ඊයේ සවස කාර්යාලයෙන් කලින් පිටත් වූයේ ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ රැස්වීමකට සහභාගී වීමටය. එම රැස්වීම සවස පහ වන්නට පෙර අවසන් විය. මමත් ප්‍රියාන් විජේවර්ධන මහතාත් ගල්කිස්ස බලා ගමන් ගත්තේ එම සංගමයේ ගිණුම් පිලිබඳ කටයුත්තක් සඳහාය. එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් විය. ගල්කිස්සට ගමන් කරන අතරතුරදී, ඕඩියන් සිනමා ශාලාව දෙස නෙත ඇදී ගියේ නිරායාසයෙනි. ඒ මේ දිනවල බොහෝ දෙනාගේ කථාබහට ලක්වී ඇති කොස්තාපල් පුඤ්ඤසෝම සිනමා පටය එහි තිරගත වන දැන්වීම දුටු විටය. පහයි තිහට ගල්කිස්සේ ? කල හැකි දේ බොහෝය. ඒත් මගේ සිත පැහැර ගත්තේ මහේන්ද්‍ර පෙරේරා නමැති ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ රංගන ශිල්පියා පණපොවන කොස්තාපල් පුඤ්ඤසෝම සිනමා පටයටය.
මා එහි යනවිට වෙලාව සවස පහයි හතලිස් පහ පමණ වන්නට ඇත. තවත් පැය භාගයක් රස්තියාදු ගැසීමට නොහැක. බර්ගර් කිං වෙත ගියේ මගේ දියණියට ගෙන යන්නට යමක් මිලදී ගන්නටම පමණක් නොව, මේ වනවිට උත්සන්න වී ඇති වඩදිය බෑමේ දැඩි අවශ්‍යතාවද සංසිඳුවා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එම කටයුතු අවසාන වනවිට සවස හය පමණ වී ඇත. වැහිබර අහස්කුස නිසා හාත්පස අඳුරු වීගෙන එයි. රුපියල් 150ක ඕ.ඩී.සී. ටිකට් පතක් ගෙන මා ඇතුළු වනවිට එහි සිටියේ පියෙකු සමග පැමිණි කුඩා පිරිමි දරුවන් සිව් දෙනෙකු සහ තවත් පෙම් යුවල දෙකක් පමණි. මෙම ශාලාව මෑතකදී නවීකරණය කල ලකුණු මැනවින් පැහැදිලි වන්නේ එහි සවිකර ඇති නවතම අසුන් පෙළය. හොඳින් විදුලි පංකාව ඇති ස්ථානයක් තෝරාගත් මා අසුන් ගෙන, බර්ගර් කිං වෙතින් ලබා දුන් පෙප්සි කෝප්පය අතට ගත්තේ ඉදිරි පැය කිහිපය තදින් සිනාසීමේ බලාපොරොත්තුව පෙරදැරිවය.

හරියටම හයයි කාලට ශාලාව අඳුරු කර, නොපමාව චිත්‍රපටය ඇරඹිණි. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවන මහේන්ද්‍ර පෙරේරා ඔහුගේ කොටස මැනවින් ඉටු කොට ඇති බව අමුතුවෙන් සඳහන් කලයුතු කරුණක් නොවේ. ඕ.අයි.සී. චරිතය රඟපාන ශ්‍රියන්ත මෙන්ඩිස්, සාජන්ගේ චරිතයට පන දෙන ගාමිණි හෙට්ටිආරච්චි, දුලීකා මාරපන සහ ශ්‍රීනාත් මල්දෙනිය කැපී පෙනෙන චරිතය.
බලාපොරොත්තු ලෙසම විකට චිත්‍රපටයක ඇති අස්වාභාවික සිදුවීම් රැසක් සිනහාව උපදවන්නට යොදාගෙන තිබේ. අවංකවම ඇති වන්නට හිනා යන්නට ඒ කොටස් ප්‍රමාණවත්ය. නමුත් මේ සිනමාපටයේ මාගේ සිත්ගත් කොටස වූයේ, මේ විකට දසුන් අතරින් උදයකාන්ත වර්ණසූරිය මහතා පහල පොලිස් නිලධාරීන් මුහුණ පාන අටෝරාසියක් දුෂ්කරතා මැනවින් පෙන්වන්නට ගෙන ඇති උත්සාහයයි.
එහිදී ඉහලින් සහ පහලින් තැලෙන පෑගෙන පොලිස් පොඩ්ඩන් ගැන ලියවුනු මේ ගීතය සැබවින්ම දෑසට කඳුලක් නවන්න සමත්ය.
වාසනාවකට මේ වීඩියෝපඨය වෙනත් ආකාරයකට නිෂ්පාදනය කර යූටියුබ් අඩවිට එක් කර ඇත. එම ගීතයෙන් කියවෙන
ඉඳල හිටල දුන්නත් අතටම සිතාසිය
දුක හිතෙන්නැද්ද අව්වෙ කට්ට කන විලාසය
උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය..
දුකට සැපට ඔබට ඉන්න ඔබෙ පොලීසිය..
