2012 වර්ෂයේ බ්ලොග්කරණයේ මධුසමය ගතකල කාලයේ, එක හැල්මේ බ්ලොග් සටහන් පළකරමින් ගිය ගමන මදක් අඩාල වුපසු, මෙසේ පසුව සම්පූර්ණ කරණ පොරොන්දුවට කල් දැමූ සටහන් කිහිපයක්ම ඇතිබව පසක් වන්නේ අදාළ සිද්දි වලට පාදක වූ පුද්ගලයින් පසුව හමු වූ විටදී, එකතු කරගන්න වට්ස්ඇප් ගනුදෙනුවට එවැනි සටහන් එකතු කරන විටය. පසුගිය හතරවෙනිදාල්ට කල් ගිය අපගේ බිග් මැච්(බිග් මැච් නොහොත් මහා තරග) සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ මාර්තු මාසයේ වුවද, විවිධ හේතුන් මත එය මැයි මාසයට කල් ගොස් තිබේ. අප වැන්නන්ට එවැනි දේ ප්‍රශ්ණ නොවුවත්,එම සම්ප්‍රදාය බිඳීම ගැන විවිධ විවේචන එල්ල කිරීම සාමන්‍යය. නමුත් දෙයක් විව්චනය කරනවට වඩා ඒවා මහපොළොවේ යථාර්ථයන් කිරීම තුළ තිබෙන අභියෝග දන්නේ ඒවාට මුහුණ දුන් අයයි. මෙම සටහන ඒවා ගැන කථා කිරීමට නොව, මා අතීතයේ මුහුණ දුන් අත්දැකීමක් ඔබ හා බෙදා ගැනීමේ අභිප්‍රායෙන් කරන ක්‍රියාවකි.
හරිනම් මෙම සටහන ලියවිය යුත්ත්තේ 2012 වසර තුළදීමය. නමුත් එකළ බ්ලොග් සටහන් සඳහා Trending මාතෘකා තෝරාගත යුතුව තිබිණි. මන්ද සිංහල බ්ලොගර්ස් බ්ලොග් සින්ඩිකේටරයේ කෙනෙකු තබන ලද බ්ලොග් සටහනක් පිලිබඳ සාරාංශය පැය කිහිපයක අවෑමෙන් එහි පළමු පිටුවෙන් පහළට යන තරමට එකළ බ්ලොග් කරුවන්ද, බ්ලොග් සටහන්ද වැහිවහැලා තිබුණු යුගයක් වූ බැවිණි. අප වැනි සුහුබුලන් අතර මහාචාර්ය නලීන් ද සිල්වා වැනි මහා චරිත පවා බ්ලොග් ලිවූ යුගයක මේ සුළි කුණාටුවේ නැගී සිටින්නට හදන පුංචි පැල මෙන් අපද එහි එල්ලී සිටිය යුතු විය. කෙසේ හෝ 2019 වනතෙක්ම සක්‍රීයව එම ක්‍රියාවේ යෙදුනද, ලැප්ටොප් භාවිතය අතහැර ජංගම දුරකථනයට සියල්ල කරන කාලයක් නිසා, මෙය කෙමෙන් ඇල්මැරුණු ස්වභාවයකට පත්වී පසුව ෆේස්බුක් වහලෙකු බවට පත් වුයේ, ප්‍රබල හේතු සාධක බොහොමයක් නිසාය. අද බ්ලොග් ලියු බොහෝදෙනා ෆේස්බුක් පිටු අටවාගෙන ඒ හරහා ලිවීමට පෙළඹී ඇත්තේ එහි සිටින පරිශීලකයින් ගණන ඉහළ මට්ටමක තිබෙන නිසාය. වෙගයනේ ජනප්‍රිය විය හැකි නිසාය. කළෙක මා මේ මාධ්‍ය දෙකෙන්ම සටහන් පලකළ නමුදු පසුව එය අත්හැර දැමීමට සිදු වුයේ කාර්ය බහුලත්වය නිසාමය.
