ගිය සෙනසුරාදා රාත්‍රියේදි විදිල්ලක් කෙටුවා වගේ ක්ෂණයකින් මගේ මතකය එකපාරටම 1984 වර්ෂයේ එක්තරා දිනයක් වෙත ඇදී ගියා. මේ වනවිට පාසැල් ශිෂ්‍ය/ශිෂ්‍යාවන් 40කට ආසන්න පිරිසකගෙන් සමන්විත අපේ පන්තිය, කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ පැරණි වලවු ගොඩනැගිල්ලේ නැගෙනහිර කෙලවරේ අඳුරු කාමරයක පිහිටලා තිබුණේ. 9 වසරේදී සියළුම දක්ෂ සිසු සිසුවියන් එකම පන්තියකට එක්කාසු කරපු වෑයම සාර්ථක නොවුනේ, මේ දක්ෂයින් පිරිස තවත්
දෙයකට අධ්‍යාපනයට වඩා නිපුණතාවක් දක්වපු නිසා. ඒ කච-කචේට. ඉක්මනට වැඩ අවසන් කරන මේ සෙට් එක කෑගහන්න පටන් ගන්නවා. ඔය නිසා කඩිමුඩියේම 10 වසරෙදී අපිව නැවතත් පන්ති 3කට බෙදා වෙන් කරනවා මිශ්‍රව. ඒ කියන්නේ එක පන්තියක සියළුම තරාතිරම් වල අය එකට ඉන්නවා. දක්ෂ-අදක්ෂ, ලස්සන-අවලස්සන, දුප්පත්-පෝසත්, දුර-ළඟ මෙකී නොකී මොනම නිර්ණායකයකින් මැන්නත්, ඒවාට ගැලපෙන උදවිය අපේ පන්තියේ හිටියා. අනෙක් පන්ති වලත් ඒ විදියටම බෙදිලා තිබුණා. කන්නන්ගර නැමති, ඒ කාළයේ ප්‍රදේශයේ නම්දැරූ විදුහල්පති ගුරුපියා නායකත්වය දුන් මේ පාසැලේ දැඩි විනය නීති ක්‍රියාත්මක වුණා. පාසැල් ප්‍රේමය කියන දේ මේ කාලයේ නව යොවුන් වියේ පසු වූ අපට සිහිනයක්ම පමණක් වූවා. නමුත් මා මේ කියන්නට යන කථාව එයට සම්බන්ධ වූවක් නොවෙයි.
දිනක් අපේ සිංහල ගුරුතුමා නිවාඩු ලබාගෙන තිබුණා. එවැනි දිනයන්හී
විදුහල්පති තුමා පන්ති වලට පැමිණීම සාමන්‍ය දෙයක් බවට පත් වී තිබුණා. මෙය බොහොම භයංකාර අත්දැකීමක් ලෙස කවුරුත් සැලකුවා. මට එය තවත් අවිනිශ්චිත කාරණාවක් වූයේ එවැනි අවස්ථා වල එතුමා
මගේ දැනුම පරීක්ෂා කිරීමට ඉදිරිපත් වන නිසා. බොහෝ අය වේවැල් පහරට මුහුණ දුන්නත් මාහට එය අකැප වූවක් සේ මවිසින්ම සම්බාධක පනවාගෙන තිබුණා. හේතුව කෙටිකලකට මෙම පාසැලේම උප විදුහල්පතිවරයෙකු ලෙස කෙටි කාලයක් සේවය කල තවත් කන්නන්ගර කෙනෙකු වු මගේ පියාගේ ගෞරවය රැකීම. මින්පෙර පැමිණි සෑම අවස්ථාවකම ඒ ගෞරවය රැක ගැනීමට සමත් වුවා. සමහර දිනක මගේ රචනාවකට පැසසුම් පවා හිමි වූවා. ප්‍රින්සිපල් සර් මාව අල්ලාගන්න එක අනෙක් අයට බොහෝ සතුට දනවන කාරණයක් වූයේ, ඔවුන්ට එවැනි අවස්ථාවන් නොලැබීමට එය හේතු වූ නිසා. මන්ද යම් වරදක් සිදු වූ මොහොතක එයට වේවැල් පහර