Friday, December 27, 2013

පාපන්දුව ඇත්තටම රවුම්ද ? II කොටස ( Is football really round ? Part II )

පංචාශ්‍ර 12කින් සහ ෂඩශ්‍ර 20 කින් නිමවා තිබෙන පාපන්දුවක් මහන්න මැහුම් කීයක් අවශ්‍යද ? කියන ගණිත ගැටළුවට බොහෝ දෙනාගේ පිළිතුර වුනේ මැහුම් 90ක් කියන එක. ඒ ප්‍රශ්නෙට කිසිම කෙනෙක් නිවැරදි උත්තරය දෙන්න සමත් වුණේ නෑ.  ඔබට මේ පිළිතුර හොයා ගන්න තිබුණා ඒ පින්තූරයක් මත ක්ලික් කර විශාල කර බැලුව නම්.

හොඳයි අපි පංචාශ්‍ර වලින් පටන් ගමු. පංචාශ්‍ර දෙකක් එකිනෙකට සම්බන්ධ වෙන්නේ නෑ. ඒ නිසා පංචාශ්‍රයේ පැති පහ වටා මහලා තියෙන්නේ ෂඩශ්‍ර පහක්. එතකොට පංචාශ්‍ර වටා තිබෙන මැහුම් ගණන 60යි(12 x 5). අනිත් අතින් ෂඩශ්‍ර වල පැති තුනක් පංචාශ්‍ර සමගත්, අනෙක් පති තුන ෂඩශ්‍ර සමගත් සම්බන්ධ වනවා. මෙතනදී පංචාශ්‍ර වල මැහුම් ගණන අපි කලින් ගත්ත නිසා ඒවා අත අරින්න වෙනවා. එතකොට හැම ෂඩශ්‍රයකට අදාලව තවත් මැහුම් තුනක් තියෙනවා. එහෙම ගත්තොත් 20 x 3 = 60 කියලා ගන්න පුළුවන්. හැබැයි එතනත් පොදු ඒවා තියෙනවා. අපින් ගණන් කරන්න ගන්න පලවෙනි ෂඩශ්‍රයට කොහොමත් මැහුම් තුනක් අනෙක් ෂඩශ්‍ර තුනක් සමග තිබෙනවා. නමුත් ඒ ෂඩශ්‍ර තුන ගත්තොත් ඒවායේ එක මැහුමක් මේ වනවිට ගණන් ගෙන අවසන් නිසා ඒවායේ ඉතිරි මැහුම් ගණන 2 යි. ඒ දාමය සම්පූර්ණ කරගෙන ගියොත් ඊළඟට එන හැම එකකම ගණන් ගන්න ඉතිරි මැහුම් ගණන දෙකක් බව පැහැදිලියි. එතකොට 20 -1 = 19 x 2 = 38 යි. දැන් තියෙන්නේ මේ ටික එකතු කරන්න. 60 + 3 + 38 = 101යි. ඒක තමයි නිවැරදි පිළිතුර. හැමෝටම පැහැදිලිද ?

හරි අපි නතර කලේ 1990 එට්‍රස්කෝ යුනිකෝ එකෙන්. 1994 දී මේ ලෝක කුසලානය යන්නේ ලෝක පොලිස් කාරයාගේ රටට. එහෙට යනකොට නිකං පරණ එකම දුන්නොත් ඉතිං වෙන්නේ මොකද කියලා කියන්න ඕනේ නෑනේ. තවත් දෙයක් ඇමරිකාවේ මිනිස්සු ඒ තරම් පාපන්දු ක්‍රීඩාවට එතරම් කැමැත්තක් නෑ. එහෙදී කරපු සමීක්ෂණයකින් එලි වුණා එම තරගාවලිය එහි පැවැත්වෙන බව 55% තරම් දෙනා දන්නේ නෑ කියලා. ඒ හරිය අතුරු කතාවක්. ක්වෙස්ට්‍රා කිව්වට එක පාරට ඔලුවට එන දෙයක් නෑ. නමුත් මෙය එක්සත් ජනපදයේ තියෙන පැරණි කියමනක් වෙච්ච "ක්වෙස්ට් ඔෆ් ද ස්ටාර්ස්" කියන එකෙන් ගත්ත නමක්. ඒකටත් හේතුවක් තියෙනවා. මුලින්ම සඳ තරණය කරපු ඇපලෝ II යානය සහ ඒ ගමනට අවුරුදු 25 ක් පිරෙන්නේ 1994 ට. මේ බොලේ මුද්‍රණය කරපු කොටසේ බලන්න ඔවුන් ග්‍රහ තාරකා තමයි එය සරසන්න යොදා ගෙන තිබෙන්නේ. 

1998 දී ලෝක පාපන්දු තරගාවලිය පැවැත්වුණේ ප්‍රංශයේ. ටැංගෝ මාදිලියේ අවසාන පුරුක ලෙස ට්‍රිකොලෝ(ර්) නමැති සැලසුම ගෙන එන්න ඇඩිඩාස් සමාගම ක්‍රියා කළා. ඒ වනවිටත් ටැංගෝ ආකෘතිය අවුරුදු විස්සක් සැපිරුණා. ට්‍රිකොලෝ(ර්) යන ප්‍රංශ වදනේ තේරුම ත්‍රෛ-වර්ණ නොහොත් වර්ණ තුනක් යන්නයි. පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම මුද්‍රණය වරණවත් වුයේ මේ තරගාවලියේදී. නිල් පැහැති ට්‍රයැඩ් මත ප්‍රංශයේ ජාතික සලකුණ වූ කුකුළා සංකේතවත් කරමින් අපූරු මෝස්තරයකින් එය හැඩ ගැන්වුණා. එය නිෂ්පාදනය වුයේ මොරොක්කෝවේ සහ ඉන්දුනීසියාවේදී. මෙහිදී යොදා ගත වර්ණ තුන ප්‍රංශ ජාතික කොඩියේ තිබෙන නිල්,රතු සහ සුදු.