තවත් කිවයුතු දෙයක් ඇත. ඒ නම් ඔබ කරමින් සිටින දෙයක් අත්හැරියහොත් නැවත එම උනන්දුවෙන්ම එය සිදුකල නොහැකිය. මා මේ කියන දේ සියළු දෙනාට අදාළ නොවේ. මා වැන්නන්ට එසේමය. හිතන්න ඔබ ආහාර ගනිමින් සිටින විට ඔබට දුරකථන ඇමතුමක් ලැබෙනවා යයි කියා. ඔබගේ ආහාරයට ඔබ බාධා කරගනිමින් එයට උත්තර දෙනවා යනුවෙන් අදහස් කරන්නේ, ඔබගන්නා ආහාරයට වඩා වැදගත් කමක් හෝ රසවත් කමක් ඔබට ලැබෙන දුරකථන ඇමතුමේ තිබේ. එසේ ඔබගේ ආහාරය ඔබ මගින් නවතා දුරකථනයට සවන් දුන්නොත් නැවත එම උනන්දුවෙන්ම ඔබට ආහාරය සම්පුඋර්ණ කිරීමට නොහැකිය. එයින් අදහස් වෙන්නේ, ඔබ එක දිගට ආහාර වේල ගෙන අවසන් කිරීම හා සමානව මෙසේ බාධා සිදුවී දෙකෙනට බෙදා ගත් ආහාර වේලේ රසය නැත. ඔබගේ හිත පිරෙන්නේ නැත. ඔබේ නින්දට බාධා සිදු වුවහොත් සිදු වන්නේද එයමයි. ඉහින් ෆේස්බුක් ලිවිම හරහා අපගේ බ්ලොග් ලිවිල්ලට සිදු වුවේද එයයි. බ්ලොග් ලියන කාළයේ මා කළ එක් ආඥ්ඥාණ කමක් වන්නේ, එහි සිටි සියල්ලන් මගේ ෆේස්බුක් ගිණුම හරහා එකතු කර නොගැනීමයි. ඒ වෙනුවට වෙනම ෆේස්බුක් ගිණුමකින් ඔවුන් එක්කාසු කර ගත් නමුදු, අද ඒ බොහෝ දෙනාද ඔවුන්ගේ නියම ගිණුම් වලින් ෆේස්බුක් පරිශීලනනය කරන නිසා, අප දෙගොල්ලාම අතරමං වී තිබේ. නමුත් ඉඳහිට මේ මෙතුර අහම්බෙන්, ගැහැට ගහක් මොරටුවේ හමුවූවා සේ හමු වේ. එය වෙනමම කතාවකි. මේ යන්නේ පඳුරු තැලිල්ලකි.
අඳුරු යුගයේ මතකසටහන් 2 කොටස මා අවසන් කළේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මාහට ලබාදුන් දේශණය ඔබ හමුවට ගෙන ඒමේ පොරොන්දුවෙනි. මෙසේ වසර 12කට පසුව නින්දෙන් ඇහැරුණා වගේ, එය ලියන්නට යන්නේ අහවල් අමාරුවක් නිසාද යන්න ඔබේ හිතේ මේ මොහොතේ පැනනගින ප්‍රශ්නය බව මම දනිමි. නමුත් ඒවා එසේ වන්නේ හීනයකින් හෝ අදාළ කතානායකයා හමුවුවහොත්ය. නමුත් මේ කියන ප්‍රධාන ශිෂ්‍ය නායකයා හමුවීම සත්‍යයෙන්ම සිදු විය. ඒ අපගේ පාසල් සාමය අවසන්වී අවරුදු 26කට හෝ ආසන්න කාලයකට පසුවය. පාසලේ දහස් ගණනක් සිසුන් අතරින් ඔහුත් මමත් පුද්ගලික හැඳුනුම් කමක් පවත්වාගන්නට නම් ඔහුට හෝ මට යම් විශේෂයක් තිබිය යුතුය. සත්තකින්ම අප දෙදෙනාට එසේ විශේෂ මිත්‍රත්වයක් පැවැත්වීමට හේතුවක් නොවීය. 89-89 අඳුරු යුගයේ අවසන් වූ මගේ පාසල් ගමන නිසා යලිත් පාසල් මිතුරන් හා සබඳතාවය ඇතිවන්නේ, මේ අන්තර්ජාල පහසුකම ලැබීමත් සමගය. ඒ සමාජ මාධ්‍ය නිසාය. ඒවා සිදු වූ ආකාරය වෙනමම කථා කළහැකි මාතෘකාය.