හිමිවීමට හේතුවන නිසා. මේ කියන දිනයේදීද ප්‍රින්සිපල් සර් පන්තියට බලාපොරොත්තු වූ අයුරින්ම ගොඩවුණා. එදින එතුමා අප හමුවේ පුදුමය උපදවන ප්‍රශ්නයක් තැබුවා. ඒ යස ඉසුරු චිත්‍රපටය නැරඹූ අය අත් ඉහළට ඔසවන ලෙසට. කිසිවෙකුට අත් ඔසවන්න තරම් ධෛර්‍යයක් තිබුණේ නෑ. මදක් වටපිට බෑලූ එතුමාගේ ඊළඟ පැණය වූයේ, "ඒ චිත්‍රපටියේ තියෙනවා නන්දා මාලනී මහත්මිය කියන ලස්සන සිංදුවක්, කාටහරි ඒක කියන්න පුළුවන්ද ? " මේ ප්‍රශ්නයෙන් වික්ෂිප්ත වූ අප එකිනෙකාගේ මුහුණ දෙස බළන්නට වුණා. නමුත් ඒ අවස්ථාවේ නැගී සිටියේ මෙයට මිනිත්තු කිහිපයකට පෙර අතුව ගිණි අවුවේ නෙට්බෝල් පුහුණුව අවසන්කර මෙහි පැමිණි සමන්ලතා. ඇය වෙනත් දිනයකනම් තුන්කොණින් දහඩිය පෙරාගෙන පොතකින් පවන් සලනා ගමන් ඉන්නා වේලාවකයි එතුමා මෙහි පැමිණියේ.
අප සියළුදෙනා පුදුමයටත්, නිශ්ෂබ්දතාවයටත් පත්කරමින්
"අම්මාවරුනේ - අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා"
යනුවෙන් වූ ගීතය ගායානා කලා. මා ඒ ගීතයේ කොටස් මින්පෙර ශ්‍රවණය කර තිබුණත්, සම්පූර්ණ ගීයට සවන් දුන්නේ ඒ මොහොතේදීයි. එකල පාසැල් දරුවන්ට දෙම්වුපියන්ගේ හෝ පාසැලේ සහභාගීත්වයක් නොමැතිව චිත්‍රපට නොහොත් බයිස්කෝප් ශාළාවකට ප්‍රවේශවීම උගහට කාරණයක් වූවා.
"සෙනෙහස නැතිදා
සිතද බොළඳ වී ලොවම ආදරෙයි
කියා සිතේ
මායාවක් වී එහි තනිවූදා
අම්මා පමණයි ළඟ ඉන්නේ - අම්මා පමණයි
ළඟ ඉන්නේ"
මේ මොහොතේ මගේ කන් සහ හිස පෙදෙසේ හිරිගඬු පිපුණා.
එදින ප්‍රින්සිපල් සර්ගේ නොමඳ පැසසුම සමන්ලතාට හිමි වුණා. ඉන්පසුව නන්දා මාලනියගේ හඬින් මේ ගීය මා කොතෙකුත් ශ්‍රවණය කර තිබේ. යලිත් මේ මතකය අවදි කලේ "මා නොවන මම" වැඩසටහනට මෙවර එක්වූ අංජලී හේරත් අලංකාරව එය ගායනා කරනු ඇසීමෙනි. මේ තිදෙනාම එකම ආකාරයකින් රසාලිප්තව මේ ගායනය කලබව මගේ විශ්වාසයයි. සමන්ලතා අද විදේශගතව වාසය නොකලානම්, අපගේ සුහද හමුවේදී යලිත් ඇගේ හඬින් එය අසන්නට අවස්ථාව උදාවනවා පමණක් නොව, එය ඔබටද අසන්නට සලසන්නට ඉඩ තිබුණි. දැනුදු ඒ ගීතය මේ හඬවල් ත්‍රිත්වයේ සම්මිශ්‍රණයක් ලෙස මගේ දෙසවන් තුල රාව ප්‍රතිරාව නැගෙයි.
ප.ලි. මේ ගීතය රචනය කොට තිබෙන්නේ ධර්මසිරි ගමගේ ශූරීන්, සංගීතවත් කොට ඇත්තේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්.