හොර සතුරන් කල් බල බල එවන පතුරම
පපුව මැදින් යනතුරු ඉටු කරයි යුතුකම
කසිලි බිසිලි ගැහිලි බැනිලි හදයි නිතරම
නිවාඩු නෑ හෝදගන්න කාකි කලිසම
කොතරම තිබුනත් අපහට පොලිස් බලතල
කිසිලෙසකත් ගන්නේ නෑ අනිසි විලසක
දූෂණ භීෂණ වංචා කරන උදවිය
අල්ල ගන්නේ නොසිතා ඒ අයගේ පදවිය
විසිහතර පයම කාකි කෝට් එකට රිංගලා
මානව හිමිකම් යුතුකම් වලට කැපවෙලා
පිත්තල බොත්තම් හින්දම හුස්ම හිරවෙලා
දඩකොල ලියලම අත්වල ඇඟිලි කලුවෙලා
බොහෝ දෙනාට පොලීසිය පිලිබඳ ඇත්තේ යහපත් ආකල්පයන් නොවන බව මා දනිමි. "ඕකුන්ට ඔහොම වෙලා මදි" යන්න බොහෝ දෙනා පවසන වදනයි. නමුත් ඔවුන් පොලීසියේ ඉහල නිලධාරීන්ගෙන් නිරතුරු පෑගීමට ලක්වන පොලිස් පොඩ්ඩන්, එයින් නොනැවතී සමාජයේ විවිධ පදවි තානාන්තර දරන්නන්ගෙන්ද, මැරයන් කුඩු කාරයන්, ජාවාරම් කරුවන්ගේ විවිධ බල පුළුවන් කාර කම් හමුවේ අසරණ වන ආකාරයද, එතනින් නොනැවතී පවතින පරිභෝජන සමාජ තත්වය හමුවේ තම බිරින්දෑවරුන්ගේ නිරතුරු පීඩනයන්ට ලක්වන අකාරයද උදයකාන්ත වර්ණසූරිය මහතා කදිමට විදහා දක්වයි. මේ සැමටම වඩා බොහෝ සිදුවීම් නොදැක්කා සේ සිටීමට ඔවුනට සිදු වී ඇත. සමාජයේ සෙසු පුදගලයන්ට ඇති නිදහස් බව රාජකාරියේදී මෙන්ම, නිවසේ එදිනෙදා ජීවිතයේද අහිමි වන පුඤ්ඤසෝමලා සිටින්නේ පොලීසියේ පමණක්මද යන්න මගේ හිතට නැගුනු පැනයයි. නමුත් ගිනි අව්වේ, මහා වැස්සේ මැර තර්ජන හමුවේ ඔවුන්ට ලැබෙන පීඩනය ඔවුන් පොදු මහජනයාගේ පිටින් යවන්නේ වෙන කළහැකි දෙයක් නොවන නිසාය. ඔවුන්ගේ රාජකාරිය මගේ දැක්මේ හැටියට නගරසභා කම්කරුවන්ගේ රාජකාරියටත් අන්තය.
පින්තූරය ගත්තේ : gossiplanka.com |
දියුණු රටක පොලිස් නිලධාරී තනතුරකට කෙනෙකු තෝරා ගන්නේ දිගු පරීක්ෂණ රාශියකින් පසුවය. එමෙන්ම එම රාජකාරි වල යෙදෙන්නන් එය සිදු කරන්නේ ඉතා අභිමානයකිනි. ඔවුන් මුදල්, තනතුරු, බල පුළුවන්කාර කම් ඉදිරියේ නැවෙන්නේ නැත. තම රාජකාරිය අකුරටම ඉටු කරයි. නමුත් අපේ පොලිස් නිලධාරීන් රාජකාරි අකුරට ඉටු කරනවාට අපි කවුරුවත් කැමති නැත. පොඩි ගානක් අතමිට මොලවා මාරු වීම සැමගේ කැමැත්තයි. අප ඔවුන්ට දොස් නගන්නේ ඔවුන්ගේ දෛනික ඉලක්කය සපුරා ගන්නට ලියන දඩ කොළයක අවාසනාවන්ත හිමිකරුවන් වීම නිසාය. දියණු රටක ජනතාව සහ බලධාරීන් වැරදි කරන ප්‍රවනතාව අඩු නිසා එම නිලධාරීන්ට වැරදි කරන අය අල්ලා ගැනීම පහසුය. නමුත් අපේ රටේ වැරද්දක් නොකරන කෙනෙකු සොයා ගැනීම නයි මල්ලේ ආඳා සොයා ගන්නවාටත් වඩා උගහටය.
පුඤ්ඤසෝමගේ චරිතයෙන් පෙන්වන තවත් දෙයක් ඇත. ඒ අපේ පොලිස් සේවයේ සිටිනා සමහර නිලදරුවන්, එම තනතුරට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවයෙන් ඌණ බවය. මෙහි සිටින මැරයන්ට පුඤ්ඤසෝමව ඇඟිලි දෙකෙන් උස්ස ගත හැක. නමුත් වඩා හොඳ ශරීර සුවතාවක් ඇති පුද්ගලයන් මේ "කට්ට කන" රාජකාරිය බාර ගන්නේ නැති බව අප කවුරුත් දන්නා සත්‍යයකි. මේ චිත්‍රපටය නැරඹුවත් නැතත්, මා මේ අහිංසක ජන කොට්ඨාශය දෙස බලන්නේ අනුකම්පාසහගත ලෙසය. මා දුටු ආකාරයටම උදයකාන්ත වර්ණසූරිය මහතාද ඔවුන් දෙස බැලීම සතුටට කරුණකි. ඔබ මා හා එකඟ නොවන බව මා ඉඳුරා දනිමි. එහෙත් මට කීමට ඇත්තේ "පොලිස් කාරයෝද - මනුෂ්‍යයෝය" යන්නය.
__________________________________
බොහෝදෙනාගේ ඉල්ලීමට කන් දීමක් වශයෙන් "පාපන්දු" වෙනුවෙන් වෙනමම පිටුවක් සකස් කර එය ලෝක කුසලානය පවතින කාල සීමාව තුල දෛනිකව යාවත්කාලීන කරන්නට පියවර ගෙන ඇති බව සතුටින් දන්වමි. එබැවින් මා පාපන්දු ගැන තබනා සටහන් බලා ගන්නට පාපන්දු පිටුවට පිවිසෙන ලෙස ඉල්ලා සිටිමි.