මා කළුතර මහා විද්‍යාලයට ඇතුලත් වුයේ, උසස්පෙළ හැදෑරීම සඳහාය. ඒ මා එතෙක් අධ්‍යාපනය කළ, විනය සඳහා මහත් ප්‍රසිද්ධියක් ඉසිලු කළුතර ඥානෝදය මහා විද්‍යාලය හැරපියා පැමිනෙමිනි. අප වැන්නන් පාසැල හැර යනවාට කිසිදු ගුරුබවතෙකු අකමැති වූ බවද කිව යුතුය. නමුත් එක්තරා විදියක බුද්ධි ගලනයක් වූ මේ ක්‍රියාවලිය නැවත්වීමට නම් පාසලේ විද්‍යා අංශ ආරම්භ කලයුතුය. එවකට එහි තිබුණේ වානිජ්‍ය සහ කළා අංශ පමණක් වීම, මෙසේ ප්‍රියයන්ගෙන් වෙන් වී වෙනත් තැනකට ආධුනිකයන් වීමට සිදුවීමකි. එය හරියට යුදෙවුවන් ගාසා තීරයට පලවා හැරීමේ අත්දැකීමට සමානය. එයින් පසු එක්කෝ අපි ඊශ්‍රායලය වගේ වැඩ පෙන්වා ඉහලට ආ යුතුය. නැතිනම් බටහිර රටවලට ගිය අපේ අයමෙන් ඉඳීය යුතුය. අපට සිදු වුයේ මේ දෙකෙන් දෙවැන්න බව කණගාටුවෙන් වුවද කිව යුතුය. විද්‍යාලයට(කළුතර අය විද්‍යාලය කියන්නේ කළුතර විද්‍යාලයට වන අතර බාලිකාව කියන්නේ කළුතර බාලිකාවට වන සේම, කොලේජ් කියන්නේ හොලික්‍රොස් කොලේජ් එකටය, කොන්වන්ට් කියන්නේ හොලි ෆැමිලි කොන්වන්ට් එකටය. නැතිනම් මෙය කියවන වෙනත් ප්‍රදේශ වල අය අන්ද මන්ද වනු ඇත) ගිය පසු අපට මුළින්ම ලැබුණේ රැග් එකය. මාහට එය ලැබුණේ ක්‍රිකට් කණ්ඩායමේ අයගෙන්ය. ඒ අයගේ නම් මා හොඳින් දැන සිටීම ඔවුන්ට ආශ්වාදජනක අත්දැකීමක් බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනිණි. ඒ මා ක්‍රිකට් පිලිබඳ දැක්වූ ඇල්ම නිසාමය. මා කළුතර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඕනෑම තරගයක් දිහා බලාගෙන සිටීමේ පුරුද්ද නිසාය. මගේ මේ උනන්දුව කෙසේද යත් මා කළුතර පී සී සී සහ ටවුන් ක්ලබ් ක්‍රීඩකයින්ව වෙන වෙනම හඳුනාගෙන තිබීමට තරම්ය. එකළ ජාතික කණ්ඩායමේ සියල්ලද, ආනන්ද-නාලන්ද, රෝයල් - තෝමියන්, රිච්මන් - මහින්ද, ඉසිපතන - තර්ස්ටන් ආදී තරග ගුවන්විදුලියෙන් ඇසීම නිසා මතකයේ බොහෝනම් ඇත. පසුකාලයන්හි ඔවුන් හමු වූ විට මා එසේ පවසා ඇත. බන්දුල වර්ණපුර, දීපාල් මදුරප්පෙරුම, අතුල සමරසේකර, චමින්ද මෙන්ඩිස්(ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ), ඉන් කිහිප දෙනෙකි.
