත යුත්තේ ඇයි ? වසර දෙදාහේදී සෑම දිනයක් සඳහන් වන තැන එහි වර්ෂය අංක හතරකින් ඉදිරිපත් කිරීමට සිදු වූවා ඔබට මතක ඇත. ඒ පිලිබඳ සමීක්ෂණයක යෙදුනු එක් පුද්ගලයෙක් එම කටයුත්ත නිසා වසරක් වෙනුවෙන් සිදුවන මුද්‍රණ වියදම(එක් ආයතනයක) ගණන් බලා තිබුණි. එය මිලියන ගණනක් බව මගේ මතකයයි. අප මොහොතකට සිතමු, ශ්‍රී ලංකාවේ සෑම පුද්ගල නාමයක්ම නම් දෙකකට සීමා කළා කියා. එනිසා ලබා ගත හැකි ලාභය කොපමණද ? එවැනි නමක් සඳහන් වන සෑම ස්ථානයකම යම් ඉඩ ප්‍රමාණයක් ඉතිරි වේ. උප්පැන්නය, ජාතික සහ කාර්යාල හැඳුනුම්පත්, සියලුම පරිගණක පද්දති වල නම් සඳහා තැබෙන ඉඩ ප්‍රමාණය, මේ සියල්ලේම මුද්‍රණ වියදම්, සියල්ල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගත හැක. දුරකථන නාමාවලියක ප්‍රමාණය අර්ධයක් වනු ඇත. ප්‍රවෘත්ති පත්‍ර, සඟරා වලද ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇත. පරිගණක පද්දති සඳහා වැය වන මුදලද අඩු වනු ඇත, ඒවා බැකප් කරන ටේප්, සී.ඩී. පට සහ පෙන් ඩ්‍රයිව් වල ධාරිතාවද සෑහෙන ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැක. ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වලටද පැටවෙන බර අඩු වනු ඇත.
මෙවැනි රැඩිකල් වෙනසක් ඇති කල හැක්කේ රටක පාලනයටය. එවැනි වෙනසක් කළහොත් රටේ සමස්ත කාර්යක්ෂමතාවද යම් මට්ටමකින් ඉහල යනු ඇත. මන්ද මේ නම් කියවීමට යන කාලය වුවද මිලට සම කල හැකි ධනයක් වීම නිසාය.
බුදු දහම අදහන රටක සිටින අපි නාමයක් - රූපයක් නැති ආත්මයක් සඳහා කෙටි කාලීන නම් දීමේදී මෙතරම් ආත්මාර්ථකාමී වන්නේ ඇයි ?
______________________
යලිත් බ්ලොග් සටහනක් ලිවීමට මට බල කල එලද බ්‍රා මෙන්ඩියාගේ ඉල්ලීමට ඇහුන්කන් දීමක් වශයෙනි.