ෆිෆා ආයතනය 2002 දී මේ තරගාවලිය ආසියාවට ගෙන එන්නට කටයුතු කළා. මෙය නම් කරනු ලැබුවේ ෆෙව(ර්)නෝවා යන නමින්.මෙහි මුද්‍රණය පදනම් වුයේ ආසියාතික සංකෘතිය. මෙහිදී පිටත් නිමාවට වඩා වැඩි බරක් එය නිපදවන අමුද්‍රව්‍ය සහ ගුවනේදී එය ගමන් ගන්නා අකාරය වෙත තැබුවා. මීට පෙර තරගාවලී සඳහා යොදාගත් බොහෝ පන්දු පහරදුන් පසු ගමන්ගන්නා අකාරය නිශ්චය කිරීමේ අපහසුතා තිබුණා. මෙහිදී එය මග හරවනු ලැබුයේ ස්ථර තුනකින් සමන්විත ගොතන ලද ඇතුලත රාමුවක් මගින්.

කෙසේ නමුත් මෙම බෝලය බොහෝ විවේචන වලට ලක් වුණා. ඒ මෙය පමණට වඩා සැහැල්ලු වීම පිළිබඳව. ඒ වාගේම කොරියාවේ සහ ජපානයේ පැවති තරගාවලියේ පිලිමළුන් පිටු දැකීමෙන් අදියරයන් වල  වාර්තා වූ සමහර දර්ශණීය ගෝලයන් මෙම පන්දුව නිසාම සිදු වූ ඒවා බවට චෝදනා එල්ල වුණා.

පැනල් 32 කේ ටැංගෝ ආකෘතිය පැත්තකින් තිබ්බ ඇඩිඩාස් සමාගම  මොල්ටන් නමැති තවත් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන සමාගමක් සමග එකතුව වක්‍ර පැනල 14ක නව ආකෘතියක් නිපදවනු ලැබුවා. මෙය එක්තරා ආකාරයක අශ්ටතලයක්(කවාකාර වූ). ටැංගෝ බෝලය මසා නිම කලත් මෙය බන්ධනය(පෑහීමක්) කර නිමවනු ලැබුවා. මෙහි නම ඉතා රසවත්. ටීම්ගීසිට් යන ජර්මානු වචනය ගෙන දෙන්නේ "කණ්ඩායම් ජීව ගුණය" ( team spirit) තේරුම. නමුත් එය වෙළඳ සලකුණක් කර ගැනීමට නොහැකි නිසා එයට ඉදිරියෙන් ධන ලකුණක් යොදා +ටීම්ගීස්ට් ලෙස නම් කළා. මෙසේ කෑලි 14කින් නිපදවීම මගින් ඔවුන් උත්සාහ කලේ පන්දුව හැකිතරම් රවුම් කරන්න.

මෙම බෝලය නිර්මාණය කරද්දේ උපරිම වශයෙන් විද්‍යාව යොදාගෙන තිබෙනවා. මෙහි පැනල් ප්‍රමාණය අට දක්වා අඩු කර ඒවා තාප පෑස්සුම් ක්‍රමයක් මගින් සවි කර තිබෙනවා. මෙම පැනල් ගෝලාකාර කර තිබෙන්නේ අච්චුවක් මගින්. වාතය තුලින් ගමන් කිරීමේදී වායුගතිකය(aerodynamics) වර්ධනය කිරීම සඳහා ඒවායේ මතුපිට සියුම් දාර කපා තිබෙනවා. එය ඔවුන් හඳුන්වන්නේ "ග්රිප් ඇන්ඩ් ගෘව්" ලෙස. ඒ සඳහා පර්යේෂණ දායකත්වය ලබා දුන්නේ ලොෆ්බෝරෝ සරසවිය. මෙය වර්ණවත් කිරීම සඳහා වර්ණ 11 යොදා ගත්තා එමගින් කණ්ඩායමක සිටින ක්‍රීඩකයින් 11 සංකේතවත් කෙරුණා. ඊට අමතරව එම තරගාවලිය පැවැත්වූ දකුණු අප්‍රිකාවේ භාවිතා වන භාෂා 11 ද සංකේතවත් කෙරුණා. එපමණක් නොව ජුනි මස 11 පටන් ගත් තරගාවලිය නිමා කෙරුනේ ජුලි 11 වනදා. ජබුලානි ලෙස එය නම් කළා. දකුණු අප්‍රිකානු ගෝත්‍රයක් වන සුළු ජාතිකයන් ප්‍රීතියෙන් සමරනවාට කියන වචනය තමයි ඒ. අවසාන තරගය සඳහා යොදා ගත් බෝලය ජෝ'බුලනි ලෙස නම් කලේ එම තරගය පැවැත්වූ ජොහැන්නස්බර්ග් නගරය සිහි වන්නට. නමුත් එම බෝලයටද විවේචන එල්ල වුණා. එය ප්‍රහාරකයාට පහසු නමුත් ගෝල් රකින්නා අපහසුවට පත් කරවන්නක් බව බ්‍රසීල දැල් රකින්නා වන ජුලියෝ සීසර් පැවසුවා. රෝබින්ඥ්හෝ නමැති බ්‍රසීල ප්‍රහාරකයා පැවසුවේ "මෙය නිපදවූ අය කිසිදා පාපන්දු ක්‍රීඩා කර නොමැති බව තමාට විශ්වාස බවය"


2014 බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලානය වෙනුවෙන් මේ වනවිටත් බෝලයක් නිර්මාණය කර අවසන්. එය නම් කෙරුනේ බ්‍රසුකා ලෙස. එහි තේරුම බ්‍රසීල ජාතිකයකු වීමේ අභිමානය අර්ථ ගන්වන්නක්(ඒ කියන්නේ proud to be Brazilian තේරුමක්). මෙය තෝරා ගත්තේ මිලියනයක් බ්‍රසීල පාපන්දු ලෝලීන් අතර පැවැත්වූ මත විමසුමකින්. එයි 77.8% ක්ම ඒ සඳහා තම මනාපය එකතු කළා.  බ්‍රසුකා පැනල හයකින් නිර්මාණය වී තිබෙනවා. එමගින් තවදුරටත් පන්දුව රවුම් ස්වභාවය පවත්වාගන්න උත්සාහ කොට තිබෙනවා. මෙහි වායුගතිකය තව දුරටත් වැඩිදියුණු කර තිබෙනවා. නමුත් මෙම බෝලයද ගුවනේදී වේගවත් බව පැවසෙනවා. එනිසා මෙය ගෝල් රකින්න්නට එතරම් සුභ ආරංචියක් නොවනු ඇති. 