විද්‍යාලයේ ගුරුමණ්ඩලය ඥාණෝදයෙන් පැමිණෙන්නට කැමතිය. ඒ දක්ෂ කීකරු, හොඳ විනයක් සහිත අය බැවිණි. අපහට රසායන විද්‍යාව ඉගැන්වූ සොයිස මිස් එය මා හා කෙළින්ම පවසා ඇත. ඒ පසුගිය වසරේදී පැමිණි සුමංගල අයියා ගැන පවසමිණි. මාද ඔහුට බොහෙසෙයින් සමානය කෙනෙකු බව මා කියන්නට ගියේ නැත. ඇත්තටම අප දෙදෙනා එක වගේමය. දක්ෂතා අතින් වෙනස් නමුදු හැසිරීමෙන් සහ විනයෙන් එක වගේය. අප දෙදෙනා හඳුණන එය එය සහතික කරනු ඇත. නමුත් පිටින් ආ මා අධ්‍යාපනයට දස්කම් දක්වන විට එය ඇසේ කටු අනින්නා සේ වූ අයද සිටින ලදී. එය සිදු වුයේ පළමු වාර පරීක්ෂණයෙන් පසුවය. ඒ ගණිත ප්‍රශ්න පත්‍ර වලට මා සහතවත් පිටින් පැමිණි අයෙකු වූ දිමුත් ලකුණු ලබාගැනීමත් සමගය. මේ වනවිට බ්‍රයිටන් සේ සිටිය අයට අනෙක් අය යම් කෝචෝක් එකක් දැම්මාදැයි තවමත් නොදනිමි. පිළිතුරු ලෙස දෙවන වාරය පටන් ගත් සැණින් මගේ බෞතික විද්‍යා, ග්‍රාෆ් පොත නැතිවිය. එය මා සාදා ගත්තේ, තාත්තා ගෙනැවිත් දුන්, ඉතිරි විභාග ග්‍රාෆ් කොළ එක්කර පොතක් සේ බැඳ ගැනීමෙනි. එයින් මා කම්පා වූ තරම දන්නේ මා පමණකි. මෙසේ ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනා ගන්නා ගමන් පන්තියේ සෙසු අයද කෙමෙන් මාහට ආකර්ෂණය විය. ඒ උදෑසන කැඩෙටින් පුහුණුවීම් වලට ගොස් එන අය සඳහා මා කුප්පිය දැමීමත් සමගය. පන්තියේ බ්‍රයිටන් වූ අනෙක් අය සමාජ මට්ටමින් ඔවුන්ට වඩා තැනක සිටි, ඉංග්‍රීසි ගීත ඇසීම සහ පොෂ් වැඩ කළ පිරිසක් වූ බැවින්, ඔවුන්ට මේ එයට පහළ සමාජ මට්ටම් වල අය සමා පයුරු පාසානමක් නොතිබීම නිසාය. ඒ වෙනුවට කොමර්ස් සහ ආර්ට්ස් ක්ලාස් වල සහ ඉහළ සහ පහළ පංති වල සිටින ඔවුන්ගේ පන්නයේ අය සමග විවේකය ගත කිරීම නිසාය. මෙසේ මගේ කුප්පිය නිසා මා හල කුළුපග වූ විපුල මුණසිංහ(නාවික හමුදාවේ ඉහළ නිලයක් දරන බව දැනගන්නට ලැබිණි). රුවන් ගුණසේකර(පොලිස් පරීක්ෂක වරයෙකි) සහ මගේ මිත්‍ර ජයවික්‍රම(ඔහුද මා මෙන් උසස් පෙළට මගේ ගම් පළාතේ සිට පැමිණියෙකි), උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු වූ දයාරත්න(ඉතා හිත හොඳ කල්‍යාණ මිත්‍රයයෙකි), සිල්මන් ආදී අය එක් විය. ඔවුන් බොහෝදෙනා රැගෙන එන ටියුට් ගණන් මා විසඳා දුන්විට, මේ මිත්‍ර බැඳීම් තවත් තරවිය.
