අහෝ සිංහල බ්ලොග් කළාවට සිදු වූ දෙයක් ! මෙය නිතර බ්ලොග් කියවන මාගේ කාර්යාලීය මිතුරෙකුගේ මුවින් පිටවූ වදන්ය. දින කිහිපයකට උඩදී මා මුණගැසුණු ඔහු පවසා සිටියේ දැන් කිසිවකුත් බ්ලොග් ලියන්නේ නැත යන්නයි. දැන් බොහෝ දෙනා තමන්ගේ අදහස් මුහුණු පොතේ සටහන් කරනවා යන්න බොහෝ දෙනා පවසන කරුණකි. එය සත්‍යයක්ද ? ඒසේනම් බ්ලොග් යනු යල් පීනු ක්‍රමවේදයක්ද ? එය සතයක් යයි පිළිගන්නට මා නම් සුදානම් නැත. මන්ද මුහුණුපොත බොහෝ පාඨකයන් පිරිසක් ග්‍රහණය කර ගැනීමට හැකි මාධ්‍ය වුවද, එය බ්ලොග් සඳහාම වෙන්වූ අවකාශයක් නොවන නිසාය.
බ්ලොග් වල තිබෙන සුව්ශේෂී ලක්ෂණ කිහිපයක්ම වෙයි. ඒ ඔබ සඳහාම වෙන් වූ ඉඩකඩක් තිබීම, සෙවුම් යන්ත්‍ර වලට ඔබ තබන ලද සටහන් හසු වීම, ඒ සඳහාම වෙන් වූ පාඨකයන් පිරිසක් සිටීම වැනි කාරණාය. නමුත් බ්ලොග් වලට නැති මුහුණු පොතට ඇති එක් සුවිශේෂී ලක්ෂණයක් වෙයි. එනම් ඔබේ සටහන ප්‍රවර්ධනයට එයින් ලැබෙන පිටුවහලය.ඔබගේ මිතුරු ලැයිස්තුවේ සිටින සියල්ලන් වෙතම ඔබගේ සටහන විකාශණය කිරීමේ හැකියාවය. එහිදී ඔවුන් කැමති අකමැති භාවය පිලිබඳ විමසිල්ලක් කෙරෙන්නේ නැත. නමුත් එය නොකියවා මග හැරීමේ හැකියාව සහ නිදහස ඔවුන් වෙත අත. අනික් අතින් බ්ලොග් ලියන්නා ඒවා ප්‍රවර්ධනයට බොහෝ විට භාවිතා කරන්නේ ෆේස්බුක් පිටු සහ කාණ්ඩයන්ය. ඒවාට ගොනු වී සිටින්නේ කියවීමේ රුචිය ඇති පුද්ගලයන්ය.
කළෙක මේ ෆේස්බුක් පිටු වලට දිනකට වැටෙන බ්ලොග් සටහන් ප්‍රමාණය වැඩි නිසා තමන්ගේ සටහන ඒවා හරහා බෙදා ගැනීමේ හොඳම වේලාවන් පිලිබඳ කථිකා පවා ඇති විය. බ්ලොග් ප්‍රවර්ධනය සඳහා ගූගල් විසින් ලබා දී ඇති ගූගල් ප්ලස් මාධ්‍යය, ෆේස්බුක් තරම් ජනප්‍රිය නැති වීම පාඩුවකි. කළෙක පාඨකයාට කියවා ගන්නටත් බැරි තරමට බ්ලොග් ලියවුණි. නමුදු අද තත්වය ශෝචනීය වී ඇත. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වී ඇති තත්වය හා සම කළ හැක. ඒ මහේල, සංගා, දිල්ශාන්, මුරලි වැනි ජය කෙහෙළි නැංවූ ක්‍රීඩකයන් ළඟ-ළඟ සමු ගනිත්දී, එම රික්තය පිරවීමට පැමිණියවුන් වල්මත් වීමය. මෙහිද මුරලිලා, සනත්ලා, මහේල-සංගා වැනියන් සිටි කාළය අපට මතකය. මා බ්ලොග් කරණයට පිවිසුණේ එවන් කාළයක බව කිව යුතුය.
එකළ බොහෝ දෙනෙකු සිංහල බ්ලොග් කියවීමට යොදා ගත් සින්ඩිකේටරය වුයේ සිංහල බ්ලොග් කියවනයයි. එම සින්ඩිකේටරය නතර වූ පසු එය හරහා මෙහි පැමිණි පිරිස අතරමං වුවා විය යුතුය. ඔවුන්ට සොයා සොයා බ්ලොග් කියවන්නට කාළයක් හෝ ක්‍රමයක් නොතිබුණා විය හැකිය. මෙය සොයා බැලිය යුතු තත්වයකි. මේ සඳහා එකතු වූ රචකයන් අතර පැවති විවිධ මතභේදද ලියන්නන් මන්දෝත්සාහී කළ කාරණාවකි. දැන් මේ සඳහා පොස්ට් මොටම් තැබීමට ප්‍රමාද වැඩිද යන්න මගේ සිතේ තිබෙන අනෙක් ගැටලුවයි.
එනමුත් 12-31 දිනය මට අමතක නොවන දිනයකි. ඒ මා, පළමුවෙන්ම සිංහල බ්ලොග් අඩවියක් සඳහා රචනා එකතු කළ දිනය වන බැවිණි. එදින ආරම්භ කලද පළමු සටහන මා තැබුයේ 2012 ජනවාරි පළමු වැනිදාය. මුල් වසර කිහිපය ඇතුලත මෙය ඉතා සක්‍රීයව පවත්වාගෙන යාමට මා හට හැකි විය. එකළ බ්ලොග්කරණය තුළ තිබුණු තරගයද ඊට හේතු වන්නට ඇත. නමුත් මේ සටහන තබන අද වනවිට කිසිදු තරගයක් නැත. නමුත් ලියන්නන්ද නැ ත. වැරදුනේ කොතැනද? කළෙක අපට නින්ද නොයා ඇහැරාවන්ට මෙන්ඩා නමැති බ්ලොග් ප්‍රේමීයා හුදෙකළා සටනක යෙදිණි. නමුත් අද ඔහුද නිහඬ තත්වයට පත් වී ඇත. බ්ලොග් තැබීමෙන් අරඹා විවිධ අවස්ථා උදා කරගෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත පිවිසුන අයද සිටි අතර, ප්‍රධාන ධාරාවේ අයද බ්ලොග් වෙත යොමු වූ කාළයක් විය. ඒසේනම් ඒ මතකයන් ඔස්සේ පිවිස මාසයකට එකක් හෝ සලාක දානයක් මෙන් බ්ලොග් පොස්ට් තබන්නයි සියලුම සහෝදර බ්ලොග් කරුවන්ගෙන් මා ඉල්ලා සිටිමි. ඒ බ්ලොග් හරහා මා උදා කරගත් අවස්ථා වලට කෘතගුණ දැක්වීමක් වශයෙනි. බ්ලොග් හරහා හඳුනාගත් සොඳුරු මිනිසුන් වෙනුවෙනි. යළිත් ක්‍රියාකාරී වීමට කාළය එළඹ ඇත.
එළඹෙන 2018 වසර බ්ලොග් ලියන්නන්ටත් කියවන්නන්ටත් සුබ වන්නට පතන ගමන් මේ බ්ලොග් අඩවිය සය වසරක් සැපිරූ බවද සටහන් කරමි.