ඉතා ප්‍රාථමික මට්ටමකින් ආරම්භ වී අද දක්වා විකාශය වත්දී අත් කරගෙන ඇති දියුණුව කෙතරම්ද කියා ඔබට වැටහෙනවා නේද ? කිසිදින පන්දුවකට පය තබා නැති උගතුන් පිරිස නූගතුන්ගේ දුප්පතුන්ගේ (ඉවාන් පවුලූෂාගේ මතක් කර දීම නිසා වෙනස් කරන ලදී)  ක්‍රීඩාව වෙනුවෙන් කරන කැප කිරීම ප්‍රශංසනීයයි. 

__________________________________________
තොරතරු සහ ඡායාරුප www.wikipedia.org ඇසුරෙන්.

73 comments :

  1. අගනා විස්තරයක්.. ලිපි දෙකම ආසාවෙන් කියෙව්වා..

    හිතට ආපු ප්‍රශ්න කීපයක් තියෙනවා ඇහුවට කමක් නෑනෙ.

    1. //ටීම්ගීසිට් යන ජර්මානු වචනය ගෙන දෙන්නේ "කණ්ඩායම් ජීව ගුණය" ( team spirit) තේරුම. නමුත් එය වෙළඳ සලකුණක් කර ගැනීමට නොහැකි නිසා// මෙතනින් අදහස් වෙන්නේ වෙන පිරිසක් ඒ වනවිටත් මේ නම පාවිච්චි කරන බවද නැතිනම් වෙනත් හේතුවක් මත එය වෙළඳ සළකුණක් කළ නොහැකි බවද?

    2. ලිපියේ දිගින් දිගටම කියවුන දෙයක් තමයි කොටස් ගණන අඩුවෙද්දී වෘත්තාකාර බව ඉහළ යනවා කියන එක. ඒත් මට හිතෙන්නේ කොටස් ගණන වැඩිවෙද්දි වෘත්තාකාර බව ඉහළ යනවා කියලයි. (කොටස් පැතලි බව උපකල්පනය කළා ). මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

    3. තාක්ෂණික වෙනස්වීම් සමඟ බෝලයේ හැසිරීමත් වෙනස් වන බව පෙනුනා. එක්වරම නව බෝලයක් හඳුන්වාදීමෙන් ක්‍රීඩකයෝ තරඟාවලියේදී අපහසුතාවයට පත් වෙනවා නේද? මේ බෝලය ඊට කලින් නිකුත් කරන්නේ නෑනෙ?

    4. ඊළඟ ලෝක කුසලාන තරඟාවලිය දක්වා තරඟ සඳහා පාවිච්චි කරන්නේ හඳුන්වාදුන් නව බෝලයද?

    5. නූගතුන්ගේ ක්‍රීඩාව??

    ස්තුතියි නැවතත්..

    ReplyDelete
    Replies
    1. 1. ඔවුන් එතැනදී නීතිමය තත්වය සලකා බලන්න ඇති. එයටත් වඩා ජර්මනියේ සංස්කෘතියට ගරු කිරීමක් වශයෙන් එසේ යොදන්න ඇති.

      2. ඔබ ඩිස්කෝ බෝල් එක දැක ඇති බව විශ්වාස කරනවා. එම පැනල කුඩා වන්නට වන්නට ඒවා ශක්තිමත් කිරීමේ හැකියාව අඩුයි. හැබැයි කෑලි ගණන් අඩු වන්නට වන්නට/මැහුම් ගණන වැඩි වන්නට වන්නට ශක්තිමත් බව වැඩියි. කෑල්ල විශාල කරද්දී ඔවුන් වඩා හොඳ අමුද්‍රව්‍යයන් යෝන්දාගෙන අච්චුවක(මොල්ඩින්) කර නියම කවාකාර හැඩය ගන්නවා. ඉතින් එවැනි කොටස ලොකු වනවිට හැඩය ස්ථාවරව පවත්වා ගත හැකිය. කුඩා පැනල් එකක් 100% ක් නිවරද්‍යතාවක්(accuracy) සමග හැඩ ගන්වන්න ප්‍රයෝගිකව අමාරුයි. ඩිස්කවරි/නැෂනල් ජෝග්‍රෆික් වල ලෝකයේ විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආකාරය පෙන්වනවා. ඒ ගැන යම් වැටහීමක් ගන්න පුළුවන් නරඹනවා නම්.

      3. නැහැ හරී. මම මෙතන සඳහන් නොකරත්, එක් කණ්ඩායමකට බෝල හතළිහක් ලබා දෙනවා පුහුණුවීම් වලට. නමුත් ගුවනේදී වේගය වෙනස් වීමට හුරු වන්න අමාරුයි.

      4. ඔවුන් ඒ අතර වාරයේ එම මුද්‍රණය සහ නම වෙනස් කරමින් භාවිතා කරනවා. යුරෝපියන් තරගාවලිය හොඳම උදාහරණය. ඒකෙදී මේ බොලයම නම වෙනස් කර භාවිතා කරනවා.