නමුත් ටික කාලයක් ගතවනවිට ඔවුන් සියල්ලගෙන් නික්මී තනිවම පන්තියේ ඉගෙන ගැනීමට නොහැකි විය. පාසැල කට් කර කොළඹ රිවිෂන් පංති ගිය බොහෝ දෙනෙකු විය. ඒ රාජා අල්විස්, ග්‍රේරෝ වැනි ගුරුවරුන්ගේ පන්ති සඳහාය. මා එසේ නොගිය අතලොස්සගෙන් කෙනෙකි. මාහට එසේ එක්වන්නට බොහෝ ඉල්ලීම් ලැබුනද, මගේ දෙමවුපියන්ගේ ආර්ථික තත්වය ගැන අවබෝධයෙන් පසුවූ මාහට ගමේ සහ කළුතර පංති තුනකින් සෑහීමකට පත්වීමට සිදු විය. අතරින් පතර කිසිවෙකු නොපැමිණි දිනක රසායන හෝ භෞතික විද්‍යා ගුරුවරුන්ගේ අවසරයෙන් තනිවම ප්‍රායෝගික පරීක්ෂණ කලෙමි. වරක් මා එසේ තනිවම පරීක්ෂණයක් සිදු කරන මොහොතක, සාමාන්‍ය පෙළ සිසුන්ට ගුරුතුමිය ඔවුන්ට නියමිත ප්‍රායෝගික පරීක්ෂණය උගන්වමින් සිටින අතරතුර විදුහල්පති තුමා, ගුරුතුමිය වූ සකුන්තලා මහත්මියගෙන් යමක් විමසීමට පැමිණ, මාගැන විමසන අයුරු මට පෙනිණි. මා බිරන්තට්ටු වී සිටියේ, මා විද්‍යාගාරයෙන් එලියට දමාවියැයි බියෙනි. තවත් මොහොතින් ජයසේන සර්ද, කොහේ හෝ සිට පැමිණියේය. ඔහුද විද්‍යා ගුරුවරයෙකි. ඒ වගේම සොබාදහම් සිසු හවුල නමැති පරිසර සංවිධානයක්ද අධ්‍යාපනයට පරිභාහිරව කරගෙන ආ අයෙකි. පාසලේ පරිපාලනයටද ඔහු බලපෑමක් කළ අයෙකි. පසුව විදුහල්පති තුමා ඇතුළු මේ ගුරුවරුන් එක්වී, මා ආදර්ශයට ගන්නා ලෙස එම සිසුන්ට අවවාද කරනු ලැබිණි. නමුත් පසුව මේ ව්‍යායාමය මා අත්හැර දැම්මේ පංතියේ අයට ආරංචි වුවහොත් එය වෙනත් ගැටලුවකට මුල වනු ඇති නිසාය.දිනක් අප පන්තියට පෙනෙන මානයේම තණකොළ බිස්සකට වී පංති කට් කරන අපට මහ හඬින් ඇමතු සිල්මන්, මට පන්තියට කථා කළේය. "උඹ ඕකුන් එක්ක හිටියට, ඉස්සර උඹ ඉගෙනගන්නවට අකමැත්තෙන් හිටියේ ඕකුන් තමයි, මෙන්න මෙහෙ වරෙන් පන්තියට" යනුවෙන් යකා සේ මාහට පැවසු මුත්, මා පන්තියට ගියේ නැත. පසුකාලීනව, ඉහළ පන්තියේ ඇයගේ ගණිත ගැටළු විසඳීමට මා කැඳවාගෙන යෑමට, රමේෂ් අයියා, ප්‍රසන්න අයියා, දෙල්පචිත්‍ර අයියා ඇතුළු කිහිප දෙනෙක් ඉදිරිපත් විය. මෙසේ මා ජනප්‍රිය වීම තුළ, අපට ඉහළ බයෝ පන්තියේ සිටි රුවන් සිල්වා ප්‍රධාන ශිෂ්‍ය නාකයාද මා ගැන යමක් වටහාගෙන සිටි බව මට පැහැදිලි වුයේ, ඔහු හමුවූ විට දක්වන ප්‍රසන්න පෙනුම නිසාය.