      5. නුගත් මිනිසුන්ට අවමන් කිරීමේ අදහසින් නොවෙයි එහෙම කිව්වේ. නමුත් සාපේක්ෂව වඩා නූගත්ම ජනයා කරන ක්‍රීඩාව පාපන්දු.

      දිගු කමෙන්ට් එකට ස්තුතියි. මම ජංගම දුරකතනයෙන් කමෙන්ට් එක බැලුවේ, රෝහලක ඉන්න ගමන්. බෙහෙත් අරං එද්දී ප්‍රමාද වුණා.

      Delete
    2. ඒත් බෝලෙට මොලෙන් ගහන්නේ නේද :)

      Delete
    3. අධ්‍යාපනයට අවශ්‍ය මොළයම ක්‍රීඩාවට අවශ්‍ය නෑ. එතනදී අවශ්‍ය උපක්‍රමශීලී බව.

      Delete
    4. මං නම් හිතන්නෙ උපක්‍රමශීලි වෙන්නත් හොද මොළයක් තියෙන්න ඕනෙ නමුත් ඊට වඩා තිබිය යුතු දේ තමා කායික ශක්තිය මේ වගේ ක්‍රීඩා කරද්දී. දැන් චෙස් වගේ ක්‍රීඩාවක් කරන්න නිරෝගී ශරීරයක් තිබිය යුතුයි. නමුත් ඉතා හොද උපක්‍රමශීලි බවක් තිබාය යුතුයි.අමතර ශරීර ශක්තියක් අනවශ්‍යයි කියලයි මට හැගෙන්නෙ.

      Delete
    5. මෙතනට එකක් දැම්ම නෑනෙ

      Delete
    6. කතාවක් තියෙනවා ක්‍රිකට් බයි චාන්ස්, ෆොට්බෝල් බයි ප්‍රැක්ටිස් කියලා. ඔය කියන ශක්තිය වර්ධනයට පුහුණුවත් අවශ්‍යයි.

      Delete
  2. මීට කලින් මේ වගේ ලිපියක් ආසාවෙන් කියෝලා නැහැ ,,නමුත් ඔබ ලිපිය මනාව කරුණු එකතු කරලා ලියලා තියෙනවා , ඒ වෙනුවෙන් ස්තුති .. මං ඉන්න රටෙත් පාපන්දු තමයි පිළිගන්න ක්‍රීඩාව ,.. විශාල පාපන්දු පිටි කීපයක් මෙහෙ තියෙනවා ... නෙතන්‍යාහු සහ සීමොන් පෙරිස් පවා නිතර පාපන්දු තරග නරබන්න එකතු වෙනවා .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. පාපන්දු ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව මෙයයි.

      Delete
  3. ගියවර ලිපිය වගේම මේකත් ආසාවෙන් කියෙව්වා.
    අරකට උත්තරේ අයියා පැහැදිලි කරපු විදියට හරි වගේ පෙනුණට 90 වැරදි වෙන්නේ කොහොමද කියලා මට තාම අවුල්. තියන දාර ගානට වඩා වැඩි පුර මැහුම් ගානක් ආපු එක හෙනම අවුල්. බෝලයක් අරගෙන ඇදලා බලන්නම වෙයිද දන්නේ නෑ ඔළුවට කා වද්දා ගන්න

    ReplyDelete
    Replies
    1. පංචාශ්‍ර 12 දාර ගණන 60 යි කියලා පිළිගන්නවද ? හැම ෂඩශ්‍රයකම පංචාශ්‍ර තුනකට සම්බන්ද වෙනවා. ඉතින් හයෙන් තුනක් අඩු කරන්න වෙනවා. ඉතිරි එක ෂඩශ්‍රයක දාර තුනක් ඉතිරි වෙනවා. ඒ හැම එකක්ම සම්බන්ධ වෙන්නේ අනිත් ෂඩශ්‍ර සමග සම්බන්ධ වෙන්නේ. එහෙම ගත්තම සම්භන්ද වෙන ස්ථාන 3 x 20 හැටක් තියෙනවා. නමුත් පළමු එක තුනක් වුනොත් එයට සම්භන්ධ වන අනිත් තුනට ඉතිරි දාර දෙකයි. ඒ තුන සම්බන්ධ වෙන ඒවාටත් දාර දෙකයි. ඉතිරි සියල්ලේ දාර දෙකයි. එකතුව 101යි.

      Delete
    2. අයියාගේ පැහැදිලි කිරීම තේරුණා කලින්ම. එකේ ගැටලුවක් නෙවේ. මම කිව්වේ අපි හිතපු විදියට තර්ක කලාම විරිද්ධාභාශයක් (Paradox) එකක් වගේ මතුවෙන හින්දා. ඒක එච්චර දෙයක් නෙවේ අයියේ

      Delete
    3. ෂඩශ්‍ර වලින් පටන් ගත්තොත් වැරදීමේ හැකියාව වැඩියි.

      Delete
    4. Black Puma නිවැරදියි. පිළිතුර 90.

      Delete
  4. මම අද තමයි මේ ලිපි දෙකම කියෙවුවේ.ඔබ සෑහෙන්න මහන්සි වී තිබෙනවා කරැනු සෙවීමට.හරවත් රසවත් ලිපියක්.පාපන්දු ක්‍රීඩාව ගැන ගොඩක් දේ දැනගත්තා.
    මමත් පොඩිකාලේ පාපන්දුවට පහර දුන්නේ කකුලේ ඇගිලි වලින්.පස්සේ තමයි ඉගෙන ගත්තේ.මොහොතකට අතීතයට දිවගියා මතකය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකට මම පොඩි වත් මහන්සියක් වුණේ නෑ. මේවා දන්නා කරුණු . නමුත් තහවුරු කර ගන්න විකිපීඩියා බැලුවා.