රුවන් සිල්වා යනු පාසලේම ජනප්‍රිය, ඒ වගේම සියලු සිසුන් අවනත, ගුරුවරයෙකු තරම්ම අවවාද අනුශාසනා කළහැකි මුහුකුරා ගිය දක්ෂ නායකයෙකි. එසේ නොවන්නට සමස්ත ලංකා කැඩෙට් බලකායේ ආර්.එස්.එම්. නිලයට යාමට ඔහුට නොහැකිය. එකළ කළුතර මහා විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායම පළමු, හෝ දෙවන තැනට පත්වන මට්ටමට එය ඔසවා තැබීමේ එක් ස්ථම්භයක් ලෙස ඔහු නම් කළ හැකිය. මේ පොස්ට් එක සඳහා මා ඔහුගෙන් ඡායාරුපයක් ඉල්ලා සිටියේ දවස කිහිපයකට පෙරය. ඔහු එය මා වෙත ඒවා තිබුණේ අද දවසේය. මා මේ පොස්ට් එක ලියන්නට මත්තෙන් ඔහු හා දුරකථන සංවාදයක යෙදිණි. මා සිතා සිටියේ ඔහු හමුදාව ඔස්සේ ඉදිරියට යන්නට ඇතිය කියාය. අපේ ගමේ හිතවතෙකු වූ පියල් වීරසේකර මා හා පවසා සිටියේ ආර්. එස්. එම්. කෙනෙකුට හමුදාවට බැඳෙද්දී ඉහළ නිලයක් ස්වයංක්‍රීයවම හිමිවන බවය. ඒ ඔහු බෙන්තොට ගාමිණී විද්‍යාලයේ පී.ටී.අයි. ලෙස සහ කැඩෙට් බලකාය පුහුනුකරවන්නා ලෙසය. මා කැඩෙට්ගැන කළ අධයනයක්ද මේ මොහොතේ සිහියට නැගේ. කැඩෙටින් වලට හොඳ පාසැලකට එයට වඩා අඩු දස්කම් දක්වන පාසැලකින් ශිෂ්‍යයෙකු පැමිණියහොත්, ඔහු විගසින් දක්ෂ පාසලේ මට්ටමට දියුණු වන අතර, අදක්ෂ පාසැලකට දක්ෂ පාසැලක සිසුවෙකු ගියහොත්, විගසින් ඔහු ඒ පාසලේ මට්ටමට පහතට වැටේ. මෙම පාසැල් දෙකේම කැඩෙටින් දෙස බලා මේ කියන උදාහරණ දෙකක්ද දුටු නිසා මා ඒ නිරීක්ෂණය තදින් මතකයේ තබාගෙන තිබේ. මෙය වෙනත් කාර්යයන් උදෙසාද සත්‍ය වේ. රුවන් අයියා දයාරත්නගේද කුළුපග මිතුරෙකු නිසා ඔහු මා කෙරෙහිද යම් ප්‍රසාදයක් දැක්වීය. ඔහු කොහොමත් පාසැල් මට්ටම ඉක්මවා ගිය මුහුකුරා ගිය වැඩිහිටියෙකුගේ දැක්මක් සහිත නායකත්වයේ ලක්ෂණ උපතින් දරාගෙන පැමිණියෙක් බව මට වැටහේ. මේ සටහනට පෙර මා දයාරත්න සමග දුරකථන සංවාදයක යෙදුනේ රුවන් අයියා ගැන වැඩි යමක් දැනගන්නටය. නිදහස් උත්සවය කළුතර කටුකුරුන්දේ පැවති වසරේ, මාච් එකකට අපගේ පාසැල තොරාගන තිබිණි. එහිදී ඔහු මාච් කරනු දුටු බන්දු කන්නන්ගර(මාගේ ඥාතියෙකි) පී.ටී.අයි ගුරුවරයා, පවසා ඇත්තේ, මේකා කවදා හෝ ඉහළ තැනකට යනවා ඇත යන්නයි. එය පසුකාලීනව සත්‍ය වුයේ, ඔහු කැ
ඩෙටින් වලින් සී.එස්.එම්. සහ ආර්.එස්.එම්. නිලයන්ට උසස් වීමෙනි.