      Delete
  5. පාපන්දු ක්‍රීඩාවට ආසාවක් නැති වුනත් බෝලෙ ගැන ලියල තියෙන ඒව ආසාවෙන් කියැවූවෙමි. මොකද අපිත් බෝල කාරයෝ නිසා

    ReplyDelete
  6. මේ ලිපිය කියවද්දී මට හිතුනේ පාපන්දු ක්‍රීඩාව අපේ රටේ මීට වඩා ජනප්‍රිය කරවන්න, වර්ධනය කරවන්න, කොයිතරම් දේවල් කළහැකිද කියා. නමුත් දේශපාලුවෝ ඒ ගැන උනන්දුවක් නැතිවීම තමයි කරුමය.

    ReplyDelete
    Replies
    1. මම දන්න එක දෙයක් තියෙනව, අපේ රටේ අයට මේකට අවශ්‍ය ශක්තිය මදි. ඒ වගේම අස්ථි වල ශක්තිය. සමහරවිට අහලා ඇති අපේ රටවල අයට පාරේ දුවන්න හොඳ නෑ කියලා. නමුත් යුරෝපීය අයගේ අස්ථි ශක්තිමත් නිසා ඔවුන්ට පුළුවන්. බොහෝවිට නැවුම් කිරි තියෙන රටවල අයට ඒ අස්ථි ශක්තිය ලැබෙනවා.

      Delete
    2. මෙහෙ ජනප්‍රය ක්‍රිකට් වගේ නොවේ පාපන්දු,වොලිබෝල් වගේ ක්‍රීඩා මගින් ශරීරයේ කොටස් වලට හොඳින් වයායාම ලැබෙනවා.

      Delete
    3. ඇයි අපේ අයට ශක්තිය මදි කියන්නෙ...මොකක් හරි ජානමය හේතුවක්ද..?
      කොහොමත් මාලදිවයිනත් අපිට වඩා ඉහලින්නෙ ඉන්නෙ.

      කොහොමත් මැච් එකක් යනකොට මටත් හිතෙන දෙයක් තමා අපේ උන්ට මෙච්චර හති මොකද කියලයි.
      හැබැයි රග්බි එක්ක ගත්තම නම්...හිතාගන්න බෑ කොයිකද වැඩිපුර මහන්සි ක්‍රීඩාව කියල.

      Delete
    4. මාලදිවයින අපිට වඩා ගොඩාක් පිටුපසින් හිටිය රටක්. ඔවුන් පුහුණු කලෙත් අපේ පුහුණුකරුවන් දශක දෙකකට විතර කලින්. ඔවුන් අපිට වඩා ඉදිරියෙන් හිටියත් ලෝක කුසලානේ අවසන් 32ට ලඟා වෙන්න බෑ. ශ්‍රේනිගතකිරීම් අනුව මාලදිවයින් 163, ශ්‍රීලංකාව 169, ඉන්දියාව 154, පාකිස්ථානය 172. අපි ඉන්න සීමාව පේනවා නේද ? අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ, මධ්‍යම ඇමරිකාවේ, යුරෝපයේ රටවල් ඉහලට ඇවිත් ඉන්නවා.
      මම දන්නා විදියට රග්බි වලට මේ තරම් හැකියාවක් අවශ්‍ය නෑ. පාපන්දු වලට පුදුම හැකියාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම නිතිපතා පුහුණුව. රග්බි වලට කාය වර්ධනය කරලා හදා ගත්ත ශරීරයක් තියෙන අය ඉන්නේ. ඒ වගේම උස අය. නැතිනම් අනික් රටවල අයත් එක්ක හැප්පෙන්න බෑ. පාපන්දු වලට ඒ තරම් ශක්තියක් අවශ්‍ය නෑ. වේගය අවශ්‍යයි හැබැයි පාළනයක් ඇතුව. ඒ වගේමයි අනෙක් ය ඉන්න තැන ගැන නිතර බලන්න ඕනේ. රග්බි වලදී කෙනෙක් බෝලය අරන් දුවද්දී තව දෙන්නෙක් දෙපැත්තෙන් එනවා බෝලය ගන්න. සමහරවිට ජානමය දෙයක් වෙන්නත් පුළුවන්. ජිම්නාස්ටික් ක්‍රීඩාව බලන්න. ඒවාට දක්ෂ එක්තරා රටවල් වල පිරිසක් පමණයි.

      Delete
  7. ක්‍රීකට් වලට වඩානං හොදයි තමා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඹට ක්‍රිකට් අරහං නේද ?

      Delete
  8. ගිය ලිපියෙන් වගේම මේ ලිපියෙනුත් වැදගත් තොරතුරු රැසක් දැනගන්න පුලුවං උනා.
    නූගතුන්ගෙ ක්‍රීඩාවක් උනත් සෑහෙන මුදල් ප්‍රමාණයක් මේ වෙනුවෙන් වියදම් කරනව කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. හැබැයි ලංකාවෙත් බොහොම අල්පව මේ වගේ බෝලයක් යොදා ගන්නේ.

      Delete
  9. ආශාවෙන් ලිපි දෙකම කියෙවුවා. ලිපියෙ කරුණු පෙල ගස්වලා තියෙන විදියට කියවන් යනවා තේරුන්නෑ.

    ReplyDelete
    Replies
    1. දන්නා දෙයක් ලියද්දී බය නැතිව ලියාගෙන යන්න පුළුවන් නේ.

      Delete
  10. වෙන ප්‍රශ්න නැද්ද මන්දා :-DD

    ReplyDelete
    Replies
    1. තියෙනවා. අර ටැංගෝ බොලේ අන්තිම මැස්ම මැහුවේ කොහොමද කියලා

      Delete
  11. කොටස් 2ම අද තමයි කියෙව්වෙ අයියෙ, වටින ලිපි දෙකක්, අයිය ෆුට්බෝල් වලට ලොකු උනන්දුවක් තියනවා කියල පේනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී වෙලාවකට ක්‍රිකට් වලට වඩා පාපන්දු ගැන උනන්දුයි.

      Delete
  12. බෝලේට පයින් ගහන එක තරම් ලේසි නැහැනේ බොලේ හදන්න.

    මට උත්තරේ 120නේ ආවේ.මට කල්පනා වුනේ නැහැ නොවැ මේකේ එක මැහුම දෙකකට අහුවෙන තැන් තියෙන වග.

    ReplyDelete
    Replies
    1. මේ පහලින් තියෙන පිළිතුර බලන්න.

      Delete
  13. ඔබ වැරදියි සුදීක.
    පංචාශ්‍ර 12කින් සහ ෂඩශ්‍ර 20
    පංචාශ්‍ර 12 ට තියන පාද ගණන=5*12=60
    ෂඩශ්‍ර 20 ට තියන පාද ගණන=6*20 = 120
    මුලු පාද ගණන=180
    එක මැස්මක් ගහන්නේ පාද දෙකක් අතර බැවින් මැහුම් ගණන=180/2 = 90

    මැහුම් ගණන 90 මිස 101 නොවේ.

    ඔය තියරිය ප්‍රිස්ම, ඝනකාභ ඇතුළු ඔය ආකාරයේ සියලු වස්තු සඳහා යොදා ගත හැක.

    ReplyDelete
    Replies
    1. ඔබේ ක්‍රමය හරිම තර්කාණුකූලයි. ඒ වගේම පැහැදිලියි. ඒ නිසා මා නැවතත් මගේ ක්‍රමයේ වැරදි තැන සොයා ගියා. තුනක් ගණනය කරන පළමු ෂඩශ්‍රය හැර අනෙකුත් සියල්ල 2 ක් ලෙස ගණන් ගත යුතු යයි මා පැවසුවා. නමුත් මා එක පංචාශ්‍රයක් වටා ගණන් කර බැලුවා. එවිට පැහිදිලි වුණා. අවසාන ෂඩශ්‍රයට ගණන් කල හැක්කේ 1ක් මැස්මක් බව. මේ අනුව පැහැදිලි වනවා උත්තරය 101 ට අඩු ගණනක් වන බව. ඔබ ඇතුළු 90 ලෙස පිළිතුරු ලබා දුන් සියළු දෙනා නිවැරදියි. මා නිහතමානීව සිදු වා වරද පිලි ගන්නවා. ඒ වගේම සමාව අයැද සිටිනවා ඔබේ දැනුම අවතක්සේරුවට ලක් කිරීම ගැන. එය පෙන්වා දීමට එඩිතරව ඉදිරිපත් වීම ගැන ඔබට ස්තුතිය පුද කරනවා. මෙය තමයි අපි කමෙන්ට් වලින් බලාපොරොත්තු වන්නේ.

      Delete
    2. ක්‍රමය සරල විට පැටලීම් නැහැ. ලස්සනට පිළිතුර එනවා. මම කොලයක් අරන් රුපසටහනක් ඇඳලා බලන්න හිටියේ. ඊට කලින් විශ්ව ගේ ක්‍රමය දැක්කා.

      Delete
    3. අපි කාටත් ඔහොම පොඩි වැරදි සිදුවෙනවා. එවැන්නක් දුටු විට පෙන්වූ විට විමසාබලා එය සත්‍ය නම් පිළිගැනීම තමයි නියම මහත්මා ගුණය. ඔබ එවැනි මහත්මයෙක්.
      මෙම ගුණය නැති කෙනෙකුට මම මෙම වරද පෙන්වූව නම් මට අහන්න වෙන්නේ මෙහෙමයි. හරකෝ උබට මම කියපු දේ තේරෙන්නේ නැද්ද. මම උබට බෝලයක් අරන් එකින් එක මැහුම් ගණන් කරලා පෙන්වන්න ඕනද. මේ වගේ මොලේ අමාරු කාරයෙක්. මු මෙතන පොර වෙලා රගන්න එනවා. කියලා සිය පාරක් විතර කියලා goebbels theory එක මගින් බොරුව ඇත්ත කිරීමට තැත් කිරීමයි.ඔබටත් එහෙම කලානම් සරල ගණිතමය දැනුමක් නැති නැතහොත් මැහුම් ගණන් කිරීමට බෝලයක් ළග නැති පිරිසකට මා වැරදි බව පෙන්වා මට මඩ ගසා අපහාස කරන්න තිබුනා.
      පෙර මට වුයේ එයයි. පෙර එය කල පුද්ගලයා මෙය දැක මෙතනද නිර්නාමිකව පැමිණ ඔහුගේ අශිෂ්ඨත්වය පෙන්වීමට ඉඩ ඇත. ඔවුන් සමග වාද කර පලක් නැත.

      Delete
    4. සුදීකගේ නිහතමානීත්වයට මගෙන් මල් මිටක්.

      Delete
    5. මම ඒක හැදුවෙ මෙහෙමයි

      මම ශඩස්‍ර ගැන අවධානය යොමු කලේ නෑ .. මොකද පංචස්‍ර සම්භන්ද වීමෙනුයි අර ශඩාස්‍ර හැදෙන්නෙ

      පංචාස්‍රයේ පාද වටා මැහුම් පහ බැඟින් පංචාස්‍ර 12යි = 12*5 = 60යි

      එක පංචාස්‍රයක ශීර්ශයන්ගෙන් පටන් ගන්න මැහුම් 5ක් විහිදෙනවා
      එවිට පංචස්‍රයක ශීර්ෂ වලින් විහිදෙන මැහුම් 5 බැඟින් පංචාස්‍ර 12ට = 5*12 + 60

      නමුත් නිරීකශනය කල විට සෑම පංචාස්‍ර 2ක්ම 'එම' එක මැහුමකින් සම්භන්ද වෙන බව පේනවා.. එනම් එක් ශීර්ශයකින් පටන් ගන්න මැහුමක් පංචාස්‍ර 2කකට පොදු වෙනවා..