බැනරය ඇඳි දිනයේ රුවන් අයියා පාසලේ සිටියේ නැත. පසුදින මා ජයසේන සර්ගේ කාමරයේදී හමු වූ විට, මා පසෙකට කරගෙන රුවන් අයියා රුවන් වැකි කිහිපයක් පැවසීය. අදටත් ගලක කෙටු අකුරු මෙන් ඒවා මාගේ සිතෙහි සටහන්ව තිබේ.
"ඔයා දන්නවද මල්ලි, මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ සියට අනූගානක් දෙනාට මොකක් හරි මානසික රෝගයක් තියෙනවලු. ඒවා ලොකුවට නැති වුණත්, යම් ප්‍රමාණයකට තියෙනවා. ඉතිං මේ ඉස්කෝලෙත් ඒ වගේ තමයි. එක එක ජාතියේ මානසික ලෙඩ්ඩු ඉන්නවා. ඔයාට තේරිලත් ඇති. ඔයා ඒ වගේ කෙනෙක් නෙවෙයි. ඔයාට හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. මං හිතනවා ඔයා එවා තේරුම් අරගෙන, ඔයාගේ වැඩටික කරගෙන, ඔය මානසික ලෙඩ්ඩුන්ගේ, එක-එක වැඩ වලට පැටලෙන්නේ නැතිව ඉස්සරහට යයි කියළා"
ඇත්තටම 88-89 කාළයේ බැනර්, පෝස්ටර්, කටවුට් අඳින්න හැකියාව තියෙනවා කියන්නේ මරණ සහතික ලියාගෙන ඉන්නවා වගේ වැඩක්. මොකද සහෝදර වරුන් දැනගත්තා කියන්නේ, මා කෙසේ හෝ ඔවුන්ගේ ග්‍රහණයට නතු වෙනවා කියන එක. ඒ වගේම රජයේ විනාශකාරී පිරිස දැනගත්තා කියන්නේ, ටයර් සෑයට වීසා ගැනීමක් වගේ දෙයක්. මට තරවටු කරනවා වෙනුවට, ඉතා සෞම්‍යව මේ දේ මා හට පැවසීම, ඔහුගේ මුහුකුරා ගිය බව අවබෝධ කරගන්නට කදිම සාක්ෂියකි. මා ඔහුට සලකන්නේ ඉෂ්ඨ දේවතාවෙකුට දක්වන ගෞරවයෙනි. මන්ද ඔහු මා ඒ මොහොතේ හරිමගට ගත් පුද්ගලයා නිසාය. එසේ නොවන්නට මගේ ඉරණම වෙනත් ආකාරයකින් ලියවෙන්නට තිබුණු.
ඔහුගේ පියාගේ දැඩි විරෝධය නිසා ඔහුගේ ගුවන් හමුදා සිහිනය බොඳවී ඇතිබව මා ඇද ඔහු සමග කළ සංවාදයේදී දැනගන්නට ලැබිණි. නමුත් ඔහු තෝරාගත් ගාමන්ට් අංශයේ කර්මාන්ත ශාලා කළමනාකරුවෙකු මට්ටම දක්වා ඔහු ගොස් ඇතිබව දැනගන්නට ලැබීම සොමනසට හේතුවකි. නමුත් මගේ හිතට නම් එය මදිය. මට විවිධ මිනිසුන් ලක්ෂ ගණනක් මුණගැසී ඇතිමුත්, ඔහුගේ ඇති නායකත්ව ලක්ෂණය සපිරි අයෙක් හමුවුවානම් කලාතුරකිනි. නමුත් අද අප සිටින තැන් අපගේ දෛවයේ ලියවී තිබු ඒවාය. ඔහු හොඳින් සිටීමම සතුටට කරුණකි.
මගේ බ්ලොග් මිතුරන් බ්ලොග් නොලියනවා කියා නගන නොක්කාඩුවට මෙසේ කදිම පිළිතුරක් දෙන්නට ලැබීම සතුටකි.