      එම නිසා එම මැහුම් ගනන අර්ධයක් විය යුතුයි
      60 /2 = 30

      එවිට 60+30 = 90 වෙනවා..

      තවත් සරලවම ලියනවනම්
      පංචාසරයක පාද මැහුම් + පංචාස්‍රයක ශීර්ශ වලින් ඇරභෙන මැහුම්*

      *මෙහිදී පංචාස්‍ර ශීර්ශ වලින් ඇරඹෙන මැහුම් ගණනින් අර්ධයක් ගන්නේ පංචාසර 2කකට එක මැහුමක් පොදු වෙන නිසා

      මේක තමයි මං හිතන්නෙ ලේසිම ක්‍රමය


      Delete
    6. අඩේ ඒ කියන්නේ වැරදීමකින් හරි මටත් හරි ගිහින් කියන එකනේ...

      Delete
    7. මේ පැහැදිලි කිරීම දැක්කේ නැති නිසා, මම හෝ ගාලා ගණන් හැදුවා.. මම සුදීකගෙ පැහැදිලි කිරීම ඔස්සේමයි ගියේ.. මගේ පැහැදිලි කිරීම මෙහෙමයි.

      පංචාශ්‍ර 12 වටේ අනිවාර්යයෙන් මැහුම් 60 තියනවා. පළවෙනි ෂඩාශ්‍රයට මැහුම් 3 කියලා ගත්තොත් ඊලඟ ඒවට මැහුම් 2 ගාණෙ අපිට ගණන් කරන්න පුළුවන් තව ෂඩාශ්‍ර 9 විතරයි. මෙහෙම ගණන් කිරීමේදී ඉතුරු වන ෂඩාශ්‍ර වලින් මැහුම් දෙකක්ම ගණන් ගැනෙනවා. ඒතකොට ඒවගෙන් ගණන් ගන්න පුළුවන් එක මැහුමයි. ඒ වගේම අවසාන එකේ ගණන් කරන්න එකක්වත් ඉතුරු වෙන්නේ නෑ.

      පංචාශ්‍ර
      5 X 12 = 60

      ෂඩාශ්‍රයට
      1 X 3 = 3
      9 X 2 = 18
      9 X 1 = 9
      1 X 0 = 0

      එකතුව = 90

      පහසුම විසඳුම විශ්වගෙ එක කියලා මට හිතෙන්නේ ඔක්කොම දාර ගාණ දෙකෙන් බෙදනවා.

      Delete
  14. ගිය පාර එටයි මේ පාර ලියුමටයි දෙකටම ගොඩාක් ස්තුතියි. නොදන්න දේවල් මේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යක්ෂයා.

      Delete
  15. අගනා වටිනා ලිපියක් නොදත් බොහෝ දේ ඇතුළත් අර ගනන ගැන රංගනාත් කියන දේ හරි නේද

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔහු නිවැරදියි.

      Delete
  16. මෙන්න මේ බෝලෙත් බලලා වචනයක් ලියන්න
    http://www.youtube.com/watch?v=KkQmVPBzpy8

    ReplyDelete
    Replies
    1. ෂා හරිම අපූරුයි. ඇඩිඩාස් සමාගම මෙය දැක්කා නම්, ඔවුන්ගේ ප්‍රදර්ශනයකට ඉල්ලා ගනී.

      Delete
  17. මෙන්න මේ බෝලෙත් බලලා වචනයක් ලියන්න
    http://www.youtube.com/watch?v=KkQmVPBzpy8

    ReplyDelete
  18. මම නවක බ්ලොග් කරුවෙක්. මම අන්තර්ජාලයේ අපි කප් ගැසුවේ sex වලින් පමණද? කියලා අලුත් ලිපියක් දැම්මා මගේ බ්ලොග් එකට ඇවිත් එය කියවලා සහයෝගයක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ලිපිය බැලුවා. එය ඉතා වටිනා එකක්.

      Delete
  19. පාපන්දු තරඟ බලලා තිබුණට මෙච්චර හරියක් දැනන් හිටියේ නෑනේ.....ස්තුතියි දැනුවත් කිරීමට

    අපි දැක්කා සාත්තර අහනවා....මොනවැයි කිව්වේ සාස්තරේට :D

    ReplyDelete
    Replies
    1. සාස්තරේට කිව්වා රත්නපුර පැත්තෙන් බැඳලා අමාරුවේ වැටෙනවා කියලා :)

      Delete
  20. උඩිං පල්ලෙන් වගෙ කියොගෙන ගියෙ අයියේ.. ආයෙ අධ්‍යාපන කටයුතු පටන් ගන්න වෙලා තියෙන්නේ... එත් ඔය අසලා තියෙන ප්‍රශ්නෙ දැකල කඩා ගෙන මෙ පැත්තට ආවෙ ක්වන්ටම් කරනය ගැන ලියලා ඇති කියලා.. :)

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ. එහෙනම් මේ පාර අධ්‍යාපනයට හිත යොමු කරන්න. සුභ පතනවා ඉහලින් සමත් වෙන්න කියලා.

      Delete
  21. මග ඇරිලා කියල දුකින් කියෙව්වට,කොමන්ට් ටික දැක්කම එහෙම ආපු එක හොදයි කියල.
    ඇත්තටම විස්තර ඇතුළු ලිපිය ඉතාමත් ඉහලයි සුදික මල්ලි.
    අද කමෙන්ට් කරපු අය ඔබේ ලිපිය කොපමණ උනන්දුවකින් කියවා ඇද්දැයි හැගුනේ ඔබ අසා තිබුන ප්‍රශ්නයට විශ්ව ඇතුළු අනෙක් අය ඔබ සමග තර්ක කරමින් නිවැරදි උත්තරය ලබා ගත්ත විදිය.
    මෙයයි විය යුත්තේ.
    අද මම ඔබ ගැන මගේ හිතවතියක සමග කතා වුනා ඔබ කොපමණ මහන්සි වී විස්තර සොයා ගෙනද අපට ඉදිරිපත් කරන්නේ කියා.
    මම හිතන්නේ විචාරක තුමයි,ඔබයි පමණයි මෙතරම් වෙහෙසක් ගෙන අපට ලිපි ඉදිරිපත් කරන දෙන්න.
    ජය වේවා...... තවත් ශක්තිය........ ලියන්නට......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේකට නම් මම ඒ තරම් මහන්සි වුණේ නෑ. හැබැයි මගේ ඇහේ අමාරුවක් තියාගෙන තමයි ලිව්වේ.

      Delete
  22. පින්තූරයකට දාපු පොඩි මාතෘකාවක් මුල් කරගෙන මෙවන් වටිනා ලිපියක් ලිවීම ගැන මාගේ බලවත් ස්තූතිය පිළිගන්න සුදීක. මේ ලිපිය හරිම ප්‍රයෝජනවත් ඒ පිළිබඳව තොරතුරු සොයන්නන්ට. අනික බොහොම සරළව පැහැදිලිව අදාල පින්තූර සමඟම ලස්සනට ඉදිරිපත් කරලා තියනවා. මේ වගේ දේවල් ගැන එච්චර උනන්දු නැති මමත් අකුරක්වත් අතනෑර කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. මගේ කාර්යාල මිතුරු/මිතුරියෝ කියන දෙයක් තමයි "ඕනෑම දෙකට උඹට කතාවක් තියෙනවා කියන්න " කියලා. කෙනෙකුට මේක හැකියාවක් වගේ පෙනුණත්, තවත් කෙනෙකුට එය වදයක් කියලා මට හිතුණා.

      Delete
    2. උබ අපිට කවදාවත් කරදරයක් වෙලා නැහැ...!

      අගනා විස්තරයක් සුදීක...!

      Delete
  23. පාපන්දුව අත්තටම රවුම් නැහැ නේද?

    මම හිතුවේ ක්‍රිකට් කියන්නේ හැමෝගෙම ක්‍රීඩාව කියලයි.:)

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ. යුරෝපය, දකුණු ඇමරිකාව, අප්‍රිකාව, නැගෙනහිර ආසියාව කියන මේ කලාප වලා වඩා ජනප්‍රිය පාපන්දු.

      Delete
  24. ඉස්තරම් සුදීක... පාපන්දු තරඟයකදී පන්දුවේ ස්වභාවය ඉතාමත් වටිනවා..පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමති ඔබ අහිතක් සිතන්නේ නැත්තං ඔබට හැකිනනම් "නුගතාගේ ක්‍රීඩාව " යනුවෙන් තිබෙන පදය වෙනස් කරන්න. ඇත්තෙන්ම ලොව පුරා පාපන්දු ක්‍රීඩාව හැඳින්වෙන්නේ "දුප්පතාගේ ක්‍රීඩාව" හෝ "වීදියේ ක්‍රීඩාව " ලෙසින් .

    මේ ක්‍රීඩාවේ විශිෂ්ටයින බිහිවුනේ බොහෝ විට අන්ත දුප්පතුන් තුලින්.. එසේම ඔවුන් හැමෝම පාහේ වීදි පාපන්දු ක්‍රීඩකයන් ....
    ක්‍රීඩාවේ "පේලේ ", "ඩියාගෝ මරඩෝනා ", "ලයනල් මෙසී", රෝනල්ඩීනියෝ " වැන්නවුන් .
    එසේම මෙම ක්‍රීඩාව අද වනවිට බොහෝ තාක්ෂණික ක්‍රමවේදයන් හා පෝෂණ ක්‍රම වේදයන් සමග බැදී පවත්නා විද්‍යානුකූල ක්‍රීඩාවකි.
    ආසියාතික ක්‍රීඩකයන් තුල ස්වභාවයෙන්ම පවත්නා (බටහිර සහ අප්‍රිකානු ක්‍රීඩකයන සාපේක්ෂව ) දුර්වල ශරීර සැකැස්ම නිසා ඔවුන් මේ ක්‍රීඩාවේ තරමක් පසු පසින් සිටින්නවුන්. නමුත් මෑත කාලීනව ජපානය, දකුණු කොරියාව වැනි ආසියාතික රටවල් මේ අභියෝග යම් තරමක් දුරට ජයගන්නට සමත්ව සිටිනවා.

    ReplyDelete
    Replies
    1. දුප්පතාගේ ක්‍රීඩාව කියන වචනය මා කලින් අසා තිබුණත්, උගතුන් මේ වෙනුවෙන් කරන කැප කිරීම පෙන්වන්නයි නූගතා කියන වචනය යොදා ගත්තේ. හොඳයි මා ඒ වෙනස් කම කරන්නම්. බොහොම ස්තුතියි ඉවාන්.

      Delete
  25. ඉදල හිටල විනෝදෙට පා පාන්දු ගැහුවට මැහුං ගාන ගනන් කරගන්න බැරි උනා.
    ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව ගැන නොදන්න ගොඩක් දේ පෙන්නල දීල තියෙනවා..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක මෙතනට අදාළ නැති වුනත්, හිතන්න යමක් තිබෙන නිසා මම එකතු කළේ.

      Delete
  26. ලිපි දෙකම කියෙව්වා...අන්තර්ජාල විස්තරයක් මේ විදියට පරිවර්ථනය කරලා සෑම කරුණක්ම නිවැරදිව සදහන් කිරීම අභියෝගයක්...ඒ අභියෝගය ඔබ හොදින් ජය ගෙන ඇති බව පෙනේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා මලේ. මට ඒ පැත්තේ එන්න බැරි වුණා. ඇවිත් බලන්නම්.

      Delete
  27. බැලින්නම් පා පන්දුවට පුදුම වටිනාකමක්නේ දීල තියෙන්නෙ ලෝකෙ මිනිස්සු..

    ReplyDelete
  28. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...